සැබෑ නමස්කාරකයන් මහත් සමූහයක්—ඔවුන් පැමිණ සිටින්නේ කොතැනින්ද?
බලව! “සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලිනුත් සෙනගගෙනුත් භාෂාවන්ගෙනුත් . . . මහත් සමූහයක් . . . සිංහාසනය ඉදිරියෙහිත් බැටළුපැටවාණන් ඉදිරියෙහිත් සිටි[යහ].”—එළිදරව් 7:9.
1. එළිදරව්වේ පුරෝකථනය කර ඇති දර්ශන අදදින අපට මහත් සේ වැදගත් වන්නේ මන්ද?
පොදු යුගයේ පළමුවන ශතවර්ෂයේ අවසානයේදී පමණ, ප්‍රේරිත යොහන් යෙහෝවඃවහන්සේගේ අරමුණ හා සම්බන්ධ ආශ්චර්යවත් සිද්ධීන් අඩංගු දර්ශන දිටීය. දර්ශන තුළ ඔහු දුටු දේවලින් සමහරක් මේ දැන් ඉටු වෙමින් පවතී. ඉතිරි ඒවා ඉටුවීමට නියමිතව තිබෙන්නේ නුදුරු අනාගතයේදීය. මේ සියල්ලක්ම ගෙතී තිබෙන්නේ, සියලු මැවිලි ඉදිරියේ ස්වකීය නාමය මහිමවත් කිරීමට වූ යෙහෝවඃවහන්සේගේ උදාර අරමුණේ චමත්කාරජනක මුදුන් පැමිණවීම වටාය. (එසකියෙල් 38:23; එළිදරව් 4:11; 5:13) එපමණක්ද නොව, ඒවා අප සෑම කෙනෙකුගේම ජීවිත අපේක්ෂාවන්ටද සම්බන්ධ වේ. එය එසේ වන්නේ කෙලෙසද?
2. (අ) ප්‍රේරිත යොහන් සිය හතරවන දර්ශනයේදී දුටුවේ කුමක්ද? (ආ) අප සලකා බලන්ට යන්නේ මෙම දර්ශනය හා සම්බන්ධ කිනම් ප්‍රශ්නද?
2 එළිදරව්වේ දර්ශන මාලාවේ හතරවැන්නෙහි, “අපේ දෙවියන් වහන්සේගේ මෙහෙකරුවන්ගේ” නළල්වල මුද්‍රා තබන තුරු දේවදූතයන් විනාශයේ සුළං අල්ලාගෙන සිටිනවා යොහන් දුටුවේය. ඉන්පසු ඉතා උනන්දු කරවන වැඩිවර්ධනය වීමක්—එනම්, යෙහෝවඃවහන්සේව නමස්කාර කිරීමෙහි හා එතුමන්ගේ පුත්‍රයාට ගෞරව කිරීමෙහි එක්සත් වූ, “සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලිනුත් සෙනගගෙනුත් භාෂාවන්ගෙනුත් කිසිවෙකුට ගණන්කළ නොහැකි මහත් සමූහයක්” —ඔහු දිටීය. යොහන්ට පවසනු ලැබුවේ, මොවුන් වනාහි මහත් පීඩාව මැදින් එන සෙනඟක් බවයි. (එළිදරව් 7:1-17) “අපේ දෙවියන් වහන්සේගේ මෙහෙකරුවන්” හැටියට විස්තර කරනු ලැබූ අය කවරහුද? එමෙන්ම පීඩාවෙන් බේරෙන “මහත් සමූහය[ට]” අයත් වනු ඇත්තෝ කවරහුද? ඔබ ඔවුන්ගෙන් කෙනෙක් වනු ඇත්ද?
“අපේ දෙවියන් වහන්සේගේ මෙහෙකරුවන්” කවුරුන්ද?
3. (අ) යේසුස්වහන්සේ යොහන් 10:1-18හි, තමන්ගේ අනුගාමිකයන් සමඟ ඇති තමන්ගේ සම්බන්ධතාව නිදර්ශනය කළේ කෙසේද? (ආ) යේසුස්වහන්සේ සිය යාගික මරණය මාර්ගයෙන් සිය බැටළුවන් සඳහා කුමක් ලබාගැනීමට හැකියාව සැලසූසේක්ද?
3 යේසුස්වහන්සේ සිය මරණයට මාස හතරකට පමණ පෙර, තමාව “යහපත් බැටළු එඬේරා” හැටියටත්, තමන් විසින් සිය ප්‍රාණය දුන්නාවූ සිය අනුගාමිකයන්ව “බැටළුවන්” හැටියටත් හැඳින්වූසේක. සංකේතවත් බැටළු ගාලක් තුළ තමන් විසින් සොයාගන්නා ලදුව, ඉන්පසු විශේෂ සැලකිල්ලක් තමන් විසින් ලබා දෙන ලද බැටළුවන් ගැන උන්වහන්සේ විශේෂයෙන් සඳහන් කළසේක. (යොහන් 10:1-18)a පාපයෙන් හා මරණයෙන් ඔවුන්ව නිදහස් කිරීමට අවශ්‍යව තිබූ මිදීමේ මිලය සපයමින්, ප්‍රේමනීය ආකාරයකට, යේසුස්වහන්සේ සිය බැටළුවන් උදෙසා සිය ප්‍රාණය පිදූසේක.
4. යේසුස්වහන්සේ මෙහි පැවසූ දෙය අනුව බැටළුවන් හැටියට මුලින්ම රැස් කරනු ලැබූ අය කවරහුද?
4 කෙසේවෙතත්, එය කිරීමට පෙර, යහපත් බැටළු එඬේරා හැටියට යේසුස්වහන්සේ පෞද්ගලිකව ගෝලයන් එකතු කළසේක. මෙයින් පළමු අයව උන්වහන්සේට හඳුන්වා දෙනු ලැබුවේ, යේසුස්වහන්සේගේ උපමාවෙහි “දොරටු පාලයා” වූ, යොහන් බව්තීස්ත විසිනි. යේසුස්වහන්සේ සොයමින් සිටියේ, සංයුක්ත වූ ‘ආබ්‍රහම්ගේ වංශයේ’ කොටසක් වීමට තිබූ ප්‍රස්තාවට හිතකර ප්‍රතිචාරයක් දක්වන මිනිසුන්ය. (උත්පත්ති 22:18; ගලාති 3:16, 17අ, 29) උන්වහන්සේ ඔවුන්ගේ හෘදයන්හි ස්වර්ගීය රාජ්‍යය සඳහා අගයක් වැඩිවර්ධනය කළ අතර, ස්වකීය ස්වර්ගීය පියාණන්ගේ ගෘහයේ ඔවුන් සඳහා ස්ථානයක් පිළියෙළ කිරීමට තමන් යන බව උන්වහන්සේ ඔවුන්ට සහතික වූසේක. (මතෙව් 13:44-46; යොහන් 14:2, 3) උචිත ලෙස උන්වහන්සේ මෙසේ පැවසූසේක: “යොහන් බව්තීස්තගේ දවස්වල පටන් මේ දක්වා ස්වර්ගරාජ්‍යය බලාත්කාරයෙන් ගනු ලැබේ, බලාත්කාරකරන්නෝ ඒක බලයෙන් අල්ලාගනිති.” (මතෙව් 11:12) එම ඉලක්කය අත්කරගන්නා ලෙසින් උන්වහන්සේව අනුගමනය කළ මේ අය, යේසුස්වහන්සේ කථා කළ එම බැටළු ගාල තුළ සිටින අය බවට සනාථ කරගත්හ.
5. (අ) එළිදරව් 7:3-8හි සඳහන්ව ඇති “අපේ දෙවියන් වහන්සේගේ මෙහෙකරුවන්” කවුරුන්ද? (ආ) ආත්මික ඉශ්රායෙල් සමඟ නමස්කාරයෙහි තවත් බොහෝදෙනෙකු එකතු වන බව කුමක් පෙන්වයිද?
5 එළිදරව් 7:3-8හි, එම ස්වර්ගීය ඉලක්කය කරා සාර්ථක ලෙස ගමන් කරන අය, “අපේ දෙවියන්වහන්සේගේ මෙහෙකරුවන්” හැටියටද යොමු දක්වා ඇත. (1 පේතෘස් 2:9, 16 බලන්න.) එහි සඳහන්ව ඇති 1,44,000දෙනා ස්වාභාවික යුදෙව්වන් පමණක්ද? යේසුස්වහන්සේගේ සංකේතවත් බැටළු ගාලේ සඳහන් අය යුදෙව්වන් පමණක්ද? නිශ්චිත වශයෙන්ම නැත; ඔවුහු දෙවියන්වහන්සේගේ ආත්මික ඉශ්රායෙල්හි සාමාජිකයෝය, ඔවුහු සියල්ලෝම ආබ්‍රහම්ගේ ආත්මික වංශයේ ක්‍රිස්තුස්වහන්සේ සමඟ හවුල්කරුවෝය. (ගලාති 3:28, 29; 6:16; එළිදරව් 14:1, 3) අවසානයේ, ඇත්තවශයෙන්ම, මෙම නියමිත සංඛ්‍යාව සම්පූර්ණ වන අවධියක් එළඹෙනවා ඇත. එවිට කුමක් සිදුවෙනවා ඇත්ද? බයිබලය පුරෝකථනය කළ ආකාරයට, අන්‍යයන්—එනම්, මහත් සමූහයක්—යෙහෝවඃවහන්සේව නමස්කාර කිරීමෙහිලා මෙම ආත්මික ඉශ්‍රායෙලිතයන් හා එක්වනු ඇත.—සෙකරියා 8:23.
“වෙනත් බැටළුවෝ”—ඔවුහු අන්‍යජාතික ක්‍රිස්තියානීහුද?
6. යොහන් 10:16 අවධානය යොමු කරවන්නේ කිනම් වැඩිවර්ධනය වීමක් වෙතටද?
6 එක් බැටළු ගාලක් ගැන යොහන් 10:7-15හි සඳහන් කිරීමෙන් පසු, යේසුස් වහන්සේ මෙසේ පවසමින් තවත් කණ්ඩායමක් ගැන සඳහන් කළසේක: “මේ ගාලට අයිති නොවූ වෙනත් බැටළුවෝ මට ඇත්තාහ. ඔවුන්ද මා විසින් ගෙනෙන්ට ඕනෑය, ඔව්හු මාගේ හඬ අසන්නෝය; එසේ එක රැළක්ද එක එඬේරෙක්ද වන්නාහ.” (යොහන් 10:16) එම “වෙනත් බැටළුවෝ” කවරහුද?
7, 8. (අ) වෙනත් බැටළුවන්, අන්‍යජාතික ක්‍රිස්තියානීන් බවට වූ අදහස වැරදි උපකල්පනයක් මත පදනම් වනු ඇත්තේ මක්නිසාද? (ආ) වෙනත් බැටළුවෝ කවරහුද යන්න පිළිබඳ අපගේ අවබෝධය කෙරෙහි බලපෑමක් කළ යුත්තේ, පොළොව සඳහා දෙවියන්වහන්සේගේ අරමුණ සම්බන්ධයෙන් කිනම් කාරණාද?
7 ක්‍රිස්තියානි ලෝකයේ අර්ථ දක්වන්නෝ මෙම වෙනත් බැටළුවන් අන්‍යජාතික ක්‍රිස්තියානීන් බවත්, කලින් යොමු දක්වන ලද බැටළු ගාලේ සිටින්නන්, කලින් ව්‍යවස්ථා ගිවිසුම යටතේ සිටි යුදෙව්වන් බවත්, එමෙන්ම මේ සමූහයන් දෙකම ස්වර්ගයට යන බවටත් වූ දෘෂ්ටිය සාමාන්‍යයෙන් දරත්. එහෙත් යේසුස්වහන්සේ යුදෙව්වෙක් හැටියට ඉපදුණ අතර උපතින්ම ව්‍යවස්ථා ගිවිසුම යටතේ සිටිසේක. (ගලාති 4:4) එපමණක්ද නොව, වෙනත් බැටළුවන්ව ස්වර්ගීය ජීවිතයෙන් විපාක ලබන අන්‍යජාතික ක්‍රිස්තියානීන් හැටියට දකින්නෝ, දෙවියන්වහන්සේගේ අරමුණේ වැදගත් අංගයක් සැලකිල්ලටගැනීමට අසමත් වෙති. යෙහෝවඃවහන්සේ පළමු මනුෂ්‍යයන්ව මවා ඔවුන්ව ඒදන් උයනේ තැබූ විට, උන්වහන්සේගේ අරමුණ වූයේ, පොළොව ජනයාගෙන් පිරවීමත්, මුළු පොළොව පාරාදීසයක් කරවීමත්, එමෙන්ම එය රැකබලාගන්නන්—සිය මැවුම්කරුවාණන්ට තමන් ගෞරව කිරීමේ හා කීකරුවීමේ කොන්දේසිය මත—සදාකාල ජීවිතය භුක්ති විඳීමත් බව උන්වහන්සේ පැහැදිලි කළසේක.—උත්පත්ති 1:26-28; 2:15-17; යෙසායා 45:18.
8 ආදම් පව් කළ විට, යෙහෝවඃවහන්සේගේ අරමුණ නිෂ්ප්‍රභ කරනු ලැබුවේ නැත. ආදම් අගය කිරීමට අසමත් වූ දෙය භුක්ති විඳීමට ආදම්ගෙන් පැවත එන්නන්ට ප්‍රස්තාවක් ලබා දීම සඳහා දෙවියන්වහන්සේ ප්‍රේමනීය ලෙස සැපයුමක් කළසේක. සියලු ජාතීන්ට ආශීර්වාද ලබාගත හැකි ගැළවුම්කරුවෙක්, එනම් වංශයක්, ඇති කරන බව යෙහෝවඃවහන්සේ පුරෝකථනය කළසේක. (උත්පත්ති 3:15; 22:18) පොළොව මත සිටින සියලුම යහපත් අය ස්වර්ගයට ගනු ලබන බව එම පොරොන්දුවෙන් අදහස් වූයේ නැත. යේසුස්වහන්සේ සිය අනුගාමිකයන්ට යාච්ඤා කරන්ට ඉගැන්වූයේ “ඔබගේ රාජ්‍යය ඒවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද කරනු ලැබේවා” යනුවෙනි. (මතෙව් 6:9, 10) යොහන් 10:1-16හි වාර්තා කර ඇති උපමාව පවසා වැඩි කලක් යන්ට මත්තෙන්, ස්වර්ගීය රාජ්‍යය දීම සඳහා සිය පියාණන්වහන්සේ අනුමත කර ඇත්තේ “කුඩා රැළ[කට]” පමණක් බව යේසුස්වහන්සේ සිය ගෝලයන්ට පවසා තිබුණි. (ලූක් 12:32, 33) එබැවින් සිය බැටළුවන් වෙනුවෙන් සිය ජීවිතය දෙන්නාවූ යහපත් එඬේරා හැටියට යේසුස්වහන්සේ ගැන උන්වහන්සේගේ උපමාවෙහි අප කියවන විට, යේසුස්වහන්සේ ස්වකීය ප්‍රේමනීය සැලකිල්ලට පාත්‍ර කරන්නාවූ බහුතරය, එනම් උන්වහන්සේගේ ස්වර්ගීය රාජ්‍යයේ භූමික යටත්වැසියන් වන්නාවූ අයව, සැලකිල්ලට නොගැනීම වරදක් වනු ඇත.—යොහන් 3:16.
9. වර්ෂ 1884 තරම් ඈත කාලයේ, බයිබල් ශිෂ්‍යයන්, වෙනත් බැටළුවන්ගේ අනන්‍යතාව තේරුම්ගත්තේ කුමක් හැටියටද?
9 දෙවියන්වහන්සේගේ මුල් අරමුණ සම්පූර්ණ කරන්නාවූ තත්ත්වයන් යටතේ මෙම පොළොව මත ජීවත්වීමට ප්‍රස්තාව ලබන අය වෙනත් බැටළුවන් හැටියට, මුරටැඹ, 1884 තරම් ඈත කාලයේ, හඳුන්වා දුන්නේය. මෙම වෙනත් බැටළුවන්ගෙන් සමහරෙකු යේසුස්වහන්සේගේ භූමික දේව සේවයට පෙර ජීවත්ව සිට මියගිය අය වනු ඇතැයි එම මුල් බයිබල් ශිෂ්‍යයෝ තේරුම්ගත්හ. කෙසේවෙතත්, ඔවුන් නිවැරදිව තේරුම් නොගත් ඇතැම් විස්තර තිබුණි; උදාහරණයක් වශයෙන්, ඔවුන් කල්පනා කළේ වෙනත් බැටළුවන්ගේ එකතු කිරීම, ආලේප ලත් අය සිය ස්වර්ගීය විපාකය ලැබීමෙන් පසු සිදුවනු ඇති බවය. එහෙත්, වෙනත් බැටළුවන් හුදෙක් අන්‍යජාතික ක්‍රිස්තියානීන් නොවූ බව ඔවුහු නිශ්චිත වශයෙන්ම දැන සිටියහ. වෙනත් බැටළුවන්ගෙන් කෙනෙකු වීමට ප්‍රස්තාව යුදෙව්වන් මෙන්ම අන්‍යජාතිකයන් යන දෙපිරිසටම, එනම් සියලු ජාතීන්ට හා ගෝත්‍රවලට අයත් ජනයාට විවෘතව ඇත.—ක්‍රියා 10:34, 35 සසඳන්න.
10. අප සැබවින්ම යේසුස්වහන්සේගේ වෙනත් බැටළුවන් ලෙස උන්වහන්සේ විසින් දකිනු ලබන අය වීමට, අප සම්බන්ධයෙන් කුමක් සැබෑ විය යුතුද?
10 යේසුස්වහන්සේ විසින් දෙන ලද විස්තරයට අනුව, වෙනත් බැටළුවන් වනාහි, වාර්ගික හෝ ජාතික පසුබිම කුමක් හෝ වේවා, යහපත් එඬේරා හැටියට යේසුස්වහන්සේව පිළිගන්නා අය විය යුතුය. එයට කුමක් අයත් වන්නේද? ඔවුන් බැටළුවන්ගේ අංග ලක්ෂණ වන, මොළොක් ගුණයත්, මඟ පෙන්වීම ලබන්ට කැමැත්තකුත් විදහා පෙන්විය යුතුය. (ගීතාවලිය 37:11) කුඩා රැළ සම්බන්ධයෙන් සැබෑ වන්නා සේ, ඔවුන් ‘[යහපත් එඬේරාගේ] හඬ හඳුනාගත’ යුතු අතර, තමන් කෙරෙහි බලපෑම් ඇති කිරීමට වෑයම් කළ හැකි වෙනත් අය විසින් නොමඟ යැවීමට තමන්ට ඉඩ නෑරිය යුතුය. (යොහන් 10:4; 2 යොහන් 9, 10) යේසුස්වහන්සේ සිය බැටළුවන් වෙනුවෙන් සිය ප්‍රාණය දීමෙන් කළ ක්රියාවේ වැදගත්කම ඔවුන් අගය කළ යුතු අතර, එම සැපයුම කෙරෙහි පූර්ණ ඇදහිල්ලක් තැබිය යුතුය. (ක්‍රියා 4:12) යෙහෝවඃවහන්සේට පමණක් පරිශුද්ධ සේවය පිරිනමන මෙන්ද, පළමුකොට රාජ්‍යය සොයන ලෙසද, ලෝකයෙන් වෙන්ව සිටීම මෙන්ම, එකිනෙකාට ආත්ම පරිත්‍යාගී ප්‍රේමයක් පෙන්වන හැටියට උන්වහන්සේ තමන්ව උනන්දු කරන විට ඔවුන් යහපත් එඬේරාගේ හඬ ‘ඇසිය’ යුතුය. (මතෙව් 4:10; 6:31-33; යොහන් 15:12, 13, 19) යේසුස්වහන්සේ සිය වෙනත් බැටළුවන් හැටියට දකින අයගේ එම විස්තරයට ඔබ ගැළපෙන්නේද? ඔබට ගැළපෙන්ට වුවමනාද? සැබවින්ම යේසුස්වහන්සේගේ වෙනත් බැටළුවන් බවට පත්වන සියල්ලන්ට විවෘත වන්නේ කොතරම් වටිනා සම්බන්ධකමක්ද!
රාජ්‍යයේ අධිකාරය සඳහා ගෞරවය
11. (අ) යේසුස්වහන්සේ තමන්වහන්සේගේ පැමිණ සිටීමේ ලකුණ තුළ, බැටළුවන් හා එළුවන් ගැන කුමක් පැවසූසේක්ද? (ආ) යේසුස්වහන්සේ යොමු දක්වන සහෝදරයෝ කවරහුද?
11 යේසුස්වහන්සේ ඉහත උපමාව ඉදිරිපත් කිරීමෙන් මාස කීපයකට පසු, උන්වහන්සේ යළිත් යෙරුසලමේ සිටිසේක. ඔලීව කන්ද මත සිටියදී, දේව මාළිගාව තිබූ ප්‍රදේශය දෙස බලමින්, උන්වහන්සේ ‘තමන්ගේ පැමිණ සිටීමටත් පිළිවෙළේ සමාප්තියටත් ලකුණුවල’ විස්තරයක් සිය ගෝලයන්ට ලබා දුන්සේක. (මතෙව් 24:3, NW) උන්වහන්සේ යළිත් බැටළුවන් එක්රැස් කිරීම ගැන කථා කළසේක. වෙනත් දෑ අතර උන්වහන්සේ මෙසේ වදාළසේක: “මනුෂ්‍ය පුත්‍රයා සියලු දේවදූතයන් සමඟ තමන්ගේ තේජසින් එන කල, ස්වකීය තේජසේ සිංහාසනයෙහි වැඩ හිඳිනසේක. එවිට සියලු ජාතීහු උන්වහන්සේ ඉදිරියට රැස්කරනු ලබන්නෝය. උන්වහන්සේ එඬේරෙකු විසින් එළුවන් කෙරෙන් බැටළුවන් වෙන් කරන්නාක්මෙන් ඔවුන් වෙන්කොට, බැටළුවන් තමන්ගේ දකුණු පැත්තේද එළුවන් වම් පැත්තේද සිටුවනසේක.” මෙම උපමාවෙහි යේසුස්වහන්සේ පෙන්නුම් කළේ, එලෙස රජ විසින් අවධානයට යොමු කරන ලද අය, උන්වහන්සේගේ “සහෝදරයන්” සමඟ කටයුතු කළ ආකාරයේ පදනම මත විනිශ්චය කරනු ලබන බවය. (මතෙව් 25:31-46) මෙම සහෝදරයෝ කවරහුද? ඔවුන් ආත්මයෙන් ආලේප ලත් ක්‍රිස්තියානීන් වන අතර, එනිසා ඔවුහු “දෙවියන්වහන්සේගේ පුත්‍රයෝ” වෙති. යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ කුලුඳුල් පුත්‍රයාණෝ වනසේක. එබැවින්, ඔවුහු ක්‍රිස්තුස්වහන්සේගේ සහෝදරයෝ වෙති. ඔවුහු ක්‍රිස්තුස්වහන්සේගේ ස්වර්ගීය රාජ්‍යයේ උන්වහන්සේ සමඟ හවුල්වීමට මනුෂ්‍යවර්ගයා අතරෙන් තෝරාගනු ලැබුවෝ, එනම්, එළිදරව් 7:3හි සඳහන් කර ඇති “අපේ දෙවියන් වහන්සේගේ මෙහෙකරු(වෝ)” වෙති.—රෝම 8:14-17.
12. ජනතාව ක්‍රිස්තුස්වහන්සේගේ සහෝදරයන් සමඟ කටයුතු කරන ආකාරය ඉතා වැදගත් වන්නේ මන්ද?
12 වෙනත් මනුෂ්‍යයන් රාජ්‍යයේ මෙම හිමිකරුවන් සමඟ කටයුතු කරන ආකාරය ඉතා වැදගත්ය. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ හා යෙහෝවඃවහන්සේ ඔවුන් දෙස බලන ආකාරයට ඔබත් බලන්නෙහිද? (මතෙව් 24:45-47; 2 තෙසලෝනික 2:13) මෙම ආලේප ලත් අය කෙරෙහි කෙනෙකුගේ ආකල්පය පිළිබිඹු කරන්නේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහිත්, උන්වහන්සේගේ පියාණන් වන, විශ්වනීය පරමාධිපතියාණන් කෙරෙහිත්, පවතින ඔහුගේ ආකල්පය මගිනි.—මතෙව් 10:40; 25:34-46.
13. වර්ෂ 1884දී බයිබල් ශිෂ්‍යයන් බැටළුවන් හා එළුවන් පිළිබඳ උපමාව තේරුම්ගෙන තිබුණේ කොතරම් ප්රමාණයකටද?
13 වර්ෂ 1884 අගෝස්තු කලාපයෙහි, වොච් ටවර් සඟරාව, මෙම උපමාවේ “බැටළුවන්” වනාහි පොළොව මත පරිපූර්ණ ජීවිතයේ අපේක්ෂාව තමන් ඉදිරියේ තබාගෙන සිටින අය බව නිවැරදිව ගෙනහැර දැක්වීය. ක්‍රිස්තුස්වහන්සේ ස්වකීය මහිමාන්විත ස්වර්ගීය සිංහාසනයේ සිට රජකම් කරන කාලයේ මෙම උපමාවට අදාළ වීමක් තිබිය යුතු බවද වටහාගෙන තිබුණි. එහෙත්, ඒ කාලයේ එහි විස්තර කර ඇති වෙන්කිරීමේ වැඩය උන්වහන්සේ කවදා පටන්ගනු ඇත්ද නැතහොත් එය කොතරම් කාලයකට පවතිනු ඇත්ද යනාදිය පැහැදිලිව ඔවුන් තේරුම්ගෙන තිබුණේ නැත.
14. වර්ෂ 1923හි සමුළු දේශනයක් යේසුස්වහන්සේගේ අනාවැකිමය උපමාව ඉටුවීමට නියමිත කාලය ඒත්තුගැනීමට බයිබල් ශිෂ්‍යයන්ට උපකාර කළේ කෙසේද?
14 කෙසේවෙතත්, 1923දී, එවකට වොච් ටවර් සමිතියේ සභාපතිව සිටි ජේ. එෆ්. රදෆර්ඩ්, බැටළුවන් හා එළුවන්ගේ එම උපමාව ඉටුවන කාලය පැහැදිලි කළේය. ඒ මන්ද? එක් හේතුවක් වනුයේ, එම උපමාව රජතුමාගේ සහෝදරයන්—අඩු තරමින් ඔවුන්ගෙන් කීපදෙනෙකුවත්—තවදුරටත් පොළොව මත සිටින බව පෙන්වන නිසාය. මනුෂ්‍යයන් අතර, උන්වහන්සේගේ සහෝදරයන් හැටියට සැබවින්ම ඇමතිය හැක්කේ උන්වහන්සේගේ ආත්මයෙන් ආලේප ලත් අනුගාමිකයන් පමණකි. (හෙබ්‍රෙව් 2:10-12) මොවුන් යේසුස්වහන්සේ විස්තර කළ ආකාරයන්ගෙන් තමන්ට යහපත කිරීමට මනුෂ්‍යයන්ට ප්‍රස්තාව සලසමින්, දහස් අවුරුදු සමය පුරා පොළොව මත සිටින්ට යන්නේ නැත.—එළිදරව් 20:6.
15. (අ) යේසුස්වහන්සේගේ උපමාවේ බැටළුවන්ව නිවැරදිව හඳුනාගැනීමට බයිබල් ශිෂ්‍යයන්ට උපකාර කළේ කුමන වැඩිවර්ධනයවීම්ද? (ආ) රාජ්‍යය සඳහා සිය අගය පිළිබඳව බැටළුවන් සාක්ෂි දරා තිබෙන්නේ කෙසේද?
15 වර්ෂ 1923 එම දේශනය තුළදී, බැටළුවන් හා එළුවන් පිළිබඳ ස්වාමීන්වහන්සේගේ විස්තරයට උචිත වන්නාවූ අයව හඳුන්වා දීමට වෑයමක් දරනු ලැබුවත්, එම උපමාවේ පූර්ණ අදහස පැහැදිලි වන්ට පෙර වෙනත් කාරණා තේරුම්ගැනීම අවශ්‍ය විය. ඊළඟ වර්ෂ තුළ, යෙහෝවඃවහන්සේ ප්රගතිශීලී ආකාරයකට මෙම වැදගත් තොරතුරු ස්වකීය සේවකයන්ගේ අවධානයට යොමු කළසේක. වර්ෂ 1927දී, “විශ්වාසවූ නුවණ ඇති දාසයා” පොළොව මත සිටින ආත්මයෙන් ආලේප ලත් ක්‍රිස්තියානීන්ගේ මුළු සමූහය බව පැහැදිලිව තේරුම්ගැනීමත්, යේහු සමඟ යෙහෝනාදාබ් කළාක් මෙන්, වර්ෂ 1932දී, යෙහෝවඃවහන්සේගේ ආලේප ලත් සේවකයන් සමඟ තමා අභීතව ඇසුරු කිරීමේ අවශ්‍යතාව අගය කිරීමත් මෙයට ඇතුළත් විය. (මතෙව් 24:45; 2 රාජාවලිය 10:15, 16අ) ඒ කාලයේදී, එළිදරව් 22:17හි පදනම මත, මෙම බැටළු ගුණැති අයව, රාජ්‍යයේ පණිවුඩය අන්‍යයන් වෙත රැගෙන යෑමෙහි හවුල්වීමට නිශ්චිතාකාරයෙන් දිරිගන්වනු ලැබීය. මෙසියානු රාජ්‍යය සඳහා වූ ඔවුන්ගේ ඇගැයීම ඔවුන්ව පොලඹවනු ඇත්තේ ස්වාමීන්වහන්සේගේ ආලේප ලත් අයට නිකම්ම මානව දයාව පෙන්වීමට පමණක් නොව, එහෙත් සිය ජීවිත ක්‍රිස්තුස්වහන්සේ තුළින් යෙහෝවඃවහන්සේට කැප කිරීමටත් උන්වහන්සේගේ ආලේප ලත් අය කරමින් සිටින ක්‍රියාවෙහි ජ්වලිතව හවුල් වෙමින් ඔවුන් සමඟ සමීප ඇසුරක් පැවැත්වීමටත්ය. ඔබ එය කරමින් සිටින්නෙහිද? එසේ කරන අයට, එම රජාණන් මෙසේ පවසනු ඇත: “මාගේ පියාණන්ගෙන් ආශීර්වාදලත්තෙනි, වරෙල්ලා, ලෝකය පටන්ගැන්මේ සිට නුඹලාට සූදානම්කර තිබෙන රාජ්‍යය උරුම කරගනිල්ලා.” එම රාජ්‍යයේ භූමික විෂය තුළ පරිපූර්ණත්වයෙන් යුත් සදාකාලික ජීවිතයේ මහත් අපේක්ෂාව ඔවුන් ඉදිරියේ පවතිනු ඇත.—මතෙව් 25:34, 46.
“මහත් සමූහය”—ඔවුන් යන්නේ කොතැනටද?
16. (අ) එළිදරව් 7:9හි මහත් ජන සමූහයේ, නැතහොත් මහත් සමූහයේ අනන්‍යතාව සම්බන්ධයෙන් මුල් බයිබල් ශිෂ්‍යයන් තුළ තිබුණේ කුමන වැරදි සංකල්පද? (ආ) ඔවුන්ගේ එම කල්පනාව නිවැරදි කරනු ලැබුවේ කවදාද? එමෙන්ම කුමන පදනමක් මතද?
16 යම් කලකට යෙහෝවඃවහන්සේගේ මෙහෙකරුවන් විශ්වාස කළේ එළිදරව් 7:9, 10හි මහත් ජන සමූහය (නැතහොත්, මහත් සමූහය) යොහන් 10:16හි වෙනත් බැටළුවන් හා මතෙව් 25:33හි බැටළුවන්ගෙන් වෙනස් වූ බවය. ඔවුන් “සිංහාසනය ඉදිරියෙහි” සිටින්නේ යයි බයිබලය පවසන නිසා, කල්පනා කරනු ලැබුවේ, ඔවුන් ස්වර්ගයේ සිංහාසන මත, ක්‍රිස්තුස්වහන්සේ සමඟ හවුල් උරුමක්කාරයන් හැටියට පාලනය කරමින් නොව, එහෙත් සිංහාසන ඉදිරියේ ද්විතීයික ස්ථානයක සිටිනු ඇති බවය. එතරම් ඇදහිලිවන්ත නොවූ ක්‍රිස්තියානීන් හැටියට, සැබෑ ආත්ම-පරිත්‍යාගී ස්වභාවයක් නොපෙන්වූ අය හැටියට ඔවුන්ව සලකනු ලැබීය. වර්ෂ 1935දී, එම දෘෂ්ටිය නිවැරදි කරනු ලැබීය.b මතෙව් 25:31, 32 වැනි පාඨ සමඟ එළිදරව් 7:9 පරීක්ෂා කර බැලීමේදී, මිහිපිට සිටින සෙනඟට “සිංහාසනය ඉදිරියෙහි” සිටිය හැකි බව පැහැදිලි විය. තවද දෙවියන්වහන්සේට විශ්වාසවන්තභාවයේ සම්මතයන් දෙකක් නොමැති බව ගෙනහැර දක්වනු ලැබීය. උන්වහන්සේගේ අනුමැතිය ලබන සියල්ලෝම උන්වහන්සේ ඉදිරියේ අඛණ්ඩතාව රැකගත යුතුය.—මතෙව් 22:37, 38; ලූක් 16:10.
17, 18. (අ) වර්ෂ 1935 පටන්, පොළොව මත සදාකාල ජීවිතය බලාපොරොත්තු වූ සංඛ්‍යාවෙහි, මහත් වර්ධනයට දායක වූ සාධකය කුමක්ද? (ආ) මහත් සමූහයට අයත් අය කුමන වැදගත් ක්‍රියාවෙහි ජ්වලිතව සහභාගි වන්නෝද?
17 වසර ගණනාවකට යෙහෝවඃවහන්සේගේ සෙනඟ පොළොව සම්බන්ධයෙන් දෙවියන්වහන්සේගේ පොරොන්දු ගැන කථා කර තිබුණි. එදා 1920 ගණන්වල සිදුවීමට ඔවුන් අපේක්ෂා කළ දේවල් හේතුවෙන්, “දැන් ජීවත්වන මිලියන සංඛ්‍යාත අය කිසිදාක නොමැරෙනු ඇති” බව ඔවුහු ප්‍රකාශ කළහ. එහෙත් දෙවියන්වහන්සේගේ සැපයුම් වැළඳගත් මිලියන සංඛ්‍යාවක් ඒ කාලයේදී සිටියේ නැත. සත්‍යය පිළිගත් බහුතරය තුළ, ශුද්ධාත්මය ස්වර්ගීය ජීවිතය සඳහා බලාපොරොත්තුව උත්පාදනය කළේය. කෙසේවෙතත්, විශේෂාකාරයෙන් 1935න් පසුව, කැපී පෙනෙන වෙනසක් සිදුවිය. මෙහිදී මුරටැඹ පොළොව මත සදාකාල ජීවිතය නොසලකා හැර තිබුණා නොවේය. දශක ගණනාවක් පුරා යෙහෝවඃවහන්සේගේ මෙහෙකරුවන් මේ ගැන කථා කර තිබූ අතර, බයිබලයේ විස්තරයට උචිත වන්නාවූ අය සඳහා සෙවිල්ලක් කර තිබුණි. එහෙත්, යෙහෝවඃවහන්සේගේ නියමිත කාලයේ මෙම පිරිසට අයත් විය හැකි අය විද්‍යමාන වන බවට උන්වහන්සේ වගබලාගත්සේක.
18 වසර ගණනාවක් පුරා සිහිකිරීමේ උත්සවයට පැමිණි අය සංකේතවල පංගුකාරයන් වූ බව පවතින වාර්තා පෙන්වයි. එහෙත් 1935න් පසු වසර 25ක් ඇතුළත, ක්‍රිස්තුස්වහන්සේගේ මරණයේ වාර්ෂික සිහිකිරීමට පැමිණි අය, ඊට පංගුකාරයන් වූ සංඛ්‍යාව මෙන් සිය ගුණයක් ඉක්මවා වර්ධනය විය. මෙම අන්‍යයෝ කවරහුද? මහත් සමූහයට අයත් විය හැකි සාමාජිකයන්ය. නුදුරු අනාගතයේදී ඇතිවන මහත් පීඩාවෙන් බේරී ජීවත්වීම සඳහා ඔවුන්ව එක්රැස් කර ඔවුන්ව සූදානම් කිරීමට පැහැදිලිවම යෙහෝවඃවහන්සේගේ නියමිත කාලය එළඹ තිබුණි. පුරෝකථනය කර තිබූ ආකාරයට, ඔවුන් “සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලිනුත් සෙනගගෙනුත් භාෂාවන්ගෙනුත්” පැමිණ තිබේ. (එළිදරව් 7:9) ඔවුන් ජ්වලිතව හවුල්වෙමින් සිටින්නේ යේසුස්වහන්සේ මෙලෙස පුරෝකථනය කළ එම ක්‍රියාවෙහිය: “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස මුළු ජනාවාස පොළොවේ දේශනා කරනු ලබන්නේය; ඉන්පසු අන්තිමය පැමිණෙනු ඇත.”—මතෙව් 24:14, NW.
[පාදසටහන්වල]
a යොහන් 10වන පරිච්ඡේදයේ විස්තර සහිත අදහස් දැක්වීමක් සඳහා, 1984 ඔක්තෝබර් 1, මුරටැඹ පිටු 9-19 සහ 1984 පෙබරවාරි 15, ද වොච්ටවර් 31 පිටුව බලන්න.
b වර්ෂ 1935, අගෝස්තු 1 සහ 15, ද වොච්ටවර්.
ඔබගේ අදහස කුමක්ද?
◻ එළිදරව් 7වන පරිච්ඡේදයේ දර්ශනය විශේෂයෙන් උනන්දුවට හේතු විය යුත්තේ මන්ද?
◻ යොහන් 10:16හි වෙනත් බැටළුවන් අන්‍යජාතික ක්‍රිස්තියානීන්ට සීමා නොවන්නේ මන්ද?
◻ වෙනත් බැටළුවන් පිළිබඳ බයිබලයේ විස්තරයට යෝග්‍ය අය සම්බන්ධයෙන් කුමක් සැබෑ විය යුතුද?
◻ බැටළුවන් හා එළුවන් පිළිබඳ උපමාව රාජ්‍යයේ අධිකාරය සඳහා ගෞරවයක් කැපී පෙනෙන්ට සලස්වන්නේ කෙලෙසද?
◻ එළිදරව් 7:9හි මහත් සමූහය එක්රැස් කිරීම සඳහා යෙහෝවඃවහන්සේගේ නියමිත කාලය පැමිණි අවස්ථාව කුමක් මගින් පෙන්වනු ලැබේද?