යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ එළිදරව් වීමේ දී ගැලවීම
“ක්‍රිස්තුස්වහන්සේගේ තේජසේ එළිදරව් වීමේදීත් නුඹලා ඉතා මහත් ප්‍රීතියකින් ප්‍රීතිවන පිණිස . . . ප්රීතිවෙයල්ලා.”—1 පේතෘස් 4:13.
1. යෙහෝවඃ වහන්සේ ස්වකීය සේවකයන් ව පොහොසත් කොට තිබෙන්නේ කෙසේ ද?
යෙහෝවඃ වහන්සේ ස්වකීය සේවකයන් ව බොහෝ දීමනාවන්ගෙන් පොහොසත් කොට ඇත. අපගේ උත්තරීතර උපදේශකයාණන් වශයෙන්, ස්වකීය කැමැත්ත සහ අරමුණ පිළිබඳ ව පරිපූර්ණ දැනුමකින් උන් වහන්සේ අප ව ඥානාලෝක කර ඇත. ස්වකීය ශුද්ධාත්මය තුළින්, ආලෝකය නිර්භීත ව බැබලවීමට අප තුළ හැකියාවක් වර්ධනය කොට ඇත. අනුභාවය ලත් ප්‍රේරිත පාවුල් 1 කොරින්ති 1:5, 7 හි අපට මෙසේ කියයි: “ක්‍රිස්තුස්වහන්සේගේ සාක්ෂිය නුඹලා තුළ ස්ථිරවූ ලෙසම, . . . නුඹලා කිසි දීමනාවකින් අඩු [නොවී] අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එළිදරව් වීම බලා සිටින්නහුය.”
2. “අපගේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ එළිදරව් වීම” ඉදිරිපත් කරනුයේ කුමන ප්‍රීතිමත් අපේක්ෂාවක් ද?
2 “අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එළිදරව් වීම”—මින් අදහස් කරන්නේ කුමක් ද? ඉන් යොමු දැක්වෙන්නේ, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මහිමාන්විත රජෙකු මෙන් එළිදරව් වී, සිය විශ්වාසවන්ත අනුගාමිකයන් හට විපාක දීම සහ අභක්තිකයන් හට පළිගැනීම ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගැනීම ය. පළමු වෙනි පේතෘස් 4:13 හි අඟවන එය අඛණ්ඩතාවය පවත්වමින් සිටින්නාවූ ආත්මයෙන් ආලේප ලත් ක්‍රිස්තියානින් සහ “මහත් සමූහයට” අයත් ඔවුන්ගේ අනුගාමිකයන් හට “ඉතා මහත් ප්‍රීතියකින් ප්‍රීතිවීමට” කාලයක් වනු ඇත, මන්දයත් එය සාතන්ගේ දේවල පිළිවෙළේ අවසානයට සංඥාවක් වන හෙයිනි.
3. තෙසලෝනිකයේ විසූ අපගේ සහෝදරයන් මෙන්, අප ස්ථිර ව සිටිය යුත්තේ කෙසේ ද?
3 එම කාලය අවසානයට ළඟා වෙනවාත් සමඟ ම, කෝපයෙන් උමතු වී සිටින සාතන්, අප මත ඔහුගේ පීඩනය වැඩි කරයි. ගොරවන සිංහයෙකු මෙන්, ඔහු අප ව ගිලගැනීමට මාන බලයි. අප ස්ථිර ව සිටිය යුතු ය! (1 පේතෘස් 5:8-10) ඉපැරණි තෙසලෝනිකයේ විසූ අපගේ සහෝදරයෝ, ඔවුන් සත්‍යයට පැමිණි අලුත, අද දින යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් බොහෝ දෙනෙක් අත්දැක ඇති පීඩාවන්ට සමාන පීඩාවන්ගෙන් දුක් වින්දෝ ය. එබැවින් ප්‍රේරිත පාවුල් විසින් ඔවුන්ට ලියන ලද වචන අපට බොහෝ සෙයින් අර්ථවත් වෙයි. ඔහු මෙසේ ලීවේ ය: “කුමක්හෙයින්ද ස්වාමිවූ යේසුස්වහන්සේ තමන්ගේ පරාක්‍රමයේ දූතයන් සමග ඇවිළෙන්නාවූ ගින්නෙන් යුක්තව ස්වර්ගයෙන් එළිදරව්වී, දෙවියන්වහන්සේ නාඳුනන්නන්ටත් අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේගේ ශුභාරංචියට කීකරු නොවන්නන්ටත් ප්‍රතිඵල දෙන කල, නුඹලාට දුක්දෙන්නන්ට දුකද දුක්විඳින නුඹලාට අප සමග සහනයද දීම දෙවියන්වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨවූ කාරණයක්ය.” (2 තෙසලෝනික 1:6-8) එසේ ය, සහනය පැමිණෙනු නියත ය!
4. යේසුස් වහන්සේගේ එළිදරව් වීමේ දී ක්‍රියාත්මක වනු ඇති විනිශ්චය, පූජක පංතිය විසින් ලැබීමට වටින්නේ මන්ද?
4 පාවුල්ගේ කාලයේ දී, පීඩාවන්ගෙන් බොහොමයක් ඇති කරන ලද්දේ යුදෙව් ආගමික නායකයන් විසිනි. ඒ හා සමාන ව අද දින, සාමයට ප්‍රේම කරන යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් කෙරෙහි විරුද්ධ වාදිකම් ගෙන එන්නේ, දෙවියන් වහන්සේ ව නියෝජනය කරනවා යයි කියා සිටින අය විසිනි, විශේෂයෙන් ම ක්‍රිස්තියානි ලෝකයේ පූජක පක්ෂය විසිනි. මොවුන් දෙවියන් වහන්සේ ව දන්නවා යයි බොරුවට අඟවන නමුත්, අභිරහස් ත්‍රිත්වයක් අනුයුක්ත කරමින්, බයිබලයේ “එකම යෙහෝවඃ වහන්සේ ව” ප්‍රතික්ෂේප කරති. (මාර්ක් 12:29, NW) අපගේ ස්වාමි වූ යේසුස් වහන්සේගේ ශුභාරංචියට කීකරු නොවන ඔවුහු, සහනය සඳහා මිනිස් පාලන කෙරෙහි බලා සිටිමින්, ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණෙන්නට යන ධර්මිෂ්ඨකමේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ප්‍රතික්ෂේප කරති. “ස්වාමිවූ යේසුස්වහන්සේ . . . ස්වර්ගයෙන් එළිදරව් වීමේ දී,” මෙම සියලු ම ආගමික විරුද්ධ වාදීන් විනාශ විය යුතු ය!
යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ‘ඊම’
5. මතෙව් 24:29, 30 හි යේසුස් වහන්සේගේ එළිදරව් වීම විචිත්‍ර ව දක්වා ඇත්තේ කෙසේ ද?
5 එම එළිදරව් වීම, මතෙව් 24:29, 30 හි යේසුස් වහන්සේ විසින් විචිත්‍ර ව විස්තර කොට ඇත. උන් වහන්සේගේ පැමිණ සිටීමේ හා දේවල පිළිවෙළේ සමාප්තියේ ලකුණ ගැන විස්තර කිරීමේ දී, උන් වහන්සේ මෙසේ පවසන සේක: “ඉර අඳුරුවන්නේය, සඳ එහි එළිය නොදෙන්නේය, තාරකාවෝ අහසෙන් වැටෙන්නෝය, අහසේ බලපරාක්‍රමද සෙලවෙන්නෝය.” ඒ කාලයේ දී, “මනුෂ්‍ය පුත්‍රයාගේ ලකුණ අහසේ පෙනෙන්නේය.” පොළොවේ ජාතීහු, “වැලපෙන්නෝය, ඔව්හු මනුෂ්‍ය පුත්‍රයා [දෙවියන් වහන්සේගේ මෙසියානු රජ] බලයෙන්ද මහත් තේජසින්ද අහසේ වලාකුල් පිට එනවා [ඊම NW] දකින්නෝය.” ග්‍රීක් බසින් එර්·ඛෝʹමෙ·නොන් යනුවෙන් දැක්වෙන මෙම ‘ඊම’ යොමු දක්වන්නේ, යෙහෝවඃ වහන්සේගේ ප්‍රධාන වධකයාණන් වශයෙන් යේසුස් වහන්සේගේ පෙනී සිටීමට ය.
6, 7. ‘සියලු ඇස් උන් වහන්සේ ව දකින්නේ’ කෙසේ ද, තව ද මෙයට ඇතුළත් වන්නේ කාව ද?
6 මෙම ‘ඊම’ එළිදරව් 1:7 හි ප්‍රේරිත යොහන් විසින් ද විස්තර කොට තිබේ: “බලාපල්ලා, උන්වහන්සේ වලාකුල්වලින් එනසේක.” ආ, මෙහි “වලාකුල්වලින්” අඟවන්නේ විනිශ්චය ඉටු කිරීම පිණිස උන් වහන්සේගේ අදෘශ්‍යමාන පැමිණීම වන හෙයින්, එම සතුරන් යේසුස් වහන්සේ ව තම සැබෑ ඇස්වලින් දකින්නේ නැත. මනුෂ්‍යයන් තම පියවි ඇසින් උන් වහන්සේගේ ස්වර්ගික මහිමය දකින්නේ නම්, සාවුල්ට දමස්කයට යන පාරේදී, දීප්තිමත් විහිදෙන ආලෝකයක් තුළින් මහිමවත් යේසුස් වහන්සේ දර්ශනය වූ විට ඔහුගේ ඇස් අන්ධ වූවාක් සේ, ඔවුන්ගේ ඇස් ද අන්ධ වනු ඇත.—ක්‍රියා 9:3-8; 22:6-11.
7 එළිදරව්වේ වාර්තාව පවසන පරිදි, “සියලු ඇස්ද උන්වහන්සේට ඇන්න අයද උන්වහන්සේව දකින්නෝය; පොළොවේ සියලු ගෝත්‍රද උන්වහන්සේ නිසා වැලපෙන්නෝය.” මින් අදහස් කරන්නේ, පොළොව මත සිටින විරුද්ධ වාදීන් යේසුස් වහන්සේ ඔවුන් පිටට ගෙනෙන්නා වූ විනාශයෙන් තේරුම් ගන්නේ යෙහෝවඃ වහන්සේගේ වධකයාණන් වශයෙන් උන් වහන්සේ බලයෙන් හා මහත් මහිමයෙන් පැමිණ ඇති බව ය. මෙම සතුරන් ව “උන්වහන්සේට ඇන්න අය” ලෙස විස්තර කොට තිබෙන්නේ මන්ද? ඒ මන්දයත්, අද දින යෙහෝවඃ වහන්සේගේ සේවකයන් කෙරෙහි ඔවුන් දරන තික්තකමේ ආකල්පය, එනම් යේසුස් වහන්සේට පීඩා කළ අයගේ ආකල්පයට සමාන වන හෙයිනි. ඇත්තෙන් ම, ඔවුන්, ‘උන් වහන්සේ නිසා මහත් ශෝකයෙන් තමන්ට ම පහර දෙනවා ඇත.’
8. හදිසි විනාශය සම්බන්ධයෙන් යේසුස් වහන්සේ සහ පාවුල් යන දෙදෙනා ම කරන අනතුරු ඇඟවීම කුමක් ද?
8 යෙහෝවඃ වහන්සේගේ පළිගැනීමේ එම දවස පැමිණෙනු ඇත්තේ කෙසේ ද? ලූක් 21 වෙනි පරිච්ඡේදයේ සඳහන් අනාවැකියේ, 1914 පටන් උන් වහන්සේගේ පැමිණ සිටීමේ ලකුණ වශයෙන් ක්‍රියා කළ ව්‍යසනකාරී සිද්ධීන් ගැන යේසුස් වහන්සේ විස්තර කරන සේක. ඊළඟට 34 සහ 35 වෙනි පදවල යේසුස් වහන්සේ මෙසේ අනතුරු අඟවන සේක: “ඒ දවස මලපතක් මෙන් හදිසියෙන් නුඹලා කෙරේ නොපැමිණෙන පිණිස, අධික කෑමෙන්ද බීමත්කමින්ද මේ ජීවිතයේ වෙහෙසින්ද නුඹලාගේ සිත් බර නොවන හැටියට බලාගනිල්ලා. මක්නිසාද ඒක මුළු පොළෝතලය පිට වසන්නාවූ සියල්ලන් කෙරෙහි එසේ පැමිණෙන්නේය.” එසේය, යෙහෝවඃ වහන්සේගේ පළිගැනීමේ එම දවස හදිසියෙන් ම, ක්ෂණික ව පැමිණෙයි! ප්‍රේරිත පාවුල්, 1 තෙසලෝනික 5:2, 3 හි මෙය තහවුරු කරමින් මෙසේ පවසයි: ‘රාත්‍රියෙහි සොරෙකු එන්නාක් මෙන් ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ NW] දවස පැමිණෙන්නේ ය. . . . සමාදානයය, අනතුරක් නැත කියා කියන විට . . . හදිසියෙන් ඔවුන් පිටට විනාශය පැමිණේ.” ජාතීන් දැන් පවා සාමය සහ සුරක්ෂිත භාවය ගැන කථා කරමින් සිටින අතර, යුද්ධමය බලය මාර්ගයෙන්, වියවුල් සහගත ස්ථානවලට හමුදා භටයන් යෙදීම සඳහා එක්සත් ජාතීන් ශක්තිමත් කිරීමට යෝජනා කරමින් සිටිත්.
9. ‘ආලෝකය විහිදුවා’ ඇත්තේ කා උදෙසා ද, එමෙන් ම ඒ මන්ද?
9 ප්‍රේරිතවරයා 4 වෙනි සහ 5 වෙනි පදවල තවදුරටත් අපට මෙසේ කියයි: “නුමුත් සහෝදරයෙනි, ඒ දවස සොරෙකු මෙන් නුඹලා කෙරේ පැමිණෙන්ට නුඹලා අන්ධකාරයෙහි සිටින්නෝ නොවෙති. කුමක්හෙයින්ද නුඹලා සියල්ලෝ ආලෝකයේද දවාලේද පුත්‍රයෝය. අපි රාත්රියටවත් අන්ධකාරයටවත් අයිති නොවමුව.” අපි ආලෝකයේ පුත්‍රයන් වීමට, එනම් දෙවියන් වහන්සේගේ නව ලෝකයේ සැබෑ සාමය සහ සුරක්ෂිත භාවය කෙරෙහි ආශාවෙන් බලා සිටින වෙනත් අයට ආලෝකය දරන්නන් වීමට සතුටු වෙමු. ගීතාවලිය 97:10, 11 හි අපට මෙසේ කියවීමට තිබේ: “ස්වාමීන්ට [යෙහෝවඃ වහන්සේට NW] ප්‍රේමකරන්නෙනි, නපුරට වෛරකරව්. උන්වහන්සේ ස්වකීය ශුද්ධවන්තයන්ගේ ප්‍රාණ ආරක්ෂාකරනසේක; දුෂ්ටයන්ගේ අතින් ඔවුන් ගළවන සේක. ධර්මිෂ්ඨයන්ට එළියත් [ආලෝකයත් NW] අවංක සිත් [හරි දේ කිරීමට ඍජු හදවත් NW] ඇත්තන්ට ප්‍රීතියත් වපුරනලද්දේය.”
සිද්ධීන්වල අනුපිළිවෙළ
10. දෙවියන් වහන්සේගේ පළිගැනීමේ දවස හා සම්බන්ධ ව අප අවනත විය යුත්තේ කලින් දෙන කිනම් නිවේදනයට ද? (එළිදරව් 16:15)
10 මහත් පීඩාව පහර දෙන විට සිද්ධින් සිදුවන අනුපිළිවෙළ කුමක් වනු ඇත් ද? අපි එළිදරව් 16 වෙනි පරිච්ඡේදයට පෙරලමු. ඡේද 13 සිට 16 දක්වා විස්තර කොට ඇති පරිදි, අපවිත්‍ර, භූත ආත්මයෝ, මුළු පොළොවේ ජාතීන් ව, සර්වබලධාරී දෙවියන් වහන්සේගේ මහත් දවසේ යුද්ධය වන හර්මගෙදොන් කරා එක්රැස් කරන සේක. පළිගැනීමේ දවස සොරෙකු මෙන් එන බව යළිත් අවධාරණය කොට තිබේ, තව ද අපගේ ගැලවීම සඳහා අප ව ලකුණු කරවන ආත්මික වස්ත්‍රය දමා ගෙන සිටින ලෙස, එනම් අවදි ව සිටින ලෙසට අපට අවවාද කොට ඇත. පොළොවේ ජනයන්, ජාතීන්, එමෙන් ම—වෙනත් අයෙකු විනිශ්චය කිරීමට කාලය එළඹ තිබේ. ඒ වෙනත් තැනැත්තා කවුද?
11. එළිදරව් 17:5 හි සඳහන් ස්ත්‍රිය තමා ව ම හඳුන්වා දී ඇත්තේ කෙසේ ද?
11 ඒ වනාහි තමා ම “වැදගත් කෙනෙකු” කර ගැනීමට සැබවින් ම උත්සාහ කොට තිබෙන සංකේතාත්මක ස්ත්‍රියකි. ඇය ව එළිදරව් 17:5 හි විස්තර කොට තිබෙන්නේ: “රහසක්ය, මහා බබිලෝනියය, පොළොවේ වේශ්‍යාවන්ගේද පිළිකුල්කම්වලද මවුය,” කියා ය. එහෙත් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ට නම් ඈ තවදුරටත් රහසක් නොවේ. බොරු ආගමේ ලෝක අධිරාජ්‍යය ලෙස අද තමා ව පැහැදිලි ව හඳුන්වා දී ඇති අතර, ක්‍රිස්තියානි ලෝකයේ නිකායන්ගෙන් එහි ප්‍රධාන කොටස සමන්විත වෙයි. ඈ දේශපාලන කටයුතුවලට ඇඟිලි ගැසීම නිසාත්, සැබෑ ක්‍රිස්තියානින්ට පීඩා කිරීමෙන් ඈ “ශුද්ධවන්තයන්ගේ ලෙයින් මත්වී සිටීම” නිසාත්, මෙම 20 වෙනි සියවස තුළ දී පමණක් මරා දමන ලද මිලියන සිය ගණනක් ඇතුළු, “පොළොවේ මරනලද සියල්ලන්ගේ ලේවලට” ඈ වග කිව යුතු නිසාත් ඈ යෙහෝවඃ වහන්සේගේ ඇස් හමුවේ පිළිකුල් ව සිටින්නී ය.—එළිදරව් 17:2, 6; 18:24.
12. ක්‍රිස්තියානි ලෝකයේ නිකායන් හෙළා දකිනු ලැබ ඇත්තේ මන්ද?
12 මේ සියල්ලෙන් ම නරක ම දේ නම්, ක්‍රිස්තියානි ලෝකයේ නිකායන්, තමන් විසින් නියෝජනය කරනවා යයි කුහක ව කියා සිටින දෙවියන් වහන්සේගේ නාමය මත නින්දාවක් ගෙන තිබීමයි. ඔවුන්, දෙවියන් වහන්සේගේ නිර්මල වචනය වෙනුවට බබිලෝනිය සහ ග්‍රීක් දර්ශනවාදී මත උගන්වා තිබෙන අතර, බයිබලයේ ප්‍රතිපත්ති හෙළා දකින ඕනෑ දෙයක් කිරීමට ඉඩදෙන ජීවන රටාවන් අනුමත කිරීම මගින් සමස්ත ජාතීන්ගේ සදාචාර බිඳවැටීමකට තුඩු දී ඇත. ඔවුන් අතර සිටින ගිජු කපටි වාණිජ හෝ දේශපාලන නායකයන් ව යාකොබ් 5:1, 5 හි වචන මගින්, හෙළා දැක තිබේ: “මෙන්න, ධනවතුනි, නුඹලා කෙරේ පැමිණෙන්ට තිබෙන නුඹලාගේ කාලකණිකම් නිසා මොරගසා හඬපල්ලා. නුඹලා පොළොවේදී සැපජීවිකාවෙන් වැස, අලංකාරකමින් පසුවුණහුය [ලුහුබැඳගොස් ඇත NW]; මැරුම්කන දවසකදී නුඹලාගේ සිත් [හෘද NW] නුඹලා පෝෂ්‍යකරගත්තහුය.”
මහා බබිලෝනියට පරාජය අත් වේවා!
13. මහත් පීඩාවේ ආරම්භක ප්‍රහාරය පැමිණෙන්නේ කෙසේ ද, තව ද එළිදරව් 18:4, 5 හි අවධාරණය කර ඇත්තේ කුමන හදිසිතාවය ද?
13 මහත් පීඩාවේ ප්‍රහාරය ඇරඹෙන්නේ මහා බබිලෝනිය මත යෙහෝවඃ වහන්සේගේ විනිශ්චයේ ඉටු වීමත් සමඟ ම ය. “අද දවස,” එනම් එක්සත් ජාතීන් නමැති බහු ජාතික “වනමෘගයා” තුළ ඇති ප්‍රබල බල ඇණි මෙහෙය වීම සඳහා වූ—දෙවියන් වහන්සේගේ “අදහස” එළිදරව් 17:15-18 හි, [NW] විචිත්‍ර ලෙස විස්තර කෙරේ. “නුඹ දුටු අං දසයද මෘගයාද [වනමෘගයා ද NW] වේශ්‍යාවට වෛරවී, ඈ පාළුද නග්නද කර, ඇගේ මාංස කා, ඈ සහමුලින් ගින්නෙන් දවන්නෝය. මක්නිසාදයත් දෙවියන්වහන්සේගේ . . . උන්වහන්සේගේ කැමැත්ත [අදහස NW] කරන්ට . . . ඔවුන්ගේ සිත් [හෘදය NW] කැමතිකෙරෙවූ සේක.” එළිදරව් 18:4, 5 හි සඳහන් හදිසි අනතුරු අඟවන ශබ්දයක් ස්වර්ගයෙන් නිකුත්වීම පුදුමයක් නොවේ: “මාගේ සෙනගෙනි, ඇගේ පාපවලට හවුල් නොවන පිණිසත්, ඇගේ පීඩාවලට [වසංගතවලට NW] අසු නොවන පිණිසත්, ඇගෙන් ඉවත්ව වරෙල්ලා . . . මක්නිසාද ඇගේ පව් ස්වර්ගය දක්වා නැංගේය, දෙවියන්වහන්සේද ඇගේ අපරාධ [අයුක්ති සහගත ක්‍රියා NW] සිහිකළසේක.” මෙම ආරාධනය නොකඩවා ඉදිරියට ම යයි: ප්‍රමාද වීමට කළින් බොරු ආගම සමඟ තිබෙන සියලු ම සබඳතා කපා දමන්න!
14. මහා බබිලෝනියේ විනාශය සම්බන්ධයෙන් වැළපෙනු ඇත්තේ කවුරුන් ද, තව ද ඒ මන්ද?
14 මෙම ලෝකය මහා බබිලෝනියේ විනාශය ගැන සලකනු ඇත්තේ කෙසේ ද? දූෂිත දේශපාලන පාලකයෝ හෙවත්, “පොළොවේ රජවරු” මෑ සමඟ සියවස් ගණනාවක් පුරා ආත්මික ව වේශ්‍යාකම් කොට අන්‍යෝන්‍ය වින්දනයක් ලබා තිබූ නිසා, දුරින් සිට ඈ ගැන ශෝක වෙති. “ඈ කරණකොටගෙන පොහොසත් . . . බඩු [සංචාරක NW] වෙළෙන්දෝ” වන වාණිජ කටයුතුවල යෙදී සිටින ගිජු මිනිස්සු ද ඈ ගැන අඬා වැලපෙති. මේ අය ද දුරින් සිට ඈ ගැන මෙසේ කියන්නෝ ය: “අහෝ, අහෝ, මහත් නුවර, සිහින් රෙදිද රත්නිල් වස්ත්‍රද පටරෙදිද රක්ත වස්ත්‍රද පැළඳ රනින්ද අනර්ඝ මැණික් සහ මුතුවලින්ද සැරසුණවූ නුවර! එක පැයකින් එපමණ මහත් ධනය නැතිවී ගියේය”! අධික මිලකින් යුත් පැවිදි පූජක ඇඳුම් සියල්ල ද ලෝකයේ මහා පල්ලිවල මහිමාලංකාරය ද සදහට ම පහ වී ගොස් තිබෙනු ඇත! (එළිදරව් 18:9-17) එහෙත් සෑම කෙනෙක් ම මහා බබිලෝනිය ගැන වැළපෙනු ඇත් ද?
15, 16. ප්‍රීති වීම සඳහා දෙවියන් වහන්සේගේ ජනයාට තිබෙනු ඇති හේතුව කුමක් ද?
15 එළිදරව් 18:20, 21 මෙසේ පිළිතුරු දෙයි: “ස්වර්ගය සහ ශුද්ධවන්තයනි, ප්‍රේරිතයෙනි, ප්‍රොපේතවරුනි, ඈ ගැන ප්රීතිවෙයල්ලා, මක්නිසාද ඈ නුඹලාට කළ විනිශ්චයෙන්ම දෙවියන්වහන්සේ ඈ විනිශ්චය කළසේක.” මුහුදට හෙළන ලද විශාල ඇඹරුම් ගලක් වැනිවූ ගලක් මෙන්, “ඒ මහත් නුවරවූ බබිලෝනිය මහත් වැටීමකින් මෙසේ හෙළනු ලබන්නීය, තවත් කිසිසේත් සම්බ නොවන්නීය.”
16 ප්‍රීති වීමට මොනතරම් හේතුවක් ද! එළිදරව් 19:1-8 මෙය පැහැදිලි කරයි. “හලෙලූයා! [ජනයෙනි යාඃට ප්‍රශංසා කරන්න!]” යන ආරාධනය සිව් වරක් ස්වර්ගයේ සිට රැව් පිළිරැව් දෙයි. මෙම හලේලූයා ප්රතිනාදයන්ගෙන් පළමු තුන යෙහෝවඃ වහන්සේට ප්‍රශංසා කරන්නේ, මන්දයත් උන් වහන්සේ අති දුෂ්ට වේශ්‍යාව වන මහා බබිලෝනිය කෙරෙහි ධර්මිෂ්ඨ විනිශ්චය ඉෂ්ඨ කළ නිසා ය. බොරු ආගමේ ලෝක අධිරාජ්‍යය තවත් නැත! දෙවියන් වහන්සේගේ සිංහාසනයෙන් නිකුත් වන හඬක් මෙසේ පවසයි: “අපේ දෙවියන්වහන්සේගේ සියලු මෙහෙකරුවෙනි, උන්වහන්සේට භය ඇති ලොකු කුඩා සියල්ලෙනි, උන්වහන්සේට ප්‍රශංසා කරපල්ලා.” අපට එම ගීතිකාවේ හවුල්වීමට ලැබීම කොතරම් වරප්‍රසාදයක් වනු ඇත් ද!
බැටළු පැටවාණන්ගේ සරණ මංගල්‍යය
17. එළිදරව් 11:17 සහ එළි 19:6 සැසඳීමේ දී, යෙහෝවඃ වහන්සේ රජ වශයෙන් පාලනය කිරීමට පටන් ගන්නේ, කිනම් පසුතලයන් දෙක තුළ ද?
17 හතර වෙනි හලේලූයා නාදය වෙනත් තේමාවක් හඳුන්වා දෙයි: “සර්වපරාක්‍රමවූ අපගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] රජකම් කරන බැවින්, හලෙලූයා [ජනයෙනි, යාඃට ප්‍රශංසා කරන්න NW].” එහෙත් එය එළිදරව් 11:17 හි සඳහන් දේට සමාන ගීත ඛණ්ඩයක යළි ගායනයක් නොවේ ද? එහි අපට කියවීමට තිබෙන්නේ මෙසේ ය: “සර්වපරාක්‍රමවූ ස්වාමිවූ [යෙහෝවඃ NW] දෙවියන්වහන්ස, ඔබගේ මහත් බලය රැගෙන ඔබ රජකම් කළ බැවින් අපි ඔබට ස්තූතිකරමුව.” එසේ ය. කෙසේ වුවද, එළිදරව් 11:17 හි පාඨයන්හි පසුතලය යොමු දක්වන්නේ, “සියලු ජාතීන් යදණ්ඩකින් ආණ්ඩු කිරීම” සඳහා යෙහෝවඃ වහන්සේ විසින් 1914 දී මෙසියානු ආණ්ඩුව පිහිටුවීමට ය. (එළිදරව් 12:5) එළිදරව් 19:6 තිබෙන්නේ, මහා බබිලෝනියේ විනාශය විස්තර කරන පසුතලයේ ය. ගණිකාවක් බඳු ආගම ඉවත් කළායින් පසු ව, යෙහෝවඃ වහන්සේගේ දේවත්වය සදහට ම නිදොස් වී තිබේ. උත්තරීතර පරමාධිපතියාණන් සහ රජ වශයෙන් උන් වහන්සේට පුදනු ලබන නමස්කාරය දැන් සදාකාලයට ම තහවුරු වී තිබෙනු ඇත!
18. මහා බබිලෝනිය ඉවත් කිරීම, කුමන ප්‍රීති ප්‍රමුදිත නිවේදනට මඟ විවෘත කරයි ද?
18 මෙබැවින්, ප්‍රීතියෙන් ප්‍රමුදිත මෙම නිවේදනය කරනු ලැබිය හැක: “අපි අතිශයෙන් ප්‍රීති සන්තෝෂවෙමු, [යාඃට NW] ගෞරවය දෙමු. මක්නිසාද බැටළු පැටවාණන්ගේ සරණ මංගල්‍ය පැමිණියේය, උන්වහන්සේගේ භාර්‍ය්‍යාවද සූදානම්ව සිටින්නීය යනුයි. දීපිතමත්වූ සිහින් වස්ත්‍රයෙන් පැළඳෙන්ට ඈට ලැබුණේය. සිහින් වස්ත්‍ර නම් ශුද්ධවන්තයින්ගේ ධර්මිෂ්ඨ ක්‍රියාය.” (එළිදරව් 19:7, 8) පොළොව මත තවමත් ඉතිරි ව සිටින ආලේප ලත් අය තම ස්වර්ගික නැවත නැගිටීම ලබන්නේ කවදා ද යන්න ගැන සඳහනක් නැත. අපට මෙහි අවට පාඨ සම්බන්ධයෙන් සහතික කරනු ලබන්නේ, බැටළු පැටවාණන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සරණ මංගල්‍යයේ ඔවුන් සහභාගි වීම සන්තෝෂදායක කාලයක් වන බවට ය, තව ද ඔවුන් අපකීර්තිමත් වේශ්‍යාව වන මහ බබිලෝනියේ අවමන් සහගත අභාවය සියැසින් දැක ඇති නිසා එම සන්තෝෂය ප්‍රගුණ වනවා නියත ය.
සාතන්ගේ ලෝකය විනාශ වෙයි
19. එළිදරව් 19:11-21 හි විස්තර කර ඇත්තේ තවත් කිනම් සිද්ධිය ද?
19 එළිදරව් 6:2 හි පළමුවෙන් සඳහන් වූ සුදු අශ්වයා යළි දසුනට පැමිණෙයි. එළිදරව් 19:11 හි අපට කියවීමට තිබෙන්නේ මෙසේ ය: “විශ්වාසය, සැබෑයයි කියනු ලැබූ තැනන්වහන්සේ [සුදු අශ්වයා] පිට වැඩහුන්සේක, උන්වහන්සේ ධර්මිෂ්ඨකමින් විනිශ්චයත් යුද්ධයත් කරනසේක.” මේ අයුරින්, “රජවරුන්ගේ රජ සහ ස්වාමිවරුන්ගේ ස්වාමින්වහන්සේ”, ජාතීන්ට පහර දීමටත්, “සර්වපරාක්‍රම දෙවියන්වහන්සේගේ කෝපයේ උදහස නමැති මුද්‍රිකපැස මැඩීමටත්” අශ්ව ධාවනයේ යෙදෙන සේක. හර්මගෙදොන්හි දී යුද්ධ කිරීම සඳහා “පොළොවේ රජවරුන්ද ඔවුන්ගේ සේනාවන්ද” රැස් ව සිටින්නේ නිෂ්ඵලයේ ය. සුදු අශ්වයා පිට වූ අශ්වාරෝහකයා තම ජයග්‍රහණය සම්පූර්ණ කරයි. සාතන්ගේ භූමික සංවිධානයේ කිසිවක් ඉතිරි නොවේ.—එළිදරව් 19:12-21.
20. යක්ෂයාට ම සිදු වන්නේ කුමක් ද?
20 එහෙත්, යක්ෂයා ගැන ම කුමක් කිව හැකි ද? එළිදරව් 20:1-6 හි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ව, විස්තර කර ඇත්තේ, “පාතාලයේ යතුරුද අතේ මහත් දම්වැළක්ද ඇතුව ස්වර්ගයෙන් බැස එන දේවදූතයෙකු” හැටියට ය. උන් වහන්සේ සාතන් වන යක්ෂයා වන පුරාණ සර්පයා එනම් මකරා ව අල්ලා, ඔහු ව බැඳ, පාතාලයට හෙළා, ඒක වසා, ඔහු මතුයෙහි ඒක මුද්‍රා කරන සේක. තවදුරටත් ජාතීන් ව රැවටීමට නොහැකි වන ලෙස සාතන් ව ඉවත් කර සිටීමත් සමඟ ම, බැටළු පැටවාණන්ගේ සහ උන් වහන්සේගේ මණාලියගේ මහිමාන්විත දහස් අවුරුදු පාලනය ආරම්භ වනු ඇත. දුකින් වැළපෙන කඳුලු තවත් නැත! ආදම්ගෙන් පැමිණි මරණය තවත් නැත! වැලපීමත්, හැඬීමත්, වේදනාවත් තවත් නැත! “පළමු දේවල් පහව ගියේය.”—එළිදරව් 21:4.
21. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ එළිදරව් වීම අප මහත් උනන්දුවෙන් බලා සිටින අතරේ දී, අපගේ අධිෂ්ඨානය විය යුත්තේ කුමක් ද?
21 අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ එළිදරව් වීම ගැන අප මහත් උනන්දුවෙන් බලා සිටින අතරේ දී, දෙවියන් වහන්සේගේ ප්‍රේමනීය රාජ්‍යය පොරොන්දු පිළිබඳ ව අන්‍යයන් හට පැවසීමෙන් අපි අපගේ ජ්වලිතය පෙන්වමු. ගැලවීම අතළඟ ය! පරමාධිපති ස්වාමි වූ යෙහෝවඃ වහන්සේගේ ඥානාලෝකයෙන් බැබළෙන දරුවන් වශයෙන් අපි ඉදිරියට යමු, වෙන කවරදාටත් වඩා ඉදිරියට යමු!
පුනරීක්ෂණයේ දී
◻ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ එළිදරව් වීම අතළඟ බව අඟවන්නේ කුමකින් ද?
◻ යෙහෝවඃ වහන්සේගේ පළිගැනීමේ දවස ළඟා වනු ඇත්තේ කෙසේ ද?
◻ “යෙහෝවඃ වහන්සේට ප්‍රේම කරන්නන්” මෙම වත්මන් ලෝක තත්ත්වය දෙස බැලිය යුත්තේ කෙසේ ද?
◻ මහත් පීඩාව පහර දෙන විට සිද්ධීන්හි අනුපිළිවෙළ කුමක් වනු ඇත් ද?
[23වන පිටුවේ පින්තූරය]
විනිශ්චය ඉටු කිරීම සඳහා යේසුස් වහන්සේ ‘වළාකුල් සමඟින් එනම් අදෘශ්‍යමාන ව පැමිණෙන සේක.’
[25වන පිටුවේ පින්තූරය]
බොරු ආගම, සාතන්ගේ දුෂ්ට පිළිවෙළ, සහ සාතන් ද යන සියල්ල ම ඉතා ඉක්මනින් පහව යනු ඇත