පරිච්ඡේදය 32
දෙවිගේ කෝපය අවසන් වෙයි
1. බඳුන් සත වත් කළ පසු සිදු වෙන්නේ කුමක්ද? මෙම බඳුන් සම්බන්ධයෙන් පැනනඟින ප්‍රශ්න මොනවාද?
යොහන් දැනටමත් බඳුන් සත වත් කිරීමේ කාර්යය භාර දී තිබෙන දේවදූතයන් ගැන කතා කර තිබෙනවා. “ඒවායින් දෙවිගේ කෝපය අවසන් වන නිසා, ඒවා අන්තිම පීඩා වෙන්නේය” කියාත් ඔහු පවසනවා. (එළිදරව් 15:1; 16:1) මෙම පීඩාවලින් හෙළි වෙන්නේ පොළොවේ සිදු වන දුෂ්ටකම් ගැන දෙවි තීන්දු කර ඇති දේයි. දෙවිගේ කෝපය අවසන් වෙන්න නම් එම පීඩාවන් සම්පූර්ණයෙන්ම වත් කළ යුතුයි. වත් කිරීමේ කාර්යය අවසන් වූ විට දෙවිගේ විනිශ්චයත් අවසන් වෙනවා. එවිට සාතන්ගේ දුෂ්ට ලෝකය තවත් තිබෙන්නේ නැහැ. මෙම පීඩා මිනිස් වර්ගයාට සහ දැනට පවතින දුෂ්ට ලෝකයේ පාලකයන්ට බලපාන්නේ කෙසේද? විනාශයට නියමිත මේ ලෝකයට එල්ල වෙන පීඩාවලින් වැළකී සිටීමට ක්‍රිස්තියානීන්ට හැක්කේ කෙසේද? මෙම අතිවැදගත් ප්‍රශ්නවලට දැන් පිළිතුරු ලැබිය යුතුයි. යොහන් ඊළඟට දකින දේ තේරුම්ගන්න යුක්තිය ඉටුවීම දෙස ආශාවෙන් බලා සිටින සෑම කෙනෙක්ම කැමති වෙනවාට සැකයක් නැහැ.
“පොළොවට” එල්ල වන දෙවිගේ කෝපය
2. පළමු දේවදූතයා තම බඳුන පොළොවට වත් කරන විට සිදු වෙන්නේ කුමක්ද? ‘පොළොවෙන්’ සංකේතවත් වෙන්නේ කුමක්ද?
2 පළමුවෙනි දේවදූතයා තම කාර්යය ආරම්භ කරයි! “පළමුවැන්නා ගොස් තම බඳුන පොළොවට වත් කළේය. එවිට, වන මෘගයාගේ සලකුණ දැරූ, උගේ රූපයට නමස්කාර කරමින් සිටි මිනිසුන් මත දරුණු මාරාන්තික වණයක් හටගත්තේය.” (එළිදරව් 16:2) පළමු හොරණෑව පිම්බ අවස්ථාවේදී මෙන් මෙහිදීත් ‘පොළොවෙන්’ සංකේතවත් වෙන්නේ සාතන් විසින් ගොඩනඟා ඇති බැලූ බැල්මට යම් ස්ථාවරත්වයක් ඇති බව පෙනෙන දේශපාලනය ඇතුළත් මිනිස් සමාජයයි. මෙය මීට අවුරුදු 4,000කට පෙර නිම්රොද්ගේ කාලයේ පටන් පැවත එනවා.—එළිදරව් 8:7.
3. (අ) බොහෝ ආණ්ඩු තම යටත්වැසියන්ගෙන් බලාපොරොත්තු වන දේ නමස්කාරයක් කියා පැවසිය හැක්කේ ඇයි? (ආ) ලෝකයේ ජාතීන් දේවරාජ්‍යය වෙනුවට පිහිටුවා ඇත්තේ කුමක්ද? එයට නමස්කාර කරන අයට සිදු වෙන්නේ කුමක්ද?
3 මෙම අන්තිම දවස්වලදී බොහෝ ආණ්ඩු තම යටත්වැසියන්ගෙන් බලාපොරොත්තු වන දේ නමස්කාරයක් කියා පැවසිය හැකියි. ආණ්ඩු බල කර සිටින්නේ දෙවි ඇතුළුව වෙනත් කිසිම කෙනෙකුට වඩා තම රටට පක්ෂව සිටිය යුතු බවයි. (2 තිමෝති 3:1; ලූක් 20:25ද යොහන් 19:15ද බලන්න.) උදාහරණයකට 1914 පටන් පොළොවේ ජාතීන් තම රටවල තරුණයන්ව හමුදාවට බලෙන් බඳවාගෙන යුද්ධයට හවුල් කරගෙන තිබෙනවා. මෙවැනි යුද්ධ නිසා මෑත කාලවලදී විශාල ලේ වැගිරීමක් සිදු වී තිබෙනවා. මීට අමතරව ස්වාමීන්ගේ දවසේදී ලෝකයේ ජාතීන් එකතු වී දේවරාජ්‍යය වෙනුවට නිර්මාණය කර තිබෙන්නේ වෙනත් දෙයක්. ඒ තමයි වන මෘගයාගේ රූපය වන මුලින් ජාතීන්ගේ සංගමය ලෙස හැඳින්වූ එක්සත් ජාතීන්ගේ සංවිධානය. මිනිසාට සාමය උදා කර දිය හැක්කේ ඔවුන් බිහි කර ඇති මෙම සංවිධානයෙන් පමණක් බව ප්‍රකාශ කිරීම දෙවිට කරන මොන තරම් අපහාසයක්ද! මෙම අපහාසයට මෑත කාලීන පාප්වරුනුත් හවුල් වී තිබෙනවා. නමුත් මෙම සංවිධානය දේවරාජ්‍යයට දැඩි සේ විරුද්ධව ක්‍රියා කරනවා. එයට වන්දනාමාන කරන අය දෙවි ඉදිරියේ අපවිත්‍ර, වණවලින් ගහනව සිටින පුද්ගලයන් හා සමානයි. මෙහිදී අපට මතක් වෙන්නේ මෝසෙස්ගේ කාලයේදී යෙහෝවා දෙවිට විරුද්ධව සිටි ඊජිප්තුවරුන් වණ හා සැරව ගෙඩිවලින් පීඩා ලැබූ ආකාරයයි.—නික්මයාම 9:10, 11.
4. (අ) දෙවිගේ කෝපයෙන් පිරුණු පළමු බඳුනෙන් තදින් කාවද්දනු ලබන්නේ කුමක්ද? (ආ) යෙහෝවා දෙවි වන මෘගයාගේ ලකුණ දරන අයව සලකන්නේ කෙසේද?
4 දෙවිගේ කෝපයෙන් පිරුණු මෙම බඳුනෙන් තදින්ම කාවද්දන්නේ සියලුම මිනිසුන් යම් තේරීමක් කළ යුතු බවයි. ඒ තේරීමේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන් එක්කො ලෝකයේ අප්‍රසාදයට ලක් වෙනවා එසේ නැත්නම් දෙවිගේ කෝපයට ලක් වෙනවා. අද දින මිනිසුන්ට බල කර තිබෙන්නේ වන මෘගයාගේ ලකුණ දරන්නයි. එයට හේතුව “ඒ සලකුණ, එනම් වන මෘගයාගේ නම හෝ උගේ නමෙහි අංකය හෝ ඇති යමෙකුට මිස වෙන කිසිවෙකුට මිල දී ගැනීමටවත් විකිණීමටවත් නොහැකි” වන නිසයි. (එළිදරව් 13:16, 17) නමුත් මේ ලකුණ දැරීමට තෝරාගන්නා අයට දරුණු විපාක විඳින්න සිදු වෙනවා! යෙහෝවා දෙවි මෙවැනි අයව සලකන්නේ “මාරාන්තික වණයක්” ඇති අය හැටියටයි. මේ අය ජීවමාන දෙවිව ප්‍රතික්ෂේප කරමින් වන මෘගයාගේ ලකුණ දරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම ආරම්භ වුණේ 1922 සිටයි. ඇත්තටම ඔවුන් දේශපාලනිකව සැලසුම් කරන කිසි දෙයක් සාර්ථක වී නැහැ. ඒ නිසා ඔවුන් අත් විඳින්නේ දැඩි වේදනාවක්. දෙවි ඔවුන්ව සලකන්නේ අපවිත්‍ර අය ලෙසයි. ඔවුන් පසුතැවිලි වෙන්නේ නැත්නම් ඔවුන්ගේ “දරුණු” අසනීපය ඔවුන්ට මරණය ගෙන දෙයි. එයට හේතුව දෙවිගේ විනිශ්චයේ දවස පැමිණ ඇති නිසයි. සියලුදෙනාම තීරණයක් ගත යුතුයි. එක්කො මේ දුෂ්ට ලෝකයේ කොටසක් වෙන්න නැත්නම් යේසුස්ගේ පැත්ත ගෙන දෙවිට සේවය කරන්න. මේ දෙක අතරමැද තැනක් නම් නැහැ.—ලූක් 11:23; යාකොබ් 4:4ද බලන්න.
මුහුද ලේ බවට පත් වෙයි
5. (අ) දෙවෙනි බඳුන වත් කරන විට සිදු වෙන්නේ කුමක්ද? (ආ) යෙහෝවා දෙවි සංකේතවත් මුහුදට අයත් අයව සලකන්නේ කෙසේද?
5 දැන් දෙවිගේ කෝපයෙන් පිරුණු දෙවෙනි බඳුන වත් කරනවා. මෙය මිනිස් වර්ගයාට බලපාන්නේ කෙසේද? යොහන් අපට මෙසේ කියනවා. “දෙවැන්නා තම බඳුන මුහුදට වත් කළේය. එය, මළ මිනිසෙකුගේ ලේ මෙන් වී, සෑම ජීවියෙක්ම මළේය. එසේය, මුහුදේ සිටින සියලු ජීවීහු මළෝය.” (එළිදරව් 16:3) දෙවෙනි හොරණෑව පිම්බ අවස්ථාවේදී මෙන් මෙම බඳුන වත් කරන්නේ ‘මුහුදටයි.’ එනම් විප්ලවයට හා කැරලි කෝලාහලවලට නැඹුරු කැලඹුණු, නොසන්සුන්, දෙවිගෙන් ඈත් වූ මිනිස් සමාජයටයි. (යෙසායා 57:20, 21; එළිදරව් 8:8, 9) යෙහෝවා දෙවිට නම් මෙම “මුහුද” ලේ වගෙයි. එනම් කිසිම කෙනෙක්ට ජීවත් වීමට සුදුසු නැති තැනක් වගෙයි. ක්‍රිස්තියානීන් එහි කොටසක් නොවිය යුත්තේ ඒ නිසයි. (යොහන් 17:14) දෙවිගේ කෝපයෙන් පිරුණු දෙවෙනි බඳුන වත් කිරීමෙන් හෙළි වෙන්නේ මෙම මුහුදට අයත් සියලු මිනිස් වර්ගයා යෙහෝවා දෙවි ඉදිරියේ මළ තත්වයක සිටින බවයි. මීට අමතරව මෙතෙක් වගුරුවා ඇති සියලුම අහිංසකයන්ගේ ලේවලට මුහුද හා සමාන මුළු මිනිස් සමාජයම වග කිව යුතුයි. යෙහෝවා දෙවිගේ උදහස් දවසේදී යේසුස් තම දේවදූතයන් සමඟ පැමිණ ඔවුන්ට දඬුවම් කරද්දී ඔවුන් ඇත්තටම මරණය අද්දකිනවා.—එළිදරව් 19:17, 18; එෆීස 2:1ද කොලොස්සි 2:13ද බලන්න.
ඔවුන්ට ලේ බීමට දීම
6. තුන්වන බඳුන වත් කරන විට සිදු වෙන්නේ කුමක්ද? දේවදූතයෙකුගෙන් හා පූජාසනයෙන් ඇසෙන්නේ කිනම් වචනද?
6 තුන්වන හොරණෑව පිම්බ අවස්ථාවේදී මෙන්ම දෙවිගේ කෝපයෙන් පිරුණු තුන්වන බඳුන වත් කරන්නේ ගංගා හා දිය උල්පත්වලටයි. “තුන්වෙනියා තම බඳුන ගංගාවලටත් දිය උල්පත්වලටත් වත් කළේය. එවිට ඒවා ලේ විය. තවද, වතුර කෙරෙහි බලය ඇති දේවදූතයා මෙසේ කියනවා මට ඇසුණේය: ‘සිටින්නාවූ සහ සිටියාවූද, පක්ෂපාත වූද තැනැත්තා වන ඔබ, මේ තීරණ දී තිබෙන හෙයින්, ඔබ ධර්මිෂ්ඨය. මන්ද ඔවුන් ශුද්ධ තැනැත්තන්ගෙත් අනාගතවක්තෘවරුන්ගෙත් ලේ වැගිරෙවූ බැවින්, ඔබ ඔවුන්ට ලේ බොන්න දුන්නේය. ඔවුන් එය ලැබීම සුදුසුය.’ එවිට පූජාසනය මෙසේ කියනවා මට ඇසුණේය: ‘එසේය, සර්වපරාක්‍රම තැනැත්තා වන යෙහෝවා දෙවියනි, ඔබේ විනිශ්චයමය තීරණ සැබෑය, ධර්මිෂ්ඨය.’”—එළිදරව් 16:4-7.
7. ‘ගංගා සහ දිය උල්පත්වලින්’ සංකේතවත් කරන්නේ කුමක්ද?
7 ‘ගංගා සහ දිය උල්පත්වලින්’ සංකේතවත් කරන්නේ මේ ලෝකයාගේ ගරු බුහුමන් ලබන, නුවණ හා ප්‍රඥාව දෙනවායයි කියන පුද්ගලයන්වයි. මොවුන් මිනිසාගේ ක්‍රියාකාරකම් හා තීරණ පාලනය කරමින් දේශපාලනික, ආර්ථික, විද්‍යාත්මක, අධ්‍යාපනික, සමාජීය සහ ආගමික අතින් මඟ පෙන්වීම් දෙන පුද්ගලයන් බව කිව හැකියි. පොදු මිනිසා ජීවනයේ උල්පත වන යෙහෝවා දෙවිගෙන් ජීවනදායක සත්‍යය ලබාගන්නවා වෙනුවට ‘වතුර නාල්ලන බිඳුණු කටාරම් තමන්ටම කපාගෙන’ තිබෙනවා. ප්‍රතිඵලයක් ලෙස ඔවුන් ‘දෙවි ඉදිරියේ මෝඩකමක් වන මේ ලෝකයේ ප්‍රඥාවෙන්’ හොඳටම මත් වී සිටිනවා.—යෙරෙමියා 2:13; 1 කොරින්ති 1:19; 2:6; 3:19; ගීතාවලිය 36:9.
8. මිනිස් වර්ගයා ලේ වරදට හසු වී සිටින්නේ කුමන ආකාරවලින්ද?
8 මේ අපිරිසිදු ‘දිය උල්පත්වලින්’ වතුර බීම නිසා මිනිසුන් ලේ වරදට හසු වී සිටිනවා. උදාහරණයකට ජනයාව යුද්ධයට දිරිගැන්වීමේ ප්‍රතිඵලයක් ලෙස පසුගිය සියවසේ පමණක් මිලියන සිය ගණනකගේ අහිංසක ලේ වගුරුවනු ලැබුවා. විශේෂයෙන්ම ලෝක මහා යුද්ධ දෙක සිදු වූ ක්‍රිස්තියානියයි කියාගන්නා රටවල මිනිසුන් ‘නිදොස් ලේ වගුරුවන්ට ඉක්මන් වුණා.’ දෙවිගේම සාක්ෂිකරුවන්ගේ අහිංසක ලේද මීට ඇතුළත්. (යෙසායා 59:7; යෙරෙමියා 2:34) මිනිස් වර්ගයා යෙහෝවා දෙවිගේ ධර්මිෂ්ඨ නීති කඩ කරමින් මහා පරිමාණයෙන් සැත්කම්වලදී ලේ භාවිත කර තිබෙන නිසාත් ඔවුන් ලේ වරදට හසු වී සිටිනවා. (උත්පත්ති 9:3-5; ලෙවී කතාව 17:14; ක්‍රියා 15:28, 29) මෙලෙස ලේ භාවිත කිරීමෙන් ඔවුන් වෙනත් ආකාරවලිනුත් නොයෙකුත් දුක් විඳිනවා. උදාහරණයකට ලේ ලබා දීම නිසා ඒඩ්ස්, හෙපටයිටිස් සහ වෙනත් රෝගද පැතිර තිබෙනවා. ඔවුන්ට මේ සෑම ලේ වරදකටම වන්දි ගෙවන්න සිදු වෙනවාමයි. ඒ ඔවුන්ව ළඟදීම “දෙවිගේ කෝපය නමැති මහත් වයින් යන්ත්‍රයට” හෙළා පාගා දමනු ලබන විටයි.—එළිදරව් 14:19, 20.
9. තුන්වන බඳුන වත් කිරීමට ඇතුළත් වන තවත් දෙයක් නම් කරන්න.
9 මෝසෙස්ගේ කාලයේදී නම් නයිල් ගඟේ වතුර ලේ බවට හැරුණු විට වෙනත් තැන්වලින් වතුර බී තම ජීවිතය රැකගැනීමට ඊජිප්තුවරුන්ට හැකිකම තිබුණා. (නික්මයාම 7:24) නමුත් දෙවිගේ පීඩාවලට හසු වන කිසිම කෙනෙකුට සාතන්ගේ ලෝකයේ කොහෙන්වත් ජීවන වතුර ඇති තැනක් නම් සොයාගන්න හැකි වෙන්නේ නැහැ. තුන්වන බඳුන වත් කිරීමට ඇතුළත් වන තවත් දෙයක් නම් මේ ලෝකයේ “ගංගාවල් සහ දිය උල්පත්” ලේ බවත්, ඒවායින් බොන හැමෝම සංකේතවත් ලෙස මිය යන බවත් ප්‍රකාශ කිරීමයි. මිනිසුන් යෙහෝවා දෙවි වෙතට හැරෙන්නේ නැත්නම් ඔහුගේ දරුණු විනිශ්චයට ලක් වෙන්න සිදු වෙනවා.—එසකියෙල් 33:11ද බලන්න.
10. “වතුර කෙරෙහි බලය ඇති දේවදූතයා” දැනුම් දෙන්නේ කුමක්ද? “පූජාසනය” ඊට එකතු කරන සාක්ෂිය කුමක්ද?
10 “වතුර කෙරෙහි බලය ඇති දේවදූතයා” එනම් ගංගා සහ දිය උල්පත්වලට තම බඳුන වත් කළ දේවදූතයා යෙහෝවා දෙවි විශ්වයේ විනිශ්චයකරු ලෙස පවසමින් ඔහුට ප්‍රශංසා කරන අතර, ඔහුගේ ධර්මිෂ්ඨ තීරණ හෙවත් තීන්දුවල කිසිම වරදක් නැති බවත් කියා සිටිනවා. දෙවිගේ විනිශ්චයට ලක් වන අයට “එය ලැබීම සුදුසු” බව ඔහු පවසන්නේ එනිසයි. මේ දුෂ්ට ලෝකයේ බොරු ඉගැන්වීම් සහ දර්ශන නිසා සිදු වී ඇති ලේ වැගිරීම් සහ කුරිරුකම් මෙම දේවදූතයා අවුරුදු දහස් ගණනක් පුරා දැක තිබෙන්න ඇති. එමනිසා යෙහෝවා දෙවිගෙන් මෙම විනිශ්චයන් ලබන්න ඔවුන් වටින බව ඔහු දන්නවා. දෙවිගේ ‘පූජාසනයත්’ ඊට සාක්ෂි දෙනවා. එළිදරව් 6:9, 10හි සඳහන් වුණේ මේ පූජාසනය යට දෙවි වෙනුවෙන් තම දිවි පිදූ අයගේ ලේ තිබෙන බවයි. එමනිසා යෙහෝවා දෙවිගේ තීන්දු යුක්තිසහගත බවත් ධර්මිෂ්ඨ බවත් මෙම ‘පූජාසනයත්’ ඉතා ප්‍රබල සාක්ෂියක් එකතු කරනවා. a ඇත්තෙන්ම මෙතරම් ලේ වගුරුවා ඇති, ලේ වැරදි විදිහට භාවිත කර ඇති අයට ලේ බලෙන්ම බොන්න දීම සුදුසුයි. එය යෙහෝවා දෙවි ඔවුන්ට මරණ දඬුවම දෙන බවට සංකේතයක්.
මිනිසුන්ව ගින්නෙන් දැවීම
11. දෙවිගේ කෝපයෙන් පිරුණු හතරවන බඳුන වත් කරන්නේ කුමක් මතද? එය වත් කරන විට සිදු වෙන්නේ කුමක්ද?
11 දෙවිගේ කෝපයෙන් පිරුණු හතරවන බඳුන වත් කරන්නේ සූර්යයා මතටයි. යොහන් අපට මෙසේ පවසනවා. “සතරවෙනියා තම බඳුන සූර්යයා මතට වත් කළේය. එවිට, මිනිසුන්ව ගින්නෙන් දවන්නට සූර්යයාට අවසර දෙන ලදි. මිනිසුන්ව දැඩි රස්නයකින් දවනු ලැබූ නමුත් ඔවුහු, මේ පීඩා කෙරෙහි අධිකාරිය ඇති දෙවිගේ නාමයට අපහාස කළෝය. ඔහුව මහිමයට පත් කරන ලෙස ඔවුහු පසුතැවිලි නොවූහ.”—එළිදරව් 16:8, 9.
12. මේ ලෝකයේ ‘සූර්යයාගෙන්’ සංකේතවත් වෙන්නේ කුමක්ද? මෙම සංකේතවත් සූර්යයාට අවසර ලැබෙන්නේ කුමක් කිරීමටද?
12 මේ දුෂ්ට සමාජයේ අවසාන කාලයේදී පොළොවේ සිටින යේසුස්ගේ අභිෂේක ලත් සහෝදරයන් “තම පියාණන්ගේ රාජ්‍යයේදී, සූර්යයා මෙන් දීප්තියෙන් බැබළෙන්නෝය” කියා සඳහන් වෙනවා. (මතෙව් 13:40, 43) යේසුස්වත් “ධර්මිෂ්ඨකමේ සූර්යයා” කියා හඳුන්වනවා. (මීකා 4:2) මිනිස් සංහතියටත් “සූර්යයෙක්” සිටිනවා. එනම් දෙවිගේ රාජ්‍යයට විරුද්ධව බැබළීමට උත්සාහ කරන මිනිස් පාලකයන්. ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලිවලට අයත් ‘ඉර, සඳ සහ තාරකාවලින්’ විහිදුවන්නේ ආලෝකයක් වෙනුවට සැබෑ අන්ධකාරයක් බව හතරවන හොරණෑව පිඹින විට පැහැදිලි වුණා. (එළිදරව් 8:12) දෙවිගේ කෝපයෙන් පිරුණු හතරවන බඳුන වත් කිරීමෙන් අවධාරණය කරන්නේ මේ ලෝකයේ ‘සූර්යයාගෙන්’ දරාගන්න බැරි තරම් රස්නයක් පිට වන බවයි. ඒ කියන්නේ සූර්යයාට සමාන කළ හැකි මේ ලෝකයේ පාලකයන්ගේ රස්නයෙන් මිනිස් වර්ගයා ‘දැවී’ යන බවයි. ඒ දේ සිදු කරන්න මෙම සංකේතවත් සූර්යයාට අවසර ලැබෙනවා. මේ දේ සිදු වෙන්නේ දෙවි මිනිසුන්ට ගෙනෙන ගිනිමය විනිශ්චයේ එක් අංගයක් ලෙසයි. මෙම ‘දැවීම’ සිදු වෙන්නේ කෙසේද?
13. මේ ලෝකයේ පාලකයන් මිනිස් වර්ගයාව ‘දවා’ දමා තිබෙන්නේ කෙසේද?
13 පළමු ලෝක මහා යුද්ධයෙන් පසු ලෝක සාමය පිළිබඳ ප්රශ්නය නිරාකරණය කිරීමට ලෝකයේ පාලකයන් ජාතීන්ගේ සංගමය පිහිටෙව්වා. නමුත් එය සාර්ථක වුණේ නැහැ. ෆැසිස්ට්වාදය සහ නාට්සිවාදය වැනි වෙනත් ආකාර පාලන ක්‍රමද අත්හදා බලනු ලැබුවා. කොමියුනිස්ට් පාලනයත් ව්‍යාප්ත වෙන්න පටන්ගත්තා. එනමුත් යම් සෙතක් සලසනවා වෙනුවට මෙම පාලනවලින් මුළු මිනිස් වර්ගයාව ‘දැඩි රස්නයකින් දවනු ලැබුවා.’ දෙවන ලෝක මහා යුද්ධයට පෙර ස්පාඤ්ඤයේ, ඉතියෝපියාවේ සහ මැන්චූරියාවේ සිවිල් යුද්ධ ඇති වුණා. ඉන්පසුව මිනිස් වර්ගයා දෙවෙනි ලෝක මහා යුද්ධයට ඇද වැටුණා. මුසලීනි, හිට්ලර් සහ ස්ටාලින් වැනි ඒකාධිපතීන්ගේ දැඩි පාලනය නිසා ඔවුන්ගේම රටවැසියන් ඇතුළුව කෝටි ගණනකගේ ජීවිත නැති වුණා. වඩාත් මෑතකදී වියට්නාමය, කැම්පූචියාව, ඉරානය, ලෙබනනය සහ අයර්ලන්තය වැනි රටවලත්, අප්‍රිකාවේ හා දකුණු අමෙරිකාවේ රටවලත් ජනතාව ජාත්‍යන්තර හෝ සිවිල් යුද්ධ නිසා ‘දැවී’ ගොස් තිබෙනවා. මීට අමතරව මේ ලෝකයේ සුපිරි බලවතුන් අතර පවතින ගැටුම්කාරී වාතාවරණය නිසා මිනිසුන් ජීවත් වෙන්නේ මුළු ලෝකයම විනාශ කළ හැකි න්‍යෂ්ටික යුද්ධයක් ආරම්භ වේදෝයි යන බියෙනුයි. මෙම අන්තිම දවස්වලදී මිනිස් වර්ගයා තම අධර්මිෂ්ඨ පාලකයන්ගේ දැඩි ‘රස්නයෙන්’ බොහෝ පීඩා විඳ ඇති බව පැහැදිලියි. දෙවිගේ කෝපයෙන් පිරුණු සතරවන බඳුන වත් කිරීම නිසා මෙම කාරණා තවත් පැහැදිලි වී ඇති අතර, දෙවිගේ සේවකයන් ඒ තොරතුරු පොළොව පුරාම ප්‍රකාශ කර තිබෙනවා.
14. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අඛණ්ඩව පවසන්නේ මිනිස් වර්ගයාගේ ගැටලුවලට තිබෙන එකම විසඳුම කුමක් බවද? පොදුවේ ජනයා ඊට ප්‍රතිචාරය දක්වා ඇත්තේ කෙසේද?
14 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අඛණ්ඩව පවසන්නේ මිනිස් වර්ගයාගේ සෑම ගැටලුවකටම තිබෙන එකම විසඳුම දේවරාජ්‍යය බවයි. යෙහෝවා දෙවි තම නාමයට ඇති වූ කැළල ඉවත් කරන්නෙත් ඒ රාජ්‍යය තුළිනුයි. (ගීතාවලිය 83:4, 17, 18; මතෙව් 6:9, 10) නමුත් සමස්තයක් ලෙස ජනයා මෙම විසඳුමට පිටු පා තිබෙනවා. දේවරාජ්‍යය ප්‍රතික්ෂේප කරන බොහෝදෙනෙක් දෙවිගේ නාමයට පවා අපහාස කරනවා. ඔවුන් හරියට දෙවිගේ පාලනය පිළිගැනීමට මුරණ්ඩු ලෙස අකමැති වූ ඊජිප්තුවේ පාරාවෝ රජ වගෙයි. (නික්මයාම 1:8-10; 5:2) දේවරාජ්‍යය ගැන ඔවුන්ට කිසිම තැකීමක් නැහැ. ඔවුන් තෝරාගන්නේ මිනිස් පාලනයේ දැඩි ‘රස්නයෙන්’ පීඩා විඳින්නයි.
වන මෘගයාගේ සිංහාසනය
15. (අ) පස්වන බඳුන වත් කරන්නේ කුමක් මතටද? (ආ) “වන මෘගයාගේ සිංහාසනය” කුමක්ද? ඒ මත බඳුන වත් කිරීමට හේතුව කුමක්ද?
15 ඊළඟ දේවදූතයා තම බඳුන වත් කරන්නේ කුමක් මතද? “පස්වෙනියා තම බඳුන වන මෘගයාගේ සිංහාසනය මතට වත් කළේය.” (එළිදරව් 16:10අ) මෙම “වන මෘගයා” යනු සාතන් විසින් පාලනය කෙරෙන ආණ්ඩු ක්‍රමයි. මෙම වන මෘගයා සංකේතවත් වන මෘගයෙක් වන්නා සේම මෙම සිංහාසනයත් සංකේතවත් එකක්. වන මෘගයාට සිංහාසනයක් තිබීමෙන් පැහැදිලි වෙන්නේ මිනිස් වර්ගයාව පාලනය කිරීමට යම් බලතල ඌ සතුව තිබෙන බවයි. වන මෘගයාගේ සියලුම අංවල ඔටුනු තිබීමෙන් මෙය සනාථ වෙනවා. එසේනම් “වන මෘගයාගේ සිංහාසනය” කියා පවසන්නේ ඌ සතු බලතලවල උල්පත, නැත්නම් අත්තිවාරම දැක්වීමටයි.b වන මෘගයා බලතල ලබන්නේ කාගෙන්ද කියා බයිබලයේ එළිදරව් කර තිබෙන්නේ මෙසේයි. “මකරා ඒ මෘගයාට තමාගේ බලයත් තමාගේ සිංහාසනයත් මහත් අධිකාරයත් දුන්නේය.” (එළිදරව් 13:1, 2; 1 යොහන් 5:19) වන මෘගයාගේ සිංහාසනය මත පස්වන බඳුන වත් කරනු ලබන්නේ වන මෘගයා සතු බලතල පිටුපස සිටිමින් ඌට අනුබල දෙන්නේ සාතන් බව එළිදරව් කර ප්‍රකාශ කිරීමටයි.
16. (අ) මිනිස් ජාතීන් දැන හෝ නොදැන සේවය කරන්නේ කාටද? පැහැදිලි කරන්න. (ආ) මේ ලෝකය තුළ අප සාතන්ගේ ගති ලක්ෂණ දකින්නේ කෙසේද? (ඇ) වන මෘගයාගේ සිංහාසනය පෙරළා දමනු ලබන්නේ කවදාද?
16 සාතන් දිගටම වන මෘගයාට අනුබල දෙමින් සිටින්නේ ඇයි? යේසුස් පොළොවේ සිටිද්දී සාතන් ඔහුව වරදට පොලඹවන්න උත්සාහ කළ අවස්ථාවේදී සිදු වූ දෙයින් මෙය පැහැදිලි වෙනවා. ඔහු දර්ශනයකින් යේසුස්ට ලොව පුරා ඇති සියලුම රාජ්‍යයන් පෙන්වා “මේවා කෙරෙහි සම්පූර්ණ අධිකාරයද ඒවායේ තේජසද” දෙන බව කියා සිටියා. නමුත් එක කොන්දේසියක් මතයි. යේසුස් සාතන් ඉදිරියේ එක් වරක් නමස්කාර කළ යුතු වුණා. (ලූක් 4:5-7) එසේනම් සාතන් ලෝකයේ පාලනවලට සහයෝගය ලබා දෙන්නේ අනිවාර්යයෙන්ම ඒ පාලනවලින් එවැනි නමස්කාරයක් බලාපොරොත්තු වෙමිනුයි. සාතන් මේ දුෂ්ට සමාජයේ දෙවියා කියා බයිබලයේ සඳහන් වෙන්නේ ඒ නිසයි. ජාතීන් දැන හෝ නොදැන සේවය කරන්නේ ඔහුටයි. (2 කොරින්ති 4:3, 4)c මෙම දුෂ්ට ලෝකය ගොඩනැඟී ඇති ආකාරයෙන් අපට එය දැකගන්න පුළුවන්. එහි සැම තැනම දකින්න ලැබෙන්නේ පටු ජාතිවාදී ආකල්ප, වෛරය හා ආත්මාර්ථය වැනි ගති ලක්ෂණයි. එමනිසා එය ගොඩනැඟී තිබෙන්නේ සාතන්ට ඕනෑ ආකාරයට බව පැහැදිලියි. එමගින් සාතන් මෙම මුළු ලෝකයම තම අණසක යටතේ තබාගන්නවා. මේ ලෝකයේ පාලකයන් තුළ අප දකින දූෂණය, බල තණ්හාව, බොරු පොරොන්දු, අවි තරඟය යනාදි දේවලින් ඇත්තටම පිළිබිඹු වෙන්නේ සාතන්ගේ පහත් ගති ලක්ෂණයි. මේ ලෝකය සාතන්ගේ ඒ අධර්මිෂ්ඨ ගති ලක්ෂණවලට යටත් වී සිටින නිසා ඔහු ඔවුන්ගේ දෙවියා බවට පත් වෙනවා. මෙම වන මෘගයාගේ සිංහාසනය පෙරළා දමනු ලබන්නේ ඌව විනාශ කරන විට හා දෙවිගේ ස්ත්‍රියගේ වංශයෙන් බිහි වන ගැලවුම්කරු සාතන්ව අගාධයෙහි හෙළන විටයි.—උත්පත්ති 3:15; එළිදරව් 19:20, 21; 20:1-3.
අන්ධකාරය සහ විකාගැනීමෙන් ඇති වෙන වේදනාව
17. (අ) පස්වන බඳුන වත් කිරීම වන මෘගයාගේ රාජ්‍යය පුරා පවතින සංකේතවත් අන්ධකාරයට සම්බන්ධ වෙන්නේ කෙසේද? (ආ) දෙවිගේ කෝපයෙන් පිරුණු පස්වන බඳුන වත් කරන විට ඊට ජනයා ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද?
17 වන මෘගයාගේ රාජ්‍යය ඇති වූ දා පටන්ම සංකේතවත් අන්ධකාරයකින් එය වැසී ගියා. (මතෙව් 8:12ද එෆීස 6:11, 12ද බලන්න.) පස්වන බඳුන වත් කරන විට පවතින මෙම අන්ධකාරය ගැන ප්‍රබල ප්‍රකාශයක් පතළ වෙනවා. දෙවිගේ කෝපයෙන් පිරුණු මෙම බඳුන වන මෘගයාගේ සිංහාසනය පිට වත් කරන ආකාරය හා ඉන්පසුව සිදු වන දේ අපගේ මනසේ නොමැකෙන සේ රඳවාගැනීම සඳහා නාට්‍යයක දර්ශන එකිනෙක පෙළ ගස්වන ආකාරයට එය විස්තර කරනු ලබනවා. “එවිට උගේ රාජ්‍යය අඳුරු වී ගියේය. ඔවුහු වේදනාව නිසා තමුන්ගේ දිව් විකාගත්හ. ඔවුහු තමුන්ගේ වේදනා සහ වණ නිසා ස්වර්ගයේ දෙවිට අපහාස කළෝය. ඔවුහු තමුන්ගේ ක්‍රියා ගැන පසුතැවිලි නොවූහ.”—එළිදරව් 16:10ආ, 11.
18. පිඹින ලද පස්වෙනි හොරණෑව සහ දෙවිගේ කෝපයෙන් පිරුණු පස්වන බඳුන අතර ඇති සමානකම කුමක්ද?
18 පස්වන හොරණෑව පිම්බ අවස්ථාව දෙවිගේ කෝපයෙන් පිරුණු පස්වන බඳුනට හරියටම සමාන වෙන්නේ නැහැ. එයට හේතුව ඒ අවස්ථාවේදී ඇති වුණේ පළඟැටි පීඩාවක් වන නිසයි. නමුත් ඒ පළඟැටියන් මුදාහැරිය විට ඉරත් අවකාශයත් අඳුරු වුණ බව ඔබට මතකද? (එළිදරව් 9:2-5) යෙහෝවා දෙවි පළඟැටියන් මාර්ගයෙන් ඊජිප්තුවට පීඩා කළ විට සිදු වූ දේ නික්මයාම 10:14, 15හි විස්තර කරන්නේ මෙසේයි. “උන් ඉතා දුක් උපදවන්නෝ වූවෝය. එබඳු පළඟැටියෝ ඊට පළමුවෙන් නොවූහ. ඊට පසුවත් නොවන්නෝය. මක්නිසාද උන් දේශය අඳුරු වන තරම් මුළු පොළෝතලය වසාගත්තෝය.” ඒ අවස්ථාවේදීත් අන්ධකාරයක් ඇති වුණා. ඒ වගේම අද දිනත් පස්වන හොරණෑව පිඹීමේ සහ දෙවිගේ කෝපයෙන් පිරුණු බඳුන වත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සියලුදෙනාටම මේ ලෝකයේ පවතින සංකේතවත් අන්ධකාරය පැහැදිලිව දැකගන්න හැකි වී තිබෙනවා. අද දින සිටින අභිෂේක ලත් පළඟැටි හමුදාව ප්‍රකාශ කරන වේදනාකාරී පණිවුඩය නිසා ‘ආලෝකයට වඩා අන්ධකාරයට ප්‍රේම කරන’ දුෂ්ටයන්ට මහත් වේදනාවක් දැනෙනවා.—යොහන් 3:19.
19. එළිදරව් 16:10, 11ට අනුව සාතන් මේ ලෝකයේ දෙවියා බව හෙළිවීමෙන් සිදු වෙන්නේ කුමක්ද?
19 මේ ලෝකයේ පාලකයා වන සාතන් මිනිසාට ගෙනැවිත් තිබෙන්නේ කියා නිම කළ නොහැකි මහත් දුකක් හා වේදනාවක්. සාගත, යුද්ධ, ප්රචණ්ඩ ක්‍රියා, අපරාධ, මත්ද්‍රව්‍ය, දුරාචාරය, ලිංගිකව බෝ වෙන රෝග, වංචාව, ආගමික කුහකකම හා තවත් නොයෙක් නපුරු ක්‍රියා යන මේ සියල්ලම සාතන්ගේ දුෂ්ට සමාජයේ ප්‍රධාන ගති ලක්ෂණයි. (ගලාති 5:19-21ද බලන්න.) මේ ලෝකයේ දෙවියා සාතන් බව හෙළිවීමෙන් ඒ මත යැපී සාතන්ගේ ගති ලක්ෂණවලට අනුව තම ජීවිතය ගෙන යන අයට මහත් වේදනාවක් හා ලජ්ජාවක් දැනෙනවා. ‘ඔවුන් වේදනාව නිසා තම දිව් විකාගෙන’ සිටිනවා. මෙම වේදනාව විශේෂයෙන්ම දැනෙන්නේ ක්‍රිස්තියානියයි කියාගත් පල්ලිවලටයි. සත්‍යය ප්‍රකාශ කිරීමෙන් තමන් කරන බොරු මවා පෑම හෙළි වන නිසා බොහෝදෙනෙකුට සත්‍යය රුස්සන්නේ නැහැ. සමහරුන් සිතන්නේ එය තමන්ට තර්ජනයක් බවයි. ඒ නිසයි ඒ ගැන ඇත්ත ප්‍රකාශ කරන අයට ඔවුන් පීඩා කරන්නේ. දේවරාජ්‍යය එපා කරන මොවුන් යෙහෝවා දෙවිගේ ශුද්ධ නාමයට අපහාස කරනවා. වණවලින් පිරුණු ශරීරයකට සමානව ඔවුන් සිටින්නේ ආගමික වශයෙන් ඉතා පිරිහුණු තත්වයකයි. ඔවුන්ගේ මෙම ලජ්ජාසහගත තත්වය හෙළි කරන නිසා ඔවුන් ස්වර්ගයේ දෙවිට අපහාස කරනවා. නමුත් මොවුන් “තමන්ගේ ක්‍රියා ගැන පසුතැවිලි” වෙන්නේ නැහැ. ඒ නිසා මේ දුෂ්ට ලෝකයේ අවසානයට පෙර ජනතාව මහා පරිමාණයෙන් සත්‍ය නමස්කාරයට පැමිණෙයි කියා අපට බලාපොරොත්තු වෙන්න බැහැ.—යෙසායා 32:6.
යුප්‍රටීස් ගංගාව හිඳී යයි
20. හයවන හොරණෑව පිඹීම සහ හයවන බඳුන වත් කිරීම යුප්‍රටීස් ගඟට සම්බන්ධ වෙන්නේ කෙසේද?
20 පුරාණ බැබිලෝනිය ගැන කියද්දී එය යුප්‍රටීස් ගඟ ආශ්‍රිතව පිහිටා තිබුණු මහත් නගරයක් බව ඔබට මතක ඇති. හයවන හොරණෑව පිඹීමෙන් සිදු වුණේ “යුප්‍රටීස් නමැති මහා ගංගාව ළඟ බැඳ සිටින දේවදූතයන් සතරදෙනාව” ලිහා දැමීමයි. (එළිදරව් 9:14) වර්ෂ 1919දී මෙම සංකේතවත් දේවදූතයන් හතරදෙනාව මුදාහැරීමත් සමඟම මහා බැබිලෝනිය මහත් වැටීමක් අද්දුටුවා. (එළිදරව් 14:8) යුප්‍රටීස් ගඟ දෙවිගේ කෝපයෙන් පිරුණු හයවන බඳුන වත් කිරීමටත් සම්බන්ධ වී ඇති ආකාරය අපි දැන් දකිනවා. “හයවෙනියා තම බඳුන යුප්‍රටීස් නමැති මහා ගඟ මතට වත් කළේය. එවිට, නැඟෙනහිරෙන් එන රජුන් සඳහා මාර්ගය සූදානම් කරන පිණිස, එහි වතුර හිඳුණේය.” (එළිදරව් 16:12) මෙය මහා බැබිලෝනියට කොහෙත්ම ශුභාරංචියක් නම් නෙවෙයි.
21, 22. (අ) ක්‍රිස්තු පූර්ව 539දී බැබිලෝනිය රාජ්‍යය වටා තිබූ යුප්‍රටීස් ගඟේ ජලය සිඳී ගියේ කෙසේද? (ආ) මහා බැබිලෝනිය ඉඳගෙන සිටින “ජල ධාරා” මොනවාද? මෙම සංකේතවත් ජල ධාරා දැන් පවා සිඳී යන්නේ කෙසේද?
21 පුරාණ බැබිලෝනිය අධිරාජ්‍යයක් ලෙස පැවති කාලයේදී එම නුවරට ආරක්ෂාව සපයන්න යුප්‍රටීස් ගඟ බොහෝසෙයින් දායක වුණා. එම ගඟේ වතුර නුවර වටා කැපූ විශාල ජල මාර්ග ඔස්සේ හරවා නුවරට ආරක්ෂාවක් සපයා දුන්නා. නමුත් ක්‍රි.පූ. 539දී පර්සියානු පාලක සයිරස් ගඟේ තිබූ ජලය වෙනතකට හැරවූ නිසා ඒ වතුර හිඳී ගියා. මේ නිසා “නැඟෙනහිරින් එන රජුන්” වූ පර්සියාවේ සයිරස්ටත් මේදීය දාරියුස්ටත් නගරයට ඇතුල් වී එය අල්ලාගන්න හැකි වුණා. මෙම ඉතා තීරණාත්මක අවස්ථාවේදී ඒ මහත් නුවරට ආරක්ෂාවක් සපයන්න යුප්‍රටීස් ගඟ අපොහොසත් වුණා. (යෙසායා 44:27–45:7; යෙරෙමියා 51:36) ලොව පුරා අධිරාජ්‍යයක් හා සමානව පැතිර ඇති අසත්‍යය උගන්වන ආගම් වන නවීන දින බැබිලෝනියට ඒ හා සමාන ඉරණමක් අත් වෙනවා.
22 මහා බැබිලෝනියත් “බොහෝ ජල ධාරා මත ඉඳගෙන” සිටින බව සඳහන් වෙනවා. එළිදරව් 17:1, 15ට අනුව මේ ජල ධාරාවලින් සංකේතවත් වෙන්නේ ‘ජනයන් ජාතීන් හා භාෂාවන්.’ එනම් මෙම ආගම්වලට ආරක්ෂාවක් කියා සලකන ඒ ආගම් අදහන සෙනඟවයි. නමුත් මෙම “ජල ධාරා” දැන් සිඳී යමින් තිබෙන බව පෙනෙනවා. උදාහරණයකට කාලයක් පුරා බටහිර යුරෝපයේ ආගම් එහි මිනිසුන්ගේ ජීවිතවලට විශාල බලපෑමක් කර තිබුණා. නමුත් දැන් එම රටවල සිටින මිලියන සිය ගණනක් ප්‍රසිද්ධියේම ආගම් එපා කරනවා. තවත් රටවල දැන් වර්ෂ කිහිපයක් පුරා ආගම්වල බලපෑම නැති කර දැමීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කර තිබෙනවා. එයට විරුද්ධව ජනතාවත් කිසිම දෙයක් කර නැහැ. ඒ හා සමානව මහා බැබිලෝනිය විනාශ කිරීමට කාලය පැමිණෙන විට එම ආගම් අදහන අයගෙන් කිසිම ආරක්ෂාවක් එයට ලැබෙන්නේ නැහැ. (එළිදරව් 17:16) ඇත්තෙන්ම ආගම් අදහන පිරිස දිනෙන් දින අඩු වී යනවා. එමනිසා මහා බැබිලෝනිය යටතේ ආගම් අදහන අය මිලියන දහස් ගණනක් සිටින බව ආගමික නායකයන් පැවසුවත් “නැඟෙනහිරෙන් එන රජුන්” පැමිණෙන විට ඒ සෙනඟගෙන් ඔවුන්ට කිසිම ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ.
23. (අ) ක්‍රිස්තු පූර්ව 539දී “නැඟෙනහිරෙන් එන රජුන්” වුණේ කවුරුන්ද? (ආ) ස්වාමීන්ගේ දවසේදී, “නැඟෙනහිරෙන් එන රජුන්” කවුරුන්ද? ඔවුන් මහා බැබිලෝනිය විනාශ කරන්නේ කෙසේද?
23 මෙම රජවරුන් කවුරුන්ද? ක්‍රිස්තු පූර්ව 539දී නම් ඒ රජවරුන් මේදීය දාරියුස් සහ පර්සියාවේ සයිරස් වුණා. බැබිලෝනිය නුවර යටත් කරගැනීමට යෙහෝවා දෙවි යොදාගත්තේ මෙම රජවරුන් දෙදෙනාවයි. ස්වාමීන්ගේ දවසේදී මහා බැබිලෝනිය නමැති ලෝකයේ පවතින සියලුම අසත්‍යය උගන්වන ආගම් විනාශ කරනු ලබන්නේ මිනිස් පාලකයන් විසිනුයි. නමුත් එය සිදු වෙන්නේ දෙවිගේ විනිශ්චයේ ප්‍රතිඵලයක් ලෙසයි. මහා බැබිලෝනියට විරුද්ධ වී ඇයව සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමේ “අදහස” මිනිස් පාලකයන්ගේ ‘සිත් තුළට දමන්නේ’ “නැඟෙනහිරෙන් එන රජුන්” වන යෙහෝවා දෙවි සහ යේසුස් ක්‍රිස්තුස්. (එළිදරව් 17:16, 17) මෙම විනිශ්චය ඉතාමත් ළඟදී ඉටු වන බව හයවන බඳුන වත් කිරීමෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා.
24. (අ) යෙහෝවා දෙවිගේ කෝපයෙන් පිරුණු මුල් බඳුන් හය ප්‍රකාශ වී තිබෙන්නේ කෙසේද? එහි ප්‍රතිඵලය කුමක්ද? (ආ) දෙවිගේ කෝපයෙන් පිරුණු හත්වන බඳුන ගැන කීමට පෙර එළිදරව් පොත අපට හෙළි කරන්නේ කුමක්ද?
24 යෙහෝවා දෙවිගේ කෝපයෙන් පිරුණු මුල් බඳුන් හයෙන් ඉතා බැරෑරුම් පණිවුඩ ප්‍රකාශ වී තිබෙනවා. මෙම පණිවුඩ පොළොව පුරා ප්‍රකාශ කිරීමේ කාර්යයට දේවදූතයන්ගේ සහාය ඇතුව පොළොව මත සිටින දෙවිගේ සේවකයන් කඩිසරව හවුල් වී තිබෙනවා. මෙම කාර්යය තුළින් සාතන්ගේ දුෂ්ට ලෝකයේ සෑම පාර්ශ්වයකටම අනතුරු අඟවා තිබෙනවා. ඒ වගේම දෙවි ඉදිරියේ ධර්මිෂ්ඨ දේ කිරීමෙන් ජීවනය ලබාගැනීමටත් ප්‍රස්තාවක් යෙහෝවා දෙවි මිනිසුන්ට ලබා දී තිබෙනවා. (එසකියෙල් 33:14-16) වත් කරන්න ඉතිරිව තිබෙන්නේ දෙවිගේ කෝපයෙන් පිරුණු හත්වන බඳුන පමණයි. ඒ ගැන කීමට පෙර සාතන් සහ පොළොව මත සිටින ඔහුගේ නියෝජිතයන් යෙහෝවා දෙවිගේ විනිශ්චයන්ට එරෙහිව යම් ප්‍රචාරයක් කරන ආකාරය එළිදරව් පොතේ හෙළි කර තිබෙනවා.
දෙවිගේ මහත් දවසේ යුද්ධයට රැස් කිරීම
25. (අ) අපිරිසිදු, මැඩියන් වැනි වූ ‘ආනුභාව ලත් ප්‍රකාශයන්’ ගැන යොහන් අපට පවසන්නේ කුමක්ද? (ආ) ස්වාමීන්ගේ දවසේදී පිළිකුල්සහගත “ආනුභාව ලත් අපවිත්‍ර ප්‍රකාශයන්” පිට වී තිබෙන්නේ කෙසේද? එහි ප්‍රතිඵලය කුමක්ද?
25 යොහන් අපට මෙසේ කියනවා. “මකරාගේ කටින්ද, වන මෘගයාගේ කටින්ද, බොරු අනාගතවක්තෘවරයාගේ කටින්ද, මැඩියන් වැනි වූ ආනුභාව ලත් අපවිත්‍ර ප්‍රකාශයන් තුනක් පිට වෙනවා මම දුටිමි. මේවා ඇත්තෙන්ම භූතානුභාවයෙන් දෙන ලද, ලකුණු සිදු කරන ප්‍රකාශයන් වේ. තවද, මුළු ලොව පුරාම සිටින රජුන්ව සර්වපරාක්‍රම තැනැත්තා වන දෙවිගේ මහත් දවසේ යුද්ධයට රැස් කරන පිණිස ඒවා ඔවුන් වෙතට යන්නේය.” (එළිදරව් 16:13, 14) මෝසෙස්ගේ කාලයේදී යෙහෝවා දෙවි ඊජිප්තුවේ රජ වූ පාරාවෝට එරෙහිව ‘මුළු දේශය දුර්ගන්ධ වන’ තරමට මැඩියන්ගෙන් ඉතා පිළිකුල්සහගත පීඩාවක් ගෙන ආවා. (නික්මයාම 8:5-15) ස්වාමීන්ගේ දවසේදීත් ඒ හා සමාන දෙයක් සිදු වී තිබෙනවා. නමුත් එය දෙවි ගෙනෙන පීඩාවක් නෙවෙයි. ඒවා සිදු වී තිබෙන්නේ සාතන්ගේ “අපවිත්‍ර ප්‍රකාශයන්” නිසයි. මැඩියන්ට සමාන මෙම අපවිත්‍ර ප්‍රකාශවලින් සංකේතවත් වෙන්නේ සාතන් සිදු කරන යම් ප්‍රචාරයන්. ඒ ප්‍රචාරයන් නිසා සියලුම මිනිස් පාලකයන් එනම් ‘රජුන්’ යෙහෝවා දෙවිට විරුද්ධව ක්‍රියා කරනවා. සාතන්ගේ අරමුණ වෙන්නේ දෙවිගේ කෝපයෙන් පිරුණු බඳුන් වත් කරන විට අනාවරණය වන දේවලින් ඔවුන්ගේ සිත් වෙනස් නොවී ඔවුන්ව තමාගේම පැත්තේ තබාගන්නයි. එවිට “සර්වපරාක්‍රම තැනැත්තා වන දෙවිගේ මහත් දවසේ යුද්ධය” ආරම්භ වන විට ඔවුන් සිටින්නේ සාතන්ගේ පැත්තෙයි.
26. (අ) සාතන්ගේ ප්‍රචාරයන් පතුරුවන තුන්දෙනා කවුද? (ආ) “බොරු අනාගතවක්තෘ” කවුද? අප එය දන්නේ කෙසේද?
26 මෙම ප්‍රචාරයන් පතුරුවන්නේ “මකරා” (සාතන්), “වන මෘගයා” (සාතන් යටතේ ලොව පුරා පවතින පාලන) සහ “බොරු අනාගතවක්තෘවරයා” යන තිදෙනායි. මෙයින් මකරා සහ වන මෘගයා ගැන අපි දැනටමත් දන්නවා. නමුත් මේ “බොරු අනාගතවක්තෘවරයා” කවුද? මේ අලුත් චරිතයක් නෙවෙයි. නමුත් අපි කලින් සාකච්ඡා කළ වන මෘගයෙකුට දී ඇති තවත් නමක් විතරයි. ඒ බැටළු පැටවෙකුගේ මෙන් අං දෙකක් ඇති වන මෘගයායි. අපි එසේ කියන්නේ ඇයි? ඌ හිස් හතක් ඇති වන මෘගයා ඉදිරියේ මහත් ලකුණු සිදු කළා ඔබට මතක ඇති. මීට අමතරව මෙම අං දෙකක් ඇති වන මෘගයා හිස් සතක් ඇති වන මෘගයාට කරන නමස්කාරය තවත් තහවුරු කරන්න උගේ රූපයක් සෑදීමට පවා පියවර ගත්තා. මෙයාකාරයට අං දෙකක් ඇති වන මෘගයා මුළා කරවනසුලු අනාගතවක්තෘවරයෙක් ලෙස ක්‍රියා කළා. (එළිදරව් 13:11-14) එසේනම් ප්‍රචාරයන් පතුරුවන තුන්වැන්නා වන “බොරු අනාගතවක්තෘවරයා” මෙම බැටළු පැටවෙකුට සමාන අං දෙකක් ඇති වන මෘගයා බව පැහැදිලියි. එළිදරව් පොතේ පසුවට සඳහන් වන විස්තරයකින් මෙය තවත් සනාථ වෙනවා. අං දෙකක් ඇති වන මෘගයාට සමානව මෙම බොරු අනාගතවක්තෘවරයා ‘වන මෘගයා ඉදිරිපිට ලකුණු සිදු කර, වන මෘගයාගේ සලකුණ ලැබූ අයවත් උගේ රූපයට නමස්කාර කරන අයවත් නොමඟ යවන’ බවත් එහිදී අපට දකින්න ලැබෙනවා.—එළිදරව් 19:20.
27. (අ) යේසුස් ක්‍රිස්තුස් දෙන කාලෝචිත අනතුරු ඇඟවීම කුමක්ද? (ආ) යේසුස් පොළොව මත සිටියදී කළේ කුමන අනතුරු ඇඟවීමද? (ඇ) යේසුස් කී දේට සමානව පාවුල් කළ අනතුරු ඇඟවීම කුමක්ද?
27 සාතන්ගේ මෙම ප්‍රචාරයන් මැඩියන් වගේ හැමතැනම පැතිරිලා. එමනිසා යොහන් ඊළඟට පවසන දේ ඉතා කාලෝචිතයි. “බලන්න! මම සොරෙකු මෙන් එන්නෙමි. නිර්වස්ත්‍රව නොඇවිද, තමාගේ ලජ්ජාව මිනිසුන් නොදකින පිණිස අවදිව සිට තම පිටත වස්ත්‍ර ආරක්ෂා කරගන්නා සන්තෝෂවත්ය.” (එළිදරව් 16:15) “සොරෙකු” මෙන් එන්නේ කවුද? ඒ යේසුස්. යෙහෝවා දෙවිගේ විනිශ්චය ඉටු කිරීමට ඔහු එන්නේ දැනුම් දීමකින් තොරවයි. (එළිදරව් 3:3; 2 පේතෘස් 3:10) යේසුස් පොළොව මත සිටියදීත් තමා එන්නේ සොරෙකු එන්නාක් මෙන් කියා අනතුරු අඟවමින් මෙසේ කිව්වා. “එබැවින් සෝදිසියෙන් සිටින්න. මන්ද ඔබේ ස්වාමීන් කොයි දවසේ එනවාදැයි ඔබ දන්නේ නැත. එහෙයින් ඔබත් සූදානමින් සිටින බව පෙන්වන්න. මන්ද ඔබ නොසිතන පැයකදී මනුෂ්‍ය පුත්‍රයා එන්නේය.” (මතෙව් 24:42, 44; ලූක් 12:37, 40) පාවුල්ද ඒ හා සමාන අනතුරු ඇඟවීමක් කරමින් මෙසේ පැවසුවා. “රාත්‍රියෙහි පැමිණෙන සොරෙකු මෙන් යෙහෝවාගේ දවස පැමිණෙන බව ඔබම හොඳාකාරයෙන් දන්නහුය. ‘සාමය සහ සුරක්ෂිතභාවය!’ යයි ඔවුන් කියන විට, . . . ඔවුන් නොදැනුවත්වම ඔවුන් පිටට ක්ෂණිකව විනාශය පැමිණෙන්නේය.” මෙහිදී “සාමය සහ සුරක්ෂිතභාවය” කියා බොරු ප්‍රචාරයක් පතුරුවන්නේ සාතන්.—1 තෙසලෝනික 5:2, 3.
28. මේ ලෝකයෙන් එල්ල වන පීඩනයට හසු නොවී සිටීම සඳහා යේසුස් දුන් අවවාදය කුමක්ද? ක්‍රිස්තියානීන්ට “උගුලක්” විය හැකි “ඒ දවස” කුමක්ද?
28 මේ ලෝකයේ හාත්පස පැතිරී තිබෙන ප්‍රචාරයන් නිසා ක්‍රිස්තියානීන් මතට අනිවාර්යයෙන්ම යම් පීඩනයක් එල්ල වෙනවා. ඒ ගැන යේසුස් මෙසේ අවවාද කළා. “අධික කෑමෙනුත් බීමෙනුත් ජීවිතයේ කරදරවලිනුත් ඔබේ සිත් කිසි කලෙක බර නොවන පිණිස ඔබ ගැන හොඳ අවධානයකින් සිටින්න. නැතහොත් ඔබ නොදැනුවත්වම ඒ දවස ඔබ පිටට ක්ෂණිකව, උගුලක් මෙන් පැමිණෙන්නේය. . . . එසේනම් සිදු වන්න නියමිත මේ සියල්ලෙන් බේරෙන පිණිසද මනුෂ්‍ය පුත්‍රයා ඉදිරියෙහි සිටීමට හැකියාව ලැබෙන පිණිසද දිගටම අයැදිමින් අවදිව සිටින්න.” (ලූක් 21:34-36) “ඒ දවස” නම් ‘සර්ව පරාක්‍රම තැනැත්තා වන දෙවිගේ මහත් දවසයි.’ (එළිදරව් 16:14) යෙහෝවා දෙවිගේ පාලනය ගැන ඇති වී තිබෙන කැළල නැති වන “ඒ දවස” ළං වෙද්දී ජීවිතයේ කරදර සමඟ කටයුතු කිරීම එන්න එන්නම අසීරු වෙනවා. ඒ නිසා එම දවස පැමිණෙන තෙක් ක්‍රිස්තියානීන් ඉතා සුපරීක්ෂාවෙන් අවදිව බලා සිටීම අවශ්‍යයි. එසේ නැත්නම් ඒ දවස ඔවුන්ට උගුලක් විය හැකියි.
29, 30. (අ) නිදාගෙන සිටින අයට “තම පිටත වස්ත්‍ර” අහිමි වීමෙන් ලජ්ජා වීමට සිදු වන බවට යේසුස් කළ අනතුරු ඇඟවීමෙන් මතක් වෙන්නේ කුමක්ද? (ආ) පිටත වස්ත්‍රවලින් නියෝජනය කරන්නේ කුමක්ද? (ඇ) පුද්ගලයෙකුට තමාගේ පිටත වස්ත්‍රය අහිමි විය හැක්කේ කෙසේද? මෙහි ප්‍රතිඵලය කුමක්ද?
29 නිදාගෙන සිටින අයට “තම පිටත වස්ත්‍ර” අහිමි වීමෙන් ලජ්ජා වීමට සිදු වන බව කළ අනතුරු ඇඟවීමෙන් අදහස් වෙන්නේ කුමක්ද? මෙහිදී අපට මතක් වෙන්නේ පුරාණ ඊශ්‍රායෙලයේ දේවමාලිගාව මුර කළ පූජකයෙකුට හෝ ලෙවීවරයෙකුට බැරෑරුම් වගකීමක් තිබුණු බවයි. යුදෙව් විශාරදයන් පවසන ආකාරයට යම් මුරකරුවෙක් සේවයේ යෙදෙන විට නිදාගෙන සිට හසු වුණොත් ඔහුගේ වස්ත්‍ර ඉරා ඒවා පුලුස්සා දමනු ලැබුවා. එසේ කළේ ඔහුව ප්‍රසිද්ධියේ නින්දාවට ලක් කරන්නයි.
30 ඒ වගේම දෙයක් අදත් සිදු විය හැකි බව යේසුස් මෙහිදී අනතුරු අඟවනවා. පූජකයන්ගෙන් හා ලෙවීවරුන්ගෙන් සංකේතවත් කළේ යේසුස්ගේ අභිෂේක ලත් සහෝදරයන්වයි. (1 පේතෘස් 2:9) ඔවුන්ට හා සමානව මේ අනතුරු ඇඟවීම මහත් සමූහයටත් අදාළයි. මෙහි සඳහන් පිටත වස්ත්‍රවලින් නියෝජනය වෙන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ලෙස අප පැළඳ සිටින ක්‍රිස්තියානි පෞද්ගලිකත්වයයි. (එළිදරව් 3:18; 7:14) සාතන්ගේ ලෝකයෙන් එල්ලවන මේ පීඩන නිසා යමෙක් නිදාගත්තොත් එනම් අක්‍රියාශීලී වුණොත්, ඔහුට තම පවිත්‍ර ක්‍රිස්තියානි පෞද්ගලිකත්වය නැති වෙනවා. එය දෙවි ඉදිරියේ ලජ්ජාවට හේතුවක්. එමනිසා ඔහුට දෙවි පොරොන්දු වී ඇති ආශීර්වාද පවා අහිමි වෙන්න පුළුවන්.
31. (අ) ක්‍රිස්තියානීන් අවදිව සිටිය යුතු බව එළිදරව් 16:16හි කාවද්දන්නේ කෙසේද? (ආ) ඇතැම් ආගමික නායකයන් මේ ලෝකයේ විනාශය ගැන පවසන්නේ කුමක්ද?
31 ක්‍රිස්තියානියෙකුට අවදියෙන් සිටීමේ අවශ්‍යතාව එන්න එන්නම වැඩි වෙනවා. මන්ද එළිදරව් පොතේ ඊළඟ පදය ඉටු වන කාලය එන්න එන්නම ළං වන නිසයි. “ඔවුහු, හෙබ්‍රෙව් බසින් හර්–මගෙදොන් ලෙස හඳුන්වන ස්ථානයට ඔවුන්ව රැස් කළෝය.” (එළිදරව් 16:16) “හර්–මගෙදොන්” යන වචනය බයිබලයේ සඳහන් වෙන්නේ මෙම පදයෙහි පමණයි. බොහෝදෙනෙක් ඒ සම්බන්ධයෙන් විවිධ මත පළ කරනවා. ඇතැම් ලෝක පාලකයන් “හර්–මගෙදොන්” යන වචනය හිතට ගෙන න්‍යෂ්ටික යුද්ධයකින් ලෝකය විනාශ විය හැකි බව කියනවා. “හර්–මගෙදොන්” යන වචනය බයිබලයේ සඳහන් පුරාණයේ තිබූ මෙගිද්දෝ යන නුවරටත් සම්බන්ධ කර තිබෙනවා. ඒ කාලයේදී බොහෝ තීරණාත්මක යුද්ධ සිදු වුණේ මෙම ස්ථානයේදීයි. ඇතැම් ආගමික නායකයන් සිතන්නේ පොළොව මත සිදු වන අවසාන මහා යුද්ධය එම ස්ථානයෙහි සිදු වනු ඇති බවයි. නමුත් ඔවුන් සිතන දේ වැරදියි.
32, 33. (අ) “හර්–මගොදෙන්” යනුවෙන් ඇත්තටම අදහස් කරන්නේ කුමක්ද? (ආ) “හර්–මගෙදොන්” යන වචනයට සමාන හෝ ඊට සම්බන්ධ බයිබලයේ වෙනත් වචන මොනවාද? (ඇ) දෙවිගේ කෝපයෙන් පිරුණු අවසාන බඳුන වත් කිරීමට සත්වන දේවදූතයාට කාලය පැමිණෙන්නේ කොයි අවස්ථාවේදීද?
32 “හර්–මගෙදොන්” යන වචනයේ තේරුම “මෙගිද්දෝ කන්ද” යන්නයි. නමුත් එයින් සංකේතවත් වෙන්නේ සැබෑ තැනක් නෙවෙයි. එයින් කියවෙන්නේ ලෝකයේ සියලුම ජාතීන් යෙහෝවා දෙවිට විරුද්ධව ලොව පුරාම නැඟී සිටින අවස්ථාවේදී ඇති වන තත්වයයි. ඒ අවස්ථාවේදී දෙවි ඔවුන්ව සහමුලින්ම විනාශ කරනවා. මෙය මුළු ලොවටම බලපාන විනාශයක්. (යෙරෙමියා 25:31-33; දානියෙල් 2:44) මෙයට සමාන වචන බයිබලයේ තවත් තැන්වල සඳහන් වෙනවා. එනම් “දෙවිගේ කෝපය නමැති මහත් වයින් යන්ත්‍රය,” ‘තීන්දු දීමේ මිටියාවත’ හෝ “යෙහෝෂාපාට්ගේ මිටියාවත” යනාදියයි. දෙවිගේ විනිශ්චය සඳහා ජාතීන්ව එකතු කරනු ලබන ආකාරය ඒවායින් කියා පානවා. (එළිදරව් 14:19; යෝවෙල් 3:12, 14) එම වචනය මාගොග්හි ගොග් වන සාතන්ගේ හමුදාවන් විනාශය අද්දකින “ඊශ්‍රායෙල් දේශයට” හා ශ්‍රේෂ්ඨ අධිපතියා වන මිකායෙල් අතින් උතුරේ රජ ‘විනාශය’ අද්දකින “අලංකාර දේශයේ ශුද්ධ කන්ද සහ මහා මුහුද අතර” පිහිටි ස්ථානයට සමානයි.—එසකියෙල් 38:16-18, 22, 23; දානියෙල් 11:45–12:1, NW.
33 ඉදිරියේදී ලොව පුරාම සියලුම ජාතීන් සාතන් සහ පොළොවේ ඔහු යටතේ පවතින බලවේගයන් කරන රළු ප්‍රචාරයන් නිසා යෙහෝවා දෙවිට විරුද්ධව නැඟී සිටින්න යනවා. දෙවිගේ කෝපයෙන් පිරුණු අවසන් බඳුන වත් කිරීමට සත්වෙනි දේවදූතයාට කාලය පැමිණෙන්නේ එවිටයි.
“එය ඉටු වී තිබේ!”
34. හත්වන දේවදූතයා තම බඳුන වත් කරන්නේ කුමක් මතටද? ‘අතිශුද්ධ ස්ථානයේ සිංහාසනයෙන්’ නික්ම ආ හඬ පවසන්නේ කුමක්ද?
34 “සත්වෙනියා තම බඳුන අවකාශයට වත් කළේය. එවිට, අතිශුද්ධ ස්ථානයේ සිංහාසනය කෙරෙන් මහත් හඬක් නික්ම, ‘එය ඉටු වී තිබේ!’ යයි කීවේය.”—එළිදරව් 16:17.
35. (අ) එළිදරව් 16:17හි සඳහන් “අවකාශය” කුමක්ද? (ආ) අවකාශයට තම බඳුන වත් කිරීමෙන් සත්වන දේවදූතයා ප්‍රකාශ කරන්නේ කුමක්ද?
35 අවසන් වශයෙන් පහර ලබන්නේ ‘අවකාශයයි.’ නමුත් මෙහිදී කතා කරන්නේ සැබෑ අවකාශය ගැන නෙවෙයි. පොළොවේ භෞතික අවකාශය වගේම පොළෝ තලය, මුහුද, ගංගා දිය උල්පත් හෝ සූර්යයා දෙවිගේ විනිශ්චයන් ලබන්න තරම් කිසිම වරදක් කර නැහැ. එසේනම් මෙහි සඳහන් වන “අවකාශය” කුමක්ද? මෙහිදී පාවුල් සාතන්ව “ආකාශයේ බලයේ පාලකයා” ලෙස හැඳින්වූ ආකාරය සිතට ගැනීම ප්‍රයෝජනවත් වෙනවා. (එෆීස 2:2) “ආකාශය” හෙවත් අවකාශය කියන්නේ අද සාතන්ගේ පාලනය යටතේ පවතින ලෝකය පුරාම පැතිර ඇති ස්වභාවයටයි. මෙම ස්වභාවයෙන් පිළිබිඹු වෙන්නේ සාතන්ගේ ආකල්පයි. එය යෙහෝවා දෙවිගේ සංවිධානයෙන් පිටත දුෂ්ට මිනිස් සමාජය පුරාම දකින්න ලැබෙනවා. සත්වන දේවදූතයා අවකාශය මතට තම බඳුන වත් කරන විට ඔහු ඉන් යමක් ප්‍රකාශ කරනවා. එනම් සාතන්ටත්, ඔහුගේ සංවිධානයටත්, සාතන්ගේ පැත්ත ගෙන දෙවිගේ පාලනයට විරුද්ධ වෙන්න මිනිස් වර්ගයාව පොලඹවන සෑම දෙයකටත් විරුද්ධව දෙවිට ඇති කෝපයයි.
36. (අ) පීඩා හතෙන් ප්‍රකාශ වෙන්නේ කුමක්ද? (ආ) “එය ඉටු වී තිබේ” කියා යෙහෝවා දෙවි කරන ප්‍රකාශයෙන් අදහස් කරන්නේ කුමක්ද?
36 මෙම පීඩාවෙන් හා කලින් වත් කළ පීඩා හයෙන් සාතන් සහ ඔහුගේ දුෂ්ට ලෝකයට විරුද්ධව යෙහෝවා දෙවිගේ සමස්ත විනිශ්චය ප්‍රකාශ වෙනවා. ඒවායින් ප්‍රකාශ වෙන්නේ සාතන් සහ ඔහුගේ වංශයට අයත් සියලුදෙනාටම විනාශය අත් වන බවයි. අන්තිම බඳුන වත් කළායින් පසු යෙහෝවා දෙවිම “එය ඉටු වී තිබේ” කියා ප්‍රකාශ කරනවා! තවත් කීමට කිසිම දෙයක් ඉතිරි වී නැහැ. දෙවිගේ කෝපයෙන් පිරුණු බඳුන්වල අඩංගු දේ දෙවි සෑහීමට පත් වන තරමට ප්‍රකාශ කළායින් පසු එම පණිවුඩවල ප්‍රකාශ කර ඇති විනිශ්චයන් ඉටු කරන්න දෙවි කොහොමටවත් ප්‍රමාද වෙන්නේ නැහැ.
37. දෙවිගේ කෝපයෙන් පිරුණු හත්වන බඳුන වත් කිරීමෙන් පසුව සිදු වන දේ යොහන් විස්තර කරන්නේ කෙසේද?
37 යොහන් දැන් මෙසේ කියනවා. “විදුලි කෙටීම්ද කටහඬවල්ද ගිගුරුම්ද ඇති විය. පොළොවේ මිනිසුන් බිහි වූ දා පටන් මේ වන තෙක් නොවූ ආකාරයක, මහත් භූමිකම්පාවක්ද සිදු විය. එසේය, එය අතිබලවත් භූමිකම්පාවක් විය. මහත් නුවරද කොටස් තුනකට කැඩී ජාතීන්ගේ නුවරවල්ද වැටුණේය. දෙවිගේ උදහසේ කෝපය නමැති වයින් ඇති කුසලානය ඇයට දෙන පිණිස මහා බැබිලෝනිය දෙවි ඉදිරියෙහි සිහි කරනු ලැබුවාය. සෑම දූපතක්ම පලා ගියේය. කඳුද සම්බ නොවීය. අහසෙන් මහත් හිම කැට වර්ෂාවක්ද මිනිසුන් පිට වැටුණේය. ඒ එක් එක් හිම කැටයක බර තලෙන්තයක් පමණ විය. හිම කැට වර්ෂාවේ පීඩාව නිසා මිනිස්සු දෙවිට අපහාස කළෝය. මන්ද, ඒ පීඩාව අතිමහත් විය.”—එළිදරව් 16:18-21.
38. (අ) ‘මහත් භූමිකම්පාවෙන්’ සංකේතවත් වෙන්නේ කුමක්ද? (ආ) මහා බැබිලෝනිය වන “මහත් නුවර” “කොටස් තුනකට” කැඩී යෑමෙන් අදහස් කරන්නේ කුමක්ද? (ඇ) “සෑම දූපතක්ම පලා ගියේය. කඳුද සම්බ නොවීය” කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? (ඈ) ‘හිම කැට වැටීමෙන්’ අවධාරණය කරන්නේ කුමක්ද?
38 දැන් නැවතත් “විදුලි කෙටීම්ද කටහඬවල්ද ගිගුරුම්ද” අසන්න ලැබෙනවා. එයින් අදහස් කරන්නේ යෙහෝවා දෙවි මිනිස් වර්ගයා වෙතට ඉතා පැහැදිලිව තම අවධානය දී ක්‍රියා කරන බවයි. (එළිදරව් 4:5ද, එළි 8:5ද බලන්න.) හරියට මහා භූමිකම්පාවකින් කම්පා වුණා සේ මිනිස් වර්ගයා මෙතෙක් කිසිම ලෙසකින් අත් නොදුටු ආකාරයකින් දෙදරුම් කනවා. (යෙසායා 13:13ද, යෝවෙල් 3:16ද බලන්න.) මෙම කම්පිත කරවන දෙදරුම් කෑම නිසා “මහත් නුවර” වන මහා බැබිලෝනිය විනාශ වී “කොටස් තුනකට” කැඩී යනවා. ඉන් අදහස් කරන්නේ මෙම නුවර සහමුලින්ම නැවත ගොඩනඟන්න බැරි තරමටම විනාශ වී යන බවයි. ‘ජාතීන්ගේ නුවරවලුත්’ මෙලෙස විනාශ වෙනවා. “සෑම දූපතක්ම” සහ “කඳු” පවා නැති වෙනවා. මෙයින් අදහස් කරන්නේ සාතන්ගේ ලෝකයේ බැලූ බැල්මට යම් ස්ථාවරත්වයක් පෙන්වන සංවිධාන සහ ආයතන සියල්ලම විනාශ වී යන බවයි. මිනිස් වර්ගයා මහා ‘හිම කැට වර්ෂාවකිනුත්’ දැඩි ලෙස පහර කනවා. එක හිම කැටයක් තලෙන්තයක බර බව කීමෙන් එහි භයානකකම තවත් තහවුරු වෙනවා.d එය අනිවාර්යයෙන්ම ඊජිප්තුවට පහර දුන් සත්වෙනි පීඩාවට වඩා භායනකයි. (නික්මයාම 9:22-26) මෙම දැඩි හිම කැට ප්‍රහාරයෙන් අවධාරණය කරන්නේ මෙම දුෂ්ට සමාජයේ අවසානය පැමිණ ඇති බවයි. ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවිගේ විනිශ්චයන් ඉතා දැඩි ලෙස ප්‍රකාශ වෙනවා. සමහරවිට ඒ විනිශ්චය ඉටු කිරීමට යෙහෝවා දෙවි සිදු කරන ඉතා විනාශකාරී සැබෑ හිම කැට වර්ෂාවක්ද ඊට ඇතුළත් විය හැකියි.—යෝබ් 38:22, 23.
39. බඳුන් සත වත් කළත් මිනිස් වර්ගයාගෙන් වැඩිදෙනෙක් ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද?
39 සාතන්ගේ ලෝකයට යෙහෝවා දෙවිගේ ධර්මිෂ්ඨ විනිශ්චය අද්දකින්න වෙනවා. ඒ අවසාන මොහොතේදී වුණත් මිනිස් වර්ගයාගෙන් වැඩිදෙනෙක් දෙවිට අපහාස කරමින් ඔහුට විරුද්ධ වෙයි. අතීතයේ ඊජිප්තුවේ සිටි පාරාවෝ රජ මෙන් ඒ පීඩා අද්දකිමින් අවසානයේදී විනාශයේ අබියසට පැමිණියත් ඔවුන්ගේ දැඩි සිත් නම් මෘදු වෙන්නේ නැහැ. (නික්මයාම 11:9, 10) අන්තිම මොහොතේදීවත් මිනිසුන් මහ පරිමාණයෙන් දෙවි වෙතට හැරෙන්නේ නැහැ. ඔවුන් තම අවසන් හුස්ම හෙළන විටත් “මම යෙහෝවායයි ඔවුහු දැනගන්නෝය” කියා කියන දෙවිට අපහාස කරනවා. (එසකියෙල් 38:23) කොහොමනමුත් එදාට විශ්වයේ අධිපති සර්වබලධාරී යෙහෝවා දෙවිගේ පාලනයට ඇති වූ කැළල ඉවත් වෙනවා නොඅනුමානයි.
[පාදසටහන්වල]
a පණ නැති දේවල් සාක්ෂියක් දෙන බවට පෙන්වන උදාහරණ සොයාගැනීමට උත්පත්ති 4:10; 31:44-53; හෙබ්‍රෙව් 12:24 යන බයිබල් පද බලන්න.
b මීට සමාන අදහසක් ඇතිව “සිංහාසනය” යන වචනය යේසුස්ගේ පාලනයටත් අදාළ කර තිබෙනවා. යේසුස් ගැන “සදාකාලයෙන් සදාකාලයට දෙවි ඔබේ සිංහසනය වන්නේය” කියා පවසා තිබෙනවා. (ගීතාවලිය 45:6) ඉන් අදහස් වෙන්නේ යේසුස් සතු බලතලවල උල්පත එනම් අත්තිවාරම යෙහෝවා දෙවි බවයි.
c යෝබ් 1:6, 12; 2:1, 2; මතෙව් 4:8-10; 13:19; ලූක් 8:12; යොහන් 8:44; 12:31; 14:30; හෙබ්‍රෙව් 2:14; 1 පේතෘස් 5:8 බලන්න.
d යොහන් මෙහිදී කතා කරන්නේ ග්‍රීක තලෙන්තයක් ගැන නම්, එක හිම කැටයක් බරින් කිලෝග්‍රෑම් 20ක් පමණ වෙයි. ඒ හිම කැට වර්ෂාව කොතරම් භයානක වෙයිද කියා අපට සිතාගත හැකියි.
[221වන පිටුවේ කොටුව]
“පොළොවට”
යොහන් පන්තිය “පොළොවට” එරෙහිව යෙහෝවා දෙවිගේ කෝපය ප්‍රකාශ කර ඇත්තේ මෙලෙසයි.
“සියවස් ගණනාවක් පුරා කොතරම් වෑයම් කළත් ලෝකයේ දක්නට ලැබෙන අභියෝගවලට මුහුණ දෙන්නත් පවතින පීඩාකාරී ගැටලුවලට විසඳුම් ලබා දෙන්නත් පාලකයන්ට බැරි වී තිබෙනවා. මේ ගැන ආර්ථික විද්‍යාඥයන් සහ දේශපාලනඥයන් කොතරම් අධ්‍යයනය කළත් ඔවුන්ට කිසිවක් කළ නොහැකියි.”—Millions Now Living Will Never Die, 1920, 61 පිටුව.
“අඩුම තරමින් ජනයාගෙන් බහුතරයකට යහපතක් ඉටු කරන එක ආණ්ඩුවක්වත් ලෝකයේ නැහැ. රටවල් බොහොමයක් පාලනය කරන්නේ ඒකාධිපතීන්. මුළු ලෝකයම ඇත්තටම බංකොලොත් වෙලා.”—A Desirable Government, 1924, 5 පිටුව.
“මේ ලෝකයෙන් නපුර තුරන් කර සාමය හා ධර්මිෂ්ඨ සමාජයක් උදා කිරීමට එකම මඟ . . . මේ දුෂ්ට සමාජය අවසානයකට ගෙන ඒමයි.”—“This Good News of the Kingdom,” 1954, 25 පිටුව.
“වර්තමාන ලෝකය පුරාවටම අප දකින්නේ පව්කාරකම, අධර්මිෂ්ඨකම හා මිනිසුන් දෙවිට හා ඔහුගේ කැමැත්තට විරුද්ධව කැරලි ගසන ආකාරයයි. . . . මේ ලෝකය හදන්න නම් බැහැ. එමනිසා එය අවසන් කළ යුතුයි!”—වොච්ටවර් 1981 නොවැම්බර් 15, 6 පිටුව.
[223වන පිටුවේ කොටුව]
“මුහුදට”
“මුහුදට” එනම් විප්ලවයට හා කැරලි කෝලහලවලට නැඹුරු කැලඹුණු, නොසන්සුන්, දෙවිගෙන් ඈත් වූ මිනිස් සමාජයට විරුද්ධව දෙවිගේ කෝපය ප්‍රකාශ කරමින් යොහන් පන්තිය වසර ගණනාවක් පුරා ප්‍රසිද්ධ කර ඇති තොරතුරු කිහිපයක් මතු දැක්වෙනවා:
“මිනිස් ඉතිහාසය පුරාම අප දකින්නේ විවිධ පන්ති භේද පවතින බවයි. සුළුතරය බහුතරයට එරෙහි වී සිටිනවා. . . . මෙම භේද නිසා නොයෙකුත් විප්ලව, බොහෝ දුක් ගැහැට සහ මහත් ලේ වැගිරීමක් සිදු වී තිබෙනවා.”—Government, 1928, 244 පිටුව.
“පාරාදීස පොළොවේදී විප්ලවයට හා කැරලි කෝලහලවලට නැඹුරු කැලඹුණු, නොසන්සුන්, දෙවිගෙන් ඈත් වූ මිනිස් සමාජය එනම් අවුරුදු දහස් ගණනකට පෙර සංකේතවත් වන මෘගයාව මතු කළ ‘සංකේතවත් මුහුද’ පහ වී යනවා.”—වොච්ටවර් 1967 සැප්තැම්බර් 15, 567 පිටුව.
“දැනට පවතින මේ දුෂ්ට මිනිස් සමාජය ඉතා පිරිහුණු රෝගාතුර තත්වයකයි පවතින්නේ. එය බේරාගන්න අපගෙන් කිසිම කෙනෙකුට බැහැ. දේවවචනයේ පෙන්වන්නේ ප්‍රතිඵලයක් ලෙස එය මරණය අද්දකින බවයි.”—True Peace and Security—From What Source?, 1973, 131 පිටුව.
[224වන පිටුවේ කොටුව]
“ගංගාවලටත් දිය උල්පත්වලටත්”
“ගංගාවලටත් දිය උල්පත්වලටත්” වත් කළ තුන්වන පීඩාවට මෙවැනි ප්රකාශනයන් ඇතුළත් වුණා.
“යේසුස් පැවසූ දේවල් උගන්වන බවට කියන පූජක පක්ෂය යුද්ධයට ආශීර්වාද කර එය ශුද්ධ දෙයක් බවට පත් කර තිබෙනවා. අනුන්ගේ ලේ වගුරුවන රණ විරුවන්ගේ රූප සමඟ ඔවුන්ගේ රූප තැබීම ගැන ඔවුන් ආඩම්බර වෙනවා.”—වොච්ටවර් 1924 සැප්තැම්බර් 15, 275 පිටුව.
“භූතවාදය පදනම් වී ඇත්තේ මහා බොරුවක් මතයි. එය නම් මරණයෙන් පසු යමක් නොනැසී පවතින බවට හා අමරණීය ආත්මයක් ඇති බවට වූ බොරුවයි.”—What Do the Scriptures Say About “Survival After Death?,” 1955, 51 පිටුව.
“දර්ශනවාදීන්, දේශපාලන න්යායාචාර්යවරුන්, සමාජ සේවකයන්, ආර්ථික විශේෂඥයන් සහ ආගමික සම්ප්‍රදායන් රකින්නන් කොතරම් උපදෙස් දුන්නත් මිනිසුන්ට නියම තෘප්තියක් හා ප්රබෝධයක් ලබා දීමට ඔවුන්ට හැකි වී නැහැ. . . . ඔවුන්ගේ උපදෙස් නමැති ‘ජලධාරා’ බීම නිසා බොහෝදෙනා රුධිරය පිළිබඳ මැවුම්කාර දෙවිගේ නීතිය කඩ කර ඇති අතර, අන්‍යාගමිකයන්ට පීඩා කර තිබෙනවා.”—වර්ෂ 1963දී “සදාකාලික ශුභාරංචි” නම් ජාත්‍යන්තර සමුළුවේදී ස්ථිර කරගත් සම්මුතියක්.
“මිනිසාගෙන් අපේක්ෂා කළ හැක්කේ විද්‍යාව මගින් ගෙනෙන යම් විසඳුමක් නොව නමුත් මුළු මිනිස් සංහතියේම විනාශයයි. . . . මේ ලෝකයේ සියලුම මනෝ වෛද්‍යවරුන් එකතු වුණත් මිනිසා සිතන ආකාරය වෙනස් කරන්න ඔවුන්ට හැකි වෙයි කියා අපට සිතන්න බැහැ. . . . ජාත්‍යන්තර පොලිසයක් පිහිටෙව්වත් . . . මේ ලෝකය ආරක්ෂා කරන්න පුළුවන් වෙයි කියා අපට විශ්වාස කරන්න බැහැ.”—Saving the Human Race—In the Kingdom Way, 1970, 5 පිටුව.
[225වන පිටුවේ කොටුව]
“සූර්යයා මතට”
“ස්වාමීන්ගේ දවසේදී මිනිස් පාලනය නමැති “සූර්යයා” මිනිස් වර්ගයාව “දවා” තිබෙන ආකාරය යොහන් පන්තිය හෙළි කර තිබෙන්නේ මෙලෙසයි.
“අදදින හිට්ලර් සහ මුසලීනි නම් වූ කුරිරු ඒකාධිපතීන් දෙදෙනා මුළු ලෝකයේ සාමයට බලවත් තර්ජනයක් එල්ල කරනවා. මිනිසුන්ගේ නිදහස උදුරා දැමීමට ඔවුන් අනුගමනය කරන ප්‍රතිපත්තිවලට රෝමානු කතෝලික සභාවේ ඉහළ පෙළේ නායකයන් පූර්ණ සහයෝගයක් දෙනවා.”—Fascism or Freedom, 1939, 12 පිටුව
“ඉතිහාසය පුරා ඒකාධිපතීන් උත්සාහ කර තිබෙන්නේ තම කුරිරු පාලනයට සියලුදෙනාව යටත් කරගන්නයි. යටත් නොවන අයව ඝාතනය කර තිබෙනවා. නමුත් දැන් රජ වී සිටින යේසුස් ක්‍රිස්තුස්ගේ පාලනයට සියලුදෙනාම යටත් විය යුතුයි. එසේ නොවුණොත් ඔවුන්ට විනාශය අද්දකින්න සිදු වෙනවා.”—When All Nations Unite Under God’s Kingdom, 1961, 23 පිටුව.
“1945 සිට ලෝකය පුරා සිදු වී තිබෙන යුද්ධ 150කින් 2,50,00,000ක් දෙනා මරුමුවට පත් වී ඇත.”—මුරටැඹ 1980 මැයි 1, 6 පිටුව.
“ලෝකය පුරාම තිබෙන එක රටක්වත් . . . ජාත්‍යන්තර වශයෙන් තමන්ට තිබෙන වගකීම ගැන තකන්නේ නැහැ. එමනිසා තමන්ගේ අභිමතාර්ථ ඉටු කරගැනීමට ඇතැම් රටවල් අවශ්‍යයි කියා සිතන ඕනෑම දෙයක් වුණත් කරනවා. ඔවුන් විශාල ජන පිරිස් හා ප්‍රසිද්ධ පුද්ගලයන්ව ඝාතනය කරනවා. අහස් යානා පැහැරගන්නවා. බෝම්බ පුපුරුවාහරිනවා. . . . මෙවැනි අමානුෂික ක්‍රියා කොතරම් කාලයක් ඉවසන්නද?”—වොච්ටවර් 1985 පෙබරවාරි 15, 4 පිටුව.
[227වන පිටුවේ කොටුව]
“වන මෘගයාගේ සිංහාසනය මතට”
යෙහෝවාගේ සාක්ෂිකරුවන් වන මෘගයාගේ සිංහාසනය කුමක්ද කියා හෙළි කර තිබෙනවා. යෙහෝවා දෙවි එම සිංහාසනය හෙළා දකින ආකාරය මෙවැනි ප්‍රකාශවලින් පැහැදිලි වෙනවා.
“ලෝකයේ පවතින රටවල පාලකයන්ට හා උපදේශකයන්ට බලපෑම් කරන්නේ ඉතාමත් නපුරු භූත බලවේගයන්. ඔවුන්ගේ කුරිරු බලපෑම නිසා සියලුම ජාතීන් දෙවිගේ මහත් දවසේ යුද්ධයේදී විනාශය කරා ළඟා වෙනවා.”—After Armageddon—God’s New World, 1953, 8 පිටුව.
“දෙවිගෙන් ඈත් වූ මිනිස් පාලන නියෝජනය කරන ‘වන මෘගයා’ තම බලය හා සිංහාසනය ලබාගත්තේ මකරාගෙනුයි. එමනිසා ඔවුන්ට සිදු වී ඇත්තේ මකරාගේ පදයට නටන්නයි.”—After Armageddon—God’s New World, 1953, 15 පිටුව.
“ලෝකයේ සියලුම ජාතීන් තෝරාගෙන තිබෙන්නේ . . . දෙවිගේ ප්‍රධාන විරුද්ධකාරයා වන සාතන් නම් යක්ෂයාගේ පැත්තේ සිටින්නයි.”—වර්ෂ 1973 “දිව්‍ය ජයග්‍රහණය” නමැති ජාත්‍යන්තර සමුළුවේදී ස්ථිර කරගත් සම්මුතිය.
[229වන පිටුවේ කොටුව]
“එහි වතුර හිඳුණේය”
දැන් පවා බොහෝ රටවල බබිලෝනියේ ආභාසය ඇති ආගම්වලට ජනයා දෙන සහයෝගය පිරිහෙනවා. “නැඟෙනහිරෙන් එන රජුන්” පහර දෙන විට ඔවුන් අසරණ වන ආකාරයට එය පෙරනිමිත්තක් සපයනවා.
“[තායිලන්තයේ] පැවති සමීක්ෂණයකට අනුව, ගම්බද ප්‍රදේශවල ජීවත් වන බෞද්ධ ජනයාගෙන් දැන් පන්සල්වලට යන්නේ සියයට පනහයි. නගරබද ප්‍රදේශවල ජීවත් වන ජනයාගෙන් සියයට 75ක්ම බණ ඇසීම සඳහා පන්සල්වලට යන්නේ නැහැ.”—Bangkok Post, 1987 සැප්තැම්බර් 7, 4 පිටුව.
“මීට වසර දෙදහසකට පමණ පෙර චීනයේ බිහි වූ ටාඕ ධර්මයේ ආකර්ෂණය දැන් නැති වී ගොස් තිබෙනවා. . . . විශාල ජනකායක් ආකර්ෂණය කරගැනීමට ඔවුන්ගේ පූජකයන් හා ඔවුන්ට පෙර සිටි පූජකයන් භාවිත කළ ඉන්ද්‍රජාල ක්‍රම දැන් අභාවයට ගොස් තිබෙන නිසා තමන්ගෙන් පසුවට පූජක පිරිසක් නැතිව යාවිදෝ යන බියෙන් ඔවුන් පසු වෙනවා. මේ අනුව ටාඕ ධර්මය තම දේශයෙන් සම්පූර්ණයෙන්ම නැති වී යෑමේ තර්ජනයට මුහුණ දෙන්න ඔවුන්ට සිදු වෙලා.”—The Atlanta Journal and Constitution, 1982 සැප්තැම්බර් 12, 36-A පිටුව.
“ජපානය . . . විදේශීය මිෂනාරීන් වැඩියෙන්ම ගොස් සිටින රටයි. එහි මිෂනාරීන් 5,200ක් පමණ සිටියත් . . . ක්‍රිස්තියානි ජනයා සිටින්නේ සියයට එකක් පමණයි. . . . මෙහි 1950 සිට සේවය සඳහා පැමිණි ෆ්රැන්සිස්කන් නිකායේ පූජකයෙක් කියන්නේ . . . ‘ජපානයේ විදේශීය මිෂනාරීන්ගේ කාලය දැන් අවසන් වී ඇති’ බවයි.”—The Wall Street Journal, 1986 ජූලි 9, 1 පිටුව.
පසුගිය දශක තුන පුරා, එංගලන්තයේ “එංගලන්ත සභාවේ පල්ලි 16,000න් 2,000ක්ම පාවිච්චි කර නැති නිසා වසා දමා තිබෙනවා. ක්‍රිස්තියානියයි සැලකෙන රටවල් අතරින් අඩුවෙන්ම පල්ලි යන සංඛ්‍යාවක් සිටින රටත් එයයි. . . . ‘ඇත්තටම එංගලන්තය දැන් ක්‍රිස්තියානි රටක්ද කියන එකත් සැකයි’ කියා [ඩරම්හි රදගුරු] පැවසුවා.”—The New York Times, 1987 මැයි 11, A4 පිටුව.
“පැය ගණනක උණුසුම් විවාදයකින් පසුව [ග්‍රීසියේ] පාර්ලිමේන්තුව අද දින අනුමත කළ නීතියකින් නියෝග කළේ ග්‍රීක් ඕතඩොක්ස් සභාව විසින් තබාගෙන සිටි විශාල වතු සමාජවාදී රජයට අත් පත් කර දීමටයි. . . . හෝටල්, කිරිගරුඬ පතල් සහ කාර්යාලීය ගොඩනැඟිලි සංකීර්ණ ඇතුළු පල්ලිය සතු වත්කම් පරිපාලනය කරන කමිටුවල සහ වෙනත් සංගම්වල බලතල පූජකයන් නොවන සාමාන්‍ය පුරවැසියන්ට ලබා දීමටත් නීතියෙන් අවසර ලැබුණා.”—The New York Times, 1987 අප්‍රියෙල් 4, 3 පිටුව.
[222වන පිටුවේ පින්තූර]
දෙවිගේ කෝපයෙන් පිරුණු පළමු බඳුන් හතර, පිඹින ලද පළමු හොරණෑ සතරෙන් ප්‍රකාශ වන පීඩා සතරට සමානයි
[226වන පිටුවේ පින්තූරය]
පස්වන බඳුන වන මෘගයාගේ සිංහාසනය මතට වත් කිරීමෙන් වන මෘගයා සතු බලතල පිටුපස සිටිමින් ඌට අනුබල දෙන්නේ සාතන් බව හෙළි වෙනවා
[231වන පිටුවේ පින්තූර]
සාතන් පතුරුවන ප්‍රචාරය තුළින් ලෝකයේ පාලකයන් “හර්–මගෙදොන්” සඳහා රැස් වෙනවා. ඔවුන් යෙහෝවා දෙවිගේ විනිශ්චයට ලක් වෙන්නේ එවිටයි
[233වන පිටුවේ පින්තූරය]
සාතන්ගේ දූෂිත වූ ‘ආකාශයේ’ බලපෑමට හසු වූ පුද්ගලයන් යෙහෝවා දෙවිගේ ධර්මිෂ්ඨ විනිශ්චයට ලක් විය යුතුයි