පරිච්ඡේදය 43
කාන්තියෙන් බැබළෙන නුවර
දර්ශනය 16—එළිදරව් 21:9–22:5
සිදු වන දේ: නව යෙරුසලම ගැන විස්තරයක්
ඉටු වන කාලය: මහත් පීඩාවෙන් සහ සාතන්ව අගාධයට හෙළීමෙන් පසුව
1, 2. (අ) යොහන්ට නව යෙරුසලම පෙන්නන්න දේවදූතයා ඔහුව ගෙනියන්නේ කොහේටද? අප මෙහිදී දකින වෙනස කුමක්ද? (ආ) මෙය එළිදරව් පොතේ කැපීපෙනෙනම අවස්ථාව වෙන්නේ ඇයි?
මීට කලින් යොහන්ට මහා බැබිලෝනිය පෙන්නන්න දේවදූතයෙක් ඔහුව පාළුකරයකට ගෙන ගියා. දැන් ඒ දේවදූත කණ්ඩායමට අයත් තවත් දේවදූතයෙක් ඔහුව ගෙන යන්නේ උස් කන්දකටයි. ඔහු දකින දේ පාළුකරයේදී දුටු පිළිකුල්සහගත ගණිකාවකට සමාන වූ මහා බැබිලෝනිය නම් නුවරට වඩා හාත්පසින්ම වෙනස්. ඒ නව යෙරුසලමයි. එය ස්වර්ගයෙන් බැස එන ඉතා පිරිසිදු, නිකැළැල් හා ශුද්ධ නුවරක් ලෙසයි ඔහු දකින්නේ.—එළිදරව් 17:1, 5.
2 පුරාණ යෙරුසලම් නුවරටවත් මෙතරම් අලංකාරයක් තිබුණේ නැහැ. යොහන් පවසන්නේ මෙසේයි. “තවද, අන්තිම පීඩා සතෙන් පිරුණු හා බඳුන් සත ඇතිව සිටි දේවදූතයන් සත්දෙනාගෙන් එක් කෙනෙක් ඇවිත් මා සමඟ කතා කොට, ‘මෙතැනට එන්න. බැටළු පැටවාගේ භාර්යාව වන මනාලිය මම ඔබට පෙන්වන්නෙමි’ යි කීවේය. එවිට ඔහු ආත්මය මාර්ගයෙන් මහත්, උස් කන්දකට මාව ගෙන ගොස්, ශුද්ධ නුවර වන යෙරුසලම දෙවි වෙතින් ස්වර්ගයෙන් බැස එනවා මට පෙන්නුවේය. ඊට දෙවිගේ තේජසද තිබිණ.” (එළිදරව් 21:9-11අ) මෙම උස් කන්දේ සිට යොහන්ට ඒ අලංකාරවත් නුවරේ සෑම අංගයක්ම පැහැදිලිව පෙනෙනවා. මිනිසා පාපයට හා මරණයට ගොදුරු වූ දා සිටම ඇදහිලිවන්ත අය ඒ නුවරේ පැමිණීම ගැන ආශාවෙන් බලා සිටියා. දැන් එය පැමිණිලා! එමනිසා එය එළිදරව් පොතේ කැපීපෙනෙනම අවස්ථාව කියා පැවසිය හැකියි. (රෝම 8:19; 1 කොරින්ති 15:22, 23; හෙබ්‍රෙව් 11:39, 40) එම නුවර සෑදී තිබෙන්නේ දෙවිට අවසානය දක්වා විශ්වාසවන්තව සිටි 1,44,000දෙනාගෙනුයි. එය ශුද්ධකමින් බැබළෙන අතර එතුළින් පිළිබිඹු වෙන්නේ යෙහෝවා දෙවිගේ තේජසයි.
3. නව යෙරුසලමේ අලංකාරය ගැන යොහන් විස්තර කරන්නේ කෙසේද?
3 නව යෙරුසලමට තිබෙන්නේ ඉතා පුදුමසහගත අලංකාරයක්. “එහි දීප්තිය ඉතා අනර්ඝ ගලක් මෙන්, එනම් ඉතා පැහැදිලි පළිඟු මෙන් බැබළෙන ජැස්පර් ගලක් හා සමානය. එයට විශාල, උස් පවුරක්ද දොරටු දොළොසක්ද තිබිණ. ඒ දොරටු අසල දේවදූතයෝ දොළොස්දෙනෙක්ද සිටියහ. නම්ද එහි ලියා තිබිණ. ඒ, ඊශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගෝත්‍ර දොළොසේ නම්ය. නැඟෙනහිරෙන් දොරටු තුනක්ද, උතුරෙන් දොරටු තුනක්ද, දකුණෙන් දොරටු තුනක්ද, බස්නාහිරෙන් දොරටු තුනක්ද තිබිණ. ඒ නුවරේ පවුරට අත්තිවාරම් ගල් දොළොසක්ද තිබිණ. ඒවා මත, බැටළු පැටවාගේ ප්‍රේරිතයන් දොළොස්දෙනාගේ නම් දොළොස තිබිණ.” (එළිදරව් 21:11ආ-14) යොහන්ගේ අවධානයට මුලින්ම ලක් වෙන්නේ මෙම නුවරේ බැබළෙන දීප්තියයි. නව යෙරුසලම යේසුස්ගේ මනාලියයි. එමනිසා ඇයට දීප්තිමත් මනාලියකගේ පෙනුම තිබීම ඉතා උචිතයි. ඇය “අහසෙහි ආලෝකවල පියාණන්” වන යෙහෝවා දෙවිගේ නිර්මාණයක් වන නිසාත් ඇගේ කාන්තිය මෙතෙකැයි කියා කිව නොහැකියි.—යාකොබ් 1:17.
4. නව යෙරුසලම පුරාණ ඊශ්‍රායෙල් ජාතිය නොවන බව අප දන්නේ කෙසේද?
4 මෙම නුවරේ දොරටු දොළොස මත ඊශ්‍රායෙල් ගෝත්‍ර දොළොසේ නම් ලියා තිබෙනවා. එමනිසා මෙම සංකේතවත් නුවර සෑදී තිබෙන්නේ “ඊශ්‍රායෙල් පුත්‍රයන්ගේ සෑම ගෝත්‍රයකින්ම” මුද්‍රා කර ඇති 1,44,000දෙනාගෙනුයි. (එළිදරව් 7:4-8) ඔහු දකින්නේ යාකොබ්ගේ පුත්‍රයන් 12දෙනා මත ගොඩනැඟුණු පුරාණ ඊශ්‍රායෙල් ජාතිය නම් නෙවෙයි. මන්ද අත්තිවාරම් ගල් දොළොස මත බැටළු පැටවාගේ ප්‍රේරිතයන් දොළොස්දෙනාගේ නම් ලියා තිබෙන නිසයි. මෙය “ප්‍රේරිතයන් සහ අනාගතවක්තෘවරුන්” මත ගොඩනඟා තිබෙන දෙවිගේ ඊශ්රායෙලයයි.—එෆීස 2:20.
5. නව යෙරුසලමට ‘විශාල, උස් පවුරක්’ තිබීමෙන් හා එහි දොරටු අසල දේවදූතයන් සිටීමෙන් අදහස් කරන්නේ කුමක්ද?
5 මෙම සංකේතවත් නුවර විශාල පවුරකින් වට වී තිබෙනවා. පුරාණ කාලවලදී නුවරක් වටා පවුරක් සාදනු ලැබුවේ එය සතුරන්ගෙන් ආරක්ෂා කිරීම සඳහායි. නව යෙරුසලමට ‘විශාල, උස් පවුරක්’ තිබීමෙන් අදහස් වෙන්නේ සෑම සතුරු ප්රහාරයකින්ම එය සුරක්ෂිත බවයි. ඒ කියන්නේ කිසිම අධර්මිෂ්ඨ, අපවිත්‍ර හෝ වංක කෙනෙකුට ඒ නුවරට ඇතුල් වෙන්න බැහැ. (එළිදරව් 21:27) නමුත් මෙම අලංකාර නුවරට ඇතුල් වෙන අයට දැනෙන්නේ ඔවුන් පාරාදීසයකට ඇතුල් වෙනවා වගෙයි. (එළිදරව් 2:7) ආදම්ව ඒදන් උයනෙන් පිටමං කළායින් පසු අපවිත්‍ර මිනිසුන්ගෙන් එය ආරක්ෂා කිරීමට කෙරුබ්වරුන්ව පත් කරනු ලැබූ ආකාරය ඔබට මතක ඇති. (උත්පත්ති 3:24) ඒ හා සමානව නව යෙරුසලම නමැති මෙම ශුද්ධ නුවරේ ආරක්ෂාව සඳහා දේවදූතයන්ව රඳවා තිබෙනවා. මේ අවසාන කාලයේදීත් නව යෙරුසලමට ඇතුල් වෙන්න සිටින අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව මහා බැබිලෝනියේ අපවිත්‍රකම්වලින් ආරක්ෂා කිරීමට දේවදූතයන් කටයුතු කර තිබෙනවා.—මතෙව් 13:41.
නුවර මැනීම
6. (අ) නුවර මනින ආකාරය ගැන යොහන් විස්තර කරන්නේ කෙසේද? මෙම මැනීමෙන් අදහස් වෙන්නේ කුමක්ද? (ආ) භාවිත කරන මිම්ම ‘මනුෂ්‍ය මිම්මකට හා දේවදූතයෙකුගේ මිම්මකට’ සමාන බව කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? (පාදසටහන බලන්න.)
6 යොහන් ඊළඟට පවසන්නේ මෙසේයි. “මා සමඟ කතා කරමින් සිටි තැනැත්තා, ඒ නුවරද එහි දොරටුද එහි පවුරද මනින පිණිස මනින කෝදුවක් ලෙස රන් බට දණ්ඩක් අල්ලාගෙන සිටියේය. ඒ නුවර සමචතුරස්රයකි. එහි දිගත් පළලත් එක සමානය. ඔහු බට දණ්ඩෙන් නුවර මැන්නේය. එය පර්ලොං දොළොස්දහසක්ය; එහි දිගද පළලද උසද සමානය. ඔහු එහි පවුරද මැන්නේය. මනුෂ්‍ය මිම්මෙන් ගත්තත්, දේවදූතයෙකුගේ මිම්මෙන් ගත්තත්, එය රියන් එකසිය හතළිස්හතරක්ය.” (එළිදරව් 21:15-17) මීට කලින් දර්ශනයකදී දෙවිගේ මාලිගාව මැන්න අවස්ථාවේදී එයින් සනාථ වුණේ දෙවි ඒ සම්බන්ධයෙන් අරමුණු කර ඇති දේ අනිවාර්යයෙන්ම ඉටු වන බවයි. (එළිදරව් 11:1) මෙම දර්ශනයේදීත් දේවදූතයෙක් විසින් නව යෙරුසලම මැනීමෙන් ඒ හා සමාන දෙයක් අදහස් කරනවා. එනම් මෙම තේජවත් නුවර සම්බන්ධයෙන් යෙහෝවා දෙවි අරමුණු කර ඇති සෑම දෙයක්ම නොවෙනස්ව පවතින බවයි.a
7. මෙම නුවරේ දිග, පළල හා උසෙහි ඇති විශේෂත්වය කුමක්ද?
7 මෙම නුවර ඇත්තෙන්ම සුවිශේෂී නුවරක්. මෙම නුවර දිගින්, පළලින් සහ උසින් එක හා සමානයි. එහි වට ප්‍රමාණය පර්ලොං 12,000යි (කිලෝමීටර් 2,220යි). එය වටා තිබෙන පවුර උසින් රියන් 144ක් නැත්නම් මීටර් 64යි. මෙයින් පැහැදිලි වෙන්නේ එය සැබෑ නුවරක් නොවන බවයි. ඒ වගේ නුවරක් තැනුවොත් වර්තමාන ඊශ්‍රායෙල් දේශය මෙන් 14 ගුණයක භූමි ප්‍රදේශයක් අවශ්‍ය වන අතර එය උසින් කිලෝමීටර් 560ක් තරම් අහස උසටම යනවා. මෙහිදී අපට මතක් වෙන්නේ එළිදරව් පොතේ විස්තර සංකේතවලින් දුන් බවයි. එසේනම් අපට මෙම මිනුම්වලින් ස්වර්ගයේ පිහිටි නව යෙරුසලම ගැන කියාපාන්නේ කුමක්ද?
8. (අ) නුවරට රියන් 144ක් උස පවුරක් තිබීමෙන් අදහස් වෙන්නේ කුමක්ද? (ආ) නුවරේ වට ප්‍රමාණය පර්ලොං 12,000ක් වීමෙන් අදහස් වෙන්නේ කුමක්ද? (ඇ) නුවරට සම ඝන චතුරස්‍රයක හැඩයක් තිබීමෙන් අදහස් කරන්නේ කුමක්ද?
8 මෙම නුවර වටා රියන් 144ක් උස පවුරක් තිබීමෙන් අපට මතක් වෙන්නේ මෙම නුවර දෙවිගේ අභිෂේක ලත් පුත්‍රයන් 1,44,000දෙනාගෙන් සෑදී ඇති බවයි. දිගින්ද පළලින්ද උසින්ද එක සමාන වූ මෙම නුවරේ වට ප්‍රමාණය පර්ලොං 12,000ක් වෙනවා. මෙම සංඛ්‍යාවේ අංක 12 දක්නට ලැබීමෙන් අපට මතක් වෙන්නේ බයිබල් අනාවැකිවල සංවිධානාත්මක සැලැස්මක් දැක්වීමට 12 භාවිත කරන බවයි. මෙයින් අපට පැහැදිලි වෙන්නේ නව යෙරුසලම යෙහෝවා දෙවිගේ සදාකාලීන අරමුණ ඉටු කිරීමට නිර්මාණය කර ඇති අතිශ්‍රේෂ්ඨ සංවිධානාත්මක සැලැස්මක් වන බවයි. යෙහෝවා දෙවිගේ රාජ්‍යය සෑදී තිබෙන්නේ නව යෙරුසලමෙන් සහ රජ වන යේසුස් ක්රිස්තුස්ගෙනුයි. ඒ නුවරේ හැඩයත් විශේෂයි. එය සම ඝන චතුරස්‍රයක්. සලමොන් තැනූ දේවමාලිගාවේ යෙහෝවා දෙවි සිටින බව සංකේතවත් කිරීමට තැනූ අතිශුද්ධ ස්ථානය සම ඝන චතුරස්‍රයක හැඩයක් ගත්තා. (1 රාජාවලිය 6:19, 20) එසේනම් යෙහෝවා දෙවිගේ තේජසින් ආලෝකවත් වන නව යෙරුසලමේ හැඩයත් සම ඝන චතුරස්‍රයක් ලෙස දැක්වීම ඉතා සුදුසුයි. එහි දිග, පළල සහ උස එක හා සමානයි. කිසිම දෝෂයක් හෝ අඩු පාඩුවක් එතුළ දකින්න නැහැ.—එළිදරව් 21:22.
අනර්ඝ ගොඩනැඟිලි ද්‍රව්‍ය
9. නුවර තැනීමට යොදා ඇති ද්‍රව්‍ය යොහන් විස්තර කරන්නේ කෙසේද?
9 යොහන් ඊළඟට නුවර ගැන විස්තර කරන්නේ මෙයයි. “එහි පවුර ජැස්පර්වලින් ගොඩනඟා තිබිණ. පවිත්‍ර රනින් සාදා තිබුණු ඒ නුවර, පැහැදිලි වීදුරු මෙන් විය. ඒ නුවර පවුරේ අත්තිවාරම් සියලු ආකාර අනර්ඝ ගල්වලින් අලංකාර කර තිබිණ: පළමුවන අත්තිවාරම ජැස්පර්ය, දෙවන එක සෆායර්ය, තුන්වන එක කැල්සිඩ්නිය, හතරවන එක මරකතය, පස්වන එක සාඩොනික්ස්ය, හයවන එක සාඩියස්ය, හත්වන එක ක්රිසොලයිට්ය, අටවන එක බෙරිල්ය, නවවන එක පඩියන්ය, දහවන එක ක්රිසොප්රේස්ය, එකළොස්වන එක හයසින්ත්ය, දොළොස්වන එක අමතේස්තය. දොරටු දොළොස මුතු දොළොසකි. සෑම දොරටුවක්ම මුතු ඇටයකින් සාදා තිබිණ. ඒ නුවරෙහි ප්‍රධාන වීදිය, විනිවිද පෙනෙන වීදුරු මෙන් වූ පවිත්‍ර රනින් සදා තිබිණ.”—එළිදරව් 21:18-21.
10. මෙම නුවර තැනීමට ජැස්පර්, රන් සහ “සියලු ආකාර අනර්ඝ ගල්” යොදා තිබීමෙන් අදහස් කරන්නේ කුමක්ද?
10 මෙම නුවර තනා තිබෙන්නේ ඇත්තටම අනර්ඝ වූ ද්‍රව්‍යවලිනුයි. මැටි හෝ ගල් වැනි සාමාන්‍ය ද්‍රව්‍ය වෙනුවට අප දකින්නේ එය සෑදීමට ජැස්පර්, පවිත්‍ර රන් සහ ‘සියලු ආකාර අනර්ඝ ගල්’ යොදා ඇති බවයි. මෙම අනර්ඝ දේවල් භාවිත කර තිබෙන්නේ ස්වර්ගයේ පිහිටි දෙයක් කොතරම් ශ්‍රේෂ්ඨද කියා අපේ සිතේ මවාගැනීමටයි. ශ්‍රේෂ්ඨත්වයෙන් ඉන් එහාට දෙයක් නැහැ. පුරාණයේ තිබූ ගිවිසුම් පෙට්ටියද පවිත්‍ර රන්වලින් ආවරණය කර තිබුණා. බයිබලයේ රන් භාවිත කර තිබෙන්නේ අනර්ඝ වූ ගුණයෙන් අනූන වූ දේවල් විස්තර කිරීමටයි. (නික්මයාම 25:11; හිතෝපදේශ 25:11; යෙසායා 60:6, 17) එහි ප්‍රධාන වීදිය ඇතුළුව නව යෙරුසලම සම්පූර්ණයෙන්ම “වීදුරු මෙන් වූ පවිත්‍ර රනින්” සාදා තිබෙනවා. වචනවලින් කියාගන්නවත් බැරි තරම් වූ එහි අලංකාරය හා අනර්ඝත්වය එයින් කියාපානවා.
11. අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගෙන් සෑදී ඇති නව යෙරුසලමට මෙතරම් පවිත්රභාවයක් හා තේජසක් ලැබී ඇත්තේ කෙසේද?
11 එයාකාරයේ පවිත්‍ර රන් උණු කර සාදාගන්න කිසිම රන් කරුවෙකුට බැහැ. නමුත් යෙහෝවා දෙවිට එසේ කළ හැකියි. “රිදී උණු කරන්නෙක්ද පවිත්‍ර කරන්නෙක්ද මෙන් හිඳගෙන” සිටින දෙවි, අභිෂේක ලත් අයව “රන් රිදී මෙන්” පවිත්‍ර කර ඔවුන්ගෙන් සියලුම බොර ඉවත් කරනවා. නව යෙරුසලමට අයත් වෙන්නේ එලෙස පවිත්‍ර කර ඇති දෙවිගේ ගුණාංගවලින් බැබළෙන අභිෂේක ලත් පුද්ගලයන් පමණයි. ඔවුන් කිසිම කැළලක් හෝ පලුද්දක් නැති පවිත්‍ර වූ පුද්ගලයන්.—මලාකි 3:3, 4.
12. (අ) නුවරේ අත්තිවාරම් සියලු ආකාර අනර්ඝ ගල් 12කින් අලංකාර කර තිබීමෙන් අදහස් කරන්නේ කුමක්ද? (ආ) නුවරේ දොරටු මුතු ඇටවලට සමාන කර තිබීමෙන් අදහස් කරන්නේ කුමක්ද?
12 මෙම නුවරේ අත්තිවාරම් පවා ඉතා අලංකාරයි. ඒවා අනර්ඝ ගල් වර්ග 12ක් යොදා අලංකාර කර තිබෙනවා. අපට මෙහිදී මතක් වෙන්නේ පුරාණ ඊශ්‍රායෙලයේ උත්තම පූජකයා විශේෂ අවස්ථාවලදී පැළඳ සිටි ඒෆොද් සැට්ටයයි. එහි අනර්ඝ ගල් 12ක් ඔබ්බවා තිබුණා. මෙම ගල් එළිදරව් පොතේ සඳහන් අනර්ඝ ගල්වලට බොහෝදුරට සමානයි. (නික්මයාම 28:15-21) එමනිසා මෙයින් අපට කාවද්දන්නේ නව යෙරුසලමට අයත් අය පූජකයන් ලෙස කටයුතු කරන බවයි. එහි “පහන” එනම් උත්තම පූජක ලෙස කටයුතු කරන්නේ යේසුස්. (එළිදරව් 20:6; 21:23; හෙබ්‍රෙව් 8:1) උත්තම පූජකයා ලෙස යේසුස් කරන සේවයේ ප්‍රයෝජන මිනිස් වර්ගයාට ලැබෙන්නේ නව යෙරුසලම තුළිනුයි. (එළිදරව් 22:1, 2) මෙම නුවරේ සෑම දොරටුවක්ම ඉතා වටිනා මුතු ඇටයකින් සාදා තිබෙනවා. මෙහිදී අපට මතක් වෙන්නේ ඉතා වටිනා මුතු ඇටයක් පිළිබඳව යේසුස් දුන් උපමාවයි. ඔහු දේවරාජ්‍යය සමාන කළේ එවැනි මුතු ඇටයකටයි. එම උපමාවේ සඳහන් වෙළෙන්දා මෙන් මෙම දොරටුවලින් ඇතුල් වන අභිෂේක ලත් අය දේවරාජ්‍යය මිල කළ නොහැකි දෙයක් සේ සලකමින් එය වෙනුවෙන් කැප වී වැඩ කළ අයයි.—මතෙව් 13:45, 46; යෝබ් 28:12, 17, 18ද බලන්න.
ආලෝකවත් වූ නුවරක්
13. නව යෙරුසලම ගැන යොහන් ඊළඟට පවසන්නේ කුමක්ද? මේ නුවරට දේවමාලිගාවක් අවශ්‍ය නොවන්නේ ඇයි?
13 සලමොන්ගේ කාලයේදී යෙරුසලමේ සුවිශේෂම ගොඩනැඟිල්ල වුණේ දේවමාලිගාවයි. එය සියලුදෙනාටම පෙනෙන සේ සාදා තිබුණේ මොරියා කඳු මුදුන මතයි. නමුත් නව යෙරුසලමේ එවැනි ගොඩනැඟිල්ලක් දකින්න තිබෙනවාද? යොහන් පවසන්නේ මෙසේයි. “මම එහි දේවමාලිගාවක් නුදුටිමි. මන්ද, සර්වපරාක්‍රම තැනැත්තා වන යෙහෝවා දෙවි හා බැටළු පැටවා එහි දේවමාලිගාව වන්නෝය. ඒ නුවරට ආලෝකය දීමට ඉරවත් සඳවත් අවශ්‍ය නැත. මන්ද, දෙවිගේ තේජසින් එය ආලෝකවත් විය. බැටළු පැටවා එහි පහන විය.” (එළිදරව් 21:22, 23) නව යෙරුසලමේ දේවමාලිගාවක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට යොහන් දකින්නේ යෙහෝවා දෙවි සහ බැටළු පැටවා වන යේසුස්වයි. ඇත්තටම පුරාණ යෙරුසලමේ තිබූ දේවමාලිගාවෙන් නියෝජනය වුණේ අනාගතයේදී යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් යෙහෝවා දෙවිට වඩාත් ශ්‍රේෂ්ඨ ආකාරයකින් කරන නමස්කාරයයි. එම නමස්කාරය සඳහා පදනම දැමුවේ ක්‍රි.ව. 29දී යේසුස්ව උත්තම පූජකයා ලෙස අභිෂේක කළ විටයි. එමනිසා නව යෙරුසලම තුළ යෙහෝවා දෙවි සහ යේසුස්ව දකින්න ලැබීමෙන් පෙනී යන්නේ එම නමස්කාරය ක්‍රියාත්මක වන ආකාරයයි. දෙවිට නමස්කාර කරන්න වෙනම දේවමාලිගාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. (මතෙව් 3:16, 17; හෙබ්‍රෙව් 9:11, 12, 23, 24) නව යෙරුසලමෙහි වාසය කරන සියලු පූජකයන්ට තවත් විශේෂ ආශීර්වාදයක්ද තිබෙනවා. එනම් පෞද්ගලිකව යෙහෝවා දෙවි ඉදිරියේ පෙනී සිටීමේ වරප්රසාදයයි. පුරාණ යෙරුසලමේ ජනතාව වෙනුවෙන් පූජා ඔප්පු කිරීමට පූජක පන්තියකුත් සිටියා. නමුත් නව යෙරුසලමේ සිටින සියලුදෙනාම පූජකයන්. (එළිදරව් 20:6) මීට අමතරව පූජා සඳහා අවශ්‍යතාවකුත් නැහැ. මන්ද යේසුස්ගේ ශ්‍රේෂ්ඨ ජීවිත පූජාව සදහටම එක වරක් ඔප්පු කර හමාරයි.—හෙබ්‍රෙව් 9:27, 28.
14. (අ) නව යෙරුසලමට සූර්යයාගේ සහ චන්ද්‍රයාගේ ආලෝකය අවශ්‍ය නොවන්නේ ඇයි? (ආ) යෙහෝවා දෙවිගේ විශ්වනීය සංවිධානය ගැන යෙසායා පැවසුවේ කුමක්ද? මෙය නව යෙරුසලමට සම්බන්ධ වෙන්නේ කෙසේද?
14 සීනයි කන්දේදී යෙහෝවා දෙවිගේ තේජස මෝසෙස්ව පසු කර ගිය අවස්ථාවේ මෝසෙස්ගේ මුහුණ කොතරම් බැබළුණාද කියනවා නම් ඊශ්‍රායෙල් ජාතිකයන්ට ඔහු දෙස බලන්නවත් බැරි වුණා. එනිසා ඔහු තම මුහුණ වසාගත්තා. (නික්මයාම 34:4-7, 29, 30, 33) එසේනම් යෙහෝවා දෙවිගේ තේජසින් නිතරම ආලෝකවත් වී තිබෙන නුවරක් කොතරම් දීප්තිමත්ද කියා ඔබට සිතාගත හැකියි. එවැනි නුවරකට නම් අන්ධකාරය කොහොමටවත් බලපාන්නේ නැහැ. එයින් සදහටම ආලෝකය විහිදෙන නිසා සූර්යයාවත් චන්ද්‍රයාවත් අවශ්‍ය වෙන්නේ නැහැ. (1 තිමෝති 6:16 බලන්න.) යේසුස්ගේ මනාලිය වන නව යෙරුසලමද ඒ ආකාර දීප්තිමත් කාන්තියකින් නැහැවිලා. ඇත්තටම මෙම මනාලිය සහ මනාලයා වන යේසුස් යෙහෝවා දෙවිගේ විශ්වනීය සංවිධානයේ එනම් ඔහුගේ ‘ස්ත්‍රිය’ වන ‘ඉහළ තිබෙන යෙරුසලමේ’ අගනුවර බවට පත් වෙනවා. යෙසායා ඒ ගැන පැවසුවේ මෙසේයි. “දවාලෙහි ඉර තවත් ඔබේ එළිය නොවන්නේය. දීප්තිය පිණිස සඳ ඔබට එළිය නොදෙන්නේය. එහෙත් යෙහෝවා ඔබට සදාකාල එළියක්ද ඔබේ දෙවි ඔබේ තේජසද වන්නේය. ඔබේ ඉර තවත් බැස නොයන්නේය. ඔබේ සඳ බැස නොයන්නේය. මක්නිසාද යෙහෝවා ඔබේ සදාකාල එළිය වන්නේය. ඔබේ වැලපීමේ දවස් කෙළවර වන්නේය.”—යෙසායා 60:1, 19, 20; ගලාති 4:26.
ජාතීන්ට ආලෝකයක්
15. යෙසායාගේ අනාවැකියට සමාන වෙන්නේ නව යෙරුසලම ගැන එළිදරව් පොතේ සඳහන් මොන වචනද?
15 ඒ අනාවැකියේම මෙසේද කියා තිබුණා. “ඔබේ එළියට ජාතීහුද ඔබේ උදාවීමේ දීප්තියට රජවරුද එන්නෝය.” (යෙසායා 60:3) මේ වචන නව යෙරුසලමටත් අදාළ වන බව එළිදරව් පොත පෙන්නුම් කරනවා. “ජාතීහු එහි ආලෝකයෙන් ගමන් කරන්නෝය. පොළොවේ රජවරු තමුන්ගේ තේජස ඒ තුළට ගෙන එන්නෝය. එහි දොරටු දිවා කාලයේදී කිසිසේත් වසනු නොලබන්නේය. මන්ද එහි රාත්‍රියක් නොවන්නේය. ඔවුහු ජාතීන්ගේ තේජසත් ගෞරවයත් ඒ තුළට ගෙන එන්නෝය.”—එළිදරව් 21:24-26.
16. නව යෙරුසලමේ ආලෝකයෙන් ගමන් කරන ‘ජාතීන්’ කවුරුන්ද?
16 නව යෙරුසලමේ ආලෝකයෙන් ගමන් කරන ‘ජාතීන්’ කවුරුන්ද? මේ අය කලින් මේ දුෂ්ට ලෝකයට අයත්ව සිටි අයයි. නමුත් මෙම තේජවත් ස්වර්ගික නුවරෙන් විහිදුවන ආලෝකයට ඔවුන් ආකර්ෂණය වී තිබෙනවා. මේ අය අතරින් ප්රමුඛ තැනක් ගන්නේ “සියලු ජාතීන්ගෙන්ද ගෝත්‍රවලින්ද ජනයාගෙන්ද භාෂාවන්ගෙන්ද” පැමිණි මහත් සමූහයයි. ඔවුන් අද දින යොහන් පන්තිය හා එකතු වී දිවා රෑ දෙවිට නමස්කාර කරනවා. (එළිදරව් 7:9, 15) නව යෙරුසලම ස්වර්ගයෙන් බැස ආවායින් පසුව හා යේසුස් මරණයේ සහ මිනී වළේ යතුරු භාවිත කරමින් මළවුන්ව නැවත නැඟිටුවායින් පසුව දුෂ්ට ලෝකයට අයත්ව සිටි ‘ජාතීන්ගෙන්’ තවත් මිලියන ගණනක් මෙම මහත් සමූහයට එකතු වෙනවා. මේ අය යෙහෝවා දෙවිටත් නව යෙරුසලමේ මනාලයා වන යේසුස් ක්‍රිස්තුස්ටත් ප්‍රේම කරන්න පටන්ගන්නවා.—එළිදරව් 1:18.
17. නව යෙරුසලමට ‘තම තේජස රැගෙන එන’ ‘පොළොවේ රජවරුන්’ කවුරුන්ද?
17 නව යෙරුසලමට ‘තම තේජස රැගෙන එන’ ‘පොළොවේ රජවරුන්’ කවුරුන්ද? ඔවුන් මේ පොළොවේ සිටින පාලකයන් නම් නෙවෙයි. මන්ද දෙවිගේ මහත් දවසේ යුද්ධයේදී ඔවුන් දේවරාජ්‍යයට විරුද්ධව සටන් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස විනාශය අද්දකින නිසයි. (එළිදරව් 16:14, 16; 19:17, 18) මෙම රජවරුන් මහත් සමූහයට අයත් වන මෙම ලෝකයේ ජාතීන් අතර ප්රමුඛ තනතුරු හෙබවූ අය විය හැකිද? එසේ නැත්නම් ඔවුන් පාරාදීස පොළොවේදී දේවරාජ්‍යයේ පාලනයට යටත් වන නැවත නැඟිටුවනු ලබන රජවරුන්ද? (මතෙව් 12:42) එසේ සිතීමට පදනමක් නැහැ. ඒ රජවරුන්ගේ තේජස මේ ලෝකයේ සැමදා නොපවතින තාවකාලික තේජසක්. එමනිසා නව යෙරුසලමට ‘තම තේජස රැගෙන එන පොළොවේ රජවරුන්’ බැටළු පැටවා වන යේසුස් ක්‍රිස්තුස් සමඟ රජකම් කරන “සියලු ගෝත්‍රවලින්ද භාෂාවලින්ද ජනයාගෙන්ද ජාතීන්ගෙන්ද . . . මිල දී” ගෙන ඇති 1,44,000දෙනා විය යුතුයි. (එළිදරව් 5:9, 10; 22:5) දෙවි තමාට ලබා දී තිබෙන තේජස මෙම නුවරට ගෙන එමින් ඔවුන් එහි කාන්තිය තවත් වැඩි කරනවා.
18. (අ) නව යෙරුසලමට ඇතුල් වීමට අවසර නොලැබෙන්නේ කාටද? (ආ) එයට ඇතුල් වෙන්න අවසර ලැබෙන්නේ කාට පමණක්ද?
18 යොහන් ඊළඟට පවසන්නේ මෙසේයි. “නමුත් පරිශුද්ධ නොවන දෙයක්වත්, පිළිකුල් දෙයක් හෝ බොරුවක් හෝ කරමින් සිටින කෙනෙකුවත් කිසිසේත් ඊට ඇතුල් වෙන්නේ නැත. ඊට ඇතුල් වෙන්නේ බැටළු පැටවාගේ ජීවන ලියවිල්ලෙහි ලියා ඇති අය පමණි.” (එළිදරව් 21:27) සාතන්ගේ ලෝකය නිසා අපවිත්‍ර වූ කිසිම දෙයකට නව යෙරුසලමට සම්බන්ධ විය නොහැකියි. මෙම නුවරේ දොරටු සදහටම විවෘත කර තිබුණත්, “පිළිකුල් දෙයක් හෝ බොරුවක් කරමින් සිටින” කිසිම කෙනෙකුට ඇතුල් වෙන්න අවසර ලැබෙන්නේ නැහැ. ඒ නුවර තුළ සත්‍යයට විරුද්ධව කැරලිගසන අයවත් මහා බැබිලෝනියේ සාමාජිකයන්වත් නැහැ. මීට අමතරව දැන් මේ පොළොව මත සිටින එම නුවරේ අනාගත වැසියන්ව දූෂ්‍ය කිරීමට යම් කෙනෙක් වෑයම් කරනවා නම් ඔවුන් දරන සෑම වෑයමක්ම අසාර්ථක වෙනවා. (මතෙව් 13:41-43) අන්තිමේදී නව යෙරුසලමට ඇතුල් වෙන්නේ “බැටළු පැටවාගේ ජීවන ලියවිල්ලෙහි ලියවී” ඇති 1,44,000දෙනා පමණයි.b—එළිදරව් 13:8; දානියෙල් 12:3.
ජීවන වතුර ඇති ගංගාව
19. (අ) නව යෙරුසලම වෙතින් මිනිස් වර්ගයාට ගලා එන ආශීර්වාද ගැන යොහන් විස්තර කරන්නේ කුමක්ද? (ආ) “ජීවන වතුර ඇති ගංගාව” ගලන්න පටන්ගත්තේ කවදා සිටද? අප ඒ බව දන්නේ කෙසේද?
19 කාන්තිමත් නව යෙරුසලම තුළින් මිනිස් වර්ගයාට බොහෝ ආශීර්වාද ගලා එනවා. යොහන් ඊළඟට දකින්නේ එයයි. “පළිඟු මෙන් පැහැදිලි වූ, ජීවන වතුර ඇති ගංගාවක්ද ඔහු මට පෙන්නුවේය. එය දෙවිගේද බැටළු පැටවාගේද සිංහාසනය වෙතින් ගලා ඇවිත්, නුවරේ ප්‍රධාන වීදිය මැදින් ගලා ගියේය.” (එළිදරව් 22:1, 2අ) මෙම “ගංගාව” ගලන්න පටන්ගත්තේ කවදාද? එය ගලන්නේ “දෙවිගේද බැටළු පැටවාගේද සිංහාසනය වෙතින්” කියා සඳහන් වී ඇති නිසා එය ගලන්න පටන්ගන්නේ 1914දී ස්වාමීන්ගේ දවසේ ආරම්භයේ සිටයි. සත්වෙනි හොරණෑව පිඹීමත් සමඟම “දැන් අපගේ දෙවිගේ ගැලවීමද බලයද රාජ්‍යයද ඔහුගේ ක්‍රිස්තුස්ගේ අධිකාරයද පැමිණ තිබේ” කියන ප්‍රකාශය ඉටු වුණේ එවිටයි. (එළිදරව් 11:15; 12:10) මෙම අවසාන කාලයේදී දෙවිගේ මඟ පෙන්වීම ඇතුව මනාලිය පන්තිය අවංක හදවත් ඇති අයට ජීවන වතුර නොමිලේ පානය කරන ලෙස ආරාධනා කරමින් සිටිනවා. යෙහෝවා දෙවිගේ සියලු සැපයුම් නියෝජනය කරන මේ ගංගාව ගලා බසින්නේ දුෂ්ට ලෝකයේ අවසානය දක්වා පමණක් නෙවෙයි. නමුත් ‘නව යෙරුසලමේ’ මඟ පෙන්වීම යටතේ පාරාදීස පොළොවේදීද එය දිගටම ගලා බසිනවා.—එළිදරව් 21:2.
20. දැනටමත් ජීවන වතුර යම් දුරකට ලබාගත හැකි බව අප දන්නේ කෙසේද?
20 ජීවන වතුර මිනිස් වර්ගයාට ලබා දුන් මුල්ම අවස්ථාව මෙය නෙවෙයි. යේසුස් මේ පොළොවේ ජීවත්ව සිටි කාලයේදීත් ඔහු සදාකාල ජීවනය ගෙන දෙන වතුර ගැන කතා කළා. (යොහන් 4:10-14; 7:37, 38) පසුව මෙම ඇරයුම යොහන්ටත් අසන්න ලැබෙනවා. “ආත්මයද මනාලියද, ‘එන්න!’ යයි කියන්නේය. අසන තැනැත්තාද, ‘එන්න!’ යයි කියාවා. පිපාසය ඇති තැනැත්තාද ඒවා; කැමති කෙනෙක් ජීවන වතුර නොමිලේ ගනීවා.” (එළිදරව් 22:17) මේ ආරාධනය දැන් පවා අසන්න ලැබෙනවා. එයින් පැහැදිලි වෙන්නේ දැන් පවා ජීවන වතුර යම් දුරකට ලබාගත හැකි බවයි. නමුත් පාරාදීස පොළොවේදී ඒ වතුර දෙවිගේ සිංහාසනයේ සිට නව යෙරුසලම ඔස්සේ මහා ගංගාවක් සේ ගලා බසිනවා.
21. ‘ජීවන වතුර ඇති ගංගාවෙන්’ නියෝජනය වෙන්නේ කුමක්ද? එයින් නියෝජනය වන දේ තේරුම්ගැනීමට එසකියෙල් දුටු දර්ශනය උපකාරවත් වෙන්නේ කෙසේද?
21 “ජීවන වතුර ඇති ගංගාව” කුමක්ද? ජීවත් වීමට වතුර අත්‍යවශ්‍යයි. ආහාර නැතුව යමෙක් සති ගණනක් වුණත් ජීවත් වුණත් වතුර නැත්නම් සතියක් ඇතුළත මිය යනවා. වතුර දේවල් පිරිසිදුව තබාගැනීමටත් සෞඛ්‍යය රැකගැනීමටත් අත්‍යවශ්‍යයි. මෙයින් පැහැදිලි වෙන්නේ ජීවන වතුර මිනිස් වර්ගයාගේ ජීවිතය හා සෞඛ්‍යයට අත්‍යවශ්‍ය වූ දෙයක් නියෝජනය කරන බවයි. අනාගතවක්තෘ එසකියෙල්ද මෙම “ජීවන වතුර ඇති ගංගාව” දර්ශනයකින් දුටුවා. ඔහු දුටුවේ මේ ගංගාව දේවමාලිගාවේ සිට මළ මුහුද දක්වා ගලා ගිය ආකාරයයි. එහි ප්‍රතිඵලයක් හැටියට පුදුම දෙයක් සිදු වුණා. කිසිම ජීවයෙක් නැති ලුණු සාන්ද්‍රණය අධික ඒ මුහුද මසුන්ගෙන් පිරුණු පිරිසිදු වතුරෙන් යුත් ජලාශයක් බවට පත් වුණා. (එසකියෙල් 47:1-12) දර්ශනයෙන් දුටු මෙම ගංගාව කලින් මළ තත්වයක පැවති දෙයක් ජීවමාන දෙයක් කරනවා. එමනිසා මෙයින් නියෝජනය වෙන්නේ ‘මළ’ තත්වයක සිටින මිනිස් වර්ගයාට නැවතත් පරිපූර්ණ ජීවිතයක් ලබා දීමට යෙහෝවා දෙවි යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් ඇති කර තිබෙන සැලැස්මයි. මේ ගංගාවේ වතුර ‘පළිඟු මෙන් පැහැදිලියි.’ එයින් පෙන්වන්නේ දෙවි සපයන දේ කොතරම් පවිත්‍රද කොතරම් ශුද්ධද කියන කාරණයයි. එය ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලිවල ලෙයින් තැවරුණු “වතුර” වගේ නම් නෙවෙයි.—එළිදරව් 8:10, 11.
22. (අ) ගංගාව ආරම්භ වෙන්නේ කොහෙන්ද? එය සුදුසු දෙයක් වෙන්නේ මන්ද? (ආ) ජීවන වතුරට ඇතුළත් වෙන්නේ කුමක්ද? මෙම සංකේතවත් ගංගාවට ඇතුළත් වෙන්නේ කුමක්ද?
22 මෙම ගංගාව ආරම්භ වෙන්නේ “දෙවිගේද බැටළු පැටවාගේද සිංහාසනය වෙතින්.” මෙය ඉතා සුදුසු දෙයක්. මන්ද යෙහෝවා දෙවි මිනිසාට ජීවනය සපයා දෙන්නේ යේසුස්ගේ ජීවිත පූජාව නමැති පදනම මතයි. මෙයින් අප යෙහෝවා දෙවිගේ ප්‍රේමයත් දකිනවා. “දෙවි ලෝකයට මොන තරම් ප්‍රේම කළාද යත්, ඔහු තමාගේම ඒකජාතක පුත්‍රයාව දුන්නේය. එසේ කළේ ඔහු කෙරෙහි ඇදහිල්ල පෙන්වන සැමදෙනාම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.” (යොහන් 3:16) දේවවචනය හැඳින්වීමට වතුර යන වචනයත් භාවිත කර තිබෙන නිසා ජීවන වතුරට දෙවිගේ වචනය වන බයිබලයත් ඇතුළත් වෙනවා. (එෆීස 5:26) නමුත් මෙම ජීවන වතුර ඇති ගංගාවට ඇතුළත් වෙන්නේ දේවවචනයේ සත්‍යය පමණක් නෙවෙයි. දෙවිට කීකරු මිනිසාව පාපයෙන් හා මරණයෙන් මුදා ඔවුන්ට සදාකල් ජීවනය ලබා දීමට යෙහෝවා දෙවි යේසුස්ගේ ජීවිත පූජාව තුළින් කරන සෑම දෙයක්ම එයට ඇතුළත් වෙනවා.—යොහන් 1:29; 1 යොහන් 2:1, 2.
23. (අ) ජීවන වතුර ඇති ගංගාව නුවරේ ප්‍රධාන වීදිය මැදින් ගලා යෑම උචිත දෙයක් වෙන්නේ ඇයි? (ආ) ජීවන වතුර කිසිම අඩුවක් නැතුව ගලා යන විට ඉටු වෙන්නේ දෙවි ආබ්‍රහම්ට දුන් කුමන පොරොන්දුවද?
23 දහස් අවුරුදු පාලනයේදී යේසුස්ගේ ජීවිත පූජාවේ ප්‍රයෝජන උත්තම පූජක යේසුස් සහ ඔහු යටතේ සිටින පූජකයන් 1,44,000දෙනා තුළින් මිනිස් වර්ගයාට පූර්ණ ලෙස ලැබෙනවා. ජීවන වතුර ඇති ගංගාව නව යෙරුසලමේ ප්‍රධාන වීදිය මැදින් ගලා යන බව සඳහන් කර ඇත්තේ ඒ කාරණය කාවැද්දීමටයි. මීට අමතරව මෙමගින් යෙහෝවා දෙවි ආබ්‍රහම්ට දුන් පොරොන්දුවත් ඉටු වෙනවා. දෙවි ආබ්‍රහම්ට පොරොන්දු වුණේ ඔහුගේ වංශයෙන් “පොළොවේ සියලු ජාතීන්” ආශීර්වාද ලබන බවයි. ආබ්‍රහම්ගේ වංශයෙන් පැමිණෙන්නේ යේසුස් සහ දෙවිගේ ඊශ්රායෙලයට අයත් අභිෂේක ලත් අය බව අපි දැනටමත් දන්නවා. (ගලාති 3:16, 29) එමනිසා මෙම ගංගාව කිසිම අඩුවක් නැතුව ගලා යන විට “පොළොවේ සියලු ජාතීන්” ආබ්‍රහම්ගේ වංශයෙන් බිහි වූ යේසුස් සහ අභිෂේක ලත් අය මාර්ගයෙන් ආශීර්වාද ලබාගැනීමට ප්‍රස්තාව උදා කරගන්නවා. යෙහෝවා දෙවි ආබ්‍රහම්ට දුන් ඒ පොරොන්දුව පූර්ණ ලෙස ඉටු වෙන්නේ එවිටයි.—උත්පත්ති 22:17, 18.
ජීවන වෘක්ෂ
24. ජීවන වතුර ඇති ගංගාවේ දෙපස යොහන් දකින්නේ මොනවාද? ඒවායින් නියෝජනය වෙන්නේ කුමක්ද?
24 එසකියෙල් දුටු දර්ශනයේ මෙම ගංගාව වේගයෙන් ගලන්න පටන්ගත් අතර එහි ඉවුරු දෙපසම විවිධාකාර පලතුරු ගස් දකින්න ලැබුණා. (එසකියෙල් 47:12) නමුත් යොහන් දකින්නේ කුමක්ද? ඔහු දුටුවේ මෙයයි. “ගඟේ මේ පැත්තේද ඒ පැත්තේද සෑම මසකම පල දරන, පල වර්ග දොළොසක් දෙන ජීවන වෘක්ෂ තිබිණ. ඒ වෘක්ෂවල කොළ, ජාතීන්ගේ සුවය සඳහාය.” (එළිදරව් 22:2ආ) මේ ‘ජීවන වෘක්ෂවලින්’ දෙවිට කීකරු මිනිස් වර්ගයාට සදාකාල ජීවිතය ලබා දීමට යෙහෝවා දෙවි ඇති කර තිබෙන සැලැස්ම නියෝජනය වෙනවා.
25. පාරාදීස පොළොවේදී යෙහෝවා දෙවි තමාට කීකරු වන මිනිසුන් වෙනුවෙන් කරන්නේ කුමක්ද?
25 යෙහෝවා දෙවි තමාට කීකරුව සිටින මිනිසුන් වෙනුවෙන් බොහෝ දේ ත්‍යාගශීලීව සපයනවා. ඒ ගංගාවේ වතුර පමණක් නොව, ඉවුරු දෙපස ඇති ගස්වලින් විවිධ පෝෂ්‍යදායී පලතුරු කඩා කෑමටත් ඔවුන්ට හැකියාව තිබෙනවා. ඇත්තෙන්ම අපේ ආදි මාපියන් වන ආදම් සහ ඒව ඒදන් උයනේ පිහිටි පාරාදීසයේ හටගත් ‘දැකීමට ප්‍රිය වූ’ පලවලින් සෑහීමට පත් වී සිටියා නම් අද දක්වා මෙතරම් දුකක් මිනිස් වර්ගයාට විඳින්න අවශ්‍ය වෙන්නේ නැහැ. (උත්පත්ති 2:9) කොහොමනමුත් ඒ පාරාදීස පොළොව නැවතත් උදා කරන්න යෙහෝවා දෙවි පියවර ගෙන තිබෙනවා. අප මෙම දර්ශනය තුළින් දකින්නේ ගංගාවේ ඉවුරු දෙපස ඇති සංකේතවත් ගස්වල කොළ දෙවි සපයා තිබෙන්නේ “ජාතීන්ගේ සුවය” සඳහා බවයි.c එයින් ලැබෙන සුවය අද වෛද්‍ය විද්‍යාව තුළින් හෝ ආයුර්වේදය තුළින් ලබාගත හැකි කිසිම ඖෂධයකට වඩා සාර්ථකයි. ප්‍රතිඵලයක් ලෙස දෙවිට විශ්වාසවන්තව සිටින මිනිස් වර්ගයාගෙන් පව්කාරකම දුරු කර හැම අතින්ම පරිපූර්ණත්වය භුක්ති විඳින්න ඔවුන්ට හැකි වෙනවා.
26. ජීවන වෘක්ෂවලට ඇතුළත් විය හැක්කේ කවුරුන්ද? අප එසේ පවසන්නේ ඇයි?
26 ජීවන වතුර ඇති ගංගාවෙන් නොමදව පෝෂණය වන මෙම වෘක්ෂවලට බැටළු පැටවාගේ මනාලිය වන 1,44,000දෙනාත් ඇතුළත් විය හැකියි. අප එසේ පවසන්නේ ඇයි? ඔවුන් ඒ සඳහා සුදුසුකම් ලබන්නේ ඔවුන් පොළොවේ සිටින විට දෙවි ජීවනය සඳහා යේසුස් ක්‍රිස්තුස් තුළින් සපයා ඇති සෑම දෙයකින්ම පෝෂණයක් ලබන නිසයි. ඇත්තෙන්ම යෙසායා සඳහන් කළ අනාවැකියේ යේසුස්ගේ මෙම අභිෂේක ලත් සහෝදරයන්ව විශාල ‘ධර්මිෂ්ඨකම නමැති ගස්’ ලෙස හඳුන්වා තිබෙනවා. (යෙසායා 61:1-3, එළිදරව් 21:6) ඇත්තටම ඔවුන් දැනටමත් යෙහෝවා දෙවිට ප්‍රශංසා ගෙන එමින් බොහෝ පල උපදවා තිබෙනවා. (මතෙව් 21:43) දහස් අවුරුදු පාලනය තුළදීත් “ජාතීන්ගේ සුවය” වෙනුවෙන් ඔවුන්ගෙන් යම් කාර්යයක් ඉටු වන බව පැහැදිලියි. එමගින් යේසුස්ගේ ජීවිත පූජාවේ ප්‍රයෝජන මිනිසාට ලබා දීමෙන් ඔවුන්ව පාපයෙන් හා මරණයෙන් නිදහස් කරන්න හැකි වෙනවා.—1 යොහන් 1:7ද බලන්න.
රාත්‍රිය තවත් නැහැ
27. නව යෙරුසලමට ඇතුල් වන අය ලබන තවත් ආශීර්වාද මොනවාද? “කිසි ශාපයක් තවත් නොවන්නේය” කියා කීමෙන් අදහස් වෙන්නේ කුමක්ද?
27 නව යෙරුසලමට ඇතුල් වීම මොන තරම් උතුම් වරප්‍රසාදයක්ද! මේ උතුම් වරප්‍රසාදය, එනම් යේසුස් සමඟ ස්වර්ගයේ පූජකයන් හා රජවරුන් ලෙස කටයුතු කිරීමේ වරප්‍රසාදය ලබා දී තිබෙන්නේ කලින් නොයෙකුත් දුර්වලකම් හා අසම්පූර්ණකම් තිබුණු මිනිසුන්ටයි. (යොහන් 14:2) මොවුන් භුක්ති විඳින ආශීර්වාද ගැන යොහන් මෙවැනි විස්තර සපයනවා. “කිසි ශාපයක් තවත් නොවන්නේය. දෙවිගේද බැටළු පැටවාගේද සිංහාසනය ඒ නුවරෙහි තිබෙනු ඇත. ඔහුගේ දාසයෝද ඔහුට පරිශුද්ධ සේවය පිරිනමන්නෝය. ඔවුහු ඔහුගේ මුහුණ දකින්නෝය. ඔහුගේ නාමයද ඔවුන්ගේ නළල්වල තිබෙනු ඇත.” (එළිදරව් 22:3, 4) ඊශ්‍රායෙල් ජාතියේ පූජකයන් දෙවිගෙන් ඈත් වූ විට ඔවුන්ට දෙවිගේ ශාපය ලැබුණා. (මලාකි 2:2) යුදෙව්වනුත් නොඇදහිලිකාරකමින් ක්‍රියා කළ නිසා ඔවුන්ව අත්හරින බව යේසුස් ප්‍රකාශ කළා. (මතෙව් 23:37-39) නමුත් නව යෙරුසලමේ කිසි කෙනෙකුට “කිසි ශාපයක්” ලැබෙන්නේ නැහැ. (සෙකරියා 14:11ද බලන්න.) නව යෙරුසලමේ සියලුම වැසියන් පොළොවේ සිටිද්දී නොයෙකුත් ගිනිමය පරීක්ෂාවලට මුහුණ දුන්නත් ඔවුන් ජයගත්තා. එමනිසා ඔවුන්ට ‘නොදිරනසුලුභාවය හා අමරණීයභාවය’ ලැබෙනවා. යේසුස් මෙන් ඔවුනුත් කවදාවත් නොවැටෙන බව යෙහෝවා දෙවි දන්නවා. (1 කොරින්ති 15:53, 57) මීට අමතරව ‘දෙවිගේ සහ බැටළු පැටවාගේ සිංහාසනයත්’ මෙම නුවරේ දකින්න ලැබෙනවා. මෙයින් පැහැදිලි වෙන්නේ මෙම නුවර සදහටම සුරක්ෂිත බවයි.
28. නව යෙරුසලමේ සාමාජිකයන්ගේ නළල්වල දෙවිගේ නාමය ලියා තිබෙන්නේ ඇයි? ඔවුන් ඉදිරියේ තිබෙන්නේ කුමන ප්‍රීතිමත් ප්‍රස්තාවද?
28 යොහන් වගේ මෙම ස්වර්ගික නුවරේ සාමාජිකයන් වීමට සිටින සියලුදෙනාවම දෙවිගේ ‘දාසයන්’ ලෙස හඳුන්වා තිබෙනවා. ඔවුන්ගේ අයිතිකරු වන දෙවිගේ නාමය ඔවුන්ගේ නළල්වල ලියා තිබෙන්නේ එමනිසයි. (එළිදරව් 1:1; 3:12) නව යෙරුසලමට අයත් අය වශයෙන් දෙවිට පරිශුද්ධ සේවයක් පිරිනැමීම ඔවුන් සලකන්නේ උතුම් වරප්‍රසාදයක් ලෙසයි. යේසුස් මේ පොළොවේ සිටියදී ඔහු මෙවැනි අයට ඉතා විශිෂ්ට පොරොන්දුවක් දුන්නා. ඔහු පැවසුවේ මෙසේයි. “නිර්මල සිත් ඇති අය සන්තෝෂවත්ය. මන්ද ඔවුහු දෙවිව දකින්නෝය.” (මතෙව් 5:8) දෙවිගේ මෙම දාසයන්ට තමන්ගේ ඇස්වලින් යෙහෝවා දෙවිව දැකගැනීමේ ප්‍රීතිමත් ප්‍රස්තාව උදා වෙනවා. එය මොන තරම් උතුම් ආශීර්වාදයක්ද!
29. නව යෙරුසලමට “රාත්‍රිය තවත් නොවන්නේය” කියා යොහන් පවසන්නේ ඇයි?
29 යොහන් ඊළඟට පවසන්නේ මෙසේයි. “රාත්රියද තවත් නොවන්නේය. යෙහෝවා දෙවි ඔවුන්ට ආලෝකය දෙන හෙයින්, ඔවුන්ට පහන් එළියවත් හිරු එළියවත් අවශ්‍ය වෙන්නේ නැත.” (එළිදරව් 22:5අ) සාමාන්‍යයෙන් (පුරාණ යෙරුසලම ඇතුළුව) ඕනෑම නුවරකට ආලෝකය අවශ්‍යයි. දහවල් කාලයේදී ඒ ආලෝකය ලැබෙන්නේ හිරු එළිය මගිනුයි. රාත්‍රියේ නම් හඳේ එළිය සහ වෙනත් ක්‍රමවලින් නුවරක් ආලෝකවත් වෙනවා. නමුත් ස්වර්ගයේ පිහිටි නව යෙරුසලමට එවැනි ආලෝකයක් අවශ්‍ය වෙන්නේ නැහැ. එයට ආලෝකය සපයන්නේ යෙහෝවා දෙවිමයි. සමහරවිට මෙහිදී “රාත්‍රිය” භාවිත කර තිබෙන්නේ යම් විපතක් හෝ යෙහෝවා දෙවිගෙන් ඈත් වී ඇති බව දැක්වීමටයි. (මීකා 3:6; යොහන් 9:4; රෝම 13:11, 12) නමුත් මෙම නුවර එවැනි දෙයක් අද්දකින්නේ නැහැ. මන්ද සර්වබලධාරී යෙහෝවා දෙවිගේ තේජසින් එය සදහටම ආලෝකවත් වන නිසයි.
30. යොහන් මෙම අලංකාරවත් දර්ශනය අවසන් කරන්නේ කෙසේද? එළිදරව් පොත තුළින් අපට ලැබෙන සහතිකය කුමක්ද?
30 දෙවිගේ දාසයන් ගැන මෙසේ පවසමින් යොහන් මෙම අලංකාරවත් දර්ශනයේ විස්තරය අවසන් කරනවා. “සදාකාලයෙන් සදාකාලයටම ඔවුහු රජකම් කරන්නෝය.” (එළිදරව් 22:5ආ) දහස් අවුරුදු පාලනය අවසානයේදී යේසුස්ගේ ජීවිත පූජාවේ ප්‍රයෝජන මිනිස් වර්ගයා වෙනුවෙන් පූර්ණ ආකාරයකින් යොදාගෙන ඇති නිසා යේසුස් පරිපූර්ණත්වයට පත් වූ මිනිස් වර්ගයාව තම පියාණන්ට භාර දෙනවා. (1 කොරින්ති 15:25-28) ඉන්පසුව යෙහෝවා දෙවි, යේසුස් සහ 1,44,000දෙනා තුළින් සිදු කරන්නේ කුමක්ද කියා අප දන්නේ නැහැ. නමුත් එළිදරව් පොත තුළින් අපට ලැබෙන සහතිකය නම් ඔවුන් යෙහෝවා දෙවිට සදාකාලිකව පරිශුද්ධ සේවයක් පිරිනමන බවයි.
එළිදරව් පොතේ ප්‍රීතිමත් අවසානය
31. (අ) එළිදරව් පොතේ ප්‍රීතිමත් අවසානය කුමක්ද? (ආ) නව යෙරුසලම තුළින් විශ්වාසවන්ත මිනිස් වර්ගයාට අද්දකින්න ලැබෙන්නේ කුමක්ද?
31 එළිදරව් පොතේ ප්‍රීතිමත් අවසානය කුමක්ද? එනම් බැටළු පැටවාගේ මනාලිය වන නව යෙරුසලම පිළිබඳ මෙම දර්ශනයේ ඉටුවීමයි. එළිදරව් පොත මුලින්ම ලැබූ යොහන්ගේ කාලයේ සියලුම අභිෂේක ලත් ක්‍රිස්තියානීන් බලාගෙන සිටියෙත්, අද දින පොළොව මත ඉතිරිව සිටින අභිෂේක ලත් ක්‍රිස්තියානීන් බලාගෙන සිටින්නෙත් ඒ මොහොත පැමිණෙන තුරුයි. එය නම් නව යෙරුසලමේ සාමාජිකයන් ලෙස යේසුස් ක්‍රිස්තුස් සමඟ අමරණීය ජීවිතයක් භුක්ති විඳිමින් පාලනය කිරීමේ අවස්ථාවයි. එමනිසා එළිදරව් පොතෙහි අප අවසන් වශයෙන් දකින්නේ බැටළු පැටවා සමඟ මෙම මනාලියට අයත් සියලුදෙනාම ස්වර්ගයේ සිටින ආකාරයයි. ඊළඟට සිදු වෙන්නේ කුමක්ද? නව යෙරුසලම යේසුස්ගේ ජීවිත පූජාව පදනමක් ලෙස භාවිත කරමින් මිනිස් වර්ගයාව පරිපූර්ණත්වයට ගෙන එන්න පියවර ගන්නවා. අන්තිමේදී විශ්වාසවන්තව සිටින අයට හිමි වෙන්නේ සදාකාල ජීවනයයි. මෙලෙස මනමාලයා වන යේසුස් ක්‍රිස්තුස් සහ මනාලිය වන නව යෙරුසලම ධර්මිෂ්ඨ මිනිසුන්ගෙන් පිරි සදාකල් පවතින පාරාදීස පොළොවක් බිහි කරන්න සමත් වෙනවා. ඒ සියල්ලක්ම සිදු කරන්නේ විශ්වයේ ශ්‍රේෂ්ඨ අධිපති අපගේ දෙවි යෙහෝවාගේ මහිමය පිණිසයි.—මතෙව් 20:28; යොහන් 10:10, 16; රෝම 16:27.
32, 33. අප එළිදරව් පොත තුළින් ඉගෙනගෙන ඇත්තේ කුමක්ද? අප සියලුදෙනාම මුළු හදින්ම කළ යුත්තේ කුමක්ද?
32 එළිදරව් පොතේ සලකා බලන්න ඉතිරිව ඇත්තේ තවත් තොරතුරු ස්වල්පයක් පමණයි. මෙතෙක් සලකා බැලූ තොරතුරු සියල්ල ගැන සිතද්දී අපට දැනෙන්නේ මොන තරම් ප්‍රීතියක්ද! අප සලකා බැලූ ආකාරයට මුලින්ම මහා බැබිලෝනිය සදහටම විනාශ වෙනවා. ඊළඟට සම්පූර්ණ විනාශයක් අද්දකින්නේ සාතන්ගේ දූෂිත ලෝකයයි. ඉන් අනතුරුව සාතන්ව සහ ඔහුගේ භූතයන්ව අගාධයට හෙළනු ලබනවා. ඉන්පසුව යේසුස් සමඟ නව යෙරුසලමේ පාලනය ස්වර්ගයේ සිට ආරම්භ වෙනවා. ඒ කාලයේදී මළවුන්ගේ නැවත නැඟිටීම සිදු වන අතර විනිශ්චය දවසද ක්‍රියාත්මක වෙනවා. ඒ දවසින් පසුව සාතන්ව සහ භූතයන්ව සදහටම විනාශ කරනවා. අවසානයේදී පරිපූර්ණත්වයට පත් වූ මිනිස් වර්ගයාට පාරාදීස පොළොවක සදාකාල ජීවනය හිමි වෙනවා. ඇත්තෙන්ම සාතන්ගේ සහ ඔහුගේ වංශයෙන් බිහි වූ අය අවසන් වරට දැරූ සෑම වෑයමක්ම අසාර්ථක වූ ආකාරයත් යෙහෝවා දෙවිගේ ධර්මිෂ්ඨ විනිශ්චයන් සම්පූර්ණයෙන්ම ඉටු වූ ආකාරයත් අපි දකින්න යනවා. මේ සිදුවීම් සියල්ල ගැන එළිදරව් පොතේ දී තිබෙන විස්තරය අපගේ මනස්වල මොන තරම් අලංකාරවත් චිත්‍රයක් මවනවාද! එය ‘සියලු ජාතීන්ටත් ගෝත්‍රවලටත් භාෂාවලටත් ජනයාටත් ප්‍රීතිමත් පණිවුඩයක් ලෙස ප්‍රකාශ කළ යුතු සදාකාල ශුභාරංචියක්’ නෙවෙයිද? එසේනම් අපි මුළු හදින්ම ධෛර්යය උපදාවාගෙන මෙම ශුභාරංචිය අවසානය දක්වාම ප්‍රකාශ කරමු. (එළිදරව් 14:6, 7) ඔබ වෙහෙස මහන්සිය නොබලා මෙම ශ්‍රේෂ්ඨ කාර්යයට හවුල් වෙමින් සිටිනවාද?
33 ඇත්තෙන්ම අපගේ හදවත් කෘතඥතාවකින් පිරී ඉතිරී යනවා. එමනිසා එළිදරව් පොතේ අවසන් වචන ස්වල්පයට අපි දැන් කන් දෙමු.
[පාදසටහන්වල]
a මනින ලද නුවර වූයේ 1,44,000දෙනායි. ඔවුන් කලින් මිනිසුන් වී සිටියත් දැන් දේවදූතයන් මෙන් අදෘශ්‍යමාන පුද්ගලයන් බවට පත් වී තිබෙනවා. එමනිසා මෙම නුවර මැනීමට භාවිත කරන මිම්ම ‘මනුෂ්‍ය මිම්මකට හා දේවදූතයෙකුගේ මිම්මකට’ සමාන බව පැවසිය හැකියි.
b ‘බැටළු පැටවාගේ ජීවන ලියවිල්ලට’ ඇතුළත් වෙන්නේ 1,44,000දෙනාගේ නම් පමණයි. එමනිසා පොළොවේ සදාකල් ජීවිතයක් ලබන අයගේ නම් ඇතුළත් ‘ජීවන ලියවිල්ලට’ වඩා මෙය වෙනස්.—එළිදරව් 20:12.
c බයිබලයේ “ජාතීන්” යනුවෙන් බොහෝවිට භාවිත කරන්නේ දෙවිගේ ඊශ්රායෙලයට අයත් නැති අයව විස්තර කිරීමටයි. (එළිදරව් 7:9; 15:4; 20:3; 21:24, 26) ජාතීන් කියා භාවිත කළත් දහස් අවුරුදු පාලනය තුළදී මිනිස් වර්ගයා විවිධ ජාතීන් ලෙස බෙදී සිටියි කියා අදහස් වෙන්නේ නැහැ.