පරිච්ඡේදය 31
යෙහෝවා දෙවිගේ විස්මයජනක ක්‍රියා
දර්ශනය 10—එළිදරව් 15:1–16:21
සිදු වන දේ: යෙහෝවා දෙවි අතිශුද්ධ ස්ථානයේ සිටිනවා. ඔහුගේ කෝපය නමැති බඳුන් පොළොවට වත් කරනු ලබනවා
ඉටු වන කාලය: 1919 සිට මෙම දුෂ්ට ලෝකයේ විනාශය දක්වා
1, 2. (අ) යොහන් දැන් විස්තර කරන්නේ කුමක්ද? (ආ) දේවදූතයන්ගෙන් ඉටු වන දේ ගැන දෙවිගේ සේවකයන් දන්නේ මොනවාද?
ස්ත්‍රියක් පිරිමි දරුවෙකු බිහි කරයි! මහා මකරෙකු එම දරුවාව ගිල දැමීමට උත්සාහ කරයි! එළිදරව් 12වන පරිච්ඡේදයේ විස්තර කර තිබුණු මේ ස්වර්ගීය ලකුණු ගැන අප දැනටමත් සාකච්ඡා කළා. ඒවායින් අපට කාවැද්දුවේ දෙවිගේ ස්ත්‍රියගේ වංශයත් සාතන් සහ ඔහුගේ භූතයන්ගේ වංශයත් අතර තිබෙන දීර්ඝ ගැටුම එහි අවසානයට ළඟා වෙමින් තිබෙන බවයි. මෙම ලකුණු ගැන කතා කරමින් යොහන් පැවසුවේ මෙසේයි. “තවද ස්වර්ගයෙහි මහත් ලකුණක් දකින ලදි. . . . තවත් ලකුණක් දකින ලදි.” (එළිදරව් 12:1, 3, 7-12) නමුත් දැන් යොහන් තුන්වන ලකුණක් ගැන සඳහන් කරනවා. “තවද, මම ස්වර්ගයෙහි තවත් ලකුණක් දුටිමි. එය මහත් වූද විස්මයජනක වූද ලකුණකි. දේවදූතයෝ සත්දෙනෙක් පීඩා සතක් ඇතිව සිටියෝය. ඒවායින් දෙවිගේ කෝපය අවසන් වන නිසා, ඒවා අන්තිම පීඩා වන්නේය.” (එළිදරව් 15:1) මේ තුන්වන ලකුණත් යෙහෝවා දෙවිගේ සේවකයන්ට ඉතා වැදගත්.
2 දෙවිගේ කැමැත්ත ඉටු කිරීමේදී දේවදූතයන්ට ඉතා වැදගත් කාර්යභාරයක් පැවරී තිබෙන බව දෙවිගේ සේවකයන් බොහෝ කලක් පුරා දැන සිටිනවා. පුරාණයේ සිටි ගීතිකාකරුවෙක් දෙවිගේ මඟ පෙන්වීම ඇතුව මේ දේවදූතයන්ට මෙසේ උනන්දු කළා. “බල සම්පන්න වූද, යෙහෝවා දෙවිගේ අණට සැමවිට කීකරු වෙමින් ඔහුගේ කැමැත්ත ඉටු කරන්නාවූද ඔහුගේ දේවදූතයෙනි, ඔහුට ප්‍රශංසා කරන්න.” (ගීතාවලිය 103:20, NW) අප දැන් එළිදරව් පොතෙන් සාකච්ඡා කරන්න යන මෙම දර්ශනයේත් දකින්නේ පීඩා සතක් වැගිරවීමට දේවදූතයන්ට ලැබී ඇති පැවරුමයි.
3. පීඩා සතෙන් අදහස් වෙන්නේ මොනවාද? ඒවා වගුරුවනු ලබනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?
3 මෙම පීඩා සතෙන් අදහස් වෙන්නේ මොනවාද? කලින් පිම්බ හොරණෑ සතට සමානව මේවායින් නියෝජනය වෙන්නේ යෙහෝවා දෙවිගේ ප්‍රබල විනිශ්චයයි. ඒවා තුළින් මේ ලෝකයේ විවිධ අංග ගැන දෙවි දරන ආකල්පය සහ ඔහුගේ විනිශ්චය නිසා සියලුදෙනාට අත් වන අවසන් ප්‍රතිඵල ගැන හෙළි වෙනවා. (එළිදරව් 8:1–9:21) එම පීඩා වැගිරවීමෙන් අදහස් කරන්නේ එම විනිශ්චයන් ඇත්තටම ක්‍රියාත්මක වන අවස්ථාවයි. එය සිදු වෙන්නේ යෙහෝවා දෙවිගේ කෝපයට ලක් වන අය ඔහුගේ උදහස් දවසේදී විනාශ වන විටයි. (යෙසායා 13:9-13; එළිදරව් 6:16, 17) ‘ඒවායින් දෙවිගේ කෝපය අවසන් වෙනවා’ කියා පවසන්නේ ඒ නිසයි. නමුත් එම පීඩා වගුරුවන ආකාරය ගැන විස්තර කිරීමට පෙර ඒවා ඇතැම් අයට බලපාන්නේ නැති ආකාරය ගැනත් යොහන් පැහැදිලි කරනවා. මේ අය වන මෘගයාගේ ලකුණ ප්‍රතික්ෂේප කර ඇති නිසා ඔවුන් දෙවිට ළැදිව ඔහුගේ පළිගැනීමේ දවස ගැන ප්‍රකාශ කරමින් ඔහුට ප්‍රශංසා ගී ගායනා කරනවා.—එළිදරව් 13:15-17.
මෝසෙස්ගේ සහ බැටළු පැටවාගේ ගීය
4. යොහන් දැන් දකින්නේ කුමක්ද?
4 යොහන් දැන් ඉතා අලංකාර දර්ශනයක් දකිනවා. “තවද, ගින්දර මිශ්‍ර වූ වීදුරු මෙන් වූ මුහුදක් වැනි යමක් මම දුටිමි. එමෙන්ම, වන මෘගයාගෙන්ද උගේ රූපයෙන්ද උගේ නමෙහි අංකයෙන්ද ජය ලැබූ අය, දෙවිගෙන් ලැබුණු කුඩා වීණා ඇතිව, වීදුරු මෙන් වූ මුහුද ළඟ සිටගෙන සිටිනවාද දුටිමි.”—එළිදරව් 15:2.
5. ‘ගින්දර මිශ්‍ර වූ වීදුරු මෙන් වූ මුහුදෙන්’ පිළිබිඹු වෙන්නේ කුමක්ද?
5 මෙම “වීදුරු මෙන් වූ මුහුද” යොහන් කලින් දෙවිගේ සිංහාසනය ඉදිරිපිට දුටු මුහුදමයි. (එළිදරව් 4:6) මෙම මුහුද සලමොන්ගේ දේවමාලිගාවේ තිබුණු ‘වාත්තු කළ මුහුදට’ (එනම් විශාල වතුර භාජනයට) සමානයි. පූජකයන් ඒ භාජනයේ වතුර යොදාගෙන තමන්ව පවිත්‍ර කරගත්තා. (1 රාජාවලිය 7:23) එයින් කදිමට පිළිබිඹු වෙන්නේ දෙවිගේ ‘වචනය නමැති වතුර’ වන දේවවචනයයි. යේසුස් පූජකයන් ලෙස සේවය කරන්න සිටින අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව පවිත්‍ර කරන්නේ එය මගිනුයි. (එෆීස 5:25, 26; හෙබ්‍රෙව් 10:22) මෙම වීදුරු මුහුදට ‘ගින්දර මිශ්‍ර වී’ තිබෙනවා කීමෙන් අදහස් වෙන්නේ දෙවිගේ උසස් ප්‍රමිතිවලට ඇලී සිටින මෙම අභිෂේක ලත් අයව පරීක්ෂා කර පිරිසිදු කරනු ලබන බවයි. මීට අමතරව දෙවිගේ සතුරන්ට විරුද්ධව දෙවි ප්‍රකාශ කර ඇති ගිනිමය විනිශ්චයන් දේවවචනයේ ඇතුළත් කර ඇති බවත් අපට මතක් කරනවා. (ද්විතීය කතාව 9:3; ශෙපනියා 3:8) මෙම ගිනිමය විනිශ්චයන්වලින් සමහරක් දැන් වගුරුවන්න යන අවසාන පීඩා හත තුළත් දකින්න ලැබෙනවා.
6. (අ) ස්වර්ගයේ වීදුරු මෙන් වූ මුහුද ඉදිරිපිට සිටින ගායකයන් කවුද? අප එසේ පවසන්නේ ඇයි? (ආ) ඔවුන් ‘ජය ලබා’ ඇත්තේ කුමන ආකාරයෙන්ද?
6 සලමොන්ගේ දේවමාලිගාවේ තිබුණු වාත්තු කළ මුහුද භාවිත කළේ පූජකයන්. එයින් පැහැදිලි වෙන්නේ ස්වර්ගයේ වීදුරු මෙන් මුහුද ඉදිරියේ සිටගෙන සිටින ගායකයන් පූජකයන්ට සමාන කාර්යයක් ඉටු කරන බවයි. ඔවුන්ට “දෙවිගේ වීණා” තිබෙනවා. අප කලින් වැඩිමහල්ලන් 24දෙනා හා 1,44,000දෙනා ගැන සාකච්ඡා කරද්දී ඔවුන් වීණා ඇතුව ගායනා කරන බව සාකච්ඡා කළා. එමනිසා මේ ගායකයන් අභිෂේක ලත් අය බව පැහැදිලියි. (එළිදරව් 5:8; 14:2) මේ ගායකයන් “වන මෘගයාගෙන්ද උගේ රූපයෙන්ද උගේ නමෙහි අංකයෙන්ද ජය ලැබූ අය” බවත් යොහන් පවසනවා. එමනිසා මොවුන් 1,44,000දෙනාට අයත් මේ අවසාන කාලයේදී තවමත් පොළොවේ ජීවත් වන අය විය යුතුයි. ඇත්තටම ඔවුන් කණ්ඩායමක් හැටියට ජය ගන්නවා. වර්ෂ 1919 සිට වසර 90ක පමණ කාලයක් පුරා මොවුන් වන මෘගයාගේ ලකුණ ප්‍රතික්ෂේප කර තිබෙනවා. සාමය සඳහා මිනිසාට ඇති එකම බලාපොරොත්තුව වශයෙන් උගේ රූපයද ප්‍රතික්ෂේප කර තිබෙනවා. මේ අයගෙන් බොහෝදෙනෙක් මේ වන විටත් මරණය දක්වාම විශ්වාසවන්තව විඳදරාගෙන ස්වර්ගයට ගොස් තිබෙනවා. ස්වර්ගයේ දැනටමත් සිටින මේ අය පොළොවේ තවමත් ජීවත්ව සිටින තම සහෝදරයන්ගේ මෙම මිහිරි ගායනයට විශේෂ ප්‍රීතියකින් හවුල් වෙනවාට සැකයක් නැහැ.—එළිදරව් 14:11-13.
7. ඉපැරණි ඊශ්‍රායෙලයේ වීණා භාවිත කළේ මොන අවස්ථාවලදීද? යොහන්ගේ දර්ශනයේ දෙවිගේ වීණාවන් දැකීමෙන් අදහස් වෙන්නේ කුමක්ද?
7 මේ ජයග්‍රාහකයන්ට දෙවිගේ වීණාද තිබෙනවා. මේ අන්දමින් බලන විට ඔවුන් පුරාණ දේවමාලිගාවේ සිටි ලෙවීවරුන් වගේමයි. ඔවුන්ද යෙහෝවා දෙවිට නමස්කාර කළේ වීණා ඇතුව ගායනා කිරීමෙන්. සමහර ලෙවීවරුන් අනාවැකි පළ කළේ වීණාව ඇතුව ගායනා කරමිනුයි. (1 ලේකම් 15:16; 25:1-3) ඊශ්‍රායෙල් ජාතිය යෙහෝවා දෙවිට ප්‍රීතියෙන් ගැයූ ප්‍රශංසා ගී, යාච්ඤා හා ස්තුති කිරීම් තවත් අලංකාරවත් වුණේ මෙම මියුරු වීණා නාදය නිසයි. (1 ලේකම් 13:8; ගීතාවලිය 33:2; 43:4; 57:7, 8) ජනතාව මානසිකව වැටී සිටි විට හෝ වහල්ව සිටි විට වීණාවේ හඬ ඇසුණේ නැහැ. (ගීතාවලිය 137:2) මේ දර්ශනයේ දෙවිගේ වීණා දකිනවා කීමෙන් අදහස් වෙන්නේ ඉතාම ප්‍රීතියෙන් දෙවිට ස්තුති ප්‍රශංසා ඇතුළත් ජයග්‍රාහී ගීයක් ගැයීම ගැන අපට අපේක්ෂාවෙන් සිටිය හැකි බවයි.a
8. ගායනා කරන ගීය කුමක්ද? එහි වචන මොනවාද?
8 යොහන් පවසන්නේ මෙයයි. “ඔවුහු, දෙවිගේ දාසයා වූ මෝසෙස්ගේ ගීයද බැටළු පැටවාගේ ගීයද ගයමින් මෙසේ කීවෝය. ‘සර්වපරාක්‍රම තැනැත්තා වන යෙහෝවා දෙවියනි, ඔබේ ක්‍රියා මහත්ය, විස්මයජනකය. සදාකාල රජුනි, ඔබේ මාර්ග ධර්මිෂ්ඨය, සැබෑය. යෙහෝවා, ඔබ පමණක් පක්ෂපාතී තැනැත්තා වන හෙයින් සැබවින්ම ඔබ කෙරෙහි භය ඇතිව නොසිටින්නෙත්, ඔබේ නාමය මහිමයට පත් නොකරන්නෙත් කවුද? ඔබේ ධර්මිෂ්ඨ නියෝග ප්‍රකාශ වී තිබෙන නිසා, සියලු ජාතීන් ඇවිත් ඔබ ඉදිරියෙහි නමස්කාර කරනවා ඇත.’”—එළිදරව් 15:3, 4.
9. මෙම ගීයට “මෝසෙස්ගේ ගීය” කියා පවසන්නේ ඇයි?
9 මෙම ජයග්‍රාහකයන් ගායනා කරන්නේ ‘මෝසෙස්ගේ ගීයයි.’ ඒ කියන්නේ මෝසෙස් විශේෂ අවස්ථාවලදී ගායනා කළ ගීයකට සමාන ගීයක් ඔවුනුත් ගායනා කරනවා. ඊජිප්තුවේ සිදු වූ පීඩා දහයෙන් සහ ඊජිප්තු හමුදාවන් රතු මුහුදේ ගිලී විනාශ වීමෙන් පසු එය දුටු ඊශ්‍රායෙල්වරුන්ට මෝසෙස් දිරිගැන්වූයේ දෙවිට ප්‍රශංසා ගීයක් ගායනා කරන්න කියායි. ඒ ගීයට “යෙහෝවා සදාකල්ම රජකම් කරන්නේය” කියන වචන ඇතුළත් වී තිබුණා. (නික්මයාම 15:1-19) එලෙසම වන මෘගයාගෙන් ජයගෙන, පීඩා සත ගැන ප්‍රකාශ කිරීමේ කාර්යයට හවුල් වී සිටින මෙම දර්ශනයේ සිටින ගායකයන්ද ‘සදාකාලික රජුට’ ප්‍රශංසා ගී ගැයීම ඉතාමත් යෝග්‍යයි.—1 තිමෝති 1:17.
10. මෝසෙස් රචනා කළ අනිත් ගීය කුමක්ද? එහි අවසාන පදය අද මහත් සමූහයට අදාළ වෙන්නේ කෙසේද?
10 ඊශ්‍රායෙල් සෙනඟ කානාන් දේශය අල්ලාගැනීමට සූදානම් වූ කාලයේදී මහලු මෝසෙස් තවත් ගීතයක් රචනා කළා. එතුළින් ඔහු ඔවුන්ට මෙසේ පැවසුවා. “මම යෙහෝවාගේ නාමය ප්‍රකාශ කරන්නෙමි. අපගේ දෙවිට මහන්තත්වය ඇතැයි ප්‍රකාශ කරන්න!” මෙම ගීයේ අවසන් පදයේ “අහෝ ජාතිනි, දෙවිගේ සෙනඟ සමඟ ප්‍රීති වෙන්න” කියා සඳහන් වුණා. ඒ අන්තිම පදය ඊශ්‍රායෙල් නොවන අයටද දිරිගැන්වීමක් වුණා. ඇත්තෙන්ම මෝසෙස් පැවසූ මෙම වචන අද මහත් සමූහයටත් අදාළයි. ඔවුන් සතුටු විය යුත්තේ ඇයි? එයට හේතුව යෙහෝවා දෙවි ‘තම මෙහෙකරුවන්ගේ ලේ ගැන ප්‍රතිඵල දෙමින් තමන් විරුද්ධකාරයන්ගෙන් පළිගන්න’ නිසයි. දෙවිගේ ධර්මිෂ්ඨ විනිශ්චයන් මෙලෙස ක්‍රියාත්මක වන නිසා ඔහු කෙරෙහි බලා සිටින සියලුදෙනාම ඉමහත් ප්‍රීතියක් අද්දකිනවා.—ද්විතීය කතාව 32:3, 43; රෝම 15:10-13; එළිදරව් 7:9.
11. යොහන් ඇසූ ගීයේ සඳහන් දේවල් අද දක්වා ඉටු වෙමින් පවතින්නේ කෙසේද?
11 මෝසෙස් ස්වාමීන්ගේ දවසේ ජීවත් වෙමින් සිටියා නම් ඔහු කොතරම් සතුටු වේවිද! “සියලු ජාතීන් ඇවිත් ඔබ ඉදිරියෙහි නමස්කාර කරනවා ඇත” යන ස්වර්ගික ගීයට ඔහු තම හඬත් එකතු කරනවා නිසැකයි. මේ උතුම් ගීතයේ ඉටුවීම දර්ශනයට පමණක් සීමා වී නැහැ. එය සැබෑ ලෙස අද දක්වාම ඉටු වෙමින් පවතිනවා. අද දින ‘ජාතීන්ගෙන්’ මිලියන ගණනක් යෙහෝවා දෙවිගේ භූමික සංවිධානයට ප්‍රීතියෙන් එක් රොක් වන ආකාරය දැකීමෙන් අපට මෙය පැහැදිලි වෙනවා.
12. ජය ලැබූ මේ අයගේ ගීයට “බැටළු පැටවාගේ ගීය” කියාත් පවසන්නේ ඇයි?
12 නමුත් මෙය මෝසෙස්ගේ පමණක් නොව “බැටළු පැටවාගේ” ගීය කියාත් හඳුන්වා තිබෙනවා. එයට හේතුව? මෝසෙස් කියන්නේ ඊශ්‍රායෙල් ජාතිය වෙනුවෙන් යෙහෝවා දෙවි පත් කළ අනාගතවක්තෘවරයායි. නමුත් මෝසෙස් කිව්වේ තමාට සමාන අනාගතවක්තෘ කෙනෙක්ව ඉදිරියේදී යෙහෝවා දෙවි පත් කරන බවයි. ඒ තැනැත්තා තමයි බැටළු පැටවා වන යේසුස් ක්‍රිස්තුස්. මෝසෙස්ව “දෙවිගේ දාසයා” හැටියට හැඳින්වුවත් යේසුස් දෙවිගේ පුත්‍රයායි. ඔහු තමයි වඩාත් උතුම් මෝසෙස්. (ද්විතීය කතාව 18:15-19; ක්‍රියා 3:22, 23; හෙබ්‍රෙව් 3:5, 6) ගායකයන් “බැටළු පැටවාගේ” ගීය ගායනා කරනවා කියා පවසන්නේ ඒ නිසයි.
13. (අ) යේසුස් මෝසෙස්ට වඩා උතුම් වුණත් ඔහු මෝසෙස්ට සමාන වෙන්නේ කෙසේද? (ආ) මේ ගායකයන්ගේ ගීයට හවුල් වෙන්න අපටත් හැක්කේ කෙසේද?
13 මෝසෙස් මෙන් යේසුස්ද දෙවිට ප්‍රශංසා ගී ප්‍රසිද්ධියේ ගායනා කළා. ඒ වගේම සියලු සතුරන්ට විරුද්ධව දෙවි ජය ලබන අයුරු ගැන අනාවැකි පැවසුවා. (මතෙව් 24:21, 22; 26:30; ලූක් 19:41-44) සියලු ජාතීන් යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන කාලය ගැනත් යේසුස් ආශාවෙන් බලා සිටියා. “දෙවිගේ බැටළු පැටවා” හැටියට යේසුස් ආත්ම පරිත්‍යාගශීලීව තම මිනිස් ජීවිතය පූජා කළේ එයට මඟ උදා කර දීම සඳහායි. (යොහන් 1:29; එළිදරව් 7:9; යෙසායා 2:2-4ද සෙකරියා 8:23ද බලන්න.) ඒ වගේම යෙහෝවා දෙවිගේ නාමයේ අර්ථය පූර්ණ ලෙස තේරුම්ගෙන එය ගෞරවයට පත් කරන්න මෝසෙස් ක්‍රියා කළා සේම යේසුස්ද දෙවිගේ නාමය ප්‍රකාශ කළා. (නික්මයාම 6:2, 3; ගීතාවලිය 90:1, 17; යොහන් 17:6) යෙහෝවා දෙවි තම සේවකයන්ට ළැදි කෙනෙක් වන නිසා ඔහු පොරොන්දු වී ඇති දේ අනිවාර්යයෙන්ම ඉටු කරනවා. එසේනම්, මෙම පක්ෂපාත ගායක පිරිස සමඟත්, බැටළු පැටවා සමඟත්, මෝසෙස් සමඟත් එකට එකතු වී “යෙහෝවා, . . . ඔබ කෙරෙහි භය ඇතිව නොසිටින්නෙත්, ඔබේ නාමය මහිමයට පත් නොකරන්නෙත් කවුද?” යන ගීය හද පිරි භක්තියකින් ගායනා කිරීමට අපිත් හවුල් වෙමු.
බඳුන් අතැතිව සිටින දේවදූතයෝ
14. අතිශුද්ධ ස්ථානයෙන් නික්ම එන්නේ කවුරුන්ද? ඔවුන්ට දෙනු ලබන්නේ කුමක්ද?
14 ජය ලැබූ මෙම අභිෂේක ලත් අයගේ ගීයට අපත් සවන් දීම සුදුසු වෙන්නේ ඔවුන් දෙවිගේ කෝපයෙන් පිරුණු බඳුන්වල අඩංගු විනිශ්චයන් ගැන පොළොව පුරා ප්‍රකාශ කර ඇති නිසයි. නමුත් මෙම බඳුන් වැගිරවීමේ කාර්යයට තවත් අය හවුල් වෙනවා. යොහන් ඔවුන් ගැන මෙසේ පවසනවා. “මේ දේවල්වලට පසු, සාක්ෂි මණ්ඩපයෙහි අතිශුද්ධ ස්ථානය ස්වර්ගයේ ඇරී තිබෙනවා මම දුටිමි. තවද, පීඩා සත ඇතිව සිටි දේවදූතයෝ සත්දෙනා අතිශුද්ධ ස්ථානයෙන් නික්ම ආවෝය. ඔවුහු පිරිසිදු, දීප්තිමත් හණ වස්ත්‍ර පැළඳ, රන් පටිවලින් ළය බැඳගෙන සිටියෝය. එවිට, ජීවීන් සතරදෙනාගෙන් එක් කෙනෙක්, සදාකාලයෙන් සදාකාලයට ජීවත් වන දෙවිගේ කෝපයෙන් පිරුණු රන් බඳුන් සතක් දේවදූතයන් සත්දෙනාට දුන්නේය.”—එළිදරව් 15:5-7.
15. දේවදූතයන් හත්දෙනා නික්ම එන්නේ අතිශුද්ධ ස්ථානයෙන් කියා පැවසීම ගැන අප පුදුම නොවිය යුත්තේ ඇයි?
15 පුරාණ ඊශ්‍රායෙලයේ තිබූ දේවමාලිගාවෙන් ස්වර්ගයේ තිබෙන දේවල් නියෝජනය වන බව අපි කලින් සාකච්ඡා කළා. උදාහරණයකට අතිශුද්ධ ස්ථානය තුළට ඇතුල් වෙන්න අවසර තිබුණේ උත්තම පූජකයාට පමණයි. (හෙබ්‍රෙව් 9:3, 7) මෙම අතිශුද්ධ ස්ථානයෙන් යෙහෝවා දෙවි ඉදිරියේම ස්වර්ගයේ පෙනී සිටීම අදහස් කරනවා. නමුත් ස්වර්ගයේ යෙහෝවා දෙවි ඉදිරියේ පෙනී සිටින්නේ උත්තම පූජක යේසුස් ක්‍රිස්තුස් පමණක් නෙවෙයි. සියලුම දේවදූතයන්ටත් ඒ වරප්‍රසාදය ලැබෙනවා. (මතෙව් 18:10; හෙබ්‍රෙව් 9:24-26) එසේනම්, මෙම දේවදූතයන් සත්දෙනා නික්ම එන්නේ ස්වර්ගයේ පිහිටි මෙම ‘අතිශුද්ධ ස්ථානයෙන්’ කියා පැවසීම ගැන අප පුදුම විය යුතු නැහැ. ඔවුන්ගේ පැවරුම යෙහෝවා දෙවිගෙන්ම ලැබුණු එකක්. ඒ පැවරුම නම් දෙවිගේ කෝපයෙන් පිරුණු බඳුන් වත් කිරීමයි.—එළිදරව් 16:1.
16. (අ) මෙම කාර්යය සඳහා දේවදූතයන් සත්දෙනා සුදුසුයි කියා ඔප්පු වෙන්නේ කුමකින්ද? (ආ) මෙම සංකේතවත් බඳුන් වත් කිරීමේ කාර්යයට තවත් අය හවුල් වී සිටින බව අපි දන්නේ කෙසේද?
16 මෙම කාර්යය සඳහා දේවදූතයන් සත්දෙනා ඉතා සුදුසු තත්වයක සිටිනවා. ඔවුන් පැළඳ සිටින්නේ ඉතා පිරිසිදු, දීප්තිමත් හණ වස්ත්‍රයි. ඉන් අදහස් කරන්නේ ඔවුන් යෙහෝවා දෙවි ඉදිරියේ පිරිසිදු, ශුද්ධ සහ ධර්මිෂ්ඨ තත්වයක සිටින බවයි. ඔවුන් රන් පටිවලිනුත් ළය බැඳගෙන සිටිනවා. සාමාන්‍යයෙන් කෙනෙක් තම ළය වටා පටියක් බැඳගන්නේ යම් කාර්යයක් සිදු කිරීම සඳහායි. (ලෙවී කතාව 8:7, 13; 1 සාමුවෙල් 2:18; ලූක් 12:37; යොහන් 13:4, 5) එසේනම් මෙම දේවදූතයනුත් සූදානම් වී සිටින්නේ යම් පැවරුමක් ඉටු කිරීමටයි. ඔවුන්ගේ පටි සාදා තිබෙන්නේ රන්වලිනුයි. ඊශ්‍රායෙලයේ පිහිටි මණ්ඩපයේ රන් භාවිත කළේ ස්වර්ගයේ ඇති දේවල් විස්තර කිරීමටයි. (හෙබ්‍රෙව් 9:4, 11, 12) එසේනම් මෙම දේවදූතයන්ට පැවරී ඇති දේ දෙවිගෙන් ලද ඉතා වටිනා කාර්යයක් බව පැහැදිලියි. මෙම වැදගත් කාර්යයට තවත් අයත් හවුල් වී සිටිනවා. උදාහරණයකට දේවදූතයන් සත්දෙනාට බඳුන් සත ලබා දෙන්නේ ජීවීන් හතරදෙනාගෙන් කෙනෙකුයි. මෙම බඳුන් ලබා දෙන්නේ සිංහයෙකුගේ පෙනුමක් ඇති මුල්ම ජීවියා කියා සිතිය හැකියි. මන්ද යෙහෝවා දෙවිගේ විනිශ්චයන් ප්‍රකාශ කිරීමට නිර්භීතකම සහ නොපසුබසිනා ධෛර්යයක් තිබීමේ අවශ්‍යතාව එම ජීවියාගෙන් සංකේතවත් කරන නිසයි.—එළිදරව් 4:7.
ශුද්ධස්ථානයේ සිටින යෙහෝවා දෙවි
17. අතිශුද්ධ ස්ථානය ගැන යොහන් අපට පවසන්නේ කුමක්ද? මෙයින් අපට සිහිගන්වන්නේ ඊශ්‍රායෙල් ශුද්ධස්ථානයේ මොන සිදුවීම්ද?
17 දර්ශනයේ මෙම අදියර අවසන් කරමින් යොහන් මෙසේ පවසනවා. “දෙවිගේ තේජස නිසාත් ඔහුගේ බලය නිසාත් අතිශුද්ධ ස්ථානය දුමෙන් පිරුණේය. දේවදූතයන් සත්දෙනාගේ පීඩා සත නිම වන තුරු අතිශුද්ධ ස්ථානයට ඇතුල් වන්නට කිසිවෙකුටවත් නොහැකි විය.” (එළිදරව් 15:8) ඊශ්‍රායෙල් ජාතියේ ඉතිහාසය දෙස බලද්දී ශුද්ධස්ථානය වලාකුළකින් වැසී ගිය අවස්ථා කිහිපයක්ම අපගේ මතකයට නැඟෙනවා. මෙම වලාකුළ නිසා පූජකයන්ට ශුද්ධස්ථානයට ඇතුල් වෙන්න බැරි වුණා. එයින් සංකේතවත් කළේ යෙහෝවා දෙවිගේ තේජස්ශ්රීයයි. (1 රාජාවලිය 8:10, 11; 2 ලේකම් 5:13, 14; යෙසායා 6:4, 5ද බලන්න.) එවැනි දෙයක් සිදුවීමෙන් පැහැදිලි වුණේ පොළොවේ සිදු වන දේවලට දෙවි කෙළින්ම සම්බන්ධ වී සිටින බවයි.
18. දේවදූතයන් සත්දෙනා තමන් කළ දේ ගැන යෙහෝවා දෙවිට දැනුම් දෙන්න හැරී යන්නේ මොන අවස්ථාවේදීද?
18 පොළොවේ දැන් සිදු වන දේ ගැන යෙහෝවා දෙවිට දැඩි උනන්දුවක් තිබෙනවා. ඒ නිසා දේවදූතයන් සත්දෙනා තම කාර්යය නිම කරනවා දකින්න ඔහු කැමැත්තෙන් සිටිනවා. අප සිටින්නේ ඉතා තීරණාත්මක විනිශ්චයක් සිදු වන කාලයකයි. ඒ ගැන ගීතාවලිය 11:4-6හි මෙසේ සඳහන් වෙනවා. “යෙහෝවා දෙවි ඔහුගේ ශුද්ධ මාලිගාවේ සිටියි. යෙහෝවා දෙවිගේ සිංහාසනය ස්වර්ගයේය. ඔහු මනුෂ්‍ය පුත්‍රයන් දෙස බලා ඔවුන්ව සෝදිසි කරන්නේය. යෙහෝවා දෙවි ධර්මිෂ්ඨයාව මෙන්ම දුෂ්ටයාවද සෝදිසි කර බලන්නේය. සැහැසියාවට කැමැත්තක් දක්වන අයට ඔහු ද්වේෂ කරයි. ඔහු උගුල්ද ගින්දරද ගෙන්දගම්ද වර්ෂාව මෙන් දුෂ්ටයන් පිටට වැටෙන්න සලස්වයි. ඔවුන්ට ලැබෙන විපාකය ගිනිමය සුළඟකි.” [NW] මෙම දේවදූතයන් සත්දෙනා යෙහෝවා දෙවි වෙතට හැරී යන්නේ දුෂ්ටයන් පිට මෙම පීඩා සත වැගිරවීමෙන් අනතුරුවයි.
19. (අ) නිකුත් වෙන්නේ කුමන ආඥාවද? එය නිකුත් කරන්නේ කවුද? (ආ) සංකේතවත් බඳුන් වත් කිරීමේ කාර්යය ආරම්භ වෙන්න ඇත්තේ කවදාද?
19 දැන් ඉතා ප්‍රබල ආඥාවක් නිකුත් වෙනවා. “තවද, ‘ගොස්, දෙවිගේ කෝපයෙන් පිරුණු බඳුන් සත පොළොවට වත් කරන්න’ යයි දේවදූතයන් සත්දෙනාට කියන මහත් හඬක් අතිශුද්ධ ස්ථානයෙන් මට ඇසුණේය.” (එළිදරව් 16:1) මේ ආඥාව නිකුත් කරන්නේ කවුද? අතිශුද්ධ ස්ථානය යෙහෝවා දෙවිගේ මහිමයෙන් හා බලයෙන් පිරුණායින් පසු කිසිම කෙනෙකුට එයට ඇතුල් වෙන්න නොහැකි වූ ආකාරය අප කලින් දැනගත්තා. එමනිසා ඒ ආඥාව නිකුත් කරන්නේ අතිශුද්ධ ස්ථානයේ සිටින යෙහෝවා දෙවිම බව පැහැදිලියි. එම ආඥාව නිකුත් වුණේ කවදාද? යෙහෝවා දෙවි තම සංකේතවත් දේවමාලිගාව විනිශ්චය කිරීමට පැමිණියේ 1918දීයි. (මලාකි 3:1-5) එසේනම් දෙවිගේ කෝපය නමැති බඳුන් වත් කිරීමට ඔහු ආඥාව නිකුත් කළේ ඉන් කෙටි කලකට පසුව විය යුතුයි. මෙම සංකේතවත් බඳුන්වල අඩංගු විනිශ්චයන් ඉතා තදින් ප්‍රකාශ කිරීමට පටන්ගත්තේ 1922දීයි. එම ප්‍රකාශයේ හඬ අද දින දක්වා එන්න එන්නම වැඩි වෙමින් පවතිනවා.
බඳුන් සත සහ හොරණෑ සත
20. යෙහෝවා දෙවිගේ කෝපයෙන් පිරුණු බඳුන්වලින් හෙළි වෙන්නේ කුමක්ද? ඒවා අනතුරු අඟවන්නේ කුමක් ගැනද? ඒවා වත් කරන්නේ කෙසේද?
20 යෙහෝවා දෙවිගේ කෝපයෙන් පිරුණු බඳුන්වලින් මෙම ලෝකයේ විවිධ අංග ගැන දෙවි දරන ආකල්පය හෙළි වෙනවා. ඒ වගේම දෙවි ඉදිරියේදී කරන්න යන විනිශ්චය ගැනත් එමගින් අනතුරු අඟවනවා. දේවදූතයන් මෙම සංකේතවත් බඳුන් වත් කරන්නේ පොළොව මත සිටින අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගේ සභාව මාර්ගයෙනුයි. එනම් මෝසෙස්ගේද බැටළු පැටවාගේද ගීය ගායනා කරන අය මාර්ගයෙනුයි. රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කරමින් මෙම යොහන් පන්තිය, දෙවිගේ කෝපයෙන් පිරුණු මෙම බඳුන්වල අඩංගු දෙවිගේ විනිශ්චයන් නිර්භීතව ප්‍රකාශ කර තිබෙනවා. (මතෙව් 24:14; එළිදරව් 14:6, 7) ඔවුන් දේශනා කරන පණිවුඩය පැති දෙකකින් යුක්තයි. එක් පැත්තකින් එය මිනිස් වර්ගයාට ගැලවීමේ හා සාමයේ පණිවුඩයක්. අනෙක් පැත්තෙන් “අපේ දෙවිගේ පළිගැනීමේ දවස” ගැන අනතුරු අඟවන නිසා එය යුධමය පණිවුඩයක්ද වෙනවා.—යෙසායා 61:1, 2.
21. දෙවිගේ කෝපයෙන් පිරුණු මුල් බඳුන් සතර කලින් පිඹින ලද මුල් හොරණෑ සතරට සමාන වෙන්නේ කෙසේද? ඒවා වෙනස් වෙන්නේ කොයි ආකාරයෙන්ද?
21 දෙවිගේ කෝපයෙන් පිරුණු මුල් බඳුන් සතර කලින් පිඹින ලද මුල් හොරණෑ සතරට යම් සමානකමක් දක්වනවා. එයට හේතුව ඒ දෙකෙන්ම ඉලක්ක වී තිබුණේ පොළොව, මුහුද, ගංගා, ජල උල්පත් සහ ඉර සඳ තරු වන නිසයි. (එළිදරව් 8:1-12) නමුත් ඒ හොරණෑ සතර පිඹීමෙන් ඇති වූ පීඩා බලපෑවේ ඒවායින් ‘තුනෙන් කොටසකට’ පමණයි. නමුත් දෙවිගේ කෝපයෙන් පිරුණු බඳුන් වත් කිරීම සිදු වෙන්නේ ඊට වඩා වෙනස්වයි. එම බඳුන් වත් කරන්නේ ඒවායින් කොටසකට පමණක් නොව නමුත් ඒවාට සම්පූර්ණයෙන්ම බලපාන ලෙසටයි. මේ හා සමානව ස්වාමීන්ගේ දවසේදී දෙවිගේ විනිශ්චයන් මුලින්ම ප්‍රකාශ කළේ ‘තුනෙන් කොටස’ වූ ක්‍රිස්තියානියයි කියාගත් පල්ලි සමූහයට විරුද්ධව පමණයි. නමුත් යෙහෝවා දෙවිගේ ප්‍රබල විනිශ්චයන් සහ ඒවායින් අත් වන දරුණු විපාක ගැන සාතන්ගේ මුළු මහත් දුෂ්ට ලෝකයටම ප්‍රකාශ කර තිබෙනවා. ඒ නිසා මුළු ලෝකයටම දැඩි පීඩා විඳින්න සිදු වී තිබෙනවා.
22. පිඹින ලද අවසාන හොරණෑ තුන කලින් සතරට වඩා වෙනස් වෙන්නේ කෙසේද? ඒවා යෙහෝවා දෙවිගේ කෝපයෙන් පිරුණු අවසන් බඳුන් තුනට යම් ආකාරයකින් සමාන වෙන්නේ කෙසේද?
22 පිඹින ලද අවසාන හොරණෑ තුන කලින් සතරට වඩා වෙනස්. ඒවා හඳුන්වනු ලැබුවේ දුක් තුනක් ලෙසයි. (එළිදරව් 8:13; 9:12) පළමු දුක් දෙකට ඇතුළත් වුණේ පළඟැටියන් සහ අශ්වාරෝහක හමුදාවන්. තුන්වන දුකෙන් ප්‍රකාශ වුණේ යෙහෝවා දෙවිගේ රාජ්‍යයේ බිහිවීම ගැනයි. (එළිදරව් 9:1-21; 11:15-19) දෙවිගේ කෝපයෙන් පිරුණු මෙම අවසන් බඳුන් තුනත් මේ දුක් තුනට යම් ආකාරයකින් සමානයි. එයට හේතුව ඒ දුක් තුනේ ඇතැම් අංග ඒවා තුළින් පිළිබිඹු වන නිසයි. නමුත් මෙහි වෙනස් පැතිත් තිබෙනවා. යෙහෝවා දෙවිගේ කෝපයෙන් පිරුණු මෙම බඳුන් වත් කරන විට එළිදරව් වන දේවලට අපි දැන් කිට්ටු අවධානයක් දෙමු.
[පාදසටහන]
a වර්ෂ 1921දී යොහන් පන්තිය බයිබලය පාඩම් කිරීම සඳහා පොතක් නිකුත් කළා. (Harp of God, දෙවිගේ වීණාව) එය භාෂා 20කට වැඩියෙන් පිටපත් මිලියන 20කට වඩා බෙදාහැරියා. එහි ප්‍රතිඵලයක් ලෙස තවත් අභිෂේක ලත් ගායකයන්ව එකතු කරන්න හැකි වුණා.