“ඔබේ ගැලවීම ළඟයි”
“ඔබ ධෛර්යය උපදවාගෙන නැඟිටින්න. ඔබේ හිස් ඔසවන්න. මන්ද ඔබේ ගැලවීම ළඟයි.”—ලූක් 21:28.
1. ක්‍රි.ව. 66දී සිද්ධ වුණේ මොන වගේ දේවල්ද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)
හිතන්න, ඔයා ක්‍රි.ව. 66 යෙරුසලමේ ජීවත් වෙනවා කියලා. වටින් පිටින් ඇහෙන්නේ හුඟක් භයානක ආරංචි. ෆ්ලෝරස් කියන රෝම නිලධාරියා දේවමාලිගාවේ භාණ්ඩාගාරයෙන් තලෙන්ත 17ක් හොරකම් කරලා. ඒ ගැන කේන්තියෙන් හිටපු යුදෙව්වන්, රෝම හේවායන් හුඟදෙනෙක්ව මරලා දානවා. තමන් රෝම පාලනයට යටත් වෙන්නේ නැහැ කියලා කැරලිගහන්න පටන්ගන්නවා. රෝමයත් නිකං ඉන්නේ නැහැ. මාස 3ක් ඇතුළත සෙස්ටියස් ගැලස් යටතේ 30,000ක බළඇණියක් එවලා යෙරුසලම වට කරනවා. යුදෙව් කැරලිකරුවෝ සැඟවෙන්න තෝරගන්නේ දේවමාලිගාව. මේ වෙලාවේ රෝම හමුදාව ඉන්නේ දේවමාලිගාව වටා තිබුණු පවුර කිට්ටුවටම ඇවිත්. ඔවුන් ඒක කඩන්න හදනවා. දැන් නගරේ හැමෝම ඉන්නේ හුඟක් බය වෙලා. කලබල වෙලා. මේ දේවල් දකිද්දී ඔයාට කොහොම හැඟෙයිද?
2. ක්‍රි.ව. 66දී ක්‍රිස්තියානීන් කරන්න අවශ්‍ය වුණේ මොකක්ද? ඒක කරන්න පුළුවන් වුණේ කොහොමද?
2 ඒ සිද්ධීන් වෙන්න අවුරුදු ගාණකට කලින් යේසුස් තම අනුගාමිකයන්ට මෙහෙම කියලා තිබුණා. “සේනාවන් ඇවිත් යෙරුසලම වටා කඳවුරු බැඳගෙන සිටින ආකාරය ඔබ දකින විට යෙරුසලමේ විනාශය ළඟා වී ඇති බව ඔබ දැනගත යුතුයි. යුදයේ සිටින අය කඳුවලට පලා යා යුතුයි. යෙරුසලම තුළ සිටින අය නුවරින් ඉවත් විය යුතු අතර ගම්බද පළාත්වල සිටින අය නුවරට ඇතුල් වීමෙන් වැළකී සිටිය යුතුයි.” (ලූක් 21:20, 21) රෝම හමුදාව නගරේ වට කරගෙන ඉද්දී යේසුස් කියපු ඒ දේට කීකරු වෙලා නගරෙන් පිට වෙන්නේ කොහොමද? සිද්ධ වුණේ හිතාගන්නවත් බැරි දෙයක්! රෝම හමුදාව එක පාරටම යෙරුසලම අතහැරලා යනවා. ඒක වුණේ “කාලය කෙටි කරනු ලබයි” කියලා අනාවැකියේ කියපු විදිහටමයි. (මතෙ. 24:22) යේසුස් කියපු දේ කරන්න දැන් තමයි වෙලාව කියලා තේරුම්ගත්ත ක්‍රිස්තියානීන් ඉක්මනින්ම නගරෙන් පිට වෙලා කඳුකරයට ගියා.a ක්‍රි.ව. 70 රෝම හමුදාව ආයෙත් ඇවිත් යෙරුසලම සම්පූර්ණයෙන්ම විනාශ කළා. ඒත් යේසුස්ට කීකරු වුණු අයගේ ජීවිත බේරුණා.
3. පළවෙනි සියවසේ ක්‍රිස්තියානීන් මුහුණ දුන්නා වගේ අපිටත් ළඟදීම මුහුණ දෙන්න වෙන්නේ මොන දේටද? අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?
3 යේසුස් ඒ අනතුරු ඇඟවීම්, මඟ පෙන්වීම් දුන්නේ යෙරුසලමේ විනාශය මනසේ තියාගෙන විතරක් නෙමෙයි. ළඟදීම, අපි නොසිතන මොහොතක ආරම්භ වෙන ‘මහත් පීඩාවේදී’ සිද්ධ වෙන දේවල් ගැන අවබෝධයක් ලබා දෙන්නත් යේසුස් ඒ සිද්ධීන් යොදාගත්තා. (මතෙ. 24:3, 21, 29) ඒ නිසා යේසුස් දුන්න අනතුරු ඇඟවීම් අපිටත් අදාළයි. පළවෙනි සියවසේ හිටපු විශ්වාසවන්ත ක්‍රිස්තියානීන් යෙරුසලමේ විනාශයෙන් බේරුණා වගේ මහත් පීඩාවෙනුත් “මහත් සමූහයක්” බේරෙනවා. (එළිදරව් 7:9, 13, 14 කියවන්න.) ළඟදීම වෙන්න තියෙන ඒ සිද්ධීන් ගැන බයිබලයේ සඳහන් දේවල් හොඳට අවබෝධ කරගන්න එක හරිම වැදගත්. මොකද අපේ ජීවිත රැඳිලා තියෙන්නේ ඒ දේවල් හොඳට අවබෝධ කරගෙන ඒ අනුව වැඩ කරනවද නැද්ද කියන එක මතයි. ඒ සිද්ධීන් අපි එක් එක් කෙනාට බලපාන විදිහ ගැන බලමු.
මහත් පීඩාවේ ආරම්භය
4. මහත් පීඩාව ආරම්භ වෙන්නේ කොහොමද?
4 මහත් පීඩාව පටන්ගන්නේ අසත්‍ය උගන්වන සියලුම ආගම්වල විනාශයත් එක්කයි. බයිබලේ ඒ ආගම් හඳුන්වන්නේ ‘ගණිකාවන්ගේ මව වන මහ බැබිලෝනිය’ විදිහට. (එළි. 17:5-7) ආගම් ගණිකාවකට සමාන කරලා තියෙන්නේ ඒවාවල පූජකයන් දෙවිට ද්‍රෝහි වෙලා තියෙන නිසයි. ඔවුන් හරි නම් කරන්න ඕනෙ යේසුස්ටත් ඔහුගේ රාජ්‍යයටත් සහය දෙන එක. බයිබලේ තියෙන මඟ පෙන්වීම්වලට අනුව වැඩ කරන එක. ඒත් බල තණ්හාව නිසා ඔවුන් දේශපාලනයත් එක්ක හවුලේ වැඩ කරනවා. බයිබල් ප්‍රතිපත්ති බාල කරනවා. ඒ නිසා ඔවුන්ගේ නමස්කාරය අපවිත්‍රයි. අභිෂේක ලත් අයට වඩා ඔවුන් මොන තරම් වෙනස්ද! (2 කොරි. 11:2; යාකො. 1:27; එළි. 14:4) ඒත් “මහ බැබිලෝනිය” විනාශ කරන්නේ කවුද? යෙහෝවා දෙවි මහ බැබිලෝනිය විනාශ කරන අදහස “තද රතු පාට මෘගයාගේ” අං දසය තුළට දානවා කියලා බයිබලේ සඳහන් වෙනවා. තද රතු පාට මෘගයාගෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ උගේ අං දසයෙන් ඒ සංවිධානයට සහය දෙන දැන් තියෙන දේශපාලන ආණ්ඩු නියෝජනය වෙනවා.—එළිදරව් 17:3, 16-18 කියවන්න.
5, 6. “මහ බැබිලෝනිය” විනාශ වෙද්දී අසත්‍ය උගන්වන ආගම්වලට අයිති හැම සාමාජිකයෙක්ම විනාශ වෙන්නේ නැහැ කියලා අපි දන්නේ කොහොමද?
5 අසත්‍ය උගන්වන ආගම්වල ඉන්න හැම සාමාජිකයෙක්ම එදාට විනාශ වෙනවද? පේන විදිහට නැහැ. මොකද ඒ ආගම්වලට අයිති සමහරු මේ වගේ දේවල් එදාට කියනවා කියලා සෙකරියා අනාවැකියක් කිව්වා. “‘මම අනාගතවක්තෘවරයෙක් නොවෙයි. මම ගොවියෙක්. මා තරුණයෙක්ව සිටියදී මිනිසෙකු මාව දාසකමට මිල දී ගත්තා.’ ‘එසේනම් ඔබේ ශරීරය මෙසේ තුවාල වුණේ කොහොමද’ කියා යමෙක් ඔහුගෙන් ඇසූ විට ඔහුට මෙසේ පැවසීමට සිදු වෙයි. ‘මම ආදරය කරන අය මට පහර දුන්නා.’” (සෙක. 13:4-6) එදාට ආගමික නායකයන් පවා ආගම් ගැන තමන්ට කිසි විශ්වාසයක් නැහැ කියලත් තමන් කිසිම ආගමකට සම්බන්ධ වෙලා හිටියේ නැහැ කියලත් පෙන්නන්න හදයි.
6 ඒ කාලෙදී දෙවිගේ සෙනඟට මොකද වෙන්නේ? යේසුස් මෙහෙම කිව්වා. “ඇත්තෙන්ම ඒ පීඩාව පවතින කාලය කෙටි කළේ නැත්නම් කිසි කෙනෙක් ගැලවෙන්නේ නැහැ. නමුත් තෝරාගත් අය නිසා ඒ කාලය කෙටි කරනු ලබයි.” (මතෙ. 24:22) යෙරුසලමේ පැවතුණු පීඩාකාරී කාලය දෙවි ‘කෙටි කරපු’ නිසා “තෝරාගත් අය” වන අභිෂේක ලත් අයට බේරිලා යන්න අවස්ථාව ලැබුණා. ඒ වගේ අසත්‍ය උගන්වන ආගම්වල විනාශය සිද්ධ වෙන මහත් පීඩාවේ මුල් අදියර “තෝරාගත් අය” වෙනුවෙන් යෙහෝවා දෙවි කෙටි කරනවා. ඒ නිසා දෙවිගේ සෙනඟව විනාශ කරන්න අං දසයෙන් නියෝජනය කරන ආණ්ඩුවලට හැකියාව ලැබෙන්නේ නැහැ. ටික කාලෙකට සන්සුන් වාතාවරණයක් පවතිනවා.
විශ්වාසය සෝදිසියට ලක් වෙන සහ විනිශ්චයක් සිද්ධ වෙන කාලයක්
7, 8. අසත්‍ය උගන්වන ආගම් විනාශ වුණාට පස්සේ අපිට අවස්ථාව ලැබෙන්නේ මොකක් කරන්නද? දෙවිගේ සෙනඟ අනිත් අයට වඩා වෙනස් කියලා ඒ කාලෙදී පැහැදිලි වෙන්නේ කොහොමද?
7 අසත්‍ය උගන්වන ආගම් විනාශ වුණාට පස්සේ මොකද වෙන්නේ? ඒ කාලෙදී හුඟක් මිනිසුන් “කඳු පර්වත” හා සමාන මිනිස් සංවිධානවල ආරක්ෂාව පතයි. (එළි. 6:15-17) ඒත් යෙහෝවා දෙවිගේ සෙනඟ ආරක්ෂාව පතන්නේ දෙවිගෙන්. පළවෙනි සියවසේදී පීඩාව පැවතුණු ‘කාලය කෙටි කළේ’ යෙරුසලමේ හිටපු යුදෙව්වන්ට ක්‍රිස්තියානීන් වෙන්න අවස්ථාව දෙන්න නෙමෙයි. ඒ වෙනුවට යේසුස්ට කීකරු වෙලා යෙරුසලමෙන් පිට වෙන්න ක්‍රිස්තියානීන්ට අවස්ථාව දෙන්නයි. අනාගතයේදී වෙන්නෙත් ඒ වගේම දෙයක්. මහත් පීඩාවේ මුල් අදියර කෙටි කළාම මිනිසුන් හුඟදෙනෙක් දෙවිගේ සෙනඟට එකතු වෙයි කියලා අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වෙනුවට දෙවිගේ සෙනඟට තමන්ගේ හිතේ දෙවි වෙනුවෙන් කොයි තරම් ආදරයක් තියෙනවද කියලා ඔප්පු කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම අභිෂේක ලත් අයට කොයි තරම් කැමැත්තෙන් සහය දෙනවද කියලා පෙන්නන්නත් ඒක අවස්ථාවක්.—මතෙ. 25:34-40.
8 අපේ විශ්වාසය සෝදිසියට ලක් වෙන ඒ කාලෙදී මොන වගේ අමාරු තත්වයන්ට මුහුණ දෙන්න වෙයිද කියලා අපි දන්නේ නැහැ. ඒත් හුඟක් දේවල් කැප කරන්න වෙයි කියලා නම් අපි දන්නවා. පළවෙනි සියවසේ ක්‍රිස්තියානීන්ට තමන්ගේ ගෙවල් අතහැරලා යන්න වුණා. ජීවිතේ බේරගන්න හුඟක් දුෂ්කරතාවලට මුහුණ දෙන්නත් වුණා. (මාක් 13:15-18) ‘මං ගැන මොනවද කියන්න පුළුවන්? මමත් මගේ බඩු භාණ්ඩ, දේපළ, මුදල් අතහරින්න ලෑස්තිද? දෙවිට විශ්වාසවන්තව ඉන්න අවශ්‍ය කරන ඕනම දෙයක් කරන්න මං ලෑස්තිද?’ ඒ ප්‍රශ්න ගැන හිතලා බලන්න. ඒ පීඩාකාරී කාලේට ඔයාගේ මනසින් යන්න. එදාට ජීවිතේ පරදුවට තියලා යෙහෝවා දෙවිට නමස්කාර කරන සෙනඟකට ඉන්නේ අපි විතරයි. අපිත් හරියට දානියෙල් වගේ. ඔයාත් ඒ අය අතරේ ඉඳියිද?—දානි. 6:10, 11.
9, 10. (අ) මහත් පීඩාව අතරතුරේ දෙවිගේ සෙනඟ දැනුම් දෙන පණිවිඩය මොකක්ද? (ආ) දෙවිගේ සතුරන් ඒකට දක්වන ප්‍රතිචාරය මොකක්ද?
9 මහත් පීඩාව පවතින කාලය “රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය” දේශනා කරන්න කාලය නෙමෙයි. ඒක කරන්න තිබුණු කාලය ඒ වෙද්දී අවසන් වෙලා. ඒ වෙනකොට යේසුස් කතා කරපු “අවසානය” පැමිණිලයි තියෙන්නේ. (මතෙ. 24:14) දෙවිගේ සෙනඟ ඒ කාලෙදී මිනිසුන්ට දැනුම් දෙන්නේ ප්‍රබල විනිශ්චය පණිවිඩයක්. සමහරවිට ඒක සාතන්ගේ දුෂ්ට සමාජයේ විනාශය දැන් සිද්ධ වෙන්නයි යන්නේ කියන පණිවිඩේ වෙන්න පුළුවන්. ඒ පණිවිඩේ හිම කැට වර්ෂාවකට සමාන කරමින් බයිබලේ මෙහෙම කියනවා. “අහසෙන් මහත් හිම කැට වර්ෂාවක්ද මිනිසුන් පිට වැටුණේය. ඒ එක් එක් හිම කැටයක බර තලෙන්තයක් පමණ විය. හිම කැට වර්ෂාවෙන් පහර කෑ මිනිස්සු දෙවිට අපහාස කළෝය. මන්ද ඒ පීඩාව ඉතා දරුණු එකක් විය.”—එළි. 16:21.
10 ඒ විනිශ්චය පණිවිඩය අහලා අපේ සතුරන් මොනවා කරයිද? මාගොග් දේශයේ ගොග් කියලා බයිබලේ හඳුන්වන ජාතීන්ගේ එකතුව දක්වන ප්‍රතිචාරය ගැන එසකියෙල් කියන්නේ මෙහෙමයි. “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසා ඇත්තේ මෙයයි. ‘ඒ කාලයේදී විවිධාකාර අදහස් ඔබේ සිතට පහළ වී ඔබ කූට උපායක් යෙදීමට පෙලඹෙනු ඇත. එහෙයින් ඔබ මෙසේ කියාගන්නෙහිය. “කිසි ආරක්ෂාවක් නැති ඒ ගම්බද පළාතට පහර දෙන්න මම පිටත්ව යන්නෙමි. එහි ජීවත් වන සියලුදෙනාම කිසිවෙකුගෙන් හිරිහැරයක් නැතුව සුරක්ෂිතව වාසය කරන්නෝය. එහි නිවෙස්වලට දොරවල්වත් දොරගුලුවත් දමා නැත. ඒ දේශය වටා පවුරක්වත් නැත. ඒ නිසා ඒ දේශය අල්ලාගන්න මට හැකි වෙයි.” යළි ගොඩනඟා ජනාවාස කරනු ලැබූ ඒ දේශයටත් විවිධ ජාතීන් අතරින් එකතු කරනු ලැබූ ඒ ජනයාටත් පහර දෙන පිණිස ඔබ පිටත්ව එන්නෙහිය. පොළොව මැද වාසය කරන ඒ ජනයා බොහෝ ඉඩකඩම් හා ධන සම්පත් රැස් කරගෙන සිටිති. ඒ නිසා සිතේ හැටියට කොල්ල කෑමේ අධිෂ්ඨානයෙන් ඔබ ඔවුන්ට විරුද්ධව පිටත්ව එන්නෙහිය.’” (එස. 38:10-12) දෙවිගේ සෙනඟව ඔවුන් දකින්නේ වෙනස් සෙනඟක් විදිහට. හරියට “පොළොව මැද” ඉන්නවා වගේ ඔවුන්ව කැපීපේනවා. ඔවුන්ව දැක්කම තවත් නම් බලාගෙන ඉන්න බැහැ කියලා ජාතීන්ට හිතෙනවා. ඒ නිසා ඔවුන් යෙහෝවා දෙවිගේ අභිෂේක ලත් අයටත් ඔවුන්ට සහය දෙන අයටත් විරුද්ධව ප්‍රහාරයකට සූදානම් වෙනවා.
11. (අ) මහත් පීඩාව අතරතුරේ සිද්ධීන් වෙන අනුපිළිවෙළ ගැන අපි මතක තියාගන්න ඕනෙ මොකක්ද? (ආ) අහසේ ලකුණු දකිද්දී මිනිසුන් ක්‍රියා කරන්නේ කොහොමද?
11 ඊළඟට මොකද වෙන්නේ? ඊටපස්සේ සිද්ධීන් වෙන අනුපිළිවෙළ බයිබලේ කියලා නැහැ. සමහර සිද්ධීන් කීපයක්ම එකම අවස්ථාවේ වෙන්නත් ඉඩ තියෙනවා. මේ දුෂ්ට සමාජයේ අවසානය ගැන අනාවැකියක් කියද්දී යේසුස් මෙහෙම කිව්වා. “ඉර, සඳ හා තාරකාවල ලකුණු දකින්න ලැබෙයි. මුහුද කැලඹී එයින් මහත් ඝෝෂාවක් හටගන්නා නිසා පොළොවේ ජාතීන් ගැලවීමට කිසි මඟක් නොදකිමින් දැඩි වේදනා අද්දකියි. ඒ අතරතුර ලොවට සිදු වෙන්න යන දේවල් ගැන මිනිසුන් නිතරම කල්පනා කරමින් සිටින නිසාත් ඔවුන්ට දැනෙන බිය නිසාත් ඔවුන් ක්ලාන්ත වී ඇද වැටෙයි. මන්ද අහසේ තිබෙන සියලු බලයන් සොලවනු ලබයි. එවිට මනුෂ්‍ය පුත්‍රයා බලයෙන්ද මහත් තේජසකින්ද වලාකුළක එන ආකාරය දැකගන්න ඔවුන්ට හැකි වෙයි.” (ලූක් 21:25-27; මාක් 13:24-26 කියවන්න.) ඒ අනාවැකිය ඉටු වෙද්දී බය හිතෙන ලකුණු අහසේ ඇත්තටම දකින්න ලැබෙයිද? ඒක හරියටම දැනගන්න පුළුවන් වෙන්නේ එදාටයි. ඒත් යේසුස් කියපු ලකුණු දකිද්දී දෙවිගේ සතුරන් බියෙන් තැතිගැන්විලා කලබල වෙනවා කියලා නම් අපි දන්නවා.
12, 13. (අ) යේසුස් “බලයෙන්ද මහත් තේජසකින්ද” එන්නේ ඇයි? (ආ) දෙවිගේ සේවකයන් ඒ අවස්ථාවට මුහුණ දෙන්නේ කොහොමද?
12 යේසුස් “බලයෙන්ද මහත් තේජසකින්ද” එන්නේ දෙවිට විශ්වාසවන්තව ඉන්න අයට ආශීර්වාද කරන්නයි. ඒ වගේම දෙවිට අවිශ්වාසවන්ත අයට දඬුවම් කරන්නයි. (මතෙ. 24:46, 47, 50, 51; 25:19, 28-30) යේසුස් ඒක පැහැදිලි කළේ මෙහෙමයි. “මනුෂ්‍ය පුත්‍රයා තම තේජසින් සියලු දේවදූතයන් සමඟ එන අවස්ථාවේදී ඔහු තම තේජවත් සිංහාසනයේ ඉඳගනියි. එවිට සියලු ජාතීන් ඔහු ඉදිරියට රැස් කරනු ලබයි. ඉන්පසුව එඬේරෙකු එළුවන්ගෙන් බැටළුවන් වෙන් කරන්නා සේ ඔහු මිනිසුන්ව වෙන් කරයි. ඔහු බැටළුවන්ව තම දකුණු පැත්තටත් එළුවන්ව තම වම් පැත්තටත් දමයි.” (මතෙ. 25:31-33) බැටළුවන්ටත් එළුවන්ටත් යම් විනිශ්චයකට මුහුණ දෙන්න වෙනවා. එළුවන් හා සමාන දෙවිට අවිශ්වාසවන්ත අයට “හිමි වන්නේ සදාකාල මරණයයි.” ඒත් බැටළුවන් හා සමාන “ධර්මිෂ්ඨයන්ට සදාකාල ජීවනය හිමි වෙයි.”—මතෙ. 25:46.
13 තමන් විනාශ වෙනවා කියලා දැනගත්තම එළුවන් හා සමාන අය “ශෝකයෙන් තම පපුවට ගසාගන්නවා.” (මතෙ. 24:30) ඒත් අභිෂේක ලත් අයටත් ඔවුන්ට සහය දෙන අයටත් ඒ වෙලාවේ බය වෙන්න කිසිම හේතුවක් නැහැ. මොකද යේසුස් ඔවුන්ට කිව්වේ “ඒ දේ සිදු වෙන්න පටන්ගන්නා විට ඔබ ධෛර්යය උපදවාගෙන නැඟිටින්න. ඔබේ හිස් ඔසවන්න. මන්ද ඔබේ ගැලවීම ළඟයි” කියලා.—ලූක් 21:28.
රාජ්‍යයේ දීප්තියෙන් බැබළෙයි
14, 15. මාගොග් දේශයේ ගොග්ගේ ප්‍රහාරය පටන්ගත්තට පස්සේ සිද්ධ වෙන ‘රැස් කිරීම’ මොකක්ද? ඒ ‘රැස් කිරීම’ සිද්ධ වෙන්නේ කොහොමද?
14 මාගොග් දේශයේ ගොග් දෙවිගේ සෙනඟට පහර දෙන්න පටන්ගත්තට පස්සේ මොකද වෙන්නේ? බයිබලේ ඒකට උත්තර දෙන්නේ මෙහෙමයි. “එවිට ඔහු [මනුෂ්‍ය පුත්‍රයා] දේවදූතයන්ව එවා තමා වෙනුවෙන් තෝරාගත් අයව පොළොවෙන්ද ස්වර්ගයෙන්ද එනම්, සෑම තැනකින්ම රැස් කරයි.” (මාක් 13:27; මතෙ. 24:31) එතන ‘රැස් කරනවා’ කියන එකෙන් අදහස් කරන්නේ කෙනෙක්ව මුලින්ම දෙවිගේ බලයෙන් අභිෂේක කරන අවස්ථාව නෙමෙයි. ඒ වගේම ඔවුන්ට අවසන් මුද්‍රාව දෙන අවස්ථාවත් නෙමෙයි. (මතෙ. 13:37, 38) මොකද මහත් පීඩාව පටන්ගන්න කලින් ඔවුන්ට අවසන් මුද්‍රාව දීලා ඉවරයි. (එළි. 7:1-4) එහෙමනම් මේ ‘රැස් කිරීම’ මොකක්ද? ඒ වෙනකොට පොළොවේ ඉතුරු වෙලා ඉන්න අභිෂේක ලත් අයව ස්වර්ගයට රැස් කිරීම ඒකෙන් අදහස් කරනවා. (1 තෙස. 4:15-17; එළි. 14:1) ඒක සිද්ධ වෙන්නේ මාගොග් දේශයේ ගොග්ගේ ප්‍රහාරය පටන්ගත්තට පස්සේ යම් අවස්ථාවක. (එස. 38:11) ඊටපස්සේ “ධර්මිෂ්ඨයන් තම පියාණන්ගේ රාජ්‍යයෙහි සූර්යයා මෙන් දීප්තියෙන් බැබළෙයි.”—මතෙ. 13:43.b
15 ඒත් ක්‍රිස්තියානීන් කියලා කියාගන්න ආගම්වල හුඟක් අය විශ්වාස කරන්නේ ධර්මිෂ්ඨයන්ව ඔවුන්ගේ ශරීර පිටින්ම ස්වර්ගයට ගන්නවා කියලා. ඒ වගේම පොළොව පාලනය කරන්න යේසුස් එන අවස්ථාව ඔවුන්ට ඇස් දෙකෙන්ම දකින්න ලැබෙනවා කියලත් ඔවුන් හිතනවා. ඒත් බයිබලේ කියන්නේ “මනුෂ්‍ය පුත්‍රයාගේ ලකුණ අහසේ පෙනෙයි” කියලා. ඒ වගේම ඔහු පැමිණෙන්නේ “අහසේ වලාකුළු මත” කියලයි. ඒ යෙදුම්වලින් පැහැදිලි වෙන්නේ යේසුස් එන අවස්ථාව මිනිසුන්ට පේන්නේ නැහැ කියලයි. (මතෙ. 24:30) ඒ වගේම “ලේ ඇට මස් නහර සහිත ශරීරයක් ඇති කෙනෙකුට දෙවිගේ රාජ්‍යයට පිවිසිය නොහැකියි” කියලත් බයිබලේ කියනවා. ඒ නිසා ස්වර්ගයට යන අයව මුලින්ම “වෙනස් කරනු ලැබේ. ඒ වෙනස ඇසිපිය හෙළන සැණින් සිදු වේ. එය සිදු වන්නේ අවසාන හොරණෑව පිඹිනු ලබන අවස්ථාවේදී.”c (1 කොරින්ති 15:50-53 කියවන්න.) ඒකෙන් පේන්නේ ඉතුරු වෙලා ඉන්න අභිෂේක ලත් අයව ඒ අවස්ථාවේදී ක්ෂණිකව ස්වර්ගයට රැස් කරනවා කියලයි.
16, 17. බැටළු පැටවාගේ විවාහ උත්සවයට කලින් සිද්ධ වෙන්න ඕනෙ මොකක්ද?
16 ස්වර්ගයට 1,44,000දෙනාවම රැස් කළාට පස්සේ බැටළු පැටවාගේ විවාහ උත්සවයට සියල්ල සූදානම්. (එළි. 19:9) ඒත් ඒ විවාහයට කලින් දෙයක් සිද්ධ වෙන්න ඕනේ. ඒ වෙනකොටත් ගොග් දෙවිගේ සෙනඟට පහර දෙන්න පටන් අරගෙනයි තියෙන්නේ කියලා අපි දන්නවා. (එස. 38:16) ඒ ප්‍රහාරයේදී දෙවිගේ සෙනඟ කරන්නේ මොකක්ද? ඔවුන් මේ උපදෙස පිළිපදිනවා. “එහිදී ඔබට සටන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔවුන් ඉදිරියට ගොස් නිශ්චලව බලා සිටින්න. එවිට යෙහෝවා දෙවි ඔබව ගලවන ආකාරය ඔබේ ඇස් දෙකෙන්ම දැකගැනීමට ඔබට හැකි වෙයි. . . . කිසි දෙයකට භය වෙන්න එපා.” (2 ලේක. 20:17) ඒ ඇයි? ගොග්ගේ ප්‍රහාරය පටන් අරන් යම් අවස්ථාවකදී පොළොවේ ඉතුරු වෙලා ඉන්න අභිෂේක ලත් අයව ස්වර්ගයට රැස් කළාට පස්සේ වෙන දේ ගැන එළිදරව් 17:14 මෙහෙම කියනවා. “ඔවුහු බැටළු පැටවාට විරුද්ධව යුද්ධ කරනු ඇත. නමුත් බැටළු පැටවා ස්වාමිවරුන්ගේ ස්වාමියා වන නිසාත් රජවරුන්ගේ රජු වන නිසාත් ඔහු ඔවුන්ව පරාජය කරනු ඇත. එලෙසම ඔහු සමඟ සිටින කැඳවනු ලැබූ, තෝරාගනු ලැබූ, විශ්වාසවන්ත වූ අයත් ඔවුන්ව පරාජය කරනු ඇත.” යේසුස් පොළොවේ ඉන්න දෙවිගේ සෙනඟව බේරගන්නවා. ඒක කරන්න ඔහු එක්ක රජකම් කරන අභිෂේක ලත් 1,44,000දෙනාත් ඔහුට සහය වෙනවා.
17 දෙවිගේ සෙනඟව බේරගන්න කරන ඒ සටන “හර්–මගෙදොන්” යුද්ධයයි. (එළි. 16:16) ඒ යුද්දෙදී දෙවිගේ නාමය ගෞරවයට පත් වෙනවා. විනිශ්චය කරලා එළුවන් හැටියට වෙන් කරපු අවිශ්වාසවන්ත අයව ඒ යුද්දෙදී විනාශ කරනවා. දෙවිට විරුද්ධ වෙන කිසිම කෙනෙක් පොළොවේ ඉතුරු වෙන්නේ නැහැ. හර්–මගෙදොන් යුද්දෙන් බේරෙන්නේ මහත් සමූහය විතරයි. අන්තිමේදී එළිදරව් පොතේ අවසානය සනිටුහන් කරන බැටළු පැටවාගේ අලංකාරවත් විවාහය සිද්ධ වෙනවා. (එළි. 21:1-4)d දෙවිගේ අනුමැතිය දිනාගත් පොළොවේ ඉන්න සෙනඟට එදාට දෙවිගේ ආදරේ, ඔහුගේ ත්‍යාගශීලීකම උපරිමයෙන් අද්දකින්න පුළුවන්. ඒ කාලේ එන කල් අපි ආසාවෙන් බලාගෙන ඉන්නවා. බැටළු පැටවාගේ විවාහය සිද්ධ වෙන කාලය මොන තරම් ප්‍රීතිමත් කාලයක් වෙයිද!—2 පේතෘස් 3:13 කියවන්න.
18. ළඟදීම පුදුමාකාර දේවල් සිද්ධ වෙනවා කියලා අපි දන්න නිසා අපේ අධිෂ්ඨානය වෙන්න ඕනෙ මොකක්ද?
18 ඒ පුදුමාකාර සිද්ධීන් වෙන්න වැඩි දවසක් නැහැ. එහෙමනම් දැන් අපි එක් එක් කෙනා කරන්න ඕනෙ මොකක්ද? ඒ ගැන පේතෘස් කිව්වේ මෙහෙමයි. “ඒ සියල්ල එසේ නැති වී යෑමට තිබෙන නිසා ඔබ කවර ආකාරයේ පුද්ගලයන්ද කියා සිතා බලන්න. ඔබේ හැසිරීම ශුද්ධ විය යුතු අතර දෙවි සඳහා ඔබට තිබෙන භක්තිය ඔබේ ක්‍රියාවලින් පිළිබිඹු විය යුතුයි. එලෙසම යෙහෝවා දෙවිගේ දවස පැමිණෙන කාලය බලා සිටිමින් එය ඔබේ මනසෙහි ප්රමුඛව තබාගන්න. . . . එහෙයින් ප්‍රේමණීය සහෝදරයෙනි, ඔබ ඒ දේවල් ගැන බලාපොරොත්තුවෙන් සිටින නිසා අවසානය දක්වාම නොකිලිටිව, නිකැළැල්ව හා සමාදානයෙන් යුතුව ඔහු ඉදිරියෙහි පෙනී සිටීමට උපරිම උත්සාහයක් දරන්න.” (2 පේතෘ. 3:11, 12, 14) අපේ ආදරණීය දෙවිට කරන නමස්කාරය අසත්‍ය ඉගැන්වීම්වලින් පොඩ්ඩක්වත් අපවිත්‍ර කරගන්නේ නැතුව, දිගටම පවිත්‍රව තියාගන්න අපි අදිටන් කරගමු. ඒ වගේම සමාදානයේ රජු වන යේසුස්ට අපේ සම්පූර්ණ සහය දෙමු.
c පොළොවේ ඉතුරු වෙලා ඉන්න අභිෂේක ලත් අයව ශරීරය පිටින්ම ස්වර්ගයට ගන්නේ නැහැ. (1 කොරි. 15:48, 49) ඔවුන්ගේ සිරුරු යේසුස්ගේ සිරුර අයින් කරපු විදිහටම අයින් කරයි.
d සිද්ධීන් වෙන අනුපිළිවෙළ ගැන විස්තර ගීතාවලිය 45ත් සඳහන් වෙනවා. මුලින්ම රජ සටන් කරනවා. ඊටපස්සේ තමයි විවාහය සිද්ධ වෙන්නේ.