පරිච්ඡේදය 27
දෙවිගේ රාජ්‍යය බිහි වෙයි!
දර්ශනය 7—එළිදරව් 12:1-17
සිදු වන දේ: ස්වර්ගික ස්ත්‍රිය දරුවෙකු බිහි කරයි. මිකායෙල් සාතන් සමඟ සටන් කොට ඔහුව පොළොවට හෙළයි
ඉටු වන කාලය: යේසුස් ක්‍රිස්තුස් 1914දී රජ වූ දා සිට මහත් පීඩාව දක්වා
1. එළිදරව් 12වන සහ 14වන පරිච්ඡේදවල විස්තර කර ඇති ලකුණු තේරුම්ගැනීම අපට ප්‍රයෝජනවත් වෙන්නේ කෙසේද?
දෙවිගේ පරිශුද්ධ රහස හෙළි වී හමාරයි. (එළිදරව් 10:7) යේසුස් රජ ලෙස ක්‍රියා කරන දේවරාජ්‍යයේ පාලනය දැන් ආරම්භ වී තිබෙනවා. සාතන් සහ ඔහුගේ වංශයෙන් බිහි වී ඇති සියලුදෙනාට අත් වෙන්නේ මහත් විනාශයක්. එනමුත් දෙවිගේ ස්වර්ගික සංවිධානයෙන් බිහි වන අයට ලැබෙන්නේ සුවිශේෂ ජයක්. නමුත් සත්වන දේවදූතයා තම හොරණෑව පිඹ අවසන් කර නැහැ. මන්ද තුන්වන දුක ගැන තවත් බොහෝ දේ හෙළි කරන්න තිබෙන නිසයි. (එළිදරව් 11:14) එළිදරව් 12වන සහ 14වන පරිච්ඡේදවල විස්තර කර ඇති ලකුණු තේරුම්ගන්නා විට තුන්වන දුකට ඇතුළත් වන සියලුම දේවල් හා දෙවිගේ පරිශුද්ධ රහස ඉටු වන ආකාරය වඩාත් හොඳින් තේරුම්ගැනීමට අපට හැකි වෙනවා.
2. (අ) යොහන් දැන් දකින්නේ කුමක්ද? (ආ) මහත් ලකුණේ අර්ථය හෙළි වුණේ කවදාද?
2 දැන් යොහන් දකින්නේ දෙවිගේ ජනයාට ඉතා විශේෂ වූ මහත් ලකුණක්. ඒ ලකුණ ඉතා ප්‍රීතිමත් දර්ශනයකට පසුබිම සකසනවා. මෙහි තේරුම මුලින්ම පැහැදිලි කළේ 1925 මාර්තු 1 මුරටැඹ කලාපයේ “ජාතියක උපත” යන ලිපිය මාර්ගයෙනුයි. ඊටපසුව 1926දී ඒ ගැන පොතක් නිකුත් වුණා. (පොතේ නම, Deliverance හෙවත් “ගැලවීම”) එයින් හෙළි වූ තොරතුරු දීප්තිමත් ආලෝක ධාරාවක් හා සමාන වුණා. මන්ද යෙහෝවා දෙවිගේ සේවකයන්ගේ ඉදිරි ගමනට එය බොහෝ සෙයින් බලපෑ නිසයි. යොහන් සිදු වන දේ විස්තර කරන්නේ මෙසේයි. “තවද, ස්වර්ගයෙහි මහත් ලකුණක් දකින ලදි. සූර්යයා පැළඳ සිටි ස්ත්‍රියක් සිටියාය. ඇගේ පාද යට සඳද, ඇගේ හිස මත තාරකා දොළොසකින් යුත් ඔටුන්නක්ද තිබුණේය. ඈ ගර්භිණීව සිටියාය. ඈ ප්‍රසව වේදනාවෙන්, මහත් වේදනාවකින් මොරගසන්නීය.”—එළිදරව් 12:1, 2.
3. යොහන් ස්වර්ගයේ දකින ස්ත්‍රිය කවුද?
3 යොහන් ස්වර්ගයේ ස්ත්‍රියක් සිටිනවා දකින්නේ මුල්ම වතාවටයි. නමුත් ඒ සැබෑ ස්ත්‍රියක් නෙවෙයි. ඇය ලකුණක් නැත්නම් සංකේතයක්. (එළිදරව් 1:1) ඇය කුමක සංකේතයක්ද? බයිබල් අනාවැකිවල ස්ත්‍රීන්ව යොදාගෙන තිබෙන්නේ යම් වැදගත්කමක් උසුලන කෙනෙකුට ‘විවාහ වූ’ එනම් පක්ෂව සිටින යම් සංවිධාන නියෝජනය කිරීමටයි. උදාහරණයකට හෙබ්‍රෙව් ලියවිල්ලේ ඊශ්‍රායෙල් ජාතියව යෙහෝවා දෙවිගේ භාර්යාව ලෙස හඳුන්වා තිබෙනවා. (යෙරෙමියා 3:14) ග්‍රීක ලියවිලිවල අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගේ සභාව යේසුස්ගේ මනාලිය ලෙසත් හඳුන්වා තිබෙනවා. (එළිදරව් 21:9-14) යොහන් දැන් දකින ස්ත්‍රියත් විවාහ වී සිටිනවා. ඇය දරුවෙක් බිහි කරන්නයි සිටින්නේ. ඇගේ ස්වාමිපුරුෂයා කවුද? ඇගේ දරුවා “දෙවි වෙතටත් ඔහුගේ සිංහාසනය වෙතටත්” ඔසවාගනු ලබන බව සඳහන් වෙනවා. (එළිදරව් 12:5) දෙවි එසේ කරන්නේ ඒ දරුවා තමාගේ වන නිසයි. මෙයින් පැහැදිලි වෙන්නේ මෙම ස්ත්‍රිය යෙහෝවා දෙවිගේ සංකේතවත් භාර්යාව වන බවයි.
4. දෙවිගේ සංකේතවත් භාර්යාවගේ පුත්‍රයන් කවුරුන්ද? යොහන් දකින මෙම ස්ත්‍රිය පාවුල් හඳුන්වන්නේ කවුරුන් ලෙසද?
4 සියවස් අටකට කලින් යෙහෝවා දෙවි මෙම සංකේතවත් භාර්යාවට මෙසේ පැවසුවා. “ඔබේ හැම දරුවෝ යෙහෝවා විසින් උගන්වනු ලබන්නෝය.” (යෙසායා 54:5, 13) මෙම අනාවැකිය උපුටා දැක්වූ යේසුස් පැවසුවේ මෙම දරුවන් ඔහුගේ විශ්වාසවන්ත අනුගාමිකයන් වන බවයි. අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගේ සභාව සෑදුණේ ඒ අයගෙනුයි. (යොහන් 6:44, 45) දෙවි පුත්‍රයන් ලෙස හඳුන්වා ඇති මෙම සභාවේ සාමාජිකයන් දෙවිගේ සංකේතවත් භාර්යාවගේ දරුවන් ලෙසත් හැඳින්විය හැකියි. (රෝම 8:14) පාවුල් එය පැහැදිලි කරමින් මෙසේ පැවසුවා. “ඉහළ තිබෙන යෙරුසලම නිදහස්ය. ඇය අපේ මවය.” (ගලාති 4:26) යොහන් මෙහිදී දකින “ස්ත්‍රිය” නම් ‘ඉහළ තිබෙන යෙරුසලමයි.’
5. යෙහෝවා දෙවිගේ සංකේතවත් භාර්යාව තාරකා 12ක් සහිත ඔටුන්නක් පැළඳ සිටීමෙන් අදහස් කරන්නේ කුමක්ද? එසේනම් ඉහළ තිබෙන යෙරුසලමෙන් නියෝජනය වෙන්නේ කුමක්ද?
5 ඉහළ තිබෙන යෙරුසලම කුමක්ද? ඇය “ඉහළ තිබෙන” බව පාවුල් පවසන නිසාත්, යොහන් ඇයව ස්වර්ගයේ දකින නිසාත් ඇය මිහිපිට ඇති නගරයක් නම් නෙවෙයි. ඇය ‘නව යෙරුසලමත්’ නෙවෙයි. එයට හේතුව නව යෙරුසලම දෙවිගේ භාර්යාව නොව යේසුස්ගේ භාර්යාව වන නිසයි. (එළිදරව් 21:2) ඇයට තාරකා දොළොසකින් යුත් ඔටුන්නක් තිබෙනවා. අංක 12 ස්වර්ගයේ හෝ පොළොවේ හෝ දෙවි විසින් පිහිටුවා ඇති කිසිම අඩුවක් නැති සංවිධානාත්මක සැලැස්මක් දැක්වීමට භාවිත කරන බව ඔබට මතක ඇති.a එසේනම් ස්ත්‍රියගේ ඔටුන්නේ තාරකා 12ක් තිබීමෙන් අදහස් වෙන්නේ ඇය ස්වර්ගයේ පිහිටි යම් සංවිධානයක් වන බවයි. එය හරියට පොළොවේ තිබුණු පුරාණ යෙරුසලම වගෙයි. එසේනම් ඉහළ තිබෙන යෙරුසලමෙන් නියෝජනය වෙන්නේ ස්වර්ගයේ සියලුම දේවදූතයන් ඇතුළු යෙහෝවා දෙවිගේ විශ්වනීය සංවිධානයයි. ඒ සංවිධානය ඔහුට සේවය කරන අතරම ඔහු වෙනුවෙන් ‘දරුවනුත්’ බිහි කරනවා.
6. (අ) යොහන් දකින ස්ත්‍රිය සූර්යයා පැළඳ සිටීමත්, ඇගේ පාද යට චන්ද්‍රයා තිබීමත්, ඇයට තාරකා සහිත ඔටුන්නක් තිබීමත් මගින් අදහස් වෙන්නේ කුමක්ද? (ආ) ගැබ්ගෙන සිටින ඇය ප්‍රසව වේදනාවෙන් සිටින බව කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?
6 මෙම ස්ත්‍රිය සූර්යයා පැළඳගෙන සිටින ආකාරයත් ඇගේ පාද යට චන්ද්‍රයා තිබෙන ආකාරයත් යොහන් දකිනවා. මීට අමතරව ඇයට තාරකාවලින් සෑදුණු ඔටුන්නක්ද තිබෙනවා. මෙයින් පැහැදිලි වෙන්නේ අහසේ බැබළෙන සියලුම ආලෝකයන්ගෙන් ඇය වට වී සිටින බවයි. දිවා රෑ දෙකේදීම ඇයට දෙවිගේ ආශීර්වාද ලැබෙනවා. යෙහෝවා දෙවිගේ ස්වර්ගික සංවිධානයේ තේජස්ශ්‍රීය මෙයින් ඉතා කදිමට දක්වා තිබෙනවා. මීට අමතරව ඇය ගැබ්ගෙන සිටිනවා. ඇය සිටින්නේ ප්‍රසව වේදනාවෙන්. ඇය දෙවිගේ උපකාර ඉල්ලා මොරගසන අතර එයින් පෙන්නුම් කරන්නේ තම දරුවා බිහි කරන්න කාලය පැමිණ තිබෙන බවයි. සාමාන්‍යයෙන් බයිබලයේ ප්‍රසව වේදනාව භාවිත කරන්නේ යම් ප්‍රතිඵලයක් ලැබීම සඳහා දැරිය යුතු දැඩි වෙහෙස සංකේතවත් කිරීමටයි. (ගීතාවලිය 90:2ද, හිතෝපදේශ 25:23ද, යෙසායා 66:7, 8ද බලන්න.) මෙම අතිවැදගත් උපතට සූදානම් වෙද්දී දෙවිගේ ස්වර්ගික සංවිධානයටත් දැඩි වෙහෙසක් දරන්න සිදු වූ බව මෙයින් පැහැදිලි වෙනවා.
ගින්දර පැහැති මහා මකරෙක්
7. යොහන් ස්වර්ගයේ දකින අනෙක් ලකුණ කුමක්ද?
7 යොහන් ඊළඟට දකින්නේ කුමක්ද? “ස්වර්ගයෙහි තවත් ලකුණක් දකින ලදි. බලන්න! හිස් සතක්ද, අං දසයක්ද තම හිස් මත ඔටුනු සතක්ද ඇති ගින්දර පැහැති මහා මකරෙකි. උගේ වලිගයෙන් ස්වර්ගයෙහි තාරකාවලින් තුනෙන් කොටසක් ඇද පොළොවට හෙළුවේය. ස්ත්‍රිය දරුවා බිහි කළ විට ඇගේ දරුවාව කා දමන පිණිස, ඒ මකරා දරුවා බිහි කරන්න සිටි ස්ත්‍රිය ඉදිරියෙහි බලා සිටියේය.”—එළිදරව් 12:3, 4.
8. (අ) ගින්දර පැහැති මහා මකරා කවුද? (ආ) මේ මකරාට හිස් සතක්, අං දසයක් හා උගේ හිස් මත ඔටුනු සතක් තිබීමෙන් අදහස් කරන්නේ කුමක්ද?
8 මේ මකරා නම් ‘මුල් සර්පයා’ වන සාතන්. (එළිදරව් 12:9; උත්පත්ති 3:15) තම ගොදුර සම්පූර්ණයෙන්ම ගිල දැමිය හැකි හිස් සතක් ඇති මකරෙකු ලෙස විස්තර කර තිබීමෙන් ඌ කොතරම් දරුණුද, කොතරම් විනාශකාරීද කියා පැහැදිලි වෙනවා. ඉතා අමුතු මෙන්ම භයංකර පෙනුමක් ඇති මෙම මකරාට හිස් සතක් සහ අං දසයක් තිබීමෙන් පෙනී යන්නේ එළිදරව් 13වන පරිච්ඡේදයේ සඳහන් සියලුම දේශපාලන ක්‍රම නියෝජනය කරන වන මෘගයාගේ නිර්මාතෘ මේ මකරා බවයි. වන මෘගයාටත් හිස් සතක් හා අං දසයක් තිබෙනවා. සාතන් නම් මෙම මකරාගේ හිස් සතේම ඔටුනු තිබෙන නිසා වන මෘගයාගෙන් නියෝජනය වන ලෝකයේ අධිරාජ්‍යයන් ඔහුගේ පාලනය යටතේ තිබෙන බව පැහැදිලියි. (යොහන් 16:11) අං දසයෙන් පැහැදිලි වෙන්නේ ඔහු මෙම දුෂ්ට ලෝකය කෙරෙහි පූර්ණ ලෙස බලය පවත්වන බවයි.
9. මකරාගේ “වලිගයෙන් ස්වර්ගයෙහි තාරකාවලින් තුනෙන් කොටසක් ඇද” පොළොවට හෙළුවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?
9 මෙම මකරාට ස්වර්ගයේද යම් බලයක් තිබෙනවා. ඌ තම වලිගයෙන් “ස්වර්ගයෙහි තාරකාවලින් තුනෙන් කොටසක් ඇද පොළොවට හෙළුවේය.” තාරකාවලින් දේවදූතයන්වද නියෝජනය විය හැකියි. (යෝබ් 38:7) “තුනෙන් කොටසක්” කීමෙන් පැහැදිලි වෙන්නේ දේවදූතයන් සෑහෙන පිරිසක් සාතන් විසින් නොමඟ යවනු ලබන බවයි. මේ දේවදූතයන් සාතන්ගේ අණසක යටතට පැමිණෙන විට ඔවුන්ට එයින් නිදහස් වෙන්න බැහැ. දෙවිගේ ශුද්ධ සංවිධානයට නැවතත් ඇතුල් වෙන්න ඔවුන්ට හැකියාවක් නැහැ. ඔවුන් භූතයන් බවට පත් වුණා. ඔවුන් දැන් ඔවුන්ගේ රජ වන සාතන්ගේ බලපෑමට හසු වී සිටිනවා. (මතෙව් 12:24) සාතන් ඔවුන්ව පොළොවට හෙළුවා කීමෙන් අපට මතක් වෙන්නේ නෝවාගේ කාලයේ ජලගැල්මට පෙර සිදු වූ දෙයයි. සාතන්ගේ පෙලඹීම් හේතුවෙන් මෙම දේවදූතයන් දෙවිට අකීකරු වී පොළොවට පැමිණ ස්ත්‍රීන් සමඟ ලිංගික සම්බන්ධකම් පැවැත්වූවා. මෙයට දඬුවමක් වශයෙන් ‘පව් කළ මෙම දේවදූතයන්ව’ දෙවි විසින් “ටාටරස්” නමැති සංකේතවත් ස්ථානයට හෙළා තිබෙනවා. මෙයින් ඔවුන් දෙවිගෙන් බැහැරව දැඩි අන්ධකාරයක සිර වී සිටින බවක් අදහස් වෙනවා.—උත්පත්ති 6:4; 2 පේතෘස් 2:4; යූද් 6.
10. මෙම දර්ශනය තුළින් අප දකින එකිනෙකට ප්‍රතිවිරුද්ධ සංවිධාන දෙක මොනවාද? ස්ත්‍රිය තම දරුවා ප්‍රසූත කරන විට මකරා දරුවාව ගිල දමන්න උත්සාහ කරන්නේ ඇයි?
10 මෙම දර්ශනය තුළින් එකිනෙකට ප්රතිවිරුද්ධව සිටින සංවිධාන දෙකක් ඇති බව පැහැදිලියි. එනම් ස්ත්‍රියගෙන් සංකේතවත් කරන යෙහෝවා දෙවිගේ ස්වර්ගික සංවිධානය සහ දෙවිගේ පාලනයට විරුද්ධව ක්‍රියා කරන සාතන් සහ ඔහුගේ භූතයන්ගෙන් සමන්විත සංවිධානයයි. යෙහෝවා දෙවිගේ පාලනයට විරුද්ධව සාතන් එල්ල කර ඇති චෝදනා නිසා පැනනැඟී ඇති ප්‍රශ්න විසඳිය යුතුමයි. එසේ කිරීමට මඟක් තිබෙනවාද? තිබෙනවා. ඒ දෙවිගේ ස්වර්ගික සංවිධානයෙන් බිහි වන දරුවා මගිනුයි. නමුත් තම භූතයන්ව පහතට ඇද දමමින් සිටින සාතන් ගොදුරක් සොයන කුරිරු මෘගයෙක් හා සමානව ක්‍රියා කරන්නේ ඒ දරුවාව ගිල දමන්නයි. ස්ත්‍රිය තම දරුවා ප්‍රසූත කරන අවස්ථාව පැමිණෙන තෙක් ඔහු බලා සිටින්නේ ඒ සඳහායි. එයට හේතුව ඔහුගේ පැවැත්මට හා ඔහුගේ අණසක යටතේ පවතින ලෝකයේ පැවැත්මට ඒ දරුවාගෙන් ප්‍රබල තර්ජනයක් එල්ල වන බව ඔහු දන්නා නිසයි.—යොහන් 14:30.
පුත්‍රයෙක්, පිරිමි දරුවෙක්
11. ස්ත්‍රිය දරුවාව ප්‍රසූත කරන විට සිදු වෙන්නේ කුමක්ද? මෙම දරුවා “පුතෙකු” කියා හඳුන්වන්නේ ඇයි?
11 දෙවිගේ මැදිහත් වීමක් නැතිව පොළොව පාලනය කිරීම සඳහා ලෝකයේ ජාතීන්ට නියමිතව තිබුණු කාලය අවසන් වුණේ 1914දීයි. (ලූක් 21:24) ස්ත්‍රිය ඇගේ දරුවා බිහි කරන්නේ ඒ කාලයේදීයි. “යකඩ දණ්ඩකින් සියලු ජාතීන්ව පාලනය කිරීමට නියමිත පුතෙකු ඈ බිහි කළාය. ඇගේ දරුවා දෙවි වෙතටත් ඔහුගේ සිංහාසනය වෙතටත් ඔසවාගනු ලැබීය. ඒ ස්ත්‍රියද පාළුකරයට පලා ගියාය. දෙවි ඇයට ස්ථානයක් එහි සූදානම් කර තිබුණේය. එසේ කළේ, එතැනදී ඔවුන් ඇයව එක්දාස් දෙසිය හැට දවසක් පෝෂණය කරන පිණිසය.” (එළිදරව් 12:5, 6) මෙම දරුවා ‘පුතෙක්’ කියා සඳහන් වෙනවා. යොහන් එසේ පවසන්නේ ඇයි? ජාතීන්ව පාලනය කිරීමට මෙම දරුවාට මනා සුදුසුකම් හා හැකියාවන් ඇති බව අවධාරණය කිරීමටයි. මෙම උපත කොතරම් වැදගත් එකක්ද සහ එය කොතරම් ප්‍රීතියට හේතුවක්ද කියාත් එයින් කාවද්දනු ලබනවා. දෙවිගේ පරිශුද්ධ රහස ඉටු කරන්න ඒ දරුවාගෙන් සිදු වෙන්නේ අතිවැදගත් කාර්යයක්. මෙම පුත්‍රයා කොතරම් ප්‍රබලද කිවහොත් ඔහු “යකඩ දණ්ඩකින් සියලු ජාතීන්ව පාලනය” කරන්න නියමිත බවත් සඳහන් වෙනවා.
12. (අ) ගීතාවලියේ යෙහෝවා දෙවි යේසුස්ගේ ගැන දුන්නේ කවර පොරොන්දුවද? (ආ) ස්ත්‍රිය ‘යකඩ දණ්ඩකින් සියලු ජාතීන් පාලනය කරන’ පුතෙකු බිහි කරන බව කීමෙන් අදහස් වෙන්නේ කුමක්ද?
12 මේ හා සමාන දෙයක් මීට කලිනුත් සඳහන් වී තිබෙනවා. යෙහෝවා දෙවි යේසුස් ගැන මෙසේ පොරොන්දු වුණා. “ඔබ ඔවුන් යදණ්ඩකින් බිඳින්නෙහිය. කුඹලෙකුගේ භාජනයක් මෙන් ඔවුන් කැබලි කොට දමන්නෙහිය.” (ගීතාවලිය 2:9) යේසුස් ගැන මෙවැනි දෙයකුත් සඳහන් වී තිබුණා. “යෙහෝවා දෙවි සියොන්හි සිට තම බලවත් රාජ යෂ්ටිය එවන්නේය. ‘ඔබේ සතුරන්ව යටත් කරගන්න’ යයි ඔහුට කියන්නේය.” (ගීතාවලිය 110:2, NW) යොහන් දකින මෙම දරුවාගේ උපත යේසුස්ට සම්බන්ධ බව මෙයින් පැහැදිලියි. නමුත් මෙයින් කතා කරන්නේ යේසුස් කන්යාවකගෙන් ඉපදුණු ආකාරය ගැනවත් ක්‍රි.ව. 33දී ස්වර්ගයේ අමරණීය කෙනෙක් ලෙස නැවත නැඟිටුණු ආකාරය ගැනවත් නෙවෙයි. එය යේසුස් වෙනත් භවයක් ලබමින් ඉපදෙනවාවත් නෙවෙයි. මෙහිදී කතා කරන්නේ 1914දී දේවරාජ්‍යය උපන් ආකාරය ගැනයි. එයට යේසුස් සම්බන්ධ වෙන්නේ දැන් ඔහු එහි රජු ලෙස පත් කර ඇති නිසයි. මේ සඳහා ඔහු තම නැවත නැඟිටීමෙන් පසු අවුරුදු 2,000කට ආසන්න කාලයක් බලා සිටියා.—එළිදරව් 12:10.
13. පිරිමි දරුවා “දෙවි වෙතටත් ඔහුගේ සිංහාසනය වෙතටත් ඔසවාගනු ලැබීය” කීමෙන් අදහස් වෙන්නේ කුමක්ද?
13 තම භාර්යාව හෝ තම අලුත උපන් පුත්‍රයාව ගිල දැමීමට යෙහෝවා දෙවි සාතන්ට කිසිම විටෙක ඉඩ දෙන්නේ නැහැ! මෙම පිරිමි දරුවා ඉපදුණු විටම “දෙවි වෙතටත් ඔහුගේ සිංහාසනය වෙතටත්” ඔසවාගනු ලැබුවා. ඒ දරුවා දෙවිගේ ආරක්ෂාව ලබන බව කීමෙන් අදහස් වෙන්නේ අලුත උපන් දේවරාජ්‍යය දෙවිගේ පූර්ණ රැකවරණය ලබන බවයි. දෙවිගේ නාමය පිට පැමිණ ඇති කැළල ඉවත් කිරීමට ප්‍රධාන වශයෙන් දායක වෙන්නේ එම රාජ්‍යයයි. ඒ අතරම දෙවි විසින් පාළුකරයේ සූදානම් කර ඇති ස්ථානයකට ස්ත්‍රිය පලා යනවා. මේ ගැන විස්තර පසුව සඳහන් වෙනවා. නමුත් ස්වර්ගයේ පිහිටි මෙම රාජ්‍යයට සාතන්ගෙන් එල්ල වන තර්ජනය සහමුලින්ම නැති කිරීමට දැන් අවස්ථාව පැමිණ තිබෙනවා. සිදු වෙන්නේ කුමක්ද?
ස්වර්ගයේ යුද්ධයක්!
14. (අ) දේවරාජ්‍යයට සාතන්ගෙන් නැවතත් තර්ජනයක් එල්ල නොවෙන්නේ ඇයි? (ආ) සාතන් සහ ඔහුගේ භූතයන්ව නෙරපනු ලබන්නේ කොහේටද?
14 යොහන් මෙසේ විස්තර සපයනවා. “ස්වර්ගයෙහි යුද්ධයක් ඇති විය. මිකායෙල් සහ ඔහුගේ දූතයෝ මකරාට විරුද්ධව යුද්ධ කළෝය. මකරා සහ උගේ දූතයන්ද යුද්ධ කළ නමුත්, ඌ ජයගත්තේ නැත. එතැන් පටන් ඔවුන්ට ස්වර්ගයෙහි ස්ථානයක් තිබුණේද නැත. එබැවින් ඒ මහත් මකරා පහතට හෙළනු ලැබුවේය. ඒ මකරා නම්, යක්ෂයා කියාද සාතන් කියාද හඳුන්වන, මුළු පොළොවම නොමඟ යවන මුල් සර්පයාය. ඔහු පොළොවට හෙළනු ලැබුවේය; ඔහුගේ දූතයෝද ඔහු සමඟ පහතට හෙළනු ලැබුවෝය.” (එළිදරව් 12:7-9) දෙවිගේ පරිශුද්ධ රහස ඉටුවීම සඳහා සාතන්ව ස්වර්ගයෙන් නෙරපනු ලබන අතර, ඔහුගේ භූතයන්වද ඔහු සමඟ පොළොවට හෙළනු ලබනවා. මුළු පොළොවම නොමඟ යවමින් ඔවුන්ගේ දෙවියා ලෙස කටයුතු කරන සාතන්ව දැන් ඔහුගේ කැරැල්ල ආරම්භ කළ පොළොවට සීමා කර තිබෙනවා.—2 කොරින්ති 4:3, 4.
15, 16. (අ) මිකායෙල් කවුද? අප එය දන්නේ කෙසේද? (ආ) යේසුස් සාතන්ව ස්වර්ගයෙන් නෙරපා දැමීම යෝග්‍ය වෙන්නේ ඇයි?
15 යෙහෝවා දෙවිගේ නාමයෙන් මේ සුවිශේෂී ජයග්‍රහණය අත් කරගන්නේ කවුද? බයිබලය පවසන්නේ ඒ මිකායෙල් සහ ඔහුගේ දූතයන් බවයි. නමුත් මිකායෙල් කවුද? “මිකායෙල්” යන නමේ තේරුම “දෙවිට සමාන කවුද?”යන්නයි. මෙයින් පැහැදිලි වෙන්නේ දෙවිට සමාන කිසි කෙනෙක් නැති බව පෙන්වමින් යෙහෝවා දෙවි මේ විශ්වයේ නියම පාලකයා බව තහවුරු කිරීම මිකායෙල්ගේ ආශාව වන බවයි. යූද් 9වන පදයේ ඔහුව හඳුන්වා ඇත්තේ “අග්‍ර දේවදූත මිකායෙල්” යන නමින්. “අග්‍ර දේවදූතයා” යන නාමය බයිබලයේ වෙනත් තැන්වල භාවිත කරන්නෙත් එක් පුද්ගලයෙකුට පමණයි. ඒ යේසුස් ක්‍රිස්තුස්.b පාවුල් ඔහු ගැන මෙසේ කියනවා. “ස්වාමීන්ම අණ දීමේ ශබ්දයක්ද, අග්රදේවදූතයෙකුගේ හඬද, දෙවිගේ හොරණෑවද ඇතිව ස්වර්ගයෙන් බැස එන්නේය.” (1 තෙසලෝනික 4:16) “අග්‍ර දේවදූතයා” කීමෙන් අදහස් කරන්නේ “දේවදූතයන්ගේ ප්‍රධානියා” යන්නයි. එමනිසා “මිකායෙල් සහ ඔහුගේ දූතයෝ” කියා එළිදරව් පොතේ සඳහන් කර තිබීමට හේතුව පැහැදිලි වෙනවා. බයිබලයේ වෙනත් තැන්වල දේවදූතයන් ගැන සඳහන් කරද්දීත් ඔවුන් යේසුස්ට යටත්ව සිටින ආකාරය දක්වා තිබෙනවා. උදාහරණයකට පාවුල් ‘ස්වාමීන් වන යේසුස් තම බලවත් දේවදූතයන් සමඟ ස්වර්ගයෙන් එළිදරව් වන’ ආකාරය ගැන කතා කරනවා.—2 තෙසලෝනික 1:7; මතෙව් 24:30, 31; 25:31ද බලන්න.
16 මේ බයිබල් පදවලින් හා වෙනත් තොරතුරුවලින් අපට පැහැදිලිවම පැවසිය හැක්කේ මිකායෙල් ස්වර්ගයේ තේජසට පත් ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් වන බවයි. දැන් ස්වාමීන්ගේ දවස උදා වී තිබෙන මේ කාලයේදී සාතන්ට “යෙහෝවා ඔබට තරවටු කරාවා” කියා පවසා නිහඬ වෙන්න ඔහුට අවශ්‍යතාවක් නැහැ. දැන් විනිශ්චය කිරීමේ කාලයක් උදා වී ඇති නිසා අග්‍ර දේවදූත මිකායෙල් වශයෙන් යේසුස් දුෂ්ට සාතන් සහ ඔහුගේ භූතයන්ව ස්වර්ගයෙන් පොළොවට හෙළා දමනවා. (යූද් 9; එළිදරව් 1:10) යේසුස් රජු ලෙස පත් කර ඇති නිසා ඔහුට මෙම කාර්යය භාර දීම ඉතා යෝග්‍යයි. ඒදන් උයනේදී පොරොන්දු වූ වංශයේ ප්‍රධාන තැනැත්තාත් යේසුස්. ඒ නිසා අවසානයේදී සාතන්ගේ හිස පොඩි කර, සදාකාලයටම ඔහුව විනාශ කර දමන්නෙත් යේසුස්. (උත්පත්ති 3:15) සාතන්ව ස්වර්ගයෙන් නෙරපා දැමීමෙන් යේසුස් ඒ අවස්ථාවට මුලපුරා තිබෙනවා.
‘ස්වර්ගයෙනි, ප්‍රීති වන්න!’
17, 18. (අ) සාතන්ව ස්වර්ගයෙන් පහ කරන විට ස්වර්ගයේ සිටින අය ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද? (ආ) යොහන්ට ඇසෙන මහත් හඬ කාගේ හඬ විය හැකිද?
17 සාතන්ගේ මෙම ප්‍රබල පරාජයට ස්වර්ගයේ අය ප්‍රීතියෙන් ප්‍රතිචාරය දක්වන ආකාරය යොහන් විස්තර කරන්නේ මෙසේයි. “තවද, ස්වර්ගයෙහි මෙසේ කියන මහත් හඬක් මට ඇසුණේය: ‘දැන් අපේ දෙවිගේ ගැලවීමද බලයද රාජ්‍යයද ඔහුගේ ක්‍රිස්තුස්ගේ අධිකාරියද පැමිණ තිබේ. මන්ද, අපේ දෙවි ඉදිරියෙහි අපේ සහෝදරයන්ට විරුද්ධව දිවා රෑ දෙකෙහි චෝදනා කරන පැමිණිලිකරු පහතට හෙළනු ලැබුවේය! ඔවුහු, බැටළු පැටවාගේ රුධිරය නිසාද, තමුන් සාක්ෂි දැරූ පණිවිඩය නිසාද ඔහුගෙන් ජයගත්තෝය. මරණය අබියස සිටියදී පවා ඔවුහු තම ජීවිතවලට ප්‍රේම නොකළෝය. මේ නිසා ස්වර්ගයෙනි, එහි වාසය කරන්නෙනි, ප්‍රීති වන්න!’”—එළිදරව් 12:10-12අ.
18 යොහන්ට ඇසෙන්නේ කාගේ හඬද? බයිබලය ඒ ගැන කිසිවක් නිශ්චිතව කියන්නේ නැහැ. නමුත් ඒ හා සමාන මහත් හඬක් ස්වර්ගික තනතුරුවල සිටින නැවත නැඟිටුවා ඇති වැඩිමහල්ලන් 24දෙනාගෙන් පැමිණි බව එළිදරව් 11:17හි සඳහන් වෙනවා. ඔවුන්ගේ නැවත නැඟිටීම සාතන් සහ ඔහුගේ භූතයන් පිරිස පොළොවට හෙළීමෙන් පසුවයි ඇරඹෙන්නේ. එම තනතුරු හොබවමින් ඔවුන්ට ශුද්ධ තැනැත්තන් 1,44,000දෙනාව නියෝජනය කරන්න පුළුවන්. (එළිදරව් 11:18) තවමත් පීඩා විඳිමින් පොළොවේ ජීවත් වන දෙවිගේ අභිෂේක ලත් සේවකයන්ව “අපේ සහෝදරයන්” කියා හඳුන්වා ඇති නිසා එම හඬ වැඩිමහල්ලන් 24දෙනාගේ කියා පැවසිය හැකියි.
19. (අ) දෙවිගේ පරිශුද්ධ රහස ඉටුවීමෙන් යේසුස්ට දැන් මාර්ගය විවෘත වෙන්නේ කුමක් කිරීමටද? (ආ) සාතන්ව ‘අපේ සහෝදරයන්ට විරුද්ධව චෝදනා කරන්නා’ කියා හැඳින්වීමෙන් අදහස් කරන්නේ කුමක්ද?
19 දෙවිගේ පරිශුද්ධ රහස ඉටුවීමට නම්, යේසුස් යෙහෝවා දෙවිගේ රාජ්‍යයේ පාලනය තම අතට ගත යුතුයි. මෙමගින් විශ්වාසවන්ත මිනිසුන්ව ගැලවීම සඳහා දෙවි අරමුණු කර ඇති දේ ක්‍රියාත්මක කිරීමට මඟ විවෘත වෙනවා. යේසුස් ගලවන්නේ දැන් පොළොවේ සිටින දෙවිට ගරුබිය දක්වන තම විශ්වාසවන්ත අනුගාමිකයන් පමණක් නෙවෙයි නමුත් දෙවිගේ මතකයේ රැඳී සිටින අසංඛ්‍යාත මිලියන ගණනක්ද එයට ඇතුළත් වෙනවා. (ලූක් 21:27, 28) ‘අපේ සහෝදරයන්ට විරුද්ධව චෝදනා කරන්නා’ හැටියට සාතන්ව හඳුන්වා තිබීමෙන් පෙන්වන්නේ යෝබ්ට එරෙහිව සාතන් කළ චෝදනා බොරු බවට ඔප්පු වුණත් ඔහු එදා පටන් දෙවිට සේවය කරන මිනිසුන්ගේ විශ්වාසවන්තකම ගැන අභියෝග කරමින් සිටින බවයි. මිනිසෙකු තමාගේ පණ රැකගැනීම සඳහා ඕනෑම දෙයක් පරිත්‍යාග කරන බව සාතන් දිගටම චෝදනා කරමින් සිටින බව මෙයින් පැහැදිලි වෙනවා. නමුත් සාතන් මොන තරම් බොරුකාරයෙක්ද කියා ඔප්පු වී තිබෙනවා.—යෝබ් 1:9-11; 2:4, 5.
20. ඇදහිලිවන්ත ක්‍රිස්තියානීන් සාතන්ව පරාජය කර තිබෙන්නේ කෙසේද?
20 “බැටළු පැටවාගේ ලේ නිසා” ධර්මිෂ්ඨ අය ලෙස සලකන අභිෂේක ලත් ක්‍රිස්තියානීන් කොතරම් පීඩා තිබුණත් දෙවි ගැනත් යේසුස් ක්‍රිස්තුස් ගැනත් දිගටම සාක්ෂි දරමින් සිටිනවා. වර්ෂ 1914දී ජාතීන් සඳහා නියම කරන ලද කාලවල් අවසන් වීමත් සමඟ සිදු වී ඇති වැදගත් දේවල් අපට බලපාන අන්දම අවුරුදු 120ක් පුරා දැනුම් දීමට යොහන් පන්තිය මැළි වී නැහැ. (ලූක් 21:24) දැන් මහත් සමූහයක් ඔවුන් හා සමඟ පක්ෂපාතව සේවය කරමින් සිටිනවා. අපගේ කාලයේදී යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සැබෑ ජීවිත අද්දැකීම්වලින් පැහැදිලිව පෙනී යන්නේ මේ කිසිම කෙනෙක් “ශරීර නසන නමුත් ජීවය නසන්න නොහැකි අයට” භය නැති බවයි. තම මුවින් ප්‍රකාශ කරන දේ තුළින් හා ක්‍රිස්තියානි ප්‍රමිතිවලට එකඟ වූ තම හැසිරීමෙන්ද සාතන්ගෙන් ජයගෙන සිටින මොවුන් ඔහු බොරුකාරයෙක් බව දිගින් දිගටම ඔප්පු කරමින් සිටිනවා. (මතෙව් 10:28; හිතෝපදේශ 27:11; එළිදරව් 7:9) අභිෂේක ලත් අය ස්වර්ගයට නැවත නැඟිටුවනු ලබන විට, තම සහෝදරයන්ට තවත් චෝදනා කිරීමට සාතන් ස්වර්ගයේ නැති බව දැකීමෙන් ඔවුන් කොතරම් සතුටු වෙනවා ඇද්ද! එසේනම්, “ස්වර්ගයෙනි, එහි වාසය කරන්නෙනි, ප්‍රීති වෙන්න!” යන මොරගැසීමට මුළු දේවදූත සමූහයම හවුල් වෙන්න කාලය එළඹ තිබෙනවා!
පොළොවට දුකක්!
21. සාතන් පොළොවට හා මුහුදට දුක් ඇති කර තිබෙන්නේ කෙසේද?
21 තුන්වන දුක නිසා කෝපයෙන් ඇවිස්සී සිටින සාතන් දැන් අදිටන් කරගෙන සිටින්නේ මිනිස් වර්ගයාට දුක් ඇති කරන්නයි. යොහන් මෙසේ පවසනවා. “පොළොවටත් මුහුදටත් දුක් වේ. මන්ද යක්ෂයා තමාට ඇත්තේ කෙටි කාල පරිච්ඡේදයක් බව දැන, ඔහු මහත් කෝපයෙන් ඔබ වෙතට බැස ඇවිත් සිටින්නේය.” (එළිදරව් 12:12ආ) සාතන්ව පොළොවට හෙළීම නිසා ඔහු පොළොවට මහත් දුකක් ගෙන දෙනවා. ඇත්තෙන්ම ඔහුගේ අණසක යටතේ සිටින ආත්මාර්ථකාමී මිනිසුන් නිසා පොළොව කොතරම් විනාශ වී තිබෙනවාද! (ද්විතීය කතාව 32:5) සාතන්ගේ විනාශකාරී ප්‍රතිපත්ති නිසා පොළොව එනම් මිනිස් සමාජයේ අත්තිවාරම් දෙදරුම් කා තිබෙනවා. ඒ වගේම මුහුද එනම් නොසන්සුන්කාරී ජනතාවත් බොහෝ දුක්වලට මුහුණ දී තිබෙනවා. සාතන් කොතරම් කෝප වුණාද කියා ලෝක යුද්ධ දෙකේදීම කෝපාවිෂ්ට ජාතීන් අතර ඇති වූ ගැටුම්වලින් පැහැදිලි වෙනවා. අද දින දක්වාත් සාතන්ගේ ඒ කෝපය ජාතීන් අතර පවතින ගැටුම්වලින් දැකගත හැකියි. හැබැයි ඒ හැමදාටම නෙවෙයි. (මාක් 13:7, 8) සාතන්ගේ කූට උපක්‍රම නිසා ලෝකයට මහත් දුකක් විඳින්න සිදු වුණත්, තුන්වන දුක එනම් දේවරාජ්‍යය සමඟ එය සසඳන්න බැහැ. ඒ දුක මගින් සාතන්ගේ දෘශ්‍යමාන සංවිධානයට නැවතත් ගොඩ එන්න නම් බැරි වෙනවා.
22, 23. (අ) මකරාව පොළොවට හෙළීමෙන් පසු සිදු වෙන්නේ කුමක්ද? (ආ) “පිරිමි දරුවා බිහි කළ ඒ ස්ත්‍රියට” පීඩා කරන්න මකරාට හැක්කේ කෙසේද?
22 සාතන්ව ස්වර්ගයෙන් නෙරපූ දා පටන් පොළොව මත සිටින යේසුස්ගේ අභිෂේක ලත් සහෝදරයන් ඔහුගේ දැඩි කෝපයට ලක් වී සිටිනවා. යොහන් මෙසේ පවසනවා. “තමාව පොළොවට හෙළූ බව මකරා දුටු විට, ඌ පිරිමි දරුවා බිහි කළ ඒ ස්ත්‍රියට පීඩා කළේය. නමුත් පාළුකරයෙහි ඇයට හිමි ස්ථානයට පියඹා යන පිණිස, මහත් රාජාලියෙකුගේ පියාපත් දෙක ඒ ස්ත්‍රියට දෙන ලදි. ඇය සර්පයා වෙතින් ඉවත්ව යෑමෙන් පසු, කාලයකටත් කාලවලටත් කාල භාගයකටත් ඇයව පෝෂණය කරනු ලබන්නේ එතැනදීය.”—එළිදරව් 12:13, 14.
23 දැන් නැවතත් අපි දර්ශනයේ දකින්නේ 6වන පදයේ සඳහන්ව තිබුණු ස්ත්‍රිය ගැනයි. දරුවාගේ උපතෙන් පසු ඇය මකරාගෙන් පලා ගොස් පාළුකරයට ගිය ආකාරය ඔබට මතක ඇති. මකරා දැන් පොළොවේ සිටින නිසා ස්වර්ගයේ සිටින මෙම ස්ත්‍රියට පීඩා කරන්න ඌට හැක්කේ කෙසේද? ස්ත්‍රියට පොළොවේත් දරුවන් සිටින බව අප මෙහිදී මතක තබාගත යුතුයි. මෙම දර්ශනයේ පසුවට පෙන්නුම් කරන ආකාරයට සාතන් ස්ත්‍රිය කෙරෙහි තම කෝපය ප්‍රකාශ කරන්නේ ඇගේ වංශයට එනම් දරුවන්ට පීඩා කිරීමෙනුයි. (එළිදරව් 12:17) මේ පොළොවේ සිටින ස්ත්‍රියගේ දරුවන්ට සිදු වන දෙය මෙම ස්ත්‍රියටම සිදු වන දෙයක් හැටියට සැලකිය හැකියි. (මතෙව් 25:40 බලන්න.) මීට අමතරව ඇගේ දරුවන්ට දිනෙන් දින එකතු වන වෙනත් බැටළුවනුත් විවිධ පීඩා අද්දකියි කියාත් අපට අපේක්ෂා කළ හැකියි.
අලුත් ජාතියක්
24. ඊජිප්තුවෙන් නිදහස් වූ ඊශ්‍රායෙල් ජාතිකයන්ට සමානව බයිබල් ශිෂ්‍යයන් අද්දුටුවේ කුමක්ද?
24 පළමු ලෝක මහා යුද්ධය පැවති කාලයේදී යේසුස්ගේ සහෝදරයන්ට සාතන්ගෙන් සහ ඔහුට පක්ෂව සිටින අයගෙන් පැමිණි නොයෙකුත් දැඩි පීඩාවලට මුහුණ දෙන්න සිදු වුණා. නමුත් විශ්වාසවන්තව සිටි අය ඒවා මැද තම සාක්ෂි දැරීමේ කටයුතුවල නිරත වුණා. කොහොමවුණත් පීඩා ඉතා දැඩි වූ විට බයිබල් ශිෂ්‍යයන් ප්‍රසිද්ධියේ කළ දේශනා සේවය බොහෝදුරට නතර වුණා. (එළිදරව් 11:7-10) ඔවුන් අද්දුටු දේ ඊජිප්තුවේ සිටි ඊශ්‍රායෙල් ජාතිය ඉතා තදබල පීඩා වින්ද කාලයට සමානයි. යෙහෝවා දෙවි ඔවුන්ව බේරාගෙන සීනයි කාන්තාරයට රැගෙන ගියේ හරියට රාජාලියෙකුගේ පියාපත්වලින් ගෙන යනවා හා සමානවයි. (නික්මයාම 19:1-4) ඒ හා සමාන දෙයක් 1918-1919 අතර කාලයේ දෙවිගේ ස්ත්‍රියගෙන් නියෝජනය වන ඔහුගේ සාක්ෂිකරුවන් අද්දැක්කා. දැඩි පීඩා රැල්ලකට මුහුණ දීමෙන් පසු ස්ත්‍රියට පාළුකරයේ ආරක්ෂාවක් ලැබුණා වගේම ඔවුන්ටත් දෙවිගෙන් යම් ආරක්ෂාවක් ලැබුණා. දෙවිගේ රැකවරණය යටතේ ඔවුන්ට දැනුණේ මහත් සුරක්ෂිතකමක්. මෙය ඔවුන්ගේ යාච්ඤාවලට ලැබුණු පිළිතුරක් ලෙස සැලකිය හැකියි.—ගීතාවලිය 55:6-9ද බලන්න.
25. (අ) පාළුකරයේදී ඊශ්‍රායෙල්වරුන්ව ජාතියක් ලෙස සංවිධානය කළා සේම, 1919දී යෙහෝවා දෙවි ඇති කළේ කුමක්ද? (ආ) මේ ජාතියට අයත් වෙන්නේ කවුරුන්ද? ඔවුන් අද්දකින්නේ කුමක්ද?
25 ඊශ්‍රායෙල් සෙනඟ පාළුකරයේ සිටිද්දී යෙහෝවා දෙවි ඔවුන්ව ජාතියක් ලෙස සංවිධානය කර ඔවුන්ට හැම අතින්ම අවශ්‍ය පෝෂණය ලබා දුන්නා. ඒ හා සමානව 1919දී යෙහෝවා දෙවි ස්ත්‍රියගේ වංශයෙන් බිහි වූ පොළොවේ සිටි අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව ජාතියක් හැටියට සංවිධානය කළා. මෙය ස්වර්ගයේ 1914 සිට පාලනය කරන දේවරාජ්‍යය සමඟ පටලවා නොගත යුතුයි. මේ අලුත් ජාතිය සෑදී තිබෙන්නේ පොළොව මත සිටින අභිෂේක ලත් සාක්ෂිකරුවන්ගෙනුයි. යෙහෝවා දෙවි ඔවුන්ව පෝෂණය කරන නිසා ඔවුන් හැම අතින්ම සමෘද්ධියක් අද්දකිනවා. ඔවුන්ට “නියම වේලාවට නොකඩවා ආහාර කොටස” ලැබුණු නිසා ඉදිරියේ තිබුණු භාරදූර කාර්යය කිරීමට ඔවුන්ට අවශ්‍ය ශක්තිය ලැබුණා.—ලූක් 12:42; යෙසායා 66:8.
26. (අ) එළිදරව් 12:6, 14හි සඳහන් කාලය කොතරම් දිගද? (ආ) කාල තුනහමාර පැවතියේ කුමන අරමුණ සඳහාද? එය ආරම්භ වුණේ හා අවසන් වුණේ කවදාද?
26 දෙවිගේ ස්ත්‍රියගේ වංශයෙන් බිහි වූ මේ අය මෙලෙස පෝෂණය ලැබුවේ කොපමණ කාලයකටද? එළිදරව් 12:6 කියන්නේ එය දවස් 1,260ක් බවයි. එළිදරව් 12:14 කියන්නේ එය කාලයක්, කාලවල් හා කාල භාගයක් එනම් කාල තුනහමාරක් බවයි. මෙයින් කියා පාන්නේ අවුරුදු තුනහමාරක කාලයක් ගැනයි. මෙය උත්තරාර්ධගෝලයේ 1919 වසන්ත සමයේ සිට 1922 සරත් සමය දක්වා දිවෙන කාලයක්. මෙම කාලයේදී නැවතත් සංවිධානය වූ යොහන් පන්තිය ඉමහත් සහනයක් හා පෝෂණයක් අද්දුටුවා. ඒ වගේම ඉදිරියේ තිබෙන වැඩකටයුතු සඳහාත් ඔවුන් ඒ කාලයේදී සූදානම් වුණා.
27. (අ) යොහන් පවසන ආකාරයට 1922න් පසු මකරා කළේ කුමක්ද? (ආ) සාතන් සාක්ෂිකරුවන්ට එරෙහිව පීඩා රැල්ලක් දියත් කළේ කුමන අදහසක් ඇතුවද?
27 මකරාද තම උත්සාහය අත්හැරියේ නැහැ. “තවද සර්පයා, ස්ත්‍රිය ගංගාවෙහි ගිලෙන පිණිස ඇය පස්සෙන්, තමන්ගේ කටින් ගංගාවක් තරම් වූ වතුර වැමෑරුවේය.” (එළිදරව් 12:15) ‘ගංගාවක්’ සහ ‘ගංගාවක් තරම් වූ වතුර’ කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? දාවිත් රජ තමාට එරෙහි වූ දුෂ්ට මිනිසුන් ගැන කතා කරමින් කිව්වේ ඔවුන් ‘වනසන ජල ධාරා’ මෙන් තමන්ව ගිලගන්න උත්සාහ කළ බවයි. (ගීතාවලිය 18:4, 5, 16, 17, න.අ.) සාතන් දැන් දුෂ්ට මිනිසුන් යොදාගෙන ‘වනසන ජල ධාරා’ හා සමානව පීඩා රැල්ලක් මෙම ස්ත්‍රියට විරුද්ධව එල්ල කරනවා. වර්ෂ 1922ට පසුව සාතන් සාක්ෂිකරුවන්ට විරුද්ධව දරුණු පීඩා රැල්ලක් එල්ල කළා. (මතෙව් 24:9-13) ප්‍රතිඵලයක් ලෙස සාක්ෂිකරුවන් පහර කෑවා. ඔවුන්ට විරුද්ධව ‘අයුක්තිසහගත නීති පනවනු ලැබුවා.’ ඔවුන්ව සිර කළා. එල්ලුම් ගස් යැව්වා. වෙඩි තබා මැරුවා. ඒ වගේම හිසගසා දැම්මා. (ගීතාවලිය 94:20, NW) දෙවිගේ ස්වර්ගික ස්ත්‍රියට කෙළින්ම අත තැබීමට හැකියාවක් නැති පහතට වැටී සිටින සාතන් දැන් වියරු වැටී මාන බලන්නේ පොළොව මත සිටින ඇගේ දරුවන්ව මරා දැමීමට හෝ ඔවුන්ගේ ඇදහිල්ල බිඳ දැමීමෙන් දෙවිගේ අනුමැතිය ඔවුන්ට අහිමි කරවීමටයි. නමුත් ස්ත්‍රියගේ මෙම දරුවන් යෝබ් හා සමානව අධිෂ්ඨාන කරගෙන සිටින්නේ ‘තමන් නසින තෙක් තමන්ගේ අවංකකම පහ නොකර’ සිටීමටයි.—යෝබ් 27:5.
28. දෙවන ලෝක මහා යුද්ධ කාලයේදී පීඩා දරුණු අතට හැරුණේ කෙසේද?
28 මේ පීඩා රැල්ල දරුණු අතට හැරුණේ දෙවන ලෝක මහා යුද්ධය පැවති කාලයේදීයි. යුරෝපයේ සාක්ෂිකරුවන් 12,000ක් පමණ නාට්සි ගාල් කඳවුරුවලට හා බන්ධනාගාරවලට දැම්මා. එයින් 2,000ක් පමණ මිය ගියා. හමුදා පාලනයන් තිබූ ඉතාලිය, ජපානය, කොරියාව සහ තායිවානය වැනි රටවලත් විශ්වාසවන්ත සාක්ෂිකරුවන් නොයෙකුත් කෲර වධ හිංසාවලට ලක් වුණා. ප්‍රජාතන්ත්‍රවාදීයයි කියන රටවල පවා මෙවැනි පීඩා තිබුණා. ගම්වල දේශනා කළ සාක්ෂිකරුවන් කතෝලික මැර කල්ලි අතින් පහර කෑවා. ඔවුන්ට නින්දා කිරීමට ඔවුන්ගේ ශරීරවලට තාර ගා ඒවා මතට පිහාටු විසි කර ඔවුන්ව ගම්වලින් එලවා දැම්මා. මීට අමතරව ඔවුන් පැවැත්වූ සමුළුවලටත් නොයෙකුත් බාධා ඇති කළා. ඔවුන්ගේ දරුවන්වත් පාසැල්වලින් නෙරපා දැම්මා.
29. (අ) සාක්ෂිකරුවන්ට අනපේක්ෂිත ආකාරයකින් ලැබෙන සහනය ගැන යොහන් විස්තර කරන්නේ කුමක්ද? (ආ) ‘පොළොව ස්ත්‍රියට උපකාර කරන පිණිස පැමිණියා’ කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? (ඇ) මකරා දිගටම කරන්නේ කුමක්ද?
29 නමුත් සාක්ෂිකරුවන්ට අනපේක්ෂිත ආකාරයකින් සහනයක් පැමිණියා. “නමුත් පොළොව ස්ත්‍රියට උපකාර කරන පිණිස ආවේය. පොළොව කට ඇර, මකරා තමාගේ කටින් වැමෑරූ ගංගාව ගිල දැම්මේය. එවිට මකරා ස්ත්‍රිය කෙරෙහි උදහස් වී, දෙවිගේ ආඥා පිළිපදින, යේසුස් ගැන සාක්ෂි දැරීමේ කාර්යය සතු ඇගේ වංශයේ ඉතිරි අයට විරුද්ධව යුද්ධ කරන පිණිස පිටත්ව ගියේය.” (එළිදරව් 12:16, 17) “පොළොව” එනම් සාතන්ගේම අණසක යටතේ පවතින යම් ස්ථාවරත්වයක් මවා පාන මිනිස් සමාජය “ගංගාව” ගිලින්න පටන්ගත්තා. එය සිදු වූ ආකාරය සලකා බලමු. එක්දහස් නවසිය හතළිස් ගණන්වලදී එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය සාක්ෂිකරුවන්ට පක්ෂව තීන්දු කිහිපයක්ම දුන්නා. වෙනත් රටවල් කිහිපයක පාලකයනුත් යමෙකුට තම ආගම කිසිම බාධාවක් නැතිව ඇදහීමට නිදහස ඇති බවත් තහවුරු කළා. මීට අමතරව කෲර නාට්සි මෙන්ම ෆැසිස්ට්වාදී පාලන ‘ගිල දැමීමටත්’ ලෝකයේ අනිකුත් ජාතීන්ට හැකි වුණා. මෙම කෲර පාලකයන් යටතේ නොයෙකුත් වධ හිංසා වින්ද සාක්ෂිකරුවන්ට එයින් ලැබුණේ මහත් සහනයක්. නමුත් පීඩා එතැනින් නතර වුණේ නම් නැහැ. මකරාගේ කෝපය අද දක්වාම පවතිනවා. ඒ නිසා ඔහු “යේසුස් ගැන සාක්ෂි දැරීමේ කාර්යය” කරන අයට විරුද්ධව නොකඩවා යුද්ධ කරනවා. අද දින පවා බොහෝ රටවල දෙවිට ළැදි සාක්ෂිකරුවන් තවමත් සිටින්නේ සිරගත වෙලයි. ඉන් සමහරදෙනෙකුට තම විශ්වාසවන්ත ස්ථාවරය නිසා මරණය පවා අද්දකින්න සිදු වෙනවා. නමුත් සමහර රටවල කලින් කලට පාලකයන් සාක්ෂිකරුවන් ගැන සාධාරණව සිතා යම් තහංචි ලිහිල් කරනවා. ඒ නිසා ඒ රටවල සාක්ෂිකරුවන්ට වැඩි නිදහසක් ඇතුව තම නමස්කාරයේ යෙදෙන්න හැකියාව ලැබී තිබෙනවා.c මෙයින් පෙනී යන්නේ එළිදරව් පොතේ මෙම අනාවැකිය අදටත් ඉටු වන බවයි. පොළොව විසින් පීඩා නමැති ගංගාව ගිල දමන ආකාරය අපගේ ඇස් පනාපිටම සිදු වෙනවා.
30. (අ) ‘පොළොවෙන්’ යම් සහනයක් ලැබීම නිසා සිදු වී තිබෙන්නේ කුමක්ද? (ආ) දෙවිගේ ජනයාගේ විශ්වාසවන්තකම නිසා ඇති වන ප්‍රතිඵලය කුමක්ද?
30 ඇත්තෙන්ම පොළොවෙන් යම් සහනයක් ලැබී තිබෙන නිසා දෙවිගේ සේවකයන්ට තම සේවය රටවල් 235කම ව්‍යාප්ත කරන්න හැකි වී තිබෙනවා. දැන් ශුභාරංචිය දේශනා කරන සාක්ෂිකරුවන් මිලියන හයකට වඩා සිටිනවා. මෙයින් පෙනී යන්නේ ස්ත්‍රියගේ වංශයට අයත් අභිෂේක ලත් ඉතිරි කොටස සමඟ දැන් සියලු ජාතීන්ගෙන් විශාල පිරිසක් එකතු වී සිටින බවයි. ඔවුන් එක්සත්ව දෙවිගේ ආඥා පවත්වමින් සිටිනවා. ඒ නිසා ඔවුන් මේ ලෝකයෙන් වෙන් වී සිටින අතර, උසස් සදාචාර ප්‍රමිති රකිමින් සහෝදර ප්‍රේමයෙන් එකට බැඳී සිටිනවා. ඒ අතරම දේවරාජ්‍යය ගැන ඔවුන් දරන සාක්ෂියද පොළොව පුරාම ඇසෙනවා. ඔවුන්ගේ විශ්වාසවන්ත ආදර්ශයෙන් සාතන්ගේ ද්වේෂසහගත චෝදනා බොරු බව ප්රබලව තහවුරු වී තිබෙනවා. එය සාතන් සහ ඔහුගේ දුෂ්ට ලෝකයේ අවසානය ළඟ බවට මොන තරම් ප්‍රබල සාක්ෂියක්ද!—හිතෝපදේශ 27:11.
[පාදසටහන්වල]
a ඊශ්‍රායෙල් ජාතියට ගෝත්‍ර 12ක් තිබුණු බවත්, ප්‍රේරිතයන් 12දෙනෙක් සිටි බවත්, දෙවිගේ ඊශ්රායෙල්ටත් ගෝත්‍ර 12ක් තිබුණු බවත්, නව යෙරුසලමට දොරටු 12ක්, දේවදූතයන් 12දෙනෙක් හා අත්තිවාරම් ගල් 12ක් තිබෙන බවත් මෙහිදී සැලකිල්ලට ගත හැකියි.—එළිදරව් 21:12-14.
b එළිදරව් 12:9හි ‘මකරා සහ ඔහුගේ දූතයන්’ කියා සඳහන් වෙනවා. මේ නිසා යක්ෂයා තමාම දෙවියෙකු කරගන්න උත්සාහ කරනවා විතරක් නොව අග්‍ර දේවදූතයෙකු වෙන්නත් උත්සාහ කරන බව පෙනී යනවා. බයිබලයේ නම් ඔහුට කොතැනකවත් ඒ පදවිය දී නැහැ.
c රටවල් ගණනාවක පවතින ඉහළම අධිකරණවලින් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට යම් සහන සලසා තිබෙනවා. මෙම අධිකරණ දී ඇති තීන්දු සමහරක් 92වන පිටුවේ කොටුවේ සඳහන්.
[185වන පිටුවේ කොටුව]
“පොළොව කට ඇර” ඇති ආකාරය
අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට සහ වෙනත් බැටළුවන්ට එරෙහිව සාතන් බොහෝ රටවල පීඩා රැල්ලක් දියත් කර තිබෙනවා. නමුත් සාතන්ගේ දුෂ්ට සමාජයේම සිදු වී ඇති යම් දේවල් මගින් මෙම පීඩා රැල්ල ගිල දමා තිබෙනවා.
එක්සත් ජනපදයේ මැර පිරිස් අතින් සිදු වූ පීඩා හා ඇති වූ බොහෝ සිරගත කිරීම් 1940 ගණන්වල ශ්‍රේෂ්ඨාධිකරණය ගත් තීන්දු නිසා ගිල දමනු ලැබුවා.
1945: ජර්මනියේ සහ ජපානයේ පාලනය යටතේ පැවති රටවල සිදු වූ දරුණු පීඩා දෙවන ලෝක මහා යුද්ධය අවසානයේදී එම රටවල පරාජයත් සමඟම ගිල දමනු ලැබුවා.
ඩොමිනිකානු සමූහාණ්ඩුවේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව තහනම් කරනු ලැබුවා. ප්‍රතිඵලයක් ලෙස සාක්ෂිකරුවන්ව සිරගත කළා. ඔවුන්ට හොඳටම තැළුවා. ඒ වගේම තුවක්කු මිටවලින් ඔවුන්ට පහර දුන්නා. නමුත් 1960දී එහි ඒකාධිපති පාලක වූ රෆායෙල් තෘහිල්යෝ සහ කතෝලික සභාවේ නායකයන් අතර මතභේදයක් ඇතිවීම නිසා සාක්ෂිකරුවන් පිට දමා තිබූ තහනම ඉවත් කළා.
නයිජීරියාවේ සිවිල් යුද්ධය පැවති කාලයේ කැරලිකරුවන් යටතේ පැවති ප්‍රදේශයේ සිටි සාක්ෂිකරුවන්ට වෙඩි තැබුවා. ඔවුන්ට තැළුවා. නොයෙකුත් වධ හිංසා කළා. කිහිපදෙනෙකුව මරා දැම්මා. සමහරුන්ව පුලුස්සා මරා දැම්මා. ඒ වගේම සහෝදරියන්ව දූෂණය කළා. නමුත් 1970දී රජයේ හමුදාව මෙම ප්‍රදේශය යටත් කළ විට ඒ සියලු දේවල් නතර වුණා.
ස්පාඤ්ඤයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ගෙවල්වලට පොලිසියෙන් කඩා වැදී ඔවුන්ට දඩ ගැසුවා. නැත්නම් ඔවුන්ව සිරභාරයට ගෙන ගියා. ඔවුන් කළ “අපරාධය?” ඔවුන් දෙවි ගැන කතා කළ නිසා හා රැස්වීම් පැවැත්වූ නිසයි. නමුත් කතෝලික නොවන ආගම් ගැන රජය එතෙක් දැරූ ප්‍රතිපත්තිය 1970දී වෙනස් කළ නිසා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව නීත්‍යනුකූල ආගමක් ලෙස ලියාපදිංචි කළා.
පෘතුගාලයේ කිසිම නියෝගයක් නැතිව නිවෙස් සිය ගණනකට කඩා වැද පරීක්ෂා කරනු ලැබුවා. සාක්ෂිකරුවන්ට නොයෙකුත් වධ හිංසා කළ අතර, ඔවුන්ව සිරභාරයටත් ගෙන ගියා. ඔවුන්ගේ බයිබල්ද ඔවුන්ගෙන් පැහැරගත්තා. මෙම මැර ක්‍රියා ‘ගිල දමනු’ ලැබුවේ 1974දීයි. ඒ වසරේදී හමුදාව දියත් කළ කැරැල්ලක් හේතුවෙන් ආණ්ඩුව වෙනස් වුණා. සියලුදෙනාටම නිදහසේ එකට රැස් වෙන්න පුළුවන් බව සනාථ කරන නීතියක්ද සම්මත කරනු ලැබුවා.
ආජෙන්ටිනාව හමුදා පාලනය යටතේ පැවති කාලයේදී යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දරුවන්ව පාසැල්වලින් නෙරපා දැමුවා. සාක්ෂිකරුවන් දේශනා සේවයේ යෙදී සිටින නිසා රට පුරාම කිහිපදෙනෙක්ව අත්අඩංගුවට ගත්තා. නමුත් 1984දී පාලනය කළ ආණ්ඩුව යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාව නීත්‍යනුකූල සංවිධානයක් ලෙස පිළිගත් විට ඒ පීඩා රැල්ල නතර වුණා.
[183වන පිටුවේ වගුව]
(මුද්‍රිත පිටපත බලන්න)
1914 දේවරාජ්‍යයේ උපත
1919 අලුත් ජාතියේ උපත
1919–1922 සහනයක් හා පෝෂණයක් ලැබුණු කාලය
1922– පීඩා නමැති ගංගාව
[182වන පිටුවේ පින්තූර]
පොළොවට දුක් වෙයි