පරිච්ඡේදය 12
“ඔබට තිබෙන දේ දිගටම ආරක්ෂා කරගන්න”
ෆිලදෙල්ෆියා
1. යේසුස් තම හයවන පණිවුඩය යවනු ලැබුවේ කිනම් නගරයේ පිහිටි සභාවටද? එම නගරයේ නමේ අර්ථය කුමක්ද?
සහෝදර ස්නේහය කියන්නේ ඉතා ප්‍රියජනක ගුණාංගයක්. යේසුස් තම හයවන පණිවුඩය ෆිලදෙල්ෆියා සභාවට යවන විට, මේ කාරණය ඔහුගේ මනසේ තිබූ බවට සැකයක් නැහැ. මන්ද ෆිලදෙල්ෆියා යන්නෙහි අර්ථය “සහෝදර ස්නේහය” යන්නයි. මෙය ලිවීමට වසර 60කට පෙර සිදු වූ එක් සිද්ධියක් මහලු යොහන්ට තවමත් මතකයි. ඒ පේතෘස් වතා තුනක්ම ස්වාමි වූ යේසුස්ට තම ගැඹුරු ස්නේහය පළ කර සිටි අවස්ථාවයි. (යොහන් 21:15-17) ෆිලදෙල්ෆියාවේ සිටි ක්‍රිස්තියානීනුත් සහෝදර ස්නේහය පෙන්වමින් සිටිනවාද? පෙනෙන විදිහට ඔවුන් එසේ කර තිබෙනවා.
2. ෆිලදෙල්ෆියා කිනම් ආකාරයේ නගරයක්ද? එහි තිබුණේ කිනම් ආකාරයේ සභාවක්ද? එම සභාවේ දූතයාට යේසුස් පවසන්නේ මොනවාද?
2 ෆිලදෙල්ෆියා නගරය පිහිටා තිබුණේ සර්දිස් නගරයට ගිනිකොන දෙසින් සැතපුම් 30ක් පමණ වෙන්නටයි. (එය පිහිටා තිබුණේ අද දින තුර්කියට අයත් අලාසෙහිර් නම් නගරය අවට ප්‍රදේශයේ.) යොහන් විසූ කාලයේ මෙම නගරය සමෘද්ධිමත් නගරයක්ව තිබුණා. ඊටත් වඩා එහි තිබූ ක්‍රිස්තියානි සභාව ඇදහිල්ල අතින් සමෘද්ධිමත් තත්වයක තිබුණා. සර්දිස් සභාවේ සිට තමන් වෙතට ආ පණිවිඩකරුවාව ඔවුන් මොන තරම් ප්‍රීතියෙන් පිළිගන්න ඇද්ද! ඔහු රැගෙන එන පණිවුඩයේ ඔවුන් සඳහා ඉතා දිරිගන්වනසුලු උපදෙස් ඇතුළත් වුණා. නමුත් එහි මුලින්ම සඳහන් වෙන්නේ එය එවන තැනැත්තා වන යේසුස් පිළිබඳ විස්තරයක් හා ඔහු සතු බලතල ගැනයි. ඔහු මෙසේ කියනවා. “ෆිලදෙල්ෆියාවෙහි පිහිටි සභාවේ දූතයාට මෙසේ ලියන්න: ශුද්ධ වූ, සැබෑ වූ, දාවිත්ගේ යතුර ඇත්තාවූද, කිසිවෙකු නොවසන ලෙස අරින්නාවූද, කිසිවෙකු නාරින ලෙස වසන්නාවූද තැනැත්තා මේ කාරණා කියන්නේය.”—එළිදරව් 3:7.
3. යේසුස්ව “ශුද්ධ වූ” තැනැත්තෙක් කියා හැඳින්වීම උචිත වන්නේ ඇයි? ඔහු “සැබෑ වූ” කෙනෙක් වෙන්නේ කෙසේද?
3 පේතෘස් විසින් යේසුස්ට මෙසේ කියනවා යොහන්ට ඇසී තිබුණා. “සදාකාල ජීවනයේ වචන ඇත්තේ ඔබ ළඟය. තවද ඔබ දෙවිගේ ශුද්ධ තැනැත්තා බව අපි දැනගෙන සිටිමු. එමෙන්ම අපි විශ්වාස කරගෙන සිටිමු.” (යොහන් 6:68, 69) යෙහෝවා දෙවි ශුද්ධකම අතිශ්‍රේෂ්ඨ ආකාරයකින් පිළිබිඹු කරන නිසා ඔහුගේ ඒකජාතක පුත්‍රයාද “ශුද්ධ” විය යුතුයි. (එළිදරව් 4:8) ඒ වගේම යේසුස්ව “සැබෑ වූ” කෙනෙක් කියාත් හඳුන්වනවා. මේ සඳහා භාවිත කර තිබෙන ග්‍රීක වචනයෙන් (අලෙතීනොස්) අදහස් කරන්නේ ඔහු තුළ ඉතා අව්‍යාජ වූ ගතිගුණ ඇති බවයි. ‘සැබෑ’ කියන වචනය යොදාගෙන බයිබලයේ යේසුස්ව නොයෙකුත් ආකාරවලින් විස්තර කර තිබෙනවා. යේසුස්ව ස්වර්ගයෙන් පැමිණි සැබෑ ආලෝකය හැටියටත් සැබෑ ආහාරය හැටියටත් හැඳින්වෙනවා. (යොහන් 1:9; 6:32) ඒ වගේම සැබෑ මිදිවැල කියාත් හඳුන්වනවා. (යොහන් 15:1) මෙසේ යේසුස් සැබෑයයි කීමෙන් අදහස් කරන්නේ ඔහු සැබවින්ම විශ්වාසවන්ත කෙනෙක් බවයි. ඔහු සෑමවිටම කතා කරන්නේ සත්‍යය බවයි. (යොහන් 8:14, 17, 26ද බලන්න.) දෙවිගේ පුත්‍රයා වන යේසුස් රජ සහ විනිශ්චයකරු ලෙස සේවය කිරීමට ඇත්තෙන්ම වටිනවා.—එළිදරව් 19:11, 16.
“දාවිත්ගේ යතුර”
4, 5. “දාවිත්ගේ යතුර” සම්බන්ධ වී තිබුණේ කිනම් ගිවිසුම සමඟද?
4 යේසුස්ට “දාවිත්ගේ යතුර” තිබෙනවා. එය පාවිච්චි කිරීමෙන් ඔහුට ‘කිසිවෙකු නොවසන ලෙස අරින්නටත්, කිසිවෙකු නාරින ලෙස වසන්නටත්’ හැකියි. මේ “දාවිත්ගේ යතුර” කුමක්ද?
5 යෙහෝවා දෙවි සදාකාලික රාජ්‍යයක් උදෙසා ගිවිසුමක් ඇති කළේ ඊශ්‍රායෙලයේ දාවිත් රජ සමඟයි. (ගීතාවලිය 89:1-4, 34-37) දාවිත්ගේ පෙළපතින් පැමිණි රජවරු යෙහෝවා දෙවිව නියෝජනය කරමින් ක්‍රි.පූ. 1070 සිට 607 දක්වා යෙරුසලම පාලනය කළා. නමුත් එම රාජ්‍යයේ වැසියන් දුෂ්ටකමට ඇද වැටුණු නිසා දෙවි ඔවුන්ට දඬුවම් කළා. යෙහෝවා දෙවි එසකියෙල් 21:27හි කියා තිබූ අනාවැකිය ඉෂ්ට කරන්නට පටන්ගත්තා. “මම එය [යෙරුසලමේ රාජ්‍යය] පෙරළන්නෙමි. පෙරළන්නෙමි. පෙරළන්නෙමි. ඒක [දාවිත්ගේ පෙළපතින් පැමිණි රජකම] අයිතිකාර වූ අය එන තුරු ඒක තවත් නොවන්නේය. මම ඒක ඔහුට දෙන්නෙමි.”
6, 7. නියම අයිතිය ඇති තැනැත්තා පැමිණීමට නියමිතව තිබුණේ කොයි කාලයේදීද? කෙසේද?
6 මෙම “අයිතිකාර වූ අය” හෙවත් නියම අයිතිය ඇති තැනැත්තා පැමිණෙන්නේ කොයි කාලයේද? කෙසේද? දාවිත්ගේ රාජකීය පෙළපතින් පැමිණි රජකම ඔහුට දෙනු ලබන්නේ කෙසේද?
7 යෙරුසලමේ රාජ්‍යය විනාශ වී වසර 600කට පමණ පසුව, දාවිත්ගෙන් පැවතෙන යුදෙව් ජාතික කන්‍යාවක් වන මරියා ගැබ්ගත්තා. එය සිදු වූයේ දෙවිගේ බලය මගිනුයි. ඇයට දරුවෙකු ලැබෙන බවත්, ඔහුගේ නාමය යේසුස් විය යුතු බවත් යෙහෝවා දෙවි ගාබ්‍රියෙල් දේවදූතයාව යවා දැනුම් දුන්නා. ගාබ්‍රියෙල් මෙසේද කීවා. “ඔහු ශ්‍රේෂ්ඨ වන්නේය. ඔහුට මහෝත්තමයාණන්ගේ පුත්‍රයායයි කියනු ලබන්නේය. යෙහෝවා දෙවි ඔහුට ඔහුගේ පිය වූ දාවිත්ගේ සිංහාසනය දෙන්නේය. ඔහු යාකොබ්ගේ වංශය කෙරෙහි සදහටම රජකම් කරන්නේය. ඔහුගේ රාජ්‍යය අවසන් නොවන්නේය.”—ලූක් 1:31-33.
8. දාවිත්ගේ රජකම උරුම කරගැනීමට තමන් සුදුසුයි කියා යේසුස් ඔප්පු කළේ කෙසේද?
8 ක්‍රිස්තු වර්ෂ 29දී යේසුස් යොර්දාන් ගඟේ බව්තීස්ම වී ඔහුව දෙවිගේ බලයෙන් අභිෂේක කළ විට, දාවිත්ගේ පෙළපතේ රජකම ලැබීමට නියමිත කෙනා බවට ඔහු පත් වුණා. ඒ වගේම දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීමට ඔහු දැක්වූ උද්යෝගය ඉතා ආදර්ශවත් එකක්. එලෙසම කිරීමට සිය ගෝලයන්ටත් ඔහු අණ කළා. (මතෙව් 4:23; 10:7, 11) වධ කණුවක ඉතා කුරිරු මරණයක් අද්දකින්න තරම් නිහතමානි වූ යේසුස්, තමා දාවිත්ගේ පෙළපතින් පැමිණි රජකම ලැබීමට සුදුසු තැනැත්තා බව හැම අතින්ම ඔප්පු කළා. යෙහෝවා දෙවි යේසුස්ව ස්වර්ගයේ අමරණීය ජීවිතයකට නැවත නැඟිටුවා සිය දකුණු පැත්තේ තැබුවා. එහිදී දාවිත්ගේ පෙළපතේ රාජ්‍යයට අයිති සියලු අයිතිවාසිකම් යේසුස්ට උරුම වුණා. නියමිත කාලය පැමිණි විට යේසුස් තමාගේ අයිතිය පාවිච්චි කර ‘[ඔහුගේ] සතුරන් මැද ආණ්ඩු කිරීමට’ පියවර ගත්තා.—ගීතාවලිය 110:1, 2; ෆිලිප්පි 2:8, 9; හෙබ්‍රෙව් 10:13, 14.
9. යේසුස් දාවිත්ගේ යතුර, ඇරීමට හා වසා දැමීමට භාවිත කරන්නේ කෙසේද?
9 මේ අතරතුර යේසුස් දාවිත්ගේ යතුර පාවිච්චි කරමින් දෙවිගේ රාජ්‍යයට සම්බන්ධ යම් ප්‍රස්තාවන් හා වරප්රසාදයන් තවත් අයට විවෘත කර දෙනවා. මෙයාකාරයෙන් යෙහෝවා දෙවි, යේසුස් මාර්ගයෙන් පොළොවේ සිටින අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව “අන්ධකාරයේ බලයෙන් මුදා” “තම ප්‍රේමණීය පුත්‍රයාගේ රාජ්‍යය” යටතට ගන්න පියවර ගත්තා. (කොලොස්සි 1:13, 14) ඒ වගේම එවන් වරප්‍රසාද නොලැබිය යුතු අවිශ්වාසවන්ත පුද්ගලයන්ට ඒවා අහිමි කිරීමටත් යේසුස් එම යතුර පාවිච්චි කරනවා. (2 තිමෝති 2:12, 13) දාවිත්ගේ රජ පෙළපතේ ස්ථිර උරුමක්කාරයා වන යේසුස්ට යෙහෝවා දෙවිගේ අනුග්‍රහය තිබෙන නිසා යේසුස් කරන දේට බාධා කරන්න කිසිම කෙනෙක්ට බැහැ.—මතෙව් 28:18-20ද බලන්න.
10. යේසුස් ෆිලදෙල්ෆියා සභාවට ලබා දෙන දිරිගැන්වීම් මොනවාද?
10 එවන් බලතල සතු යේසුස්ගෙන් පැමිණෙන මේ පණිවුඩය ෆිලදෙල්ෆියාවේ ක්‍රිස්තියානීන්ට විශාල සැනසීමක් වුණා. ඔහු ඔවුන්ට මෙසේ ප්‍රශංසා කරනවා.“මම ඔබේ ක්‍රියා දනිමි. බලන්න! කිසිවෙකුට වැසිය නොහැකි විවෘත වූ දොරක් මා ඔබ ඉදිරියෙහි තබා තිබේ. ඔබට තිබෙන්නේ ස්වල්ප බලයකි. ඔබ මාගේ වචනය පැවැත්වූ බවත්, මාගේ නාමයට අවිශ්වාසවන්ත නොවූ බවත් මම දනිමි.” (එළිදරව් 3:8) මෙම සභාව ක්‍රියාශීලී සභාවක්. ඒ වගේම ඔවුන් ඉදිරිපිට දොරක් විවෘතව තිබෙනවා. මේ දොර නම් දෙවිට තවත් සේවය කිරීමට තිබෙන ප්‍රස්තාවක් බව නම් කිසිම සැකයක් නැහැ. (1 කොරින්ති 16:9ද, 2 කොරින්ති 2:12ද බලන්න.) ඒ නිසා දේශනා කිරීමට තිබෙන ප්‍රස්තාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියා යේසුස් සභාවට දිරිගන්වනවා. ඔවුන් විවිධ දුෂ්කරතා විඳදරාගෙන ඇති අතර යෙහෝවා දෙවිට කරන සේවය තුළ තව තවත් “ක්‍රියා” කිරීමටත් අවශ්‍ය උපකාර දෙවිගේ බලය මගින් තමන්ට ලැබී තිබෙන බව ඔවුන් ඔප්පු කර තිබෙනවා. (2 කොරින්ති 12:10; සෙකරියා 4:6) යේසුස්ගේ ආඥාවට කීකරු වී සිටින ඔවුන් වචනයෙන්වත් ක්රියාවෙන්වත් ක්‍රිස්තුස්ව ප්‍රතික්ෂේප කළේ නැහැ.
“ඔවුහු මුණින් තලා වී නුඹට වඳින්නෝය”
11. යේසුස් මෙම ක්‍රිස්තියානීන්ට පොරොන්දු වෙන්නේ කිනම් දේද? මෙය ඉෂ්ට වූයේ කෙසේද?
11 මේ නිසා ඔවුන්ට ලැබෙන ප්‍රතිඵල ගැන යේසුස් පවසන්නේ මෙසේයි. “බලන්න! තමුන් යුදෙව්වරුන්යයි බොරුවට කියාගන්නා නමුත් එසේ නොවන, සාතන්ගේ සිනගෝගයට අයත් අයට මම මෙසේ කිරීමට සලස්වන්නෙමි. බලන්න! ඇවිත් ඔබේ පාද ඉදිරියෙහි වැඳ වැටෙන්නත්, මා ඔබට ප්‍රේම කළ බව දැනගන්නත් ඔවුන්ට සලස්වන්නෙමි.” (එළිදරව් 3:9) ස්මර්ණාවේ සභාවට වගේම සමහරවිට මේ සභාවටත් ෆිලදෙල්ෆියාවේ සිටි යුදෙව්වන්ගෙන් යම් ප්‍රශ්න ඇති වෙන්න ඇති. මේ නිසා යේසුස් මේ යුදෙව්වන්ව හඳුන්වන්නේ “සාතන්ගේ සිනගෝගයට අයත් අය” කියායි. කෙසේනමුත් යේසුස් ගැන මෙම ක්‍රිස්තියානීන් දේශනා කරමින් සිටි දෙය සත්‍යයක් බව මෙම යුදෙව්වන්ගෙන් අඩුම තරමින් කිහිපදෙනෙකුවත් තේරුම්ගන්න යනවා. එය ඔවුන් මේ ක්‍රිස්තියානීන්ගේ ‘පාද ඉදිරියේ වැඳ වැටීමක්’ හා සමානයි. ඇත්තටම මෙය සිදු වෙන්නේ පාවුල් 1 කොරින්ති 14:24, 25හි විස්තර කර ඇති ආකාරයටයි. එනම් මෙම යුදෙව්වන් ඇත්තටම පසුතැවිලි වී, ක්‍රිස්තියානීන් බවට පත් වෙනවා. ඔවුන් එසේ කරන්නේ යේසුස් තම ජීවිතය දෙන තරම් තම ගෝලයන්ට පෙන්වූ ප්‍රේමය අවංකවම අගය කරන නිසයි.—යොහන් 15:12, 13.
12. ෆිලදෙල්ෆියාවේ පිහිටි යුදෙව් සිනගෝගයේ සාමාජිකයන්ගෙන් සමහරදෙනෙක් එහි සිටි ක්‍රිස්තියානීන් ඉදිරියේ “වැඳ වැටෙන” බව දැනගැනීමෙන් එම යුදෙව්වන් පුදුමයට පත් වෙන්නේ ඇයි?
12 තමන් අතරින් සමහරදෙනෙක් ඒ ප්‍රදේශයේ වෙසෙන ක්‍රිස්තියානීන්ට ‘වැඳ වැටෙනවා’ යන කාරණය දැනගැනීම නිසා ෆිලදෙල්ෆියාවේ විසූ යුදෙව්වන් පුදුම වූ බව නම් කිසිම සැකයක් නැහැ. ඔවුන් එසේ පුදුම වුණේ එහි සිටි ක්‍රිස්තියානීන් බොහෝදෙනෙක් යුදෙව් නොවන අය වූ නිසයි. ඔවුන් සිතුවේ යුදෙව් නොවන අය තමන් ඉදිරිපිට ‘වැඳ වැටිය’ යුතු බවයි. එසේ සිතුවේ ශුද්ධ ලියවිල්ලේ සඳහන් වූ ඇතැම් තොරතුරු නිසයි. උදාහරණයකට යෙසායා මෙසේ පුරෝකථනය කර තිබුණා. ‘[යුදෙව් නොවන] රජවරු නුඹ ඇති දැඩි කරන පියවරුන් මෙන් වෙති. බිසෝවරු නුඹේ [ඊශ්‍රායෙල් ජනයාගේ] කිරි මවුවරුන් මෙන් වෙති. ඔවුහු මුණින් තලා වී නුඹට වඳින්නෝය.’ (යෙසායා 49:23 නව අනුවාදය; යෙසා 45:14; 60:14) ඒ හා සමානව සෙකරියාද මෙසේ ලියා තිබුණා. “ඒ දවස්වලදී ජාතීන්ගේ සැම භාෂා කතා කරන්නන් අතරෙන් [යුදෙව් නොවන] දසදෙනෙක් යුදෙව්වෙකුගේ වස්ත්‍රය අල්ලාගෙන: අපි ඔබ සමඟ යන්නෙමු; මක්නිසාද දෙවි ඔබ සමඟ සිටින්නේයැයි ඇසීමුයයි කියන්නෝය.” (සෙකරියා 8:23) පෙනෙන විදිහට යුදෙව් නොවන අයයි යුදෙව්වන් ඉදිරිපිට වැඳ වැටිය යුත්තේ. එසේ නැතිව යුදෙව්වන් යුදෙව් නොවන අය ඉදිරියේ වැඳ වැටීම නෙවෙයි!
13. ඉපැරණි ඊශ්‍රායෙල් ජාතියට පැවසූ අනාවැකි ඉටු වන්නේ කවර යුදෙව්වන් සම්බන්ධයෙන්ද?
13 යෙසායා සහ සෙකරියා වැනි අනාගතවක්තෘවරුන් මෙම අනාවැකි කී කාලයේ ඊශ්‍රායෙල්වරු දෙවිගේ තෝරාගත් ජාතිය හැටියට ඉතාමත් ගෞරවණීය තත්වයකයි සිටියේ. නමුත් යුදෙව් ජාතිය යේසුස්ව ප්‍රතික්ෂේප කළ නිසා යෙහෝවා දෙවි ඔවුන්වත් ප්‍රතික්ෂේප කළා. (මතෙව් 15:3-9; 21:42, 43; ලූක් 12:32; යොහන් 1:10, 11) දෙවි ඔවුන් වෙනුවට ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේදී, දෙවිගේ ඊශ්‍රායෙල් හෙවත් ක්‍රිස්තියානි සභාව තෝරාගත්තා. එහි සාමාජිකයන්ව සිටියේ අවංක ලෙස සිතින්ම චර්මච්ඡේදනය වූ සැබෑ ක්‍රිස්තියානීන්. (ක්‍රියා 2:1-4, 41, 42; රෝම 2:28, 29; ගලාති 6:16) ඉන්පසුව යුදෙව්වෙකුට යෙහෝවා දෙවිගේ අනුමැතිය ලබාගත හැකි වුණේ ගැලවුම්කරු ලෙස යේසුස් කෙරෙහි තම ඇදහිල්ල තැබීම මගින් පමණයි. (මතෙව් 23:37-39) ෆිලදෙල්ෆියාවේ විසූ සමහරක් යුදෙව්වනුත් මෙසේ කළ බව පෙනී යනවා.a
14. යෙසායා 49:23 සහ සෙකරියා 8:23 නවීන කාලවල විශේෂයෙන් ඉටු වී තිබෙන්නේ කෙසේද?
14 යෙසායා 49:23 සහ සෙකරියා 8:23 වැනි අනාවැකි නවීන කාලවලදීත් ඉටු වී තිබෙනවා. යොහන් පන්තියේ දේශනා සේවයේ ප්‍රතිඵලයක් ලෙස විශාල ජන සමූහයක් තමන්ට විවෘත වූ දොරටුවෙන් ඇතුල් වී දේවසේවයෙහි හවුල් වී සිටිනවා.b මේ අයගෙන් වැඩිදෙනෙක් තමන් දෙවිගේ ජනයා බව කියා සිටින ක්‍රිස්තියානියයි කියාගන්නාවූ පල්ලිවලින් ඉවත් වී සිටින අයයි. (රෝම 9:6ද බලන්න.) මෙවැනි අය මහත් සමූහයක් හැටියට තමන්ගේ සළු සෝදා සුදු කරන්නේ යේසුස් වැගිරෙවූ රුධිරය කෙරෙහි ඇදහිල්ල තැබීමෙනුයි. (එළිදරව් 7:9, 10, 14) යේසුස් ක්‍රිස්තුස්ගේ රාජ්‍යයේ පාලනයට කීකරු වෙන ඔවුන් බලාපොරොත්තුවෙන් සිටින්නේ පොළොවේ ආශීර්වාද භුක්ති විඳීමටයි. යේසුස්ගේ අභිෂේක ලත් සහෝදරයන් වෙතට පැමිණෙන මොවුන් ඔවුන් ඉදිරිපිට සංකේතාත්මකව ‘වැඳ වැටෙන්නේ’ ‘දෙවි ඔවුන් සමඟ සිටින බව අසා’ තිබෙන නිසයි. මෙම අභිෂේක ලත් අයට සේවය කරමින් ඔවුන් සමඟ ලෝක ව්‍යාප්ත සහෝදරත්වයක් ලෙස සමඟියෙන් එකට බැඳෙනවා.—මතෙව් 25:34-40; 1 පේතෘස් 5:9.
‘පරීක්ෂාවේ පැය’
15. (අ) ෆිලදෙල්ෆියාවේ ක්‍රිස්තියානීන්ට යේසුස් පොරොන්දු වූයේ කුමක්ද? (ආ) ඒ ක්‍රිස්තියානීන් බලාපොරොත්තුවෙන් සිටි “ඔටුන්න” කුමක්ද?
15 යේසුස් තවදුරටත් මෙසේ කියනවා. “මාගේ විඳදරාගැනීම පිළිබඳව සඳහන් වන දේ ඔබ පිළිපැද්ද නිසා, පොළොවේ වාසය කරන අයව පරීක්ෂා කරන පිණිස මුළු පොළොව පිට පැමිණෙන්නට තිබෙන පරීක්ෂාවේ පැයෙන් මමත් ඔබව ආරක්ෂා කරන්නෙමි. මම ඉක්මනින් එන්නෙමි. කිසිවෙකු ඔබේ ඔටුන්න නොගන්නා පිණිස, ඔබට තිබෙන දේ දිගටම ආරක්ෂා කරගන්න.” (එළිදරව් 3:10, 11) යොහන්ගේ දවසේ විසූ ක්‍රිස්තියානීන් (1914දී ආරම්භ වූ) ස්වාමීන්ගේ දවස දක්වා ජීවත් නොවුණත්, යේසුස් පැමිණෙන බවට නිසැකකමක් ඔවුන්ට තිබුණු නිසා දිගටම දේශනා කිරීමට ඔවුන්ට මහත් පෙලඹීමක් ඇති වුණා. (එළිදරව් 1:10; 2 තිමෝති 4:2) ඔවුන්ට ස්වර්ගයේ ලැබෙන “ඔටුන්න” නම් සදාකාල ජීවනය නමැති ත්‍යාගයයි. (යාකොබ් 1:12; එළිදරව් 11:18) මරණය දක්වා විශ්වාසවන්තව සිටිනවා නම්, එම ත්‍යාගය ඔවුන්ගෙන් උදුරාගන්න කිසිවෙකුට බැහැ.—එළිදරව් 2:10.
16, 17. (අ) ‘මුළු පොළොව පිට පැමිණෙන්න තිබෙන පරීක්ෂාවේ පැය’ කුමක්ද? (ආ) ‘පරීක්ෂාවේ පැය’ ආරම්භයේදී අභිෂේක ලත් ක්‍රිස්තියානීන් සිටියේ කවර තත්වයකද?
16 මෙම ‘පරීක්ෂාවේ පැය’ කුමක්ද? ආසියාවේ විසූ එම ක්‍රිස්තියානීන්ට රෝම අධිරාජ්‍යයෙන් එල්ල වූ ප්‍රබල පීඩා රැල්ලකට මුහුණ දෙන්නට සිදු වූ බව නම් නිසැකයි.c එහෙත් පරීක්ෂාවේ හා විනිශ්චයේ නියම පැය පැමිණියේ ස්වාමීන්ගේ දවස අතරතුරයි. එය ප්රබලව බලපෑවේ 1918 සිටයි. මෙමගින් තීරණය වුණේ යමෙක් දේවරාජ්‍යයට පක්ෂපාතව සිටිනවාද නැත්නම් සාතන්ගේ ලෝකයට ඇලී සිටිනවාද යන්නයි. එය පවතින්නේ කෙටි කාලයකටයි. එයට “පැයක්” කියා කියන්නේ ඒ නිසයි. නමුත් එය තවම අවසන් වී නැහැ. එය අවසන් වන තෙක් අප ජීවත් වෙන්නේ ‘පරීක්ෂාවේ පැයේදී’ බව කිසි විටෙකත් අමතක නොකරමු.—ලූක් 21:34-36.
17 ෆිලදෙල්ෆියාවේ සභාව හා සමානවම නවීන දින “සාතන්ගේ සිනගෝගයෙන්” 1918දී අභිෂේක ලත් අයට නොයෙක් විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්නට සිදු වුණා. පළමු සියවසේ සිටි යුදෙව්වන් තමන් දෙවිගේ ජනයායයි කියා සිටි ක්‍රිස්තියානි පල්ලිවල නායකයන් සැබෑ ක්‍රිස්තියානීන්ව මර්දනය කිරීම සඳහා පාලකයන්ව පොලඹවාගත්තේ ඉතා කපටි ලෙසටයි. කොහොමවුණත්, මේ අභිෂේක ලත් ක්‍රිස්තියානීන් ‘යේසුස්ගේ විඳදරාගැනීම පිළිබඳව සඳහන් දේ පිළිපැදීමට’ දැඩි උත්සාහයක් දැරුවා. ඔවුන්ට තිබුණු ‘ස්වල්ප බලයෙන්,’ එනම් දෙවි ලබා දුන් උපකාරයෙන් ඔවුන් එම පරීක්ෂණවලින් ජයගෙන තමන් ඉදිරියේ විවෘතව තිබූ අලුත් දොරකින් ඇතුළු වුණා. ඒ කොහොමද?
“විවෘත වූ දොරක්”
18. යේසුස් 1919දී කළේ කුමක්ද? යොහන් පන්තියට භාර දුන් දේ හෙසකියාගේ විශ්වාසවන්ත සේවකයාට භාර දුන් දේට සමාන වුණේ කෙසේද?
18 වර්ෂ 1919දී යේසුස් තම පොරොන්දුව ඉටු කර, අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගේ මේ කුඩා කණ්ඩායම තම “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” ලෙසට පිළිගත්තා. (මතෙව් 24:45-47) මේ අයට ලැබුණු වරප්‍රසාදය හෙසකියා රජගේ කාලයේ සිටි විශ්වාසවන්ත සේවකයෙකු වූ එලියාකීම්ගේ වරප්‍රසාදයට සමානයි.d යෙහෝවා දෙවි එලියාකීම් ගැන මෙසේ කියා තිබුණා. “දාවිත්ගේ වංශයේ නිල යතුරු ඔහුට දෙනු ලබන්නේය. ඔහු අරින දේ කිසිවෙක් නොවසන්නේය. ඔහු වසන දේ කිසිවෙක් නාරින්නේය.” මේ අනුව දාවිත්ගේ රාජකීය පෙළපතේ පුතෙකු වන හෙසකියා රජ වෙනුවෙන් එලියාකීම් ඉතා බැරෑරුම් වගකීම් සම්භාරයක් දැරුවා. ඒ හා සමානව අදත් අභිෂේක ලත් යොහන් පන්තියට “දාවිගේ වංශයේ නිල යතුරු” ලැබී තිබෙනවා. මින් අදහස් වෙන්නේ දේවරාජ්‍යයේ අධීක්ෂණය යටතේ පොළොවේ සිදු වන වැඩකටයුතු ඔවුන්ට භාර දී ඇති බවයි. ඇත්තෙන්ම මෙම වගකීම් ඉටු කිරීමට යෙහෝවා දෙවි සිය සේවකයන්ව ශක්තිමත් කළා. ප්‍රතිඵලයක් ලෙස ඒ වන විටත් ඔවුන්ට දී තිබූ ස්වල්ප බලය මහා බලයකට හරවා ලොව පුරාම දැවැන්ත සාක්ෂියක් දැරීමට හැකියාවක් ඔවුන්ට ලබා දී තිබෙනවා.—යෙසායා 22:20, 22; 40:29.
19. යොහන් පන්තිය 1919දී යේසුස් විසින් ඔවුන්ට දුන් වගකීම් ඉටු කළේ කෙසේද? ප්‍රතිඵලය කුමක්ද?
19 අභිෂේක ලත් ඉතිරි කොටස යේසුස්ගේ ආදර්ශය සිතට ගෙන 1919 පටන් ලොව පුරා දේවරාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කිරීමේ කටයුත්තේ උද්යෝගයෙන් යෙදුණා. (මතෙව් 4:17; රෝම 10:18) මෙහි ප්‍රතිඵලයක් ලෙස නවීන දින සාතන්ගේ සිනගෝගය වන ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලිවල ඇතැම් අය මේ අභිෂේක ලත් අය වෙතට පැමිණ, පසුතැවිලි වී, එනම් ‘වැඳ වැටී’ යේසුස් පත් කළ ඒ දාසයාව පිළිගත්තා. යොහන් පන්තියට අයත් වයස්ගත අය සමඟ එකතු වී ඔවුන්ද අභිෂේක ලත් අය ලෙස යෙහෝවා දෙවිට සේවය කරන්න පටන්ගත්තා. යේසුස්ගේ අභිෂේක ලත් සහෝදරයන්ගේ සම්පූර්ණ සංඛ්‍යාව එකතු කරන තෙක් මෙය සිදු වුණා. ඉන්පසුව ‘සියලු ජාතීන්ට අයත් මහත් සමූහයක්ද’ මෙම අභිෂේක ලත් අයට ‘වැඳ වැටීමට’ පැමිණියා. (එළිදරව් 7:3, 4, 9) අද මෙම දාසයා සහ මහත් සමූහය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ එක් රැළක් ලෙස සේවය කරනවා.
20. අද දින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ශක්තිමත් ඇදහිල්ලක් ඇතුව සිටින්නත් ක්‍රියාශීලීව දෙවිට සේවය කරන්නත් විශේෂ වෑයමක් දැරිය යුත්තේ ඇයි?
20 දැඩි සහෝදර ස්නේහයකින් බැඳී සිටි ෆිලදෙල්ෆියාවේ සහෝදරයන් මෙන්, අද සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවනුත් තමන්ට පැවරී තිබෙන දේශනා කිරීමේ කාර්යය හදිසි එකක් බව වටහාගෙන තිබෙනවා. වැඩි කල් නොගොස් සාතන්ගේ මේ දුෂ්ට ලෝකය මතට මහත් පීඩාව පැමිණෙනවා නියතයි. අපි සියලුදෙනාම දැන් සිටම ශක්තිමත් ඇදහිල්ලක් ඇතුව ක්‍රියාශීලීව දෙවිට සේවය කරමින් සිටිය යුත්තේ ඒ නිසයි. එවිට යෙහෝවා දෙවි තම ජීවන පොතෙන් අපේ නම් මකන්නේ නැහැ. (එළිදරව් 7:14) ෆිලදෙල්ෆියා සභාවට යේසුස් දුන් අවවාදය බැරෑරුම් ලෙස අපි සිතට ගනිමු. එවිට දෙවිට සේවය කරන්න අපට තිබෙන වරප්‍රසාදය තදින් අල්ලාගෙන සදාකාල ජීවනය නමැති ත්‍යාගය අත් කරගත හැකි වෙනවා නිසැකයි.
ජයග්‍රාහකයන් ලබන ආශීර්වාද
21. අද දින අභිෂේක ලත් ක්‍රිස්තියානීන් ‘යේසුස්ගේ විඳදරාගැනීම පිළිබඳව සඳහන් වන දේ පිළිපැද’ තිබෙන්නේ කෙසේද? ඔවුන් ඉදිරියේ තිබෙන ආශීර්වාදය කුමක්ද?
21 අද දින යොහන් පන්තිය ‘යේසුස්ගේ විඳදරාගැනීම පිළිබඳව සඳහන් වන දේ පිළිපැද’ ඇත්තේ යේසුස්ගේ ආදර්ශය අනුගමනය කරමින් විඳදරාගැනීමෙනුයි. (හෙබ්‍රෙව් 12:2, 3; 1 පේතෘස් 2:21) ඔවුන් ෆිලදෙල්ෆියා සභාවට යේසුස් දුන් මේ වචනවලින් තවත් ශක්තිමත් වුණා. “ජයගන්නාව—මාගේ දෙවිගේ මාලිගාවෙහි කණුවක් කරන්නෙමි. ඔහු කිසිසේත් එතැනින් පිට වී නොයන්නේය.”—එළිදරව් 3:12අ.
22. (අ) ‘මාගේ දෙවිගේ මාලිගාව’ කීමෙන් යේසුස් අදහස් කළේ කුමක්ද? (ආ) ජයගන්නාවූ අභිෂේක ලත් ක්‍රිස්තියානීන් මේ මාලිගාවේ කණු බවට පත් වෙන්නේ කෙසේද?
22 යෙහෝවා දෙවිගේ මාලිගාවේ කණුවක් වීම මොන තරම් ආශීර්වාදයක්ද! ඉපැරණි ඊශ්‍රායෙලයේ දේවමාලිගාව යෙහෝවා දෙවිට නමස්කාර කරන මධ්‍යස්ථානය වුණා. ඒ දේවමාලිගාව තුළ සෑම වසරකට වරක් උත්තම පූජකයා ‘අතිශුද්ධ ස්ථානයේ’ යෙහෝවා දෙවි සිටින බවට සංකේතවත් වූ ආශ්චර්යවත් ආලෝකය ඉදිරිපිට පූජා කළ සතුන්ගේ ලේ ඔප්පු කළා. (හෙබ්‍රෙව් 9:1-7) ඒ ආකාරයටම යේසුස්ගේ බව්තීස්මයත් සමඟම තවත් ආකාරයක සංකේතවත් දේවමාලිගාවක් එනම් යෙහෝවා දෙවිට නමස්කාර කිරීමට නව සැලැස්මක් විවෘත කෙරුණා. මේ සැලැස්මට අනුව පව් මුළුමනින්ම කමා කරනු ලැබීම සඳහා අවශ්‍ය වන්නේ එකම පූජාවක් පමණයි. ඒ පව් රහිත මිනිසෙකු වූ යේසුස් වැගිරෙවූ රුධිරයයි. (හෙබ්‍රෙව් 7:26, 27; 9:25-28; 10:1-5, 12-14) මෙම සංකේත දේවමාලිගාවේ අතිශුද්ධ ස්ථානය පිහිටා තිබෙන්නේ ස්වර්ගයේයි. උත්තම පූජකයා ලෙස යේසුස් “දෙවි ඉදිරියෙහිම පෙනී සිටින පිණිස” ගියේ ඒ අතිශුද්ධ ස්ථානයටයි. (හෙබ්‍රෙව් 9:24) අභිෂේක ලත් ක්‍රිස්තියානීන් දෙවිට විශ්වාසවන්තව සිටින තාක් කල්, ඔවුන් මෙම සංකේත දේවමාලිගාවේ මළුවේ හෙවත් පොළොවේ උපපූජකයන් ලෙස සේවය කරමින් සිටිනවා. (1 පේතෘස් 2:9) ඔවුන් විශ්වාසවන්තව මිය ගියාට පසුව ස්වර්ගික අතිශුද්ධ ස්ථානයට ඇතුළු වී මෙම සංකේතවත් දේවමාලිගාවේ නොසෙල්විය හැකි කණු බවට පත් වෙනවා. (හෙබ්‍රෙව් 10:19; එළිදරව් 20:6) ‘එතැනින්’ නම් ඔවුන් කවදාවත් ‘පිට වී යන්නේ නැහැ.’
23. (අ) ජයගන්නාවූ අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට යේසුස් ඊළඟට දෙන පොරොන්දුව කුමක්ද? (ආ) ජයගන්නාවූ ක්‍රිස්තියානීන් පිට යෙහෝවා දෙවිගේ නාමය සහ නව යෙරුලසමේ නාමය ලිවීමේ ප්‍රතිඵලය කුමක්ද?
23 යේසුස් තවදුරටත් මෙසේ කියනවා. “මම මාගේ දෙවිගේ නාමයද, මාගේ දෙවි කෙරෙන් ස්වර්ගයෙන් බැස එන නව යෙරුසලම වන මාගේ දෙවිගේ නුවරෙහි නාමයද, මාගේ අලුත් නාමයද ඔහු පිට ලියන්නෙමි.” (එළිදරව් 3:12ආ) මෙම ජයග්‍රාහකයන් වන අභිෂේක ලත් අය මත ඔවුන්ගේ සහ යේසුස්ගේ දෙවි වන යෙහෝවාගේ නාමය ලියා තිබෙනවා. මින් පැහැදිලිව පෙන්වන දෙයක් නම් යෙහෝවා දෙවි සහ යේසුස් යනු ත්‍රිත්ව දෙවියෙකුගේ කොටස් දෙකක් නොව නමුත් වෙනස් පුද්ගලයන් දෙදෙනෙකු බවයි. (යොහන් 14:28; 20:17) මෙම අභිෂේක ලත් අය යෙහෝවා දෙවිට අයිති බව මුළු විශ්වයම දැනගත යුතුයි. ඔවුන් දෙවිගේ සාක්ෂිකරුවන්. ඒ වගේම නව යෙරුසලමේ නාමය ඔවුන් පිට ලියා තිබෙනවා. නව යෙරුලසම නම් ස්වර්ගික නුවර යනු විශ්වාසවන්ත මිනිස් වර්ගයා කෙරෙහි ස්වර්ගයේ සිට කෙරෙන ප්‍රේමණීය පාලනයයි. (එළිදරව් 21:9-14) ජයගෙන ඇති මෙම අභිෂේක ලත් අය ස්වර්ගික යෙරුලසම වන එම දේවරාජ්‍යයට හිමිකම් කියන බව පොළොවේ වෙසෙන බැටළු ගුණැති සියලුම ක්‍රිස්තියානීන් පැහැදිලිව දැනගනියි.—ගීතාවලිය 87:5, 6; මතෙව් 25:33, 34; ෆිලිප්පි 3:20; හෙබ්‍රෙව් 12:22.
24. යේසුස්ගේ අලුත් නාමයෙන් නියෝජනය වන්නේ කුමක්ද? එය විශ්වාසවන්ත අභිෂේක ලත් අය පිට ලියා ඇත්තේ කෙසේද?
24 අන්තිමේදී ජයගන්නාවූ මෙම අභිෂේක ලත් අය පිට යේසුස්ගේ අලුත් නාමයත් ලියනු ලබනවා. යේසුස්ගේ අලුත් නාමය යනු යෙහෝවා දෙවි ඔහුට ලබා දී තිබෙන අලුත් තනතුර සහ අද්විතීය වරප්‍රසාදයි. (ෆිලිප්පි 2:9-11; එළිදරව් 19:12) වෙනත් කිසිම කෙනෙකුට මේ නාමය දැනගන්න ලැබෙන්නේ නැහැ. ඉන් අදහස් කරන්නේ වෙනත් කිසිම කෙනෙකුට ඒ වරප්‍රසාද ලැබෙන්නේ නැති බවයි. කොහොමනමුත් යේසුස් සිය විශ්වාසවන්ත සහෝදරයන් පිට තම නාමය ලියන විට ඔවුන් යේසුස් සමඟ ඉතා කිට්ටු මිත්‍රත්වයකට පැමිණ, ස්වර්ගයේ යේසුස්ගේ වරප්‍රසාදවලට පවා හවුල් වෙනවා. (ලූක් 22:29, 30) යේසුස් එවැනි අභිෂේක ලත් අයට නැවතත් මෙසේ අවවාද කර තම පණිවුඩය අවසන් කිරීම ගැන අප පුදුම විය යුතු නැහැ. “ආත්මය සභාවලට පවසන දේ කන් ඇත්තා අසාවා.”—එළිදරව් 3:13.
25. යේසුස් ෆිලදෙල්ෆියා සභාවට දුන් උපදෙස්වල නියම සාරය අද සිටින සෑම ක්‍රිස්තියානියෙකුටම අදාළ කරගන්න පුළුවන් කොහොමද?
25 ඇත්තටම ෆිලදෙල්ෆියා සභාවේ විශ්වාසවන්ත ක්‍රිස්තියානීන්ට එම පණිවුඩය කොතරම් දිරිගැන්වීමක් වෙන්නට ඇද්ද! ඒ වගේම ස්වාමීන්ගේ දවසේ ජීවත් වන යොහන් පන්තියටත් එයින් ප්‍රබල පාඩමක් ගත හැකි බවට කිසිම සැකයක් නැහැ. නමුත් අභිෂේක ලත් අය හෝ වේවා, වෙනත් බැටළුවන්ට අයත් අය හෝ වේවා එහි නියම සාරය සෑම ක්‍රිස්තියානියෙකුටම අදාළ කරගන්න පුළුවන්. (යොහන් 10:16) අප සියලුදෙනාම ෆිලදෙල්ෆියා සභාවේ සිටි ක්‍රිස්තියානීන් මෙන් දේවරාජ්‍යයේ වැඩකටයුතුවල වැඩි වැඩියෙන් නියැලීමට අදිටන් කරගත යුතුයි. අපි හැම කෙනෙකුටම දෙවි ලබා දී තිබෙන යම් කුඩා බලයක් හෝ තිබෙනවා. එමනිසා අප සියල්ලන්ටම යෙහෝවා දෙවිගේ සේවයේ යම් දෙයක් කරන්න පුළුවන්. අපි ඒ බලය පාවිච්චි කරමු! සමහරවිට දෙවිට කරන සේවයේ අලුත් දොරවල් අපට විවෘත වෙන්න පුළුවන්. ඒවා ගැන අවධානයෙන් සිටිමු. එවන් දොරවල් අරින ලෙසට යෙහෝවා දෙවිට යාච්ඤා කරන්න පවා අපිට පුළුවන්. (කොලොස්සි 4:2, 3) අප විඳදරාගැනීම සම්බන්ධයෙන් යේසුස්ගේ ආදර්ශය අනුගමනය කර, ඔහුගේ නාමයට අනුව ජීවත් වෙනවා නම්, දෙවිගේ බලය සභාවට කියන දේ ඇසීමට කන් ඇති අය බව පෙන්වන්න අපට හැකියි.
[පාදසටහන්වල]
a පාවුල්ගේ කාලයේ කොරින්තියේ යුදෙව් සිනගෝගයක මුලසුන භාර නිලධාරියා වූ සොස්තනේස් ක්‍රිස්තියානි සහෝදරයෙක් බවට පත් වුණා.—ක්‍රියා 18:17; 1 කොරින්ති 1:1.
b මුරටැඹ සඟරාව ප්‍රකාශයට පත් කරන යොහන් පන්තිය එම සඟරාව තුළින් දේවසේවයෙහි හවුල් වීමේ ප්‍රස්තාව අල්ලාගැනීමත් එයට හැකි උපරිමයෙන් හවුල් වීමත් කොතරම් හදිසි කාරණයක්ද කියා අවධාරණය කර තිබෙනවා. නිදසුනක් වශයෙන් 2004 ජනවාරි 1 කලාපයේ “සියල්ලෝ යෙහෝවාගේ මහිමය ප්‍රකාශ කරත්වා!” සහ “ලොව පුරා ඔවුන්ගේ හඬ පැතිර ගියේය” යන ලිපි පළ කළා. ඒ වගේම 2004 ජූනි 1 කලාපයේ “දෙවිව මහිමවත් කරන අය ආශීර්වාද ලද්දෝය” යන ලිපිය පූර්ණ කාලීන සේවයේ යෙදීමට දිරිගැන්වීම් සැපයුවා. ප්‍රතිඵලයක් ලෙස 2005 එක් මාසයකදී වාර්තාගත 10,93,552දෙනෙක් පුරෝගාමි සේවයේ හවුල් වුණා.
c එක්තරා බයිබල් විශ්වකෝෂයක මෙසේ සඳහන් වෙනවා. “ක්‍රිස්තියානි ඇදහිල්ල පුළුල්ව පැතිරෙන ආකාරය ගැන කලබල වූ මිථ්‍යාදෘෂ්ටික පූජකයන්, ජනතාව උසිගැන්වීමේ ප්‍රතිඵලයක් ලෙස ඇති වූ නොසන්සුන්කාරී වාතාවරණය නිසා සැබෑ ක්‍රිස්තියානීන් රෝම අධිරාජ්‍යවරුන්ගේ දැඩි අවධානයට ලක් වුණා. මේ හේතු නිසා දෙවිවරුන් සඳහා මිනිසුන් තුළ පිළිකුලක් ඇති කළ බවට චෝදනා කළ මෙම අලුත් ආගම ක්‍රමානුකූලව මර්දනය කිරීම සඳහා නියෝග නිකුත් කිරීමට රෝමයේ ට්රේජන් අධිරාජ්‍යයාට [ක්‍රි.ව. 98-117] බලපෑම් කරනු ලැබුවා. රෝම පළාතක් වූ ආසියාවේ උතුරු මායිමට යාබදව පිහිටා තිබූ බිතිනියාවේ ආණ්ඩුකාරයාව සිටි කනිෂ්ඨ ප්ලිනිගේ පාලනය සංකීර්ණ ගැටලු ගොඩකට මැදි වුණේ ක්‍රිස්තියානි ඇදහිල්ලේ ශීඝ්‍ර ව්‍යාප්තිය නිසයි. එම ව්‍යාප්තියට උරණ වූ මිථ්‍යාදෘෂ්ටික ජනයා නිතරම පසු වුණේ දැඩි කෝපයකිනුයි.”—McClintock and Strong’s Cyclopedia, Volume X, page 519.
d හෙසකියා යන නමේ තේරුම “යෙහෝවා ශක්තිමත් කරයි” යන්නයි.
[63වන පිටුවේ කොටුව]
බොහෝදෙනෙකුට ‘වැඳ වැටෙන්න’ උපකාර කිරීම
ස්වර්ගික රාජ්‍යය උරුම කරගන්නා අභිෂේක ලත් 1,44,000දෙනාගෙන් ඉතිරි අය, එනම් යොහන් පන්තිය හැටියට පොළොව මත තවම ජීවත් වන අය දැන් සිටින්නේ 9,000කට වඩා අඩු සංඛ්‍යාවක්. නමුත් මහත් සමූහය 66,00,000කට වඩා වැඩි සංඛ්‍යාවක් දක්වා වර්ධනය වෙලා. (එළිදරව් 7:4, 9) මේ විශාල වර්ධනය ඇතිවීමට හේතුව කුමක්ද? යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් පවත්වනු ලබන විවිධ පාසැල් මේ සඳහා බොහෝසෙයින් දායක වී තිබෙනවා. ලෞකික දර්ශන උගන්වන ක්‍රිස්තියානි පල්ලිවල සෙමනේරි මෙන් නොව සාක්ෂිකරුවන්ගේ මෙම පාසැල් තුළින් දේවවචනය කෙරෙහි ගැඹුරු ඇදහිල්ලක් ගොඩනංවනු ලබනවා. පිරිසිදු සදාචාර ජීවිතයක් ගත කරමින් දෙවිට කැප වී සේවය කිරීමට එහි ප්‍රතිපත්ති අදාළ වන අයුරු ඒ පාසැල්වල පැහැදිලි කරනවා. වර්ෂ 1943 සිට ලෝකය පුරාම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සෑම සභාවකම රාජ්‍ය ශාලාවේදී දිව්‍යාණ්ඩු සේවා පාසැල පවත්වනවා. මිලියන ගණනක් මීට සහභාගි වන අතර මොවුන් සියලුදෙනාම සෑම සතියකම බයිබලය තුළින් හදාරන්නේ එකම අධ්‍යාපන වැඩසටහනක්.
වර්ෂ 1959 සිට යෙහෝවාගේ සාක්ෂිකරුවන් සභා වැඩිමහල්ලන්ව සහ සභා සේවකයන්ව පුහුණු කිරීම සඳහා පාසැල් පවත්වා තිබෙනවා. වර්ෂ 1977 සිට පවත්වන ලද පුරෝගාමි සේවා පාසැලෙන් සහෝදර සහෝදරියන් ලක්ෂ ගණනක් පුහුණු කර තිබෙන අතර, ඒ අය ෆිලදෙල්ෆියා සභාවේ උද්යෝගයට සමාන උද්යෝගයකින් පූර්ණ කාලීනව සේවය කර තිබෙනවා. වර්ෂ 1987දී ආරම්භ කරන ලද දේවසේවා පුහුණු පාසැලෙන් දෙවිට කැප වූ පුරුෂයන්ව ලොව වටා විශේෂ පැවරුම් සඳහා පුහුණු කර තිබෙනවා.
යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් පවත්වනු ලබන පාසැල් අතර කැපීපෙනෙන පාසැලක් නම් ගිලියද් පාසැලයි. නිව් යෝක් ප්‍රාන්තයේ පිහිටා තිබෙන මෙම පාසැලෙන් 1943 සිට සෑම වසරකම ශිෂ්‍යයන් කණ්ඩායම් දෙකක් මිෂනාරි සේවය සඳහා පුහුණුව ලබනවා. දැනට මේ පාසැලෙන් 7,000කට වඩා වැඩි සංඛ්‍යාවක් පුහුණු කර ඇති අතර, ඔවුන් විදේශ රටවල සේවය කිරීමට ගොස් සිටිනවා. මෙම පාසැල්වලින් පුහුණුව ලැබූ අය රටවල් සියයකට වඩා සේවය කර තිබෙන අතර, මේ අයගෙන් බොහෝදෙනෙක් එම රටවල දේවසේවය ආරම්භ කිරීමට යොදාගැනුණා. දැන් වසර 60කට පමණ පසුවත් මේ පාසැලෙන් පුහුණුව ලැබූ මුල් අයගෙන් සමහරක් තවමත් මේ සේවයේ යෙදී සිටින අතර, යෙහෝවා දෙවිගේ සංවිධානයේ ලෝක ව්‍යාප්තව කරන සේවය වෙනුවෙන් නවක මිෂනාරිවරුන් සමඟද එක්ව සේවය කරමින් සිටිනවා. ඇත්තටම එය මොන තරම් පුදුමාකාර වර්ධනයක්ද!
[64වන පිටුවේ වගුව]
වර්ෂ 1919දී රජු හැටියට යේසුස් සේවය කිරීම සඳහා දොරටුවක් විවෘත කළා. කැප වූ ක්‍රිස්තියානීන්ගෙන් වැඩි සංඛ්‍යාවක් එම ප්‍රස්තාවෙන් ප්‍රයෝජන ගෙන තිබෙනවා.
1918 14 3,868 591
1928 32 23,988 1,883
1938 52 47,143 4,112
1948 96 2,30,532 8,994
1958 175 7,17,088 23,772
1968 200 11,55,826 63,871
1978 205 20,86,698 1,15,389
1988 212 34,30,926 4,55,561
1998 233 55,44,059 6,98,781
2005 235 63,90,022 8,43,234
[පාදසටහන්වල]
e ඉහත සංඛ්‍යා මාසික සාමාන්‍යයන් වෙයි.
f ඉහත සංඛ්‍යා මාසික සාමාන්‍යයන් වෙයි.
[65වන පිටුවේ වගුව]
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සේවය කරන්නේ තම මුළු හදවතින්මයි. දේශනා කිරීමට හා ඉගැන්වීමට ඔවුන් වැය කර තිබෙන පැය ගණන හා නිවෙස්වල නොමිලේ පවත්වන බොහෝ බයිබල් පාඩම්වල සංඛ්‍යාව සලකා බලන්න.
වැය කළ පැවැත්වූ
පැය ප්‍රමාණය බයිබල් පාඩම්
වසර (වාර්ෂික එකතුව)) (මාසික සාමාන්‍යය)
1918 19,116 වාර්තා වී නැහැ
1928 28,66,164 වාර්තා වී නැහැ
1938 1,05,72,086 වාර්තා වී නැහැ
1948 4,98,32,205 1,30,281
1958 11,03,90,944 5,08,320
1968 20,86,66,762 9,77,503
1978 30,72,72,262 12,57,084
1988 78,55,21,697 32,37,160
1998 11,18,66,66,708 43,02,852
2005 11,27,82,35,504 60,61,534
[59වන පිටුවේ පින්තූරය]
පළමු සියවසේ රෝමයේ යතුරක්