අවශ්‍යතාව ඇති අයට ප්‍රේමය පෙන්වීම
අවශ්‍යතාව ඇති තම සහෝදර සහෝදරියන්ට ප්‍රේමය පෙන්වීම, ක්‍රිස්තියානීන්ට තිබෙන යුතුකමක් මෙන්ම වරප්‍රසාදයක්. (1 යොහන් 3:17, 18) ප්‍රේරිත පාවුල් මෙහෙම ලිව්වා: “සියල්ලන්ටම, ප්‍රධානකොට ඇදහිල්ලේ පවුලට අයිතිවූවන්ට, යහපත්කම්කරමු.” (ගලාති 6:10) දශක හතරකට ආසන්න කාලයක් යෙහෝවාට සේවය කරමින් සිටින සහෝදරයෙක්, තමාගේ බිරිඳ අසනීපයෙන් සිටි කාලයේදී හා ඈ මියගිය අවස්ථාවේදී, ක්‍රිස්තියානි සහෝදරත්වයේ ප්‍රේමය මෑතකදී අද්දැක්කා. ඔහු මේ විදිහට ලියනවා:
“මගේ බිරිඳ අසනීප වෙලා හිටිය කාලය පුරාම මම ගෙදර ඉඳන් ඇයව බලාගත්ත නිසා, මාස දෙකක් විතර රැකියාව කරන්න බැරි වුණා. සභාවේ ඉන්න මිතුරන් කැමැත්තෙන්ම අපිට උදව් කරපු වේලාවේදී මට මොනතරම් සහනයක් දැනුණාද! ‘අමතර වියදම් සඳහා’ මුදලින් කළ පරිත්‍යාග හුඟක් ලැබුණා; ඒ එක්කම ලැබුණු කාඩ්පත්වල මෙහෙම කියල තිබුණා—උකස් ණය ගෙවීම සඳහා, විදුලි හා ජල බිල්පත් ගෙවීම සඳහා, මෙන්ම වෙනත් වියදම් සඳහා.
“මගේ බිරිඳගේ මරණයට සති දෙකකට කලින්, අපේ චාරිකා අවේක්ෂක දිරිගන්වනසුලු බැහැදැකීමක් කළා. ඔහු සති අන්තයේදී සභාවට පෙන්වන්න තිබුණු ස්ලයිඩ් කාච දර්ශනත් පෙන්නුවා. චාරිකා අවේක්ෂක පැවැත්වූ ක්ෂේත්‍ර සේවය සඳහා රැස්වීම් ඇතුළු රැස්වීම් හැම එකකටම දූරකථනයෙන් ඇහුම්කන් දෙන්න අපිට පුළුවන් වුණා. ක්ෂේත්‍ර සේවය සඳහා රැස්වීමකදී, සේවය කරන්න ඇවිත් හිටිය ඔක්කොමදෙනා කණ්ඩායමක් හැටියට එකතු වෙලා මගේ බිරිඳට ‘හෙලෝ’ කිව්වා. ඈ ශාරීරිකව හුදකලා වෙලා හිටියත්, මේ වගේ දේවල් අද්දැකීම නිසා ඈට කවදාවත් තනිකමක් දැනුණේ නැහැ.
“ඇගේ මරණෙන් පස්සේ පැයක් ඇතුළත, වැඩිමහල්ලෝ ඔක්කොමදෙනාම වගේ මගේ ගෙදරට ඇවිල්ලා හිටියා. එදා දවසේ විතරක් සහෝදර සහෝදරියෝ සීයකටත් වැඩියෙන් ආවා. ඇවිල්ලා හිටිය හැමකෙනෙකුටම ඇති වෙන තරම් කෑම පුදුම හිතෙන විදිහට මේසය උඩ තිබුණා. ලැබුණු පරිත්‍යාග, ශෝකය ප්‍රකාශ කිරීම්, සැනසිල්ල ගෙන දෙන වචන හා මා වෙනුවෙන් කළ යාච්ඤා මට කියල ඉවර කරන්නත් බැරි තරම්. ඒවායින් ලැබුණු ශක්තිය මොනතරම්ද! අන්තිමේදී මට සිද්ධ වුණා සහෝදරයන්ට කියන්න, ආහාර සපයන එකත් ගේ දොර පිරිසිදු කරන එකත් නතර කරන්න කියල!
“ඒ වගේ පරාර්ථකාමී විදිහට දයාව, සැලකිල්ල හා ප්‍රේමය පෙන්වීම අපිට සොයාගන්න ලැබෙන්නේ යෙහෝවාගේ සංවිධානයේ හැර වෙන කොහේද? අද හුඟදෙනෙක්ට තමන්ට ඉන්න සැබෑ මිතුරන්ගේ ගණන අතේ ඇඟිලිවලින් ගණින්න පුළුවන්. ආත්මික සහෝදර සහෝදරියන්ගෙන් සමන්විත විශාල පවුලක් ඇතුව සිටීමට යෙහෝවා අපිට ආශීර්වාද කරල තියෙනවා.”—මාර්ක් 10:29, 30.