පරිච්ඡේදය 5
තේජවත් වූ යේසුස්ව යොහන්ට දර්ශනය වෙයි
දර්ශනය 1—එළිදරව් 1:10–3:22
සිදු වන දේ: යේසුස් පොළොවේ සිටින අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව සෝදිසි කර ඔවුන්ව ඉතා ප්‍රේමයෙන් දිරිගන්වනවා
ඉටු වන කාලය: ස්වාමීන්ගේ දවසේ මෙම සිදුවීම්, 1914 සිට ඇදහිලිවන්ත අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගේ අන්තිම තැනැත්තා මිය ගොස් නැවත නැඟිටුවනු ලබන තෙක් විහිදෙයි
1. පළමු දර්ශනය ඉදිරිපත් කරන්නේ කුමන පසුබිමක් පදනම් කරගෙනද? එය ඇත්තටම ඉටු වන කාලය ගැන යොහන් පැවසුවේ කුමක්ද?
එළිදරව් පොතේ පළමු දර්ශනය ආරම්භ වන්නේ 1වන පරිච්ඡේදයේ 10වන පදයේ සිටයි. එළිදරව් පොතේ සඳහන් වෙනත් දර්ශනවලදී මෙන්ම යොහන් මේ දර්ශනයත් හඳුන්වා දෙන්නේ ඔහුට ඉතා අරුම පුදුම දෙයක් ඇසෙනවා හෝ දකිනවා කියා ප්‍රකාශ කරමිනුයි. (එළිදරව් 1:10, 12; 4:1; 6:1) මෙම දර්ශනය ඉදිරිපත් කරන්නේ පළමු සියවසේ යොහන් විසූ කාලයේ තිබුණු සභා සතකට දුන් පණිවිඩ පසුබිම් කරගෙනයි. නමුත් යොහන් මෙසේ කියනවා. “ස්වාමීන්ගේ දවසට මාව ආත්මයෙන් ගෙන යන ලදි.” (එළිදරව් 1:10අ) මින් ඔහු අදහස් කරන්නේ මෙම දර්ශනය ඇත්තටම ඉටු වෙන කාලය කුමක්ද යන්න ගැනයි. මෙම “දවස” කුමන කාලයකට අදාළද? ඉතා දුෂ්කර වූ මෙම කාලයේදී සිදු වන කැපීපෙනෙන සිද්ධීන්වලට මෙහි යම් සම්බන්ධයක් තිබෙනවාද? එසේනම්, අප මෙම අනාවැකිය හොඳින් සෝදිසි කර බැලිය යුතුයි. එයට හේතුව අපේ ජීවිතය, අපේ ගැලවීම පවා රඳා පවතින්නේ මේ මත නිසයි.—1 තෙසලෝනික 5:20, 21.
ස්වාමීන්ගේ දවසේදී
2. ස්වාමීන්ගේ දවස පටන්ගන්නේ හා අවසන් වන්නේ කවදාද?
2 එළිදරව් පොතේ සඳහන් මේ දේවල් ඉටු වෙන්නේ කොයි කාලයේද? ස්වාමීන්ගේ දවස කියා හඳුන්වන්නේ කුමන කාලයටද? පාවුල් මෙය හඳුන්වන්නේ විනිශ්චයක් කෙරෙන හා දෙවිගේ පොරොන්දු ඉටු වන කාලයක් හැටියටයි. (1 කොරින්ති 1:8; 2 කොරින්ති 1:14; ෆිලිප්පි 1:6, 10; 2:16) එම “දවස” පැමිණීමත් සමඟම යෙහෝවා දෙවිගේ ශ්‍රේෂ්ඨ අරමුණු ඉටු වෙන්නට පටන්ගෙන ජයග්‍රාහී ලෙස අවසන් වෙනවා. එම “දවස” ආරම්භ වන්නේ යේසුස් ස්වර්ගයේ රජු හැටියට අභිෂේක ලැබීමත් සමඟමයි. යේසුස් සාතන්ගේ දුෂ්ට ලෝකය විනාශ කළායින් පසුව පවා ඒ දවස පවතිනවා. ඒ කාලයේදී පොළොව පාරාදීසයක් බවට නැවත පත් වන අතර මිනිස් වර්ගයාව පාපයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් කර පරිපූර්ණත්වය කරා ගෙනෙනු ලබනවා. අන්තිමේදී යේසුස් මේ රාජ්‍යය ‘තම දෙවිද පියාණන්ද වන තැනැත්තාට භාර දෙනවා.’ ස්වාමීන්ගේ දවස අවසන් වන්නේ එවිටයි.—1 කොරින්ති 15:24-26; එළිදරව් 6:1, 2.
3. (අ) “කාලවල් සත” පිළිබඳව දානියෙල්ගේ අනාවැකිය ගැන සොයා බැලීමෙන් අපට ස්වාමීන්ගේ දවස ආරම්භ වන අවස්ථාව තේරුම්ගත හැක්කේ කෙසේද? (ආ) ස්වාමීන්ගේ දවස 1914දී ආරම්භ වූ බව පෙන්වන්නේ පොළොවේ කුමන සිද්ධීන්වලින්ද?
3 ස්වාමීන්ගේ දවස ආරම්භ වන කාලය දැනගැනීමට වෙනත් බයිබල් අනාවැකි ඉටු වූ අන්දම ගැනත් සොයා බැලීම අවශ්‍යයි. නිදසුනකට දාවිත් රජුගේ පෙළපතින් පැමිණෙන පාලනයේ අවසානයක් ගැන දානියෙල් විස්තර කරනවා. නමුත් ‘කාලවල් සතකට’ පසුව “මහෝත්තමයාණන් මනුෂ්‍ය රාජ්‍ය ආණ්ඩු කරමින් කැමති කෙනෙකුට ඒක දෙන බව” පවසා තිබෙනවා. (දානියෙල් 4:23, 24, 31, 32) එම ‘කාලවල් සත’ ආරම්භ වූයේ යූදා රාජ්‍යය විනාශ වීමත් සමඟයි. එය සිදු වූයේ ක්‍රි.පූ. 607 ඔක්තෝබර් මාසයේදීයි. ‘කාලවල් සතේ’ ආරම්භය එයයි. එළිදරව් 12:6, 14හි පෙන්වන්නේ කාලවල් 3 1/2 ක් දවස් 1,260කට සමාන බවයි. ඒ අනුව, කාලවල් හතක් (එම සංඛ්‍යාව මෙන් දෙගුණයක්) දවස් 2,520ක් විය යුතුයි. “අවුරුද්දකට දවස බැගින්” ගණනය කරන විට එම ‘කාලවල් සත’ අවුරුදු 2,520ක් බව අපට පෙනෙනවා. (එසකියෙල් 4:6) මේ අනුව ක්‍රි.පූ. 607 සිට ‘කාලවල් හතක්,’ එනම් අවුරුදු 2,520ක් ඉදිරියට ගිය විට එය වැටෙන්නේ හරියටම ක්‍රි.ව. 1914ටයි. එමනිසා යේසුස් ක්‍රිස්තුස් ස්වර්ගයේ සිට තම පාලනය ආරම්භ කළේ එම අවුරුද්දේ අවසාන භාගයේදීයි. ස්වාමීන්ගේ දවසේ ආරම්භය එයයි. පළමු ලෝක මහා යුද්ධය පටන්ගත්තෙත් එම අවුරුද්දේදීමයි. එය මිනිස් වර්ගයාව මහත් සේ තළා පෙළූ “වේදනාවල පටන්ගැනීමකි.” යේසුස් පැමිණ සිටි අවුරුද්ද 1914 බව ඒ අවුරුද්දේ පටන් සාතන්ගේ බලපෑමට හසු වූ පොළොව මත සිදු වූ දරුණු ලේ වැගිරීම්වලින් ප්රබලව සනාථ වෙනවා.—මතෙව් 24:3-14.a
4. (අ) පළමු දර්ශනයේ ඉටුවීම සම්බන්ධයෙන් එළිදරව් පොතේ වචනවලින් පැහැදිලි වන්නේ කුමක්ද? (ආ) පළමු දර්ශනයේ ඉටුවීම නිමාවට පත් වෙන්නේ කිනම් අවස්ථාවේදීද?
4 මේ නිසා මෙම පළමු දර්ශනයේ තිබෙන අවවාද උපදෙස් අදාළ වෙන්නේ 1914 පටන් ආරම්භ වූ ස්වාමීන්ගේ දවසටයි. මේ කාරණය අපට එළිදරව් පොතේ පසුවට සඳහන් කාරණාවලින් පැහැදිලි වෙනවා. එහි වාර්තා වෙන්නේ දෙවිගේ සැබෑ ධර්මිෂ්ඨ විනිශ්චයන් ඉටු වන ආකාරය ගැනයි. එම විනිශ්චයන් ඉටු කිරීමට ප්‍රධාන වශයෙන් දායක වෙන්නේ ස්වාමි වූ යේසුස්. (එළිදරව් 11:18; 16:15; 17:1; 19:2, 11) මෙම දර්ශනයේ ඉටුවීම ආරම්භ වුණේ 1914දී නම්, එය අවසන් වෙන්නේ කොයි කාලයේද? මෙම දර්ශනයෙන් මූලිකව අදාළ වන්නේ පොළොව මත පිහිටි දෙවි විසින් අභිෂේක කළ ක්‍රිස්තියානි සභාවටයි. මෙම පළමු දර්ශනයේ ඉටුවීම අවසන් වෙන්නේ පොළොවේ සිටින අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගේ අන්තිම තැනැත්තා මිය ගොස් ස්වර්ගික ජීවිතයකට නැවත නැඟිටුණු පසුවයි. නමුත් වෙනත් බැටළුවන්ට ස්වාමීන්ගේ දවස අවසන් වෙන්නේ යේසුස් ක්‍රිස්තුස්ගේ දහස් අවුරුදු පාලනය අවසානයේදීයි. ඒ කාලය පුරාම ඔවුන්ට මහත් ආශීර්වාද ලැබෙනවා නිසැකයි.—යොහන් 10:16; එළිදරව් 20:4, 5.
5. (අ) යොහන්ට ඇසෙන කටහඬින් ඔහුට කියන්නේ කුමක් කිරීමටද? (ආ) “සභා සත” පිහිටා තිබූ ප්‍රදේශයට ලිපි යැවීම පහසු වුණේ ඇයි?
5 යොහන් මේ පළමු දර්ශනය දකින්නට පෙර ඔහුට යමක් ඇසෙනවා. එය මෙසේයි. “හොරණෑවක හඬක් මෙන් මහත් කටහඬක් මා පිටුපසින් ඇසුණේය. ‘ඔබ දකින දේ අකුළන ලියවිල්ලක ලියා එෆීසය, ස්මර්ණාව, පර්ගමම්, තියතීරා, සර්දිස්, ෆිලදෙල්ෆියා සහ ලවොදිසීය යන ස්ථානවල පිහිටි සභා සතට එය යවන්න’ යයි ඒ කටහඬ කීවේය.” (එළිදරව් 1:10ආ, 11) යම් පාලකයෙකුගේ අණක් ඒ රටේ ජනයාට හොරණෑ හඬක් නඟා ප්‍රකාශ කෙරෙනවා වගේ, යොහන්ට ඇසෙන කටහඬින් කියන්නේ “සභා සතට” ලියන ලෙසයි. ඔහුට පණිවුඩ ගණනාවක් ලැබීමට නියමිත අතර, ඔහු විසින් අසන දකින ඒ දේවල් ඔහු ලියා යැවිය යුතුයි. යොහන්ගේ කාලයේ මෙම සභා ඇත්තටම පැවතුණු බව මතක තබාගන්න. මේ සියලු සභාවන් පිහිටා තිබුණේ කුඩා ආසියාවේයි. එනම් පැට්මොස් දූපත පිහිටා තිබූ තැන සිට මුහුදේ අනික් පැත්තෙයි. මේවා හරහා රෝම අධිරාජ්‍යය විසින් තනා තිබූ පාරවල් වැටී තිබුණා. මේ ලිපි ගෙන යන කෙනෙකුට මේ සියලු සභාවන් කරා ඒවා ගෙන යෑමට කිසිදු අපහසුතාවක් තිබුණේ නැහැ. මේ සභා සත අද දින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවලින් සමන්විත චාරිකාවකට සමාන කළ හැකියි.
6. (අ) “දැන් තිබෙන දේ” යනු කුමක්ද? (ආ) වර්තමානයේ අභිෂේක ලත් ක්‍රිස්තියානි සභාවේ තත්වය, යොහන්ගේ කාලයේ තිබූ සභාවල තත්වය හා සමාන බව අප ස්ථිරවම දන්නේ කෙසේද?
6 එළිදරව් පොතේ අනාවැකි බොහොමයක් ඉටුවීමට නියමිතව තිබුණේ යොහන් විසූ කාලයට පසුවයි. ඒවා හැඳින්වූයේ “මේ දේවල්වලට පසුව සිදු වන දේ” හැටියටයි. නමුත් සභා සතට යවනු ලැබූ උපදෙස් “දැන් තිබෙන දේ,” එනම් සභා සත තුළ එවකට ඇත්තටම පැවති තත්වයන්ට අදාළ වුණා. මේ පණිවුඩ එම සභා සතේ සිටි අභිෂේක ලත් වැඩිමහල්ලන්ට වගේම ඒ කාලයේ තිබූ වෙනත් සභාවල අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ටත් ඉතා ප්‍රයෝජනවත් වුණා.b මෙම දර්ශනයේ ප්‍රධාන අදාළ වීම ස්වාමීන්ගේ දවසට සම්බන්ධ නිසා, යේසුස් පවසන දේවල් අද දින අභිෂේක ලත් ක්‍රිස්තියානි සභාවේ තත්වයන්ටත් අදාළ වන බව අප අපේක්ෂා කළ යුතුයි.—එළිදරව් 1:10, 19.
7. යොහන් මෙම පළමු දර්ශනයෙන් දකින්නේ කාවද? අද දින අප සියලුදෙනාටම මෙය වැදගත් වන්නෙත්, එය ප්‍රීතියට හේතුවක් වන්නෙත් ඇයි?
7 මෙහිදී යොහන් දකින්නේ දෙවි විසින් පත් කරනු ලැබ සිටින ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් ස්වර්ගික තේජසින් යුතුව සිටින අන්දමයි. ස්වාමීන්ගේ දවසේ සිදු වන දේවල් පිළිබඳව අනාවැකි හා දර්ශන ඇතුළත් පොතක් මෙලෙස ආරම්භ වීම ඉතා උචිතයි. අප දැන් ජීවත් වෙමින් සිටින්නේ යේසුස්ගේ සෑම ආඥාවකටම ඉතා හොඳින් අවධානය දිය යුතු කාලයක නිසා මෙය අපටත් කොතරම් වැදගත්ද! මීට වසර 2,000කට පමණ පෙර ‘වංශයෙන්’ බිහි වන පොරොන්දු වූ ගැලවුම්කරු හැටියට යේසුස්, තමා වෙතට සාතන් ගෙන ආ සියලු දුක් පීඩා වේදනා විඳදරාගෙන, වේදනාකාරී මරණයකට පත් වුණා. ඔහුගේ “විලුඹ” පොඩි කරනු ලැබුවේ ඒ අවස්ථාවේදීයි. නමුත් දැන් යේසුස් ස්වර්ගයේ රජ වී, දෙවිගේ ශ්‍රේෂ්ඨ අරමුණ ජයග්‍රාහී අන්දමින් ඉෂ්ට කිරීමට සැරසී සිටිනවා. යෙහෝවා දෙවිගේ පාලනයට පක්ෂව සිටින සියලුදෙනාටම එය මොන තරම් ප්‍රීතියක්ද!—උත්පත්ති 3:15.
8. යේසුස් දැන් සූදානම් වී සිටින්නේ කුමක් කිරීමටද?
8 දැන් යේසුස් සූදානම් වී සිටින්නේ සිංහාසනාරූඪ රජ කෙනෙක් හැටියට ක්‍රියාත්මක වෙන්නයි. මේ දුෂ්ට සමාජයත් එහි කෲර දෙවියා වන සාතන්වත් අවසාන වරට විනිශ්චය කිරීමට යෙහෝවා දෙවි විසින් පත් කර ඇත්තේ යේසුස්වයි. එලෙසම සිය අභිෂේක ලත් අයගේ සභාවත්, ඔවුන් හා ඇසුරු කරන මහත් සමූහයවත්, ඒ වගේම මේ ලෝකයත් විනිශ්චය කිරීමට ඔහු දැන් සූදානම්.—එළිදරව් 7:4, 9; ක්‍රියා 17:31.
9. (අ) රන් පහන් රුක් මැද සිටින තේජවත් යේසුස් ක්‍රිස්තුස් ගැන යොහන් විස්තර කරන්නේ කෙසේද? (ආ) මෙම දර්ශනයේදී දේවමාලිගාවට සමාන පසුබිමක් තිබීමෙන් හා යේසුස් පැළඳ සිටින වස්ත්‍රයෙන් අඟවන්නේ කුමක්ද? (ඇ) යේසුස්ගේ රන් පටියෙන් අදහස් කරන්නේ කුමක්ද?
9 ඇසුණු මහත් ශබ්දය නිසා හැරී බලන යොහන් දකින්නේ මෙයයි. “මා සමඟ කතා කරමින් සිටි කටහඬ දෙසට මම හැරුණෙමි. මම හැරුණු විට, රන් පහන් රුක් සතක් දුටිමි.” (එළිදරව් 1:12) මෙම පහන් රුක් සතෙන් සංකේතවත් වන්නේ මොනවාදැයි යොහන් පසුව තේරුම්ගන්නවා. නමුත් දැන් ඔහුගේ අවධානය යොමු වෙන්නේ පහන් රුක් මැද සිටින පුද්ගලයා වෙතටයි. “ඒ පහන් රුක් මැද, පාද දක්වා වස්ත්‍රයක් පැළඳ, රන් පටියකින් ළය බැඳගෙන සිටි මනුෂ්‍ය පුත්‍රයෙකු වැනි තැනැත්තෙකු දුටිමි.” (එළිදරව් 1:13) යොහන් ඉදිරියේ මෙසේ දර්ශනය වන්නේ “මනුෂ්‍ය පුත්‍රයා” වන යේසුස්. යේසුස්ගේ තේජස නිසා යොහන් මහත් භීතියට පත් වෙනවා. දර්ශනයේ ඔහු සිටින්නේ දල්වා ඇති රත්තරන් පහන් රුක් මැදයි. මෙම දර්ශනයේ පසුබිම දේවමාලිගාවට සමාන වන නිසා, යෙහෝවා දෙවිගේ ශ්‍රේෂ්ඨ උත්තම පූජක වශයෙන් යේසුස් විනිශ්චය සඳහා බලතල ඇතිව පැමිණ තිබෙන බව යොහන් තේරුම්ගන්නවා. (හෙබ්‍රෙව් 4:14; 7:21-25) යේසුස්ගේ දීප්තිමත් සළුවෙන් ඔහු පූජකයෙකු බව තවත් පැහැදිලි වෙනවා. පුරාණයේ සිටි යුදෙව් උත්තම පූජකයන් මෙන් ඔහු පටියක්, එනම් ළය පෙදෙස වැසෙන සේ අඳින රන් පටියක් පැළඳ සිටිනවා. මින් අදහස් කරන්නේ යෙහෝවා දෙවිගෙන් තමාට ලැබුණු මෙම පැවරුම මුළු හදවතින්ම ඉටු කිරීමට ඔහු සූදානම් වී සිටින බවයි.—නික්මයාම 28:8, 30; හෙබ්‍රෙව් 8:1, 2.
10. (අ) යේසුස්ට හිම මෙන් සුදු වූ හිසකෙස්ද ගිනි දැල්ලක් හා සමාන ඇස්ද තිබීමෙන් අදහස් කරන්නේ කුමක්ද? (ආ) යේසුස්ගේ පාද දිලිසෙන තඹවලට සමාන කිරීමේ වැදගත්කම කුමක්ද?
10 යොහන්ගේ විස්තරය තවදුරටත් ඉදිරියට යනවා. “ඔහුගේ හිස හා හිසකෙස් සුදු ලොම් මෙන්ද හිම මෙන්ද සුදුය. ඔහුගේ ඇස් ගිනි දැල්ලක් හා සමානය.” (එළිදරව් 1:14) හිම මෙන් සුදු වූ ඔහුගේ හිසකෙස්වලින් අදහස් කරන්නේ දීර්ඝ කාලයක් ජීවත් වීම නිසා ඔහු සතුව තිබෙන ප්රඥාවයි. (හිතෝපදේශ 16:31ද බලන්න.) ගිනි දැල්ලක් හා සමාන ඔහුගේ ඇස්වලින් පෙන්වන්නේ ඔහු යමක් පරීක්ෂා කරන විට හෝ සෝදිසි කරන විට නැත්නම් උදහස පළ කරන විට ඉතා තියුණුව සුපරීක්ෂාකාරී ලෙස එය කරන බවයි. යේසුස්ගේ පාද පවා යොහන්ගේ අවධානයට හසු වෙනවා. “ඔහුගේ පාද, උදුනක දැල්වෙන ඉස්තරම් තඹ මෙන්ද, ඔහුගේ කටහඬ බොහෝ ජල ධාරාවල හඬ මෙන්ද විය.” (එළිදරව් 1:15) මේ දර්ශනයේදී යේසුස්ගේ පාද දිලිසෙන තඹ වගෙයි. මෙහි අදහස නම්, යෙහෝවා දෙවිගේ අනුමැතිය හා ප්‍රසාදය දිනාගෙන උද්යෝගයෙන් ක්‍රියා කරන බවයි. මීට අමතරව ඇතැම් අවස්ථාවලදී ස්වර්ගයට සම්බන්ධ දේවල් රත්තරන්වලින්ද මිනිසුන්ට සම්බන්ධ දේවල් තඹවලින්ද බයිබලයේ විස්තර කර තිබෙනවා.c යේසුස්ගේ දිලිසෙන පාද හරියට තඹ මෙන් කියා කීමෙන් අපට මතක් කරන්නේ පොළොව මත ශුභාරංචිය දේශනා කරද්දී යේසුස්ගේ පාද කොතරම් “අලංකාර” වූවාද කියායි.—යෙසායා 52:7; රෝම 10:15.
11. (අ) යේසුස්ගේ තේජවත් පාදවලින් අපට සිහිගන්වන්නේ කුමක් ගැනද? (ආ) යේසුස්ගේ හඬ “බොහෝ ජලධාරාවල හඬ” මෙන් කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?
11 ඇත්තෙන්ම පව් නොකළ පරිපූර්ණ මිනිසෙකු ලෙස යේසුස්ට තිබූ තේජස දේවදූතයන්ට හා මිනිසුන්ට පැහැදිලිව පෙනුණා. (යොහන් 1:14) ඔහුගේ තේජවත් පාදවලින් අපට සිහිගන්වන්නේ ඔහු යෙහෝවා දෙවිගේ සංවිධානයේ උත්තම පූජාකයා ලෙස එහි ශුද්ධ භූමිය පිට ගමන් කරන බවයි. (නික්මයාම 3:5ද බලන්න.) තවත්, ඔහුගේ කටහඬ ඉතා වේගයෙන් ඇද හැළෙන දිය ඇල්ලක ශබ්දය වගෙයි. එය කොයි කාගෙත් අවධානය ඇදගන්නා අතර, ඔවුන් තුළ ගරුබියක්ද ඇති කරනවා. මින් අදහස් කරන්නේ “මුළු ලෝකයම ධර්මිෂ්ඨකමින් විනිශ්චය කිරීමට” පැමිණෙන යේසුස්ව දෙවිගේ වචනය හෙවත් නියෝජිතයා ලෙස හැඳින්වීම ඉතා සුදුසු බවයි.—ක්‍රියා 17:31; යොහන් 1:1.
12. ‘දෙමුවහත්, තියුණු දිග කඩුවෙන්’ අදහස් කරන්නේ කුමක්ද?
12 “ඔහුගේ දකුණතෙහි තාරකා සතක් විය. ඔහුගේ මුඛයෙන් දෙමුවහත්, තියුණු දිග කඩුවක් නික්මුණේය. ඔහුගේ මුහුණ බලවත් ලෙස බැබළෙන හිරු මෙන් විය. ඔහුව දුටු විට මම මළ කෙනෙකු මෙන් ඔහුගේ පාමුල වැටුණෙමි.” (එළිදරව් 1:16, 17අ) තාරකා සත යනු කුමක්ද යන්න යේසුස්ම පසුව පහදා දෙනවා. නමුත් ඔහුගේ මුඛයෙන් නික්මෙන දේ බලන්න. එය, “දෙමුවහත්, තියුණු දිග කඩුවක්.” දෙවිගේ සතුරන්ට එරෙහිව අවසාන විනිශ්චය ප්‍රකාශ කිරීමට යෙහෝවා දෙවි පත් කර ඇත්තේ යේසුස්වයි. විනිශ්චයකරු ලෙස යේසුස්ගේ මුඛයෙන් නිකුත් වන අවසාන තීන්දුව නිසා සියලු දුෂ්ටයන් විනාශ වෙනවා. යේසුස්ගේ ඒ වචන කඩුවකට සමාන කිරීම මොන තරම් උචිතද!—එළිදරව් 19:13, 15.
13. (අ) යේසුස්ගේ දීප්තිමත් මුහුණෙන් අපට සිහිගන්වන්නේ කුමක්ද? (ආ) යේසුස් පිළිබඳ යොහන්ගේ විස්තරයෙන් යේසුස් ගැන අප තුළ ඇති වන හැඟීම කුමක්ද?
13 යේසුස්ගේ දීප්තිමත් මුහුණෙන් අපට යමක් සිහිගන්වනවා. එය නම්, යෙහෝවා දෙවි සීනයි කන්දේදී මෝසෙස් සමඟ කතා කළායින් පසුව මෝසෙස්ගේ මුහුණද දීප්තියෙන් බැබළෙමින් තිබුණු ආකාරයයි. (නික්මයාම 34:29, 30) ඒ වගේම මීට වසර 2,000කට පමණ පෙර, යේසුස් තම ගෝලයන් තිදෙනෙක් ඉදිරියේ අන් ස්වරූපයකට පත් වූ විට, ‘ඔහුගේ මුහුණ සූර්යයා මෙන් බැබළී, ඔහුගේ පිට වස්ත්‍ර ආලෝකය මෙන් දීප්තිමත් වූ’ බව ඔබට මතක ඇති. (මතෙව් 17:2) ස්වාමීන්ගේ දවස තුළ දර්ශනයකින් පෙනී සිටින යේසුස්ගේ මුහුණෙන්ද දිස් වෙන්නේ යෙහෝවා දෙවි ඉදිරියේ සිටින කෙනෙකුගේ මුහුණේ දීප්තිය හා කාන්තියයි. (2 කොරින්ති 3:18) මේ දර්ශනයෙන් යොහන් දුටුවේ යේසුස්ගේ අතිශ්‍රේෂ්ඨ තේජසයි. ඔහු හිම මෙන් සුදු හිසකෙස්, ගිනි දැල්ලක් වැනි ඇස්, දීප්තිමත් මුහුණක් හා දිලිසෙන පාද දකිනවා. ඇත්තෙන්ම මේ තැනැත්තා දැන් “කිසිවෙකුට ළඟා විය නොහැකි ආලෝකයෙහි” වසන බවට මොන තරම් ප්රබලව කාවදිනවාද! (1 තිමෝති 6:16) මෙය දැක පුදුමයට පත් වූ යොහන්ම මෙසේ කියනවා. “ඔහුව දුටු විට මම මළ කෙනෙකු මෙන් ඔහුගේ පාමුල වැටුණෙමි.”—එළිදරව් 1:17.
14. තේජසට පත් යේසුස් ගැන යොහන් විස්තර කරන දර්ශනය ගැන කියවීම අපට බලපෑ යුත්තේ කෙසේද?
14 යොහන් විස්තර කරන මෙම තේජාන්විත දර්ශනය ගැන කල්පනා කරන විට, දෙවිගේ සෙනඟට මේ ගැන හෘදයාංගම අගය කිරීමක් ඇති වෙනවා. දැනටමත් අපි ස්වාමීන්ගේ දවසේ අවුරුදු 90කට වැඩි කාලයක් පසු කර තිබෙනවා. මේ කාලයේ අතරතුරේදී මේ දර්ශනය දිගටම ඉටු වෙනවා. දේවරාජ්‍යයේ පාලනය අනාගතයේදී වෙන්න තිබෙන දෙයක් නම් නෙවෙයි. එය යථාර්ථයක්. යේසුස් දැනටමත් පාලනය ආරම්භ කර හමාරයි. එසේනම්, අපත් දේවරාජ්‍යයට පක්ෂපාත යටත්වැසියන් වශයෙන්, යොහන් මේ පළමු දර්ශනයේ විස්තර කරන දේ ගැන මහත් උනන්දුවකින් බලා සිටිමින්, තේජාන්විත යේසුස් ක්‍රිස්තුස්ගේ වචනවලට කීකරුව සවන් දීම කොතරම් උචිතද!
[පාදසටහන්වල]
a වැඩිපුර විස්තර දැනගැනීමට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්රකාශනයක් වන “බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු” නමැති පොතේ 88-92 දක්වා පිටු සහ 215-218 දක්වා පිටු බලන්න.
b පළමු සියවසේදී යම් සභාවකට යේසුස්ගේ ප්රේරිතයෙකුගෙන් ලිපියක් ලැබුණු විට, එහි උපදෙස්වලින් ප්‍රයෝජන ගත හැකි වන පරිදි වෙනත් සභාවලටද එම ලිපිය යැවීම සිරිතක් වුණා.—කොලොස්සි 4:16ද බලන්න.
c සලමොන්ගේ දේවමාලිගාව ඇතුළේ සැරසිලි සහ ගෘහභාණ්ඩ රත්තරන්වලින් සාදා තිබුණා. නැත්නම් ඒවාට රන් ආලේප කර තිබුණා. නමුත් දේවමාලිගාවේ මළුවට අයත් දේවල් සෑදීමට භාවිත කළේ තඹ (පිත්තල) ලෝහයයි.—1 රාජාවලිය 6:19-23, 28-35; 7:15, 16, 27, 30, 38-50; 8:64.
[23වන පිටුවේ පින්තූර]
සභා සත තිබූ නගරවල සොයාගත් නටඹුන් මගින් බයිබල් වාර්තාව නිවැරදි බව තහවුරු වෙනවා. යේසුස් දුන් දිරිගැන්වීම පළමු සියවසේ ක්‍රිස්තියානීන්ට ලැබුණේ මෙම ස්ථානවලදීයි. ලෝක ව්‍යාප්ත සභාවන්ට අද දින මෙය මහත් දිරිගැන්වීමක්
පර්ගමම්
ස්මර්ණාව
තියාතීරා
සර්දිස්
එෆීස
ෆිලදෙල්ෆියා
ලවොදිසීය