යේසු රාජ්‍ය තේජසින් එන කල
“මනුෂ්‍ය පුත්‍රයා ස්වකීය රාජ්‍යයෙන් යුක්තව එනවා දකින තෙක් මෙහි සිටින්නන්ගෙන් සමහරෙක් කිසිසේත් මරණ රසය නොවිඳින්නෝය.”—මතෙව් 16:28.
1, 2. පොදු යුගයේ 32හි පෙන්තකොස්තයෙන් ටිකකට පස්සේ මොකක්ද සිදු වුණේ? එමෙන්ම එම සිද්ධියේ අරමුණ මොකක්ද?
පොදු යුගයේ 32හි පෙන්තකොස්තයෙන් ටිකකට පස්සේ, යේසුස් ක්‍රිස්තුස්ගේ ප්‍රේරිතයන් තුන්දෙනෙක් සිහිකටයුතු දර්ශනයක් දැක්කා. දේවානුභාවයෙන් ලැබූ වාර්තාවට අනුව, “[යේසු] පේතෘස්ද යාකොබ්ද ඔහුගේ සහෝදරවූ යොහන්ද පමණක් කැඳවාගෙන උස්වූ කන්දකට වෙන්ව ගි[යේය]. [ඔහු] ඔවුන් ඉදිරියෙහි අන්වෙසක්වූ[යේය].”—මතෙව් 17:1, 2.
2 අන්වෙසක් වීමේ දර්ශනය සිදු වුණේ අර්බුදකාරි කාලයකයි. තමා යෙරුසලමෙහි වධ විඳ මියයන බව යේසු තම අනුගාමිකයන්ට කියන්න පටන්ගෙන තිබුණත්, ඔහුගේ වචන ග්‍රහණය කරගන්න ඔවුන්ට අමාරු වුණා. (මතෙව් 16:21-23) යේසුගේ මතු පැමිණෙන මරණයටද, ක්‍රිස්තියානි සභාව සඳහා ඉන්පසුව එන්න යන දැඩි වෙහෙසින් සහ පරීක්ෂාවලින් යුත් අවුරුදු ගණනාවටද සූදානමක් වශයෙන්, මෙම දර්ශනය යේසුගේ ප්‍රේරිතයන් තුන්දෙනාගේ ඇදහිල්ල ශක්තිමත් කළා. එම දර්ශනයෙන් අදදින අපිට යම්කිසි දෙයක් ඉගෙනගන්න පුළුවන්ද? ඔව්, මන්ද එයින් පූර්වාදර්ශනය කරනු ලැබූ දේ ඇත්තටම සිදු වෙන්නේ අපේ කාලයේ හින්දයි.
3, 4. (අ) අන්වෙසක් වෙන්න දවස් හයකට කලින් යේසු මොකක්ද කිව්වේ? (ආ) අන්වෙසක් වීමේදී සිදු වුණ දේ විස්තර කරන්න.
3 අන්වෙසක් වීමට දවස් හයකට කලින්, යේසු තම අනුගාමිකයන්ට මෙහෙම කිව්වා: “මනුෂ්‍ය පුත්‍රයා තමන් [පියාගේ] තේජසින් යුක්තව තමන් දූතයන් සමඟ එන්නේය; එකල [ඔහු] එකිනෙකාට තම තමාගේ ක්‍රියා ලෙස විපාක දෙ[න්නේය].” මෙම වදන් ඉටු වෙන්නේ “දේවල පිළිවෙළේ නිමාව” තියෙන කාලයේදියි. යේසු තවදුරටත් මෙහෙම කිව්වා: “සැබවක් නුඹලාට කියමි: මනුෂ්‍ය පුත්‍රයා ස්වකීය රාජ්‍යයෙන් යුක්තව එනවා දකින තෙක් මෙහි සිටින්නන්ගෙන් සමහරෙක් කිසිසේත් මරණ රසය නොවිඳින්නෝය.” (මතෙව් 16:27, 28; 24:3, NW; 25:31-34, 41; දානියෙල් 12:4) මෙසේ අන්තිමට සඳහන් මෙම වදන්වල ඉටුවීමක් වශයෙන් අන්වෙසක් වීම සිදු වුණා.
4 ඇත්තටම, ප්‍රේරිතයන් තුන්දෙනා මොනවද දැක්කේ? සිද්ධිය ලූක් විස්තර කළ විදිහ මතු දැක්වේ: “[යේසු] යාච්ඤාකරද්දී [ඔහුගේ] මුහුණේ ආකාරය වෙනස්විය, [ඔහුගේ] වස්ත්‍ර සුදුව බැබළුණේය. එවිට මනුෂ්‍යයෝ දෙදෙනෙක් [ඔහු] සමඟ කථාකළෝය, ඔව්හු නම් මෝසෙස් සහ එලියාය. ඔව්හු තේජසින් යුක්තව පෙනී, [ඔහු] යෙරුසලමේදී සිදුකරන්ට තිබුණු [ඔහුගේ] ඉකුත්වීම ගැන කථාකරමින් සිටියෝය.” එවිට, “වලාපටලයක් පැමිණ, [ප්‍රේරිතයන්] මත්තෙහි පැතිර තිබුණේය. වලාකුළට ඇතුල්වූ කල ඔව්හු භයවූවෝය. එවිට: මේ මාගේ [පුත්‍රයාය], මාගේ තෝරාගත් තැනැත්තේය. මොහුට ඇහුම්කන්දෙන්නැයි වලාකුළෙන් හඬක් නික්මුණේය.”—ලූක් 9:29-31, 34, 35.
ඇදහිල්ල ශක්තිමත් කර
5. අන්වෙසක් වීම ප්‍රේරිත පේතෘස්ට මොන විදිහටද බලපෑවේ?
5 ප්‍රේරිත පේතෘස් ඒ වන විටත් යේසුව ‘ක්‍රිස්තුස්, ජීවමාන දෙවිගේ පුත්‍රයා’ වශයෙන් හඳුන්වලා තිබුණා. (මතෙව් 16:16) ස්වර්ගයෙන් නික්මුණු යෙහෝවාගේ වදන් එම හඳුන්වා දීම තහවුරු කළ අතර, අන්වෙසක් වූ යේසු පිළිබඳ දර්ශනය, ක්‍රිස්තුස් රාජ්‍ය බලයෙන් සහ තේජසින් අන්තිමේදී මනුෂ්‍යවර්ගයාව විනිශ්චය කරන්න පැමිණීම කලින් රසබැලීමක් වුණා. එම අන්වෙසක් වීමෙන් අවුරුදු 30කටත් වැඩිය ගියායින් පස්සේ, පේතෘස් මෙහෙම ලිව්වා: “අපගේ ස්වාමීවූ යේසුස් [ක්‍රිස්තුස්ගේ] බලයත් ඊමත් අප නුඹලාට දැන්වූ කල, [ඔහුගේ] මහිමය ඇසින් දැකලා මිස ප්‍රයෝගයෙන් යොදනලද ප්‍රබන්ධ අනුව එසේ නොකෙළෙමුව. මක්නිසාද: මොහු මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය, මොහු කෙරෙහි මම ප්‍රසන්නව සිටිමියි යන හඬක් උත්කෘෂ්ඨ තේජසෙන් [ඔහු] කරා පහළවූ කල්හි, පියවූ [දෙවිගෙන්] ගෞරවයත් තේජසත් [ඔහු ලැබුවේය]. [ඔහු] සමඟ ශුද්ධවූ කන්දේ සිටියදී මේ හඬ ස්වර්ගයෙන් එනවා අපිම ඇසීමු.”—2 පේතෘස් 1:16-18; 1 පේතෘස් 4:17.
6. අන්වෙසක් වීමෙන් පස්සේ සිද්ධීන් දිග හැරුණේ කොහොමද?
6 අදදිනත්, ඒ ප්‍රේරිතයන් තුන්දෙනා දුටු දෙයින් අපේ ඇදහිල්ල ශක්තිමත් කෙරෙනවා. ඇත්තෙන්ම, පො.යු. 32 ඉඳන් ප්‍රගතිශීලීව බොහෝ දේවල් සිදු වෙලා තියෙනවා. ඊළඟ අවුරුද්දේ, යේසු මියගොස් නැවත නැඟිටුවනු ලැබූ අතර, තම පියාගේ දකුණත පැත්තට ඔසවනු ලැබුවා. (ක්‍රියා 2:29-36) ඒ අවුරුද්දේ පෙන්තකොස්ත දවසේදී, අලුත් ‘දෙවිගේ ඉශ්රායෙල්’ බිහි කරනු ලැබූ අතර, යෙරුසලමෙන් පටන්ගෙන, පසුව පොළොවේ සීමා දක්වා ව්‍යාප්ත වුණු දේශනා කිරීමේ ප්රයත්නයක් ආරම්භ වුණා. (ගලාති 6:16; ක්‍රියා 1:8) විගසම වාගේ යේසුගේ අනුගාමිකයන්ගේ ඇදහිල්ල පරීක්ෂා කරනු ලැබුවා. ප්‍රේරිතයන් දේශනා කරන එක නතර කිරීම ප්‍රතික්ෂේප කළ නිසා, ඔවුන්ව අත්අඩංගුවට ගෙන හොඳටම තළනු ලැබුවා. වැඩි කල් නොගොස් ස්තේපන්ව මැරුවා. ඊළඟට යේසුගේ අන්වෙසක් වීම තම ඇස්වලින් දුටු යාකොබ්ව ඝාතනය කළා. (ක්‍රියා 5:17-40; 6:8–7:60; 12:1, 2) කොහොම වුණත්, පේතෘස් සහ යොහන් තවත් අවුරුදු ගණනාවක් යෙහෝවාට විශ්වාසවන්තව සේවය කරන්න හැකි වන විදිහට බේරුණා. ඇත්තටම, පො.යු. පළමුවන සියවසේ අවසාන හරියේ, යොහන් යේසු ස්වර්ගික තේජසින් ඉන්න එක පිළිබඳ තවත් දර්ශන වාර්තා කළා.—එළිදරව් 1:12-20; 14:14; 19:11-16.
7. (අ) අන්වෙසක් වීමේ දර්ශනය ඉටු වෙන්න පටන්ගත්තේ කවදාද? (ආ) යේසු සමහරුන්ට ඔවුන්ගේ ක්‍රියා ලෙස විපාක දුන්නේ කවදාද?
7 ‘ස්වාමියාගේ දවස’ 1914දී පටන්ගත් දා සිට, යොහන් දුටු දර්ශන බොහොමයක් ඉටු වෙලා තියෙනවා. (එළිදරව් 1:10) අන්වෙසක් වීමෙන් පූර්වාදර්ශනය කළ, යේසු ‘තම පියාගේ තේජසින් යුක්තව පැමිණීම’ ගැන මොනවාද කියන්න පුළුවන්? මෙම දර්ශනය ඉටු වෙන්න පටන්ගත්තේ 1914දී දෙවිගේ ස්වර්ගික රාජ්‍යයේ උපතේදියි. යේසු, පහන් තාරකාවක් මෙන්, අලුත සිංහාසනාරූඪ වූ රජ හැටියට විශ්ව දර්ශනයේ පෑව්ව විට, එය හරියටම අලුත් දවසක උදාවීම වගෙයි. (2 පේතෘස් 1:20; එළිදරව් 11:15; 22:16) යේසු ඒ කාලයේදී සමහරුන්ගේ හැසිරීම අනුව ඔවුන්ට ප්‍රතිඵල දුන්නාද? ඔව්. එයින් කෙටි කාලයකට පස්සේ, ආලේප ලත් ක්‍රිස්තියානීන්ගේ ස්වර්ගික නැවත නැඟිටීම ආරම්භ වූ බවට ප්‍රබල සාක්ෂි තියෙනවා.—2 තිමෝති 4:8; එළිදරව් 14:13.
8. අන්වෙසක් වීමේ දර්ශනය ඉටුවීමේ මුදුන්පත් වීම සලකුණු කරන්න යන්නේ මොන සිද්ධීන්ද?
8 කොහොම වුණත්, ළඟදීම යේසු මනුෂ්‍යවර්ගයාව සමස්තයක් වශයෙන් විනිශ්චය කරන්න, “සියලු දේවදූතයන් සමඟ තමන්ගේ තේජසින්” පැමිණෙන්න යනවා. (මතෙව් 25:31) ඒ කාලයේදී, ඔහු තම සම්පූර්ණ තේජශ්‍රීයෙන් එළිදරව් වන අතර, “එකිනෙකාට” ඔහුගේ හෝ ඇගේ හැසිරීම සඳහා යුක්තිසහගත විපාක දේවි. බැටළු ගුණැති අය ඔවුන් සඳහා පිළියෙළ කර ඇති රාජ්‍යයෙහි සදාකාල ජීවනය උරුම කරගන්න අතර, එළු ගුණැති අය “සදාකාල දඬුවමට” යාවි. අන්වෙසක් වීමේ දර්ශනයට එය මොනතරම් විශිෂ්ට නිමාවක් වේවිද!—මතෙව් 25:34, 41, 46; මාර්ක් 8:38; 2 තෙසලෝනික 1: 6-10.
තේජසට පත් යේසුගේ සහචරයෝ
9. අන්වෙසක් වීමේ දර්ශනයේ ඉටුවීමේදී, යේසු සමඟ මෝසෙස් සහ එලියා ඉඳී කියලා අපි අපේක්ෂා කළ යුතුද? පැහැදිලි කරන්න.
9 යේසු අන්වෙසක් වීමේදී තනිව සිටියේ නැහැ. ඔහු සමඟ මෝසෙස් සහ එලියා ඉන්නවා දැකගන්න පුළුවන් වුණා. (මතෙව් 17:2, 3) ඔවුන් ඇත්තටම එතන සිටියාද? නැහැ; ඇයි කිව්වොත් ඒ පුරුෂයන් දෙදෙනාම මියගොස් සෑහෙන කලක් ගත වී තිබුණු අතර, නැවත නැඟිටීම අපේක්ෂාවෙන් දූවිල්ලෙහි සැතපී සිටිය හින්දයි. (දේශනාකාරයා 9:5, 10; හෙබ්‍රෙව් 11:35) යේසු ස්වර්ගික තේජසින් එන විට, මොවුන් යේසු සමඟ පෙනී සිටීවිද? නැහැ; ඇයි කිව්වොත්, මනුෂ්‍යයන් සඳහා ස්වර්ගික බලාපොරොත්තුව විවෘත වෙන්න කලින් මෝසෙස් සහ එලියා ජීවත් වුණ හින්දයි. ඔවුන් “ධර්මිෂ්ඨයන්ගේ” භූමික “නැවත-නැගිටීම[ට]” සම්බන්ධ වේවි. (ක්‍රියා 24:15) එබැවින් අන්වෙසක් වීමේ දර්ශනයේ ඔවුන් පෙනී සිටීම සංකේතාත්මක දෙයක්. කුමක සංකේතයක්ද?
10, 11. වෙනස් අවට පාඨ සම්බන්ධවලදී එලියා සහ මෝසෙස් පිළිබිඹු කරන්නේ කාවද?
10 වෙනත් අවස්ථා සම්බන්ධයන්වලදී, මෝසෙස් සහ එලියා අනාවැකිමය ස්වරූප ගන්නවා. ව්‍යවස්ථා ගිවිසුමේ මැදිහත්කරු වශයෙන්, මෝසෙස්, නව ගිවිසුමේ මැදිහත්කරු වන යේසුව පූර්වාදර්ශනය කළා. (ද්විතීය කථාව 18:18; ගලාති 3:19; හෙබ්‍රෙව් 8:6) එලියා, මෙසියස් පෙරටුව ගමන් කළ යොහන් බව්තීස්තව පූර්වාදර්ශනය කළා. (මතෙව් 17:11-13) තවදුරටත්, එළිදරව් 11වන පරිච්ඡේදයේ අවට පාඨ සම්බන්ධයට අනුව, මෝසෙස් සහ එලියා අන්තිම කාලයේ සිටින ආලේප ලත් ඉතිරි කොටස පූර්වාදර්ශනය කරනවා. අපි ඒක කොහොමද දන්නේ?
11 හොඳයි, එළිදරව් 11:1-6ට පෙරළන්න. තුන්වන පදයෙහි අපිට මෙහෙම කියවන්න තියෙනවා: “මාගේ සාක්ෂිකාරයන් දෙදෙනාට (බලය) දෙන්නෙමි, ඔව්හු එක්දහස් දෙසිය සැට දවසක් ගෝණිරෙදි හැඳ, අනාගතවාක්‍ය කියන්නෝය.” මෙම අනාගතවාක්‍යය, පළමු ලෝක යුද්ධය තුළදී ආලේප ලත් ක්‍රිස්තියානීන්ගේ ඉතිරි කොටස සම්බන්ධයෙන් ඉටු වුණා.a ඇයි සාක්ෂිකරුවන් දෙදෙනෙක්? ඇයි කිව්වොත්, ආලේප ලත් ඉතිරි කොටස ආත්මික ආකාරයකින් මෝසෙස්ට සහ එලියාට සමාන ක්‍රියා සිදු කරන හින්දයි. පස්වන සහ 6වන පද තවදුරටත් මෙහෙම පවසනවා: “යමෙක් [සාක්ෂිකරුවන් දෙදෙනාට] අනතුරුකරන්ට කැමතිවේ නම්, ඔවුන්ගේ කටින් ගිනි නික්ම ඔවුන්ගේ සතුරන් විනාශකරයි. යමෙක් ඔවුන්ට අනතුරුකරන්ට කැමතිවන්නේ නම් ඔහු මෙලෙස මරනු ලබන්ට ඕනෑය. තමුන්ගේ අනාගතවාක්‍යයේ දවස්වලදී වැසි නොවසින ලෙස අහස්තලය පියන්ට මොවුන්ට බලය තිබේ. වතුර කෙරෙහි කැමති විටක වතුර ලේ කරන්ටත් සියලු පීඩාවලින් පොළොවට පහරදෙන්ටත් ඔවුන්ට බලය තිබේ.” මෙසේ එලියා සහ මෝසෙස් සිදු කළ ප්රාතිහාර්යයන් අපිට සිහිගැන්වෙනවා.—ගණන් කථාව 16:31-34; 1 රාජාවලිය 17:1; 2 රාජාවලිය 1:9-12.
12. අන්වෙසක් වීමේ අවට පාඨ සම්බන්ධය ගත්තහම, මෝසෙස් සහ එලියාගෙන් පිළිබිඹු කරන්නේ කාවද?
12 එහෙමනං, අන්වෙසක් වීමේ අවට පාඨ සම්බන්ධය ගත්තහම, මෝසෙස් සහ එලියා පූර්වාදර්ශනය කරන්නේ කාවද? ලූක් කියන්නේ ඔවුන් යේසු සමඟ “තේජසින් යුක්තව” පෙනී සිටි බවයි. (ලූක් 9:31) ඔවුන්, යේසු සමඟ “හවුල් උරුමක්කාරයෝ” වශයෙන් ශුද්ධාත්මයෙන් ආලේප කරනු ලැබූ ක්‍රිස්තියානීන්ව පූර්වාදර්ශනය කරන බව පැහැදිලියි; මෙමගින් ඔහු සමඟ “මහිමය” ලැබීමේ මහිමාන්විත බලාපොරොත්තුව ඔවුන්ට අත් වෙනවා. (රෝම 8:17) යේසු තම පියාගේ තේජසින් “එකිනෙකාට තම තමාගේ ක්‍රියා ලෙස විපාක” දෙන්න පැමිණෙන කොට, නැවත නැඟිටුවනු ලැබූ ආලේප ලත් අය ඔහු සමඟ සිටීවි.—මතෙව් 16:27.
මෝසෙස් සහ එලියා වැනි සාක්ෂිකරුවන්
13. යේසු සමඟ තේජසට පත් තම ආලේප ලත් හවුල් උරුමක්කාරයන් පිළිබඳ අනාවැකිමය ස්වරූපවලට මෝසෙස් සහ එලියා ගැළපෙන බව සලකුණු කරන්නේ මොන අංග ලක්ෂණද?
13 මෝසෙස් සහ එලියා යේසුගේ ආලේප ලත් හවුල් උරුමක්කාරයන්ගේ අනාවැකිමය රූපවලට ගැළපෙන බව සලකුණු කරන සැලකිය යුතු අංග ලක්ෂණ තියෙනවා. මෝසෙස් සහ එලියා යන දෙදෙනාම යෙහෝවාගේ නියෝජිතයන් වශයෙන් සෑහෙන අවුරුදු ගණනාවක් සේවය කළා. දෙදෙනාම පාලකයෙක්ගේ උදහසට මුහුණ දුන්නා. අවශ්‍යතාවක් තිබුණු අවස්ථාවකදී, දෙදෙනාම විදේශික පවුලකගේ සරණින් ප්‍රයෝජන ලැබුවා. දෙදෙනාම නිර්භීතව රජවරුන්ට අනාවැකි ප්‍රකාශ කළ අතර, බොරු අනාගතවක්තෲන්ට එරෙහිව ස්ථිරව සිටියා. මෝසෙස් සහ එලියා යන දෙදෙනාම සීනයි කන්දේදී (හොරේබ් කියලත් කියනවා) යෙහෝවාගේ බලයේ විදහාපෙන්වීම් දුටුවා. දෙදෙනාම යොර්දානයේ නැඟෙනහිර පැත්තේදී අනුප්රාප්තිකයන්ව පත් කළා. එමෙන්ම යේසුගේ ජීවිත කාලය තුළදී සිදු වූ ඒවා හැර, මෝසෙස්ගේ (යෝෂුවා සමඟ) සහ එලියාගේ (එලිෂා සමඟ) කාලවල ප්රාතිහාර්යයන් වැඩිම ප්‍රමාණයක් දැකගන්න ලැබුණා.b
14. මෝසෙස්ට සහ එලියාට සමානව, ආලේප ලත් අය යෙහෝවාගේ නියෝජිතයා හැටියට සේවය කර ඇත්තේ කොහොමද?
14 ඒ සියල්ල අපට දෙවිගේ ඉශ්‍රායෙල්ව සිහිගන්වන්නේ නැද්ද? නිසැකවම. යේසු තම විශ්වාසවන්ත අනුගාමිකයන්ට මෙහෙම කිව්වා: “එබැවින් නුඹලා ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරන්න, [පියාගෙත් පුත්‍රයාගෙත් ශුද්ධාත්මයෙත්] නාමයට ඔවුන් බව්තීස්මකරන්න. මා විසින් නුඹලාට අණකළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න. මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමඟ සිටිමි.” (මතෙව් 28:19, 20) මේ වචනවලට කීකරු වෙමින්, ආලේප ලත් ක්‍රිස්තියානීන් පො.යු. 33 පෙන්තකොස්තයේ සිට මේ දක්වා යෙහෝවාගේ නියෝජිතයා හැටියට සේවය කර තියෙනවා. මෝසෙස් සහ එලියාට සමානව, ඔවුන් පාලකයන්ගේ උදහසට මුහුණ දී ඇති අතර, ඔවුන්ට සාක්ෂිදරා තියෙනවා. යේසු තම ප්‍රේරිතයන් 12දෙනාට මෙහෙම කිව්වා: “ඔවුන්ටද අන්‍ය ජාතීන්ටද සාක්ෂියක් පිණිස නුඹලා මා නිසා ආණ්ඩුකාරයන්ද රජුන්ද ඉදිරියට ගෙනයනු ලබනවා ඇත.” (මතෙව් 10:18) ඔහුගේ වදන් ක්‍රිස්තියානි සභාවේ ඉතිහාසය තුළදී නැවත නැවත ඉටු වෙලා තියෙනවා.—ක්‍රියා 25:6, 11, 12, 24-27; 26:3.
15, 16. (අ) සත්‍යය වෙනුවෙන් අභීතව සිටීම, (ආ) ඉශ්රායෙල් නොවන අයගෙන් උපකාර ලැබීම යන කාරණා සම්බන්ධයෙන්, එක් අතකින් ආලේප ලත් අය සහ අනික් අතට මෝසෙස් සහ එලියා අතර තියෙන සමාන්තරයන් මොනවාද?
15 තවදුරටත්, ආගමික බොරුවට එරෙහිව සැබෑව සඳහා ස්ථිරව සිටීමෙන් ආලේප ලත් ක්‍රිස්තියානීන් මෝසෙස් සහ එලියා මෙන් අභීතව ඉඳලා තියෙනවා. පාවුල් යුදෙව් බොරු අනාගතවක්තෘ වූ බාර්-යේසුස්ව හෙළා දුටු ආකාරයත්, උපායශීලීව නමුත් ස්ථිරව අතීනසයන්ගේ දෙවිවරුන්ගේ බොරුකාර බව හෙළි කළ ආකාරයත් මතක් කරගන්න. (ක්‍රියා 13:6-12; 17:16, 22-31) එමෙන්ම නවීන කාලවලදීත්, ආලේප ලත් ඉතිරි කොටස ක්‍රිස්තියානි ලෝකය නිර්භීතව හෙළි කරලා තියෙන බවත්, එලෙස සාක්ෂිදැරීම ඇයට වධහිංසාවක් වී ඇති බවත් මතක් කරගන්න.—එළිදරව් 8:7-12.c
16 මෝසෙස් ඵාරාවෝගේ උදහසෙන් පලා ගිය විට, ඔහු ඉශ්‍රායෙලිතයෙක් නොවන රූවෙල්, ඒ කිව්වේ යෙත්‍රෝගේ නිවසෙහි සරණක් ලැබුවා. පසු අවස්ථාවකදී, මෝසෙස් රූවෙල්ගෙන් වටිනා සංවිධානාත්මක උපදෙස් ලබාගත් අතර, ඔහුගේ පුත්‍ර හොබාබ් ඉශ්‍රායෙල්ව පාළුකරය තුළින් මඟ පෙන්වූවා.d (නික්මයාම 2:15-22; 18:5-27; ගණන් කථාව 10:29) දෙවිගේ ඉශ්රායෙල්ට අයත් ආලේප ලත් සාමාජිකයන් නොවන පුද්ගලයන්ගෙන්, දෙවිගේ ඉශ්රායෙල්ට අයත් සාමාජිකයන් ඒ හා සමාන උපකාරයක් ලබලා තියෙනවාද? ඔව්, ඔවුන්ට, මේ අන්තිම දවස්වලදී දර්ශනයට අවතීර්ණ වෙලා ඉන්න ‘වෙනත් බැටළුවන්ගෙන්’ සෑදුණු “මහත් සමූහය” අත හිත දී තියෙනවා. (එළිදරව් 7:9; යොහන් 10:16; යෙසායා 61:5) මෙම “බැටළුවෝ” තම ආලේප ලත් සහෝදරයන්ට ලබා දෙන උණුසුම්, ප්‍රේමනීය ආධාරෝපකාර පුරෝකථනය කරමින්, යේසු ඔවුන්ට අනාවැකිමය ආකාරයකින් මෙහෙම කිව්වා: “මම බඩගිනිව සිටියෙමි, නුඹලා මට කන්ට දුන්නහුය. පිපාසිතව සිටියෙමි, නුඹලා මට බොන්ට දුන්නහුය. ආගන්තුකව සිටියෙමි, නුඹලා මා පිළිගත්තහුය; වස්ත්‍ර නැතුව සිටියෙමි, නුඹලා මට ඇඳුම් දුන්නහුය. රෝගාතුරව සිටියෙමි, නුඹලා මා බලන්ට ආවහුය. හිරගෙයි සිටියෙමි, නුඹලා මා වෙතට ආවහුය . . . සැබවක් නුඹලාට කියමි—මාගේ මේ සහෝදරයන්ගෙන් ඉතා කුඩා කෙනෙකුට නුමුත් නුඹලා ඒක කළහුද ඒක කළේ මටය.”—මතෙව් 25:35-40.
17. එලියා හොරේබ් කන්දෙහි ලැබූ අද්දැකීමට සමාන අද්දැකීමක් ආලේප ලත් අය ලැබුවේ කොහොමද?
17 ඒ විතරක් නෙවෙයි, හොරේබ් කන්දෙහි එලියාට තිබුණු අද්දැකීමට සමාන එකක් දෙවිගේ ඉශ්රායෙල්ට තිබුණා.e එලියා යෙසෙබෙල් රැජින වෙතින් පලායමින් සිටි කාලයේදී මෙන්, භයින් සිටි ආලේප ලත් ඉතිරි කොටසත් හිතුවේ, පළමුවන ලෝක යුද්ධයේ අවසානයේ ඔවුන්ගේ වැඩ හමාර වී තිබුණා කියලයි. ඒ වගේම එලියාට මෙන්, ‘දෙවිගේ ගෘහය’ බවට කියා සිටි සංවිධාන විනිශ්චය කරන්න ඇවිත් හිටිය යෙහෝවාව ඔවුන්ට මුණගැසුණා. (1 පේතෘස් 4:17; මලාකී 3:1-3) ක්‍රිස්තියානි ලෝකය නොසෑහෙන තත්වයක ඉන්න බව පෙනෙන්න තියෙද්දී, ආලේප ලත් ඉතිරි කොටස “විශ්වාසවූ නුවණ ඇති දාසයා” වශයෙන් හඳුනාගෙන, යේසුගේ භූමික වස්තු සියල්ල කෙරෙහි පත් කරනු ලැබුවා. (මතෙව් 24:45-47) හොරේබ්හිදී, එලියාට “සියුම් නිශ්චලතාවේ හඬක්” ඇසුණු අතර, එය ඔහුට තවත් වැඩ පවරමින් සිටි යෙහෝවාගේ හඬ බවට ඔප්පු වුණා. යුද්ධයෙන් පසු අවුරුදුවල නිශ්චල කාලපරිච්ඡේදයේදී, යෙහෝවාගේ විශ්වාසවන්ත ආලේප ලත් සේවකයන්ට බයිබලයේ පිටු තුළින් ඔහුගේ හඬ ඇසුණා. ඔවුන්ට ඉටු කරන්න බලපැවරුමක් තිබුණා කියලා ඔවුන්ටත් තේරී ගියා.—1 රාජාවලිය 19:4, 9-18; එළිදරව් 11:7-13.
18. යෙහෝවාගේ බලයේ කැපීපෙනෙන විදහාපෙන්වීම්, දෙවිගේ ඉශ්රායෙල් මාර්ගයෙන් ඉදිරිපත් කර තියෙන්නේ කොහොමද?
18 අවසාන වශයෙන්, යෙහෝවාගේ බලයේ කැපීපෙනෙන විදහාපෙන්වීම් දෙවිගේ ඉශ්රායෙල් මාර්ගයෙන් ඉදිරිපත් කර තියෙනවාද? යේසුගේ මරණයෙන් පසු, ප්‍රේරිතයන් ප්රාතිහාර්යයන් බොහොමයක් සිදු කළත්, මේවා ක්‍රමක්‍රමයෙන් පහව ගියා. (1 කොරින්ති 13:8-13) දැන් කාලයේ, අපිට භෞතික ආකාරයකින් කිසිම ප්රාතිහාර්යයක් පේන්න නැහැ. අනික් අතට, යේසු තම අනුගාමිකයන්ට මෙහෙම කිව්වා: “සැබවක් සැබවක් නුඹලාට කියමි—මා කෙරෙහි අදහන්නා මා කරන ක්‍රියාත් කරන්නේය; . . . මීට වඩා මහත් ක්‍රියාත් ඔහු කරන්නේය.” (යොහන් 14:12) යේසුගේ ගෝලයන් පළමුවන සියවසේ රෝම අධිරාජ්‍යය පුරා ශුභාරංචිය දේශනා කරද්දී, මෙයට ප්‍රාථමික ඉටුවීමක් තිබුණා. (රෝම 10:18) ශුභාරංචිය “සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ජනාවාස පොළොව මුළුල්ලෙහි” දේශනා කිරීමෙහි පෙරටුවෙන්ම ආලේප ලත් ඉතිරි කොටස සිටිද්දී, අදදින ඊටත් වඩා මහත් ක්‍රියා සිදු කර තියෙනවා. (මතෙව් 24:14, NW) ප්‍රතිඵලය? ඉතිහාසයේ මේ දක්වා යෙහෝවාගේ කැප වූ විශ්වාසවන්ත සේවකයන් වැඩිම සංඛ්‍යාවක් රැස් කරගැනීම, 20වන සියවසේ දැක තිබීමයි. (එළිදරව් 5:9, 10; 7:9, 10) යෙහෝවාගේ බලයේ මොනතරම් මහිමාන්විත සාක්ෂියක්ද!—යෙසායා 60:22.
යේසුගේ සහෝදරයෝ තේජසින් පැමිණේ
19. යේසු සමඟ ඔහුගේ ආලේප ලත් සහෝදරයන් තේජසින් ඉන්න එක දකින්න යන්නේ කවදාද?
19 යේසුගේ ආලේප ලත් සහෝදරයන්ගේ ඉතිරි කොටස තම භූමික ජීවිතය අවසන් කරන විට, ඔවුන් ඔහු සමඟ තේජසට පත් වෙනවා. (රෝම 2:6, 7; 1 කොරින්ති 15:53; 1 තෙසලෝනික 4: 14, 17) මෙසේ ඔවුන් ස්වර්ගික රාජ්‍යයෙහි අමරණීය රජවරුන් සහ පූජකයන් බවට පත් වෙනවා. එවිට, යේසු සමඟ ඔවුන් “කුම්භකාරයාගේ භාජන බිඳ සුණුකරනු ලබන්නාක්මෙන්” ජනයාව “යදණ්ඩකින් ආණ්ඩු” කරාවි. (එළිදරව් 2:27; 20:4-6; ගීතාවලිය 110: 2, 5, 6) යේසුත් එක්ක, ඔවුන් සිංහාසනවල ඉඳගෙන “ඉශ්‍රායෙල්ගේ ගෝත්‍රයන් දොළොස” විනිශ්චය කරාවි. (මතෙව් 19:28) කෙඳිරිගාමින් සිටින මැවිල්ල, “[දෙවිගේ] පුත්‍රයන්ගේ එළිදරව්වීම” හා සම්බන්ධ මෙම සිදුවීම් ආශාවෙන් බලං ඉඳලා තියෙනවා.—රෝම 8:19-21; 2 තෙසලෝනික 1:6-8.
20. (අ) අන්වෙසක් වීම පේතෘස්ගේ ඇදහිල්ල ශක්තිමත් කළේ මොන අපේක්ෂාව සම්බන්ධයෙන්ද? (ආ) අන්වෙසක් වීම අදදින ක්‍රිස්තියානීන්ව ශක්තිමත් කරන්නේ කොහොමද?
20 “මහත් පීඩාව” තුළදී යේසුගේ එළිදරව් වීම ගැන පාවුල් කතා කළේ ඔහු මෙහෙම ලියූ විටයි: ඔහු “ඒ දවසේදී [ඔහු] තමන් ශුද්ධවන්තයන් තුළ මහිමය ලබන්ටත් . . . අදහාගත් සියල්ලන් තුළ මවිතලෙස පෙනෙන්ටත් එ[න්නේය].” (මතෙව් 24:21; 2 තෙසලෝනික 1:9) පේතෘස්, යාකොබ්, යොහන් මෙන්ම ආත්මයෙන් ආලේප ලත් හැම ක්‍රිස්තියානියෙක් සඳහාම එය මොනතරම් විශිෂ්ට අපේක්ෂාවක්ද! අන්වෙසක් වීම පේතෘස්ගේ ඇදහිල්ල ශක්තිමත් කළා. ඒකාන්තයෙන්ම, ඒ ගැන කියවීම අපේ ඇදහිල්ලත් ශක්තිමත් කරන අතර, යේසු ළඟදීම “එකිනෙකාට තම තමාගේ ක්‍රියා ලෙස විපාක දෙන” බවට වූ අපේ නිසැකකම ශක්තිමත් කරනවා. මේ දවස දක්වා බේරී ජීවත් වෙලා ඉන්න විශ්වාසවන්ත ආලේප ලත් ක්‍රිස්තියානීන්, ඔවුන් යේසු සමඟ තේජසට පත් වෙනවා කියන නිසැකකම සහතික වෙන අන්දම දකිනවා. මේ දුෂ්ට දේවල පිළිවෙළේ අවසානයෙන් තමුන්ව ගළවා, තේජාන්විත නව ලොවක් තුළට ඇතුල් කරන බව දැන සිටීමෙන් වෙනත් බැටළුවන් තම ඇදහිල්ල ශක්තිමත් කරගන්නවා. (එළිදරව් 7:14) අවසානය දක්වා ස්ථිරව සිටින්න මොනතරම් දිරිගැන්වීමක්ද! එමෙන්ම ඊළඟ ලිපියෙහි අපි දකින්න යන පරිදි, මෙම දර්ශනයෙන් අපිට තවත් බොහෝ දේ ඉගෙනගන්න පුළුවන්.
[පාදසටහන්වල]
a Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත පොත් වන “ඔබේ නාමය විශුද්ධ කරනු ලැබේවා,” (ඉංග්‍රීසියෙන්) 313-14 පිටු සහ එළිදරව්ව එහි උදාර උච්චාවස්ථාව අත ළඟ ය! 164-5 පිටු බලන්න.
b නික්මයාම 2:15-22; 3:1-6; 5:2; 7:8-13; 8:18; 19:16-19; ද්විතීය කථාව 31:23; 1 රාජාවලිය 17:8-16; 18:21-40; 19:1, 2, 8-18; 2 රාජාවලිය 2:1-14.
d Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත දෙවිගේ නව ලොව තුළට අර්මගෙදොනින් බේරී ජීවත් වෙන්න ඔබට පුළුවන (ඉංග්‍රීසියෙන්) යන පොතේ 281-3 පිටු බලන්න.
e “ඔබේ නාමය විශුද්ධ කරනු ලැබේවා,” 317-20 දක්වා පිටු බලන්න.
ඔබට මතකද?
◻ අන්වෙසක් වීමේදී යේසු සමඟ දර්ශනය වුණේ කාවද?
◻ අන්වෙසක් වීමෙන්, ප්‍රේරිතයන්ගේ ඇදහිල්ල ශක්තිමත් කරනු ලැබුවේ කොහොමද?
◻ අන්වෙසක් වීමේදී මෝසෙස් සහ එලියා “තේජසින් යුක්තව” යේසු සමඟ දර්ශනය වූ විට, ඔවුන් නියෝජනය කළේ කාවද?
◻ එක අතකින් ආලේප ලත් අය සහ අනික් අතට මෝසෙස් සහ එලියා අතර තියෙන සමාන්තරයන් මොනවාද?
[10වන පිටුවේ පින්තූරය]
අන්වෙසක් වීම අතීත මෙන්ම වර්තමාන ක්‍රිස්තියානීන්ගේ ඇදහිල්ල ශක්තිමත් කර තියෙනවා