පරිච්ඡේදය 7
මුලින් තිබූ ඔබේ ප්‍රේමය නැවත ඇති කරගන්න!
එෆීස
1. යේසුස්ගේ පළමු පණිවුඩය යවනු ලැබුවේ කොයි සභාවටද? ඔහු එහි අවේක්ෂකයන්ට සිහිගන්වන්නේ කුමක් ගැනද?
යේසුස් පළමුවෙන්ම අමතන්නේ එදා පැවති එෆීස සභාවටයි. එෆීසය පැට්මොස් දූපතට යාබදව කුඩා ආසියාවේ වෙරළාසන්නයේ පිහිටි සමෘද්ධිමත් නගරයක්. යේසුස් යොහන්ට මෙසේ අණ කරනවා. “එෆීසයෙහි පිහිටි සභාවේ දූතයාට මෙසේ ලියන්න: තම දකුණතෙහි තාරකා සත දරන්නාවූ, රන් පහන් රුක් සත මැද ඇවිදින්නාවූ තැනැත්තා මේ කාරණා කියන්නේය.” (එළිදරව් 2:1) යේසුස්ගේ අනෙක් පණිවුඩ හයේදී මෙන්ම, මෙහිදීත් ඔහු දෙවිගෙන් තමන්ට ලැබී ඇති පුළුල් බලතලවලට අයත් එක පැත්තක් ගැන අවධාරණය කරනවා. එය කුමක්ද? සියලුම වැඩිමහල්ලන් තමාගේ අධීක්ෂණය හා රැකවරණය යටතේ සිටින බවත්, තමන් සියලුම සභාවන් සෝදිසි කරන බවත් යේසුස් එෆීසයේ වැඩිමහල්ලන්ට සිහිගන්වනවා. එදා පටන් අප ජීවත් වන මේ කාලය දක්වාම ඇති සභාවන් යේසුස්ගේ ප්‍රේමණීය අධීක්ෂණය යටතේ පවතිනවා. එමෙන්ම ඔහු වැඩිමහල්ලන්ව රැකබලා ගනිමින් සභාව සමඟ ඇසුරු කරන සියලුදෙනාටම ඇදහිල්ල ශක්තිමත් කරගැනීමට අවශ්‍ය පෝෂණය දී තිබෙනවා. කාරණා වඩාත් පැහැදිලිව තේරුම්ගත හැකි වන පරිද්දෙන් සභාවේ සැලැස්ම සම්බන්ධව ඔහු කලින් කලට යම් සකස් කිරීම්ද කර තිබෙනවා. යේසුස් මේ සියල්ල කරන්නේ දෙවිගේ රැළ බලාගන්නාවූ ප්‍රධාන එඬේරා ඔහු වන නිසයි.—මතෙව් 11:28-30; 1 පේතෘස් 5:2-4.
2. (අ) යේසුස් එෆීස සභාවට ප්‍රශංසා කළේ ඔවුන් කළ කුමන යහපත් ක්‍රියා නිසාද? (ආ) එෆීස වැඩිමහල්ලන් කීකරු වූ බව පෙනී යන්නේ පාවුල් දුන් කිනම් උපදෙසටද?
2 යේසුස් පණිවුඩ යැවූ සභා සතෙන් පහකටම ප්‍රශංසා කරනවා. එෆීස සභාව ඉන් එකක්. “ඔබේ ක්‍රියාද, ඔබේ වෙහෙසීමද, විඳදරාගැනීමද මම දනිමි. නපුරු මිනිසුන්ට ඔබ අකමැති බවද මම දනිමි. එමෙන්ම, ප්‍රේරිතයන් නොවන නමුත් තමන් ප්රේරිතයන්යයි කියාගන්නා අයව ඔබ සෝදිසි කර බලා, ඔවුන් බොරුකාරයන්යයි දැනගත් බවද මම දනිමි. තවද, විඳදරාගැනීම විදහාපෙන්වමින් ඔබ මාගේ නාමය උදෙසා බොහෝ දේ ඉවසා ඇතත් ඔබ විඩාවට පත් වූයේ නැත.” (එළිදරව් 2:2, 3) මීට වසර ගණනාවකට පෙර “රෞද්‍ර වෘකයන්” හෙවත් රැළට බාධා කරන කැරලිකරුවන් ගැන පාවුල් එෆීස වැඩිමහල්ලන්ට අනතුරු අඟවා තිබුණා. මේ නිසා තමාව ආදර්ශයට ගෙන වෙහෙස නොබලා ‘අවදිව සිටින’ ලෙසත් ඔහු උනන්දු කර තිබුණා. (ක්‍රියා 20:29, 31) ඔවුන් පාවුල් දුන් ඒ උපදෙස අදාළ කරගත් බව පැහැදිලියි. එම වැඩිමහල්ලන් විඩාවට පත් නොවී බොහෝ දේ විඳදරාගත් බව පවසමින් යේසුස් දැන් ඔවුන්ට ප්‍රශංසා කරන්නේ එනිසයි.
3. (අ) ‘බොරු ප්‍රේරිතයන්’ අපගේ කාලයේදී ඇදහිලිවන්තයන්ව මුළා කිරීමට තැත් කර තිබෙන්නේ කෙසේද? (ආ) ඇදහිල්ලට විරුද්ධව කැරලිගසන මේ අය ගැන පේතෘස් දුන් අවවාදය කුමක්ද?
3 ස්වාමීන්ගේ දවස වන මේ කාලයෙත්, ‘තමන් අනුව යෑමට ගෝලයන් ඇදගන්නා, විකෘති දේවල් පවසන’ “බොරු ප්‍රේරිතයෝ” මතු වී තිබෙනවා. (2 කොරින්ති 11:13; ක්‍රියා 20:30; එළිදරව් 1:10) විවිධ මත දරන ආගමික නිකායන් රැසක් තිබුණත් ඔවුන් කියන්නේ හැම ආගමකින්ම යහපතක් ඉටු වන බවයි. දෙවිට සංවිධානයක් තිබෙන බවවත් යේසුස් 1914දී ස්වර්ගයේ රජ වූ බවවත් ඔවුන් පිළිගන්නේ නැහැ. ඇත්තටම 2 පේතෘස් 3:3, 4හි ඇති අනාවැකිය ඔවුන් සම්බන්ධයෙන් ඉටු වී තිබෙනවා. ඒ අනාවැකිය මෙයයි. “අන්තිම දවස්වලදී, සමච්චල් කරන්නෝ සමච්චල් කරමින් පැමිණෙන්නෝය. ඔවුහු තමුන්ගේම ආශාවන් අනුව හැසිරෙමින්, ‘පොරොන්දු වූ ඔහුගේ පැමිණ සිටීමට කුමක් වීද? මන්ද අපේ මුතුන්මිත්තන් මැරුණායින් පසුවත්, සියලු දේ මැවීමේ පටන්ගැන්මේ සිට නොවෙනස්ව තවමත් එලෙසම තිබෙන්නේය’ යි කියන්නෝය.”
4. (අ) සරදම් කරන්නන්ගේ උඩඟුකම සහ කැරලිකාරකම අප දකින්නේ කෙසේද? (ආ) එදා එෆීසයේ සිටි අය මෙන් අද දින සිටින ක්‍රිස්තියානීනුත් බොරුකාරයන් සම්බන්ධයෙන් ගන්නේ කිනම් පියවරද?
4 තම ඇදහිල්ල ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ යුතුයි යන අදහසට මෙම සමච්චල් කරන්නෝ විරුද්ධ වෙනවා. (රෝම 10:10) ඒ වගේම පල්ලිවල පූජකයන්ගේද, පුවත්පත් වාර්තාකරුවන්ගේද, රූපවාහිනි ආයතනවලද සහය ඇතුව තමන් කලින් ඇසුරු කළ සැබෑ ක්‍රිස්තියානීන් ගැන ඔවුන් බොරු පතුරුවනවා. මේ අයගේ කතාවෙන් සහ හැසිරීමෙන් මොවුන් බොරුකාරයන් බව ඇදහිලිවන්තයන්ට වැඩි කල් නොගොස් තේරුම් යනවා. එදා එෆීස සභාවේ සිටි අය මෙන් අදත් ක්‍රිස්තියානීන් “නපුරු මිනිසුන්ට අකමැති” නිසා ඔවුන්ව සභා සාමාජිකත්වයෙන් ඉවත් කරනවා.a
5. (අ) යේසුස් පැවසූ ලෙස, එෆීසවරුන්ට තිබූ දුර්වලකම කුමක්ද? (ආ) එෆීසවරුන් මතක තබාගත යුතුව තිබුණේ කිනම් වචනද?
5 සභා සතෙන් පහකටම යම් බැරෑරුම් ගැටලු තිබුණා. දැන් යේසුස් එෆීස සභාවේ තිබූ ගැටලුව ගැන සඳහන් කරමින් මෙසේ කියනවා. “එහෙත්, ඔබට විරුද්ධව මට කාරණාවක් ඇත. මුලින් තිබූ ඔබේ ප්‍රේමය ඔබ අත්හැරියෙහිය.” (එළිදරව් 2:4) මුලින් තිබූ ඔවුන්ගේ ප්‍රේමය අත්හැරීම සුදුසු දෙයක් වූයේ නැහැ. මීට වසර 35කට පෙර ‘දෙවි, අපට පෙන්වූ මහත් ප්‍රේමය’ ගැන පාවුල් ඔවුන්ට ලියා තිබුණා. ඔහු ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ, “ඔබ ප්‍රේමණීය දරුවන් වන බැවින් දෙවිව අනුකරණය කරන්නන් වන්න. ක්‍රිස්තුස් . . . ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් ප්‍රේමයෙන් යුක්තව ගමන් කරන්න” කියායි. (එෆීස 2:4; 5:1, 2) ඒ විතරක් නෙමෙයි ඔවුන්ගේ හදවත්වල නොමැකී තිබිය යුතු තවත් දෙයක් වුණේ යේසුස් කී මේ වචනයි. “අපේ දෙවි වන යෙහෝවා, එකම යෙහෝවාය. ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ද ඔබේ මුළු ජීවිතයෙන්ද ඔබේ මුළු මනසින්ද ඔබේ මුළු ශක්තියෙන්ද ප්‍රේම කරන්න.” (මාක් 12:29-31) නමුත් එෆීසවරුන් ඔවුන්ට මුලින් තිබූ ප්‍රේමය නැති කරගෙනයි තිබුණේ.
6. (අ) අපි සභාවේ බොහෝ කල් සිටින අය වුණත් නවකයන් වුණත් අප ආරක්ෂා විය යුත්තේ කිනම් අන්තරායෙන් සහ වැරදි නැඹුරුවාවන්වලින්ද? (ආ) දෙවි සඳහා අපට ඇති ප්‍රේමය අපව කුමක් කිරීමට පෙලඹිය යුතුද?
6 අපට මින් ගත හැකි පාඩම කුමක්ද? අපි සත්‍යය තුළ බොහෝ කාලයක් සිටින අය වුණත්, නවකයන් වුණත්, යෙහෝවා දෙවි ගැන මුලින් තිබූ ප්‍රේමය අප කිසිවිටෙකත් නැති කර නොගත යුතුයි. මේ මුල් ප්‍රේමය නැති වෙන්න පුළුවන් කොහොමද? අපි අපේ රැකියාවට, වැඩියෙන් මුදල් හම්බ කිරීමට හෝ විනෝදයට ඕනෑවට වඩා ඇලුම්කමක් දක්වන්න ඉඩ තිබෙනවා. ඒවා අපේ ජීවිතයේ වඩාත් වැදගත් දේවල් බවට පත් වෙන්න පුළුවන්. අප දෙවිගේ මඟ පෙන්වීමට අනුව ජීවිතය සකස් කරගන්නා පුද්ගලයන් වෙනවාට වඩා අපේම ආශාවන් පසුපස යන පුද්ගලයන් බවට පත් වෙන්න පුළුවන්. (රෝම 8:5-8; 1 තිමෝති 4:8; 6:9, 10) අපිටත් එවැනි වැරදි නැඹුරුවාවන් තිබෙනවා නම්, අපි ඉක්මනින්ම ඒවා හරිගස්සා ගනිමු. ඒ සඳහා අප පෙලඹෙන්නේ යෙහෝවා දෙවි සඳහා අපට තිබෙන ප්‍රේමය නිසයි. ඒ වගේම ‘ස්වර්ගයේ වස්තු රැස් කරගැනීම’ සඳහා අපි ‘පළමුව දෙවිගේ රාජ්‍යයත් ඔහුගේ ධර්මිෂ්ඨකමත් නොකඩවාම සොයමු.’—මතෙව් 6:19-21, 31-33.
7. (අ) යෙහෝවා දෙවිට සේවය කරන්න අප පෙලඹිය යුත්තේ කුමක් නිසාද? (ආ) ප්‍රේමය ගැන යොහන් කීවේ කුමක්ද?
7 අපි හැමවිටම යෙහෝවා දෙවිට සේවය කරන්න පෙලඹෙන්නේ අපේ සිත්වල දෙවිට ගැඹුරු ප්‍රේමයක් ඇති නිසයි. යෙහෝවා දෙවි සහ යේසුස් ක්‍රිස්තුස් අප වෙනුවෙන් කොතරම් දේ කර තිබෙනවාද! ඒ සැම දෙයකටම අපි දෙවිට කොතරම් ණයගැතිද! යොහන්ම පසුව ඒ හා සමාන අදහසක් තමා ලියූ ලිපියක මෙසේ සඳහන් කළා. “එම ප්‍රේමයෙන් අදහස් වන්නේ, අප දෙවිට ප්‍රේම කළ බව නොව, ඔහු අපට ප්‍රේම කර අපේ පාප උදෙසා සමඟි කිරීමේ පූජාවක් ලෙස තමාගේ පුත්‍රයාව එවූ බවය.” යොහන් මෙසේද සඳහන් කළා. “දෙවි ප්‍රේමයය. ප්‍රේමයෙහි පවතින්නා දෙවි සමඟ එක්සත්ව සිටියි. දෙවිද ඔහු සමඟ එක්සත්ව සිටියි.” ඒ නිසා යෙහෝවා දෙවිටත්, අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ටත්, එමෙන්ම දෙවිගේ ජීවමාන වචනය වන බයිබලයටත් අප තුළ ඇති ප්‍රේමය කිසිවිටෙකත් හීන වී යෑමට අපි ඉඩ නොදෙමු. අපට තිබෙන මෙම ප්‍රේමය දෙවිට උද්යෝගයෙන් සේවය කිරීමෙන් පමණක් නොව ‘දෙවිට ප්‍රේම කරන තැනැත්තා තම සහෝදරයාටත් ප්‍රේම කළ යුතුය යන ඔහුගෙන් ලැබුණු ආඥාවට’ කීකරු වීමෙන්ද පෙන්වමු.—1 යොහන් 4:10, 16, 21; හෙබ්‍රෙව් 4:12; 1 පේතෘස් 4:8ද, කොලොස්සි 3:10-14ද එෆීස 4:15ද බලන්න.
“මුලින් කළ ක්‍රියා නැවත කරන්න”
8. එෆීසවරුන් ක්‍රියා කළ යුතු ආකාරය ගැන යේසුස් පැවසුවේ කුමක්ද?
8 එෆීසවරුන්ට දෙවිගේ අනුමැතිය අහිමි කර නොගන්න නම්, එම මුලින් තිබූ ප්‍රේමය නැවතත් ඇති කරගන්න ඔවුන්ට අවශ්‍ය වුණා. යේසුස් ඔවුන්ට මෙහෙම කිව්වා. “එබැවින්, ඔබ පහත වැටී සිටින්නේ කුමකින්දැයි සිහි කර, පසුතැවිලි වී, මුලින් කළ ක්‍රියා නැවත කරන්න. ඔබ එසේ නොකළොත්, මම ඔබ වෙතට ඇවිත් ඔබ පසුතැවිලි නොවෙනවා නම් ඔබේ පහන් රුක එය තිබෙන තැනින් ඉවත් කරන්නෙමි.” (එළිදරව් 2:5) එෆීසයේ ක්‍රිස්තියානීන් මීට ප්‍රතිචාර දැක්වූයේ කෙසේද? ඒ ගැන අපි දන්නේ නැහැ. නමුත් ඔවුන් පසුතැවිලි වී නැවතත් යෙහෝවා දෙවි කෙරෙහි තිබූ ප්‍රේමය ඇති කරගන්න ඇතැයි කියා අපි හිතනවා. ඔවුන් එහෙම නොකළා නම්, ඔවුන්ගේ පහන නිවී ගොස් ඔවුන්ගේ පහන් රුක ඉවත් කරන්න ඉඩ තිබුණා. මේ අනුව සත්‍යයේ ආලෝකය විහිදුවීමට තිබූ වරප්‍රසාදය ඔවුන්ට අහිමි වෙන්න ඉඩ තිබුණා.
9. (අ) යේසුස් එෆීසවරුන්ට දුන් දිරිගැන්වීම කුමක්ද? (ආ) යොහන්ගේ කාලයට පසුව පැවති සභාවන් මේ උපදෙසට කීකරු වීමට අසමත් වූයේ ඇයි?
9 එහෙත්, යේසුස් එෆීසවරුන්ට මේ දිරිගැන්වීමත් දුන්නා. “එහෙත්, ඔබ මේ දේ ගැන නම් හොඳින් ක්‍රියා කර තිබේ. එනම්, මා වෛර කරන නිකලායස්ගේ නිකායේ ක්‍රියාවලට ඔබත් වෛර කරන්නෙහිය.” (එළිදරව් 2:6) ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් මෙන් ඔවුන්ද නිකායන්වලට බෙදීම පිළිකුල් කළා. නමුත් යොහන්ගේ කාලයට පසුව පැවති සභාවන් යේසුස්ගේ එම වචනවලට කීකරු වෙන්න අසමත් වුණා. යෙහෝවා දෙවි කෙරෙහිත් සත්‍යය කෙරෙහිත් එකිනෙකා කෙරෙහිත් ඇති ප්‍රේමය නැති කරගත් නිසා මේ අයට දෙවි පිළිබඳ නිවැරදි අවබෝධය අහිමි වුණා. එහි ප්‍රතිඵලය වුණේ බෙදුණු නිකායන් ගණනාවක් ඇති වී එකිනෙකා සමඟ දබර කරගැනීමයි. බයිබලය පිටපත් කළ “ක්‍රිස්තියානි” යයි කියාගත් පිටපත්කරුවන් යෙහෝවා දෙවි කෙරෙහි කිසිම ප්‍රේමයක් නැති නිසා ග්‍රීක බයිබල් පිටපත්වලින් දෙවිගේ ශුද්ධ නාමය ඉවත් කර දැමුවා. ඒ වගේම නිරාගින්න, ශුද්ධගිනිස්ථානය, ත්‍රිත්වය වැනි බැබිලෝනීය සහ ග්‍රීක මූලධර්ම ක්‍රිස්තියානි ඉගැන්වීම් හැටියට උගන්වන්නට පටන්ගත්තා. දෙවි සඳහා සහ සත්‍යය සඳහා ඔවුන්ට කිසිම ඇල්මක් නොතිබුණු නිසා දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යයද ඔවුන් නතර කළා. ඒ වෙනුවට ආත්මාර්ථකාමී පූජක පන්තියක් ඔවුන් කෙරෙහි තම අණසක පතුරුවන්න පටන්ගත්තා. ඔවුන් කළේ තමන්ගේම රාජ්‍යයක් මේ පොළොව මත පිහිටුවාගැනීමයි.—1 කොරින්ති 4:8ද බලන්න.
10. වර්ෂ 1918දී ක්‍රිස්තියානියයි කියාගන්නාවූ පල්ලිවල තිබූ තත්වය විස්තර කරන්න.
10 වර්ෂ 1918දී දෙවිගේ ගෘහයෙන් යේසුස් තම විනිශ්චය ආරම්භ කළ අවස්ථාවේදී භේදභින්න වූ පල්ලිවල පූජකයන්ගේ උසිගැන්වීම නිසා කතෝලික සහ රෙපරමාදු භක්තිකයන් පළමු ලෝක මහා යුද්ධයේදී එකිනෙකාව මරාගනිමින් සිටියා. (1 පේතෘස් 4:17) මුල් සියවසේ එෆීස සභාව නිකලායස්ගේ නිකාය කරමින් සිටි දේවලට වෛර කළා. නමුත් ක්‍රිස්තියානියයි කියාගන්නාවූ පල්ලි ඒවාට ඉඩ දුන්නා. ඔවුනොවුන් අතර විවිධ මත ගැටුම් තිබුණු අතර ඔවුන් දෙවිට අපහාස වන බොරු මූලධර්මද ඉගැන්නුවා. යේසුස් කී ලෙස ලෝකයේ කොටසක් නොවී සිටිනවා වෙනුවට, මේ පල්ලි ලෝකයේ වැඩකටයුතුවලට සම්පූර්ණයෙන්ම යොමු වී සිටියා. (යොහන් 15:17-19) බයිබලයේ තේමාව වන දෙවිගේ රාජ්‍යය ගැන කිසිදු දැනුමක් නැති ඔවුන්ගේ සභාවන්, දෙවිගේ වචනයේ සත්‍යයන් නමැති ආලෝකය විහිදුවන පහන් රුක් ලෙස ක්‍රියා කළේ නැහැ. ඔවුන්ගේ සාමාජිකයන් යෙහෝවා දෙවිගේ පවිත්‍ර නමස්කාරයට අයත් අය වශයෙන් ක්‍රියා කළේත් නැහැ. ඔවුන්ගේ ප්‍රධානීන් (කාන්තාවන් ඇතුළු) තාරකා ලෙස කටයුතු කළේ නැහැ. ඒ වෙනුවට ඔවුන් ‘නීතිය නොතකන මනුෂ්‍යයාට’ අයත් අය බව හෙළි වුණා.—2 තෙසලෝනික 2:3; මලාකි 3:1-3.
11. (අ) එෆීසවරුන්ට යේසුස් කී දේවල් 1918 සිට ක්‍රියාවට නැංවූයේ කිනම් ක්‍රිස්තියානි කණ්ඩායමද? (ආ) වර්ෂ 1919 පටන් යොහන් පන්තිය කළේ කුමක්ද?
11 කොහොමවුණත්, පළමු ලෝක මහා යුද්ධයේ දුෂ්කරතා මැද ඉදිරියට ආ යොහන් පන්තිය යෙහෝවා දෙවිට සහ සත්‍යයට තිබූ දැඩි ප්‍රේමය නිසා පෙලඹී මහත් උද්යෝගයකින් සේවය කරන්නට පටන්ගත්තා. එසේම 1916දී වොච් ටවර් සමිතියේ පළමු සභාපති වූ චාල්ස් ටී. රසල්ගේ මරණයෙන් පසුව ඔහුව දේවත්වයේ ලා සලකමින් ගරුබුහුමන් දෙන්නට තැත් කළ සමහරක් නිකායවාදීන්ට ඔවුන් දැඩි සේ විරුද්ධ වුණා. ඔවුන්ට නොයෙක් පීඩා සහ පරීක්ෂා තිබුණා. නමුත් මේ සියල්ලෙන් ජයගත් මේ ක්‍රිස්තියානි කණ්ඩායමට ඔවුන්ගේ ස්වාමියා “ඉතා අගෙයි” කියා ප්‍රශංසා කළායින් පසුව ඔහු සමඟ ප්‍රීති වෙන්න කියා ඔවුන්ට ආරාධනා කළා. (මතෙව් 25:21, 23) ලෝක සිද්ධීන් නිරීක්ෂණය කිරීමෙන් හා ඔවුන්ගේම අද්දැකීමෙන් ඔවුන් පැහැදිලිව වටහාගත් දෙයක් නම් යේසුස් ස්වර්ගයේ රජ ලෙස අදෘශ්‍යමානව පැමිණ ඇති බව අඟවන ලකුණ ඉටු වී ඇති බවයි. යේසුස් ඉතා වැදගත් අනාවැකියක්ද පළ කර තිබුණා. එය නම් “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස මුළු ජනාවාස පොළොව පුරාම දේශනා කරනු ලබන්නේය. එවිට අවසානය පැමිණෙන්නේය.” (මතෙව් 6:9, 10; 24:3-14) මේ අනුව 1919 පටන් මේ සුවිශේෂ අනාවැකිය තවදුරටත් ඉටු කිරීමට ඔවුන් තව තවත් උනන්දුවෙන් ක්‍රියා කළා. යෙහෝවා දෙවි කෙරෙහි ඔවුන්ට තිබූ ප්‍රේමයේ යම් අඩුවක් ඒ වන විටත් තිබුණා නම්, ඒ කාලයේ සිට ඒ ප්‍රේමය නැවතත් දැල්වුණේ නිවී යමින් තිබුණු ගිනි අඟුරු කැබැල්ලකට පවන් ගැසුවා හා සමානවයි.
12. (අ) වර්ෂ 1922 පැවති ඉතා වැදගත් සමුළුවකදී රැස්ව සිටි අය එළඹුණේ කුමන සම්මුතියටද? (ආ) වර්ෂ 1931 පටන් සැබෑ ක්‍රිස්තියානීන්ව හැඳින්වූයේ කිනම් නමින්ද? ඔවුන් පසුතැවිලි වූයේ කුමක් ගැනද?
12 වර්ෂ 1922 සැප්තැම්බර් 5-13 දක්වා දිනවල ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔහයෝ ප්‍රාන්තයේ සීඩාර් පොයින්ට් නුවරේදී ඉතා වැදගත් සමුළුවක් පැවත්වුණා. මීට සහභාගි වූ ක්‍රිස්තියානීන්ගේ සංඛ්‍යාව 18,000ක්. එහිදී රැස්ව සිටි අය මෙම සම්මුතියට එළඹුණා. “මහෝත්තම දෙවිගේ පුත්‍රයෙනි, ආපසු ක්ෂේත්රයට යන්න. . . . යෙහෝවා සැබෑ දෙවි බවත් යේසුස් ක්‍රිස්තුස් රජවරුන්ගේ රජද ස්වාමිවරුන්ගේ ස්වාමීන්ද වන බවත් ලෝකයා දැනගත යුතුයි. . . . එබැවින්, රජ සහ ඔහුගේ රාජ්‍යය ප්‍රචාරය කරන්න. ප්‍රචාරය කරන්න. ප්‍රචාරය කරන්න.” ඒ කාලයේදී යෙහෝවා දෙවිගේ පරිශුද්ධ නාමයටත් වැඩි අවධානයක් දෙන්න පටන්ගත්තා. ප්‍රතිඵලයක් ලෙස 1931දී එක්සත් ජනපදයේ ඔහයෝ ප්‍රාන්තයේ කොලොම්බස් නුවරේදී පැවති සමුළුවකදී සැබෑ ක්‍රිස්තියානීන්ව හැඳින්වීමට ඔවුන් අලුත් නාමයක් භාවිත කරන්න පටන්ගත්තා. එය යෙසායාගේ අනාවැකියට අනුව දෙවි තම සෙනඟට දී තිබූ නාමයයි. ඒ තමයි යෙහෝවාගේ සාක්ෂිකරුවන් කියන නාමය. (යෙසායා 43:10, 12) වර්ෂ 1939 මාර්තු 1 කලාපයේ පටන් යෙහෝවා දෙවිගේ සංවිධානයේ ප්‍රධාන සඟරාවේ නාමය මුරටැඹ—යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි යනුවෙන් වෙනස් කළා. මේ අනුව මූලික ගෞරවය දෙනු ලැබුවේ අපේ මැවුම්කරුවාණන්ට හා ස්වර්ගයේ පිහිටුවා ඇති ඔහුගේ ආණ්ඩුවටයි. මීට පෙරාතුව දෙවිගේ නාමයට හා රාජ්‍යයට ගෞරවය දී මහිමවත් කිරීමට යම් ආකාරයකින් හෝ ඔවුන් අසමත් වන්නට ඇති. නමුත් යෙහෝවා දෙවිට ඇති ප්‍රේමය යළි දල්වාගත් ඔහුගේ සාක්ෂිකරුවන් තම අතීත ක්‍රියා ගැන පසුතැවිලි වූ බවට මෙයින් පැහැදිලිවම ඔප්පු කළා.—ගීතාවලිය 106:6, 47, 48.
“ජයගන්නාට”
13. (අ) එෆීසවරුන් ‘ජයගත්තා’ නම්, ඔවුන්ට ලැබෙන්නේ මොන ආශීර්වාදයද? (ආ) එෆීසයේ ක්‍රිස්තියානීන් ‘ජයගන්නේ’ කෙසේද?
13 යේසුස් අනිකුත් සභා හයට දෙන පණිවුඩවලදී කරන්නාක් මෙන්, එෆීස සභාවට දෙන පණිවුඩයද අවසන් කරන්නේ ඔවුන්ගේ විශ්වාසවන්තකම නිසා දෙවිගේ බලය (ආත්මය) තුළින් ඔවුන්ට ලැබෙන ආශීර්වාද ගැන පවසමිනුයි. ‘ආත්මය සභාවලට පවසන දේ කන් ඇත්තා අසාවා: මම ජයගන්නාට දෙවිගේ පාරාදීසයෙහි තිබෙන ජීවන වෘක්ෂයෙන් කන්න දෙන්නෙමි.’ (එළිදරව් 2:7) උනන්දුවක් දක්වන සියලුදෙනා ඒ අතිවැදගත් පණිවුඩයට කන් දිය යුතුයි. මන්ද එය පැවසුවේ යේසුස් වුවත් එය ඇත්තටම විශ්වයේ මහෝත්තම දෙවි වන යෙහෝවා තම ශ්‍රේෂ්ඨ බලය යොදාගෙන දුන් පණිවුඩයක්. එයට කන් දෙන ඔවුන්ට ‘ජයගන්න’ හැකි වෙන්නේ යේසුස්ගේ අඩිපාර කිට්ටුවෙන් අනුගමනය කිරීම මගිනුයි. මන්ද යේසුස් තම මරණය දක්වා විශ්වාසවන්තව සිටි නිසා ඔහුට මෙසේ කීමට හැකි වුණා. “ධෛර්යවත් වන්න! මම ලෝකයෙන් ජයගත්තෙමි.”—යොහන් 8:28; 16:33; 1 යොහන් 5:4ද බලන්න.
14. “දෙවිගේ පාරාදීසය” කියා පැවසීමෙන් යේසුස් අදහස් කළේ කුමක්ද?
14 එෆීසයේ විසූ ක්‍රිස්තියානීන් ඇතුළු අභිෂේක ලත් අයගේ අපේක්ෂාව පාරාදීස පොළොවක සදාකාල ජීවිතයක් ලැබීම නෙවෙයි. එසේනම් ඔවුන්ට ‘දෙවිගේ පාරාදීසයේ තිබෙන ජීවන වෘක්ෂයෙන්’ කන්න දෙනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? මෙය පොළොවේ සිදු වන දෙයක් නම් නෙවෙයි. එයට හේතුව එෆීස සභාවේ අය ඇතුළු අභිෂේක ලත් ක්‍රිස්තියානීන් 1,44,000දෙනාව ස්වර්ගයේ ජීවත් වීමට දෙවි විසින් මිනිස් වර්ගයා අතරින් තෝරාගෙන තිබෙන නිසයි. ඔවුන් සියොන් කන්දේ එනම් ස්වර්ගයේ, දෙවිගේ පුත්‍රයන් ලෙස බැටළු පැටවාණන් වන යේසුස් ක්‍රිස්තුස් සමඟ පාලනය කිරීමට හවුල් වෙනවා. (එෆීස 1:5-12; එළිදරව් 14:1, 4) “දෙවිගේ පාරාදීසයේ” එනම් යෙහෝවා දෙවි ඉදිරියෙහිම මෙම ජයග්‍රාහකයන්ට අමරණීය ජීවිතයක් භුක්ති විඳීමට හැකියාව ලැබෙනවා. එය ජීවන වෘක්ෂයෙන් කෑම හා සමානයි.
15. ජයගැනීම ගැන යේසුස් දුන් දිරිගැන්වීම අද දින මහත් සමූහයේ අයටත් වැදගත් වෙන්නේ ඇයි?
15 එසේනම්, මෙම අභිෂේක ලත් 1,44,000දෙනාට පක්ෂපාතව පොළොවේදී සහයෝගය දැක්වූ අයට කුමක් වෙයිද? මහත් සමූහයක් වූ මේ සාක්ෂිකරුවන්ද ජයගන්නවා. ඒත් ඔවුන්ගේ බලාපොරොත්තුව පාරාදීසයක් වීමට යන මේ පොළොවේ ජීවත් වීමයි. එහිදී ඔවුන්ට ‘ජීවන වතුර ඇති ගංගාවකින්’ බීමට හැකි වන අතර, එම ගංගාව දෙපස සිටුවා ඇති ‘වෘක්ෂවල කොළවලින්’ සුවය ලබාගැනීමටත් හැකි වෙනවා ඇති. (එළිදරව් 7:4, 9, 17; 22:1, 2) ඔබත් මේ කණ්ඩායමට අයත් කෙනෙක්ද? එසේ නම්, යෙහෝවා දෙවි කෙරෙහි ඔබට තිබෙන අතිමහත් ප්‍රේමය ඔබේ ජීවිතයෙන් පිළිබිඹු කර, ඇදහිල්ල රැකගන්න කරන සටනින් ජයගන්න ඔබටත් හැකි වේවා! එවිට පාරාදීස පොළොවේ සදාකාලික සන්තෝෂයෙන් පිරි ජීවිතයක් ඔබට ලැබෙනවා නිසැකයි.—1 යොහන් 2:13, 14ද බලන්න.
[පාදසටහන]
a බොරු ප්‍රේරිතයන් මුලින්ම මතු වූ ආකාරය ගැන විස්තර දැනගැනීමට, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්රකාශනයක් වන Reasoning From the Scriptures නම් පොතේ 37-44 දක්වා පිටු බලන්න.
[36වන පිටුවේ කොටුව]
යෙහෝවා දෙවිටත් ඔහුගේ පුත්‍රයාටත් මුළු හදින් ප්‍රශංසා කිරීම
වර්ෂ 1905දී යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් නිකුත් කරන ලද ගීතිකා පොතේ යෙහෝවා දෙවිට ප්‍රශංසා දෙන ගීතිකා මෙන් දෙගුණයක් තිබුණේ යේසුස් ක්‍රිස්තුස්ට ප්‍රශංසා දෙන ගීතිකායි. නමුත් 1928දී පළ කරන ලද ගීතිකා පොතේ යේසුස්ට ප්‍රශංසා කළ ගීතිකා සහ යෙහෝවා දෙවිට ප්‍රශංසා කළ ගීතිකා සංඛ්‍යාවෙන් සමාන වුණා. කොහොමනමුත් 1984දී පළ කළ අලුත්ම ගීතිකා පොතේ යේසුස්ට ප්‍රශංසා කරන ගීතිකා මෙන් හතර ගුණයක් ඇත්තේ යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන ගීතිකායි. යේසුස්ම කීවේ “පියාණන් මට වඩා උතුම්ය” කියායි (යොහන් 14:28) අප වෙන කිසිවෙකුට වඩා ප්‍රේම කළ යුත්තේ යෙහෝවා දෙවිටයි. යේසුස් කෙරෙහිද අපට ගැඹුරු ප්‍රේමයක් තිබිය යුතු අතර, ඔහුගේ වටිනා ජීවිත පූජාව ගැනත් දෙවිගේ උත්තම පූජකයා සහ රජු වශයෙන් ඔහු ඉටු කරන කාර්යය ගැනත් අපට ගැඹුරු අගයක් තිබිය යුතුයි.
[34වන පිටුවේ වගුව]
යේසුස් සභාවන්ට දුන් උපදෙස්
(එළිදරව් පොතේ සඳහන් වී ඇති අනුපිළිවෙළ)
පණිවුඩය උපදෙස් දීමට මුලින්ම කළ සභාවේ තිබූ එය නිවැරදි කළ ලැබෙන
ලැබූ තමා සතු ප්‍රශංසාව ගැටලුව සහ⁄හෝ දිරිගැන්වූ ආශීර්වාද
සභාව බලතල ආකාරය
එෆීස 2:1 2:2, 3 2:4 2:5, 6 2:7
පර්ගමම් 2:12 2:13 2:14, 15 2:16 2:17
තියතීරා 2:18 2:19 2:20, 21 2:24, 25 2:26-28
සර්දිස් 3:1 — 3:1, 2 3:3, 4 3:5
ෆිලදෙල්ෆියා 3:7 3:8 — 3:8-11 3:12
ලවොදිසීය 3:14 — 3:15-17 3:18-20 3:21