පොත ආරක්ෂා වුණේ කොහොමද?
ඉපැරණි ලියවිලිවලට ස්වාභාවික සතුරෝ හිටියා—ඒ ගින්න, තෙතමනය සහ පුස් වැනි දේවල්. බයිබලය එවැනි උපද්‍රවවලින් නිදහස් වුණේ නැහැ. එය ලෝකයේ වැඩියෙන්ම ලබාගත හැකි පොත බවට පත්වීම සඳහා කාලයා විසින් කළ හානි දරාගැනීමේදී තැබූ වාර්තාව, පුරාණ ලියවිලි අතර කැපීපෙනෙනවා. එම ඉතිහාසය කෙරෙහි මතුපිට උනන්දුවකට වඩා උනන්දුවක් දැක්වීම සුදුසුයි.
බයිබල් ලේඛකයෝ ඔවුන්ගේ වචන ගල්වල කෙටුවේවත් කල්පවතින මැටි පුවරුවල ලිව්වේවත් නැහැ. පෙනෙන විදිහට ඔවුන් ඔවුන්ගේ වචන ලියනු ලැබුවේ දිරාපත් වන ද්‍රව්‍යවලයි—පැපිරස් (ඊජිප්තුවේ ඇති එම නමින්ම යුත් පැළෑටියක්) සහ පාච්මන්ට් (සාදාගන්නේ සත්ව හම්වලින්).
මුල් ලියවිලිවලට මොකද වුණේ? ඒවා සමහරවිට බොහෝ කාලයකට කලින් දිරාපත් වුණා; වැඩිහරියක් දිරාපත් වුණේ පුරාණ ඉශ්රායෙල්හිදීයි. විශාරද ඔස්කා පාරෙට් මෙහෙම පැහැදිලි කරනවා: “මේ ලිවීමට ගත් මාධ්‍යයන් දෙකම [පැපිරස් සහ හම්] තෙතමනයෙන්, පුස්වලින් සහ විවිධ වර්ගයේ ඉහඳ පණුවන්ගෙන් එක හා සමානව ප්‍රබල ආකාරයකින් අවදානමට ලක් වෙනවා. දිනපතා අද්දැකීමෙන් අපි දන්නවා කඩදාසි වගේම ශක්තිමත් හම් පවා, වාතයට නිරාවරණය කළොත් හෝ තෙතමනය ඇති කාමරයක තැබුවොත් කොතරම් පහසුවෙන් නාස්ති වෙනවාද කියලා.”1
මුල් පිටපත් තවදුරටත් නැත්නම්, බයිබල් ලේඛකයන්ගේ ලියවිලි අද දවස දක්වා රැකුණේ කොහොමද?
සුපරීක්ෂාකාරි පිටපත්කරන්නන් විසින් ආරක්ෂා කළා
මුල් පිටපත් ලියා අවසන් වූ වහාම, අත්පිටපත් නිපදවීම ඇරඹුණා. ශුද්ධ ලියවිලි පිටපත් කිරීම ඇත්තෙන්ම පුරාණ ඉශ්රායෙල්හි වෘත්තියක් වුණා. (එස්රා 7:6; ගීතාවලිය 45:1) කෙසේවෙතත්, පිටපත් වාර්තා කළෙත් දිරාපත් වන ද්රව්යවලමයි. අවසානයේදී, මේවා වෙනුවට වෙනත් අතින් ලියූ පිටපත් සකස් කරන්න සිදු වුණා. මුල් පිටපත් දසුනෙන් ඉකුත් වී ගිය විට මෙම පිටපත් අනාගත අත්පිටපත් සඳහා පදනම බවට පත් වුණා. ඒ පිටපත්, පිටපත් කිරීම සියවස් ගණනාවක් පුරා ක්‍රියාත්මක වූ වැඩපිළිවෙළක් වුණා. සියවස් ගණනාවක් පුරා ලියන්නන් සිදු කළ දෝෂ බයිබලයේ ඇති පාඨය ප්‍රබල ලෙස වෙනස් කළාද? සාක්ෂි කියනවා නැහැ කියලා.
වෘත්තීය ලියන්නෝ බොහොම කැප වූ අයව සිටියා. ඔවුන් පිටපත් කළ වචන ගැන ඔවුන්ට ගැඹුරු ගෞරවයක් තිබුණා. ඒ වගේම ඔවුන් බොහොම සුපරීක්ෂාකාරිත් වුණා. “ලියන්නා” කියන එකට හෙබ්‍රෙව් වචනය නම් සෝ·ෆ’ යන්නයි; එය යොමු දක්වන්නේ ගණන් කිරීම සහ වාර්තා කිරීම යන්නටයි. ලියන්නන්ගේ නිරවද්‍යතාව නිදර්ශනය කරන්න, මැසරිට්වරුන්ව සලකා බලන්න.a ඔවුන් ගැන විශාරද ටොමස් හාට්වෙල් හෝන් මෙහෙම පැහැදිලි කරනවා: “පංච පුස්තකයේ [බයිබලයේ මුල් පොත් පහ] මැද අකුර, සෑම පොතකම මැද වගන්තිය සහ හෙබ්‍රෙව් ලියවිල්ලේ [හෙබ්‍රෙව්] හෝඩියේ එක් එක් අකුර කී වතාවක් සඳහන් වෙනවාද කියල ඔවුන් . . . ගණනය කළා.”3
තවදුරටත්, නිපුණ පිටපත්කරුවෝ හරස් පරීක්ෂණ කිරීමට ක්‍රම කිහිපයක් යොදාගත්තා. බයිබල් පාඨයෙන් එක අකුරක්වත් ලිස්සා යෑම වළක්වන්න, පිටපත් කළ වචන ගණන් කරනවාට වඩා, අකුරු ගණන් කිරීමට තරම් ඔවුන් දුරදිග ගියා. මේ සඳහා වැය වන වෙහෙස මහන්සිය සලකා බලන්න: වාර්තා වන විදිහට ඔවුන් හෙබ්‍රෙව් ලියවිල්ලේ අකුරු 8,15,140ක් ඇති බවට ගණන් කළා!4 එවන් උත්සාහවන්ත වෑයමක් නිරවද්‍යතාවේ ඉහළ මට්ටමක් සහතික කරනවා.
කෙසේවෙතත්, පිටපත්කරන්නෝ නොවරදිනසුලු අය වුණේ නැහැ. සියවස් ගණනාවක් යළි පිටපත් කෙරුවත්, විශ්වාසකටයුතු තත්වයකින් බයිබල් පාඨය ආරක්ෂා වුණා කියල කියන්න යම් සාක්ෂි තියෙනවාද?
නිසැකකම සඳහා ස්ථිරසාර පදනමක්
අපගේ දවස දක්වා බයිබලය නිවැරදි විදිහට ඇවිල්ලා තියෙනවා කියලා විශ්වාස කිරීමට හොඳ හේතු තියෙනවා. මෙයට සාක්ෂි වශයෙන් දැනට පවතින අතින් ලියූ පිටපත් ගන්න පුළුවන්; ඇස්තමේන්තුවලට අනුව හෙබ්‍රෙව් ලියවිල්ලේ සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් පිටපත් 6,000ක් පමණද, ග්රීක්වලින් ලියන ලද ක්‍රිස්තියානි ලියවිලිවල 5,000ක් පමණද තියෙනවා. මේවා අතර ඇති 1947දී සොයාගත් හෙබ්‍රෙව් ලියවිල්ලේ අත්පිටපතක් ශුද්ධ ලියවිල්ල පිටපත් කිරීම කොපමණ නිවැරදිද කියන එකට හොඳ ආදර්ශයක් සපයනවා. එය, “නූතන කාලවල සොයාගත් විශිෂ්ටතම අත්පිටපත් සොයාගැනීම” නම් විරුදාවලිය ලබාගෙන තියෙනවා.5
එම අවුරුද්දේ මුල් භාගයේදී, තමාගේ රැළ බලාගනිමින් සිටි තරුණ බෙඩුවින් ජාතික එඬේරෙක් මළ මුහුද ආසන්නයේ පිහිටි ගුහාවක් සොයාගත්තා. එහිදී ඔහු මැටි භාජන කිහිපයක් සොයාගත් අතර, ඉන් බොහොමයක් හිස් ඒවායි. කෙසේවෙතත්, තද කර වසා තිබූ ඉන් එක භාජනයක් ඇතුළේ තිබී හණ රෙද්දෙන් බොහොම පරෙස්සමින් ඔතා තිබුණු හම් අකුළන පොතක් ඔහු සොයාගත්තා. එහි තිබුණේ, යෙසායාගේ සම්පූර්ණ බයිබල් පොතයි. ගෙවීගොස් තිබුණත් හොඳින් ආරක්ෂා වී තිබුණු මේ අකුළන පොත අලුත්වැඩියා කළ ලකුණු පෙනෙන්න තිබුණා. තමාගේ අතේ තියෙන ඒ පුරාණ අකුළන පොතට, පසුකාලයේදී ලෝක ව්‍යාප්ත අවධානයක් ලැබෙන බව එම තරුණ එඬේරා දැනගෙන හිටියේ නැහැ.
මේ විශේෂ අත්පිටපතේ එපමණ විශිෂ්ටත්වය මොකක්ද? වර්ෂ 1947 වෙනකොට සම්පූර්ණ හෙබ්‍රෙව් අත්පිටපත ලෙස තිබුණු ඉපැරණිම එක පො.යු. දහවන සියවස දක්වා ආපස්සට ගියා. ඒත් මේ අකුළන පොත, පො.යු.පෙ. දෙවන සියවස දක්වා ඈතට දිව ගියා.b—ඒ කියන්නේ, ඊට අවුරුදු දාහකටත් එහාට.c මෙම පිටපත ඊට පසුව කළ අත්පිටපත් එක්ක සැසඳෙන්නේ කොහොමද කියල බලන්න විශාරදයන් ඉතා උනන්දුවෙන් සිටියා.
එක් අධ්‍යයනයකදී, විශාරදයෝ යෙසායාගේ මළ මුහුදේ ලියවිල්ලේ 53වන පරිච්ඡේදය, ඉන් වසර දාහකට පසුව නිම වුණු මැසරෙටික් පාඨය සමඟ සැසඳුවා. අ’ ජෙනරල් ඉන්ට්‍රඩක්ෂන් ටු ද බයිබල් (බයිබලයට සාමාන්‍ය හැඳින්වීමක්) නමැති පොතේ, අධ්‍යයනයේ ප්‍රතිඵල මෙහෙම පැහැදිලි කළා: “යෙසායා 53වන පරිච්ඡේදයේ තියෙන වචන 166න්, ප්‍රශ්නයකට තියෙන්නේ අකුරු දාහතක් විතරයි. ඉන් අකුරු දහයක් නිකම් අක්ෂර වින්‍යාසයේ වෙනස්වීම් මිසක් එය අදහසට බලපාන්නේ නැහැ. අනිත් අකුරු හතර සන්ධි කිරීමේදී සිදු වූ සුළු ශෛලීය වෙනස්කම්. ඉතිරි අකුරු තුන 11වන වගන්තියට ඇතුල් වී ඇති ‘ආලෝකය’ කියන වචනය තුළ ගැබ් වී තියෙනවා. නමුත් මෙය අදහසට තදින් බලපාන්නේ නැහැ. . . . මේ අනුව, වචන 166ක් අඩංගු එක් පරිච්ඡේදයක් අවුරුදු දාහක් පුරා විකාශනය වෙලත් ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ, එක වචනයක් (අකුරු 3ක්) විතරයි—ඇරත් ඒ වචනය එම කොටසේ අදහසට සැලකිය යුතු වෙනසක් කරන්නේ නැහැ.”7
මෙම අකුළන පොත් සම්බන්ධයෙන් අවුරුදු ගණනාවක් වැඩ කරල තියෙන මහාචාර්ය මිල’ බ’රෝස්, ඒවා විශ්ලේෂණය කර සමාන නිගමනයකට ආවා: “යෙසායා පිටපත සහ මැසරෙටික් පාඨ අතර ඇති . . . බොහෝ වෙනස්කම් පිටපත් කිරීමේ දෝෂ කියා කියන්න පුළුවන්. ඒ හැර, සමස්තයක් වශයෙන් ගත්තම ඒක මධ්‍යකාලීන යුගයේ අත්පිටපත් එක්ක විශිෂ්ට ලෙස පෑහෙනවා. එච්චර පරණ අත්පිටපතක, එවැනි පෑහීමක්, සම්ප්රදායක පාඨයේ සාමාන්‍ය නිරවද්‍යතාව සහතික කිරීම ගැන බිය සැක දුරු කරන සාක්ෂියක් සපයනවා.”8
“බිය සැක දුරු කරන සාක්ෂියක්” ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිල්ල පිටපත් කිරීම ගැනත් දෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට, 19වන සියවසේදී සොයාගත් පො.යු. හතරවන සියවසට දාතම යොදා ඇති සයිනයටික’ස් සංග්‍රහය නම් හම් අත්පිටපත සියවස් ගණනාවකට පසුව නිමැවූ ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිල්ලේ අත්පිටපත්වල නිරවද්‍යතාව තහවුරු කිරීමට ඉවහල් වුණා. යොහන්ගේ සුවිශේෂයේ පැපිරස් කැබැල්ලක් ඊජිප්තුවේ ෆේයුම් දිස්ත්‍රික්කයේදී සොයාගත්තා. එය ලියා තිබුණේ, දෙවන සියවසේ මුල් කාලයේදී, එනම් මුල් පිටපත ලියා අවුරුදු 50කට වඩා අඩු කාලයක් ගත වූවාට පසුවයි. එය සියවස් ගණනාවක් පුරා වියළි වැලි අතරේ සුරැකී තිබුණා. එම පාඨය ඊටත් වඩා සෑහෙන අලුත් අත්පිටපත්වලින් සොයාගත් දේවල් එක්ක පෑහුණා.9
මේ අනුව සාක්ෂි තහවුරු කරන්නේ, පිටපත්කරුවෝ ඇත්තෙන්ම, ඉතා නිවැරදි බවයි. කෙසේවෙතත්, ඔවුන් අතින් දෝෂ සිදු වුණා. යෙසායාගේ මළ මුහුදේ අකුළන ලියවිල්ල තියා කිසිම අත්පිටපතක් දෝෂ රහිත තත්වයක නැහැ. එසේ වුණත්, මුල් ලිපිවලින් එවැනි අඩුලුහුඬුකම් සොයා නිවැරදි කරගන්න විශාරදයන්ට හැකි වෙලා තියෙනවා.
පිටපත්කරන්නන්ගේ වැරදි නිවැරදි කිරීම
දිග ලිපියක් අතෙන් පිටපත් කරන්න කියල 100දෙනෙකුට කිව්වා කියල හිතන්න. අඩුම ගානෙ පිටපත්කරුවන් කිහිපදෙනෙකුවත් දෝෂ ඇති කරන බවට කිසිම සැකයක් නැහැ. කෙසේවෙතත්, හැමකෙනාම එකම වරද කරන්නේ නැහැ. ඔබ පිටපත් 100ම අරගෙන එකිනෙක බොහොම පරෙස්සමින් සසඳා බැලුවොත්, ඔබ මුල් ලියවිල්ල දැකල නැති වුණත්, හරියටම මුල් පිටපතේ නියම ස්වභාවය මොකක්ද කියලා නිශ්චය කරන්නත්, වැරදි මොනවාද කියල හඳුනාගන්නත් හැකි වෙනවා.
ඒ හා සමානව, බයිබල් පිටපත්කරන්නොත් එකම වරද සිදු කළේ නැහැ. ඇත්තටම බයිබල් අත්පිටපත් දහස් ගණනක් සන්සන්දනාත්මක විශ්ලේෂණය සඳහා ඇති අතර, පාඨ විශාරදයන්ට දෝෂ හඳුනාගෙන, මුල් පිටපත නිශ්චය කර, අවශ්‍ය නිවැරදි කිරීම් සටහන් කරගැනීමට පුළුවන් වෙලා තියෙනවා. එවැනි පරෙස්සමින් කරන අධ්‍යයනයක ප්‍රතිඵලයක් වශයෙන් පාඨ විශාරදයන් මුල් භාෂාවලින් ලියවිල්ලක් නිමවලා තියෙනවා. හෙබ්‍රෙව් සහ ග්‍රීක් පාඨයන්වල පිරිපහදු කරන ලද මෙම සංස්කරණ, මුල් එක වශයෙන් සාමාන්‍යයෙන් පිළිගනු ලබන වචන යොදාගන්න අතර, ඇතැම් පිටපත්වල තිබිය හැකි වෙනස්කම් හෝ විකල්ප යෙදුම් බොහෝවිට පාදසටහන්වල දක්වා තියෙනවා. පාඨ විශාරදයන් විසින් පිරිපහදු කළ සංස්කරණම තමයි, බයිබල් පරිවර්තකයන් නූතන භාෂාවලට බයිබලය පරිවර්තනය කිරීම සඳහා යොදාගන්නේ.
ඉතිං ඔබ බයිබලයේ නූතන පරිවර්තනයක් ගත්තොත්, නිසැක වෙන්න ඔබට හැම හේතුවක්ම තියෙනවා. මොකද ඒකට පදනම් වෙලා තියෙන හෙබ්‍රෙව් සහ ග්‍රීක් පාඨ, මුල් බයිබල් ලේඛකයන්ගේ වචනවල විශ්වාසවන්තභාවය ඉතා හොඳින් නියෝජනය කරන නිසයි.d වසර දහස් ගණනක් පුරා බයිබලය මිනිස් අතින් පිටපත් වී ආරක්ෂා වීමේ වාර්තාව ඇත්තෙන්ම හරිම පුදුමාකාරයි. බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ දිගු කාලීන අධ්‍යක්ෂකවරයෙක් වූ ශ්‍රීමත් ෆ්රෙඩ්රික් කෙන්යන්ට මෙහෙම කියන්න පුළුවන් වුණා: “බයිබල් පාඨයේ අඩංගු දේ නිශ්චිත බව අවිවාදයෙන්ම ප්‍රකාශ කරන්න පුළුවන් . . . ලෝකයේ තියෙන වෙන කිසිම පැරණි පොතක් ගැන මෙහෙම කියන්න බැහැ.”10
[පාදසටහන්වල]
a මැසරිට්වරු (තේරුම නම්, “සම්ප්රදායේ නිපුණයෝ” යන්නයි) පො.යු. හය සහ දහය අතර සියවස්වල ජීවත් වූ හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවල පිටපත් කරන්නන්. ඔවුන් නිපදවූ අත්පිටපත් මැසරෙටික් පාඨයන් ලෙස යොමු දක්වා තියෙනවා.2
b පො.යු.පෙ. කියන්නේ, “පොදු යුගයට පෙර” යන්නයි. පො.යු. කියා අඟවන්නේ, “පොදු යුගය” වන අතර, බොහෝවිට එය ක්‍රි.ව. කියා හඳුන්වනවා. එහි තේරුම නම්, ක්‍රිස්තු වර්ෂ එනම් ඇනෝ ඩොමිනි හෙවත් “ස්වාමීගේ වර්ෂ” යන්නයි.
c එමානවල් ටෝව් රචනා කළ ටෙක්ස්චුවල් ක්‍රිටිසිස්ම් ඔෆ් ද හීබෲ බයිබල්හි (හෙබ්‍රෙව් බයිබලය පිළිබඳ පාඨ විවේචනයේ) මෙහෙම සඳහන් වෙනවා: “කාබන් 14 පරීක්ෂණය යොදාගෙන 1QIsaa [යෙසායාගේ මළ මුහුදේ ලියවිලි] පොයුපෙ 202 සහ 107 පමණ ඈතට දිවෙනවා කියා සොයාගෙන තියෙනවා (පුරා අක්ෂරවිද්‍යා දිනවලට අනුව පොයුපෙ 125-100) . . . සඳහන් කළ පුරා අක්ෂරවිද්‍යා ක්‍රමය මෑත වර්ෂවලදී දියුණු කරලා තියෙනවා; එහිදී දිනය හරියටම ගණනය කරන්නේ අකුරුවල හැඩය සහ ඇලය, දැනටත් දිනය නියම කරගෙන තියෙන කාසි සහ අභිලේඛන වැනි බාහිර මූලාශ්‍ර සමඟ සැසඳීමෙනුයි. මෙම ක්‍රමය සාපේක්ෂ වශයෙන් විශ්වාසදායක ක්‍රමයක් හැටියට පිළිගෙන තියෙනවා.”6
d ඇත්තෙන්ම, මුල් හෙබ්‍රෙව් සහ ග්‍රීක් පාඨයට ඇලී සිටීම සම්බන්ධයෙන් එක් එක් පරිවර්තකයා එක්කො තද නැත්නම් ලිහිල් වෙන්න පුළුවන්.
[8වන පිටුවේ පින්තූරය]
බයිබලය නිපුණ පිටපත්කරුවන් මගින් රැකුණා
[9වන පිටුවේ පින්තූරය]
යෙසායාගේ මළ මුහුදේ ලියවිල්ල (නිවැරදි පිටපත පෙන්වනවා) ඊට වසර දහසකට පසු ලියවුණු මැසරෙටික් පාඨය හා බොහෝදුරට සමානයි