ගැළවීමට අප කුමක් කළ යුතුද?
මනුෂ්‍යයෙක් වරක් යේසුස්වහන්සේගෙන් මෙසේ ඇසුවේය: ‘ස්වාමීනි, ගැළවීම ලබන්නෝ ස්වල්ප දෙනෙක් පමණක්ද?’ යේසුස්වහන්සේ පිළිතුරු දුන්නේ කෙසේද? ‘ඔබගේ ස්වාමීන්වහන්සේ සහ ගැළවුම්කරු ලෙසට මා පිළිගන්න, එවිට ඔබ ගළවනු ලබන්නේය,’ කියා උන්වහන්සේ පැවසූසේක්ද? නැත! යේසුස්වහන්සේ මෙසේ පැවසූසේක: “පටු දොරකඩින් ඇතුල්වෙන්ට වීර්යකරපල්ලා. මක්නිසාද බොහෝ දෙනෙක් ඇතුල්වෙන්ට සොයන නුමුත් බැරිවන්නේය.”—ලූක් 13:23, 24.
එම මිනිසාගේ ප්‍රශ්නයට උත්තර සැපයීමට යේසුස්වහන්සේ අසමත් වූසේක්ද? නැත, ගැළවීම ලැබීමට කොතරම් දුෂ්කර වේදැයි කියා එම මිනිසා ඇසුවේ නැත; එම ගණන ස්වල්පයක් වේදැයි ඔහු ඇසුවේය. එබැවින් කෙනෙකු බලාපොරොත්තු වන තරමට වඩා ස්වල්පදෙනෙකු මෙම පුදුමාකාර ආශීර්වාදය ලබාගැනීමට වීර්යය කරනු ඇති බව යේසුස්වහන්සේ ඇඟවූවා පමණි.
‘මට පවසනු ලැබුවේ එය නොවේ,’ කියා ඇතැම් පාඨකයන් විරෝධතා පළ කළ හැකිය. “මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේමකළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය,” කියන යොහන් ඔවුන් උපුටා දක්වනවා විය හැක. කෙසේවෙතත්, අපි මෙසේ පිළිතුරු දෙන්නෙමු: ‘එසේනම්, අප කුමක් අදහාගත යුතුද? යේසුස්වහන්සේ ඇත්තෙන්ම ජීවත් වූ බවද? එය අමුතුවෙන් කිව යුතු නොවේ. උන්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයා බවද? කිසිදු සැකයකින් තොරය! එමෙන්ම බයිබලයෙහි යේසුස්වහන්සේව “ආචාරිනි” සහ “ස්වාමීනි” කියා අමතන බැවින්, අපත් උන්වහන්සේ ඉගැන්වූ දේවල් විශ්වාස කර, උන්වහන්සේට කීකරු වී, උන්වහන්සේව අනුගමනය කළ යුතු නොවේද?’—යොහන් 13:13; මතෙව් 16:16.
යේසුස්වහන්සේව අනුගමනය කිරීම
ආහ්, ගැටලුව පැන නඟින්නේ මෙතැනදීය! ඔවුන් “ගැළවී” තිබෙන බවට පවසා තිබෙන බොහෝදෙනෙකුට, යේසුස්වහන්සේව අනුගමනය කිරීමට එසේ නැතහොත් කීකරුවීමට එතරම් ඕනෑකමක් නැති බව පෙනෙන්ට තිබේ. ඇත්තවශයෙන්ම, රෙපරමාදු පූජකවරයෙක් මෙසේ ලීවේය: “ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ල දිගටම පැවතිය යුතුමය. නමුත් එය අනිවාර්යයෙන්ම සිදු විය යුතු බවට, නැතහොත්, දිගටම පවතින බවට වූ ප්‍රකාශයට බයිබලයෙන් අනුබලයක් නැහැ.”
මීට පටහැනිව, “ගැළවී” සිටින බවට සිතන මනුෂ්‍යයන් අතර පොදුවේ පවතින දුරාචාරමය ක්‍රියාවන් බයිබලය ලැයිස්තුගත කරයි. එවැනි ක්‍රියාමාර්ගවල දිගටම නියැලී සිටින කෙනෙකු සම්බන්ධයෙන් එය ක්‍රිස්තියානීන්ට මෙසේ උපදෙස් දෙයි: “ඒ දුෂ්ටයා නුඹලා අතරෙන් පහකරපල්ලා.” දුෂ්ට මනුෂ්‍යයන් උන්වහන්සේගේ ක්‍රිස්තියානි සභාව දූෂ්‍ය කරනවාට දෙවියන්වහන්සේට වුවමනා නොවන බවට කිසිදු සැකයක් නැත!—1 කොරින්ති 5:11-13.
එසේනම්, යේසුස්වහන්සේව අනුගමනය කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද, තවද අපට එය කළ හැක්කේ කෙසේද? හොඳයි, යේසුස්වහන්සේ කුමක් කළසේක්ද? උන්වහන්සේ දුරාචාරයේ යෙදෙන්නෙක්, වේශ්යාකම්කරන්නෙක්, බේබද්දෙක්, බොරුකාරයෙක් වූසේක්ද? ව්‍යාපාර කටයුතුවලදී වංක වූසේක්ද? ඇත්තෙන්ම නැත! ‘නමුත්, මා මේ සියල්ලක්ම මගේ ජීවිතයෙන් ඉවත් කළ යුතුද?’ කියා ඔබ අසනවා විය හැක. පිළිතුර සඳහා, එපීස 4:17 සිට 5:5 දක්වා සලකා බලන්න. අප කුමක් කළත් දෙවියන්වහන්සේ අපව පිළිගන්නා බව එය සඳහන් නොකරයි. ඒ වෙනුවට, “හැඟීමක් නැතුව සියලු අපවිත්‍රකම් ගිජුලෙස කරන” ලෝකයේ ජාතීන්ට වඩා වෙනස් වීමට එය අපට පවසයි, . . . “නුමුත් නුඹලා ක්‍රිස්තුස්වහන්සේව එසේ ඉගෙනගත්තේ නැත, . . . නුඹලාගේ ජීවිතයේ පළමු හැසිරීම ලෙස . . . පරණ මනුෂ්‍යයා පහකර [දමන්න] . . . සොරකම්කළාවූ අය තවත් සොරකම් නොකෙරේවා. . . . වේශ්‍යාකමද සියලු ආකාර අපවිත්‍රකම හෝ තණ්හාවද නුඹලා අතරේ සඳහන් කරන්ට පමණවත් එපා; එය ශුද්ධවන්තයන්ට නුසුදුසුය. . . . මක්නිසාද වේශ්‍යාකම් කරන්නෙකුටවත් අපවිත්‍ර තැනැත්තෙකුටවත් රූපවඳින්නෙක්වූ ලෝභයෙකුටවත් ක්‍රිස්තුස්වහන්සේගේද දෙවියන්වහන්සේගේද රාජ්‍යයෙහි උරුමයක් නොලැබෙන බව නුඹලා සත්තකලෙස දැනසිටින්නහුය.”
අප අඩුම තරමින් උන්වහන්සේගේ ආදර්ශයට එකඟව ජීවත්වීමට උත්සාහ නොකරන්නේ නම්, අපි යේසුස්වහන්සේව අනුගමනය කරන්නෙමුද? ක්‍රිස්තුස්වහන්සේ හා සමාන ජීවිතයක් ගත කිරීම සඳහා අප ක්‍රියා කළ යුතු නොවේද? “ඔබ සිටින ආකාරයෙන්ම—දැන් ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණෙන්න,” යයි එක් ආගමික පත්‍රිකාවක් සඳහන් කරන අන්දමටම පවසන ජනයා විසින්, එම අතිවැදගත් ප්රශ්නය කලාතුරකින් සැලකිල්ලට ගනු ලැබේ, නැතහොත් කිසිවිටක එසේ නොකරනු ලැබේ.
අභක්තික මනුෂ්‍යයන්, ‘අපගේ දෙවියන්වහන්සේගේ කරුණාව සල්ලාලකමට හරවාගන්න බවත්, අපගේ එකම අධිපති වූ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව එපා කරන බවත්’ යේසුස්වහන්සේගේ එක් ගෝලයෙක් අනතුරු ඇඟවීය. (යූද් 4) ඇත්තවශයෙන්ම, අප දෙවියන්වහන්සේගේ කරුණාව ‘සල්ලාලකම සඳහා නිදහසට කරුණක්’ හැටියට හරවාගත හැක්කේ කෙසේද? ක්‍රිස්තුස්වහන්සේගේ පූජාව තුළින්, අප පසුපසට දැමීමට උත්සාහ කරන මනුෂ්‍ය අසම්පූර්ණත්වයේ පාප වෙනුවට, අප හිතා මතා සහ දිගටම කිරීමට අදහස් කරන පාප වසාලන බව උපකල්පනය කිරීමෙන්, අපට එසේ කළ හැක. ඔබට “පවිත්‍ර වී, අත්හැරීමට හෝ ආපසු හැරීමට” අවශ්‍ය නැති බව පැවසූ, අමෙරිකාවේ වඩාත් සුප්‍රකට එවැන්ජලිස්තවරයෙකු සමඟ අප එකඟ නොවන බව සහතිකය.—ක්‍රියා 17:30; රෝම 3:25; යාකොබ් 5:19, 20හි වෙනස සසඳන්න.
විශ්වාසය ක්‍රියාවට පොලඹවයි
“යේසුස්වහන්සේ මත විශ්වාස” කිරීම තනි ක්‍රියාවක් වන අතර, කීකරුවීමට පොලඹවන තරමටම අපගේ ඇදහිල්ල ශක්තිමත් වීමට අවශ්‍ය නැති බව බොහෝදෙනෙකුට පවසා තිබේ. එහෙත් බයිබලය එකඟ වන්නේ නැත. ක්‍රිස්තියානි මාර්ගය අරඹන මනුෂ්‍යයන් ගැළවී සිටින බව යේසුස්වහන්සේ නොපැවසූසේක. ඒ වෙනුවට, උන්වහන්සේ මෙසේ පැවසූසේක: “අන්තිම දක්වා ස්ථිරව සිටින්නාම ගැළවෙන්නේය.” (මතෙව් 10:22) අවසානයේදී ගැළවීම ත්‍යාගය වශයෙන් තබා තිබෙන ධාවන තරඟයකට, බයිබලය අපගේ ක්‍රිස්තියානි මාර්ගය සමාන කරයි. තවද එය මෙසේ උදක්ම ඉල්ලා සිටී: “නුඹලාත් [එය] ලබාගන්නා පිණිස දුවපල්ලා.”—1 කොරින්ති 9:24.
මෙසේ, “ක්‍රිස්තුස්වහන්සේව පිළිගැනීම” තුළ යේසුස්වහන්සේගේ ශ්‍රේෂ්ඨ පූජාව පිරිනමන ආශීර්වාද පිළිගන්නවාට වඩා වැඩි දෙයක් ඇතුළත් වේ. කීකරුකම අවශ්‍යතාවකි. විනිශ්චය, “දෙවියන්වහන්සේගේ ගෘහයේ සිට” ආරම්භ වන බව ප්‍රේරිත පේතෘස් පවසන අතර, තවදුරටත් මෙසේද පවසයි: “එය පළමුකොට අප ළඟ සිට පටන්ගත්තොත්, දෙවියන්වහන්සේගේ ශුභාරංචියට කීකරු නොවන්නන්ගේ අන්තිමය කුමක් වන්නේද?” (1 පේතෘස් 4:17) එබැවින් නිකම්ම ඇසීමට සහ විශ්වාස කිරීමට වඩා වැඩි යමක් අප කළ යුතුය. අප “[අපවම] රවටාගනිමින් වචනය අසන්නෝ පමණක් නොවී එය පිළිපදින්නෝ,” විය යුතු බව බයිබලය පවසයි.—යාකොබ් 1:22.
යේසුස්වහන්සේගේම පණිවිඩ
යේසුස්වහන්සේ විසින්, යොහන් තුළින් මුල් ක්‍රිස්තියානි සභා සතකට යවනු ලැබූ පණිවිඩ එළිදරව් නම් බයිබල් පොත තුළ අඩංගු වී තිබේ. (එළිදරව් 1:1, 4) මෙම සභාවන් තුළ සිටින මනුෂ්‍යයන් උන්වහන්සේව දැනටම “පිළිගෙන” තිබෙන බැවින්, එය ප්‍රමාණවත් බව යේසුස්වහන්සේ පැවසූසේක්ද? නැත. උන්වහන්සේ ඔවුන්ගේ ක්‍රියා, වැඩ සහ විඳදරාගැනීම ගැන ප්‍රශංසා කළ අතර, ඔවුන්ගේ ප්‍රේමය, ඇදහිල්ල සහ සේවය සම්බන්ධයෙන් කතා කළසේක. එහෙත් යක්ෂයා ඔවුන්ව පරීක්ෂාවට ලක් කරන බවත්, “එක් එක්කෙනා [ඔවුන්ගේ] ක්‍රියා හැටියට” විපාක ලබනු ඇති බවත් උන්වහන්සේ පැවසූසේක.—එළිදරව් 2:2, 10, 19, 23.
එබැවින්, ආගමික රැස්වීමකදී උන්වහන්සේව “පිළිගත්” පමණින්ම ඔවුන්ගේ ගැළවීම “සම්පූර්ණ වූ කාර්යයක්” වන බව ඔවුන්ට පවසනු ලැබූ විට, ජනයා වටහාගත් දෙයට වඩා උතුම් බැඳීමක් යේසුස්වහන්සේ විස්තර කළසේක. යේසුස්වහන්සේ මෙසේ පැවසූසේක: “යමෙක් මා පස්සේ එන්ට කැමති නම් ඔහු තමාම නොසලකා, තමාගේ කුරුසිය රැගෙන, මා අනුව ඒවා. මක්නිසාද යමෙක් තමාගේ ජීවිතය ගළවාගන්ට කැමතිවේද, ඒක ඔහුට නැතිවන්නේය. මා නිසා තමාගේ ජීවිතය නැතිවෙන අයට ඒක සම්බවන්නේය.”—මතෙව් 16:24, 25.
අපවම නොසලකා හැරීම? අඛණ්ඩවම යේසුස්වහන්සේව අනුගමනය කිරීම? ඒ සඳහා උත්සාහයක් අවශ්‍ය වනු ඇත. එය අපගේ ජීවිත වෙනස් කරනු ඇත. එහෙත්, අප සමහරෙකුට ‘අපගේ ආත්ම අහිමි’ කරගැනීමට පවා එනම්, උන්වහන්සේ වෙනුවෙන් මියයෑමට සිදු විය හැකි බව යේසුස්වහන්සේ සැබවින්ම පැවසූසේක්ද? එසේය, එයාකාර ඇදහිල්ලක් පැමිණෙන්නේ දේවවචනය අධ්‍යයනය කිරීමෙන් ලබාගත හැකි විශිෂ්ට දේවල් පිළිබඳ දැනුම තුළින් පමණි. ‘ඔහු ප්‍රඥාවෙන්ද ආත්මය කරණකොටගෙනද කළ කතාවේ බලයට විරුද්ධව සිටින්ට නොහැකි වූ’ ආගමික උන්මත්තකයන් විසින් ස්තේපන්ව ගල් ගසනු ලැබූ දිනයේදී එය පැහැදිලිව දක්නට තිබිණ. (ක්‍රියා 6:8-12; 7:57-60) බයිබලය මගින් පුහුණු කරන ලද තමන්ගේ හෘදය සාක්ෂියට විරුද්ධව ක්‍රියා කරනවා වෙනුවට, අපගේ කාලයේදී එවන් ඇදහිල්ලක්, නාට්සි ගාල් කඳවුරුවල මියගිය යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සියගණන් අය විසින් නිරූපණය කර තිබේ.a
ක්‍රිස්තියානි ජ්වලිතය
අප අපගේ ක්‍රිස්තියානි ඇදහිල්ලට ස්ථිර ලෙස ඇලී සිටිය යුතුය, ඒ මන්ද කිවහොත් ඇතැම් පල්ලිවල හෝ ආගමික රූපවාහිනී වැඩසටහන් තුළ ඔබට ඇසීමට ලැබෙන දේවල්වලට වඩා වෙනස්ව, අප වැටිය හැකි බව බයිබලය පවසන බැවිනි. “හරි මාර්ගය” අත්හැර තිබෙන ක්‍රිස්තියානීන් සම්බන්ධයෙන් එය අපට පවසයි. (2 පේතෘස් 2:1, 15) එබැවින් ‘භයෙනුත්, වෙවුලුමෙනුත් අපගේම ගැළවීම ඉෂ්ට කරගැනීමට’ අපට සිදු වේ.—පිලිප්පි 2:12; 2 පේතෘස් 2:20.
පළමු-ශතවර්ෂයේ ක්‍රිස්තියානීන්, එනම් ඇත්තෙන්ම යේසුස්වහන්සේ සහ සිය ප්‍රේරිතයන්ගේ ඉගැන්වීම් ඇසූ මනුෂ්‍යයන් මෙම කාරණය වටහාගත්තේ මේ ආකාරයෙන්ද? එසේය. ඔවුන්ට යමක් කළ යුතුව තිබුණු බව ඔවුහු දැනගෙන සිටියෝය. යේසුස්වහන්සේ මෙසේ පැවසූසේක: “එබැවින් නුඹලා ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරපල්ලා, . . . මා විසින් නුඹලාට අණකළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වාපල්ලා.”—මතෙව් 28:19, 20.
යේසුස්වහන්සේ එය පැවසීමෙන් මාස දෙකකට පසුව, මනුෂ්‍යයෝ 3,000දෙනෙක්, එක් දිනකදී බව්තීස්ම ලැබූහ. ඇදහිලිවන්තයන්ගේ සංඛ්‍යාව 5,000 දක්වා ඉතා ශීඝ්‍රයෙන් වර්ධනය විය. අදහාගත්තාවූ අය වෙනත් අයට ඉගැන්නුවෝය. ඔවුන්ව විසුරුවනු ලැබීමට පීඩා හේතු වූ විට, එය ඔවුන්ගේ පණිවිඩය පතළ කිරීමට උපකාර විය. නායකයන් ස්වල්පදෙනෙකු පමණක් නොව, නමුත් “විසුරුවනු ලැබූ ඔව්හු ගිය ගිය ස්ථානවල වචනය ප්‍රකාශක[ළ],” බව බයිබලය පවසයි. එමනිසා, වසර 30කට පමණ පසුව “අහසින් යට මුළු මැවිල්ලෙහි[ම],” ශුභාරංචිය ප්‍රකාශ කරනු ලැබූ බව පැවසීමට ප්‍රේරිත පාවුල්ට හැකි විය.—ක්‍රියා 2:41; 4:4; 8:4; කොලොස්සි 1:23.
‘යේසුස්වහන්සේව දැන්මම පිළිගන්න, එවිට ඔබ සදාකාලයටම ගැළවීම ලබාගන්නවා ඇත,’ කියා පවසන ඇතැම් රූපවාහිනී එවැන්ජලිස්තවරුන් මෙන් පාවුල් මනුෂ්‍යයන්ව ආගමට හරවා ගත්තේ නැත. “නහඹරවියේ පිරිමි ළමයෙක්ව සිටියදී, . . . මා ගළවනු ලැබුවා,” කියා ලියූ අමෙරිකානු පූජකවරයාගේ නිසැකභාවයවත් ඔහුට තිබුණේ නැත. ජාතීන් වෙත ක්‍රිස්තියානි පණිවිඩය ගෙන යෑමට යේසුස්වහන්සේ විසින් පෞද්ගලික වශයෙන්ම පාවුල්ව වර්ෂ 20කට වැඩි කාලයකට පෙර තෝරාගනු ලැබීමෙන් පසුව, වෙහෙසව ක්‍රියා කළ මෙම ප්‍රේරිතවරයා මෙසේ ලීවේය: “මාගේ ශරීරය දමනයකර වාල්කමට පමුණුවමි. එසේ කරන්නේ අනුන්ට දේශනාකළාට පසු කොයිලෙසකින්වත් මාම එපාකරනු නොලබන පිණිසය.”—1 කොරින්ති 9:27; ක්‍රියා 9:4ආ, 5, 6, 15.
ගැළවීම වනාහි දෙවියන්වහන්සේ විසින් නොමිලේ ප්රදානය කරනු ලබන ත්‍යාගයකි. එය උපයා ගත නොහැක. එහෙත් එයට අපගේ පැත්තෙන් ප්රයත්නයක් අවශ්‍ය කරයි. කෙනෙකු ඔබට ඉතා වටිනා ත්‍යාගයක් පිරිනැමූ විට, එය ඔබ සමඟ රැගෙන යෑමට තරම් අගයක් ඔබ පෙන්නුම් නොකළෙහි නම්, ඔබේ කෘතඥතාවේ ඌනතාව නිසා එය වෙන කෙනෙකුට දීමට ත්‍යාගය දෙන්නාව පෙලඹවිය හැක. ඇත්තෙන්ම, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ජීවන රුධිරය කෙතරම් අනර්ඝද? එය නොමිලේ පිරිනමනු ලබන ත්‍යාගයක් වුවත්, අප එයට ගැඹුරු ගෞරවයක් විදහාපෙන්විය යුතුය.
සැබෑ ක්‍රිස්තියානීන් දෙවියන්වහන්සේ ඉදිරියේ අනුමත කරන ලද තත්වයක සිටින බැවින්, ඔවුහු ගළවනු ලැබූ තත්වයක සිටිති. කණ්ඩායමක් වශයෙන් ඔවුන්ගේ ගැළවීම සහතිකය. පුද්ගලයන් වශයෙන් දෙවියන්වහන්සේගේ අවශ්‍යතාවන්ට ඔවුන් යටත් විය යුතුය. කෙසේවුවත්, යේසුස්වහන්සේ මෙසේ ප්‍රකාශ කළ බැවින් අප අසමත් විය හැකිය: “යමෙක් මා තුළෙහි නොපවතී නම්, ඔහු අත්තක් මෙන් පිටත දමනු ලැබ වියළීයයි.”—යොහන් 15:6.
“දෙවියන්වහන්සේගේ වචනය ජීවමානය”
ඊට පෙර ලිපියේ ආරම්භයේදී සඳහන් සංවාදය වසර 60කට ආසන්න කාලයකට පෙර සිදු විය. ගැළවීම ලැබෙන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් පමණක් බව ජොනී තවමත් විශ්වාස කළත්, එය ලබාගැනීම සඳහා අප උත්සාහ කළ යුතු බව ඔහු වටහා ගනී. බලාපොරොත්තුව සඳහා මනුෂ්‍යවර්ගයාගේ එකම සැබෑ උල්පතට බයිබලය යොමු දක්වන බවත්, එම ආශ්චර්යවත් පොත අප විසින් අධ්‍යයනය කළ යුතු බවත්, එයින් පෙලඹී සිටිය යුතු බවත්, ප්‍රේමය, ඇදහිල්ල, කරුණාවන්තකම, කීකරුකම සහ විඳදරාගැනීම වැනි ක්‍රියාවලට අපව පොලඹවනු ලැබීම සඳහා එයට අප ඉඩ දිය යුතු බවත් ඔහු තවමත් තරයේ විශ්වාස කරයි. මෙම දේවල්ම විශ්වාස කිරීමට ඔහු තම දරුවන්ව ඇති දැඩි කර තිබෙන අතර, මෙයාකාරයෙන් ඔවුන්ද තම දරුවන් ඇති දැඩි කරන ආකාරය දැකීමට ඔහු ආශාවෙන් සිටී. සියලුදෙනාටම එයාකාර ඇදහිල්ලක් තිබෙයි කියා ඔහු ප්‍රාර්ථනා කරන අතර, වෙනත් අයගේ හෘද සහ මනස් තුළ මෙය පැලපදියම් කිරීම සඳහා ඔහු ඕනෑම දෙයක් කරයි.
“දෙවියන්වහන්සේගේ වචනය ජීවමානය, බලවත්ය,” කියා ලියන්ට ප්‍රේරිත පාවුල් ආනුභාවය ලැබීය. (හෙබ්‍රෙව් 4:12) එයට ජීවිත වෙනස් කළ හැක. හෘදයෙන් පෙලඹෙන ප්‍රේමයේ, ඇදහිල්ලේ හා කීකරුකමේ ක්‍රියා කිරීමට එය ඔබහට පෙලඹීමක් විය හැක. එහෙත් බයිබලය පවසන දේ නිකම්ම මානසිකව “පිළිගැනීමට” වඩා යමක් ඔබ කළ යුතුය. එය අධ්‍යයනය කර, ඔබගේ හෘදය ඉන් පෙලඹවීමට ඉඩහරින්න. ඔබට මඟ පෙන්වීමට එහි ප්‍රඥාවට ඉඩහරින්න. රටවල් 230කට වඩා වැඩි සංඛ්‍යාවක සිටින යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ 50,00,000ක් පමණ, නොමිලේ නිවාස බයිබල් පාඩම් ඉදිරිපත් කිරීමට කැමැත්තෙන් සිටිති. මෙවැනි පාඩමකින් ඔබට කුමක් උගත හැකිද කියා දැනගැනීමට, මෙම සඟරාවේ ප්‍රකාශකයන්ට ලියන්න. ඔබට ලැබෙන්නාවූ ඇදහිල්ල සහ ආත්මික ශක්තිය ඔබව ප්‍රීතිමත් කරවනවා නොඅනුමානය!
[පාදසටහන]
a ද නාට්සි ස්ටේට් ඇන්ඩ් ද නිව් රිලිජන්ස්: ෆයිව් කේස් ස්ටඩීස් ඉන් නොන්-කොන්ෆෝමිටි, නම් ඇයගේ පොතෙහි ආචාර්ය ක්‍රිස්ටීන් ඊ. කිං මෙසේ වාර්තා කළාය: “සෑම ජර්මානු ජාතික [යෙහෝවඃවහන්සේගේ] සාක්ෂිකරුවන් දෙදෙනෙකුගෙන් එක්කෙනෙක් සිර අඩස්සියේ තබනු ලැබූ අතර, හතරදෙනෙකුගෙන් එක්කෙනෙක් තම ජීවිතය අහිමි කරගත්තේය.”
[7වන පිටුවේ කොටුව]
‘ඇදහිල්ල උදෙසා උනන්දු ආකාරයෙන් පොරඇල්ලිය’ යුත්තේ මන්ද?
යූද් නම් බයිබල් පොත, “යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උදෙසා ආරක්ෂාකරනු ලබන්නාවූ, කැඳවනු ලැබූවන්” වෙත යොමු කර තිබේ. ඔවුන් ‘යේසුස්වහන්සේව පිළිගෙන’ තිබූ බැවින්, ඔවුන්ගේ ගැළවීම සහතික බව එය පවසයිද? නැත, “ඇදහිල්ල උදෙසා උනන්දු ආකාරයෙන් පොරඅල්ලන ලෙස” යූද් එවැනි ක්‍රිස්තියානීන්ට පැවසුවේය. එසේ කිරීමට ඔහු ඔවුන්ට හේතු තුනක් දුන්නේය. පළමුව, දෙවියන්වහන්සේ “මිසරදේශයෙන් සෙනගක් [ගැළවූසේක],” නමුත් පසුව ඉන් බොහෝදෙනෙක් වැටී ගියෝය. දෙවනුව, දේවදූතයෝ පවා කැරලි ගසා භූතයෝ බවට පත් වූහ. තුන්වෙනුව, සොදොම සහ ගොමොරාවේ සිදු වූ බරපතළ ලිංගික දුරාචාරය හේතුවෙන් දෙවියන්වහන්සේ එම නගර විනාශ කළසේක. යූද් මෙම බයිබල් වාර්තා “අවවාද ආදර්ශයක්” ලෙස ඉදිරිපත් කරයි. එසේය, “යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උදෙසා ආරක්ෂාකරනු ලබන්නාවූ” අදහාගන්නන් පවා, සැබෑ ඇදහිල්ලෙන් වැටී නොයන පිණිස පරෙස්සම් විය යුතුය.—යූද් 1-7.
[8වන පිටුවේ කොටුව]
කුමක් නිවැරදිද?
බයිබලය මෙසේ ප්‍රකාශ කරයි: “මනුෂ්‍යයෙක් ව්‍යවස්ථාවේ ක්‍රියා නැතුව ඇදහීමෙන් ධර්මිෂ්ඨකරනු ලැබේ.” එහි තවදුරටත් මෙසේ පැවසේ: “මනුෂ්‍යයෙක් ඇදහිල්ල පමණකින් නොව ක්‍රියාවලිනුත් ධර්මිෂ්ඨකරනු [ලැබේ].” කුමක් නිවැරදිද? අප ධර්මිෂ්ඨ කරනු ලබන්නේ ඇදහිල්ලෙන්ද එසේ නැතහොත් ක්‍රියාවලින්ද?—රෝම 3:28; යාකොබ් 2:24.
බයිබලයට අනුකූල පිළිතුරට අනුව දෙකම නිවැරදිය.
මෝසෙස් තුළින් දෙවියන්වහන්සේ දුන් ව්‍යවස්ථාවට අනුව යුදෙව් නමස්කාරකයන්ට නිශ්චිත පූජා සහ ඔප්පු කිරීම් සිදු කිරීමට, මංගල්‍ය දින පැවැත්වීමට එමෙන්ම, ආහාර ගැනීමේ ක්‍රම සහ වෙනත් අවශ්‍යතාවන්ට යටත්වීමට සිදු විය. යේසුස්වහන්සේ පරිපූර්ණ පූජාව සැපයූ පසු, එවන් “ව්‍යවස්ථාවේ ක්‍රියා” නොහොත් නිකම්ම “ක්‍රියා” තවදුරටත් අවශ්‍ය නොවීය.—රෝම 10:4.
එහෙත් මෝසෙස්ගේ ව්‍යවස්ථාව යටතේ සිදු වූ ක්‍රියා වෙනුවට යේසුස්වහන්සේගේ අතිශ්‍රේෂ්ඨ පූජාව බලපැවැත්වූ බැවින්, අපට බයිබලයේ උපදෙස් නොසලකා හැරිය හැකි බව මින් අදහස් නොකෙරේ. එහි මෙසේ පැවසේ: “ක්‍රිස්තුස්වහන්සේගේ ලෙයින් ජීවමාන දෙවියන්වහන්සේට සේවය කරන පිණිස, [පැරණි] මළ ක්‍රියාවලින් නුඹලාගේ හෘදයසාක්ෂිය කොපමණ වැඩියෙන් පිරිසිදුකරනු නොලබන්නේද?”—හෙබ්‍රෙව් 9:14.
අප “ජීවමාන දෙවියන්වහන්සේට [පරිශුද්ධ, NW] සේවය [පිරිනමන්නේ]” කෙසේද? වෙනත් දේ සඳහන් කරනවාට අමතරව, මාංසයේ ක්‍රියාවලට එරෙහිව සටන් කිරීමටත්, ලෝකයේ දුරාචාරයට එරෙහි වීමටත්, එහි මලපත්වලින් වැළකී සිටීමටත් බයිබලය අපට පවසයි. එහි මෙසේ පැවසේ: “ඇදහිල්ලේ යහපත් සටනෙන් සටන්කොට,” “පහසුවෙන් අප අසුකරන පාපයද” අහක දමා, “ඇදහිල්ලේ කර්තෘවරයාද සම්පූර්ණකරන්නාදවූ යේසුස්වහන්සේ දෙසම බලමින්, අප ඉදිරියෙහි තබා තිබෙන දිවීම ඉවසිල්ලෙන් [දුවන්න].” තවද, ‘අපගේ සිත්වලින් ක්ලාන්ත වී වෙහෙස’ නොවන ලෙසට බයිබලය අපට උනන්දු කරයි.—1 තිමෝති 6:12; හෙබ්‍රෙව් 12:1-3; ගලාති 5:19-21.
මෙම දේවල් කිරීම තුළින් අප ගැළවීම උපයන්නේ නැත, ඒ මන්දයත් එවන් මවිත කරවන ආශීර්වාදයක් ලබාගැනීමට තරම් යහපත්කම් කිරීමට කිසි මනුෂ්‍යයෙකුට නොහැකි බැවිනි. කෙසේවෙතත්, දෙවියන්වහන්සේ සහ ක්‍රිස්තුස්වහන්සේ අපට කිරීමට බයිබලයෙහි පවසා තිබෙන දේවල් කිරීමෙන්, අප ප්‍රේමය සහ කීකරුකම විදහාපෙන්වීමට අසමත් වෙනවා නම්, මෙම විශිෂ්ට ත්‍යාගය ලබාගැනීම සඳහා අපි සුදුස්සෝ නොවන්නෙමු. ක්‍රියා නොමැතිව අපගේ ඇදහිල්ල විදහාපෙන්වීමෙන්, යේසුස්වහන්සේ අනුගමනය කරන බවට අප කියා සිටින දෙය සැබෑවක් නොවන්නේය, මන්ද බයිබලය පැහැදිලිව මෙසේ ප්‍රකාශ කරන බැවිනි: “ඇදහිල්ල ක්‍රියා නැතුව තනියම තිබේ නම් මැරිලාය.”—යාකොබ් 2:17.
[7වන පිටුවේ පින්තූරය]
බයිබලය අධ්‍යයනය කර එයින් පෙලඹී සිටින්න