දෙවියන් වහන්සේගේ දයාව පිළිබඳ ව හරි දෘෂ්ටියක් ඇති ව සිටින්න
එම වෛද්‍යවරයා කාරුණික මෙන් ම මහත් සැලකිල්ලක් දක්වන කෙනෙක් විය. ඔහුගේ හොඳ ම රෝග නිශ්චය අනුව, ඇයගේ ජීවිතය බේරා ගැනීමට නම් ඔහුගේ රෝගියාට අනිවාර්යයෙන් ම ශල්‍යකර්මයක් කළ යුතු විය. ඇය මදක් පසුබසිමින් රුධිර ප්‍රවේශනය පිළිබඳ ප්රශ්නය මතු කළ විට, ඔහු පුදුමයට පත් විය. ආගමික හේතූන් උදෙසා රුධිර ප්‍රවේශනයක් හා සම්බන්ධවන්නා වූ ශල්‍යකර්මයකට තමාට කැමැත්ත දිය නොහැකි බව ඇය පැහැදිලි කළ විට, ඔහු අතිශයින් විස්මපත් විය. ඇයට උපකාර කළ හැකි ක්‍රමයක් ගැන කල්පනා කිරීමට ඔහු මහන්සි ගත්තේ ය. අවසානයේ දී තමා ක්‍රමයක් සොයා ගත්තේ යයි ඔහු සිතුවේ ය. අනතුරුව ඔහු මෙසේ පැවසී ය: “මේ බලන්න, ඔබ රුධිර ප්‍රවේශනයක් පිළිගත්තේ නැත්නම්, ඔබ මැරෙයි. ඔබට මැරෙන්න ඕනෑ නෑ නේ ද?”
“ඇත්ත වශයෙන් ම නැහැ.” කියා ඔහුගේ රෝගියා පැවසුවා ය.
“එහෙත්, පෙනෙන හැටියට, ඔබ රුධිර ප්‍රවේශනයක් පිළිගතහොත්, ඔබට වැදගත් ව තිබෙන ඔබගේ ආගමික විශ්වාසයන්ට ඔබ විරුද්ධ ව කටයුතු කරනවා. හොඳයි, මෙන්න මගේ යෝජනාව. රුධිර ප්‍රවේශනයක් පිළිගෙන ඔබගේ ජීවිතය බේරා නොගන්නේ ඇයි. පසු ව ඔබ පව් කර ඇති බව දෙවියන් වහන්සේට පාපොච්චාරණය කර, පසුතැවිලි වන්න. එයාකාරයෙන්, ඔබට ඔබගේ ආගමටත් නැවත යන්න පුළුවන්.”
තමා පරිපූර්ණ ම පිළිතුර සොයා ගත්තේ යයි යහපත් චේතනාවකින් යුතු ව මෙම වෛද්‍යවරයා කල්පනා කළේ ය. දයාවන්ත දෙවි කෙනෙක් කෙරෙහි සිය රෝගියා විශ්වාසය තැබූ බව ඔහු දැන සිටියේ ය. ඇත්ත වශයෙන් ම, මෙය දෙවියන් වහන්සේගේ දයාවෙන් වාසි ගැනීමට යෝග්‍ය අවස්ථාවක්! එහෙත් ඔහුගේ යෝජනාව නාද වූ තරමට ම සාධාරණ වී ද?
අපි කවදා හෝ මෙයාකාරයෙන් තර්ක කරමු ද?
ඇතැම් අවස්ථාවන්හි අපත් එම වෛද්‍යවරයා කරන ආකාරයට තර්ක කරන බව අපට පෙනී යන්නට පුළුවන. සමහර විට පාසලේ දී හෝ රැකියා ස්ථානයේ දී ඇති වන අනපේක්ෂිත විරුද්ධවාදිකම්වලින් අප භය වන්නට පුළුවන. එසේත් නැතහොත් අපගේ හෘදය සාක්ෂිය උල්ලංගනය කරන්නා වූ යමක් කිරීමට තරම්, පීඩනයට ලක් ව සිටින වික්ෂිප්ත තත්ත්වයක අප සිටින බව, අපට පෙනී යන්නට පුළුවන. අප අසීරු තත්ත්වයකට හදිසියෙන් ම වැටී තිබෙන නිසා, වැරදි බවට අප දන්නා දෙය කරමින් ද, පසු ව සමාව අයැදීමේ බලාපොරොත්තුවෙන් ද පහසු ම මාර්ගය සොයන්නට අප නැඹුරු විය හැක.
එසේත් නැතහොත් පුද්ගලයින් තමන්ගේ ම වැරදි සහගත නැඹුරුවාවන්ගෙන් පෙලඹීම් ලබන්නට පුළුවන. උදාහරණයක් වශයෙන්, දුරාචාරයේ නියැලෙන්නට වැඩි පෙලඹීමක් ඇති කරවන තත්ත්වයක තමා සිටින්නේ යයි යෞවනයෙකුට පෙනෙන්නට පුළුවන. වැරදි ආශාවන් සමඟ සටන් කරනු වෙනුවට, යථා කාලයේ දී දෙවියන් වහන්සේ සමඟ කාරණා නිවැරදි කර ගන්නා අදහසින්, ඔහු එහි නියැලෙන්නට පුළුවන. තමන් ව ඇතැම් විට ක්‍රිස්තියානි සභා ආශ්රයෙන් පහකර දමන්නට පවා පුළුවන් බව දැනගෙනත්, ඇතැමෙක් බරපතළ පාපයක් කරන තරමට දුරදිග ගොස් ඇත්තාහ. ඔවුන් පෙනෙන හැටියට මෙසේ තර්ක කරනවා වන්නට පුළුවන: ‘යම් කාලයක් ගත වෙන්නට මම ඉඩ හරින්නම්, අනතුරුව මම පසුතැවිලි වීමෙන් නැවත සභා ආශ්‍රයට මා ව පිළිගනු ලැබේවි.’
මේ සියලු තත්ත්වයන්ට පොදු වූ දේවල් දෙකක් තිබේ. පළමු දෙය නම්, හරි දෙය වෙනුවෙන් සටන් කරනු වෙනුවට පුද්ගලයින් විසින් සටන අත්හැරීමයි. දෙවනුව, වැරැද්ද කිරීමෙන් පසු, ඔවුන් නිකම් ඉල්ලූ විට දෙවියන් වහන්සේ නිරායාසයෙන් ම සමාව දෙනු ඇතැයි ඔවුනට හැඟී යාම ය.
හරි දෘෂ්ටිය කුමක් ද?
මෙය දෙවියන් වහන්සේගේ දයාව සඳහා උචිත අගැයීමක් පෙන්වනවා ද? හොඳයි, මොහොතකට එම දයාව ගැන කල්පනා කර බලන්න. “දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේමකළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සැමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිස” යයි යේසුස් වහන්සේ වදාළ සේක. (යොහන් 3:16) ප්‍රේරිත යොහන් ම මෙසේ පැවසූ අවස්ථාවෙහි එම දයාව ක්‍රියාවට නැගෙන ආකාරය පැහැදිලි කළේ ය: “මේ කාරණා නුඹලාට ලියා එවන්නේ නුඹලා පව් නොකරන පිණිසය. යමෙක් පව් කළොත් ධර්මිෂ්ඨවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වන මැදහත්කාරයෙක් පියාණන්වහන්සේ වෙත අපට සිටිනසේක.” (1 යොහන් 2:1) එබැවින්, අසම්පූර්ණත්වය නිසා අප පාපයකට වැටුණහොත්, යේසුස් වහන්සේගේ යාගයේ පදනම මත යාච්ඤාවෙන් අපට දෙවියන් වහන්සේ වෙත එළැඹ කමාව අයැද සිටිය හැක.
කෙසේ වෙතත්, පසු ව අප සමාව ඉල්ලන බැවින්, අප පව් කළත් නොකළත් කම් නැතැයි මින් අදහස් කරනවා ද? කිසිසේත් නැත. “මේ කාරණා නුඹලාට ලියා එවන්නේ නුඹලා පව් නොකරන පිණිසය” යන එම උපුටනයේ මුල් වදන් මතක තබා ගන්න. එම වගන්තියේ ඇති යොහන්ගේ ඊළඟ වදන් අපගේ අසම්පූර්ණත්වය සමඟ කටයුතු කිරීම සඳහා යෙහෝවඃ වහන්සේගේ ප්‍රේමනීය විධිවිධානය පෙන්වයි. කෙසේ වෙතත් පව් කිරීමෙන් වැළකී සිටින්නට අපට හැකි තරම් අප වෑයම් දැරිය යුතු ය. එසේ නොකළොත්, අප දෙවියන් වහන්සේගේ ප්‍රේමයට ශෝචනීය අගෞරවයක් පෙන්වනු ඇත. එය හරියට ම යූද් විසින් පෙන්වන ලද දෙවියන් වහන්සේගේ කරුණාව සල්ලාලකමට හරවා ගත්තා වූ අය හා සමාන වීමක් වනු ඇත.—යූද් 4.
අප කුමක් කළත් දෙවියන් වහන්සේගේ දයාව නිතර අප ව හසු කරගන්නා ආරක්ෂිත දැලක් හැටියට සැලකීම, උන් වහන්සේගේ එම දයාව සුළු කිරීමක් වන අතර ම පාපය එතරම් ම නරක නැතැයි හැඟෙන්නට සලස්වයි. මෙය කොහෙත් ම ඇත්ත නොවේ. ප්‍රේරිත පාවුල් තීතස්ට මෙසේ පැවසී ය: “සියලු ආකාර මනුෂ්‍යයන්ට ගැලවීම ගෙනෙන්නා වූ දෙවියන් වහන්සේගේ ලබන්ට නොවටිනා තරම් වූ කරුණාව, මෙම වත්මන් දේවල පිළිවෙළ මධ්‍යයේ අභක්තිකකම ද ලෞකික තෘෂ්ණා ද එපාකර, සිහි බුද්ධියෙන් ද, ධර්මිෂ්ඨකමෙන් ද, දේව භක්තියෙන් ද ජීවත් වන හැටියට අපට උපදෙස් දෙමින් ප්‍රකාශ වී තිබේ.”—තීතස් 2:11, 12, NW.
තමාගේ ම අසම්පූර්ණත්වයට එරෙහි ව පාවුල් සටන් කළ ආකාරයෙන් ඔහු දෙවියන් වහන්සේගේ දයාව සඳහා අගැයීම පෙන්වී ය. “මගේ ශරීරය දමනයකර වාල්කමට පමුණුවමි. එසේ කරන්නේ අනුන්ට දේශනාකළාට පසු කොයිලෙසකින්වත් මාම එපාකරනු නොලබන පිණිස” යයි ඔහු කීවේ ය. (1 කොරින්ති 9:27) කලින් කලට තමා පව් කිරීමට නැඹුරු තත්ත්වයක සිටි බව පාවුල් නොසැලකිලිමත් ව සුළුකොට ගණන් ගෙන සිටියේ නැත. අප එසේ කළ යුතු ද?
යේසුස් වහන්සේගේ දෘෂ්ටි කෝණය
යමෙක් හරි දෙය සම්බන්ධයෙන් තම ස්ථාවරය කඩ කොට, වේදනා වැළැක්වීම පිණිස පහසු ක්‍රියා මාර්ගයක් ගැනීමේ අදහස ගැන තමන් වහන්සේ කල්පනා කරන ආකාරය එක්තරා අවස්ථාවක යේසුස් වහන්සේ පෙන්වා දුන් සේක. පැමිණෙන තමන්ගේ යාගික මරණය ගැන උන් වහන්සේ තමන්ගේ ගෝලයින්ට පැවසීමට පටන් ගත් විට, පේතෘස් “ස්වාමිනී, එය ඔබ කෙරෙන් දුරුවේවා [ඔබ ගැන කරුණාවෙන් හිතන්න NW]. ඔබට කිසිකලකත් එසේ සිද්ධ නොවන්නේය” යයි පවසමින් උන් වහන්සේ ව වළක්වන්නට වෑයම් කළේ ය. යේසුස් වහන්සේගේ ප්‍රතිචාරය? “සාතන් මා පස්සට යව. නුඹ මට බාධාවක්ය. මක්නිසාද නුඹ මනුෂ්‍යයන්ගේ කාරණා මිස දෙවියන්වහන්සේගේ කාරණා කල්පනාකරන්නේ නැත.”—මතෙව් 16:22, 23.
යේසුස් වහන්සේ පේතෘස්ට කළ දැඩි තරවටුව මගින් දෙවියන් වහන්සේගේ කැමැත්තට එරෙහි ව යාමක් හා සම්බන්ධ වන්නා වූ පහසු ක්‍රියා මාර්ගයක් ගැනීම යේසුස් වහන්සේ ප්‍රතික්ෂේප කළ බව චමත්කාර ලෙස පෙන්වනු ලැබී ය. උන් වහන්සේ සාතන්ගේ හස්තය යටතේ නිරන්තර ව පීඩා විඳිමින්, නොසැලී හරි මාර්ගය අනුගමනය කළ බව වාර්තාව පෙන්වයි. අවසානයේ උන් වහන්සේ ව සරදමටත්, වේදනාකාරී ලෙස පහර දීමට හා දැඩි දුක් ගාවිනා සහිත මරණයකටත් පත් කරනු ලැබූ සේක. එසේ වුවත්, උන් වහන්සේ සිය ස්ථාවරය කැඩීමට අවකාශ නොදුන් අතර ඒ හේතුවෙන් අප උදෙසා උන් වහන්සේට තමන්ගේ ජීවිතය මිදීමේ මිලයක් කොට ඔප්පු කළ හැකි විය. නිසැක ව ම උන් වහන්සේ මේ සියල්ල විඳදරා ගත්තේ, අපට දුෂ්කරතා නැතහොත් වැරදි පෙලඹීම් පැමිණෙන විට අප ‘අපට ම කරුණාවෙන් ක්‍රියා කරන’ පිණිස නොවේ!
යේසුස් වහන්සේ සම්බන්ධයෙන් මෙසේ පවසා ඇත: “ඔබ ධර්මිෂ්ඨකමට ප්‍රියව අධර්මිෂ්ඨකමට [නොපනත්කමට NW] තේටව්ෂකළසේක.” (හෙබ්‍රෙව් 1:9) පහසු මාර්ගය අනුව කටයුතු කිරීමේ දී සාමාන්‍යයෙන් නොපනත්කමේ යෙදීමට සිදු වේ. එබැවින්, අප—යේසුස් වහන්සේ කළාක් මෙන්—සැබවින් ම මෙයට ද්වේෂ කරන්නේ නම්, අප අපගේ ස්ථාවරය කඩ කිරීමේ මාවත ගැනීම නිතර ප්‍රතික්ෂේප කරනු ඇත. හිතෝපදේශ පොතේ යෙහෝවඃ වහන්සේ මෙසේ පවසන සේක: “මාගේ පුත්‍රය, මට නින්දාකරන්නාට උත්තරදෙන පිණිස නුඹ ප්‍රඥාවත්ව සිට මාගේ සිත [හෘදය NW] ප්‍රීති කරපන්න.” (හිතෝපදේශ 27:11) යේසුස් වහන්සේගේ සමබර එහෙත් ස්ථිරසාර ධර්මිෂ්ඨත්වය යෙහෝවඃ වහන්සේගේ හෘදයට මහත් ප්‍රීතියක් ගෙනදුණි. අපත් යේසුස් වහන්සේගේ අඛණ්ඩ ක්‍රියා මාර්ගය අනුගමනය කරන්නේ නම් යෙහෝවඃ වහන්සේට සමාන සතුටක් ලබා දිය හැක.—1 පේතෘස් 2:23.
විඳදරා ගැනීමෙන් පුහුණු ව ලැබීම
ප්‍රේරිත පේතෘස් මෙසේ ලිව්වේ ය: “ඕනෑව තිබෙන විට නුඹලා දැන් ස්වල්ප කලක් අනේකාකාර පරීක්ෂාවලින් ශෝකයට පත්වන නුමුත්, ඒ ගැළවීම ගැන නුඹලා ඉතා ප්‍රීතිවන්නහුය. එසේ ශෝකයට පත්වන්නේ නාස්තිවී යන්නාවූ, එසේද වුවත් ගින්නෙන් සෝදිසිකරන්නාවූ රනට වඩා අගේව තිබෙන නුඹලාගේ ඇදහිල්ල පරීක්ෂාකිරීමෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එළිදරව්වීමේදී ප්‍රශංසාවත් මහිමයත් ගෞරවයත් පැමිණෙන පිණිසය.” (1 පේතෘස් 1:6, 7) අප අසම්පූර්ණ නිසාත් සාතන්ගේ ලෝකයේ ජීවත් වන නිසාත්, අප නිතර පරීක්ෂා හා වැරදි සහගත පෙලඹීම්වලට මුහුණ දෙනු ඇත. පේතෘස් පෙන්වූ ආකාරයට, මේවා හොඳ අරමුණක් ඉටු කරන්නට පුළුවන. ඒවා අපගේ ඇදහිල්ල පරීක්ෂා කරමින්, එය දුර්වල ද නැතහොත් ශක්තිමත් ද යන්න පෙන්වනු ඇත.
ඒවා අප ව පුහුණු කිරීමටත් උපකාරවත් වේ. “තමන් වින්ද දේවලින්” යේසුස් වහන්සේ “කීකරුකම ඉගෙනගත්සේක.” (හෙබ්‍රෙව් 5:8) අපත් පරීක්ෂාවන් යටතේ විඳදරා කටයුතු කරන්නේ නම්, අපට පවා කීකරුකම හා යෙහෝවඃ වහන්සේ කෙරෙහි රැඳී සිටීම ඉගෙන ගන්නට පුළුවන. තව ද පේතෘස් මතු සඳහන් වදන්වලින් පැවසූ ආකාරයට, මෙම ඉගෙන ගැනීමේ ක්‍රියා මාර්ගය සම්පූර්ණත්වය දක්වා දිගට ම සිදු වනු ඇත: “දෙවියන්වහන්සේම, . . . නුඹලා සපුර්ණකර [ඔබේ පුහුණුව සම්පූර්ණ කොට NW], ස්ථිරකර, ශක්තිමත්කර පිහිටුවනසේක.”—1 පේතෘස් 5:10.
එසේ වුවත්, පරීක්ෂාවන් යටතේ අපගේ ස්ථාවරය කඩ කරන්නේ නම්, එමගින් අප පෙන්වන්නේ අප බියසුලු හෝ දුර්වල, යෙහෝවඃ වහන්සේ කෙරෙහි හා ධර්මිෂ්ඨකම කෙරෙහි දැඩි ප්‍රේමයක් නොමැති නැතහොත් ආත්ම-දමනය නොමැති තත්ත්වයක සිටින බව ය. එවන් ඕනෑ ම දුර්වලකමක් දෙවියන් වහන්සේ සමඟ ඇති අපගේ සම්බන්ධතාව මහත් සේ අනතුරට පත් කරයි. ඇත්ත වශයෙන් ම, අපගේ තත්ත්වය සම්බන්ධයෙන් පාවුල්ගේ මතු සඳහන් අනතුරු ඇඟවීම සැබෑ වන්නට පුළුවන: “සැබෑව දැනගැනීම ලැබුවායින් පසු අපි කැමැත්තෙන්ම පව් කරමු නම්, . . . පව් ගැන තවත් පූජාවක් ඉතිරිව නැත.” (හෙබ්‍රෙව් 10:26, 27) දුර්වලකම්වලට ඉඩ දී ජීවිතයේ සියලු අපේක්ෂා අනතුරට පත් කරවනු වෙනුවට, කල්තබා පව් නොකර සිටීම කොතරම් හොඳ ද!
කොන්දේසි විරහිත අඛණ්ඩතාව
දිවැස්වර දානියෙල්ගේ දවස්වල දී, ඔවුන් පිළිමයකට නමස්කාර නොකරන්නේ නම් ගින්නේ දමා මරණ බවට හෙබ්‍රෙව්වරුන් තිදෙනෙකුට තර්ජනය කරනු ලැබී ය. ඔවුන්ගේ පිළිතුර? “ඇවිළෙන ගිනි උදුනෙන් ගළවන්ට නම් අප සේවයකරන අපේ දෙවියන්වහන්සේට පුළුවන; රජ්ජුරුවෙනි, උන්වහන්සේ ඔබගේ අතින් අප ගළවනසේක. එසේ නොකළත්, රජ්ජුරුවෙනි, ඔබගේ දෙවිවරුන්ට අප සේවයකරන්නේවත් ඔබ පිහිටුවා තිබෙන රන් රූපයට නමස්කාරකරන්නේවත් නැති බව ඔබ දැනගත මැනව.”—දානියෙල් 3:17, 18.
ඔවුන් එම ස්ථාවරය ගත්තේ තමන්ට හරි දෙය කරන්නට උවමනා වූ නිසා ය. එය ඔවුන් ව මරණයට පත් කළත්, එසේ ම වේවා. ඔවුන්ගේ නිසැකකම පදනම් ව තිබුණේ නැවත නැගිටීම කෙරෙහි ය. කෙසේ හෝ දෙවියන් වහන්සේ ඔවුන් ව ගලවා ගත්තේ නම්, එය වඩා සුදුසු දෙයක් වනු ඇත. එහෙත් ඔවුන්ගේ ස්ථිර ස්ථාවරය කොන්දේසි විරහිත එකක් විය. දෙවියන් වහන්සේගේ සේවකයින් සම්බන්ධයෙන් නිතර එය එසේ විය යුතු ය.
අපගේ දවසේ සිය ස්ථාවරය කඩ කිරීම ප්‍රතික්ෂේප කළ සමහරෙක් ව සිරගත කර, වධ පමුණුවා, මරණයට පවා පත් කර ඇත. තවත් අය හරි ප්‍රතිපත්ති පාවා දීමෙන් ධනවත් වනු වෙනුවට දිළිඳු ව සිටින්නට වැඩි කැමැත්තක් දක්වමින්, ද්‍රව්‍යමය පරිත්‍යාග කර ඇත්තාහ. මෙම ලිපිය මූලාරම්භයේ සඳහන් කළ ක්‍රිස්තියානි කාන්තාවට සිදු වූයේ කුමක් ද? ඇය වෛද්‍යවරයාගේ කාරුණික එහෙත් වැරදි මාර්ගයට මඟ පෙන්වන අවවාදය අගය කළ ද, තමාගේ ඇදහිල්ලේ ස්ථාවරය කඩ කිරීමේ පිළිවෙතකට ඇය පිවිසියේ නැත. ඒ වෙනුවට, යෙහෝවඃ වහන්සේගේ ව්‍යවස්ථාවට ඇය තුළ තිබූ ගෞරවය ශල්‍යකර්මය ප්‍රතික්ෂේප කරන්නට ඇය ව යොමු කළේ ය. සතුටු විය හැකි ලෙසින්, ඇය සනීප වූ අතර දිගට ම යෙහෝවඃ වහන්සේගේ සේවයේ ක්‍රියාශීලී ව යෙදෙන්නට පටන් ගත්තා ය. කෙසේ වෙතත්, ඇය ස්ථිර ලෙස තමාගේ ස්ථාවරය ගත් අවස්ථාවේ, ප්‍රතිඵලය ඇය දැනගෙන නොසිටිය ද, මුළු කාරණය යෙහෝවඃ වහන්සේගේ හස්තයට බාර කරන්නට ඇය සූදානමින් සිටියා ය.
පීඩන යටතේ මෙතරම් ස්ථිර ව සිටින්නට ඇයට උපකාර කළේ කුමක් ද? තමාගේ ම ශක්තිය කෙරෙහි ඇය රැඳී සිටීමට ඇය වෑයම් නොකළ අතර, දෙවියන් වහන්සේගේ කිසි සේවකයෙකුවත් එසේ ම නොකළ යුතු ය. “දෙවියන්වහන්සේ අපේ සරණ හා ශක්තියය, දුකේදී ඉතා ළංවූ පිහිටක්” බව මතක තබා ගන්න. (ගීතාවලිය 46:1) පව් කොට දයාව සඳහා උන් වහන්සේ වෙතට හැරෙන්නට සිදුවනවා වෙනුවට පරීක්ෂාවන් යටතේ සිටින විට උපකාරය සඳහා දෙවියන් වහන්සේ වෙතට හැරීම කොතරම් හොඳ ද!
එසේ ය, අපි කිසිදා දෙවියන් වහන්සේගේ මහත් දයාව සුළුකොට නොසලකමු. ඒ වෙනුවට, දුෂ්කරතාවයන් හමුවේ පවා, හරි දෙය කිරීමට අපි අව්‍යාජ ආශාවක් වර්ධනය කර ගනිමු. මෙය යෙහෝවඃ වහන්සේ සමඟ ඇති අපගේ සම්බන්ධතාව වැඩි වර්ධනය කරනු ඇත, සදාකාල ජීවනය සඳහා අපට අවශ්‍ය පුහුණුව ලබා දෙනු ඇත, එමෙන් ම දෙවියන් වහන්සේගේ දයාව සඳහා නිසි ගෞරවයක් නිරූපනය කරනු ඇත. එවන් ඥානවන්ත හැසිරීමක් අපගේ ස්වර්ගීය පියාණන්ගේ හෘදයට ප්‍රීතියක් ලබා දෙනු නිසැක ය.
[24වන පිටුවේ පින්තූරය]
නැවත නැගිටීම කෙරෙහි වූ පූර්ණ නිසැකකම, අඛණ්ඩතාවය පවත්වා ගැනීමට හෙබ්‍රෙව්වරුන් තිදෙනාට උපකාරවත් විය