8වෙනි පරිච්ඡේදය
දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?
1. අපි ඉගෙනගන්න යන්නේ මොන යාච්ඤාව ගැනද?
යේසුස් පොළොවේ ඉද්දී ගෝලයන්ට යාච්ඤා කරන විදිහ කියලා දුන්නා. ඒ යාච්ඤාව හඳුන්වන්නේ ස්වාමීන්ගේ යාච්ඤාව කියලයි. යේසුස් යාච්ඤා කළේ මොනවා ගැනද? ඒ ගැන දැනගන්න එක අපිට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?
2. යේසුස් යාච්ඤා කරන්න කිව්වේ මොන වැදගත් කාරණා තුන ගැනද?
2 යේසුස් මෙහෙම යාච්ඤා කළා. “ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබේ නාමය සැමදා ශුද්ධව පවතීවා! ඔබගේ රාජ්‍යය පැමිණේවා! ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා!” (මතෙව් 6:9-13 කියවන්න.) ඒ කාරණා තුන ගැන යාච්ඤා කරන්න කියලා යේසුස් අපිට කිව්වේ ඇයි?—19වෙනි අමතර සටහන බලන්න.
3. දේවරාජ්‍යය ගැන අපි දැනගන්න ඕනෙ මොනවාද?
3 දෙවියන්ගේ නම යෙහෝවා කියලා අපි ඉගෙනගත්තා. ඒ වගේම දෙවියන් මිනිසුන්වත් පොළොවත් නිර්මාණය කළේ ඇයි කියලත් අපි ඉගෙනගත්තා. ඒත් “ඔබගේ රාජ්‍යය පැමිණේවා” කියලා යේසුස් කියද්දී ඔහු ඒකෙන් අදහස් කළේ මොකක්ද? දේවරාජ්‍යය කියන්නේ මොකක්ද, ඒකෙන් කරන්නේ මොනවාද, දෙවියන්ගේ නමට ඇති වෙලා තියෙන කැළැල ඒකෙන් නැති කරන්නේ කොහොමද කියලත් අපි බලමු.
දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?
4. දේවරාජ්‍යය කියන්නේ මොකක්ද? ඒකේ රජ කවුද?
4 යෙහෝවා දෙවියන් ස්වර්ගයේ ආණ්ඩුවක් පිහිටෙව්වා. බයිබලයේ දේවරාජ්‍යය හැටියට හඳුන්වන්නේ ඒ ආණ්ඩුවයි. දෙවියන් ඒ ආණ්ඩුවේ රජු විදිහට පත් කළේ යේසුස්ව. යේසුස්ව “රජවරුන්ගේ රජ, ස්වාමිවරුන්ගේ ස්වාමීන්” හැටියට හඳුන්වනවා. (1 තිමෝති 6:15) මිනිස් පාලකයන්ට කරන්න බැරි ගොඩක් දේවල් යේසුස්ට කරන්න පුළුවන්. හැම පාලකයෙක්ම එකතු වුණත් යේසුස්ට තරම් බලයක් එයාලට නැහැ.
5. දේවරාජ්‍යය පාලනය කරන්නේ කොහේ ඉඳන්ද? ඒකෙන් පාලනය කරන්නේ මොකක්ද?
5 යේසුස්ව මරණයෙන් නැවත නැඟිටුවලා දවස් 40කට පස්සේ ඔහු ආයෙත් ස්වර්ගයට ගියා. ඒත් යෙහෝවා දෙවියන් යේසුස්ව දේවරාජ්‍යයේ රජු විදිහට පත් කළේ ඊට කාලෙකට පස්සෙයි. (ක්‍රියා 2:33) අනාගතයේදී දේවරාජ්‍යයෙන් පොළොව පාලනය කරනවා, ඒක කරන්නේ ස්වර්ගයේ ඉඳලයි. (එළිදරව් 11:15) ඒ නිසයි බයිබලයේ ඒ රාජ්‍යය ‘ස්වර්ගයේ පිහිටි රාජ්‍යය’ විදිහට හඳුන්වලා තියෙන්නේ.—2 තිමෝති 4:18.
6, 7. හැම පාලකයෙකුටම වඩා යේසුස් ශ්‍රේෂ්ඨ පාලකයෙක් වෙන්නේ ඇයි?
6 බයිබලයේ යේසුස්ව හඳුන්වන්නේ “අමරණීයභාවය සතු එකම තැනැත්තා” විදිහට. (1 තිමෝති 6:16) ඒ නිසා ඔහු හැම මිනිස් පාලකයෙකුටම වඩා ශ්‍රේෂ්ඨයි කියලා කියන්න පුළුවන්. හැම මිනිස් පාලකයෙක්ම කවදා හරි මැරෙනවා. ඒත් යේසුස් කවදාවත් මැරෙන්නේ නැහැ. ඒ නිසා ඔහු අපි වෙනුවෙන් කරන හැම යහපත් දෙයක්ම සදාකාලයටම පවතිනවා.
7 ඒ වගේම යේසුස් සාධාරණ, දයාන්විත පාලකයෙක්. ඔහු ගැන බයිබලයේ කියන්නේ මෙහෙමයි. “ඔහුට යෙහෝවා දෙවිගේ බලය නොඅඩුව ලැබෙයි. එමගින් ඔහුට ප්‍රඥාවද දැනුමද තේරුම්ගැනීමේ හැකියාවද නැණවත් උපදෙස් දීමේ හැකියාවද ශක්තියද ලැබෙන්නේය. ඔහු යෙහෝවා දෙවිට ගරුබිය ඇතුව ජීවත් වෙයි. යෙහෝවා දෙවිට ගරුබිය දැක්වීමෙන් ඔහු මහත් ප්‍රීතියක් ලබයි. ඔහු මතුපිටින් දකින දේ අනුව විනිශ්චය නොකරයි. ඔහුට යමක් ඇසුණු පමණින්ද ඔහු දඬුවම් නොකරයි. ඔහු දිලිඳු අයව ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරයි. ඔහු සාධාරණව කටයුතු කරයි.” (යෙසායා 11:2-4) ඒ වගේ රජ කෙනෙකුගේ පාලනය යටතේ ජීවත් වෙන්න ඔයා ආස නැද්ද?
8. යේසුස් එක්ක පාලනය කරන්න තවත් අය හවුල් වෙනවා කියලා අපි දන්නේ කොහොමද?
8 දෙවියන්ට විශ්වාසවන්තව හිටපු පාවුල්, තිමෝතිට මෙහෙම කිව්වා. “අප දිගටම විඳදරාගෙන සිටියොත් අපි ඔහු [යේසුස්] සමඟ රජකම් කරන්නෙමු.” (2 තිමෝති 2:12) දේවරාජ්‍යයේ රජු වන යේසුස් එක්ක පාලනය කරන්න දෙවියන් මිනිසුන් පිරිසක්වත් තෝරාගෙන තියෙනවා කියලා ඒකෙන් පැහැදිලියි. ඒකට කීදෙනෙක්ව තෝරාගෙන තියෙනවාද?
9. යේසුස් එක්ක පාලනය කරන්න කීදෙනෙක් හවුල් වෙනවාද? දෙවියන් ඒ අයව තෝරාගන්න පටන්ගත්තේ කවදා ඉඳලාද?
9 යේසුස් ස්වර්ගයේ රජ විදිහට ඉන්න දර්ශනයක් යොහන් දැක්කා කියලා අපි 7වෙනි පරිච්ඡේදයෙන් දැනගත්තා. ඒ දර්ශනයේදී යොහන් දැක්කා යේසුස් එක්ක තවත් රජවරු 1,44,000දෙනෙක් ඉන්නවා. ඒ කවුද? යොහන් ඒ අය ගැන මෙහෙම කියනවා. ‘ඔවුන්ගේ නළල් මත ඔහුගේ [යේසුස්ගේ] නාමයද ඔහුගේ පියාණන්ගේ නාමයද ලියා තිබුණා. බැටළු පැටවා [යේසුස්] කොතැනකට ගියත් ඔවුහු දිගටම ඔහු පසුපස යනවා. මිනිසුන් අතරින් මිල දී ගෙන තිබෙන්නේ ඔවුන්වයි.’ (එළිදරව් 14:1, 4 කියවන්න.) එහෙනම් දෙවියන් තමන්ගේ විශ්වාසවන්ත සේවකයන් අතරින් ඒ 1,44,000දෙනාව තෝරාගෙන තියෙන්නේ යේසුස් එක්ක එකතු වෙලා ‘පොළොවේ රජකම්’ කරන්න කියලා පැහැදිලියි. එයාලා මැරුණාම එයාලව නැවත නැඟිටුවන්නේ ස්වර්ගයේ ජීවත් වෙන්න. (එළිදරව් 5:10) යෙහෝවා දෙවියන් ඒ අයව තෝරාගන්න පටන්ගත්තේ පළවෙනි සියවසේ ඉඳලයි.
10. මිනිසුන්ව පාලනය කරන්න යේසුස්වත් මිනිසුන් 1,44,000දෙනෙක්වත් තෝරාගන්න එකෙන් දෙවියන්ගේ ආදරේ පේන්නේ කොහොමද?
10 යේසුස් එක්ක පාලනය කරන්න මිනිසුන් පිරිසක්ව තෝරාගත්ත එකෙන් පේන්නේ දෙවියන් මිනිසුන්ට කොච්චර ආදරෙයිද කියලයි. යේසුස් මිනිසෙක් විදිහට ජීවත් වුණු නිසා අපිට හැඟෙන විදිහ, අපි අද්දකින දුෂ්කරතා ඔහු දන්නවා. ඔහුට ‘අපගේ දුර්වලකම් ගැන අනුකම්පාවක් දැනෙනවා’ කියලත් ‘ඔහු අප වගේ සෑම අතින්ම බොහෝ දුක් පීඩාවලට මුහුණ දී ඇති කෙනෙක්’ කියලත් බයිබලයේ කියන්නේ ඒ නිසයි. (හෙබ්‍රෙව් 4:15; 5:8) ඔහු එක්ක රජකම් කරන 1,44,000දෙනාත් අපි වගේම දුක් වේදනාවලට මුහුණ දීලා තියෙනවා. පව්කාර ස්වභාවය එක්ක සටන් කරලා අද්දැකීම් තියෙනවා. අසනීපත් අද්දැකලා තියෙනවා. ඒ නිසා අපිට හැඟෙන විදිහ, අපිට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න හොඳින් තේරුම්ගන්න යේසුස්ටත් 1,44,000දෙනාටත් පුළුවන් කියලා කිසිම සැකයක් නැහැ.
දේවරාජ්‍යයෙන් කරන්නේ මොනවාද?
11. ස්වර්ගයේ යම් කාලයකට දෙවියන්ගේ කැමැත්ත වුණේ නැත්තේ ඇයි?
11 ස්වර්ගයේ හිටපු හැමෝම යෙහෝවා දෙවියන්ගේ කැමැත්ත කරමිනුයි හිටියේ. ඒත් සාතන් දෙවියන්ට විරුද්ධව කැරලිගැහුවා කියලා අපි 3වෙනි පරිච්ඡේදයෙන් දැනගත්තා. එහෙම කළාට පස්සෙත් සාතන්ටත් එයා එක්ක එකතු වුණු භූතයන්ටත් යම් කාලෙකට ස්වර්ගයේ ඉන්න දෙවියන් ඉඩ දීලා තිබුණා. ඒ නිසා ඒ වෙද්දී සියයට සියයක්ම ස්වර්ගයේ දෙවියන්ගේ කැමැත්ත සිද්ධ වුණා කියලා කියන්න බැහැ. (සාතන් ගැනත් භූතයන් ගැනත් 10වෙනි පරිච්ඡේදයෙන් දැනගන්න.)
12. එළිදරව් 12:10 සඳහන් වෙන්නේ මොන වැදගත් සිද්ධීන් දෙක ගැනද?
12 දේවරාජ්‍යයේ රජ විදිහට පත් වුණු ගමන්ම යේසුස් සාතන් එක්ක යුද්ධයක් කරනවා කියලා බයිබලයේ කියනවා. (එළිදරව් 12:7-10 කියවන්න.) 10වෙනි පදයේ වැදගත් සිද්ධීන් දෙකක් ගැන කියනවා. පළවෙනි සිද්ධිය දේවරාජ්‍යයේ පාලනය ස්වර්ගයේ පටන්ගත්ත එක. දෙවෙනි සිද්ධිය සාතන්ව ස්වර්ගයෙන් පොළොවට හෙළපු එක. ඒ සිද්ධීන් දෙක දැනටමත් වෙලා ඉවරයි.
13. සාතන්ව පොළොවට හෙළුවාට පස්සේ ස්වර්ගයේ සිද්ධ වුණේ මොනවාද?
13 සාතන්වයි භූතයන්වයි ස්වර්ගයෙන් පොළොවට දැම්මාට පස්සේ දේවදූතයන් හුඟක් සතුටු වුණා. ඒ ගැන බයිබලයේ කියන්නේ මෙහෙමයි. “ස්වර්ගයද එහි වාසය කරන සියල්ලන්ද ප්‍රීති වන්න!” (එළිදරව් 12:12) දෙවියන්ට විරුද්ධව වැඩ කරන කිසිම කෙනෙක් ස්වර්ගයේ නැති නිසා දැන් ස්වර්ගයේ සම්පූර්ණයෙන්ම සිද්ධ වෙන්නේ දෙවියන්ගේ කැමැත්තයි.
14. සාතන්ව පොළොවට දැම්මාට පස්සේ පොළොවට මොකද වුණේ?
14 පොළොවේ තත්වය නම් ඊට වඩා හාත්පසින්ම වෙනස්. බයිබලයේ කියන්නේ “තමාට ඉතුරු වී ඇත්තේ ඉතා කෙටි කාල පරිච්ඡේදයක් බව දැන සිටින යක්ෂයා, මහත් කෝපයෙන් ඔබ වෙතට බැස ඇවිත් සිටියි” කියලයි. (එළිදරව් 12:12) ස්වර්ගයෙන් පන්නපු නිසාත් ඉතුරු වෙලා තියෙන්නේ තව ටික කාලයක් විතරයි කියලා දන්න නිසාත් සාතන් දැන් ඉන්නේ පුදුම කේන්තියකින්. ඒ නිසා පොළොව පුරාම ඉන්න මිනිසුන්ව දුකට පත් කරන්න සාතන් හැම වෑයමක්ම ගන්නවා.
15. පොළොව සම්බන්ධයෙන් දෙවියන්ට තියෙන අරමුණ මොකක්ද?
15 කොහොමවුණත් පොළොව නිර්මාණය කරද්දී දෙවියන්ට තිබුණු අරමුණ නම් වෙනස් වෙලා නැහැ. අදටත් ඔහු කැමති පරිපූර්ණ මිනිසුන් පාරාදීස පොළොවක සදාකාලයටම ජීවත් වෙනවා දකින්නයි. (ගීතාවලිය 37:29) දේවරාජ්‍යය මාර්ගයෙන් ඒ අරමුණ ඉටු වෙන්නේ කොහොමද?
16, 17. දේවරාජ්‍යය ගැන දානියෙල් 2:44 කියන්නේ මොකක්ද?
16 දානියෙල් 2:44 මේ වගේ අනාවැකියක් තියෙනවා. “ඒ රජුන්ගේ දවස්වලදී ස්වර්ගයේ දෙවි කිසිදාක විනාශ නොවන රාජ්‍යයක් පිහිටුවයි. එය වෙන සෙනඟක් අතට පත් නොවෙයි. එම රාජ්‍යය ඒ සියලු රාජ්‍යවල් පොඩි කර නැති කර දමයි. නමුත් එය සදහටම පවතියි.” ඒ අනාවැකියෙන් අපිට දේවරාජ්‍යය ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද?
17 මුලින්ම එතන කියන්නේ දේවරාජ්‍යයේ පාලනය පටන්ගන්නේ “ඒ රජුන්ගේ දවස්වලදී” කියලයි. ඒකෙන් අදහස් වෙන්නේ දේවරාජ්‍යයේ පාලනය මිනිස් ආණ්ඩු පවතින කාලයෙදී පටන්ගන්නවා කියන එකයි. දෙවෙනි කාරණය තමයි දේවරාජ්‍යය “සදහටම පවතිනවා” කියන එක. වෙන ආණ්ඩුවලට ඒ රාජ්‍යය පරාජය කරන්න බැහැ. තුන්වෙනි කාරණය තමයි දේවරාජ්‍යයත් මිනිස් ආණ්ඩුත් අතර යුද්ධයක් ඇති වෙනවා කියන එක. ඒ යුද්ධයෙන් දිනන්නේ දේවරාජ්‍යය. ඊටපස්සේ මුළු පොළොවම පාලනය කරන්නේ දේවරාජ්‍යයෙන්. ඒක තමයි මිනිසුන්ට තියෙන්න පුළුවන් හොඳම ආණ්ඩුව.
18. දේවරාජ්‍යයත් මිනිස් ආණ්ඩුත් අතර ඇති වෙන යුද්ධය හඳුන්වන්නේ මොන නමින්ද?
18 දේවරාජ්‍යයත් මිනිස් ආණ්ඩුත් අතර යුද්ධය පටන්ගන්න කලින් වෙන්නේ මොනවාද? ඒ යුද්ධයට කලින් ‘භූතයන් මුළු පොළොවෙම ඉන්න රජවරුන්ව රවට්ටනවා’ කියලත් ‘ප්‍රතිඵලයක් විදිහට සියලු බලැති දෙවිගේ මහත් දවසේදී සිදු වන යුද්ධයට ඔවුහු රැස් වෙනවා’ කියලත් බයිබලයේ කියනවා. ඊටපස්සේ මිනිස් ආණ්ඩු දෙවියන්ගේ ආණ්ඩුවත් එක්ක යුද්ධ කරනවා. ඒ යුද්ධය හඳුන්වන්නේ “හර්–මගෙදොන්” යුද්ධය කියලයි.—එළිදරව් 16:14, 16; 10වෙනි අමතර සටහන බලන්න.
19, 20. දේවරාජ්‍යයේ පාලනය අපිට ඕන කරන්නේ ඇයි?
19 ඇයි අපිට දේවරාජ්‍යයේ පාලනය ඕන කරන්නේ? ඒකට අඩුම තරමින් හේතු තුනක්වත් බලපානවා. පළවෙනි හේතුව තමයි අපි හැමෝටම පව්කාරකම උරුම වෙලා තියෙන නිසා අපි අසනීප වෙලා මැරිලා යන එක. ඒත් දේවරාජ්‍යය යටතේ අපිට සදාකාලයටම ජීවත් වෙන්න ලැබෙනවා කියලා බයිබලයේ කියනවා. ඒ ගැන යොහන් 3:16 කියන්නේ මෙහෙමයි. “දෙවි මුළු ලෝකයටම කොතරම් ප්‍රේම කළාද කියනවා නම් ඔහු තමාගේ එකම පුත්‍රයාව ඔවුන් වෙනුවෙන් ලබා දුන්නා. එසේ කළේ ඔහු කෙරෙහි විශ්වාසය තබන සෑම කෙනෙක්ම විනාශ නොවී ඔවුන්ට සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලබාගැනීම සඳහායි.”
20 දෙවෙනි හේතුව තමයි අද අපි දුෂ්ට මිනිස් සමාජයකින් වට වෙලා ඉන්න එක. හැම තැනම ඉන්නේ බොරු කියන, වංචා කරන අනාචාර ජීවිත ගත කරන මිනිසුන්. එයාලා කරන ඒ දේවල් නවත්වන්න අපිට බැහැ. හැබැයි දෙවියන්ට පුළුවන් ඒ දේ කරන්න. ජීවිත වෙනස් කරගන්න කැමති නැති දුෂ්ට අයව ඔහු හර්–මගෙදොන් යුද්ධයේදී විනාශ කරනවා. (ගීතාවලිය 37:10 කියවන්න.) තුන්වෙනි හේතුව තමයි අද තියෙන මිනිස් පාලන දුර්වල, කුරිරු, දූෂිත තත්වයක තියෙන එක. දෙවියන්ට කීකරු වෙන්න කියලා එයාලා මිනිසුන්ට දිරිගන්වන්නේ නැහැ. බයිබලයේ කියන්නේ “මිනිසා අන් අයට හානියක් වන ලෙසින් තම බලය ක්‍රියාත්මක කර ඇත” කියලයි.—දේශනාකාරයා 8:9.
21. පොළොව සම්බන්ධයෙන් දෙවියන්ගේ කැමැත්ත දේවරාජ්‍යයෙන් ඉටු කරන්නේ කොහොමද?
21 හර්–මගෙදොන් යුද්ධයට පස්සේ දේවරාජ්‍යයෙන් මුළු පොළොවෙම දෙවියන්ගේ කැමැත්ත ඉටු කරන්න පියවර ගන්නවා. උදාහරණෙකට සාතන්වත් භූතයන්වත් පොළොවෙන් ඉවත් කරනවා. (එළිදරව් 20:1-3) කිසි කෙනෙක් අසනීප වෙන්නෙවත් මැරෙන්නෙවත් නැහැ. යේසුස්ගේ ජීවිත පූජාව නිසා විශ්වාසවන්ත මිනිසුන්ට සදාකාලයටම ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා. (එළිදරව් 22:1-3) දෙවියන්ගේ නමට ඇති වෙලා තියෙන කැළැලත් දේවරාජ්‍යයෙන් ඉවත් කරනවා. ඒක වෙන්නේ කොහොමද? දෙවියන්ගේ ආණ්ඩුවෙන් මේ පොළොව පාලනය කරද්දී හැම කෙනෙක්ම යෙහෝවා දෙවියන්ගේ නමට ගෞරවය කරනවා. කිසි කෙනෙක් ඔහුගේ නමට අගෞරවයක් වෙන කිසිම දෙයක් කියන්නෙවත් කරන්නෙවත් නැහැ.—20වෙනි අමතර සටහන බලන්න.
යේසුස් දේවරාජ්‍යයේ රජ වුණේ කවදාද?
22. යේසුස් රජ වුණේ ඔහු පොළොවේ හිටිය කාලයේදීවත් නැවත නැඟිටලා ස්වර්ගයට ගිය ගමන්වත් නෙවෙයි කියලා අපි දන්නේ කොහොමද?
22 “ඔබගේ රාජ්‍යය පැමිණේවා” කියලා යාච්ඤා කරන්න යේසුස් ගෝලයන්ට ඉගැන්නුවා. ඒ වෙනකොට දේවරාජ්‍යයේ පාලනය පටන් අරන් තිබුණේ නැහැ කියලා ඒකෙන් පැහැදිලියි. එහෙනම් යේසුස්ව නැවත නැඟිටුවලා ඔහු ස්වර්ගයට ගිය ගමන්ම දෙවියන් ඔහුව රජ විදිහට පත් කළාද? නැහැ. ඔහුට කාලයක් බලන් ඉන්න වුණා. යේසුස් ස්වර්ගයට ගියාට පස්සේ පේතෘසුයි පාවුලුයි ගීතාවලිය 110:1 තියෙන අනාවැකිය යේසුස්ට අදාළ කළා. ඒ අනාවැකියේදී යෙහෝවා දෙවියන් යේසුස්ට මෙහෙම කියනවා. “මා ඔබේ සතුරන්ව ඔබේ පා පුටුව ලෙස තබන තුරු මාගේ දකුණු පැත්තේ හිඳගන්න.” (ක්‍රියා 2:32-35; හෙබ්‍රෙව් 10:12, 13) යේසුස්ට කොච්චර කාලයක් ඉන්න වුණාද?
දේවරාජ්‍යයෙන් මුළු පොළොවෙම දෙවියන්ගේ කැමැත්ත ඉටු කරන්න පියවර ගන්නවා
23. (අ) දේවරාජ්‍යයේ රජ විදිහට යේසුස් පාලනය පටන්ගත්තේ කවදාද? (ආ) ඊළඟ පරිච්ඡේදයෙන් බලන්නේ මොනවාද?
23 1914ට හුඟ කාලෙකට කලින් ඉඳලාම බයිබලය අධ්‍යයනය කරපු කණ්ඩායමක් තේරුම්ගත්තා 1914 බයිබල් අනාවැකිවල සුවිශේෂී වසරක් කියලා. එයාලා හිතුව දේ හරි කියලා 1914 ඉඳන් ලෝකේ වුණු සිද්ධීන්වලින් පැහැදිලියි. යේසුස් දේවරාජ්‍යයේ රජකම පටන්ගත්තේ ඒ අවුරුද්දේදීයි. (ගීතාවලිය 110:2) වැඩි කාලයක් යන්න කලින් යේසුස් සාතන්ව පොළොවට හෙළුවා. දැන් සාතන්ට ඉතුරු වෙලා තියෙන්නේ “කෙටි කාල පරිච්ඡේදයක්” විතරයි. (එළිදරව් 12:12) අපි දැන් ජීවත් වෙන්නේ යේසුස් රජකම් කරන කාලයේ කියලා කියන්න තියෙන සාක්ෂි අපි ඊළඟ පරිච්ඡේදයෙන් බලමු. ළඟදීම දේවරාජ්‍යයෙන් දෙවියන්ගේ කැමැත්ත මුළු පොළොවෙම ඉටු කරනවා කියලත් ඒකෙන් අපිට දැනගන්න පුළුවන්.—21වෙනි අමතර සටහන බලන්න.