දෙවිගේ බලය අප ඔහුගේ දරුවන් බව දන්වයි
“එසේ දෙවිගේ බලය අප තුළ ක්‍රියාත්මක වන නිසා අප දෙවිගේ දරුවන් බව අපගේ සිත්වලට නිසැකවම දැනේ.”—රෝම 8:16.
1-3. පෙන්තකොස්ත දවස විශේෂ දවසක් වුණේ ඇයි? අනාවැකියක් එදා ඉටු වුණේ කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)
ඒ ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසයි. ඒක සබත් දවසක්. එදා යෙරුසලමට අරුණළු වැටෙනවත් එක්කම හැමෝම සතුටින් සූදානම් වුණේ පෙන්තකොස්ත උත්සවය සමරන්න. තිරිඟු අස්වැන්න කපන කාලය පටන්ගද්දීම වගේ පවත්වන ඒ උත්සවයේදී උත්තම පූජකයා උදෑසනින්ම දේවමාලිගාවේ සාමාන්‍යයෙන් කරන පූජාවන් ඔප්පු කරනවා. ඊටපස්සේ උදේ 9ට විතර ඔහු අස්වැන්නේ ප්‍රථම පලවලින් හදාගත්ත මුහුන් දැමූ රොටි දෙකක් සෙලවීමේ පූජාවක් විදිහට ඔප්පු කරනවා.—ලෙවී. 23:15-20.
2 සියවස් ගාණක් තිස්සේ අවුරුදු පතා දෙවිට ඔප්පු කරපු ඒ සෙලවීමේ පූජාව ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේ සිද්ධ වුණු විශේෂ දේකට සමාන වුණා. ඒ විශේෂ දේ අද්දකින්න ලැබුණේ යෙරුසලමේ යාච්ඤා කරමින් හිටපු යේසුස්ගේ අනුගාමිකයන් 120දෙනෙකුටයි. (ක්‍රියා 1:13-15) එදා වුණු දේ ගැන අවුරුදු 800කට කලින් අනාවැකියකුත් කියලා තිබුණා. (යෝවෙ. 2:28-32; ක්‍රියා 2:16-21) එදා මොනවද වුණේ?
3 ක්‍රියා 2:2-4 කියවන්න. යෙහෝවා දෙවි, යේසුස්ගේ අනුගාමිකයන්ව ඔහුගේ බලයෙන් අභිෂේක කළේ එදායි. (ක්‍රියා 1:8) ඊටපස්සේ ඒ අය උත්සවයට ආපු සෙනඟට තමන් අහපු දැකපු පුදුමාකාර දේවල් ගැන කියන්න පටන්ගත්තා. එදා වුණු දේ මොන තරම් වැදගත්ද කියලා පේතෘස් සෙනඟට පැහැදිලි කළේ මෙහෙමයි. “ඔබ සියලුදෙනා පසුතැවිලි වෙන්න. ඔබේ පව්වලට සමාව ලබාගැනීම සඳහා යේසුස් ක්‍රිස්තුස්ව පිළිගෙන බව්තීස්ම වෙන්න. එවිට ඔබට දෙවිගේ බලය නමැති දීමනාව නොමිලේ ලැබෙයි.” එදා 3,000ක් විතර බව්තීස්ම වුණා. ඒ හැමෝටමත් දෙවිගේ බලය ලැබුණා.—ක්‍රියා 2:37, 38, 41.
4. (අ) පෙන්තකොස්ත දවසේ වුණු දේ ගැන උනන්දු වෙන්න ඕනෙ ඇයි? (ආ) අවුරුදු ගාණකට කලින් ඒ දවසෙම වුණා කියලා හිතන්න පුළුවන් අනිත් සිදුවීම මොකක්ද? (අමතර සටහන බලන්න.)
4 උත්තම පූජකයාගෙනුත් පෙන්තකොස්ත දවසේ ඔප්පු කරපු සෙලවීමේ පූජාවෙනුත් නියෝජනය වුණේ මොනවද? උත්තම පූජකයාගෙන් යේසුස්වත් මුහුන් දැමූ රොටි 2න් දෙවිගේ බලයෙන් අභිෂේක ලබපු යේසුස්ගේ අනුගාමිකයන්වත් නියෝජනය වුණා.[1] ඒ අයව හඳුන්වන්නේ “පළමු පල” කියලයි. (යාකො. 1:18) දෙවි ඒ අයව පුත්‍රයන් විදිහට පිළිගත්තා වගේම ස්වර්ගයේ යේසුස් එක්ක රජකම් කරන්නත් අවස්ථාව දෙනවා. (1 පේතෘ. 2:9) යෙහෝවා දෙවි මිනිසුන්ට ආශීර්වාද කරන්නේ ඒ රාජ්‍යය මාර්ගයෙන්. අපේ බලාපොරොත්තුව ස්වර්ගයේ ජීවත් වෙන්න වුණත් පොළොවේ ජීවත් වෙන්න වුණත් අපි හැමෝටම ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවස හුඟක් වැදගත්.
අභිෂේක කරන්නේ කොහොමද?
5. අභිෂේක ලබන අයව එකම විදිහට අභිෂේක කරන්නේ නැහැ කියලා අපි දන්නේ කොහොමද?
5 යෙහෝවා දෙවිගේ බලය ගිනිදලු විදිහට එකිනෙකාගේ හිස් මත පේන්න තිබුණු විදිහවත් ඒ දවසවත් එදා රැස් වෙලා හිටපු 120දෙනාට කවදාවත් අමතක වෙන්නේ නැහැ. එදා දෙවි ඒ අයට වෙනත් භාෂා කතා කරන්න බලය දුන්නා. තමන්ව දෙවිගේ බලයෙන් අභිෂේක කරලා කියලා ඒ අයට කිසිම සැකයක් තිබුණේ නැහැ. (ක්‍රියා 2:6-12) ඒත් අභිෂේක ලබන හැම කෙනෙක්ම ඒ වගේ විශේෂ දේවල් අද්දකින්නේ නැහැ. උදාහරණෙකට එදාම වෙනත් අවස්ථාවක අභිෂේක කරපු දහස් ගාණක් දෙනාගේ හිස් මත ගිනිදලු දකින්න තිබුණේ නැහැ. ඒ අයව අභිෂේක කළේ එයාලා බව්තීස්ම වුණු වෙලාවෙදියි. (ක්‍රියා 2:38) හැම කෙනෙක්වම බව්තීස්ම වෙන අවස්ථාවේදී අභිෂේක කරන්නෙත් නැහැ. සමරිතානුවන්ව අභිෂේක කළේ එයාලා බව්තීස්ම වෙලා කාලෙකට පස්සේ. (ක්‍රියා 8:14-17) බව්තීස්ම වෙන්න කලින් අභිෂේක ලබපු පිරිසක් ගැනත් බයිබලේ සඳහන් වෙනවා. ඒ කොර්නේලියස් ඇතුළු පිරිසයි. ඒත් ඒ වගේ දෙයක් සිද්ධ වුණා කියලා සඳහන් වෙන්නේ එදා විතරයි.—ක්‍රියා 10:44-48.
6. අභිෂේක ලත් හැම කෙනෙක්ටම ලැබෙන්නේ මොකක්ද? ඒක එයාලට බලපාන්නේ කොහොමද?
6 තමන්ව අභිෂේක කරලා කියලා හැමෝම එකම විදිහට තේරුම්ගන්නේ නැහැ. සමහරු ඒක ඉක්මනින්ම තේරුම්ගන්නවා. තවත් අයට ඒක එකපාරටම පිළිගන්න අමාරුයි. ඒ වගේ අයට දෙවි ඔහුගේ බලය මාර්ගයෙන් ඒක පිළිගන්න උදව් කරන්නේ ක්‍රමානුකූලවයි. ඒත් ඒ හැමෝටම අනිවාර්යයෙන්ම ලැබෙන දෙයක් ගැන පාවුල් කිව්වේ මෙහෙමයි. “ඔබට විශ්වාසයක් ඇති වූ පසු දෙවි පොරොන්දු වූ ලෙස තම බලයෙන් ඔබව මුද්‍රා කළේය. එසේ කළේ ක්‍රිස්තුස් මාර්ගයෙනි. ඒ බලය අපට ඉදිරියේදී උරුම වන දේට සහතිකයකි.” (එෆී. 1:13, 14) තමන්ව ස්වර්ගයේ ජීවත් වෙන්න තෝරගෙන තියෙනවා කියලා අභිෂේක ලත් අයට කිසිම සැකයක් නැහැ. ඒ යෙහෝවා දෙවි ඔහුගේ බලය මාර්ගයෙන් ඒ අයගේ හදවත්වල ඒ ගැන ලොකු නිසැකකමක් ඇති කරන නිසයි. එහෙම බලද්දී දෙවිගේ බලය හරියට අනාගතයේදී ඒ අයට ස්වර්ගයේ ජීවිතය ලැබෙනවා කියන්න දෙන සහතිකයක් වගේ.—2 කොරින්ති 1:21, 22; 5:5 කියවන්න.
7. ස්වර්ගයේ ජීවිතය ලබන්න නම් අභිෂේක ලත් හැම කෙනෙක්ම කරන්න ඕනෙ මොකක්ද?
7 කෙනෙක්ව අභිෂේක කළා කියන එකෙන් අදහස් කරන්නේ එයාට අනිවාර්යයෙන්ම ස්වර්ගයේ ජීවිතය ලැබෙනවා කියන එකද? නැහැ. ස්වර්ගයේ ජීවත් වෙන්න ආරාධනාවක් ලැබිලා තියෙනවා කියලා ස්ථිරවම දැනගෙන හිටියත් ඒ තෑග්ග ලබන්න නම් ඒ කෙනා දිගටම දෙවිට විශ්වාසවන්තව ඉන්න ඕනේ. පේතෘස් මෙහෙම කියනවා. “එහෙයින් සහෝදරයෙනි, ඔබේ කැඳවීමත් තෝරාගැනීමත් ස්ථිර එකක් කරගැනීමට වැඩි වැඩියෙන් උත්සාහ කරන්න. මන්ද ඔබ ඒ දේවල් නොකඩවා කරනවා නම් ඔබ කිසි කලක පාපයට ඇද වැටෙන්නේ නැත. ඇත්තෙන්ම අපගේ ස්වාමීන් සහ ගැලවුම්කරු වන යේසුස් ක්‍රිස්තුස්ගේ සදාකාලික රාජ්‍යයට තේජසකින් ඇතුල් වීමේ අවස්ථාව ඔබට උදා වනු ඇත.” (2 පේතෘ. 1:10, 11) ඒ නිසා දෙවිට සේවය කරන එකෙන් තමන්ව නවත්තන්න කිසිම දේකට ඉඩ නොදෙන්න හැම අභිෂේක ලත් කෙනෙක්ම අධිෂ්ඨාන කරගන්න ඕනේ. මොකද ස්වර්ගයේ ජීවත් වෙන්න ආරාධනයක් ලැබුණත් දිගටම විශ්වාසවන්තව හිටියේ නැත්නම් ඒ උතුම් ආශීර්වාදය අහිමි වෙයි.—හෙබ්‍රෙ. 3:1; එළි. 2:10.
කෙනෙක් දැනගන්නේ කොහොමද?
8, 9. (අ) අභිෂේක ලත් කෙනෙක් අද්දකින දේ තේරුම්ගන්න හුඟක් අයට අමාරු ඇයි? (ආ) ස්වර්ගයේ ජීවත් වෙන්න තමන්ට ආරාධනයක් ලැබිලා කියලා කෙනෙක් දැනගන්නේ කොහොමද?
8 කෙනෙක්ව දෙවි අභිෂේක කළාම ඒ කෙනා අද්දකින දේ අභිෂේක ලබලා නැති අයට තේරුම්ගන්න අමාරුයි. මොකද ඒ අද්දැකීම එයාලා ලබලා නැහැ. ඒ වගේම දෙවි මිනිසුන්ව නිර්මාණය කළේ පොළොවේ ජීවත් වෙන්න මිසක් ස්වර්ගයේ ජීවත් වෙන්න නෙමෙයි. (උත්. 1:28; ගීතා. 37:29) ඒ නිසා සාමාන්‍යයෙන් කෙනෙක්ට තියෙන්නේ පොළොවේ හැමදාටම ජීවත් වෙන ආසාව. ඒත් යෙහෝවා දෙවි ස්වර්ගයේ රජවරුන් සහ පූජකයන් විදිහට සේවය කරන්න මිනිසුන් අතරින් පිරිසක්ව තෝරගත්තා. දෙවි ඒ අයව ඔහුගේ බලයෙන් අභිෂේක කරද්දී ඒ අයට තියෙන බලාපොරොත්තුව, එයාලා හිතන විදිහ, එයාලට හැඟෙන විදිහ වෙනස් වෙනවා. ඊටපස්සේ එයාලා ආසාවෙන් ඉන්නේ ස්වර්ගයේ ජීවත් වෙන්න මිසක් පොළොවේ ජීවත් වෙන්න නෙමෙයි.—එෆීස 1:18 කියවන්න.
9 ඒත් ස්වර්ගයේ ජීවත් වෙන්න ආරාධනාවක් ලැබිලා කියලා කෙනෙක් දැනගන්නේ කොහොමද? පාවුල් රෝමයේ ක්‍රිස්තියානීන්ව හැඳින්නුවේ “ශුද්ධ තැනැත්තන් ලෙස කැඳවනු ලැබූ” අය විදිහටයි. ඒ අයට ඔහු මෙහෙම කිව්වා. “දෙවිගේ බලය අප තුළ ක්‍රියාත්මක වන නිසා අපි තවදුරටත් බියෙන් වෙළී සිටින වහලුන්ගේ තත්වයට පත් වන්නේ නැත. ඇත්තෙන්ම ඒ බලය නිසා අපව දෙවිගේ පුත්‍රයන් ලෙස පිළිගනු ලැබේ. දෙවිට, ‘අබ්බා, පියාණෙනි’ කියා පවසන්න අපට හැකි වී තිබෙන්නේ ඒ බලයේ ක්‍රියාකාරිත්වය නිසාය. එසේ දෙවිගේ බලය අප තුළ ක්‍රියාත්මක වන නිසා අප දෙවිගේ දරුවන් බව අපගේ සිත්වලට නිසැකවම දැනේ.” (රෝම 1:7; 8:15, 16) යේසුස් එක්ක රජකම් කරන්න ආරාධනාවක් ලැබිලා තියෙනවා කියලා අභිෂේක ලබන අයට දෙවි ඔහුගේ බලය මාර්ගයෙන් ස්ථිරවම දන්වනවා.—1 තෙස. 2:12.
10. අභිෂේක ලත් කෙනෙක්ට කිසිවෙකුගේ ඉගැන්වීම් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා 1 යොහන් 2:27 කියන දෙයින් අදහස් වෙන්නේ මොකක්ද?
10 දෙවිගෙන් ආරාධනාව ලබන අයට එයාලා අභිෂේක ලබලා කියලා වෙන කෙනෙක් කියන්න අවශ්‍ය නැහැ. ඒක දෙවිම ඒ අයගේ හිත්වලට නිසැකවම දන්වනවා. ඒ අය ගැන යොහන් කිව්වේ මෙහෙමයි. “ශුද්ධ තැනැත්තාණෝ ඔබව අභිෂේක කර ඇත. ඔබ සියලුදෙනාටම සත්‍ය ඉගැන්වීම් පිළිබඳ අවබෝධයක්ද ඇත.” ඔහු මෙහෙමත් කිව්වා. “දෙවි තම බලයෙන් ඔබව අභිෂේක කළ අතර ඒ බලය ඔබේ හදවත් තුළ පවතී. එහෙයින් ඔබට කිසිවෙකුගේ ඉගැන්වීම් අවශ්‍ය වන්නේ නැත. දෙවි ඔබව අභිෂේක කර ඇති නිසා එමගින් ඔබට සෑම දෙයක් ගැනම උගන්වනු ලබන අතර එයින් ඔබට ලැබෙන සාක්ෂියද සැබෑය. එහි කිසි බොරුවක් නැත. එසේනම් ඔබ ඉගෙනගෙන ඇති ආකාරයට ඔහු සමඟ එකට බැඳී සිටින්න.” (1 යොහ. 2:20, 27) ඒකෙන් අදහස් කරන්නේ දෙවි දෙන පෝෂණය අභිෂේක ලත් අයට අවශ්‍ය නැහැ කියන එක නෙමෙයි. අනිත් අයට වගේ එයාලටත් ඒ පෝෂණය අත්‍යවශ්‍යයි. ඒත් ‘මං අභිෂේක ලත් කෙනෙක්ද’ කියලා වෙන අයගෙන් අහලා දැනගන්න ඒ අයට අවශ්‍ය නැහැ. මොකද යෙහෝවා දෙවි විශ්වයේ ප්‍රබලම බලය වන තම බලය මාර්ගයෙන් ඒ කෙනාගේ හිතේ ඇති කරන නිසැකකම නිසා ඒ ගැන අබ මල් රේණුවක තරම්වත් සැකයක් ඒ කෙනාට නැහැ.
“අලුත් උපතක්” ලබනවා
11, 12. අභිෂේක ලත් කෙනෙක්ට හැඟෙන්න පුළුවන් කොහොමද? ඒත් එයාට කිසිම සැකයක් නැත්තේ මොකක් ගැනද?
11 දෙවිගේ බලයෙන් අභිෂේක ලබන අය අද්දකින වෙනස කොච්චරද කියනවා නම් යේසුස් කිව්වේ එයාලා “අලුත් උපතක්” ලබනවා කියලයි.[2] (යොහ. 3:3, 5) යේසුස් ඒක මෙහෙම විස්තර කළා. “කෙනෙක් එලෙස අලුත් උපතක් ලැබිය යුතුයි කියා මම ඔබට පැවසූ දේ ගැන පුදුම වෙන්න එපා. උදාහරණයකට සුළඟ ගැන හිතන්න. ඕනෑම දිශාවකට හමන්න සුළඟට පුළුවන්. එහි ශබ්දය කොයි කාටත් ඇහෙනවා. නමුත් එය ආවේ කොහෙන්ද කියාවත් එය යන්නේ මොන දිශාවටද කියාවත් ඔබ දන්නේ නැහැ. දෙවිගේ බලය ලබා ඉපදෙන අය ගැනත් පැවසිය හැක්කේ එයමයි.” (යොහ. 3:7, 8) දෙවි තම බලයෙන් අභිෂේක කළාම තමන්ට හැඟෙන, දැනෙන දේ කොයි වගේද කියලා අභිෂේක නොලබපු කෙනෙකුට පහදලා දෙන්න අභිෂේක ලත් කෙනෙක්ට බැහැ.
12 අභිෂේක ලත් කෙනෙකුට හිතෙන්න පුළුවන් ‘ඇයි දෙවි මාව තෝරගත්තේ? මේ බැරෑරුම් වගකීම දරන්න තරම් මං සුදුසුද’ කියලා. ඒත් යෙහෝවා දෙවි තමන්ව තෝරගෙන තියෙනවා කියලා නම් එයාට කිසිම සැකයක් නැහැ. ඒ ආරාධනය ගැන එයාට දැනෙන්නේ පුදුම සතුටක්. ඒ ගැන එයාට තියෙන්නේ ලොකු අගයක්. පේතෘස්ට දැනුණු මේ දේම තමයි එයාටත් දැනෙන්නේ. “අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ දෙවිද පියාණන්ද වන තැනැත්තාණන්ට ප්‍රශංසා වේවා! මන්ද යේසුස් ක්‍රිස්තුස්ව මරණයෙන් නැවත නැඟිටුවීම මගින් ඔහු තම මහත් දයාවට එකඟව අපට අලුත් උපතක් දෙමින් අපට ස්ථිර බලාපොරොත්තුවක් දී ඇත. එම බලාපොරොත්තුවට අනුව අපට කිසිදා දිරා නොයන, කැළැල් රහිත, කිසිදා පරවී නොයන ජීවිතයකට උරුමකම් කීමට පුළුවන. ඒ උරුමය ඔබ වෙනුවෙන්ද ස්වර්ගයෙහි වෙන් කර තිබේ.” (1 පේතෘ. 1:3, 4) ඒ වචන කියවද්දී තමන්ගේ පියා මේ කතා කරන්නේ තමන්ටමයි කියලා අභිෂේක ලත් අයට කිසිම සැකයක් නැතුව දැනෙනවා.
13. අභිෂේක ලැබුවම කෙනෙක් හිතන විදිහ වෙනස් වෙන්නේ කොහොමද? එහෙම වෙන්නේ ඇයි?
13 අභිෂේක ලත් අයට ස්වර්ගයට ආරාධනා කරන්න කලින් එයාලට තිබුණේ පොළොවේ සදාකල් ජීවත් වෙන බලාපොරොත්තුව වෙන්න ඇති. යෙහෝවා දෙවි දුෂ්ටකම් අයින් කරලා පොළොව පාරාදීසයක් කරන දවස එන කල් ආසාවෙන් බලාගෙන ඉන්න ඇති. සමහරු මිය ගිය පවුලේ අය නැවත නැඟිටිද්දී එයාලව ආදරෙන් පිළිගන්න විදිහ හිතින් මවාගෙන ඉන්න ඇති. ගස් වැල් පිරුණු පළාතක ලස්සන ගෙයක් හදාගෙන, පලතුරුවල රස බලමින් ජීවත් වෙන්න ආසාවෙන් ඉන්න ඇති. (යෙසා. 65:21-23) ඒත් අභිෂේක ලැබුවට පස්සේ ඒ කෙනා හිතන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නේ ඇයි? එහෙම වෙන්නේ එයාලා ගත කරන මේ ජීවිතේ ගැන කලකිරුණු නිසාද? පොළොවේ හැමදාම ජීවත් වෙන එක නීරස දෙයක් වෙයි කියලා හිතුණු නිසාද? ස්වර්ගයේ ජීවිතේ මොන වගේද කියලා දැනගන්න ආසාවක් ඇති වුණු නිසාද? නැහැ. එයාලා වෙනුවෙන් ඒ තීරණය ගත්තේ යෙහෝවා දෙවි. දෙවි ඒ අයට ආරාධනා කරද්දී ඔහුගේ බලය මාර්ගයෙන් එයාලා හිතන විදිහත් අනාගතය ගැන තිබුණු බලාපොරොත්තුවත් සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා.
14. පොළොවේ ගත කරන ජීවිතේ ගැන අභිෂේක ලත් අයට හැඟෙන්නේ කොහොමද?
14 ඒකෙන් අදහස් කරන්නේ අභිෂේක ලත් අය ඉන්නේ මැරෙන්න ආසාවෙන් කියලද? එයාලට හැඟෙන විදිහ පාවුල් විස්තර කළා. ඔහු ඒ අයගේ ශරීර “කූඩාරමකට” සමාන කරලා මෙහෙම කිව්වා. “ඇත්තෙන්ම මේ කූඩාරමෙහි සිටින අප කනස්සල්ලට පත් වී කෙඳිරිගාමින් සිටින්නේ මේ කූඩාරම ඇඳුමක් ඉවත දමන්නා සේ අහක දැමීමට අපට අවශ්‍ය නිසා නොවේ. ඒ වෙනුවට අපගේ මහත් ආශාව නම් ස්වර්ගික දේ ලබාගැනීමය. එසේ මිය යනසුලු දේ වෙනුවට අපට ජීවනය හිමි වනු ඇත.” (2 කොරි. 5:4) අනිත් හැමෝම වගේ අභිෂේක ලත් අයත් මැරෙන්න කැමති නැහැ. ජීවිතෙන් සතුටක් ලබන්න, ගත වෙන දවසක් ගානේ පවුලේ අය, යාළුවන් එක්ක දෙවිට සේවය කරන්න එයාලා කැමතියි. ඒ මොන දේ කළත් දෙවි එයාලට පොරොන්දු වෙලා තියෙන තෑග්ග එයාලගේ මනසේ තියෙනවා.—1 කොරි. 15:53; 2 පේතෘ. 1:4; 1 යොහ. 3:2, 3; එළි. 20:6.
ඔයාටත් දෙවි ආරාධනා කරලද?
15. කෙනෙක්ව අභිෂේක කරලා කියලා තීරණය කරන්න බැරි මොන වගේ දේවලින්ද?
15 ස්වර්ගයේ ජීවත් වෙන්න යෙහෝවා දෙවි මාවත් තෝරගෙනද කියලා ඔයා හිතහිතද ඉන්නේ? එහෙමනම් මේ ප්‍රශ්න ගැන හොඳට හිතන්න. ඔයා දේශනා සේවයේ උද්යෝගයෙන් හවුල් වෙනවද? බයිබලේ අධ්‍යයනය කරන්න, “දෙවි එළිදරව් කරන ගැඹුරු කාරණා” ඉගෙනගන්න ඔයා හුඟක් ආසද? (1 කොරි. 2:10) හුඟක් අයට සත්‍යයට එන්න උදව් කරන්න දෙවි ඔයාව පාවිච්චි කරලා කියලා හිතෙනවද? හැම දේටම වඩා දෙවිගේ කැමැත්ත කරන්නද ඔයාට ඕනේ? අනිත් අය ගැන ලොකු ආදරයක් ඔයාට තියෙනවද? දෙවිට සේවය කරන්න අනිත් අයට උදව් කරන එක ඔයාගේ වගකීමක් හැටියට ඔයා සලකනවද? දෙවි ඔයාට උදව් කළා කියලා නිශ්චිතවම කියන්න පුළුවන් අවස්ථා හුඟක් ඔයාගේ ජීවිතේ තියෙනවද? ඒ හැම ප්‍රශ්නෙකටම උත්තරේ ‘ඔව්’ නම් ඒකෙන් අදහස් කරන්නේ ස්වර්ගයේ ජීවත් වෙන්න දෙවි ඔයාට ආරාධනා කරලා කියලද? නැහැ. මොකද පොළොවේ ජීවත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න හුඟක් අයටත් ඒ ප්‍රශ්නවලට ‘ඔව්’ කියලා උත්තර දෙන්න පුළුවන්කම තියෙනවා. කෙනෙක්ට තියෙන බලාපොරොත්තුව මොකක් වුණත් ඒ හැමෝටම එක හා සමානව දෙවි තම බලය ලබා දෙනවා. ඇත්තටම කියනවා නම් ස්වර්ගයේ ජීවත් වෙන්න දෙවි ඔයාට ආරාධනා කරලද නැද්ද කියලා ඔයා හිතහිත ඉන්නවා නම් ඔයාට ඒ ආරාධනාව ලැබිලා නැහැ කියන්න ඒකම සාක්ෂියක්. මොකද දෙවි තෝරගත්ත අයට ඒ ගැන හිතහිත ඉන්න ඕනෙ නැහැ. එයාලට ඒ ගැන කිසිම සැකයක් නැහැ.
16. දෙවිගේ බලය ලැබෙන හැම කෙනෙක්ටම ස්වර්ගයේ ජීවත් වෙන්න ආරාධනා ලැබෙන්නේ නැහැ කියලා කියන්නේ ඇයි?
16 දෙවිගේ බලය ලැබුණු ඒත් ස්වර්ගයට ගිය නැති හුඟක් විශ්වාසවන්ත අය ගැන බයිබලේ තියෙනවා. යොහන් බව්තීස්ත ඒ වගේ කෙනෙක්. කිසිම මිනිසෙක් යොහන්ට වඩා උතුම් නැහැ කියලා යේසුස් කිව්වත් ඊළඟට ඔහු කිව්වේ යොහන් ස්වර්ගයේ රජකම් කරන්නේ නැහැ කියලයි. (මතෙ. 11:10, 11) තවත් කෙනෙක් දාවිත්. (1 සාමු. 16:13) ගැඹුරු කාරණා තේරුම්ගන්න, බයිබලේ සමහර කොටස් ලියන්න ඔහුට දෙවිගේ බලය ලැබුණා. (මාක් 12:36) ඒත් “දාවිත් ස්වර්ගයට ගියේ නැහැ” කියලා පේතෘස් කිව්වා. (ක්‍රියා 2:34) පුදුමාකාර දේවල් කරන්න දෙවි ඒ අයට තම බලය දුන්නත් ස්වර්ගයේ ජීවත් වෙන්න ඒ අයට ආරාධනා කරන්න දෙවි තම බලය යොදාගත්තේ නැහැ. ඒකෙන් අදහස් කරන්නේ ස්වර්ගයේ රජවරුන් විදිහට සේවය කරන්න තරම් ශක්තිමත් විශ්වාසයක් ඒ අයට තිබුණේ නැහැ කියන එක නෙමෙයි. ඒ වෙනුවට ඒ අයව යෙහෝවා දෙවි පාරාදීසයේදී නැවත නැඟිටුවනවා කියන එකයි.—යොහ. 5:28, 29; ක්‍රියා 24:15.
17, 18. (අ) වැඩිදෙනෙක්ට තියෙන්නේ මොන බලාපොරොත්තුවද? (ආ) ඊළඟ ලිපියෙන් බලන්නේ මොනවද?
17 අද ඉන්න දෙවිගේ සෙනඟගෙන් වැඩිදෙනෙක්ට ස්වර්ගයේ ජීවත් වෙන බලාපොරොත්තුව නැහැ. ආබ්‍රහම්, දාවිත්, යොහන් බව්තීස්ත ඇතුළු බයිබලේ සඳහන් හුඟක් විශ්වාසවන්ත අය වගේ එයාලත් ආසාවෙන් බලාගෙන ඉන්නේ පොළොවේ ජීවත් වෙන්නයි. (හෙබ්‍රෙ. 11:10) යේසුස් එක්ක ස්වර්ගයේ රජකම් කරන්න යන 1,44,000දෙනාගෙන් ස්වල්පදෙනෙක් අවසාන කාලේ පොළොවේ ඉන්නවා කියලා බයිබලේ කියනවා. (එළි. 12:17) ඒකෙන් තේරෙන්නේ ඒ අයගෙන් වැඩිදෙනෙක් මේ වෙද්දී ස්වර්ගයට ගිහින් කියන එකයි.
18 තමන්ට තියෙන්නේ ස්වර්ගයේ ජීවත් වෙන බලාපොරොත්තුව කියලා කෙනෙක් කිව්වොත් අනිත් අයට එයා ගැන හැඟෙන්න ඕනෙ කොහොමද? කෙනෙක් සිහි කිරීමේදී රොටි සහ වයින් ගන්නවා දැක්කොත් ඔයා එයාට සලකන්න ඕනෙ කොහොමද? අභිෂේක ලත් කියන අයගේ ගාණ වැඩි වෙන එක ගැන ඔයා කරදර වෙන්න ඕනෙද? ඒ ගැන ඊළඟ ලිපියෙන් බලමු.
^ [1] (4 ඡේදය) පෙන්තකොස්ත උත්සවය පැවැත්තුවෙත් මෝසෙස්ට නීතිය දුන්නෙත් අවුරුද්දේ එකම කාලෙදී වෙන්න පුළුවන්. (නික්. 19:1) එහෙම බලද්දී මැදිහත්කරු විදිහට වැඩ කරපු මෝසෙස්, නීතිය මගින් ඇති කරගත්ත ගිවිසුමට ඊශ්‍රායෙල්වරුන්ව සම්බන්ධ කරගත්තෙත් යේසුස් මැදිහත්කරු විදිහට අභිෂේක ලත් අයව අලුත් ගිවිසුමට සම්බන්ධ කරගත්තෙත් එකම දවසේ කියලා හිතන්න පුළුවන්.
^ [2] (11 ඡේදය) 2009 අප්‍රියෙල් 1 ‘මුරටැඹ’ සඟරාවේ 3-11 පිටු බලන්න.