බයිබලයේ දෘෂ්ටිකෝණය
ඔබේ ඇඳුම් පැළඳුම් හා පෙනුම ඔප්නැංවීම ගැන—දෙවි සැලකිලිමත් වෙනවාද?
“සූචිය මගින් පොතක අඩංගු වන දේවල් ගැන යමක් පවසන්නාක් මෙන් . . . බාහිර පෙනුම හා ඇඳුම් පැළඳුම් මගින් පුරුෂයෙකුගේ හෝ ස්ත්‍රියකගේ චරිත ස්වභාවය ගැන යම් ඇඟවීමක් අපට සපයනවා.”—ඉංග්‍රීසි නාට්‍ය රචක ෆිලිප් මැසින්ජ’.
පොදු යුගයේ තුන්වන සියවසේදී, පල්ලියේ ලේඛකයෙකු වන ටයිටස් ක්ලෙමන්ස්, ඇඳුම් පැළඳුම් හා පෙනුම ඔප්නැංවීම හා සම්බන්ධ නීති ඇතුළත් දිග ලැයිස්තුවක් පිළියෙළ කළා. ආභරණ පැළඳීම හා විසිතුරු හෝ වෛවර්ණ රෙදිපිළි ඇඳීම තහනම් කළා. කාන්තාවන්ට ඔවුන්ගේ හිසකෙස් ඩයි කිරීමටවත් “කපටි මායම් පිළිබිඹු කරන වශී කරවන ද්‍රව්‍ය තමන්ගේ මුහුණේ තවරාගෙන” ‘මුහුණ හැඩගැන්වීමටවත්’ ඉඩ දුන්නේ නැහැ. “කොටට කපන ලද කොණ්ඩය මගින් මිනිසෙකුගේ ගෞරවාන්විතභාවය පෙන්නුම් කරන” නිසා හිස බූ ගෑමට පුරුෂයන්ට නියම කළා; ඒ වුණත් ඔවුන්ගේ යටි රැවුල මගින් “මුහුණේ ගරු ගාම්භීරත්වය හා පියෙකු සතු බලතල පෙනෙන්න සලස්වන” නිසා එය නොකැපිය යුතුව තිබුණා.a
සියවස් ගණනාවකට පසු රෙපරමාදු සභාවේ නායකයා වන ජොන් කැල්වින් තම අනුගාමිකයන් අඳින ඇඳුම්වල වර්ණය හා වර්ගය ගැන නීති පැනෙව්වා. රන් ආභරණ හා ලේස් රෙදිපිළි කෙරෙහි අප්‍රසාදය පළ කළා; තමාගේ හිසකෙස් “ඉතා උස්ව” සකසා තිබෙන ස්ත්‍රියකව සිරගත කළ හැකි වුණා.
මම අඳින පළඳින දේවල් ගැන ඇත්තටම දෙවි සැලකිලිමත් වෙනවාද? ඔහු සමහර විලාසිතා හෝ රූපලාවණ්‍ය ද්‍රව්‍ය භාවිත කිරීම හෙළා දකිනවාද? බයිබලය මේ ගැන කියන්නේ මොනවාද? යන ප්‍රශ්න කල්පනා කර බැලීමට, වසර ගණනාවක් පුරා ආගමික නායකයන් විසින් පෝෂණය කර තිබෙන එවන් අන්තවාදී මතිමතාන්තර අවංක පුද්ගලයන් බොහෝදෙනෙකුට හේතු වී තිබෙනවා.
පෞද්ගලික කාරණයක්
උනන්දුව දනවන කරුණක් නම්, යොහන් 8:31, 32හි වාර්තා වී තිබෙන ආකාරයට යේසු තම ගෝලයන්ට මෙසේ පවසා තිබීමයි: “නුඹලා මාගේ වචනයෙහි පවතිනවා නම්, . . . නුඹලා සැබෑව දැනගන්නවා ඇත, සැබෑවද නුඹලා නිදහස්කරන්නේය.” ඔව්, යේසු විසින් උගන්වන ලද සත්‍යයන්ගෙන් අපේක්ෂා කළේ, සම්ප්‍රදායන් හා බොරු ඉගැන්වීම් මගින් ඇති කර තිබෙන පීඩාකාරි බරවලින් ජනයාව නිදහස් කිරීමයි. එම සත්‍යයන්ගෙන් අරමුණු කළේ, “වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ” අයට ප්රබෝධයක් ලබා දීමයි. (මතෙව් 11:28) මුල් පියවර ගනිමින් පෞද්ගලික කාරණා කෙරෙහි තමාගේ විමර්ශන ශක්තිය යොදාගැනීමට පුද්ගලයන්ට නොහැකි වන පරිදි, මිනිසුන්ගේ ජීවිත පාලනය කරන්න, යේසුවත් ඔහුගේ පියා වන යෙහෝවා දෙවිවත් කිසිසේත්ම කැමති නැහැ. “යහපත සහ අයහපත විමසාබලන්ට ව්‍යවහාරයෙන් පුරුදු පුහුණුවූ ඉන්ද්රියයන් ඇති” මේරූ පුද්ගලයන් බවට ඔවුන් පත් වෙනවා දකින්න යෙහෝවා කැමතියි.—හෙබ්‍රෙව් 5:14.
මේ අනුව, මෝසෙස්ගේ ව්‍යවස්ථාව මගින් ඇතැම් ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් යුදෙව්වන් මත නියමයන් සමහරක් පැනවීම ගැන හැර, ඇඳුම් පැළඳුම් හා පෙනුම ඔප්නැංවීම නැතහොත් රූපලාවණ්‍ය ද්‍රව්‍ය භාවිත කිරීම ගැන විස්තරාත්මක නීති කිසිවක් බයිබලයේ සපයා නැහැ; මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ නීති මගින් අපේක්ෂා කළේ, ඔවුන්ව අවට ජාතීන්ගෙන් වෙන් කොට තබා එම ජාතීන්ගේ දුරාචාරමය බලපෑම්වලින් ආරක්ෂා වී සිටීමට උපකාර කිරීමයි. (ගණන්කථාව 15:38-41; ද්විතීය කථාව 22:5) ක්‍රිස්තියානි විධිවිධානයට අනුව, ඇඳුම් පැළඳුම් හා පෙනුම ඔප්නැංවීම මූලික වශයෙන් පෞද්ගලික රුචි අරුචිකම් හා සම්බන්ධ කාරණයක් වෙනවා.
කොහොමවුණත්, අඳින පළඳින දේවල් ගැන හෝ ‘වෙනත් ඕනෑම දෙයක් ගැන’ දෙවි කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැහැ කියා එයින් අදහස් කරන්නේ නැහැ. ඊට පටහැනිව, ඇඳුම් පැළඳුම් හා පෙනුම ඔප්නැංවීම සම්බන්ධයෙන් දෙවිගේ දෘෂ්ටිය පිළිබිඹු කරන සාධාරණ මඟ පෙන්වීම් බයිබලයේ අඩංගු වෙනවා.
“විනීතව හා සිහියෙන් යුක්තව”
ක්‍රිස්තියානි ස්ත්‍රීන් “කොණ්ඩා මෝස්තරවලින්වත්, රන් මුතු ආභරණ හෝ ඉතා අනර්ඝ වස්ත්‍රවලින්වත් නොව, විනීතව හා සිහියෙන් යුක්තව සිට මනා පිළිවෙළකින් යුත් ඇඳුම්වලින් සැරසී” සිටිය යුතුයි කියා ප්‍රේරිත පාවුල් ලිව්වා. ‘කොණ්ඩා මෝස්තරවලින් සැරසී සිටීම හා රන් ආභරණ පැළඳීම’ සම්බන්ධයෙන් පේතෘස්ද සමාන අදහසක් දෙනවා.—1 තිමෝති 2:9; 1 පේතෘස් 3:3; NW.
පේතෘස් හා පාවුල් පෙන්වා දෙමින් සිටින්නේ, ස්ත්‍රීන් හා පුරුෂයන් තමන්ගේ පෙනුම ඔප්නැංවීමෙන් වැළකී සිටිය යුතු බවද? නැහැ, කොහෙත්ම නැහැ! ඇත්තෙන්ම, රන් ආභරණ හෝ රූපය අලංකාර කරන තෙල් වර්ග හා සුවඳ විලවුන් භාවිත කළ ඇදහිලිවන්ත පුරුෂයන් හා ස්ත්‍රීන් ගැන බයිබලයේ සඳහන් වෙනවා. අහෂ්වේරොෂ් රජු ඉදිරියෙහි පෙනී සිටින්න කලින් එස්තර් සුවඳ විලවුන් තවරාගෙන මෙන්ම සම්බාහනයද කරගනිමින් අධික ලෙස අලංකාර වුණා. ඒ වගේම යෝසෙප්ට සිහින් වස්ත්‍ර අන්දවා රන් මාලයක් පැළඳෙව්වා.—උත්පත්ති 41:42; නික්මයාම 32:2, 3; එස්තර් 2:7, 12, 15.
එම දැනමුතුකම තේරුම්ගැනීම සඳහා පාවුල් විසින් භාවිත කළ “සිහියෙන් යුක්තව” යන වාක්‍යඛණ්ඩය අපට උපකාරවත් වෙනවා. පමණ දැන ක්‍රියා කිරීම හා ආත්ම දමනය ඇතුව සිටීම මුල් ග්‍රීක් වචනයෙන් ඇඟවෙනවා. අනවශ්‍ය ලෙස අවධානය ඇද නොගනිමින් තමා ගැන සිහි බුද්ධියෙන් යුක්තව කල්පනා කිරීම එයින් අදහස් වෙනවා. වෙනත් බයිබල් පරිවර්තනවල මේ වචනය පරිවර්තනය කර තිබෙන්නේ, “නැණවත්ව,” “සිහි බුද්ධියෙන් යුක්තව,” “පවිත්‍රව” නැතහොත් “ස්වයං-හික්මවීම ඇතුව” කියායි. මේ ගුණාංගය ක්‍රිස්තියානි වැඩිමහල්ලන් සඳහා ඉතා වැදගත් අවශ්‍යතාවක්.—1 තිමෝති 3:2.
එනිසා, අපේ ඇඳුම් පැළඳුම් හා පෙනුම ඔප්නැංවීම විනීතව හා ඔබින ලෙස තිබිය යුතුයි කියා අපට පැවසීමේදී, ශුද්ධ ලියවිලි අපට දිරිගන්වන්නේ අනිත් අයව බාධාවට පත් කරන, අපගේ මෙන්ම ක්‍රිස්තියානි සභාවේ හොඳ නමට අපකීර්තියක් ගෙන එන අන්තවාදී විලාසිතාවලින් වැළකී සිටීමටයි. බාහිර අලංකාර මගින් තමන්ගේ පෙනුම කෙරෙහි අවධානය යොමු කරවාගන්නවා වෙනුවට, දෙවි කෙරෙහි ගෞරවයක් තමන් තුළ තිබෙනවා කියා පවසන අය සිහියෙන් යුක්තව සිටින බව පෙන්වමින් “මෘදුවූ නිශ්චලවූ ගතියක් නමැති දිරා නොයන සැරසීමෙන් යුක්තවූ සිතේ ඇතුල් මනුෂ්‍යයා” කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුයි. මෙය ‘දෙවි ඉදිරියෙහි ඉතා අනර්ඝයි’ කියා පේතෘස් නිගමනය කරනවා.—1 පේතෘස් 3:4, ඇල අකුරු අපගේය.
ක්‍රිස්තියානීන් ‘ලෝකයට ප්‍රදර්ශනයක්’ වෙනවා. විශේෂයෙන්ම ශුභාරංචිය දේශනා කිරීමට වූ තම බලපැවරුම සලකද්දී, තමුන් අනිත් අය තුළ ඇති කරන හැඟීම ගැන ඔවුන් සාවධානව සිටිය යුතුයි. (1 කොරින්ති 4:9; මතෙව් 24:14) එනිසා මේ අතිවැදගත් පණිවිඩයට සවන් දීමේදී, අනිත් අයගේ සිත් වෙනතකට යොමු කරවන්න ඔවුන්ගේ බාහිර පෙනුම ඇතුළු කිසිවකට ඉඩ දෙන්න ඔවුන්ට වුවමනා නැහැ.—2 කොරින්ති 4:2.
විලාසිතා රටින් රටට වෙනස් වුණත්, පුද්ගලයන්ට නැණවත් ලෙස තෝරාගැනීමට හැකි වන පරිදි බයිබලය පැහැදිලි හා සාධාරණ මඟ පෙන්වීම් සපයනවා. මිනිසුන් මේ ප්‍රතිපත්තිවලට අනුකූලව කටයුතු කරන තාක් කල්, ඇඳුම් පැළඳුම් හා පෙනුම ඔප්නැංවීම සම්බන්ධයෙන් තමන්ගේ පෞද්ගලික රුචිකත්වය පිළිබිඹු කරන්න දෙවි නිදහස් ලෙස මෙන්ම ප්‍රේමනීය ලෙස සියල්ලන්ටම ඉඩහරිනවා.
[පාදසටහන]
a ශුද්ධ ලියවිලි විකෘති කර දක්වමින් තහනම් කළ මේ දේවල් යුක්තිසහගත කරවීමට ප්රයත්න දැරුවා. එවැනි කිසිම දෙයක් ගැන බයිබලයේ සඳහන් නොවුණත්, මහත් බලතල තිබූ දේවධර්මාචාර්යවරයෙකු වූ ට’ටූලියන් ඉගැන්වුවේ, “මුල් පාපයට හේතුව හා මිනිසා අද්දකින අපාදුක සම්බන්ධයෙන් ද්වේෂ කළ යුතු තැනැත්තිය” ස්ත්‍රියක් වූ නිසා, ස්ත්‍රීන් ඇවිදිය යුත්තේ “ඒව ශෝක වෙමින් පසුතැවිලි වන ආකාරය පිළිබිඹු වන ආකාරයටය” කියායි. ස්වාභාවිකව රූමත් කාන්තාවක් තමාගේ රූමත්බව නොපෙනෙන විදිහට පවා කටයුතු කළ යුතු බවට ඔහු බල කර සිටියා.—සසඳන්න රෝම 5:12-14; 1 තිමෝති 2:13, 14.