පරිච්ඡේදය 8
ජයගන්නන් වීමට දැඩි උත්සාහයක් දැරීම
ස්මර්ණාව
1. (අ) තේජවත් යේසුස්ගෙන් පණිවුඩයක් ලබන ඊළඟ සභාව කුමක්ද? (ආ) තමා ‘පළමුවැන්නා සහ අන්තිමයා’ කියා පැවසීමෙන් යේසුස් එම සභාවට මතක් කළේ කුමක් ගැනද?
අද පැරණි එෆීස නගරයේ දක්නට ඇත්තේ නටබුන් විතරයි. නමුත් දැන් යේසුස් තම දෙවන පණිවුඩය යවන ස්ථානය අදටත් ජනාකීර්ණ නගරයක්. එෆීසයේ නටබුන්වලට කිලෝමීටර් 35ක් උතුරින් පිහිටි ඉස්මීර් නම් තුර්කි නගරයේ අද දිනත් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවන් හතරක් තිබෙන අතර ඒවායේ සාමාජිකයෝ ඉතා උද්යෝගයෙන් දෙවිට සේවය කරනවා. පළමු සියවසේදී මෙහි නම ස්මර්ණාවයි. යේසුස් ඊළඟට මෙසේ පවසනවා. “ස්මර්ණාවෙහි පිහිටි සභාවේ දූතයාට මෙසේ ලියන්න: මැරුණ නමුත් නැවත ජීවත්ව සිටින, ‘පළමුවැන්නා සහ අන්තිමයා’ වන තැනැත්තා මේ කාරණා කියන්නේය.” (එළිදරව් 2:8) යේසුස් ස්මර්ණාවේ ක්‍රිස්තියානීන්ට සිහිගන්වන්නේ ස්වර්ගයේ අමරණීය ජීවිතයක් සඳහා යෙහෝවා දෙවි විසින්ම නැවත නැඟිටුවනු ලැබූ පළමු සහ අන්තිම තැනැත්තා තමා බවයි. වෙනත් සියලු අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව නැවත නැඟිටුවන්නේ යේසුස් විසිනුයි. මේ නිසා තමන් සමඟ ස්වර්ගයේ අමරණීය ජීවිතයක් භුක්ති විඳින්නට යන තම සහෝදරයන්ට අවවාද කිරීමට යේසුස් තරම් සුදුසු තවත් කෙනෙක් නැහැ.
2. ‘මැරුණ නමුත් නැවත ජීවත්ව සිටින’ තැනැත්තාගේ වචනවලින් සියලු ක්‍රිස්තියානීන් සැනසීමක් ලබන්නේ ඇයි?
2 දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති රැකීම නිසා ඇති වූ පීඩා විඳදරාගැනීම ගැන හොඳම ආදර්ශය සැපයුවේ යේසුස්. ඒ නිසා ඔහුට මහත් ආශීර්වාද ලැබුණා. මරණය දක්වා විශ්වාසවන්තව සිටි නිසා යේසුස්ට ලැබුණු නැවත නැඟිටීම සියලු ක්‍රිස්තියානීන්ට මහත් බලාපොරොත්තුවක් ලබා දෙනවා. (ක්‍රියා 17:31) යේසුස් ‘මැරුණ නමුත් නැවත ජීවත්ව සිටීමෙන්’ ඔප්පු වෙන්නේ සත්‍යය වෙනුවෙන් කුමන දෙයක් විඳදරාගන්න සිදු වුණත් එය නිෂ්ඵල නොවන බවයි. මේ අනුව යේසුස්ගේ නැවත නැඟිටීම සියලු ක්‍රිස්තියානීන්ට මහත් දිරිගැන්වීමක්. විශේෂයෙන්ම ඇදහිල්ල නිසා මරණය දක්වාම විඳදරාගැනීමට සිදු වෙද්දී එය මහත් දිරිගැන්වීමක්. ඔබත් ධර්මිෂ්ඨකම වෙනුවෙන් විඳදරාගනිමින් සිටින කෙනෙක්ද? එසේනම්, ස්මර්ණාවේ සභාවට යේසුස් ඊළඟට කියන වචනවලින් ඔබට ධෛර්යය උපදවාගත හැකියි.
3. (අ) ස්මර්ණාවේ ක්‍රිස්තියානීන්ට යේසුස් දුන් දිරිගැන්වීම කුමක්ද? (ආ) ඒ ක්‍රිස්තියානීන් දිලිඳු වුවත්, ඔවුන් “ධනවත්” කියා යේසුස් පැවසුවේ ඇයි?
3 “ඔබේ පීඩාවද දිලිඳුකමද මම දනිමි—එහෙත් ඔබ ධනවත්ය—තමුන් යුදෙව්වරුන්යයි කියාගත්තත් එසේ නොවන, සාතන්ගේ සිනගෝගයක් වන්නාවූ අය කරන දේවඅපහාසයද මම දනිමි.” (එළිදරව් 2:9) යේසුස් ස්මර්ණාවේ සිටි තම සහෝදරයන්ගේ දුර්වලකමක් ගැන කතා කරන්නේ නැහැ. ඒ වෙනුවට කළේ ඔවුන්ට ප්‍රශංසා කිරීමයි. තම ඇදහිල්ල වෙනුවෙන් ඔවුන් බොහෝ දුක් වින්දා. ඔවුන් දුප්පත්. ඒ ඔවුන්ගේ ඇදහිල්ල නිසා වෙන්න ඇති. (හෙබ්‍රෙව් 10:34) එහෙත් ඔවුන්ගේ වැඩි සැලකිල්ල යොමු වුණේ දෙවිට කරන නමස්කාරය හා සම්බන්ධ කාරණාවලටයි. යේසුස් කීවාක් මෙන් ඔවුන් වස්තු රැස් කළේ ස්වර්ගයේයි. (මතෙව් 6:19, 20) මේ නිසා ප්‍රධාන එඬේරා වන යේසුස් ඔවුන්ව සලකන්නේ “ධනවත්” අය ලෙසයි.—යාකොබ් 2:5ද බලන්න.
4. ස්මර්ණාවේ විසූ ක්‍රිස්තියානීන් පීඩා බොහොමයක් වින්දේ කවුරුන් අතින්ද? යේසුස් මෙම විරුද්ධවාදීන්ව සැලකුවේ කෙසේද?
4 ස්මර්ණාවේ විසූ ක්‍රිස්තියානීන්, යුදෙව් ආගමට අයත් අයගෙන් පැමිණි බොහෝ පීඩා විඳදරාගත් බව යේසුස් විශේෂයෙන් මෙහිදී පවසනවා. ක්‍රිස්තියානි සභාව ආරම්භ වූ මුල් කාලයේදී මේ යුදෙව් ආගමට අයත් බොහෝදෙනෙක් ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම් ව්‍යාප්ත වෙනවාට දැඩි සේ විරුද්ධවාදිකම් පෑවා. (ක්‍රියා 13:44, 45; 14:19) මේ පණිවුඩය ලැබෙද්දී යෙරුසලම විනාශ වී දශක දෙකක් ගත වෙලා. එහෙත් ස්මර්ණාවේ වෙසෙන යුදෙව්වන් පෙර සේම සාතන්ගේ කුරිරු ස්වභාවය පිළිබිඹු කරමින් ක්‍රිස්තියානීන්ට දැඩි විරුද්ධවාදිකම් පෑවා. ඔවුන්ව “සාතන්ගේ සිනගෝගයක්” ලෙස යේසුස් විසින් සැලකීම පුදුමයක් නෙවෙයි.a
5. ස්මර්ණාවේ විසූ ක්‍රිස්තියානීන්ට ඉදිරියේදී මුහුණ දීමට තිබූ පරීක්ෂා මොනවාද?
5 මෙවන් දැඩි වෛරයකට මුහුණ දෙන ස්මර්ණාවේ ක්‍රිස්තියානීන්ට යේසුස් දුන් මේ වචන මහත් සැනසීමක් වුණා. “ඔබ විඳින්නට යන දේවල් ගැන භය නොවන්න. බලන්න! ඔබව සම්පූර්ණයෙන්ම පරීක්ෂා කිරීමටත්, දවස් දහයක් ඔබට පීඩා ඇති වන පිණිසත් යක්ෂයා ඔබෙන් සමහරෙකුව සිරගෙට දමනු ඇත. මරණය දක්වාම විශ්වාසවන්තව සිටින්න. එවිට මම ඔබට ජීවනය නමැති ඔටුන්න දෙන්නෙමි.” (එළිදරව් 2:10) මෙහිදී යේසුස් “ඔබ” යන වචනය තුන් වතාවක්ම පාවිච්චි කළේ බහුවචනාර්ථයෙන්. මින් පෙන්වන්නේ ඔහු මුළු සභාවටම කතා කළ බවයි. ස්මර්ණාවේ ක්‍රිස්තියානීන්ගේ වධ හිංසා පරීක්ෂා ඉක්මනින් අවසන් වන බවක් නම් යේසුස් පොරොන්දු වෙන්නේ නැහැ. ඔවුන්ගෙන් සමහරදෙනෙකුට දිගටම පීඩා විඳ හිරගත වන්නට පවා සිදු වෙනවා. ඔවුන්ට “දවස් දහයක්” දුක් විඳින්නට වෙනවා. දහයේ ඉලක්කමෙන් අදහස් කරන්නේ පොළොවේ තිබෙන හෝ සිදු වන දේ සම්බන්ධයෙන් පූර්ණකමක් හෝ අඩුවක් නැතිකමයි. මේ අනුව “දවස් දහයක්” දුක් විඳින්න වෙනවා කීමෙන් අදහස් කරන්නේ ස්ථිරව දෙවිට විශ්වාසවන්තව සිටින අයට පවා පොළොවේදී පීඩාවලට උපරිම ලෙස මුහුණ දෙන්නට සිදු වන බවයි.
6. (අ) ස්මර්ණාවේ විසූ ක්‍රිස්තියානීන් භය නොවිය යුත්තේ ඇයි? (ආ) යේසුස් ස්මර්ණාවේ සභාවට යැවූ පණිවුඩය අවසන් කළේ කෙසේද?
6 කොහොමවුණත් ස්මර්ණාවේ ක්‍රිස්තියානීන්ට භය වෙන්නවත් තම විශ්වාසවන්තභාවය නැති කරගන්නවත් අවශ්‍ය නැහැ. අන්තිමය දක්වාම දෙවිට විශ්වාසවන්තව සිටිනවා නම්, ඔවුන්ට “ජීවනයේ ඔටුන්න” ලැබෙනවා. ඒ ස්වර්ගයේ අමරණීය ජීවිතයක්. (1 කොරින්ති 9.25; 2 තිමෝති 4:6-8) පාවුල් මෙම වටිනා ත්‍යාගය සැලකුවේ ඕනෑම දෙයක්, තමන්ගේ ජීවිතය වුණත් පරිත්‍යාග කර ලබාගත යුතු වටිනා තෑග්ගක් හැටියටයි. (ෆිලිප්පි 3:8) ස්මර්ණාවේ සිටි ඒ ඇදහිලිවන්තයන්ට ඒ හා සමානම ආකල්පයක් තිබූ බව පෙනෙනවා. යේසුස් ඔවුන්ට දුන් පණිවුඩය අවසන් කරන්නේ මෙසේ කියමිනුයි. “ආත්මය සභාවලට පවසන දේ කන් ඇත්තා අසාවා: ජයගන්නාට දෙවන මරණයෙන් කිසිසේත් හානි නොවන්නේය.” (එළිදරව් 2:11) මෙයින් සහතික වෙන්නේ අවසානය දක්වා ඇදහිලිවන්තව සිට ජයගන්නා අයට ස්වර්ගයේ අමරණීය ජීවිතය හිමි වෙන බවයි.—1 කොරින්ති 15:53, 54.
‘දවස් දහයක පීඩා’
7, 8. ස්මර්ණාවේ සභාවට සමානව 1918දී සත්‍ය ක්‍රිස්තියානි සභාව ‘සම්පූර්ණයෙන්ම පරීක්ෂා කරනු ලැබුවේ’ කෙසේද?
7 ස්මර්ණවේ විසූ ක්‍රිස්තියානීන්ට සමානම වර්තමානයේ යොහන් පන්තිය සහ ඔවුන් සමඟ දෙවිට සේවය කරන වෙනත් බැටළුවන්වද ‘උපරිමයෙන් පරීක්ෂා කර’ තිබෙනවා. දැඩි පරීක්ෂා මැද ඔවුන් තම විශ්වාසවන්තභාවය රැකගෙන තිබීමෙන් පෙනෙන්නේ ඔවුන් දෙවිගේම ජනයා බවයි. (මාක් 13:9, 10) ස්වාමීන්ගේ දවස ආරම්භ වී වැඩි කල් යෑමට මත්තෙන් ලොව පුරා විසිරී සිටි යෙහෝවා දෙවිගේ ජනයාට යේසුස් ස්මර්ණාවේ සභාවට පැවසූ වචන මහත් සැනසීමක් ගෙන දුන්නා. (එළිදරව් 1:10) වර්ෂ 1879 සිට මේ අය දෙවිගේ වචනයෙන් බොහෝ ගැඹුරු දේවල් තේරුම්ගෙන ඒවා අන්‍යයන් සමඟ සතුටින් බෙදාගත්තා. නමුත් පළමු ලෝක යුද්ධය අතරතුරේදී දැඩි වෛරයකට හා පීඩාවලට මුහුණ දෙන්න ඔවුන්ට සිදු වුණා. ඒ හේතු දෙකක් නිසයි. එකක්, ඔවුන් යුධ උමතුවෙන් ක්‍රියා නොකළ නිසා. අනෙක ක්‍රිස්තියානියයි කියන පල්ලිවල වැරදි නිර්භීතව හෙළි කළ නිසා. ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලිවල නායකයන්ගේ උසිගැන්වීම මත මේ අයට උපරිම අන්දමින් පීඩා විඳින්නට සිදු වූයේ 1918දීයි. එය හරියට ස්මර්ණාවේ ක්‍රිස්තියානීන්ට එහි සිටි යුදෙව්වන් කළ පීඩාවලට සමානයි.
8 අමෙරිකා එක්සත් ජනපදයේ සිටි ක්‍රිස්තියානීන්ටත් පීඩා රැල්ලකට මුහුණ දෙන්න සිදු වුණා. ඔවුන්ට මුහුණ දෙන්න සිදු වූ විශාලම පීඩාව වුණේ 1918 ජූනි 22වනදා වොච් ටවර් සමිතියේ සභාපති ජෝසෆ් එෆ්. රදෆර්ඩ් සහ ඔහු සමඟ සේවය කළ සත්දෙනෙකුව සිරභාරයට ගැනීමයි. ඔවුන්ගෙන් වැඩිදෙනෙකුට වසර 20ක සිරදඬුවමක් නියම කළා. නමුත් මාස නවයකට පසුව ඔවුන්ව ඇප පිට නිදහස් කරනු ලැබුවා. ඉන්පසුව 1919 මැයි 14වනදා, අභියාචනා අධිකරණය විසින් කලින් කළ නඩු විභාගයේ දෝෂ 130ක් තිබූ බව හෙළි කරමින් ඔවුන්ව සම්පූර්ණයෙන්ම නිදහස් කළා. වර්ෂ 1918දී නඩුව විභාග කළ මුල් අවස්ථාවේදී මෙම ක්‍රිස්තියානීන්ට ඇප දීම ප්‍රතික්ෂේප කළේ රෝමානු කතෝලික විනිසුරුවරයෙකු වූ මැන්ටන් නමැති තැනැත්තායි. ඔහු ඉතා උසස් රෝමානු කතෝලික පදවියක් ලැබූ කෙනෙක්. (සාන්ත මහ ග්‍රෙගරි නිකායේ නයිට්වරයෙක්) නමුත් 1939දී අල්ලස් ඉල්ලීම හා ගැනීම යන චෝදනා මත වසර දෙකක සිරදඬුවමක් විඳීමටත් ඩොලර් 10,000ක දඩ මුදලක් ගෙවීමටත් ඔහුට සිදු වුණා.
9. නාට්සි පාලක හිට්ලර් ජර්මනියේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට සැලකුවේ කෙසේද? පූජකයන් කළේ කුමක්ද?
9 ජර්මනියේ නාට්සි පාලනය පැවති සමයේ හිට්ලර් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දේශනා සේවය සම්පූර්ණයෙන්ම තහනම් කළා. වසර ගණනාවක් පුරා, ඔවුන්ව ගාල් කඳවුරුවල හා සිරමැදිරිවල ඉතා කුරිරු ලෙස සිර කර තිබුණා. බොහෝදෙනෙක් මිය ගියා. හිට්ලර්ගේ හමුදාවට බැඳී, යුද්ධ කිරීම ප්‍රතික්ෂේප කළ තරුණයන් 200ක් පමණ ඝාතනය කෙරුණා. මේ සියලු වධ හිංසාවලට උල්පන්දම් දුන්නේ පූජකයන්. මේ බව 1938 මැයි 29දා එක්තරා පුවත්පතක පළ කරන ලද කතෝලික පූජකයෙකුගේ වචනවලින්ම පැහැදිලි වෙනවා. එහි එක් කොටසක කියැවුණේ මෙසේයි. “බයිබල් ශිෂ්යයන්යයි [යෙහෝවාගේ සාක්ෂිකරුවන්යයි] කියාගන්නාවූ පිරිස තහනම් කර ඇත්තේ ලෝකයේ එකම රටක පමණයි. ඒ තමයි ජර්මනිය! . . . ඇඩොල්ෆ් හිට්ලර් බලයට පත් වූ විට ජර්මානු කතෝලික බිෂොප්වරු බයිබල් ශිෂ්‍යයන්ව මර්දනය කරන ලෙස නැවතත් හිට්ලර්ගෙන් ඉල්ලා සිටියා. හිට්ලර් පිළිතුරු දුන්නේ මෙසේයි. ‘මේ බයිබල් ශිෂ්‍යයන් [යෙහෝවාගේ සාක්ෂිකරුවන්] කියාගන්නාවූ පිරිස හරිම කරදරකාරයෝ. . . . මං හිතන්නේ ඔවුන් හොර වංචාකාරයෝ කියලයි. ජර්මානු කතෝලිකයන්ට නින්දා කිරීමට මම නම් මේ අමෙරිකානු විනිසුරු රදෆර්ඩ්ට ඉඩ දෙන්නේ නැහැ. මම මොවුන්ව රටින් අතු ගා දමනවා.’” හිට්ලර්ගේ මෙම ප්‍රකාශයට මෙම පූජකයා තම හැඟීම් පළ කළේ “ජය වේවා!” කියමින්.—The German Way.
10. (අ) ස්වාමීන්ගේ දවස ගෙවී යත්ම, යෙහෝවාගේ සාක්ෂිකරුවන් මුහුණ දී ඇත්තේ කිනම් පීඩාවලටද? (ආ) තම ආගමික නිදහස වෙනුවෙන් නීතියේ පිහිට පැතූ බොහෝ අවස්ථාවලදී සාක්ෂිකරුවන්ට ලැබී තිබෙන ප්‍රතිඵල මොනවාද?
10 ස්වාමීන්ගේ දවස ගෙවී යද්දී සර්පයා සහ ඔහුගේ වංශයෙන් පැවතෙන්නන් දිගින් දිගටම අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට සහ ඔවුන් සමඟ සිටින වෙනත් බැටළුවන්ට එරෙහිව සටන් කර තිබෙනවා. මේ අයගෙන් බොහෝදෙනෙකුව සිරගත කර, දරුණු ලෙස වධ හිංසා කර තිබෙනවා. (එළිදරව් 12:17) මේ සතුරන් දිගින් දිගටම ‘පනතෙන් නපුර යොදා තිබෙනවා.’ නමුත් යෙහෝවා දෙවිගේ ජනයා ඉතා පැහැදිලිව සහ ස්ථිරව කියා ඇත්තේ “අප කීකරු විය යුත්තේ මිනිසුන්ට නොව දෙවිටය” කියායි. (ගීතාවලිය 94:20; ක්‍රියා 5:29) වර්ෂ 1954දී මුරටැඹ සඟරාවේ මෙසේ වාර්තා වුණා. “රටවල් හැත්තෑවකට වැඩි ප්‍රමාණයක් පසුගිය වසර හතළිහ තුළ යම් යම් අවස්ථාවලදී යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට විරුද්ධව තහංචි පනවා ඔවුන්ට පීඩා කර තිබේ.” තම ආගමික නිදහස වෙනුවෙන් නීතියේ පිහිට පතන්න හැකි වූ අවස්ථාවලදී සාක්ෂිකරුවන් එසේ කර තිබෙන අතර, රටවල් ගණනාවක පැවති නඩුවලදී ඔවුන් අතිවිශිෂ්ට ජයග්‍රහණ ලබා තිබෙනවා. එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණයෙහි පමණක් නඩු 50කින් ඔවුන් ජයගත්තා.
11. ස්වාමීන්ගේ දවසේදී යෙහෝවාගේ සාක්ෂිකරුවන් සම්බන්ධයෙන් ඉටු වී තිබෙන්නේ තමන් පැමිණ සිටින කාලය ගැන යේසුස් දුන් කුමන අනාවැකියද?
11 යේසුස් අණ කළේ සීසර්ගේ දේ සීසර්ට දෙන ලෙසයි. යෙහෝවාගේ සාක්ෂිකරුවන් තරම් වෙන කිසිම කණ්ඩායමක් මේ අණට කීකරු වෙන්න උනන්දු වී නැහැ. (ලූක් 20:25; රෝම 13:1, 7) එහෙත් මෙතරම් රටවල් ගණනාවක සාක්ෂිකරුවන් තරම් සිරගත කරනු ලැබූ කිසිම කණ්ඩායමක් ලෝකයේ තවත් නැති තරම්. තවමත් අමෙරිකාවේ, යුරෝපයේ, අප්‍රිකාවේ සහ ආසියාවේ රටවල මේ අයව සිරගත කිරීම් සිදු වෙනවා. මෙය තම පැමිණ සිටින කාලය ගැන යේසුස් දුන් අනාවැකියේ ඉටුවීමක්. යේසුස් කීවේ, “මිනිස්සු ඔබව පීඩා විඳින්න පාවා දී මරණයට පත් කරති. තවද, මාගේ නාමය නිසා සියලු ජාතීන් ඔබට වෛර කරනවා ඇත” කියායි. (මතෙව් 24:3, 9) ඇත්තෙන්ම ස්වාමීන්ගේ දවස අතරතුරේදී මෙය යෙහෝවාගේ සාක්ෂිකරුවන් වන සැබෑ ක්‍රිස්තියානීන් සම්බන්ධයෙන් ඉටු වී තිබෙනවා.
12. පීඩාවලට මුහුණ දීම සඳහා දෙවිගේ ජනයාව ශක්තිමත් කිරීමට යොහන් පන්තියට හැකි වී තිබෙන්නේ කෙසේද?
12 ස්මර්ණාවේ ක්‍රිස්තියානීන්ට යේසුස් කී වචනවල මූලික අදහස යොහන් පන්තිය විසින් දෙවිගේ ජනයාට නිතර නිතර සිහිගන්වා තිබෙනවා. ඒ, ඔවුන්ව පීඩාවලට මුහුණ දීමට ශක්තිමත් කිරීම සඳහායි. නිදසුනක් හැටියට, මුරටැඹ සඟරාවේ 1933 සහ 1934 වසරවල එවැනි ලිපි කිහිපයක්ම පළ වුණා. මතෙව් 10:26-33හි සඳහන් දේ පිළිබඳව සාකච්ඡා කළ “ඔවුන්ට භය නොවන්න” යන ලිපියත්, දානියෙල් 3:17, 18 මත පදනම් වූ “ගිනිමය පීඩා” යන ලිපියත්, දානියෙල් 6:22 මත පදනම් වූ “සිංහයන්ගේ කටවල්” යන ලිපියත් මීට උදාහරණ ලෙස සලකන්න පුළුවන්. ඒ වගේම මෙම පොත පළමු වරට ප්‍රකාශයට පත් කරනු ලැබූ 1980 දශකයේදී යෙහෝවාගේ සාක්ෂිකරුවන් රටවල් 40කට වඩා වැඩි ගණනක දරුණු පීඩා වින්දා. මේ නිසා දෙවිගේ සෙනඟව ශක්තිමත් කිරීමට මුරටැඹ සඟරාවේ තවත් ලිපි පළ වුණා. ඒවා අතර “පීඩා කරනු ලැබුවත් ප්‍රීතිදායකය!” සහ “ක්‍රිස්තියානීන් විඳදරාගැනීමෙන් යුක්තව පීඩාවට මුහුණ දෙති” යන ලිපිත් ඇතුළත්.b
13. ස්මර්ණාවේ ක්‍රිස්තියානීන් මෙන්, යෙහෝවා දෙවිගේ ක්‍රිස්තියානි සාක්ෂිකරුවන් පීඩාවලට භය වී නැත්තේ ඇයි?
13 යෙහෝවා දෙවිගේ ක්‍රිස්තියානි සාක්ෂිකරුවන් සංකේතවත් ආකාරයකින් ‘දවස් දහයකට’ ශාරීරික වධ හිංසා පීඩා විඳින බව ඇත්තයි. නමුත් අතීතයේ විසූ ස්මර්ණාවේ ක්‍රිස්තියානීන් මෙන් ඔවුන් භය වී නැහැ. ලෝකයේ තත්වය දරුණු වුණා කියා අපෙන් කිසිවෙකුට භයවීමට අවශ්‍යද නැහැ. දුක් පීඩා විඳදරාගැනීමටත් ‘අපේ දේපළ කොල්ල කෑම’ ප්‍රීතියෙන් දරාගැනීමටත් අපි සූදානම්. (හෙබ්‍රෙව් 10:32-34) දේවවචනය අධ්‍යයනය කිරීමෙන් සහ එය අපේම ජීවිතයට අදාළ කරගැනීමෙන් ඇදහිල්ලේ ස්ථිරව සිටීමට අපට පුළුවන්. යෙහෝවා දෙවි “ඔබ ගැන සලකන නිසා, ඔබේ සියලු කරදර ඔහු පිට තබන්න.” (1 පේතෘස් 5:6-11) ඔබේ විශ්වාසවන්තකම රැකගෙන සිටීමට උපකාර කරන්නේ දෙවිම බව කිසිදා අමතක නොකරන්න.
[පාදසටහන්වල]
a යොහන් මිය ගොස් වසර 60කට පමණ පසුව, 86 හැවිරිදි පොලිකාප් නම් තැනැත්තාව ස්මර්ණාවේදී පුලුස්සා මරණයට පත් කළා. එසේ කළේ ඔහු යේසුස් කෙරෙහි විශ්වාසය අත් නොහැරිය නිසයි. ඒ කාලයේ ලියන ලද පොලිකාප්ගේ මරණය නම් පොතේ සඳහන් වෙන්නේ මෙම ඝාතනය සිද්ධ කළේ “මහා සබත් දවසක” බවයි. නමුත් ඔහුව පිලිස්සීම සඳහා දර එකතු කිරීමේ කටයුත්තට “යුදෙව්වන් වෙනත් අවස්ථාවලදී මෙන් ඉතා උද්යෝගයෙන් හවුල් වූ බවත්” එහි සඳහන් වෙනවා.
b මුරටැඹ සඟරාවේ 1933 නොවැම්බර් 1, 1934 ඔක්තෝබර් 1 සහ 15, දෙසැම්බර් 1 සහ 15 යන ඉංග්‍රීසි කලාප සහ 1983 නොවැම්බර් 1 යන සිංහල කලාපය බලන්න.
[39වන පිටුවේ කොටුව⁄පින්තූරය]
ජර්මනියේ නාට්සි පාලනය පැවති සමයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් දෙවිට විශ්වාසවන්තව සිටි ආකාරය ගැන ඉතිහාසඥයන් වසර ගණනාවක් පුරා සාක්ෂි ඉදිරිපත් කර තිබෙනවා. වර්ෂ 1986දී ඉතිහාසඥ ක්ලෝඩියා කූන්ස් විසින් ලියන ලද පොතක මෙසේ සඳහන් වෙනවා. “නාට්සි පාලනය දැඩි සේ පිළිකුල් කළ ජර්මානුවන්ගෙන් වැඩිදෙනෙක් ඒ පාලනය යටතේ ජීවත් වීමට විවිධ ක්‍රම සොයාගත්තා. . . . නමුත් ජර්මනියේ විසූ යෙහෝවාගේ සාක්ෂිකරුවන් 20,000ක් පමණ දෙනා තම ආගමික විශ්වාසයන් නිසා නාට්සි පාලනයට මොනයම් ආකාරයකින් හෝ කීකරු වීම දැඩි සේ ප්‍රතික්ෂේප කළා. . . . ඔවුන් හැම කෙනෙක්ම පාහේ එකා මෙන් එම ස්ථාවරය දැරුවේ ඔවුන්ගේ ආගමික විශ්වාසයන් නිසයි. ඔවුන් නාට්සි පාලනයේ කිසිම අංගයකට සහයෝගය දැක්වූයේ නැහැ. වර්ෂ 1933දී හිට්ලර්ගේ රහස් පොලිසිය ජර්මනියේ තිබූ ඔවුන්ගේ මූලස්ථානය විනාශ කර 1935දී මෙම නිකාය තහනම් කළායින් පසුව පවා හිට්ලර්ට ආචාර කිරීමේ පිළිවෙත පවා ඔවුන් ප්‍රතික්ෂේප කළා. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් අඩක් පමණ (වැඩිදෙනෙක් පිරිමි) ගාල් කඳවුරුවලට යැවූ අතර දහසක් පමණ දෙනා ඝාතනය කළා. තවත් දහස් ගණනක් 1933 සිට 1945 අතර කාලයේදී මිය ගියා. . . . ඊට වෙනස්ව කතෝලික සහ රෙපරමාදු පූජකයෝ තම පල්ලි සාමාජිකයන්ට උනන්දු කළේ හිට්ලර්ට සහය දක්වන්න කියායි. යම් කෙනෙක් හිට්ලර්ට සහය නොදුන්නා නම්, ඔවුන්ව සැලකුවේ පල්ලියේ සහ නාට්සි පාලනයේ නියෝගවලට එරෙහි වන අය ලෙසටයි.”—Mothers in the Fatherland.