-
“රහස් හෙළි කරන” යෙහෝවා දෙවි2012 මුරටැඹ | ජූනි 15
-
-
“රහස් හෙළි කරන” යෙහෝවා දෙවි
“ඇත්තටම ඔබේ දෙවි දෙවිවරුන්ගෙත් දෙවි! ඔහු රජවරුන්ගෙත් රජ! රහස් හෙළි කරන තැනැත්තා ඔහුයි.”—දානි. 2:47.
ඔබේ පිළිතුර මොකක්ද?
යෙහෝවා දෙවි අනාගතය ගැන හෙළි කර තිබෙන්නේ මොනවාද?
මෘගයාගේ මුල් හිස් හයෙන් නියෝජනය වෙන්නේ මොන අධිරාජ්‍යයන්ද?
එළිදරව් පොතේ සඳහන් මෘගයා හා නෙබුකද්නෙෂර් දුටු රූපය අතර තිබෙන සමානකම් මොනවාද?
1, 2. දෙවි හෙළි කර තිබෙන්නේ මොනවාද? එසේ කළේ ඇයි?
දෙවි මේ දුෂ්ට සමාජය විනාශ කරන බව අපි සියලුදෙනාම දන්නවා. නමුත් ඒ විනාශය පැමිණෙද්දී මේ පොළොව පාලනය කරමින් සිටින්නේ මොන ලෝක අධිරාජ්‍යයද? “රහස් හෙළි කරන තැනැත්තා” වන යෙහෝවා දෙවි ඒ ගැන හෙළි කර තිබෙනවා. ඒ බලවත් අධිරාජ්‍යය මොකක්ද කියා දානියෙල් හා යොහන් මාර්ගයෙන් දෙවි අපට දන්වා තිබෙනවා.
2 දෙවි දානියෙල්ට හා යොහන්ට විවිධ මෘගයන් සම්බන්ධ දර්ශන කිහිපයක් ලබා දුන්නා. ඒ වගේම නෙබුකද්නෙශර් රජ දුටු අතිවිශාල රූපය ගැනත් දෙවි දානියෙල් මගින් හෙළි කළා. මේ සෑම දෙයක්ම වාර්තා කර තිබෙන්නේ අපේ ප්‍රයෝජනයටයි. (රෝම 15:4) එසේ කළේ දෙවිගේ රාජ්‍යය ළඟදීම සියලු මිනිස් ආණ්ඩු විනාශ කරන බවට වූ අපේ බලාපොරොත්තුව ශක්තිමත් කරන්නයි.—දානි. 2:44.
3. බයිබලයේ සඳහන් අනාවැකි අවබෝධ කරගන්න නම් අපි තේරුම්ගත යුත්තේ මොකක්ද? ඒ ඇයි?
3 දානියෙල් හා යොහන් පැවසූ ඒ අනාවැකිවලින් අපිට රජවරුන් හෙවත් බලවත් රාජ්‍යයන් අටක නැඟීම හා වැටීම ගැනත් ඒවා පවතින අනුපිළිවෙළ ගැනත් දැනගන්න පුළුවන්. නමුත් ඒ අනාවැකි අවබෝධ කරගන්න නම් බයිබලයේ සඳහන් පළවෙනි අනාවැකිය තේරුම්ගන්න අවශ්‍යයි. ඊට හේතුව මුළු බයිබලයම හා එහි ඇති සියලුම අනාවැකි ඒ පළවෙනි අනාවැකියට සම්බන්ධ වී තිබීමයි.
සර්පයාගෙන් පැවතෙන්නන් සහ මෘගයා
4. පැවත එන තැනැත්තාට ඇතුළත් කවුද? යේසුස් හා අභිෂේක ලත් අය කරන්නේ මොකක්ද?
4 මුල් යුවළ දෙවිට විරුද්ධව කැරලිගැසුවාට පස්සේ යෙහෝවා දෙවි ‘ස්ත්‍රියක්’ හා ඇගෙන් ‘පැවත එන තැනැත්තෙක්’ ගැන අනාවැකියක් පැවසුවා.a (උත්පත්ති 3:15 කියවන්න.) එම පැවත එන තැනැත්තා සර්පයාගේ නැතහොත් සාතන්ගේ හිස පොඩි කරන බව එහි පවසා තිබෙනවා. එම තැනැත්තා ආබ්‍රහම්ගෙන් පැවත එන ඊශ්‍රායෙල් ජාතියෙන්, පසුව යූදා ගෝත්‍රයෙන් හා දාවිත්ගේ පවුලෙන් පැමිණෙන බවත් යෙහෝවා දෙවි හෙළි කළා. (උත්. 22:15-18; 49:10; ගීතා. 89:3, 4; ලූක් 1:30-33) එම ‘පැවත එන තැනැත්තාගෙන්’ මූලිකව නියෝජනය වෙන්නේ යේසුස්වයි. (ගලා. 3:16) ඊට අමතරව, අභිෂේක ලත් අය දෙවිගේ පුත්‍රයන් නිසාත් යේසුස් සමඟ එකට බැඳී සිටින නිසාත් ඔවුන්ද පැවත එන තැනැත්තාට අයිති වෙනවා. (ගලා. 3:26-29) යේසුස් හා අභිෂේක ලත් අයගෙන් සකස් වී ඇති දේවරාජ්‍යය මගින් යෙහෝවා දෙවි සාතන්ව විනාශ කර දමනවා.—ලූක් 12:32; රෝම 16:20.
5, 6. (අ) දානියෙල් හා යොහන් බලවත් පාලනයන් කීයක් ගැන සඳහන් කළාද? (ආ) එළිදරව් පොතේ සඳහන් මෘගයාගේ හිස්වලින් නියෝජනය වෙන්නේ මොනවාද?
5 සාතන්ටත් ‘පැවත එන්නන්’ සිටින බවත් ඔවුන් ස්ත්‍රියගෙන් පැවත එන්නාට වෛර කරන බවත් මුල් අනාවැකියේ සඳහන් වෙනවා. සර්පයාගෙන් පැවතෙන්නන්ට සාතන් මෙන් දෙවිට හා ඔහුගේ සෙනඟට වෛර කරන සියලුදෙනාම ඇතුළත්. ඊට ආගම් හා දේශපාලනයත් අයත් වෙනවා. (ලූක් 4:5, 6) සාතන්ගේ අණසක යටතේ ඉතිහාසය පුරා බලවත් ආණ්ඩු හා රාජ්‍යයන් බොහොමයක් පැවතුණත් දෙවිගේ සෙනඟ වූ පුරාණ ඊශ්‍රායෙල් ජාතියට හා පසුව අභිෂේක ලත් අයට විරුද්ධව කෙළින්ම සටන් කර තිබෙන්නේ ඒ රාජ්‍යයන්ගෙන් කීපයක් විතරයි. දානියෙල් හා යොහන් එවැනි බලවත් පාලනයන් අටක් ගැන විතරක් සඳහන් කරන්නේ ඒ නිසයි.
6 දැනට අවුරුදු 2,000කට විතර කලින් යේසුස් ක්‍රිස්තුස් යොහන්ට දර්ශන කීපයක් දකින්න සැලැස්සුවා. (එළි. 1:1) ඔහු මුලින්ම මුහුද අසල වැල්ලේ සිටි මකරෙක්ව දැක්කා. ඒ මකරා නම් යක්ෂයායි. (එළිදරව් 13:1, 2 කියවන්න.) ඒ වගේම ඔහු මුහුදෙන් මතු වූ මෘගයෙකුවත් දැක්කා. ඌට සාතන් මහත් බලයක් දී තිබුණා. පසුව ඔහු හිස් හතක් ඇති තද රතු පාට මෘගයෙක්වත් දැක්කා. නමුත් ඌ මුහුදෙන් මතු වූ මෘගයාගේම රූපයක්. දේවදූතයෙක් යොහන්ට පැවසුවේ ඒ තද රතු පාට මෘගයාගේ හිස් හතෙන් නියෝජනය වෙන්නේ “රජවරුන්” හෙවත් පාලනයන් ‘හතක්’ බවයි. (එළි. 13:1, 14, 15; 17:3, 9, 10) යොහන් එළිදරව් පොත ලියූ කාලය වන විට ඒ රජුන් හත්දෙනාගෙන් පස්දෙනෙකුගේම පාලනය අවසන් වී තිබූ අතර පාලනය කරමින් සිටියේ හයවෙනි රජයි. හත්වෙනි රජ ඒ වන විටත් ‘පැමිණ සිටියේ නැහැ.’ දැන් අපි එළිදරව් පොතේ සඳහන් මෘගයාගේ එක් එක් හිසෙන් නියෝජනය වෙන්නේ මොකක්ද කියා සලකා බලමු. ඊට අමතරව එම අධිරාජ්‍යයන් ගැන දානියෙල් පොතෙත් බොහෝ තොරතුරු සඳහන් වෙනවා. දානියෙල් එම අනාවැකි පැවසුවේ ඒ අධිරාජ්‍යයන් බලයට පැමිණීමටත් අවුරුදු සිය ගණනකට පෙරයි.
පළවෙනි හිස ඊජිප්තුව හා දෙවෙනි හිස ඇසිරියාව
7. මෘගයාගේ පළවෙනි හිසෙන් නියෝජනය වෙන්නේ කාවද? එසේ පවසන්නේ ඇයි?
7 දෙවිගේ සෙනඟට විරුද්ධව සතුරුකම් පෑ මුල්ම අධිරාජ්‍යය ඊජිප්තුව නිසා යොහන් සඳහන් කරන මෘගයාගේ පළවෙනි හිසෙන් නියෝජනය වෙන්නේ ඊජිප්තුවයි. ඊශ්‍රායෙල් ජාතිය ඊජිප්තුවේ සිටින කාලයේදී ගණනින් වැඩි වුණා. ස්ත්‍රියගෙන් පැවත එන තැනැත්තා එනවාට සාතන් අකමැති වූ නිසා දෙවිගේ සෙනඟව විනාශ කර දැමීමට ඔහු උත්සාහ කළා. ඉපදෙන සියලුම පිරිමි දරුවන්ව මරා දැමීමට ඔහු පාරාවෝව පොලඹවාගත්තත් තම සෙනඟව විනාශ කිරීමට දෙවි ඔහුට ඉඩ දුන්නේ නැහැ. (නික්. 1:15-20; 14:13) ඒ වෙනුවට ඔවුන්ව නිදහස් කළ යෙහෝවා දෙවි ඔවුන්ට පොරොන්දු වූ දේශය උරුම කර දුන්නා.
8. දෙවෙනි හිසෙන් නියෝජනය වෙන්නේ කාවද? ඔවුන් උත්සාහ කළේ මොනවා කරන්නද?
8 මෘගයාගේ දෙවෙනි හිසෙන් නියෝජනය වෙන්නේ ඇසිරියාවයි. ඊශ්‍රායෙලයේ උතුරු ගෝත්‍ර දහයේ සිටි යෙහෝවා දෙවිගේ සෙනඟ ඔහුට අකීකරු වී රූප නමස්කාරයේ යෙදුණු අවස්ථාවේ ඔවුන්ට දඬුවම් කිරීමට දෙවි ඇසිරියානුවන්ව යොදාගත්තා. නමුත් ඔවුන් එතනින් නවතින්නේ නැතුව යෙරුසලමත් විනාශ කරන්න හැදුවා. සමහරවිට එමගින් සාතන් වෑයම් කළේ යේසුස් පැමිණීමට නියමිත වූ රජ පෙළපත විනාශ කිරීමට විය හැකියි. නමුත් දෙවි ඊට ඉඩ නොදී ඇසිරියානු හමුදාව විනාශ කර දැමුවා.—2 රාජා. 19:32-35; යෙසා. 10:5, 6, 12-15.
තුන්වෙනි හිස බැබිලෝනිය
9, 10. (අ) දෙවි බැබිලෝනිවරුන්ට ඉඩහැරියේ මොනවා කරන්නද? (ආ) සමහර අනාවැකි ඉටු වීමට පෙර සිදු වීමට නියමිතව තිබුණේ මොන වගේ දේවල්ද?
9 මෘගයාගේ තුන්වෙනි හිසෙන් නියෝජනය වෙන්නේ බැබිලෝනියයි. යෙරුසලම විනාශ කර යුදෙව්වන්ව වහලුන් ලෙස ගෙන යන්න දෙවි බැබිලෝනිවරුන්ට ඉඩ දුන්නා. තමන්ට කීකරු නොවුණොත් එසේ සිදු වන බව දෙවි යුදෙව්වන්ට කල් තියාම පවසා තිබුණා. (2 රාජා. 20:16-18) දාවිත්ගේ පෙළපතින් පැමිණීමට නියමිත “නීත්‍යනුකූල අයිතිය ඇති තැනැත්තා” එන තුරු යෙරුසලමේ පිහිටි “සිංහාසනයේ” ඉඳගැනීමට කිසිම යුදෙව් රජෙකුට ඉඩ දෙන්නේ නැති බවත් දෙවි පැවසුවා.—1 ලේක. 29:23; එස. 21:25-27.
10 තවත් අනාවැකියක සඳහන් වුණේ “නීත්‍යනුකූල අයිතිය ඇති තැනැත්තා” හෙවත් පොරොන්දු වූ ගැලවුම්කරු පැමිණෙන විට යුදෙව්වන් යෙරුසලමේ දේවමාලිගාවේ නමස්කාර කටයුතු සාමාන්‍ය පරිදි කරමින් සිටින බවයි. (දානි. 9:24-27) ඊටත් කලින් පැවසූ අනාවැකියක සඳහන් වුණේ එම තැනැත්තා බෙත්ලෙහෙමේ ඉපදෙන බවයි. (මීකා 5:2) එම අනාවැකි ඉටු වෙන්න නම් බැබිලෝනියේ වහල්භාවයේ සිටි යුදෙව්වන් තමන්ගේ මව්බිමට ගොස් දේවමාලිගාව නැවත ඉදි කර තිබිය යුතු වුණා. නමුත් බැබිලෝනිවරුන් තමන්ගේ වහලුන්ව නිදහස් කරන අය නෙවෙයි. එහෙමනම් යුදෙව්වන් නැවත මව්බිමට යන්නේ කොහොමද? යෙහෝවා දෙවි තම අනාගතවක්තෘ මාර්ගයෙන් ඒ ගැනත් හෙළි කළා.—ආමො. 3:7.
11. දානියෙල් හා යොහන් බැබිලෝනියේ අධිරාජ්‍යය ගැන විස්තර කර තිබෙන්නේ කොහොමද? (පාදසටහන බලන්න.)
11 බැබිලෝනියෙන් පසු පැමිණෙන ලෝක අධිරාජ්‍යය ගැන යෙහෝවා දෙවි දානියෙල් මාර්ගයෙන් හෙළි කළා. ඒ වන විට ඔහු සිටියේ බැබිලෝනියේ. (දානි. 1:1-6) දෙවි ඒ රාජ්‍යයන් ගැන හෙළි කිරීමට විවිධ සංකේත යොදාගත්තා. උදාහරණයකට නෙබුකද්නෙෂර් රජු සිහිනෙන් දුටු අතිවිශාල රූපය ඉන් එකක්. (දානියෙල් 2:1, 19, 31-38 කියවන්න.) එහි රන් හිසෙන් නියෝජනය වෙන්නේ බැබිලෝනිය කියා දෙවි පැවසුවා.b රිදී අත් සහ ළයෙන් නියෝජනය වෙන්නේ ඊළඟට පැමිණෙන අධිරාජ්‍යයයි. ඒ අධිරාජ්‍යය මොකක්ද? ඔවුන් දෙවිගේ සෙනඟට සැලකුවේ කොහොමද?
හතරවෙනි හිස මේදිය සහ පර්සියාව
12, 13. (අ) බැබිලෝනිය පරාජය කරන අධිරාජ්‍යය ගැන දෙවි හෙළි කළේ මොනවාද? (ආ) මෘගයාගේ හතරවෙනි හිසෙන් නියෝජනය වෙන්නේ මේදිය සහ පර්සියානු අධිරාජ්‍යය කියා පැවසිය හැක්කේ ඇයි?
12 දානියෙල් ඉපදෙන්න අවුරුදු 100කට විතර කලින් යෙහෝවා දෙවි යෙසායා ලවා බැබිලෝනිය පරාජය කරන රාජ්‍යය ගැන හෙළි කළා. එය පරාජය කරන ආකාරය විතරක් නෙවෙයි එසේ කරන රජුගේ නමත් දෙවි කලින්ම දැන්නුවා. ඔහු මේදිය සහ පර්සියානු අධිරාජ්‍යයේ රජු වූ සයිරස්. (යෙසා. 44:28–45:2) මේ ලෝක අධිරාජ්‍යය ගැන දෙවි දානියෙල්ට දර්ශන දෙකකින් තොරතුරු හෙළි කළා. ඉන් එකක එම රාජ්‍යය දක්වා තිබුණේ කකුලක් ඔසවාගෙන සිටි වලසෙක් ලෙසයි. ඌට ‘බොහෝ මස් කන්න’ කියා අණ කර තිබුණා. (දානි. 7:5) අනික් දර්ශනයේ මේදිය සහ පර්සියාව නියෝජනය කර තිබුණේ අං දෙකක් තිබූ බැටළුවෙකුගෙනුයි.—දානි. 8:3, 20.
13 බැබිලෝනිය පරාජය කර ඊශ්‍රායෙල්වරුන්ව ඔවුන්ගේ මව්බිමට යැවීම සඳහා යෙහෝවා දෙවි මේදිය සහ පර්සියානු අධිරාජ්‍යය යොදාගත්තා. (2 ලේක. 36:22, 23) නමුත් පසු කලකදී ඔවුන් දෙවිගේ සෙනඟව සහමුලින්ම නැති කර දැමීමට උත්සාහ කළා. පර්සියානු අධිරාජ්‍යයේ උසස් නිලධාරියෙක් වූ හාමාන් රාජධානිය පුරා විසිර සිටි සියලුම යුදෙව්වන්ව එක දිනක් තුළ මරා දැමීමට කුමන්ත්‍රණය කිරීමෙන් ඒ බව පැහැදිලි වෙනවා. (එස්ත. 1:1-3; 3:8, 9; 8:3, 9-14) නමුත් දෙවි ඒ වතාවේදිත් සාතන්ගෙන් පැවත එන අයගේ සතුරුවාදිකම්වලින් තම සෙනඟව ආරක්ෂා කළා. ඒ අනුව එළිදරව් පොතේ සඳහන් හතරවෙනි මෘගයාගෙන් නියෝජනය වෙන්නේ මේදිය හා පර්සියානු අධිරාජ්‍යයයි.
පස්වෙනි හිස ග්‍රීසිය
14, 15. ග්‍රීසිය අධිරාජ්‍යය ගැන යෙහෝවා දෙවි හෙළි කළේ මොනවාද?
14 මෘගයාගේ පස්වෙනි හිසෙන් නියෝජනය වෙන්නේ ග්‍රීසිය අධිරාජ්‍යයි. දානියෙල් විස්තර කළ අතිවිශාල රූපයේ තඹවලින් සෑදී ඇති බඩ හා කළවාවලින් නියෝජනය වෙන්නෙත් එම රාජ්යයමයි. එම ලෝක අධිරාජ්‍යය ගැනත් එහි බලවත්ම පාලකයා ගැනත් දෙවි දානියෙල්ට දර්ශන දෙකක් මගින් හෙළි කළා.
15 ඉන් එකක ග්‍රීසිය අධිරාජ්‍යය දක්වා තිබුණේ වේගවත් ලෙස අනික් රාජ්‍යයන් යටපත් කරන “පක්ෂියෙකුගේ පියාපත් හතරක් තිබුණු දිවියෙකු” ලෙසයි. (දානි. 7:6) අනික් දර්ශනයේදී දානියෙල් දැක්කේ විශාල අඟක් තිබූ එළුවෙකුවයි. ඒ එළුවා මේදිය සහ පර්සියානු අධිරාජ්‍යය නියෝජනය කළ අං දෙකක් තිබූ බැටළුවාව මරා දමනවාත් ඔහු දැක්කා. එළුවාගෙන් ග්‍රීසියත් විශාල අඟෙන් ග්‍රීසියේ බලවත්ම රජුවත් නියෝජනය වුණා. පසුව ඒ විශාල අඟ කැඩී ඒ වෙනුවට අං හතරක් මතු වෙනවා ඔහු දැක්කා. දානියෙල් මේ අනාවැකිය වාර්තා කළේ ග්‍රීසිය අධිරාජ්‍යයක් බවට පත් වෙන්න අවුරුදු සිය ගණනකට කලින් වුණත් දෙවි කී දේ ඒ විදිහටම ඉටු වුණා. ග්‍රීසියේ සිටි බලවත්ම රජු වූ මහා ඇලෙක්සැන්ඩර් මේදිය සහ පර්සියානු හමුදාව පරාජය කළා. නමුත් ඒ විශාල අඟ හදිස්සියේම කැඩී ගියා. එනම් ඇලෙක්සැන්ඩර් මරණයට පත් වුණා. එවිට ඔහුට වයස අවුරුදු 32යි. ඔහු වෙනුවට ඔහුගේම සේනාධිපතීන් හතරදෙනෙක් අතරේ අධිරාජ්‍යයේ පාලනය බෙදී ගියා.—දානියෙල් 8:20-22 කියවන්න.
16. හතරවෙනි අන්තියෝකස් කළේ මොකක්ද?
16 ග්‍රීසිය අධිරාජ්‍යය ඊශ්‍රායෙල් දේශයත් යටත් කරගෙන සිටියා. ඒ වන විට ඊශ්‍රායෙල්වරු දේවමාලිගාව නැවත ඉදි කර තිබුණා. ඒ වගේම දෙවි යුදෙව්වන්ව දිගටම තම සෙනඟ ලෙසත් දේවමාලිගාව ශුද්ධ නමස්කාරයේ මධ්‍යස්ථානය ලෙසත් සැලකුවා. නමුත් ක්‍රිස්තු පූර්ව දෙවෙනි සියවසේදී ග්‍රීසියේ පාලකයෙක් වූ හතරවෙනි අන්තියෝකස් යෙරුසලමේ දේවමාලිගාවේ පූජාසනයක් ඉදි කර බොරු දෙවිවරුන්ට නමස්කාර කළා. ඔහු යුදෙව් ආගමට අයත් අයව මරා දමන්නත් අණ කළා. එය සාතන්ගෙන් පැවතෙන්නන් නැවතත් දෙවිගේ සෙනඟට විරුද්ධව සටන් කිරීමක්. නමුත් වෙනත් අධිරාජ්‍යයක් ග්‍රීසිය පරාජයට පත් කළා. ඒ අධිරාජ්‍යය මොකක්ද?
හයවෙනි හිස රෝමය
17. උත්පත්ති 3:15 ඉටු වීම සඳහා රෝමය සම්බන්ධ වුණේ කොහොමද?
17 මෘගයාගේ හයවෙනි හිසෙන් නියෝජනය වෙන්නේ රෝම අධිරාජ්‍යයයි. යොහන්ට මෘගයා ගැන දර්ශනය ලැබෙද්දී ලෝකය පාලනය කරමින් සිටියේ එම අධිරාජ්‍යයයි. (එළි. 17:10) පැවත එන තැනැත්තා සම්බන්ධයෙන් උත්පත්ති 3:15 සඳහන් අනාවැකියේ කොටසක් රෝම අධිරාජ්‍යය විසින් ඉටු කළා. ඒ ‘විලුඹ පොඩි කිරීමයි.’ සාතන් රෝම නිලධාරීන්ව යොදාගෙන අසාධාරණ ලෙස යේසුස්ව මරා දැමූ විට එය ඉටු වුණා. (මතෙ. 27:26) නමුත් යෙහෝවා දෙවි යේසුස්ව නැවත නැඟිටුවීම මගින් විලුඹ සුව කළා.
18. (අ) යෙහෝවා දෙවි තෝරාගත් අලුත් ජාතිය මොකක්ද? එය තෝරාගත්තේ ඇයි? (ආ) සර්පයාගෙන් පැවතෙන්නන් දිගටම ස්ත්‍රියගෙන් පැවතෙන්නන්ට විරුද්ධ වුණේ කොහොමද?
18 එදා සිටි යුදෙව්වන්ගෙන් බොහෝදෙනෙක් යේසුස්ව ප්‍රතික්ෂේප කළා විතරක් නෙවෙයි යුදෙව් ආගමික නායකයන් යේසුස්ව මරා දැමීමටත් රෝම පාලකයන්ට උපකාර කළා. ඒ නිසා යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් ජාතියව ප්‍රතික්ෂේප කළා. (මතෙ. 23:38; ක්‍රියා 2:22, 23) ඒ වෙනුවට ඔහු අලුත් ජාතියක් වන “දෙවිගේ ඊශ්‍රායෙලය” තෝරාගත්තා. (ගලා. 3:26-29; 6:16) ඊට අයත් වුණේ යුදෙව් හා යුදෙව් නොවන අභිෂේක ලත් ක්‍රිස්තියානීන්. (එෆී. 2:11-18) යේසුස්ගේ නැවත නැඟිටීමෙන් පසුවත් ස්ත්‍රියගෙන් පැවතෙන්නන්ට විරුද්ධව සර්පයාගෙන් පැවතෙන්නන් දිගටම සටන් කළා. රෝමය ලවා අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව විනාශ කර දමන්න සාතන් කිහිපවිටක්ම උත්සාහ කිරීමෙන් ඒ බව පැහැදිලි වෙනවා.c
19. (අ) හයවෙනි අධිරාජ්‍යය ගැන දානියෙල් විස්තර කරන්නේ කොහොමද? (ආ) ඊළඟට අපි සලකා බලන්නේ මොනවාද?
19 නෙබුකද්නෙෂර් දුටු රූපයේ යකඩ කෙණ්ඩාවලින් නියෝජනය වුණේ රෝමයයි. (දානි. 2:33) දානියෙල්ද රෝමයෙන් මතු වන තවත් අධිරාජ්‍යයක් දර්ශනයකින් දැක්කා. (දානියෙල් 7:7, 8 කියවන්න.) සියවස් ගණනාවක් පුරා රෝමය කටයුතු කළේ ‘භයානක පෙනුමක් ඇති ඉතා රෞද්‍ර මෘගයෙක්’ විදිහටයි. නමුත් ඌට “අං දහයක්” තිබෙන බවත් තව පොඩි අඟක් ඒවා අතරේ හටගෙන අනික් ඒවාට වඩා උඩට මතු වෙනවාත් ඔහු දැක්කා. අං දහයෙන් නියෝජනය වෙන්නේ මොකක්ද? පොඩි අඟෙන් නියෝජනය වෙන්නේ මොකක්ද? නෙබුකද්නෙෂර් දුටු අතිවිශාල රූපය හා ඒ පොඩි අඟ අතර ඇති සම්බන්ධය මොකක්ද? ඒ ගැන 14වෙනි පිටුවේ ඇති ලිපියෙන් සලකා බලමු.
[පාදසටහන්වල]
a මෙම ස්ත්‍රියගෙන් මුළු ස්වර්ගික සංවිධානයම නියෝජනය වෙනවා. එම සංවිධානය දෙවිගේ භාර්යාව ලෙසත් හඳුන්වනවා.—යෙසා. 54:1; ගලා. 4:26; එළි. 12:1, 2.
b යොහන් දුටු මෘගයාගේ තුන්වෙනි හිස හා දානියෙල් විස්තර කළ අතිවිශාල මිනිස් රූපයේ රන් හිස යන දෙකෙන්ම නියෝජනය වෙන්නේ බැබිලෝනියේ අධිරාජ්‍යයි. මෙහි 12-13වෙනි පිටුවල ඇති රූප සටහන බලන්න.
c ක්‍රිස්තු වර්ෂ 70දී රෝමය විසින් යෙරුසලම විනාශ කළා. ඒ වෙද්දී ඊශ්‍රායෙල්වරු දෙවි තෝරාගත් සෙනඟව සිටියේ නැහැ. ඒ නිසා එම විනාශය උත්පත්ති 3:15 සඳහන් සාතන්ගෙන් පැවතෙන්නන් ස්ත්‍රියගෙන් පැවතෙන්නන්ට කළ සතුරුවාදිකමක් ලෙස සැලකෙන්නේ නැහැ.
-
-
ඉතා ළඟදී සිදු වන දේවල් දෙවි හෙළි කරයි2012 මුරටැඹ | ජූනි 15
-
-
ඉතා ළඟදී සිදු වන දේවල් දෙවි හෙළි කරයි
‘මෙය දෙවි විසින් යේසුස්ට දෙන ලද එළිදරව්වකි. දෙවි එය ලබා දුන්නේ තව කෙටි කලකින් සිදු වීමට නියමිත දේවල් තම දාසයන්ට පෙන්වීමටය.’—එළි. 1:1.
ඔබ පිළිතුරු දෙන්නේ කොහොමද?
බ්‍රිතාන්‍ය හා ඇමරිකානු ලෝක අධිරාජ්‍යය නියෝජනය වෙන්නේ අතිවිශාල රූපයේ කොයි කොටසෙන්ද?
බ්‍රිතාන්‍ය හා ඇමරිකානු ලෝක අධිරාජ්‍යය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර තිබෙන සම්බන්ධය යොහන් විස්තර කරන්නේ කොහොමද?
දානියෙල් හා යොහන් පවසන ආකාරයට මිනිස් ආණ්ඩු නැති වෙන්නේ කොහොමද?
1, 2. (අ) දානියෙල්ට හා යොහන්ට දුන් අනාවැකි අධ්‍යයනය කරද්දී අපට තේරුම්ගන්න පුළුවන් මොනවාද? (ආ) මෘගයාගේ මුල් හිස් හයෙන් නියෝජනය වන අධිරාජ්‍යයන් මොනවාද?
දානියෙල්ට හා යොහන්ට දුන් අනාවැකි අධ්‍යයනය කරද්දී අදත් අනාගතයේදිත් සිදු වන දේවල් ගැන තේරුම්ගන්න අපිට අමාරු නැහැ. නෙබුකද්නෙෂර් අතිවිශාල රූපයකුත් දානියෙල් අං දහයක් ඇති මෘගයෙකුත් යොහන් හිස් හතක් ඇති මෘගයෙකුත් දැක්කා. ඒවායින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? ඒවා ගැන නිවැරදිව දැනගැනීමෙන් අපි පෙලඹෙන්න ඕනෙ මොනවා කරන්නද?
2 එළිදරව් 13වෙනි පරිච්ඡේදයේ සඳහන් මෘගයාගේ මුල් හිස් හය මගින් ඊජිප්තුව, ඇසිරියාව, බැබිලෝනිය, මේදිය හා පර්සියාව, ග්‍රීසිය සහ රෝමය යන අධිරාජ්‍යයන් නියෝජනය වන බව කලින් ලිපියෙන් අපි ඉගෙනගත්තා. එම අධිරාජ්‍යයන් හැම එකක්ම ස්ත්‍රියගෙන් පැවතෙන තැනැත්තන්ට සතුරුකම් පෑවා. (උත්. 3:15) යොහන් ඒ දර්ශනය ගැන ලියූ කාලයේදී ලෝක බලය ලෙස පැවතුණේ රෝමයයි. ඉන්පසුවත් සියවස් ගණනාවක් පුරාම රෝමය බලවත් අධිරාජ්‍යයක්ව තිබුණා. නමුත් අනාවැකියට අනුව තවත් අධිරාජ්‍යයක් පැමිණීමට නියමිත වුණා. ඒ මොකක්ද? මෘගයාගේ හත්වෙනි හිසෙන් නියෝජනය වන එම අධිරාජ්‍යය ස්ත්‍රියගෙන් පැවත එන තැනැත්තාට සැලකුවේ කොහොමද?
හත්වෙනි හිස බ්‍රිතාන්‍යය හා ඇමරිකාව
3. අං දසයක් ඇති භයානක මෘගයාගෙන් නියෝජනය වෙන්නේ මොකක්ද? අං දසයෙන් නියෝජනය වෙන්නේ මොනවාද?
3 එළිදරව් 13වෙනි පරිච්ඡේදයේ සඳහන් මෘගයාගේ හත්වෙනි හිස මොකක්ද කියා තේරුම්ගන්න නම් එම දර්ශනය, දානියෙල් දුටු අං දසයක් ඇති භයානක පෙනුමක් ඇති මෘගයාගේ දර්ශනය සමඟ සන්සන්දනය කළ යුතුයි.a (දානියෙල් 7:7, 8, 23, 24 කියවන්න.) දානියෙල් දුටු මෘගයාගෙන් නියෝජනය වෙන්නේ රෝම අධිරාජ්‍යයයි. (12-13වෙනි පිටුවල රූප සටහන බලන්න.) ක්‍රිස්තු වර්ෂ පස්වන සියවසේදී රෝම අධිරාජ්‍යය කුඩා රාජ්‍යයන්වලට බිඳී යන්න පටන්ගත්තා. මෘගයාගේ අං දසයෙන් නියෝජනය වෙන්නේ රෝම අධිරාජ්‍යයෙන් බිඳී ගිය ඒ රාජ්‍යයනුයි.
4, 5. (අ) පොඩි අඟ කළේ මොකක්ද? (ආ) මෘගයාගේ හත්වෙනි හිසෙන් නියෝජනය වෙන්නේ කාවද?
4 මෘගයාගේ අං දහයෙන් අං තුනක් කඩා දමා මතු වන පොඩි අඟක් දානියෙල් එම දර්ශනයේදී දැක්කා. එය ඉටු වුණේ කොහොමද? දාහත්වන සියවස වන විට රෝම අධිරාජ්‍යය යටතේ තිබූ ස්පාඤ්ඤය, නෙදර්ලන්තය හා ප්‍රංශය රෝමයෙන් බිඳී ගොස් තිබුණා. එවකට ඒවා යම් දුරකට බලවත්ව තිබූ රාජ්‍යයන් ලෙස පැවතුණා. බ්‍රිතාන්‍යයත් රෝමයෙන් බිඳී ගිය රාජ්‍යයක් ලෙස පැවතුණත් ඒ රාජ්‍යයන් තුන තරම්ම බලවත්ව පැවතුණේ නැහැ. නමුත් පසුව, බ්‍රිතාන්‍යය එම රාජ්‍යයන් සමඟ සටන් කර ඒවා පරාජය කළා. දහඅටවෙනි සියවසේ මැදභාගය වන විට බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයක් බවට පත් වෙමින් සිටියා. කොහොමවුණත් ඒ වන විටත් බ්‍රිතාන්‍යය මෘගයාගේ හත්වන හිස බවට පත් වී තිබුණේ නැහැ.
5 බ්‍රිතාන්‍යය ලෝකයේ බලවත්ම රාජ්‍යය බවට පත් වීමත් සමඟම උතුරු ඇමරිකාවේ තිබූ බ්‍රිතාන්‍යයේ යටත් විජිත නිදහස ලබාගෙන එක්සත් ජනපදය බවට පත් වුණා. ලෝකයේ බලවත් රටක් වීම සඳහා බ්‍රිතාන්‍යය එක්සත් ජනපදයට උපකාරය වගේම ආරක්ෂාවත් ලබා දුන්නා. වර්ෂ 1914දී ස්වාමීන්ගේ දවස ආරම්භ වෙද්දී බ්‍රිතාන්‍යය ලෝකයේ විශාලතම අධිරාජ්‍යය බවට පත්ව තිබූ අතර එක්සත් ජනපදය බලවත්ම කාර්මික රට බවට පත්ව තිබුණා.b පළවෙනි ලෝක මහා යුද්ධය කාලයේදී ඇමරිකා එක්සත් ජනපදය හා බ්‍රිතාන්‍යය විශේෂ දේශපාලනික බැඳීමක් ඇති කරගත්තා. ඒ කිට්ටු බැඳීම නිසා බ්‍රිතාන්‍යය හා ඇමරිකාව එක්ව ලෝක අධිරාජ්‍යයක් ලෙස මතු වුණා. එය මෘගයාගේ හත්වෙනි හිස බවට පත් වුණේ එතැන් සිටයි.
6. මෘගයාගේ හත්වන හිස දෙවිගේ සෙනඟට සැලකුවේ කොහොමද?
6 මෘගයාගේ හත්වෙනි හිස ස්ත්‍රියගෙන් පැවතෙන්නන් වන අභිෂේක ලත් අයට සැලකුවේ කොහොමද? (මතෙ. 25:40) ස්වාමීන්ගේ දවස ආරම්භ වන විට අභිෂේක ලත් අයගෙන් සමහරෙක් මේ පොළොවේ සිටියි කියා යේසුස් පැවසුවා. (මතෙ. 24:45-47; ගලා. 3:26-29) වර්ෂ 1914 පටන් බ්‍රිතාන්‍ය හා ඇමරිකානු අධිරාජ්‍යය ශුද්ධ තැනැත්තන්ට විරුද්ධව සටන් කරන්න පටන්ගත්තා. (එළි. 13:3, 7) පළවෙනි ලෝක මහා යුද්ධය කාලයේදී එම ලෝක අධිරාජ්‍යය දෙවිගේ සේවකයන්ට පීඩා කළා. ඔවුන්ගේ ප්‍රකාශන තහනම් කළා. දේශනා කිරීමේ කාර්යයෙහි පෙරමුණ ගත්ත අයව සිරගත කළා. ටික කාලයකට ශුභාරංචිය දේශනා කිරීම ඇණහිටින තත්වයකට පත් වුණා. යෙහෝවා දෙවි මේ සියල්ල කල් ඇතුව යොහන්ට දකින්න සැලැස්සුවා. ඒ විතරක් නෙවෙයි තම සේවකයන් නැවතත් දේශනා සේවය පටන්ගන්න ආකාරයත් දකින්න සැලැස්සුවා. (එළි. 11:3, 7-11) ඒ සියල්ල එලෙසම ඉටු වූ බව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ඉතිහාසයෙන් දැනගත හැකියි.
යකඩ සහ මැටි කලවම් වී ඇති පාද
7. මෘගයාගේ හත්වෙනි හිසට සමාන වෙන්නේ රූපයේ කොයි කොටසද? ඉන් නියෝජනය වෙන්නේ මොකක්ද?
7 යොහන් දුටු මෘගයාගේ හත්වෙනි හිසෙන් හා නෙබුකද්නෙෂර් දුටු රූපයේ පාදවලින් නියෝජනය වෙන්නේ එකම දෙයයි. එනම් බ්‍රිතාන්‍ය හා ඇමරිකානු ලෝක අධිරාජ්‍යයි. විශාල රූපයේ කෙණ්ඩා හෙවත් යකඩ කොටසෙන් නියෝජනය වෙන්නේ රෝම අධිරාජ්‍යයි. බ්‍රිතාන්‍යය මතු වුණේ රෝමයෙන්. එක්සත් ජනපදය මතු වුණේ බ්‍රිතාන්‍යයෙන්. එමනිසා එක්සත් ජනපදයත් යම් ආකාරයකින් රෝමයෙන් මතු වුණා කියා පැවසිය හැකියි. ඒ අනුව බලද්දී, රූපයේ පාදවල යකඩ තිබීම පුදුමයක් නෙවෙයි. නමුත් පාදවල යකඩ සමඟ මැටිත් මිශ්‍ර වී ඇති බව දානියෙල් සඳහන් කළා. (දානියෙල් 2:41-43 කියවන්න.) ඉන් අදහස් වෙන්නේ මොකක්ද? යකඩ සමඟ මැටි මිශ්‍ර වුණාම තනි යකඩ තරම් එහි ශක්තියක් නැහැ වගේ බ්‍රිතාන්‍ය හා ඇමරිකාව එක් වී සෑදුණු අධිරාජ්‍යයටත් රෝම අධිරාජ්‍යයට තරම් බලයක් නැති බවයි.
8, 9. (අ) හත්වෙනි ලෝක අධිරාජ්‍යය යකඩ මෙන් ශක්තිමත් වුණේ කොහොමද? (ආ) පාදවල ඇති මැටිවලින් නියෝජනය වෙන්නේ මොනවාද?
8 ස්වාමීන්ගේ දවස තුළ බ්‍රිතාන්‍ය හා ඇමරිකානු අධිරාජ්‍යය යකඩ මෙන් ශක්තිමත්ව කටයුතු කළ අවස්ථාත් තිබෙනවා. පළවෙනි හා දෙවෙනි ලෝක මහා යුද්ධ ජය ගැනීමෙන් ඔවුන් තම බලය පෙන්වීම ඊට හොඳ උදාහරණයක්.c
9 නමුත් රූපයේ පාදවල යකඩ සමඟ මැටි මිශ්‍ර වී තිබෙනවා යන්නෙන් අදහස් කරන දේ හොඳින් වටහාගන්න යෙහෝවා දෙවිගේ සේවකයන් කාලයක් පුරා වෑයම් කර තිබෙනවා. දානියෙල් 2:41 පවසන්නේ තනි රාජ්‍යයක් මිස බොහෝ රාජ්‍යයන් නොවන බව පැහැදිලියි. ඒ වගේම දානියෙල් 2:43 පෙන්වන විදිහට මැටිවලින් නියෝජනය වෙන්නේ ‘සාමාන්‍ය ජනයායි.’ මෙයින් පැහැදිලි වෙන්නේ බ්‍රිතාන්‍යය හා ඇමරිකාව තුළම සිටින ජනයා සිදු කරන දේවලින් එම අධිරාජ්‍යයේ බලය දුර්වල වෙන බවයි. උදාහරණයකට සමහර ප්‍රජා අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන ව්‍යාපාරවල, වෘත්තීය සමිතිවල හා වෙනත් ස්වාධීන කණ්ඩායම්වල ක්‍රියාකාරකම් නිසා එම අධිරාජ්‍යය සතුව තිබූ බලය දුර්වල වී තිබෙනවා. එමෙන්ම එම අධිරාජ්‍යයේ සිටින ජනප්‍රිය නායකයන්ට පවා තම ප්‍රතිපත්ති පහසුවෙන් ක්‍රියාත්මක කිරීමට නොහැකි වී තිබෙනවා. ඊට හේතුව ඔවුන් මැතිවරණවලදී සුළු ඡන්ද ප්‍රමාණයකින් ජය ගැනීම සහ ප්‍රතිවිරුද්ධ මත දරන බොහෝදෙනෙක් ඔවුන්ට විරුද්ධව කටයුතු කිරීමයි. දානියෙල් පැවසුවේ “එම රාජ්‍යයේ සමහර කොටස් බිඳෙනසුලු වන අතර තවත් සමහර කොටස් ශක්තිමත්ව තිබෙයි” කියායි.—දානි. 2:42; 2 තිමෝ. 3:1-3.
10, 11. (අ) අවසානයේදී පාදවලට මොකක්ද සිද්ධ වෙන්නේ? පාදවල ඇඟිලි ගණනේ වැදගත්කමක් තිබෙනවාද?
10 අදටත් බ්‍රිතාන්‍යය හා ඇමරිකා එක්සත් ජනපදය අතර දේශපාලනික වශයෙන් විශේෂ බැඳීමක් තිබෙනවා. ඔවුන් ලෝකයටම බලපාන කාරණා සම්බන්ධයෙන් සහයෝගයෙන් වැඩ කරනවා. මෘගයා හා රූපය පිළිබඳ අනාවැකි දෙකෙන්ම පැහැදිලි වෙන්නේ බ්‍රිතාන්‍ය හා ඇමරිකානු අධිරාජ්‍යයෙන් පසු තවත් අධිරාජ්‍යයක් එන්නේ නැති බවයි. මෙම අධිරාජ්‍යය රෝමයට වඩා දුර්වල වුණත් එය නැති වී යන්නේ තමන් විහින්ම නෙවෙයි.
11 පාදවල ඇඟිලි ගණනේ වැදගත්කමක් තිබෙනවාද? නැහැ. දර්ශනවලදී දුටු සමහර මෘගයන්ගේ අං ගණන නිශ්චිතව සඳහන් කර තිබෙන්නේ එහි වැදගත්කමක් ඇති නිසයි. නමුත් අතිවිශාල මිනිස් රූපයේ පාදවල ඇඟිලි ගණන සඳහන් කර නැහැ. ඒ වෙනුවට එහි පවසන්නේ ඇඟිලිවල යකඩ හා මැටි කලවම්ව තිබුණා කියා පමණයි. ඉන්පසුව දානියෙල් පවසන දෙයින් පැහැදිලි වෙන්නේ දේවරාජ්‍යය මගින් මිනිස් ආණ්ඩු විනාශ කරද්දී බ්‍රිතාන්‍ය හා ඇමරිකානු ලෝක අධිරාජ්‍යය මේ පොළොව පාලනය කරමින් සිටින බවයි.—දානි. 2:45.
අං දෙකේ මෘගයා
12, 13. අං දෙකක් ඇති මෘගයාගෙන් නියෝජනය වෙන්නේ මොකක්ද? එය කරන්නේ මොකක්ද?
12 බ්‍රිතාන්‍ය හා ඇමරිකානු ලෝක අධිරාජ්‍යය යකඩ හා මැටිවල කලවමක් වුණත් එම අධිරාජ්‍යය අවසාන කාලයේදී ලෝකයට ප්‍රබල බලපෑමක් වන බව යේසුස් යොහන්ට දුන් තවත් දර්ශනයකින් පැහැදිලි වෙනවා. එම දර්ශනයේ මකරෙක් මෙන් කතා කළ අං දෙකක් ඇති මෘගයෙක් ගැන සඳහන් වෙනවා. උගෙන් නියෝජනය වෙන්නේ මොකක්ද? ඌට අං දෙකක් තිබීමෙන් අදහස් වෙන්නේ ආණ්ඩු දෙකක් හවුලේ පාලනය කරන බවයි. ඒ අනුව මේ මෘගයාගෙනුත් නියෝජනය වෙන්නේ බ්‍රිතාන්‍ය හා ඇමරිකානු ලෝක අධිරාජ්‍යයයි. මේ අධිරාජ්‍යය වෙනම මෘගයෙකු ලෙස යොහන් දකින්නේ උගෙන් යම් කාර්යයක් ඉටු වන නිසයි.—එළිදරව් 13:11-15 කියවන්න.
13 හිස් හතක් ඇති මෘගයාගේ රූපයක් සාදන ලෙස අං දෙකක් ඇති මෘගයා ජනයාට පවසනවා. මෙම රූපය ටික කාලෙකට පවතියි පසුව නැති වී යයි ආපහු මතු වෙයි කියා යොහන් පැවසුවා. එය ඉටු වුණේ කොහොමද? පළවෙනි ලෝක මහා යුද්ධයෙන් පසු එක්තරා සංවිධානයකට එකතු වෙන්න කියා ලෝකයේ ජාතීන්ගෙන් බ්‍රිතාන්‍ය හා ඇමරිකානු ලෝක අධිරාජ්‍යය ඉල්ලා සිටියා. එම සංවිධානය පිහිටෙව්වේ ලොවට සාමය ගෙන ඒමේ හා යම් ජාතීන්ට උපකාර අවශ්‍ය නම් එය ලබා දීමේ අරමුණෙන්.d එම සංවිධානය ජාතීන්ගේ සංගමයයි. දෙවෙනි ලෝක මහා යුද්ධයේ ආරම්භයත් එක්කම ජාතීන්ගේ සංගමය නැති වී ගියා. එම යුද්ධයෙන් පසු එම සංවිධානය ආපහු මතු වුණා. එවර මතු වුණේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෙසයි.—එළි. 17:8.
14. මෘගයාගේ රූපය අටවෙනි රජ ලෙස හඳුන්වන්නේ ඇයි?
14 යොහන් මෘගයාගේ එම රූපය විස්තර කරන්නේ අටවෙනි රජ හැටියටයි. නමුත් යොහන් කලින් දුටු මෘගයාට තිබුණේ හිස් හතක් විතරයි. එසේනම් යොහන් මෘගයාගේ රූපයට අටවෙනි රජ කියා පවසන්නේ ඇයි? මුළු ලෝකයටම බලපාන තීරණ ගන්න තරම් බලයක් මේ රූපයට තිබෙන නිසයි. එසේ කිරීම සඳහා මෘගයාගේ රූපයට බලය ලැබෙන්නේ එයට සම්බන්ධ සියලු රාජ්‍යයන්ගෙන් මෙන්ම විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය හා ඇමරිකානු ලෝක අධිරාජ්යයෙනුයි.—එළි. 17:10, 11.
මෘගයාගේ රූපය ගණිකාව විනාශ කරයි
15, 16. ගණිකාවගෙන් නියෝජනය වෙන්නේ මොකක්ද? මිනිසුන් දැන් ආගම සලකන්නේ මොන විදිහටද?
15 තද රතු පැහැති මෘගයාගේ රූපයට පණ ලැබුණු පසු ඒ පිට ඉඳගෙන සිටින ගණිකාවක්ව යොහන් දර්ශනයෙන් දකිනවා. ඇයව හඳුන්වන්නේ “මහ බැබිලෝනිය” යන නමින්. (එළි. 17:1-6) ලොව පුරා තිබෙන සියලුම අසත්‍ය ආගම් ඇගෙන් නියෝජනය වෙනවා. ක්‍රිස්තියානියයි කියාගන්නා නමුත් යෙහෝවා දෙවිට නමස්කාර නොකරන ආගම් එහි ප්‍රධාන තැනක් ගන්නවා. ගණිකාව එම මෘගයා පිට ගමන් කරනවා හා සමානව මේ සියලුම ආගම් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ප්‍රසිද්ධියේ සහයෝගය දක්වන අතර තමන් කැමති විදිහට එම සංවිධානය මෙහෙයවන්න උත්සාහ කර තිබෙනවා.
16 යොහන් තවත් දෙයක් දකිනවා. ඔහු දකින්නේ ස්වාමීන්ගේ දවසේ මහ බැබිලෝනිය ජල ධාරාවන් මත ඉඳගෙන සිටින ආකාරයයි. එම ජල ධාරාවන් ක්ෂණිකව සිඳී යන ආකාරයත් ඔහු දකිනවා. ඉන් අදහස් කරන්නේ විවිධ ආගම්වලට සහයෝගය දුන් මහජනයා එතරම් සහයෝගයක් දක්වන්නේ නැති බවයි. (එළි. 16:12; 17:15) උදාහරණයකට මෘගයාගේ රූපය මතු වූ කාලයේදී එනම් ස්වාමීන්ගේ දවස ආරම්භ වූ කාලයේදී මහජනයාව පාලනය කිරීමට ආගමට පුදුමාකාර බලයක් තිබුණා. නමුත් ක්‍රම ක්‍රමයෙන් මිනිසුන් තුළ ආගමට හා ආගමික නායකයන්ට තිබූ ගෞරවය හා සහයෝගය දැන් නැති වී තිබෙනවා. අද බොහෝදෙනෙක් සිතන්නේ යුද්ධ හා වෙනත් ගැටුම්වලට වගකිව යුත්තේ ආගම් කියායි. සියලු ආගම් නැති කර දැමිය යුතුයි කියා තදින් ප්‍රකාශ කරන අන්තවාදී කණ්ඩායම්ද සිටිනවා.
17. සියලුම අසත්‍ය ආගම්වලට ළඟදීම සිදු වෙන්නේ මොකක්ද? එය සිදු වෙන්නේ මොන හේතුවක් නිසාද?
17 දේශපාලනයට බලපෑම් කරන්න ආගම් දිගටම උත්සාහ කරයි. නමුත් ‘තමන් අරමුණු කරන දේ ඉටු කිරීමට රජුන්ගේ මනස් තුළට දෙවි යම් අදහසක් දමනවා.’ (එළිදරව් 17:16, 17 කියවන්න.) ආගම්වලට විරුද්ධව ප්‍රහාරයක් එල්ල කරන්න දෙවි ඉතාම ඉක්මනින් ලෝකයේ තිබෙන ආණ්ඩු පොලඹවයි. එවිට දේශපාලනයට බලපෑම් කරන්න ආගම්වලට තවදුරටත් හැකි වෙන්නේ නැහැ. ආගම්වලට තමන් සතු විශාල ධන සම්භාරය නැති වෙයි. මේ වගේ දෙයක් වෙයි කියා දැනට අවුරුදු 20කට 30කට කලින් කිසිම කෙනෙක් සිතුවේ නැහැ. නමුත් දැන් තත්වය හාත්පසින්ම වෙනස්. කොහොමවුණත් අසත්‍ය ආගම් නැති වී යන්නේ ක්‍රමානුකූලව නෙවෙයි. ඒවා විනාශ වෙන්නේ ක්ෂණිකවයි.—එළි. 18:7, 8, 15-19.
මෘගයන් විනාශ වෙයි
18. (අ) අවසානයේදී මෘගයා මොනවා කරන්න උත්සාහ කරයිද? එයින් සිදු වෙන්නේ මොකක්ද? (ආ) දානියෙල් 2:44ට අනුව දෙවි විනාශ කරන්නේ මොන රාජ්‍යයන්ද? (17වෙනි පිටුවේ කොටුව බලන්න.)
18 සියලු අසත්‍ය ආගම් විනාශ කළ පසුව දෙවිගේ රාජ්‍යයට විරුද්ධව ප්‍රහාරයක් එල්ල කරන්න සාතන් සියලුම දේශපාලන සංවිධාන පොලඹවයි. නමුත් දෙවිගේ රාජ්‍යය තිබෙන්නේ ස්වර්ගයේ නිසා ඔවුන් ඒ ප්‍රහාරය එල්ල කරන්නේ පොළොවේ සිටින දෙවිගේ සෙනඟටයි. එවිට යෙහෝවා දෙවි තම සෙනඟ වෙනුවෙන් මැදිහත් වෙයි. (එළි. 16:13-16; 17:12-14) මේ අවසාන සටනේදී සිදු වන දෙයක් ගැන දානියෙල් හෙළි කරනවා. (දානියෙල් 2:44 කියවන්න.) එළිදරව් 13:1 සඳහන් වෙන මෘගයාවත්, මෘගයාගේ රූපයත්, අං දෙකක් ඇති මෘගයාවත් විනාශ වෙයි.
19. අපිට විශ්වාසය තබන්න පුළුවන් මොකක් ගැනද? වහාම කළ යුත්තේ මොකක්ද?
19 අපි දැන් ජීවත් වෙන්නේ එළිදරව් පොතේ 13වන පරිච්ඡේදයේ සඳහන් මෘගයාගේ හත්වෙනි හිස පාලනය කරන කාලයෙයි. මෘගයා විනාශ වීමට පෙර තවත් හිසක් මතු වෙන්නේ නැහැ. අසත්‍ය ආගම් විනාශ වන අවස්ථාවේදී ලෝකය පාලනය කරමින් සිටින්නේ බ්‍රිතාන්‍ය හා ඇමරිකානු අධිරාජ්‍යයයි. යෙහෝවා දෙවි දානියෙල් හා යොහන් මාර්ගයෙන් පැවසූ අනාවැකි මේ වන තුරු අකුරටම ඉටු වී තිබෙනවා. ඉතාම ළඟදී අසත්‍ය ආගම් විනාශ වන බවත් හර්මගෙදොන් යුද්ධය පැමිණෙන බවත් අපිට විශ්වාසයි. හරියටම සිදු වන දේ ගැන යෙහෝවා දෙවි අපිට කල් ඇතුව දන්වා තිබෙනවා. නමුත් අනාවැකි මගින් දී තිබෙන අනතුරු ඇඟවීම්වලට අපි කීකරු වෙනවාද? (2 පේතෘ. 1:19) යෙහෝවා දෙවිගේ පැත්ත ගෙන දේවරාජ්‍යයට පූර්ණ සහයෝගය දෙමු. එය මොහොතකටවත් කල් නොදමමු.—එළි. 14:6, 7.
[පාදසටහන්වල]
a පොළොවේ තිබෙන හෝ සිදු වන දේ සම්බන්ධයෙන් පූර්ණකම පෙන්නුම් කිරීමට බයිබලයේ සඳහන් වෙන්නේ අංක දහයයි. ඒ අනුව අං දහයෙන් රෝම අධිරාජ්‍යයෙන් බිඳී ගිය සියලුම රාජ්‍යයන් නියෝජනය වෙනවා.
b බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය හා එක්සත් ජනපදය 18වෙනි සියවසේ සිට තනි තනිවම බලවත් රාජ්‍යයන්ව පැවතුණත් ‘ස්වාමීන්ගේ දවස’ ආරම්භ වන තුරු එය යොහන් සඳහන් කළ ලෝක අධිරාජ්‍යය ලෙස කටයුතු කළේ නැහැ. (එළි. 1:10) බ්‍රිතාන්‍යය හා එක්සත් ජනපදය හවුල් වී ලෝක අධිරාජ්‍යයක් ලෙස කටයුතු කරන්න පටන්ගත්තේ පළවෙනි ලෝක මහා යුද්ධය කාලයේදියි.
c මෙම රජු සිදු කරන දරුණු විනාශය ගැන දානියෙල් කලින්ම පැවසුවේ මෙහෙමයි. “ඔහු මහත් විනාශයක් සිදු කරනු ඇත.” (දානි. 8:24) උදාහරණයකට තම සතුරන්ව විනාශ කිරීමට එක්සත් ජනපදය ප්‍රබල න්‍යෂ්ටික බෝම්බ දෙකක් හෙළුවා. එමගින් අතිවිශාල හානියක් සිදු වුණා.
[17වන පිටුවේ කොටුව]
“සියලු රාජ්‍යවල්” කීමෙන් අදහස් කරන්නේ මොනවාද?
දානියෙල් 2:44 සඳහන් අනාවැකියේ පවසන්නේ ‘දෙවිගේ රාජ්‍යය ඒ සියලු රාජ්‍යවල් පොඩි කර නැති කර දමයි’ කියායි. ඉන් අදහස් කරන්නේ අතිවිශාල රූපයේ සඳහන් රාජ්‍යයන් ගැන විතරයි.
පොළොවේ තිබෙන අනික් රාජ්‍යයන් ගැන දානියෙල් සඳහන් කරන්නේ නැහැ. නමුත් එළිදරව් පොතේ තිබෙන අනාවැකියේ පවසන්නේ ‘සියලු බලැති දෙවිගේ මහත් දවසේදී සිදු වන යුද්ධය සඳහා මුළු ලොව පුරාම සිටින රජුන්’ එකතු වන බවයි. (එළි. 16:14; 19:19-21) ඉන් පැහැදිලි වෙන්නේ අතිවිශාල රූපයෙන් නියෝජනය වන රාජ්‍යයන්ට අමතරව සියලු මිනිස් පාලනයන් එදාට නැති වන බවයි.
-
-
රජවරුන් අටදෙනෙක්2012 මුරටැඹ | ජූනි 15
-
-
රජවරුන් අටදෙනෙක්
බලවත් රජවරුන් හෙවත් බලවත් පාලනයන් අටක් ගැනත් ඒවා මතු වෙන්නේ කොයි අනුපිළිවෙළටද කියාත් දානියෙල් හා එළිදරව් පොත්වල විස්තර කරනවා. එම රජවරුන් ගැන තිබෙන අනාවැකි වටහාගැනීමට නම් බයිබලයේ සඳහන් පළවෙනි අනාවැකිය වටහාගත යුතුයි.
ඉතිහාසය පුරාම සාතන් තමන්ගෙන් පැවතෙන්නන්ව දේශපාලනික ආයතන හෝ රාජ්‍යයන් ලෙස සංවිධානය කර තිබෙනවා. (ලූක් 4:5, 6) නමුත් දෙවිගේ සෙනඟට එනම් පුරාණයේ ඊශ්‍රායෙල් ජාතියට හා පසුව අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට කෙළින්ම බලපෑම් කළේ එම රාජ්‍යයන්ගෙන් කීපයක් විතරයි. දානියෙල් හා යොහන් දුටු දර්ශනවල දක්වා තිබෙන්නේ එසේ කළ බලවත් පාලනයන් අට ගැන විතරයි.
[12, 13 යන පිටුවල වගුව⁄පින්තූර]
(මුද්‍රිත පිටපත බලන්න)
දානියෙල් පොතේ එළිදරව් පොතේ
සඳහන් අනාවැකි සඳහන් අනාවැකි
1. ඊජිප්තුව
2. ඇසිරියාව
3. බැබිලෝනිය
4. මේදිය සහ පර්සියාව
5. ග්‍රීසිය
6. රෝමය
7. බ්‍රිතාන්‍යය සහ
ඇමරිකාවa
8. ජාතීන්ගේ සංගමය සහ
එක්සත් ජාතීන්ගේ සංවිධානයb
දෙවිගේ සෙනඟ
ක්‍රි.පූ. 2000
ආබ්‍රහම්
1500
ඊශ්‍රායෙල් ජාතිය
1000
දානියෙල් 500
ක්‍රි.පූ./ක්‍රි.ව.
යොහන්
දෙවිගේ ඊශ්‍රායෙල් 500
1000
1500
ක්‍රි.ව. 2000
[පාදසටහන්වල]
a අවසාන කාලයේදී රජවරුන් දෙදෙනාම සිටියි. 19වෙනි පිටුව බලන්න.
b අවසාන කාලයේදී රජවරුන් දෙදෙනාම සිටියි. 19වෙනි පිටුව බලන්න.
[පින්තූර]
අතිවිශාල රූපය (දානි. 2:31-45)
මුහුදෙන් මතු වූ මෘගයන් හතරදෙනා (දානි. 7:3-8, 17, 25)
බැටළුවා හා එළුවා (දානි. 8 පරි.)
හිස් හතක් ඇති මෘගයා (එළි. 13:1-10, 16-18)
අං දෙකක් ඇති මෘගයා මුහුදෙන් මතු වූ මෘගයාගේ රූපයක් සෑදීමට පොලඹවයි (එළි. 13:11-15)
[හිමිකම් විස්තර]
Photo credits: Egypt and Rome: Photograph taken by courtesy of the British Museum; Medo-Persia: Musée du Louvre, Paris
-