පරිච්ඡේදය 23
දෙවන දුක වන අශ්වාරෝහක හමුදා
1. පූජක පක්ෂය පළඟැටියන්ව පාගා දැමීමට උත්සාහ කළත් සිදු වී ඇත්තේ කුමක්ද? තව දුක් දෙකක් පැමිණීමෙන් අදහස් කරන්නේ කුමක්ද?
වර්ෂ 1919 පටන් පළඟැටියන් ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලි සමූහයේ පූජක පක්ෂයට මහත් වේදනාවක් ගෙනැවිත් තිබෙනවා. මේ පූජක පක්ෂය මෙම පළඟැටියන්ව පාගා දැමීමට උත්සාහ කළත්, පළඟැටියන් එන්න එන්නම ප්‍රබල වී තිබෙනවා. (එළිදරව් 9:7) නමුත් ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලිවලට තවත් දුක් පීඩා නියම වී තිබෙනවා. යොහන් එය පැහැදිලි කරන්නේ මෙසේයි. “එක දුකක් අවසන් වී ඇත. බලන්න! ඉන්පසු තව දුක් දෙකක් පැමිණෙන්නේය.”—එළිදරව් 9:12.
2. (අ) හයවෙනි දේවදූතයා තම හොරණෑව පිඹින විට සිදු වෙන්නේ කුමක්ද? (ආ) “රන් පූජාසනයෙහි අං අතරින්” නිකුත් වෙන්නේ කාගේ හඬද? (ඇ) දේවදූතයන් සතරදෙනෙකු ගැන සඳහන් කර තිබෙන්නේ ඇයි?
2 දෙවන දුක පැමිණෙන්නේ කොහෙන්ද? යොහන් මෙසේ ලියනවා. “හයවන දේවදූතයා තම හොරණෑව පිම්බේය. එවිට, දෙවි ඉදිරියෙහි තිබෙන රන් පූජාසනයෙහි අං අතරින් හඬක් මට ඇසුණේය. එය, හොරණෑව ඇතිව සිටි හයවන දේවදූතයාට කතා කොට: ‘යුප්‍රටීස් නමැති මහා ගංගාව ළඟ බැඳ සිටින දේවදූතයන් සතරදෙනාව ලිහන්න’ යයි කියනවා මට ඇසුණේය.” (එළිදරව් 9:13, 14) මෙම දේවදූතයන්ව ලිහනු ලබන්නේ රන් පූජාසනයෙහි අං අතරින් පැමිණෙන කටහඬට කීකරු වීමක් ලෙසයි. මෙහි සඳහන් පූජාසනය සුවඳ දුම් ඔප්පු කරන රන් පූජාසනයයි. මෙම පූජාසනයට සම්බන්ධ රන් බඳුන්වල අඩංගු සුවඳ ද්‍රව්‍ය මීට කලින් වතා දෙකකදීම පොළොව මත සිටින ශුද්ධ තැනැත්තන්ගේ යාච්ඤා නියෝජනය කළ බව පවසා තිබුණා. (එළිදරව් 5:8; 8:3, 4) එමනිසා මෙම හඬ පොළොව මත සිටින ශුද්ධ තැනැත්තන් එක්සත්ව ඉදිරිපත් කරන යාච්ඤා නියෝජනය කරනවා. ඔවුන් ඉල්ලා සිටින්නේ දෙවිගේ “දූතයන්” ලෙස එනම් ඔහුගේ පණිවුඩකරුවන් ලෙස දෙවි සූදානම් කර ඇති භාරදූර කාර්යයන් උද්යෝගයෙන් කිරීම සඳහා තමුන්ව මුදාහරින්න කියායි. මෙහිදී දේවදූතයන් සතරදෙනෙක් ගැන සඳහන් කරන්නේ ඇයි? මෙම සංකේතවත් ඉලක්කමෙන් පැහැදිලි වෙන්නේ ඔවුන්ට නියමිතව තිබෙන මෙම කාර්යය ඔවුන් මුළු පොළොව පුරාම අඩුවක් නැතිව ඉටු කරන්න යන බවයි.—එළිදරව් 7:1; 20:8.
3. දේවදූතයන් සතරදෙනා ‘යුප්‍රටීස් නමැති මහා ගංගාව ළඟ බැඳ සිටීමෙන්’ අදහස් වෙන්නේ කුමක්ද?
3 මෙම දේවදූතයන් ‘යුප්‍රටීස් නමැති මහා ගංගාව ළඟ බැඳ සිටීමෙන්’ අදහස් වෙන්නේ කුමක්ද? පුරාණයේදී යුප්‍රටීස් ගඟ, යෙහෝවා දෙවි ආබ්‍රහම්ට පොරොන්දු වූ දේශයේ ඊසාන දිග දේශ සීමාව වුණා. (උත්පත්ති 15:18; ද්විතීය කථාව 11:24) දේවදූතයන්ව මෙම දේශ සීමාවේ බැඳ තැබීමෙන් අදහස් වෙන්නේ පොළොවේදී ඔවුන්ට කරන්න නියමිත කාර්යය කිරීමෙන් ඔවුන්ව වළක්වා ඇති බවයි. එනම් යෙහෝවා දෙවි ඔවුන්ට පැවරූ කාර්යය පූර්ණ ලෙස ඉටු කිරීමට යම් බාධා පැවති බවයි. මීට අමතරව යුප්‍රටීස් ගඟ බැබිලෝනීය නගරයටත් ලොකු සම්බන්ධයක් තිබුණා. ක්‍රිස්තු පූර්ව 607දී යෙරුසලම විනාශ වීමෙන් පසුව, ඊශ්‍රායෙල්වරුන්ව වහලුන් ලෙස අවුරුදු 70ක් පුරා රඳවා සිටියේ ‘බැබිලෝනියේ ගංගා ළඟයි.’ (ගීතාවලිය 137:1) වර්ෂ 1919දී දෙවිගේ ඊශ්‍රායෙල් එනම් අභිෂේක ලත් අයද සිටියේ ඒ හා සමාන තත්වයකයි. ඉතාමත් අසරණව සිටි ඔවුන් යෙහෝවා දෙවිගෙන් මඟ පෙන්වීම් ඉල්ලමිනුයි සිටියේ.
4. දේවදූතයන් සතරදෙනාගේ පැවරුම කුමක්ද? එය ඉටු කර තිබෙන්නේ කෙසේද?
4 යොහන් සතුටින් පවසන්නේ මෙසේයි. “එවිට, මිනිසුන්ගෙන් තුනෙන් කොටසක් මරා දැමීම සඳහා නියමිත පැය, දවස, මාසය සහ අවුරුද්ද සඳහා සූදානම් කරනු ලැබූ දේවදූතයන් සතරදෙනාව ලිහනු ලැබීය.” (එළිදරව් 9:15) යෙහෝවා දෙවි කාල සටහනකට අනුව වැඩ කරන සෑම දෙයක්ම නියමිත කාලයේදී සිදු කරන දෙවි කෙනෙක්. මේ නිසා මෙම පණිවුඩකරුවන්ව මුදාහරින්නේ හරියටම නියම කර ඇති අවස්ථාවේදීයි. එනිසා කළ යුතු දේ කරන්න ඔවුන්ට හැකි වෙනවා. වර්ෂ 1919දී ඔවුන්ව මුදා හරිනු ලැබූ අවස්ථාවේදී ඔවුන්ට ඇති වූ සතුට ගැන සිතා බලන්න! ඔවුන් තම කාර්යයට සූදානම්! ඔවුන්ගේ පැවරුම වෙන්නේ මිනිසුන්ට වධ වේදනා දෙන්න පමණක් නෙවෙයි, නමුත් ‘මිනිසුන්ගෙන් තුනෙන් කොටසක් මරා දැමීමයි.’ ඔවුන්ගේ මෙම පැවරුම මුල් හොරණෑ සතර පිඹින විට, පොළොවේ, මුහුදේ, මුහුදු සත්වයන්ගේ, කඳුවල ගංගාවල සහ ඉර හඳ තාරකාවල තුනෙන් එකකට පැමිණි වසංගතවලට සම්බන්ධයි. (එළිදරව් 8:7-12) මේ දේවදූතයන් වසංගත ඇති කරනවා පමණක් නෙවෙයි ඔවුන් ඇත්තටම ‘මරා දමනවා.’ මින් අදහස් කරන්නේ ක්‍රිස්තියානියයි කියාගන්නා වූ පල්ලිවල සැබෑ මළ තත්වය ඔවුන් සම්පූර්ණයෙන්ම හෙළි කරන බවයි. වර්ෂ 1922 පටන් මේ දක්වාම කර ඇති නිර්භීත ප්‍රකාශවලින් මෙය ඉටු වී තිබෙනවා.
5. ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලි සම්බන්ධයෙන් හයවෙනි හොරණෑවේ ශබ්දය 1927 සිට පැතිර ඇත්තේ කෙසේද?
5 ස්වර්ගයේ සිටි දේවදූතයා මීට ටිකකට කලින් හයවන හොරණෑව පිම්බ බව මතක තබාගන්න. එම හොරණෑවේ ශබ්දයට එකඟව කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ ටොරොන්ටෝ නුවරේදී බයිබල් ශිෂ්‍යයන් වාර්ෂික ජාත්‍යන්තර සමුළු මාලාවේ හයවැන්න පවත්වනු ලැබුවා. වර්ෂ 1927 ජූලි 24 ඉරු දින පැවැත්වූ වැඩසටහන ගුවන් විදුලි මධ්‍යස්ථාන 53ක් හරහා විකාශය කරනු ලැබුවා. ඒ කාලයේදී ලෝකයේ එතරම් පුළුල්ව කිසිම වැඩසටහනක් විකාශය කර තිබුණේ නැහැ. මිලියන ගණනක් එයට සවන් දෙන්න ඇති. මුලින්ම කළේ ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලි කොතරම් මළ තත්වයක සිටිනවා යන්න පෙන්වා දෙන සම්මුතියක් ස්ථිර කරගැනීමයි. ඉන්පසුව සියලුදෙනාටම මෙම ආරාධනාව ඉදිරිපත් කළා. “මේ තීරණාත්මක පැයේදී, යෙහෝවා දෙවි සිය ජනයාගෙන් ඉල්ලා සිටින්නේ ‘ක්‍රිස්තියානියයි කියාගන්නාවූ පල්ලිවලින්’ හෝ ව්‍යාජ ‘ක්‍රිස්තියානි සංවිධානවලින්’ සම්පූර්ණයෙන්ම ඉවත් වන ලෙසයි. . . . සියලුම ජනයා යෙහෝවා දෙවිටත් ඔහුගේ රජ සහ රාජ්‍යයටත් තම හද පත්ලෙන්ම තම භක්තිය හා ගෞරවය පිදිය යුතුයි.” ඉන්පසුව පැවැත්වූ ප්‍රසිද්ධ කථාවේ තේමාව වුණේ “ජනයාට නිදහස” යන්නයි. මෙම කතාව ඉතා ප්‍රබල ස්වරයකින් ඉදිරිපත් කළේ සහෝදර රදෆඩ්. ඔහුගේ මෙම සුපුරුදු කතා විලාසය යොහන් ඊළඟට දර්ශනයේ දකින ‘ගින්න, දුම සහ ගෙන්දගම්වලට’ සමානකමක් දැක්වූවා කියා පැවසුවොත් නිවැරදියි.
6. යොහන් ඊළඟට දකින අශ්වාරෝහක හමුදාව ගැන විස්තර කරන්නේ කෙසේද?
6 “අශ්වාරෝහක හමුදාවේ හේවායන්ගේ ගණන විසිදහස් වර දසදහසක් විය. ඔවුන්ගේ ගණන මට ඇසුණේය. දර්ශනයේ මා දුටු අශ්වයන්ද උන් පිට ඉඳගෙන සිටි අයද මෙලෙස විය: ඔවුන්ට ගින්දර මෙන් රතු පැහැති වූද, හයසින්ත් මෙන් නිල් පැහැති වූද, ගෙන්දගම් මෙන් කහ පැහැති වූද ළය වැසුම් තිබිණ. අශ්වයන්ගේ හිස් සිංහයන්ගේ හිස්වලට සමානය. උන්ගේ කටවල්වලින් ගින්දරද දුම්ද ගෙන්දගම්ද නික්මුණේය. උන්ගේ කටවල්වලින් නික්මුණු ගින්නෙන්ද, දුමෙන්ද ගෙන්දගම්වලින්ද යන මේ ප්‍රහාර තුනෙන් මිනිසුන්ගෙන් තුනෙන් කොටසක් මරනු ලැබූහ.”—එළිදරව් 9:16-18.
7, 8. (අ) අශ්වාරෝහක හමුදාව යුද්ධයට යන්නේ කාගේ මඟ පෙන්වීම යටතේද? (ආ) අශ්වාරෝහක හමුදාව ඊට පෙර ගිය පළඟැටි හමුදාවට සමාන වෙන්නේ කොයි ආකාරවලින්ද?
7 පෙනෙන විදිහට මෙම අශ්වාරෝහක හමුදාව ගමන් කරන්නේ දේවදූතයන් සතරදෙනාගේ මඟ පෙන්වීම යටතේයි. එවන් අශ්වාරෝහක හමුදාවක් එන්නේ ඔබට පහර දෙන්නට නම් ඔබට කොහොම හැඟෙයිද? ඔවුන් දුටු පමණින් ඔබට කොතරම් බියක් ඇති වෙනවාද කියා සිතාගත හැකියි. මෙම අශ්වාරෝහක හමුදාව කලින් පැමිණි පළඟැටියන්ට යම් ආකාරවලින් සමානයි. මෙම පළඟැටියන් හරියට අශ්වයන්ට යම් සමානකමක් දක්වනවා. නමුත් මෙම හමුදාවේ ඇත්තටම සිටින්නේ අශ්වයන්. ඒ වගේම මෙම හමුදාවන් දෙකම දෙවි වෙනුවෙන් යම් යුද්ධයක් කරනවා. (හිතෝපදේශ 21:31) මෙම හමුදාවන් දෙකටම සිංහ ගතිලක්ෂණ තිබෙනවා. පළඟැටියන්ට සිංහයන්ට සමාන දත් තිබෙනවා වගේම මේ හමුදාවේ අශ්වයන්ගේ හිස් සිංහයන්ගේ හිස්වලට සමානයි. මින් පැහැදිලි වෙන්නේ මෙම හමුදා දෙකටම නායකත්වය සපයන්නේ යූදා ගෝත්‍රයේ නිර්භීත සිංහයා වන යේසුස් ක්‍රිස්තුස් බවයි. ඔහු ඔවුන්ගේ නායකයා පමණක් නොව ඔවුන්ට ආදර්ශයක්ද සපයනවා.—එළිදරව් 5:5; හිතෝපදේශ 28:1.
8 මේ පළඟැටි හා අශ්වාරෝහක හමුදාවන් දෙකම යෙහෝවා දෙවිගේ විනිශ්චයන් ප්‍රකාශ කිරීමට හවුල් වී සිටිනවා. පළඟැටියන් නික්ම ආවේ දුමකින්. එම දුම ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලි අද්දකින දුක් සහ ඔවුන් අත් විඳින විනාශයට පෙරනිමිත්තක් හා සමාන වුණා. අශ්වයන්ගේ කටවලින් ගින්දර, දුම් සහ ගෙන්දගම් නික්මෙනවා. පළඟැටියන්ට තිබෙන යකඩ ළයවැස්මවලින් අදහස් කරන්නේ ඔවුන්ගේ සිත් නොසැලෙන ධර්මිෂ්ඨ ප්‍රමිතිවලින් ආරක්ෂා වී ඇති බවයි. ඒ හා සමානව මෙම අශ්වාරෝහක හමුදාවටත් ළය වැස්මවල් තිබෙනවා. ඔවුන් පැළඳ සිටින රතු, නිල් සහ කහ පාටින් යුත් ළයවැස්මවලින් එම අශ්වයන්ගෙන් නික්මෙන ගින්දර, දුම් සහ ගෙන්දගම් නියෝජනය කරනවා. එයින් පැහැදිලි වෙන්නේ ඔවුන් දෙවිගේ ධර්මිෂ්ඨකමට ළැදිව ඔහුගේ විනිශ්චයන් ඉතා ප්රබලව ප්‍රකාශ කරන බවයි. (උත්පත්ති 19:24, 28ද ලූක් 17:29, 30ද බලන්න.) පළඟැටියන්ගේ වලිග ගෝනුස්සන්ට සමානයි. ඒවායින් කරන්නේ වධ වේදනා දීමක්. අශ්වයන්ගේ වලිග සර්පයන් වගේ. ඒවායින් කරන්නේ මරා දැමීමක්. මෙහිදී අපට පෙනෙන්නේ පළඟැටියන් ආරම්භ කරන වධ වේදනා ගෙනදෙන කාර්යය අශ්වාරෝහක හමුදාව එහි අවසානය දක්වා වඩාත් ප්‍රබල ආකාරයකින් ඉටු කරන බවයි.
9. අශ්වාරෝහක හමුදාවෙන් සංකේතවත් කරන්නේ කුමක්ද?
9 අශ්වාරෝහක හමුදාවෙන් සංකේතවත් කරන්නේ කුමක්ද? ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලිවලට විරුද්ධව දෙවිගේ විනිශ්චයන් ප්‍රකාශ කිරීමේ කාර්යය ආරම්භ කළ අභිෂේක ලත් යොහන් පන්තිය එම කාර්යය අවසන් කරන්නත් හවුල් වෙයි කියා අපට අපේක්ෂා කළ හැකියි. මුලදී මෙම අභිෂේක ලත් පන්තියට බලය දී තිබුණේ ඔවුන්ට ‘අනින්නට හා අනතුරු කරන්නටයි.’ නමුත් ඔවුන්ව ‘මරාදැමීමටත්’ මෙම අභිෂේක ලත් අය හවුල් වෙනවා. ‘මරා දමනවා’ කියා පැවසීමෙන් අදහස් වෙන්නේ ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලි සහ ඔවුන්ගේ පූජකයන් මළ තත්වයක සිටින බවත්, යෙහෝවා දෙවි විසින් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇති බවත්, සදාකාල විනාශය නමැති “ගිනි උදුනට” හෙළන්න නියමිත වී සිටින බවත් ඔවුන් නිර්භීතව ප්‍රකාශ කිරීමයි. ඇත්තෙන්ම මුළු මහා බැබිලෝනියටම මෙම ඉරණම අත් වෙනවා. (එළිදරව් 9:5, 10; 18:2, 8; මතෙව් 13:41-43) ඔවුන්ගේ මළ තත්වය හෙළි කිරීමට යොහන් පන්තිය භාවිත කරන්නේ ‘දෙවිගේ වචනය නමැති කඩුවයි.’ ‘මිනිසුන්ගෙන් මෙම තුනෙන් කොටසක් මරා දැමීම සඳහා’ අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දෙන්නේ දේවදූතයන් සතරදෙනා සහ අශ්වාරෝහකයන්. (එෆීස 6:17; එළිදරව් 9:15, 18) අශ්වාරෝහක හමුවෙන් සංකේතවත් කරන්නේ සටන සඳහා දේවරාජ්‍යයේ පණිවුඩය සහිතව ඉදිරියට ගමන් කරන අභිෂේක ලත් අය ප්රමුඛ විශාල පිරිසක්. ඒ පිරිස යේසුස් ක්‍රිස්තුස්ගේ නායකත්වය හා මඟ පෙන්වීම යටතේ මනා ලෙස සංවිධානය වී ඇති ආකාරයද අපට දැකගත හැකියි.
විසි දහස් වර දස දහසක්!
10. අශ්වාරෝහකයන් විසි දහස් වර දස දහසක් සිටිනවා කීමෙන් අදහස් වෙන්නේ කුමක්ද?
10 මෙම අශ්වාරෝහක සේනාවේ විසි දහස්වර දස දහසක් සිටිනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? විසි දහස් වර දස දහසක් කියන්නේ මිලියන 200කටයි.a ඇත්තටම දේවරාජ්‍යය ගැන දැන් ප්‍රකාශ කරන සංඛ්‍යාව මිලියන ගණනකින් සමන්විතයි! නමුත් ඒ සංඛ්‍යාව මිලියන 200කට වඩා නම් බොහෝ සෙයින් අඩුයි. මෙය තේරුම්ගැනීමට මෝසෙස් ගණන් කතාවේ 10:36හි පැවසූ දේ සලකා බලමු. ඔහු කිව්වේ “යෙහෝවා, ඊශ්‍රායෙල්වරුන්ගේ දහස් ගණනෙන් දස දහස් ගණන් වෙතට හැරී පැමිණෙන්න” කියායි. (උත්පත්ති 24:60ද බලන්න.) මෝසෙස් පැවසූ දේ වචනානුසාරයෙන් ගත්තොත් එයින් අදහස් වෙන්නේ ‘ඊශ්‍රායෙල්වරුන් මිලියන දසය වෙතට හැරී එන්න’ කියායි. නමුත් මෝසෙස්ගේ කාලයේ සිටියේ ඊශ්‍රායෙල්වරුන් මිලියන දෙකක් හෝ තුනක් පමණයි. පෙනෙන විදිහට මෝසෙස් ඊශ්‍රායෙල්වරුන්ව නිශ්චිත සංඛ්‍යාවක් වශයෙන් දක්වනවා වෙනුවට ඔවුන් ජාතියක් වශයෙන් අසංඛ්‍යාත “අහසේ තාරකා මෙන්ද මුහුදු වෙරළෙහි වැලි මෙන්ද” වන බව තේරුම්ගත්තා. (උත්පත්ති 22:17; 1 ලේකම් 27:23) එමනිසා ඔහු “දස දහස් ගණන්” කියා පැවසුවේ විශාල නමුත් අවිනිශ්චිත ගණනක් දැක්වීමටයි. අශ්වාරෝහක හමුදාවේ ගණන සම්බන්ධයෙන්ද අපට කිව හැක්කේ ඒ දෙයමයි.
11. යොහන් පන්තියට සංකේතවත් ආකාරයකින් පවා දස දහස් ගණනක් වීමට අවශ්‍ය වෙන්නේ කුමක්ද?
11 නමුත් දැනටමත් පොළොවේ ජීවත් වන යොහන් පන්තියේ ඉතිරි අයගේ සංඛ්‍යාව 10,000කට වඩා අඩුයි. එසේනම්, ඔවුන්ව ගණන් කළ නොහැකි අශ්වාරෝහක හමුදාවකට සමාන කළ හැක්කේ කෙසේද? සංකේතවත් ආකාරයකින් පවා දස දහස් ගණනක් වීමට නම් ඔවුන්ට තවත් විශාල පිරිසක් එකතු විය යුතුයි. යෙහෝවා දෙවිගේ මහත් කරුණාවෙන් ඒ අවශ්‍යතාව ඉටු වී තිබෙනවා. මේ අය කවුරුන්ද?
12, 13. අශ්වාරෝහක හමුදාවට එකතු වූ අය කවුද කියා පැහැදිලි වුණේ 1918 සිට 1935 දක්වා සිදු වූ කුමන සිදුවීම්වලින්ද?
12 වර්ෂ 1918 සිට 1922 දක්වා කාලයේ යොහන් පන්තිය බොහෝ දුක්වලින් මිරිකී සිටි මිනිස් වර්ගයාට ඉතා ප්‍රීතිමත් අපේක්ෂාවක් ඉදිරිපත් කළා. එනම් ‘දැන් ජීවත් වන මිලියන ගණනක් කිසිදා මිය නොයන’ බවයි. වර්ෂ 1923දී මතෙව් 25:31-34හි සඳහන් බැටළුවන්ට දේවරාජ්‍යය යටතේ පොළොවේ ජීවිතයක් උරුම වන බව පැහැදිලි කරනු ලැබුවා. ඒ හා සමාන අදහසක් 1927දී පැවැත්වූ ජාත්‍යන්තර සමුළුවේ නිකුත් කළ පොත්පිංචයක සඳහන් වී තිබුණා. (පොත්පිංචය, Freedom for the Peoples) එක්දහස් නවසිය තිස් ගණන්වල මුල් භාගයේදී ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලිවල පිරිහීම ගැන ‘සුසුම්ලමින් අඬන’අය හා ධර්මිෂ්ඨ යෙහොනාදාබ් පන්තිය, පොළොව මත ජීවත් වීමේ අපේක්ෂාව ඇති බැටළුවන්ට සමාන බව පැහැදිලි කරනු ලැබුවා. (එසකියෙල් 9:4; 2 රාජාවලිය 10:15, 16) එවැනි අයව වර්තමාන ‘ආරක්ෂිත නුවරවල්’ වෙතට යොමු කරමින් 1934 අගෝස්තු 15 මුරටැඹ කලාපයේ මෙසේ සඳහන් වුණා. “යොහනාදාබ් පන්තියට අයත් අය දෙවිගේ හොරණෑවේ හඬ අසා තිබෙන අතර ඊට අවනත වී සිටිනවා. එසේ කර ඇත්තේ දෙවිගේ සංවිධානය වෙත පලා ගොස් දෙවිගේ ජනයා හා ඇසුරු කිරීමෙන්. ඔවුන් එහි වාසය කළ යුතුයි.”—ගණන් කතාව 35:6.
13 වර්ෂ 1935දී යොහනාදාබ් පන්තියේ අයට විශේෂ ආරාධනයක් ලැබුණා. ඒ එක්සත් ජනපදයේ වොෂිංටන් ඩී.සී. නගරයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සමුළුවකට සහභාගි වන ලෙසයි. එහිදී මැයි මස 31වන සිකුරාදා සහෝදර ජේ. එෆ්. රදෆඩ් දුන් කතාවේ තේමාව වූයේ “මහත් සමූහය” යන්නයි. එළිදරව් 7:9හි සඳහන් මෙම කණ්ඩායම, මතෙව් 25:33හි සඳහන් බැටළුවන්ට සමාන බවත් ඔවුන් පොළොවේ ජීවත් වීමට බලාපොරොත්තුවක් ඇති දෙවිට කැපවූ කණ්ඩායමක් බවත් පැහැදිලිව පෙන්වා දෙනු ලැබුවා. මෙම සමුළුවේදී අලුතෙන් සාක්ෂිකරුවන් 840ක් බව්තීස්ම වූ අතර ඔවුන්ගෙන් වැඩිදෙනෙක් මේ මහත් සමූහයට අයත් අයයි.b
14. අශ්වාරෝහක හමුදාවට මහත් සමූහය අයත් වෙනවාද? වර්ෂ 1963දී ස්ථිර කරගත්තේ කුමන සම්මුතියද?
14 වර්ෂ 1922දී ආරම්භ වූ අශ්වාරෝහක හමුදාවේ මෙහෙයුම 1927දී ටොරොන්ටෝ නුවරේ පැවැත්වූ සමුළුවකදී විශේෂයෙන්ම අවධාරණය කරනු ලැබුවා. අභිෂේක ලත් අය ප්රමුඛව සිටින මෙම මෙහෙයුමට මහත් සමූහයේ අයත් සම්බන්ධ වී සිටිනවාද? ඇත්තෙන්ම ඔව්! ඔවුන් දේවදූතයන් සතරදෙනා වන අභිෂේක ලත් යොහන් පන්තියේ මඟ පෙන්වීම යටතේ ඊට හවුල් වී සිටිනවා. ලොව පුරා 1963දී පැවති “සදාකාල ශුභාරංචි” නම් සමුළුවේදී මෙම මහත් සමූහය යොහන් පන්තිය හා එකතු වී සුවිශේෂ සම්මුතියක් ස්ථිර කරගත්තා. ඔවුන් එක හඬින් පැවසුවේ මෙසේයි. “මෙම ලෝකය වෙන කවරදාකටත් වඩා ගැටලු කන්දරාවකින් දෙදරුම් කන අතර එහි සියලු දේශපාලනික සංවිධාන හා ආගමික සංවිධාන මුළුමනින්ම කඩා වැටෙනවා.” සියලුදෙනාම අධිෂ්ඨාන කරගත්තේ “දේවරාජ්‍යය පිළිබඳවත් දෙවිගේ ධර්මිෂ්ඨ විනිශ්චයන් පිළිබඳවත් ‘සදාකාල ශුභාරංචිය’ සියලු ජනයාට එක හා සමානව අත්නෑර ප්‍රකාශ කරන” බවයි. “මෙය දෙවිගේ සතුරන්ට මහත් පීඩාවක් ගෙන දුන්නත්, දෙවිගේ මඟ පෙන්වීමට එකඟව සත්‍යතාවෙන් යුතුව ඔහුව මැවුම්කරු ලෙස හා දෙවි ලෙස නමස්කාර කරන සියලුදෙනාගේ නිදහස සඳහා ඒ විනිශ්චයයන් ඉටු වන බවත්” ඔවුන් පැවසුවා. ලොව පුරා 4,54,977දෙනෙක් පැමිණ සිටි සමුළු 24කදී ඉතා උද්යෝගයෙන් මෙම සම්මුතිය ස්ථිර කරගනු ලැබුවා. එයට සහභාගි වූ අයගෙන් සියයට 95කටත් වඩා වැඩිදෙනෙක් මහත් සමූහයට අයත් අයයි.
15. (අ) වර්ෂ 2005දී දෙවි තම සේවය සඳහා යොදාගත් අයගෙන් මහත් සමූහයට අයත්ව සිටි අයගේ ගණන කොතරම්ද? (ආ) යොහන් 17:20, 21හි යේසුස් කළ යාච්ඤාවෙන් යොහන් පන්තිය හා මහත් සමූහය අතර ඇති එක්සත්කම පැහැදිලි වෙන්නේ කෙසේද?
15 ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලිවලට පීඩා එල්ල කරන යොහන් පන්තියට මහත් සමූහය පූර්ණ සහයෝගය පළ කර තිබෙනවා. උදාහරණයකට 2005දී දෙවි තම සේවය සඳහා යොදාගත් අයගෙන් මහත් සමූහයට අයත්ව සිටි අයගේ ගණන සියයට 99.8ක් වුණා. ඔවුන් සියල්ලන්ම යොහන් පන්තිය සමඟ මුළු හදින් එකට එකතු වී සේවය කරනවා. යොහන් 17:20, 21හි යේසුස් ඔවුන් ගැන යාච්ඤා කළේ මෙසේයි. “මම ඔවුන් ගැන පමණක් නොව, ඔවුන්ගේ වචනය මාර්ගයෙන් මා කෙරෙහි ඇදහිල්ල තබන අය ගැනත් අයැදිමි. එසේ කරන්නේ, ඔවුන් සියලුදෙනාම එකඟත්වයෙන් සිටින පිණිසය. එනම් පියාණෙනි, ඔබ මාව එවූ බව ලෝකය විශ්වාස කරන පිණිස ඔබ මා සමඟ එක්සත්ව හා මා ඔබ සමඟ එක්සත්ව සිටින්නා සේම, ඔවුන්ද අප සමඟ එක්සත්ව සිටීම සඳහා අයැදිමි.” අද දින යේසුස්ගේ මේ වචන සැබෑ වී තිබෙනවා. යේසුස්ගේ නායකත්වය යටතේ ක්‍රියා කරන අභිෂේක ලත් යොහන් පන්තිය මිනිස් ඉතිහාසයේ කිසිදාක දැක නැති ප්‍රබල අශ්වාරෝහක ප්රහාරයක යෙදෙමින් සිටිනවා. එම ප්‍රහාරයට ඔවුන් සමඟ එක්සත්ව ඉතා උද්යෝගයෙන් හවුල් වෙන්නේ මෙම මහත් සමූහයයි.c
16. (අ) යොහන් අශ්වයන්ගේ කටවල් සහ වලිග විස්තර කරන්නේ කෙසේද? (ආ) යෙහෝවා දෙවිගේ සේවකයන්ගේ කටවල් සේවය සඳහා සූදානම් කර ඇත්තේ කෙසේද? (ඇ) ඔවුන්ගේ “වලිග සර්පයින් හා සමාන” බව කීමෙන් අදහස් වෙන්නේ කුමක්ද?
16 එම අශ්වාරෝහක හමුදාවට යුද්ධ කිරීම සඳහා ආයුධ අවශ්‍යයි. යෙහෝවා දෙවි එම අවශ්‍යතාව ඉතා කදිමට ඉටු කර තිබෙනවා. යොහන් මේ ගැන විස්තර කරන්නේ මෙසේයි. “මන්ද ඒ අශ්වයන්ගේ බලය තිබෙන්නේ උන්ගේ කටවල්වලත් උන්ගේ වලිගවලත්ය. උන්ගේ වලිග සර්පයින් හා සමානය. ඒවාට හිස්ද තිබේ. මේවායින් උන් අනතුරු කරති.” (එළිදරව් 9:19) මෙම සේවය සඳහා යෙහෝවා දෙවි පත් කර තිබෙන්නේ තමාට කැප වී බව්තීස්ම වී සිටින අයවයි. ඒ සඳහා ඔවුන්ව පුහුණු කර තිබෙන්නේ දිව්‍යාණ්ඩු සේවා පාසැල, වෙනත් රැස්වීම් හා පාසැල් තුළින්. ප්‍රතිඵලයක් ලෙස ‘උගතුන්ගේ දිවක්’ සහිතව බියක් සැකක් නොමැතිව කතා කරන්න ඔවුන්ට හැකි වී තිබෙනවා. එමනිසා ඔහුගේ වචනයෙන් සන්නද්ධ වී සිටින ඔවුන්ව ඔහුගේ විනිශ්චයන් “ප්‍රසිද්ධියේ සහ ගෙයින් ගෙට ගොස්” ඉදිරිපත් කිරීමට යවා තිබෙනවා. (2 තිමෝති 4:2; යෙසායා 50:4; 61:2; යෙරෙමියා 1:9, 10; ක්‍රියා 20:20) ඔවුන්ගේ වලිග සර්පයින් හා සමාන බව කීමෙන් අදහස් වෙන්නේ යොහන් පන්තිය සහ මහත් සමූහය තබා යන පණිවඩුයේ ඇති ප‍්‍රබලකමයි. එම පණිවුඩය ඇතුළත් බයිබල්, පොත්, සඟරා සහ පත්‍රිකා මිලියන දහස් ගණනක් බෙදාහැර තිබෙනවා. මෙම අශ්වාරෝහක හමුදාව මිලියන 200ක් තරම් අතිවිශාල ජනකායක් ලෙස දෙවිගේ සතුරන්ට හැඟෙන්නේ මේ නිසායි. මතු පැමිණෙන දෙවිගේ විනිශ්චයෙන් ඔවුන්ට ‘අනතුරක්’ සිදු වන ආකාරය ගැන දැනුම් දෙන විට ඔවුන්ට කොතරම් වේදනාවක් දැනෙනවා ඇද්ද!—යෝවෙල් 2:4-6ද බලන්න.
17. සාක්ෂිකරුවන්ගේ වැඩ හා පොත් පත් තහනම් කර ඇති රටවල සිටින අය මෙම අශ්වාරෝහක මෙහෙයුමට සහභාගි වෙන්නේ නැද්ද? පැහැදිලි කරන්න.
17 මෙම අශ්වාරෝහක හමුදාව අතරින් වඩාත් උද්යෝගයෙන් දෙවිට සේවය කරන්නේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වැඩ කටයුතු තහනම් කර ඇති රටවල සිටින සහෝදරයන්. මෙම සහෝදරයන් වෘකයන් මැද සිටින බැටළුවන් වගෙයි. “සර්පයන් මෙන් සුපරීක්ෂාකාරීව පරෙවියන් මෙන් අහිංසකව” සිටීමට ඔවුන්ට සිදු වෙනවා. නමුත් ඔවුන් යෙහෝවා දෙවිට කීකරුව සිටින නිසා තමන් ඇසූ දුටු දේ ගැන කතා නොකර සිටින්න ඔවුන්ට බැහැ. (මතෙව් 10:16; ක්‍රියා 4:19, 20; 5:29, 32) ඔවුන්ට පොත් පත් සඟරා පුළුල්ව බෙදාහරින්න බැරි නිසා මෙම අශ්වාරෝහකයන්ගේ මෙහෙයුමට ඔවුන් සහභාගි නොවන බව අප සිතිය යුතුද? නැහැ. බයිබලයේ සඳහන් සත්‍යයන් ප්‍රකාශ කිරීමට තම කටවල් භාවිත කරන්න දෙවි ඔවුන්ට උපකාර කරනවා. එමගින් ඔවුන් විවිධ ක්‍රමවලින් බයිබල් පාඩම් පවත්වා ‘බොහෝදෙනෙකුට ධර්මිෂ්ඨකම’ කාවදින ආකාරයකින් උගන්වනවා. (දානියෙල් 12:3) වලිගවලින් අනතුරු කරනවා හා සමානව ප්‍රබල පණිවුඩයක් ඇති පොත් පත් ලබා දීමට මොවුන්ට බැරි වුණත් ඔවුන් ඥානවන්තව යෙහෝවා දෙවි ගෙනෙන විනිශ්චය ගැන සාක්ෂි දරනවා. ඒ එම අශ්වයන්ගේ කටවල්වලින් නිකුත් වන ගින්දර, දුම් සහ ගෙන්දගම් හා සමානවයි.
18. මෙම අශ්වාරෝහක හමුදාව මුද්‍රණය කරන පොත් පත් භාෂා කීයකින් හා කොතරම් ප්‍රමාණයකින් බෙදාහරිනවාද?
18 සීමා තහංචි නැති වෙනත් රටවල ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලිවල උගන්වන බොරු සහ අනුගමනය කරන ව්‍යාජ වත් පිළිවෙත් ජනයාට හෙළි කරන්න මෙම පොත් පත් විශාල ලෙස දායක වී තිබෙනවා. වර්ෂ 2005ට පෙර වසර 68ක් මුළුල්ලේ විවිධ මුද්‍රණ ක්‍රම යොදා ගනිමින් භාෂා 450කින් බයිබල්, පොත්, සඟරා සහ විවරණිකා බෙදාහැරීමට මෙම අශ්වාරෝහක හමුදාවට හැකි වී තිබෙනවා. ඇත්තෙන්ම මෙසේ බෙදාහැර ඇති පොත් පත් සංඛ්‍යාව අශ්වාරෝහක හමුදාවේ සිටින විසිදහස් වර දස දහස වන මිලියන 200ටත් වඩා වැඩියි. මෙම වලිගවලින් සිදු කර ඇති අනතුර කොතරම්ද කියා අපට සිතාගත හැකියි.
19, 20. (අ) මෙම වේදනා ගෙන දෙන පණිවුඩ ක්‍රිස්තියානියයි කියාගන්නා රටවල් හා ජනයා වෙත ඉලක්ක කරගෙන තිබුණත් වෙනත් රටවල් හා ජනයා ඊට ප්‍රතිචාරය දක්වා ඇත්තේ කෙසේද? (ආ) පොදුවේ ජනයා ප්‍රතිචාරය දක්වන ආකාරය යොහන් විස්තර කරන්නේ කෙසේද?
19 දෙවිගේ අරමුණට අනුව වේදනා ගෙන දෙන මෙම පණිවුඩයෙන් ‘මිනිසුන්ගෙන් තුනෙන් කොටසක් මරණයට’ පත් වෙනවා. එයින් පැහැදිලි වෙන්නේ ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලි හා ජනයා විශේෂයෙන් ඉලක්ක කරගෙන තිබෙන බවයි. නමුත් වෙනත් රටවලටත්, විශේෂයෙන්ම ක්‍රිස්තියානි නොවන නමුත් ‘ක්‍රිස්තියානි’ ආගම්වල කුහකකම් හොඳින් ප්‍රසිද්ධ වී ඇති රටවලටත් එහි බලපෑම ව්‍යාප්ත වී තිබෙනවා. එම රටවල ජනයාට මෙය යම් බලපෑමක් වී තිබෙනවාද? ඇත්තෙන්ම ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලිවල දූෂිත තත්වය හෙළි කර තිබෙන නිසා බොහෝදෙනෙක් යෙහෝවා දෙවිට ළං වී සිටිනවා. ඒ වගේම මෘදු ගුණැති හොඳ ගතිගුණ ඇති මෙවැනි මිනිසුන් ශුභාරංචියට හොඳ ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා. නමුත් මුළු ලෝකයේ සියලුදෙනාම පසුතැවිලි වෙයි කියා නම් අපට බලාපොරොත්තු වෙන්න බැහැ. පොදුවේ බහුතරයක් ජනයා ප්‍රතිචාරය දක්වන ආකාරය යොහන් විස්තර කරන්නේ මෙසේයි. “නමුත් මේ පීඩාවලින් නොමැරී ඉතිරි වූ මිනිස්සු තමුන්ගේ අත්වැඩ ගැන පසුතැවිලි නොවූහ. එහෙයින්, ඔවුහු භූතයන්ට නමස්කාර කිරීමෙන්වත්, දකින්න අසන්න හෝ ඇවිදින්න නොහැකි, රන්, රිදී, තඹ, ගල් සහ ලීවලින් සෑදූ දේවතා රූපවලට නමස්කාර කිරීමෙන්වත් වැළකී නොසිටියහ. ඔවුහු තමන් කළ මිනී මැරීම් ගැනවත්, භූතවාදී ක්‍රියා ගැනවත්, වේශ්‍යාකම් ගැනවත්, සොරකම් ගැනවත් පසුතැවිලි නොවූහ.” (එළිදරව් 9:20, 21) පසුතැවිලි නොවී දුෂ්ට දේවල දිගටම නියැලී සිටින සියලුදෙනා යෙහෝවා දෙවිගේ මහත් දවසේදී දෙවිගේ විනිශ්චය ලැබීමට නියමිත බව මින් පැහැදිලි වෙනවා. ‘ගැලවෙන්නේ යෙහෝවා දෙවිට යාච්ඤා කරන සියලුදෙනා’ පමණයි.—යෝවෙල් 2:32; ගීතාවලිය 145:20; ක්‍රියා 2:20, 21.
20 අප දැන් සාකච්ඡා කළේ දෙවෙනි දුකේ එක් කොටසක් ගැනයි. මෙම දුක අවසන් වීමට පෙර තවත් බොහෝ දෙවල් සිදු විය යුතුයි. අපි ඒ ගැන ඊළඟ පරිච්ඡේදයේදී බලමු.
[පාදසටහන්වල]
a ‘විසි දහස් වර දස දහසක් කියා කියද්දී එය ඉතා විශාල සංඛ්‍යාවක් වන නිසා එයින් සැබෑ සංඛ්‍යාවක් අදහස් නොවන බව පැහැදිලියි. ඉන්පසුවට ඇති විස්තරයෙනුත් මෙම කාරණය පැහැදිලි වෙනවා.’—හෙන්රි බාක්ලේ ස්වීට් රචනා කළ Commentary on Revelation.
b මෙම පොතේ 119 සිට 126 දක්වා පිටු බලන්න; යෙහෝවාගේ සාක්ෂිකරුවන් 1932දී නිකුත් කළ Vindication, Book Three නම් පොතේ 83-84 පිටු බලන්න.
c පළඟැටියන්ට වඩා වෙනස්ව යොහන් දුටු අශ්වාරෝහක හමුදාව “රනින් කළ ඔටුනුවලට සමාන යමක්” පැළඳ සිටියේ නැහැ. (එළිදරව් 9:7) මින් පෙනෙන්නේ අද දින එම අශ්වාරෝහක හමුදාවේ බහුතරයක් වන මහත් සමූහයට දෙවිගේ රාජ්‍යයේ රජකම් කිරීමට බලාපොරොත්තුවක් නැති බවයි.
[149වන පිටුවේ පින්තූරය]
හයවන හොරණෑව පිඹීමත් සමඟ දෙවෙනි දුක ඇරඹෙනවා
[150, 151වන පිටුවේ පින්තූර]
මෙතෙක් සිටි දැවැන්තම අශ්වාරෝහක හමුදාවට මඟ පෙන්වන්නේ දේවදූතයන් සතරදෙනායි
[153වන පිටුවේ පින්තූර]
අසංඛ්‍යාත අශ්වාරෝහක හමුදාව බයිබලය ගැන ලියවුණු පොත් පත් මිලියන ගණනක් බෙදා හැර තිබෙනවා
[154වන පිටුවේ පින්තූර]
ඉතිරි වූ මිනිසුන් පසුතැවිලි වුණේ නැහැ