පරිච්ඡේදය 35
මහා බැබිලෝනියේ විනාශය
1. දේවදූතයා රතු පාට වන මෘගයාව විස්තර කරන්නේ කෙසේද? එළිදරව් පොතේ සංකේත තේරුම්ගන්න අවශ්‍ය වෙන්නේ කුමනාකාරයේ ප්‍රඥාවක්ද?
එළිදරව් 17:3හි සඳහන් රතු පාට වන මෘගයා ගැන තවත් විස්තර සපයමින් දේවදූතයා යොහන්ට මෙසේ කියනවා. “ප්‍රඥාවෙන් යුත් බුද්ධිය අවශ්‍ය වන්නේ මෙහිදීය. හිස් සතෙන් කඳු සතක් නියෝජනය වන්නේය. ස්ත්‍රිය ඒවා උඩ ඉඳගෙන සිටින්නීය. රජවරු සත්දෙනෙක්ද සිටිති: පස්දෙනෙක් වැටී ගියෝය. එක් කෙනෙක් දැන් සිටින්නේය. අනික් තැනැත්තා තවම ඇවිත් නැත. නමුත් ඔහු ආ කල, කෙටි කලක් සිටිය යුතුය.” (එළිදරව් 17:9, 10) දේවදූතයා මෙහිදී කතා කරන්නේ ඉහළින් එන ප්‍රඥාව ගැනයි. එළිදරව් පොතේ සඳහන් සංකේත තේරුම්ගත හැක්කේ ඒ ප්‍රඥාවෙන් පමණයි. (යාකොබ් 3:17) අප ජීවත් වන කාලය කොතරම් තීරණාත්මක එකක්ද කියා යොහන් පන්තිය සහ ඔවුන්ට එකතු වී සිටින වෙනත් බැටළුවන් තේරුම්ගෙන සිටින්නේ මෙම ප්‍රඥාව නිසයි. යෙහෝවා දෙවි ඉතා ළඟදීම ඉටු කරන විනිශ්චයන් ගැන මුළු හදින්ම අගය කිරීමටත් ඔහු කෙරෙහි ගරුබිය ඇති කරගැනීමටත් ඒ තුළින් ඔවුන්ට හැකියාව ලැබෙනවා. හිතෝපදේශ 9:10හි පවසන්නේ මෙසේයි. “ප්‍රඥාවේ පටන්ගැන්ම යනු යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇතිව සිටීමය. අවබෝධය යනු අතිශුද්ධ තැනැත්තා ගැන දැනගැනීමය.” දෙවි ලබා දෙන මෙම ප්‍රඥාවෙන් අපට වන මෘගයා ගැන හෙළි වෙන්නේ කුමක්ද?
2. රතු පාට වන මෘගයාගේ හිස් සතෙන් අදහස් වෙන්නේ කුමක්ද? ‘පස්දෙනෙක් වැටී ගියා හා එක් කෙනෙක් දැන් සිටිනවා’ කීමෙන් අදහස් වෙන්නේ කුමක්ද?
2 ඒ භයානක මෘගයාගේ හිස් සතෙන් “කඳු සතක්” හෙවත් “රජවරු සත්දෙනෙක්” නියෝජනය වෙනවා. බයිබලයේ මෙම යෙදුම් දෙකම භාවිත කරන්නේ යම් පාලනයන් විස්තර කිරීමටයි. (යෙරෙමියා 51:24, 25; දානියෙල් 2:34, 35, 44, 45) දෙවිගේ ජනයාට බලපෑම් කළ ලෝක අධිරාජ්‍යයන් හයක් ගැන බයිබලයේ සඳහන් වෙනවා. එනම් ඊජිප්තුව, ඇසිරියාව, බැබිලෝනිය, මේද-පර්සියාව, ග්‍රීසිය සහ රෝමයයි. යොහන් එළිදරව් පොත ලියන කාලයේදී ඒවායින් පහක්ම පහ වී ගොස් තිබුණා. ලෝක අධිරාජ්‍යයක් ලෙස පාලනය කරමින් සිටියේ රෝම අධිරාජ්‍යයයි. එමනිසා “පස්දෙනෙක් වැටී ගියෝය. එක් කෙනෙක් දැන් සිටින්නේය” කීමෙන් අදහස් කළේ එයයි. නමුත් තවම පැමිණ නැති “අනික් තැනැත්තා” ගැන කුමක් කිව හැකිද?
3. (අ) රෝම අධිරාජ්‍යය දෙකඩ වී ගියේ කෙසේද? (ආ) එහි බටහිර අධිරාජ්‍යයේ සිදු වුණේ කුමක්ද? (ඇ) අප ශුද්ධ රෝම අධිරාජ්‍යය සැලකිය යුත්තේ කෙසේද?
3 යොහන්ගේ කාලයෙන් පසුවත් රෝම අධිරාජ්‍යය සියවස් ගණනාවක් පුරා පැවතුණා වගේම එය තවත් ව්‍යාප්ත වුණා. ක්‍රිස්තු වර්ෂ 330දී කොන්ස්ටන්ටයින් නම් වූ රෝම අධිරාජ්‍යයා තම අගනුවර ලෙස රෝමය වෙනුවට බයිසැන්ටියම තෝරාගෙන එය කොන්ස්තන්තිනෝපල් ලෙස නම් කළා. ක්‍රිස්තු වර්ෂ 395දී රෝම අධිරාජ්‍යය නැඟෙනහිර සහ බටහිර වශයෙන් කොටස් දෙකකට බෙදුණා. ක්‍රිස්තු වර්ෂ 410දී විසිගොත්වරුන්ගේ රජ වූ ඇලරික් බටහිර අධිරාජ්‍යයේ අගනුවර වූ රෝමය අල්ලාගත්තා. විසිගොත්වරුන් කියන්නේ ඇරියස් නම් දාර්ශනිකයාගේ ‘ක්‍රිස්තියානි’ ලබ්ධිය ඇදහූ ජර්මන් ගෝත්රයකටයි. තමන් ක්‍රිස්තියානියයි කියාගත් ජර්මන් ගෝත්‍ර ස්පාඤ්ඤයත් රෝම අධිරාජ්‍යයට අයත්ව තිබූ උතුරු අප්‍රිකාවේ විශාල ප්රදේශයකුත් අල්ලාගත්තා. ඒ සියවස් කිහිපය තුළදී යුරෝපයේ බොහෝ වෙනස්කම් ඇති වුණා වගේම එහි පැවතුණේ නොසන්සුන්කාරී වාතාවරණයක්. රෝම අධිරාජ්‍යයට අයත්ව තිබූ බටහිර ප්‍රදේශවලින් කැපීපෙනෙන පාලකයන් කිහිපදෙනෙක් බිහි වුණා. උදාහරණයකට 9වන සියවසේදී තුන්වන ලියෝ පාප්වරයා සමඟ ගිවිසුමක් ඇති කරගත් ෂාලිමේන් සහ 13වන සියවසේ පාලනය කළ දෙවන ෆ්රෙඩ්රික් වැනි අයව සඳහන් කළ හැකියි. ඔවුන්ගේ පාලනය යටතේ තිබුණු ප්‍රදේශයට ශුද්ධ රෝම අධිරාජ්‍යය යන නම දී තිබුණත් කලින් පැවති රෝම අධිරාජ්‍යයට වඩා ඒවා කුඩා රාජ්‍යයන් වුණා. ඒවා අලුත් අධිරාජ්‍යයන් ලෙස නොව පුරාණ රෝම අධිරාජ්‍යයම ඉදිරියට ගෙන යෑමක් ලෙස සැලකිය හැකියි.
4. නැඟෙනහිර අධිරාජ්‍යය ලැබූ ජයග්‍රහණ මොනවාද? පුරාණ රෝම අධිරාජ්‍යයට අයත්ව තිබූ උතුරු අප්‍රිකාවේ, ස්පාඤ්ඤයේ හා සිරියාවේ බොහෝ ප්‍රදේශවලට සිදු වුණේ කුමක්ද?
4 බටහිර අධිරාජ්‍යය සමඟ එතරම් හොඳ සබඳතාවක් නොපැවැත්වූ නැඟෙනහිර අධිරාජ්‍යය කොන්ස්තන්තිනෝපල් නුවර එහි අගනුවර ලෙස තබාගෙන සෑහෙන කාලයක් පැවතුණා. හයවන සියවසේදී එහි පාලනය කළ පළමුවන ජස්ටිනියන් අධිරාජ්‍යයා උතුරු අප්‍රිකාවේ ප්‍රදේශ බොහොමයක් නැවත අල්ලාගත්තා. ඔහු ස්පාඤ්ඤයේ සහ ඉතාලියේ යම් ප්‍රදේශ පවා අල්ලාගත්තා. සත්වන සියවසේදී දෙවන ජස්ටිනියන් අධිරාජ්‍යයා ස්ලාවික් ගෝත්‍රිකයන් විසින් මැසිඩෝනියාවේ අල්ලාගෙන තිබූ ඇතැම් ප්‍රදේශ නැවත හිමි කරගත්තා. නමුත් අටවන සියවස වෙද්දී පුරාණ රෝම අධිරාජ්‍යයට අයත්ව තිබූ උතුරු අප්‍රිකාවේ, ස්පාඤ්ඤයේ හා සිරියාවේ ප්‍රදේශ බොහොමයක් රෝමයේ නැඟෙනහිර හා බටහිර අධිරාජ්‍යය දෙකටම අහිමි වී අලුත් ඉස්ලාම් අධිරාජ්‍යය අතට පත් වුණා.
5. රෝම නුවර ක්‍රි.ව. 410දී පරාජය වුණත් රෝම අධිරාජ්‍යය සම්පූර්ණයෙන්ම පහ වී යෑමට තවත් බොහෝ සියවස් ගණනාවක් ගත වුණා කියා පැවසිය හැක්කේ ඇයි?
5 නමුත් කොන්ස්තන්තිනෝපල් නුවර නම් මීට වඩා වැඩි කලක් ඔවුන් යටතේ පැවතුණා. එම නුවර පර්සියානු, අරාබි, බල්ගේරියානු, රුසියානු ආදි ආක්රමණිකයන්ගේ ප්රහාරයන්ට නිතරම ලක් වුණා. අන්තිමේදී ක්‍රි.ව. 1203දී එය යටත් කරගත්තේ මුස්ලිම් ජාතිකයන් නොව බටහිරින් පැමිණි කුරුස යුද්ධ හමුදාවනුයි. නමුත් 1453දී එම නුවර මුස්ලිම් ජාතික දෙවන මුහම්මද් නම් ඔටෝමන් පාලකයා අතට පත් වූ අතර එය තුර්කි ඔටෝමන් අධිරාජ්‍යයේ අගනුවර බවට පත් වුණා. මේ අනුව රෝම නුවර ක්‍රි.ව. 410දී අල්ලාගත්තත් රෝම අධිරාජ්‍යය සම්පූර්ණයෙන්ම පහ වී යෑමට තවත් බොහෝ සියවස් ගණනාවක් ගත වූ ආකාරය අපට පැහැදිලි වෙනවා. නමුත් වතිකානුව සහ නැඟෙනහිර ඕතඩොක්ස් සභාව තුළින් එහි බලපෑම තවත් කාලයක් පැවතුණා. එයට හේතුව යම් ආගමික මුහුණුවරක් ගත් බොහෝ අධිරාජ්‍යයන් බිහි වුණේ ඒවායේ අනුග්‍රහය මත නිසයි.
6. අලුතෙන්ම බිහි වුණේ මොන අධිරාජ්‍යයන්ද? බලවත්ම අධිරාජ්‍යය බවට පත් වුණේ කුමන එකද?
6 නමුත් 15වන සියවස වන විට ඇතැම් රටවල අලුත් අධිරාජ්‍යයන් බිහි වෙන්න පටන්ගත්තා. මෙම අලුත් අධිරාජ්‍යයන් කිහිපයක්ම රෝමයේ යටත්විජිතයන් ලෙස පැවති ප්‍රදේශවල පිහිටා තිබුණත් ඒවා කලින් පැවති රෝම අධිරාජ්‍යයම ඉදිරියට ගෙන යෑමක් ලෙස සලකන්න බැහැ. පෘතුගාලය, ස්පාඤ්ඤය, ප්‍රංශය සහ ඕලන්දය ඉතා පුළුල් ප්‍රදේශවලට හිමිකම් කියන අධිරාජ්‍යයන් බවට පත් වුණා. නමුත් බලවත්ම අධිරාජ්‍යය බවට පත් වුණේ බ්‍රිතාන්‍යයි. ඇත්තටම එය හැඳින්වූයේ “හිරු නොබසින අධිරාජ්‍යය” ලෙසයි. ඒ අධිරාජ්‍යයට ඉතා විශාල ප්‍රදේශයක් හිමි වී තිබුණා. එයට උතුරු අමෙරිකාව, අප්‍රිකාව, ඉන්දියාව, අග්නිදිග ආසියාව සහ දකුණු පැසිෆික් සාගරයේ රටවල් ගණනාවක්ම අයත් වුණා.
7. පාලන දෙකක් එකට ක්‍රියා කරන ලෝක අධිරාජ්‍යයක් බිහි වෙන්න පටන්ගත්තේ කෙසේද? යොහන් පැවසුවේ හත්වන “හිස” එනම් හත්වන ලෝක අධිරාජ්‍යය කොපමණ කලක් පවතින බවද?
7 බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යටතේ උතුරු අමෙරිකාවේ පැවති යටත්විජිත කිහිපයක්ම 19වන සියවසේදී නිදහස් වීමේ ප්‍රතිඵලයක් ලෙස අමෙරිකා එක්සත් ජනපදය බිහි වුණා. එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය අතර යම් කාලයක් පුරා ගැටුම් තිබුණත් පළමු ලෝක මහා යුද්ධයෙන් පසු තමන්ට ඇත්තේ එක හා සමාන පරමාර්ථ බව පිළිගන්න මෙම රටවල් දෙකටම සිදු වුණා. එයින් හටගත් විශේෂ බැඳීම හේතුවෙන් මෙම පාලන දෙකම එකට ක්‍රියා කරන ලෝක අධිරාජ්‍යයක් බවට පත් වෙන්න පටන්ගත්තා. එයට අයත් වුණේ දැනට ලෝකයේ ධනවත්ම රට වන අමෙරිකා එක්සත් ජනපදය සහ ලෝකයේ විශාලම අධිරාජ්‍යයට හිමිකම් කියූ මහා බ්‍රිතාන්‍යයයි. අවසාන කාලයේදී පවතින හත්වන “හිස” එනම් හත්වන ලෝක අධිරාජ්‍යය මෙයයි. නවීන දින යෙහෝවාගේ සාක්ෂිකරුවන් තම වැඩ කටයුතු ආරම්භ කළේ මෙම අධිරාජ්‍යය යටතේ පවතින රටවලයි. හයවන හිසේ දිගු පාලනය හා සසඳද්දී මෙම සත්වන හිස පවතින්නේ ‘කෙටි කලකට’ පමණයි. ඉන් අනතුරුව දේවරාජ්‍යය පැමිණ සියලුම පාලන විනාශ කරනවා.
අටවන රජෙක් කියා පවසන්නේ ඇයි?
8, 9. දේවදූතයා රතු පාට වන මෘගයාව හඳුන්වන්නේ කවුරුන් ලෙසද? එය හත්දෙනාගෙන් පැවත එනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?
8 දේවදූතයා තවදුරටත් යොහන්ට මෙසේ පැහැදිලි කරනවා. “තවද, කලින් සිටි නමුත් දැන් නැති වන මෘගයාත් රජෙක්ය. එනම් අටවෙනියාය. එනමුත් ඌ හත්දෙනාගෙන් පැවත එන්නේය. ඌ විනාශයට යන්නේය.” (එළිදරව් 17:11) රතු පාට වන මෘගයා, හිස් සතක් ඇති මුල් වන මෘගයාගේ ‘රූපයක්’ බව ඔබට මතක ඇති. මෙහිදී එය ‘පැවත එන්නේ’ ඒ වන මෘගයාගේ හිස් සතෙන් බව සඳහන් වෙනවා. එයින් අදහස් කරන්නේ ‘මුහුදෙන් මතු වූ’ ලෝකයේ සියලුම දේශපාලන ක්‍රම නියෝජනය කරන ඒ මුල් ‘වන මෘගයාගේ’ හිස් සත ආධාරයෙන් එය බිහි වන බවයි. මෙය සිදු වුණේ කෙසේද? මීට පෙර පැවති අධිරාජ්‍යය හයම පහ වී ගොස් තිබුණු නිසා 1919දී මුලින් සිටි වන මෘගයාගේ හිස් සතෙන් බලයේ සිටියේ හත්වන හිසයි. එනම් එංගලන්ත-අමෙරිකානු ලෝක අධිරාජ්‍යයයි. ජාතීන්ගේ සංගමය පිහිටුවීමට මුල් වුණෙත් දැනට පවතින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැවැත්මට හා එයට මුදල් අතින් දායක වීමට මුල් වෙන්නෙත් මෙම සත්වන හිසයි. රතු පාට වන මෘගයා එනම් අටවන රජු හිස් සතෙන් ‘පැවත එනවා’ කියා පැවසිය හැක්කේ එමනිසයි. අප කලින් දුටු දර්ශනයකින් මෙම කාරණය තවත් පැහැදිලි වෙනවා. එනම් මුලින් සිටි වන මෘගයාගේ රූපයක් සාදන ලෙස බලපෑම් කළ හා එයට ජීවනය දුන් බැටළු පැටවෙකුට සමාන අං දෙකක් ඇති වන මෘගයා (මුලින් සිටි වන මෘගයාගේ සත්වන හිස වන එංගලන්ත-අමෙරිකානු ලෝක අධිරාජ්‍යය) පිළිබඳ දර්ශනයයි. —එළිදරව් 13:1, 11, 14, 15.
9 මීට අමතරව ජාතීන්ගේ සංගමයේ මුල් සාමාජිකයන් අතර කලින් පැවති හිස් හයේ පාලනවල යම් නියෝජනයක් තිබුණා. ග්‍රීසිය, ඉරානය (පර්සියාව) සහ ඉතාලිය (රෝමය) මීට කෙළින්ම සම්බන්ධ වී සිටි අතර කලින් ලෝක අධිරාජ්‍යයන් ලෙස පැවති ප්‍රදේශ කිහිපයක් මහා බ්‍රිතාන්‍යය යටතේ පැවතුණු නිසා ඒවාත් ජාතීන්ගේ සංගමය බිහි කිරීමට යම් ආකාරයකින් දායක වුණා කියා පැවසිය හැකියි. කල් යත්ම කලින් ලෝක අධිරාජ්‍යයන් ලෙස පැවති ප්‍රදේශ හය පාලනය කළ ආණ්ඩු වන මෘගයාගේ රූපයට දායක වන සාමාජිකයන් බවට පත් වුණා. මෙම රතු පාට වන මෘගයා ලෝක අධිරාජ්‍ය සතෙන් එනම් හිස් සතෙන් පැවත එනවා කියා පැවසීමට මෙයත් හේතුවක් වෙනවා.
10. (අ) රතු පාට වන මෘගයා ‘අටවෙනි රජෙක්’ කියා පැවසිය හැක්කේ ඇයි? (ආ) කලින් සෝවියට් සංගමයේ නායකයෙක් එක්සත් ජාතීන්ගේ සංවිධානයට තම සහයෝගය පළ කළේ කෙසේද?
10 මෙහිදී රතු පාට වන මෘගයා ‘අටවෙනි රජෙක්’ ලෙස හඳුන්වන බව සඳහන් කළ යුතුයි. එසේ පවසන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි කර තිබෙන්නේ ලෝක ආණ්ඩුවක් ලෙස ක්‍රියා කිරීමට වන නිසයි. ඇතැම් අවස්ථාවලදී එය ක්‍රියා කර තිබෙන්නෙත් එයාකාරයටයි. උදාහරණයක් හැටියට කොරියාවේ, සීනයි අර්ධද්වීපයේ, සමහර අප්‍රිකානු රටවල සහ ලෙබනනයේ ඇති වූ ගැටලු විසඳීමට මෙම සංවිධානය තම හමුදා යවා තිබෙනවා. නමුත් එය රජ කෙනෙකුගේ රූපයක් පමණයි. එයින් අදහස් කරන්නේ එය බිහි කළ හෝ ඊට නමස්කාර කරන අය එයට යම් බලයක් ආරූඪ කරනවා මිසක් එයට සැබෑ බලයක් නැති බවයි. එය හරියටම විවිධ ආගම්වල භාවිත කරන රූප හා සමානයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය විවිධ මත ගැටුම් නිසා ඉතා දුර්වල වී ඇති අවස්ථා නොතිබුණාම නෙවෙයි. නමුත් මීට කලින් ඒකාධිපති පාලකයන්ගේ ක්‍රියාකාරකම් නිසා ජාතීන්ගේ සංගමය විසුරුවාහැර ‘අගාධයට’ ගියා හා සමාන දෙයක් මෙයට සිදු වී නැහැ. (එළිදරව් 17:8) උදාහරණයකට කලින් සෝවියට් සංගමය බොහෝ කාරණා සම්බන්ධයෙන් අනිකුත් සාමාජික රටවල් සමඟ විවිධ මත ගැටුම් ඇති කරගත්තත්, 1987දී එහි හිටපු ඉතා ප්‍රසිද්ධ නායකයෙක් රෝමයේ පාප්වරුන් සමඟ එක්සත් ජාතීන්ගේ සංවිධානයට තම සහයෝගය පළ කරන බව පැවසුවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානත්වයෙන් “ලොව පුරා සාමය හා සුරක්ෂිතභාවය ඇති කිරීමට යම් සැලැස්මක්” දියත් කරන ලෙසත් ඔහු යෝජනා කළා. නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානයට සිදු වෙන්නේ කුමක්ද? යොහන්ට පසුව දැනගන්න ලැබෙන පරිදි විශේෂ බලතල ඇතුව එය ක්‍රියා කරන කාලයක් පැමිණෙනවා. එය “විනාශයට යන්නේ” ඉන්පසුවයි.
එක පැයකට රජවරුන් දසදෙනෙක්
11. යෙහෝවා දෙවිගේ දූතයා, රතු පාට වන මෘගයාට තිබෙන අං දසය ගැන කියන්නේ කුමක්ද?
11 හයවන සහ සත්වන දේවදූතයන් දෙවිගේ කෝපයෙන් පිරුණු බඳුන් වත් කළ ආකාරය ගැන අපි එළිදරව් පොතේ කලින් පරිච්ඡේදයෙන් දැනගත්තා. එහිදී පොළොවේ රජවරුන් දෙවිගේ මහත් දවසේ යුද්ධය සඳහා එක් රැස් වන බවත් ‘මහා බැබිලෝනිය දෙවි ඉදිරියෙහි සිහි කරනු ලබන’ බවත් අපට දන්වනු ලැබුවා. (එළිදරව් 16:1, 14, 19) මෙම සියලුම පාර්ශ්වයන් පිට දෙවිගේ විනිශ්චයන් ඉටු කරන ආකාරය ගැන අපට දැන් තවත් තොරතුරු ලැබෙනවා. යෙහෝවා දෙවිගේ දූතයා යොහන්ට මෙසේ පවසනවා. “ඔබ දුටු අං දසයෙන්, තවමත් රාජ්‍යයක් නොලැබූ රජවරුන් දසදෙනෙකු නියෝජනය වන්නේය. එහෙත් වන මෘගයා සමඟ එක පැයකට රජවරුන් ලෙස පාලනය කිරීමට අධිකාරිය ඔවුන්ට ලැබෙනවා ඇත. ඔවුන්ට ඇත්තේ එකම අදහසක් නිසා, ඔවුහු තමුන්ගේ බලයත් අධිකාරියත් වන මෘගයාට දෙන්නෝය. මොවුන් බැටළු පැටවාට විරුද්ධව යුද්ධ කරනවා ඇත. නමුත් බැටළු පැටවා, ස්වාමිවරුන්ගේ ස්වාමියා වන නිසාත්, රජවරුන්ගේ රජු වන නිසාත්, ඔහු ඔවුන්ව පරාජය කරනු ඇත. ඔහු සමඟ සිටින කැඳවාගත්තාවූ, තෝරාගත්තාවූ, විශ්වාසවන්ත වූ අයත් ඔවුන්ව පරාජය කරනු ඇත.”—එළිදරව් 17:12-14.
12. (අ) අං දසයෙන් නියෝජනය වෙන්නේ කුමක්ද? (ආ) මෙම අං දසයට කලින් රාජ්‍යයක් නොතිබුණේ කෙසේද? (ඇ) අං දසයට දැන් “රාජ්‍යයක්” තිබෙන්නේ කෙසේද? කොපමණ කලකටද?
12 අං දසයෙන් නියෝජනය වෙන්නේ වර්තමාන ලෝකයේ යම් බලතල හොබවමින් වන මෘගයාගේ රූපයට අත හිත දෙමින් නමස්කාර කරන සියලුම පාලන ක්‍රමයි. නමුත් ඒවායින් බොහොමයක් ගැන යොහන්ගේ කාලයේ කවුරුත් දැනගෙන සිටියේ නැහැ. ඒ වගේම යොහන්ගේ කාලයේ මිනිසුන් දැනගෙන සිටි සමහරක් රටවල එනම් ඊජිප්තුව සහ පර්සියාව (ඉරානය) වැනි රටවල වුණත් පැවතුණේ අද පවතින පාලන ක්‍රමයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් පාලනයක්. එසේනම් ක්‍රි.ව. පළමු සියවසේදී දැන් පවතින පාලන ක්‍රම තිබුණේ නැති නිසා ‘අං දසයට තවම රාජ්‍යයක් නොතිබුණා’ කියා පැවසිය හැකියි. නමුත් ස්වාමීන්ගේ දවසේදී එනම් වර්තමානයේ ඒවාට “රාජ්‍යයක්” එනම් දේශපාලනික බලතල ලැබී තිබෙනවා. විශේෂයෙන්ම දෙවන ලෝක මහා යුද්ධයෙන් පසු විවිධ රටවල යටත්විජිතයන් ලෙස පැවති බොහෝ ප්‍රදේශවලට නිදහස ලැබී තිබෙන නිසා අලුත් රටවල් බොහොමයක් බිහි වී තිබෙනවා. දිගු කලක් පුරා පැවත ඇති රටවල් සමඟ මෙම අලුත් රටවල් රතු පාට වන මෘගයා සමඟ එකතු වී “එක පැයකට” එනම් කෙටි කාලයකට පාලනය කරනවා. යෙහෝවා දෙවි මෙම දුෂ්ට ලෝකය පිට ගෙනෙන විනාශයේදී මෙම සියලුම පාලන ක්‍රම විනාශ කරන්නේ ඉන් අනතුරුවයි.
13. අං දසයට “එකම අදහසක්” තිබෙනවා කීමෙන් අදහස් වෙන්නේ කුමක්ද? එමනිසා ඔවුන් බැටළු පැටවා ගැන දරන්නේ කුමන ආකල්පයක්ද?
13 මෙම අං දසය ප්රබලව මෙහෙයවනු ලබන්නේ ජාත්‍යාලය මාර්ගයෙනුයි. ඔවුන්ට ඇත්තේ “එකම අදහසක්” පමණයි. එනම් දේවරාජ්‍යය පිළිගන්නවා වෙනුවට තම තමුන්ගේ රට රාජ්‍යවල ස්වාධිපත්‍යය ආරක්ෂා කරගැනීමයි. මෙම අං දසය මුලින්ම ජාතීන්ගේ සංගමයට සහයෝගය දැක්වූයෙත්, ඉන්පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානයට දිගටම සහයෝගය දක්වන්නෙත් එම අරමුණ ඇතිවයි. ලෝකයේ යම් සාමයක් පවත්වාගත හැකි වුණොත් ඔවුන්ගේ රට රාජ්‍යවල පැවැත්මත් ආරක්ෂා කරගත හැකි වෙනවා. ඔවුන් තුළ මෙවැනි ආකල්පයක් දක්නට ලැබෙන නිසා ඔවුන් බැටළු පැටවා එනම් ‘ස්වාමිවරුන්ගේ ස්වාමියා හා රජවරුන්ගේ රජු’ වන යේසුස්ට විරුද්ධව සිටිනවා. එයට හේතුව යෙහෝවා දෙවිගේ අරමුණට එකඟව ඔවුන්ගේ පාලන රාශිය එනම් ලෝකයේ පවතින සියලුම පාලන වෙනුවට යේසුස් ක්‍රිස්තුස්ගේ රාජ්‍යය මෙම පොළොවේ පාලනය භාරගන්නා නිසයි.—දානියෙල් 7:13, 14; මතෙව් 24:30; 25:31-33, 46.
14. මේ ලෝකයේ පාලකයන් බැටළු පැටවාට විරුද්ධව යුද්ධ කරනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? මෙහි ප්‍රතිඵලය කුමක්ද?
14 යේසුස් දැන් ස්වර්ගයේ රජකම් කරන නිසා මේ ලෝකයේ පාලකයන්ට ඔහුට විරුද්ධව කළ හැකි කිසිවක් නැහැ. නමුත් යේසුස්ගේ අභිෂේක ලත් සහෝදරයන්ගේ ඉතිරි අය තවමත් මේ පොළොවේ සිටිනවා. පාලකයන්ට ඔවුන්ව පෙනෙන්නේ කිසි ආරක්ෂාවක් නැති පිරිසක් වගෙයි. (එළිදරව් 12:17) දැනටමත් මෙම අංවලින් වැඩි හරියක්ම මෙම අභිෂේක ලත් අයට විරුද්ධව දැඩි වෛරයක් පෙන්වා තිබෙනවා. ඔවුන් බැටළු පැටවා සමඟ යුද්ධ කරන්නේ ඒ ආකාරයෙනුයි. (මතෙව් 25:40, 45) නමුත් ඉතා ළඟදීම දෙවිගේ රාජ්‍යය “මේ සියලු රාජ්‍යයන් කැබලි කොට නාස්ති කර දමන” කාලය පැමිණෙනවා. (දානියෙල් 2:44) එවිට මේ ලෝකයේ ජාතීන් පරාජය වන තෙක් බැටළු පැටවා සමඟ සටන් කරනවා. ඒ ගැන තවත් විස්තර පසුව සඳහන් වෙනවා. (එළිදරව් 19:11-21) නමුත් අපට දැන් පැහැදිලි වෙන්නේ ජාතීන් මොනවා කළත් ඔවුන් සාර්ථක නොවන බවයි. ඔවුන්ට හා රතු පාට වන මෘගයාට (එක්සත් ජාතීන්ගේ සංවිධානයට) “එක අදහසක්” තිබුණත් ඔවුන්ට ශ්‍රේෂ්ඨ ‘ස්වාමිවරුන්ගේ ස්වාමියා හා රජවරුන්ගේ රජු’ වන යේසුස් ක්‍රිස්තුස්ව පරාජය කරන්න බැහැ. ඒ වගේම පොළොවේ තවමත් සිටින අභිෂේක ලත් අය ඇතුළුව “ඔහු සමඟ සිටින කැඳවාගත්තාවූ තෝරාගත්තාවූ විශ්වාසවන්ත වූ” අයවද පරාජය කරන්නත් ඔවුන්ට බැහැ. පොළොවේ සිටින මේ අයත් සාතන්ගේ සියලුම චෝදනා බොරු බව ඔප්පු කරමින් අවසානය දක්වා විශ්වාසවන්තව සිටීමෙන් ජයගන්නවා නිසැකයි.—රෝම 8:37-39; එළිදරව් 12:10, 11.
ගණිකාවගේ විනාශය
15. දේවදූතයා ගණිකාව ගැනත් අං දසය හා වන මෘගයා ඇයට විරුද්ධව දරන ආකල්පය හා ක්‍රියා කරන ආකාරය ගැනත් පවසන්නේ කුමක්ද?
15 අං දසය වෛර කරන්නේ දෙවිගේ සේවකයන්ට පමණක් නෙවෙයි. දේවදූතයා දැන් නැවතත් යොහන්ගේ අවධානය ගණිකාව වෙතට යොමු කරමින් මෙසේ කියනවා. “තවද, ඔහු මට මෙසේ කියන්නේය: ‘ගණිකාව ඉඳගෙන සිටින තැන ඔබ දුටු ජල ධාරාවලින්, ජනයන්ද සමූහයන්ද ජාතීන්ද භාෂාද නියෝජනය වන්නේය. ඔබ දුටු අං දසය හා වන මෘගයා ගණිකාවට වෛර වී, ඇයව පාළු කර, නිර්වස්ත්‍ර කර, ඇගේ මාංසමය කොටස් කා දමා, ඇයව සම්පූර්ණයෙන්ම ගින්නෙන් දවනවා ඇත.’”—එළිදරව් 17:15, 16.
16. ලෝකයේ පාලන මහා බැබිලෝනියට පහර දෙන විට ඇගේ ජල ධාරාවලින් පිහිටක් ඇයට නොලැබෙන්නේ ඇයි?
16 පුරාණ බැබිලෝනිය ආරක්ෂාව සඳහා එය වටා තිබූ ජල මාර්ග මත රඳා සිටියා සේම මහා බැබිලෝනියත් “ජනයන්ද සමූහයන්ද ජාතීන්ද භාෂාද” ඇතුළත් ඇගේ විශාල සාමාජික පිරිස මත රඳා සිටිනවා. ඒ ගැන සඳහන් කිරීමෙන් පසු දේවදූතයා ඉතා කම්පිත කරවන සිද්ධියක් අපගේ අවධානයට යොමු කරයි. එනම් මේ පොළොවේ සියලු පාලන මහා බැබිලෝනියට පහර දීමයි. එවිට මෙම ‘ජනයාගෙන්ද සමූහයාගෙන්ද ජාතීන්ගෙන්ද භාෂාවන්ගෙන්ද’ ඇයට පිහිටක් ලැබෙයිද? සංකේතවත් යුප්‍රටීස් ගඟේ වතුර හිඳෙන බව දැනුත් දෙවිගේ සේවකයන් මහා බැබිලෝනියට අනතුරු අඟවමිනුයි සිටින්නේ. (එළිදරව් 16:12) මෙම ජල ධාරා අන්තිමේදී සම්පූර්ණයෙන්ම සිඳී යනවා. ඉන් අදහස් කරන්නේ ඒ මහත් ගණිකාව තම විනාශය අබියස අසරණව සිටින මොහොතේදී ඇයට කිසිම ආකාරයකින් පිහිට වෙන්න ඔවුන්ට හැකියාවක් ලැබෙන්නේ නැති බවයි.—යෙසායා 44:27; යෙරෙමියා 50:38; 51:36, 37.
17. (අ) මහා බැබිලෝනිය සතු ධනයට ඇයව ගලවාගැනීමට නොහැකි වෙන්නේ ඇයි? (ආ) මහා බැබිලෝනියේ අවසානය ඉතා නින්දාසහගත එකක් වෙන්නේ ඇයි? (ඇ) අං දසයට අමතරව මහා බැබිලෝනියේ විනාශයට හවුල් වෙන්නේ කවුද?
17 මහා බැබිලෝනියට විශාල ධන සම්භාරයක් තිබුණත් එයින් පවා ඇයට ගැලවීමක් සලසාගන්න බැරි වෙනවා. ඇත්තටම ඇගේ විනාශය තවත් වේගවත් කිරීමට එය හේතුවක් විය හැකියි. දර්ශනයේ විස්තරයට අනුව වන මෘගයා සහ අං දසය ඇයට විරුද්ධව තම වෛරය ප්‍රකාශ කරන විට ඇගේ රාජකීය ඇඳුම් සහ සියලු ආභරණ ගලවා දමනවා. මින් අදහස් වෙන්නේ ඔවුන් ඇගේ ධනය අනිවාර්යයෙන්ම කොල්ලකන බවයි. ඔවුන් ‘ඇයව නිර්වස්ත්‍ර කරනවා’ කියද්දී ඇගේ සැබෑ නින්දාසහගත තත්වය සියලුදෙනාටම හෙළි කරන බව අදහස් කරනවා. ඇයට අත් වෙන්නේ ඉතා දරුණු විනාශයක්. ඒ වගේම ඇගේ අවසානයත් ඉතා නින්දාසහගත එකක්. ඔවුන් ඇයව විනාශ කර, “ඇගේ මාංසමය කොටස් කා දමා” ඉතිරි කරන්නේ ඇගේ ඇට කටු පමණයි. අන්තිමේදී ‘ඇයව සම්පූර්ණයෙන්ම ගින්නෙන් දවා දමන්නේ’ වසංගතයක් බෝ කරන මළ කුණක් සේ සලකායි. කිසිම ආකාරයක නම්බුකාර භූමදානයක් නම් ඇයට ලැබෙන්නේ නැහැ! මෙම මහත් ගණිකාවගේ විනාශයට හවුල් වෙන්නේ අං දසය එනම් ලෝකයේ පවතින විවිධ පාලනයන් පමණක් නෙවෙයි. “වන මෘගයා” ඒ කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා එයට හවුල් වෙනවා. එයින් අදහස් වෙන්නේ අසත්‍යය උගන්වන සියලුම ආගම් අතුගා දැමීමට මෙම සංවිධානයත් තම අනුමැතිය ලබා දෙන බවයි. දැනටමත් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත්ව සිටින සාමාජික රටවල් 190කට වැඩි ගණන සැසිවාර පවත්වද්දී ඔවුන් අතරින් වැඩිදෙනෙක් ආගම්වලට විශේෂයෙන් ක්‍රිස්තියානියයි කියාගන්නා ආගම්වලට විරුද්ධව ඔවුන්ට ඇති වෛරය තම ඡන්දය ප්‍රකාශ කරන ආකාරය තුළින් හෙළි කර තිබෙනවා.
18. (අ) ලෝකයේ පාලන ක්‍රම දැන් පවා බැබිලෝනියේ ආභාසය ඇති ආගම් ගැන දරන්නේ මොන වගේ ආකල්පයක්ද? (ආ) මහා බැබිලෝනියට එරෙහිව මහා පරිමාණයෙන් එල්ල කරන මෙම ප්‍රහාරයට හේතුව කුමක්ද?
18 තමන් කලින් පෙම් කළ මෙම ගණිකාවට විරුද්ධව මේ ලෝකයේ ජාතීන් මෙතරම් දරුණු ලෙස ක්‍රියා කරන්නේ ඇයි? ලෝකයේ පාලන ක්‍රමවලට දැන් පවා බැබිලෝනිය ආභාසයක් ඇති ආගම් ගැන හොඳ ආකල්පයක් නැති බව මෑත කාලයේදී පෙනී ගොස් තිබෙනවා. උදාහරණයකට කලින් සෝවියට් සංගමය හා චීනය වැනි රටවල එතෙක් ආගම්වලින් ඇති කර තිබූ බලපෑම බොහෝ සෙයින් සීමා කිරීමට රජය මගින් යම් පියවර ගෙන තිබෙනවා. රෙපරමාදු ආගම් ඇති යුරෝපා රටවල පවා ජනතාව ආගම කෙරෙහි දක්වන උදාසීනකම නිසා පල්ලි හිස් වී තිබෙනවා. මිනිසුන් ආගමක් අදහන්නේ නැති තරම්. කතෝලික ආගම අධිරාජ්‍යයක් මෙන් පැතිර ඇති රටවලත් කැරලි කෝලහල හා මතභේද පවතිනවා. ආගමික නායකයන් මොනවා කළත් ජනයාව මැඩපවත්වන්න ඔවුන්ට බැරි වී තිබෙනවා. නමුත් මහා බැබිලෝනියට එරෙහිව මහා පරිමාණයෙන් එල්ල වන ප්‍රහාරයට හේතුව යෙහෝවා දෙවිගේ නොවෙනස් වන විනිශ්චය ඇයට නියම වී ඇති නිසා බව අප අමතක නොකළ යුතුයි.
දෙවිගේ අදහස ඉටු වන අයුරු
19. (අ) යෙහෝවා දෙවි මහා ගණිකාවට විරුද්ධව තම විනිශ්චය ඉටු කරන ආකාරය තේරුම්ගැනීමට ක්‍රි.පූ. 607දී යෙරුසලමට සිදු වූ විනාශය උපකාරවත් වෙන්නේ කෙසේද? (ආ) යෙරුසලම විනාශ වී ජනශුන්‍ය වූ ආකාරය මගින් පෙන්නුම් කරන්නේ කුමක්ද?
19 යෙහෝවා දෙවි මෙම විනිශ්චය ඉටු කරන්නේ කෙසේද? අතීතයේදී යෙහෝවා දෙවි තමාගෙන් ඈත් වූ තම ජනයාට එරෙහිව පියවර ගත් ආකාරයෙන් එය පැහැදිලි වෙනවා. ඔවුන් ගැන දෙවි කිව්වේ මෙසේයි. “යෙරුසලමේ අනාගතවක්තෲන් අතරෙහිත් භයානක දෙයක් දුටිමි. ඔවුහු කාමමිථ්‍යාචාරය කරති. බොරුවෙන් හැසිරෙති. කිසිවෙක් තමාගේ දුෂ්ටකමින් නොහැරෙන හැටියට ඔවුහු නපුරුකම් කරන්නන්ගේ අත් සවි කරති. ඔවුහු සියල්ලෝම මට සොදොම් මෙන්ද එහි වැසියෝ ගොමෝරා මෙන්ද වී සිටිති.” (යෙරෙමියා 23:14) ක්‍රිස්තු පූර්ව 607දී යෙහෝවා දෙවි එම පව්කාර නගරයේ ‘ඇඳුම් මුදා, ලස්සන ආභරණ පැහැරගෙන, නිර්වස්ත්‍රද නග්නද කර අත්හැරීමට’ නෙබුකද්නෙෂර් මාර්ගයෙන් පියවර ගත්තා. (එසකියෙල් 23:4, 26, 29) දෙවිගෙන් මෙසේ ඈත් වූ යෙරුසලම ක්‍රිස්තියානියයි කියාගන්නා ආගම්වලට කදිම සංකේතයක්. යොහන් කලින් දර්ශනවල දුටු ආකාරයට යෙහෝවා දෙවි ක්‍රිස්තියානියයි කියාගන්නා ආගම්වලට හා අසත්‍යය උගන්වන අනිකුත් ආගම්වලට ඒ හා සමාන දඬුවමක් ලබා දෙනවා. ක්‍රිස්තු පූර්ව 607න් පසු යෙරුසලම විනාශ වී ජනශුන්‍ය වූ ආකාරය මගින් පෙන්නුම් කරන්නේ ක්‍රිස්තියානියයි කියාගන්නා ආගම්වලින් ඇගේ ධනය උදුරාගෙන ඇගේ නින්දාසහගත තත්වය හෙළි කරන විට ඇයට අත් වන ඉරණම මොන තරම්ද කියයි. මහා බැබිලෝනියට අයත් ඉතිරි ආගම්වලටත් ඒ හා සමාන ඉරණමක් අත් වෙනවා.
20. (අ) යෙහෝවා දෙවි තම විනිශ්චය ක්‍රියාත්මක කිරීමට නැවතත් මිනිස් පාලකයන්ව යොදාගන්නා බව යොහන් පෙන්වන්නේ කෙසේද? (ආ) දෙවිගේ “අදහස” කුමක්ද? (ඇ) ජාතීන් “තමුන්ගේම අදහස” ඉටු කරගන්නේ කෙසේද? නමුත් ඔවුන් ඇත්තටම ඉටු කරන්නේ කාගේ අදහසද?
20 යෙහෝවා දෙවි නැවතත් තම විනිශ්චය ක්‍රියාත්මක කිරීම සඳහා යොදාගන්නේ පාලකයන්වයි. “මන්ද දෙවි, තමාගේ අදහස ඉටු කරන පිණිස ඔවුන්ගේ සිත් තුළට එම අදහස දැම්මේය. එනම්, දෙවිගේ වචන ඉටු වන තුරු, ඔවුන් තමුන්ගේ රාජ්‍යය වන මෘගයාට දීමෙන් තමුන්ගේම අදහස ඉටු කරගන්නා පිණිස ඔහු ඔවුන්ගේ සිත් තුළට එම අදහස දැම්මේය.” (එළිදරව් 17:17) දෙවිගේ “අදහස” කුමක්ද? මහා බැබිලෝනියේ සම්පූර්ණ විනාශය සිදු කරන අයව ඒ සඳහා එකතු කිරීමයි. මෙලෙස එකතු වන ලෝකයේ පාලකයන් මහා බැබිලෝනිය විනාශ කරන්නේ “තමුන්ගේම අදහස” ඉටු කරගැනීමටයි. ඔවුන් මහා බැබිලෝනියට පහර දෙන්නේ ඔවුන්ගේම රට ජාතියේ යහපත වෙනුවෙන් කියා ඔවුන් සිතනවා. ඒ මේ ආගම් දිගටම පැවතීම තම රටට හා ජාතියට තර්ජනයක් බව ඔවුන් සිතන නිසයි. නමුත් ඇත්තටම මේ සියල්ල පිටුපස සිටින්නේ යෙහෝවා දෙවියි. ඒ නිසා බොහෝ කලක් පුරා පැවත ඇති මෙම ගණිකාවට පහර දෙද්දී ඔවුන් ඇත්තටම ඉටු කරන්නේ දෙවිගේ අදහසයි.—යෙරෙමියා 7:8-11, 34ද බලන්න.
21. මහා බැබිලෝනිය විනාශ කිරීමට රතු පාට වන මෘගයාව යොදාගන්නා නිසා ලෝකයේ ජාතීන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලබා දෙන්නේ මොන බලතලද?
21 මේ ලෝකයේ ජාතීන් මහා බැබිලෝනිය විනාශ කිරීමට රතු පාට වන මෘගයා එනම් එක්සත් ජාතීන්ගේ සංවිධානය යොදාගන්නවා. ‘ඔවුන් තමුන්ගේ රාජ්‍යය වන මෘගයාට දීමෙන් තමුන්ගේම අදහස ඉටු කරගත්තත්’ මෙය ඔවුන්ගේම අදහසක් නෙවෙයි. ඒ අදහස ඔවුන් තුළට දමන්නේ යෙහෝවා දෙවියි. ඒ කාලය පැමිණෙන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බලය තහවුරු කළ යුතු බව මේ ලෝකයේ ජාතීන් දකිනවා. එමනිසා ඒ සංවිධානයට වැඩි බලතල ලැබෙයි. ප්‍රතිඵලයක් ලෙස ඒ බලතලවලින් අසත්‍යය උගන්වන සියලුම ආගම්වලට විරුද්ධව සටන් කර එය විනාශ කිරීමට එය සමත් වෙනවා. ‘දෙවිගේ වචන ඉටු වෙන්නේ’ එවිටයි. මෙතෙක් කාලයක් පැවති මෙම ගණිකාව සදහටම මෙලෙස විනාශ කිරීම මොන තරම් සතුටට හේතුවක්ද!
22. (අ) එළිදරව් 17:18හි ඇති දේවදූතයාගේ අවසන් වචනවලින් කාවද්දන්නේ කුමක්ද? (ආ) මෙම අභිරහස හෙළි කිරීම ගැන යෙහෝවාගේ සාක්ෂිකරුවන් ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද?
22 ලොව පුරා අධිරාජ්‍යයක් හා සමානව පැතිර ඇති අසත්‍යය උගන්වන සියලු ආගම් පිට යෙහෝවා දෙවි ගෙනෙන විනිශ්චය අනිවාර්යයෙන් ඉටු වන බව කාවැද්දීමට දේවදූතයා දැන් මෙසේ පවසනවා. “ඔබ දුටු ස්ත්‍රියගෙන්, පොළොවේ රජවරුන්ව පාලනය කරන මහත් නුවර නියෝජනය වන්නේය.” (එළිදරව් 17:18) බෙල්ෂසර් රජුගේ කාලයේ බැබිලෝනිය නුවරට සිදු වුණාක් මෙන් මහා බැබිලෝනියත් ‘තරාදියෙන් කිරා මැන බලා කිසිසේත් සුදුසු නැති බව පෙනී ගොස්’ තිබෙනවා. (දානියෙල් 5:27, NW) ඇයට ඉතා හදිසි මෙන්ම පූර්ණ විනාශයක් ලැබෙනවා. මහා ගණිකාව සහ රතු පාට වන මෘගයා පිළිබඳ මෙම අභිරහස හෙළි කිරීම සම්බන්ධයෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද? ඔවුන් ඉතා උද්යෝගයෙන් දෙවිගේ මහත් විනිශ්චය ගැන දැනුම් දෙන අතර ඔවුන් තම කතාව හැමවිටම “ප්‍රසන්නව” තබාගනිමින් සත්‍යය සොයන අවංක අයට උපකාර කරනවා. (කොලොස්සි 4:5, 6; එළිදරව් 17:3, 7) මහා ගණිකාවගේ මෙම මහත් විනාශයට ගොදුරු නොවී සිටින්න කැමති සියලුදෙනාම වහාම පියවර ගත යුතුයි. ඒ කාරණය මීළඟ පරිච්ඡේදයේ පැහැදිලි කර තිබෙනවා.
[252වන පිටුවේ පින්තූර]
ලෝක අධිරාජ්‍යයන් සත
ඊජිප්තුව
ඇසිරියාව
බැබිලෝනිය
මේද-පර්සියාව
ග්‍රීසිය
රෝමය
එංගලන්ත-අමෙරිකාව
[254වන පිටුවේ පින්තූර]
‘එය අටවෙනි රජෙක් වෙයි’
[255වන පිටුවේ පින්තූරය]
බැටළු පැටවාට විරුද්ධ වෙමින් ‘ඔවුන් තම බලයත්, අධිකාරියත් වන මෘගයාට දෙනවා’
[257වන පිටුවේ පින්තූරය]
මහා බැබිලෝනියේ ප්‍රධාන කොටස හැටියට පවතින ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලිවල තත්වය, පුරාණ යෙරුසලමේ තත්වයට සමාන වෙනවා