ඔබ සැබවින්ම සමාව ඉල්ලිය යුතුද?
‘මම කවදාවත් සමාව ඉල්ලන්නේ නැහැ’ කියා ජෝර්ජ් බර්නාඩ් ෂෝ ලීවේය. ‘කළ දේ වෙනස් කරන්න බැහැ’ කියා වෙනත් අය පැවසිය හැක.
සමහරවිට ආත්ම-ගෞරවය නැති වේය යන බිය හේතුවෙන්, අපි වරදක් පිළිගැනීමට අදි මදි කරන්නෙමු. වරද කර ඇත්තේ අනික් පුද්ගලයා බව සිතීමට අප පෙලඹිය හැක. එසේ නැතහොත් අප සමාව ඉල්ලීමට අදහස් කරගෙන සිටිය හැකි මුත්, එම කාරණය නොසලකා හැර තිබෙන බව අපට සිතෙන තුරු එය කල් දැමිය හැකිය.
එසේනම්, සමාව ඉල්ලා සිටීම අත්‍යවශ්‍යද? ඒවාට සැබවින්ම යමක් ඉටු කළ හැකිද?
සමාව ඉල්ලා සිටීමට ප්‍රේමය අපව පොලඹවයි
සහෝදර ප්‍රේමය වනාහි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ අනුගාමිකයන් අතර හඳුනාගැනීමේ ලකුණකි. උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කළසේක: “නුඹලා එකිනෙකාට ප්‍රේමකරනවා නම්, නුඹලා මාගේ ගෝලයෝ බව එයින් සියල්ලන් දැනගන්නවා ඇත.” (යොහන් 13:35) “සිතින් එකිනෙකාට උනන්දුලෙස ප්‍රේමකරන්න” කියා ශුද්ධ ලියවිලි ක්‍රිස්තියානීන්ගෙන් උදක්ම ඉල්ලා සිටී. (1 පේතෘස් 1:22) සමාව ඉල්ලා සිටීමට බලවත් ප්‍රේමය අපව පොලඹවයි. ඒ මන්ද? මනුෂ්‍ය අසම්පූර්ණකම් අනිවාර්යයෙන්ම සිත රිදවන හැඟීම් ඇති කරවන නිසා, ඒවා සුව කරනු නොලැබුවහොත් ප්‍රේමය පෙන්වීමෙන් වැළකේ.
නිදසුනක් වශයෙන්, ක්‍රිස්තියානි සභාවේ යම් කෙනෙකු සමඟ පෞද්ගලික මතභේදයක් පවතින නිසා, එම පුද්ගලයා සමඟ කතා නොකර සිටීමට අප වැඩි කැමැත්තක් දැක්විය හැක. අප අමනාපයක් ඇති කර තිබෙනවා නම්, ප්‍රේමනීය සබඳතාවක් නැවත ගොඩනඟාගත හැක්කේ කෙසේද? බොහෝ අවස්ථාවලදී නම්, සමාව ඉල්ලීමෙන් සහ පසුව උණුසුම් ආකාරයකින් කතා බහ කිරීමට වෑයමක් දැරීමෙනි. අපගේ සෙසු ඇදහිලිවන්තයන්ට අප ප්‍රේම කිරීමට ණයගැතිව සිටින අතර, අප සිදු කර ඇති අමනාපයකට අප සමාව ඉල්ලා සිටින විට, අපි එම ණයෙන් කොටසකින් නිදහස් වන්නෙමු.—රෝම 13:8.
එය මෙසේ නිදර්ශනය කළ හැක: මාරි කාමන් සහ පාකි, දීර්ඝ කාලයකට මිතුරියන්ව සිටි ක්‍රිස්තියානි ස්ත්‍රීන් දෙදෙනෙකි. කෙසේවෙතත්, මාරි කාමන් යම් හානිකර ඕපාදූපයක් විශ්වාස කළ නිසා, පාකි සමඟ තිබූ ඇගේ මිත්‍රත්වය කැඩී ගියේය. කිසිදු පැහැදිලි කිරීමකින් තොරව, ඇය පාකිව සම්පූර්ණයෙන්ම මඟහැරියාය. වසරකට ආසන්න කාලයකට පසු, එම ඕපාදූපය බොරුවක් බව මාරි කාමන් දැනගත්තාය. ඈ කෙසේ ප්‍රතිචාරය දැක්වූවාද? පාකි වෙත ගොස්, ඒ තරම් නුසුදුසු ආකාරයකින් හැසිරීම සම්බන්ධයෙන් යටහත් පහත් ලෙස තම බලවත් කනගාටුව ප්‍රකාශ කිරීමට ප්‍රේමය ඇයව පොලඹවනු ලැබීය. ඔවුන් දෙදෙනාම බොහෝ සෙයින් කඳුළු සැලූ අතර, එදා පටන් කල්‍යාණ මිතුරියන් බවට පත් වී ඇත.
අප යම් වරදක් කර තිබෙන බව අපට නොහැඟුණත්, සමාව ඉල්ලා සිටීමෙන් වරදවා වටහාගැනීමක් නිරාකරණය කළ හැකිය. මාන්වෙල් මෙසේ සිහිපත් කරයි: “අවුරුදු ගණනාවකට කලින්, අපේ ආත්මික සහෝදරියක් රෝහල්ගතව සිටි අවස්ථාවකදී, මගේ බිරිඳත් මමත් ඇගේ නිවසේ නැවතුණා. ඇය අසනීප වෙලා හිටිය කාලයේදී, ඇයට වගේම ඇයගේ දරුවන්ටත් උපකාර කරන්න අපිට පුළුවන් උපරිමය අපි කළා. නමුත් ඇය ගෙදර ආවාට පස්සේ, අපි ගෙදර වියහියදම් හරි විදියට පාලනය කර තිබුණේ නැහැ කියලා ඇය මිතුරෙකුට පැමිණිලි කළා.
“අපි ඇයව හමු වෙන්න ගිහින්, අපි තරුණ නිසාත් අද්දැකීම් නැති නිසාත්, ඇය දේවල් කරන විදියට ඒවා කළේ නැති බව පැහැදිලි කළා. ඇය අපිට ණයගැතිව සිටින බවත්, අපි ඇය වෙනුවෙන් කර තිබුණු හැම දේටම ඇය ඇත්තෙන්ම ස්තූතිවන්ත වෙන බවත් පවසමින් ඇය ඉක්මනින්ම ප්‍රතිචාරය දැක්වූවා. ගැටලුව විසඳුනා. එම අද්දැකීම, වරදවා වටහාගැනීම් සිදු වන අවස්ථාවලදී යටහත් පහත් ලෙස සමාව ඉල්ලීමේ ඇති වැදගත්කම මට ඉගැන්වූවා.”
ප්‍රේමය පෙන්වීම මෙන්ම ‘සමාදානය උපදවන කාරණා ලුහුබැඳීම’ සම්බන්ධයෙන් යෙහෝවඃවහන්සේ මෙම යුවළට ආශීර්වාද කළසේක. (රෝම 14:19) අනික් අයගේ හැඟීම් පිළිබඳව සිහි ඇතුව සිටීමද ප්‍රේමයට ඇතුළත් වේ. “අන්‍යයන් කෙරෙහි හැඟීමෙන් යුතුව” කටයුතු කිරීමට පේතෘස් අපට අවවාද කරයි. (1 පේතෘස් 3:8, NW) අප අන්‍යයන් කෙරෙහි හැඟීමෙන් යුතුව කටයුතු කරනවා නම්, අප විසින් කල්පනා නොකර කළ කතාවෙන් හෝ ක්‍රියාවෙන් සිදු කරන ලද වේදනාව වැඩියෙන් වටහාගැනීමට අපට හැකි වන අතර, සමාව ඉල්ලීමට අපව පෙලඹෙනු ඇත.
‘නුඹලා යටත්කම පැළඳගන්න’
සමහර අවස්ථාවලදී, විශ්වාසවන්ත ක්‍රිස්තියානි වැඩිමහල්ලන් පවා උණුසුම් විවාදයකට සම්බන්ධ විය හැකිය. (ක්‍රියා 15:37-39, සසඳන්න.) මෙවැනි අවස්ථාවලදී, සමාව ඉල්ලා සිටීම ඉතා ප්‍රයෝජනවත් වනු ඇත. එහෙත් සමාව ඉල්ලීම දුෂ්කර යමක් සේ පෙනී යන වැඩිමහල්ලන්ට හා වෙනත් ඕනෑම ක්‍රිස්තියානියෙකුට උපකාර කරනු ඇත්තේ කුමක්ද?
යටහත් පහත්කම යතුර වේ. ප්‍රේරිත පේතෘස් මෙසේ අවවාද කළේය: “නුඹලා . . . එකිනෙකාට මෙහෙකරන පිණිස යටත්කම පැළඳගන්න.” (1 පේතෘස් 5:5) බොහෝ විවාදවලදී, දෙපාර්ශ්වයටම වරද පැටවිය යුතු බව සැබෑ වුවත්, යටහත් පහත් ක්‍රිස්තියානියෙකු තමා අතින් සිදු වූ වැරැද්ද ගැන සැලකිලිමත් වී වරද පිළිගැනීමට කැමැත්තෙන් සිටී.—හිතෝපදේශ 6:1-5.
සමාව දෙනු ලබන පුද්ගලයා විසින් එම ඉල්ලීම යටහත් පහත් ආකාරයකින් පිළිගත යුතුය. නිදර්ශනයක් භාවිත කරමින්, අපි මෙසේ සිතමු, එනම් අදහස් හුවමාරු කරගැනීමට අවශ්‍ය මනුෂ්‍යයන් දෙදෙනෙකු, කඳු මුදුන් දෙකක සිටගෙන සිටී. දෙදෙනා අතර තිබෙන විශාල පරතරය හරහා සංවාදයක් ඇති කළ නොහැකි බව ඔප්පු වේ. කෙසේවුවද, ඔවුන්ගෙන් කෙනෙකු මිටියාවත වෙත පහළට බසින අතර, අනික් පුද්ගලයා ඔහුගේ ආදර්ශය අනුගමනය කරන විට, ඔවුන්ට පහසුවෙන්ම කතා බහ කළ හැකිය. එයාකාරයෙන්ම, ක්‍රිස්තියානීන් දෙදෙනෙකුට තමන් අතර පවතින මතභේදයක් නිරාකරණය කරගැනීමට අවශ්‍ය වන්නේ නම්, උපමාලංකාරයෙන් පවසනවා නම්, යටහත් පහත් ලෙස මිටියාවතේදී එකිනෙකා හමු වී යෝග්‍ය ලෙස සමාව ඉල්ලාවා!—1 පේතෘස් 5:6.
විවාහය තුළ සමාව ඉල්ලීම බෙහෙවින් වැදගත්
අසම්පූර්ණ පුද්ගලයන් දෙදෙනෙකු අතර සිදු වන විවාහයක, සමාව ඉල්ලා සිටීම සඳහා අනිවාර්යයෙන්ම ප්‍රස්තාවන් උදා වේ. තවද ස්වාමිපුරුෂයා හා භාර්යාව යන දෙදෙනාටම එකිනෙකා කෙරෙහි හැඟීමක් තිබෙනවා නම්, ඔවුන් නොසැලකිලිමත්ව කළ කතාවකට හෝ ක්‍රියාවකට සමාව අයැදීමට එය ඔවුන්ව පොලඹවනු ඇත. හිතෝපදේශ 12:18 මෙසේ යොමු දක්වයි: “කඩුවෙන් අනින්නාක්මෙන් රළු බස් කීමක් තිබේ; එහෙත් ඥාණවන්තයාගේ දිව සුවය හටගන්වන්නේය.” ‘කල්පනා නොකර කරන අනිනු ලැබීම්’ යළි හරිගැස්විය නොහැකි නමුත්, අවංකව සමාව ඉල්ලීමෙන් ඒවා සුව කළ හැකිය. ඇත්තවශයෙන්ම, මේ සඳහා නොකඩවා සිහි ඇතුව සිටීමත්, වෑයමක් දැරීමත් අවශ්‍ය කරවයි.
ඇයගේ විවාහය ගැන කතා කරමින්, සූසන්a මෙසේ පවසන්නීය: “ජැක්b හා මම දැනට විවාහ වෙලා අවුරුදු 24ක් ගෙවිලා ගිහින් තිබුණත්, අපි තවමත් එකිනෙකා ගැන අලුත් දේවල් ඉගෙනගනිමින් ඉන්නවා. කාලයකට කලින්, අපි වෙන් වී සති කිහිපයක් වෙන්ව ජීවත්වීම කනගාටුවට කරුණක්. කොහොමවුණත්, අපි වැඩිමහල්ලන්ගේ ශුද්ධ ලියවිලිමය උපදෙස්වලට සවන් දී නැවතත් එකතු වුණා. අපිට හුඟක් වෙනස් පෞද්ගලිකත්වයන් තියෙන නිසා, ගැටුම් සිදු වෙන්න පුළුවන් බව අපි දැන් වටහාගෙන තියෙනවා. එහෙම වෙද්දී, අපි ඉක්මනින්ම සමාව ඉල්ලලා, අනික් පුද්ගලයාගේ දෘෂ්ටිකෝණය තේරුම්ගන්ට ඇත්තටම ලොකු උත්සාහයක් ගන්නවා. අපේ විවාහය සැලකිය යුතු ආකාරයකින් කලින් තිබුණාටත් වඩා හොඳ වෙලා තියෙනවා කියලා කියන්න මම සතුටුයි.” ජැක් තවදුරටත් මෙසේ පවසයි: “අපි අමනාප වෙන්න ඉඩ කඩ තියෙන අවස්ථා හඳුනාගන්ටත් ඉගෙනගෙන තියෙනවා. ඒ වගේ වෙලාවට, අපි දෙන්නා එකිනෙකාගේ හැඟීම් තේරම් අරගෙන කටයුතු කරනවා.”—හිතෝපදේශ 16:23.
ඔබ වරදක් නොකළ බව ඔබට හැඟුණොත්, සමාව ඉල්ලිය යුතුද? ගැඹුරු හැඟීම් සම්බන්ධ වී තිබෙන විට, වරද තිබෙන්නේ කොතැනකද කියා තීරණය කිරීම දුෂ්කර දෙයකි. එහෙත් වඩා වැදගත් වන්නේ, විවාහය තුළ සාමය පැවතීමයි. දාවිත්ට අනිසි ලෙස සැලකූ ස්වාමිපුරුෂයෙකු සිටි ඉශ්රායෙලිත ස්ත්‍රියක වූ අබීගායිල් සලකා බලන්න. ඇගේ ස්වාමිපුරුෂයාගේ අනුවණකම සඳහා ඇයට වරද තැබිය නොහැකි වුවත්, ඈ සමාව ඉල්ලා සිටියාය. “ඔබගේ මෙහෙකාරීගේ වරදට කමාවුණමැනවි” කියා ඈ කන්නලව් කළාය. ඇය නොසිටියා නම් තමා අහිංසක රුධිරය වගුරුවනු ඇති බව යටහත් පහත් ලෙස පිළිගනිමින්, දාවිත් ඇයට කාරුණිකව සැලකිල්ල විදහාපෑමෙන් ප්‍රතිචාර දැක්වූයේය.—1 සාමුවෙල් 25:24-28, 32-35.
එයාකාරයෙන්ම, සමාව ඉල්ලා සිටීමට කැමැත්ත දක්වන පළමු තැනැත්තා වීම සාර්ථක විවාහයක් සඳහා අවශ්‍ය යමක් බව, අවුරුදු 45ක් පුරා විවාහ ජීවිතයක් ගත කර ඇති ජූන් නමැති ක්‍රිස්තියානි ස්ත්‍රියට හැඟේ. ඇය මෙසේ පවසයි: “පුද්ගලයෙක් වශයෙන් මගේ හැඟීම්වලට වඩා වැඩියෙන් අපේ විවාහය වැදගත් බව මම මටම කියාගන්නවා. ඒ නිසා සමාව ඉල්ලද්දී, මම විවාහයට දායක වනවා කියන ඒක මට හැඟෙනවා.” ජිම් නමැති වියපත් පුරුෂයෙක් මෙසේ ප්‍රකාශ කරයි: “සුළු සුළු දේවල්වලටත් මම මගේ බිරිඳගෙන් සමාව ඉල්ලනවා. ඇය බරපතළ ශල්‍යකර්මයකට භාජන වූ දවසේ ඉඳලා, ඇය හරි ඉක්මනට දුක් වෙනවා. ඒ හින්දා මං නිතරම ඇයගේ කර වටේට අත දාලා, ‘මට සමාවෙන්න කෙල්ලේ, මං ඔයාව රිදවන්න හිතුවෙ නැහැ’ කියලා කියනවා. වතුර දාපු පැළයක් වගේ ඇය ආයෙත් ඉක්මනින්ම ප්‍රාණවත් වෙනවා.”
අප වැඩියෙන්ම ප්‍රේම කරන පුද්ගලයාව අප රිදවා ඇත්නම්, වහාම සමාව අයැදීම ඉතා ඵලදායී දෙයකි. මිලාග්‍රෝස් සතුටින් මෙසේ පිළිගන්නීය: “මට මං ගැනම විශ්වාසයක් නැහැ, ඒ වගේම මගේ පුරුෂයා මට තදින් කතා කරද්දී මගේ හිත රිදෙනවා. ඒත් ඔහු සමාව ඉල්ලද්දී, මට ඒ වෙලාවෙම සුවයක් දැනෙනවා.” ශුද්ධ ලියවිලි උචිත ලෙස අපට මෙසේ පවසයි: “ප්‍රිය වචන මීවදයක් මෙන් ආත්මයට මිහිරිය, ඇටවලට සැපදායකය.”—හිතෝපදේශ 16:24.
සමාව ඉල්ලීමේ කලාව ක්‍රියාවට නංවන්න
අවශ්‍ය අවස්ථාවලදී අපි පුරුද්දක් වශයෙන් සමාව ඉල්ලන්නෙමු නම්, මනුෂ්‍යයන් සතුටුදායක ලෙස ප්‍රතිචාරය දක්වන බව අප සොයාගන්නවා ඇත. එමෙන්ම, ඇතැම්විට ඔවුන් තමුන්ගෙන්ම පවා සමාව ඉල්ලා සිටිනු ඇත. අප යම් කෙනෙකුව අමනාප කර ඇති බව අප අනුමාන කළහොත්, ඕනෑම වරදක් පිළිගැනීමෙන් වැළකී සිටීමට බොහෝ කාලයක් වැය කරනවා වෙනුවට, සමාව ඉල්ලා සිටීමට පුරුදු නොවන්නේ මන්ද? සමාව ඉල්ලීම දුර්වලකමේ ලක්ෂණයක් බව ලෝකයට හැඟී යා හැකි වුවත්, එය සැබවින්ම ක්‍රිස්තියානි මේරුකමේ සාක්ෂියකි. ඇත්තවශයෙන්ම, තම වරද පිළිගන්නාවූ, එහෙත් තමන්ගේ වගකීම අඩුවෙන් තක්සේරු කරන්නාවූ සමහරෙකු මෙන් වීමට අපට අවශ්‍ය නොවනු ඇත. නිදසුනක් වශයෙන්, අප කවදා හෝ වංක ලෙස සමාව ඉල්ලා තිබෙනවාද? අප ප්‍රමාද වී පැමිණ බලවත් ලෙස සමාව ඉල්ලා සිටිනවා නම්, නියමිත වේලාවට පැමිණීමට අප අධිෂ්ඨාන කරගෙන තිබෙනවාද?
එසේනම්, අප සැබවින්ම සමාව ඉල්ලීමට අවශ්‍යද? ඔව්, අප එසේ කිරීම අවශ්‍යයි. එසේ කිරීම සඳහා අපි අපටම මෙන්ම වෙනත් අයටද බැඳී සිටින්නෙමු. සමාව ඉල්ලීම, අසම්පූර්ණකම නිසා සිදු කරනු ලැබූ වේදනාව ඉවත් කිරීමට උපකාරවත් විය හැකි අතර, එයට අමනාපකම්ද සුව කළ හැකිය. අප සමාව ඉල්ලන සෑම වාරයක්ම යටහත් පහත්කම සම්බන්ධයෙන් පාඩමක් වන අතර, වෙනත් අයගේ හැඟීම් ගැන සංවේදී වීමට එය අපව පුහුණු කරවයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, සෙසු ඇදහිලිවන්තයන්, විවාහක කලත්‍රයන් සහ වෙනත් අය, ඔවුන්ගේ ස්නේහය සහ විශ්වාසය ලබන්ට වටින අය ලෙස අපව සලකනු ඇත. අපට මනසේ සමාදානය තිබෙනු ඇති අතර, යෙහෝවඃවහන්සේ අපට ආශීර්වාද කරනු ඇත.
[පාදසටහන්වල]
a ඔවුන්ගේ සැබෑ නම් නොවේ.
b ඔවුන්ගේ සැබෑ නම් නොවේ.
[23වන පිටුවේ පින්තූර]
අවංකව සමාව ඉල්ලීම ක්‍රිස්තියානි ප්‍රේමයට අනුබල දෙයි