ලෝකයේ ආත්මය ඔබට විස පොවනවාද?
වර්ෂ 1990 සැප්තැම්බර් 12වනදා, කශකස්තානයේ පිහිටි කර්මාන්ත ශාලාවක පිපිරීමක් සිදු වුණා. ඒ අවට ප්‍රදේශවාසීන් 1,20,000කගේ සෞඛ්‍යයට තර්ජනයක් එල්ල කරමින් අනතුරුදායක විකිරණශීලී ද්‍රව්‍ය වායුගෝලයට එක් වුණා; ප්‍රදේශවාසීන්ගෙන් බොහෝදෙනෙක් මේ මාරාන්තික විස ද්‍රව්‍යයට එරෙහිව විදීවල විරෝධතා ව්‍යාපාරයක් දියත් කළා.
දශක ගණනාවක සිට තමන් ජීවත් වී තිබෙන්නේ විස සහිත පරිසරයක බව ඔවුන් දැනගත්තේ, තව තොරතුරු අනාවරණය වෙන විටයි. වසර ගණනාවක් පුරා, විකිරණශීලී ද්‍රව්‍ය මුසු වූ අපද්‍රව්‍ය ටොන් 1,00,000ක් අනාරක්ෂිත ලෙස එළිමහන් ස්ථානයක ගොඩගැසෙමින් තිබුණා. අනතුර ඔවුන්ගේ දොරකඩටම ළං වී තිබුණත්, කිසිවෙක් ඒක බරපතළ දෙයක් හැටියට සැලකුවේ නැහැ. ඇයි?
නිලධාරීන් සෑම දවසකම විකිරණශීලිතාව මැන, එහි අගය ප්‍රාදේශීය ක්‍රීඩාංගණයේ තිබූ දැන්වීම් පුවරුවක සඳහන් කළා; කිසිම අනතුරක් නොතිබුණු බව එම අගයෙන් දැක්වුවා. සංඛ්‍යා නිවැරදි වුණත්, ඒවායින් දැක්වූයේ ගැමා කිරණවල අගය විතරයි. මනිනු නොලැබූ ඇල්ෆා කිරණද ඒ වගේම මාරාන්තිකයි. තමන්ගේ දරුවන් හුඟක් අසනීපයෙන් සිටියේ ඇයි කියා මව්වරුන් බොහෝදෙනෙකුට තේරුම් යන්න පටන්ගත්තා.
ආත්මික අර්ථයකින් කතා කරන විට, අදෘශ්‍යමානව සිදු වන දූෂණය මගින් අපිට විස ඇතුල් වෙන්න පුළුවන්. ඒ වගේම කශකස්තානයේ ජීවත් වූ අවාසනාවන්ත මිනිසුන් වගේ, ජීවිතවලට තර්ජනයක් එල්ල කරන මේ අනතුර ගැන වැඩිදෙනෙක් දන්නේ නැහැ. මෙම දූෂණය බයිබලය හඳුන්වන්නේ, “ලෝකයේ ආත්මය” හැටියටයි; එය කූට ලෙස සැලසුම් කරන්නේ සාතන් නමැති යක්ෂයා මිස වෙන කිසිවෙක් නෙවෙයි. (1 කොරින්ති 2:12) දෙවිගේ විරුද්ධකාරයා අපේ දේවභක්තිය සූක්ෂ්ම ලෙස බිඳදැමීම සඳහා මේ ආත්මය—හාත්පස පැතිරී පවතින ආකල්පය—දුෂ්ට ලෙස යොදාගන්නවා.
ලෝකයේ ආත්මයට අපේ ආත්මික ශක්තිය දුර්වල කර දමන්න පුළුවන් කොහොමද? ඇස්වල තෘෂ්ණාව අවදි කරවීමෙන් හා අපේ උරුම වූ ආත්මාර්ථකාමී ගතිලක්ෂණවලින් ප්‍රයෝජන ගැනීමෙනුයි. (එපීස 2:1-3; 1 යොහන් 2:16) ආදර්ශ යොදාගනිමින්, ලෞකික චින්තනය අපේ ආත්මිකත්වයට ක්‍රමානුකූලව විස එක් කරන එකිනෙකට වෙනස් ක්ෂේත්‍ර තුනක් අපි සලකා බලන්න යනවා.
පළමුකොට රාජ්‍යය සෙවීම
‘පළමුකොට රාජ්‍යයද දෙවිගේ ධර්මිෂ්ඨකමද සොයන්න’ කියා යේසු ක්‍රිස්තියානීන්ගෙන් ඕනෑකමින් ඉල්ලා සිටියා. (මතෙව් 6:33) අනිත් අතට, ලෝකයේ ආත්මය, අපේම කාරණා හා සැප පහසුව ගෙන දෙන දේවලට අනවශ්‍ය වැදගත්කමක් දීමට අපව මඟ පෙන්විය හැකියි. මෙහිදී සිදු වන මුල්ම අනතුරේදී, ආත්මික කාරණා මුළුමනින්ම අත්හැර දැමීමක් සිදු නොවෙයි; නමුත් ඒවාට ලැබෙන්නේ දෙවන තැනයි. ආරක්ෂාව පිළිබඳව ව්‍යාජ ඇඟවීමක් නිසා—කශකස්තානයේ මිනිසුන් කළාක් මෙන්—අපිත් අනතුර නොසලකා හරින්න පුළුවන්. අපි විශ්වාසවන්තව අවුරුදු ගණනාවක් සේවය කර තිබීම හා අපේ සහෝදර සහෝදරියන් සඳහා තිබෙන අගය කිරීම යනාදිය, අපි කවදාවත් සත්‍යයේ මාර්ගය අත්හරින්නේ නැහැ කියා කල්පනා කිරීමට සලස්වා, අපව අපරීක්ෂාකාරි තත්වයකට පත් කළ හැකියි. සමහරවිට එපීස සභාවේ සිටි බොහෝදෙනෙකුට එයාකාරයෙන් හැඟුණා විය හැකියි.
පොදු යුගයේ 96දී පමණ, යේසු ඔවුන්ට මෙම උපදේශය දුන්නා: “නුඹේ පළමු ප්‍රේමය අත් හැරියෙහිය යන කාරණය නුඹට විරුද්ධව මට ඇත්තේය.” (එළිදරව් 2:4) අවුරුදු ගණනාවක් පුරා සේවය කරමින් සිටි මේ ක්‍රිස්තියානීන් දුෂ්කරතා බොහොමයක් විඳදරාගෙන තිබුණා. (එළිදරව් 2:2, 3) ප්‍රේරිත පාවුල් ඇතුළු විශ්වාසවන්ත වැඩිමහල්ලන් ඔවුන්ට උගන්වා තිබුණා. (ක්‍රියා 20:17-21, 27) කොහොම වුණත්, අවුරුදු කිහිපයක සිට යෙහෝවා කෙරෙහි තිබූ ඔවුන්ගේ ප්‍රේමය හීන වී ගොස් තිබුණු අතර, ඔවුන් තමන්ගේ ආත්මික වර්ධනය දුර්වල කරගත්තා.—එළිදරව් 2:5.
පෙනෙන විදිහට එපීසවරුන්ගෙන් සමහරදෙනෙකුට එම නගරයේ තිබූ ව්‍යාපාරික ආකල්ප හා සමෘද්ධිමත් තත්වය බලපාන්න ඇති. කනගාටුවට කරුණක් වන්නේ, ඒ හා සමානවම අද සමාජයේ තිබෙන ද්‍රව්‍යවාදී රැල්ලත් සමඟම සමහර ක්‍රිස්තියානීන් ගසාගෙන ගොස් තිබීමයි. දැඩි ප්රයත්නයක් දරමින් සැප පහසු ජීවන රටාවක් ලුහුබැඳීමට අදිටන් කරගැනීම, නොවැළැක්විය හැකි ලෙස අපිව ආත්මික ඉලක්කවලින් වෙනතකට යොමු කරවන්න යනවා.—මතෙව් 6:24 සසඳන්න.
මේ උපද්‍රවය ගැන අනතුරු අඟවමින් යේසු මෙහෙම කිව්වා: “ශරීරයේ පහන නම් ඇසය. එහෙයින් නුඹේ ඇස පැහැදිලි [සරල, NW] නම්, නුඹේ මුළු ශරීරය එළිය වන්නේය. නුඹේ ඇස නපුරුනම් [“කුඩුකේඩු” නම් NW පාදසටහන], නුඹේ මුළු ශරීරය අඳුරු වන්නේය.” (මතෙව් 6:22, 23) “සරල” ඇසක් කියන්නේ, ආත්මික කාරණා මත නාභිගත කර තිබෙන ඇසක්; දේවරාජ්‍යය මත ස්ථිර ලෙස යොමු කර තිබෙන ඇසක්. අනිත් අතට “නපුරු” නැතහොත් “කුඩුකේඩු” ඇසක් කියන්නේ, දුර දක්නා නුවණක් නැති, එමෙන්ම ක්ෂණික තෘප්තියක් ලැබිය හැකි මාංසික ආශාවන් මත පමණක් නාභිගත වීමේ හැකියාව තිබෙන ඇසකටයි. එයට ආත්මික ඉලක්ක හා අනාගත යහපත් විපාක අවබෝධ කරගත නොහැකියි.
යේසු කලින් වගන්තියේ මෙහෙම කිව්වා: “නුඹේ වස්තුව යම් තැනෙක්හිද නුඹේ සිතත් එතැන්හිම වන්නේය.” (මතෙව් 6:21) අපේ හදවත් ආත්මික හෝ ද්‍රව්‍යමය දේවල් මත කේන්ද්‍රගත කර තිබෙනවාද නැද්ද කියා අපිට දැනගන්න පුළුවන් කොහොමද? ‘මුඛය කතා කරන්නේ හදවතේ පූර්ණකමෙන්’ නිසා, හොඳම මඟ පෙන්වීම අපේ කතා බහ විය හැකියි. (ලූක් 6:45) අපි නිතරම කතා බහ කරන්නේ, ද්‍රව්‍යමය දේවල් හෝ ලෞකික අත් පත් කරගැනීම් ගැන කියා අපිටම දැනෙනවා නම්, එය අපේ හදවත් බෙදී තිබෙන බවටත් අපේ ආත්මික දසුන අඳුරු වී තිබෙන බවටත් සාක්ෂියක්.
ස්පාඤ්ඤ ජාතික සහෝදරියක් වන කාමන්,a මේ ගැටලුව සමඟ පොරබදිමින් කටයුතු කළ තැනැත්තියක්. කාමන් මෙසේ පැහැදිලි කරනවා: “මම සත්‍යය තුළ ඇති දැඩි වුණ කෙනෙක්; අවුරුදු 18දී, මං මගේම සිඟිති පාසැලක් පටන්ගත්තා. අවුරුදු තුනකට පස්සේ, මට සේවිකාවෝ හතරදෙනෙක් හිටියා; මගේ ව්‍යාපාරය සාර්ථක වෙමින් තිබුණා; මං විශාල මුදලක් උපයමින් හිටියා. කොහොම වුණත්, මට වඩාත් සෑහීම ගෙන දෙන දෙය වුණේ, මම මුදල් අතින් ස්වාධීනව කටයුතු කළ හැකි කෙනෙක් වීම හා මගේ ‘සාර්ථකත්වය’ වෙන්න ඇති. ඇත්තම කියනවා නම්, මගේ හෘදය තිබුණේ මගේ ව්‍යාපාරයෙයි—මම වැඩියෙන්ම ආදරේ කළේ ඒකටයි.
“මගේ කාලයෙන් වැඩි ප්‍රමාණයක් ව්‍යාපාර කටයුතුවලට යොදවන අතරතුරේ මට සාක්ෂිකරුවෙක් වෙන්න පුළුවන්ද කියලා මට හිතුණා. අනිත් අතට, යෙහෝවාට තව වැඩියෙන් සේවය කරන්න මට පුළුවන් කියලා නිතර වද දෙන හැඟීමකුත් මට ඇති වුණා. අන්තිමේදී, රාජ්‍ය කාරණා පළමු තැනට තබන්න මා තුළ පෙලඹීමක් ඇති වුණේ, පුරෝගාමී සේවය කළ මිතුරියන් දෙදෙනෙකුගේ ආදර්ශයයි. ඔවුන්ගෙන් කෙනෙක් වන හූල්යානා හිටියේ මගේ සභාවෙයි. පුරෝගාමී සේවය කරන්න මට බල කරන ආකාරයෙන් ඈ පෙලඹවීමක් ඇති කළේ නැහැ; ඒත් ඇගේ කතා බහෙන් හා දේවසේවයෙන් ඈ පැහැදිලි ලෙස අද්දුටු ප්‍රීතිය, මගේ ආත්මික සාරධර්ම නැවත සලකා බලන්න මට උපකාර කළා.
“ටික කාලෙකට පස්සේ, එක්සත් ජනපදයේ නිවාඩුවක් ගත කරමින් ඉන්න කාලයේදී, මම පුරෝගාමී සහෝදරියක් වන ග්ලොරියගේ ගෙදර නතර වුණා. ඈ වැන්දඹුවක් වෙලා වැඩි කාලයක් නැහැ; ඈ අවුරුදු පහක් වයස ඇගේ දුවවත් පිළිකා රෝගියෙක් වූ ඇගේ අම්මාවත් බලාගනිමින් හිටියා. ඒත් ඈ පුරෝගාමී සේවය කළා. ඇගේ ආදර්ශය හා දේවසේවය සඳහා ඇගේ හෘදයාංගම අගය කිරීම මගේ හදවතට තදින්ම කාවැදුණා. මම ඇගේ ගෙදර නතර වෙලා හිටිය දවස් හතරක් වගේ කෙටි කාලය, මගේ උපරිමය යෙහෝවට පිරිනමන්න මා තුළ අධිෂ්ඨානයක් ඇති කළා. ඔක්කොටම ඉස්සෙල්ලා, මං ස්ථාවර පුරෝගාමියෙක් වුණා; අවුරුදු කිහිපයකට පස්සේ, මගේ ස්වාමිපුරුෂයාටයි මටයි ආරාධනාවක් ලැබුණා බෙතෙල් එකේ සේවය කරන්න. මගේ ආත්මික වර්ධනයට බාධාවක් වූ මගේ ව්‍යාපාරයට ආයුබෝවන් කිව්වා; දැන් මට හැඟෙනවා මගේ ජීවිතය යෙහෝවාගේ ඇස් ඉදිරියේ සාර්ථක එකක් කියල; ඒක තමයි ඇත්තමට වැදගත් දෙය.”—ලූක් 14:33.
කාමන් කළාක් මෙන් “වඩාත් වැදගත් දේ ගැන සහතික වන්න” ඉගෙනගැනීම, අපේ රැකියාව, අධ්‍යාපනය, නිවාස හා ජීවන රටාවන් ගැන නැණවත් තීරණ ගන්න උපකාර කරනවා. (පිලිප්පි 1:10, NW) නමුත් විනෝදාංශ ගැන කතා කරන විටත්, අපි වඩාත් වැදගත් දේවල් ගැන සහතික වෙනවාද? මෙය, ලෝකයේ ආත්මය දැඩි බලපෑමක් ඇති කිරීම සඳහා වෙර දරමින් යොදාගන්නාවූ තවත් ක්ෂේත්රයක්.
විවේකය එහි නිසි තැන තබන්න
ලෝකයේ ආත්මය විවේක ගැනීම සඳහා තිබෙන මිනිසුන්ගේ ස්වාභාවික ආශාව සූක්ෂ්ම ලෙස වැරදි විදිහට යොදාගන්නවා. මිනිසුන් බොහෝදෙනෙකුට අනාගතය පිළිබඳ සැබෑ බලාපොරොත්තුවක් නැති නිසා, ඔවුන් තමන්ගේ වර්තමාන ජීවිත විනෝදාස්වාදයෙන් හා විවේකයෙන් පුරවාගැනීමට උත්සාහ කිරීම තේරුම්ගැනීම ඒ තරම් අමාරු නැහැ. (සසඳන්න යෙසායා 22:13; 1 කොරින්ති 15:32.) අපි ඕනෑවට වඩා විවේකයට වැදගත්කමක් දෙනවා කියා අපිටම තේරෙනවාද? ලෝකයේ චින්තන රටාව, අපේ දෘෂ්ටිය හැඩගස්වමින් සිටින බවට එය ලක්ෂණයක් විය හැකියි.
බයිබලය මෙසේ අනතුරු අඟවනවා: “සැප සෙල්ලමට [“විනෝදාස්වාදයට,” ලැම්සා] ඇලුම්වෙන්නා හිඟමනට පැමිණෙයි.” (හිතෝපදේශ 21:17) විනෝද වීම වැරදි නැහැ; ඒත් එයට ප්‍රේම කිරීම හෝ වැඩි වැදගත්කමක් දීම ආත්මික හිඟකමට මඟ පෑදිය හැකියි. නොවැළැක්විය හැකි ලෙස අපේ ආත්මික රුචිය අඩු වී යා හැකි අතර, ශුභාරංචිය දේශනා කිරීම සඳහා අපිට ඒ තරම් කාලයක් නොතිබිය හැකියි.
මේ හේතුව නිසා, දේවවචනය අපට අවවාද කරන්නේ, “ක්‍රියා කිරීම සඳහා මනසින් සැහැල්ලුව සිටින්න, පරිපූර්ණ ලෙස ආත්ම දමනයෙන් යුක්ත වන්න” කියලයි. (1 පේතෘස් 1:13, ද නිව් ඉංග්ලිෂ් බයිබල්) අපේ විවේක කාලය සාධාරණ ප්‍රමාණයකට සීමා කරගැනීම සඳහා ආත්ම දමනය අවශ්‍යයි. ක්‍රියා කිරීම සඳහා සැහැල්ලුවෙන් සිටීම යන්නෙන් අදහස් වන්නේ, ආත්මික ක්‍රියාකාරකම් සඳහා සූදානම්ව සිටීමයි; එයට අධ්‍යයනය කිරීම, රැස්වීම් හෝ ක්ෂේත්‍ර සේවය ඇතුළත් විය හැකියි.
අවශ්‍ය කරන විවේකය ගැන කියන්න පුළුවන් මොනවාද? විවේක ගැනීම සඳහා වේලාව වෙන් කරගන්නා විට අපිට වරදසහගතභාවයක් දැනිය යුතුද? කොහෙත්ම නැහැ. විවේකය අත්‍යවශ්‍යයි, විශේෂයෙන්ම මේ වෙහෙසකර ලෝකයේ. කොහොම වුණත්, කැප වූ ක්‍රිස්තියානීන් හැටියට අපිට බැහැ විවේකය ගත කිරීම මත අපේ ජීවිත කේන්ද්‍රගත කිරීමට ඉඩහරින්න. අධික ලෙස විවේක ගැනීම, වටිනාකමින් අඩු හා වැදගැම්මකට නැති දේවල් කිරීමට අපිව අපරීක්ෂාකාරි තත්වයක තබන්න පුළුවන්. එය අපේ හදිසිතාවේ හැඟීම දුර්වල කරන්න පුළුවන්. ඒ වගේම එය තමාවම පිනවීමට දිරිගන්වන්න පුළුවන්. එහෙමනම්, විවේකය සම්බන්ධයෙන් සමබර දෘෂ්ටියක් ඇතුව සිටින්න අපිට පුළුවන් වෙන්නේ කොහොමද?
බයිබලය නිර්දේශ කරන්නේ, අධික ලෙස මහන්සි වෙනවා වෙනුවට—විශේෂයෙන්ම බාහිර වැඩ කිරීම අනවශ්‍ය නම්—ටිකක් විවේක ගැනීමයි. (දේශනාකාරයා 4:6) අපේ ශරීරවලට නැවත ශක්තිය ලබාගැනීම සඳහා විවේකය අවශ්‍ය වුණත්, ආත්මික ශක්තියේ උල්පත වන්නේ, දෙවිගේ ක්‍රියාකාරික බලයයි. (යෙසායා 40:29-31) අපිට මේ ශුද්ධාත්මය ලැබෙන්නේ, අපේ ක්‍රිස්තියානි ක්‍රියාකාරකම්වල යෙදීම මගිනුයි. පෞද්ගලික පාඩම අපේ හදවත් පෝෂණය කරමින් සුදුසු ආශාවන් කෙරෙහි රුචිය වඩවනවා. රැස්වීම්වලට පැමිණීම, මැවුම්කරු කෙරෙහි අපේ අගය කිරීම ගොඩනංවනවා. ක්‍රිස්තියානි දේවසේවයේ හවුල් වීම අනිත් අය ගැන සිතන්න පොලඹවනවා. (1 කොරින්ති 9:22, 23) පාවුල් යථාර්ථවාදීව පැහැදිලි කළාක් මෙන්, “පිටත මනුෂ්‍යයා ක්ෂය වීමෙන් ඇත්තටම පීඩා වින්දත්, ඇතුළාන්ත මනුෂ්‍යයා දවසින් දවස අලුත් ශක්තියක් ලබයි.”—2 කොරින්ති 4:16, ෆිලිප්ස්.
දරුවන් හයදෙනෙකුගේ මවක් හා නොඇදහිලිවන්ත සැමියෙකුගේ බිරිඳක් වන ඉලෙනා හුඟාක් වැඩ බහුල ජීවිතයක් ගත කරන කෙනෙක්. ඈට ඇගේම පවුලේ අයගේ හා නෑදෑයන් කිහිපදෙනෙකුගේ වගකීම් ඉටු කරන්න තියෙනවා. ඒ කියන්නේ නිතරම එහාට මෙහාට දුවමින් වැඩවල නිරත වෙනවා කියන එකයි. කොහොම වුණත්, ඈ දේශනා කිරීම හා රැස්වීම්වලට සූදානම් වීම සම්බන්ධයෙන් කැපීපෙනෙන ආදර්ශයක් තබනවා. මේ තරම් වැඩකටයුතු රාශියක් කරන්න ඈට පුළුවන් කොහොමද?
“මගේ වගකීම් හොඳින් ඉටු කරන්න, රැස්වීම් හා ක්ෂේත්‍ර සේවය මට ඇත්තටම උපකාරවත් වෙනවා” කියා ඉලෙනා පැහැදිලි කරනවා. “උදාහරණයක් හැටියට, දේශනා සේවයෙන් පස්සේ, මගේ ගෙදර වැඩ ටික කරගන්නේ කොයි වේලාවේද කියන එක ගැන හුඟාක් දේවල් කල්පනා කරන්න මට තියෙනවා. හුඟාක් වේලාවට මං ඒවා කරන ගමන් සින්දු කියනවා. අනිත් අතට, මම රැස්වීමක් අතපසු කළොත්, එහෙම නැත්නම් දේවසේවය හරියට කරගන්න බැරි වුණොත් ගෙදර දොරේ වැඩ ටිකත් කරන්න එපා වෙනවා.”
විවේකයට ඕනෑවට වඩා වැදගත්කමක් දෙන එකට වඩා මොනතරම් වෙනස්ද!
ආත්මික සුන්දරත්වය යෙහෝවාව ප්‍රසන්න කරයි
අපි ජීවත් වෙන්නේ, ශාරීරික පෙනුම ගැන අසීමිත ලෙස සිතීම වැඩි වෙමින් පවතින ලෝකයකයි. මිනිස්සු තමන්ගේ පෙනුම වඩාත් සිත්ගන්නා එකක් කරගැනීමට හා මහලු වීමේ බලපෑම් අඩු කරගැනීම සඳහා නිර්මාණය කර තිබෙන විශේෂ ප්රතිකර්මවලට විශාල මුදලක් වැය කරනවා. හිස කෙස් සිටුවීම හා ඩයි කිරීම, කෘත්‍රිම පියයුරු බද්ධ කිරීම සහ රූපලාවණ්‍ය සැත්කම් මේවාට ඇතුළත් වෙනවා. දශලක්ෂ ගණනක්දෙනා බර අඩු කිරීමේ ක්‍රම උගන්වන මධ්‍යස්ථානවලට, ව්‍යායාම් ශාලාවලට හා ශ්වසන ව්‍යායාම් පන්තිවලට යනවා; එහෙම නැත්නම් ඔවුන් ව්‍යායාම් උගන්වන වීඩියෝ පටි හා ආහාර පාලන විධි උගන්වන පොත් පත් මිල දී ගන්නවා. සන්තෝෂයට එකම මඟ අපේ ශාරීරික පෙනුම බවටත්, හැම දෙයටම වඩා වටින්නේ අපේ “ප්‍රතිරූපය” බවටත් මේ ලෝකය අප තුළ විශ්වාසයක් ඇති කරවන්න පුළුවන්.
නියූස්වීක් සඟරාව උපුටා දැක්වූ සමීක්ෂණයකට අනුව එක්සත් ජනපදයේ සිටින නහඹර වියේ පසු වන සුදු අමෙරිකානුවන්ගෙන් සියයට 90ක් “තමන්ගේ ශාරීරික පෙනුම ගැන සෑහීමකට පත් නොවූ” බව සොයාගෙන තිබෙනවා. පරිපූර්ණ හැඩය මුල් කරගෙන කෙරෙන බලාපොරොත්තු තැබිය නොහැකි සෙවිල්ල, අපේ ආත්මිකත්වයට බලපාන්න පුළුවන්. ඩොරා යෙහෝවාගේ තරුණ සාක්ෂිකාරියක්ව සිටියා; ඈ තරමක් තරබාරු තැනැත්තියක් නිසා, ඇගේ ශාරීරික පෙනුම ගැන ඈට ලජ්ජාවක් දැනුණා. “මම සාප්පු ගියාම, මගේ ප්‍රමාණයට ගැළපෙන සුදුසු ඇඳුම් තෝරාගන්න එක හරිම අමාරු දෙයක් වුණා” කියා ඈ පවසනවා. “හැඩකාර මෝස්තර සහිත ඇඳුම් තියෙන්නේ හීන්දෑරි නහඹර අයට විතරයි කියල හිතුණා. දරාගන්න බැරිම දෙය වුණේ, මගේ තරබාරුකම හෙළාදකිමින් මිනිස්සු එක එක දේවල් කියන එකයි; ඒක මට විශාල මානසික පීඩනයක් වුණා, විශේෂයෙන්ම ඒ වගේ දේවල් මගේ ආත්මික සහෝදර සහෝදරියන් කියන කොට.
“එකේ ප්‍රතිඵලයක් හැටියට, ආත්මික දේවල් මගේ ජීවිතයේ දෙවන තැනට පත් වෙන තරමටම, මං වැඩියෙන් මගේ පෙනුම ගැනම හිතුවා. මගේ සන්තෝෂය රඳා පැවතුණේ මගේ ඉණේ ප්‍රමාණය මතයි. අවුරුදු කිහිපයක් පහු වෙලා තියෙනවා; දැන් මං මේරූ ස්ත්‍රියක් වගේම ක්‍රිස්තියානියෙක් හැටියට දේවල් දිහා බලන්නේ වෙනස් විදිහටයි. මගේ පෙනුම ගැන මම සැලකිලිමත් වුණත්, වඩාත්ම වැදගත් දෙය ආත්මික සුන්දරත්වය බවත් මට විශාල තෘප්තියක් ලැබෙන්නේ එයින් බවත් මම තේරුම්ගෙන තියෙනවා. මම ඒක තේරුම්ගත්තාම තමයි මට පුළුවන් වුණේ ආත්මික කාරණා ඒවායේ නිසි තැන තබන්න.”
සාරා පුරාණ කාලයේ ජීවත් වූ ඇදහිලිවන්ත ස්ත්‍රියක්; ඈට මේ සමබර දෘෂ්ටිය තිබුණා. වයස අවුරුදු 60න් පසුවත් ඇගේ ශාරීරික සුන්දරත්වය ගැන බයිබලය කතා කළත්, එය මූලික අවධානය යොමු කරන්නේ ඇගේ කදිම ගුණාංගවලටයි—හදවතේ ඇතුළාන්ත පුද්ගලයාටයි. (උත්පත්ති 12:11; 1 පේතෘස් 3:4-6) ඈ කරුණාවන්ත මෙන්ම මුදු මොළොක් ස්වභාවයක් විදහාපෙන්නූ අතර, ඇගේ ස්වාමිපුරුෂයාට යටහත් පහත් ලෙස කීකරු වුණා. අනිත් අය ඈව දකින ආකාරය ගැන ඈ අනවශ්‍ය ලෙස කරදර වෙන්න ගියේ නැහැ. ඈ යමක් කමක් තියෙන පවුලකින් පැමිණියත්, සිය කැමැත්තෙන්ම අවුරුදු 60කටත් වඩා වැඩි කාලයක් කූඩාරම්වල ජීවත් වුණා. ඈ නිහතමානී හා පරාර්ථකාමී ලෙස ඇගේ ස්වාමිපුරුෂයාට සහයෝගය දුන්නා; ඈ ඇදහිල්ලේ ස්ත්‍රියක්. ඇයව සැබවින්ම සුන්දර ස්ත්‍රියක් කළේ එයයි.—හිතෝපදේශ 31:30; හෙබ්‍රෙව් 11:11.
ක්‍රිස්තියානීන් හැටියට, අපි සැලකිලිමත් වන්නේ අපේ ආත්මික සුන්දරත්වය වැඩි කරගැනීම ගැනයි; නිතිපතා වැඩිදියුණු කරනවා නම්, එය තවත් ඔපවත් වන මෙන්ම කල්පවතින සුන්දරත්වයක්. (කොලොස්සි 1:9, 10) අපිට පුළුවන් ප්‍රධාන ක්‍රම දෙකකින් අපේ ආත්මික පෙනුම අලංකාර කරගන්න.
අපි ජීවිත ගළවන දේවසේවයේ හවුල් වෙද්දී, අපි යෙහෝවාගේ ඇස් ඉදිරියෙහි තව තවත් අලංකාර වෙනවා. (යෙසායා 52:7; 2 කොරින්ති 3:18–4:2) ඒ විතරක් නෙවෙයි, ක්‍රිස්තියානි ගුණාංග විදහාපෙන්වීමට අපි ඉගෙනගනිද්දී, අපේ සුන්දරත්වය තව තවත් වැඩි වෙනවා. අපේ ආත්මික සුන්දරත්වය වැඩි කරගැනීම සඳහා ඕන තරම් අවස්ථා තියෙනවා: “එකිනෙකාට ස්නේහවන්න; ගෞරවයෙන් තම තමාට වඩා අනික් අය උතුම්කොට සලකන්න; . . . ආත්මයෙන් ජ්වලිතවෙන්න; . . . ආගන්තුක සත්කාරයට ලැදිව සිටින්න. . . . ප්‍රීතිවෙන්නන් සමඟ ප්‍රීතිවෙන්න; අඬන්නන් සමඟ අඬන්න. . . . කාටවත් නපුරට නපුර නොකරන්න. . . . සියලු මනුෂ්‍යයන් සමඟ සමාදානයෙන් සිටින්න.” (රෝම 12:10-18) එවන් ආකල්ප වර්ධනය කරගැනීම, අපිව දෙවිට හා අනිකුත් මිනිසුන්ටද ප්‍රිය මනාප පුද්ගලයන් බවට පත් කරාවි; එමෙන්ම අපේ උරුම වූ පව්කාර නැඹුරුවාවන් මගින් ඇති කරන අශෝභන පෙනුම නැති කර දමාවි.—ගලාති 5:22, 23; 2 පේතෘස් 1:5-8.
අපිට පුළුවන් ලකයේ ආත්මය සමඟ පොරබදින්න!
විස සහිත ලෝකයේ ආත්මය, සූක්ෂ්ම ක්‍රම බොහොමයකින් අපේ අඛණ්ඩතාව දුර්වල කර දමන්න පුළුවන්. අපිට තිබෙන දේවල් ගැන අපිව අසතුටට පත් කරවන්න හා දෙවිගේ අවශ්‍යතාවන්ට වඩා අපේම වුවමනාවන් හා කාරණා ඉදිරියෙන් තැබීමට එය අපිව හැඩගස්වන්න පුළුවන්. එහෙම නැත්නම්, දෙවිගේ සිතුවිලි වෙනුවට මිනිසුන්ගේ සිතුවිලිවලට අනුව කල්පනා කිරීමටද, විවේකයට හෝ ශාරීරික පෙනුමට අනවශ්‍ය වැදගත්කමක් දීමටද අපිව පොලඹවන්න පුළුවන්.—මතෙව් 16:21-23, සසඳන්න.
අපේ ආත්මිකත්වය විනාශ කර දමන්න සාතන් අදිටන් කරගෙන සිටින අතර, ලෝකයේ ආත්මය ඔහුගේ ප්‍රධාන අවිවලින් එකක්. ගොරවන සිංහයෙකුගේ සිට සුපරීක්ෂාකාරි සර්පයෙකු දක්වා තමාගේ උපාය මාර්ග වෙනස් කරන්න සාතන්ට පුළුවන් බව මතක තබාගන්න. (උත්පත්ති 3:1; 1 පේතෘස් 5:8) සමහර අවස්ථාවලදී, ලෝකය දරුණු පීඩා මගින් ක්‍රිස්තියානියෙක්ව යටත් කරගන්නවා; ඒ වුණත් බොහෝ වේලාවට කරන්නේ ඔහුට ටිකෙන් ටික විස පෙවීමයි. පසුව සඳහන් කළ අනතුර ගැන පාවුල් මේ විදිහට දැඩි සැලකිල්ලක් දැක්වුවා: “සර්පයා තමාගේ ප්‍රයෝගයෙන් ඒව රැවටුවාක්මෙන් [ක්‍රිස්තුස්] කෙරෙහි පවතින අවංකකමෙන්ද පිරිසිදුකමෙන්ද යම්විධියකින් නුඹලා වෙන්කොට නුඹලාගේ සිත් දූෂ්‍යකරනු ලැබේදෝ කියා භයවෙමි.”—2 කොරින්ති 11:3.
සාතන්ගේ කපටිකම්වලින් අපිව ආරක්ෂා කරගන්න නම්, අපි “ලෝකයෙන් බිහි වන” විනාශකාරි ප්‍රචාරයන් හඳුනාගෙන, ඒවා දැඩි ලෙස ප්‍රතික්ෂේප කළ යුතුයි. (1 යොහන් 2:16, NW) ලෞකික විදිහට සිතීම හානිකර නැහැ කියා විශ්වාස කිරීමේ මුළාවට අපි හසු නොවිය යුතුයි. සාතන්ගේ පිළිවෙළින් පිට වන විස වායුව තැතිගන්වන මට්ටමකට ළඟා වී තිබෙනවා.—එපීස 2:2.
ලෞකික චින්තනය හඳුනාගත් විගසම, අපිට පුළුවන් අපේ මනස් හා හදවත් යෙහෝවාගේ නිර්මල ඉගැන්වීම්වලින් පුරවාගැනීමෙන් එයට එරෙහිව සටන් කරන්න. දාවිත් රජ මෙන් අපි මෙසේ කියමු: “[යෙහෝවා], ඔබගේ මාර්ග මට දැක්වුවමැනව; ඔබගේ මාවත් මට ඉගැන්නුව මැනව. ඔබගේ සැබෑකමෙහි මා හසුරුවමින් මට ඉගැන්නුව මැනව; මක්නිසාද ඔබ මාගේ ගැළවීමේ [දෙවිය].”—ගීතාවලිය 25:4, 5.
[පාදසටහන]
a සැබෑ නම් නොවෙයි.
[26වන පිටුවේ පින්තූරය]
දැඩි ප්රයත්නයක් දරමින් සැප පහසු ජීවන රටාවක් ලුහුබැඳ යෑම, අපව ආත්මික ඉලක්කවලින් වෙනතකට යොමු කරවන්න පුළුවන්