පරිච්ඡේදය 26
දෙවිගේ පරිශුද්ධ රහසේ සුවිශේෂ ඉටුවීම!
1. (අ) පරිශුද්ධ රහස ඉටු වන ආකාරය ගැන යොහන් අපට පවසන්නේ කුමක්ද? (ආ) දේවදූතයන් මහත් හඬින් කතා කරන්නේ ඇයි?
එළිදරව් 10:1, 6, 7හි ශක්තිමත් දේවදූතයා දිවුරා පැවසූ දේ ඔබට මතකද? ඔහු පැවසුවේ මෙසේයි. “තවදුරටත් ප්‍රමාද වන්නේ නැත. සත්වන දේවදූතයා ශබ්ද නඟන දවස්වලදී මෙසේ සිදු වන්නේය. ඔහු තම හොරණෑව පිඹීමට යන කල, දෙවි තමාගේම දාසයන් වන අනාගතවක්තෘවරුන්ට ප්‍රකාශ කළ ශුභාරංචියට අනුව තම පරිශුද්ධ රහස ඉටු කරනු ලබන්නේමය.” අවසාන හොරණෑව පිඹීමට යෙහෝවා දෙවි නියම කර ඇති කාලය දැන් පැමිණිලා! එසේනම් පරිශුද්ධ රහස ඉටු වෙන්නේ කෙසේද? යොහන් මේ ගැන මහත් ප්‍රීතියකින් මෙසේ ලියනවා. “සත්වන දේවදූතයා තම හොරණෑව පිම්බේය. එවිට ස්වර්ගයෙහි මහත් හඬවල් ඇති වී මෙසේ කීවේය: ‘ලෝකයේ රාජ්‍යය අපේ ස්වාමීන්ටත් ඔහුගේ ක්‍රිස්තුස්ටත් අත් විය. සදාකාලයෙන් සදාකාලයට ඔහු රජකම් කරන්නේය.’” (එළිදරව් 11:15) එම දේවදූතයන් සමූහයට ප්‍රබල වූ මහත් හඬකින් කතා කරන්න හොඳ හේතු තිබෙනවා! එයට හේතුව ඔවුන් ප්‍රකාශ කරන දේ විශ්වයේ සිටින සෑම කෙනෙකුටම අතිවැදගත් දෙයක් වන නිසයි. සියලුදෙනාම ඊට කන් දිය යුතුයි.
2. පරිශුද්ධ රහස සුවිශේෂ ලෙස ඉටු වුණේ කවදාද? ඒත් සමඟම සිදු වුණේ කුමක්ද?
2 පරිශුද්ධ රහස දැන් ඉතාමත් සුවිශේෂ ආකාරයකින් ඉටු වෙනවා! ඒ කවදාද? ස්වාමීන් වන යෙහෝවා දෙවි 1914දී යේසුස් ක්‍රිස්තුස්ව රජු හැටියට පත් කළ විටයි. යේසුස් දැන් තම පියාණන්ගේ නාමයෙන් දුෂ්ටකම් පවතින ලෝකයක් මැද දේවරාජ්‍යයේ පාලනය තම අතට ගන්නවා. ඔහුට ඒ පාලන බලය හිමි වෙන්නේ පොරොන්දු වංශයෙන් බිහි වුණු ප්‍රධානම තැනැත්තා ලෙස සර්පයා සහ ඔහුගේ වංශයට අයත් අය විනාශ කර මේ පොළොව නැවතත් පාරාදීසයක් කරන්නයි. (උත්පත්ති 3:15; ගීතාවලිය 72:1, 7) දේවරාජ්‍යයේ රජු ලෙස යේසුස් යෙහෝවා දෙවිගේ වචනය ඉටු කරන අතර, “සදාකාල රජ වූ” තම පියාණන් විශ්වයේ මහෝත්තමයාණන් ලෙස “සදාකාලයෙන් සදාකාලයට” පාලනය කළ යුතු බව සියල්ලන්ටම තහවුරු කරනවා.—1 තිමෝති 1:17.
3. වෙනත් පාලනවලට ඉඩහැර තිබුණත් යෙහෝවා දෙවි කවදත් රජ වී සිටින බව පැවසිය හැක්කේ ඇයි?
3 නමුත් ‘ලෝකයේ රාජ්‍යය අපේ ස්වාමීන්’ වන යෙහෝවා දෙවිට අත් වුණේ කොහොමද? දෙවි කවදත් රජ වී සිටිනවා. එය තහවුරු කරමින් ආසාෆ් නමැති ලෙවීවරයා ගායනා කළේ දෙවි “මාගේ පුරාතන රජ්ජුරුවෝය” කියායි. තවත් ගීතිකාකරුවෙක් පැවසුවේ මෙසේයි. “යෙහෝවා රජකම් කරන්නේය. . . . ඔබගේ සිංහාසනය ආදියේ පටන් පිහිටා තිබේ. සදාකාලයේ පටන් ඔබ සිටින්නේය.” (ගීතාවලිය 74:12; 93:1, 2) නමුත් යෙහෝවා දෙවි මේ පොළොවේ වෙනත් පාලනවලට ඉඩහැර තිබෙන්නේ හොඳ හේතු ඇතුවයි. ඒ මිනිසාට දෙවිගෙන් ස්වාධීනව සාර්ථක පාලනයක් ගෙන යන්න පුළුවන්ද කියා සාතන් ඒදන් උයනේදී මතු කළ ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් දීම සඳහායි. එම ප්‍රශ්නයට පිළිතුර ඉතා පැහැදිලියි. මිනිසාගේ පාලනය අසාර්ථකයි. දෙවිගේ අනාගතවක්තෘගේ මෙම වදන් පැහැදිලිවම ඔප්පු වී තිබෙනවා. “යෙහෝවා දෙවියනි, මිනිසෙකුට තමන් යා යුතු මාර්ගය තෝරාගන්න අයිතියක් නැති බව මම හොඳින් දන්නවා. තමාගේ පියවර මෙහෙයවන්න මිනිසාට හැකියාවක්ද නැති බව මම දන්නවා.” (යෙරෙමියා 10:23, NW) අපගේ පළමු දෙමාපියන් දෙවිගෙන් ඈත් වූ දා පටන් මුළු මහත් පොළොවම “මුල් සර්පයා” හෙවත් සාතන් යටතට පැමිණ තිබෙනවා. (එළිදරව් 12:9; ලූක් 4:6) වෙනසක් ඇති කිරීමට කාලය දැනුයි! පොළොව පාලනය කිරීමට නියම අයිතිය තිබෙන්නේ තමාටම බව තහවුරු කිරීම සඳහා යෙහෝවා දෙවි දේවරාජ්‍යය මගින් නව ආකාරයක පාලනයක් ආරම්භ කළා.
4. වර්ෂ 1922 සිට ප්රබලව කාවද්දනු ලැබුවේ කුමක්ද? පැහැදිලි කරන්න.
4 හොරණෑ සත 1922 සිට පිඹින්න පටන්ගත් බව ඔබට මතක ඇති. උදාහරණයකට ඒ වර්ෂයේදී එක්සත් ජනපදයේ ඔහයෝ ප්‍රාන්තයේ සීඩා පොයින්ට් නුවරේ බයිබල් ශිෂ්‍යයන් පැවැත්වූ සමුළුවේදී සහෝදර ජේ. එෆ්. රදෆඩ් “ස්වර්ග රාජ්‍යය ළං වී ඇත” යන බයිබල් පදය පදනම් කරගෙන කතාවක් ඉදිරිපත් කළා. (මතෙව් 4:17) ඔහු තම කතාව අවසන් කළේ මෙසේ කියමින්. “මහෝත්තම දෙවිගේ පුත්‍රයෙනි, ආපසු ක්ෂේත්රයට යන්න! ඔබගේ යුද්ධායුධ පැළඳගන්න! සිහිකල්පනාවෙන් සිටින්න! අවදිව සිටින්න! ක්‍රියාශීලී වන්න! නිර්භීත වන්න! ස්වාමීන් උදෙසා ඇදහිලිවන්ත සැබෑ සාක්ෂිකරුවන් වන්න! බැබිලෝනියේ සෑම බොරුවක්ම හෙළි වන තෙක්, සටන් කරන්න! පණිවුඩය අස්සක් මුල්ලක් නෑර පතුරුවන්න. යෙහෝවා දෙවි බවත් යේසුස් ක්‍රිස්තුස් රජවරුන්ගේ රජ සහ ස්වාමිවරුන්ගේ ස්වාමීන් බවත් ලෝකයා දැනගත යුතුය. බලන්න! රජු පාලනය කරයි. ඔබ ඔහුගේ ප්රචාරක නියෝජිතයෝයි! එමනිසා, රජ සහ රජුගේ රාජ්‍යය ගැන ප්‍රචාරය කරන්න, ප්‍රචාරය කරන්න, ප්‍රචාරය කරන්න.” මේ කතාවේදී ප්රබලව කාවද්දනු ලැබුවේ යේසුස්ගේ පාලනය යටතේ තිබෙන දේවරාජ්‍යයයි. ප්‍රතිඵලයක් ලෙස මෙම රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීමට දැවැන්ත මෙහෙවරක් ආරම්භ කරනු ලැබුවා. දේවදූතයන් සත්දෙනා පිම්බ හොරණෑවලින් ප්‍රකාශ වූ විනිශ්චයන්ද මෙයට ඇතුළත් වුණා.
5. සත්වන හොරණෑව පිම්බ බව තහවුරු කරමින් 1928දී බයිබල් ශිෂ්‍යයන්ගේ සමුළුවකදී සිදු වුණේ කුමක්ද?
5 සත්වන දේවදූතයා තම හොරණෑව පිම්බ බව 1928 ජූලි 30 සිට අගෝස්තු 6 දක්වා එක්සත් ජනපදයේ මිචිගන් ප්‍රාන්තයේ ඩිට්රොයිට් නුවරේ පැවති බයිබල් ශිෂ්‍යයන්ගේ සමුළුවෙන් තහවුරු වුණා. මෙම සමුළුව ගුවන් විදුලි මධ්‍යස්ථාන 107ක් යොදාගෙන විකාශය කරනු ලැබූ අතර, ද නිව් යෝක් ටයිම්ස් පුවත්පත මෙය විස්තර කළේ, ‘මෙතෙක් වැඩිම වියදමක් දරා වඩාත් පුළුල්ව විකාශය කරනු ලැබූ වැඩසටහන’ ලෙසයි. මෙම සමුළුවේදී “සාතන්ට එරෙහිව හා යෙහෝවා දෙවිට පක්ෂව ප්‍රකාශයක්” යන ප්‍රබල සම්මුතිය ස්ථිර කරගනු ලැබුවා. සාතන් සහ ඔහුගේ දුෂ්ට ලෝකය දෙවි ගෙන එන විනාශයේදී පහව යන ආකාරයත් ධර්මිෂ්ඨකමට ප්‍රිය කරන සියලුදෙනා නිදහස ලබන ආකාරයත් එම සම්මුතියේ පැහැදිලි කර තිබුණා. දේවරාජ්‍යයට පක්ෂව සිටි සියලුදෙනා පිටු 368කින් යුත් පොතක් නිකුත් කිරීමෙන් මහත් සේ ප්‍රීති වුණා. (පොතේ නම, Government) “දෙවි තමන් අභිෂේක කළ තැනැත්තා රජකමට පත් කර ඇති බව” මෙම පොතෙන් ප්‍රබල සාක්ෂි ඉදිරිපත් කළා.
යෙහෝවා දෙවි පාලනය ලබාගනී
6. දේවරාජ්‍යයේ රජු ලෙස යේසුස්ව පත් කරන විට සිදු වන දේ ගැන යොහන් සඳහන් කරන්නේ කුමක්ද?
6 දේවරාජ්‍යයේ රජු ලෙස යේසුස් ක්‍රිස්තුස්ව පත් කිරීම ඉතාමත් ප්‍රීතිදායක ආරංචියක්! සිදු වුණු දේ යොහන් විස්තර කරන්නේ මෙසේයි. “දෙවි ඉදිරියෙහි තම සිංහාසන මත ඉඳගෙන සිටි වැඩිමහල්ලෝ විසිහතරදෙනා මුණින් වැටී දෙවිට නමස්කාර කරමින් මෙසේ කීවෝය: ‘සර්වපරාක්‍රම තැනැත්තාද, සිටින්නාවූ සහ සිටියාවූ තැනැත්තාද වන යෙහෝවා දෙවියනි, ඔබ ඔබේ මහත් බලය අතට ගෙන රජකම් කරන්න පටන්ගත් නිසා අපි ඔබට ස්තුති කරමු.’”—එළිදරව් 11:16, 17.
7. (අ) පොළොව මත ඉතිරිව සිටින අභිෂේක ලත් අය යෙහෝවා දෙවිට ස්තුති කළේ කෙසේද? (ආ) ඒ වන විටත් ස්වර්ගයට නැවත නැඟිටුවනු ලැබූ අභිෂේක ලත් අය ස්තුති කළේ කෙසේද?
7 දර්ශනයට අනුව යෙහෝවා දෙවිට ස්තුති කරන්නේ වැඩිමහල්ලන් 24දෙනායි. මෙම වැඩිමහල්ලන්ගෙන් නියෝජනය කරන්නේ තම ස්වර්ගික තනතුරේ සිටින යේසුස්ගේ අභිෂේක ලත් සහෝදරයන් බව ඔබට මතක ඇති. මෙම අභිෂේක ලත් අයගෙන් පොළොව මත ඉතිරි වී සිටින කොටස 1922 සිට හොරණෑ පිඹීමත් සමඟ ආරම්භ වූ කාර්යයෙහි උනන්දුවෙන් නිරත වෙන්න පටන්ගත්තා. ඒ ඔවුන් මතෙව් 24:3–25:46 දක්වා සඳහන් ලකුණේ පූර්ණ අර්ථය වටහාගත් නිසයි. ඒ වන විට ‘මරණය දක්වාම විශ්වාසවන්තව සිටි’ ඔවුන්ගේ සහෝදරයන් කිහිපදෙනෙක්ම ස්වාමීන්ගේ දවසේ මුලදී ස්වර්ගයට නැවත නැඟිටුවා තිබුණා. මුළු 1,44,000දෙනාගේ කණ්ඩායමම නියෝජනය කරමින් තම ස්වර්ගික තනතුරේ සිටි මොවුන් යෙහෝවා දෙවි ඉදිරියේ මුණින් වැටී නමස්කාර කළා. (එළිදරව් 1:10; 2:10) විශ්වයේ අධිපති දෙවි ප්‍රමාද නොවී තම පරිශුද්ධ රහස ඉතා සුවිශේෂ ආකාරයකින් ඉටු කිරීම ගැන ඔවුන් සියලුදෙනා ඔහුට කොතරම් ස්තුතිවන්ත වෙනවා ඇද්ද!
8. (අ) සත්වන හොරණෑව පිඹීම ජාතීන්ට බලපෑවේ කෙසේද? (ආ) ජාතීන් උදහස් වී ඇත්තේ කාට විරුද්ධවද?
8 නමුත් සත්වන හොරණෑව පිඹීම ජාතීන්ට නම් කිසිම සතුටක් ගෙන දෙන්නේ නැහැ. යෙහෝවා දෙවිගේ උදහස ඔවුන් මත වැගිරවීමට කාලය ඇවිත්. යොහන් පවසන්නේ මෙසේයි. “නමුත් ජාතීහු උදහස් වූහ. ඔබේ උදහසද පැමිණියේය. එමෙන්ම, මළවුන්ව විනිශ්චය කිරීමටත්, ඔබේ දාසයන් වන අනාගතවක්තෘවරුන්ටද ශුද්ධ තැනැත්තන්ටද ඔබේ නාමය කෙරෙහි භය ඇතිව සිටින ලොකු කුඩා අයටද විපාක දීමටත්, පොළොව විනාශ කරන අයව විනාශ කර දැමීමටත් නියමිත කාලය පැමිණියේය.” (එළිදරව් 11:18) වර්ෂ 1914 පටන් මේ ලෝකයේ ජාතීන් එකිනෙකාට විරුද්ධවත්, දෙවිගේ රාජ්‍යයට විරුද්ධවත්, විශේෂයෙන්ම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දෙදෙනාට විරුද්ධවත් තම උදහස ඉතා දරුණු අන්දමින් පළ කර තිබෙනවා.—එළිදරව් 11:3.
9. ජාතීන් පොළොව විනාශ කරමින් සිටින්නේ කෙසේද? ඒ ගැන දෙවි තීරණය කර තිබෙන්නේ කුමක් කිරීමටද?
9 මිනිස් ඉතිහාසය පුරාම ලෝකයේ ජාතීන් යුද්ධ මාර්ගයෙන් සහ පොළොවේ සම්පත් සූරා කෑමෙන් පොළොව විනාශ කරමින් සිටියා. නමුත් 1914 පටන් මේ විනාශය තව තවත් දරුණු අතට හැරී තිබෙනවා. මිනිසුන්ගේ තණ්හාව හා දූෂණය නිසා පොළොවේ බොහෝ පෙදෙස් කාන්තාර බවට පත් වෙලා. සරු බිම් නිසරු වෙලා. අම්ල වැසි ඇද හැළීම සහ විකිරණශීලී ද්‍රව්‍ය මුදාහැරීම නිසා බොහෝ ප්‍රදේශවලට හානි සිදු වෙලා. ආහාර සඳහා නිපදවන බෝගත් විෂ වෙලා. අප හුස්ම ගන්නා වාතයත් බීමට ගන්නා ජලයත් අපවිත්‍ර වෙලා. කර්මාන්ත ශාලාවලින් පිට වන අපද්‍රව්‍යවලින් ගොඩබිමේ හා මුහුදේ ජීවීන් සියල්ලන්ටම තර්ජනයක් එල්ල වී තිබෙනවා. කලක් පැවති ශීත යුද්ධය නිසා න්‍යෂ්ටික සමූල ඝාතනයකින් මුළු පොළොවම විනාශ වීමේ තර්ජනයකුත් තිබුණා. නමුත් ඉදිරියේදී යෙහෝවා දෙවි ‘පොළොව විනාශ කරන අයව විනාශ කර දැමීම’ ගැන අපට සතුටු විය හැකියි. පොළොව මෙවැනි දූෂිත තත්වයකට පත් කර ඇති අහංකාර, දෙවිට කිසිම ගෞරවයක් නොදක්වන මිනිසුන් මතට දෙවි තම විනිශ්චය අනිවාර්යයෙන්ම ගෙන එනවා. (ද්විතීය කතාව 32:5, 6; ගීතාවලිය 14:1-3) යෙහෝවා දෙවි තුන්වන දුක ගෙනෙන්නේ මෙම වරදකරුවන්ට යුක්තිසහගත ලෙස දඬුවම් කරන්නයි.—එළිදරව් 11:14.
පොළොව විනාශ කරන අයට දුක් වේ!
10. (අ) තුන්වන දුක කුමක්ද? (ආ) තුන්වන දුක වධ වේදනාවකට වඩා වැඩි යමක් බව කිව හැක්කේ ඇයි?
10 තුන්වෙනි දුක ඉතා ඉක්මනින් පැමිණෙනවා! එය යොදාගෙන දෙවි තම “පාපුටුව” වන මෙම අලංකාරවත් පොළොව දූෂණය කරන සියලුදෙනාම විනාශ කරනු ලබනවා. (යෙසායා 66:1) එය ක්‍රියාත්මක වෙන්නේ දෙවිගේ පරිශුද්ධ රහස වන දේවරාජ්‍යය මාර්ගයෙනුයි. මීට කලින් පළමුවන සහ දෙවන දුක් තුළින් එනම් පිළිවෙළින් පළඟැටියන් හා අසරුවන්ගේ හමුදාව තුළින් දෙවිගේ සතුරන්ට සහ විශේෂයෙන්ම ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලිවල නායකයන්ට නොයෙකුත් වධ වේදනා විඳින්න සිදු වී තිබෙනවා. නමුත් යෙහෝවා දෙවිගේ රාජ්‍යය තුළින් ක්‍රියාත්මක වන තුන්වන දුක වධ වේදනාවකට වඩා වැඩි දෙයක් සිදු කරනවා. (එළිදරව් 9:3-19) එයින් මෙම පොළොව විනාශ කරන දුෂ්ට සමාජය හා එහි පාලකයන්ට මාරක පහරක් එල්ල වෙනවා. ඒ පහර එල්ල වෙන්නේ දෙවිගේ මහත් දවසේ යුද්ධයේදී සිදු කරන විනාශයේදීයි. එවිට දානියෙල් පැවසූ මෙම වචන ඉටු වෙනවා. “ඒ රජුන්ගේ [පොළොව විනාශ කරන පාලකයන්ගේ] දවස්වලදී ස්වර්ගයේ දෙවි කිසි කලකත් විනාශ නොවන රාජ්‍යයක් පිහිටුවන්නේය. ඒ රාජ්‍යයේ තමන් රජකම අන් සෙනඟකට අත්නෑර මේ සියලු රාජ්‍යයන් කැබලි කොට නාස්ති කර සදාකාලේටම පවත්නේය.” මේ පොළොව පුරාම දේවරාජ්‍යයේ පාලනය විශාල කන්දක් හා සමානව බලපවත්වනවා. එමගින් යෙහෝවා දෙවිගේ පාලනය ස්ථිර කරනු ලබනවා පමණක් නොව මුළු මිනිස් වර්ගයාටම සදාකාලික ආශීර්වාදද ලබා දෙනවා.—දානියෙල් 2:35, 44; යෙසායා 11:9; 60:13.
11. (අ) මෙම අනාවැකියේ විස්තර කරන ප්‍රීතිමත් සිදුවීම් මාලාව කුමක්ද? (ආ) දෙවිගේ මහත් කරුණාවේ ප්‍රතිඵලයක් හැටියට සිදු වෙන්නේ කුමක්ද?
11 තුන්වන දුකත් සමඟම ප්‍රීතිමත් සිදුවීම් මාලාවක් දකින්න ලැබෙනවා. මේවා ස්වාමීන්ගේ දවස පුරාම එකිනෙක සිදු වෙනවා. ‘මළවුන්ව විනිශ්චය කිරීමටත්, දෙවිගේ දාසයන් වන අනාගතවක්තවරුන්ටද ශුද්ධ තැනැත්තන්ටද ඔහුගේ නාමය කෙරෙහි ගරුබිය ඇතිව සිටින අයටද විපාක දීමටත්’ කාලය එළඹ තිබෙනවා. මෙයින් අදහස් කරන්නේ මළවුන්ව නැවත නැඟිටුවීමයි! ඒ වන විටත් මිය ගොස් සිටි අභිෂේක ශුද්ධ තැනැත්තන්ගේ ස්වර්ගික නැවත නැඟිටීම සිදු වුණේ ස්වාමීන්ගේ දවසේ මුල් කාලයේදීයි. (1 තෙසලෝනික 4:15-17) ඉතිරි වී සිටින අභිෂේක ලත් අය මිය යන විට ඔවුන්ට ක්ෂණික නැවත නැඟිටීමක් හිමි වෙනවා. තවත් අයටත් දෙවි ආශීර්වාද කරනවා. මෙයට පුරාණයේ විසූ දෙවිගේ දාසයන් වන අනාගතවක්තෘවරුන්ද, යෙහෝවා දෙවිගේ නාමයට ගරුබිය දැක්වූ මහත් පීඩාවෙන් ජීවිත බේරෙන මහත් සමූහයද, යේසුස්ගේ දහස් අවුරුදු පාලනය තුළ නැවත නැඟිටුවන ‘මිය ගිය ලොකු කුඩා සියල්ලන්ද’ ඇතුළත් වෙනවා. යේසුස්ට මරණයෙත් මිනී වළෙහිත් යතුරු දී තිබෙන නිසා සදාකාල ජීවනය නමැති අනගි වරප්‍රසාදය ලබාගැනීමට පියවර ගන්නා සියලුදෙනාටම එය දානය කරන්න ඔහුට හැකි වෙනවා. (එළිදරව් 1:18; 7:9, 14; 20:12, 13; රෝම 6:22; යොහන් 5:28, 29) මේ අනුව යෙහෝවා දෙවිගේ මහත් කරුණාවේ ප්‍රතිඵලයක් හැටියට සමහරුන්ට ලැබෙන්නේ ස්වර්ගයේ අමරණීය ජීවතයක්. තවත් අයට පාරාදීස පොළොවක සදාකාල ජීවනය ලැබෙනවා. යෙහෝවා දෙවිගෙන් මෙම දීමනාව ලබන සියලුදෙනාම සදාකාලයටම ඔහුට ස්තුතිවන්ත වෙනවා නිසැකයි.—හෙබ්‍රෙව් 2:9.
දෙවිගේ ගිවිසුමේ පෙට්ටිය!
12. (අ) එළිදරව් 11:19ට අනුව යොහන් ස්වර්ගයේ දකින්නේ කුමක්ද? (ආ) අතීතයේ ගිවිසුම් පෙට්ටිය කුමක සංකේතයක් වුණාද? ඊශ්‍රායෙල්වරුන්ව බැබිලෝනියට වහලුන් ලෙස ගෙන ගිය විට එයට සිදු වුණේ කුමක්ද?
12 යෙහෝවා දෙවිගේ පාලනය දැන් තහවුරු වී තිබෙනවා. දේවරාජ්‍යය තුළින් මිනිස් වර්ගයාට බොහෝ ආශීර්වාද ගෙන දෙනවා. මෙය සනාථ වෙන්නේ යොහන් ඊළඟට දකින දෙයින්. “එවිට, ස්වර්ගයෙහි තිබෙන දෙවිගේ මාලිගාව අරිනු ලැබූ අතර, ඔහුගේ ගිවිසුමේ පෙට්ටිය ඔහුගේ මාලිගාවේ තිබෙනවා පෙනුණේය. එවිට විදුලි කෙටීම්ද කටහඬවල්ද ගිගුරුම්ද භූමිකම්පාවක්ද මහ හිම කැට වර්ෂාවක්ද ඇති විය.” (එළිදරව් 11:19) එළිදරව් පොතේ දෙවිගේ ගිවිසුම් පෙට්ටිය ගැන සඳහන් වන එකම අවස්ථාව මෙයයි. ඊශ්‍රායෙල් ජාතිය දෙවිගේ සෙනඟ වශයෙන් කටයුතු කළ කාලයේදී දේවමාලිගාවේ තිබුණු ගිවිසුම් පෙට්ටියෙන් සංකේතවත් වුණේ යෙහෝවා දෙවි ඔවුන් සමඟ සිටින බවයි. මුලදී මණ්ඩපයේත්, පසුව සලමොන් ඉදි කළ දේවමාලිගාවෙත් මෙය තබා තිබුණේ අතිශුද්ධ ස්ථානයේයි. නමුත් ඊශ්‍රායෙල් ජනයා ක්‍රි.පූ. 607දී බැබිලෝනියට වහලුන් ලෙස ගෙන ගිය විට, යෙරුසලම විනාශ වූ අතර ගිවිසුම් පෙට්ටිය අතුරුදහන් වුණා. ඒ ‘යෙහෝවා දෙවිගේ සිංහාසනයේ ඉඳගත්’ දාවිත්ගේ පෙළපතේ අවසන් රජුගේ පාලනයේ අවසානයත් සමඟයි.—1 ලේකම් 29:23.a
13. දෙවිගේ ගිවිසුම් පෙට්ටිය ස්වර්ගයේ දෙවිගේ මාලිගාවේ තිබෙනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?
13 දැන් ඊට වසර 2,600කට පසුව යොහන් එම ගිවිසුම් පෙට්ටිය දකිනවා. නමුත් ඒ පොළොවේ තිබෙන දේවමාලිගාවක නම් නෙවෙයි. එය තිබෙන්නේ ස්වර්ගයේ පිහිටි දෙවිගේ මාලිගාවෙයි. එයින් සංකේතවත් කරන්නේ යෙහෝවා දෙවිගේ නාමයෙන් දාවිත්ගේ පෙළපතේ රජ කෙනෙක් නැවතත් පාලනය කරන බවයි. ඒ රජ යේසුස් ක්‍රිස්තුස්. දේවරාජ්‍යයේ රජු ලෙස ඔහු රජ කරන්නේ ස්වර්ගීය යෙරුසලමේ සිටයි. එතැන් සිට ඔහු දෙවිගේ විනිශ්චයන් ක්‍රියාත්මක කරමින් සිටිනවා. (හෙබ්‍රෙව් 12:22) එළිදරව් පොතේ ඊළඟ පරිච්ඡේදවලින් අපට ඒ පිළිබඳව විස්තර දැනගන්න පුළුවන්.
14, 15. (අ) ඉපැරණි යෙරුසලමේ ගිවිසුම් පෙට්ටිය දැකගත හැකි වුණේ කාට පමණක්ද? ඒ ඇයි? (ආ) ස්වර්ගයේ පිහිටි දෙවිගේ මාලිගාවේ ගිවිසුම් පෙට්ටිය දකින්නේ කවුරුන්ද?
14 පුරාණ යෙරුසලමේ ගිවිසුම් පෙට්ටිය දකින්න සාමාන්‍ය ඊශ්‍රායෙල් ජනයාට අවස්ථාවක් ලැබුණේ නැහැ. දේවමාලිගාවේ සේවය කළ පූජකයන්ටවත් ඒ අවස්ථාව ලැබුණේ නැහැ. එයට හේතුව අතිශුද්ධ ස්ථානය හා ශුද්ධස්ථානය අතර තිරයක් දමා තිබුණු නිසයි. (ගණන් කතාව 4:20; හෙබ්‍රෙව් 9:2, 3) එය දුටුවේ උත්තම පූජකයා පමණයි. ඒ වාර්ෂිකව පැවති සමඟි වීමේ දවසේදී ඔහු අතිශුද්ධ ස්ථානයට ඇතුල් වූ විටයි. නමුත් ස්වර්ගයේ දෙවිගේ මාලිගාව අරිනු ලබන විට මෙම සංකේතවත් ගිවිසුම් පෙට්ටිය යෙහෝවා දෙවිගේ උත්තම පූජක යේසුස් විසින් පමණක් නොව ඔහුගේ උපපූජකයන් වන 1,44,000දෙනා විසින්ද දකිනු ලබනවා. එයට යොහන්ද ඇතුළත්.
15 ස්වර්ගයේ ජීවිතය සඳහා දැනටමත් නැවත නැඟිටුවා සිටින අභිෂේක ලත් අය දෙවිගේ සිංහාසනය වටා සිටින වැඩිමහල්ලන් 24දෙනාට අයත් වන නිසා එම ගිවිසුම් පෙට්ටිය මුලින්ම දැකබලා ගන්න ඔවුන්ට අවස්ථාව ලැබෙනවා. පොළොව මත සිටින යොහන් පන්තියටත් යෙහෝවා දෙවි තම සංකේතවත් දේවමාලිගාවේ සිටින බව තේරුම්ගන්න හැකි වී තිබෙනවා. ඒ දෙවිගේ බලයෙන් ඒ පිළිබඳව අවබෝධයක් ඔවුන්ට ලැබී තිබෙන නිසයි. මේ සියලු දේවල් අවබෝධ කරගන්න මිනිස් වර්ගයාටත් හැකියාවක් තිබෙනවා. ඒ යොහන් දකින විදුලි කෙටීම්, කටහඬවල්, ගිගුරුම්, භූමිකම්පා හා මහ හිම කැට වර්ෂා ආදි ලකුණුවලිනුයි. (එළිදරව් 8:5 බලන්න.) මේවායින් අදහස් කරන්නේ මොනවාද?
16. විදුලි කෙටීම්, කටහඬවල්, ගිගුරුම්, භූමිකම්පා හා මහ හිම කැට වර්ෂා ඇති වී තිබෙන්නේ කෙසේද?
16 වර්ෂ 1914 පටන් ආගම්වල විශාල කැලඹීමක් ඇති වී තිබෙනවා. මෙය ‘භූමිකම්පාවකට’ සමානයි. ඒත් සමඟම දෙවිට කැප වූ සේවකයන් තම ‘කටහඬවල්වලින්’දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ගැන ඉතා පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා. මීට අමතරව බයිබලයෙන් ‘ගිගුරුම්’ හා සමාන දෙවිගේ අනතුරු ඇඟවීම් ප්‍රකාශ කර තිබෙනවා. ‘විදුලි කෙටීම්’ හා සමානව දෙවි පළ කළ අනාවැකිවල ඉටුවීම්ද අවබෝධ වී තිබෙනවා. ක්‍රිස්තියානියයි කියාගන්නා ආගම් සහ පොදුවේ සියලුම ව්‍යාජ ආගම්වලට විරුද්ධව දෙවිගේ විනිශ්චයන් ප්‍රබල හිම කැට වර්ෂාවක් මෙන් පහර දී තිබෙනවා. මෙවැනි ලකුණු නිසා දේවරාජ්‍යයේ පාලනය ආරම්භ වී ඇති බව දැනගන්න මිනිස් වර්ගයාට ඇති තරම් සාක්ෂි තිබෙනවා. නමුත් යේසුස්ගේ කාලයේ යෙරුසලමේ සිටි අය මෙන් බහුතරය එළිදරව් පොතේ ලකුණුවල ඉටුවීම තේරුම්ගන්න අපොහොසත් වෙනවා.—ලූක් 19:41-44.
17, 18. (අ) දේවදූතයන් සත්දෙනාගේ හොරණෑ ශබ්දය නිසා කැප වූ ක්‍රිස්තියානීන්ට පැවරී තිබෙන වගකීම කුමක්ද? (ආ) ඔවුන් තම වගකීම ඉටු කරමින් සිටින්නේ කෙසේද?
17 දේවදූතයන් සත්දෙනා පොළොවේ සිදු වන මේ වැදගත් දේවල් ගැන දැනුම් දෙමින් තම හොරණෑ දිගටම පිඹිනවා. මේ දේවල් ගැන ලෝකයට ප්‍රකාශ කරන්න කැප වූ ක්‍රිස්තියානීන්ට ඇත්තේ භාරදූර වගකීමක්. ඔවුන් මෙම වගකීම ඉටු කරන්නේ කොතරම් ප්‍රීතියෙන්ද! මෙය පැහැදිලි වෙන්නේ 1986 ඔවුන් එම කාර්යය සඳහා වැය කළ පැය ප්‍රමාණය මෙන් දෙගුණයක් පමණ 20 වසරකට පසුව 2005දී වැය කර ඇති බව දකින්න ලැබෙන නිසයි. (1986දී පැය 68,08,37,042 සිට 2005දී පැය 1,27,82,35,504 දක්වා) ඇත්තෙන්ම ‘ශුභාරංචියට අනුව දෙවිගේ පරිශුද්ධ රහස’ දැන් “ලෝකයේ කෙළවරවල් දක්වා” පැතිර යමින් තිබෙනවා.—එළිදරව් 10:7; රෝම 10:18.
18 දෙවිගේ රාජ්‍යයට සම්බන්ධ ඔහුගේ අරමුණු පිළිබඳ තවත් තොරතුරු අපට ඊළඟට දකින්න ලැබෙන දර්ශන තුළින් හෙළි වෙනවා.
[පාදසටහන]
a ක්‍රිස්තු වර්ෂ 63දී රෝමවරුන් යෙරුසලම අල්ලාගත් විට සෙන්පති නෙයස් පොම්පෙයස් දේවමාලිගාවේ ශුද්ධස්ථානයට ඇතුල් වූ විට එය හිස්ව තිබූ බව රෝම ඉතිහාසඥ ටැසිටස් වාර්තා කරනවා. ඒ තුළ ගිවිසුම් පෙට්ටියක් තිබුණේ නැහැ.—Tacitus History, 5.9.
[173වන පිටුවේ කොටුව]
යෙහෝවා දෙවිගේ විනිශ්චයන් ප්‍රකාශ වූ විශේෂ අවස්ථා
1. 1922 ඔහයෝ ප්‍රාන්තයේ සීඩා පොයින්ට් නුවර: මිනිසාට සතුටින් පිරි ජීවිතයක් ලබා දෙමින් පොළොව පුරා සාමය උදා කර දීමට බැරිවීමට සාක්ෂි ඉදිරිපත් කරන්න කියා ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලිවල නායකයන්ට, දේශපාලකයන්ට, ව්‍යාපාරිකයන්ට කරන ලද අභියෝගයක්. සෑම දෙයකටම විසඳුම දේවරාජ්‍යය බව ප්‍රකාශ කරනු ලැබුවා.
2. 1923 කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලිස් නුවර: “සියලු ජාතීන් දෙවිගේ මහත් දවසේ යුද්ධයට පියනඟන නමුත් දැන් ජීවත් වන මිලියන ගණන් දෙනා කිසිදා මිය නොයනු ඇත” යන ප්‍රසිද්ධ කථාවෙන් සාමයට ප්‍රිය කරන සියලු “බැටළුවන්ට” ආරාධනා කළේ කැලඹුණු මුහුදකට සමාන නොසන්සුන්කාරී මිනිස් සමාජයෙන් ඉවත්ව එන්න කියායි.
3. 1924 ඔහයෝ ප්‍රාන්තයේ කොලම්බස් නුවර: දේවරාජ්‍යය ගැන දේශනා කරන්න අකමැති වූ නිසාත්, අහංකාරව තමාව උසස් කරන්නට තැත් කළ නිසාත් සියලු පූජකයන්ව හෙළා දකිනු ලැබුවා. සැබෑ ක්‍රිස්තියානීන් දෙවිගේ විනිශ්චයන් ගැන ප්‍රකාශ කළ යුතු අතර සුසුම්ලමින් සිටින ජනතාවට සැනසීමක් ගෙන දිය යුතු බවත් ස්ථිර කරගත්තා.
4. 1925 ඉන්ඩියානා ප්‍රාන්තයේ ඉන්ඩියානා නුවර: ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලිවල දැඩි අන්ධකාරයක් තිබුණත් මිනිසාට තිබෙන එකම විසඳුම දේවරාජ්‍යය බවත්, එමගින් සාමය, සෞභාග්‍යය, සදාකාල සතුටින් පිරි නිරෝගී ජීවිතයක් උදා වන බවත් ප්‍රකාශ වුණා.
5. 1926 එංගලන්තයේ ලන්ඩන් නුවර: ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලි සහ එහි පූජකයන් පළඟැටි වසංගතයකට හසු වෙනවා. එතුළින් ඔවුන් දේවරාජ්‍යය ප්‍රතික්ෂේප කර ඇති බව හෙළි වන අතර, ඒ රාජ්‍යය දැන් ස්වර්ගයේ පාලනය කරන බවත් පැහැදිලි කරනු ලැබුවා.
6. 1927 කැනඩාවේ ටොරොන්ටෝ නුවර: මහත් අශ්වාරෝහක හමුදාවක් මගින් සියලු ජනයාට උනන්දු කළේ ‘ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලි සමූහය අත්හැර’ මුළු හදවතින්ම යෙහෝවා දෙවිට, ඔහුගේ රජු වන යේසුස්ට හා දේවරාජ්‍යයට පක්ෂ වෙන්න කියායි.
7. 1928 මිචිගන් ප්‍රාන්තයේ ඩිට්රොයිට් නුවර: සාතන්ට විරුද්ධව හා යෙහෝවා දෙවිට පක්ෂව කළ ප්‍රකාශයක්. එයින් ප්‍රකාශ වුණේ 1914දී රජකමට පත් වූ දෙවිගේ අභිෂේක ලත් රජු වන යේසුස් සාතන්ගේ මෙම දුෂ්ට ලෝකය විනාශ කර මිනිස් වර්ගයාට නිදහස ලබා දෙන බවයි.
[175වන පිටුවේ කොටුව]
පොළොව විනාශ වන ආකාරය
“සෑම තත්පර තුනකට වරක් වැසි වනාන්තරවලින් පාපන්දු පිටියක තරම් ප්‍රදේශයක් එළි කරනු ලබනවා . . . නොඉඳුල් වනාන්තර විනාශ වීම නිසා පැළෑටි සහ සත්ව වර්ග දහස් ගණනක් වඳ වී යයි.”—Illustrated Atlas of the World (Rand McNally).
“අවුරුදු 200ක් පුරා අමෙරිකාවේ විල් ආශ්‍රිතව මිනිසුන් පදිංචි වීමේ ප්‍රතිඵලයක් ලෙස එම විල් කැළි කසළවලින් පිරී තිබෙනවා.”—The Globe and Mail (Canada).
වර්ෂ 1986 අප්‍රියෙල් මාසයේදී රුසියාවේ, චර්නොබිල් නුවරේ පිහිටි න්‍යෂ්ටික බලාගාරයක ඇති වූ පිපිරීම හා ගින්න “හිරෝෂිමා සහ නාගසාකි නුවරවල් මත හෙළන ලද බෝම්බවලට පසුව . . . ඇති වූ භයානකම න්‍යෂ්ටික පිපිරීමයි.” එමගින් “මෙතෙක් කර ඇති න්‍යෂ්ටික පරීක්ෂණ සහ පුපුරවා ඇති න්‍යෂ්ටික බෝම්බවලින් පිට වූ විකිරණශීලී ද්‍රව්‍යවලට සමාන ප්‍රමාණයක් මුදාහරිනු ලැබුවා. එයින් ලෝකයේ වායුගෝලයට, පසට හා ජලයට සිදු වී ඇති හානිය කියා නිම කළ නොහැකි තරම්.”—JAMA, The New York Times.
ජපානයේ මිනමාටා නම් ගම්මානයේ පිහිටි රසායනික බලාගාරයකින් මීතයිල්මර්කරි නම් රසායනික ද්‍රව්‍යය කලපුවට මුදාහරිනු ලැබුවා. එයින් අපවිත්‍ර වූ මාළු හා බෙල්ලන් ආහාරයට ගැනීම නිසා මිනමාටා රෝගය (MD) ඇති වුණා. මෙය “ස්නායුවලට බරපතළ ලෙස බලපෑ රෝගයක්. . . . දැනට ජපානය පුරා 2,578දෙනෙකුට එම රෝගය වැලඳී තිබෙනවා.”—International Journal of Epidemiology.
[176වන පිටුවේ කොටුව]
එළිදරව් 11:15-19හි සඳහන් බැරෑරුම් ප්‍රකාශයන් අපට මීළඟට දකින්න ලැබෙන දර්ශනවල සිදු වන දේවලට වේදිකාව සකසනවා කියා පැවසිය හැකියි. උදාහරණයකට එළිදරව් 11:15, 17හි සඳහන් විස්තරය එළිදරව් 12වන පරිච්ඡේදය තුළින් තවත් විස්තර ඇතුව ඉදිරිපත් කරනු ලබනවා. මේ ලෝකය විනාශය කරා ගෙන යන සාතන්ගේ දුෂ්ට දේශපාලන ක්‍රමය ආරම්භ වූ ආකාරයත් ව්‍යාප්ත වූ ආකාරයත් 13වන පරිච්ඡේදයේ විස්තර කර ඇති නිසා එය එළිදරව් 11:18හි සඳහන් දෙයෙහි තවත් විස්තර කිරීමක් බව කිව හැකියි. ඒ වගේම 14වන සහ 15වන පරිච්ඡේදවල සත්වන හොරණෑව පිඹීමට හා තුන්වන දුක ප්‍රකාශ වීමට සම්බන්ධ දෙවිගේ විනිශ්චයන් ගැන තවත් විස්තර සපයනවා.
[174වන පිටුවේ පින්තූර]
යෙහෝවා දෙවි ‘පොළොව විනාශ කරන අයව විනාශ කරනවා’