ගැළවීම අයිති යෙහෝවාටයි
“සැබෑ දෙවි වනාහි අපට ගැළවීමේ ක්‍රියා සිදු කරන දෙවිකෙනෙක්ය.”—ගීතාවලිය 68:20, NW.
1, 2. (අ) ගැළවීමේ උල්පත යෙහෝවායි කියා අපට පැවසිය හැක්කේ මන්ද? (ආ) ඔබ හිතෝපදේශ 21:31 පැහැදිලි කරන්නේ කෙසේද?
යෙහෝවා තමාට ප්‍රේම කරන ජනයාගේ ගැළවුම්කරුයි. (යෙසායා 43:11) ඉශ්‍රායෙලිතයන්ගේ සත්කීර්තිමත් දාවිත් රජ මෙය ඔහුගේ පෞද්ගලික අද්දැකීමෙන්ම දැන සිටි අතර, මුළු හෘදයෙන්ම ඔහු මෙසේ ගායනා කළා: “ගැළවීම [යෙහෝවාට] අයිතිය.” (ගීතාවලිය 3:8) ප්‍රොපේත යෝනා විශාල මත්ස්‍යයාගේ බඩ ඇතුලේ සිටිද්දී බලවත් හැඟීමකින් යුක්තව කළ යාච්ඤාවේදී මෙම වචනම භාවිත කළා.—යෝනා 2:9.
2 දාවිත්ගේ පුත් සාලමොන් පවා ගැළවීමේ උල්පත යෙහෝවා බව දැන සිටි නිසා, ඔහු මෙසේ පැවසුවා: “අශ්වයා යුද්ධ දවසට සෑදී සිටියි; එහෙත් ජය පැමිණෙන්නේ [යෙහෝවාගෙන්ය].” (හිතෝපදේශ 21:31) පුරාණයේ මැදපෙරදිග රටවල, ගවයන්ව නගුල ඇදගෙන යෑමට යොදාගත් අතර බූරුවන් පිට බර පටවාගෙන ගියා. මිනිසුන් කොටළුවන්ගේ පිට උඩ නැඟලා ගියා. ඒ වගේම අශ්වයන්ව යුද්ධවලට යොදාගත්තා. එසේවුණත්, ඉශ්‍රායෙලිතයන් පොරොන්දු දේශයට පිවිසීමට ප්‍රථම, ඔවුන්ගේ අනාගත රජ විසින් ‘තමාට බොහෝ අශ්වයන් සපයා නොගත යුතු’ බවට දෙවි අණ කළා. (ද්විතීය කථාව 17:16) මන්දයත්, දෙවි තම සෙනඟව ගළවන නිසා යුධ අශ්වයන් අවශ්‍ය වන්නේ නැහැ.
3. අපේ අවධානයට යොමු විය යුත්තේ කුමන ප්‍රශ්නද?
3 පරමාධිපති දෙවි යෙහෝවා “ගැළවීමේ ක්‍රියා සිදු කරන දෙවිකෙනෙක්.” (ගීතාවලිය 68:20) මෙය මොනතරම් දිරිගන්වනසුලු දෙයක්ද! නමුත් යෙහෝවා දෙවි විදහාපෙන්වා තිබෙන්නේ කුමන ‘ගැළවීමේ ක්‍රියාද?’ ඒ වගේම ඔහු ගළවාගෙන තිබෙන්නේ කාවද?
යෙහෝවා නිර්දෝෂ අයව ආරක්ෂා කරයි
4. යෙහෝවා දේවභක්තික ජනයාව ආරක්ෂා කරන බව අප දන්නේ කොහොමද?
4 දෙවිගේ කැප වූ සේවකයන් හැටියට අවංක ජීවන මාර්ගයක් ලුහුබඳින සියලුදෙනාටම ප්‍රේරිත පේතෘස්ගේ මෙම වදන්වලින් අස්වැසීමක් අත් කරගන්න පුළුවන්: “භක්තිවන්තයන් පරීක්ෂාවෙන් ගළවන්ටත් අධර්මිෂ්ඨයන් . . . දඬුවම යටතේ විනිශ්චය දවස දක්වා තබන්ටත් [යෙහෝවා දන්නේය].” මෙම කාරණය සනාථ කරමින්, දෙවි “අභක්තීන්ගේ ලෝකය පිට ජලගැලීමක් පැමිණෙවු කල, පුරාණ ලෝකය ඉතිරි නොකොට ධර්මිෂ්ඨකමේ දේශනාකාරයෙක්වූ නෝවා තවත් සත්දෙනෙකුත් සමඟ [ආරක්ෂා කළා]” කියා පේතෘස් පැවසුවා.—2 පේතෘස් 2:5, 9, 10අ.
5. නෝවා ‘ධර්මිෂ්ඨකමේ දේශනාකරන්නෙක්’ හැටියට සේවය කළේ කුමන තත්වයන් යටතේද?
5 නෝවාගේ දවසේ ඇති වූ තත්වයන් මධ්‍යයේ ඔබ සිටිනවායයි සිතින් මවාගන්න. මනුෂ්‍ය වෙස්ගත් භූතයන් පොළොවේ සිටී. මෙම අකීකරු වූ දූතයන්ගෙන් පැවතෙන්නන් මිනිසුන්ට කෲර අන්දමින් සලකන අතර ‘පොළොව සැහැසියාවෙන් පිරී තිබෙනවා.’ (උත්පත්ති 6:1-12, NW) කොහොමවුණත්, නෝවාව, යෙහෝවාගේ සේවයෙන් ඉවත් කරලීමට බලහත්කාරකම්වලට හැකියාවක් නැහැ. ඒ වෙනුවට ඔහු ‘ධර්මිෂ්ඨකමේ දේශනාකරන්නෙක්.’ දැන් නෝවාත් ඔහුගේ පවුලත් නැවක් ගොඩනඟන අතර, ඔවුන් ජීවත් වන කාලයේදීම දුෂ්ටකම අතුගා දමන්න යන බවට ඔවුන්ට කිසිම සැකයක් නැහැ. නෝවාගේ ඇදහිල්ල එම ලෝකයාව වරදට පත් කරවනවා. (හෙබ්‍රෙව් 11:7) අදදින පවතින ලෝක තත්වයන්, මෙම දුෂ්ට දේවල පිළිවෙළේ අවසාන දවස් බවට සනිටුහන් කරමින් නෝවාගේ දවස්වලට සමාන්තරකමක් දක්වනවා. (මතෙව් 24:37-39; 2 තිමෝති 3:1-5) එසේ නම් ඔබත් යෙහෝවාගේ ගැළවීම බලා සිටින අතරතුර, දෙවිගේ සෙනඟ සමඟ සේවය කරමින් නෝවා මෙන් ධර්මිෂ්ඨකමේ දේශනාකරන්නෙක් වශයෙන් ඔබේ විශ්වාසවන්තකම ඔප්පු කරයිද?
6. 2 පේතෘස් 2:7, 8, යෙහෝවා නිර්දෝෂ අයව ආරක්ෂා කරන බව ඔප්පු කරන්නේ කොහොමද?
6 යෙහෝවා නිර්දෝෂ අයව ගළවන බවට පේතෘස් තවදුරටත් සාක්ෂි සපයනවා. ‘දුෂ්ටයන්ගේ සල්ලාල ජීවිතය කරණකොටගෙන තද පීඩාවට පැමිණියාවූද, ඔවුන් අතරෙහි වසමින් ඔවුන්ගේ අයුතු ක්‍රියාවන් දවසින් දවස දැකීමෙනුත් ඇසීමෙනුත් තමාගේ ධර්මිෂ්ඨ ආත්මයට දැඩි දුක් පමුණුවාගත්තාවූද, ධර්මිෂ්ඨ වූ ලොත්ව දෙවි ගැළවූ’ බව ප්‍රේරිතවරයා පවසනවා. (2 පේතෘස් 2:7, 8; උත්පත්ති 19:1-29) ලිංගික දුරාචාරය, මෙම අන්තිම දවස්වල ජීවත් වන මිලියන ගණනකගේ ජීවන රටාව බවට පත් වී තිබෙනවා. ඔබත් ලොත් වගේ අදදින සිටින බොහෝදෙනෙක්ගේ ‘සල්ලාල ජීවිතය කරණකොටගෙන තද පීඩාවට පත් වී’ සිටිනවාද? ඔබටත් එසේ හැඟෙනවා නම්, එමෙන්ම ඔබ ධර්මිෂ්ඨකම ලුහුබඳිනවා නම්, මෙම නපුරු පිළිවෙළ අවසානයකට ගෙනෙන විට යෙහෝවා විසින් ගළවනු ලබන අය අතර ඔබත් සිටීවි.
යෙහෝවා තම සෙනඟව පීඩා කරන්නන්ගෙන් ගළවාගනියි
7. මිසරයේදී ඉශ්‍රායෙලිතයන් සමඟ යෙහෝවා කටයුතු කළ ආකාරය, ඔහු තම සෙනඟව පීඩා කරන්නන්ගෙන් මුදන බවට ඔප්පු කරන්නේ කෙසේද?
7 මෙම පරණ පිළිවෙළ අවසානයකට පැමිණෙන තාක් කල්, යෙහෝවාගේ සේවකයන් වධ හිංසා කිරීම් සහ සතුරන්ගෙන් පීඩා අද්දකින්න යනවා. නමුත් අතීතයේදී පීඩා වින්ද තම ජනයාව ඔහු ගළවාගෙන තිබෙන නිසා, යෙහෝවා තමන්වත් මුදාගනී කියා ඔවුන්ට නිසැක වෙන්න පුළුවන්. ඔබ මෝසෙස්ගේ කාලයේ මිසරවරුන් අතින් බැටකන ඉශ්රායෙලිතයෙක්ව සිටියායයි සිතින් මවාගන්න. (නික්මයාම 1:1-14; 6:8) දෙවි මිසරයට වැළ නොකැඩී ගෙනෙන පීඩාවලින් පහර දෙනවා. (නික්මයාම 8:5-10:29) මරණයට පත් කරවන දසවන පීඩාවෙන් මිසරවරුන්ගේ කුලුඳුලන්ගේ ජීවිත බිළිගත් විට, ඵාරාවෝ ඉශ්‍රායෙලිතයන්ට ඉවත්ව යන්න ඉඩ දුන්නත්, පසුව ඔහු තම හමුදාව සන්නද්ධ කර වේගයෙන් ඔවුන් පිටුපස හඹා යනවා. කොහොමවුණත් ඉක්මනින්ම ඔහුත් ඔහුගේ පිරිසත් රතු මුහුදේදී මරු දකිනවා. (නික්මයාම 14:23-28) මෝසෙස් සහ සියලුම ඉශ්‍රායෙලිතයන් සමඟ ඔබත් මෙම ගීතිකාවට හවුල් වෙනවා: ‘යෙහෝවා යුද්ධ දක්ෂයෙකි. ඔහුගේ නාමය යෙහෝවාය. ඵාරාවෝගේ රථ සහ ඔහුගේ සේනාව ඔහු මුහුදට හෙළුවේය. ඔහුගේ තෝරාගත් සේනාපතියෝ රතු මුහුදෙහි කිඳාගියෝය. ගැඹුරු ජලයෝ ඔවුන් වසාගනිති. ඔව්හු ගලක් මෙන් පතුලට කිඳුණෝය.’ (නික්මයාම 15:3-5) මෙම අවසාන දවස්වල දෙවිගේ ජනයාට පීඩා කරන සියල්ලන්ම ඒ හා සමාන විපතක් අද්දකින්න යනවා.
8, 9. යෙහෝවා තම සේවකයන්ව පීඩා කරන්නන්ගෙන් ආරක්ෂා කරන බවට විනිශ්චයකාරයන්ගේ පොතෙන් උදාහරණයක් දෙන්න.
8 ඉශ්‍රායෙලිතයන් පොරොන්දු දේශයට ඇතුල් වීමෙන් පසු, විනිශ්චයකරුවන් වසර ගණනාවක්ම ඔවුන්ව යුක්තියෙන් පාලනය කළා. ඇතැම් අවස්ථාවලදී ජනයා විදේශිකයන්ගේ පීඩිත පාලනය යටතේ දුක් වින්දත්, දෙවි ඔවුන්ව මුදාගැනීමට විනිශ්චයකරුවන්ව භාවිත කළා. අපත් ඒ හා සමානව ‘අපට පීඩා කළාවූ, පොඩි කළාවූ අය නිසා කෙඳිරිගාමින් සිටිනවා’ වන්න පුළුවන් වුණත්, යෙහෝවා තම පක්ෂපාත සේවකයන්ට කළ ලෙසම අපවත් ගළවන්න යනවා. (විනිශ්චයකාරයන් 2:16-18; 3:9, 15) ඇත්තවශයෙන්ම, මේ සම්බන්ධයෙන් සහ ඔහුගේ පත් කළ විනිශ්චයකරු වන යේසුස් ක්‍රිස්තුස් තුළින් දෙවි අත් කර දෙන මහත් ගැළවීම සම්බන්ධයෙන් විනිශ්චයකාරයන් නමැති බයිබල් පොත අපට සහතිකයක් සපයනවා.
9 දැන් අපි විනිශ්චයකාර බාරාක්ගේ දවසට හැරෙමු. බොරු නමස්කාරය සහ දිව්‍ය අප්‍රසාදය නිසා, ඉශ්‍රායෙලිතයන් කානානීය යාබින් රජුගේ කර්කශ ආධිපත්‍යය අවුරුදු 20ක් පුරා අද්දැක තිබෙනවා. සිසෙරා නායකත්වය දරන්නේ විශාල කානානීය යුධ හමුදා බලඇණියකයි. නමුත් ඉශ්‍රායෙලිතයන් මිලියන හතරක් පමණ සිටියද ‘ඔවුන් සතළිස් දහසක් අතරේ පලිහක්වත් හෙල්ලයක්වත් දක්නට ලැබෙන්නේ නැහැ.’ (විනිශ්චයකාරයන් 5:6-8) ඉශ්‍රායෙලිතයන් පසුතැවිලි වෙමින් යෙහෝවාට හඬනඟනවා. ප්රොපේතවරියක් වන දෙබොරා තුළින් දෙවි මඟ පෙන්වනු ලැබූ ආකාරයට, බාරාක්, තාබෝර් කන්දට මිනිසුන් 10,000ක් රැස් කරවනවා. ඉක්බිති යෙහෝවා, සතුරන්ව උස් වූ තාබෝර් කන්දට පහතින් පිහිටා තිබූ මිටියාවත වෙතට ඒමට සලස්වනවා. අවට දෙදරුම් කවමින්, මිටියාවත සහ වියළි කීෂොන් ගං පතුල හරහා සිසෙරාගේ විශාල යුධ සේනාව සහ යුධ රථ 900 පැමිණෙනවා. නමුත් දැන් කඩා වැටෙන ධාරානිපාත වර්ෂාවක් හේතුවෙන් ඇති වූ දෙගොඩතලා යන ජල ධාරාව කීෂොන් මිටියාවත යට කරගෙන යනවා. බාරාක් සහ ඔහුගේ මිනිසුන් කුණාටුව හේතුවෙන් ඇති වූ අන්ධකාරයේ උපකාරයෙන් තාබෝර් කඳු මුදුනේ සිට පහළට ගමන් කරන විට යෙහෝවා පිට කළ කෝපය හේතුවෙන් ඇති වූ සංහාරය ඔවුන් දකිනවා. භයෙන්, භිරාන්ත වී පලා දුවන කානානිවරුන්ට බාරාක්ගේ මිනිසුන් පහර දෙන අතර කිසිම කෙනෙක් බේරී යන්නේ නැහැ. අහංකාර ලෙස දෙවිට එරෙහිව සටන් කිරීමට සිතන අපේ පීඩා කරන්නන්ට මෙය මොනතරම් කදිම අනතුරු ඇඟවීමක්ද!—විනිශ්චයකාරයන් 4:3-16; 5:19-22.
10. දෙවි තම වත්මන් දින සේවකයන්ව ඔවුන්ගේ සියලුම පීඩා කරන්නන්ගෙන් ආරක්ෂා කරන්න යන බවට අපට නිසැක විය හැක්කේ මන්ද?
10 උපද්‍රව සහිත කාලවලදී දේවභයැති ඉශ්‍රායෙලිතයන්ව ගැළවූ ලෙසම යෙහෝවා තමන්ගේ අදදින සේවකයන්වත් ඔවුන්ට පීඩා ගෙනෙන සියලුම සතුරන්ගෙන් ගළවන්න යනවා. (යෙසායා 43:3; යෙරෙමියා 14:8) දෙවි දාවිත්ව ‘ඔහුගේ සියලුම සතුරන් අතින්’ මුදාගත්තා. (2 සාමුවෙල් 22:1-3) එමනිසා යෙහෝවාගේ ජනයා හැටියට අප පීඩා හෝ වධහිංසා අද්දැක්කත් දෙවිගේ මෙසියානු රජ අපව පීඩාවලින් නිදහස් කරන්න යන නිසා අපි ධෛර්යවත් වෙමු. ඔව්, ඔහු “දිළිඳුන්ගේ ප්‍රාණයන් ගළවන්නේය. . . ඔවුන්ගේ ප්‍රාණය පීඩාවෙන්ද බලාත්කාරයෙන්ද මුදන්නේය.” (ගීතාවලිය 72:13, 14) සැබවින්ම එම මිදීම අත ළඟයි.
දෙවි කෙරෙහි ඇදහිල්ල තබන අයව ඔහු ගළවනවා
11. යෙහෝවා මත විශ්වාසය තැබීම සම්බන්ධයෙන් තරුණ දාවිත් සැපයුවේ කෙබඳු ආදර්ශයක්ද?
11 යෙහෝවාගේ ගැළවීම දකින්න නම් අප නිර්භීතව ඔහු කෙරෙහි විශ්වාසය තැබිය යුතුයි. දාවිත් යෝධ ගොලියත් හමුවට ගිය විට, ඔහු දෙවි කෙරෙහි තිබෙන නිර්භීත විශ්වාසය විදහාපෙන්නුවා. තරුණ දාවිත් අබියස සිටින මහමෙරක් බඳු පිලිස්තියාව සිතින් මවාගන්න. දාවිත් මෙසේ පවසනවා: ‘තෝ කඩුවක්ද හෙල්ලයක්ද කුඩා හෙල්ලයක්ද රැගෙන මා ළඟට එන්නෙහිය. මම වනාහි තා නින්දා කළ ඉශ්රායෙල් හමුදාවල දෙවි වූ සේනාවල යෙහෝවාගේ නාමයෙන් තා ළඟට එමි. අද දවසේ යෙහෝවා තා මා අතට පාවා දෙන්නේය. මම තට ගසා, තාගේ හිස කපාදමා, පිලිස්තිවරුන්ගේ සේනාවේ මළකඳන් අද දවසේ ආකාශයේ පක්ෂීන්ටද පොළොවේ වන මෘගයන්ටද දෙන්නෙමි. මෙසේ ඉශ්රායෙල් කෙරෙහි දෙවි කෙනෙක් ඉන්න බව පොළොවේ සියල්ලන්ම දැනගන්නවා ඇත. යෙහෝවා කඩුවෙන්වත් හෙල්ලයෙන්වත් නොගළවන බව මේ මුළු සමූහයාත් දැනගන්නවා ඇත. මක්නිසාද යුද්ධය යෙහෝවාගේය.’ ගොලියත් ක්ෂණිකව මැරී වැටෙන අතර, පිලිස්තියයන් තීරණාත්මක පරාජයක් අද්දකිනවා. පැහැදිලිවම යෙහෝවා තම ජනයාව ගළවාගත්තා.—1 සාමුවෙල් 17:45-54.
12. දාවිත්ගේ බලවන්තයෙක් වූ එලෙයාසර්ව මනසේ තබාගැනීම ප්‍රයෝජනවත් විය හැක්කේ ඇයි?
12 පීඩා කරන්නන්ට මුහුණ දෙන විට, “ධෛර්යය උපදවාගැනීමට” සහ පූර්ණ ලෙස යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබීමට අපටත් අවශ්‍ය විය හැකියි. (යෙසායා 46:8-13, NW; හිතෝපදේශ 3:5, 6) පැස්-දම්මිම් නම් ස්ථානයේ සිදු වූ මේ සිද්ධිය සැලකිල්ලට ගන්න. පිලිස්තිවරුන්ගේ හමුදාව ඉදිරියේ ඉශ්‍රායෙලිතයන් පලාගොස් තිබෙනවා. නමුත් දාවිත්ගේ කැපීපෙනෙන බලවන්තයන් තිදෙනාගෙන් කෙනෙක් වූ එලෙයාසර්ව නම් ත්‍රාසය හේතුවෙන් මුලුගන්වන්න හැකි වන්නේ නැහැ. බාර්ලි කෙතකදී, ඔහු තනියම පිලිස්තිවරුන්ට කඩුවෙන් පහර දී මරා දැමුවා. මෙලෙස ‘යෙහෝවා ඉශ්රායෙල්වරුන්ව මුදාගන්නේ මහත් ගැළවීමක් අත් කර දීමෙනි.’ (1 ලේකම් 11:12-14, NW; 2 සාමුවෙල් 23:9, 10) කිසි කෙනෙක් අපෙන් තනියම යුද හමුදාවක් පරාජය කිරීම බලාපොරොත්තු වෙන්නේ නැහැ. එසේ වුණත්, අපි ඇතැම් අවස්ථාවල තනිව සිටියදී සතුරන්ගේ පීඩනයට ලක් වෙන්න ඉඩ තිබෙනවා. අපි යාච්ඤාපූර්වකව ගැළවීමේ ක්‍රියා සිදු කරන දෙවි යෙහෝවා මත රඳා පවතිනවාද? පීඩා කරන්නන් අතට අපේ හවුල් සේවකයන්ව පාවා දීමෙන් වැළකීම සඳහා අප ඔහුගේ උපකාරය පතනවාද?
අඛණ්ඩතාව පවත්වන්නන්ව යෙහෝවා ගළවයි
13. ඉශ්රායෙල්හි දස-ගෝත්‍ර රාජ්‍යය තුළ දෙවි කෙරෙහි අඛණ්ඩතාව පවත්වාගෙන යෑමට අපහසු වූයේ මන්ද?
13 අප යෙහෝවාගේ ගැළවීම අද්දකින්න නම්, අපට මොන පාඩුවක් සිදු වුණත්, අඛණ්ඩතාව පවත්වාගත යුතුයි. පුරාණ කාලවල විසූ දෙවිගේ මනුෂ්‍යයන් විවිධාකාර පරීක්ෂා අද්දැක්කා. ඉශ්රායෙල් දස-ගෝත්‍ර රාජ්‍යයේ ඔබ ජීවත්ව සිටියා නම්, කුමන දේවලට මුහුණ පාන්න ඉඩ තිබුණාද කියා සිතන්න. රෙහොබොවම්ගේ කර්කශකම, ගෝත්‍ර දසයෙන් ඔහුට තිබූ අනුග්‍රහය අහිමි වීමටත්, ඉශ්රායෙල්හි උතුරු රාජ්‍යයක් පිහිටුවීමටත් හේතු වී තිබුණා. (2 ලේකම් 10:16, 17; 11:13, 14) එහි සිටි බොහෝ රජවරුන් අතුරින් යේහු හොඳම රජ හැටියට සිටියත්, ඔහු පවා ‘තමාගේ මුළු සිතින් ඉශ්‍රායෙල්ගේ දෙවි වූ යෙහෝවාගේ ව්‍යවස්ථාව ප්‍රකාර හැසිරුනේ නැහැ.’ (2 රාජාවලිය 10:30, 31) එසේ වුණත්, දස-ගෝත්‍ර රාජධානියේ අඛණ්ඩතාව පවත්වන්නන්ද ඉඳ තිබෙනවා. (1 රාජාවලිය 19:18) ඔවුන් දෙවි කෙරෙහි ඇදහිල්ල තැබූ අතර, දෙවි ඔවුන් සමඟ සිටින බව ඔප්පු කළා. ඔබේ ඇදහිල්ල පරීක්ෂාවට ලක් වන අවස්ථාවේදී පවා ඔබ යෙහෝවා කෙරෙහි අඛණ්ඩතාව පවත්වමින් සිටිනවාද?
14. හෙසකියා රජුගේ කාලයේ යෙහෝවා විදහාපෙන්වූයේ කිනම් ගැළවීමක්ද? එමෙන්ම බබිලෝනියවරුන් විසින් යුදය යටත් කරගැනීමට මඟ පෑදුවේ කුමක්ද?
14 දෙවිගේ ව්‍යවස්ථාව නොසලකා හැරීම දසත පැතිරී තිබීම නිසා, ඉශ්රායෙල් රාජ්‍යයේ විනාශයට එය මඟ පෑදුවා. පොදු යුගයට පෙර 740දී අෂූර්වරුන් එය යටත් කරගත් විට, ගෝත්‍ර දසයේ සිටි සමහරුන් දේවමාළිගාවේදී යෙහෝවාට ප්‍රශංසා කිරීමට තමන්ට හැකි වන ලෙස, යුදයේ ද්වී-ගෝත්‍ර රාජ්‍යය වෙතට පලා ගිය බවට කිසිම සැකයක් නැහැ. යුදයේ දාවිත්ගේ පෙළපතට අයත් රජවරු 19න් සිව්දෙනෙක් වන ආසා, යෙහෝෂාපාට්, හෙසකියා සහ යොෂියා යන අය, දෙවිට තිබූ ඔවුන්ගේ භක්තිය සම්බන්ධයෙන් කැපීපෙනෙන අය වුණා. අඛණ්ඩතාව පැවැත්වූ හෙසකියාගේ දවස්වලදී, අෂූර්වරුන් යූදාට විරුද්ධව විශාල යුධ හමුදාවක් සමඟින් පැමිණියා. හෙසකියාගේ අයැදීමට පිළිතුරක් හැටියට, දෙවි එක් රැයකදී අෂූර්වරුන් 1,85,000ක්ව ඝාතනය කිරීමට එක් දේවදූතයෙක්ව පමණක් යොදාගනිමින් තම නමස්කාරකයන්ට ගැළවීම අත් කර දුන්නා! (යෙසායා 37:36-38) පසුව ජනයා ව්‍යවස්ථාව පැවැත්වීමට සහ දෙවිගේ ප්‍රොපේතවරුන්ගේ අනතුරු ඇඟවීම්වලට ඇහුම්කන් දීමට අසමත් වීම, යුදය බබිලෝනියවරුන් අතට පත්වීමටත්, පො.යු.පෙ. 607දී එහි අගනුවර වන යෙරුසලම සහ දේවමාළිගාව විනාශ වීමටත් මඟ පෑදුවා.
15. බබිලෝනියේ සිටි පිටුවහල් කළ යුදෙව්වරුන්ට විඳදරාගැනීම අවශ්‍ය වූයේ මන්ද? එමෙන්ම, අවසානයේදී යෙහෝවා ඔවුන්ව මුදාගත්තේ කෙසේද?
15 ඉතාමත් දුක්බර අවුරුදු 70ක බබිලෝනිය වහල්භාවය යටතේ සිටි පිටුවහල් කරන ලද යුදෙව්වරුන්ට දෙවි කෙරෙහි අඛණ්ඩතාව පවත්වාගැනීම සඳහා විඳදරාගැනීම අවශ්‍ය වුණා. (ගීතාවලිය 137:1-6) ප්‍රොපේත දානියෙල් එක් කැපීපෙනෙන අඛණ්ඩතාව පවත්වන්නෙක් වුණා. (දානියෙල් 1:1-7; 9:1-3) දේවමාළිගාව නැවත ගොඩනැඟීම සඳහා යුදෙව්වරුන්ට යුදයට ආපසු යෑමට හැකි කරවමින්, පර්සියානු රජු වන කෝරෙෂ්ගේ නියෝගය පො.යු.පෙ. 537දී මල් ඵල ගත් විට දානියෙල්ට ඇති වූ ප්‍රීතිය සිතින් මවාගන්න! (එස්රා 1:1-4) දානියෙල් සහ සෙසු අය අවුරුදු ගණනාවක්ම විඳදරාගෙන තිබූ අතර, අවසානයේදී, බබිලෝනියේ පරාජයත්, යෙහෝවාගේ සෙනඟගේ මිදීමත් ඔවුන් දැක්කා. බොරු ආගම්වල ලෝක අධිරාජ්‍යය වන ‘මහා බබිලෝනියේ’ විනාශය බලාසිටින අතරතුර විඳදරාගැනීම විදහාපෙන්වන්න මෙය අපට උපකාර කළ යුතුයි.—එළිදරව් 18:1-5.
යෙහෝවා සැමවිටම තම ජනයාව ගළවයි
16. එස්තර් බිසවගේ දවස්වලදී යෙහෝවා කිනම් ගැළවීමක්ද ගෙන ආවේ?
16 ඔවුන් තම නාමයට විශ්වාසවන්තව සිටින විට, යෙහෝවා තම සෙනඟව සැමවිටම ගළවනවා. (1 සාමුවෙල් 12:22; යෙසායා 43:10-12) අහෂ්වේරොෂ් රජු (තක්ෂස්තා I) හාමාන්ව අගමැති හැටියට පත් කර තිබුණු පො.යු.පෙ. පස්වන ශතවර්ෂයේ සිටි එස්තර් බිසවගේ කාලයට අපි දැන් පියමං කරමු. යුදෙව්වෙක් වන මොර්දෙකයි තමාට නැමී නමස්කාර කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා, හාමාන් කුපිත වී ඔහුවත්, පර්සියානු අධිරාජ්‍යයේ සිටින සියලුම යුදෙව්වන්වත් විනාශ කිරීමට කුමන්ත්‍රණය කරයි. ඔහු යුදෙව්වන්ව නීති උල්ලංගනය කරන්නන් හැටියට විස්තර කරන අතර, රජුට අල්ලසක් දී ඔවුන්ව සහමුලින්ම විනාශ කිරීමට නියම කරන ලියවිල්ලක් මුද්‍රා කිරීම සඳහා රාජ මුද්‍රාව භාවිත කිරීමට අවසර ලබාගනී. එස්තර් නිර්භීතව ඇය යුදෙව් පෙළපතින් පැවතෙන බව රජුට අනාවරණය කරන අතර, හාමාන් මිනිමරු චේතනාවෙන් කරන කූට කුමන්ත්‍රණය හෙළි කරයි. ඉක්බිති, මොර්දෙකයිව ඝාතනය කිරීමට සූදානම් කර තිබූ කණුවෙම හාමාන්ව එල්ලා මරා සිටිනවා දක්නට ලැබෙයි. යුදෙව්වරුන්ට තමන්වම ආරක්ෂා කරගැනීමට අවසර දීමේ අධිකාරිත්වයත් ඇතුව දැන් මොර්දෙකයිව අගමැති බවට පත් කරනවා. ඔවුන් තම සතුරන් පරදවා විජයග්රහණයක් කළා. (එස්තර් 3:1–9:19) යෙහෝවා තමාගේ නවීන දින කීකරු සේවකයන් වෙනුවෙන් ගැළවීමේ ක්‍රියා සිදු කරන්න යන බවට මෙම සිද්ධිය අපේ ඇදහිල්ල ශක්තිමත් කළ යුතුයි.
17. පළමු ශතවර්ෂයේ යුදයේ ජීවත් වූ යුදෙව් ක්‍රිස්තියානීන්ව මුදාගැනීමෙහිලා කීකරුකම දායක වූයේ කොහොමද?
17 දෙවි තම ජනයාව ගැළවීමට තවත් හේතුවක් නම්, ඔවුන් ඔහුටත් ඔහුගේ පුත්‍රයාටත් කීකරු වීමයි. ඔබ යේසුගේ පළමු සියවසේ යුදෙව් ගෝලයන්ගෙන් කෙනෙක්ව සිටියායයි සිතින් මවාගන්න. ඔහු ඔවුන්ට මෙසේ පවසනවා: “යම් කලක සේනාවන් විසින් යෙරුසලම වටලා සිටිනවා නුඹලා දකින්නහුද, එකල එහි විනාශය ආසන්න බව දැනගන්න. එකල යුදයෙහි සිටින්නෝ කඳුවලට පලායත්වා.” (ලූක් 21:20-22) අවුරුදු ගෙවී යන අතර, මෙම වචන ඉෂ්ට වෙන්න යන්නේ කවදාද කියා ඔබ කල්පනා කරයි. එවිට පො.යු. 66දී යුදෙව් කැරැල්ලක් හටගන්නවා. සෙස්ටියස් ගැලස් යටතේ පැමිණි රෝම හමුදාව යෙරුසලම සහ එහි පවුරු වැටලීමෙහිලා සාර්ථක වෙනවා. පෙනෙන විදිහට කිසිම හේතුවක් නැතුව හදිසියේම රෝම හමුදාව පසු බසිනවා. යුදෙව් ක්‍රිස්තියානීන් කුමක් කරයිද? යූසීබියස් තමාගේ මුල් සභා ඉතිහාසය (ඉංග්‍රීසියෙන්) නම් ග්‍රන්ථයේ (IIIවන පොතේ Vවන පරිච්ඡේදය, 3) ඔවුන් යෙරුසලමෙන් සහ යුදයෙන් පලාගිය බව පවසනවා. ඔවුන් යේසුගේ අනාවැකිමය අනතුරු ඇඟවීමට කීකරු වූ නිසා ගැළවුණා. යේසු තමා “සන්තක සියල්ල” කෙරෙහි පත් කළ “විශ්වාසවූ නුවණ ඇති ගබඩාකාරයා” විසින් සපයන ආත්මික මඟ පෙන්වීමට ඔබත් එයාකාරයෙන් විගස ප්‍රතිචාරය දක්වනවාද?—ලූක් 12:42-44.
සදාතනික ජීවිතයකට ගැළවීම
18, 19. (අ) යේසුගේ මරණය තුළින් ඉඩ සලසා දුන්නේ කිනම් ගැළවීමකටද? එමෙන්ම කාටද? (ආ) ප්‍රේරිත පාවුල් අධිෂ්ඨාන කරගත්තේ කුමක් කිරීමටද?
18 යේසුගේ අනතුරු ඇඟවීමට අවනත වීමෙන් යුදයෙහි සිටි යුදෙව් ක්‍රිස්තියානීන්ගේ ජීවිත බේරුණා. නමුත් යේසුගේ මරණය “සියලු මනුෂ්‍යයන්” සඳහා සදාතනික ජීවිතයකට ගැළවීම විවර කරනවා. (1 තිමෝති 4:10) තමන්ගේ ජීවනයත් අහිමි කරගනිමින්, මනුෂ්‍යවර්ගයාව පාපයේ සහ මරණයේ වහල්කමට විකුණමින් ආදම් පව් කළ විට, මනුෂ්‍යවර්ගයාට මිදීමේ මිලයක අවශ්‍යතාවක් ඇති වුණා. (රෝම 5:12-19) මෝසෙස්ගේ ව්‍යවස්ථාව යටතේ ඔප්පු කළ සත්ව පූජා පාපය සඳහා සංකේතාත්මක සමඟි කිරීමක් පමණයි. (හෙබ්‍රෙව් 10:1-4) යේසුට මනුෂ්‍ය පියෙක් සිටියේ නැති නිසාත්, පැහැදිලිවම මරියාව ඇය පිළිසිඳගත් අවස්ථාවේ සිට යේසුගේ උපත දක්වා ශුද්ධාත්මයෙන් ‘වසාගත්’ නිසාත්, ඔහු ඉපදුනේ උරුම වූ පාපයේ සහ අසම්පූර්ණකමේ සෑම අංශුමාත්‍රයකින්ම නිදහස්වයි. (ලූක් 1:35; යොහන් 1:29; 1 පේතෘස් 1:18, 19) යේසු පරිපූර්ණ අඛණ්ඩතාව පවත්වන්නෙක් හැටියට මරණයට පත් වූ විට, මනුෂ්‍යවර්ගයාව නැවත මිල දී ගැනීමටත් නිදහස් කරගැනීමටත් ඔහු තමාගේම පරිපූර්ණ ජීවිතය පිරිනැමුවා. (හෙබ්‍රෙව් 2:14, 15) මෙලෙස ක්‍රිස්තුස් ‘සියල්ලන් උදෙසා [අනුරූප, NW] මිදීමේ මිලයක් කොට තමන්වම දුන්නා.’ (1 තිමෝති 2:5, 6) ගැළවීම සඳහා වන මෙම සැපයුමෙන් සියලුදෙනාම ප්‍රයෝජන ගන්නේ නැති නමුත්, දෙවි එය ඇදහිල්ලෙන් භාරගන්න අයට එහි ප්‍රයෝජන ලබාගැනීම සඳහා ප්‍රස්තාව සලසා දෙනවා.
19 ස්වර්ගයේ සිටින දෙවිට ඔහුගේ මිදීමේ මිල පූජාවේ වටිනාකම ඉදිරිපත් කිරීමෙන්, ක්‍රිස්තුස් ආදම්ගෙන් පැවතෙන්නන්ව නැවත මිල දී ගත්තා. (හෙබ්‍රෙව් 9:24) මෙලෙස යේසු, ස්වර්ගික ජීවිතයකට නැඟිටුවනු ලැබූ තම ආලේප ලත් අනුගාමිකයන් 1,44,000න් සැදුම් ලත් මනාලියක් අත් කරගන්නවා. (එපීස 5:25-27; එළිදරව් 14:3, 4; 21:9) ඒ වගේම තම පූජාව පිළිගන්න සහ සදාතනික භූමික ජීවිතයක් ලබන අයට ඔහු ‘සදාකාල පියෙක්’ බවටත් පත් වෙනවා. (යෙසායා 9:6, 7; 1 යොහන් 2:1, 2) මොනතරම් ප්‍රේමනීය විධිවිධානයක්ද! ඊළඟ ලිපියේ පෙන්නුම් කරන විදිහට, කොරින්තියේ සිටි ක්‍රිස්තියානීන්ට ලියූ ඔහුගේ අනුභාව ලත් දෙවන ලිපිය තුළ ඒ සඳහා පාවුල්ගේ අගය කිරීම පැහැදිලිවම පෙනෙනවා. සැබවින්ම සදාතනික ජීවිතයකට ගැළවීම සඳහා වූ යෙහෝවාගේ මවිතකර සැපයුමෙන් ප්‍රයෝජන ලබාගැනීම සඳහා ජනයාට උපකාර කිරීමෙන් තමාව වළක්වන්න කිසිම දෙයකට ඉඩ නොදීමට පාවුල් අධිෂ්ඨාන කරගෙන සිටියා.
ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?
◻ දෙවි තම නිර්දෝෂ ජනයාව ගළවන බවට කුමන ශුද්ධ ලියවිලි සාක්ෂිද තිබෙන්නේ?
◻ යෙහෝවා කෙරෙහි විශ්වාසය තබන සහ අඛණ්ඩතාව පවත්වන්නාවූ අයව ඔහු ගළවන බව අප දන්නේ කොහොමද?
◻ සදාතනික ජීවිතයකට ගැළවීම සඳහා දෙවි කිනම් සැපයුමද ඇති කර තිබෙන්නේ?
[12වන පිටුවේ පින්තූරය]
“ගැළවීමේ ක්‍රියා සිදු කරන දෙවි” යෙහෝවා කෙරෙහි දාවිත් විශ්වාසය තැබුවා. ඔබත් එසේද?
[15වන පිටුවේ පින්තූරය]
එස්තර් බිසවගේ දවස්වලදී ඔප්පු කළාක් මෙන්, යෙහෝවා සැමවිටම තම සෙනඟව ආරක්ෂා කරනවා