19වන පරිච්ඡේදය
දෙවි පිළිබඳ දැනුමෙන් පොළොව පිරී යන කල
1, 2. යෙහෝවාගේ මැවිල්ලට හානි සිදු වූයේ කොහොමද?
ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පියෙකු අග්‍ර ගණයේ චිත්‍රයක් මේ දැන් ඇඳ අවසන් කළායයි සිතන්න. එය ශ්‍රේෂ්ඨ නිර්මාණයක්යයි කීමට ඔහුට හොඳ හේතු ඇත. නමුත් රාත්‍රියෙහි ඊර්ෂ්‍යාසහගත සතුරෙක් එය විකෘති කරයි. චිත්‍ර ශිල්පියාට දරාගත නොහැකි මහත් වේදනාවක් ඇතිවීම සාධාරණ නැද්ද? එම විනාශකාරි ම්ලේච්ඡයා සිර අඩස්සියේ සිටිනවා දැකීමට ඔහු කොතරම් ආශා වෙයිද! එමෙන්ම තම නිර්මාණය මුලින් තිබූ අලංකාර තත්වයට යළි පත්වනවා දැකීමට චිත්‍ර ශිල්පියා මොනතරම් කැමැත්තකින් සිටීදැයි ඔබට සිතාගත හැක.
2 එම චිත්‍ර ශිල්පියාට සමානව, යෙහෝවා පොළොව සූදානම් කොට එමත මනුෂ්‍යවර්ගයා ජීවත් කරවීමේදී, ශ්‍රේෂ්ඨ නිර්මාණයක් ඔහු බිහි කළේය. පුරුෂයා හා ස්ත්‍රිය මැවීමෙන් පසු, තම භූමික වැඩය “ඉතා යහපත්” බව ඔහු ප්‍රකාශ කළේය. (උත්පත්ති 1:31) දෙවිගේම දරුවන් වූ ආදම් සහ ඒවට ඔහු ප්‍රේම කරන්නට විය. ඔවුන් සඳහා සතුටින් පිරි, තේජාන්විත අනාගතයක් ඔහුගේ මනසේ තිබුණි. සාතන් ඔවුන්ව කැරලිගැසීමට පෙලඹවූ බව සැබෑය. නමුත් දෙවිගේ මහිමාන්විත මැවිල්ල පිළිසකර කිරීමට නොහැකි වන තරමටම එය හානියට පත් වූයේ නැත.—උත්පත්ති 3:23, 24; 6:11, 12.
3. “සැබවින් ජීවනයවූ ඒ ජීවනය” යනු කුමක්ද?
3 දෙවි සෑම දෙයක්ම යථා තත්වයට පත් කිරීමට අදිටන් කරගෙන ඇත. ඔහු මුලින් අරමුණු කළ ආකාරයටම අප ජීවත් වනවා දැකීමයි ඔහුගේ හෘදයාංගම ආශාව. කරදරවලින් පිරුණු අපේ කෙටි ජීවිතය “සැබවින් ජීවනයවූ ඒ ජීවනය” නොවේ. මන්දයත් යෙහෝවා අරමුණු කළ දෙයට වඩා එය බෙහෙවින් පහත් ස්වරූපයක් ගන්නා බැවිනි. දෙවි අප ලබනවාට කැමති වන “සැබවින් ජීවනයවූ ඒ ජීවනය” වන්නේ, පරිපූර්ණ තත්වයන් යටතේ ‘සදාකාල ජීවනයයි.’—1 තිමෝති 6:12, 19.
4, 5. (අ) පාරාදීසය පිළිබඳ බලාපොරොත්තුව ඔබට යථාර්ථයක් වනු ඇත්තේ කොහොමද? (ආ) අනාගතය පිළිබඳ අපේ බලාපොරොත්තුව ගැන අප කල්පනා කළ යුත්තේ ඇයි?
4 දෙවි පිළිබඳ දැනුම අත් කරගැනීමේදී යෙහෝවා ඉදිරියේ වගකීමෙන් යුතුව කටයුතු කිරීමද අපේක්ෂා කරයි. (යාකොබ් 4:17) නමුත් ඔබ එම දැනුම අදාළ කරගනිමින් සදාකාල ජීවනය අත් කරගැනීමට වෑයම් කළොත්, ඔබ අද්දැකීමට යන ආශීර්වාද ගැන සිතා බලන්න. මෙතරම් අත ළඟ තිබෙන එම පාරාදීස පොළොවේ ජීවිතය කෙබඳු එකක් වේද යන්න ගැන, යෙහෝවා දෙවි තම වචනය වන බයිබලය ආධාරයෙන් අලංකාර වූ චිත්‍රයක් ඇඳ ඇත. නමුත් යෙහෝවාගේ සෙනඟ වශයෙන් අප දෙවිට සේවය කරන්නේ යම් විපාකයක් ලැබීමේ ආශාව පෙරදැරි කරගෙන නොවන බව නොකිවමනාය. අප දෙවිට සේවය කරන්නේ අප ඔහුට ප්‍රේම කරන නිසයි. (මාර්ක් 12:29, 30) එපමණක්ද නොව, යෙහෝවාට සේවය කිරීමෙන් අප ජීවනය උපයාගන්නේ නැත. සදාකාල ජීවනය කියන්නේ දෙවිගෙන් ලබන ත්‍යාගයකි. (රෝම 6:23) එවන් ජීවිතයක් ගැන මෙනෙහි කිරීම අපේ ප්‍රයෝජනයට හේතු වේ. මන්දයත් යෙහෝවා කෙබඳු දෙවිකෙනෙකුද යන වග, එනම් ඔහු තමන්ව “[උනන්දුවෙන්, NW] සොයන්නන්ට විපාකදෙන කෙනෙකු” බව පාරාදීසය පිළිබඳ බලාපොරොත්තුව අපට සිහිගන්වන නිසයි. (හෙබ්‍රෙව් 11:6) අපේ මනස්වල හා හදවත්වල දීප්තිමත්ව දැල්වෙමින් පවතින බලාපොරොත්තුව සාතන්ගේ ලෝකයේ දුෂ්කරතා විඳදරාගැනීමට අපට උපකාර කරයි.—යෙරෙමියා 23:20.
5 අපි දැන්, අනාගත භූමික පාරාදීසයේ සදාකාල ජීවනය සම්බන්ධයෙන් බයිබලය මත පදනම් වූ බලාපොරොත්තුව කෙරෙහි අපේ අවධානය යොමු කරමු. දෙවි පිළිබඳ දැනුමෙන් පොළොව පිරී යන කල ජීවිතය කෙබඳු එකක් වනු ඇද්ද?
අර්මගෙදොනින් පසු පාරාදීස පොළොවක්
6. අර්මගෙදොන් යනු කුමක්ද? ඉන් මනුෂ්‍යවර්ගයා සඳහා අදහස් කරන්නේ කුමක්ද?
6 කලින් පෙන්නුම් කළ පරිදි, යෙහෝවා දෙවි ළඟදීම දැන් පවතින දුෂ්ට ක්‍රමය විනාශ කරනු ඇත. බයිබලයේ හර්–මගෙදොන් නොහොත් අර්මගෙදොන් ලෙසින් හැඳින්වෙන දෙය වෙතට ලෝකය ශීඝ්‍රයෙන් එළඹෙමින් පවතී. සමහර මිනිසුන්ට එම වචනයෙන් අදහස් වන්නේ යුධ වදින ජාතීන් විසින් ගෙනෙන න්‍යෂ්ටික විනාශයක් විය හැකි මුත්, අර්මගෙදොන් එවැන්නකට සමාන නොවේ. එළිදරව් 16:14-16හි පෙන්වන පරිදි, අර්මගෙදොන් යනු “සර්වපරාක්‍රමවූ [දෙවිගේ] මහත් දවසේ යුද්ධය” වේ. එය වනාහි, “මුළු ලෝකයේ රජුන්,” නොහොත් ජාතීන් සම්බන්ධ වී සිටින යුද්ධයකි. පත් කරන ලද රජු, එනම් යෙහෝවාගේ පුත්‍රයා ඉතා ඉක්මනින් සටනට පිවිසෙනවා ඇත. එහි ප්‍රතිඵලය ගැන අනුමානයක් නැත. දෙවිගේ රාජ්‍යයට විරුද්ධ වන්නාවූ, සාතන්ගේ දුෂ්ට ක්රමයේ කොටසක්ව සිටින සෑම කෙනෙකුවම ඉවත් කරනු ඇත. බේරී ජීවත් වන්නේ යෙහෝවාට පක්ෂපාතව සිටින අය පමණි.—එළිදරව් 7:9, 14; 19:11-21.
7. ක්‍රිස්තුස්ගේ දහස් අවුරුදු පාලන සමයේදී සාතන් හා ඔහුගේ භූත පිරිස සිටින්ට යන්නේ කොහේද? මෙය මනුෂ්‍යවර්ගයාට වාසිදායක වන්නේ කොහොමද?
7 ඔබ එම මහා විනාශයෙන් බේරී ජීවත් වුණායයි සිතන්න. දෙවි පොරොන්දු වී ඇති නව ලොවේ ජීවත් වීම කෙබඳු එකක් වනු ඇද්ද? (2 පේතෘස් 3:13) ඒ ගැන සිහින මැවීම අවශ්‍ය නොවන්නේ බයිබලයේ එය අනාවරණය කර ඇති නිසයි. තවද එහි පවසා ඇති දේ මහත් ප්‍රීතියට හේතුවක් වේ. යේසුස් ක්‍රිස්තුස්ගේ දහස් අවුරුදු පාලන සමයේදී, සාතන්වද ඔහුගේ භූතයන්වද ක්‍රියාවිරහිත කර පාතාලයක සිර කරන බව අපි ඉගෙනගන්නෙමු. ප්‍රශ්න ගැටලු ඇති කරමින්, දෙවිට විරුද්ධව අවිශ්වාසවන්ත ලෙස ක්‍රියා කිරීමට අපව පොලඹවන්න මාන බලන එම දුෂ්ට සිත් ඇත්තන් තවදුරටත් නොසිටිනු ඇත. මොනතරම් සහනයක්ද!—එළිදරව් 20:1-3.
8, 9. නව ලොවේදී, දුක් පීඩා, අසනීප හා වයසට යෑමට කුමක් සිදු වනු ඇද්ද?
8 කල් යත්ම, සෑම ආකාරයකම අසනීප තුරන් වී යනු ඇත. (යෙසායා 33:24) එකල, කොරුන් සවිමත් වූ පාදවලින් නැඟිට, දුව පැන ප්‍රීතියෙන් නටනු ඇත. තම නිහඬ ලෝකය තුළ වසර ගණනාවක් සිර වී සිටි බිහිරි අයට, තමන් අවට ඇති කන්කලු ශබ්ද ඇසෙන්ට පටන්ගනී. වර්ණවලින් හා රූපවලින් පිරුණු මහිමාන්විත ලොවක් තම දෙනෙත් ඉදිරියේ මැවී පෙනෙත්ම, අන්ධයන් ගරුබියෙන් මුව අයා පුදුමයෙන් බලාසිටිනු ඇත. (යෙසායා 35:5, 6) ඔවුන් ඒ කාලයේදී තමන් ප්‍රේම කරන අයව ඇත්තටම දැකගනු ඇත! සමහරක් විට, ගලන සතුටු කඳුළුවලින් ඔවුන්ගේ දෘෂ්ටිය මොහොතකට බොඳ වී යන්නටද ඉඩ ඇත.
9 නිකමට සිතා බලන්න! ඇස් කණ්ණාඩි තවත් නැත. කිහිලිකරු හා සැරයටි තවත් නැත. බෙහෙත් තවත් නැත. දන්ත සායන හෝ රෝහල් තවත් නැත! මානසික රෝගවත් අසහනයවත් මිනිසුන්ගේ සන්තෝෂය තවදුරටත් සොරා නොගනී. තවදුරටත් ළමා විය රෝගවලින් පලුදු නොවේ. වයසට යෑමේ අනිටු ඵලවිපාකවලින් මිදී මිනිසුන් යළි ප්‍රකෘතිමත් තත්වයට පැමිණෙනු ඇත. (යෝබ් 33:25) අපි වඩාත් සෞඛ්‍යසම්පන්න වී තව තවත් ශක්තිමත් වන්නෙමු. සුවබර නින්දකින් පසු, අලුත් දවස හරවත්ව ගත කිරීමේ හා තෘප්තිකර වැඩවල නිරත වීමේ ආශාව ඇතුව, අප ප්‍රබෝධයෙන් හා නව ජීවයකින් යුතුව අවදි වනු ඇත.
10. අර්මගෙදොනින් බේරී ජීවත්වන්නන් භාරගැනීමට යන පැවරුම කුමක්ද?
10 අර්මගෙදොනින් බේරී ජීවත් වන අය සඳහා ආස්වාදය ගෙන දෙන වැඩ බහුලව තිබෙනු ඇත. ඔවුන් පොළොව පාරාදීසයක් බවට පත් කරනු ඇත. දූෂිත පරණ ක්රමයේ ඉතිරි වූ සෑම අංශුමාත්‍රයක්ම ඉවත් කරනු ඇත. මුඩුක්කු හා නාස්ති වූ ඉඩ කඩම් වෙනුවට, උද්‍යාන හා වතු පිටි දකින්ට ලැබෙනු ඇත. සැමදෙනාටම සැපපහසු අලංකාර නිවෙස් තිබෙනු ඇත. (යෙසායා 65:21) කාලයාගේ ඇවෑමෙන්, මැවුම්කරු එදා ඒදන් උයනේ පිහිටෙවූ සුන්දරත්වයේ මට්ටමට මුළු පොළෝතලයම පත් වන තුරු, පොළොවේ පාරාදීසමය තත්වය ක්‍රමානුකූලව පුළුල් වී එකම පාරාදීසයක් බවට පත් වනු ඇත. එම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට සහභාගි වීමට ලැබීම මොනතරම් සෑහීම ගෙන දෙන්නක් වනු ඇද්ද!
11. සොබාදහම හා සත්ව ලෝකය සමඟ මනුෂ්‍යවර්ගයාගේ අනාගත සබඳතාව කෙබඳු එකක් වනු ඇද්ද?
11 පරිසරයට හානියක් නොවන පරිද්දෙන් මේ සියල්ලක්ම දිව්‍ය මඟ පෙන්වීම යටතේ කෙරෙනු ඇත. මිනිසුන් සතුන් සමඟ සාමයෙන් කල් ගෙවනු ඇත. වගවිභාගයකින් තොරව උන්ව ඝාතනය කරනවා වෙනුවට, මිනිසුන් උන්ව හොඳින් බලාගනිමින්, පොළොව කෙරෙහි යළිත් වගකීමෙන් යුතුව භාරකාරත්වය භාරගනු ඇත. වෘකයන් හා බැටළුවන්ද, සිංහයන් හා වස්සන්ද, එකට ආහාර බුදින ආකාරය සිතේ මවාගන්න. හීලෑ සතුන්ට කිසිදු හානියක් සිදු නොවේ. කුඩා දරුවෙකුට පවා වනසතුන්ගෙන් හානියක් සිදු නොවේ. එපමණක්ද නොව, කෲර දරදඬු පුද්ගලයන් නොමැති හෙයින් නව ලොවේ නිසංසලභාවයට බාධා ඇති නොවේ. (යෙසායා 11:6-8) එය මොනතරම් සාමයෙන් පිරුණු නව ලොවක් වනු ඇද්ද!
මනුෂ්‍යවර්ගයා මුළුමනින්ම වෙනස් වී
12. යෙසායා 11:9 අදදින ඉටු වෙමින් පවතින්නේ කොහොමද? එය පාරාදීසය තුළ ඉටු වනු ඇත්තේ කොහොමද?
12 මුළු පොළොව පුරා කිසිදු හානියක් සිදු නොවීමට හේතුව යෙසායා 11:9හි අපට දක්නට ඇත. එහි මෙසේ පැවසේ: “ජලයෙන් මුහුද වැසී තිබෙන්නාක්මෙන්, [යෙහෝවා] ගැන දැනගැන්මෙන් පොළොව පිරීයන්නේය.” සතුන් ඉවෙන් ක්‍රියා කරන නිසා, උන්ට ‘යෙහෝවා පිළිබඳ දැනුම’ ලබා, ජීවිතයේ වෙනස්කම් කිරීමට නොහැක. එනිසා මෙය මිනිසුන්ට අදාළ වන යමකි. තවද අපේ මැවුම්කරු පිළිබඳ දැනුමට හැකියි මිනිසුන්ව වෙනස් කිරීමට. දෙවි පිළිබඳ දැනුම ඔබේ ජීවිතයට අදාළ කරගැනීම නිසා ඔබ දැනටමත් පෞද්ගලිකවම යම් වෙනස්කම් සිදු කර තිබෙන බවට කිසිදු සැකයක් නැත. මිලියන ගණන් මෙසේ කර තිබේ. එනිසා, යෙහෝවාට සේවය කරමින් සිටින අය සම්බන්ධයෙන් මෙම අනාවැකිය දැනටමත් ඉටුවීමට පටන්ගෙන ඇත. එහෙත් ලොව පුරා වෙසෙන මිනිසුන් තම තිරිසන් හෝ ප්‍රචණ්ඩකාරි ක්‍රියා අත්හැර සදාකාලයට සාමකාමී ආකල්පයක් පෙන්නුම් කරන කාලයකට මෙය අවධානය යොමු කරවයි.
13. පොළොව පුරා පැවතීමට යන අධ්‍යාපන වැඩසටහන කුමක්ද?
13 දෙවි පිළිබඳ දැනුමෙන් පොළොව පිරී යන කල එය මොනතරම් උදාර කාලයක් වනු ඇද්ද! රජ වූ යේසුස් ක්රිස්තුස්ගේද තම හවුල් පාලකයන් 1,44,000දෙනාගේද මඟ පෙන්වීම යටතේ ලෝක ව්‍යාප්තව කරගෙන යන අධ්‍යාපන වැඩසටහනක් තිබෙනු ඇත. එකල අලුත් “පොත්ද” උපයෝගි කරගනු ලබයි. මේවා ලෝ වැසියන් දැනුවත් කිරීම සඳහා යොදාගනු ලබන දෙවිගේ ලිඛිත උපදෙස් බව පැහැදිලියි. (එළිදරව් 20:12) මනුෂ්‍යවර්ගයා ඉගෙනගැනීමට යන්නේ යුද්ධය නොව, සාමයයි. විනාශකාරි අවි සැමෙකක්ම සදහටම නැති වී යනු ඇත. (ගීතාවලිය 46:9) සෙසු මනුෂ්‍යයන්ට ප්‍රේමයෙන්, ගෞරවයෙන් හා උසස් අන්දමින් සැලකීමට නව ලොවේ වැසියන්ට උගන්වනු ඇත.
14. මනුෂ්‍යවර්ගයා එක එක්සත් පවුලක් වන විට ලෝකය වෙනස් වනු ඇත්තේ කොහොමද?
14 මනුෂ්‍යවර්ගයා එක එක්සත් පවුලක් බවට පත් වනු ඇත. එක්සත්කමට හා සහෝදරත්වයට කිසිදු බාධාවක් නොතිබෙනු ඇත. (ගීතාවලිය 133:1-3) සොරුන්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා කිසිවෙකුට තම නිවස අගුලු ලෑමට අවශ්‍ය නොවනු ඇත. සෑම හදවතකම, සෑම නිවහනකම, පොළොවේ සෑම කොටසකම සාමය රජයනු ඇත.—මීකා 4:4.
ප්‍රීතිදායක නැවත නැඟිටීම
15. පොළොව මතට නැවත නැඟිටුවනු ලබන කොට්ඨාස දෙක කුමක්ද?
15 එම දහස් අවුරුදු පාලන සමයේදී, නැවත නැඟිටීම සිදු වනු ඇත. පසුතැවිලි නොවී, දෙවිගේ ශුද්ධාත්මයේ විදහාපෙන්වීම්වලට හෝ මඟ පෙන්වීම්වලට විරුද්ධව ක්‍රියා කිරීමෙන් ඊට විරුද්ධව හිතාමතාම පව් කළ අය නැවත නැඟිටීමක් ලබන්නේ නැත. (මතෙව් 23:15, 33; හෙබ්‍රෙව් 6:4-6) මෙසේ පව් කළේ කවුදැයි තීරණය කරනු ඇත්තේ දෙවි බව අමුතුවෙන් කිව යුතු නැත. නමුත් නිශ්චිත කොට්ඨාස දෙකක් එනම් ‘ධර්මිෂ්ඨයන් හා අධර්මිෂ්ඨයන්’ යන දෙකොටසම නැවත නැඟිටුවනු ඇත. (ක්‍රියා 24:15) එය ක්‍රමානුකූලව සිදුවීමට යන නිසා, මුලින්ම පොළොව මත නැවත ජීවත් වීම සඳහා සාදරයෙන් පිළිගැනීමට යන්නේ යෙහෝවාට පක්ෂපාතව සේවය කළ ධර්මිෂ්ඨ අයයයි නිගමනය කිරීම සාධාරණයි.—හෙබ්‍රෙව් 11:35-39.
16. (අ) පොළොව මතට නැවත නැඟිටුවනු ලබන “ධර්මිෂ්ඨයන්” අතර සිටීමට යන්නේ කවුද? (ආ) පුරාණ කාලවල ජීවත් වූ විශ්වාසවන්ත අය අතරෙන් ඔබ කැමති වන්නේ කවුරුන්ව මුණගැසීමටද? ඒ ඇයි?
16 යුද්ධ කෝලාහල, ආපදා හා මරණ පිළිබඳ ප්රවෘත්ති අසනවා වෙනුවට, යෙහෝවාගේ සේවකයන් නැවත නැඟිටීම පිළිබඳ මහිමාන්විත පුවත් අසනු ඇත. ආබෙල්, ඒනොක්, නෝවා, ආබ්‍රහම්, සාරා, යෝබ්, මෝසෙස්, රාහබ්, රූත්, දාවිත්, එලියා, එස්තර් වැනි විශ්වාසවන්ත පුරුෂයන් හා ස්ත්රීන්ගේ නැවත නැඟිටීම ගැන දැනගැනීමට ලැබීම ඇත්තෙන්ම පුදුමාකාර අද්දැකීමක් වනු ඇත. බයිබල් වාර්තා බොහොමයක පසුබිම ගැන ඔවුන් සවිස්තරාත්මකව විස්තර කරද්දී මොනතරම් හැඟීම් දනවන ඓතිහාසික කරුණු ඉදිරිපත් වනු ඇද්ද! තවද සාතන්ගේ ක්රමයේ අවසානය ගැනත්, යෙහෝවා තම ශුද්ධ නාමය විශුද්ධ කොට තම පරමාධිපත්‍යය නිදොස් කළ අන්දම ගැනත් ඉගෙනගැනීමට ඔවුන්ද, මෑත කාලවලදී මියගිය ධර්මිෂ්ඨයන්ද මහත් ආශාවක් පෙන්වීමට යන බවට කිසිම සැකයක් නැත.
17. නැවත නැඟිටුවන වෙනත් අයට විශ්වාසවන්ත අයගෙන් ලැබෙන උපකාර මොනවාද?
17 නැවත නැඟිටීමේ ඊළඟ අදියරේදී, එනම් “අධර්මිෂ්ඨ” වූ බිලියන සංඛ්‍යාතයක් මරණය නමැති බැඳුම්වලින් මුදාහරිනු ලබන විට, එම විශ්වාසවන්ත අය කොතරම් උපකාරයක් වනු ඇද්ද! මනුෂ්‍යවර්ගයාගෙන් බහුතරයක් යෙහෝවාව දැනහඳුනා ගැනීමට කිසිදාක වරම් ලැබුවේ නැත. සාතන් විසින් ඔවුන්ගේ ‘සිත් අන්ධ කරනු ලැබුවේය.’ (2 කොරින්ති 4:4) නමුත් සාතන් කළ දේවල් යළි හරිගස්වනු ඇත. අධර්මිෂ්ඨයන් සාමයෙන් පිරුණු සුන්දර පොළොවකට නැවත පැමිණෙනු ඇත. යෙහෝවා ගැනත්, රජ කරමින් සිටින ඔහුගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස් ගැනත් ඉගැන්වීමට මැනවින් සංවිධානය වී සිටින සෙනඟක් ඔවුන්ව සාදරයෙන් පිළිගනු ඇත. නැවත නැඟිටුවනු ලැබූ බිලියන සංඛ්‍යාත ජනකායක් සිය මැවුම්කරු දැනහඳුනා ගැනීමටත් ඔහුට ප්‍රේම කිරීමටත් පටන්ගන්නා විට, පෙර නොවූ විරූ අන්දමකින් යෙහෝවා පිළිබඳ දැනුමෙන් පොළොව පිරී යනු ඇත.
18. නැවත නැඟිටුවන ප්‍රේම කරන අයව සාදරයෙන් පිළිගනිද්දී ඔබට කෙසේ හැඟෙනු ඇද්ද?
18 නැවත නැඟිටීමෙන් අපේ හදවත් ප්‍රීතියෙන් ඉපිල යනු ඇත! අපේ සතුරා වන මරණය නිසා දුක් විඳ නැත්තේ කවුද? ඇත්තෙන්ම අසනීප, මහලු විය, හදිසි අනතුරු හෝ ප්‍රචණ්ඩකාරිත්වය හේතුකොටගෙන අප ප්‍රේම කරන යමෙකුව මරණයෙන් බිලිගනු ලැබීමෙන් ප්‍රේමයේ හෝ මිත්‍රත්වයේ යම් බැඳීමක් සම්පූර්ණයෙන්ම දෙකඩ වූ විට, කිසිවක් කර කියාගත නොහැකි තත්වයකට වැටී නැත්තේ කවුද? එසේනම්, පාරාදීසයේදී නැවත හමුවීම්වලින් උපදින ප්‍රීතිය සිතේ මවාගන්න. මව්වරු, පියවරු, දූපුතුන්, මිත්‍රයෝ, ඥාතීන් යන මේ සැම අද්දකින ප්‍රීතිය නිසා ඔවුන් සිනාසෙමින් අඬමින් ඔවුන් වෙත දුවගොස්, එකිනෙකාව සිප වැලඳගනු ඇත.
අන්තිමට පරිපූර්ණත්වය!
19. දහස් අවුරුදු පාලන සමයේදී කුමන ආශ්චර්යයක් සිදු වනු ඇද්ද?
19 දහස් අවුරුදු පාලන සමය පුරා පුදුමසහගත ආශ්චර්යයක් සිදු වනු ඇත. තවද මෙය ක්‍රිස්තුස්ගේ දහස් අවුරුදු පාලන සමයේදී වැඩිම ප්‍රීතියට දායක වන සාධකයක් වීමට ඉඩ ඇත. විශ්වාසවන්ත මෙන්ම කීකරු ස්ත්‍රී පුරුෂ සියලුදෙනා වෙනුවෙන් මිදීමේ පූජාවේ ප්‍රයෝජන අදාළ කිරීමට යෙහෝවා තම පුත්‍රයාට අණ කරනු ඇත. එමගින් පාපය මුළුමනින්ම ඉවත් කරනු ලබන අතර, මනුෂ්‍යවර්ගයාව පරිපූර්ණත්වයට ගෙනෙනු ඇත.—1 යොහන් 2:2; එළිදරව් 21:1-4.
20. (අ) පරිපූර්ණ වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? (ආ) පූර්ණ අර්ථයකින් ගත් කල අර්මගෙදොනින් බේරී ජීවත් වන අයද, නැවත නැඟිටුවනු ලබන අයද ජීවත් වීමට පටන්ගන්නේ කවදාද?
20 පරිපූර්ණත්වය! ඉන් කුමක් අදහස් කරාවිද? ආදම් සහ ඒව යෙහෝවා දෙවිට විරුද්ධව පව් කිරීමට කලින් භුක්ති වින්දාවූ ජීවිතයට නැවත පිවිසීම ඉන් අදහස් කරනු ඇත. සිතාගත හැකි සෑම අන්දමකින්ම, එනම් කායිකව, මානසිකව, චිත්තවේගීයව, සදාචාරමයව හා ආත්මිකව පරිපූර්ණ මිනිසා දෙවිගේ ප්‍රමිතිවලට මුළුමනින්ම අනුකූල වනු ඇත. නමුත් සැමදෙනාම එක සමාන වනු ඇද්ද? කොහෙත්ම නැත! ගස් කොළං, මල්, සතුන් ආදි යෙහෝවාගේ සෑම මැවිල්ලකින්ම අප ඉගෙනගන්නේ ඔහු විවිධත්වයට ප්‍රේම කරන බවයි. පරිපූර්ණ මිනිසුන්ට එකිනෙකාට වෙනස් වූ පෞද්ගලිකත්වද කුසලතාද තිබෙනු ඇත. දෙවි අදහස් කළ ලෙස සෑම කෙනෙක්ම ජීවිතයෙන් ආස්වාදයක් ලබනු ඇත. එළිදරව් 20:5 මෙසේ පවසයි: “මළාවූ අනික් අය අවුරුදු දහස කෙළවරවන තුරු ජීවත් නූණෝය.” අර්මගෙදොනින් බේරී ජීවත් වන මහත් සමූහයාට සමානව, නැවත නැඟිටුවනු ලබන අය ඇත්තටම ජීවත් වනවායයි කිව හැක්කේ, ඔවුන් පව් රහිත පරිපූර්ණත්වය අත් කරගැනීමෙන් පසුව පමණි.
21. (අ) ක්‍රිස්තුස්ගේ දහස් අවුරුදු පාලන සමය අවසානයේදී කුමක් සිදු වනු ඇද්ද? (ආ) සාතන්ටත් ඔහුගේ පැත්ත ගන්නා සියල්ලන්ටත් අවසානයේදී සිදු වන්ට යන්නේ කුමක්ද?
21 පරිපූර්ණ මිනිසුන් අවසාන වශයෙන් එක් පරීක්ෂණයකට මුහුණ දෙනු ඇත. දහස් අවුරුදු පාලනයෙන් පසු, ස්වල්ප කාලයකට මුදාහරිනු ලබන සාතන්ටද ඔහුගේ භූතයන්ටද, මිනිසුන්ව යෙහෝවාගෙන් ඈත් කිරීම සඳහා අවසන් වරට අවස්ථාවක් දෙනු ඇත. දෙවිට ප්‍රේම කරනවාට වඩා සමහරුන් වැරදි තෘෂ්ණාවලට ප්‍රමුඛතාව දුන්නත්, මෙම කැරලිගැසීම ඉක්මනින් කෙළවර කරනු ඇත. යෙහෝවා මෙම ආත්මාර්ථකාමී අයවද, සාතන් හා ඔහුගේ භූතයන් සියලුදෙනාවමද විනාශ කරනු ඇත. එවිට වැරදි කරන සියල්ලන්ම සදහටම පහව යනු ඇත!—එළිදරව් 20:7-10.
ඔබ කුමක් කරයිද?
22. පාරාදීසයේදී කුමක් කිරීමටද ඔබ බලාපොරොත්තු වෙන්නේ?
22 යෙහෝවා දෙවිට ප්‍රේම කරන පාරාදීස පොළොවේ වාසය කරන අයට සදහටම ජීවත් වීමට ප්‍රස්තාව විවෘත වනු ඇත. අපට ඔවුන්ගේ ප්‍රීතිය සිතාගත නොහැකි තරම්ය. ඔබටත් මෙහි පංගුකාරයෙක් විය හැකියි. සංගීතය, චිත්‍ර ශිල්පය, කලාව, ඇයි, ඒ විතරක්ද පරිපූර්ණ මනුෂ්‍යවර්ගයාගේ සෑම නිර්මාණයක්ම පැරණි ලෝකයේ සුප්‍රසිද්ධ නිපුණයන්ගේ හොඳම කෘතීන් පවා අභිභවා යනු ඇත! ඒ මන්දයත්, පරිපූර්ණව සිටින මිනිසුන්ට, ඉදිරියට දිවයන අසීමිත කාලයක් තිබෙන්න යන බැවිනි. පරිපූර්ණ කෙනෙකු වශයෙන් ඔබට කළ හැකි දේවල් සිතේ මවාගන්න. එමෙන්ම, විශ්වය සිසාරා පැතිර යන මන්දාකිනි බිලියන ගණනක සිට කුඩාම අණු පරමාණුක අංශු දක්වාවූ යෙහෝවාගේ මැවිල්ල ගැන, ඔබටත් සෙසු මනුෂ්‍යයන්ටත් ඉගෙනගත හැකි දේවල් ගැනත් කල්පනා කර බලන්න. මනුෂ්‍යවර්ගයා කිරීමට සමත් වන සෑම දෙයක්ම, අපේ ප්‍රේමනීය ස්වර්ගික පිය වූ යෙහෝවාගේ හෘදය තව තවත් සතුටු කිරීමට දායක වනු ඇත.—ගීතාවලිය 150:1-6.
23. පාරාදීසයේ ජීවිතය කිසිදාක නිරස යමක් නොවනු ඇත්තේ ඇයි?
23 එකල ජීවිතය නිරස යමක් නොවනු ඇත. කාලය ගෙවී යත්ම, එය දිගින් දිගටම වඩාත් සිත්ගන්නාසුලු යමක් බවට පත් වනු ඇත. ඒ මන්දැයි කිවහොත්, දෙවි පිළිබඳ දැනුමට සීමාවක් නොමැති බැවිනි. (රෝම 11:33) මුළු සදාකාලය පුරා, ඉගෙනගැනීමට තව තවත් අලුත් දේවල්ද, ගවේෂණය කිරීමට අලුත් පැතිද තිබෙනු ඇත. (දේශනාකාරයා 3:11) එමෙන්ම යෙහෝවා දෙවි ගැන දිගින් දිගටම ඉගෙනගන්නා ඔබ, ජීවත් වනු ඇත්තේ අවුරුදු කිහිපයකට නොව සදාකාලයටය!—ගීතාවලිය 22:26.
24, 25. ඔබ දැන් දෙවි පිළිබඳ දැනුමට එකඟව ජීවත් විය යුත්තේ ඇයි?
24 පාරාදීස පොළොවක් මත සතුටින් පිරි අනාගතයක් අත් කරගැනීම සඳහා ඔබ දරන ඕනෑම වෑයමක්, ඒ සඳහා කරන ඕනෑම පරිත්‍යාගයක් වටින්නේ නැද්ද? ඇත්තෙන්ම වටී! ඇත්තටම, යෙහෝවා එම විශිෂ්ට අනාගතය සඳහා දොර විවෘත කරන යතුර ඔබට ඉදිරිපත් කොට ඇත. එම යතුර දෙවි පිළිබඳ දැනුමයි. ඔබ එය භාවිත කරන්ට යනවාද?
25 ඔබ යෙහෝවාට ප්‍රේම කරනවා නම්, ඔහුගේ කැමැත්ත කිරීමෙන් ඔබ ඉමහත් සතුටක් ලබනු ඇත. (1 යොහන් 5:3) එම මාර්ගයේ ගමන් කරත්ම, ඔබ අද්දකිනු ඇති ආශීර්වාද මොනතරම්ද! දෙවි පිළිබඳ දැනුම අදාළ කරගන්නෙහි නම්, කරදරවලින් පිරුණු මෙම ලෝකය තුළ පවා, ඔබට වඩාත් සන්තෝෂවත් ජීවිතයක් අත් කරගත හැකියි. මෙම දැනුම සදාකාල ජීවනයට මඟ පෙන්වන බැවින් ඉන් ලැබෙන අනාගත විපාක අනන්තයි, අප්‍රමාණයි! පියවර ගැනීම සඳහා සුදුසු කාලය මේ දැන්ය. දෙවි පිළිබඳ දැනුමට එකඟව ජීවත් වීමට අධිෂ්ඨානපූර්වකව සිටින්න. යෙහෝවා සඳහා ඔබේ ප්‍රේමය විදහාපෙන්වන්න. ඔහුගේ ශුද්ධ නාමයට ගෞරව කොට, සාතන් බොරුකාරයෙකු බව ඔප්පු කරන්න. එහි ප්‍රතිඵලයක් ලෙස, සැබෑ ප්‍රඥාවේ හා දැනුමේ උල්පතද, ශ්‍රේෂ්ඨ හා ප්‍රේමනීය දෙවිද වන යෙහෝවා, ඔබ සම්බන්ධයෙන් ප්‍රීතියෙන් ඉපිල යනු ඇත. (යෙරෙමියා 31:3; ශෙපනියා 3:17) එමෙන්ම ඔහු ඔබට සදාකාලයටම ප්‍රේම කරනු ඇත!
ඔබේ දැනුම මැන බලන්න
“සැබවින් ජීවනයවූ ඒ ජීවනය” යනු කුමක්ද?
අර්මගෙදොනින් පසු, පොළොව මත සිදු වනු ඇත්තේ කුමක්ද?
මිහිමතට නැවත නැඟිටුවන්නේ කාවද?
මනුෂ්‍යවර්ගයා පරිපූර්ණ වන්නෙත් අවසාන වශයෙන් පරීක්ෂා කරනු ලබන්නෙත් කොහොමද?
පාරාදීසය සම්බන්ධයෙන් ඔබේ බලාපොරොත්තුව කුමක්ද?
[188, 189වන පිටුවේ පින්තූරය]
දෙවි පිළිබඳ වූ දැනුමෙන් පොළොව පිරී යන කල්හි, ඔබ පාරාදීසයෙහි ජීවත් වීමට බලාපොරොත්තු වෙනවාද?