තම පොරොන්දු සම්බන්ධයෙන් දෙවි ප්‍රමාද නැහැ
‘යෙහෝවා, මම කොපමණ කල් මොරගසම්ද? එහෙත් ඔබ නොඅසන්නේද?’ මේවා පො.යු.පෙ. හත්වන ශතවර්ෂයේ ජීවත් වූ හෙබ්‍රෙව් අනාගතවක්තෘ හබක්කුක්ගේ වදන්. ඒවා මනුෂ්‍යයන් සිතන විදිහට බොහෝ සෙයින් සමීපයි, එසේ නොවේද? අප බෙහෙවින් ආශා කරන දේවල් විගස හෝ හැකි ඉක්මනින්ම අවශ්‍ය වීම මනුෂ්‍ය ස්වභාවයයි. එමෙන්ම ක්ෂණික පිනවීම සොයන අපේ යුගයේදී මෙය විශේෂයෙන්ම සැබෑවක් වෙනවා.—හබක්කුක් 1:2.
දෙවිට තම පොරොන්දුව මීට කලින් ඉටු කරන්න තිබුණා කියා හැඟුණු සමහර අය පෙනෙන විදිහට පළමු ශතවර්ෂයේදී සිටියා. ඔවුන් කොයිතරම් නොඉවසිලිවන්ත වුණාද කියනවා නම්, දෙවි ප්‍රමාදයි හෝ පරක්කුයි කියාත් සිතුවා. ඒ හේතුවෙන් කාලය සම්බන්ධයෙන් දෙවිගේ දෘෂ්ටිය අපේ දෘෂ්ටියට වඩා බොහෝ සෙයින් වෙනස් බව ඔවුන්ට මතක් කිරීමට ප්‍රේරිත පේතෘස්ට සිදු වුණා. පේතෘස් මෙසේ ලියනවා: “ප්‍රේමවන්තයෙනි, [යෙහෝවාට] එක දවසක් අවුරුදු දහසක්මෙන්ය, අවුරුදු දහසක් එක දවසක්මෙන්ය යන මේ එක කාරණය මතකනැති නොකරන්න.”—2 පේතෘස් 3:8.
කාලය ගණනය කිරීමේ මෙම ක්‍රමයට අනුව, අවුරුදු 80ක් වයසැති පුද්ගලයෙක් ජීවත්ව සිට තිබෙන්නේ පැය දෙකක් පමණයි. එමෙන්ම මනුෂ්‍යවර්ගයාගේ මුළු ඉතිහාසයම පැවතී තිබෙන්නේ දවස් හයක් පමණයි. අප දේවල් දෙස මෙම දෘෂ්ටියෙන් බලන විට, දෙවි අප සමඟ කටයුතු කරන ආකාරය තේරුම්ගැනීමට පහසු වෙනවා.
කොහොමවුණත් දෙවි කාලය ගණනකට නොගෙන සිටින කෙනෙක් නොවෙයි. ඊට වෙනස්ව ඔහු කාලය ගැන බොහෝ සෙයින් සැලකිලිමත් වෙනවා. (ක්‍රියා 1:7) එමනිසා පේතෘස් තවදුරටත් මෙසේ පවසනවා: “ප්‍රමාදයයි සමහරුන් සලකන හැටියට [යෙහෝවා] තමන්ගේ පොරොන්දුව ගැන ප්‍රමාද [නොවන්නේය]; නුමුත් සියල්ලන්ම පසුතැවිලිවෙනවාට මිස කිසිවෙක් විනාශවෙනවාට [ඔහු] නොකැමැතිව, නුඹලා කෙරෙහි බොහෝ කල් [ඉවසන්නේය].” (2 පේතෘස් 3:9) තමා වෙතින් කාලය ඉගිළී යන බවක් දැනෙන මනුෂ්‍යයන්ට මෙන් දේවල් කිරීමට දෙවිට හදිසිතාවක් හැඟෙන්නේ නැහැ. ‘සදාකාල රජ’ හැටියට ඔහුට සම්පූර්ණ දෘෂ්ටියක් තිබෙන අතර, ඔහුගේ ක්‍රියා තුළින් අදාළ සියලුදෙනා සඳහා වඩාත් හොඳ දේ සිදු වන්නේ කාල ප්රවාහයේ කොතැනදීද කියා තීරණය කිරීමට ඔහුට පුළුවන්.—1 තිමෝති 1:17.
පෙනෙන්ට තිබෙන දෙවිගේ ප්‍රමාදයට හේතුව පැහැදිලි කිරීමෙන් පසුව පේතෘස් මෙම අනතුරු ඇඟවීම කරනවා: “සොරෙකුමෙන් [යෙහෝවාගේ] දවස පැමිණෙන්නේය.” ගණන් දීමේ දවස පැමිණෙන්නේ මනුෂ්‍යයන් එය බලාපොරොත්තුවෙන් නොසිටින විටෙකදී බව එයින් අදහස් වෙනවා. ඉන්පසු, පහත සඳහන් වන පදවලදී, ‘ශුද්ධ වූ හැසිරීමත් භක්තිවන්තකමත්’ විදහාපෙන්වන අය සඳහා තිබෙන මවිතකර බලාපොරොත්තු කෙරෙහි පේතෘස් අවධානය යොමු කරනවා. එය නම්, ඔවුන් දෙවිගේ පොරොන්දු වූ ‘අලුත් අහසක් සහ අලුත් පොළොවක්’ තුළ බේරී ජීවත් වීමේ ප්රස්තාවයි.—2 පේතෘස් 3:10-13.
දෙවිගේ විනිශ්චය තවමත් පැමිණ නොතිබීම ගැන සියල්ලට වඩා වැඩියෙන් අගය දැක්වීමට මෙය අපව පෙලඹවිය යුතුයි. ඔහුගේ අරමුණ ගැන දැනගැනීමටත්, ඔහුගේ පොරොන්දු වූ ආශීර්වාද ලබාගැනීම සඳහා අපේ ජීවිත සකස් කරගැනීමටත්, ඔහුගේ ඉවසීම නිසා අපට හැකි වී තිබෙනවා. පේතෘස් උනන්දු කරන ආකාරයට, ‘අපේ ස්වාමීන්ගේ ඉවසිලිවන්තකම ගැළවීමක්’ වශයෙන් අප සැලකිය යුතු නැද්ද? (2 පේතෘස් 3:15) කොහොමවුණත් දෙවි ඉවසිලිවන්ත වීමට තවත් සාධකයක් තිබෙනවා.
පාපය සම්පූර්ණ විය යුතුයි
හොඳ අතට හැරෙයි කියා තිබූ බලාපොරොත්තු සියල්ල සුන් වී යන තෙක්, නිතරම දෙවි තම විනිශ්චය වැළැක්වූ බව, ඔහු අතීතයේ මනුෂ්‍යවර්ගයා සමඟ කටයුතු කළ ආකාරය අධ්‍යයනය කිරීම තුළින් අප දකිනවා. උදාහරණයකට, කානානිවරුන් මත ගෙනා දෙවිගේ විනිශ්චය සම්බන්ධයෙන් බලද්දී, ඔහු දිගු කාලයකට ප්‍රථමයෙන් ඔවුන්ගේ පාප ආබ්‍රහම්ට පෙන්නුම් කළා. නමුත් ඒ වෙද්දී ඔහුගේ විනිශ්චය ක්‍රියාත්මක කිරීම සඳහා නියමිත කාලය එළඹී තිබුණේ නැහැ. එසේ නොවීමට හේතුව කුමක්ද? බයිබලය මෙසේ පවසනවා: “අමෝරිවරුන්ගේ [කානානිවරුන්ගේ] අධර්මිෂ්ඨකම තවම සම්පූර්ණ [වී නොතිබුණු නිසයි],” නැතහොත් නොක්ස් අනුවාදයේ පෙන්නුම් කරන ආකාරයට, “අමෝරිවරුන්ගේ දුෂ්ටකම එහි උපරිම අවස්ථාව කරා පැමිණ නොතිබීමයි.”—උත්පත්ති 15:16.a
කොහොමවුණත් අවුරුදු 400කට පමණ පසුව, දෙවිගේ විනිශ්චය පැමිණි අතර, ආබ්‍රහම්ගෙන් පැවතෙන්නන් එනම් ඉශ්‍රායෙලිතයන් රට අල්ලාගත්තා. තම ආකල්ප සහ ක්‍රියාවන් නිසා රාහබ් සහ ගිබියොන්වරු වැනි කානානිවරුන්ගෙන් සුළු පිරිසක් බේරුණත්, නූතන පුරාවිද්‍යාත්මක කැණීම් අනාවරණය කරන ආකාරයට ඔවුන්ගෙන් බහුතරයක් අපවිත්රකම්වල හිණිපෙත්තටම ළඟා වී තිබුණා. ඔවුන් පුරුෂ ලිංග නමස්කාරය, දේවස්ථාන ආශ්‍රිතව කරන ගණිකා වෘත්තිය සහ ළමයින්ව පූජා කිරීම සිදු කළා. හැලීගේ බයිබල් අත්පොත (ඉංග්‍රීසියෙන්) මෙසේ සඳහන් කරනවා: “කානානීය නගරවල නටබුන් හාරා බලන පුරාවිද්‍යාඥයන් පුදුම වෙනවා ඇයි දෙවි ඊට කලින් ඔවුන්ව විනාශ කළේ නැත්තේ කියලා.” අන්තිමේදී කානානිවරුන්ගේ ‘පාප සම්පූර්ණ වුණා’; ඔවුන්ගේ “දුෂ්ටකම එහි උපරිම අවස්ථාව කරා” පැමිණ තිබුණා. දෙවි හරි ආකල්පයක් පෙන්වා තිබූ අයව බේරාගනිමින් දේශය පවිත්‍ර කිරීමට ඉඩහැරිය විට, කිසි කෙනෙකුට ඔහු අයුක්තිසහගතයි කියා සාධාරණ ලෙස දොස් පැවරීමට හැකි වුණේ නැහැ.
අපට නෝවාගේ දවසේදී ඒ හා සමාන දෙයක් දකින්න ලැබෙනවා. ජලගැලීමට පළමුවෙන් සිටි මනුෂ්‍යයන් දුෂ්ටව සිටියත්, දෙවි දයාන්විත ලෙසින් ඔවුන්ට තවත් අවුරුදු 120ක කාලයක් පැවතීමට ඉඩහැරියා. එම කාලය අතරතුරදී නෝවා “ධර්මිෂ්ඨකමේ දේශනාකාරයෙක්” ලෙස සේවය කළා. (2 පේතෘස් 2:5) කාලයාගේ ඇවෑමෙන් ඔවුන්ගේ දුෂ්ටකම පෙනෙන විදිහට සම්පූර්ණ වුණා. “[දෙවි] පොළොව දෙස [බැලුවේය]. බලව, එය දූෂ්‍යව තිබුණාය; මක්නිසාද මාංසමයවූ සියල්ලෝ පොළොවෙහි තමන්ගේ මාර්ග දූෂ්යකරගෙන සිටියෝය.” (උත්පත්ති 6:3, 12) ඔවුන්ගේ ‘පාප සම්පූර්ණ වුණා’; කාලය ගතවීමත් සමඟම ඔවුන්ගේ වැරදි නැඹුරුවාවන් උච්චම අවස්ථාව කරා ඇවිත් තිබුණා. දෙවි ක්‍රියාත්මක වෙද්දී ඔහු සම්පූර්ණයෙන්ම යුක්තිසහගතවයි සිටියේ. දෙවි ඉදිරියේ ධර්මිෂ්ඨ බව ඔප්පු කළේ අටදෙනෙක් පමණක් වන අතර, දෙවි ඔවුන්ව ආරක්ෂා කළා.
මෙම අනුපිළිවෙළම දෙවි ඉශ්රායෙල්වරුන් සම්බන්ධයෙන් ක්‍රියා කළ ආකාරයෙනුත් දක්නට ලැබෙනවා. ඔවුන් නොඇදහිලිවන්ත ලෙස සහ දූෂිත ආකාරයකින් හැසිරී තිබුණත්, දෙවි ඔවුන් සමඟ අවුරුදු සිය ගණන් පුරා ඉවසා තිබුණා. වාර්තාව මෙසේ පවසනවා: ‘යෙහෝවා ස්වකීය සෙනඟට අනුකම්පා කළ නිසා පණිවුඩකාරයන් අත ඔවුන්ට [නැවත නැවතත්, NW] කියා ඇරියේය. එහෙත් සුවයක් නැති තරම් යෙහෝවාගේ කෝපය තමන්ගේ සෙනඟට විරුද්ධව පැමිණෙන ලෙස ඔවුහු [දිගින් දිගටම, NW] ඔහුගේ වචන සුළු කර ඔහුගේ ප්‍රොපේතවරුන්ට නින්දා කළෝය.’ (2 ලේකම් 36:15, 16) ජනයා තවදුරටත් හොඳ අතට හැරෙයි කියා බලාපොරොත්තු විය නොහැකි මට්ටමටම ළඟා වී තිබුණා. ගැළවීමට හැකි වූයේ යෙරෙමියාට සහ තවත් සුළු පිරිසකට පමණයි. දෙවි අවසානයේදී ඉතිරි අය පිටට විනිශ්චය ගෙනා විට, ඔහු අයුක්තිසහගතයි කියා පැවසීමට ඔවුන්ට හැකි වූයේ නැහැ.
ක්‍රියා කිරීමට දෙවිගේ කාලය දැන්
දෙවි වත්මන් දේවල පිළිවෙළේ විනිශ්චය වළක්වාගෙන සිටින්නේ, කාලය සම්පූර්ණ වන තෙක් පමණක් බව මෙම උදාහරණවලින් අපට දැකගන්න පුළුවන්. දෙවිගේ සංකේතාත්මක වධකයාට දී තිබෙන මෙම විධානයෙන් මෙය පැහැදිලි වෙනවා: “නුඹේ මුවහත් දෑකැත්ත යොමුකොට පොළොවේ මිදිවැලේ මිදිපොකුරු කපා රැස්කරන්න; මක්නිසාද මිදිපල හොඳට ඉදී තිබේයයි කීය. එවිට දේවදූතයා තමාගේ දෑකැත්ත පොළොවට හෙළා, පොළොවේ මිදිපල රැස්කොට, [දෙවිගේ] උදහස නමැති මහත් මිදිපැසට හෙළුවේය.” මනුෂ්‍යයන්ගේ දුෂ්ටකම ‘හොඳට ඉදී තිබෙන’ බව, එනම් හොඳ අතට හැරීමක් බලාපොරොත්තු විය නොහැකි මට්ටම කරා එය ළඟා වී තිබෙන බව සැලකිල්ලට ගන්න. දෙවි විනිශ්චය ක්‍රියාත්මක කරන විට, ඔහුගේ මැදිහත් වීම යුක්තිසහගත වන බවට කිසිම සැකයක් තිබෙන්න යන්නේ නැහැ.—එළිදරව් 14:18, 19.
ඉහත සඳහන් කළ කරුණු සැලකිල්ලට ගැනීමේදී ලෝකයට එරෙහිව පැමිණෙන දෙවිගේ විනිශ්චය ආසන්න විය යුතු බව පැහැදිලියි. මන්දයත්, කලින් දෙවි විනිශ්චය කළ ලෝකයට සමාන ගති ලක්ෂණ දැන් ලෝකය විදහාපෙන්වා තිබෙන නිසයි. නෝවාගේ දවසේ ජලගැලීමට ප්‍රථමයෙන් තිබුණු තත්වයට සමානව, අප කොතැනක බැලුවත් පෙනෙන්නේ පොළොව සැහැසියාවෙන් පිරී තිබෙන බවයි. මනුෂ්‍යයන්ගේ ආකල්ප හරියට උත්පත්ති 6:5හි විස්තර කරන්නාක් මෙන් වඩ වඩාත් නරක අතට හැරෙමින් තිබෙනවා. එහි මෙසේ විස්තර කරනවා: “[මනුෂ්‍යයන්ගේ] සිතේ කල්පනාවල කවර අරමුණත් නිරන්තරයෙන් නපුරුවම [තිබේ].” කානානිවරුන්ට එරෙහිව දෙවිගේ විනිශ්චය ගෙන ඒමට හේතු වූ බරපතළ පාප පවා, අදදින පොදුවේ දක්නට ලැබෙනවා.
විශේෂයෙන්ම I වන ලෝක මහා යුද්ධයේ පටන් මනුෂ්‍යවර්ගයා තැතිගන්වන වෙනස්කම් අද්දැක තිබෙනවා. පොළොව මිලියන ගණනකගේ ලේවලින් තෙත් වී ඇති අයුරු ඔවුන් දැක තිබෙනවා. යුද්ධ, වාර්ගික සංහාරයන්, ත්‍රස්තවාදය, අපරාධ සහ නොපනත්කම දස දෙස පැතිර පවතිනවා. සාගත, ලෙඩ රෝග සහ දුරාචාරය අපේ ලෝකය ආක්‍රමණය කර තිබෙනවා. සියලුම සාක්ෂිවලින් අඟවන්නේ යේසු පැවසූ නපුරු පරම්පරාව අතරේ අප දැන් ජීවත් වන බවයි. එම පරම්පරාව ගැන ඔහු මෙසේ පැවසුවා: “මේ සියල්ල සිදුවන තුරු මේ පරම්පරාව පහව නොයන්නේය.” (මතෙව් 24:34) ලෝකය දැන් ‘පාපයේ’ සම්පූර්ණ වීම කරා ළඟා වෙමින් පවතිනවා. අස්වැන්න නෙළීම සඳහා “පොළොවේ මිදිවැලේ මිදිපොකුරු” ඉදීගෙන එනවා.
ඔබට ක්‍රියා කිරීමට කාලය දැන්
විනිශ්චය සඳහා කාලය ළඟා වන විට, දෙයාකාරයක සම්පූර්ණ වීමක් සිදු වෙන්න යන බව ප්‍රේරිත යොහන්ට පවසනු ලැබුවා. එක් අතකින් “අධර්මිෂ්ඨ තැනැත්තා මතුත් අධර්මිෂ්ඨකම් කරාවා. අපවිත්‍ර තැනැත්තා මතුත් අපවිත්‍ර කරනු ලබාවා.” නමුත් අනිත් අතට “ධර්මිෂ්ඨ තැනැත්තා මතුත් ධර්මිෂ්ඨකම් කරාවා. ශුද්ධ තැනැත්තා මතුත් ශුද්ධකරනු ලබාවා.” (එළිදරව් 22:10, 11) දෙවනුව සඳහන් කළ මෙම වර්ධනය සිදු වන්නේ, යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් මෙහෙයවන ලෝක ව්‍යාප්ත බයිබල් අධ්‍යාපනික කාර්යය තුළිනුයි. එම කාර්යයෙහි අරමුණ වන්නේ ජනයාගෙන් දෙවි ඉල්ලා සිටින්නේ කුමක්ද කියා ඔවුන්ට ඉගැන්වීමයි. එමගින් ඔවුන් සදාකාලික ජීවිතය ලැබීමට සුදුස්සන් බවට ගණන් ගනු ලැබිය හැකියි. මේ ක්‍රියාකාරකම සභාවන් 87,000ක් මාර්ගයෙන් රටවල් 233ක් කරා ළඟා වී තිබෙනවා.
දෙවි ප්‍රමාද නැහැ. ඔහුගේ පොරොන්දු අත් කරගැනීම සඳහා අවශ්‍ය වන ‘අලුත් පෞද්ගලිකත්ව පැළඳගැනීමට’ එක් එක් පුද්ගලයාට අවශ්‍ය කරන කාලය දීම සඳහා ඔහු ඉවසිලිවන්තව ඉඩහැර තිබෙනවා. (එපීස 4:24, NW) අදදින ලෝක තත්වයන් නොකඩවා දරුණු අතට හැරෙමින් තිබුණත් දෙවි තවමත් බලාගෙන සිටිනවා. ලොව වටා සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් සදාතනික ජීවිතයට මඟ පෙන්වන දැනුම තම අසල්වාසීන් සමඟ බෙදාගැනීම සඳහා සාධාරණ ආකාරයකින් ඔවුන්ට කළ හැකි සෑම දෙයක්ම කරමින් සිටිනවා. (යොහන් 17:3, 17) සතුටට කරුණක් වන්නේ, සෑම අවුරුද්දකම 3,00,000කට වැඩි ජනකායක් ප්‍රතිචාරය දක්වමින් බව්තීස්මය ලබමින් සිටීමයි.
අප සදාකාල ජීවනයේ අද්දර සිටින නිසා, බලා සිටීමට නෙවෙයි, නමුත් ක්‍රියා කිරීමට කාලය දැන්. මන්දයත් කෙටි කාලයකින් අප යේසුගේ මෙම පොරොන්දුවේ ඉටුවීම දකින්න යනවා: “ජීවත්ව සිටින කවුරු නුමුත් මා කෙරෙහි අදහන්නේද, ඔහු කිසිකලකත් නොනසින්නේය.”—යොහන් 11:26.
[පාදසටහන]
a මෙම පදයෙහි පාදසටහනක සොන්සීනෝ චූමාෂ්හි මෙසේ සඳහන් වෙනවා: “ජාතියක පාප සම්පූර්ණ වන තෙක්, එනම් ඔවුන්ව තුරන් කර දැමීමට සුදුසු වන තෙක් දෙවි ඔවුන්ට දඬුවම් කරන්නේ නැහැ.”
[6වන පිටුවේ පින්තූරය]
පොළොවේ මිදි ඵල ඉදුණු විට දෑකැත්ත හෙළන්න කියා දෙවිගේ වධකයාට පැවසුවා
[7වන පිටුවේ පින්තූරය]
ලෝක ව්‍යාප්තව සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් දෙවිගේ සදාතනික ආශීර්වාද ලබාගැනීම සඳහා ජනයාට උපකාර කරමින් සිටිනවා