පාඩම 27
හිටිවන ඉදිරිපත් කිරීම්
ඔබේ කතාව සූදානම් කිරීමට ඔබ සෑහෙන වෑයමක් දරා ඇති. සබයට ප්‍රයෝජනවත් තොරතුරුත් ඔබ එක්රැස් කරගෙන ඇති. කතාවේ භාවිත කරන්නේ හොඳ තර්කයන්ය. ඉදිරිපත් කරන්නේද චතුර ලෙසය. එනමුත් ඔබේ කතාවට පූර්ණ අවධානයක් යොමු වී නැති බව පෙනී යයි. සබය සවන් දෙමින් සිටින්නේ ඔබ පවසන ඇතැම් දේවලට පමණි. ඒ මන්ද? ඔවුන්ගේ මනස් නිතරම එහෙ මෙහෙ දිව යන හෙයිනි. එසේ නම්, ඔබේ ඉදිරිපත් කිරීම කොතරම් බලපෑමෙන් යුක්ත වේවිද? ඔවුන්ගේ මනස් කතාව කෙරෙහි දිගටම යොමු කර තබාගැනීම අසීරු නම්, ඔබ ඔවුන්ගේ හදවත් කරා ළඟා වූවා යයි සාධාරණ ලෙස අපේක්ෂා කළ හැකිද?
මෙවැනි ගැටලුවකට මුල් වන හේතුව කුමක් විය හැකිද? ඊට සාධක කිහිපයක්ම දායක වන්නට පුළුවන. බොහෝ දුරට බලපාන දෙයක් වන්නේ කතාවක් හිටිවන ලෙස ඉදිරිපත් කිරීමට අපොහොසත් වීමය. වෙනත් වචනවලින් කිවහොත්, කථිකයා නිතර නිතර ඔහුගේ කෙටි සටහන් දෙස බැලීමට වේලාව ගනියි. එසේ නැතහොත් ඔහුගේ කතාව ඉදිරිපත් කරන විලාසය පමණ ඉක්මවා විධිමත් ස්වරූපයක් ගනියි. කෙසේවෙතත් මෙම ගැටලුව කෙළින්ම සම්බන්ධ වී ඇත්තේ කතාව සූදානම් කරන අන්දමටය.
ඔබේ කතාව සම්පූර්ණයෙන්ම ලියාගෙන, පසුව එය දළ සටහනක් බවට පත් කිරීමට ඔබ උත්සාහ කරනවා නම්, එවැනි කතාවක් හිටිවන ආකාරයකින් ඉදිරිපත් කිරීම ඔබට අසීරු කාර්යයක් බවට බොහෝ දුරට පෙනී යා හැක. ඒ මන්ද? භාවිත කිරීමට අදහස් කරන සෑම වචනයක්ම ඔබ දැනටමත් තෝරාගෙන තිබෙන නිසාය. කතාව ඉදිරිපත් කිරීම සඳහා දළ සටහනක් භාවිත කළද, කතාව සම්පූර්ණයෙන් ලියාගත් අවස්ථාවේදී යොදාගත් වචන සිහියට නඟන්නට ඔබ උත්සාහයක් දරනවා ඇති. යමක් ලියනු ලබන විට භාවිත කරන භාෂාවට වඩාත් විධිමත් හෝ ලිඛිත ස්වරූපයක් ඇත. අනික් අතට දෛනික කතා බහේදී භාවිත කරන භාෂාවට වඩා වාක්‍ය සැකැස්ම සංකීර්ණය. ඔබේ ඉදිරිපත් කිරීමේදීද මෙය දැකගත හැකි වේ.
එමනිසා කතාව සවිස්තරව ලියාගන්නවා වෙනුවට මතු දැක්වෙන පියවර අත්හදා බලන්න. (1) තේමාවක් තෝරා, එම තේමාව ගොඩනැඟීමට ඔබ භාවිත කිරීමට අදහස් කරන විෂයේ ප්‍රධාන අංග කිහිපයක් තෝරාගන්න. කෙටි කතාවක් දීමට මූලික කරුණු දෙකක් සෑහෙයි. කතාවක් වඩාත් දීර්ඝ එකක් නම් සතරක් හෝ පහක් ඊට තිබිය හැක. (2) එක් එක් මූලික කරුණ යටතේ එම කරුණ ගොඩනැඟීමට ඔබ භාවිත කිරීමට අදහස් කරන ප්‍රධාන ශුද්ධ ලියවිලි පද සටහන් කරගන්න. එමෙන්ම ඔබේ උපහැරණ සහ ප්‍රධාන තර්කයන්ද සටහන් කරගන්න. (3) කතාව හඳුන්වා දෙන්නේ කෙසේදැයි කල්පනා කර බලන්න. කැමති නම්, ඒ හැඳින්වීම සඳහා වාක්‍යයක් දෙකක් ලියාගත හැක. ඔබේ අවසානයද හොඳින් සැලසුම් කරගත යුතුය.
කතාව ඉදිරිපත් කිරීම සඳහා සූදානම් වීම ඉතා වැදගත්ය. කෙසේවෙතත්, කතාව කටපාඩම් කිරීමේ අදහසින් පවසන්නට යන සෑම වචනයක්ම පුනරීක්ෂණය නොකරන්න. හිටිවන ලෙස කතාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වෙද්දී, අවධාරණය කිරීමට සැලසුම් කළ යුත්තේ පවසන වචන නොව නමුත් ඉදිරිපත් කරන අදහස්ය. අදහස් පෙළගස්වා ඇති ආකාරය ඔබේ මනසෙහි පැහැදිලිව සටහන් වන තෙක් එම අදහස් පුනරීක්ෂණය කළ යුතුය. ඔබේ කතාව තර්කානුකූලව ගොඩනඟා, හොඳින් සැලසුම් කර ඇත්නම් එය එතරම් අසීරු කාර්යයක් වන්නේ නැත. තවද කතාව ඉදිරිපත් කරද්දී ඔබේ අදහස් නිරායාසයෙන් සහ පහසුවෙන්ම ගලා එනු ඇත.
ප්‍රයෝජන සලකා බලන්න. හිටිවන ඉදිරිපත් කිරීමකින් ලබන සුවිශේෂ වාසියක් වන්නේ ඔබේ කතා කිරීමේ ශෛලිය ඇසීමට ඉතා පහසු, ස්වාභාවික මුහුණුවරක් ගැනීමය. වැඩිදෙනා හොඳ ප්‍රතිචාරයක් දක්වන්නේ එවැනි කතා විලාසයකටය. එමනිසා ඔබේ ඉදිරිපත් කිරීම ප්‍රාණවත් හා සබයට වඩා සිත්ගන්නක් වනු ඇත.
කතා කිරීමට මෙම ක්‍රමය අනුගමනය කරන විට ඔබේ සවන්දෙන්නන් සමඟ දෘෂ්ටි සම්බන්ධය උපරිම මට්ටමක පවත්වාගත හැකි වේ. එමනිසා ඔවුන් සමඟ ඔබේ අදහස් හුවමාරුව වඩාත් සාර්ථක වේ. සෑම වාක්‍යයකම භාවිත කරන වචන දැනගැනීමට ඔබේ කෙටි සටහන දෙස නොබලන නිසා ඔබේ විෂය ගැන ඔබට මනා අවබෝධයක් ඇති බවත්, ඔබ කියන දේ ඔබ ඇත්තටම විශ්වාස කරන බවත් සිතීමට ඔබේ සවන්දෙන්නන් වැඩි නැඹුරුවාවක් දක්වනු ඇත. කතාවක් මෙලෙස ඉදිරිපත් කරන විට උණුසුම්, සංවාදශීලී විලාසයක් දැකගත හැක. එය ඇත්තටම සබයේ සිටින්නන්ගේ හදවත්වලටම තට්ටු කරන කතාවක් ලෙස සැලකිය හැකි වේ.
හිටිවන ඉදිරිපත් කිරීමක තවත් වාසියක් වන්නේ අවස්ථාවට අනුව සකස් වීමට ඉඩ කඩ ලැබීමය. ඔබේ තොරතුරු ඉතා නම්‍යශීලී ලෙස සකස් වී ඇති නිසා අවශ්‍ය වූ විටෙක යම් සකස් වීමක් වුවත් කළ හැකිය. නිදසුනකට, ඔබේ කතාව දෙන දවසේ ඔබ කතා කරන විෂයටම අදාළ වන කාගෙත් අවධානය ඇදගත් පුවතක් වාර්තා වූ බව සිතන්න. එම පුවත ඔබේ කතාව තුළදී සඳහන් කිරීම උචිත වන්නේ නැද්ද? එසේ නැතහොත් කතාව දෙන අතරතුරේදී ඔබේ සබයෙහි පාසැල් යන වියේ දරු දැරියන් කිහිපදෙනෙකුම සිටින බව ඔබට පෙනී යයි. ඉදිරිපත් කරන තොරතුරු එම දරු දැරියන්ගේ ජීවිතවලට අදාළ වන ආකාරය අගය කිරීමට හැකි වන අයුරින් ඔබ ඉදිරිපත් කරන උපහැරණ සහ අදාළ වීම් ඔවුන්ට ගැළපෙන ආකාරයෙන් සකස් කරන්න. එසේ කිරීමට හැකි වුවහොත් ඔබට මොනතරම් කදිම ප්‍රතිඵල නෙළාගත හැකි වේවිද!
හිටිවන ඉදිරිපත් කිරීමකින් නෙළාගත හැකි තවත් ප්‍රයෝජනයක් වන්නේ එය ඔබ තුළ පෙලඹීමක් ඇති කිරීමයි. ඔබේ සබය තුළ අගයක් සහ හොඳ ප්‍රතිචාරයක් ඇති බව දකින විට, ඔබ තුළත් උද්යෝගයක් ජනිත වන අතර ඉදිරිපත් කළ අදහස් තවත් විස්තර කිරීමට හෝ අවධාරණය සඳහා ඇතැම් කරුණු නැවතත් සඳහන් කිරීමට කාලය ගන්නට පෙලඹිය හැක. එසේ නම්, සබයේ උනන්දුව මදක් අඩු වී ඇති බව ඔබට පෙනෙන විට, ඔවුන්ගේ මනස් දිගටම එහෙ මෙහෙ දුවන්නට සලස්වමින් එකම ස්වරයෙන් කතා කරනවා වෙනුවට ඔවුන්ගේ අවධානය නැවත ලබාගැනීමට අවශ්‍ය පියවර ගැනීමට ඔබට පුළුවන.
මඟහැරිය යුතු උගුල්. හිටිවන ලෙස කතා ඉදිරිපත් කරද්දී ඇතැම් උගුල්වලට හසුවිය හැකි බව ඔබ දැන සිටිය යුතුය. එකක් නම්, නියමිත කාලය ඉක්මවා යෑමේ නැඹුරුවාවයි. කතාව දෙන අතරතුරේදී ඕනෑවට වැඩිය අමතර අදහස් ඇතුළත් කරනවා නම් නියමිත කාලයට නිම කිරීම ගැටලුවක් විය හැක. කතාවේ එක් එක් කොටසට නියම කර ඇති වේලාව ඔබේ දළ සටහනේ ඒ ඒ ස්ථානවල සලකුණු කරනවා නම් මෙම ගැටලුව මඟහරවා ගන්නට පුළුවන. ඉන්පසුව එසේ නියම කර ඇති කාල සීමාවන්ට සමගාමීව කතාව ඉදිරිපත් කළ යුතුය.
අද්දැකීම් ලත් කථිකයන් විශේෂයෙන්ම හසු වන උගුලක් වන්නේ පමණට වඩා ආත්ම-විශ්වාසයකින් යුතුව සිටීමය. ඔවුන් ප්‍රසිද්ධියේ නිතරම කතා දීමට පුරුදු වී සිටින නිසා ඉක්මනට අදහස් කිහිපයක් එකට ගොනු කර වේලාව පියවීම එතරම් අපහසු කාර්යයක් නොවන බව ඔවුන්ට පෙනී යා හැක. කෙසේවෙතත්, අප සහභාගි වන්නේ උදාර උපදේශකයාණන් වන යෙහෝවා දෙවිගේම අධ්‍යාපන වැඩසටහනකටයි. එම නිසා අප මේ කාරණය යටහත් පහත් හදවතකින් යුතුව අගය කරනවා නම්, සෑම පැවරුමකටම යාච්ඤා පූර්වකව හා ඊට නිසි අයුරින් සූදානම් වීමට එය අපව පෙලඹවිය යුතුයි.—යෙසා. 30:20; රෝම 12:6-8.
හිටිවන ලෙස කතා ඉදිරිපත් කිරීමේදී එතරම් අද්දැකීම් ලබා නැති කථිකයන් විශේෂයෙන් බිය වන්නේ තමන් කීමට අදහස් කරන දේ අමතක වේවිද යන කාරණය ගැනයි. කෙසේවෙතත්, හිටිවන ලෙස කතා ඉදිරිපත් කිරීම බලපෑමෙන් යුතුව කථිකයෙකු වීමට ඉදිරි පියවරක් ලෙස සැලකිය යුතුය. එමනිසා එම පියවර නොගැනීමට මෙම බිය හේතුවක් කර නොගන්න. හොඳින් සූදානම් වන්න. යෙහෝවාගේ ආත්මයේ උපකාරය සඳහා ඔහුගේ පිහිට පතන්න.—යොහ. 14:26.
වෙනත් කථිකයන් පසුබට වන්නේ ඔවුන් භාවිත කළ යුතු වචන සහ යෙදුම් ගැන අනවශ්‍ය ලෙස කලබල වන නිසාය. හිටිවන ලෙස ඉදිරිපත් කරන කතාවක් ලේඛනගත කතාවක් හා සසඳන කල, එයට නියම වචන සහ නිවැරදිම ව්‍යාකරණ නොතිබෙනවා විය හැක. එනමුත්, සිතට කාවදින සංවාදශීලී ශෛලියක් මගින් ඒ අඩුව මොනවට පිරිමැසේ. සාමාන්‍යයෙන් මිනිසුන් හොඳ ප්‍රතිචාරයක් දක්වන්නේ පහසුවෙන් තේරුම්ගත හැකි වචනවලින් ඉදිරිපත් කරන අදහස්වලටය. වාක්‍යවල සැකැස්මෙහි සංකීර්ණත්වයක් නොමැති විටය. එමනිසා ඔබ හොඳින් සූදානම් වෙනවා නම්, ඔබේ මුවින් සුදුසු යෙදුම් පිට වන්නේ ඔබ ඒවා කටපාඩම් කළ නිසා නොව නමුත් එම අදහස් හොඳින් පුනරීක්ෂණය කළ නිසාය. අනික් අතට, දෛනික සංවාදවලදී ඔබ හොඳ භාෂා ශෛලියක් භාවිත කරනවා නම් වේදිකාවේ සිට කතාවක් දෙන විට එවැන්නක් නිරායාසයෙන්ම ගලා එනු ඇත.
භාවිත කළ යුතු කෙටි සටහන්වල ස්වරූපය. කල් ගතවීමත් සමඟ යම් අද්දැකීම් ලැබුවායින් පසු ඔබේ දළ සටහන ඉතා කෙටි එකක් කළ හැකි වේ. සමහරවිට ඔබට අවශ්‍ය වන්නේ කතාවේ එක් එක් කාරණය විස්තර කිරීම සඳහා වචන ස්වල්පයක් පමණි. මෙම කාරණා සහ ඔබ භාවිත කිරීමට අදහස් කරන ශුද්ධ ලියවිලි පද ඔබේ පහසුව සඳහා කාඩ්පතක නැතහොත් කඩදාසි කැබැල්ලක සටහන් කරගත හැක. ක්ෂේත්‍ර සේවය සඳහා ඔබට ඉතා සරල වූ දළ සටහනක් කටපාඩම් කරගන්නට පුළුවන. නැවත බැලීමක් සඳහා එක්තරා විෂයක් සම්බන්ධයෙන් පර්යේෂණ කර ඇත්නම්, ඔබේ බයිබලය තුළ දැමිය හැකි කඩදාසි කැබැල්ලක කෙටි සටහන් කිහිපයක් තබාගත හැක. එසේ නැතහොත්, ඔබේ සාකච්ඡාවට පදනම වශයෙන්, “සාකච්ඡා කිරීම සඳහා බයිබල් විෂයන්” නමැති පොත් පිංචයෙන් දළ සටහනක් හෝ ශුද්ධ ලියවිලි ඇසුරෙන් තර්ක කිරීම නමැති පොතෙහි තිබෙන තොරතුරු කිහිපයක් යොදාගන්නට පුළුවන.
කෙසේවෙතත්, සමහරවිට සති කිහිපයක් ඇතුළත රැස්වීමේ කොටස් කිහිපයක් ඔබට පවරා ඇත්නම් හා ඒ අතර ප්‍රසිද්ධ කථා කිහිපයක් දීමට සිදු වේ නම්, ඔබේ සටහන්වල අමතර තොරතුරු ඇතුළත් කිරීම ප්‍රයෝජනවත් බව ඔබට පෙනී යා හැක. ඒ මන්ද? එම පැවරුම් ඉදිරිපත් කිරීමට පෙර එහි තොරතුරු යළිත් මතක් කරගැනීම සඳහාය. කෙසේවෙතත්, කතාව ඉදිරිපත් කරන අතරතුරේදී සෑම වාක්‍යයකම පාහේ භාවිත කරන වචන දැනගැනීමට ඔබේ සටහන් දෙස නිතරම බැලුවොත් හිටිවන අන්දමකින් කතාවක් ඉදිරිපත් කරද්දී නෙළාගත හැකි ප්‍රයෝජන ඔබට අහිමි වනු ඇත. ඔබේ සටහන් විස්තරවලින් ගහන ඒවා නම්, වැදගත් වචන හා යෙදුම් අතළොස්සක් සහ ශුද්ධ ලියවිලි පද පමණක් සලකුණු කරන්න. එලෙස සලකුණු කර ඇති කොටස් ඔබේ දළ සටහන මෙන් ක්‍රියා කරන නිසා පහසුවෙන්ම ඒවා දෙස බලා ඔබේ කතාව ආයාසයකින් තොරව ඉදිරිපත් කළ හැකි වේ.
අද්දැකීම් ලත් කථිකයෙකු කතාවක් ඉදිරිපත් කරද්දී ඔහු බොහෝදුරට හිටිවන විලාසයක් අනුගමනය කළද, කතාව දෙන අතරතුර වෙනත් ක්‍රම උපයෝගි කරගැනීමෙන්ද ප්‍රයෝජන නෙළාගත හැකි වේ. නිදසුනකට හැඳින්වීමෙහි සහ අවසානයෙහි හොඳ දෘෂ්ටි සම්බන්ධයක් තිබිය යුතු අතරම හොඳින් තෝරාගත්, ප්‍රබල වචන කිහිපයකින් යුත් වගන්ති ස්වල්පයක් යොදාගැනීම සුදුසුය. එමනිසා, කටපාඩම් කළ වාක්‍යයන් කිහිපයක් භාවිත කිරීමෙන් හොඳ ප්‍රතිඵල නෙළාගත හැක. ඔබ තොරතුරු, සංඛ්‍යා ලේඛන, උපුටා දැක්වීම් නැතහොත් ශුද්ධ ලියවිලි පද භාවිත කරන තැන්හි, ඒවා ලියවී ඇති ආකාරයටම කියවීම සුදුසුය. මෙය ඉතා ප්රබලව භාවිත කළ හැකි වේ.
අන් අය ඔබෙන් යම් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටින විටදී. ඇතැම්විට කල් තියා සූදානම් වීමට ප්‍රස්තාවක් නොමැතිව අපගේ විශ්වාසයන් පහදා දීමට අපගෙන් ඉල්ලා සිටිය හැකි අවස්ථාවන් උද්ගත විය හැක. ක්ෂේත්‍ර සේවයේදී අප හමු වන කෙනෙකු විරෝධය දක්වමින් යම් ප්‍රශ්නයක් ඉස්මතු කරන විට මෙවැන්නක් සිදු වන්නට පුළුවන. නෑදෑයන්ගෙන් හෝ රැකියා ස්ථානයෙහි හෝ පාසැලේදී මෙවැනිම තත්වයන් අපි අද්දකින්නෙමු. අපගේ විශ්වාසයන් සහ අප ගත කරන ජීවන රටාව සම්බන්ධයෙන් පැහැදිලි විස්තරයක් ආණ්ඩු බලධාරීන්ද අපේක්ෂා කරන්නට පුළුවන. මේ අනුව ශුද්ධ ලියවිල්ල අපගෙන් උදක්ම ඉල්ලා සිටින්නේ “නුඹලා තුළ ඇත්තාවූ බලාපොරොත්තුව ගැන නුඹලාගෙන් අසන සියල්ලන්ට උත්තර දෙන්ට නිතර සෑදී සිටින්න” කියාය. එනමුත් “මෘදුකමින්ද යටහත්කමින්ද එසේ කළ යුතුය.”—1 පේතෘ. 3:15.
පේතෘස් සහ යොහන් යුදෙව් මන්ත්‍රණ සභාවට පිළිතුරු දුන් අන්දම සැලකිල්ලට ගන්න. මෙය ක්‍රියා 4:19, 20හි වාර්තා කර ඇත. කෙටි වාක්‍ය දෙකකින් ඔවුහු තම ස්ථාවරය පැහැදිලිව සඳහන් කළෝය. ඔවුන් මෙය කළේ ඔවුන්ගේ සබයට යෝග්‍ය වන අන්දමකිනි. ප්‍රේරිතවරුන් වන ඔවුන්ට මුහුණ දීමට සිදු වූ ප්රශ්නය එම මන්ත්‍රණ සභාවේ සාමාජිකයන්ටද මුහුණ දීමට සිදු වූ බව ඔවුහු පෙන්වා දුන්නෝය. පසුව, ස්තේපන්ට එරෙහිව බොරු චෝදනා එල්ල කළ අවස්ථාවේදී, අධිකරණයක් ලෙස කටයුතු කළ එම මන්ත්‍රණ සභාව ඉදිරියට ඔහුව ගෙනෙන ලදි. ක්‍රියා 7:2-53හි ස්තේපන් පෙර සූදානමක් නොමැතිව දුන් ඉතා බලගතු පිළිතුර කියවන්න. ඔහු ඉදිරිපත් කළ තොරතුරු පෙළගස්වන ලද්දේ කෙසේද? ඔහු එම සිදුවීම් ඓතිහාසිකව සිදු වූ අනුපිළිවෙළට අනුව ඉදිරිපත් කළේය. උචිත එක් අවස්ථාවකදී, ඉශ්රායෙල් ජාතිය විසින් විදහාපෙන්වනු ලැබූ කැරලිකාර ස්වභාවය අවධාරණය කිරීමට ඔහු පටන්ගත්තේය. අවසාන වශයෙන්, ඔහු පෙන්නුම් කළේ දෙවිගේ පුත්‍රයා ඝාතනය කිරීමට කටයුතු යෙදීමෙන් එම යුදෙව් මන්ත්‍රණ සභාව ඒ හා සමානම කැරලිකාර ස්වභාවයක් විදහාපෙන්වූ අන්දමයි.
ඔබේ විශ්වාසයන් පෙර සූදානමක් නොමැතිව පැහැදිලි කිරීමට ඔබෙන් ඉල්ලා සිටින විට බලපෑමෙන් යුක්තව අදහස් දැක්වීමට ඔබට උපකාර කිරීමට කුමකට හැකිද? මේ සම්බන්ධයෙන් නෙහෙමියාව අනුකරණය කරන්න. ඔහු කළේ අර්තක්ෂස්තා රජු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙන්නට පෙර නිහඬ යාච්ඤාවක් ඉදිරිපත් කිරීමයි. (නෙහෙ. 2:4) ඊළඟට විගස ඔබේ මනසින් ‘දළ සටහනක්’ පිළියෙළ කරන්න. ගත හැකි මූලික පියවර මෙලෙස දැක්විය හැක: (1) පැහැදිලි කිරීමට ඇතුළත් කළ යුතු කරුණක් හෝ දෙකක් තෝරාගන්න (කැමති නම් “සාකච්ඡා කිරීමට බයිබල් විෂයන්” යන පොත් පිංචයෙහි කරුණු භාවිත කිරීමට පුළුවන). (2) මෙම කරුණුවලට රුකුල් දීම සඳහා භාවිත කරන්නේ මොන ශුද්ධ ලියවිලි පදද කියා තීරණය කරන්න. (3) ප්රශ්නය විචාරණ තැනැත්තා තුළ කැමැත්තක් ඇති කළ හැකි පරිද්දෙන් ඔබ ඉදිරිපත් කරන පැහැදිලි කිරීම උපායශීලීව ඇරඹිය හැක්කේ කෙසේදැයි සැලසුම් කරන්න. ඊළඟට ඔබේ කතාව අරඹන්න.
ඔබ යම් පීඩනයක් යටතේ සිටින විට, කළ යුත්තේ කුමක්දැයි ඔබට මතක් වේවිද? “නුඹලා කතා කරන්නේ කෙසේද, කුමක්දැයි සිතා කනගාටු නොවන්න. මක්නිසාද නුඹලා විසින් කිය යුතු දේ ඒ පැයේදී නුඹලාට දෙනු ලබන්නේය. මක්නිසාද කතා කරන්නේ නුඹලා නොව නුඹලා තුළ කතා කරන නුඹලාගේ පියාණන්ගේ ආත්මයය” කියා යේසුස් තම අනුගාමිකයන්ට පැවසූ බව මතක තබාගන්න. (මතෙ. 10:19, 20) මින් අදහස් කරන්නේ මුල් සියවසේ ක්‍රිස්තියානීන්ට දෙන ලද ආශ්චර්යවත් “ප්‍රඥාවේ වචන” ඔබට ලැබෙන බව නොවේ. (1 කොරි. 12:8) එනමුත් යෙහෝවා තම සේවකයන් සඳහා ක්‍රිස්තියානි සභාවෙහි සපයා දෙන අධ්‍යාපනයෙන් ඔබ නිතිපතා පෝෂණයක් ලබනවා නම්, අවශ්‍ය වූ විටෙක ඕනෑ කරන තොරතුරු ඔබේ මනසට යළි නඟන්නට ශුද්ධාත්මය ක්‍රියාත්මක වනු නියතය.—යෙසා. 50:4.
හිටිවන ලෙස කතා ඉදිරිපත් කිරීම ඉතා බලපෑමෙන් යුක්ත ක්‍රමයක් බව කිසිදු සැකයකින් තොරව පවසන්නට පුළුවන. සභාවෙහි පැවරුම් ලද විට ඔබ නිතරම එම ක්‍රමය අනුගමනය කරනවා නම්, අවශ්‍ය වූ විටෙක පෙර සූදානමක් නොමැතිව යමෙකුට පිළිතුරු දීම එතරම් අසීරු කාර්යයක් නොවනු ඇත. මන්ද තොරතුරු පෙළගැස්වීම සම්බන්ධයෙන් ඒ හා සමාන ක්‍රියා පිළිවෙතක් අනුගමනය කළ යුතු බැවිනි. පසුබට නොවන්න. හිටිවන ලෙස කතා කිරීමට ඉගෙනීම ඔබේ ක්ෂේත්‍ර සේවය වඩාත් ඵලදායී එකක් බවට පත් කිරීමට උපකාරවත් වේ. සභාවෙහි කතා දීමේ වරප්‍රසාදය ඔබ සතු නම් එසේ කිරීමෙන් සබයේ අවධානය බැඳ තබාගැනීමටත්, ඔවුන්ගේ හදවත්වලටම කතා කරන්නටත් ඔබට හැකි වෙනවා නොඅනුමානය.