අපේ “දේශය” පිට යෙහෝවාගේ ආශීර්වාදය
“ගංගාව ගලන තැන තිබෙන ඕනෑම දෙයක් ජීවත් වන්නේය.”—එසකියෙල් 47:9, NW.
1, 2. (අ) වතුර කොපමණ වැදගත්ද? (ආ) එසකියෙල්ගේ දර්ශනයේ ගඟේ වතුරෙන් සංකේතවත් කරන්නේ කුමක්ද?
වතුර විශිෂ්ට ගණයේ දියරයක්. සෑම භෞතික ජීවයක්ම ඒ මත යැපෙනවා. වතුර නැතුව අපෙන් කිසිම කෙනෙකුට වැඩි කල් ජීවත් වෙන්න බැහැ. අපවිත්‍ර දේවල් දිය කර සෝදාහරින්න වතුරවලට හැකියාවක් තියෙන නිසා, පවිත්‍ර වීම සඳහාත් අපි ඒ මත යැපෙනවා. ඉතින් අපි අපේ සිරුරු, අපේ ඇඳුම් සහ අපේ ආහාර පවා එයින් සෝදාගන්නවා. එසේ කිරීමෙන් අපේ ජීවිත ආරක්ෂා වෙන්න ඉඩ තිබෙනවා.
2 ජීවිතය සඳහා යෙහෝවාගේ ආත්මික සැපයුම් සංකේතවත් කිරීමට බයිබලය වතුර පාවිච්චි කරනවා. (යෙරෙමියා 2:13; යොහන් 4:7-15) මේ සැපයුම්වලට, ක්‍රිස්තුස්ගේ මිදීමේ මිල යාගය තුළින් සිදු කළ දෙවිගේ සෙනඟගේ පවිත්‍ර වීමත් දෙවිගේ වචනයේ ඇති ඔහුගේ දැනුමත් අයත් වෙනවා. (එපීස 5:25-27) එසකියෙල්ගේ මාළිගා දර්ශනයේ, මාළිගාවෙන් ගලා බසින ආශ්චර්යවත් ගඟ එවැනි ජීවන-දායක ආශීර්වාද සංකේතවත් කරනවා. නමුත් ඒ ගඟ ගලන්නේ කවදාටද? ඒ වගේම අද එයින් අපට ඇති අර්ථය කුමක්ද?
නැවත පිහිටෙවූ දේශයක් හරහා ගලන ගඟක්
3. එසකියෙල් 47:2-12හි වාර්තා කර ඇති ආකාරයට එසකියෙල් අද්දැක්කේ කුමක්ද?
3 බබිලෝනියේ වහලුන් හැටියට, එසකියෙල්ගේ සෙනඟ යෙහෝවාගේ සැපයුම් සඳහා දැඩි අවශ්‍යතාවකින් පෙළුණා. එසේ නම්, ශුද්ධස්ථානයෙන් දිය බිඳු මතු වී, දර්ශනයේදී දුටු මාළිගාවෙන් පිටට ගලාගෙන යනවා දකින්න ලැබීම එසකියෙල්ට මොනතරම් දිරිගන්වනසුලු වුණාද! දේවදූතයෙක් දියපාර රියන් දාහෙන් දාහ මනිනවා. වළලුකර දක්වාත් දණහිස් දක්වාත් ඉඟටිය දක්වාත් පිහිනන්ට උවමනා තරමට ගඟක් දක්වාත් ඒකේ ගැඹුර වැඩි වෙනවා. ගංගාව ප්රාණවත්කමත් සාරවත්කමත් ගෙනෙනවා. (එසකියෙල් 47:2-11) එසකියෙල්ට මෙසේ කියනවා: “ගඟ ළඟ දෙපැත්තේම එහි අද්දර සියලු ආකාර ඵල-ගස් වැවෙන්නේය.” (එසකියෙල් 47:12අ) ගඟ අප්‍රාණික ජලාශයක් වන මළ මුහුදට ඇතුල් වෙද්දී ජීවය හටගන්නවා! මාළු රංචු ගැහෙනවා. ධීවර කර්මාන්තයක් සඵල වෙනවා.
4, 5. ගඟක් පිළිබඳ යෝවෙල්ගේ අනාවැකිය එසකියෙල්ගේ එකට සමාන වන්නේ කෙසේද? එමෙන්ම මෙය වැදගත් වන්නේ මන්ද?
4 මේ ලස්සන අනාවැකිය, යුදෙව් වහලුන්ට ඊට සියවස් දෙකකට පෙර වාර්තා කළ අනාවැකියක් මතක් කරවන්න ඇති: “[යෙහෝවාගේ] ගෘහයෙන් උල්පතක් නික්ම ෂිට්ටීම් මිටියාවතට වතුර දෙනවා ඇත.”a (යෝවෙල් 3:18) එසකියෙල්ගේ අනාවැකිය වගේ යෝවෙල්ගේ අනාවැකියෙත්, අධිවියළි ප්‍රදේශයකට ජීවය දෙමින්, දේවමාළිගාව එනම් දෙවිගේ ගෘහයෙන් ගංගාවක් ගලා බසින බව පුරෝකථනය කරනවා.
5 යෝවෙල්ගේ අනාවැකිය අපේ කාලයේ ඉටු වෙමින් පවතින බව මුරටැඹ බොහෝ කාලයක සිට පැහැදිලි කර තිබෙනවා.b එසේ නම් නිසැකවම, එසකියෙල්ගේ ඒ හා සමාන දර්ශනයත් අපේ කාලයේ ඉටු වන බව සැබෑයි. පුරාණ ඉශ්රායෙලයේ වගේ, අදදින දෙවිගේ සෙනඟගේ නැවත පිහිටුවන ලද දේශය තුළට යෙහෝවාගේ සැපයුම් සහ ආශීර්වාද ඇත්තෙන්ම ගලා ඇවිත් තිබෙනවා.
මහත් සේ ආශීර්වාද ගැලීමක්
6. දර්ශනයෙන් දුටු පූජාසනය මත ලේ ඉසීම, යුදෙව්වන්ට කුමක් මතක් කළා විය යුතුද?
6 දෙවිගේ නැවත පිහිටුවන ලද සෙනඟ මත වගුරුවා ඇති ආශීර්වාදවල උල්පත කුමක්ද? වතුර ගලන්නේ දෙවිගේ මාළිගාවෙන් බව සැලකිල්ලට ගන්න. ඒ හා සමානව අදදිනත්, ආශීර්වාද පැමිණෙන්නේ යෙහෝවාගෙන්. ඒ ඔහුගේ මහත් ආත්මික දේවමාළිගාව වන නිර්මල නමස්කාරය සඳහා වන විධිවිධානය තුළින්. එසකියෙල්ගේ දර්ශනය වැදගත් තොරතුරක් එකතු කරනවා. ඇතුල් මළුවේ පූජාසනය පසු කරමින් ඊට ටිකක් දකුණට වෙන්නයි දියපාර ගලන්නේ. (එසකියෙල් 47:1) පූජාසනය තියෙන්නේ දර්ශනයෙන් දුටු දේවමාළිගාවේ කේන්ද්රයෙයි. යෙහෝවා ඒ පිළිබඳව ඉතා පරෙස්සමින් එසකියෙල්ට විස්තර කර, යාගයක ලේ ඒ වටා ඉසින්න අණ කරනවා. (එසකියෙල් 43:13-18, 20) ඒ පූජාසනය සියලුම ඉශ්‍රායෙලිතයන්ට මහත් අර්ථවත්බවක් ලබා දුන්නා. යෙහෝවා සමඟ ඔවුන්ගේ ගිවිසුම, සීනයි කන්ද පාමුල තිබූ පූජාසනය මත මෝසෙස් ලේ ඉසින කාලය තරම් ඈතක සිට වලංගුව පැවතුණා. (නික්මයාම 24:4-8) ඔවුන්ගේ නැවත පිහිටුවන ලද දේශයට ඔවුන් ගොස් යෙහෝවා සමඟ ඇති ගිවිසුමට ගෞරව කරන තාක් කල් යෙහෝවාගේ ආශීර්වාද ගලන බවට, දර්ශනයෙන් දුටු පූජාසනය මත ලේ ඉසීම ඔවුන්ට මතක් කළා වෙන්න ඇති.—ද්විතීය කථාව 28:1-14.
7. සංකේතමය පූජාසනයෙන් අදදින ක්‍රිස්තියානීන්ට අර්ථවත් කෙරෙන්නේ කුමක්ද?
7 ඒ හා සමානව, අදදින දෙවිගේ සෙනඟ ගිවිසුමක් මගින් ආශීර්වාද ලබා තිබෙනවා—ඒක වඩා හොඳ එකක්, ඒ තමයි අලුත් ගිවිසුම. (යෙරෙමියා 31:31-34) බොහෝ කාලයකට කලින් ඒකත් වලංගු කළේ ලේ මාර්ගයෙන්; ඒ යේසුස් ක්‍රිස්තුස්ගේ ලේ මාර්ගයෙන්. (හෙබ්‍රෙව් 9:15-20) අදදින අපි ගිවිසුමේ එක් පක්ෂයක් වන ආලේප ලත් අය අතරේ සිටියත්, ඉන් ප්‍රයෝජන ලබන ‘වෙනත් බැටළුවන්’ අතරේ සිටියත්, සංකේතාත්මක පූජාසනයේ ගැඹුරු අර්ථයක් ඇති බව අපට පෙනී යනවා. ක්‍රිස්තුස්ගේ පූජාවට සම්බන්ධ දෙවිගේ කැමැත්ත එයින් සංකේතවත් කරනවා. (යොහන් 10:16; හෙබ්‍රෙව් 10:10) සංකේතාත්මක පූජාසනය ආත්මික දේවමාළිගාවේ කේන්ද්‍රයේ පිහිටා තිබෙනවා වගේ ක්‍රිස්තුස්ගේ මිදීමේ මිල යාගයත් නිර්මල නමස්කාරයේ කේන්ද්‍රස්ථානය ගන්නවා. එය අපේ පව්වලට සමාව ලබා දෙනවා මෙන්ම අනාගතය සඳහා අපේ සියලු බලාපොරොත්තුවලට එකම පදනම සපයනවා. (1 යොහන් 2:2) තවදුරටත් එම අලුත් ගිවිසුම එනම් ‘ක්‍රිස්තුස්ගේ ව්‍යවස්ථාව’ සමඟ ඈඳී ඇති නීතිවලට එකඟව ජීවත් වෙන්න අපි උත්සාහ කරනවා. (ගලාති 6:2) අපි එය කරන තාක් කල්, ජීවිතය සඳහා යෙහෝවාගේ සැපයුම්වලින් අප ප්‍රයෝජන ලබන්න යනවා.
8. (අ) දර්ශනයේ දේවමාළිගාවේ ඇතුල් මළුවේ නැත්තේ කුමක්ද? (ආ) දර්ශනයේ සිටින පූජකයන් තමුන්ව පවිත්‍ර කරගත්තේ කුමක් ආධාරයෙන්ද?
8 ඉන් එක් ප්‍රයෝජනයක් නම් යෙහෝවා ඉදිරියේ පවිත්‍ර ස්ථාවරයක් පවත්වාගැනීමයි. මණ්ඩපයේ සහ සාලමොන්ගේ දේවමාළිගාවේ මළුවේ කැපීපෙනෙන ලෙස තිබූ යමක් දර්ශනයෙන් දුටු දේවමාළිගාවේ ඇතුල් මළුවේ දකින්න නැහැ; ඒ තමයි පූජකයන්ට සේදීම පිණිස තිබූ පසු කාලයේදී ජලාධාරය ලෙස හැඳින්වූ මහා භාජනය. (නික්මයාම 30:18-21; 2 ලේකම් 4:2-6) එසකියෙල් දර්ශනයෙන් දුටු දේවමාළිගාවේ සිටින පූජකයන්ට පවිත්‍ර වීම සඳහා කුමක් භාවිත කළ හැකිද? ඇයි, ඇතුල් මළුව හරහා ගලාබසින ආශ්චර්යවත් දියපාර! ඔව්, පවිත්‍ර හෝ ශුද්ධ ස්ථාවරයක් භුක්ති විඳීමට ඉඩහැරීම මගින් යෙහෝවා ඔවුන්ට ආශීර්වාද කරනවා.
9. ආලේප ලත් අයටත් මහත් සමූහයේ අයටත් අදදින පවිත්‍ර ස්ථාවරයක් ගත හැකි වන්නේ කෙසේද?
9 ඒ හා සමානව අදදිනත්, යෙහෝවා ඉදිරියේ පවිත්‍ර ස්ථාවරයක් පවත්වාගැනීම මගින් ආලේප ලත් අය ආශීර්වාද ලබා තිබෙනවා. යෙහෝවා ඔවුන්ව ශුද්ධයයි සලකමින් ධර්මිෂ්ඨ බවට ප්‍රකාශ කරනවා. (රෝම 5:1, 2) පූජක නොවූ ගෝත්‍රවලින් පූර්වාදර්ශනය කළ “මහත් සමූහය” ගැන කියන්න පුළුවන් මොනවාද? ඔවුන් නමස්කාර කරන්නේ පිට මළුවේ ඉඳන්. එමෙන්ම දර්ශනයෙන් දුටු දේවමාළිගාවේ දියපාර එම කොටස හරහාත් දිවෙනවා. එසේ නම්, ආත්මික දේවමාළිගාවේ මළුවේ නමස්කාර කරද්දී මහත් සමූහය පිරිසිදු සුදු සළු පැළඳ සිටිනවා ප්‍රේරිත යොහන් දැකීම මොනතරම් උචිතද! (එළිදරව් 7:9-14) මේ පිරිහුණු ලෝකය ඔවුන්ට කොයි ආකාරයෙන් සැලකුවත්, ඔවුන් ක්‍රිස්තුස්ගේ මිදීමේ මිල යාගය මත ඇදහිල්ල පවත්වන තාක් කල් යෙහෝවා ඔවුන්ව පවිත්‍ර සහ කැළැල් රහිත අය ලෙස සලකන බවට ස්ථිර වෙන්න ඔවුන්ට පුළුවන්. ඔවුන් ඇදහිල්ල පවත්වන්නේ කෙසේද? මිදීමේ මිල යාගය මත පූර්ණ විශ්වාසය තබමින් යේසුස්ගේ අඩිපාර අනුගමනය කිරීමෙන්.—1 පේතෘස් 2:21.
10, 11. සංකේතාත්මක වතුරේ එක් වැදගත් අංගයක් වන්නේ කුමක්ද? එමෙන්ම, මෙය ගංගාවේ පුදුමාකාර ව්‍යාප්තියට සම්බන්ධ වන්නේ කෙසේද?
10 දැනටමත් සඳහන් කළ ආකාරයට, මේ සංකේතාත්මක වතුරේ තවත් වැදගත් අංගයක් තිබෙනවා, ඒ තමයි දැනුම. නැවත පිහිටුවන ලද ඉශ්රායෙලයේ පූජක තන්ත්රය තුළින් ලියවිල්ල ඉගැන්වීම මාර්ගයෙන් යෙහෝවා සෙනඟට ආශීර්වාද කළා. (එසකියෙල් 44:23) සන්සන්දනාත්මක ආකාරයකින්, යෙහෝවා ‘රාජකීය පූජක තන්ත්රය’ තුළින් ඔහුගේ සත්‍යයේ වචනය ගැන ඇති තරම් උපදෙස් දීම මගින් අදදින ඔහුගේ සෙනඟට ආශීර්වාද කර තිබෙනවා. (1 පේතෘස් 2:9) දෙවි යෙහෝවා ගැන, මනුෂ්‍යවර්ගයා සඳහා ඔහුගේ අරමුණ ගැන මෙන්ම විශේෂයෙන්ම යේසුස් ක්‍රිස්තුස් සහ මෙසියානු රාජ්‍යය ගැන දැනුම මේ අන්තිම දවස් තුළ නොනැවතී එන්න එන්නම ගලාවිත් තිබෙනවා. අප ලබමින් සිටින ආත්මික ප්රාණවත්කමේ ගැඹුරු තොරතුරු සම්භාරය මොනතරම් විශිෂ්ටද!—දානියෙල් 12:4.
11 දේවදූතයා මැන්න ගංගාව ක්‍රමානුකූලව ගැඹුරු වුණා වගේ යෙහෝවාගෙන් ගලන ජීවන-දායක ආශීර්වාදත්, අපේ ආශීර්වාද ලත් ආත්මික දේශයට ඇතුල් වන ජනයාගේ අවශ්‍යතා පිරිමැසීම සඳහා පුදුමාකාර ලෙස වැඩි වී තිබෙනවා. නැවත පිහිටුවීම පිළිබඳ තවත් අනාවැකියක් පුරෝකථනය කළේ, “කුඩා තැනැත්තා දහසක්ද සුළු තැනැත්තා බලවත් ජාතියක්ද වන්නේය. [යෙහෝවා වූ] මම ඒකේ නියම කලට ඒක ඉක්මන් කරන්නෙමි” කියායි. (යෙසායා 60:22) මේ වචන සැබෑ වී තිබෙනවා; මිලියන ගණනාවක් අපි සමඟ නිර්මල නමස්කාරයේ හවුල් වෙන්න එක්කාසු වී තිබෙනවා! තමන් වෙත හැරෙන සියලුමදෙනා සඳහා යෙහෝවා ඇති තරම් “වතුර” ලබා දී තිබෙනවා. (එළිදරව් 22:17) තම භූමික සංවිධානය සිය ගණන් භාෂාවලින් බයිබල් සහ බයිබල් ප්‍රකාශන ලොව වටා බෙදාහරින බවට ඔහු වගබලා ගන්නවා. එමෙන්ම, සියලුදෙනාටම සත්‍යතාවේ පළිඟු මෙන් පැහැදිලි වූ වතුර සැපයීම සඳහා ක්‍රිස්තියානි රැස්වීම් සහ සමුළු ලොව පුරාම සැලසුම් කර තිබෙනවා. එවැනි සැපයුම් ජනයාට බලපාන්නේ කොයි ආකාරයටද?
වතුර ජීවය ගෙනෙයි!
12. (අ) එසකියෙල්ගේ දර්ශනයේ ඇති ගස් ඒ ආකාරයෙන් ඵල දරන්නේ මන්ද? (ආ) අන්තිම දවස්වලදී, මේ ඵලබර ගස්වලින් නියෝජනය කරන්නේ කුමක්ද?
12 එසකියෙල්ගේ දර්ශනයේ ගංගාව ජීවය සහ සුවය ගෙනෙනවා. ගං ඉවුර දිගේ වැවෙන ගස් ගැන එසකියෙල් දැනගත් විට ඔහුට මෙසේ කිව්වා: “ඒවායේ කොළ වේලෙන්නේවත් ඒවායේ ඵල වරන්නේවත් [නැත] . . . ඒවායේ ඵල ආහාර පිණිසත් ඒවායේ කොළ සුවකිරීම පිණිසත් වන්නේය.” මේ ගස් මෙතරම් පුදුමාකාර අයුරින් ඵල දරන්න හේතුව කුමක්ද? “මක්නිසාද ඒවායේ වතුර ශුද්ධස්ථානයෙන්ම නික්ම එන්නේය.” (එසකියෙල් 47:12ආ) මේ සංකේතාත්මක ගස් යේසුස්ගේ මිදීමේ මිල යාගය මත පදනම්ව මනුෂ්‍යවර්ගයාව පරිපූර්ණත්වයට නැවත පිහිටුවීම සඳහා කළ දෙවිගේ සියලුම සැපයුම් පූර්වාදර්ශනය කරනවා. පොළොව මත මේ කාලයේදී ආලේප ලත් ඉතිරි කොටස ආත්මික පෝෂණය සහ සුවය සැපයීම සඳහා මූලිකත්වය ගන්නවා. එක්ලක්ෂ හතළිස්හාරදාස්දෙනාම ස්වර්ගීය විපාකය ලැබුවාට පසුව, ක්‍රිස්තුස්ගේ හවුල් පාලකයන් හැටියට ඔවුන්ගේ පූජක සේවයෙන් ලැබෙන ප්‍රයෝජන අනාගතයට විහිදෙන අතර, අවසානයේදී ආදම්ගේ පාපය සම්පූර්ණයෙන්ම පරාජය කරනු ලබනවා.—එළිදරව් 5:9, 10; 21:2-4.
13. අපේ කාලයේදී, ඉටු වෙමින් තිබෙන්නේ කිනම් සුව කිරීමක්ද?
13 දර්ශනයෙන් දුටු ගංගාව අප්‍රාණික මළ මුහුද වෙත දිවෙන අතර, එය ගලායන සෑම තැනක්ම සුවය ලබනවා. මේ මුහුද සංකේතවත් කරන්නේ ආත්මිකව මළ වාතාවරණයක්. එහෙත්, “මේ ගංගා පැමිණෙන සෑමතැනම රාශි ගණන් පණ ඇති සියලුම සත්වයෝ [ජීවත් වෙනවා].” (එසකියෙල් 47:9) ඒ හා සමානව අන්තිම කාලයේදී, ජීවන වතුර මතු වූ ඕනෑම තැනකින් මනුෂ්‍යයන් ආත්මික ජීවිතයට පැමිණ තිබෙනවා. එසේ මුලින්ම යළි ජීවයට පැමිණි අය වුණේ අලේප ලත් ඉතිරි කොටසයි; ඒ 1919දීයි. ඔවුන් මරණය බඳු අක්‍රියාශීලී තත්වයක සිට ආත්මික ජීවිතයට යළි පණගැන්වුණා. (එසකියෙල් 37:1-14; එළිදරව් 11:3, 7-12) එතැන් සිට ඒ පෝෂ්‍යදායි වතුර ආත්මිකව මියගිය අනිත් අය වෙතට ළඟා වී ඇති අතර, ඔවුන් ප්‍රාණවත් වී යෙහෝවාට ප්‍රේම කරන මෙන්ම සේවය කරන නොකඩවා වර්ධනය වන වෙනත් බැටළුවන්ගේ මහත් සමූහයක් සාදා තිබෙනවා. ඉතා ඉක්මනින් මේ සැපයුම නැවත නැඟිටින බොහෝදෙනෙක් වෙත විහිදෙන්න යනවා.
14. මළ මුහුදේ වෙරළ තීරයේ සමෘද්ධිමත් වන ධීවර කර්මාන්තයෙන් අදදින නිරූපණය කරන්නේ කුමක්ද?
14 ආත්මික ප්රාණවත්කමේ ප්‍රතිඵලය වන්නේ ඵලදායකභාවයයි. කලින් අප්‍රාණිකව තිබූ මුහුදු තීරයේ ධීවර කර්මාන්ත සමෘද්ධිමත් වීමෙන් මෙය නිරූපණය වෙනවා. තම අනුගාමිකයන්ට යේසුස් මෙසේ කිව්වා: “මම නුඹලා මනුෂ්‍යයන් අල්ලන්නන් කරන්නෙමි.” (මතෙව් 4:19) අන්තිම දවස්වලදී, මසුන් ඇල්ලීමේ වැඩය ආරම්භ වුණේ, ආලේප ලත් ඉතිරි අයගේ එකතු කිරීමත් සමඟ වූ අතර, එය එතැනින් අවසන් වුණේ නැහැ. යෙහෝවාගේ ආත්මික මාළිගාවෙන් නික්මෙන ජීවන-දායක වතුරට අයත් නිවැරදි දැනුම, සියලුම ජාතීන්ගේ ජනයාට බලපා තිබෙනවා. ගංගාව ගලන කොතැනක නමුත් ප්‍රතිඵලය වන්නේ ආත්මික ජීවනයයි.
15. ජීවනය සඳහා වන දෙවිගේ සැපයුම් සෑම කෙනෙක්ම පිළිගන්නේ නැති බව පෙන්වන්නේ කුමක්ද? එමෙන්ම එවැනි අයගේ අවසාන ඉරණම කුමක්ද?
15 ඇත්තෙන්ම, සෑම කෙනෙක්ම ජීවනයේ පණිවිඩයට දැන් හොඳ ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. එමෙන්ම, ක්‍රිස්තුස්ගේ දහස් අවුරුදු කාලය තුළ නැවත නැඟිටින හැම කෙනෙක්ම එසේ කරන්න යන්නේත් නැහැ. (යෙසායා 65:20; එළිදරව් 21:8) මුහුදේ සමහර කොටස් සුවය ලබා නැති බව දේවදූතයා ප්‍රකාශ කරනවා. මෙම අප්‍රාණික වගුරුබිම්, ‘ලුණු සඳහා’ තබා තිබෙනවා. (එසකියෙල් 47:11) අපේ දවසේ මිනිසුන් සම්බන්ධයෙන් කුමක් කිව හැකිද? යෙහෝවාගේ ජීවන-දායක වතුර ඉදිරිපත් කළත් සියලුදෙනාම එය පිළිගන්නේ නැහැ. (යෙසායා 6:10) අර්මගෙදොනයේදී, ආත්මිකව අප්‍රාණික සහ රෝගී තත්වයක සිටින්න විහින්ම තෝරාගත් අයව ලුණු සඳහා තබනු ලබන අතර, එයින් අදහස් කරන්නේ, සදාකාල විනාශයයි. (එළිදරව් 19:11-21) කොහොමවුණත්, විශ්වාසවන්තව මේ වතුර පානය කර ඇති අයට ගැළවීම පිළිබඳව බලාපොරොත්තු තබාගන්න පුළුවන් වන අතර, මේ අනාවැකියේ අවසාන ඉටුවීම දැකගන්න පුළුවන් වෙයි.
පාරාදීසය හරහා ගඟ ගලා බසී
16. එසකියෙල්ගේ දේවමාළිගා දර්ශනයේ අවසාන ඉටුවීම සිදු වන්නේ කවදාද? කෙසේද?
16 නැවත පිහිටුවීම පිළිබඳ අනිත් අනාවැකි වගේම, එසකියෙල්ගේ දේවමාළිගාව පිළිබඳ දර්ශනයද, දහස් අවුරුදු පාලනය තුළදී එහි අවසාන ඉටුවීම දකින්න යනවා. එවිට පූජක පංතිය තවදුරටත් මේ පොළොවේ සිටින්න යන්නේ නැහැ. ‘ඔව්හු දෙවිගෙත් ක්‍රිස්තුස්ගෙත් පූජකයෝව, ඔහු හා සමඟ අවුරුදු දහසක් [ස්වර්ගයේ සිට] රජකම් කරන්නෝය.’ (එළිදරව් 20:6) මේ ස්වර්ගීය පූජකයන් ක්‍රිස්තුස්ගේ මිදීමේ මිල යාගයේ පූර්ණ ප්‍රයෝජන ක්‍රියාත්මක කිරීම සඳහා ඔහු සමඟ හවුල් වෙන්න යනවා. මෙසේ, ධර්මිෂ්ඨ මනුෂ්‍යවර්ගයා ගැළවෙන අතර, පරිපූර්ණත්වයට නැවත පිහිටුවන්න යනවා.—යොහන් 3:17.
17, 18. (අ) එළිදරව් 22:1, 2හි ජීවන-දායක ගංගාවක් ගැන විස්තර කර තිබෙන්නේ කෙසේද? එමෙන්ම, එම දර්ශනය ඉටුවීමේ ප්‍රධානතම කාලය කුමක්ද? (ආ) පාරාදීසයේදී, ජීවන වතුර ගංගාවට මහත් පුළුල් වීමේ කාලයක් තිබෙන්න යන්නේ මන්ද?
17 වෙනත් ආකාරයකින් කිවහොත්, එසකියෙල් දුටු ගංගාව ජීවිතයේ ගුණදායකම වතුර ඇතුව ගලා බසින්න යනවා. එළිදරව් 22:1, 2 වාර්තා කර ඇති අනාවැකියේ මුල් ඉටුවීම අදාළ වන ප්‍රධානතම කාලය මෙයයි: “තවද [දෙවිගේද බැටළුපැටවාගේද] සිංහාසනයෙන් නික්ම එන්නාවූ පළිඟු මෙන් දීප්තිමත්වූ ජීවනදායක වතුර ඇති ගංගාවක්, එහි වීථිය මැද ඔහු මට පෙන්විය. ගඟේ මේ පැත්තේද ඒ පැත්තේද දොළොස් ආකාරයක ඵල දරන, මාස්පතා ඵල දෙන, ජීවන-වෘක්ෂය තිබුණේය. ඒ වෘක්ෂයේ කොළ ජාතීන්ගේ සුවවීම පිණිසය.”
18 දහස් අවුරුද්ද තුළ සියලුම අසනීප, ඒ කියන්නේ ශාරීරික, මානසික සහ චිත්තවේගීය අසනීප සියල්ලක්ම සුව වෙන්න යනවා. සංකේතාත්මක ගස් මාර්ගයෙන් සිදු වන “ජාතීන්ගේ සුවවීම” මෙය හොඳින් සංකේතවත් කරනවා. ක්‍රිස්තුස් සහ 1,44,000දෙනා මගින් ක්‍රියාත්මක කරනු ලබන සැපයුම්වලට ස්තුතිවන්ත වෙන්න ‘තමා ලෙඩින් කියා කිසි වැසියෙක් කියන්න යන්නේ නැහැ.’ (යෙසායා 33:24) ගංගාව මහත් පුළුල් වීමේ අදියරයක් කරා ගමන් කරන්න යනවා. නැවත නැඟිටින මිලියන, සමහරවිට බිලියන ගණන් මනුෂ්‍යවර්ගයා විසින් ජීවනයේ පිරිසිදු වතුර පානය කරන්න නම්, ගංගාව තව තවත් පළල් මෙන්ම ගැඹුරු විය යුතුයි. දර්ශනයෙන් දුටු ගංගාව, මළ මුහුද සුව කළ අතර, එහි වතුර ගැලූ ඕනෑම තැනකට ජීවය පැමුණුණා. ඉතින්, පාරාදීසයේදී ස්ත්‍රී පුරුෂයන් පූර්ණ අර්ථයෙන් ජීවනයට පැමිණෙන අතර, මිදීමේ මිලයෙන් ඔවුන් වෙත විහිදුවා ඇති ප්‍රයෝජන කෙරෙහි ඔවුන් ඇදහිල්ල පවත්වනවා නම් ආදම්ගෙන් උරුම කරගත් පාපයෙන් සුවය ලබන්න යනවා. නැවත නැඟිටුවනු ලබන අයට ප්‍රයෝජන ලබාගත හැකි වන අයුරින්, ඒ දවස්වලදී, අමතර අවබෝධය සපයන “පොත්” දිගහරින බව එළිදරව් 20:12 පුරෝකථනය කරනවා. කනගාටුදායක ලෙස, පාරාදීසයේදී පවා සමහරු සුවවීම ප්‍රතික්ෂේප කරන්න යනවා. සදාකාලික විනාශයේ ‘ලුණු සඳහා’ දෙනු ලබන කැරලිකාරයන් වන්නේ මොවුනුයි.—එළිදරව් 20:15.
19. (අ) දේශයේ බිම් කොටස් බෙදීම පාරාදීසයේදී ඉටු වන්නේ කෙසේද? (ආ) නුවර සංකේතවත් කරන්නේ පාරාදීසයේ කිනම් අංගයද? (ඇ) නුවර දේවමාළිගාවෙන් යම් දුරකින් පිහිටා තිබීමේ වැදගත්කම කුමක්ද?
19 එම කාලයේදී, එසකියෙල්ගේ දර්ශනයේ දේශය බෙදීමද එහි අවසාන ඉටුවීම දකින්න යනවා. දේශය නිවැරදි ලෙස බෙදා තිබෙන බව එසකියෙල් දැක්කා; ඒ හා සමානව, පාරාදීසයේදී තමාට ස්ථානයක්, ඒ කියන්නේ උරුමයක් තියෙන්න යන බවට සෑම විශ්වාසවන්ත ක්‍රිස්තියානියෙකුටම ස්ථිර වන්න පුළුවන්. ජීවත් වීමට තමාටම ගෙයක් තිබීමේ සහ රැකබලා ගැනීමේ ආශාව වඩා සංවිධානාත්මක ආකාරයකින් ඉටු වෙන්න යනවා. (යෙසායා 65:21; 1 කොරින්ති 14:33) අලුත් පොළොව සඳහා යෙහෝවා අරමුණු කර තිබෙන පරිපාලන විධිවිධානය, එසකියෙල් දුටු නුවර මගින් ඉතා උචිත ලෙස පූර්වාදර්ශනය කරනවා. ආලේප ලත් පූජක පංතිය මනුෂ්‍යවර්ගයා අතරේ තවදුරටත් ශාරීරික ආකාරයෙන් සිටින්න යන්නේ නැහැ. මේ නුවර තිබෙන්නේ, දේවමාළිගාවෙන් යම් දුරකින් පිහිටි ‘කෙලෙසුණු’ දේශයේ බව දර්ශනය විස්තර කරන්නේ එනිසයි. (එසකියෙල් 48:15) එක්ලක්ෂ හතළිස්හාරදහස්දෙනා ක්‍රිස්තුස් සමඟ ස්වර්ගයේ සිට පාලනය කළාට, රජුට පොළොවෙහි නියෝජිතයන් නොසිටිනවා නෙවෙයි. අධිපති පංතියේ ප්‍රේමනීය මඟ පෙන්වීමෙන් සහ මෙහෙයවීමෙන් ඔහුගේ යටත්වැසියන් මහත් සේ ප්‍රයෝජන ලබන්න යනවා. කෙසේවෙතත්, ආණ්ඩුවේ නියම සිංහාසනය තිබෙන්න යන්නේ පොළොවේ නොව, ස්වර්ගයේයි. අධිපති පංතිය ඇතුළුව, පොළොව මත සිටින සියලුදෙනාම මෙසියානු රාජ්‍යයට යටත් වෙන්න යනවා.—දානියෙල් 2:44, 45; 7:14, 18, 22.
20, 21. (අ) නුවරෙහි නාමය උචිත වන්නේ මන්ද? (ආ) එසකියෙල්ගේ දර්ශනය තේරුම්ගෙන ඇති අප, අපෙන්ම ඇසිය යුතු ප්‍රශ්න මොනවාද?
20 එසකියෙල්ගේ අනාවැකියේ අවසාන වචන සලකා බලන්න: “ඒ දවසේ පටන් නුවර නාමය යෙහෝවා-ෂාමා [එනම් යෙහෝවා එහිය] වන්නේය.” (එසකියෙල් 48:35) මේ නුවර තිබෙන්න යන්නේ, මිනිසුන්ට බලය දෙන්නවත්, අනිසි බලපෑම් කරන්නවත්, කිසිම මනුෂ්‍යයෙකුගේ කැමැත්තට අනුව දේවල් කරන්නවත් නෙවෙයි. ඒක යෙහෝවාගේ මනස සහ දේවල් කිරීමේ තම ප්‍රේමනීය සහ සාධාරණ ආකාරය නැවත නැවතත් පිළිබිඹු කරන්නාවූ යෙහෝවාගේ නුවරයි. (යාකොබ් 3:17) කිසිදාක අවසන් නොවන සදාකාල අනාගතයක් සඳහා මනුෂ්‍යවර්ගයාගේ ‘නව ලෝක’ සමාජ ව්‍යූහයට යෙහෝවා ආශීර්වාද කරන බවට මෙය අපට හද උණුසුම් කරන සහතිකයක් ලබා දෙනවා.—2 පේතෘස් 3:13.
21 ඉදිරියේ තිබෙන බලාපොරොත්තුව ගැන අපි සතුටු වෙන්නේ නැද්ද? අපි අපෙන්ම උචිත ලෙස මෙසේ අසාගන්න එක හොඳයි: ‘එසකියෙල්ගේ දර්ශනයේ පුදුමාකාර ආශීර්වාද දිගහැරෙද්දී මම ප්‍රතිචාරය දක්වන්නේ කොහොමද? ආලේප ලත් ඉතිරි කොටස සහ අධිපති පංතියේ අනාගත සාමාජිකයන් ඇතුළු ප්‍රේමනීය වැඩිමහල්ලන් කරමින් සිටින වැඩයට මම විශ්වාසවන්තව උර දෙනවාද? නිර්මල නමස්කාරය මම මගේ ජීවිතයේ කේන්ද්‍රය කරගෙන තිබෙනවාද? අදදින, ඕනෑ තරම් ගලාබසින ජීවනයේ වතුරෙන් මම පූර්ණ ප්‍රයෝජන ගන්නවාද?’ අපි සියලුදෙනාම නොකඩවාම එසේ කරමින්, යෙහෝවාගේ සැපයුම් තුළ සදාකාලයෙන් සදාකාලයටම ප්‍රීති වෙමු!
[පාදසටහන්වල]
a මේ ගංගා නිම්නය, යෙරුසලමට නිරිත දිගින් විහිදී ගොස්, මළ මුහුදට ඇද වැටුණු කිද්‍රොන් නිම්නයට යොමු දක්වනවා විය හැකියි. විශේෂයෙන්ම, එහි පහත් ජල ඕඩය අවුරුද්ද පුරාම ජල රහිතව වියළිව පවතිනවා.
b වර්ෂ 1881 මැයි 1 සහ 1981 ජූනි 1 මුරටැඹ (ඉංග්‍රීසියෙන්) කලාප බලන්න.
ඔබ උත්තර දෙන්නේ කෙසේද?
◻ දේවමාළිගාවෙන් ගලන වතුරෙන් සංකේතවත් වන්නේ කුමක්ද?
◻ සංකේතාත්මක ගඟ මාර්ගයෙන් යෙහෝවා කර ඇති සුව කිරීම කුමක්ද? එමෙන්ම, ගඟ ප්‍රමාණයෙන් වැඩි වූයේ මන්ද?
◻ ගං ඉවුරු දිගේ ඇති ගස්වලින් සංකේතවත් කරන්නේ කුමක්ද?
◻ දහස් අවුරුදු පාලනය තුළදී, නුවරෙන් සංකේතවත් කරන්න යන්නේ කුමක්ද? එමෙන්ම නුවරේ නාමය උචිත වන්නේ මන්ද?
[23වන පිටුවේ පින්තූර]
ජීවනයේ ගංගාව ගැළවීම සඳහා දෙවිගේ සැපයුම් නියෝජනය කරනවා