ඔබ මොන වගේ කෙනෙක්ද?
“ඔබ කවර ආකාරයේ පුද්ගලයන්ද කියා සිතා බලන්න. ඔබේ හැසිරීම ශුද්ධ විය යුතු අතර දෙවි සඳහා ඔබට තිබෙන භක්තිය ඔබේ ක්‍රියාවලින් පිළිබිඹු විය යුතුයි.”—2 පේතෘ. 3:11.
1, 2. දෙවිගේ අනුමැතිය ලබන්න නම් අපි මොනවද කරන්න ඕනෙ?
හුඟක් අය උනන්දු වෙන්නේ අනිත් අය තමන් ගැන හිතන්නේ මොනවද කියන එක ගැනයි. ඒත් අපි වැඩියෙන්ම උනන්දු වෙන්නේ ඕනෙ යෙහෝවා දෙවි අපි ගැන හිතන්නේ මොනවද කියන එක ගැනයි. ඔහු තමයි විශ්වයේ උසස්ම තැනැත්තා. ඒ වගේම ‘ජීවිතයේ උල්පතත්’ ඔහුයි.—ගීතා. 36:9.
2 යෙහෝවා දෙවිගේ අනුමැතිය ලබන්න නම් ‘අපේ හැසිරීම ශුද්ධ විය යුතු අතර දෙවි සඳහා අපිට තිබෙන භක්තිය අපේ ක්‍රියාවලින් පිළිබිඹු විය යුතුයි.’ (2 පේතෘස් 3:11 කියවන්න.) ‘අපේ හැසිරීම ශුද්ධ වෙන්නේ’ අපි හිතන විදිහ, දේවල් කරන විදිහ, දෙවිට නමස්කාර කරන විදිහ, දෙවි බලාපොරොත්තු වෙන ආකාරයට කළොත් විතරයි. ඒ වගේම ‘දෙවි සඳහා අපිට තියෙන භක්තිය අපේ ක්‍රියාවලින් පිළිබිඹු වෙන්නත්’ ඕනෙ. එහෙම වෙන්න නම් අපේ හිතේ දෙවි සඳහා ගැඹුරු ගෞරවයක්, ප්‍රේමයක් තියෙන්න ඕනෙ. ඒකෙන් පැහැදිලි වෙන්නේ අපේ ක්‍රියා වගේම අපි හිතන විදිහ ගැනත් දෙවි සැලකිලිමත් වෙනවා කියලයි. යෙහෝවා දෙවි “සිත් සෝදිසි කරන” නිසා අපේ හැසිරීම ශුද්ධද කියලත් අපේ ජීවිතේ මුල් තැන ඔහුට දෙනවද කියලත් දෙවි දන්නවා.—1 ලේක. 29:17.
3. අපි සලකා බලන ප්‍රශ්න මොනවද?
3 අපිට යෙහෝවා දෙවිගේ අනුමැතිය ලැබෙනවට සාතන් කොහොමටවත් කැමති නැහැ. ඒ නිසා ඔහු උත්සාහ කරන්නේ එක එක විදිහේ බොරුවලින් අපිව රවට්ටලා දෙවි එක්ක තියෙන අපේ මිත්‍රත්වය නැති කරන්නයි. (යොහ. 8:44; 2 කොරි. 11:13-15) ‘සාතන් මිනිසුන්ව රවට්ටන්නේ කොහොමද? යෙහෝවා දෙවි එක්ක තියෙන මගේ මිත්‍රත්වය රැකගන්න මට කරන්න පුළුවන් මොනවද?’ ඒ ගැන දැන් අපි බලමු.
සාතන් මිනිසුන්ව රවට්ටන්නේ කොහොමද?
4. සාතන් නිතරම ඉලක්ක කරන්නේ මොකක්ද? ඒ ඇයි?
4 “කෙනෙක් නොමඟ ගොස් වරදට පෙලඹෙන්නේ ඒ තැනැත්තා තුළ තිබෙන නුසුදුසු ආශාවන් නිසාය. ඒ ආශාවන් පාලනය කරගන්නේ නැත්නම් ඔහු තුළ පව් කිරීමට පෙලඹීමක් ඇති වෙයි. ඔහු පව් කරන විට එහි ප්‍රතිඵලය මරණයයි.” (යාකො. 1:14, 15) පව් කරන්න පෙලඹෙන ආශාවන්, සිතුවිලි නික්මෙන්නේ අපේ හිතෙන්. ඒ නිසා දෙවි එක්ක තියෙන අපේ මිත්‍රත්වය කඩන්න සාතන් නිතරම ඉලක්ක කරන්නේ අපේ හිතයි.
5, 6. (අ) සාතන් අපේ හිත රවට්ටන්නේ කොහොමද? (ආ) ඒ සඳහා ඔහු යොදාගන්නේ මොන උපක්‍රම තුනද? ඔහුට මොන වගේ පළපුරුද්දක් තියෙනවද?
5 සාතන් අපේ හිත රවට්ටන්නේ කොහොමද? බයිබලයේ කියන්නේ “මේ මුළු ලෝකයම දුෂ්ටයාගේ බලපෑමට යටත්” කියලයි. (1 යොහ. 5:19) ඒ නිසා “මේ ලෝකයේ තිබෙන සෑම දෙයක්ම” පාවිච්චි කරලා ඔහු අපේ හිත රවට්ටන්න උත්සාහ කරනවා. (1 යොහන් 2:15, 16 කියවන්න.) පසුගිය අවුරුදු දහස් ගණන පුරාම සාතන් මිනිසුන්ව රවට්ටන්න පුළුවන් වෙන විදිහට මේ ලෝකය සකස් කරලා තියෙනවා. ඒ නිසා ඔහුගේ උපක්රමවලට හසු නොවී ඉන්න අපිට ලොකු වෙහෙසක් දරන්න වෙනවා.—යොහ. 17:15.
6 සාතන් අපිව රවට්ටන්නේ අපේ හිතේ වැරදි ආශාවල් ඇති කරලයි. ඒ සඳහා ඔහු ‘මේ ලෝකයේ තිබෙන දේවල්’ තුනක් යොදාගන්නවා කියලා යොහන් කිව්වා. (1) “තම ඉඳුරන් පිනවීමේ ආශාව.” (2) “තමන් දකින දකින දේ ලබාගැනීමේ ආශාව.” (3) “තමන් සතු දේවල් ප්‍රදර්ශනය කිරීමේ නැඹුරුවාව.” සාතන් ඒ ආශාවන් තුනම උපක්‍රම විදිහට යොදාගෙන යේසුස්වත් රවට්ටන්න උත්සාහ කළා. ඒවා යොදාගෙන අවුරුදු දහස් ගාණක් පුරා මිනිසුන්ව රවට්ටලා සාතන්ට හොඳ පළපුරුද්දක් තියෙනවා. ඒ නිසා එක එක පුද්ගලයට යොදාගන්න ඕනෙ මොන උපක්‍රමයද කියලා ඔහු හොඳට දන්නවා. ඒ උපක්රමවලට හසු නොවී ඉන්නේ කොහොමද කියලා දැනගන්න කලින් ඒ උපක්‍රම යොදාගෙන සාතන් ඒවව රවට්ටපු විදිහත් යේසුස් ඒ දේවලට හසු නොවී සිටිය විදිහත් දැන් අපි බලමු.
“තම ඉඳුරන් පිනවීමේ ආශාව”
7. සාතන් ඒවව රවට්ටන්න “තම ඉඳුරන් පිනවීමේ ආශාව” යොදාගත්තේ කොහොමද?
7 අපි හැමෝටම ජීවත් වෙන්න ආහාර ඕනෙ. ආහාර සඳහා ස්වභාවිකවම අපිට තියෙන කැමැත්ත යොදාගෙන දෙවි අකමැති දෙයක් අපි ලවා කරවන්න සාතන්ට පුළුවන්. ඔහු ඒවව ඒ විදිහට රැවැට්ටුවා. (උත්පත්ති 3:1-6 කියවන්න.) “‘හොඳ හා නරක හඳුනාගැනීම’ යන නමින් හැඳින්වූ” ගසෙන් කෑවොත් මැරෙන්නේ නැහැ කියලත් ඒ වෙනුවට දෙවි වගේ වෙනවා කියලත් සාතන් ඒවට කිව්වා. (උත්. 2:9) ඔහු කිව්වේ, දිගටම ජීවත් වෙන්න නම් දෙවිට කීකරු වෙන එක අත්‍යවශ්‍ය නැහැ කියනවා වගේ දෙයක්. ඒක මොන තරම් ලොකු බොරුවක්ද! ඒ අදහස සාතන් ඒවගේ හිතට දැම්මට පස්සේ, ඒව ඉස්සරහා තේරීම් දෙකක් තිබුණා. එකක්, ඒ අදහස සම්පූර්ණයෙන්ම සිතෙන් ඉවත් කරගන්න එක. අනිත් එක, ඒ ගැන දිගින් දිගටම හිතලා ආශාවක් ඇති කරගන්න එක. කෑමට ඕනෙ තරම් පලතුරු උයනේ තිබුණත් ඒව තෝරගත්තේ දෙවි එපා කියපු ගහෙන් කන එක ගැන දිගින් දිගටම හිතලා ආශාවක් ඇති කරගන්නයි. අන්තිමට ඇය ඒක කෑවා.
8. සාතන් යේසුස්ව රවට්ටන්න “තම ඉඳුරන් පිනවීමේ ආශාව” යොදාගත්තේ කොහොමද? සාතන් අසාර්ථක වුණේ ඇයි?
8 සාතන් ඒ උපක්රමයම යොදාගෙන යේසුස්වත් රවට්ටන්න උත්සාහ කළා. ඒ වෙනකොට යේසුස් දවස් 40ක් කිසිම දෙයක් කාලා හිටියේ නැහැ. ඒ අවස්ථාවේදී “ඔබ දෙවිගේ පුත්‍රයෙකු නම් මේ ගල රොටියක් කරන්න” කියලා සාතන් යේසුස්ට කිව්වා. (ලූක් 4:1-3) යේසුස් ඉදිරියේ තේරීම් දෙකක් තිබුණා. එකක්, තමන්ට ලැබිලා තියෙන බලය යොදාගෙන තමන්ගේ ඕනෑ එපාකම් සපුරගන්න එක. අනිත් එක, එහෙම නොකර ඉන්න එක. ඒත් යේසුස් දැනගෙන හිටියා තමන්ගේ ඕනෑ එපාකම් වෙනුවෙන් තමන්ට ලැබිලා තියෙන බලය යොදාගන්න එක වැරදියි කියලා. ඔහු මොන තරම් බඩගින්නේ හිටියත් කෑමවලට වඩා දෙවි එක්ක ඔහුට තිබුණ මිත්‍රත්වය වටිනවා කියලා හිතුවා. ඒ නිසා “‘මිනිසාගේ ජීවිතය රඳා පවතින්නේ කෑම වේලක් මත පමණක් නොව යෙහෝවා දෙවි පවසන සෑම දෙයක් මතම’ බව ලියා තිබෙනවා” කියලා යේසුස් කිව්වා.—මතෙ. 4:4.
“තමන් දකින දකින දේ ලබාගැනීමේ ආශාව”
9. යම් දෙයක් ලබාගැනීමට කෙනෙක් තුළ ආශාවක් ඇති වෙන්න පුළුවන් කොහොමද? සාතන් ඒ උපක්‍රමය යොදාගෙන ඒවව රැවැට්ටුවේ කොහොමද?
9 සාතන් උපක්‍රමයක් විදිහට යොදාගන්න දෙවෙනි දේ තමයි “තමන් දකින දකින දේ ලබාගැනීමේ ආශාව.” යම් දෙයක් දිහා බලාගෙන ඉන්න එකෙනුත් ඒ සඳහා කෙනෙක් තුළ ආශාවක් ඇති වෙන්න පුළුවන්. සාතන් ඒ උපක්‍රමය ඒවටත් පාවිච්චි කළා. ඔහු කිව්වේ ඒ පලතුර කෑවොත් ‘ඔබේ ඇස් ඇරෙනවා’ කියලයි. ඒව ඒකට අහු වුණා. ඒ දිහා බලාගෙන ඉන්න ඉන්න ඒව තුළ ඒ සඳහා ආශාව වැඩි වුණා. ඊටපස්සේ ඇය ඒක දැක්කේ “ඇසට ප්‍රිය” දෙයක් විදිහටයි.
10. “තමන් දකින දකින දේ ලබාගැනීමේ ආශාව” යේසුස් තුළ ඇති කරන්න සාතන් උත්සාහ කළේ කොහොමද? යේසුස් කිව්වේ මොනවද?
10 සාතන් ඒ උපක්රමයම යොදාගෙන යේසුස්වත් රවට්ටන්න උත්සාහ කළා. “ලොව පුරා පිහිටුවා ඇති සියලු රාජ්‍යයන් එක සැණින්ම” යේසුස්ට පෙන්වපු සාතන් මෙහෙම කිව්වා. ‘මේ සෑම දෙයකම ගෞරවයත් තේජසත් ඔබට ලබා දෙන්න මම කැමතියි.’ (ලූක් 4:5, 6) සාතන් එතනදී යේසුස්ට පෙන්නුවේ මේ ලෝකයේ තියෙන සියලුම රාජ්‍යයන්වල දර්ශනයක්. ඒ දැකපු දේ ගැන ආශාවක් ඇති වෙලා යේසුස් රැවටෙයි කියලා සාතන් හිතන්න ඇති. “ඔබ එක වරක් මට නමස්කාර කළොත් මේ සියල්ල ඔබට අයිති වෙයි” කියලා සාතන් කිව්වේ ඒ නිසයි. (ලූක් 4:7) ඒත් සාතන් කැමති විදිහේ පුද්ගලයෙක් වෙන්න යේසුස්ට කොහෙත්ම ඕනෙකමක් තිබුණේ නැහැ. ඒ නිසා ඔහු ඉක්මනින්ම මෙහෙම කිව්වා. “‘ඔබ නමස්කාර කළ යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවාටයි. ඔබේ පරිශුද්ධ සේවය පිරිනැමිය යුත්තේ ඔහුට පමණයි’ කියා ලියා තිබෙනවා.”—ලූක් 4:8.
“තමන් සතු දේවල් ප්‍රදර්ශනය කිරීමේ නැඹුරුවාව”
11. සාතන් ඒවව රැවැට්ටුවේ කොහොමද?
11 සාතන් උපක්‍රමයක් විදිහට යොදාගන්න තුන්වෙනි දේ තමයි “තමන් සතු දේවල් ප්‍රදර්ශනය කිරීමේ නැඹුරුවාව.” ආදම් සහ ඒවට තමන් ළඟ තිබුණ දේවල් ප්‍රදර්ශනය කරන්න, ඒ වෙනකොට පොළොවේ මිනිසුන් හිටියේ නැහැ තමයි. ඒත් ඔවුන් උඩඟු වුණා. ඒ කොහොමද? “‘හොඳ හා නරක හඳුනාගැනීම’ යන නමින් හැඳින්වෙන ගසෙන්” කෑවොත් “ඔබ හොඳ හා නරක දැනගෙන දෙවිට සමාන වන බව” සාතන් කිව්වා. (උත්. 2:17; 3:5) ඊටපස්සේ, තමන්ට ලැබෙන්න ඕනෙ දෙයක් දෙවි නොදී ඉන්නවා කියලා ඒව උඩඟු විදිහට හිතන්න පටන්ගත්තා. යෙහෝවා දෙවි නැතුව වුණත් තමන්ට ජීවත් වෙන්න පුළුවන් කියලා හිතන්න සාතන් ඒවව පෙලඹුවා. තමන් මිය යන එකක් නැහැ කියලා හිතපු ඇය, දෙවි කන්න එපා කියපු ගහෙන් කෑවා. ඒක මොන තරම් මෝඩ තීරණයක්ද!
12. සාතන්, යේසුස්ව හසු කරගන්න හැදුවේ කොහොමද? යේසුස් කිව්වේ මොනවද?
12 ඒවට වඩා වෙනස්ව යේසුස් නිහතමානිකම ගැන තැබුවේ කදිම ආදර්ශයක්. අනිත් අය පුදුම වෙන විදිහේ දෙයක් කරන්න කියලා සාතන් යේසුස්ව පෙලඹෙව්වා. ඒ උඩඟු ක්‍රියාව කරන්න යේසුස් කොහොමටවත් කැමති වුණේ නැහැ. ඒ වෙනුවට ඔහු සාතන්ට පැහැදිලිවම මෙහෙම කිව්වා. “‘ඔබේ දෙවි වන යෙහෝවා ඔබ වෙනුවෙන් මැදිහත් වෙයිද නැද්ද කියා පරීක්ෂා නොකළ යුතුයි’ කියාද සඳහන් වී තිබෙනවා.”—ලූක් 4:9-12 කියවන්න.
යෙහෝවා දෙවි එක්ක තියෙන මිත්‍රත්වය රැකගන්නේ කොහොමද?
13, 14. සාතන් අද අපිව රවට්ටන්නේ කොහොමද?
13 එදා ඒවව හා යේසුස්ව හසු කරගන්න සාතන් යොදාගත්ත උපක්‍රම, ඔහු අදත් පාවිච්චි කරනවා. “තම ඉඳුරන් පිනවීමේ ආශාව” කියන උගුල පාවිච්චි කරලා අනාචාරයේ යෙදෙන්නත් කෑදර විදිහට කෑම බීම ගන්නත් ඔහු මිනිසුන්ව පොලඹවනවා. “තමන් දකින දකින දේ ලබාගැනීමේ ආශාව” කියන උගුල පාවිච්චි කරලා විශේෂයෙන්ම අන්තර්ජාලයෙන් කාමුක දර්ශන බලන්න මිනිසුන්ව පොලඹවනවා. “තමන් සතු දේවල් ප්‍රදර්ශනය කිරීමේ නැඹුරුවාව” කියන උගුල පාවිච්චි කරලා උඩඟු විදිහට හිතන්න ඔහු මිනිසුන්ව පොලඹවනවා. ඒ නිසා බලය, ප්‍රසිද්ධිය, ධන සම්පත් වැඩි වැඩියෙන් ලබාගන්න ඔවුන් පෙලඹෙනවා.
14 සාතන් ‘මේ ලෝකයේ තිබෙන දේවල්’ පාවිච්චි කරන්නේ හරියට ධීවරයෙක් ඇමක් පාවිච්චි කරනවා වගෙයි. මාළුවා ඇම දැක්කම ඒ ගැන ඌට ආශාවක් ඇති වෙනවා. ඒත් ඒ ඇම ඇතුළේ ඌව අල්ලගන්න කොක්කක් තියෙනවා කියලා මාළුවා දකින්නේ නැහැ. ඒ විදිහට සාමාන්‍යයි, අත්‍යවශ්‍යයි කියලා අපිට හිතෙන දේවල් සාතන් ඇමක් විදිහට පාවිච්චි කරලා දෙවිගේ නීති කඩන්න අපිව පොලඹවනවා. අපේ අවශ්‍යතා ලබාගන්න එක, සැප පහසු ජීවිතයක් ගත කරන එක දෙවිගේ කැමැත්ත කරනවට වඩා වැදගත් කියලා අපි හිතනවා දකින්නයි සාතන්ට ඕනෙ. ඔබත් සාතන්ට රැවටෙයිද?
15. සාතන්ට රැවටෙන්නේ නැතුව ඉන්න අපිට පුළුවන් කොහොමද?
15 ඒවව රැවැට්ටුවත් යේසුස්ව රවට්ටන්න සාතන්ට පුළුවන් වුණේ නැහැ. යේසුස්ව රවට්ටන්න සාතන් උත්සාහ කරපු හැම වෙලාවෙම “ලියා තිබෙනවා” කියලා යේසුස් දේවවචනයෙන් පිළිතුරු දුන්නා. අපිත් උනන්දුවෙන් දේවවචනය අධ්‍යයනය කරනවා නම් බයිබල් ප්‍රතිපත්ති ගැන අපිට හොඳ දැනුමක් ලබාගන්නත් වැරදි දේකට පෙලඹෙද්දී ඒවා ගැන මතක් කරගන්නත් අපිට පුළුවන් වෙනවා. (ගීතා. 1:1, 2) අතීතයේ දෙවිට විශ්වාසවන්තව හිටපු අයගේ ආදර්ශ මතක් කරගන්න එකත් දිගටම දෙවිට විශ්වාසවන්තව ඉන්න අපිට උපකාරයක්. (රෝම 15:4) යෙහෝවා දෙවි කැමති දේවලට කැමති වෙන්නත් ඔහු අකමැති දේවලට ද්වේෂ කරන්නත් පුළුවන් නම් සාතන්ට රැවටෙන්නේ නැතුව ඉන්න අපිට පුළුවන්.—ගීතා. 97:10.
16, 17. අපි මොන වගේ පුද්ගලයන්ද කියන එකට අපි හිතන විදිහ බලපාන්නේ කොහොමද?
16 මේ සමාජයේ අය දේවල් කරන විදිහට කරන්නේ නැතුව දෙවි කැමති විදිහට දේවල් කරන්න නම් “බුද්ධිමත් ලෙස” හිතන්න ඕනෙ කියලා පාවුල් කියනවා. (රෝම 12:1, 2) අපි හිතන විදිහ ගැන සැලකිලිමත් වෙන එක හුඟක් වැදගත් කියලා පෙන්වන්න ඔහු මෙහෙම කිව්වා. “දෙවි පිළිබඳ දැනුමට විරුද්ධව මිනිසුන් ගෙනෙන තර්ක විතර්ක හා ඔවුන් දරන සියලු උඩඟු ආකල්ප අපි බිඳ දමමින් සිටින්නෙමු. එලෙසම සිරකරුවෙකුව මෙල්ල කරනවා වගේ අපි මිනිසුන්ගේ සෑම සිතුවිල්ලක්ම මෙල්ල කර ඒවා ක්‍රිස්තුස්ට කීකරු ඔහු සිතන ආකාරයට හැඩගැසුණු සිතුවිලි බවට වෙනස් කරමින් සිටින්නෙමු.” (2 කොරි. 10:5) අපි මොන වගේ පුද්ගලයන්ද කියලා තීරණය වෙන්නේ අපි හිතන විදිහ අනුවයි. ඒ නිසා අපි හැම වෙලාවෙම හිතන්න ඕනෙ දෙවි සතුටු වෙන දේවල් ගැනයි.—ෆිලි. 4:8.
17 දිගටම ශුද්ධව ඉන්න නම් අපි තුළ ඇති වෙන වැරදි සිතුවිලි හා ආශාවලට ඉඩක් නොදී ඉන්න අපි අධිෂ්ඨාන කරගන්න ඕනෙ. ඒ වගේම “පවිත්‍ර හදවතකින්” යෙහෝවා දෙවිට සේවය කරන්නත් ඕනෙ. (1 තිමෝ. 1:5) ඒත් අපේ හිත රැවටිලිකාර නිසා ‘මේ ලෝකයේ තිබෙන දේවල්’ අපිට කොච්චර බලපානවද කියලා අපිට නොතේරෙන්න පුළුවන්. (යෙරෙ. 17:9) ඒ නිසා මේ උපදෙස පිළිපදින එක අත්‍යවශ්‍ය දෙයක්. “ඔබ විශ්වාස කරන සත්‍ය ඉගැන්වීම්වලට ඔබ ඇලී සිටිනවාද කියා නොකඩවා සෝදිසි කර බලන්න. ඔබ කුමනාකාරයේ පුද්ගලයන්ද කියා නිරතුරුවම පරීක්ෂා කර බලන්න.” අපි බයිබලය අධ්‍යයනය කරද්දී ‘මගේ සිතුවිලි හා ආශාවන් ගැන දෙවි සතුටු වෙයිද’ කියලා අපි අපෙන්ම අහගමු.—2 කොරි. 13:5.
18, 19. අපි හැමෝම දෙවි කැමති පුද්ගලයන් වෙන්න උත්සාහ කරන්න ඕනෙ ඇයි?
18 ‘මේ ලෝකයේ තිබෙන දේවලින්’ ආරක්ෂා වෙන්න අපිට උදව් වෙන තවත් දෙයක් ගැන යොහන් මෙහෙම කියනවා. “මේ ලෝකයත් එහි පවතින ආශාවනුත් නැති වී යන්නේය. නමුත් සදහටම පවතින්නේ දෙවිගේ කැමැත්ත කරන පුද්ගලයාය.” (1 යොහ. 2:17) බැලූ බැල්මට පේන්නේ සාතන්ගේ මේ දුෂ්ට සමාජය කවදාවත් නැති වෙන එකක් නැහැ කියලයි. ඒත් ඒක ළඟදීම විනාශ වෙනවා. ඒ දේ මතක තියාගැනීම, සාතන්ට රැවටෙන්නේ නැතුව ඉන්න අපිට උපකාරයක්.
19 “යෙහෝවා දෙවිගේ දවස පැමිණෙන කාලය බලා සිටිමින් එය ඔබේ මනසෙහි ප්රමුඛව තබාගන්න. ඒ දවසේදී අහස ගින්නෙන් දැවී නැති වී යන්නේය. අහසෙහි සහ පොළොවෙහි ඇති දේවල්ද අධික උෂ්ණත්වය නිසා උණු වී යන්නේය” කියලා පේතෘස් කිව්වා. (2 පේතෘ. 3:12) ඒ කාලය එනකල් දෙවිගේ අනුමැතිය දිනාගෙන ජීවත් වෙන්න අපි උත්සාහ කරමු. සාතන්ගේ ලෝකයේ හැම දෙයක්ම ඉතාමත් ළඟදී දෙවි විනාශ කරනවා. ඒ වෙනකල් ‘මේ ලෝකයේ තිබෙන දේවල්’ පාවිච්චි කරලා ඒවව සහ යේසුස්ව රවට්ටන්න සාතන් උත්සාහ කළා වගේ අපිවත් රවට්ටන්න ඔහු උත්සාහ කරයි. ඒත් අපි කවදාවත් තමන්ගේ ආශාවන් ඉටු කරගන්න උත්සාහ කරපු ඒව වගේ වෙන්න හොඳ නැහැ. එහෙම කළොත් සාතන් අපේ දෙවියන් වෙයි. ඒ වෙනුවට අපි යේසුස් වගේ වැඩ කරමු. සාතන්ගේ දේවල් කොයි තරම් හොඳයි කියලා පෙනුණත් ඔහුගේ උගුල්වලට හසු නොවී ඉමු. අපි හැමෝම දෙවි කැමති පුද්ගලයන් වෙන්න අපේ උපරිමය කරමු.