දහසයවන පරිච්ඡේදය
සටන් වදින රජවරුන්ගේ අවසානය ළඟා වේ
1, 2. දෙවන ලෝක සංග්රාමයෙන් පසුව උතුරු දිශාවේ රජගේ අනන්‍යතාව වෙනස් වූයේ කෙසේද?
එක්සත් ජනපදයේ සහ රුසියාවේ දේශපාලන, වාතාවරණය ගැන කල්පනා කරමින්, ප්‍රංශ දාර්ශනික සහ ඉතිහාසඥ අලෙක්සි ඩ ටෝක්විල් 1835දී මෙසේ ලිව්වා: “එක් රාජ්‍යයක් සිය පොලඹවන මූලික බලය ලෙස නිදහසත්, අනික මෙහෙවරකමත් යොදාගන්නවා. ඔවුන්ගේ . . . ගමන් මඟ එකිනෙකට වෙනස්; කෙසේවෙතත්, දෙවියන් ඔවුන්ව පත් කර තිබෙන්නේ, යම් දවසක ලොවෙන් අඩක් අල්ලාගැනීමටයි.” දෙවන ලෝක සංග්‍රාමයත් සමඟම, මේ පුරෝකථනය කොතරම් දුරට නිරවද්‍ය වුණාද? ඉතිහාසඥ ජේ. එම්. රොබට්ස් මෙසේ ලියනවා: “දෙවන ලෝක සංග්රාමයෙන් පසුව, ලෝකයේ ඉරණම ඇත්තෙන්ම, එකිනෙකට බොහෝ වෙනස් බලයන් දෙකක අණසක යටතට පැමිණියා. එකක් රුසියාවේ තිබුණු බලය යටතටත්, අනික අමෙරිකා එක්සත් ජනපදය යටතටත් පත් වුණා.”
2 ලෝක සංග්රාම දෙකේදීම, දකුණු දිශාවේ රජු වන එංගලන්ත-අමෙරිකානු ලෝක බලයේ ප්‍රධාන සතුරා ලෙස ජර්මනිය, උතුරු දිශාවේ රජගේ තනතුර හිමි කරගෙන සිටියා. කෙසේවෙතත්, IIවන ලෝක සංග්‍රාමයට පසුව, එම ජාතිය දෙකට බෙදුණා. බටහිර ජර්මනිය දකුණු දිශාවේ රජුගේ පක්ෂය සමඟත්, නැඟෙනහිර ජර්මනිය වෙනත් ප්‍රබල දේශපාලන බලයක් වන, සෝවියට් සංගමය මෙහෙයවූ කොමියුනිස්ට් රටවල් සමඟත් එක් වුණා. මේ ජාතීන් සමූහය නැතහොත් දේශපාලන බලවේගය, එංගලන්ත-අමෙරිකානු හවුලට දැඩි විරෝධතා ඇති කරමින්, උතුරු දිශාවේ රජ ලෙස නැඟී සිටියා. මේ රජුන් දෙදෙනාගේ තරඟය 1948 සිට 1989 දක්වා ඇදුණා වූ ශීත යුද්ධයක් බවට පත් වුණා. මීට පෙර, උතුරු දිශාවේ ජර්මානු රජ “ශුද්ධ ගිවිසුමට විරුද්ධව” ක්‍රියා කළා. (දානියෙල් 11:28, 30) ගිවිසුම සම්බන්ධයෙන් කොමියුනිස්ට් ජාතීන් ක්‍රියා කරන්න යන්නේ කෙසේද?
සැබෑ ක්‍රිස්තියානීන් පැකිලුණත් ජයගනී
3, 4. “ගිවිසුමට විරුද්ධව දුෂ්ට ලෙස ක්‍රියා” කරන්නේ කවුද? එමෙන්ම, උතුරු දිශාවේ රජ සමඟ ඔවුන්ට තිබී ඇත්තේ කිනම් සම්බන්ධතාවක්ද?
3 දෙවිගේ දූතයා මෙසේ කිව්වා: “ගිවිසුමට විරුද්ධව දුෂ්ට ලෙස ක්රියාකරන්නන්ව ඔහු [උතුරු දිශාවේ රජ] ඉච්චාවෙන් ඇදහිල්ල අත්හැර යෑමට සලස්වන්නේය.” දේවදූතයා තවදුරටත් මෙසේ කියනවා: “එහෙත්, තම දෙවිව හඳුනන සෙනඟ ජයගෙන ඵලදායි ලෙස ක්‍රියා කරන්නෝය. සෙනඟ අතරෙන් තීක්ෂ්ණ බුද්ධිය ඇති අය බොහෝදෙනෙකුව තේරුම්ගැනීමට පමුණුවනවා ඇත. එමෙන්ම, දවස් ගණනක් කඩුවෙන් හා ගින්නෙන්ද වහල්කමෙන් හා කොල්ලකෑමෙන්ද ඔවුන්ව පැකිලෙන්න සලස්වනවා ඇත.”—දානියෙල් 11:32, 33, NW.
4 “ගිවිසුමට විරුද්ධව දුෂ්ට ලෙස ක්‍රියා කරන්නන්” විය යුත්තේ, ක්‍රිස්තියානීන්යයි කියාගන්නා නමුත්, තමන්ගේ ක්‍රියාවලින් ක්‍රිස්තියානි ධර්මය යන නාමය කෙලෙසන්නාවූ ක්‍රිස්තියානි ලෝකයේ නායකයන්මයි. සෝවියට් සංගමයේ ආගම (ඉංග්‍රීසියෙන්) යන තම පොතේ වෝල්ටර් කෝලාර්ස් මෙසේ කියනවා: “[දෙවන ලෝක යුද්ධය අතරතුරේදී], සෝවියට් රජය තම මව්බිමේ ආරක්ෂාව සඳහා පල්ලිවල ද්‍රව්‍යමය සහ සදාචාරමය සහාය ලබාගැනීමට යත්න දැරුවා.” යුද්ධයෙන් පසු, ඒ වන විට උතුරු දිශාවේ රජව සිටි බලවේගයේ අදේවවාදී ප්‍රතිපත්ති තිබියදීත්, පල්ලි නායකයන් එම මිත්‍රත්වය පවත්වාගෙන යෑමට උත්සාහ කළා. මේ අනුව, ක්‍රිස්තියානි ලෝකය වෙන කවර කලකටත් වඩා, මේ ලෝකයේ කොටසක් බව ඔප්පු වුණා. මෙය යෙහෝවාගේ ඇස් හමුවෙහි පිළිකුල්සහගත ඇදහිල්ල අත්හැර යෑමක් වුණා.—යොහන් 17:16; යාකොබ් 4:4.
5, 6. “තම දෙවිව හඳුනන සෙනඟ” කවුද? එමෙන්ම, උතුරු දිශාවේ රජ යටතේ ඔවුන් කල් ගෙව්වේ කෙසේද?
5 “තම දෙවිව හඳුනන සෙනඟ” සහ “තීක්ෂ්ණ බුද්ධිය ඇති අය” වන අව්‍යාජ ක්‍රිස්තියානීන් ගැන කිව හැක්කේ කුමක්ද? ‘බලය ලත් අධිකාරීන්ට නිසි ලෙස යටත්’ වුවද, උතුරු දිශාවේ රජගේ පාලනය යටතේ ජීවත් වූ ක්‍රිස්තියානීන්, මේ ලෝකයේ කොටසක් වූයේ නැහැ. (රෝම 13:1, NW; යොහන් 18:36) “කායිසර්ගේ දේ කායිසර්ට” දීමට ඔවුන් වගබලා ගත් අතර, ‘දෙවිගේ දේ දෙවිට’ දුන්නා. (මතෙව් 22:21) මේ නිසා, ඔවුන්ගේ අඛණ්ඩතාව අභියෝගයට ලක් වුණා.—2 තිමෝති 3:12.
6 ප්‍රතිඵලයක් හැටියට, සැබෑ ක්‍රිස්තියානීන් ‘පැකිල’ පසුව ‘ජයගත්තා.’ ඔවුන් පැකිලුණේ, තියුණු පීඩා විඳීමෙන් සහ සමහර අය මරණයට පවා පත්වීම මගිනුයි. එහෙත්, ඔවුන් ජයගත්තේ, ඔවුන්ගෙන් බහුතරයක් ඇදහිලිවන්තව සිටීම මගිනුයි. ඔවුන් යේසුස් මෙන් ලෝකයෙන් ජයගත්තා. (යොහන් 16:33) ඊට අමතරව, ඔවුන්ව සිරගත කළත්, ගාල් කඳවුරුවලට යැව්වත් ඔවුන් කොහොමටවත් දේශනා වැඩය නැවැත්වූයේ නැහැ. එසේ කිරීමෙන්, ඔවුන් ‘බොහෝදෙනෙකුට තේරුම්ගැනීම සැපයුවා.’ උතුරු දිශාවේ රජ පාලනය කළ දේශ බොහොමයක තිබූ පීඩා හමුවේ, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සංඛ්‍යාව වැඩි වුණා. “තීක්ෂ්ණ බුද්ධිය ඇති [අයට]” ස්තුතිවන්ත වන්න නොකඩවා වැඩි වෙන්නාවූ ‘මහත් සමූහයේ’ කොටසක් එම දේශවලින් පැමිණ තිබෙනවා.—එළිදරව් 7:9-14.
යෙහෝවාගේ සෙනඟව ශෝධනය කෙරේ
7. උතුරු දිශාවේ රජ යටතේ සිටි ආලේප ලත් ක්‍රිස්තියානීන්ට ‘ස්වල්ප වශයෙන් ලැබුණු උපකාරය’ කුමක්ද?
7 “ඔවුන් [දෙවිගේ සෙනඟ] වැටෙන කල ස්වල්ප වශයෙන් ඔවුන්ට උපකාර ලැබේ” කියා දේවදූතයා කිව්වා. (දානියෙල් 11:34අ) දෙවන ලෝක මහා යුද්ධයෙන් දකුණු දිශාවේ රජු ලද ජයග්‍රහණය, එදිරිවාදී රජ යටතේ සිටි ක්‍රිස්තියානීන්ට යම් ආකාරයක සහනයක් ගෙනාවා. (එළිදරව් 12:15, 16අ සසඳන්න.) සමානාකාරයෙන්, උතුරු දිශාවේ රජුගේ අනුප්‍රාප්තික රජුගෙන් පීඩා ලැබූ අය කලින් කලට සහනයද අද්දැක්කා. ශීත යුද්ධය ක්‍රමානුකූලව එහි අවසානයට ළඟා වූවාත් සමඟම, ඇදහිලිවන්ත ක්‍රිස්තියානීන්ගෙන් තමන්ට තර්ජනයක් නැති බව බොහෝ පාලකයන් වටහාගත් අතර, ඔවුන්ට නීතික පිළිගැනීම ලබා දුන්නා. ආලේප ලත් අය විශ්වාසවන්තව කළ දේශනා වැඩයට ප්‍රතිචාරය දක්වා, ඔවුන්ට උපකාර කළ මහත් සමූහයේ වැඩි වන්නාවූ සංඛ්‍යාවෙන්ද උපකාර පැමිණියා.—මතෙව් 25:34-40.
8. සමහරු “ඉච්චාවලින්” දෙවිගේ සෙනඟට හවුල් වුණේ කෙසේද?
8 ශීත යුද්ධය පැවති අවුරුදු ගණනාව තුළදී, දෙවිගේ සේවයට උනන්දුවක් දක්වන බව කියා සිටි සියලුදෙනාටම යහපත් චේතනා තිබුණේ නැහැ. දේවදූතයා මෙසේ අනතුරු අඟවා තිබුණා: “බොහෝ දෙනෙක්ද ඉච්චාවලින් ඔවුන්ට එකතුවෙනවා ඇත.” (දානියෙල් 11:34ආ) සැලකිය යුතු සංඛ්‍යාවක් සත්‍යය සම්බන්ධයෙන් උනන්දුවක් පෙන්වුවත්, දෙවිට කැපවීමක් කරන්න කැමැත්තක් දැක්වූයේ නැහැ. මේ අතර, ශුභාරංචිය පිළිගත් බව පෙන්වූ වෙනත් අය ඇත්තෙන්ම බලධාරීන්ගේ ඔත්තුකාරයන් වුණා. එක් රටකින් පැමිණි වාර්තාවක් මෙසේ කියනවා: “මේ ප්‍රතිපත්තියක් නැති පුද්ගලයන්ගෙන් සමහරෙක් ස්වාමීන්ගේ සංවිධානයට රිංගාගත් ප්‍රසිද්ධ කොමියුනිස්ට්වාදීන් වුණා. මොවුන් මහත් ජ්වලිතයක් විදහාපෙන්වූ අතර, ඉහළ සේවා වරප්‍රසාද පවා ලබාගෙන තිබෙනවා.”
9. රිංගාගත් අය නිසා ඇදහිලිවන්තයන් සමහරෙකුව පැකිලීමට පත් වෙන්න යෙහෝවා ඉඩහැරියේ මන්ද?
9 දේවදූතයා තවදුරටත් මෙසේ කියනවා: “තීන්දුවේ කාලය දක්වා [අන්තිම කාලය තෙක්, NW] ඔවුන් පිරිසිදුකර [ශෝධනය කර, NW] ශුද්ධපවිත්‍රකරන්ට ඔවුන්ගෙන් නුවණ [තීක්ෂ්ණ බුද්ධිය, NW] ඇති සමහරු වැටෙන්නෝය [පැකිලෙන්නෝය, NW]. මක්නිසාද නියම [කරන ලද, NW] කාලය තව ප්‍රමාදවන්නේය.” (දානියෙල් 11:35) රිංගාගත් ඇතැම් අය, ඇදහිලිවන්තයන් සමහරෙකුව බලධාරීන්ගේ අත්වලට පාවා දුන්නා. එවැනි දෙයක් සිදුවීමට යෙහෝවා ඉඩහැරියේ තම සෙනඟව ශෝධනය කිරීමටයි, එනම් පිරිසිදු කිරීමටයි. යේසුස් ‘තමන් විඳි දේවලින් කීකරුකම ඉගෙනගත්තාක්’ මෙන්, මෙම ඇදහිලිවන්තයන්ද තමන්ගේ ඇදහිල්ලේ පරීක්ෂණවලින් විඳදරාගැනීම ඉගෙනගත්තා. (හෙබ්‍රෙව් 5:8; යාකොබ් 1:2, 3; සසඳන්න මලාකී 3:3.) මෙසේ, ඔවුන් ‘ශෝධනය කර, පිරිසිදු කරනු ලැබූ අතර, ශුද්ධ පවිත්‍රද කරනු ලැබුවා.’
10. “අන්තිම කාලය තෙක්” යන කියමනෙහි අර්ථය කුමක්ද?
10 යෙහෝවාගේ සෙනඟට “අන්තිම කාලය තෙක්” පැකිලීම සහ ශෝධනය කිරීම අද්දකින්න නියමිතව තිබුණා. ඇත්තෙන්ම, මේ දුෂ්ට දේවල පිළිවෙළේ අවසානය තෙක් ඔවුන් පීඩා අපේක්ෂාවෙන් සිටිනවා. කෙසේවෙතත්, උතුරු දිශාවේ රජ බලෙන් ඇතුල්වීම හේතුකොටගෙන දෙවිගේ සෙනඟ තුළ සිදු වූ ශෝධනය සහ ශුද්ධ පවිත්‍ර කිරීම ‘නියම කරන ලද කාලය’ සඳහා නියමිත වුණා. මෙසේ, දානියෙල් 11:35හි සඳහන් “අන්තිම කාලය” යන්න යොමු දක්වන්නේ, උතුරු දිශාවේ රජගේ ප්‍රහාර විඳදරාගනිමින් ශෝධනය වීමට දෙවිගේ සෙනඟට අවශ්‍ය කරන කාලපරිච්ඡේදයේ අවසානයට විය යුතුයි. තිබෙන සාක්ෂිවලට අනුව, යෙහෝවා විසින් නියම කරන ලද කාලයේදී පැකිලීම නිම වුණා.
රජ තමාවම වර්ණනා කරගනී
11. යෙහෝවාගේ පරමාධිපත්‍යය සම්බන්ධයෙන් උතුරු දිශාවේ රජුගේ ආකල්පය ගැන දේවදූතයා කිව්වේ කුමක්ද?
11 උතුරු දිශාවේ රජ ගැන දේවදූතයා තවදුරටත් මෙසේ කිව්වා: “රජද තමාගේ කැමැත්තේ හැටියට කර, සියලු දෙවිවරුන්ට විරුද්ධව උසස්වී, උඩඟුවී [තමාව මහිමවත් කරගෙන, NW], [යෙහෝවාගේ පරමාධිපත්‍යය පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින්] දෙවිවරුන්ගේ [දෙවිට] විරුද්ධව අපූරු [අරුම පුදුම, NW] දේ කථාකරනවා ඇත. උදහස තීන්දුවෙන තුරුද ඔහු සඵලවෙනවා ඇත; මක්නිසාද නියමය ඉෂ්ටවන්නේය. ඔහු තමාගේ පියවරුන්ගේ දෙවිවරුන් [දෙවිව, NW] සලකන්නේවත් ස්ත්රීන්ගේ ආශාව හෝ වෙන කිසි දෙවිකෙනෙකු හෝ සලකන්නේවත් නැතුව සියල්ලන්ට විරුද්ධව උඩඟුවන්නේය [තමාව මහිමවත් කරගන්නේය, NW].”—දානියෙල් 11:36, 37.
12, 13. (අ) උතුරු දිශාවේ රජු “තමාගේ පියවරුන්ගේ [දෙවිව]” ප්‍රතික්ෂේප කළේ කිනම් ආකාරයටද? (ආ) උතුරු දිශාවේ රජ ‘ආශාව නොසලකා හරින ලද’ “ස්ත්‍රීන්” කවුරුන් වීද? (ඇ) උතුරු දිශාවේ රජ ගෞරව දුන්නේ කිනම් ‘දෙවියාටද?’
12 මේ අනාවැකිමය වචන ඉටු කරමින්, උතුරු දිශාවේ රජු, “තමාගේ පියවරුන්ගේ දෙවි” වැනි වූ ක්‍රිස්තියානි ලෝකයේ ත්‍රිත්ව දෙවියන්ව ප්‍රතික්ෂේප කළා. කොමියුනිස්ට් රටවල් අදේවවාදයට කෙළින්ම අනුබල දුන්නා. මෙසේ, උතුරු දිශාවේ රජ තමාවම දෙවිකෙනෙකු කරගනිමින්, ‘සියල්ලන්ටම විරුද්ධව තමාව මහිමවත් කරගත්තා.’ ඔහුගේ පාලන තන්ත්රය වෙනුවෙන් මෙහෙකාරියක් සේ සේවය කළ, උතුරු වියට්නාමය වැනි සහයක රටවල ආශාව එනම්, ‘ස්ත්රීන්ගේ ආශාව නොසලකා තමාගේ කැමැත්තේ හැටියට’ රජ ක්‍රියා කළා.
13 අනාවැකිය තවදුරටත් ගෙන යමින් දේවදූතයා මෙසේ කිව්වා: “බලකොටු දෙවියාට නම් ඔහුගේ ස්ථානයේදී ඔහු ගෞරව දෙමින්, තමාගේ පියවරුන් ඇඳින නොගත් දෙවියෙකුට රන් රිදීවලින්ද මැණික්වලින්ද අගේ ඇති දේවලින්ද ගෞරව දෙන්නේය.” (දානියෙල් 11:38) ඇත්තෙන්ම, උතුරු දිශාවේ රජ නවීන විද්‍යාත්මක යුධ බලය වන “බලකොටු දෙවියා” කෙරෙහි තම විශ්වාසය තැබුවා. අතිමහත් ධන සම්භාරයක් පූජා කරමින්, මේ “දෙවියා” තුළින් ඔහු ගැළවීම සෙව්වා.
14. උතුරු දිශාවේ රජ “ඵලදායී ලෙස ක්‍රියා” කළේ කෙසේද?
14 “ඉතා සවිඇති බලකොටුවලට [විරුද්ධව, NW] අන්‍ය දෙවියෙකු ඇතුව ඔහු මෙසේ [ඵලදායී ලෙස ක්‍රියා, NW] කරනවා ඇත; ඔහු පිළිගන්න අයින්ට ඔහු බොහෝ ගෞරව දී, බොහෝ දෙනෙකු කෙරෙහි ඔවුන් ආණ්ඩුකාරයන් කර, මුදලට රට බෙදාදෙනවා ඇත.” (දානියෙල් 11:39) ඔහුගේ යුධමය “අන්‍ය දෙවි” කෙරෙහි විශ්වාසය තබමින්, “අන්තිම දවස්වල” සිටින ඉතා භයානක යුධ බලයක් බව ඔප්පු කරමින්, උතුරු දිශාවේ රජ “ඵලදායී ලෙස ක්‍රියා” කළා. (2 තිමෝති 3:1) ඔහුගේ අදහස් උදහස්වලට සහය දැක්වූ අයට, දේශපාලනික, මූල්‍යමය සහ සමහර අවස්ථාවලදී යුධ සහය මගින් පවා අනුබලය ලැබුණා.
අන්තිම කාලයේදී එල්ල කරන “පීඩනයක්”
15. දකුණු දිශාවේ රජ උතුරු දිශාවේ රජට ‘පීඩනය’ එල්ල කිරීමෙහි නිරත වූයේ කෙසේද?
15 දේවදූතයා දානියෙල්ට මෙසේ කිව්වා: “තීන්දුවේ [අන්තිම, NW] කාලයේදී දකුණු දිශාවේ රජ ඔහුට විරුද්ධව පැමිණෙන්නේය [පීඩනයක් එල්ල කරන්නේය, NW].” (දානියෙල් 11:40අ) ‘අන්තිම කාලයේදී’ දකුණු දිශාවේ රජු උතුරු දිශාවේ රජව ‘පීඩනයට’ ලක් කර ඇද්ද? (දානියෙල් 12:4, 9) ඇත්තෙන්ම, ඔව්. පළමුවන ලෝක සංග්රාමයෙන් පසුව, එවකට උතුරු දිශාවේ රජ වූ ජර්මනිය මත දණ්ඩනීය සාම ගිවිසුමක් නියම කළා. එය නිසැකවම, පළිගැනීමට දිරි දුන් “පීඩනයක්” වුණා. දකුණු දිශාවේ රජු දෙවන ලෝක සංග්රාමයෙන් ලද ජයග්රහණයෙන් පසු, ඔහුගේ විරුද්ධවාදියාව, බියකරු න්‍යෂ්ටික අවිවල ඉලක්කය බවට පත් කරගත් අතර, ඔහුට විරුද්ධව උතුරු අත්ලන්තික් ගිවිසුම් සංවිධානය (නේටෝ) නමින් ප්‍රබල යුධ හවුලක් සංවිධානය කළා. න්ටෝහි ක්‍රියාකාරිත්වය ගැන බ්‍රිතාන්‍ය ජාතික ඉතිහාසඥයෙක් මෙසේ කියනවා: “දැනට යුරෝපයේ සාමයට මූලික තර්ජනයක් ලෙස පෙනෙන්න තිබෙන, සෝවියට් ජනරජය ‘මට්ටු කළ’ ප්‍රධාන මෙවලම එයයි. එහි මෙහෙවර අවුරුදු 40කට වැඩි කාලයක් පුරා කෙරීගෙන ගොස් ඇති අතර, එය අවිවාදයෙන්ම ජයගෙන තිබෙනවා.” ශීත යුද්ධය පැවතෙන කාලයේදී, දකුණු දිශාවේ රජුගේ ‘පීඩනයට,’ අධිතාක්ෂණික ඔත්තු සේවා ඇතුළු දේශපාලනික සහ යුධ මෙහෙවර අයත් වුණා.
16. දකුණු දිශාවේ රජුගේ පීඩනයට, උතුරු දිශාවේ රජු ප්‍රතික්‍රියා කළේ කෙසේද?
16 උතුරු දිශාවේ රජ ප්‍රතික්‍රියා කළේ කොහොමද? “උතුරු දිශාවේ රජ කුණාටුවක් මෙන් රථද අසරුවන්ද බොහෝ නැව්ද ඇතුව ඔහුට විරුද්ධව ඇවිත්, දේශවලට වැද, ජලය මෙන් ගලාගන සැරෙන් පැමිණෙන්නේය.” (දානියෙල් 11:40ආ) අන්තිම දවස් පිළිබඳ ඉතිහාසය, උතුරු දිශාවේ රජගේ ව්‍යාප්ත කිරීමේ ප්‍රතිපත්තිය පිළිබිඹු කර තිබෙනවා. දෙවන ලෝක යුද්ධ සමයේ, නාට්සි “රජ” ඔහුගේ සීමාවෙන් ඔබ්බට යමින්, ඔහු අවට පිහිටි රටවල් ආක්‍රමණය කළා. එම යුද්ධය අවසානයේදී, අනුප්‍රාප්තික “රජ” තමාගේම සීමාවෙන් පිටත බලවත් අධිරාජ්‍යයක් පිහිටුවාගත්තා. ශීත යුද්ධ සමයේදී, වෙනත් රටවල් වෙනුවෙන් යුද්ධවලට මැදිහත් වීමෙන්ද අප්‍රිකාවේ, ආසියාවේ හා ලතින් අමෙරිකාවේ අභ්‍යන්තර රාජ්‍ය කැරලි ගැසීම්වලට හවුල් වීමෙන්ද උතුරු දිශාවේ රජ ඔහුගේ විරුද්ධවාදියා සමඟ සටන් කළා. කොයිම ආකාරයකින් හෝ නැවැත්විය නොහැකි වුවත්, ඔහු සැබෑ ක්‍රිස්තියානීන්ගේ කටයුතුවලට තහංචි පනවමින්, ඔවුන් මත පීඩා පැමිණෙව්වා. එමෙන්ම, ඔහුගේ හමුදාමය සහ දේශපාලනික මෙහෙයුම් තුළින්, රටවල් ගණනාවක් ඔහුගේ පාලනය යටතට පමුණුවා ගත්තා. මෙය සිදු වූයේ, හරියටම දේවදූතයා පුරෝකථනය කර තිබූ ආකාරයටයි: “ඔහු අලංකාර දේශයටත් [යෙහෝවාගේ ජනයාගේ ආත්මික දේශයට] ඇතුල්වන්නේය, බොහෝ රටවල්ද වැටෙනවා [පැකිලෙනවා, NW] ඇත.”—දානියෙල් 11:41අ.
17. උතුරු දිශාවේ රජගේ ව්‍යාප්ත කිරීමේ ප්‍රතිපත්තියට තිබූ සීමාවන් මොනවාද?
17 කෙසේවෙතත්, ලෝකයම අල්ලාගැනීමට උතුරු දිශාවේ රජට හැකි වූයේ නැහැ. දේවදූතයා මෙසේ පුරෝකථනය කළා: “එහෙත් ඒදොම්ද මෝවබ්ද අම්මොන් පුත්‍රයන්ගේ ප්‍රධාන කොට්ඨාසයද ඔහුගේ අතින් ගැළවෙනවා ඇත.” (දානියෙල් 11:41ආ) පුරාණයේ, ඒදොම්, මෝවබ් හා අම්මොන් දේශයන් පිහිටා තිබුණේ දකුණු දිශාවේ මිසරයේ රජ සහ උතුරු දිශාවේ සිරියානු රජුගේ අධිරාජ්‍යයන් අතරයි. වර්තමානයේ ඒවායින් නියෝජනය කරන්නේ, උතුරු දිශාවේ රජ ඉලක්ක කළ මුත්, තමාගේ බලපෑම යටතට ගෙන ඒමට නොහැකි වූ දේශ සහ සංවිධානයි.
මිසර දේශය නොගැළවේ
18, 19. දකුණු දිශාවේ රජුට තම විරුද්ධවාදියාගේ බලපෑම දැනී ඇත්තේ කිනම් ආකාරයෙන්ද?
18 යෙහෝවාගේ දූතයා දිගටම මෙසේ කිව්වා: “ඔහු [උතුරු දිශාවේ රජ] තමාගේ අත් රටවල් කෙරෙහි දිගුකරන්නේය. මිසර දේශයද නොගැළවෙන්නේය. ඔහු මිසරයේ රන් රිදී නිධානද සියලු අගේ ඇති දේවල්ද කෙරෙහි බලය පවත්වන්නේය. ලූබ්වරුද කූෂ්වරුද [ලිබියන්වරුන් සහ ඉතියෝපියානුවන්ද, NW] ඔහුගේ අඩිපාරේ යන්නෝය.” (දානියෙල් 11:42, 43) දකුණු දිශාවේ රජ වූ ‘මිසරය’ පවා, උතුරු දිශාවේ රජුගේ ව්‍යාප්ත කිරීමේ ප්රතිපත්තිවල බලපෑමෙන් ගැළවුණේ නැහැ. උදාහරණයක් හැටියට, දකුණු දිශාවේ රජ වියට්නාමයේදී දරුණු පරාජයක් අද්දැක්කා. එමෙන්ම “ලිබියන්වරුන් හා ඉතියෝපියානුවන්” ගැන කුමක් කිව හැකිද? පුරාණ මිසරයේ අසල්වැසි දේශයන් වූ මේවා, භූගෝලාර්ථයෙන්, වර්තමාන “මිසරයේ” (දකුණු දිශාවේ රජුගේ) අසල්වැසියන්ව හොඳින් පූර්වාදර්ශනය කරන බව පෙනෙනවා. ඔවුන් ඇතැම් අවස්ථාවලදී, උතුරු දිශාවේ රජගේ අනුගාමිකයන් ලෙස, ඔහුගේ ‘අඩි පාරේ ගමන් කර’ තිබෙනවා.
19 උතුරු දිශාවේ රජ “මිසරයේ රන් රිදී නිධාන” කෙරෙහි බලය පවත්වා තිබෙනවාද? ඇත්තවශයෙන්ම, දකුණු දිශාවේ රජ තම මූල්‍යමය සම්පත් පාවිච්චි කර ඇති ආකාරය මත ඔහු මහත් බලපෑමක් කර තිබෙනවා. ඔහුගේ සතුරා කෙරෙහි තිබූ භය නිසා, දකුණු දිශාවේ රජ භයානක පාබළ, නාවික සහ ගුවන් හමුදාවක් නඩත්තු කිරීමට විශාල මුදල් සම්භාරයක් වැය කර තිබෙනවා. මේ ආකාරයෙන් බලද්දී, උතුරු දිශාවේ රජ දකුණු දිශාවේ රජුගේ ධනය වැය කිරීම කෙරෙහි ‘බලය පැවැත්වුවා’ නැතහොත්, එය පාලනය කළායයි කිව හැකියි.
අවසාන යුධ මෙහෙයුම
20. උතුරු දිශාවේ රජුගේ අවසාන යුධ මෙහෙයුම ගැන දේවදූතයා විස්තර කරන්නේ කෙසේද?
20 හමුදාමය, ආර්ථිකමය හෝ වෙනයම් ආකාරයකින්, උතුරු දිශාවේ සහ දකුණු දිශාවේ රජුන් අතර තරඟය එහි නිමාව කරා එළඹෙමින් තිබෙනවා. සිදුවීමට නියමිත අරගලය ගැන තොරතුරු හෙළි කරමින් යෙහෝවාගේ දේවදූතයා මෙසේ කිව්වා: “නැගෙනහිරෙන්ද උතුරෙන්ද පැමිණෙන ආරංචිවලට ඔහු [උතුරු දිශාවේ රජ] කැලඹී, බොහෝ දෙනෙක් නාස්තිකරන්ටත් සිඳදමන්ටත් මහත් කෝපයෙන් පිටත්වයන්නේය. ඔහු මාළිගා වැනිවූ තමාගේ කූඩාරම් [මහා, NW] මුහුදටත් අලංකාරවූ [ශුද්ධ, NW] කන්දටත් අතරෙහි පිහිටුවා, පසුව තමාගේ අන්තිමයට පැමිණෙන්නේය, කිසිවෙක්ද ඔහුට උපකාර නොකරන්නේය.”—දානියෙල් 11:44, 45.
21. උතුරු දිශාවේ රජ ගැන තවදුරටත් දැනගැනීමට ඉතිරිව ඇත්තේ කුමක්ද?
21 වර්ෂ 1991 දෙසැම්බර් මාසයේදී, සෝවියට් සංගමය විසුරුවාහැරීමත් සමඟ උතුරු දිශාවේ රජ බරපතළ පසුබැසීමකට ලක් වුණා. දානියෙල් 11:44, 45 ඉටු වන විට සිටින්න යන මේ රජ කවරෙක්ද? ඔහු වරක් සෝවියට් සංගමයේ කොටසක්ව තිබූ රටවලින් එකක් හැටියට හඳුනාගත යුතුද? එසේ නැතහොත් කලින් වාර ගණනාවකදී ඔහු කර ඇති ආකාරයට, සහමුලින්ම තම අනන්‍යතාව වෙනස් කරගනියිද? වෙනත් ජාතීන් න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කරන නිසා, අලුත් අවි තරඟයක් ඇරඹී, එම රජුගේ අනන්‍යතාවට එය බලපාවිද? මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න යන්නේ කාලයා පමණයි. අප අනුමාන නොකර සිටීම ඥානවන්තයි. උතුරු දිශාවේ රජ, ඔහුගේ අවසාන යුධ මෙහෙයුම දියත් කරන විට, බයිබලය මත පදනම් තීක්ෂ්ණ බුද්ධිය ඇති අය අනාවැකියේ ඉටුවීම පැහැදිලිවම වටහාගන්න යනවා.—284වන පිටුවේ ඇති “දානියෙල් 11වන පරිච්ඡේදයේ සඳහන් රජවරුන්” යන කොටස බලන්න.
22. උතුරු දිශාවේ රජගේ අවසාන ප්‍රහාරය ගැන මතු වන ප්‍රශ්න මොනවාද?
22 කෙසේවෙතත්, උතුරු දිශාවේ රජ ඉතා ඉක්මනින් ගැනීමට යන ක්‍රියා මාර්ගය අප දන්නවා. “නැගෙනහිරෙන්ද උතුරෙන්ද පැමිණෙන” ආරංචිවලට කැලඹී, ‘බොහෝදෙනෙකුව නාස්ති කිරීමට’ ඔහු යුධ මෙහෙයුමක් දියත් කරන්න යනවා. මේ යුධ මෙහෙයුම එල්ල කරන්න යන්නේ කාට විරුද්ධවද? එවැනි ප්‍රහාරයක් එල්ල කිරීමට පොලඹවන “ආරංචි” මොනවාද?
හෘදය කලඹන ආරංචිවලට භය වී
23. (අ) අර්මගෙදොනයට පෙර කිනම් කැපීපෙනෙන සිදුවීම දිගහැරිය යුතුද? (ආ) “නැගෙනහිර දිසාවෙන් එන රජුන්” කවුරුන්ද?
23 බොරු ආගමේ ලෝක අධිරාජ්‍යය වන මහා බබිලෝනියේ අවසානය ගැන එළිදරව් පොතට කීමට ඇති දේ සලකා බලන්න. “සර්වපරාක්‍රමවූ [දෙවිගේ] මහත් දවසේ යුද්ධය” වන අර්මගෙදොනයට පෙර, සැබෑ නමස්කාරයේ මේ මහත් සැතිරියව “සහමුලින් ගින්නෙන් දවනු [ලබනවා].” (එළිදරව් 16:14, 16; 18:2-8) දෙවිගේ උදහසේ හයවන පාත්‍රය සංකේතවත් එප්‍රාත් ගඟට වැගිරවීමෙන්, ඇගේ විනාශය නියෝජනය කළා. “නැගෙනහිර දිසාවෙන් එන රජුන්ගේ මාර්ගය සාදනු ලබන පිණිස” ගඟෙහි වතුර සිඳී ගියා. (එළිදරව් 16:12) මෙම රජවරුන් කවුරුන්ද? ඒ යෙහෝවා දෙවි සහ යේසුස් ක්‍රිස්තුස් මිස වෙන කිසිවෙක් නොවේ!—සසඳන්න යෙසායා 41:2; 46:10, 11.
24. උතුරු දිශාවේ රජව කලඹන්න ඇත්තේ යෙහෝවාගේ කිනම් ක්‍රියාවද?
24 මහා බබිලෝනියේ විනාශය, එළිදරව් පොතේ විචිත්‍රවත්ව විස්තර කර ඇත්තේ මෙලෙසයි: “නුඹ දුටු අං දසයද [අන්තිම කාලයේදී පාලනය කරන රජවරුන්] මෘගයාද [එක්සත් ජාතීන්] වේශ්‍යාවට වෛරවී, ඈ පාළුද නග්නද කර, ඇගේ මාංස කා, ඈ සහමුලින් ගින්නෙන් දවන්නෝය.” (එළිදරව් 17:16) පාලකයන් මහා බබිලෝනිය විනාශ කරන්න යන්නේ ඇයි? ‘දෙවි තම සිතුවිල්ල ඉටු කරගැනීමේ අටියෙන්, එම අදහස ඔවුන්ගේ හෘදවලට දමන’ නිසායි. (එළිදරව් 17:17, NW) මේ පාලකයන් අතර, උතුරු දිශාවේ රජද සිටිනවා. ‘නැඟෙනහිරෙන්’ ඔහුට ආරංචි වන දෙය ලෙස යොමු දක්වන්නේ, මහත් ආගමික වේශ්‍යාව මරා දැමීමට මිනිස් පාලකයන්ගේ හෘදවලට එම සිතුවිල්ල දැමීමේ යෙහෝවාගේ මෙම ක්‍රියාවට විය හැකියි.
25. (අ) උතුරු දිශාවේ රජගේ විශේෂ ඉලක්කය කුමක්ද? (ආ) උතුරු දිශාවේ රජු ‘තමාගේ කූඩාරම් පිහිටෙව්වේ’ කොහේද?
25 උතුරු දිශාවේ රජගේ උදහසට ලක් වන විශේෂ ඉලක්කයක් තිබෙනවා. ඔහු “තමාගේ කූඩාරම් [මහා, NW] මුහුදටත් අලංකාරවූ [ශුද්ධ NW] කන්දටත් අතරෙහි [පිහිටුවන]” බව දේවදූතයා පවසනවා. දානියෙල්ගේ දවසේ මධ්‍යධරණිය, මහ මුහුදව තිබූ අතර ශුද්ධ කන්දව තිබුණේ වරක් දේවමාළිගාව පිහිටි ස්ථානය වූ සියොන් කන්දයි. මෙසේ, එම අනාවැකියේ ඉෂ්ට වීම තුළ, කුපිතව සිටින උතුරු දිශාවේ රජ දෙවිගේ ජනයාට විරුද්ධව හමුදා මෙහෙයුමක් දියත් කරනවා. ආත්මික අර්ථයකින් ගත් කල, ‘මහා මුහුද සහ ශුද්ධ කන්ද අතරෙහි’ වූ ප්‍රදේශයෙන් නියෝජනය කරන්නේ, යෙහෝවාගේ ආලේප ලත් සේවකයන්ගේ ආත්මික දේශයයි. මෙම ආලේප ලත් සේවකයන් දෙවිගෙන් ඈත් වූ මනුෂ්‍යවර්ගයා නමැති ‘මුහුදෙන්’ පිටතට පැමිණ ඇති අතර, ඔවුන් සිටින්නේ, යේසුස් ක්‍රිස්තුස් සමඟ ස්වර්ගීය සියොන් කන්දේ පාලනය කිරීමේ අපේක්ෂාවෙනුයි.—යෙසායා 57:20; හෙබ්‍රෙව් 12:22; එළිදරව් 14:1.
26. එසකියෙල්ගේ අනාවැකියේ අඟවා ඇති පරිදි, “උතුරෙන්” පැමිණෙන පුවතේ උල්පත කුමක් විය හැකිද?
26 දානියෙල්ගේ සමකාලීනයෙක් වූ එසකියෙල්ද, “දවස්වල අවසාන භාගයේදී [NW]” දෙවිගේ ජනයා කෙරෙහි එල්ල වීමට යන ප්‍රහාරයක් ගැන පුරෝකථනය කළා. මාගොග්හි ගොග් නැතහොත් සාතන් නමැති යක්ෂයා විසින් යුද්ධය දියත් කරනු ඇති බව ඔහු කිව්වා. (එසකියෙල් 38:14, 16) සංකේතමය වශයෙන් ගත් කල, ගොග් පැමිණෙන්න යන්නේ කොයි දිශාවෙන්ද? එසකියෙල් තුළින් යෙහෝවා කියා සිටින්නේ, “උතුරේ දුරස්ථානවල” සිට බවයි. (එසකියෙල් 38:15) මෙම ප්‍රහාරය කොපමණ බිහිසුණු වුණත්, එය යෙහෝවාගේ සෙනඟව විනාශ කරන්න යන්නේ නැහැ. මෙම චමත්කාරජනක ප්‍රහාරය, ගොග්ගේ හමුදාවන් විනාශ කර, නැති කර දැමීමට යෙහෝවා ගන්නාවූ ක්‍රියාමාර්ගයේ ප්රතිඵලයකි. යෙහෝවා සාතන්ට මෙසේ කියනවා: ‘මම නුඹේ හකුවල කොකු දමා පිටතට ගෙනයන්නෙමි.’ ‘මම උතුරේ දුරස්ථානවලින් නුඹ ගෙනැවිත්, ඉශ්රායෙල් කඳු පිටට නුඹ පමුණුවන්නෙමි.’ (එසකියෙල් 38:4; 39:2, 3) මේ අනුව, උතුරු දිශාවේ රජුව කුපිත කරවන “උතුරෙන්” පැමිණෙන පුවත යෙහෝවාගෙන් පැමිණිය යුතුයි. එහෙත්, “නැගෙනහිරෙන්ද උතුරෙන්ද” පැමිණෙන ආරංචිවල හරියටම අඩංගු කරන්නේ මොනවාද කියා තීරණය කරන්න යන්නේ දෙවි පමණයි. එමෙන්ම එය කාලය හෙළි කරාවි.
27. (අ) ගොග් යෙහෝවාගේ සෙනඟට විරුද්ධව උතුරු දිශාවේ රජ ඇතුළු ජාතීන්ව පොලඹවන්නේ මන්ද? (ආ) ගොග්ගේ ප්‍රහාරයේ ප්‍රතිඵලය වන්නේ කුමක්ද?
27 ගොග් තමාගේ මුළු වැර යොදා දියත් කරන මේ ප්‍රහාරය සංවිධානය කරන්නේ, ලෝකයේ කොටසක්ව නොසිටින “[දෙවිගේ] ඉශ්රායෙල්” සහ ඔවුන්ට එකතු වී සිටින ‘වෙනත් බැටළුවන්ගෙන්’ යුත් “මහත් සමූහය” භුක්ති විඳින සමෘද්ධිමත් තත්වය නිසායි. (යොහන් 17:15, 16; 1 යොහන් 5:19; ගලාති 6:16; යොහන් 10:16; එළිදරව් 7:9) ගොග්, ‘[ආත්මික] සම්පත් රැස් කරන ජාතීන් අතරෙන් රැස් වී සිටින්නාවූද සෙනඟක්’ දෙස වපර ඇසෙන් බලනවා. (එසකියෙල් 38:12) ආත්මික වූ ක්‍රිස්තියානි දේශය, පහසුවෙන්ම ආක්‍රමණය කරන්න සුදුසු තත්වයක තිබෙන “පවුරු රහිත ගම් ඇති [දේශයක්]” හැටියට ගොග් කල්පනා කරන්න යනවා. මුළු මනුෂ්‍යවර්ගයාව සම්පූර්ණයෙන්ම තමන්ට නතු කරගැනීමට නොහැකි කරවන මෙම බාධාව මුලිනුපුටා දැමීමට ඔහු මුළු වැර යොදනවා. එහෙත්, ඔහු සාර්ථක වෙන්නේ නැහැ. (එසකියෙල් 38:11, 18; 39:4) උතුරු දිශාවේ රජ ඇතුළු පොළොවේ රජවරුන් යෙහෝවාගේ ජනයාට පහර දෙන විට, ඔවුන් ‘තමන්ගේ අන්තිමයට පැමිණෙන්න යනවා.’
‘රජු ඔහුගේ අන්තිමයට පැමිණේ’
28. උතුරු දිශාවේ සහ දකුණු දිශාවේ රජුගේ අනාගතය ගැන අප දන්නේ මොනවාද?
28 උතුරු දිශාවේ රජගේ අවසාන යුධ මෙහෙයුම දකුණු දිශාවේ රජුට එරෙහිව යොමු කර නැහැ. එම නිසා, උතුරු දිශාවේ රජ තම මහත් විරුද්ධවාදියා අතින් අන්තිමයකට පැමිණෙන්නේ නැහැ. ඒ හා සමානව, දකුණු දිශාවේ රජු උතුරු දිශාවේ රජ අතින් විනාශ වන්නේද නැහැ. දකුණු දිශාවේ රජු විනාශ වන්නේ, ‘[මිනිස්] අතක බලය නැතුවයි,’ එනම් දෙවිගේ රාජ්‍යය මගිනුයි.a (දානියෙල් 8:25) ඇත්තෙන්ම, අර්මගෙදොන් යුද්ධයේදී, දෙවිගේ රාජ්‍යය සියලුම භූමික රජවරුන්ව ඉවත් කරන්න යනවා. එමෙන්ම, තිබෙන සාක්ෂිවලට අනුව, උතුරු දිශාවේ රජට සිදු වන්න යන්නෙත් එයයි. (දානියෙල් 2:44, 45) එම අවසාන සටන දක්වා සිදුවීම් දානියෙල් 11:44, 45 විස්තර කරනවා. ඉතින්, උතුරු දිශාවේ රජ ඔහුගේ අන්තිමය අද්දකිද්දී, ඔහුට ‘උපකාර කරන්න කිසිවෙකු නොසිටීම’ ගැන පුදුම වෙන්න දෙයක් නැහැ!
[පාදසටහන]
a මේ පොතේ 10වන පරිච්ඡේදය බලන්න.
ඔබ වටහාගත්තේ කුමක්ද?
• දෙවන ලෝක සංග්රාමයෙන් පසුව උතුරු දිශාවේ රජගේ අනන්‍යතාව වෙනස් වූයේ කෙසේද?
• උතුරු දිශාවේ සහ දකුණු දිශාවේ රජුන්ට අන්තිමේදී සිදු වෙන්න යන්නේ කුමක්ද?
• රජුන් දෙදෙනාගේ තරඟය ගැන පවසන දානියෙල්ගේ අනාවැකියට අවධානය දීමෙන් ඔබ ප්‍රයෝජන ලබා ඇත්තේ කෙසේද?
[284වන පිටුවේ වගුව⁄පින්තූරය]
දානියෙල් 11වන පරිච්ඡේදයේ සඳහන් රජවරුන්
උතුරු දිශාවේ දකුණු දිශාවේ
රජු රජ
දානියෙල් 11:5 Iවන සෙල්යුකස් නයිකේටර් Iවන ටොලමි
දානියෙල් 11:6 IIවන ඇන්ටියෝකස් IIවන ටොලමි
(භාර්යාව වූ ලේඔඩසි) (දියණිය වූ බෙරනයිසි)
දානියෙල් 11:7-9 IIවන සෙල්යුකස් IIIවන ටොලමි
දානියෙල් 11:10-12 IIIවන ඇන්ටියෝකස් IVවන ටොලමි
දානියෙල් 11:13-19 IIIවන ඇන්ටියෝකස් Vවන ටොලමි
(දියණිය වූ Iවන ක්ලියොපැට්රා) අනුප්‍රාප්තිකයා: VIවන ටොලමි
අනුප්රාප්තිකයන්:
IVවන සෙල්යුකස් සහ
IVවන ඇන්ටියෝකස්
දානියෙල් 11:20 ඔගස්ටස්
දානියෙල් 11:21-24 ටයිබීරියස්
දානියෙල් 11:27-30අ ජර්මානු අධිරාජ්‍යය බ්‍රිතාන්‍යය, පසුව
(Iවන ලෝක සංග්‍රාමය) එංගලන්ත-අමෙරිකානු ලෝක බලය
දානියෙල් 11:30ආ, 31 හිට්ලර්ගේ තුන්වන රයික් එංගලන්ත අමෙරිකානු
(IIවන ලෝක සංග්‍රාමය) ලෝක බලය
දානියෙල් 11:32-43 කොමියුනිස්ට් රටවල් එංගලන්ත-අමෙරිකානු
(ශීත යුද්ධය) ලෝක බලය
දානියෙල් 11:44, 45 පැමිණීමට තිබේb එංගලන්ත-අමෙරිකානු
ලෝක බලය
[පාදසටහන]
b උතුරු දිශාවේ රජ සහ දකුණු දිශාවේ රජ යන තනතුරු විවිධ වකවානුවලදී හොබවන දේශපාලන බලයන්ගේ නම් දානියෙල් 11වන පරිච්ඡේදයේ සඳහන් අනාවැකිය පුරෝකථනය කරන්නේ නැහැ. ඔවුන්ගේ අනන්‍යතාව හෙළි වන්නේ සිද්ධීන් ඉටුවීම ඇරඹුණාට පසුවයි. ඊට අමතරව, මෙම අරගලය සිදු වන්නේ කලින් කලට නිසා, ඒවා සිදු නොවන කාලපරිච්ඡේදද තිබෙනවා. එනම්, එක් රජෙක් තම අණසක පතුරුවද්දී, අනික් රජ අක්‍රියාශීලීව සිටිනවා.
[271වන පිටුවේ මුළු පිටුවේම පින්තූරය]
[279වන පිටුවේ පින්තූර]
දකුණු දිශාවේ රජුගේ ‘පීඩනයට’ අධිතාක්ෂණික ඔත්තු සේවා සහ යුධ මෙහෙවර දියත් කිරීමේ තර්ජනය අයත් වී තිබෙනවා