30වන පරිච්ඡේදය
“දිගටම ප්‍රේමයෙන් ගමන් කරන්න”
1-3. ප්‍රේමය පෙන්වීම පිළිබඳ යෙහෝවාගේ ආදර්ශය අප විසින් අනුකරණය කරත්ම ඉන් ඇති වන ප්‍රතිඵල මොනවාද?
“ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබේ.” (ක්‍රියා 20:35, NW) යේසුස් විසින් පවසන ලද එම වචන, ඉතා වැදගත් සත්‍යතාවක් ඉස්මතු කරනවා. එය තමයි, පරාර්ථකාමී ප්‍රේමය පෙන්වීම විපාකදායී ක්‍රියාමාර්ගයක් වන බව. ප්‍රේමය ලැබීමෙන් බොහෝ සන්තෝෂයක් ලැබුණද, වෙනත් අයට ප්‍රේමය දීමෙන් හෙවත් පෙන්වීමෙන්, ඊටත් වඩා වැඩි සන්තෝෂයක් නෙළාගත හැකියි.
2 අපගේ ස්වර්ගික පියාණන්ට මෙම කාරණය අවබෝධ වී ඇති තරමට වෙන කිසිවෙකුට එය හොඳින් අවබෝධ වී නැහැ. මෙම කොටසේ මීට කලින් පරිච්ඡේදවල අප දුටුවාක් මෙන්, ප්‍රේමයෙහි පරමාදර්ශය යෙහෝවායි. ඔහු තරම් වෙන කිසිවෙකු මේ තරම් ශ්‍රේෂ්ඨ ආකාරවලින් හෝ මෙතරම් කාලයක් පුරා ප්‍රේමය පෙන්වා නැහැ. එසේ නම්, යෙහෝවා “සන්තෝෂවත් දෙවි” කියා හඳුන්වා තිබීම පුදුමයක්ද?—1 තිමෝති 1:11, NW.
3 අපගේ ප්‍රේමනීය දෙවිට වුවමනා වන්නේ අප ඔහු මෙන් වීමට උත්සාහ කරනවා දැකීමටයි. විශේෂයෙන්ම ප්‍රේමය පෙන්වීමේදී ඔහු මෙන් වෙනවා දැකීමටයි. එපීස 5:1, 2හි [NW] අපට කියන්නේ මෙයයි. “ප්‍රේමනීය දරුවන් මෙන් දෙවි අනුකරණය කරන්නන් වන්න. . . . දිගටම ප්‍රේමයෙන් ගමන් කරන්න.” ප්‍රේමය පෙන්වීම පිළිබඳ යෙහෝවාගේ ආදර්ශය අප විසින් අනුකරණය කරත්ම, දීමෙන් ලැබිය හැකි උතුම් සන්තෝෂය අපි අද්දකින්නෙමු. ඒ වගේම, අප යෙහෝවාව සතුටු කරනවා යන දැනුමෙන් ලැබෙන සෑහීමද අද්දකින්නෙමු. මන්ද ඔහුගේ වචනය අපගෙන් උදක්ම ඉල්ලා සිටින්නේ, ‘එකිනෙකාට ප්‍රේම කරන්න’ යනුවෙනුයි. (රෝම 13:8) එහෙත් අප විසින් ‘දිගටම ප්‍රේමයෙන් ගමන් කළ’ යුතු තවත් හේතු තිබෙනවා.
ප්‍රේමය අත්‍යවශ්‍ය වීමට හේතුව
4, 5. අප අපගේ සෙසු ඇදහිලිවන්තයන්හට ආත්ම පරිත්‍යාගි ප්‍රේමය පෙන්වීම වැදගත් වන්නේ ඇයි?
4 අප අපගේ සෙසු ඇදහිලිවන්තයන්ට ප්‍රේමය පෙන්වීම මෙතරම්ම වැදගත් වන්නේ ඇයි? සරලව කිවහොත්, ප්‍රේමය යනු සැබෑ ක්‍රිස්තියානි ධර්මයේ මූලික හරයයි. ප්‍රේමය නැතුව අපට සෙසු ඇදහිලිවන්තයන් සමඟ කිට්ටු බන්ධනයක් තබාගන්නට බැහැ. ඊටත් වඩා වැදගත් දේ නම්, අපට ප්‍රේමය නැත්නම් අපි යෙහෝවාගේ ඇස් හමුවේ කිසිත් නැති මිනිසුන් බවට පත්වීමයි. මෙම සත්‍යතාවන් දෙවිගේ වචනයේ හුවා දක්වා ඇති අන්දම සලකා බලන්න.
5 යේසුස් තම භූමික ජීවිතයේ අවසාන රාත්රියේදී සිය අනුගාමිකයන් හට මෙසේ කීවා. “මම ඔබට අලුත් ආඥාවක් දෙමි. එකිනෙකාට ප්‍රේම කරන්න. මා ඔබට ප්‍රේම කළාක් මෙන්ම ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. ඔබ අතරේ ප්‍රේමය ඇත්නම්, ඔබ මාගේ ගෝලයන් බව සියල්ලන් දැනගන්නවා ඇත.” (යොහන් 13:34, 35, NW) “මා ඔබට ප්‍රේම කළාක් මෙන්ම” කියා පැවසීමෙන්, යේසුස් විදහා පෑ ආකාරයේම ප්‍රේමයක් පෙන්වීමටයි අපට ආඥා කර තිබෙන්නේ. විසිනවවන පරිච්ඡේදය තුළ අපි දුටුවා ආත්ම පරිත්‍යාගී ප්‍රේමය පෙන්වූ උත්කෘෂ්ට ආදර්ශයක් ගැන. එය නම් තමාගේ අවශ්‍යතාවන් සහ ඕනෑ එපාකම්වලට වඩා වෙනත් අයගේ අවශ්‍යතාවන් සහ ඕනෑ එපාකම් ඉදිරියෙන් තැබූ යේසුස්ගේ අග්‍රගණ්‍ය ආදර්ශයයි. අපත් ඒ හා සමානව පරාර්ථකාමී ප්‍රේමයක් පෙන්විය යුතුයි. ඔව්, එය කොතරම් පැහැදිලිව පෙන්විය යුතුද කියනවා නම් ක්‍රිස්තියානි සභාවෙන් පිටත සිටින අයට පවා එය පැහැදිලි ලෙස පෙනී යා යුතුයි. ඇත්ත වශයෙන්ම, අප ක්‍රිස්තුස්ගේ සැබෑ අනුගාමිකයන් බව හඳුනාගත හැකි ප්‍රධාන ලකුණ තමයි ආත්ම පරිත්‍යාගී සහෝදර ප්‍රේමය.
6, 7. (අ) යෙහෝවාගේ වචනය තුළ ප්‍රේමය පෙන්වීමේ වැදගත්කම ඉතා උසස් ලෙසින් අවධාරණය කර ඇති බව අප දන්නේ කොහොමද? (ආ) පළමුවෙනි කොරින්ති 13:4-8හි වාර්තා කර ඇති පාවුල්ගේ වචනවල අවධාරණය කරන්නේ ප්‍රේමයේ කිනම් පැත්ත ගැනද?
6 අප තුළ ප්‍රේමය ඌනව තිබේ නම් තත්වය කුමක්ද? “මට ප්‍රේමය නැත්නම්” කියා පැවසූ ප්‍රේරිත පාවුල්, “මම . . . හඬ නඟන පිත්තලට නොහොත් ශබ්ද පවත්වන අත්තලකට [අත්තාලමකට] සමාන වී සිටිමි” යයි කියා සිටියා. (1 කොරින්ති 13:1) හඬ නඟන අත්තාලමකින් නිපදවන්නේ දැඩි හඬක්. ශබ්දය පිට වන පිත්තල කෑල්ලක් ගැන කුමක් කිව හැකිද? වෙනත් පරිවර්තනවල පවසන්නේ “ඝෝෂාකාරි හඬ නඟන ලෝහ තලියක්” හෙවත් “දෝංකාර දෙන ලෝහ තලියක්” කියායි. මොනතරම් උචිත උපහැරණයන්ද! ප්‍රේමය නැති පුද්ගලයෙක් හරියට මහා ගොරහැඩි හඬක් නඟන සංගීත භාණ්ඩයක් වගේ. එවැන්නකින් කෙනෙකුව ඒ වෙතට ඇදගන්නවා වෙනුවට තවත් දුරස් කරනවා. එවන් පුද්ගලයෙකුට වෙනත් අය සමඟ කිට්ටු සම්බන්ධයක් භුක්ති විඳිය හැක්කේ කොහොමද? පාවුල් මෙසේද කීවා. “කඳු පහ කරන තරම් සියලු ඇදහිල්ල ඇතුව සිටිම් නුමුත්, මට ප්‍රේමය නැත්නම් මම හිස් වෙමි.” (1 කොරින්ති 13:2) කෙනෙක් මොනතරම් දේවල් කළත්, ඔහුට ප්‍රේමය නැත්නම්, ඔහු “කිසි කමකට නැති නිෂ්ඵල මිනිසෙක්” කියා ඔහුව හැඳින්වීම ගැන මොහොතකට කල්පනා කර බලන්න. (The Amplified Bible) මෙසේ, ප්‍රේමය පෙන්වීමේ වැදගත්කම යෙහෝවාගේ වචනයෙහි ඉතා උසස් ලෙසින් අවධාරණය කර තිබෙනවා. එසේ නොවේද?
7 එහෙත්, අනුන් සමඟ කටයුතු කරද්දී අපට මෙම ගුණාංගය විදහා පෑ හැක්කේ කොහොමද? මේ ප්‍රශ්නයට පිළිතුරු දීමට, 1 කොරින්ති 13:4-8හි සඳහන් පාවුල්ගේ වචන අපි සෝදිසි කර බලමු. මෙම පදවල අවධාරණය කර තිබෙන්නේ අප උදෙසා දෙවිගේ ප්‍රේමය ගැනවත් දෙවි උදෙසා අපගේ ප්‍රේමය ගැනවත් නොවේ. ඒ වෙනුවට, පාවුල් මෙහිදී අවධානය යොමු කළේ අප එකිනෙකාට ප්‍රේම කළ යුතු ආකාරය වෙතයි. ප්‍රේමයට ඇතුළත් වන සමහරක් දේවල් සහ ඇතුළත් නොවන සමහරක් දේවල් ගැන ඔහු මෙහිදී විස්තර කළා.
ප්‍රේමය යනු
8. අප බොහෝ ඉවසිලිවන්ත වීම, අප අනුන් සමඟ කටයුතු කරන විට උපකාරවත් වන්නේ කෙසේද?
8 “ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තය.” බොහෝ ඉවසිලිවන්ත වීම යනු වෙනත් අයගේ දුර්වලකම්, වැරදි ආදිය ඉවසිලිවන්තව දරාගෙන සිටීමයි. (කොලොස්සි 3:13) අපට එවැනි ඉවසීමක් අවශ්‍ය නොවන්නේද? අප උරෙන් උර ගැටී සේවය කරන අසම්පූර්ණ මැවිලි නිසා, කලින් කලට අපගේ ක්‍රිස්තියානි සහෝදරයන් අපව රිදවිය හැකි බවත් අපත් ඔවුන්ව රිදවිය හැකි බවත් අපේක්ෂා කිරීමට සිදුවීම යථාර්ථයක්. නමුත් අපට ඉවසීම හා දරාගැනීම තිබෙනවා නම්, අප අනුන් සමඟ කටයුතු කරන විට ඉඳහිට අප අතර ඇති වන සුළු සුළු හිත් රිදවීම් හා පුංචි පුංචි අමනාපකම් විසඳාගත හැකියි. අප ඒවා විසඳාගන්නේ සභාවේ සාමයට බාධාවක් නොවන ලෙසිනුයි.
9. අපට අනුන්හට කරුණාව දැක්විය හැකි ක්‍රම මොනවාද?
9 ‘ප්‍රේමය කරුණාවන්තය [NW].’ කරුණාවන්තකම පෙන්වනු ලබන්නේ උපකාරවත් ක්‍රියා සහ සැලකිලිමත් වචන තුළිනුයි. අපට ප්‍රේමය තිබෙනවා නම් කරුණාවන්තකම පෙන්වීමට, විශේෂයෙන්ම අවශ්‍යතාවලින් පෙළෙන අය කෙරෙහි කරුණාව පෙන්වීමට හැකි ක්‍රම ගැන සොයා බැලීමට එය අපව පොලඹවාවි. නිදසුනක් වශයෙන්, වයසක සහෝදරයෙක් හෝ සහෝදරියක් තනිව සිටිනවා වෙන්නට පුළුවනි. ඔහු හෝ ඇයව බැහැදැක දිරිගැන්වීමක් දීමට අපට හැකියි. ආගමික වශයෙන් බෙදුණු නිවසක ජීවත් වන තනි මවක් හෝ සහෝදරියකට යම් උපකාරයක් අවශ්‍ය වන්නට පිළිවන්. අසනීපයෙන් සිටින කෙනෙක් හෝ යම් විපත්තියකට මුහුණ දී සිටින කෙනෙකුට පක්ෂපාත මිත්රයෙකුගෙන් යම් කාරුණික වචන කිහිපයක් අවශ්‍ය වනවා විය හැකියි. (හිතෝපදේශ 12:25; 17:17) අප එවන් ආකාරවලින් කරුණාව පෙන්වීමට මූලික පියවර ගන්නේ නම්, අපගේ ප්‍රේමයේ අව්යාජභාවයයි අපි පැහැදිලිව පෙන්වන්නේ.—2 කොරින්ති 8:8.
10. සත්‍යයට පක්ෂව සිටීමත් සත්‍යය කතා කිරීමත් පහසු දෙයක් නොවුණත් එසේ කිරීමට ප්‍රේමය අපට උපකාරවත් වන්නේ කොහොමද?
10 “ප්‍රේමය . . . සැබෑව සමඟ ප්‍රීති වන්නේය.” වෙනත් පරිවර්තනයක මෙසේ කියනවා. “ප්‍රේමය . . . ප්‍රීතියෙන් සත්‍යයේ පැත්ත ගන්නේය.” ප්‍රේමය අපව සත්‍යයට පක්ෂව සිටීමටත් ‘එකිනෙකා සමඟ සැබෑව කතා කිරීමටත්’ පොලඹවනවා. (සෙකරියා 8:16) නිදසුනක් වශයෙන්, අප ප්‍රේම කරන කෙනෙක් බරපතළ පාපයකට සම්බන්ධ වී ඇත්නම්, යෙහෝවා කෙරෙහි ඇති ප්‍රේමය නිසාත්, වරද කළ තැනැත්තා කෙරෙහි ඇති ප්‍රේමය නිසාත් අප දෙවිගේ ප්‍රමිතිවලට ඇලී සිටීමට උත්සුක වෙමු. එසේ නැතුව, වැරැද්ද සැඟවීමටවත්, සාධාරණීකරණය කිරීමටවත්, ඒ ගැන බොරු කීමටවත් අප උත්සාහ කරන්නේ නැහැ. ඇති වී තිබෙන තත්වයේ යථාර්ථය මුහුණ දෙන්නට අමාරු, කටුක එකක් වන්නට පුළුවනි. නමුත් අපගේ ප්රේමනීයයන්ගේ උපරිම යහපත ගැන අපි කල්පනා කරනවා නම්, වරද කළ තැනැත්තා දෙවිගේ ප්‍රේමනීය හික්මවීම පිළිගන්නවා දැකීමටත් එයට ප්‍රතිචාර දක්වනවා දැකීමටත් අපට වුවමනා වේවි. (හිතෝපදේශ 3:11, 12) ප්‍රේමනීය ක්‍රිස්තියානීන් වශයෙන්, අපත් “සියලු දේවලදී අවංකව හැසිරීමට” කැමති වෙමු.—හෙබ්‍රෙව් 13:18, NW.
11. ප්‍රේමය ‘සියල්ල දරාගන්නා’ නිසා, සෙසු ඇදහිලිවන්තයන්ගේ අඩුලුහුඬුකම් සම්බන්ධව අප කුමක් කිරීමට වෑයම් කළ යුතුද?
11 “ප්‍රේමය . . . සියල්ල දරාගන්නේය.” එම ප්‍රකාශයේ පදගතාර්ථය නම්, “එය සියල්ල වසා දමයි” යන්නයි. (කිංඩම් ඉන්ටර්ලීනියර්) පළමුවන පේතෘස් 4:8හි සඳහන් කරන්නේ මෙයයි. ‘ප්‍රේමය පව් රාශියක් වසන්නේය.’ ඔව්, ප්‍රේමයෙන් පාලනය වන ක්‍රිස්තියානියෙක් තමාගේ ක්‍රිස්තියානි සහෝදරයන්ගේ අසම්පූර්ණකම් හා අඩුලුහුඬුකම් සියල්ලක්ම එළියට ඇද දමා හෙළි කිරීමට උත්සුක වන්නේ නැහැ. බොහෝ අවස්ථාවලදී, සෙසු ඇදහිලිවන්තයන්ගේ අත්වැරදි හා දෝෂ ස්වභාවයෙන් ඉතා කුඩා වන අතර, ප්‍රේමය නමැති ආවරණයෙන් ඒවා වසා දමන්නට හැකියි.—හිතෝපදේශ 10:12; 17:9.
12. පිලෙමොන්ගේ හොඳ පැත්ත ගැන තමා විශ්වාස කළ බව ප්‍රේරිත පාවුල් පෙන්නුම් කළේ කොහොමද? තවද අපට පාවුල්ගේ ආදර්ශයෙන් ඉගෙනගත හැක්කේ කුමක්ද?
12 “ප්‍රේමය . . . සියල්ල විශ්වාස කරන්නේය.” ප්‍රේමය “නිතරම හොඳ පැත්ත විශ්වාස කිරීමට උත්සුක වන” බවයි, මොෆට්ගේ පරිවර්තනය කියන්නේ. අප සෙසු ඇදහිලිවන්තයන් කෙරෙහි අනවශ්‍ය සැකයක් තබාගන්නේ නැහැ. ඔවුන් කරන සෑම දෙයක්ම පිටුපස ඇති ඔවුන්ගේ චේතනා ගැන ප්‍රශ්න කරන්නේ නැහැ. අපට ප්‍රේමය තිබෙනවා නම්, අපගේ සහෝදරයන්ගේ ‘හොඳ පැත්ත විශ්වාස කිරීමටත්’ ඔවුන් තුළ දැඩි විශ්වාසය තැබීමටත් අපි පෙලඹෙනවා.a පාවුල් විසින් පිලෙමොන්ට යවන ලද ලිපියේ ඇති උදාහරණය ගැන සලකා බලන්න. පිලෙමොන් වෙතින් පලා ගිය දාසයෙකු වූ, ක්‍රිස්තියානියෙකු බවට පත් වී සිටි ඔනේසිමස්ගේ නැවත හැරී ඒම කාරුණිකව පිළිගන්නා ලෙසට පිලෙමොන්ව දිරිගන්වමිනුයි පාවුල් එම ලිපිය ලිව්වේ. පිලෙමොන්ට බලෙන් යමක් කරන්නට කියනවා වෙනුවට පාවුල් ඔහුගෙන් මෙම ඉල්ලීම කළේ ප්‍රේමය පදනම් කරගෙනයි. පිලෙමොන් හරි දෙය කරනු ඇති බවට ඔහු තම නිසැකකම ප්‍රකාශ කළේ මෙසේ කියමිනුයි. “මා නුඹට ලියා එවන්නේ මා කියනවාටත් වඩා නුඹ කරන බව මා දැන, නුඹේ කීකරුකම විශ්වාස කරගෙනය.” (21 පදය) ප්‍රේමය නිසා අප අපගේ සහෝදරයන් කෙරෙහි එවන් විශ්වාසයක් පළ කළහොත්, අප ඔවුන්ගේ හොඳ පැති එළි දැක්වීමට සලස්වනු ඇති.
13. අපගේ සහෝදරයන් වෙනුවෙන් උපරිම යහපත අප බලාපොරොත්තු වන බව අපට පෙන්විය හැක්කේ කොහොමද?
13 “ප්‍රේමය . . . සියල්ල බලාපොරොත්තු වන්නේය.” ප්‍රේමය අන් අය විශ්වාස කිරීමට නැඹුරු වන්නාක් මෙන්ම, එය අන් අය ගැන බලාපොරොත්තු සහිතව සිටියි. ප්‍රේමයෙන් පෙලඹෙන අපේ බලාපොරොත්තුව වන්නේ සහෝදරයන්ට උපරිම යහපතක් සිදු වෙනවා දැකීමයි. නිදසුනක් වශයෙන්, සහෝදරයෙක් ‘නොදැනුවත්ව යම් වැරදි පියවරක් ගන්නේ නම්,’ ඔහුව යළි සකස් කිරීමට දරන ප්‍රේමනීය උත්සාහයට ඔහු ප්‍රතිචාර දක්වාවිය යන බලාපොරොත්තුව ඇතුව අපි සිටින්නෙමු. (ගලාති 6:1, NW) ඇදහිල්ලේ දුර්වල අය නැවත සුවය ලබාවි යන බලාපොරොත්තුව ඇතුවද අප සිටිනවා. අප එවන් අය සමඟ කටයුතු කරන්නේ ඉතා ඉවසිලිවන්තවයි. එමෙන්ම ඇදහිල්ලේ ශක්තිමත් වීම සඳහා උපකාර කිරීමට අපට කළ හැකි දෙය කරමිනුයි. (රෝම 15:1; 1 තෙසලෝනික 5:14) ප්රේමනීයයෙක් අයාලේ යන්නට පටන්ගත්තොත්, නාස්තිකාර පුත්‍රයා පිළිබඳ යේසුස්ගේ උපමාවේ මෙන් මෙම තැනැත්තාත් කවදා හෝ පියවි සිහියට පැමිණ යෙහෝවා වෙතට යළිත් හැරී ඒවිය යන බලාපොරොත්තුව අප කිසිදා අත්හරින්නේ නැහැ.—ලූක් 15:17, 18.
14. අපගේ විඳදරාගැනීම සභාව තුළම කිනම් ආකාරවලින් පරීක්ෂාවට ලක් විය හැකිද? මෙයට නිසි අයුරින් ප්‍රතිචාර දැක්වීමට අපගේ ප්‍රේමය කෙසේ ඉවහල් වේද?
14 “ප්‍රේමය . . . සියල්ල ඉවසන්නේය.” බලාපොරොත්තු කඩ වන විට හෝ දුෂ්කරතා හමුවේ නොසැලී ස්ථිරව සිටීමට අපට ඉවහල් වන්නේ විඳදරාගැනීමයි. සභාවට පිටතින් පමණක් නොවෙයි විඳදරාගැනීමේ පරීක්ෂාවන් පැමිණෙන්නේ. ඇතැම් අවස්ථාවලදී, පරීක්ෂණ පැමිණෙන්නේ සභාව තුළින්මයි. අසම්පූර්ණකම නිසා, අපගේ සහෝදරයන් ඇතැම් අවස්ථාවලදී අපගේ අපේක්ෂාවන් කඩ කරනවා වෙන්නට පුළුවන්. කිසි හිතා බැලීමකින් තොරව කියන දෙයක් නිසා අපේ සිත් රිදෙන්නට පුළුවන්. (හිතෝපදේශ 12:18) සමහරවිට අප සිතන විදිහටම සභාවේ යම් කාරණයක් හැසිරවෙන්නේ නැති වෙන්න පුළුවන්. ගෞරවයට පාත්‍ර වූ සහෝදරයෙකුගේ යම් ආකාරයක හැසිරීමක් නිසා අප කලබලයට පත් වී, ‘ක්‍රිස්තියානියෙකුට එහෙම හැසිරෙන්නට ඇත්තටම පුළුවන්ද?’ කියා අපි කල්පනා කරනවා වෙන්නට පුළුවන්. එවන් තත්වයන්ට අපි මුහුණ දෙන විට, අප සභාවෙන් ඉවත් වී යෙහෝවාට සේවය කිරීම නවත්වනවාද? අපට ප්‍රේමය තිබෙනවා නම් අපි එසේ කරන්නේ නැහැ! ඔව්, අපට ප්‍රේමය තිබෙනවා නම්, යම් සහෝදරයෙකුගේ දෝෂයක් නිසා එම සහෝදරයා තුළ තිබෙන යහපත් පැති හෝ සමස්තයක් වශයෙන් මුළු සභාවේ සියලුදෙනාගේම යහපත් පැති නොදකින තරමට අපි අන්ධ වන්නේ නැහැ. ඔව්, අපට ප්‍රේමය තිබෙනවා නම් අපිට එහෙම වෙන්නේ නැහැ. වෙනත් අසම්පූර්ණ මිනිසුන් කුමක් කිව්වත් කුමක් කළත් දෙවිට පක්ෂපාතව සිටිමින් සභාවට සහයෝගය දැක්වීමට ප්‍රේමය අපට ඉවහල් වේවි.—ගීතාවලිය 119:165.
ප්‍රේමයට ඇතුළත් නොවන දෙය
15. ඊර්ෂ්‍යාව යනු කුමක්ද? තවද මෙම විනාශකාරි චිත්තවේගී හැඟීමෙන් වැළකීමට ප්‍රේමය අපට ඉවහල් වනුයේ කෙසේද?
15 “ප්‍රේමය ඊර්ෂ්‍යා වෙන්නේ නැත.” ඊර්ෂ්‍යාව නිසා වෙනත් අයට තිබෙන දේවල් ගැන, එනම් ඔවුන්ගේ දේපළ, ඔවුන්ට ලැබී තිබෙන ආශීර්වාද හෙවත් වරප්‍රසාද හෝ හැකියාවන් ගැන කේන්තියක් හෝ නුරුස්සන ගතියක් අප තුළ ඇති වන්නට පුළුවනි. එවන් ඊර්ෂ්‍යාවක් ආත්මාර්ථකාමී, විනාශකාරි චිත්තවේගී හැඟීමක් ලෙස හඳුන්වන්ට පිළිවන්. එය පාලනය කර නොගත්තොත්, එය සභාවේ සාමයට තර්ජනයක් විය හැකියි. ‘කුඩුකේඩුකමේ නැඹුරුවාවට’ එරෙහි වීමට අපට කුමක් උදව් වේවිද? (යාකොබ් 4:5, NW) සරල වචනයකින් කිව්වොත්, එය තමයි, ප්‍රේමය. අපට මෙම වටිනා ගුණාංගය තිබෙනවා නම්, අපට නැති යම් යම් වරප්‍රසාද හෝ යම් තත්වයන් තිබෙන බවක් පෙනෙන්ට ඇති අය ගැන අපි ප්‍රීති වෙනවා ඇති. (රෝම 12:15) අපට ප්‍රේමය තිබෙනවා නම්, යමෙකු සතු විශේෂ හැකියාවක් හෝ යමෙකු ලැබූ යම් කැපීපෙනෙන ජයග්‍රහණයක් නිසා ඔහු හෝ ඇය යම් ආකාරයක ප්‍රශංසාවක් ලබන විට එය අපට කරන සරදමක්ය යන හුඹස් අදහසින් අප ලත වන්නේ නැහැ.
16. අප අපගේ සහෝදරයන්හට සැබවින්ම ප්‍රේම කරනවා නම්, අප යෙහෝවාගේ සේවය තුළ කරමින් සිටින දෙය ගැන පුරසාරම් දෙඩීමෙන් වැළකිය යුත්තේ ඇයි?
16 “ප්‍රේමය පාරට්ටු කරගන්නේ නැත, උඩඟු වෙන්නේ නැත [හිස උදුම්මාගන්නේ නැත, NW].” අපට ප්‍රේමය තිබෙනවා නම්, අපගේ දක්ෂතා හෝ ජයග්රහණයන් ගැන අපි ප්‍රසිද්ධියේ පුරාජේරු කියන්නේ නැහැ. අප අපගේ සහෝදරයන්ට සැබවින්ම ප්‍රේම කරනවා නම්, අපගේ දේවසේවයේදී අත් කරගන්නා සාර්ථක ප්‍රතිඵල ගැන හෝ සභාව තුළ අපගේ වරප්‍රසාද ගැන නිතරම පුරසාරම් දොඩන්නේ කොහොමද? යමෙක් පුරසාරම් දොඩන විට, එය අසාගෙන සිටින අය තමන්ව ඔහුත් සමඟ සසඳමින් තමන් වඩාත් පහත් පුද්ගලයන්යයි සිතන්නට පුළුවනි. එමනිසා පුරසාරම් දෙඩීමෙන් සිදු වන්නේ අනුන්ව අධෛර්යයට පත් කිරීමයි. අපට ප්‍රේමය තිබෙනවා නම්, අපට දේවසේවය තුළ කිරීමට දෙවි විසින් ඉඩහැර තිබෙන දේ ගැන අපි පුරසාරම් දොඩන්නේ නැහැ. (1 කොරින්ති 3:5-9) ඒ සියල්ලටම වඩා, ප්‍රේමය ‘හිස උදුම්මාගන්නේ නැහැ.’ නොඑසේනම්, ද නිව් ටෙස්ටමන්ට් ඉන් මොඩර්න් ඉංග්ලිෂ් පවසන්නාක් මෙන්, එය “තමාගේම වැදගත්කම ගැන පුහු මාන්නයෙන් පිරි අදහස් දරන්නේ” නැහැ. අපට ප්‍රේමය තිබෙනවා නම්, අප අප ගැනම මහා ලොකුවට සිතන්නේ නැහැ.—රෝම 12:3.
17. ප්‍රේමය අපව පොලඹවන්නේ අනුන් වෙනුවෙන් කෙබඳු සැලකිල්ලක් පෙන්වීමටද? එසේ නම් අප වළකිනු ඇත්තේ කිනම් ආකාරයක හැසිරීමකින්ද?
17 “ප්‍රේමය . . . අශෝභන ලෙස හැසිරෙන්නේ නැත.” අශෝභන ලෙස හැසිරෙන පුද්ගලයෙක් ක්‍රියා කරන්නේ ඉතා නොහොබිනා හෝ සිත් රිදවන, අමනාප කරවන හෝ අශික්ෂිත ආකාරයකටයි. එලෙස හැසිරීම ප්‍රේමයේ ලක්ෂණයක් නම් නොවෙයි. මන්ද වෙනත් අයගේ හැඟීම් ගැනත් ඔවුන්ගේ යහපත ගැනත් ඉතා පහත් අගෞරවයක් ඒ තුළ දකින්ට තිබෙයි. ඊට පටහැනිව, ප්‍රේමය තුළ ඇති අනුග්රහශීලී ස්වභාවය සහ ශිෂ්ටසම්පන්න බව හේතුවෙන් අනුන් කෙරෙහි සැලකිල්ල දැක්වීමට එය අපව පොලඹවයි. ප්‍රේමය හොඳ ආචාරශීලී ගති, දේවභක්තික හැසිරීම හා අපගේ සෙසු ඇදහිලිවන්තයන්හට ගෞරවය පෙන්වීමට රුකුලක් වෙයි. මෙසේ, අපට ප්‍රේමය තිබෙනවා නම්, “පිළිකුල්සහගත හැසිරීමෙහි” නියැලීමට එය අපට ඉඩ නොදෙයි. ඇත්තටම, අපගේ ක්‍රිස්තියානි සහෝදරයන්ව කම්පනයට පත් කරවන හෝ ඔවුන්ගේ සිත් රිදවන මොනයම් හැසිරීමකට හෝ ප්‍රේමය අපට ඉඩ නොදෙයි.—එපීස 5:3, 4, NW.
18. ප්‍රේමනීය පුද්ගලයෙක් සෑම දෙයක්ම තමාගේම ක්‍රමයට කළ යුතුයයි බල කර නොසිටින්නේ ඇයි?
18 “ප්‍රේමය . . . තමාගේම කාරණා සොයන්නේ නැත.” මෙහිදී රිවයිස්ඩ් ස්ටෑන්ඩඩ් වර්ෂන් එය පරිවර්තනය කර ඇත්තේ මෙලෙසයි. “ප්‍රේමය තමාගේම ක්‍රමයට දේවල් කිරීමට බල කර සිටින්නේ නැත.” ප්‍රේමනීය පුද්ගලයෙක් තමාගේම ක්‍රමයට දේවල් කරගැනීමට බල කර සිටින්නේ නැහැ. මන්ද එවන් කෙනෙක් කවදාවක්වත් ඔහුගේම මතයන් හැමවිටම හරි බව සිතන්නේ නැති නිසයි. ඒ වගේම වෙනස් අදහස් ඇති අයව යටපත් කරන ආකාරයෙන් කාරණා ඒත්තුගැන්වීමට තමන් සතු දක්ෂතා සියුම් ලෙස යොදාගනිමින් අනුන්ව අයුතු ලෙස පාලනය කරන්නේද නැහැ. එවන් උද්ධච්චකමකින් යම් තරමක උඩඟුකමක් හෙළි කෙරෙයි. බයිබලය කියන්නේ, “විනාශයට පළමුවෙන් උඩඟුකම” ඇති වෙනවා කියායි. (හිතෝපදේශ 16:18) අප සැබවින්ම අපගේ සහෝදරයන්ට ප්‍රේම කරනවා නම්, අපි ඔවුන්ගේ අදහස් උදහස් සිතුම් පැතුම්වලට හැකි සෑම අවස්ථාවකම ගරු කරමින් නම්‍යශීලී වීමට කැමැත්තක් දක්වන්නෙමු. මෙම නම්‍යශීලී ගතිය පාවුල්ගේ මෙම වචන සමඟ එකඟයි. “කිසිවෙකු තමාගේම වාසිය නොසොයා අසල්වාසියාගේ යහපත සෙවිය යුතුය.”—1 කොරින්ති 10:24, න. අ.
19. වෙනත් අය අපව රිදවන විට, ඊට නිසි ලෙස ප්‍රතිචාර දැක්වීමට ප්‍රේමය අපට උපකාරවත් වන්නේ කොහොමද?
19 “ප්‍රේමය . . . කෝප වෙන්නේ නැත, නපුර ගණන් ගන්නේ නැත.” ප්‍රේමය තිබෙනවා නම්, වෙනත් අය කරන කියන දේවලින් ලෙහෙසියෙන් කිපෙන්නේ නැහැ. වෙනත් අය අපේ සිත් රිදවන විට, කලකිරීම සාමාන්‍ය දෙයක් තමයි. නමුත් අප යුක්තිසහගත ලෙස කෝප වුණත්, ප්‍රේමය තිබෙනවා නම්, අපි කෝපය හිතේ රඳවාගෙන සිටින්නේ නැහැ. (එපීස 4:26, 27) වෙනත් අය කියපු කරපු දේවල් ගැන වාර්තාවක් තබාගන්නේ නැහැ. ඒක හරියට අමතක නොවන පිණිස ගිණුම් පොතක ගණන් තබාගෙන සිටිනවා වගේ වැඩක්. ඒ වෙනුවට, අපට ප්‍රේමය තිබෙනවා නම් අප පෙලඹෙනු ඇත්තේ අපගේ ප්‍රේමනීය පියාණන්ව අනුකරණය කරන්නටයි. අප 26වන පරිච්ඡේදයෙන් දුටු පරිදි, සමාව දීමට හොඳ පදනමක් තිබෙනවා නම්, යෙහෝවා සමාව දෙනවා. ඔහු අපට සමාව දෙන විට, ඔහු එය අමතක කර දමනවා. එනම්, අප කරන වැරදි අනාගතයේ යම් කලක මතු කිරීමේ අදහසින් තියාගන්නේ නැහැ. අප කළ වැරදි යෙහෝවා විසින් ගණන් තබාගෙන නොසිටීම ගැන අප ඔහුට ස්තුතිවන්ත විය යුතු නැද්ද?
20. සෙසු ඇදහිලිවන්තයෙක් තමා කළ වැරදි නිසා ඉතා කටුක වේදනා විඳින්නේ නම් අප ප්‍රතික්‍රියා කළ යුත්තේ කොහොමද?
20 ‘ප්‍රේමය . . . අධර්මිෂ්ඨකම සමඟ ප්‍රීති නොවෙයි.’ ද නිව් ඉංග්ලිෂ් බයිබල් මෙසේ කියනවා. “ප්‍රේමය . . . වෙනත් මිනිසුන්ගේ පව් දැක ප්‍රීතියෙන් පිනා යන්නේ නැත.” මොෆට්ගේ පරිවර්තනය කියන්නේ මෙයයි. “ප්‍රේමය අනුන්ට වරදින විට කිසිවිටෙකත් සතුටු නොවෙයි.” ප්‍රේමය තිබෙනවා නම් අධර්මිෂ්ඨකම තුළින් සතුටක් විඳිය හැකිද? එසේ නම් ඕනෑම ආකාරයක දුරාචාරයක් සුළු කොට තකන්ට අපට වුවමනා නැහැ. සෙසු සහෝදරයෙක් හෝ සහෝදරියක් පාපයේ උගුලකට හසු වී එහි ප්‍රතිඵලයක් ලෙස කටුක වේදනා විඳී නම්, අප ප්‍රතික්‍රියා කරන්නේ කොහොමද? ‘හොඳ වැඩේ! ඕක එයාට වෙන්නම ඕනා’ කියමින් අප ඒ ගැන සතුටු වන්නේ නැහැ. ප්‍රේමය එවන් ප්‍රතික්‍රියාවකට ඉඩ තබන්නේ නැහැ. (හිතෝපදේශ 17:5) කෙසේවුවද, වැරදි කළ සහෝදරයෙක් නැවතත් තමාගේ ආත්මික වැටීමෙන් ගොඩ එන්නට පියවර ගන්නවා නම්, අපි ඒ ගැන සතුටු වන්නෙමු.
“සියල්ල අබිබවා යන මාර්ගයක්”
21-23. (අ) “ප්‍රේමය කිසි කලක පහවන්නේ නැත” කියා පාවුල් කී විට ඔහු ඉන් අදහස් කළේ කුමක්ද? (ආ) අවසාන පරිච්ඡේදය තුළ සාකච්ඡා කෙරෙනු ඇත්තේ මොනවාද?
21 “ප්‍රේමය කිසි කලක පහ වන්නේ නැත.” පාවුල් එම වචනවලින් අදහස් කළේ කුමක්ද? අවට පාඨ සම්බන්ධය දෙස බලද්දී පෙනී යන්නේ, ඔහු සාකච්ඡා කරමින් සිටියේ මුල් ක්‍රිස්තියානීන් අතර දකින්ට ලැබූ ආත්මයේ දීමනා ගැන බවයි. එම දීමනා, අලුත පිහිටුවනු ලැබූ සභාව කෙරෙහි දෙවිගේ අනුග්‍රහය තිබූ බවට වූ ලකුණක් වුණා. නමුත් සුව කිරීමට, අනාගතවාක්‍ය කීමට හෝ අන්‍ය භාෂාවලින් කතා කිරීමට සියලුම ක්‍රිස්තියානීන්හට හැකියාව ලැබුණේ නැහැ. කෙසේවෙතත්, එය වැදගත් කාරණයක් වූයේ නැහැ. මන්ද ආශ්චර්යවත් දීමනාවන් අවසානයේදී පහ වී යෑමට තිබුණ නිසා. එහෙත්, ඊට වඩා වෙනස් දෙයක් ඉතිරිව තිබෙනු ඇති. එය තමයි සෑම ක්‍රිස්තියානියෙකුම වගා කළ යුතු දෙය. එය වෙනත් කිසිම ආශ්චර්යවත් දීමනාවකට වඩා හොඳින් කැපීපෙනෙන දෙයක් වගේම වඩාත් කල්පවතින දෙයක්. ඇත්ත වශයෙන්ම, පාවුල් එය හැඳින්වූයේ “සියල්ල අබිබවා යන මාර්ගයක්” හැටියටයි. (1 කොරින්ති 12:31, NW) මෙම “සියල්ල අබිබවා යන මාර්ගය” වූයේ කුමක්ද? එය තමයි ප්‍රේමයේ මාර්ගය.
22 ඇත්ත වශයෙන්ම, පාවුල් මෙම ක්‍රිස්තියානි ප්‍රේමය විස්තර කළේ, ‘කිසි කලෙක පහවන්නේ නැති’ දෙයක් ලෙසයි. එනම්, එය කිසිවිටෙකත් අවසානයක් දකින්නේ නැති බවයි. අද දක්වාම, යේසුස්ගේ සැබෑ අනුගාමිකයන්ව හඳුනාගනු ලබන්නේ ආත්ම පරිත්‍යාගී සහෝදර ප්රේමයෙනුයි. ලොව වටා යෙහෝවාගේ නමස්කාරකයන්ගේ සභාවන්හි එවැනි ප්‍රේමයක සාක්ෂි අපට දකින්නට ලැබෙන්නේ නැද්ද? එවන් ප්‍රේමයක් සදහටම පවතීවි. මන්ද යෙහෝවා තම විශ්වාසවන්ත සේවකයන්හට සදාකාලික ජීවනය පොරොන්දු වන නිසයි. (ගීතාවලිය 37:9-11, 29) එසේ නම්, ‘දිගටම ප්‍රේමයෙන් ගමන් කිරීමට’ අපට කළ හැකි උපරිමය නොකඩවා කරමු. එසේ කිරීමෙන්, ලැබීමට වඩා දීමෙන් ලැබෙන උතුම් සන්තෝෂය අපට අද්දකින්නට පුළුවන්. ඊටත් වඩා, අපට දිගටම ජීවත් වන්නට පුළුවන්. ඔව්, අපගේ ප්‍රේමනීය දෙවි යෙහෝවාව අනුකරණය කරමින් සදාකාලයටම ප්‍රේම කරන්නට පුළුවන්.
23 ප්‍රේමය පිළිබඳ මෙම කොටස අවසන් කරන මෙම පරිච්ඡේදය තුළ, අප විසින් එකිනෙකාට ප්‍රේමය පෙන්විය හැකි ආකාරය ගැන සාකච්ඡා කර තිබෙනවා. නමුත් අප යෙහෝවාගේ ප්‍රේමයෙන් මෙන්ම ඔහුගේ බලයෙන්, යුක්තියෙන් හා ප්‍රඥාවෙන් ප්‍රයෝජන ලබා ඇති බොහෝ ආකාරයන් ගැන සලකා බලන විට, අපට මැනවින් මෙසේ ඇසිය හැකියි. ‘මම යෙහෝවාට සැබවින්ම ප්‍රේම කරන බව මට පෙන්විය හැක්කේ කොහොමද?’ එම ප්‍රශ්නයට අපගේ අවසාන පරිච්ඡේදයෙන් පිළිතුරු ලැබේවි.
[පාදසටහන]
a ඇත්ත වශයෙන්ම, ක්‍රිස්තියානි ප්‍රේමය කොයිම විදිහකින්වත් ලෙහෙසියෙන් රැවටිය හැකි ගුණාංගයක් නොවේ. බයිබලය අපට අවවාද කරන්නේ මෙසේයි. “භේද උපදවා, අකුල් හෙළන අය ගැන සෝදිසියෙන් සිට, ඔවුන්ගෙන් වැළකී සිටින්න.”—රෝම 16:17, නව අනුවාදය.
මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න
2 කොරින්ති 6:11-13 අප ප්‍රකාශ කරන ස්නේහයන් සම්බන්ධයෙන් “විශාල වෙන්න” කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? අපට මෙම උපදෙස අදාළ කරගත හැක්කේ කොහොමද?
1 පේතෘස් 1:22 අපගේ සෙසු නමස්කාරකයන් සඳහා ඇති ප්‍රේමය අවංක විය යුතු බව, අව්‍යාජ විය යුතු බව හා උණුසුම් විය යුතු බව මෙම වචනවලින් පෙන්නුම් කරන්නේ කොහොමද?
1 යොහන් 3:16-18 “දෙවිගේ ප්‍රේමය” අප තුළ තිබෙන බව පැහැදිලිව පෙන්වීමට අපට හැක්කේ කොහොමද?
1 යොහන් 4:7-11 අපගේ සෙසු ඇදහිලිවන්තයන් උදෙසා ප්‍රේමය පෙන්විය හැකි වඩාත් ප්රබලතම චේතනාව කුමක්ද?
[302වන පිටුවේ පින්තූරය]
අපට ප්‍රේමය තිබෙනවා නම් අපගේ සහෝදරයන් කෙරෙහි විශ්වාසය තැබීමට එය අපව පොලඹවාවි
[308වන පිටුවේ පින්තූරය]
යෙහෝවාගේ ජනයාව හඳුනාගනු ලබන්නේ එකිනෙකා අතර ඇති ප්‍රේමයෙනි