සංචාරක අවේක්ෂකයෝ—තෑගි වශයෙන් මනුෂ්‍යයෝ
“උන්වහන්සේ උසස්තැනට නැගුණු කල්හි වහල්කමට ගත්තවුන් වහල්කොට ගෙනගොස්, මනුෂ්‍යයන්ට තෑගි [තෑගි වශයෙන් මනුෂ්‍යයන්, NW] දුන්සේක.”—එපීස 4:8.
1. වර්ෂ 1894දී මෙම සඟරාවෙහි නිවේදනය කරනු ලැබුවේ කුමන අලුත් සේවය සම්බන්ධයෙන්ද?
සියවසකට ඉහතදී, වොච් ටවර් සඟරාව අලුත් යමක් නිවේදනය කළේය. එය “සේවයෙහි තවත් අංගයක්” හැටියට විස්තර කරන ලදි. මෙම අලුත් ක්‍රියාකාරකමට ඇතුළත් වූයේ කුමක්ද? සංචාරක අවේක්ෂකයන්ගේ වැඩය වර්තමානයේ දියත් කළේ ඒ අවස්ථාවේදීය. මෙම සඟරාවේ 1894 සැප්තැම්බර් 1වනදා කලාපය පැහැදිලි කළේ: බයිබල් ශිෂ්‍යයන්ව ‘සත්‍යය තුළ ගොඩනැංවීමේ අරමුණින්,’ සුදුසුකම් ලත් සහෝදරයන් ඔවුන්ව කණ්ඩායම් වශයෙන් මින් මත්තට බැහැදකිනු ලබන බවය.
2. චාරිකා හා දිස්ත්‍රික් අවේක්ෂකයන්ට ඇත්තේ කුමන යුතුකම්ද?
2 පොදු යුගයේ පළමු සියවසේ, පාවුල් හා බාර්ණබස් වැනි අවේක්ෂකයන් විසින් ක්‍රිස්තියානි සභාවන් බැහැදකින ලදි. සභාවන් “ගොඩනැගීම” මෙම විශ්වාසවන්ත පුරුෂයන්ගේ පරමාර්ථය විය. (2 කොරින්ති 10:8) අදදින, ක්රමානුකූල ආකාරයකින් මේ දෙය කරමින් සිටින පුරුෂයන් දහස් ගණනක් සිටීමේ ආශීර්වාදය අප සතුය. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය ඔවුන්ව චාරිකා හා දිස්ත්‍රික් අවේක්ෂකයන් හැටියට පත් කර ඇත. චාරිකා අවේක්ෂකයෙකු වසරකට දෙවතාවක් පමණ සතියක් බැගින් සභා 20ක පමණ සේවය කරන අතර, ඔහු වාර්තා පරීක්ෂා කොට, කතා දෙමින්, සභාවේ රාජ්‍ය ප්‍රචාරකයන් සමඟ ක්ෂේත්‍ර සේවයෙහි හවුල් වන්නේය. චාරිකා ගණනාවක් වෙනුවෙන් වාර්ෂිකව පවත්වනු ලබන චාරිකා එක්රැස්වීම් සැමෙකකම සභාපති වශයෙන් කටයුතු කරන දිස්ත්‍රික් අවේක්ෂක, ආගන්තුක සභාවන් සමඟ ක්ෂේත්‍ර සේවයෙහි හවුල් වෙමින්, බයිබලය මත පදනම් කතා දෙමින් දිරිගැන්වීම සපයන්නේය.
ඔවුන්ගේ ආත්ම-පරිත්‍යාගශීලී ස්වභාවය
3. සංචාරක අවේක්ෂකයන්ට ආත්ම-පරිත්‍යාගශීලී ස්වභාවයක් ඇතුව සිටීම අවශ්‍ය වන්නේ ඇයි?
3 සංචාරක අවේක්ෂකයෝ නිතරම ගමන් කරමින් සිටිති. ඇත්තෙන්ම මෙය සඳහාත් ආත්ම-පරිත්‍යාගශීලී ස්වභාවයක් අවශ්‍යය. එක් සභාවක සිට තවෙකකට සංචාරය කිරීම ඇතැම්විට දුෂ්කර විය හැකි මුත්, මීට සම්බන්ධ පුරුෂයෝ මෙන්ම ඔවුන්ගේ භාර්යාවෝ ප්‍රීතිමත් ආකල්පයකින් එසේ කරති. එක් චාරිකා අවේක්ෂකයෙක් මෙසේ පැවසීය: “පැමිණිලි කරන්නේ නැතුව මගේ භාර්යාව හොඳින් සහයෝගය දෙනවා . . . ඇගේ ආත්ම-පරිත්‍යාගශීලී ස්වභාවයට ගොඩක් ප්‍රශංසා කරන්න වටිනවා.” ඇතැම් චාරිකා අවේක්ෂකයෝ එක් සභාවක සිට තවෙකකට යෑම සඳහා කිලෝමීටර් 1,000ක දුරක් ඉක්මවා ගමන් කරති. එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට යෑම සඳහා, බොහෝදෙනෙකු වාහන පදවන මුත්, සමහරු පොදු ප්‍රවාහණ සේවා මගින්, බයිසිකල්වලින්, අශ්වයන් පිටින් හෝ පයින් ගමන් කරති. එක් සභාවකට යෑම සඳහා, අප්‍රිකානු චාරිකා අවේක්ෂකයෙකුට තම භාර්යාව කරපිට තබාගෙන ගංගාවක් හරහා ගමන් කිරීමට පවා සිදු වේ. ප්‍රේරිත පාවුල් තම මිෂනාරි ගමන්වල යෙදෙද්දී, ඔහුට අව් රශ්මිය හා ශීතලටද, කුසගින්න හා පිපාසයටද, නිදිමැරීමටද, විවිධාකාර උපද්‍රව මෙන්ම දරුණු පීඩාවන් සමඟද කටයුතු කිරීමට සිදු විය. එමෙන්ම, “සියලු සභාවන් ගැන සිතේ බරක්[ද]” ඔහුට තිබිණ; මෙය අදදින සංචාරක අවේක්ෂකයන් පොදුවේ අද්දකින දෙයකි.—2 කොරින්ති 11:23-29.
4. සංචාරක අවේක්ෂකයන්ට හා ඔවුන්ගේ භාර්යාවන්ට සෞඛ්‍ය ගැටලු කුමන බලපෑමක් ඇති කළ හැකිද?
4 පාවුල්ගේ මිත්‍ර තිමෝතිට මෙන්, ඇතැම්විට සංචාරක අවේක්ෂකයන් හා ඔවුන්ගේ භාර්යාවන්ට සෞඛ්‍ය ගැටලු තිබිය හැක. (1 තිමෝති 5:23) මෙය ඔවුන්ට අමතර පීඩාවකි. එක් චාරිකා අවේක්ෂකයෙකුගේ භාර්යාව මෙසේ පැහැදිලි කරයි: “මට අසනීප ගතියක් දැනෙන කොට, සහෝදරයන් එක්කම ගැවසෙන එක හරිම වෙහෙසකාරියි. ආර්තවාභාවය පටන්ගන්න කොට, එය මට දරාගන්න විශේෂයෙන්ම අමාරු වුණා. හැම සතියකම අපේ බඩු ඔක්කොම අහුරාගෙන තවත් තැනකට යන එක විතරක්ම, හරිම අභියෝගයක්. හුඟක් වෙලාවට, දිගටම සේවය කිරීම සඳහා ශක්තිය දෙන්න කියලා, ටිකකට නතර වෙලා යාච්ඤා කිරීමට මට සිදු වෙනවා.”
5. විවිධාකාර පරීක්ෂාවන්ට මුහුණ දීමට සිදු වුවත්, සංචාරක අවේක්ෂකයන් හා ඔවුන්ගේ භාර්යාවන් පෙන්නුම් කර තිබෙන්නේ කුමන ස්වභාවයක්ද?
5 සෞඛ්‍ය ගැටලු හා වෙනත් පරීක්ෂා හමුවේ, සංචාරක අවේක්ෂකයෝ හා ඔවුන්ගේ භාර්යාවෝ, තම සේවයෙන් ප්‍රීතියක් ලබමින් ආත්ම-පරිත්‍යාගශීලී ප්‍රේමයක් විදහාපෙන්වති. පීඩා හෝ යුද්ධ තිබෙන කාලවලදී ආත්මික උපකාර දීම සඳහා ඇතැම්හු තම ජීවිත පරදුවට තබා ඇත්තාහ. සභාවන් බැහැදකිද්දී, ඔවුන් පාවුල්ට සමාන ස්වභාවයක් විදහාපෙන්වා ඇත. ඔහු තෙසලෝනික ක්‍රිස්තියානීන්ට මෙසේ පැවසීය: “කිරිමවක් ඇගේම දරුවන් පෝෂණයකරන්නාක්මෙන්, නුඹලා අතරෙහි අපි මොළොක් ගුණයෙන් සිටියෙමුව. එලෙස අපි නුඹලාට ප්‍රේමාන්විත ඇලුම්කමකින් යුක්තව සිටිය බැවින්, දෙවියන්වහන්සේගේ ශුභාරංචිය පමණක් නොව නුඹලා අපට ඉතා ප්‍රියවූ නිසා අපේම ප්‍රාණත් නුඹලාට දෙන්ට සතුටුව සිටියෙමු.”—1 තෙසලෝනික 2:7, 8.
6, 7. වෙහෙස මහන්සි වී වැඩ කරන සංචාරක අවේක්ෂකයන්ට කුමන ඒකාන්ත බලපෑමක් සපයා දිය හැකිද?
6 ක්‍රිස්තියානි සභාවේ අනික් වැඩිමහල්ලන් හා සමානව, සංචාරක අවේක්ෂකයෝ, “වචනයෙහිත් ඉගැන්වීමෙහිත් [වෙහෙස මහන්සි වී, NW] වැඩකර[ති].” එවන් සියලුම වැඩිමහල්ලෝ “දෙගුණයක් ගෞරව ලබන්ට වටින්නෝය.” (1 තිමෝති 5:17) ‘ඔවුන්ගේ හැසිරීමේ කෙළවර බලමින් අපි ඔවුන්ගේ ඇදහිල්ල අනුව යන්නෝ වන්නෙමු’ නම්, ඔවුන්ගේ ආදර්ශය ප්‍රයෝජනදායක විය හැක.—හෙබ්‍රෙව් 13:7.
7 ඇතැම් සංචාරක වැඩිමහල්ලන් සමහරුන් කෙරෙහි කවර බලපෑමක් ඇති කර තිබේද? එක් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙක් මෙසේ ලීවේය: “සහෝදර පී—— මගේ ජීවිතයට බලපෑ විදිහ ඉතා විශිෂ්ටයි! ඔහු 1960 ඉඳලා මෙක්සිකෝවේ සංචාරක අවේක්ෂකයෙක් ලෙස කටයුතු කළා. පොඩි කාලේ, ඔහු බැහැදකින්න එනතුරු මම ඉතා ඕනෑකමින් හා ප්‍රීතියෙන් බලා සිටියා. මට අවුරුදු දහයක් වෙන කොට, ඔහු මෙහෙම කිව්වා: ‘ඔයත් චාරිකා අවේක්ෂකයෙක් වෙන්න යනවා.’ නහඹර වියේ අමාරුකම් අද්දකිද්දී, හැම තිස්සේම ඔහු යම් ඥානවන්ත අදහස් ඉදිරිපත් කළ හින්දා, මම නිතරම ඔහුගේ උපදෙස් පැතුවා. ඔහු ජීවත් වුණේ රැළ බලාගැනීමටයි! මම දැන් චාරිකා අවේක්ෂකයෙක්; එනිසා, ළාබාල අය සමඟ කාලය ගත කිරීමටත්, ඔහු මට කළාක් මෙන් ඔවුන් ඉදිරියෙහි දිව්‍යාණ්ඩුමය ඉලක්ක තැබීමටත් මම හැම තිස්සේම වෑයම් කරනවා. සහෝදර පී——ගේ ජීවිතයේ අවසාන ටිකේ හෘදයාබාධ හා සම්බන්ධ ප්‍රශ්නයක් තිබුණත්, දිරිගන්වන වචනයක් ඉදිරිපත් කිරීමට ඔහු හැමවිටම උත්සාහ කළා. එක්දහස් නවසිය අනූපහේ පෙබරවාරිවල ඔහු මියගිය දවසට කලින් දවසේ, ඔහු මාත් එක්ක විශේෂ එක්රැස්වීම් දිනයට ගිහිල්ලා, ගෘහ නිර්මාණ ශිල්පියෙක් වන සහෝදරයෙකුට කදිම ඉලක්කයන් කිහිපයක් ඉදිරිපත් කළා. ඒ සහෝදරයා එවෙලේම බෙතෙල් සේවය සඳහා අයදුම් පතක් භාර දුන්නා.”
ඔවුන්ව අගය කරනු ලැබේ
8. එපීස 4වන පරිච්ඡේදයෙහි විස්තර කර තිබෙන “තෑගි වශයෙන් මනුෂ්‍යයන්” යනු කවුරුන්ද, ඔවුන් සභාවට ප්‍රයෝජන ගෙන දෙන්නේ කෙසේද?
8 දෙවියන්වහන්සේගේ ලබන්ට නොවටිනා තරම් වූ කරුණාව හේතුවෙන්, සේවා පැවරුම් ලැබීමට අනුග්‍රහය ලැබූ සංචාරක අවේක්ෂකයන්ව හා වෙනත් වැඩිමහල්ලන්ව “තෑගි වශයෙන් මනුෂ්‍යයන්” ලෙස හඳුන්වා ඇත. යෙහෝවඃවහන්සේගේ නියෝජිතයා හා සභාවේ හිස වශයෙන්, යේසුස්වහන්සේ මෙම ආත්මික මනුෂ්‍යයන්ව සපයා ඇත්තේ, අප පෞද්ගලිකව වර්ධනය වන පිණිසත්, මේරූභාවය අත් කරගන්නා පිණිසත්ය. (එපීස 4:8-15) ඕනෑම තෑග්ගකට අගය ප්‍රකාශ කිරීම ඔබින්නේය. යෙහෝවඃවහන්සේට දිගටම සේවය කිරීම සඳහා අපව ශක්තිමත් කරන තෑග්ගක් සම්බන්ධයෙන් මෙය විශේෂයෙන්ම සැබෑවකි. එසේනම්, සංචාරක අවේක්ෂකයන්ගේ සේවය සඳහා අපේ අගය විදහාපෙන්වීමට අපට හැක්කේ කෙසේද? අප ‘එබඳු අයව අගේ කොට සලකන’ බව පෙන්වීමට හැකි මාර්ග මොනවාද?—පිලිප්පි 2:29.
9. අපට සංචාරක අවේක්ෂකයන් සඳහා අගය පෙන්විය හැක්කේ කවර ආකාරවලින්ද?
9 චාරිකා අවේක්ෂකයාගේ පැමිණීම නිවේදනය කරනු ලබන විට, එම සතිය තුළදී සභාවේ ක්‍රියාකාරකම්වල පූර්ණ ලෙස සහභාගි වීමට අපට සැලසුම් යෙදිය හැක. ඇතැම්විට එම සතිය තුළ තිබෙන ක්ෂේත්‍ර සේවා සැලසුම්වලට සහයෝගය දීම සඳහා අපට අමතර කාලයක් මිඩංගු කළ හැක. එම මාසය තුළදී උපකාරික පුරෝගාමීන් ලෙස සේවය කිරීමට අපට පුළුවන් විය හැක. අපේ සේවය වැඩිදියුණු කිරීම සඳහා, චාරිකා අවේක්ෂකගේ යෝජනා ක්‍රියාවෙහි යෙදවීමට අපට ඕනෑ වන බවට කිසිම සැකයක් නැත. එවන් හිතකර ප්‍රතිචාරයකින් යුත් ස්වභාවයක් අපට ප්‍රයෝජනවත් වන අතර, ඔහුගේ බැහැදැකීම සාර්ථක එකක් වූ බවට ඔහුට දිරිගැන්වීමක් වනු ඇත. ඔව්, සංචාරක අවේක්ෂකයන් සභාව බැහැදකින්නේ අපව ගොඩනැංවීමටය; නමුත් ඔවුන්ටත් ආත්මික ගොඩනැංවීම අවශ්‍යය. පාවුල්ට දිරිගැන්වීම අවශ්‍ය වූ අවස්ථා තිබූ අතර, තමා වෙනුවෙන් යාච්ඤා කරන මෙන් ඔහු සෙසු ක්‍රිස්තියානීන්ගෙන් විටින් විට ඉල්ලා සිටියේය. (ක්‍රියා 28:15; රෝම 15:30-32; 2 කොරින්ති 1:11; කොලොස්සි 4:2, 3; 1 තෙසලෝනික 5:25) ඒ හා සමානව, වර්තමාන සංචාරක අවේක්ෂකයන්ටද අපේ යාච්ඤා හා දිරිගැන්වීම අවශ්‍යය.
10. සංචාරක අවේක්ෂකයෙකුගේ සේවය ප්‍රීතියක් කිරීමට අපට උපකාර කළ හැක්කේ කෙසේද?
10 ඔවුන්ගේ බැහැදැකීම් කොතරම් අගය කරනවාද කියා අප චාරිකා අවේක්ෂකයාට හා ඔහුගේ භාර්යාවට පවසා තිබෙනවාද? ඔහු ලබා දෙන උපකාරවත් උපදෙස්වලට අප ඔහුට ස්තුති කරනවාද? ක්ෂේත්‍ර සේවය සඳහා ඔහු දෙන යෝජනා, සේවයේ අප ලබන ප්‍රීතිය වැඩිවර්ධනය කරද්දී, අප ඔහුට එය දැනගැනීමට සලස්වනවාද? අප එසේ කරනවා නම්, ඔහුගේ සේවයට ප්‍රීතිය ගෙන දීමට මෙය උපකාරවත් වන්නේය. (හෙබ්‍රෙව් 13:17) ස්පාඤ්ඤයේ එක් චාරිකා අවේක්ෂකයෙක්, සභාවන් බැහැදැකීමෙන් පසු ඔහුත් ඔහුගේ භාර්යාවත් තමන් ලබන ස්තුති ලිපි කොතරම් අගය කරනවාද කියා විශේෂයෙන්ම සඳහන් කළේය. ඔහු මෙසේ පවසයි: “අපි මෙම කාඩ්පත් විසි කරන්නේ නැහැ; අපට යම් අධෛර්යයක් දැනෙන කොට අපි ඒවා කියවනවා. ඒවායින් නියම දිරිගැන්වීමක් ලැබෙනවා.”
11. චාරිකා හා දිස්ත්‍රික් අවේක්ෂකයන්ගේ භාර්යාවන්ට ප්‍රේම කරන බවත් ඔවුන්ව අගය කරන බවත්, අප ඔවුන්ට දැනගැනීමට සැලැස්විය යුත්තේ මන්ද?
11 සංචාරක අවේක්ෂකයාගේ භාර්යාව ප්‍රශංසාවට ලක්වීමෙන් ප්‍රයෝජන ලබන බවට සහතිකය. සේවයෙහි මෙම ක්ෂේත්රයේදී, තම පුරුෂයාට උපකාර කිරීම සඳහා, ඇය ඉමහත් පරිත්‍යාගයන් කර ඇත. විශ්වාසවන්ත වූ මෙම සහෝදරියෝ, තමාගේම නිවසක් ඇතුව සිටීමේ හා බොහෝ අවස්ථාවන්හිදී, දරුවන් බිහි කිරීමේ ස්වාභාවික ආශාවද අත්හරිති. යෙප්තාගේ දියණිය, පුරුෂයෙකු හා පවුලක් ඇතුව සිටීමට තිබූ ප්‍රස්තාව කැමැත්තෙන්ම අත්හැරියාවූ යෙහෝවඃවහන්සේගේ සේවිකාවකි; ඇය එසේ කළේ ඇගේ පියා කර තිබූ බාරයක් හේතුකොටගෙනයි. (විනිශ්චයකාරයන් 11:30-39) ඇගේ පරිත්‍යාගය සලකනු ලැබුවේ කෙසේද? විනිශ්චයකාරයන් 11:40 මෙසේ ප්‍රකාශ කරයි: “ගිලියද්හි යෙප්තාගේ දුව සිහිකිරීම පිණිස අවුරුද්දකට සතර දවසක් බැගින් ඉශ්රායෙල් දූවරුන් අවුරුදු පතා” යනු ඇත. චාරිකා මෙන්ම දිස්ත්‍රික් අවේක්ෂකයන්ගේ භාර්යාවන්ට අප ප්‍රේම කරන බවත් ඔවුන්ව අගය කරන බවත් පැවසීමට අප වෑයම් කිරීම මොනතරම් කදිම දෙයක්ද!
“ආගන්තුක සත්කාරකිරීම මතකනැති නොකරන්න”
12, 13. (අ) සංචාරක අවේක්ෂකයන්ට හා ඔවුන්ගේ භාර්යාවන්ට ආගන්තුක සත්කාරය දැක්වීම සඳහා තිබෙන්නේ කුමන ශුද්ධ ලියවිලිමය පදනමද? (ආ) එවන් ආගන්තුක සත්කාරයක් දෙපාර්ශ්වයටම ප්‍රයෝජනවත් විය හැකි ආකාරය පැහැදිලි කරන්න.
12 ක්‍රිස්තියානි සංචාරක සේවයෙහි නිරත වී සිටින්නන්ට ප්‍රේමය හා අගය දැක්වීමට තවත් මඟකි, ආගන්තුක සත්කාරය දැක්වීම. (හෙබ්‍රෙව් 13:2) සංචාරක මිෂනාරීන් හැටියට සභාව බැහැදැකීමට පැමිණි අයට ආගන්තුක සත්කාරය දැක්වීම හේතුවෙන්, ප්‍රේරිත යොහන් ගායස්ව පැසසුමට ලක් කළේය. යොහන් මෙසේ ලීවේය: “ප්‍රේමවන්තය, නුඹ සහෝදරයන් හා ආගන්තුකයන්ව සිටින්නන්ට කරන යමක් ඇද්ද, නුඹ එයින් විශ්වාස ක්‍රියාවක් කරන්නෙහිය; ඔව්හු නුඹේ ප්‍රේමය ගැන සභාව ඉදිරිපිට සාක්ෂිදුන්නෝය. දෙවියන්වහන්සේට ඔබිනලෙස නුඹ ඔවුන්ගේ ගමනට උපකාරකිරීම යහපත්ය. කෙසේදයත්, ඔවුන් අන්‍යජාතීන්ගෙන් කිසිත් නොගෙන, උන්වහන්සේගේ නාමය නිසා පිටත්ව ගිය බැවින්ය. අප [අපි, NW] සත්‍යතාවට හවුල් වැඩකාරයන් වන පිණිස එබඳුවූවන් ප්‍රීතියෙන් පිළිගත යුතුය [පිළිගැනීමට බැඳී සිටින්නෙමු, NW].” (3 යොහන් 5-8) අදදින, සංචාරක අවේක්ෂකයන්ට හා ඔවුන්ගේ භාර්යාවන්ට ඒ හා සමාන ආගන්තුක සත්කාරයක් දැක්වීමෙන් අපට රාජ්‍ය-දේශනා කිරීමේ ක්‍රියාකාරකම්වල උන්නතියට දායක විය හැක. නවාතැන් පහසුකම් සතුටුදායක තත්වයක තිබෙන බවට සභාවේ වැඩිමහල්ලන් වගබලා ගත යුතු බවට සැකයක් නැති නමුත්, එක් දිස්ත්‍රික් අවේක්ෂකයෙක් මෙසේ පැවසීය: “අපි සහෝදරයන් එක්ක සම්බන්ධ වෙන්නේ, ඔවුන්ට අප වෙනුවෙන් යමක් කරන්න පුළුවන්ද කියන එක මත නෙවෙයි. ඒ අදහස දෙන්නවත් අපි කැමති නැහැ. දුප්පත් හෝ පොහොසත් හෝ වේවා, අපේ ඕනෑම සහෝදරයෙකුගේ ආගන්තුක සත්කාරය පිළිගැනීමට අපි කැමති වෙන්න ඕනෑ.”
13 ආගන්තුක සත්කාරය දෙපාර්ශ්වයටම ප්‍රයෝජනවත් විය හැක. දැනට බෙතෙල්හි සේවය කරන, කලින් චාරිකා අවේක්ෂකයෙක් වූ ජෝර්ජේ මෙසේ සිහිගන්වයි: “සංචාරක අවේක්ෂකයන්ට අපිත් එක්ක ඉන්න ඇරයුම් කිරීම, අපේ පවුලේ එක පුරුද්දක්. මෙම බැහැදැකීම්වලින් මං හිතුවට වඩා උපකාරයක් ලැබුණා කියල හිතනවා. නව යොවුන් වියේදී, මට ආත්මික ගැටලු තිබුණා. මගේ අම්මා ඒ ගැන කනස්සල්ලෙන් හිටියත්, මට කොහොමද උපකාර කරන්නේ කියල දැනං හිටියේ නැහැ; ඒ හින්දා මාත් එක්ක කතා කරන්න කියල ඇය චාරිකා අවේක්ෂකයාට කිව්වා. මාව විවේචනය කරයි කියල මට භයක් ඇති වුණ හින්දා, මුලින්ම මං ඔහුව මඟහැරියා. ඒත් ඔහුගේ මිත්‍රශීලී ස්වභාවය පසුව මගේ හිත දිනාගත්තා. එක සඳුදා දවසක් ඔහු මාව කෑමකට ආරාධනා කළ අතර, ඔහුට මගේ අදහස් තේරෙනවා කියල මට වැටහුණ හින්දා, මම මගේ හෘදය ඔහුට විවෘත කළා. ඔහු පරෙස්සමින් ඇහුම්කන් දුන්නා. ඔහුගේ ප්‍රායෝගික යෝජනා හරිම සාර්ථකයි; මං ආත්මික වශයෙන් දියුණුවක් ලබන්නත් පටන්ගත්තා.”
14. සංචාරක වැඩිමහල්ලන්ව විවේචනයට ලක් කරනවා වෙනුවට, ඔවුන්ව අගය කිරීමට අප නැඹුරු විය යුත්තේ මන්ද?
14 සංචාරක අවේක්ෂකයෙක් බාල මහලු දෙකොටසටම ආත්මික උපකාරයක් දීමට වෑයම් කරයි. ඇත්තෙන්ම, ඔහුගේ වෑයම්වලට අපේ අගය පෙන්විය යුතුමයි. කෙසේවෙතත්, ඔහුගේ දුර්වලකම් නිසා, ඔහුව විවේචනයට ලක් කිරීමට හෝ සභාව බැහැදැකීමට පැමිණ ඇති වෙනත් අය සමඟ අහිතකර ලෙස සන්සන්දනය කිරීමට යනවා නම්, කුමක් කිව හැකිද? මෙය ඉතා අධෛර්යය කරවනසුලු දෙයක් විය හැක. තමා කළ සේවය ගැන විවේචන අසන්ට ලැබීම පාවුල්ට දිරිගන්වන දෙයක් නොවීය. ඔහුගේ පෙනුම හා කතා කිරීමේ හැකියාව ගැන කොරින්ති සභාවේ ඇතැම් ක්‍රිස්තියානීන් අවඥාසහගතව කතා කළ බව පැහැදිලිය. එවැනි විවේචකයන් මෙසේ පැවසූ බව ඔහුම කියා සිටියේය: “ඔහුගේ ලියුම් නම් බරපතළය, බලවත්ය; නුමුත් ළඟ සිටින විට ශරීරාකාරය දුර්වලය, කථාවද සුළුය.” (2 කොරින්ති 10:10) සාමාන්‍යයෙන් සංචාරක අවේක්ෂකයන්ට ප්‍රේමනීය අගය කිරීමේ වදන් ඇසීමට ලැබීම සතුටට කරුණකි.
15, 16. සෙසු ඇදහිලිවන්තයන් විසින් විදහාපෙන්වනු ලබන ප්‍රේමය හා ජ්වලිතය, සංචාරක අවේක්ෂකයන් හා ඔවුන්ගේ භාර්යාවන්ට බලපාන්නේ කෙසේද?
15 ගරිල්ලා සටන්කරුවන්ගේ පාලනය යටතේ තිබෙන ප්‍රදේශයක ජීවත් වන තම ආත්මික සහෝදර සහෝදරියන්ව බැහැදැකීමට, ලතින් අමෙරිකාවේ එක් චාරිකා අවේක්ෂකයෙක්, මඩ සහිත ගුරු පාරවල් දිගේ මුළු දවසක්ම පයින් ගමන් කරයි. ඔහු මෙසේ ලීවේය: “බැහැදැකීම වෙනුවෙන් සහෝදරයන් තම අගය පෙන්වන විදිහ හැඟීම් දනවනසුලුය. බොහෝ උපද්‍රව හා දුෂ්කරතා හමුවේ, එහි යෑමට මට මහත් ආයාසයක් දැරීමට සිදු වුවද, සහෝදරයන් පෙන්වන ප්‍රේමය හා ජ්වලිතය ඒ සියල්ලට සුදුසු විපාකයකි.”
16 අප්‍රිකාවේ චාරිකා අවේක්ෂකයෙක් මෙසේ ලියයි: “සහෝදරයන් අපට පෙන්නූ ප්‍රේමය නිසා, අපි ටැන්සානියා ප්‍රදේශයට ඉමහත් සේ ප්‍රිය කළෙමු. අපෙන් ඉගෙනීමට සහෝදරයන් සතුටු වූ අතර, අපව ඔවුන්ගේ නිවෙස්වලට වැද්දගැනීමට ඔවුහු සතුටු වූහ.” ප්‍රේරිත පාවුල් හා පළමු සියවසේ විවාහක යුවළ වූ අකිලා හා ප්‍රිස්කා අතර ප්‍රේමනීය, සන්තෝෂයෙන් පිරි සබඳතාවක් තිබිණ. ඇත්තෙන්ම පාවුල් ඔවුන් ගැන මෙසේ පැවසීය: “ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ මාගේ හවුල් වැඩකාරයන්වූ, මාගේ ජීවිතය උදෙසා තමුන්ගේ බෙල්ල දුන්නාවූ ප්‍රිස්කාටද අකිලාටද ආචාරකරන්න. මා පමණක් නොව අන්‍යජාතීන්ගේ සියලු සභාවෝද ඔවුන්ට ස්තුතිකරති.” (රෝම 16:3, 4) ආගන්තුක සත්කාරය පෙන්වීමටත්, ආශ්‍රය කිරීමටත් විශේෂ වෑයමක් දරන නවීන-දින අකිලාලා හා ප්රිස්කාලා තම මිතුරන් සේ සිටීම ගැන, සංචාරක අවේක්ෂකයෝ හා ඔවුන්ගේ භාර්යාවෝ කෘතඥපූර්වක වෙති.
සභාවන් ශක්තිමත් කිරීම
17. සංචාරක අවේක්ෂකයන් සඳහා විධිවිධානය පිටුපස ප්‍රඥාව ඇති බව පැවසිය හැක්කේ මන්ද; ඔවුන් තම උපදෙස් ලබාගන්නේ කොතැනින්ද?
17 යේසුස්වහන්සේ මෙසේ පැවසූසේක: “ප්‍රඥාව නිදොස් බව ඇගේ ක්‍රියාවලින් ඔප්පුවී තිබේ.” (මතෙව් 11:19) සංචාරක-අවේක්ෂක විධිවිධානය දෙවියන්වහන්සේගේ සෙනඟගෙන් සමන්විත සභාවන් ශක්තිමත් කිරීමට දායක වන නිසා, එය පිටුපස තිබෙන ප්‍රඥාව පැහැදිලිය. පාවුල්ගේ දෙවන මිෂනාරි ගමනේදී, ඔහු සීලස් සමඟ සාර්ථක ලෙස “සිරියාව සහ කිලිකියාව මැදින් ගමන්කළේය.” ක්‍රියා පොත අපට මෙසේ පවසයි: “ඔව්හු නුවරින් නුවරට ගමන්කරද්දී යෙරුසලමේ සිට ප්‍රේරිතයන් විසින්ද වැඩිමහල්ලන් විසින්ද පනවනලද නියෝග පවත්වන්ට ඔවුන්ට භාරදුන්නෝය. මෙසේ සභාවෝ ඇදහිල්ලෙහි ස්ථිරව, දවස්පතා ගණනින් වැඩිවූහ.” (ක්‍රියා 15:40, 41; 16:4, 5) වර්තමාන සංචාරක අවේක්ෂකයෝද අන් සියලු ක්‍රිස්තියානීන්ට සමානව, ශුද්ධ ලියවිලි හා “විශ්වාසවූ නුවණ ඇති දාසයා” පළ කරන ප්‍රකාශන තුළින් ආත්මික උපදෙස් ලබාගනිති.—මතෙව් 24:45.
18. සංචාරක අවේක්ෂකයන් සභාවන් ශක්තිමත් කරන්නේ කෙසේද?
18 ඔව්, සංචාරක වැඩිමහල්ලන් යෙහෝවඃවහන්සේගේ ආත්මික මේසයෙන් දිගටම පෝෂණය ලැබිය යුතුය. දෙවියන්වහන්සේගේ සංවිධානය විසින් අනුගමනය කරනු ලබන පිළිවෙත් හා මාර්ගදර්ශක ගැන ඔවුන්ට හසළ දැනුමක් තිබිය යුතුය. එවිට එවන් පුරුෂයන් අනුන්ට සැබෑ ආශීර්වාදයක් විය හැක. ක්ෂේත්‍ර සේවයෙහි ජ්වලිතකම දැක්වීමෙන් ඔවුන් තබන කදිම ආදර්ශය මාර්ගයෙන්, සෙසු ඇදහිලිවන්තයන්ට ක්‍රිස්තියානි දේවසේවයෙහි වැඩිදියුණු වීමට ඔවුන්ට උපකාර කළ හැක. බැහැදැකීමට පැමිණෙන මෙම වැඩිමහල්ලන් විසින් දෙනු ලබන බයිබලය මත පදනම් කතා ශ්රාවකයන්ව ආත්මික ලෙස ගොඩනංවයි. දේවවචනයේ උපදෙස් අදාළ කිරීමටත්, ලොව පුරා යෙහෝවඃවහන්සේගේ ජනයා සමඟ සමඟියෙන් සේවය කිරීමටත්, ‘විශ්වාසවන්ත දාසයා’ තුළින් දෙවියන්වහන්සේ ලබා දෙන ආත්මික සැපයුම් ප්‍රයෝජනයට ගැනීමටත් අනුන්ට උපකාර කිරීමෙන්, සංචාරක අවේක්ෂකයෝ, තමුන්ට බැහැදැකීමට භාග්‍යය ලැබෙන සභාවන් ශක්තිමත් කරති.
19. සලකා බැලිය යුතු ප්‍රශ්න මොනවාද?
19 අවුරුදු සියයකට පමණ පෙර, යෙහෝවඃවහන්සේගේ සංවිධානය බයිබල් ශිෂ්‍යයන් අතර සංචාරය කිරීමේ වැඩිමහල්ලන්ගේ සේවය දියත් කළ විට, මෙම සඟරාව මෙසේ පැවසීය: “ලබන ප්‍රතිඵල හා සමිඳාණන්ගේ ඉදිරි මඟ පෙන්වීම සඳහා අපි බලා සිටිමු.” යෙහෝවඃවහන්සේගේ මඟ පෙන්වීම ඉතා පැහැදිලිව දැකගැනීමට පුළුවන් වී තිබේ. උන්වහන්සේගේ ආශීර්වාදය නිසා, පාලක මණ්ඩලයේ අධීක්ෂණය යටතේ මෙම සේවය, ගෙවී ගොස් තිබෙන වර්ෂ ගණන් පුරා පුළුල් වෙමින් තවත් පන්නර වී තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, මුළු ලොව පුරා දක්නට ලැබෙන යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සභාවන් ඇදහිල්ලෙහි ස්ථිර වෙමින්, දිනක් දිනක් පාසා ගණනින් වැඩි වන්නේය. යෙහෝවඃවහන්සේ මෙම තෑගි වශයෙන් පෙනී සිටින මනුෂ්‍යයන්ගේ ආත්ම-පරිත්‍යාගශීලී ස්වභාවයට ආශීර්වාද කරන බව පැහැදිලිය. එහෙත් සංචාරක අවේක්ෂකයන්ට තම සේවය සාර්ථකව කරගෙන යා හැක්කේ කෙසේද? ඔවුන්ගේ පරමාර්ථ මොනවාද? ඔවුන්ට වැඩිම යහපතක් සිදු කරගත හැක්කේ කෙසේද?
ඔබ ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද?
◻ චාරිකා හා දිස්ත්‍රික් අවේක්ෂකයන්ට තිබෙන යුතුකම් සමහරක් මොනවාද?
◻ සංචාරක අවේක්ෂකයන්ට ආත්ම-පරිත්‍යාගශීලී ස්වභාවයක් ඇතුව සිටීම අවශ්‍ය වන්නේ මන්ද?
◻ සංචාරක වැඩිමහල්ලන් හා ඔවුන්ගේ භාර්යාවන්ගේ සේවය සඳහා අගය පෙන්විය හැක්කේ කෙසේද?
◻ සභාවන් ඇදහිල්ලෙහි ස්ථිරව පිහිටුවීම සඳහා සංචාරක අවේක්ෂකයන්ට කුමක් කළ හැකිද?
[10වන පිටුවේ පින්තූරය]
තැනින් තැන සංචාරය කිරීමට නම්, ආත්ම-පරිත්‍යාගශීලී ස්වභාවයක් අවශ්‍යය
[13වන පිටුවේ පින්තූරය]
සංචාරක අවේක්ෂකයන් හා ඔවුන්ගේ භාර්යාවන්ට ඔබ ආගන්තුක සත්කාරය පෙන්වා ඇද්ද?