‘ඇදහිල්ල වෙනුවෙන් දැඩි සටනක නිරත වන්න!’
“සදහටම එක වරක් ශුද්ධ අයට භාර දුන් ඇදහිල්ල වෙනුවෙන් දැඩි සටනක නිරත [වන්න].”—යූද් 3, NW.
1. අදදින ක්‍රිස්තියානීන් යුද්ධයක නිරත වී සිටින්නේ මොන අර්ථයෙන්ද?
යුද්ධයට මැදි වූ සෙබළුන්ට කවදත් තිබී ඇත්තේ අසීරු ජීවිතයක්. ටිකක් සිතා බලන්න: සටනට සම්පූර්ණයෙන්ම සැරසී, මොනම කාලගුණයක් යටතේ වුණත්, නිමක් නැති කිලෝමීටර් ගණනාවක් ඇවිදිමින්, අවි භාවිතයට සම්බන්ධ දුෂ්කර පුහුණුවක් ලබමින්, ජීවිතයට මෙන්ම සිරුරට එල්ල වන නොයෙකුත් දරුණු තර්ජන හමුවේ ආරක්ෂාකාරි පියවර ගැනීමට ඔවුන්ට සිදු වෙනවා. එසේ වුවත්, ජාතීන්ගේ යුද්ධවලට සැබෑ ක්‍රිස්තියානීන් හවුල් වන්නේ නැහැ. (යෙසායා 2:2-4; යොහන් 17:14) ඒ වුණත්, යම් අර්ථයකින් අප සැවොම යුද්ධයක් කරන බව කිසිදාක අමතක නොකළ යුතුයි. සාතන්ට යේසුස් ක්‍රිස්තුස් සහ මිහිපිට ඔහුගේ අනුගාමිකයන් සඳහා ඇත්තේ අන්ත වෛරයක්. (එළිදරව් 12:16ආ) යම් විදිහකින් කිව්වොත් යෙහෝවා දෙවිට සේවය කිරීමට තීරණය කරන සැමදෙනාම සෙබළුන් හැටියට බැඳෙන්නේ ආත්මික යුද්ධයක නිරත වෙන්නයි.—2 කොරින්ති 10:4.
2. යූද් ක්‍රිස්තියානීන් කරන යුද්ධය විස්තර කරන්නේ කෙසේද? එහිදී විඳදරාගෙන සිටින්න ඔහුගේ ලිපියට අපට උපකාර කළ හැක්කේ කෙසේද?
2 එසේනම්, යේසුගේ අර්ධ සහෝදර යූද් මෙසේ ලියන්නේ යෝග්‍ය ලෙසිනුයි: “ප්‍රේමවන්තයෙනි, අපට පොදුවේ තිබෙන ගැළවීම ගැන ඔබ වෙත ලියන්න මා සෑම ප්රයත්නයක් දරමින් සිටියත්, සදහටම එක වරක් ශුද්ධ අයට භාර දුන් ඇදහිල්ල වෙනුවෙන් දැඩි සටනක නිරත වන ලෙස ඔබට අවවාද කිරීම ගැන ඔබට ලියන්න අවශ්‍ය බව මට පෙනී ගියේය.” (යූද් 3, NW) “දැඩි සටනක නිරත” වන්න කියා යූද් ක්‍රිස්තියානීන්ට උනන්දු කරන විට, “දැඩි වේදනාව” සඳහා යොදන වචනයට සම්බන්ධ යෙදුමක් ඔහු භාවිත කරයි. ඔව්, මෙම සටන අමාරු, දැඩි වේදනාව ගෙන දෙන්නක් පවා විය හැකියි! මෙම යුද්ධයේදී විඳදරාගන්න ඔබට අමාරුයි කියා ඔබට ඇතැම්විට දැනෙනවාද? යූද්ගේ කෙටි නමුත් බලගතු ලිපියට පුළුවන් අපට උපකාර කරන්න. දුරාචාරයට විරුද්ධ වන්න, දිව්‍යමය ලෙස පිහිටෙවූ අධිකාරයට ගරු කරන්න සහ දෙවිගේ ප්‍රේමයෙහි දිගටම රැඳී සිටින්න එය අපට උනන්දු කරයි. මෙම උපදෙස් අදාළ කරගත හැකි අන්දම බලමු.
දුරාචාරයට විරුද්ධ වන්න
3. යූද්ගේ දවසේ ක්‍රිස්තියානි සභාව මුහුණ දුන්නේ මොන හදිසි තත්වයටද?
3 සෑම සෙසු ක්‍රිස්තියානියෙකුම සාතන්ට විරුද්ධ යුද්ධය ජයගනිමින් සිටියේ නැති බව යූද්ට පෙනුණා. හදිසි තත්වයක් රැළ හමුවට පැමිණියා. දූෂිත මිනිසුන් “රහසින් ඇතුල් වී” තිබුණායයි යූද් ලියයි. මෙම මනුෂ්‍යයන් සියුම් ලෙස දුරාචාරයේ වර්ධනයට දායක වෙමින් සිටියා. එවගේම “අපේ දෙවිගේ ලබන්න නොවටිනා තරම් වූ කරුණාව නින්දිත හැසිරීමෙහි යෙදීමට හේතුවක් බවට හරවාගනිමින්,” ඔවුන් තම ක්‍රියාවලට දක්ෂ ලෙස හේතු මැව්වා. (යූද් 4, NW) ඇතැම්විට සමහර ඥානවාදීන් මෙන්, යමෙකු වැඩියෙන් පව් කළ තරමට, වැඩියෙන් දෙවිගේ අනුග්‍රහය ලබාගත හැකියයි ඔවුන් තර්ක කරන්න ඇති. එනම් පව් කරන තරමට හොඳයි යන්න! එසේ නැත්නම්, කාරුණික දෙවි කෙනෙක් ඔවුන්ට කිසිදාකවත් දඬුවම් දෙන්නේ නැතැයි නිගමනය කරන්න ඇති. කෙසේනමුත් ඔවුන්ගේ තර්ක වැරදිසහගත වුණා.—1 කොරින්ති 3:19.
4. යූද් සඳහන් කරන්නේ යෙහෝවාගේ අතීත විනිශ්චයන් පිළිබඳව මොන උදාහරණ තුනද?
4 “විශ්වාස නොකළ” ඉශ්‍රායෙලිතයන්ට එරෙහිවද, ස්ත්‍රීන් සමඟ පාපයෙහි යෙදීමට “තම නිසි වාසස්ථානය අත්හැරියාවූ [දේවදූතයන්ට]” එරෙහිවද, “වේශ්‍යාකමෙහි අධික ලෙස යෙදුණු අස්වාභාවික ව්‍යවහාරය උදෙසා මාංසය පසුපස ගොස් තිබුණු” සොදොම් සහ ගොමොරාවේ වැසියන්ට එරෙහිවද යෙහෝවා අතීතයේදී කළ විනිශ්චයන් හා සම්බන්ධ උදාහරණ තුනක් සඳහන් කරමින් යූද් ඔවුන්ගේ දුෂ්ට තර්ක විතර්ක නිෂ්ප්‍රභ කරනවා. (යූද් 5-7, NW; උත්පත්ති 6:2-4; 19:4-25; ගණන් කථාව 14:35) ඒ හැම අවස්ථාවේදීම යෙහෝවා පව්කාරයන්ට විරුද්ධව මහත් විනිශ්චයක් ගෙනාවා.
5. යූද් උපුටා දැක්වූයේ මොන පුරාණ අනාගතවක්තෘගෙන්ද? එමෙන්ම එහි ඉටුවීම නිශ්චිත වශයෙන්ම සිදු වන්නක් බව එම අනාවැකිය පළ කළේ කෙසේද?
5 පසුව, ඊටත් වඩා පුළුල් බලපෑමක් ඇති විනිශ්චයකට යූද් යොමු දක්වයි. අනුභාවය ලත් ශුද්ධ ලියවිලිවල වෙනත් කිසිම තැනක සොයාගත නොහැකි කොටසක් වන ඒනොක්ගේ අනාවැකියක් ඔහු උපුටා දක්වයි.a (යූද් 14, 15) යෙහෝවා සියලුම අභක්තිකයන්ද ඔවුන්ගේ අභක්තික ක්‍රියාද විනිශ්චය කරනු ඇති කාලයක් ඒනොක් පුරෝකථනය කළා. දෙවිගේ විනිශ්චයන් කොතරම් නිශ්චිතද කිවහොත්, ඒවා ඒ වන විටත් සිදු වී තිබුණාක් මෙන්, අතීත කාලය යොදා ඒනොක් ඒවා ගැන කතා කිරීම සිත්ගන්නක්. ජනයා මුලින්ම ඒනොක්ටත් පසුව නෝවාටත් සරදම් කළා වෙන්න පුළුවන්; නමුත් එවන් සමච්චල් කරන්නන් සියල්ලන් සමස්ත ලෝක ජලගැල්මේදී ගිලී මැරුණා.
6. (අ) යූද්ගේ දවසේ ක්‍රිස්තියානීන්ට කුමක් ගැන සිහිගැන්වීම අවශ්‍ය වුණාද? (ආ) අප යූද්ගේ සිහිගැන්වීම් හෘදයට ගත යුත්තේ ඇයි?
6 මෙම දිව්‍යමය විනිශ්චයන් ගැන යූද් ලිව්වේ ඇයි? මන්ද තමාගේම කාලයේ ක්‍රිස්තියානි සභාව සමඟ ආශ්‍රය කරමින් සිටි සමහරදෙනෙකු, එම අතීත විනිශ්චයන් සිදු කිරීමට හේතු වූ අය තරම් අශික්ෂිත, ගැරහිය යුතු පව් කරමින් සිටි බව ඔහු දැන සිටි නිසයි. මේ අනුව, සභාවන්ට මූලික ආත්මික සත්‍යයන් කිහිපයක් සිහිගැන්වීම අවශ්‍ය බව යූද් ලියයි. (යූද් 5) ඔවුන් කරමින් සිටි දේ යෙහෝවා දෙවි දකිනවා යන්න ඔවුන්ට අමතක වී තිබුණු බව පැහැදිලියි. ඔව්, තම සේවකයන් තම නීති හිතාමතා උල්ලංගනය කරමින්, තමුන්වත් අනුන්වත් කෙලෙසද්දී, ඔහු ඒ සියල්ල දකියි. (හිතෝපදේශ 15:3) එවන් ක්‍රියා ඔහුව මහත් සේ වේදනාවට පත් කරවයි. (උත්පත්ති 6:6; ගීතාවලිය 78:40) කුඩා මනුෂ්‍යයන් වන අපට විශ්වයේ පරමාධිපති ස්වාමීන්ගේ හැඟීම්වලට බලපෑම් කළ හැකිය යන කාරණය, ගරුබිය උපදවන සිතුවිල්ලක්. ඔහු දිනපතා අප දෙස බලන අතර, ඔහුගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස්ගේ අඩිපාර අනුගමනය කිරීමට අප අපේ උපරිමය කරන විට, අපේ හැසිරීම ඔහුගේ හෘදය ප්‍රීති කරවයි. එසේනම්, යූද් ඉදිරිපත් කරන ඒවා වැනි එවන් සිහිගැන්වීම්වලට අප කිසිදාක ගරහන්නේ නැතුව, ඒවා හෘදයට ගනිමු.—හිතෝපදේශ 27:11; 1 පේතෘස් 2:21.
7. (අ) බරපතළ වැරදිවලට හසු වී සිටින අය වහාම උපකාර ලබාගැනීමට උත්සාහ කිරීම වැදගත් වන්නේ ඇයි? (ආ) අප සැමටම දුරාචාරයෙන් වැළකී සිටිය හැක්කේ කෙසේද?
7 යෙහෝවා දේවල් දකිනවා පමණක් නොව, ඔහු ක්‍රියා කරයි. යුක්තියේ දෙවිකෙනෙකු වශයෙන්, ඔහු කවදාහරි නපුරුකම් කරන්නන් පිටට දඬුවම් ගෙන එනවා. (1 තිමෝති 5:24) ඔහුගේ විනිශ්චයන් නිකම්ම පැරණි ඉතිහාස වාර්තා කියාත්, ඔවුන් කරන නපුර ගැන ඔහු සැලකිල්ලක් දක්වන්නේ නැහැයි කියාත් තර්ක කරන අය තමුන්වම රවටාගන්නවා පමණයි. අදදින දුරාචාරයට හසු වී සිටින ඕනෑම කෙනෙක් වහාම ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ගෙන් උපකාර පැතීම කොතරම් වැදගත්ද! (යාකොබ් 5:14, 15) අපේ ආත්මික යුද්ධයේදී දුරාචාරයෙන් එල්ල වන තර්ජනය සම්බන්ධව අප සියලුදෙනාම කල්පනාකාරිව සිටිනවා ඇති. හැම අවුරුද්දකම තුවාලකරුවන්, එනම් අප අතරින් නෙරපනු ලබන පුද්ගලයන් සිටිනවා. ඉන් බහුතරයකට එසේ සිදු වන්නේ පසුතැවිලි නොවී දුරාචාරමය ක්‍රියා කරන නිසයි. ඒ දෙසට නැඹුරුවන්න පටන්ගන්න පවා අපව පෙලඹවිය හැකි ඕනෑම පරීක්ෂාවකට දැඩි සේ විරුද්ධ වන්න අප අදිටන් කරගත යුතුයි.—මතෙව් 26:41 සසඳන්න.
දිව්‍යමය ලෙස පිහිටෙවූ අධිකාරයට ගරු කරන්න
8. යූද් 8හි සඳහන් “තේජවත් අය” කවුද?
8 යූද් අවධානයට ලක් කරන තවත් ගැටලුවක් නම්, දිව්‍යමය ලෙස පිහිටෙවූ අධිකාරයට ගරු කිරීමේ ඌනතාවයි. නිදසුනක් ලෙස, 8වන පදයෙහි එම දුෂ්ට පුරුෂයන්ම “තේජවත් අය ගැන නින්දාසහගතව කතා කරන” [NW] බවට ඔහු චෝදනා කරයි. මෙම “තේජවත් අය” කවුද? ඒ අය අසම්පූර්ණ පුරුෂයන් වුවත්, යෙහෝවාගේ ශුද්ධාත්මය මගින් ප්රදානය කෙරුණු වගකීම් ඔවුන් උසුලමින් සිටියා. නිදසුනක් ලෙස, දෙවිගේ රැළ රැකබලා ගැනීමෙහි භාරකාරත්වය ලැබූ වැඩිමහල්ලන් සභාවල සිටියා. (1 පේතෘස් 5:2, 3) ප්‍රේරිත පාවුල් වැනි සංචාරක අවේක්ෂකයනුත් සිටියා. ඒ විතරක් නොව, පාලක මණ්ඩලයක් සේ ක්‍රියා කළ යෙරුසලමෙහි වැඩිමහල් මණ්ඩලය, ක්‍රිස්තියානි සභාවට සමස්තයක් වශයෙන් බලපෑ තීරණ ගනිමින් සිටියා. (ක්‍රියා 15:6) එවන් පුරුෂයන් ගැන සභාවල ඇතැම් අය නින්දිත ලෙස හෝ අපහාසාත්මක ලෙස කතා කරමින් සිටීම යූද්ගේ බලවත් සැලකිල්ලට භාජන වුණා.
9. අධිකාරයට අගෞරව කිරීම සම්බන්ධයෙන් යූද් සඳහන් කරන උදාහරණ මොනවාද?
9 එවන් අගෞරවනීය කතා හෙළා දැකීමට, 11වන පදයෙහි යූද් සිහිගැන්වීම් වශයෙන් තවත් උදාහරණ තුනක් සඳහන් කරයි: කායින්, බාලාම් සහ කෝරා. යෙහෝවාගේ ප්‍රේමනීය උපදෙස් නොසලකා හරිමින්, කායින් මිනිමරු වෛරය නමැති තමාගේම මාර්ගය ලුහුබැඳ ගියා. (උත්පත්ති 4:4-8) බාලාම් නිසැකවම අධිස්වාභාවික උල්පතකින් පැමිණි අවවාද කිහිපයක් ලැබුවා. ඔහුගේම කොටළුදෙන පවා ඔහුට කතා කළා! එනමුත් බාලාම් ආත්මාර්ථකාමී ලෙස දිගටම දෙවිගේ සෙනඟට විරුද්ධව කුමන්ත්‍රණ යෙදුවා. (ගණන් කථාව 22:28, 32-34; ද්විතීය කථාව 23:5) දැරීම සඳහා කෝරාට වගකීමක් තිබුණත්, එය ඔහුට ප්‍රමාණවත් වුණේ නැහැ. එවකට පොළොවේ සිටි මෘදුම පුරුෂයා වූ මෝසෙස්ට විරුද්ධව ඔහු කැරැල්ලක් පෙලඹෙව්වා.—ගණන් කථාව 12:3; 16:1-3, 32.
10. ‘තේජවත් අය ගැන නින්දාසහගතව කතා කිරීම’ යන උගුලට අදදින සමහරුන් අසු විය හැක්කේ කෙසේද? එමෙන්ම එවන් කතාවකින් වැළකී සිටිය යුත්තේ ඇයි?
10 යෙහෝවා වගකීම් දරන තනතුරකට පාවිච්චි කරන අයට ගරු කරන්නත්, උපදෙස්වලට සවන් දෙන්නත් මෙම ආදර්ශ අපට මොනතරම් කැපීපෙනෙන අන්දමකින් උගන්වයිද! (හෙබ්‍රෙව් 13:17) පත් කරන ලද වැඩිමහල්ලන්ගේ වැරදි සෙවීම හරිම පහසුයි. මන්ද අප සැවොම මෙන් ඔවුනුත් අසම්පූර්ණ නිසයි. එනමුත්, අප ඔවුන්ගේ වැරදි මතම අවධානය යොමු කරමින්, ඔවුන් කෙරෙහි ගෞරවය බිඳ දමනවා නම්, අප සමහරවිට ‘තේජවත් අය ගැන නින්දාසහගතව කතා කරනවා’ නොවේද? 10වන පදයෙහි [NW] “තමුන් ඇත්තටම නොදන්නා දේවල් සියල්ල ගැන නින්දාසහගත ලෙස කතා කරමින් සිටින” අය ගැන යූද් සඳහන් කරයි. ඇතැම් අවස්ථාවල, වැඩිමහල් මණ්ඩලයක් හෝ විනිශ්චයක කමිටුවක් ගත් තීරණයක් ඇතැම් අය විවේචනයට ලක් කරාවි. කෙසේවෙතත්, තීරණයක් ගැනීමේදී වැඩිමහල්ලන්ට සලකා බලන්න සිදු වුණ තොරතුරු සියල්ලම ඔවුන් දන්නේ නැහැ. එමනිසා ඔවුන් ඇත්තටම නොදන්නා දේවල් ගැන නින්දාසහගත ලෙස කතා කරන්නේ ඇයි? (හිතෝපදේශ 18:13) එවන් නිෂේධාත්මක කතාවල දිගින් දිගටම නිරත වන අය සභාව තුළ භේද ඇති කළ හැකි අතර, ඔවුන්ව සෙසු ඇදහිලිවන්තයන් රැස්වන අවස්ථාවලදී, ‘ජලය යට සැඟවී තිබෙන [අන්තරා සහිත] පර්වතවලට’ පවා සමාන කළ හැකියි. (යූද් 12, 16, 19, NW) අනුන්ට ආත්මික අන්තරාවක් වීමට අපට කවදාකවත් වුවමනාවක් නොතිබිය යුතුයි. ඒ වෙනුවට, වගකීම් දරන පුරුෂයන් වෙහෙස මහන්සි වී කරන වැඩ වෙනුවෙනුත්, දෙවිගේ රැළ සඳහා පෙන්වන කැපවීම වෙනුවෙනුත් ඔවුන්ව අගය කිරීමට අප සැමදෙනාම අදිටන් කරගෙන සිටිමු.—1 තිමෝති 5:17.
11. නින්දාසහගතව කතා කිරීම මගින් සාතන්ට විරුද්ධව විනිශ්චයක් ගෙන ඒමෙන් මිකායෙල් වැළකී සිටියේ ඇයි?
11 නිසි ලෙස පිහිටෙවූ අධිකාරයට ගරු කළ කෙනෙකුගේ ආදර්ශයක් යූද් සඳහන් කරයි. ඔහු මෙසේ ලියයි: “අග්‍ර දේවදූතයාවූ මිකායෙල් යක්ෂයා සමග පොරබදන අතර, මෝසෙස්ගේ මිනිය ගැන විවාදකරද්දී, නින්දිතවූ විනිශ්චයක් ඔහුට විරුද්ධව කරන්ට භයවී: [යෙහෝවා] නුඹට තරවටු [කරත්වයි] කීවේය.” (යූද් 9) අනුභාවය ලත් ශුද්ධ ලියවිලිවල යූද්ට පමණක් සීමා වූ මෙම සිත්ගන්නා වාර්තාව, පැහැදිලි පාඩම් දෙකක් උගන්වයි. එක් අතකින්, විනිශ්චය කිරීම යෙහෝවාට භාර දී සිටින්න කියා එය අපට උගන්වයි. පැහැදිලිවම බොරු නමස්කාරයේ උන්නතිය තකා ඇදහිලිවන්ත මනුෂ්‍යයා වූ මෝසෙස්ගේ ශරීරය අනිසි ලෙස යොදාගැනීමට සාතන්ට වුවමනා වන්න ඇති. කොතරම් දුෂ්ට ක්‍රියාවක්ද! කෙසේවෙතත්, විනිශ්චයක් කිරීමට අධිකාරය යෙහෝවාට පමණක් තිබුණු බැවින්, එසේ කිරීමෙන් මිකායෙල් නිහතමානී ලෙස වැළකී සිටියා. එසේනම්, යෙහෝවාට සේවය කරන්න වෑයම් කරමින් සිටින ඇදහිලිවන්ත පුරුෂයන් විනිශ්චය කිරීමෙන් අප ඊටත් වඩා කොයිතරම් වැළකී සිටිය යුතුද!
12. ක්‍රිස්තියානි සභාවේ වගකීම් හොබවන තනතුරුවල සිටින අයට මිකායෙල්ගේ ආදර්ශයෙන් ඉගෙනගත හැක්කේ කුමක්ද?
12 අනික් අතට, සභාව තුළ යම් අධිකාරයක් හොබවන අයටත් මිකායෙල්ගෙන් යමක් උගත හැකියි. මිකායෙල් “අග්‍ර දේවදූතයා” එනම් සියලුම දේවදූතයන්ගේ ප්‍රධානියා වුවත්, කෝපය ඇවිස්සිය හැකි තත්වයක් යටතේදී පවා, ඔහු තම බලයෙන් යුත් තනතුර අනිසි ලෙස යොදාගත්තේ නැහැ. ඇදහිලිවන්ත වැඩිමහල්ලන්, තම අධිකාරය අනිසි ලෙස යොදාගැනීම යෙහෝවාගේ පරමාධිපත්‍යයට අගෞරවයක් බව තේරුම්ගනිමින්, එම ආදර්ශය කිට්ටුවෙන්ම අනුගමනය කරනවා. සභාවන් තුළ ගෞරවය දිය යුතු තනතුරු තිබුණත්, එම බලය අනිසි ලෙස යොදාගන්න පටන්ගත් පුරුෂයන් ගැන යූද්ගේ ලිපියෙහි බොහෝ දේ සඳහන්ව තිබුණා. උදාහරණයක් ලෙස, 12 සිට 14වන පද දක්වා, යූද් “නිර්භීතව තමුන්ම පෝෂ්‍යකරගන්න එඬේරු” ගැන තියුණු හෙළාදැකීමක් ලියනවා. (එසකියෙල් 34:7-10 සසඳන්න.) වෙනත් වචනවලින් කිවහොත්, ඔවුන් මූලිකවම උනන්දු වූයේ යෙහෝවාගේ රැළ කෙරෙහි නොව, පෞද්ගලික ප්‍රයෝජන ලබාගැනීම කෙරෙහියි. එවැනි නිෂේධාත්මක ආදර්ශවලින් අදදින වැඩිමහල්ලන්ට බොහෝ දේ උගත හැකියි. ඇත්තෙන්ම, අපට පත් වන්න ඕනෑ නැති දේ සම්බන්ධව, මෙහි සඳහන් යූද්ගේ වදන් විචිත්‍ර පින්තූරයක් ගෙනහැරපායි. අප ආත්මාර්ථකාමිත්වයට ගොදුරු වන විට, අපට බැහැ ක්‍රිස්තුස්ගේ සෙබළුන් වන්න; මන්ද අප වෙනුවෙන් සටන් කිරීමෙහි අප එතරම් කාර්යබහුලව සිටින නිසයි. ඒ වෙනුවට “ගැනීමට වඩා දීම ආශීර්වාදයකැයි [සන්තෝෂදායකයි, NW]” යන යේසුගේ වදන්වලට අනුව ජීවත් වෙමු.—ක්‍රියා 20:35.
“දෙවිගේ ප්‍රේමයෙහි දිගටම රැඳී සිටින්න”
13. දෙවිගේ ප්‍රේමයෙහි රැඳී සිටින්න අප හැම කෙනෙකු තුළ බලවත් ආශාවක් තිබිය යුත්තේ ඇයි?
13 තම ලිපියෙහි අවසානයට වෙද්දී, යූද් මෙම හද උණුසුම් කරවන උපදේශය සපයයි: “දෙවිගේ ප්‍රේමයෙහි දිගටම රැඳී සිටින්න.” (යූද් 21, NW) ක්‍රිස්තියානි යුද්ධයේ සටන් කිරීමට මෙම කාරණයට වඩා අපට උපකාර කරන්න යන වෙන කිසිවක් නැහැ. ඒ තමයි යෙහෝවා දෙවිගේ ප්‍රේමයට යොමු වන අය වශයෙන් දිගටම සිටීම. ඇත්තෙන්ම ප්‍රේමය යෙහෝවාගේ ප්‍රධානතම ගුණාංගයයි. (1 යොහන් 4:8) රෝමයේ ක්‍රිස්තියානීන්ට පාවුල් මෙසේ ලිව්වා: “මරණයටවත්, ජීවනයටවත්, දූතයන්ටවත්, අධිපතිකම්වලටවත්, දැන් පවතින දේවලටවත්, මතු පැමිණෙන දේවලටවත්, පරාක්‍රමවලටවත්, උසටවත්, ගැඹුරටවත්, අන් කිසි මැවිල්ලකටවත්, අපගේ ස්වාමීවූ යේසුස් [ක්‍රිස්තුස්] තුළ ඇත්තාවූ [දෙවිගේ] ප්‍රේමයෙන් අප වෙන්කරන්ට නොහැකිවන්නේයයි ඒකාන්තයෙන්ම දනිමි.” (රෝම 8:38, 39) කෙසේවෙතත්, අප එම ප්‍රේමයෙහි රැඳී සිටින්නේ කෙසේද? යූද්ට අනුව අපට ගත හැකි පියවර තුනක් සලකා බලන්න.
14, 15. (අ) අපේම “ඉතා ශුද්ධ ඇදහිල්ල” පිට අපවම ගොඩනංවාගැනීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? (ආ) අපේ ආත්මික යුද්ධායුධ කට්ටලයේ තත්වය අපට පරීක්ෂා කර බැලිය හැක්කේ කෙසේද?
14 මුලින්ම “ඉතා ශුද්ධ ඇදහිල්ල” පිට අපවම දිගටම ගොඩනංවන්න කියා යූද් අපට කියයි. (යූද් 20) කලින් ලිපියෙහි දුටු පරිදි, මෙය නිරන්තර ක්‍රියාවලියක්. වඩ වඩාත් දරුණු වන කාලගුණික තත්වයන්ගේ බලපෑමට එරෙහිව, ආරක්ෂාව තවත් තර කරගැනීමට අවශ්‍යව තිබෙන ගොඩනැඟිලිවලට අප සමානයි. (මතෙව් 7:24, 25 සසඳන්න.) එසේනම්, අප කිසිදාක ඕනෑවට වඩා වැඩි විශ්වාසයක් ඇති කර නොගනිමු. ඒ වෙනුවට, ක්‍රිස්තුස්ගේ වඩාත් ශක්තිමත්, වඩාත් ඇදහිලිවන්ත සෙබළුන් වෙමින්, අපේ ඇදහිල්ලේ අත්තිවාරම මත අපව ගොඩනැංවිය හැකි පැති මොනවාද කියා අප බැලිය යුතුයි. නිදසුනක් ලෙස, එපීස 6:11-18හි විස්තර කර ඇති ආත්මික යුද්ධායුධ කට්ටලයේ අංග අපට සලකා බලන්න පුළුවන්.
15 අපේම ආත්මික යුද්ධායුධ කට්ටලයේ තත්වය කුමක්ද? අපේ ‘ඇදහිල්ලේ විශාල පලිහ’ විය යුතු තරමටම ශක්තිමත්ද? මෑත වර්ෂ දෙස ආපසු හැරී බලද්දී, රැස්වීම්වලට පැමිණීම අඩු වී යෑම, දේවසේවය සඳහා ජ්වලිතය නැතිවීම නැතහොත් පෞද්ගලික පාඩම සඳහා හීන වී යන උද්යෝගයක් වැනි නොසැලකිලිමත් වීමේ ඇතැම් ලක්ෂණ අප දකිනවාද? එවන් ලක්ෂණ බරපතළයි! සත්‍යය තුළ අපව ගොඩනැංවීමටත් අපව ශක්තිමත් කරගැනීමටත් දැන්ම ක්‍රියා කිරීම අපට අවශ්‍යයි.—1 තිමෝති 4:15; 2 තිමෝති 4:2; හෙබ්‍රෙව් 10:24, 25.
16. ශුද්ධාත්මය ඇතුව යාච්ඤා කිරීමෙහි තේරුම කුමක්ද? අප නිතිපතා යෙහෝවාගෙන් ඉල්ලිය යුතු එක දෙයක් නම් කරන්න.
16 දෙවිගේ ප්‍රේමයෙහි රැඳී සිටීමට දෙවන මඟක් නම්, දිගටම ‘ශුද්ධාත්මය ඇතුව යාච්ඤා කිරීමයි.’ (යූද් 20) මින් අදහස් කරන්නේ යෙහෝවාගේ ආත්මයේ බලපෑම යටතේ මෙන්ම ඔහුගේ ආත්මයෙන් අනුභාවය ලත් වචනයට එකඟව යාච්ඤා කිරීමයි. යෙහෝවාට පෞද්ගලිකව කිට්ටු වීම සඳහාත් ඔහු කෙරෙහි අපේ කැපවීම ප්‍රකාශ කිරීම සඳහාත් යාච්ඤාව අතිවැදගත් මාර්ගයක් වෙනවා. මෙම මහිමාන්විත වරප්‍රසාදය අප කිසිදාක නොසලකා නොහැරිය යුතුයි! ඇරත් අප යාච්ඤා කරද්දී, ශුද්ධාත්මය අපට ඉල්ලන්න පුළුවන්, ඇත්තටම දිගටම ඉල්ලන්න පුළුවන්. (ලූක් 11:13) අපට ලබාගැනීමට තිබෙන ප්රබලතම බලය ඒකයි. එවන් උපකාරයක් ඇතුව, හැමවිටම දෙවිගේ ප්‍රේමයෙහි රැඳී සිටීමටත් ක්‍රිස්තුස්ගේ සෙබළුන් ලෙස විඳදරාගැනීමටත් අපට පුළුවන්.
17. (අ) දයාව සම්බන්ධ කාරණයේදී යූද්ගේ ආදර්ශය එතරම් කැපීපෙනෙන්නේ ඇයි? (ආ) අප එක් එක්කෙනාට දිගටම දයාව පෙන්විය හැක්කේ කෙසේද?
17 තුන්වෙනුව, දිගටම දයාව පෙන්වන්න කියා යූද් අපට උනන්දු කරයි. (යූද් 23) මේ සම්බන්ධයෙන් ඔහුගේම ආදර්ශය කැපීපෙනෙන්නක්. ක්‍රිස්තියානි සභාව තුළට ක්‍රමක්‍රමයෙන් ඇතුල් වෙමින් තිබූ දූෂණය, දුරාචාරය සහ ඇදහිල්ල අත්හැරයෑම ගැන ඔහු කලබලයට පත් වුණේ හොඳ හේතු ඇතුව නොවේද? කෙසේවෙතත්, ඉමහත් භීතියකට පත් වෙමින්, දයාව වැනි “මෘදු” ගුණාංගයක් පෙන්වීමට තත්වය අනතුරුදායක වැඩිය යන මතය දරන්න ඔහු පෙලඹුණේ නැහැ. ඒ වෙනුවට, හැකි අවස්ථාවන්හි දයාව පෙන්වමින්, අනුමානවලින් පෙළෙන අය සමඟ කාරුණිකව තර්ක කර, බරපතළ පාපයට කිට්ටු වන අයව ‘ගින්නෙන් පවා ඇදලා ගළවන්න’ ඔහු තම සහෝදරයන්ට උනන්දු කරයි. (යූද් 23; ගලාති 6:1) මෙම කරදරකාරි කාලවල වැඩිමහල්ලන් සඳහා මොනතරම් කදිම අවවාදද! අවශ්‍ය විටක ස්ථිරව සිටිමින්ම, දයාව පෙන්වීම සඳහා පදනමක් තිබෙද්දී එය පෙන්වන්න ඔවුනුත් වෑයම් කරයි. ඒ හා සමානව එකිනෙකාට දයාව පෙන්වන්න අප සැමටත් වුවමනාවක් තිබෙනවා. නිදසුනක් ලෙස, පොඩි පොඩි අමනාප වීම් සිතේ තබාගන්නවා වෙනුවට, නොමසුරුව සමාව දෙන්න අපට පුළුවන්.—කොලොස්සි 3:13.
18. අපේ ආත්මික යුද්ධයේදී ජයග්‍රහණය ලැබෙයි කියා අපට සහතික විය හැක්කේ කෙසේද?
18 අප සටන් කරන යුද්ධය ලෙහෙසි පහසු එකක් නොවෙයි. යූද් කියන්නාක් මෙන්, එය ‘දැඩි සටනක්.’ (යූද් 3) අපේ සතුරෝ බලගතුයි. සාතන් පමණක් නොව, නමුත් ඔහුගේ දුෂ්ට ලොවත් අපේම අසම්පූර්ණකමුත් අපට විරුද්ධව නැඟී සිටිනවා. එහෙත්, ජයග්‍රහණය අත් වෙයි කියා අපට සහමුලින්ම ඒකාන්ත විය හැකියි! ඇයි? අපි යෙහෝවාගේ පැත්තේ සිටින නිසා. යෙහෝවාට යෝග්‍ය ලෙස “ගෞරවයද මහන්තත්වයද පරාක්‍රමයද බලයද සියලු කාලවලට ප්‍රථමයෙන් සහ දැනටත් සදාකාලේටත්” අත් විය යුතු බවට සිහිගන්වමින් යූද් තම ලිපිය නිමා කරයි. (යූද් 25) එය ගරුබිය උපදවන සිතුවිල්ලක් නොවෙයිද? මෙම දෙවිටම “නුඹලා නොපැකිලෙන ලෙස ආරක්ෂාකරන්ට” හැකිවීම සම්බන්ධයෙන් කිසිම සැකයක් තිබිය හැකිද? (යූද් 24) කිසිසේත් නැහැ! දිගටම දුරාචාරයට විරුද්ධ වී, දිව්‍යමය ලෙස පිහිටෙවූ අධිකාරයට ගරු කරන්නත්, දෙවිගේ ප්‍රේමයෙහි රැඳී සිටින්නත් අපි එක් එක්කෙනා අදිටන් කරගනිමු. මෙලෙසින්, එකට තේජවත් ජයග්‍රහණයක් භුක්ති විඳින්න අප සමත් වෙනවා.
[පාදසටහන]
a යූද් ද්විතීය සම්මත ග්රන්ථයක් වන ඒනොක්ගේ පොතෙන් උපුටා දක්වන බව ඇතැම් පර්යේෂකයෝ කියා සිටියත්, ආර්. සී. එච්. ලෙන්ස්කි මෙසේ සඳහන් කරයි: “ ‘ඒනොක්ගේ පොත යන මෙම අනියම් ග්‍රන්ථයේ උල්පත මොකක්ද’ කියා අපි අසනවා. මෙම පොත අමතරව එකතු කරන ලද්දක් වන අතර, එහි විවිධාකාර කොටස් කොතරම් පරණද කියා කිසිවෙක් දන්නේ නැහැ . . . ; එහි අදහස් ප්රකාශයන්ගෙන් සමහරක් ඇතැම්විට යූද්ගෙන් රැගත් ඒවාද නැද්ද කියා නිසැකවම කියන්න කිසිවෙකුට බැහැ.”
පුනරීක්ෂණ ප්‍රශ්න
◻ දුරාචාරයට විරුද්ධ වන්න යූද්ගේ ලිපිය අපට උගන්වන්නේ කෙසේද?
◻ දිව්‍යමය ලෙස පිහිටෙවූ අධිකාරයට ගරු කිරීම මෙතරම් වැදගත් වන්නේ ඇයි?
◻ සභාව තුළ තිබෙන අධිකාරය අනිසි ලෙස යොදාගැනීම මෙතරම් බරපතළ දෙයක් වන්නේ ඇයි?
◻ දෙවිගේ ප්‍රේමයෙහි රැඳී සිටින්න අපට වෑයම් කළ හැක්කේ කෙසේද?
[15වන පිටුවේ පින්තූරය]
රෝම සෙබළුන් මෙන් නොව, ක්‍රිස්තියානීන් සටන් කරන්නේ ආත්මික යුද්ධයකයි
[18වන පිටුවේ පින්තූරය]
ක්‍රිස්තියානි එඬේරුන් සේවය කරන්නේ ආත්මාර්ථකාමිත්වයෙන් නොව ප්රේමයෙනුයි