අපි අපේ අනගි ඇදහිල්ල තදින් අල්ලාගනිමු!
“අප වාගේ එක සමාන වරප්‍රසාදයක් ලෙස ඇදහිල්ලක් ලබාගෙන තිබෙන අය වෙත.”—2 පේතෘස් 1:1, NW.
1. තම ප්‍රේරිතයන්ට අනතුරු ඇඟවීමක් වශයෙන් යේසු පැවසුවේ කුමක්ද? ඒත් පේතෘස් පුරසාරම් දෙඩුවේ කොහොමද?
යේසුගේ මරණයට කලින් සැන්දෑවේදී, තම ප්‍රේරිතයන් සියලුදෙනාම ඔහුව අත්හරින බව ඔහු කිව්වා. ඉන් එක් කෙනෙක්, පේතෘස්, මෙසේ පුරසාරම් දෙඩුවා: අන් “සියල්ලන්ම ඔබ ගැන බාධාවෙතත් මම නම් කවදාවත් බාධා නොවන්නෙමි.” (මතෙව් 26:33, ඇල අකුරු අපේය.) ඒත් එසේ නොවන බව යේසු දැන සිටියා. ඒ අවස්ථාවේදීම ඔහු පේතෘස්ට මෙසේ පැවසුවේ එනිසයි: “නුඹේ ඇදහිල්ල නැති නොවන පිණිස නුඹ උදෙසා මම යාච්ඤාකෙළෙමි. නුඹ නැවත හැරුණායින් පසු නුඹේ සහෝදරයන් ස්ථිරකරන්න.”—ලූක් 22:32.
2. පේතෘස්ට ඕනෑවට වඩා වැඩි ආත්මවිශ්වාසයක් තිබුණත්, ඔහුගේ ඇදහිල්ල දුර්වල බව ඔහුගේ මොන ක්‍රියාවලින් එළි වුණාද?
2 තම ඇදහිල්ල ගැන ඕනෑවට වඩා වැඩි විශ්වාසයක් ඇති කරගෙන තිබූ පේතෘස්, එම රාත්‍රියේදීම යේසුව නාඳුනන බව කිව්වා. ක්‍රිස්තුස්ව දැන සිටියේවත් නැහැ කියා ඔහු තුන් වතාවක්ම කියා සිටියා! (මතෙව් 26:69-75) ඔහු “නැවත හැරුණ” විට, “නුඹේ සහෝදරයන් ස්ථිරකරන්න” යන තම ස්වාමියාගේ වදන් ඔහුගේ දෙසවනෙහි ඉතා පැහැදිලිව රැව් පිළිරැව් දෙන්න ඇති. බයිබලයේ රක්ෂා කර තිබෙන පේතෘස් ලියූ ලිපි දෙකෙන් පැහැදිලි වන පරිදි, පේතෘස්ගේ ඉතිරි ජීවිත කාලය එම අනුශාසනාවෙන් ගැඹුරට බලපෑම් ලැබුවා.
පේතෘස් තම ලිපි ලියූ හේතු
3. පේතෘස් තම පළමුවන ලිපිය ලිව්වේ ඇයි?
3 යේසුගේ මරණයෙන් අවුරුදු 30කට පමණ පසු, පේතෘස් තම පළමුවන ලිපිය ලියූ අතර, දැන් උතුරු සහ බටහිර තුර්කියට අයත් ප්‍රදේශ වන පොන්තස්, ගලාතිය, කප්පදොකිය, ආසියාව සහ බිතිනියෙහි විසූ තම සහෝදරයන්ට එය යැව්වා. (1 පේතෘස් 1:1) පේතෘස් ලියූ අය අතර යුදෙව්වන් සිටි බවට සැකයක් නැහැ; ඔවුන්ගෙන් සමහරෙක් පො.යු. 33 පෙන්තකොස්ත දවසේදී ක්‍රිස්තියානීන් බවට පත් වූ අය වන්නත් ඇති. (ක්‍රියා 2:1, 7-9) ඉන් බොහෝදෙනෙක් විරුද්ධවාදීන්ගේ අතින් දරුණු පීඩාවලට ලක් වෙමින් සිටි අන්‍යජාතිකයන්. (1 පේතෘස් 1:6, 7; 2:12, 19, 20; 3:13-17; 4:12-14) ඒ නිසා පේතෘස් මේ සහෝදරයන්ට ලිව්වේ ඔවුන්ව දිරිගන්වන්නයි. ‘ඔවුන්ගේ ඇදහිල්ලේ තීන්දුව වන ඔවුන්ගේ ප්‍රාණවල ගැළවීම’ ලැබීමට ඔවුන්ට උපකාර කිරීම ඔහුගේ ඉලක්කය වුණා. මේ අනුව, ඔහුගේ සමුගැනීමේ අනුශාසනාවේදී, ඔහු මෙසේ උනන්දු කළා: “නුඹලාගේ ඇදහිල්ලෙහි ස්ථිරව සිට, යක්ෂයාට විරුද්ධව සිටින්න [ඔබේ ස්ථාවරය ගන්න, NW].”—1 පේතෘස් 1:9; 5:8-10.
4. පේතෘස් තම දෙවන ලිපිය ලිව්වේ ඇයි?
4 පසුව, පේතෘස් මෙම ක්‍රිස්තියානීන්ට දෙවන ලිපියක් ලිව්වා. (2 පේතෘස් 3:1) ඇයි? ඊටත් වඩා ලොකු තර්ජනයක් පැවතුණ නිසයි. දුරාචාර පුද්ගලයන් තම දූෂ්‍ය කරවන හැසිරීම ඇදහිලිවන්තයන් අතර පතුරුවන්න වෑයම් කරනු ඇති අතර, සමහරුන්ව නොමඟ යවන්න සමත් වෙනවා! (2 පේතෘස් 2:1-3) එපමණක්ද නොව, පේතෘස් කවටකම්කරන්නන් ගැන අනතුරු ඇඟෙව්වා. “සියලු දේවල අන්තිමය ළංවී” තිබෙන බව ඔහු තම පළමුවන ලිපියෙහි ලියා තිබුණ අතර, දැන් සමහරෙක් එවැනි අදහසක් සමච්චලයට ලක් කරමින් සිටි බව පෙනුණා. (1 පේතෘස් 4:7; 2 පේතෘස් 3:3, 4) පේතෘස්ගේ දෙවන ලිපිය පරීක්ෂා කර, එය සහෝදරයන්ව ඇදහිල්ලෙහි දිගටම ස්ථිරව සිටින්න ශක්තිමත් කළ ආකාරය බලමු. මෙම මුල් ලිපියෙහි අපි සලකා බලන්න යන්නේ 2 පේතෘස් 1වන පරිච්ඡේදයයි.
පළමුවන පරිච්ඡේදයෙහි අරමුණ
5. ගැටලු පිළිබඳ සාකච්ඡාවක් සඳහා පේතෘස් තම පාඨකයන්ව සූදානම් කරන්නේ කොහොමද?
5 පේතෘස් බරපතළ ගැටලුවලට විගස අවතීර්ණ වෙන්නේ නැහැ. ඒ වෙනුවට, පාඨකයන් ක්‍රිස්තියානීන් වෙද්දී ඔවුන් ලැබූ දේ සඳහා අගය ගොඩනැංවීමෙන් මෙම ගැටලු සාකච්ඡා කිරීම සඳහා මාර්ගය සූදානම් කරනවා. දෙවිගේ පුදුමසහගත පොරොන්දු සහ බයිබල් අනාවැකිවල විශ්වාසවන්තභාවය ගැන ඔහු ඔවුන්ට සිහිගන්වනවා. ඔහු මෙය කරන්නේ, ක්‍රිස්තුස් රාජ්‍ය බලයෙන් යුතුව සිටීම පිළිබඳව ඔහු පෞද්ගලිකව දුටු දර්ශනය වන අන්වෙසක් වීම ගැන ඔවුන්ට විස්තර කිරීමෙන්.—මතෙව් 17:1-8; 2 පේතෘස් 1:3, 4, 11, 16-21.
6, 7. (අ) පේතෘස්ගේ ලිපියේ හැඳින්වීමෙන් අපිට මොන වගේ පාඩමක් ඉගෙනගත හැකිද? (ආ) අපි උපදෙස් දෙනවා නම්, ඇතැම්විට මොන වගේ යමක් ඒත්තුගැනීම උපකාරවත් විය හැකිද?
6 පේතෘස්ගේ හැඳින්වීමෙන් අපිට පාඩමක් ඉගෙනගන්න පුළුවන්ද? අපි පොදුවේ නිධානයක් සේ සලකන උදාර රාජ්‍ය බලාපොරොත්තුවේ අංගයන්, අපිට සවන් දෙන අය සමඟ අපි මුලින්ම සලකා බලනවා නම්, දෙන උපදේශය පිළිගැනීම වඩාත් පහසු කරවන්නේ නැද්ද? එතකොට පෞද්ගලික අද්දැකීමක් පාවිච්චි කිරීම? සමහරවිට, ක්‍රිස්තුස් රාජ්‍ය තේජසින් සිටි දර්ශනය දැකීම ගැන පේතෘස් යේසුගේ මරණයෙන් පසු විටින් විට කතා කරන්න ඇති.—මතෙව් 17:9.
7 පේතෘස් තම දෙවන ලිපිය ලියද්දී, මතෙව්ගේ සුවිශේෂය සහ පාවුල් ගලාතිවරුන්ට ලියූ ලිපිය පුළුල්ව බෙදාහැර තිබුණ බව සිතන්න හොඳ හේතු තිබෙන බවත් මතක තබාගන්න. ඒ නිසා පේතෘස්ගේ මානුෂික දුර්වලකම් සහ ඔහුගේ ඇදහිල්ලේ වාර්තාව, ඔහුගේ සමකාලීනයන් අතර ප්‍රසිද්ධ වන්න ඇති. (මතෙව් 16:21-23; ගලාති 2:11-14) කොහොම වුණත්, කතා කිරීමට ඔහුට තිබුණු නිදහස මේ නිසා අහිමි වුණේ නැහැ. ඇත්තෙන්ම, තම තමුන්ගේම දුර්වලකම් ගැන සාවධානව සිටි අයට ඔහුගේ ලිපිය වඩාත් සිත්ගන්නා යමක් කරවීමට එය දායක වන්න ඇති. එමනිසා, අපිටත් වැරදි කරන්න නැඹුරුවාවක් තිබෙන බව පිළිගැනීම, ගැටලු ඇති අයට උපකාර කරද්දී ඵලදායී විය නොහැකිද?—රෝම 3:23; ගලාති 6:1.
ශක්තිමත් කරවන ආමන්ත්‍රණයක්
8. පේතෘස් ඇතැම්විට “ඇදහිල්ල” යන වචනය භාවිත කරන්න ඇත්තේ මොන අදහස ඇතුවද?
8 දැන් පේතෘස්ගේ ආමන්ත්‍රණය සලකා බලන්න. “අප වාගේ එක සමාන වරප්‍රසාදයක් ලෙස ඇදහිල්ලක් ලබාගෙන තිබෙන අය” ලෙස තම පාඨකයන්ට ආමන්ත්‍රණය කරමින්, ඔහු වහාම ඇදහිල්ල නමැති විෂයට බසිනවා. (2 පේතෘස් 1:1, NW) මෙහිදී “ඇදහිල්ලක්” යන යෙදුමෙන් “ස්ථිර ඒත්තුගැන්වීම” යන්න අදහස් විය හැකි අතර, ශුද්ධ ලියවිල්ලෙහි ඇතැම්විට “සත්‍යය” කියා හඳුන්වන ක්‍රිස්තියානි විශ්වාසයන් හෝ ඉගැන්වීම් සමූහයට එය යොමු දක්වනවා. (ගලාති 5:7; 2 පේතෘස් 2:2; 2 යොහන් 1) “ඇදහිල්ල” යන වචනය බොහෝවිට භාවිත කර තිබෙන්නේ මෙම තේරුමට අනුව මිසක්, පුද්ගලයෙක් හෝ දෙයක් කෙරෙහි විශ්වාසය හෝ නිසැකකම අඟවන සාමාන්‍ය තේරුමට අනුව නෙවෙයි.—ක්‍රියා 6:7; 2 කොරින්ති 13:5; ගලාති 6:10; එපීස 4:5; යූද් 3.
9. පේතෘස්ගේ ආමන්ත්‍රණය විශේෂයෙන්ම අන්‍යජාතිකයන්ට උණුසුම ගෙන දෙන්නක් වන්න ඇත්තේ ඇයි?
9 පේතෘස්ගේ ආමන්ත්‍රණය අන්‍යජාතික පාඨකයන්ට විශේෂයෙන්ම උණුසුම් යමක් සේ දිස්වන්න ඇති. යුදෙව්වන් අන්‍යජාතිකයන් සමඟ ගනු දෙනු කළේ නැහැ; ඇත්තෙන්ම ඔවුන්ව පිළිකුල් කළා; ඒ වගේම ක්‍රිස්තියානීන් බවට පත්ව සිටි යුදෙව්වන් අතරත් අන්‍යජාතිකයන්ට එරෙහිව අගතිය පැවතුණා. (ලූක් 10:29-37; යොහන් 4:9; ක්‍රියා 10:28) ඒත්, යුදෙව්වන් සහ අන්‍යජාතිකයන් වූ ඔහුගේ පාඨකයනුත් එකම ඇදහිල්ල බෙදාගත් බවත්, ඔහු සමඟ එක සමාන වරප්‍රසාදයක් භුක්ති වින්ද බවත් උපතෙන් යුදෙව්වෙක් සහ යේසුස් ක්‍රිස්තුස්ගේ ප්‍රේරිතයෙක් වූ පේතෘස් කියා සිටියා.
10. පේතෘස්ගේ ආමන්ත්‍රණයෙන් අපිට ඉගෙනගත හැක්කේ මොන වගේ පාඩම්ද?
10 පේතෘස්ගේ ආමන්ත්‍රණය අදදින අපිට උගන්වන කදිම පාඩම් ගැන සිතා බලන්න. දෙවි එක පැත්තකට පක්ෂ නැහැ; එක් වර්ගයක් හෝ ජාතියකට වඩා ඔහු තවෙකකට අනුග්‍රහයක් දක්වන්නෙත් නැහැ. (ක්‍රියා 10:34, 35; 11:1, 17; 15:3-9) යේසුම ඉගැන්නුවාක් මෙන්, සියලුම ක්‍රිස්තියානීන් සහෝදරයන් වන අතර, අපෙන් කිසිම කෙනෙක් උසස් කියා නොහැඟිය යුතුයි. තවදුරටත්, අපි “එක සමාන වරප්‍රසාදයක් ලෙස” පේතෘස් සහ ඔහුගේ සෙසු ප්‍රේරිතයන්ට තිබුණු ඇදහිල්ල අත් කරගෙන සිටින ලෝක ව්‍යාප්ත සහෝදරත්වයක් බව පේතෘස්ගේ ආමන්ත්‍රණය අවධාරණය කරයි.—මතෙව් 23:8; 1 පේතෘස් 5:9.
දැනුම සහ දෙවිගේ පොරොන්දු
11. තම ආමන්ත්‍රණයෙන් පසු, පේතෘස් කුමන අතිවැදගත් දේවල් අවධාරණය කරනවාද?
11 තම ආමන්ත්‍රණයෙන් පසු, පේතෘස් මෙසේ ලියනවා: “ලබන්න නොවටිනා තරම් වූ කරුණාව සහ සමාදානය ඔබට වැඩි වේවා!” අපිට ලබන්න නොවටිනා තරම් වූ කරුණාව සහ සමාදානය වැඩි වෙන්න යන්නේ කොහොමද? “දෙවි සහ අපේ ස්වාමි වන යේසුස් පිළිබඳ ඒකාන්ත දැනුමක් තුළින්” කියා පේතෘස් උත්තර දෙනවා. ඊළඟට ඔහු මෙසේ පවසනවා: “දිව්‍ය බලය, ජීවනය සහ දේවභක්තියට අදාළ සියලු දේ අපට නොමසුරුව දී තිබේ.” මෙම අතිවැදගත් දේවල් අපි ලබන්නේ කොහොමද? “මහිමයෙන් සහ සුචරිතයෙන් අපව කැඳවාගත් තැනැත්තා පිළිබඳ ඒකාන්ත දැනුමක් තුළින්.” මේ අනුව දෙවි සහ ඔහුගේ පුත්‍රයා පිළිබඳ ඒකාන්ත දැනුමක් අත්‍යවශ්‍ය බව පේතෘස් දෙවරක් අවධාරණය කරනවා.—2 පේතෘස් 1:2, 3; යොහන් 17:3; NW.
12. (අ) පේතෘස් ඒකාන්ත දැනුමෙහි වැදගත්කම කාවද්දවන්නේ ඇයි? (ආ) දෙවිගේ පොරොන්දු භුක්ති විඳින්න නම්, පළමුව අපි කුමක් කළ යුතුව තිබීම අවශ්‍යද?
12 පේතෘස් දෙවන පරිච්ඡේදයෙහි අනතුරු අඟවන “බොරු ගුරුවරු” ක්‍රිස්තියානීන්ව මුළා කරන්න “වංචා වචන” භාවිත කරනවා. මෙයාකාරයෙන් ඔවුන්ව මුදනු ලැබූ දුරාචාරයට නැවතත් ප්‍රයෝගයෙන් ඇද දමන්න ඔවුන් වෑයම් කරනවා. “ස්වාමී සහ ගැළවුම්කාර යේසුස් ක්‍රිස්තුස් පිළිබඳ ඒකාන්ත දැනුමක් තුළින්” ගැළවීම ලබා, පසුව එවැනි මුළාවන්ට ගොදුරු වන අයට අත් වන ප්‍රතිඵල විනාශකාරියි. (2 පේතෘස් 2:1-3, 20, NW) පෙනෙන විදිහට මෙම ගැටලුව පසුව සාකච්ඡා කිරීමේ අදහසින්, පේතෘස් තම ලිපියෙහි මුලදීම වගේ දෙවි සමඟ පවිත්‍ර ස්ථාවරයක් පවත්වාගැනීමට ඒකාන්ත දැනුමේ ඇති අවශ්‍යතාව කාවද්දනවා. දෙවි “අනර්ඝවූ ඉතා උතුම්වූ පොරොන්දු අපට [නොමසුරුව, NW] දී තිබේ; එසේ කළේ . . . ඒ පොරොන්දු කරණකොටගෙන දේව ස්වභාවට පංගුකාරයන් වන පිණිස” බව පේතෘස් නිරීක්ෂණය කරනවා. ඒත්, අපේ ඇදහිල්ලේ අනිවාර්ය කොටසක් වන මෙම පොරොන්දු භුක්ති විඳීමට නම්, පේතෘස් කියන ආකාරයට අපි පළමුව, “තෘෂ්ණාව නිසා ලෝකයේ තිබෙන දූෂ්‍යකමෙන්” “ගැළවී” සිටීම අවශ්‍යයි.—2 පේතෘස් 1:4.
13. ආලේප ලත් ක්‍රිස්තියානීන් සහ ‘වෙනත් බැටළුවන්’ කුමක් තදින් අල්ලාගැනීමට අදිටන් කරගෙන සිටිනවාද?
13 ඔබ දෙවිගේ පොරොන්දු සලකන්නේ කොහොමද? ආලේප ලත් ක්‍රිස්තියානීන්ගේ ඉතිරි කොටස සලකන ආකාරයටද? වර්ෂ 1991දී, අවුරුදු 75කටත් වඩා වැඩියෙන් පූර්ණ කාලීන සේවයෙහි නිරත වී තිබුණු වොච් ටවර් බයිබල් සහ පත්‍රිකා සමිතියේ එවකට සිටි සභාපති ෆ්රෙඩ්රික් ෆ්රාන්ස්, ක්‍රිස්තුස් සමඟ පාලනය කිරීමට බලාපොරොත්තු වන අයගේ හැඟීම් මෙසේ කැටි කොට දැක්වූවා: “මේ මොහොත දක්වා අප ස්ථිර ව සිටින අතර [දෙවි] ස්වකීය ‘අනර්ඝවූ ඉතා උතුම්වූ පොරොන්දු’ සම්බන්ධයෙන් [තමන්] සත්‍යය බව ඇත්තෙන් ම තහවුරු කරන තෙක් අපි ස්ථිර ව සිටින්නට යන්නෙමු.” සහෝදර ෆ්රාන්ස් ස්වර්ගික නැවත නැඟිටීමක් පිළිබඳ දෙවිගේ පොරොන්දුව ගැන නිසැකකම පවත්වාගත් අතර, අවුරුදු 99දී ඔහුගේ මරණය දක්වාම ඇදහිල්ල තදින් අල්ලාගෙන සිටියා. (1 කොරින්ති 15:42-44; පිලිප්පි 3:13, 14; 2 තිමෝති 2:10-12) ඒ හා සමානව, ජනයා සන්තෝෂයෙන් සදාකල් ජීවත් වීමට යන භූමික පාරාදීසයක් පිළිබඳ දෙවිගේ අරමුණ කෙරෙහි ඔවුන්ගේ නෙත් යොමු කිරීමෙන්, දශලක්ෂ ගණන්දෙනා ඇදහිල්ල තදින් අල්ලාගෙන සිටිනවා. ඔබත් ඉන් එක් කෙනෙක්ද?—ලූක් 23:43; 2 පේතෘස් 3:13; එළිදරව් 21:3, 4.
දෙවිගේ පොරොන්දුවලට ප්‍රතිචාරය
14. පේතෘස් ඇදහිල්ලට සැපයිය යුතු මුල්ම ගුණාංගය වශයෙන් සුචරිතය ලැයිස්තුගත කරන්නේ ඇයි?
14 අපි දෙවි පොරොන්දු වී ඇති දෙය වෙනුවෙන් ඔහුට කෘතඥපූර්වක වෙනවාද? වෙනවා නම්, අපි එය පෙන්නුම් කළ යුතුයි කියා පේතෘස් තර්ක කරනවා. “එසේය, මේ කාරණය නිසාම” (දෙවි අපිට ඉතා අනර්ඝ පොරොන්දු දී ඇති නිසා), ක්‍රියා කිරීමට අපි සැබෑ වෑයමක් දැරිය යුතුයි. නිකම්ම ඇදහිල්ලෙහි සිටීමෙන් හෝ බයිබල් සත්‍යතා දැනගෙන සිටීමෙන් පමණක් සෑහීමට පත් වෙන්න අපිට බැහැ. එය ප්‍රමාණවත් මදි! ඇතැම්විට පේතෘස්ගේ දවසේදී, සභාවල සමහරෙක් ඇදහිල්ල ගැන බොහෝ දේ කතා කළත්, දුරාචාර හැසිරීමට යොමු වෙන්න ඇති. ඔවුන්ගේ හැසිරීම සුචරිතවත්ව තබාගැනීම අවශ්‍ය වුණ නිසා පේතෘස් මෙසේ උනන්දු කළා: “ඔබේ ඇදහිල්ලට සුචරිතය සපයාගන්න.”—2 පේතෘස් 1:5, NW; යාකොබ් 2:14-17.
15. (අ) ඇදහිල්ලට සැපයිය යුතු ගුණාංගයක් වශයෙන් සුචරිතයෙන් පසු දැනුම ලැයිස්තුගත කරන්නේ ඇයි? (ආ) ඇදහිල්ල තදින් අල්ලාගැනීමට වෙන මොන ගුණාංග අපිව සන්නද්ධ කරාවිද?
15 සුචරිතය සඳහන් කිරීමෙන් පසු, අපේ ඇදහිල්ලට සපයාගත යුතු හෝ එකතු කළ යුතු තවත් ගුණාංග හයක් පේතෘස් ලැයිස්තුගත කරනවා. අපි “ඇදහිල්ලේ ස්ථිරව සිටින්න” නම්, මේ හැමෙකක්ම අවශ්‍ය වෙනවා. (1 කොරින්ති 16:13) ඇදහිල්ල අත්හළ අය ‘ශුද්ධ ලියවිලි පෙරළමින්’ “මුළා කරවන ඉගැන්වීම්” [NW] පතුරුවමින් සිටි නිසා, දැනුම අත්‍යවශ්‍යයයි ලැයිස්තුගත කරන පේතෘස් මෙසේ පවසනවා: “ඔබේ සුචරිතයට දැනුම [සපයාගන්න].” ඊළඟට ඔහු තවත් මෙසේ කියනවා: “ඔබේ දැනුමට ආත්ම-දමනය, ඔබේ ආත්ම-දමනයට විඳදරාගැනීම, ඔබේ විඳදරාගැනීමට දේවභක්තිය, ඔබේ දේවභක්තියට සහෝදර ස්නේහය, ඔබේ සහෝදර ස්නේහයට ප්‍රේමය [එකතු කරන්න].”—2 පේතෘස් 1:5-7, NW; 2:12, 13; 3:16.
16. පේතෘස් ලැයිස්තුගත කරන ගුණාංග ඇදහිල්ලට සපයනවා නම්, කුමක් සිදු වෙන්න පුළුවන්ද? ඒත් එසේ සැපයුවේ නැත්නම් කුමක්ද සිදු වෙන්නේ?
16 මේ දේවල් සත අපේ ඇදහිල්ලට සපයාගත්තොත් කුමක් සිදු වේවිද? “මේවා ඔබ තුළ පවතී නම්, ඉතිරී යනවා නම්, ඒවා අපේ ස්වාමි වන යේසුස් ක්‍රිස්තුස් පිළිබඳ ඒකාන්ත දැනුම සම්බන්ධයෙන් අක්‍රියාශීලී වීමෙන් හෝ ඵලදායී නොවීමෙන් ඔබව වළක්වාගන්නේය.” (2 පේතෘස් 1:8, NW) අනික් අතට පේතෘස් මෙසේ පවසනවා: “මේ දේවල් යමෙක් තුළ නොපවතී නම්, ඔහු ආලෝකයට ඔහුගේ ඇස් පියවන අන්ධයෙක් වන අතර, ඉකුත් වූ දවස්වල ඔහු කළ පව්වලින් පවිත්‍ර වූ අන්දම අමතක කිරීමට නැඹුරුව ඇත.” (2 පේතෘස් 1:9, NW) “ඔබ” සහ “අපේ” යන්න භාවිත කිරීමේ සිට, “යමෙක්” “ඔහු” සහ “ඔහුගේ” යන්න භාවිත කිරීම දක්වා පේතෘස් මාරු වන බව සැලකිල්ලට ගන්න. කනගාටුවට කරුණක් වශයෙන් සමහරුන් අන්ධ, අමතක කරන සහ අපවිත්‍ර අය වුවත්, කාරුණිකව පාඨකයා ඒ වගේ කෙනෙක් කියා පේතෘස් අඟවන්නේ නැහැ.—2 පේතෘස් 2:2.
තම සහෝදරයන්ව ශක්තිමත් කිරීම
17. “මේ දේ” ක්‍රියාවට නංවන්න කියා පේතෘස් කරන මෘදු ආයාචනය පොලඹවන්න ඇත්තේ කුමකින්ද?
17 විශේෂයෙන්ම නවකයන්ව පහසුවෙන්ම මුළා කරන්න පුළුවන් බව ඇතැම්විට තේරුම්ගනිමින්, පේතෘස් මෘදු ලෙස ඔවුන්ව මෙසේ දිරිගන්වනවා: “සහෝදරයෙනි, නුඹලාගේ කැඳවීමද තෝරාගැනීමද ස්ථිරකරගන්න පිණිස වඩා කඩිසරව ක්‍රියාකරන්න. මක්නිසාද නුඹලා මේ දේ කරනවා නම් කිසි කලකත් පැකිලෙන්නේ නැත.” (2 පේතෘස් 1:10; 2:18) තම ඇදහිල්ලට මේ දේවල් සත සපයාගන්නා ආලේප ලත් ක්‍රිස්තියානීන් මහඟු විපාකයක් භුක්ති විඳින්න යනවා; ඒ ගැන පේතෘස් මෙසේ පවසනවා: “අපගේ ස්වාමිවූ ගැළවුම්කාරවූ යේසුස් [ක්‍රිස්තුස්ගේ] සදාකාල රාජ්‍යයට ඇතුල්වීම නුඹලාට බොහෝසේ දෙනුලැබේ.” (2 පේතෘස් 1:11) ‘වෙනත් බැටළුවන්’ දේවරාජ්‍යයේ භූමික විෂයෙහි සදාකාලික උරුමයක් ලබන්න යනවා.—යොහන් 10:16; මතෙව් 25:33, 34.
18. පේතෘස් තම සහෝදරයන්ට “සිහිකරවන්ට නිතර” නැඹුරුව සිටින්නේ ඇයි?
18 තම සහෝදරයන් එවැනි උදාර විපාකයක් ලබනවා දකින්න පේතෘස්ට අවංකවම අවශ්‍යයි. ඔහු මෙසේ ලියයි: “එබැවින් නුඹලා මේ දේවල් දැන නුඹලාට තිබෙන සත්‍යතාවෙහි [ස්ථිරව, NW] පිහිටා සිටින නුමුත් මම නුඹලාට මේ දේවල් සිහිකරවන්ට නිතර සූදානම්ව සිටිමි.” (2 පේතෘස් 1:12) පේතෘස් ‘ස්ථිරව පිහිටා’ හැටියට පරිවර්තනය කර තිබෙන ස්ටෙ·රිʹසෝ යන ග්‍රීක් වචනය මෙහිදී භාවිත කරනවා; ඒත් යේසු කලින් පේතෘස්ට “නුඹේ සහෝදරයන් ස්ථිරකරන්නැයි” කියද්දී, එය “ස්ථිර කරන්න” කියා පරිවර්තනය කර තිබුණා. (ලූක් 22:32) එම වචනය භාවිතය, තම ස්වාමිගෙන් ලැබූ බලසම්පන්න අනුශාසනාව පේතෘස්ට මතකයේ තිබෙන බව අඟවන්න පුළුවන්. පේතෘස් දැන් මෙසේ පවසනවා: “මාගේ කූඩාරම [මානුෂික ශරීරය] පහකරදැමීමේ කාලය වහාම පැමිණෙන බව දැන, මම මේ කූඩාරමෙහි සිටින තුරු, නුඹලාට සිහිකරවීමෙන් නුඹලා පුබුදුවන්ට යුතුයයි සිතමි.”—2 පේතෘස් 1:13, 14.
19. අපිට අදදින අවශ්‍ය වන්නේ මොන උපකාරද?
19 තම පාඨකයන් ‘සත්‍යතාවෙහි ස්ථිරව පිහිටා’ ඇති බව පේතෘස් කාරුණිකව පැවසුවත්, ඔවුන්ගේ ඇදහිල්ල නමැති නැව බිඳ වැටිය හැකි බව තේරුම්ගනී. (1 තිමෝති 1:19) තමා ඉක්මනින්ම මියයන බව දන්නා බැවින්, තම සහෝදරයන්ට ඔවුන්ගේ ආත්මික තත්වය ශක්තිමත්ව තබාගන්න පුළුවන් වන ලෙසින්, පසුව මතකයට නැංවිය හැකි දේවල් සඳහන් කිරීමෙන් ඔහු ඔවුන්ව ශක්තිමත් කරනවා. (2 පේතෘස් 1:15; 3:12, 13) ඒ හා සමානව, ඇදහිල්ලෙහි ස්ථිරව සිටීම සඳහා අපිටත් නිරන්තර සිහිගැන්වීම් අවශ්‍ය වෙනවා. අපි කවුරු වුණත්, සත්‍යයෙහි කොතරම් කලක් සිටියත්, නිතිපතා බයිබලය කියවීම, පෞද්ගලික පාඩම සහ සභා රැස්වීම්වලට පැමිණීම නොසලකා හරින්න අපිට බැහැ. මහන්සි වැඩියි නැතහොත් රැස්වීම් ඒකාකාරයි එහෙම නැත්නම් ඒවා හොඳින් ඉදිරිපත් කරන්නේ නැති බව පවසමින් ඇතැම් අය නිදහසට කරුණු දුන්නත්, අපි ඕනෑවට වඩා ආත්ම විශ්වාසයක් ඇති කරගන්නවා නම් අපෙන් ඕනෑම කෙනෙකුට කොතරම් ඉක්මනින් ඇදහිල්ල නැති කරගන්න පුළුවන්ද කියා පේතෘස් දැනසිටියා.—මාර්ක් 14:66-72; 1 කොරින්ති 10:12; හෙබ්‍රෙව් 10:25.
අපේ ඇදහිල්ල සඳහා ස්ථිර පදනමක්
20, 21. අන්වෙසක් වීම පේතෘස්ගේ සහ අදදින අපි ඇතුළුව ඔහුගේ ලිපිවල පාඨකයන්ගේ ඇදහිල්ල ශක්තිමත් කළේ කොහොමද?
20 අපේ ඇදහිල්ල පදනම් වී තිබෙන්නේ නිකම්ම දක්ෂ ලෙස ප්‍රබන්ධ කළ මිථ්‍යාවන් මතද? පේතෘස් මෙසේ ප්රබලව ප්‍රතිචාරය දක්වනවා: “අපගේ ස්වාමීවූ යේසුස් [ක්‍රිස්තුස්ගේ] බලයත් ඊමත් අප නුඹලාට දැන්වූ කල, [ඔහුගේ] මහිමය ඇසින් දැකලා මිස ප්‍රයෝගයෙන් යොදනලද ප්‍රබන්ධ අනුව එසේ නොකෙළෙමු.” යේසු රාජ්‍ය බලයෙන් යුක්තව සිටීමේ දර්ශනයක් පෙනුණු විට, පේතෘස්, යාකොබ් සහ යොහන් එහි සිටියා. පේතෘස් මෙසේ පැහැදිලි කරයි: “මොහු මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය, මොහු කෙරෙහි මම ප්‍රසන්නව සිටිමියි යන හඬක් උත්කෘෂ්ඨ තේජසෙන් [ඔහු] කරා පහළවූ කල්හි, පියවූ [දෙවිගෙන්] ගෞරවයත් තේජසත් [ඔහු] ලැ[බුවේය]. [ඔහු] සමඟ ශුද්ධවූ කන්දේ සිටියදී මේ හඬ ස්වර්ගයෙන් එනවා අපිම ඇසීමු.”—2 පේතෘස් 1:16-18.
21 පේතෘස්, යාකොබ් සහ යොහන් එම දර්ශනය දුටු විට රාජ්‍යය ඔවුන්ට ඇත්තවශයෙන්ම සැබෑ යමක් බවට පත් වුණා! එබැවින් පේතෘස් මෙසේ නිරීක්ෂණය කරයි: “ඊට වඩා ස්ථිරකරනලද්දාවූ අනාගතවාක්‍යය අපට තිබේ. . . . එය සලකන්නහු [අවධානය යොමු කරනවා, NW] නම් යහපත්ය.” ඔව්, දේවරාජ්‍යය පිළිබඳ අනාවැකිවලට අවධානය යොමු කරන්න බලසම්පන්න හේතු අදදින අපි ඇතුළුව, පේතෘස්ගේ ලිපියේ පාඨකයන්ට තිබෙනවා. අප අවධානය දිය යුත්තේ මොන ආකාරයෙන්ද? “අලුයම පැමිණ පහන් තාරකාව නුඹලාගේ සිත් තුළෙහි පායනතුරු අඳුරු තැනක බබළන පහනක්මෙන්” කියමින් පේතෘස් උත්තර දෙනවා.—2 පේතෘස් 1:18ආ, 20; දානියෙල් 7:13, 14; යෙසායා 9:6, 7.
22. (අ) අපේ හෘදයන් කුමක් සම්බන්ධයෙන් පිබිද තිබිය යුතුද? (ආ) අපි අනාවැකිමය වචනයට අවධානය යොමු කරන්නේ කොහොමද?
22 අනාවැකිමය වචනයෙහි ආලෝකවත් වීම නැතුව අපේ හෘද අන්ධකාරව පවතී. ඒත් එයට අවධානය යොමු කිරීමෙන්, “පහන් තාරකාව” වන යේසුස් ක්‍රිස්තුස් රාජ්‍ය තේජසින් යුක්තව පායන අලුයමේ පැමිණීම කෙරෙහි ක්‍රිස්තියානීන්ගේ හෘදයන් අවදිව තබා තිබෙනවා. (එළිදරව් 22:16) අදදින අපි අනාවැකිමය වචනයට අවධානය යොමු කරන්නේ කොහොමද? බයිබල් පාඩමෙන්, රැස්වීම්වලට සූදානම් වීමෙන් සහ ඒවාට සහභාගි වීමෙන් මෙන්ම ‘ඒ දේවල් කඩිසර ලෙස භාවිත කරමින් එහිම යෙදී සිටීමෙන්.’ (1 තිමෝති 4:15) අනාවැකිමය වචනය “අඳුරු තැනක” (අපේ හෘදයන් තුළ) බබළන පහනක් මෙන් වෙන්න යනවා නම්, එය අපිට ගැඹුරින් බලපාන්න, එනම් අපේ ආශාවන්, චිත්තවේගයන්, චේතනාවන් සහ ඉලක්කවලට බලපාන්න අපි ඉඩ දිය යුතුයි. අපි බයිබල් ශිෂ්‍යයන් විය යුතුයි; මන්ද පේතෘස් පළමුවන පරිච්ඡේදය මෙසේ නිම කරන බැවිනි: “කිසි අනාගතවාක්‍යයක් මනුෂ්‍ය කැමැත්තෙන් කිසි කලක නොපැමිණියේය. නුමුත් මනුෂ්‍යයෝ [ශුද්ධාත්මය] විසින් පොලඹවනු ලැබ, [දෙවිගෙන්] ලැබූ ලෙස කථාකළෝය.”—2 පේතෘස් 1:20, 21.
23. දෙවන පේතෘස්හි පළමුවන පරිච්ඡේදය පාඨකයන්ව කුමක් සඳහා සූදානම් කර තිබෙනවාද?
23 තම දෙවන ලිපියෙහි ආරම්භක පරිච්ඡේදයෙහි, පේතෘස් අපේ අනගි ඇදහිල්ල තදින් අල්ලාගැනීමට බලවත් පෙලඹීමක් සැපයුවා. මතු දැක්වෙන බැරෑරුම් කාරණා සලකා බැලීමට අපි දැන් සූදානමින් සිටිනවා. ඊළඟ ලිපිය 2 පේතෘස් දෙවන පරිච්ඡේදය සාකච්ඡා කරන්න යනවා; එහිදී සභාවන් තුළට ඇතුල් වී තිබුණු දුරාචාරමය බලපෑම්වල අභියෝගය සමඟ ප්‍රේරිතවරයා කටයුතු කරනවා.
ඔබට මතකද?
◻ පේතෘස් ඒකාන්ත දැනුමෙහි වැදගත්කම අවධාරණය කරන්නේ ඇයි?
◻ ඇදහිල්ලට එකතු කළ යුතු පළමුවන ගුණාංගය වශයෙන් සුචරිතය ලැයිස්තුගත කිරීමට හේතුව ඇතැම්විට කුමක් විය හැකිද?
◻ පේතෘස් තම සහෝදරයන්ට සිහිගැන්වීම් දෙන්න නිතරම නැඹුරුව සිටින්නේ ඇයි?
◻ පේතෘස් අපේ ඇදහිල්ල සඳහා සපයන්නේ මොන ස්ථිරසාර පදනමද?
[9වන පිටුවේ පින්තූරය]
තම ඇදහිල්ල අත්හරින්න පේතෘස් තම දුර්වලකම් හේතුවක් කරගත්තේ නැහැ