පරිච්ඡේදය 3
කෙටි කලකින් සිදුවීමට නියමිත දේවල්
1. මේ ලෝකය මතට දෙවි ගෙනෙන විනිශ්චයෙන් බේරීමට ඔබට හැක්කේ කෙසේද?
ඔබ අද ලෝක සිදුවීම් ගැන උනන්දු විය යුතුයි. ඒ දෙවිගේ විනිශ්චයෙන් බේරීමට මෙම ලෝකයට නොහැකි නිසයි. නමුත් ඔබට පුළුවන්. ඒ විනාශයට නියමිත මේ ‘ලෝකයේ කොටසක්’ නොවීමෙනුයි. මින් අදහස් කරන්නේ ඔබ ආරාමයකට ගොස් තාපසයෙකු ලෙස ජීවත් වීම නෙවෙයි. ඒ සඳහා ඔබ සරල, අර්ථවත් ජීවිතයක් ගත කළ යුතු අතර, ලෝකයේ දූෂිත දේශපාලනයෙන්, ගිජු වෙළඳ ලෝකයෙන් සහ දෙවිට අගෞරව කරන ආගම්වලින් මෙන්ම ප්‍රචණ්ඩත්වයෙන් හා දුරාචාර ජීවිතයකින් වැළකී සිටිය යුතුයි. ඒ අතරම, ඔබ දෙවිගේ උසස් ප්‍රමිති පැවැත්විය යුතු අතර දෙවිගේ කැමැත්ත කිරීමටද උත්සාහයක් දැරිය යුතුයි. (යොහන් 17:14-16; ශෙපනියා 2:2, 3; එළිදරව් 21:8) මෙම පැති සම්බන්ධයෙන් ස්ථිර පියවර ගෙන ඔබේ ජීවිතයේ අවශ්‍ය වෙනස්කම් කිරීම කොතරම් වැදගත්දැයි එළිදරව් පොත පෙන්වා දෙනවා.
2. එළිදරව් පොතේ අතිවැදගත් අනාවැකිය යොහන් විසින් හඳුන්වා දෙන්නේ කෙසේද? මෙම බැරෑරුම් පණිවුඩය දෙවි දුන්නේ කාටද?
2 යොහන් මේ අතිවැදගත් අනාවැකිය ආරම්භ කරන්නේ මේ වචනවලිනුයි. “යේසුස් ක්‍රිස්තුස් විසින් කළ එළිදරව්වකි. තව කෙටි කලකින් සිදුවීමට නියමිත දේවල් දෙවි තම දාසයන්ට පෙන්වන පිණිස ඔහුට දෙන ලදි.” (එළිදරව් 1:1අ) මෙම බැරෑරුම් පණිවුඩය දෙවිගෙන් ලබාගත්තේ නැවත නැඟිටුවනු ලැබූ යේසුස් ක්‍රිස්තුස්. යේසුස් යනු අභිරහස් ත්‍රිත්වයක කොටසක් නොව, තම පියාණන්ට යටත් තැනැත්තෙක් බව මින් මනාව පැහැදිලි වෙනවා. ඒ හා සමානව ක්‍රිස්තියානි සභාවට අයත් “දාසයන්” යේසුස් ක්‍රිස්තුස්ට යටත් වන අතර, ‘ඔහු කොතැනකට ගියත් ඔහු පසුපස යනවා.’ (එළිදරව් 14:4; එෆීස 5:24) නමුත් අද දින දෙවිගේ “දාසයන්” කවුරුන්ද? එළිදරව් පොත ඔවුන්ට ප්‍රයෝජනවත් වෙන්නේ කෙසේද?
3. (අ) යේසුස් ක්‍රිස්තුස්ට යටත් වී සිටින ‘දාසයන්’ කවුරුන්ද? (ආ) දේවදූතයන්ගේ මඟ පෙන්වීම ඇතුව ඇදහිලිවන්ත “දාසයන්” කරමින් සිටින සේවය කුමක්ද?
3 එළිදරව්ව ලියූ යොහන්ද තමාවම හඳුන්වා දුන්නේ දාසයෙකු ලෙසටයි. යේසුස්ගේ ප්රමුඛ ගෝලයන් 12දෙනා අතරින් ඒ වන විට ජීවතුන් අතර සිටියේ ඔහු විතරයි. ඔහු ස්වර්ගයේ අමරණීය ජීවිතයක් ලබන දෙවිගේ බලයෙන් අභිෂේක ලැබූ ‘දාසයන්ගෙන්’ කෙනෙක් වුණා. අදත් ඔවුන්ගෙන් ස්වල්ප සංඛ්‍යාවක් පොළොව මත ජීවත් වෙනවා. ඔවුන්ට අමතරව පුරුෂයන්ගෙන්, ස්ත්‍රීන්ගෙන් සහ ළමුන්ගෙන් සෑදී මිලියන ගණනකින් යුත් මහත් සමූහයක්ද ‘දාසයන්’ ලෙස දෙවිට සේවය කරමින් සිටිනවා. මේ අය දේවදූතයන්ගේ මඟ පෙන්වීම ඇතුව අභිෂේක ලත් ‘දාසයන්’ සමඟ සියලු මිනිස් වර්ගයාට සදාකාලික ශුභාරංචි ප්‍රකාශ කරමින් සිටිනවා. ඇත්තටම මේ සියලු ‘දාසයන්’ ගැලවීම ලැබීම සඳහා පොළොවේ වෙසෙන මොළොක් ගුණැති අයට උපකාර කිරීමට කොතරම් උත්සාහයක් දරමින් සිටිනවාද! (මතෙව් 24:14; එළිදරව් 7:9, 14; 14:6) මෙම ප්‍රීතිමත් ශුභාරංචියෙන් ප්‍රයෝජන ගැනීමට ඔබ කුමක් කළ යුතුදැයි එළිදරව් පොතෙන් පැහැදිලි කරනවා.
4. (අ) යොහන් එළිදරව්ව ලීවේ මීට අවුරුදු 1,900කට වඩා වැඩි කාලයකට පෙර වුවත්, “ඉතා කෙටි කලකින් සිදුවීමට නියමිත දේවල්” කියා කීමට ඔහුට හැකි වූයේ ඇයි? (ආ) පුරෝකථනය කර තිබූ දේවල් ගැන සාක්ෂිවලින් දැන් ඇඟවෙන්නේ කුමක්ද?
4 මේ වචන කියනු ලැබුවේ මීට වසර 1,900කට වඩා වැඩි කාලයකට පෙර නිසා, “කෙටි කලකින් සිදුවීමට නියමිත දේවල්” මෙම ‘දාසයන්ට’ පෙන්වනු ලබනවාය කියා කීමට යොහන්ට හැකි වුණේ කෙසේද? යෙහෝවා දෙවිට නම් අවුරුදු දහසක් “ඊයේ දවස” හා සමානයි. මන්ද දෙවි විසින් පෘථිවිය මිනිස් වාසය සඳහා නිර්මාණය කිරීමට හා සූදානම් කිරීමට ගත් ඉතා දීර්ඝ කාලය හා සසඳද්දී, අවුරුදු 1,900ක් ඉතා සුළු කාලයක් බව පෙනෙනවා. (ගීතාවලිය 90:4) පාවුල් තමා තුළ තිබෙන ‘මහත් අපේක්ෂාවක් හා බලාපොරොත්තුවක්’ ගැන කතා කළා. මන්ද ඔහුට ලැබෙන ත්‍යාගය ඔහුගේ අත ළඟම තිබෙනවාක් මෙන් හැඟීමක් ඔහුට දැනෙන්න ඇති. (ෆිලිප්පි 1:20) කෙසේවෙතත්, පුරෝකථනය කර ඇති සියලු සිදුවීම් නියමිත කාලයේදීම සිදු වෙන බවට ඇති තරම් සාක්ෂි අද දින අපට තිබෙනවා. මිනිස් වර්ගයාගේ පැවැත්මට අද තරම් වෙන කිසිම කාලයක තර්ජන එල්ල වී තිබුණේ නැහැ. ඇත්තටම මීට විසඳුම ඇත්තේ දෙවිට පමණයි!—යෙසායා 45:21.
දෙවි තොරතුරු සපයන ආකාරය
5. එළිදරව්ව යොහන්ට ලැබුණෙත්, ඉන්පසුව සභාවන්ටත් යවනු ලැබුවෙත් කෙසේද?
5 එළිදරව් 1:1ආ, 2හි තවදුරටත් මෙසේ සඳහන් වෙනවා.“ඔහුද [යේසුස්] තම දූතයාව යවා, ඒ දූතයා මාර්ගයෙන්, තම දාසයා වූ යොහන්ට සංකේතාත්මක ලෙස එය [එළිදරව්ව] දැන්වූයේය. යොහන්, දෙවි දුන් වචනය ගැනත්, යේසුස් ක්‍රිස්තුස් දුන් සාක්ෂිය ගැනත්, එනම් තමා දුටු සියල්ල ගැන සාක්ෂි දැරීය.” මෙසේ, යොහන්ට දෙවිගේ මෙම පණිවිඩය ලැබුණේ දේවදූතයෙක් මගිනුයි. ඔහු ඒවා ඇකිළිය හැකි කඩදාසිවල ලියා ඔහුගේ කාලයේ තිබූ සභාවන්ට යැව්වා. එම වාර්තාව අද දක්වා ආරක්ෂා කර තිබීම ගැනත්, ඉන් අද දින සභාවන් 1,00,000කට ආසන්න සංඛ්‍යාවකට මහත් දිරිගැන්වීමක් වීම ගැනත් අපි සතුටු වෙන්නේ නැද්ද?
6. යේසුස් අද දින තම ‘දාසයන්ගේ’ ඇදහිල්ල පෝෂණය කිරීමට යොදාගන්නාවූ මාධ්‍යය හඳුන්වා දුන්නේ කෙසේද?
6 යොහන් විසූ කාලයේදී දෙවි පොළොවේ විසූ තම සෙනඟට තොරතුරු දැනුම් දුන්නේ, යේසුස් හා දේවදූතයන් මගිනුයි. පොළොවේ සිට ඒ තොරතුරු ලබාගත්තේ යොහන් විසිනුයි. ඒ හා සමානව අද දිනත් තම ‘දාසයන්ගේ’ ඇදහිල්ල පෝෂණය කිරීම සඳහා දෙවි යොදාගන්නාවූ මාධ්‍යයක් තිබෙනවා. මේ සමාජ ක්රමයේ අවසානය පිළිබඳව දුන් අනාවැකියේ යේසුස් මෙම තොරතුරු එවන මාධ්‍යය හඳුන්වා දුන්නේ “ස්වාමියා විසින් තම ගෙයි වැසියන්ට නියම වේලාවට ආහාර දෙන පිණිස, ඔවුන් කෙරෙහි පත් කළ විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” ලෙසටයි. (මතෙව් 24:3, 45-47) ඔහු මෙම “දාසයා” හෙවත් යොහන් පන්තිය යොදාගෙන ඒ අනාවැකියේ අර්ථය හෙළි කරනවා.
7. (අ) එළිදරව් පොතේ දර්ශන තුළින් අප තුළ ඇති වෙන්නේ කුමනාකාරයේ බලපෑමක්ද? (ආ) යොහන් පන්තියට අයත් සමහර අය එළිදරව් පොතේ දර්ශනවල ඉටුවීම දැක ඇත්තේ කෙසේද?
7 යේසුස් මෙම එළිදරව්ව “ලකුණුවලින්” හෙවත් සංකේතවලින් ඉදිරිපත් කළ බව යොහන් සඳහන් කරනවා. ඒවාට බොහෝ පැති ඇති අතර, ඒවාවල අර්ථය වටහාගනිද්දී අපට ලැබෙන්නේ ඉමහත් ප්‍රීතියක්. ඒවායින් විස්තර කෙරෙන දේවලුත් ඉමහත් වැදගත්කමකින් යුක්තයි. එමනිසා මෙම අනාවැකියේ සඳහන් දේ සහ එහි අර්ථය ගැන තවත් අයව දැනුවත් කිරීමට අප තුළ මහත් උද්යෝගයක් ඇති වෙනවා. එළිදරව් පොතේ අපගේ අවධානය ඇද බැඳ තබාගන්නා දර්ශන ගණනාවක් සඳහන් වන අතර, යොහන් මේ සෑම එකකටම සහභාගි වුණා. නැත්නම් නිරීක්ෂකයෙක් ලෙස බලා සිටියා. යොහන් හා සමාන කාර්යභාරයක් අද දිනත් දාස පන්තිය ඉටු කරන නිසා ඔවුන්ව “යොහන් පන්තිය” කියා හැඳින්වීම උචිතයි. මේ පන්තියට අයත් සමහර අය මෙම දර්ශනවල ඉටුවීම දැන් දශක ගණනාවක් තිස්සේ බලා සිටිනවා. ඒ වගේම දෙවි මේ දර්ශනවල අර්ථය හෙළි කර තිබීම නිසා ඔවුන් ඒවා වෙනත් අයට පහදා දෙන්නේ ඉතා ප්‍රීතියෙන්.
8. (අ) එළිදරව් පොතේ සෑම දර්ශනයකම විශේෂත්වය කුමක්ද? (ආ) එළිදරව් පොතේ සඳහන් වනමෘගයන්ව හඳුනාගැනීමට දානියෙල්ගේ අනාවැකි උපකාරවත් වෙන්නේ කෙසේද?
8 එළිදරව් පොතේ මෙම දර්ශන ඉදිරිපත් කර ඇත්තේ ඒ දර්ශනවලින් විස්තර කරන සිද්ධීන් සිදු වන අනුපිළිවෙළටම නෙවෙයි. මේ සෑම දර්ශනයක්ම යම් නිශ්චිත කාලයකදී ඉටු වෙන දර්ශනයි. මේ දර්ශනවලින් බොහොමයක මීට පෙර සඳහන් අනාවැකිවල තොරතුරුත් ඇතුළත්. මෙම තොරතුරු එළිදරව් පොතේ ඇති දර්ශන තේරුම්ගැනීමට උපකාරවත් වෙනවා. නිදසුනකට දානියෙල්ගේ අනාවැකියේ භයංකර වනමෘගයන් හතරදෙනෙක් ගැන සඳහන් වුණා. මින් කියා පෑවේ ලෝකය පාලනය කරන ප්‍රබල අධිරාජ්‍යයන් හතරක් ගැනයි. එළිදරව් පොතේ සඳහන් වනමෘගයන්ගෙන්ද යම් දේශපාලන බලවේග නියෝජනය වෙනවා. එයට දැනටමත් පොළොවේ ක්‍රියාත්මක වෙමින් තිබෙන ඒවාද ඇතුළත්.—දානියෙල් 7:1-8, 17; එළිදරව් 13:2, 11-13; 17:3.
9. (අ) යොහන් මෙන්, යොහන් පන්තිය පෙන්වා ඇත්තේ කිනම් ආකල්පයක්ද? (ආ) අපට සන්තෝෂ විය හැකි අන්දම ගැන යොහන් දෙන උපදෙස කුමක්ද?
9 දෙවි යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් දුන් පණිවුඩය යොහන් ඉතා විශ්වාසවන්තව ලියා තැබුවා. ඔහු “තමා දුටු සියල්ල” ගැන හැම තොරතුරක්ම විස්තර කළා. ඒ හා සමානව අදත් යොහන් පන්තිය, මෙම අනාවැකිය මුළුමනින්ම තේරුම්ගැනීමටත් එහි වටිනා තොරතුරු දෙවිගේ ජනයාට දැනුම් දීමටත් දෙවිගේ සහ යේසුස් ක්‍රිස්තුස්ගේ මඟ පෙන්වීම ඉතා ඕනෑකමින් පතනවා. දෙවිගේ බලයෙන් අභිෂේක කළ අයගේ ප්‍රයෝජනය පිණිස, යොහන් ලියන්නේ මෙසේයි. “මේ අනාවැකියේ වචන ශබ්ද නඟා කියවන්නාද, ඒවා අසන අයද, එහි ලියා තිබෙන දේවල් පවත්වන අයද සන්තෝෂවත්ය. මන්ද, නියම කරන ලද කාලය ළඟය.” (එළිදරව් 1:3) දෙවි මහත් පීඩාවෙන් ආරක්ෂා කරන මහත් සමූහයේ අයටද මෙම උපදෙස ප්‍රයෝජනවත්.
10. සන්තෝෂය ලැබීමට නම් එළිදරව් පොත සම්බන්ධයෙන් අප කුමක් කළ යුතුද?
10 එළිදරව් පොත කියවීමෙන්ද ඊටත් වඩා එහි ලියා ඇති දේ පිළිපැදීමෙන්ද ඔබට බොහෝ ආශීර්වාද නෙළාගත හැකියි. යොහන් තම ලිපියක මෙසේ පැවසුවා. “දෙවිට ප්‍රේම කිරීම යනු, අප විසින් ඔහුගේ ආඥා පැවැත්වීමය. ඔහුගේ ආඥා බරක් නොවේ. මන්දයත්, දෙවිගෙන් උපන් සියලුදෙනා ලෝකයෙන් ජයගන්නෝය. ලෝකයෙන් ජයගෙන ඇත්තේ අපේ ඇදහිල්ලය.” (1 යොහන් 5:3, 4) එවන් ඇදහිල්ලක් ගොඩනඟා ගැනීම අනිවාර්යයෙන්ම ඔබේ සන්තෝෂයට දායක වෙනවා!
11. (අ) අප අනාවැකිවල සඳහන් උපදෙස් පිළිපැදීම හදිසි කාරණයක් වෙන්නේ ඇයි? (ආ) ඉතා වේගයෙන් ළඟා වෙමින් තිබෙන්නේ කිනම් කාලයද?
11 “නියම කරන ලද කාලය ළඟය.” ඒ නිසා අප මෙම අනාවැකියේ ඇති උපදෙස් පිළිපැදීම ඉතා හදිසි කාරණයක්. කාලය නියම කර ඇත්තේ එළිදරව් පොතේ අනාවැකි ඉෂ්ට වීමටයි. දෙවිගේ විනිශ්චයද මීට ඇතුළත්. සාතන් යටතේ සිටින මිනිස් සමාජය මතට අන්තිම විනිශ්චය ගෙන ඒමට දෙවිට සහ යේසුස් ක්‍රිස්තුස්ට කාලය පැමිණ තිබෙනවා. යේසුස් පොළොවේ සිටින විට පැවසුවේ ඒ “දවස හා පැය” දන්නේ ඔහුගේ පියාණන් පමණක් බවයි. නමුත් ඉදිරියේ සිදු වන දේ ගැන ඉඟියක් සපයමින් යේසුස් පැවසුවේ “මේ සියල්ල සිදු වන තුරු මේ පරම්පරාව කිසිසේත් පහව නොයන්නේය” කියායි. වර්තමාන පරම්පරාව මුහුණ දෙන ප්‍රශ්න ගැටලු දෙස බලද්දී අපට පැහැදිලි වෙන්නේ දෙවිගේ තීන්දුව ක්‍රියාත්මක කිරීමට නියමිත කාලය ඉතා වේගයෙන් ළඟා වෙමින් තිබෙන බවයි. (මාක් 13:8, 30-32) හබක්කුක් 2:3හි පවසන්නේ මෙසේයි. “දර්ශනයේ නියම කාලය එන්ට තව කල් තිබේ. එය අවසාන වන්ට ඉක්මන් වන්නේය. බොරු නොවන්නේය. ඒක ප්‍රමාද වෙතත් ඒ ගැන බලා සිටින්න. මක්නිසාද ඒක සැබවින් ප්‍රමාද නොවී එන්නේය.” ඉක්මනින් පැමිණීමට නියමිත මේ මහත් පීඩාව තුළින් අප ලබන ගැලවීම රඳා පවතින්නේ දේවවචනයේ සඳහන් අනාවැකිවල පවසා ඇති උපදෙස් අප විසින් පිළිපැදීම මතයි.—මතෙව් 24:20-22.
[15වන පිටුවේ කොටුව]
එළිදරව් පොත තේරුම්ගැනීමට අපට අවශ්‍ය දේ
● දෙවිගේ බලයේ උපකාරය ලැබිය යුතුයි
● ස්වාමීන්ගේ දවසේ ආරම්භය වටහාගත යුතුයි
● අද දින සිටින විශ්වාසවන්ත නුවණ ඇති දාසයාව හඳුනාගත යුතුයි