11වන පරිච්ඡේදය
මේ අන්තිම දවස්!
1. ලෝක තත්වයන් ගැන කල්පනා කරන බොහෝදෙනෙකුට අතරමං වූ බවක් හැඟෙන්නේ ඇයි? ලෝක සිදුවීම් පිළිබඳ විශ්වාසදායක පැහැදිලි කිරීමක් සොයාගත හැක්කේ කොතැනින්ද?
අපේ කලබලකාරි ලෝකය මේ තත්වයට පත් වූයේ කොහොමද? අනාගතය කෙබඳු එකක් වේවිද? ඔබට කිසිදාක මෙවන් ගැටලු පැනනැඟී ඇද්ද? ලෝකයේ දසුන දෙස බලන බොහෝදෙනෙකු තුළ ඇති වන්නේ අතරමං වූ හැඟීමකි. යුද්ධ කෝලාහල, රෝග හා අපරාධ අද ඇත්තෙන්ම සුලභව පවතින දෙයක් නිසා, අනාගතය කෙබඳු එකක් වේදැයි සිතමින් මිනිසුන් කනස්සල්ලට පත් වේ. දේශපාලන නායකයන් ගැන බලාපොරොත්තුවක් තැබිය නොහැක. කෙසේවෙතත්, මේ විපත්තිදායක දවස් පිළිබඳ විශ්වාසදායක පැහැදිලි කිරීමක් දෙවිගේ වචනයෙහි දක්නට ඇත. අප ජීවත් වන කාලය හඳුනාගැනීමට බයිබලය අපට විශ්වාසදායක ලෙස උපකාර කරයි. අප දැන් පවතින ක්රමයේ “අන්තිම දවස්වල” සිටින බව එහි සඳහන් වේ.—2 තිමෝති 3:1.
2. යේසුස්ගෙන් ඔහුගේ ගෝලයන් ඇසූ ප්රශ්නය කුමක්ද? ඔහු පිළිතුරු දුන්නේ කොහොමද?
2 උදාහරණයක් වශයෙන්, තම ගෝලයන් මතු කළ ප්‍රශ්න කිහිපයකට යේසුස් දුන් පිළිතුර සලකා බලන්න. යේසුස්ගේ මරණයට දවස් තුනකට කලින්, ඔවුන් ඔහුගෙන් මෙසේ අසන්නට විය: “ඔබ පැමිණ සිටීමට යන කාලයටත් පවතින ක්රමයේ අවසාන කාලපරිච්ඡේදයටත් ලකුණ කුමක් වනු ඇද්ද?”a (මතෙව් 24:3, NW) පිළිතුරු වශයෙන්, මෙම අභක්තික ක්‍රමය එහි අන්තිම දවස්වලට පිවිස ඇති බව පැහැදිලිව පෙන්නුම් කරන නිශ්චිත ලෝක සිදුවීම් හා තත්වයන් ගැන යේසුස් කතා කළේය.
3. යේසුස් පාලනය ආරම්භ කිරීමත් සමඟම පොළොවේ තත්වය තවත් නරක අතට හැරුණේ ඇයි?
3 කලින් පරිච්ඡේදයේ දුටු පරිදි, දේවරාජ්‍යය දැනටමත් පාලනය අරඹා ඇතැයි නිගමනය කිරීමට බයිබල් කාලනිර්ණය මඟ පාදයි. නමුත් එසේ කිව හැක්කේ ඇයි? තත්වය නරක අතට හැරී තිබෙනවා මිස, හොඳ අතට හැරී නැත. දේවරාජ්‍යය එහි පාලනය අරඹා තිබෙන බවට මෙයම ප්‍රබල සාක්ෂියකි. ඒ මන්ද? යම් කලකට යේසුස් ‘සිය සතුරන් මැද’ ආණ්ඩු කරන බව ගීතාවලිය 110:2හි අපට පවසන නිසයි. ඇත්තෙන්ම, ස්වර්ගික රජ වශයෙන් ඔහු ගත් පළමු ක්‍රියාමාර්ගය වූයේ සාතන්ව හා ඔහුගේ භූතයන්ව පොළොවට හෙළීමයි. (එළිදරව් 12:9) කුමන ප්‍රතිඵලයක් ඇතුවද? එළිදරව් 12:12හි පුරෝකථනය කර තිබූ ආකාරයටම දේවල් සිදු විය: “ගොඩටත් මුහුදටත් දුක්වේ! මක්නිසාද යක්ෂයා තමාට ඇත්තේ ස්වල්ප කාලයක් බව දන්න බැවින්, මහත් උදහසින් යුක්තව නුඹලා වෙතට බැස ගියේය.” අප දැන් ජීවත් වෙමින් සිටින්නේ එම “ස්වල්ප කාලය” තුළයි.
4. අන්තිම දවස්වල අංගලක්ෂණ සමහරක් මොනවාද? ඒවායින් අඟවන්නේ කුමක්ද? (කොටුව බලන්න.)
4 එනිසා, යේසුස් පැමිණ සිටින කාලය හා පවතින ක්රමයේ අවසාන කාලපරිච්ඡේදය පිළිබඳ ලකුණ ගැන ඔහුගෙන් විමසූ විට, ඔහු දුන් පිළිතුර කල්පනා කර බැලීමට වටිනා එකක් වීම ගැන පුදුම විය යුතු නැත. ලකුණේ විවිධ අංගයන් 102වන පිටුවේ ඇති කොටුවේ දක්නට ලැබේ. ඔබට පෙනෙන පරිදි, ක්‍රිස්තියානි ප්‍රේරිතයන් වූ පාවුල්, පේතෘස් හා යොහන් යන අය අන්තිම දවස් සම්බන්ධ තවත් තොරතුරු අපට සපයයි. ලකුණේ මෙන්ම අන්තිම දවස්වල අංගයන් වැඩි හරියකට කනගාටුදායක තත්වයන් සම්බන්ධ වී ඇති බව ඇත්තයි. එහෙත්, මෙම දුෂ්ට ක්‍රමය එහි අවසානය කරා ළංවී තිබෙන බව අපට ඒත්තුගැන්වීමට මේ අනාවැකිවල ඉටුවීම ඉවහල් විය යුතුයි. අන්තිම දවස්වල ප්‍රධාන අංගලක්ෂණ කිහිපයක් අපි කිට්ටුවෙන් පරීක්ෂා කරමු.
අන්තිම දවස්වල අංගලක්ෂණ
5, 6. යුද්ධ කෝලාහල හා සාගත සම්බන්ධ අනාවැකි ඉටු වෙමින් පවතින්නේ කොහොමද?
5 “ජාතියක් ජාතියකටද රාජ්‍යයක් රාජ්‍යයකටද විරුද්ධව නැගිටිනවා ඇත.” (මතෙව් 24:7; එළිදරව් 6:4) ලේඛක අර්නස්ට් හෙමිංවේ පළමු ලෝක සංග්‍රාමය හැඳින්වූයේ “මෙතෙක් ලොව සිදු වූ වඩාත්ම දැවැන්ත, මිනීමරු, එමෙන්ම අයුතු ලෙස පාලනය කළ සාහසික ඝාතනය” හැටියටයි. ලොව ගිනි උදුනක—1914-1919 (ඉංග්‍රීසියෙන්) නමැති පොතට අනුව, මෙය “යුද්ධයට නව මුහුණුවරක් දී ඇත. එය මනුෂ්‍ය ඉතිහාසයේ පළමු සමස්ත ලෝක යුද්ධය විය. එහි කාල සීමාව, බලපෑම මෙන්ම ව්‍යාප්තිය කලින් දැන සිටි හෝ සාමාන්‍යයෙන් අපේක්ෂා කළ සෑම දෙයක්ම අභිභවා ගියේය.” ඉන් අනතුරුව, පළමු ලෝක සංග්‍රාමයට වඩා බෙහෙවින් විනාශකාරි වූ දෙවන ලෝක සංග්‍රාමය ඇති විය. “විසිවන සියවස මැෂින් තුවක්කුව, යුද ටැංකිය, බී-52 ගුවන් යානය, න්‍යෂ්ටික බෝම්බය මෙන්ම අවසානයේදී, මිසයිලයේ බලපෑමට යටත් වී ඇත. වෙනත් සෑම යුගයකටම වඩා මෙම සියවස, ලෙයින් තැවරුණු විනාශකාරි යුද්ධවලින් සනිටුහන් වී ඇතැයි” ඉතිහාසය පිළිබඳ මහාචාර්ය හියූ ටොමස් පවසයි. ශීත යුද්ධයේ අවසානයත් සමඟම නිරායුධකරණය ගැන සාකච්ඡා බොහොමයක් ඇති වූ බව ඇත්තයි. එහෙත්, එක් වාර්තාවක් තක්සේරු කරන පරිදි, යෝජිත අවි සීමා කිරීම්වලින් පසුව පවා, මිසයිල 10,000ත් 20,000ත් අතර ප්‍රමාණයක්, එනම් දෙවන ලෝක සංග්‍රාමය තුළදී භාවිත කළ අවි ශක්තිය මෙන් 900 ගුණයක බලයක් ඇති අවි ප්‍රමාණයක් ඉතිරිව තිබෙනු ඇත.
6 “සාගත . . . සිදුවෙනවා ඇත.” (මතෙව් 24:7; එළිදරව් 6:5, 6, 8) වර්ෂ 1914 පටන් අඩුම තරමින් විශාල සාගත 20ක්වත් හටගෙන ඇත. ඉතියෝපියාව, ඉන්දියාව, කාම්බෝජය, ග්‍රීසිය, චීනය, නයිජීරියාව, බංග්ලාදේශය, බුරුන්ඩි, රුවන්ඩාව, රුසියාව, සූඩානය හා සෝමාලියාව ගොදුරු වූ පෙදෙස්වලින් සමහරකි. නමුත්, සාගතයක් ඇති වන්නේ ආහාර හිඟයක් නිසාම නොවෙයි. “මෑත දශක පුරා ලෝකයේ ආහාර සැපයුම ජනගහන වර්ධන වේගයටත් වඩා වැඩි වේගයකින් වර්ධනය වී ඇතැයි” කෘෂිකාර්මික විද්‍යාඥයන් හා ආර්ථික විද්‍යාඥයන් සමූහයක් නිගමනය කළේය. “එහෙත් අඩුම තරමින් මිලියන 800ක ජනකායක්වත් තවමත් දැඩි දිළිඳුකමෙන් පෙළෙන අතර, . . . දිගු කලක් පුරා පැවත තිබෙන දරුණු මන්දපෝෂණයෙන් ගොඩ ඒම සඳහා අවශ්‍ය වන්නාවූ අවම ආහාර ප්‍රමාණයවත් මෙම ආහාර අතිරික්තයෙන් මිල දී ගැනීමට ඔවුන්ට වත්කමක් නැත.” මීට සම්බන්ධ වෙනත් සිදුවීම්වලට දේශපාලන ඇඟිලිගැසීම් සම්බන්ධව පවතී. දහස් ගණන් හාමතෙන් සිටින අතරතුරේදී, ඔවුන් ජීවත් වන රටවල ආහාර විශාල ප්‍රමාණයක් අපනයනය කිරීම පිළිබඳ උදාහරණ දෙකක් ටොරොන්ටෝ සරසවියේ ආචාර්ය ඇබ්ඩෙල්ගැලීල් එල්මෙකි සඳහන් කරයි. ආණ්ඩු තම පුරවැසියන්ව පෝෂණය කරනවාට වඩා තම යුද්ධ කටයුතු නඩත්තු කිරීමට අවශ්‍ය විදේශීය මුදල් ප්‍රමාණය තර කරගැනීමට වැඩි උනන්දුවක් දක්වා ඇති බව පෙනෙන්ට තිබේ. ආචාර්ය එල්මෙකිගේ නිගමනය කුමක්ද? සාගත බොහෝදුරට “ඇති වන්නේ, බෙදාහැරීම හා ආණ්ඩුමය ප්‍රතිපත්ති යන කාරණා හසුරුවන ආකාරය අනුවයි.”
7. අදදින වසංගත සම්බන්ධව ඇති සාක්ෂි මොනවාද?
7 “වසංගත.” (ලූක් 21:11; එළිදරව් 6:8) වර්ෂ 1918-19 දක්වා පැවති ස්පාඤ්ඤ සෙම්ප්රතිශ්යාවෙන් බිලිගත් ජීවිත ප්‍රමාණය අඩුම තරමින් මිලියන 21කි. මහා වසංගතය (ඉංග්‍රීසියෙන්) යන්නෙහි ඒ. ඒ. හෝඅලිං මෙසේ ලියයි: “එතරම් කෙටි කාලයකින් එතරම් මිනිසුන් විශාල සංඛ්‍යාවක් බිලිගත් මරුවෙකු මගින් ලෝක ඉතිහාසය මීට පෙර මෙසේ තර්ජනයට ලක් වී නැත.” වසංගත තවමත් තර්ජනයක්ව පවතී. සෑම වර්ෂයකම පිළිකාව මගින් මිලියන පහක ජනකායක් මරුමුවට පත් වේ. පාචනය මිලියන තුනකටත් වඩා වැඩි බිළිඳුන් හා දරුවන් සංඛ්‍යාවක් බිලිගනී. එමෙන්ම ක්ෂය රෝගය මිලියන තුනක් ජීවිතක්ෂයට පත් කරයි. වර්ෂයකට අවුරුදු පහෙන් පහළ දරුවන් මිලියන 3.5ක් ශ්වසන ආසාදන, විශේෂයෙන් නියුමෝනියාව නිසා මරුමුවට පත් වේ. එමෙන්ම බිලියන 2.5ක තැතිගන්වන සංඛ්‍යාවක්, එනම් ලෝක ජනගහනයෙන් අඩක් පමණ, ජල හිඟය හෝ අපිරිසිදු ජලය හා දුර්වල සනීපාරක්ෂක ක්‍රම නිසා ඇති වන අසනීපවලින් පෙළෙයි. වෛද්‍ය විද්‍යාව අතින් මිනිසා කැපීපෙනෙන දස්කම් පා ඇතත්, වසංගත මුලිනුපුටා දැමීමට ඔහුට නොහැකියයි සිහිගන්වන ඒඩ්ස් රෝගය දිගටම තර්ජනයක්ව පවතී.
8. තමන් ‘මුදලට ප්‍රේමකරන්නන්’ බව මිනිසුන් ඔප්පු කරමින් සිටින්නේ කොහොමද?
8 ‘මනුෂ්‍යයෝ මුදලට ප්‍රේමකරන්නෝ වන්නෝය.’ (2 තිමෝති 3:2) ලෝකයේ සෑම රටකම වෙසෙන මිනිසුන්ට, ධනය රැස් කිරීම සඳහා සන්සිඳුවාලිය නොහැකි ආශාවක් ඇති බවයි පෙනෙන්ට තිබෙන්නේ. “සාර්ථකත්වය” බොහෝවිට මනින්නේ කෙනෙකුගේ වැටුපට අනුවයි. “සමර්ථකම,” කෙනෙකුට හිමි දේපොළට අනුවයි. “ද්‍රව්‍යවාදය අමෙරිකානු ජන සමාජයේ . . . මෙන්ම වෙනත් ප්‍රධාන වෙළඳපොළවලද ප්‍රබල බලවේගයක් ලෙස දිගටම පවතීවි” කියා ප්රචාරක ආයතනයක උප-සභාපතිනිය ප්‍රකාශ කළාය. ඔබ ජීවත් වන ප්රදේශයෙත් මෙය සිදු වනවාද?
9. දෙමාපියන්ට අකීකරු වීම ගැන කළ පුරෝකථනය සම්බන්ධයෙන් කුමක් කිව හැකිද?
9 ‘මවුපියන්ට අකීකරුවන්නෝය.’ (2 තිමෝති 3:2) දරුවන් බොහෝදෙනෙක් තමන්ට ගෞරව නොකරන බවත් අකීකරු වන බවත් දෙමාපියන්ට, ගුරුවරුන්ට හා වෙනත් අයට තම අද්දැකීම්වලින්ම වැටහී තිබේ. මේ යෞවනයන්ගෙන් සමහරෙක් මෙසේ ක්‍රියා කරන්නේ තම දෙමාපියන්ගේ නොහොබිනා හැසිරීමට ප්‍රතික්‍රියා කිරීමක් හෝ එය අනුකරණය කිරීමක් වශයෙනි. පාසැල, නීතිය, ආගම මෙන්ම දෙමාපියන් කෙරෙහි තැබූ විශ්වාසය හීන වී යන දරුවන්ගේ සංඛ්‍යාව එන්න එන්නම වැඩි වේ. ඊට අමතරව ඔවුන් ඒවාට විරුද්ධව කැරලිගසමින්ද සිටී. “ඔවුන් ප්‍රතිපත්තියක් හැටියට කිසිම දෙයකට ගෞරවයක් පෙන්වන්නේ නැතැයි” එක් අද්දැකීම් ලත් පාසැල් ගුරුවරයෙක් පවසයි. කෙසේවෙතත් දේවභයැති දරුවන් බොහෝදෙනෙකු ඔවුන්ගේ හැසිරීම අතින් ආදර්ශවත් වීම සතුටට කරුණකි.
10, 11. මිනිසුන් කෲර මෙන්ම ජන්ම ස්නේහයේ ඌනතාවකින් පෙළෙන බවට තිබෙන සාක්ෂි මොනවාද?
10 ‘කෲරයෝය.’ (2 තිමෝති 3:3) මෙහි “කෲරයෝ” ලෙස පරිවර්තනය කොට තිබෙන ග්‍රීක් වචනයේ අරුත වන්නේ ‘හීලෑ නැති, වනචාරි, මිනිස් අනුකම්පාවෙන් හා හැඟීමෙන් තොරවීම’ යන්නයි. අද පවතින ප්‍රචණ්ඩකාරිත්වයට වගකිව යුතු බොහෝදෙනෙකු සම්බන්ධයෙන් මෙය මොනතරම් සැබෑවක්ද! “ජීවිතය කොතරම් ඛේදනීයද, ලෙයින් නැහැවී තිබෙනවාද කියනවා නම්, දෛනික සිදුවීම් කියවන්න නම් ගල් හිතක් තිබෙන්න අවශ්‍යයි” කියා එක් කතුවැකියක පැවසේ. තම ක්‍රියාවලින් අත් වන ප්‍රතිවිපාක යෞවනයන් බොහෝදෙනෙකුට තේරුම් ගොස් නැති බව එක් නිවාසාරක්ෂක පොලිස් සාජන්ට්වරයෙක්ගේ සැලකිල්ලට භාජනය විය. ඔහු මෙසේ පැවසීය: “‘හෙට මොනව වුණත් කමක් නැහැ, මට ඕන දේ මම අදම ලබාගන්නවා’ කියන හැඟීමයි අද තියෙන්නේ.”
11 “ජන්ම ස්නේහය නැත්තෝව.” (2 තිමෝති 3:3) මෙම යෙදුම “සිත් පිත් නැති, අමානුෂික” යන අර්ථයෙන් යුත් ග්‍රීක් වචනයකින් පරිවර්තනය කොට ඇති අතර “පවුලට ඇති ජන්ම ස්නේහයේ ඌනතාවක්” ඉන් අඟවයි. (නව ගිවිසුම් දේවධර්මය පිළිබඳ නව ජාත්‍යන්තර ශබ්දකෝෂය, ඉංග්‍රීසියෙන්) ඔව්, ස්නේහයෙන් පිරී තිබිය යුතුම පරිසරය, එනම් නිවස තුළ එය බොහෝවිට දක්නට නැත. විවාහක කලත්‍රයන්ට, දරුවන්ට මෙන්ම වයසක දෙමාපියන්ට කරන අඩන්තේට්ටම් පිළිබඳ වාර්තා තැතිගන්වන ප්‍රමාණයක් පොදුවේ අසන්ට ලැබෙයි. එක් පර්යේෂණ කණ්ඩායමක් මෙසේ අදහස් දැක්වීය: “අතින් පහර දීමක් හෝ තල්ලු කිරීමක් නැත්නම් පිහියෙන් ඇනීමක් හෝ වෙඩි තැබීමක් යන ඕනෑම ප්‍රචණ්ඩකාරි ක්‍රියාවක් සමාජයේ වෙනත් කිසිම තැනකට වඩා වැඩි වශයෙන්ම සිදු වන්නේ පවුල් කවය තුළයි.”
12. ඇතැම් මිනිසුන් දේවභක්තියේ වේසය පමණක් දරන බව පැවසිය හැක්කේ ඇයි?
12 “දේවභක්තියේ වේසය දරන නුමුත්, එහි බලය එපාකළ අයව සිටින්නෝය.” (2 තිමෝති 3:5) ජීවිත හොඳ අතට හැරවීමේ බලයක් බයිබලයට ඇත. (එපීස 4:22-24) එහෙත්, අද තම ආගම තිරයක් වශයෙන් යොදාගන්නා බොහෝදෙනෙක්, එයට මුවාවී දෙවිව අසතුටු කරන්නාවූ අධර්මිෂ්ඨ ක්‍රියාවල යෙදෙති. ආගමික නායකයන් බොහෝ අවස්ථාවලදී, බොරුකීම, සොරකම, ලිංගික අනාචාරය යනාදියට ඉඩ දෙයි. ආගම් බොහොමයක් ප්‍රේමය ගැන දේශනා කළත්, යුද්ධයට අත හිත දෙයි. “උත්තරීතර මැවුම්කරුගේ නාමයෙන්, මිනිසුන් සෙසු ජනයාට විරුද්ධව ඉතා අශික්ෂිත වූ කුරිරුකම් සිදු කර ඇතැයි” ඉන්ඩියා ටුඩේ යන සඟරාවේ කතුවැකියක දක්නට තිබුණි. ඇත්තෙන්ම, මෑත කාලවල වැඩිම ජීවිත ප්‍රමාණයක් බිලිගත් ගැටුම් දෙක වන පළමු හා දෙවන ලෝක සංග්රාමයන් හටගත්තේ ක්‍රිස්තියානි ලෝකයේම රටවල් තුළයි.
13. පොළොව විනාශ වෙමින් තිබෙන බවට ඇති සාක්ෂි මොනවාද?
13 ‘පොළොව විනාශ කිරීම.’ (එළිදරව් 11:18) නොබෙල් ත්‍යාගලාභීන් 104දෙනෙකු ඇතුළු නන්දෙසින් පැමිණි විද්‍යාඥයන් 1,600දෙනෙකුට වැඩි සංඛ්‍යාවක්, සැලකිලිමත් විද්‍යාඥයන්ගේ සංගමය (UCS) මගින් ඉදිරිපත් කළ අනතුරු ඇඟවීමකට අනුග්‍රහ දැක්වීය. එහි මෙසේ පළ විය: “මනුෂ්‍යවර්ගයා හා ස්වභාවධර්මය එකිනෙකට ගැටෙන මාවතක ගමන් කරමින් සිටී . . . පවතින තර්ජන මඟහරවාගැනීමට තිබෙන ප්‍රස්තාව අහිමි වී යෑමට තව ඉතිරිව ඇත්තේ දශක කිහිපයක් පමණි.” ජීවිතයට තර්ජන කරන මිනිසාගේ ක්‍රියාවල ප්‍රතිඵලයක් හැටියට “ලෝකය කොතරම් විකෘති විය හැකිදැයි කිවහොත්, අපට හුරු පුරුදු ආකාරයට ජීවිතය පවත්වාගැනීම අසීරු කාර්යයක් වනු ඇති” බව වාර්තාවේ පවසා තිබුණි. ඕසෝන් ස්තරය විනාශ වීම, ජල දූෂණය, කැලෑ එළිපෙහෙළි කිරීම, පසේ සාරවත් බව නැති වී යෑම මෙන්ම සත්ව හා ශාක වර්ග බොහොමයක් වඳ වී යෑම වහාම අවධානයට ලක් විය යුතු ගැටලු වශයෙන් සඳහන් විය. “එකිනෙක මත රඳා පවතින ජීව දාමයට අප ඇඟිලි ගැසීමෙන් ඇති විය හැකි බලපෑම් පුළුල් ලෙස පැතිර යා හැකියි. අපට සුළු අවබෝධයක් ඇති ජෛව පද්ධතියේ බිඳවැටීමද මීට ඇතුළත් වේයයි” UCS පවසන්නට විය.
14. මතෙව් 24:14 අපේ කාලයේ ඉටු වෙමින් තිබෙන බව ඔබට ඔප්පු කළ හැක්කේ කොහොමද?
14 “රාජ්‍යයේ මේ ශුභාරංචිය . . . ලොව මුළුල්ලේ ප්‍රකාශකරනු ලබන්නේය.” (මතෙව් 24:14) රාජ්‍යයේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස, පොළොව පුරා දේශනා කරනු ලබන බව යේසුස් පුරෝකථනය කළේය. දිව්‍ය උපකාරය හා ආශීර්වාද ඇතුව, යෙහෝවාගේ සාක්ෂිකරුවන් මිලියන ගණනක් මෙම දේශනා කිරීමේ හා ගෝලයන් සෑදීමේ කර්තව්‍යය වෙනුවෙන් පැය බිලියන ගණනක් යොදවමින් සිටී. (මතෙව් 28:19, 20) ඔව්, ශුභාරංචිය ප්‍රකාශ නොකළොත්, තමන් ලේ වරදට හසු වන බව සාක්ෂිකරුවන් වටහාගෙන ඇත. (එසකියෙල් 3:18, 19) තවද දහස් ගණන් රාජ්‍ය පණිවුඩයට කෘතඥතාවෙන් ප්‍රතිචාරය දක්වා, සැබෑ ක්‍රිස්තියානීන්, එනම් යෙහෝවාගේ සාක්ෂිකරුවන් හැටියට ස්ථාවරයක් ගන්නවා දැකීමෙන් ඔවුන් ප්‍රීතියෙන් ඉපිලී යයි. යෙහෝවාට සේවය කිරීමටද එනයින් දෙවි පිළිබඳ දැනුම පතළ කිරීමටද හැකිවීම අමිල වූ වරප්රසාදයකි. එමෙන්ම රාජ්‍යයේ මේ ශුභාරංචිය ජනාවාස පොළොව මුළුල්ලේම දේශනා කරනු ලැබීමෙන් පසු, මෙම දුෂ්ට ක්රමයේ අන්තිමය පැමිණෙනු ඇත.
සාක්ෂිවලට ප්‍රතිචාරය දක්වන්න
15. දැන් පවතින දුෂ්ට ක්‍රමය අවසන් වීමට යන්නේ කොහොමද?
15 දැන් පවතින ක්‍රමය අවසන් වනු ඇත්තේ කෙසේද? බයිබලය “මහත් පීඩාවක්” ගැන පුරෝකථනය කරන අතර, මේ ලෝකයේ දේශපාලනික මාධ්‍යය මගින් බොරු ආගමේ ලෝක අධිරාජ්‍යය වන “මහා බබිලෝනිය” මත එල්ල කරන ප්‍රහාරයකින් එය ආරම්භ වේ. (මතෙව් 24:21; එළිදරව් 17:5, 16) මෙම කාලපරිච්ඡේදය තුළදී, ‘ඉර අඳුරු වී, සඳ එහි එළිය නොදෙනු ඇත. තාරකාවෝ අහසෙන් වැටී, අහසේ බලපරාක්‍රමද සෙලවෙනු ඇතැයි’ යේසුස් පැවසීය. (මතෙව් 24:29) අහසේ සැබෑ ආශ්චර්යවත් සිද්ධීන් මින් අදහස් විය හැකියි. කෙසේවෙතත්, ආගමික ලෝකයේ බැබළෙන ප්රදීපකයන්ගේ සැබෑ තත්වය හෙළි කර ඔවුන්ව සම්පූර්ණයෙන්ම තුරන් කරනු ඇත. ඊළඟට, යෙහෝවාගේ සෙනඟට මුළු වැරෙන්ම පහර දීම සඳහා “මාගොග් දේශයේ ගොග්” ලෙස හඳුන්වන ලද සාතන්, දූෂිත මිනිසුන්ව උපයෝගි කරගනු ඇත. නමුත් දෙවි තම සෙනඟගේ උපකාරයට පැමිණෙන නිසා, සාතන් සාර්ථක නොවනු ඇත. (එසකියෙල් 38:1, 2, 14-23) ‘මහත් පීඩාවේ’ උච්චාවස්ථාව වනු ඇත්තේ, “සර්වපරාක්‍රමවූ [දෙවිගේ] මහත් දවසේ යුද්ධය” වන අර්මගෙදොන්ය. එමගින් සාතන්ගේ භූමික සංවිධානයේ සෑම අංශුමාත්‍රයක්ම ඉවත් කර, බේරී ජීවත් වන මනුෂ්‍යවර්ගයා සඳහා නිමක් නැති ආශීර්වාද රැසකට මඟ විවෘත කරනු ඇත.—එළිදරව් 7:9, 14; 11:15; 16:14, 16; 21:3, 4.
16. අන්තිම දවස් සම්බන්ධයෙන් පුරෝකථනය කරන ලද අංගලක්ෂණ අපේ කාලයට අදාළ වන බව අපි දන්නේ කොහොමද?
16 අන්තිම දවස් විස්තර කරන්නාවූ අනාවැකිවල යම් අංගයන් තනිව ගත් කල, ඒවා ඉතිහාසයේ වෙනත් කාලපරිච්ඡේදයන්ටත් අදාළ වන්නා සේ දිස් විය හැකියි. නමුත් පුරෝකථනය කර ඇති සාක්ෂි සමූහයක් වශයෙන් ගත් කල, ඒවා අපේ දවසට යොමු දක්වයි. මෙය නිදසුනකින් මෙසේ දැක්විය හැකියි: එක් පුද්ගලයෙකුගේ ඇඟිලි සලකුණක ඇති රේඛා වෙනත් කිසිවෙකුට සමාන නොවන ආකාරයකින් පිහිටා ඇත. මේ හා සමානව, අන්තිම දවස්වලට ඊටම ආවේණික වූ සලකුණු හෝ සිදුවීම්වල රටාවක් ඇත. වෙනත් කිසිදු කාලපරිච්ඡේදයකට සම්බන්ධ කළ නොහැකි “ඇඟිලි සලකුණක්” මින් සෑදේ. දෙවිගේ ස්වර්ගික රාජ්‍යය දැන් පාලනය කරමින් තිබෙන බවට දක්වන බයිබලයේ ඇඟවීම් සමඟ සලකා බැලීමේදී, මේ ඇත්තෙන්ම අන්තිම දවස් බව නිගමනය කිරීම සඳහා මෙම සාක්ෂි කදිම පදනමක් සපයයි. එපමණක්ද නොව, දැන් පවතින දුෂ්ට ක්‍රමය ළඟදීම විනාශ වන බව පෙන්වන පැහැදිලි ශුද්ධ ලියවිලිමය සාක්ෂි ඇත.
17. මේවා අන්තිම දවස්යයි ඔප්පු කරන අප සතු දැනුම අපව පෙලඹවිය යුත්තේ කුමක් කිරීමටද?
17 මේවා අන්තිම දවස්යයි ඔප්පු කරන සාක්ෂිවලට ඔබ ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද? මෙය සලකා බලන්න: චණ්ඩ මාරුතයක් අප දෙසට වේගයෙන් ඇදෙමින් පවතී නම්, කිසිදු පැකිලීමකින් තොරව අප ඒ සඳහා ආරක්ෂක පියවර ගනු ඇත. එසේනම්, දැන් පවතින ක්‍රමයට සිදු වන දේ සම්බන්ධයෙන් බයිබලය පුරෝකථනය කර ඇති දේ අපව ක්‍රියාවට පෙලඹවිය යුතුයි. (මතෙව් 16:1-3) අප ජීවත් වන්නේ දැන් පවතින ක්රමයේ අන්තිම දවස්වල බව ප්‍රත්‍යක්ෂයි. දෙවිගේ අනුග්‍රහය ලබාගැනීම සඳහා අප කළ යුතු ඕනෑම සකස් කිරීමක් කිරීමට මෙය අපව පෙලඹවිය යුතුයි. (2 පේතෘස් 3:3, 4ආ, 10-12) ගැළවීමේ නියෝජිතයා තමා බව සඳහන් කරමින්, යේසුස් මෙම හදිසි දැන්වීම මෙසේ දැනුම් දෙයි: “ඒ දවස මලපතක් මෙන් හදිසියෙන් නුඹලා කෙරේ නොපැමිණෙන පිණිස, අධික කෑමෙන්ද බීමත් කමින්ද මේ ජීවිතයේ වෙහෙසින්ද නුඹලාගේ සිත් බර නොවන හැටියට බලාගන්න. මක්නිසාද ඒක මුළු පොළෝතලය පිට වසන්නාවූ සියල්ලන් කෙරෙහි එසේ පැමිණෙන්නේය. එබැවින් ඒ සිදුවන සියල්ලෙන් ජයගෙන ගැළවෙන පිණිසද මනුෂ්‍ය පුත්‍රයා ඉදිරියෙහි සිටින පිණිසද කන්නලව්කරමින්, සැම කාලයේදීම අවදිව හිඳින්න.”—ලූක් 21:34-36.
[පාදසටහන්වල]
a “පවතින ක්‍රමය” වෙනුවට සමහර බයිබල්වල “ලෝකය” යන වචනය භාවිත වේ. අයි·ඔන්ʹ නමැති ග්‍රීක් වචනය, “අසීමිත කාලාන්තරයක් පුරා දිව යන කාලපරිච්ඡේදයකට නැතහොත් යම් කාලපරිච්ඡේදයක් තුළ සිදු වන දෙයට අනුව සලකන කාලයට යොමු දක්වන” බව ඩබ්. ඊ. වයින්ගේ නව ගිවිසුමේ වචනවල විවරණාත්මක ශබ්දකෝෂයේ (ඉංග්‍රීසියෙන්) පැවසේ. හෙබ්‍රෙව් 1:2හි දකින්ට ලැබෙන අයි·ඕʹනීස් (බහුවචනය) හා සම්බන්ධ භාවිතය සාකච්ඡා කිරීමේදී, පාර්ක්හර්ස්ට්ගේ නව ගිවිසුමේ ග්‍රීක් සහ ඉංග්‍රීසි ශබ්දකෝෂයේ (17වන පිටුව) “පවතින ක්‍රමය” යන යෙදුම ඇතුළත් වේ. එබැවින් “පවතින ක්‍රමය” යන යෙදුම මුල් ග්‍රීක් පාඨයට අනුකූලයි.
ඔබේ දැනුම මැන බලන්න
ක්‍රිස්තුස්ගේ පාලනය ආරම්භයේදී පවතින ලෝක සිදුවීම් සම්බන්ධයෙන් බයිබලය පුරෝකථනය කළේ කුමක්ද?
අන්තිම දවස්වල අංගලක්ෂණ සමහරක් මොනවාද?
මේවා අන්තිම දවස් බව ඔබට ඒත්තුයන්නේ කුමක් නිසාද?
[102වන පිටුවේ කොටුව]
අන්තිම දවස්වල අංගලක්ෂණ සමහරක්
• පෙර නොවූ විරූ යුද්ධ කෝලාහල.—මතෙව් 24:7; එළිදරව් 6:4.
• සාගත.—මතෙව් 24:7; එළිදරව් 6:5, 6, 8.
• වසංගත.—ලූක් 21:11; එළිදරව් 6:8.
• වැඩි වන්නාවූ නොපනත්කම.—මතෙව් 24:12.
• පොළොව විනාශ කිරීම.—එළිදරව් 11:18.
• භූමිකම්පා.—මතෙව් 24:7.
• කටයුතු කිරීමට අසීරු වූ අර්බුදකාරි කාලවල්.—2 තිමෝති 3:1.
• මුදල්වලට ඇති අධික ආශාව.—2 තිමෝති 3:2.
• දෙමාපියන්ට අකීකරු වීම.—2 තිමෝති 3:2.
• ජන්ම ස්නේහයේ ඌනතාවක්.—2 තිමෝති 3:3.
• දෙවිට වඩා සැපසෙල්ලමට ප්‍රේම කිරීම.—2 තිමෝති 3:4.
• ආත්ම දමනයේ ඌනතාවක්.—2 තිමෝති 3:3.
• යහපතට ප්‍රේම නොකිරීම.—2 තිමෝති 3:3.
• අත ළඟම ඇති අන්තරාව ගණනකට නොගැනීම.—මතෙව් 24:39.
• සරදම් කරන අය විසින් අන්තිම දවස් පිළිබඳ සාක්ෂි ප්‍රතික්ෂේප කිරීම. —2 පේතෘස් 3:3, 4.
• දේවරාජ්‍යය පිළිබඳව ලෝක ව්‍යාප්තව දේශනා කිරීම.—මතෙව් 24:14.
[101වන පිටුවේ මුළු පිටුවේම පින්තූරය]