13වන පරිච්ඡේදය
දේවභක්තික ජීවිතයක් ගත කිරීමෙන් සන්තෝෂය ලැබීමට හේතුව
1. යෙහෝවාගේ මාර්ගයෙන් සන්තෝෂය ලැබෙන බව අපට පැවසිය හැක්කේ ඇයි?
යෙහෝවාව ‘සන්තෝෂවත් දෙවි’ හැටියට හඳුන්වන අතර, ඔබත් ජීවිතය සතුටින් ගත කරනවාට ඔහු කැමතියි. (1 තිමෝති 1:11, NW) ඔහුගේ මාර්ගයේ ගමන් කිරීමෙන් ඔබට ප්‍රයෝජන ලබාගත හැකි අතරම, සදා ගලායන ගංගාවක් මෙන්, ඔබට හරවත් හා කල්පවතින සන්සුන්භාවයක් අද්දැකිය හැකියි. දෙවිගේ මාර්ගයේ ගමන් කිරීම, කෙනෙකුව “මුහුදේ රැළ මෙන්” වූ නොනවතින ධර්මිෂ්ඨ ක්‍රියා කිරීමටද පොලඹවයි. මෙයින් සැබෑ සන්තෝෂයද ලැබේ.—යෙසායා 48:17, 18.
2. ක්‍රිස්තියානීන්ට සමහර අවස්ථාවලදී හිංසා පීඩා කළත් ඔවුන්ට සන්තෝෂයෙන් සිටිය හැක්කේ කොහොමද?
2 ‘හරි දේ කරන්න ගිහින් සමහර වෙලාවට මිනිස්සු දුක් විඳිනවා’ යයි කියමින් සමහරුන් මෙයට විරුද්ධත්වය පළ කළ හැකියි. ඇත්ත, යේසුස්ගේ ප්‍රේරිතයන්ට සිදු වූයේද එයමයි. කෙසේවෙතත්, ඔවුන්ට පීඩා කරනු ලැබුවත්, ඔවුන් ප්‍රීති වෙමින්, “[ක්‍රිස්තුස්] පිළිබඳ සුබ අස්න දේශනා කිරීමෙහි නිරත වූහ.” (ක්‍රියා 5:40-42, නව අනුවාදය) මෙයින් අපට වැදගත් පාඩම් කිහිපයක් උගත හැකියි. අප දේවභක්තික ජීවිතයක් ගත කළාය කියා අපට හැමවිටම වෙනත් මිනිසුන්ගෙන් හොඳ සැලකිල්ලක් ලැබෙන්නට යන්නේ නැත. “එසේය, ක්‍රිස්තුස් [යේසුස්] තුළ භක්තිවන්ත ලෙස ජීවත්වන්ට කැමති සියල්ලෝම පීඩා විඳින්නෝය” කියා ප්‍රේරිත පාවුල් ලීවේය. (2 තිමෝති 3:12) මීට හේතුව දේවභක්තික ජීවිතයක් ගත කරන අයට සාතන් මෙන්ම ඔහුගේ ලෝකය විරුද්ධ වීමයි. (යොහන් 15:18, 19; 1 පේතෘස් 5:8) නමුත් සැබෑ සන්තෝෂය රඳා පවතින්නේ ලෞකික දේවල් මත නොවෙයි. ඒ වෙනුවට එය ලැබෙන්නේ, අප හරි දේ කරනවාය යන තිර විශ්වාසයෙන් හා ඉන් අපට අත් වන දෙවිගේ පූර්ණ අනුමැතියෙනි.—මතෙව් 5:10-12; යාකොබ් 1:2, 3; 1 පේතෘස් 4:13, 14.
3. යෙහෝවාට කරන නමස්කාරය පුද්ගලයෙකුගේ ජීවිතයට බලපෑ යුත්තේ කොහොමද?
3 ඉඳහිට යම් දැහැමි ක්‍රියාවක යෙදීමෙන් දෙවිගේ අනුග්‍රහය දිනාගෙන, ඉන්පසුව ඔහුව කලකට අමතක කළ හැකියයි විශ්වාස කරන පිරිසක්ද සිටී. යෙහෝවා දෙවිට පිරිනමන සැබෑ නමස්කාරය එවන් ස්වරූපයක් නොගනී. එය කෙනෙකුගේ දවසක ආරම්භයේ සිට, සෑම දවසක් අවුරුද්දක් පාසාම එම තැනැත්තාගේ හැසිරීම් රටාවට බලපායි. එය “මාර්ගය” යනුවෙන් හඳුන්වන්නේද එනිසයි. (ක්‍රියා 19:9; යෙසායා 30:21) දෙවිගේ වචනයට එකඟව කතා කිරීමටත් ක්‍රියා කිරීමටත් අපෙන් අපේක්ෂා කරන දේවභක්තික ජීවිත මාර්ගයකි එය.
4. දෙවිගේ මාර්ගවලට අනුව ජීවත් වීම සඳහා වෙනස්කම් කිරීමෙන් ප්‍රයෝජන අත් වන්නේ ඇයි?
4 යෙහෝවාව සතුටු කිරීම සඳහා යම් වෙනස්කම් කළ යුතුයයි නවක බයිබල් ශිෂ්‍යයන්ට වැටහෙන විට, ඔවුන් සමහරවිට මෙසේ කල්පනා කළ හැකියි: ‘දේවභක්තික ජීවිතයක් ගත කරන එකේ ඵලක් තියෙනවද?’ ඔව්, එය ඇත්තෙන්ම ඵලදායි බව ස්ථිර වශයෙන්ම කිව හැකියි. ඒ මන්ද? මන්දයත් ‘දෙවි ප්‍රේමය’ වන නිසාත්, ඒ හේතුවෙන් ඔහුගේ මාර්ග අපේ යහපත උදෙසා වන නිසාත්ය. (1 යොහන් 4:8) තවද දෙවි ප්‍රඥාවෙන් පූර්ණ වන අතර අපට අවශ්‍ය හොඳම දේ කුමක්දැයි දනී. යෙහෝවා සර්වබලධාරි දෙවි වන හෙයින්, නරක පුරුද්දක් අත්හැර ඔහුව සතුටු කිරීමට ඇති අපේ ආශාව ඉටු කරගැනීම සඳහා අපව ශක්තිමත් කිරීමට ඔහුට හැකියි. (පිලිප්පි 4:13) දේවභක්තික ජීවිතයක් ගත කිරීමට ඇතුළත් වන ප්‍රතිපත්ති කිහිපයක් සලකා බලා, ඒවා අදාළ කරගැනීමෙන් සන්තෝෂය ලැබෙන ආකාරය අපි දැන් බලමු.
අවංකකමේ ප්‍රතිඵලය සන්තෝෂයයි
5. බොරු කීම හා සොරකම් කිරීම ගැන බයිබලයේ කියන්නේ කුමක්ද?
5 යෙහෝවා ‘සැබෑකමේ දෙවිය.’ (ගීතාවලිය 31:5) ඔහුගේ ආදර්ශය අනුගමනය කරමින්, සත්‍යවාදි පුද්ගලයෙකු වශයෙන් නම් දැරීම ඔබේ ආශාව වන බවට කිසිම සැකයක් නැත. අවංකකමේ ප්‍රතිඵලය වන්නේ ආත්ම ගෞරවය හා තෘප්තිමත්භාවයේ හැඟීමයි. කෙසේවෙතත්, මෙම පව්කාර ලෝකය තුළ වංකකම යහතින් වැජඹෙන නිසා, මෙම සිහිගැන්වීම ක්‍රිස්තියානීන්ට වැදගත් වේ: “එක් එක්කෙනා තම තමාගේ අසල්වාසියා සමඟ සැබෑව කථාකරන්න. . . . සොරකම්කළාවූ අය තවත් සොරකම් නොකෙරේවා. ඒ වෙනුවට, හිඟ අයට දෙන්ට පුළුවන් වන පිණිස, . . . වැඩක් කරමින් වීර්යකෙරේවා.” (එපීස 4:25, 28) රැකියාවක නිරත වන ක්‍රිස්තියානීන් අවංකව දවසට නියමිත සම්පූර්ණ පැය ගණන වැඩ කරයි. ඔවුන්ගේ සේවා යෝජකයාගේ අවසරය නොමැතිව ඔහුට අයිති දේ ඔවුන් නොගනී. රැකියා ස්ථානයේදී, පාසැලේදී හෝ නිවසේදී වේවා යෙහෝවාට නමස්කාර කරන තැනැත්තා ‘සියල්ලේදී අවංක’ විය යුතුයි. (හෙබ්‍රෙව් 13:18, NW) පුරුද්දක් හැටියට බොරු කියන, සොරකම් කරන කිසිවෙකුට දෙවිගේ අනුමැතිය ලබාගත නොහැක.—ද්විතීය කථාව 5:19; එළිදරව් 21:8.
6. දේවභක්තික තැනැත්තෙකුගේ අවංකකමෙන් යෙහෝවාට ගෞරවය අත් වන්නේ කොහොමද?
6 අවංකකම ආශීර්වාද රැසකට අත වනයි. යෙහෝවා දෙවිටත් ඔහුගේ ධර්මිෂ්ඨ ප්රතිපත්තිවලටත් ප්‍රේම කරන දිළිඳු අප්‍රිකානු වැන්දඹුවකි සෙලීනා. දිනක් බැංකු පොතක් හා විශාල මුදල් ප්‍රමාණයකින් යුත් මල්ලක් ඇගේ නෙත ගැටුණි. දුරකථන නාමාවලිය ආධාරයෙන් අයිතිකරුව සොයාගැනීමට ඇයට හැකි විය. ඔහු සොරකමකට ලක් වූ ගබඩාකරුවෙකි. ලෙඩින් දුබල වී සිටි සෙලීනා, මල්ලත් එහි තිබූ සියල්ලත් භාර දුන් විට ඔහුට තම ඇස් අදහාගත නොහැකි විය. “මේ වගේ අවංකකමකට තෑග්ගක් නොදී යවන්න බැහැ” කියා පවසමින් ඔහු ඇගේ අතට යම් මුදලක් තැබුවේය. වඩා වැදගත් දේ වන්නේ, මේ තැනැත්තා සෙලීනාගේ ආගම ප්‍රශංසාවට ලක් කිරීමයි. ඔව්, අවංක ක්‍රියාවන් හේතුවෙන් බයිබල් ඉගැන්වීම් ප්‍රශංසාවට ලක් වන අතර, යෙහෝවාට ඉන් ගෞරවයක්ද අත් වේ. ඒ අතර වාරයේම, ඔහුගේ අවංක නමස්කාරකයන්ටද ඉන් ලැබෙන්නේ ඉමහත් සතුටකි.—තීතස් 2:9අ, 10ආ; 1 පේතෘස් 2:12.
ත්යාගශීලීකමෙන් සන්තෝෂය අත් වේ
7. සූදුවේ ඇති වරද කුමක්ද?
7 ත්‍යාගශීලීකම සන්තෝෂය උදා කර දෙන අතර, ගිජු පුද්ගලයන් ‘දෙවිගේ රාජ්‍යය උරුම කර නොගනී.’ (1 කොරින්ති 6:10) පොදුවේ දක්නට ලැබෙන ගිජුකමේ එක් ස්වරූපයක් වන්නේ සූදුවයි. ඉන් අදහස් වන්නේ, තවත් අයට පාඩු කරමින් මුදල් උපයාගැනීමට තැත් කිරීමයි. “නින්දිත ලාභයට ගිජු” පුද්ගලයන්ට යෙහෝවාගේ අනුමැතිය නොලැබෙයි. (1 තිමෝති 3:8) සූදුව නීත්‍යනුකූල දෙයක් ලෙස පිළිගන්නා ප්‍රදේශවල වුවත්, පුද්ගලයෙකු විනෝදය තකා එහි නියැලුණද, ඔහු ඊට ඇබ්බැහි වීමට ඉඩ ඇති අතර, ජීවිත රැසක් විනාශ කර ඇති පුරුද්දකට ඔහු අනුබල දෙනවා විය හැකියි. ආහාර, ඇඳුම් පැළඳුම් වැනි අවශ්‍යතාවන් පිරිමසා ගැනීමට නොහැකි තත්වයකට හේතු වන සූදුව, එහි නියැලෙන්නාගේ පවුලේ අයට ඇති කරන්නේ දැඩි අසීරුතාවකි.—1 තිමෝති 6:10.
8. ත්‍යාගශීලීකම සම්බන්ධයෙන් යේසුස් කදිම ආදර්ශයක් තැබුවේ කොහොමද? අපට ත්‍යාගශීලීකම පෙන්විය හැක්කේ කොහොමද?
8 තමන් තුළ ඇති ප්‍රේමනීය ත්‍යාගශීලීකම නිසා, අන්‍යයන්ට, විශේෂයෙන්ම අවශ්‍යතාවලින් පසු වන සෙසු ඇදහිලිවන්තයන්ට උපකාර කිරීමෙන් ක්‍රිස්තියානීන් ප්‍රීතිය නෙළාගනී. (යාකොබ් 2:15, 16) දෙවි මනුෂ්‍යවර්ගයාට ත්‍යාගශීලීකම පෙන්වන්නේ කෙසේදැයි යේසුස් මිහිපිටට පැමිණීමට කලින් නිරීක්ෂණය කළේය. (ක්‍රියා 14:16, 17) යේසුස් තම කාලය, කුසලතා හා ජීවිතය පවා මනුෂ්‍යවර්ගයා වෙනුවෙන් දුන්නේය. එනිසා, “ගැනීමට වඩා දීම ආශීර්වාදයකැයි” කීමට තරම් ඔහු සුදුසු තත්වයක සිටියේය. (ක්‍රියා 20:35) දේවමාළිගාවේ මුදල් ගබඩාවට කුඩා කාසි දෙකක් ත්‍යාගශීලී සිතින් දැමූ දිළිඳු වැන්දඹුව ගැනද යේසුස් ප්‍රශංසා මුඛයෙන් කතා කරන්නට විය. ඔහු මෙසේ කළේ “තමාගේ රක්ෂාවීමට තිබුණු සියල්ලම” ඇය දැමූ නිසයි. (මාර්ක් 12:41-44) සභාවටත්, රාජ්‍ය වැඩකටයුතුවලටත් ද්‍රව්‍යමය ලෙස ආධාර කිරීමේදී පෙන්වන ප්‍රීතිමත් ත්‍යාගශීලීකම සම්බන්ධයෙන්, පුරාණ ඉශ්රායෙල්වරුන් මෙන්ම පළමු සියවසේ ක්‍රිස්තියානීන්ද අපට සපයන්නේ කදිම ආදර්ශයකි. (1 ලේකම් 29:9; 2 කොරින්ති 9:11-14) මෙවන් අරමුණු තකා ද්‍රව්‍යමය ලෙස සම්මාදම් කරනවාට අමතරව, වර්තමානයේ ජීවත් වන ක්‍රිස්තියානීන් ප්‍රීතිමත් හදවතකින් දෙවිට ප්‍රශංසා කරමින් ඔහුගේ සේවයේ නිරත වේ. (රෝම 12:1; හෙබ්‍රෙව් 13:15) සැබෑ නමස්කාරයට අනුබල දීමටත්, රාජ්‍යයේ ශුභාරංචිය පතළ කිරීමේ ලෝක ව්‍යාප්ත වැඩය දියුණු කිරීමටත්, ඔවුන් තම කාලය, ශ්‍රමය හා අරමුදල් ඇතුළු වෙනත් සම්පත් යොදවන නිසා යෙහෝවා ඔවුන්ට ආශීර්වාද කරයි.—හිතෝපදේශ 3:9, 10.
සන්තෝෂය වඩවන වෙනත් සාධක
9. ප්‍රමාණය ඉක්මවා මත්පැන් ගැනීමේ ඇති වරද කුමක්ද?
9 සන්තෝෂයෙන් සිටීම සඳහා ක්‍රිස්තියානීන් තම ‘කල්පනා කිරීමේ හැකියාවද’ ආරක්ෂා කරගත යුතුයි. (හිතෝපදේශ 5:1, 2, NW) මෙසේ කිරීමට දේවවචනයත්, කදිම බයිබල් ප්‍රකාශනත් කියවා ඒ ගැන මෙනෙහි කිරීම අවශ්‍ය වේ. නමුත් සමහරක් දේවලින් අප වැළකී සිටිය යුතුයි. උදාහරණයක් හැටියට ගතහොත්, ප්‍රමාණය ඉක්මවා මත්පැන් ගැනීමෙන් කෙනෙකුට තමාගේ සිතුවිලි පාලනය කරගැනීමට නොහැකි වේ. එවන් තත්වයන් යටතේදී බොහෝදෙනෙක් දුරාචාරමය ලෙස හැසිරෙන අතර, ප්‍රචණ්ඩකාරි ක්‍රියාවලට මෙන්ම මාරාන්තික අනතුරුවලටද ගොදුරු වේ. එනිසා බේබද්දන් දේවරාජ්‍යය උරුම කරගන්නේ නැති බව බයිබලයේ පැවසීම පුදුමයක්ද! (1 කොරින්ති 6:10) “සිහියෙන් යුක්තව” සිටීමට අදිටන් කරන සැබෑ ක්‍රිස්තියානීන් බේබදුකමින් වැළකී සිටින අතර, ඔවුනොවුන් අතරේ සන්තෝෂය වඩවාගැනීමට මෙය මහෝපකාරි වේ.—තීතස් 2:2-6.
10. (අ) ක්‍රිස්තියානීන් දුම්කොළ භාවිත නොකරන්නේ ඇයි? (ආ) ඇබ්බැහි වීමකට දායක වන පුරුදුවලින් මිදීමෙන් අත් වන ප්‍රයෝජන මොනවාද?
10 ශාරීරික පිරිසිදුකමද සන්තෝෂයට දායක වේ. නමුත් බොහෝදෙනෙකු හානිකර ද්‍රව්‍යවලට ඇබ්බැහි වේ. දුම්කොළ භාවිතය උදාහරණයක් හැටියට ගනිමු. දුම්පානය නිසා “සෑම වර්ෂයකම මිනිසුන් මිලියන තුනක් මියයන” බව ජගත් සෞඛ්‍ය සංවිධානය වාර්තා කරයි. එම පුරුද්ද නතර කිරීමේදී ඇති වන තාවකාලික විරමණ ලක්ෂණ හේතුවෙන් දුම්පානය අත්හැරීම අසීරු විය හැකියි. අනික් අතට, දුම්පානය නතර කළ වැඩිදෙනෙකුට, වඩා හොඳ සෞඛ්‍ය තත්වයක් මෙන්ම ගෙදර දොරේ අවශ්‍යතා සඳහා වැඩිපුර මුදල්ද තිබෙන බව වැටහී ඇත. දුම්පානයේ පුරුද්දෙන් හෝ වෙනත් හානිකර ද්‍රව්‍යයකට ඇබ්බැහි වීමෙන් ගොඩ ඒම පිරිසිදු සිරුරකටද, නිදොස් හෘදය සාක්ෂියකටද, සැබෑ සන්තෝෂයටද ඇත්තෙන්ම දායක වේ.—2 කොරින්ති 7:1.
විවාහය තුළ සන්තෝෂය
11. නීත්‍යනුකූල, කල්පවතින ගෞරවනීය විවාහයක් භුක්ති විඳීම සඳහා අවශ්‍ය වන්නේ කුමක්ද?
11 ස්වාමිපුරුෂයා හා භාර්යාව වශයෙන් ජීවත් වන අය තම විවාහය සිවිල් අධිකාරීන් විසින් නිසි පරිදි ලියාපදිංචි කර තිබෙන බවට වගබලාගත යුතුයි. (මාර්ක් 12:17) එමෙන්ම විවාහය බැරෑරුම් වගකීමක් හැටියටද ඔවුන් සැලකිය යුතුයි. හිතාමතාම පවුල නඩත්තු නොකිරීම, දරුණු ලෙස අඩන්තේට්ටම් කිරීම හෝ ආත්මිකත්වයට ඍජුවම තර්ජන එල්ල වන අවස්ථාවලදී, වෙන්වීම සුදුසු යමක් සේ දිස් විය හැකියි. (1 තිමෝති 5:8; ගලාති 5:19-21) නමුත් 1 කොරින්ති 7:10-17හි සඳහන් ප්‍රේරිත පාවුල්ගේ වදන් දිරි දෙන්නේ විවාහක කලත්‍රයන්ට එකට සිටීමටයි. තවද සැබෑ සන්තෝෂයෙන් සිටීම සඳහා ඔවුන් එකිනෙකාට විශ්වාසවන්තව සිටිය යුතු බව අමුතුවෙන් කිව යුතු නැත. පාවුල් මෙසේ ලීවේය: “විවාහය සියල්ලන් අතරෙහි ගෞරව ඇතුව, යහන නොකිලුටුව තිබේවා; මක්නිසාද වේශ්‍යාකම්කරන්නන්ද කාමමිථ්‍යාචාරිකයන්ද [දෙවි විනිශ්චය කරන්නේය].” (හෙබ්‍රෙව් 13:4) “යහන” යන යෙදුමෙන් අඟවන්නේ නීත්‍යනුකූලව එකට විවාහ වී සිටින පුරුෂයෙකු හා ස්ත්‍රියක් අතරේ පවතින ලිංගික සංවාසයයි. බහුභාර්යා සේවනය වැනි වෙනත් ඕනෑම ලිංගික සබඳතාවක් “සියල්ලන් අතරෙහි ගෞරව ඇතුව” තිබෙන යමක් සේ විස්තර කළ නොහැක. තවදුරටත් ගත් කල, පූර්ව විවාහ ලිංගික සබඳතා මෙන්ම සමලිංගිකත්වයද බයිබලයේ හෙළා දැක ඇත.—රෝම 1:26, 27; 1 කොරින්ති 6:18.
12. වේශ්‍යාකමේ නරක ප්‍රතිඵල මොනවාද?
12 වේශ්‍යාකමෙන් මොහොතකට සීමා වූ ශාරීරික ආස්වාදයක් ලැබිය හැකි වුවත්, එය සැබෑ සන්තෝෂයෙන් අවසන් නොවෙයි. දෙවිව අසතුටු කරන එය පුද්ගලයෙකුගේ හෘදය සාක්ෂියද පලුදු කරයි. (1 තෙසලෝනික 4:3-5) ඒඩ්ස් හෝ ලිංගිකව බෝවන වෙනත් රෝග, නීති විරෝධී ලිංගික සබඳතාවල ඛේදනීය ඵලවිපාකයන් විය හැකියි. එක් වෛද්‍ය වාර්තාවක් මෙසේ ප්‍රකාශ කරයි: “ගණනය කිරීම්වලට අනුව, වාර්ෂිකව මිලියන 250කට අධික ජන සංඛ්‍යාවකට ගොනෝරියාවද, මිලියන 50කට පමණ සිෆිලිස්ද බෝවේ.” අනවශ්‍ය ගැබ්ගැනීම්ද ලැයිස්තුවට එකතු කළ හැකියි. ජාත්‍යන්තර සැලසුම්ගත මව්පියභාවයේ සංගමය වාර්තා කරන පරිදි, ලොව පුරා සෑම වසරකදීම අවුරුදු 15ත් 19ත් අතර ගැහැනු ළමුන් මිලියන 15කට අධික සංඛ්‍යාවක් ගැබ්ගන්නා අතර, ඔවුන්ගෙන් තුනෙන් එකක් ගබ්සා සිදු කරගනී. නහඹර වියේ ගැහැනු ළමුන්ගේ මරණවලින් සියයට 72ක්ම ගබ්සා ආශ්‍රිතව පැනනඟින ගැටලු හේතුවෙන් සිදු වන බව එක් අප්‍රිකානු රටක් සම්බන්ධයෙන් කළ අධ්‍යයනයකින් හෙළි විය. වේශ්‍යාකමේ නියැලෙන සමහරෙක් රෝගවලින් හා ගැබ්ගැනීම්වලින් මිදිය හැකි වුවත්, චිත්තවේගීයව සිදු වන හානියෙන් ඔවුන්ට ගැළවීමක් ලැබෙන්නේ නැත. තම ආත්ම-ගෞරවය නැති කරගන්නා බොහෝදෙනෙකු තමන්ටම ද්වේෂ කිරීමටද පටන්ගනී.
13. කාමමිථ්‍යාචාරය නිසා පැනනඟින අමතර ගැටලු මොනවාද? වේශ්‍යාකම්කරන්නන් හා කාමමිථ්‍යාචාරිකයන් ලෙස දිගටම කටයුතු කරන අයට කුමක් බලාපොරොත්තු විය හැකිද?
13 කාමමිථ්‍යාචාරයට සමාව දිය හැකි වුවත්, දික්කසාද වීම සඳහා නිර්දෝෂ කලත්‍රයාට වලංගු, ශුද්ධ ලියවිලිමය හේතුවක් ඉන් සැපයෙයි. (මතෙව් 5:32; සසඳන්න හොෂෙයා 3:1-5.) එසේ දුරාචාරමය හැසිරීමක් හේතුකොටගෙන විවාහය කඩාකප්පල් වූවොත්, ඉන් නිර්දෝෂී කලත්‍රයා තුළත් දරුවන් තුළත් ඇති වන්නේ චිත්තවේගීයව නොමැකෙන කැළලකි. මිනිස් පවුලේ යහපත උදෙසා, පසුතැවිලි නොවන වේශ්‍යාකම්කරන්නන් හා කාමමිථ්යාචාරිකයන්ව දෙවි විනිශ්චය කරන්ට යන බව ඔහුගේ වචනයෙන් පෙන්වා දේ. තවදුරටත් එය පැහැදිලිව පෙන්නුම් කරන්නේ පුරුද්දක් වශයෙන් ලිංගික දුරාචාරයේ යෙදෙන්නන්ට “[දෙවිගේ] රාජ්‍යයෙහි උරුම නොලැබෙන” බවයි.—ගලාති 5:19, 21.
‘ලෝකයේ කොටසක් නොවේ’
14. (අ) දේවභක්තික පුද්ගලයෙකු වැළකී සිටීමට යන පිළිම නමස්කාරයේ සමහරක් ස්වරූප මොනවාද? (ආ) යොහන් 17:14හි හා යෙසායා 2:4හි දී ඇති මඟ පෙන්වීම කුමක්ද?
14 යෙහෝවාව සතුටු කිරීමටත්, රාජ්‍ය ආශීර්වාද භුක්ති විඳීමටත් කැමති සියල්ලෝම රූප වන්දනාවේ සෑම ස්වරූපයකින්ම වැළකී සිටී. ක්‍රිස්තුස්ගේ හෝ යේසුස්ගේ මව වූ මරියාගේ රූප ඇතුළුව ඕනෑම රූපයක් සෑදීමත් ඊට නමස්කාර කිරීමත් වැරදි බව බයිබලය පෙන්වයි. (නික්මයාම 20:4, 5; 1 යොහන් 5:21) එනිසා, සැබෑ ක්‍රිස්තියානීන් ප්‍රතිමා, කුරුස හා රූපවලට ගරුබුහුමන් නොකරයි. කොඩිවලට ගරුබුහුමන් දැක්වීම හා තම ජාතිය මහිමවත් කරන ගී ගැයීම වැනි රූප වන්දනාවේ සූක්ෂ්ම ස්වරූපවලින්ද ඔවුන් වැළකී සිටී. එවන් ක්‍රියාවල නියැලෙන්නැයි කියමින් ඔවුන්ව පීඩනයට ලක් කරන විට, යේසුස් සාතන්ට පැවසූ මෙම වදන් ඔවුන් සිහියට නඟයි: “නුඹේ දෙවිවූ [යෙහෝවාට] නමස්කාරකරව, [ඔහුට] පමණක් සේවයකරව.” (මතෙව් 4:8-10) තම අනුගාමිකයන් ‘ලෝකයේ කොටසක් නොවන’ බවයි යේසුස් පැවසුවේ. (යොහන් 17:14, NW) දේශපාලන කටයුතු සම්බන්ධයෙන් මධ්‍යස්ථව සිටීමත්, සමාදානයෙන් ජීවත් වීමත් මින් අදහස් කරන අතර එය යෙසායා 2:4ට එකඟව වේ: “ඔහු [යෙහෝවා දෙවි] ජාතීන් අතරේ විනිශ්චයකොට, බොහෝ ජනයන්ගේ කාරණා නිශ්චය [කරන්නේය]. ඔව්හු තමුන්ගේ කඩුවලින් හීවැල්ද හෙල්ලවලින් දෑකැතිද තළාගන්නෝය. ජාතියක් ජාතියකට විරුද්ධව කඩුව ඔසවන්නේවත් තවත් යුද්ධ ඉගෙනගන්නේවත් නැත.”
15. මහා බබිලෝනිය යනු කුමක්ද? ඇගෙන් ඉවත් වීම සඳහා අලුත් බයිබල් ශිෂ්‍යයන් බොහෝදෙනෙක් කරන්නේ මොනවාද?
15 බොරු ආගමේ ලෝක අධිරාජ්‍යය වන “මහා බබිලෝනිය” සමඟ ඇති සියලුම සම්බන්ධකම් නැවැත්වීම ‘ලෝකයේ කොටසක් නොවී’ සිටීමට අයත් වේ. ලොව පුරා වෙසෙන මිනිසුන්ව ආත්මික වශයෙන් දූෂිත තත්වයකට ඇද දැමීම දක්වා පුරාණ බබිලෝනියේ අපවිත්‍ර නමස්කාරය පැතිර ගියේය. දෙවි පිළිබඳ දැනුමට පටහැනි ඉගැන්වීම් හා වත්පිළිවෙත්වලින් යුත් සෑම ආගමක්ම “මහා බබිලෝනිය” දෙඅත් විදහා පිළිගනී. (එළිදරව් 17:1, 5, 15) වෙනත් ආගම් සමඟ නමස්කාරයේ හවුල් වීමෙන් හෝ මහා බබිලෝනියේ කොයි යම් කොටසක් සමඟ ආත්මික ඇසුරක යෙදීමෙන් හෝ, යෙහෝවාගේ එකම විශ්වාසවන්ත සේවකයෙක්වත් අන්තර් ඇදහිලි ක්‍රියාකාරකම්වලට හවුල් වන්නේ නැත. (ගණන් කථාව 25:1-9; 2 කොරින්ති 6:14) මෙනිසා බයිබල් ශිෂ්‍යයන් බොහෝදෙනෙක් කරන්නේ තමන් අයත්ව සිටි ආගමික සංවිධානයට තමන් එයින් ඉවත් වූ බවට දන්වා ලිපියක් යැවීමයි. මෙමගින් ඔවුන් යෙහෝවාට තවත් කිට්ටු වී ඇත. මෙය යෙහෝවා පොරොන්දු වූ දෙයට එකඟය: “ඔවුන් අතරෙන් පිටතට ඇවිත්, වෙන්ව සිටින්න, අපවිත්‍ර දෙයකට අත නොගසා සිටින්නැයි [යෙහෝවා කියන්නේය]. එවිට මම නුඹලා [පිළිගන්නෙමි].” (2 කොරින්ති 6:17; එළිදරව් 18:4, 5) අපේ ස්වර්ගික පියා ඔබව එසේ පිළිගන්නවාට නොවේද ඔබත් කැමති?
වාර්ෂික සැමරීම්
16. සැබෑ ක්‍රිස්තියානීන් නත්තල නොපවත්වන්නේ ඇයි?
16 දේවභක්තික ජීවිතයක් ගත කිරීමෙන්, බොහෝවිට වෙහෙසකාරි වූ ලෞකික නිවාඩු දින සැමරීම්වලින් අප නිදහස් වනු ඇත. උදාහරණයක් ලෙස යේසුස් හරියටම ඉපදුණේ කවදාදැයි බයිබලයේ සඳහන් නොවේ. ‘මම හිතුවේ යේසු ඉපදුණේ දෙසැම්බර් 25වෙනිදා කියලයි!’ කියා සමහරුන් පුදුමයෙන් යුතුව කියන්න පුළුවන්. මෙසේ විය නොහැක්කේ ඔහු පො.යු. 33 වසන්ත සමයේදී, අවුරුදු 33 1⁄2ක්ව සිටිද්දී මියගිය නිසාය. එපමණක්ද නොව, ඔහු ඉපදුණු අවස්ථාවේදී එඬේරු “රෑ යාමයෙන් යාමයට තමුන්ගේ බැටළු රැළ ප්‍රවේසම්කරමින් පිට්ටනියෙහි සිටියෝය.” (ලූක් 2:8) දෙසැම්බර් අගභාගයේදී ඉශ්රායෙල් දේශය පුරා පවතින්නේ ශීත, වර්ෂා සහිත ඍතුවකි. ශීත කාලගුණයෙන් බැටළුවන්ව ආරක්ෂා කිරීම සඳහා රාත්‍රි කාලයේදී උන්ව ගාල් කරයි. ඇත්තටම දෙසැම්බර් 25 කියන්නේ රෝමවරුන්ගේ හිරු දෙවියාගේ උපන් දිනයයි. යේසුස් මිහිපිට ගත කළ ජීවිතයෙන් සියවස් ගණනාවකට පසුව ක්‍රිස්තුස්ගේ උපත උත්සවාකාරයෙන් පැවැත්වීම පිණිස, ඇදහිල්ල අත්හළ ක්‍රිස්තියානීන් යොදාගත්තේ මෙම දිනයයි. එනිසා සැබෑ ක්‍රිස්තියානීන් නත්තලවත් බොරු ආගමික විශ්වාස මත පදනම් වූ වෙනත් කිසිම නිවාඩු දිනයක්වත් උත්සවාකාරයෙන් නොපවත්වයි. ඔවුන් යෙහෝවාට තනිභක්තිය පිරිනමන හෙයින්, පව්කාර මිනිසුන්ව හෝ ජාතීන්ව දේවත්වයෙන්ලා සලකන නිවාඩු දිනද ඔවුන් සමරන්නේ නැත.
17. දේවභක්තික මිනිසුන් උපන් දින උත්සව නොපවත්වන්නේ ඇයි? කෙසේ නමුත් ක්‍රිස්තියානි දරුවන් සන්තෝෂයෙන් ඉන්නේ ඇයි?
17 දෙවිට නමස්කාර නොකළ මිනිසුන් දෙදෙනෙකුගේ උපන් දින උත්සවයන් ගැන පමණයි බයිබලයේ නිශ්චිතව සඳහන් වෙන්නේ. (උත්පත්ති 40:20-22; මතෙව් 14:6-11) පරිපූර්ණ මිනිසා වූ යේසුස් ක්‍රිස්තුස්ගේ උපන් දිනය ශුද්ධ ලියවිල්ලේ සඳහන් නොවේ නම්, අසම්පූර්ණ මිනිසුන්ගේ උපන් දිනවලට අප විශේෂ අවධානයක් දිය යුත්තේ මන්ද? (දේශනාකාරයා 7:1) නමුත් තම දරුවන්ට ඇති ආදරය පෙන්වීමට දේවභක්තික දෙමාපියන් විශේෂ දිනයක් එන තෙක් බලා සිටින්නේ නැති බව අමුතුවෙන් කිව යුතු නැත. එක් 13-හැවිරිදි ක්‍රිස්තියානි දැරියක් මෙසේ පැවසීය: “මමයි මගේ පවුලේ අයයි හොඳට විනෝද වෙනවා. . . . මම නම් මගේ දෙමාපියන්ට හුඟාක් කිට්ටුයි. ඉතින් සමහර වෙලාවට ළමයි අහනවා මම නිවාඩු දින උත්සවාකාරයෙන් පවත්වන්නේ නැත්තේ ඇයි කියලා. එතකොට මම කියන්නේ මට හැම දවසක්ම උත්සව දවසක් වගේ කියලයි.” අවුරුදු 17ක් වයසැති ක්‍රිස්තියානි යෞවනයෙක් මෙසේ පැවසුවා: “අපේ ගෙදර නම්, තෑගි බෝග දෙන එක අවුරුද්ද පුරාම වෙන දෙයක්.” නොසිතන මොහොතකදී ලබන තෑග්ගකින් ඇති වන සන්තෝෂය ඇත්තෙන්ම පුදුමාකාරයි.
18. යේසුස් තම අනුගාමිකයන්ට පැවැත්වීමට අණ කළ එකම වාර්ෂික සිහි කිරීම කුමක්ද? මින් අපට සිහිගැන්වෙන්නේ කුමක්ද?
18 දේවභක්තික ජීවිතයක් ගත කරන අය වර්ෂයකට වතාවක් සිහි කරන විශේෂ දිනයක් ඇත. එය ක්‍රිස්තුස්ගේ මරණය සිහි කිරීම වශයෙන් බොහෝවිට හැඳින්වෙන ස්වාමීන්ගේ රාත්‍රී භෝජනයයි. ඒ සම්බන්ධයෙන් යේසුස් තම අනුගාමිකයන්ට පැවසුවේ මෙසේයි: “මා සිහිකිරීම පිණිස මේක [දිගටම, NW] කරන්න.” (ලූක් 22:19, 20; 1 කොරින්ති 11:23-25) පොදු යුගයේ 33, නීසාන් මස 14වන දින රාත්‍රියේ යේසුස් මෙම භෝජනය ස්ථාපිත කළේය. එහිදී තම පව් රහිත මිනිස් සිරුර හා පරිපූර්ණ රුධිරය නියෝජනය කිරීමට මුහුන් නොදැමූ රොටිත් රතු මුද්‍රිකපානයත් යොදාගත්තේය. (මතෙව් 26:26-29) දෙවිගේ ශුද්ධාත්මයෙන් අභිෂේක ලත් ක්‍රිස්තියානීන් මෙම සංකේතවලට පංගුකාරයන් වේ. ඔවුන් අලුත් ගිවිසුමේ මෙන්ම රාජ්‍යය සඳහා පිහිටුවා ඇති ගිවිසුමේ හවුල්කරුවන් වන අතර, ඔවුන්ට ඇත්තේ ස්වර්ගික බලාපොරොත්තුවකි. (ලූක් 12:32; 22:20, 28-30; රෝම 8:16, 17; එළිදරව් 14:1-5) කෙසේවෙතත්, පුරාණ යුදෙව් දිනදර්ශනයේ නීසාන් 14වනදාට යෙදෙන රාත්‍රියේ පැමිණ සිටින සැමදෙනාම ඉන් ප්‍රයෝජන නෙළාගනී. පාපය පහ කර දමන මිදීමේ පූජාව සැපයීමෙන් යෙහෝවා දෙවි හා යේසුස් පෙන්වූ ප්‍රේමය එහිදී ඔවුන්ට සිහිගන්වයි. මන්දයත් දිව්‍ය අනුග්‍රහය ඇත්තන්ට ඉන් සදාකාල ජීවනය අදහස් කරන නිසයි.—මතෙව් 20:28; යොහන් 3:16.
රැකියාව හා විනෝදාස්වාදය
19. රැකියාවක නිරත වීමේදී ක්‍රිස්තියානීන්ට මුහුණ දීමට සිදු වන අභියෝගය කුමක්ද?
19 වෙහෙස මහන්සි වී වැඩ කිරීමටත්, තම අවශ්‍යතා සපුරාගැනීමටත් සැබෑ ක්‍රිස්තියානීන් බැඳී සිටී. මෙය ඉටු කිරීමෙන් ගෘහ මූලිකයන්ට තෘප්තියක් ලැබේ. (1 තෙසලෝනික 4:11, 12) ක්‍රිස්තියානියෙකුගේ රැකියාව බයිබලයට පටහැනි එකක් නම් ඇත්තෙන්ම ඔහුගේ සන්තෝෂය ඉන් සොරාගත හැකියි. නමුත් බයිබල් ප්‍රමිතිවලට එකඟ වන රැකියාවක් සොයාගැනීම ක්‍රිස්තියානියෙකුට පහසු කාර්යයක් නොවේ. උදාහරණයක් හැටියට, පාරිභෝගිකයාව රැවටීමට සේවකයන්ගෙන් ඉල්ලා සිටින අවස්ථා ඇත. අනෙක් අතට, විශ්වාසවන්ත සේවකයෙකු අහිමි වෙනවා දැකීමට අකමැති බොහෝ සේවා යෝජකයන් අවංක සේවකයෙකුගේ හෘදය සාක්ෂියට ගරු කිරීම සඳහා පාඩු විඳීමට පවා කැමති වේ. කුමන තත්වයක් උද්ගත වූවත්, පිරිසිදු හෘදය සාක්ෂියකින් යුතුව සිටීමට දායක වන රැකියාවක් සොයාගැනීමට ඔබ දරන වෑයමට දෙවි ආශීර්වාද කරන බව ඔබට ස්ථිර විය හැකියි.—2 කොරින්ති 4:2.
20. විනෝදාස්වාදයන්වල නියැලීමේදී ඒවා නිසි ලෙස තෝරා බේරා ගත යුත්තේ ඇයි?
20 තම සේවකයන් සතුටින් සිටිනවා දැකීමට දෙවි කැමතියි. එනිසා, වෙහෙස මහන්සි වී වැඩ කරනවාත් සමඟම, ප්‍රබෝධවත් කරවන විනෝදාත්මක කටයුතුවල මෙන්ම විවේක ගැනීමේදීද අප සමබර විය යුතුයි. (මාර්ක් 6:31; දේශනාකාරයා 3:12, 13) සාතන්ගේ ලෝකය දිරි දෙන්නේ දෙවිට අප්‍රසන්න වූ විනෝදාස්වාදයන්ටය. නමුත් දෙවිව සතුටු කිරීමට වුවමනා නම් අප කියවන පොත් පත්, සවන් දෙන ගුවන් විදුලි වැඩසටහන් හා සංගීතය මෙන්ම අප නරඹන සංගීත සන්දර්ශන, චිත්‍රපට, නාට්‍ය, රූපවාහිනී වැඩසටහන් හා වීඩියෝ පට සම්බන්ධයෙන් අප තෝරා බේරා ගැනීමක් කළ යුතුයි. අප අතීතයේදී තෝරාගත් විනෝදාස්වාදයන් ද්විතීය කථාව 18:10-12, ගීතාවලිය 11:5 සහ එපීස 5:3-5 වැනි ශුද්ධ ලියවිලි පාඨවල ඇති අනතුරු ඇඟවීම්වලට පටහැනියි නම්, අවශ්‍ය වෙනස්කම් කරගැනීමෙන් අප යෙහෝවාව සතුටු කිරීමට යන අතර, අපේ සන්තෝෂය වැඩිවීමටද දායක වනු ඇත.
ජීවිතයටත් රුධිරයටත් ගරු කිරීම
21. ජීවිතය සඳහා අපට ඇති ගෞරවය ගබ්සාව පිළිබඳ අපේ දෘෂ්ටියටත්, අපේ පුරුදු හා හැසිරීමටත් බලපෑ යුත්තේ කොහොමද?
21 සැබෑ සන්තෝෂය ලැබීම සඳහා අපත් යෙහෝවා මෙන් මිනිස් ජීවිතය පරිශුද්ධ යමක් ලෙස සැලකිය යුතුයි. මිනිමැරීම ඔහුගේ වචනයේ තහනම් කර ඇති දෙයකි. (මතෙව් 19:16-18) ඇත්තෙන්ම කියනවා නම් නූපන් දරුවා, විනාශ කර දැමීමට තිබෙන දෙයක් හැටියට නොව නමුත් අනර්ඝ ජීවිතයක් හැටියට දෙවි සලකන බව ඉශ්රායෙල්වරුන්ට ඔහු දුන් ව්‍යවස්ථාවේ දක්නට ලැබේ. (නික්මයාම 21:22, 23) ඒ හා සම්බන්ධව ගත් කල, දුම්කොළ භාවිතය, මත්ද්‍රව්‍ය හෝ මත්පැන් මගින් අපේ සිරුර දූෂණය කරගැනීම හෝ අනවශ්‍ය අවදානම්වලට ලක් කිරීම මගින් ජීවිතය නොවටිනා යමක් සේ අප නොසැලකිය යුතුයි. ලේ වරදට තුඩු දිය හැකි, ජීවිතයට තර්ජනයක් එල්ල කරන දේවලින් මෙන්ම ආරක්ෂක පියවරවල් නොසලකා හැරීමෙන්ද අප වැළකිය යුතුයි.—ද්විතීය කථාව 22:8.
22. (අ) රුධිරය හා එහි භාවිතය පිළිබඳ දේවදෘෂ්ටිය කුමක්ද? (ආ) සැබවින්ම ජීවිත බේරෙන්නේ කාගේ රුධිරයෙන් පමණක්ද?
22 රුධිරය, ප්‍රාණය නොහොත් ජීවය නියෝජනය කරන බව නෝවාට හා ඔහුගේ පවුලට යෙහෝවා පෙන්නුම් කළේය. එනිසා, කොයි යම් ආකාරයකින් හෝ රුධිරය අනුභව කිරීමෙන් වළකින්න කියා දෙවි පැවසුවේය. (උත්පත්ති 9:3, 4) අප ඔවුන්ගෙන් පැවතෙන්නන් වන නිසා, අප සියලුදෙනාම එම නීතියට බැඳී සිටී. රුධිරය පොළොවට වත් කළ යුතු බවත්, මිනිසාගේ ප්‍රයෝජනය තකා යොදා නොගත යුතු බවත් දෙවි ඉශ්රායෙල්වරුන්ට පවසන්නට විය. (ද්විතීය කථාව 12:15, 16) “ලෙයින් . . . වලකින්ට ඕනෑ” යයි පළමු සියවසේ ක්‍රිස්තියානීන්ට උපදෙස් දීමේදී රුධිරය පිළිබඳ දෙවිගේ නීතිය නැවතත් කාවද්දනු ලැබුවේය. (ක්‍රියා 15:28, 29) රුධිර ප්‍රවේශනයකින් ජීවිතය බේරාගත හැකියයි වෙනත් අය තරයේ කියා සිටියත්, ජීවිතයේ පරිශුද්ධභාවයට ගරු කරන දේවභක්තික මිනිසුන් එවැන්නක් ප්‍රතික්ෂේප කරයි. යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් පිළිගන්නා වෛද්‍යමය විකල්ප බොහොමයකින් සාර්ථක ඵල නෙළාගෙන තිබෙන අතර, එමගින් කෙනෙකුව රුධිර ප්රවේශනවලින් එල්ල වන උවදුරුවලට ලක් වන්නේද නැත. ජීවිත බේරෙන්නේ යේසුස්ගේ වගුරුවන ලද රුධිරයෙන් පමණක් බව ක්‍රිස්තියානීන් විශ්වාස කරයි. එය කෙරෙහි ඇදහිල්ල නිරූපණය කිරීමෙන් සමාව ලැබෙන අතර සදාකාල ජීවනයටද දොර විවෘත වේ.—එපීස 1:7.
23. දේවභක්තික ජීවිතයක් ගත කිරීමෙන් ලැබෙන යහපත් ප්‍රතිඵල සමහරක් මොනවාද?
23 එසේ නම් දේවභක්තික ජීවිතයක් ගත කිරීම සඳහා වෑයමක් දැරිය යුතු බව මනාව පැහැදිලියි. එසේ කිරීම නිසා පවුලේ සාමාජිකයන්ගේ හෝ හිතමිතුරන්ගේ සමච්චලයට ලක් විය හැකියි. (මතෙව් 10:32-39; 1 පේතෘස් 4:4) නමුත් එවන් ජීවිතයක් ගත කිරීමෙන් ලැබෙන යහපත් ප්‍රතිඵල, අද්දැකිය හැකි ඕනෑම පීඩාවක් අබිබවා යයි. ඉන් පිරිසිදු හෘදය සාක්ෂියක් අත් වන අතර, යෙහෝවාට සේවය කරන සෙසු නමස්කාරකයන් සමඟ හිතකර මිත්‍රත්වයක්ද ඇති කරගැනීමට හැකි වේ. (මතෙව් 19:27, 29) දෙවිගේ ධර්මිෂ්ඨ නව ලොවේ සදාකාලයටම ජීවත් වීම ගැනත් නිකමට සිතා බලන්න. (යෙසායා 65:17, 18) එමෙන්ම බයිබලයේ උපදෙස්වලට අවනත වී, එනයින් යෙහෝවාගේ හෘදය ප්‍රීතිමත් කිරීමෙන් කෙනෙකු ලබන ප්‍රීතිය මොනතරම්ද! (හිතෝපදේශ 27:11) එසේ නම්, දේවභක්තික ජීවිතයක් ගත කිරීමෙන් සන්තෝෂය ලැබෙන එක පුදුමයක්ද!—ගීතාවලිය 128:1, 2.
ඔබේ දැනුම මැන බලන්න
දේවභක්තික ජීවිතයක් ගත කිරීමෙන් සන්තෝෂය ලැබෙන්නේ කුමන හේතු නිසාද?
දේවභක්තික ජීවිතයක් ගත කිරීම සඳහා කුමන වෙනස්කම් කිරීමට අවශ්‍ය විය හැකිද?
දේවභක්තික ජීවිතයක් ගත කිරීමට ඔබට ඕනෑ වන්නේ ඇයි?
[124, 125වන පිටුවේ පින්තූරය]
ආත්මික ක්‍රියාකාරකම් විවේක ගැනීමේ අවස්ථා සමඟ සමබර කිරීම, දේවභක්තික ජීවිතයක් ගත කරන අයගේ සන්තෝෂයට දායක වේ