පරිච්ඡේදය 44
එළිදරව් පොත ඔබට බලපාන අයුරු
1. (අ) එළිදරව් පොතේ සඳහන් සියලුම පොරොන්දු ඉටු වන බවට දේවදූතයා යොහන්ට දෙන සහතිකය කුමක්ද? (ආ) “මම ඉක්මනින් එමි” කියා පවසන්නේ කවුද? ඔහු එසේ ‘එන්නේ’ කවදාද?
නව යෙරුසලම ගැන අප සලකා බැලූ විස්තරය කොතරම් අලංකාරද! නමුත් ‘ඇත්තටම මෙවැනි දෙයක් සිදු විය හැකිද’ කියා ඔබට සිතෙන්න පුළුවන්. මෙම ප්‍රශ්නයට දේවදූතයා යොහන්ට පිළිතුරු දෙන්නේ මෙසේයි. “ඔහු මට මෙසේද කීවේය: ‘මේ වචන විශ්වසනීයය, සැබෑය; එසේය, අනාගතවක්තෘවරුන්ගේ ආනුභාව ලත් ප්‍රකාශවල දෙවි වූ යෙහෝවා, කෙටි කලකින් සිදු විය යුතු දේවල් තම දාසයන්ට පෙන්වන පිණිස තම දූතයාව එව්වේය. බලන්න! මම ඉක්මනින් එමි. මේ අකුළන ලියවිල්ලෙහි ඇති අනාවැකියේ වචන පවත්වන තැනැත්තා සන්තෝෂවත්ය.’” (එළිදරව් 22:6, 7) එසේනම් එළිදරව් පොතේ සඳහන් සියලුම පොරොන්දු ඉටු වන බවට කිසිම සැකයක් නැහැ. දේවදූතයා යේසුස්ගේ නාමයෙන් කතා කරමින් පවසන්නේ යේසුස් “ඉක්මනින්” එන බවයි. මෙය යෙහෝවා දෙවිගේ සතුරන්ව විනාශ කිරීමට යේසුස් “සොරෙකු මෙන්” එන අවස්ථාවයි. ඉන් අනතුරුවයි එළිදරව් පොතේ අවසානයේ සඳහන් ප්‍රීතිමත් මෙන්ම තේජවත් දේවල් ඉටු වෙන්නේ. (එළිදරව් 16:15, 16) ඒ කාලයේදී සන්තෝෂ වෙන්න නම් ‘මේ ලියවිල්ලේ’ එනම් එළිදරව් පොතේ තිබෙන දේවල් අපේ ජීවිතවලට අදාළ කරගැනීම අවශ්‍යයි.
2. (අ) මෙතරම් වටිනා දර්ශන මාලාවක් දැකීමෙන් පසු යොහන් ක්‍රියා කරන්නේ කෙසේද? දේවදූතයා ඔහුට පවසන්නේ කුමක්ද? (ආ) “පරෙස්සම් වන්න!” සහ “දෙවිට නමස්කාර කරන්න” කියා දේවදූතයා පවසන වචනවලින් අප ඉගෙනගන්නේ කුමක්ද?
2 මෙතරම් වටිනා දර්ශන මාලාවක් දැකීමෙන් පසු යොහන්ට නම් තමන්ගේ හැඟීම් පාලනය කරන්න බැරි තරම්.“මේ දේවල් ඇසූ දුටු තැනැත්තා යොහන් වන මමය. මා ඇසූ දුටු මේ දේවල් මට පෙන්වූ දේවදූතයාට නමස්කාර කරන පිණිස මම ඔහුගේ පාමුල වැඳ වැටුණෙමි. නමුත් ඔහු මට මෙසේ කීවේය: ‘පරෙස්සම් වන්න! එසේ නොකරන්න! මා ඔබේද, අනාගතවක්තෘවරුන් වන ඔබේ සහෝදරයන්ගේද, මේ අකුළන ලියවිල්ලෙහි වචන පවත්වන අයගේද සෙසු දාසයෙකු පමණි. දෙවිට නමස්කාර කරන්න.’” (එළිදරව් 22:8, 9; එළිදරව් 19:10ද බලන්න.) දේවදූතයන්ට නමස්කාර නොකරන්න කියා යොහන් දෙවන වරටයි මේ අවවාද ලබන්නේ. මෙම අවවාදය ඉතා උචිත වුණා. මන්ද යොහන්ගේ කාලයේදී සමහරුන් එවැනි නමස්කාරයක් කළ නිසයි. තවත් සමහරුන් කියා සිටියේ ඔවුන්ට දේවදූතයන්ගෙන් විශේෂ එළිදරව් වීම් ලැබුණා කියායි. (1 කොරින්ති 13:1; ගලාති 1:8; කොලොස්සි 2:18) අද නම් අපට එයින් කාවද්දන්නේ දෙවිට පමණක් නමස්කාර කිරීමේ වැදගත්කමයි. (මතෙව් 4:10) අප දෙවිට කරන පවිත්‍ර නමස්කාරය වෙන කිසිම ආකාරයක නමස්කාරයකින් දූෂ්‍ය නොවිය යුතුයි.—යෙසායා 42:5, 8.
3, 4. දේවදූතයා යොහන්ට ඊළඟට පවසන්නේ කුමක්ද? අභිෂේක ලත් ඉතිරි අය මෙම වචනවලට කීකරු වී ඇත්තේ කෙසේද?
3 යොහන් ඊළඟට පවසන්නේ මෙසේයි. “තවද, ඔහු මට මෙසේ කීවේය: ‘මේ අකුළන ලියවිල්ලෙහි ඇති අනාවැකියේ වචන මුද්‍රා නොකරන්න. මන්ද, නියමිත කාලය ළඟය. අධර්මිෂ්ඨකම් කරන්නා අධර්මිෂ්ඨකම් කරමින් සිටීවා. අපවිත්‍ර තැනැත්තා තව තවත් අපවිත්‍ර වේවා. නමුත් ධර්මිෂ්ඨ තැනැත්තා ධර්මිෂ්ඨකම් කරමින් සිටීවා. ශුද්ධ තැනැත්තා තව තවත් ශුද්ධ වේවා.’”—එළිදරව් 22:10, 11.
4 අද දින අභිෂේක ලත් ඉතිරි කොටස දේවදූතයාගේ වචනවලට කීකරු වී සිටිනවා. ඔවුන් මේ අනාවැකියේ වචන මුද්‍රා කර නැහැ. ඔවුන්ගේ අරමුණ නම් සත්‍යයට ප්‍රිය කරන සියලුදෙනාගේම අවධානය එහි ප්‍රබල අනාවැකි සහ ඒවායේ ඉටුවීම වෙත යොමු කිරීමයි. ඇත්තෙන්ම මුරටැඹ සඟරාවේ මුල්ම කලාපයේ එළිදරව් පොතේ පද බොහොමයක් ගැන අදහස් දක්වා තිබුණා. (Zion’s Watch Tower and Herald of Christ’s Presence, July 1879) අප කලින් සඳහන් කළ ආකාරයට එළිදරව් පොත ගැන යෙහෝවාගේ සාක්ෂිකරුවන් අවුරුදු ගණනාවක් පුරා පොත් රාශියක්ම නිකුත් කර තිබෙනවා. මෙම පොතත් නිකුත් කර තිබෙන්නේ ඒ අරමුණ උදෙසායි.
5. (අ) එළිදරව් පොතේ ඇති අවවාද සහ උපදෙස් යමෙක් නොසලකාහරින්න තීරණය කළොත් සිදු වෙන්නේ කුමක්ද? (ආ) මොළොක් සහ ධර්මිෂ්ඨ අය ඊට ප්‍රතිචාරය දැක්විය යුත්තේ කෙසේද?
5 එළිදරව් පොතේ ඇති අවවාද සහ උපදෙස් යමෙක් නොසලකාහරින්න තීරණය කළොත් ඒ තීරණයට වග කියන්නේ ඔවුන්මයි. “අධර්මිෂ්ඨකම් කරන්නා අධර්මිෂ්ඨකම් කරමින් සිටීවා” කියා සඳහන් වෙන්නේ එනිසයි. මෙම ලෝකයේ පිළිකුල්සහගත දේවලට ඇලුම්ව සිටින්න සමහරුන් තීරණය කළොත් ඔවුන්ට සිදු වෙන්නේ මේ ලෝකයත් සමඟ විනාශ වී යන්නයි. යෙහෝවා දෙවි තීන්දු කර ඇති දේ ළඟදීම ඉටු වෙනවා. මුලින්ම විනාශ වී යන්නේ මහා බැබිලෝනියයි. එමනිසා මොළොක් ගුණ ඇති සියලුදෙනාම දෙවිගේ අනාගතවක්තෘගේ මෙම වචනවලට සවන් දිය යුතුයි. ‘යෙහෝවා දෙවිව සොයන්න. ධර්මිෂ්ඨකම සොයන්න. මොළොක්කම සොයන්න. සමහරවිට යෙහෝවා දෙවිගේ උදහස් දවසේදී ඔබව සඟවනු ලබන්ට පුළුවන.’ (ශෙපනියා 2:3) යෙහෝවා දෙවිට දැනටමත් කැප වී සිටින අය ගැන කුමක් කිව හැකිද? “ධර්මිෂ්ඨ තැනැත්තා ධර්මිෂ්ඨකම් කරමින් සිටීවා. ශුද්ධ තැනැත්තා තව තවත් ශුද්ධ වේවා” කියන වචන ඔවුන්ට අදාළයි. පව්කාර ජීවිතයක් ගත කිරීමෙන් යම් වින්දනයක් හෝ වාසියක් ලබාගත හැකි වුණත් එය තාවකාලිකයි. නමුත් කල් පවතින ආශීර්වාද ලැබෙන්නේ ධර්මිෂ්ඨ හා ශුද්ධ ජීවිතයක් ගත කිරීමට වෑයම් කිරීමෙනුයි. බයිබලයේ සඳහන් මෙම උපදෙසට කන් දීම කොතරම් වැදගත්ද! “ඔබ ඇදහිල්ලේ සිටිනවාදැයි නොකඩවා පරීක්ෂා කර බලන්න. ඔබ කෙබඳු අයදැයි නොකඩවා සෝදිසි කර බලන්න.” (2 කොරින්ති 13:5) ඔබ හරි තේරීම කර එයට ඇලී සිටියොත් ඔබට ආශීර්වාද ලැබෙනවා නිසැකයි.—ගීතාවලිය 19:9-11; 58:10, 11.
6. යෙහෝවා දෙවි එළිදරව් පොතේ පාඨකයන්ට පවසන්නේ කුමක්ද?
6 එළිදරව් පොතේ පාඨකයන්ට දැන් අවසන් වරට ඇසෙන්නේ සදාකාල රජාණන් වන යෙහෝවා දෙවි පවසන මේ වචනයි. “බලන්න! මම ඉක්මනින් එමි. එකිනෙකාට තම තමාගේ ක්‍රියාවලට අනුව විපාක දෙන පිණිස මා දෙන විපාකය මා ළඟ තිබේ. මම ඇල්ෆා සහ ඔමේගාද, පළමුවැන්නා සහ අන්තිමයාද, පටන්ගැන්ම සහ අවසානයද වෙමි. තමුන්ගේ සළු සෝදාගන්නා අය සන්තෝෂවත්ය. මන්ද, එසේ කිරීමෙන් ජීවන වෘක්ෂ වෙත යෑමේ අයිතිය ඔවුන්ට ලැබෙන්නේය. එසේම නුවර දොරටුවලින් එයට ඇතුල් වීමටද ඔවුන්ට හැකි වන්නේය. පිටත සිටින්නේ බල්ලන්ද, භූතවාදයේ නියැලී සිටින්නන්ද, වේශ්‍යාකම් කරන්නන්ද, මිනී මරුවන්ද, රූප වඳින්නන්ද, බොරුවට කැමතිව, බොරුව කරමින් සිටින්නන්ද යන අයය.”—එළිදරව් 22:12-15.
7. (අ) යෙහෝවා දෙවි ‘ඉක්මනින් එන්නේ’ කුමක් සඳහාද? (ආ) පල්ලිවල පූජකයන්ට කිසිම ආකාරයකින්වත් නව යෙරුසලමට සම්බන්ධ වෙන්න බැරි ඇයි?
7 මේ අවස්ථාවේදී යෙහෝවා දෙවි නැවතත් තමා විශ්වයේ සදාකාලික පාලකයා බව අවධාරණය කරනවා. ඔහු මුලින් අරමුණු කළ දේ අවසානයේදී ඉටු කරනවාමයි. ඔහු ‘ඉක්මනින් එන්නේ’ තම විනිශ්චයන් ඉටු කිරීමට සහ ඔහුව ඕනෑකමින් සොයන අයට ආශීර්වාද කිරීමටයි. (හෙබ්‍රෙව් 11:6) ආශීර්වාද ලබන අය සහ ප්‍රතික්ෂේප වන අය කවුරුන්ද කියා තීරණය වෙන්නේ ඔහුගේ ප්‍රමිතිවලට අනුවයි. ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලිවල පූජකයන් දෙවි ඉහත සඳහන් කර ඇති පිළිකුල්සහගත ක්‍රියා ගණනකටවත් නොගනිමින් ‘ගොළු බල්ලන්’ හා සමානව ක්‍රියා කර තිබෙනවා. (යෙසායා 56:10-12; ද්විතීය කතාව 23:18ද බලන්න.) ඇත්තෙන්ම ඔවුන් “බොරුවට කැමතිව, බොරුව කරමින්” සිටින අයයි. ඔවුන් යේසුස් සභා සතට දුන් උපදෙස් නොසලකාහරිමින් බොරු ඉගැන්වීම් සහ මූලධර්ම පතුරුවා තිබෙනවා. නව යෙරුසලමට කිසිම ආකාරයකින්වත් සම්බන්ධ වෙන්න ඔවුන්ට බැරි වෙන්නේ එනිසයි.
8. (අ) “ජීවන වෘක්ෂ වෙත” යෑමෙන් අදහස් කරන්නේ කුමක්ද? ඒ සඳහා “අයිතිය” ලැබෙන්නේ කාට පමණක්ද? (ආ) මහත් සමූහය ‘තමුන්ගේ සළු සෝදාගෙන’ ඇත්තේ කෙසේද? ඔවුන් දිගටම පවිත්‍රව සිටින්නේ කෙසේද?
8 “ජීවන වෘක්ෂ වෙත යෑමේ අයිතිය” එනම් ස්වර්ගයේ අමරණීය ජීවිතයක් භුක්ති විඳීමේ අයිතිය ලැබෙන්නේ ‘තමන්ගේ සළු සැබවින්ම සෝදාගන්නා’ අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට පමණයි. ‘සළු සෝදාගැනීමෙන්’ අදහස් වෙන්නේ ඔවුන් යෙහෝවා දෙවි ඉදිරියේ පවිත්‍ර තත්වයක සිටිය යුතු බවයි. (උත්පත්ති 3:22-24ද, එළිදරව් 2:7ද, එළි 3:4, 5ද බලන්න.) මිනිසුන් ලෙස මිය ගිය විට ඔවුන්ව ස්වර්ගයට නැවත නැඟිටුවනු ලබනවා. ඔවුන් නව යෙරුසලමට ඇතුල් වෙන්නේ එවිටයි. ඒ සඳහා දේවදූතයන් 12දෙනාගෙන් ඔවුන්ට අවසර ලැබෙනවා. නමුත් බොරු කරමින් අපවිත්‍ර දේවල නියැලී සිටින අයටවත් තමාට ස්වර්ගික කැඳවීමක් තිබෙනවා කියා බොරු කියන අයටවත් ඇතුල් වෙන්න අවසර ලැබෙන්නේ නැහැ. පොළොව මත සිටින මහත් සමූහයත් ‘තමුන්ගේ සළු බැටළු පැටවාගේ රුධිරයෙන් සෝදා සුදු කරගෙන’ සිටින අතර ඔවුන් දිගටම පවිත්‍රව සිටිය යුතුයි. ඔවුන්ට එසේ කළ හැක්කේ යෙහෝවා දෙවි සඳහන් කරන පිළිකුල්සහගත ක්‍රියාවලින් වැළකී සිටීමෙන් හා යේසුස් සභා සතට දුන් අවවාද සිතට ගැනීමෙනුයි.—එළිදරව් 7:14; 2 සහ 3 පරිච්ඡේද.
9. දැන් යේසුස් පවසන්නේ කුමක්ද? ඔහු පවසන මෙම වචන සහ මුළු එළිදරව් පොතම ප්‍රධාන වශයෙන් ලියා ඇත්තේ කවුරුන් වෙනුවෙන්ද?
9 යෙහෝවා දෙවිගෙන් පසු දැන් යේසුස් කතා කරනවා. එළිදරව් පොත කියවන අවංක සිත් ඇති අයව දිරිගන්වමින් ඔහු පවසන්නේ මෙසේයි. “යේසුස් වන මම, සභාවන් උදෙසා මේ දේවල් ගැන ඔබට සාක්ෂි දරන පිණිස මාගේ දූතයාව එව්වෙමි. මම දාවිත්ගේ මුලද වංශයද, දීප්තිමත් පහන් තාරකාවද වෙමි.” (එළිදරව් 22:16) මෙම වචන ප්‍රධාන වශයෙන් ලියා ඇත්තේ ‘සභාවන් උදෙසායි.’ ඒ කියන්නේ පොළොව මත සිටින සියලුම අභිෂේක ලත් අය උදෙසායි. ඇත්තෙන්ම එළිදරව් පොතේ සඳහන් සෑම දෙයක්ම ප්‍රධාන වශයෙන් ලියා තිබෙන්නේ නව යෙරුසලමට ඇතුල් වන අභිෂේක ලත් ක්‍රිස්තියානීන් වෙනුවෙනුයි. එම අභිෂේක ලත් සභාව මාර්ගයෙන් මහත් සමූහයේ අයටත් මෙම අනගි සත්‍යයන් තේරුම්ගැනීමට ප්‍රස්තාව උදා වෙනවා.—යොහන් 17:18-21.
10. (අ) යේසුස් තමාව “දාවිත්ගේ මුලද වංශයද” ලෙස හැඳින්වූයේ ඇයි? (ආ) යේසුස් තමාව “පහන් තාරකාව” ලෙස හැඳින්වූයේ ඇයි?
10 එළිදරව් පොතේ තොරතුරු යොහන්ට සහ යොහන් තුළින් සභාවට ලබා දීමේ කාර්යය භාර දුන්නේ යේසුස් ක්‍රිස්තුස්ටයි. යේසුස් මිහිපිට ඉපදුණේ දාවිත්ගේ පෙළපතේ කෙනෙක් ලෙසයි. එමනිසා යේසුස් ක්‍රිස්තුස්ව දාවිත්ගේ ‘වංශය’ ලෙස හඳුන්වනවා. ඔහු දාවිත්ගේ පෙළපතෙන් පැවතෙන නිසා ඔහු දෙවිගේ රාජ්‍යයේ රජු වීමට සුදුසුයි. මෙලෙස ඔහු දාවිත්ගේ පෙළපතින් එන සදාකාලික මෙන්ම අමරණීය රජු වීම තුළින් යෙහෝවා දෙවි දාවිත්ට දුන් පොරොන්දුව ඉටු වෙනවා. ‘සදාකාල පියා’ ලෙස ඔහු දාවිත්ගේ පෙළපතට දිගටම ජීවය ලබා දී එය නොසෙල්වෙන සේ දිගටම පවත්වාගෙන යන නිසා ඔහු දාවිත්ගේ “මුල” බවටත් පත් වෙනවා. (යෙසායා 9:6; 11:1, 10) ඒ විතරක් නෙවෙයි මෝසෙස්ගේ කාලයේදී සඳහන් කළ ‘දීප්තිමත් පහන් තාරකාවත්’ ඔහුයි. (ගණන් කතාව 24:17; ගීතාවලිය 89:34-37) දේවරාජ්‍යයේ රජු ලෙස ඔහු නව යුගයක් උදා කරනවා. ඔහු “පහන් තාරකාව” වෙන්නේ එයාකාරයටයි. (2 පේතෘස් 1:19) මහා බැබිලෝනිය නම් සතුරා කොතරම් කුමන්ත්‍රණය කළත් ඒ තේජවත් තාරකාවේ උදා වීම නතර කරන්න බැරි වෙනවා.
“එන්න!” යයි කියන්න
11. යොහන් දැන් සියලුදෙනාටම කරන ආරාධනාව කුමක්ද? එයට ප්‍රතිචාරය දැක්විය හැක්කේ කාටද?
11 ඊළඟට කතා කරන්නේ තමා ඇසූ දුටු සියල්ල නිසා ප්‍රීතියෙන් ඉපිල සිටින යොහන්. ඔහු පවසන්නේ මෙසේයි.“ආත්මයද මනාලියද, ‘එන්න!’ යයි කියන්නේය. අසන තැනැත්තාද, ‘එන්න!’ යයි කියාවා. පිපාසය ඇති තැනැත්තාද ඒවා; කැමති කෙනෙක් ජීවන වතුර නොමිලේ ගනීවා.” (එළිදරව් 22:17) මේ ආරාධනාව සියලුදෙනාටම විවෘතයි. මන්ද යේසුස්ගේ ජීවිත පූජාවේ ප්‍රයෝජන 1,44,000දෙනාට පමණක් සීමා කර නැති නිසයි. අභිෂේක ලත් මනාලිය පන්තිය තුළින් යෙහෝවා දෙවිගේ බලය ප්රබලව ක්‍රියා කරන නිසා “ජීවනයේ වතුර නොමිලේ ගනීවා” කියන හඬ ඉතා පැහැදිලිව පොළොව පුරා ඇසෙනවා. (යෙසායා 55:1ද, යෙසා 59:21ද බලන්න.) ධර්මිෂ්ඨකමට සාපිපාසා ඇති සියලුදෙනාටම ‘එන්න’ කියා පවසනවා. ඒ යෙහෝවා දෙවිගේ බහුල සැපයුම්වලින් ආශීර්වාද ලබාගැනීමටයි. (මතෙව් 5:3, 6) අභිෂේක ලත් යොහන් පන්තියේ මෙම ආරාධනාවට ප්‍රතිචාරය දක්වන වෙනත් බැටළුවන් මොන තරම් ආශීර්වාද ලත් තත්වයක සිටිනවාද!
12. එළිදරව් 22:17හි සඳහන් ආරාධනාවට මහත් සමූහය ප්‍රතිචාරය දක්වා ඇත්තේ කෙසේද?
12 එක්දහස් නවසිය තිස්ගණන්වල මුල් කාලයේ සිට දිනෙන් දින වැඩි වන මහත් සමූහයක් මෙම ආරාධනාවට නිසි ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා. අභිෂේක ලත් දාසයන් මෙන් ඔවුන්ද යෙහෝවා දෙවි ඉදිරියේ පවිත්‍රව සිටිනවා. ඔවුන් මහත් ආශාවකින් බලා සිටින්නේ නව යෙරුසලම ස්වර්ගයෙන් බැස ඇවිත් මිනිස් වර්ගයාට ආශීර්වාද ලබා දෙන ඒ කාලය උදා වන තුරුයි. එළිදරව් පොතේ ප්‍රබල පණිවුඩය අසා ඇති මෙම මහත් සමූහය “එන්න” කියන ආරාධනාව ඉදිරිපත් කරනවා විතරක් නෙවෙයි. ඔවුන් මෙම ආරාධනාව පිළිගන්නා අයට යෙහෝවා දෙවිගේ සංවිධානයට එකතු වෙන්නත් ක්‍රියාශීලීව උපකාර කරනවා. ඔවුන් මෙම නවකයන්ව පුහුණු කරන්නේ “පිපාසය ඇති තැනැත්තාද ඒවා” කියන ආරාධනාව තවත් අයට ප්‍රකාශ කිරීමටයි. ප්‍රතිඵලයක් ලෙස මහත් සමූහය දිනෙන් දින වැඩි වෙනවා. දැන් රටවල් 235ක් පුරා සිටින ඔවුන්ගේ සංඛ්‍යාව 60,00,000කටත් වඩා වැඩියි. ඔවුන් සංඛ්‍යාවෙන් 9,000කටත් වඩා අඩු වූ අභිෂේක ලත් මනාලිය පන්තිය සමඟ එක් වී සියලුදෙනාටම ඉදිරිපත් කරන්නේ “ජීවන වතුර නොමිලේ ගනීවා” කියන ආරාධනාවයි.
13. යේසුස් දැන් පවසන්නේ කුමක්ද?
13 ඊළඟට යේසුස් නැවතත් කතා කරයි. “මේ අකුළන ලියවිල්ලෙහි ඇති අනාවැකියේ වචන අසන සියලුදෙනාටම මම මෙසේ සාක්ෂි දරමි: යමෙක් මේ දේවල්වලට යමක් එකතු කරන්නේ නම්, දෙවි මේ අකුළන ලියවිල්ලෙහි ලියා තිබෙන පීඩා ඔහුට එකතු කරන්නේය; තවද, යමෙක් මේ අනාවැකි ලියවිල්ලෙහි වචනවලින් යමක් අහක් කරන්නේ නම්, දෙවි මේ අකුළන ලියවිල්ලෙහි සඳහන් කර තිබෙන ජීවන වෘක්ෂවලින්ද ශුද්ධ නුවරෙන්ද ඔහුට නියමිත කොටස අහක් කරන්නේය.”—එළිදරව් 22:18, 19.
14. යොහන් පන්තිය එළිදරව් පොතේ දකින්න ලැබෙන මෙම ‘අනාවැකිය’ සලකන්නේ කෙසේද?
14 එළිදරව් පොතේ සඳහන් ‘අනාවැකිය’ සියලුදෙනාගේම අවධානයට ලක් කිරීම යොහන් පන්තියට අයත් අයගේ වගකීමයි. ඔවුන්ට බැහැ එහි පණිවුඩය යටපත් කරන්න හෝ එයට වෙනත් යමක් එකතු කරන්න. එය සියල්ලන්ට ඇසෙන සේ “වහලවල් උඩ සිට” දේශනා කළ යුතුයි. (මතෙව් 10:27) එළිදරව් පොතේ සඳහන් තොරතුරු දෙවිගෙන්ම ලැබූ දෙයක්. ස්වර්ගයේ රජ කරන යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් යෙහෝවා දෙවි දී ඇති මෙම පණිවුඩයේ වචනයක්වත් වෙනස් නොකළ යුතුයි. කවුරු හරි කෙනෙක් එසේ කළොත් ඔහුට ජීවනය අහිමි වෙනවා. ඒ වගේම මහා බැබිලෝනිය සහ මුළු ලෝකය පිටට පැමිණෙන සියලුම පීඩා අද්දකින්න ඔහුට සිදු වෙනවා.
15. යේසුස් ‘මේ දේවල් ගැන සාක්ෂි දරන තැනැත්තා’ වීමත් තමා ‘ඉක්මනින් එන’ බව කීමත් වැදගත් වෙන්නේ ඇයි?
15 යේසුස් අවසන් වරට මෙම දිරිගැන්වීම ලබා දෙනවා. “මේ දේවල් ගැන සාක්ෂි දරන තැනැත්තා, ‘එසේය; මම ඉක්මනින් එමි’ යි කියන්නේය.” (එළිදරව් 22:20අ) යේසුස් තමයි “විශ්වාසවන්ත, සැබෑ සාක්ෂිකරුවා.” (එළිදරව් 3:14) එමනිසා එළිදරව් පොතේ සඳහන් දර්ශනවලට ඔහු තමාගේ සාක්ෂිය එකතු කරනවා නම් ඒවා සැබෑ විය යුතුමයි. මීට අමතරව යේසුස් ක්‍රිස්තුස් සහ යෙහෝවා දෙවි යන දෙදෙනාම “ඉක්මනින්” එන බව කිහිප සැරයක්ම පවසනවා. යේසුස් එසේ කියන්නේ පස්වෙනි වතාවටයි. (එළිදරව් 2:16; 3:11; 22:7, 12, 20) ඔවුන් මෙසේ ‘එන්නේ’ මහා ගණිකාව පිටත් ලෝකයේ පාලනය කරන “රජවරුන්” පිටත් යෙහෝවා දෙවි වන ‘අපේ ස්වාමීන්ට ඔහුගේ ක්‍රිස්තුස්ට අයත් රාජ්‍යයට’ විරුද්ධව සිටින සියල්ලන් පිටත් විනිශ්චය ඉටු කිරීමටයි.—එළිදරව් 11:15; 16:14, 16; 17:1, 12-14.
16. යෙහෝවා දෙවි සහ යේසුස් ක්‍රිස්තුස් ඉක්මනින් එන බව දන්නා නිසා ඔබ උනන්දු විය යුත්තේ කුමක් කිරීමටද?
16 යෙහෝවා දෙවි සහ යේසුස් ඉක්මනින් එන බව ඔබ දන්නා නිසා ‘යෙහෝවා දෙවිගේ දවසේ පැමිණීම මනසෙහි ප්රමුඛව තබාගන්න’ ඔබ තුළ උනන්දුවක් ඇති විය යුතුයි. (2 පේතෘස් 3:12) සාතන්ගේ මෙම ලෝකයේ ඉඳහිට යම් ස්ථාවරත්වයක් දකින්න තිබුණත් එය මායාවක් පමණයි. සාතන්ගේ අණසක යටතේ සිටින මෙම ලෝකයේ පාලකයන් යම් ප්‍රතිඵල ලබාගත්තත් එයත් තාවකාලිකයි. මේ සියලු දේවල් පහව යනවා නිසැකයි. (එළිදරව් 21:1) අපට කල් පවතින විසඳුමක් බලාපොරොත්තු විය හැක්කේ යෙහෝවා දෙවිගෙන්, යේසුස් ක්‍රිස්තුස් පාලනය කරන දේවරාජ්‍යය තුළින් හා පොරොන්දු වී ඇති පාරාදීස පොළොව තුළින් පමණයි. අපි මෙය කිසිදාක අමතක නොකරමු.—1 යොහන් 2:15-17.
17. යෙහෝවා දෙවිගේ ශුද්ධකම ඔබට බලපෑ යුත්තේ කෙසේද?
17 එළිදරව් පොත තුළින් ඔබ බොහෝ දේ ඉගෙනගත්තාට සැකයක් නැහැ. මෙම තොරතුරු ඔබේ ජීවිතයට සමීප කරගන්න. ඒවා කිසිදා අමතක නොකරන්න. ඇත්තටම අපගේ මැවුම්කරු වන යෙහෝවා දෙවි ස්වර්ගයේ සිටින ආකාරය දකිද්දී ඔහුගේ තේජස සහ ශුද්ධකම ඔබේ සිතට කාවැදුණේ නැද්ද? (එළිදරව් 4:1–5:14) මෙතරම් ශුද්ධ දෙවි කෙනෙකුට සේවය කිරීම මොන තරම් උතුම් වරප්‍රසාදයක්ද! එමනිසා යේසුස් සභා සතට දුන් උපදෙස් කිසිදාක අමතක නොකරන්න. ධන සම්පත් පසුපස යෑම, රූප වන්දනාව, දුරාචාරය, ඇල්මැරුණු ගතිය, සත්‍යයට විරුද්ධව කැරලිගසන අයගේ විනාශකාරී ඉගැන්වීම් හෝ යෙහෝවා දෙවිගේ අප්‍රසාදයට ලක් විය හැකි වෙනත් ඕනෑම දෙයකින් වැළකී සිටීමට අදිටන් කරගන්න. (එළිදරව් 2:1–3:22) පේතෘස්ගේ මෙම වදන්වලට සවන් දීම කොතරම් වැදගත්ද! “ඔබව කැඳවූ ශුද්ධ තැනැත්තා මෙන් ඔබත් ඔබේ මුළු හැසිරීමේදී ශුද්ධව සිටින්න.” ඔහු මෙම වචන අභිෂේක ලත් යොහන් පන්තියට යොමු කළත් එහි ප්‍රතිපත්තිය අනිවාර්යයෙන්ම මහත් සමූහයේ අයටත් අදාළයි.—1 පේතෘස් 1:15, 16.
18. ඔබ හැකි උපරිමයෙන් සහභාගි විය යුත්තේ කුමන කාර්යයටද? මෙය අද දින එතරම් හදිසි කාර්යයක් වෙන්නේ ඇයි?
18 මීට අමතරව ‘යෙහෝවා දෙවිගේ කරුණාවේ අවුරුද්ද සහ අපේ දෙවිගේ පළිගැනීමේ දවස’ ගැන උද්යෝගයෙන් ප්‍රකාශ කිරීම අවශ්‍යයි. ඒ සඳහා ඔබේ උත්සාහය කිසිදා අත් නොහරින්න. (යෙසායා 35:4; 61:2) ඔබ කුඩා රැළට හෝ මහත් සමූහයට අයත් වුණත් සාතන්ගේ ලෝකය පිට දෙවි තීන්දු කර ඇති දේ ප්‍රසිද්ධ කිරීමේ කටයුත්තට හවුල් වෙන්න ඔබට පුළුවන්. එසේ කිරීමෙන් යෙහෝවා දෙවිගේ කෝපයෙන් පිරුණු බඳුන් සත වත් කරන දේවදූතයන්ට ඔබ ඔබේ පූර්ණ සහයෝගය දෙනවා. ඒත් සමඟම යෙහෝවා දෙවිගේ සහ යේසුස් ක්‍රිස්තුස්ගේ රාජ්‍යය පිළිබඳ සදාකාල ශුභාරංචිය පතළ කරන ප්‍රීතිමත් හඬට ඔබේ හඬත් එකතු කරන්න පුළුවන්. (එළිදරව් 11:15; 14:6, 7) එම කාර්යයන්වලට උද්යෝගයෙන් හවුල් වෙන්න. අපගේ ප්‍රාර්ථනාව වෙන්නේ තවත් බොහෝදෙනෙක් අප ස්වාමීන්ගේ දවසේ සිටින බව දැනගෙන යෙහෝවා දෙවිට සේවය කරන්න තීරණය කරයි කියයි. එවිට ඔවුන්ටත් ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යයට හවුල් වෙන්න පුළුවන්. “නියම කරන ලද කාලය ළඟ” බව අපි කිසිදා අමතක නොකරමු.—එළිදරව් 1:3.
19. මහලු යොහන් අන්තිමට පවසන්නේ කුමක්ද? ඔබ එම වචනවලට ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද?
19 එසේනම් අපි යොහන් සමඟම මෙසේ පවසමු. “ආමෙන්, ස්වාමීන් වන යේසුස් එන්න.” මහලු යොහන් අන්තිමට පවසන්නේ මෙසේයි. “ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ මහත් කරුණාව ශුද්ධ තැනැත්තන් සමඟ සිටීවා!” (එළිදරව් 22:20ආ, 21) මේ පොත කියවන ඔබ සියලුදෙනා සම්බන්ධයෙනුත් එය සැබෑවක් වේවා! එළිදරව් පොතේ අවසාන ඉටුවීම අත ළඟ බවට දැඩි විශ්වාසයකින් සිටින්න. එවිට ඔබටත්“ආමෙන්!” කියා මුළු හදින්ම කියන්න හැකි වෙනවා නොඅනුමානයි.
[314වන පිටුවේ පින්තූරය]
“පිටත සිටින්නේ බල්ලන් . . . ”
[315වන පිටුවේ පින්තූරය]
‘නුවර දොරටුවලින් ඇතුල් වීමට හැකි අය සන්තෝෂවත්ය’