ජීවිත කතාව
මං තෝරගත්තේ හොඳම සේවයයි
උස ගොඩනැඟිලි, ලොකු පාලම් හදන්න ඉගෙනගන්න පොඩි කාලේ ඉඳන්ම මට තිබුණේ පුදුම ආසාවක්. ඒ නිසා මම 1937 ජනවාරි මාසේ පාසැල් අධ්‍යාපනය ඉවර කරලා විශ්වවිද්‍යාලයට ඇතුල් වුණා. පන්ති යන්නයි පන්ති ගාස්තු ගෙවන්න පොඩි රස්සාවක් කරන්නයි සිද්ධ වුණ නිසා මට වෙන දෙයක් කරන්න වෙලාවක් තිබුණේ නැති තරම්.
1942දී එක්සත් ජනපදය දෙවෙනි ලෝක මහා යුද්ධයට සම්බන්ධ වෙලයි හිටියේ. ඒ වෙද්දී මම විශ්වවිද්‍යාලයේ පස්වෙනි වසරේ ශිෂ්‍යයෙක්. උපාධියට තිබුණේ තව මාස කීපයයි. මගේ කාමරේ මාත් එක්ක නැවතිලා හිටිය යාළුවෙක් දවසක් කිව්වා “යට තට්ටුවේ ඉන්න පිරිමි ළමයින්ව හම්බ වෙන්න එන කෙනා එක්ක ඔයාත් ටිකක් කතා කරලා බලන්න” කියලා. මම ගිහිල්ලා එයාව හම්බ වුණා. එයාගේ නම ජෝන් බ්‍රෙමර්. ජෝන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්. අහපු හැම ප්‍රශ්නෙකටම එයා බයිබලෙන්ම උත්තර දීපු විදිහ දැකලා මම පුදුම වුණා. මම ඉක්මනින්ම බයිබල් පාඩමක් කරන්න පටන්ගත්තා. ටික කාලෙකින් පුළුවන් හැම වෙලාවකදීම මම ජෝන් එක්ක දේශනා සේවයෙත් ගියා.
ජෝන්ගේ තාත්තාගේ නම ඔටෝ. එයා බැංකු ප්‍රධානියෙක් විදිහට වැඩ කරපු කාලෙදී තමයි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වුණේ. පූර්ණකාලීනව දෙවියන්ට සේවය කරන්න තිබුණ ආසාව නිසා එයා රැකියාවෙනුත් අස් වුණා. ජෝන්ගේ තාත්තාගෙයි එයාගේ පවුලේ අයගෙයි ආදර්ශය මට උදව් වුණා මගේ ජීවිතේ වැදගත් තීරණයක් ගන්න.
මගේ තීරණය
දවසක් විශ්වවිද්‍යාලයේ පීඨාධිපති මට කිව්වා ‘ඔයාගේ ලකුණු අඩු වෙලා. ඔහොම ගියොත් නම් උපාධිය ගන්න බැරි වෙයි’ කියලා. මට මතකයි හරි තීරණයක් ගන්න උදව් කරන්න කියලා යෙහෝවා දෙවියන්ට මම ඕනකමින් යාච්ඤා කළා. උපාධියෙන් පස්සේ මගේ මහාචාර්යවරයා කිව්වා “ඉන්ජිනේරුවෙක් අවශ්‍යයි කියලා ටෙලිග්‍රෑම් එකක් ආවා, ඒකට ඔයා කැමති වෙයි කියලා හිතලා මම ඔයාගේ නම දුන්නා” කියලා. මගේ නම දීපු එක ගැන මම මහාචාර්යවරයාට ස්තුති කළා. ඒත් මගේ කැමැත්ත යෙහෝවා දෙවියන්ට පූර්ණකාලීනව සේවය කරන්නයි කියලා මම එයාට කිව්වා. 1942 ජූනි 17වෙනිදා මම බව්තීස්ම වෙලා ඉක්මනින්ම ඒ සේවය පටන්ගත්තා.
ඊටපස්සේ ඒ අවුරුද්දෙම හමුදා සේවයට බැඳෙන්න කියලා මට ලියුමක් ආවා. මම බලධාරීන්ට කිව්වා මගේ හෘදය සාක්ෂියට එකඟව මට හමුදා සේවයට බැඳෙන්න බැහැ කියලා. විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් මගේ හොඳ චරිතය ගැනත් ඉන්ජිනේරුවෙක් හැටියට මට තිබුණ දක්ෂතා ගැනත් දුන්න සහතික මම ඒ බලධාරීන්ට පෙන්නුවත් වැඩක් වුණේ නැහැ. මට ඩොලර් 10,000ක දඩයක් එක්ක අවුරුදු පහක හිර දඬුවමක් නියම වුණා. හිර කඳවුර තිබුණේ කන්සාස්වල ලීවන්වර්ත් නගරයේ.
හිර කඳවුරේ ජීවිතය
ඒ හිර කඳවුරේ තවත් සාක්ෂිකාර යෞවනයන් 230කට වඩා වැඩිදෙනෙක් ඒ වෙනකොටත් හිටියා. අපි හැමෝටම වැඩ කරන්න සිද්ධ වුණේ හමුදාව භාරයේ තිබුණ ගොවිපොළකයි. අපිව බලාගන්න බන්ධනාගාර නිලධාරීන් කිහිපදෙනෙක්ම හිටියා. අපි යුද්ධවලට, දේශපාලනයට හවුල් වෙන්නේ නැහැ කියලා දැනගෙන හිටිය සමහර බන්ධනාගාර නිලධාරීන් අපේ අදහස්වලට ගරු කළා.
අපි බයිබලය ගැන ඉගෙනගන්න රැස්වීම් තියද්දී සමහර නිලධාරීන් අපිට සහය දුන්නා. පොත් පත් සිර කඳවුර ඇතුළට ගේන්නත් එයාලා උදව් කළා. සිරගෙයි භාරකරු පවා හැම මාසයකම ‘කොන්සලේෂන්’ (දැන් හඳුන්වන්නේ ‘පිබිදෙව්!’ යන නමින්) කියන සඟරාව තැපෑලෙන් ගෙන්වාගත්තා.
හිරෙන් නිදහස් වුණාට පස්සේ
අවුරුදු පහකට හිර දඬුවම ලැබුණත් අවුරුදු තුනකින්, ඒ කියන්නේ 1946 පෙබරවාරි 16වෙනිදා මට නිදහස ලැබුණා. ඒ වෙද්දී දෙවෙනි ලෝක මහා යුද්දේ ඉවර වුණා විතරයි. ඉක්මනින්ම මම ආපහු පූර්ණකාලීනව දෙවියන්ට සේවය කරන්න පටන්ගත්තා. මට පැවරුම ලැබුණෙත් කන්සාස්වල ලීවන්වර්ත් නගරයටමයි. සාක්ෂිකරුවන්ට ඒ නගරයේ අය දරුණු විදිහට සලකපු නිසා මට ඒ නම ඇහුණමත් බයක් දැනුණා. මට එහේ රස්සාවක් හොයාගන්න එක ලේසි වුණේ නැහැ. ඉන්න තැනක් හොයාගන්න එක ඊටත් වඩා අමාරු දෙයක් වුණා.
දවසක් සේවයේ යද්දී මම හිටපු හිරගෙදර නිලධාරියෙක්ව මට මුණගැහුණා. “මෙතනින් යන්නයි කිව්වේ” කියලා එයා හයියෙන් කෑගැහුවා. එයාගේ අතේ බේස්බෝල් පිත්තකුත් තියෙනවා දැකලා මගේ ඇඟ සීතල වුණා. තවත් දවසක මම කාන්තාවකට කතා කරද්දී එයා “ටිකක් ඉන්න” කියලා දොර වහලා ගෙට ගියා. ටික වෙලාවකින් උඩ තට්ටුවේ ජනේලය ඇරුණා. ඒත් එක්කම ඉඳුල් වතුරෙන් මාව නෑවිලා ගියා. ඒ වුණත් මම සේවයෙන් ගොඩක් ආශීර්වාද අද්දැක්කා. පස්සේ කාලෙක මට දැනගන්න ලැබුණා ඒ පළාතේ මගෙන් පොත් පත් ගත්ත ගොඩක් අය සාක්ෂිකරුවන් වෙලා කියලා.
පිටරටක දේවසේවය කරන්න කැමති අයව පුහුණු කරන්න 1943දී නිව් යෝර්ක් නගරයේ අලුත් පාසැලක් පටන්ගත්තා. ඒක හැඳින්නුවේ ගිලියද් මුරටැඹ බයිබල් පාසැල කියලයි. මටත් අවස්ථාව ලැබුණා දහවෙනි ගිලියද් මුරටැඹ පාසැලට යන්න. 1948 පෙබරවාරි 8වෙනිදා ඒ පාසැලෙන් මට පැවරුමක් ලැබුණා ගෝල්ඩ් කෝස්ට්වල සේවය කරන්න. දැන් ඒ රටට කියන්නේ ඝානාව කියලයි.
ගෝල්ඩ් කෝස්ට්වල මට කරන්න තිබුණේ රජයේ නිලධාරීන්ටයි ඒ රටේ හිටපු යුරෝපීයයන්ටයි දේශනා කරන එක. සති අන්තවලදී මම එහේ හිටපු සාක්ෂිකරුවන් එක්කත් ගෙයින් ගෙට දේශනා සේවයේ ගිහින් තවත් හොඳින් ඒක කරන්න ඒ අයට උදව් කළා. ඒ වගේම පිටිසර පැතිවල තනි වෙලා හිටපු සහෝදරයන්ව බලන්නත් එයාලගේ සේවයට උදව් කරන්නත් මම ගියා. ඒ අතරේ ළඟම රටක් වුණ අයිවරි කෝස්ට් රටේ මම සංචාරක සේවකයෙක් හැටියටත් වැඩ කළා.
එහේ ජීවත් වෙද්දී මාත් අප්‍රිකානු අය වගේම මැටි ගෙවල්වල ජීවත් වුණා. අතින් කන්නත් පුරුදු වුණා. වැසිකිළි තිබුණේ නැති නිසා ඒ අවශ්‍යතාව ඉටු කරගන්න පාළුකරයේදී ඊශ්‍රායෙල්වරු කළා වගේ එළියට යන්නත් පුරුදු වුණා. (ද්විතීය කතාව 23:12-14) මමයි පිටරටින් ඇවිල්ලා මාත් එක්ක සේවය කරපු අයයි එහෙම ජීවත් වුණ නිසා එහේ අය අපිව වෙනස් අය විදිහට සැලකුවේ නැහැ. රජයේ නිලධාරීන්ගේ භාර්යාවන් කීපදෙනෙක් එක්කත් අපි බයිබලයේ තියෙන දේවල් සාකච්ඡා කළා. සමහර අය අපේ සේවයට විරුද්ධව ප්‍රශ්න ඇති කරලා අපේ වීසා බලපත්‍ර තහනම් කරන්න උත්සාහ කළාම ඒ භාර්යාවන් එයාලගේ මහත්තුරුන්ට කියලා ඒ තීරණ වෙනස් කළා.
අප්‍රිකාවේ සේවය කරන්න ආපු ගොඩක් අයට වගේ මටත් මැලේරියාව හැදුණා. අමාරු වෙලා මම උණ විකාරෙනුත් දෙඩෙව්වා. මාව තදින් ගැහුණු වෙලාවට මම මගේ හක්ක හයියෙන් අල්ලගෙන හිටියා. ඒ මොන දේ වුණත් සේවයෙන් නම් මට ලැබුණේ ලොකු තෘප්තියක්.
එක්සත් ජනපදයේදී මට ඊවා හෝල්ක්විස්ට්ව මුණගැහිලා තිබුණා. අප්‍රිකාවේ හිටිය අවුරුදු හතර පුරාම මම ඊවාට ලියුම් ලිව්වා. එයාත් 21වෙනි ගිලියද් මුරටැඹ පාසැලට යනවා කියලා මට දැනුම් දුන්නා. එයාට පැවරුම ලැබෙන්න තිබුණේ 1953 ජූලි 19වෙනිදා නිව් යෝර්ක් නුවර තිබුණ සාක්ෂිකරුවන්ගේ ජාත්‍යන්තර සමුළුවකදියි. ඒ සමුළුවට නැවෙන් යන්න මම සැලසුම් කළා. මම කපිතාන් කෙනෙක් එක්ක කතා කරගත්තා නැව් ගාස්තුව හැටියට එහෙට යනකම්ම නැවේ වැඩ කරන්න.
දවස් 22ක මුහුදු ගමනකට පස්සේ මම බෘක්ලින්වල තියෙන යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ගේ මූලස්ථානයට ගිහින් ඊවාව මුණගැහුණා. නිව් යෝර්ක් වරායයි නිල් අහසයි ලස්සනට පේන සඳලුතලයක ඉඳන් මම ඊවාට මගේ හිතේ තියෙන කැමැත්ත කිව්වා. ඊටපස්සේ අපි විවාහ වුණා. ටික දවසකින් ඊවාත් මාත් එක්ක සේවය කරන්න ගෝල්ඩ් කෝස්ට්වලට ආවා.
පවුලේ වගකීම්
අපි අප්‍රිකාවේ සේවය කරන්න පටන් අරන් වැඩි කාලයක් යන්න කලින් තාත්තාට පිළිකාවක් හැදිලා ගොඩක් අසාධ්‍යයි කියලා අම්මාගෙන් ලියුමක් ලැබුණා. අපි නිවාඩුවක් අරගෙන එක්සත් ජනපදයට ගියා. තාත්තාගේ සෞඛ්‍ය තත්වය එන්න එන්නම දුර්වල වෙලා ටික දවසකින් තාත්තා නැති වුණා.
ඊටපස්සේ ආපහු අපි ඝානාවේ අවුරුදු හතරක් විතර සේවය කරද්දී අම්මාත් වැඩ කරගන්න බැරි තරම් දුර්වල වෙලා කියලා අපිට දැනගන්න ලැබුණා. අපේ සමහර යාළුවන් කිව්වේ මමයි ඊවායි අම්මාව බලාගන්න ආවොත් හොඳයි කියලයි. අපේ ජීවිතේ ගන්න වුණ අමාරුම තීරණය අපේ සේවය නවත්වන්න ගත්ත තීරණයයි. ඒ වෙද්දී මම අවුරුදු 15ක් පූර්ණකාලීන සේවය කරලා තිබුණා. ඒකෙන් අවුරුදු 11ක්ම සේවය කළේ ඊවාත් එක්කයි. අපි ආයිත් එක්සත් ජනපදයට ගියා.
අවුරුදු ගණනාවක්ම අපි මාරුවෙන් මාරුවට අම්මාව බලාගත්තා. අම්මාට යන්න පුළුවන් වුණ හැම වෙලාවකම අපි එයාව රැස්වීම්වලට එක්කගෙන ගියා. 1976 ජනවාරි 17වෙනිදා අම්මා නැති වෙද්දී වයස 86යි. ඊටත් වඩා අමාරු දේකට අපිට මුහුණ දෙන්න වුණේ ඊට අවුරුදු නවයකට පස්සෙයි. ඒ ඊවාට පිළිකාවක් හැදිලා කියලා වෛද්‍යවරුන් කියපු වෙලාවෙයි. ඒක සනීප කරගන්න අපි නොගත්ත උත්සාහයක් නැහැ. ඒත් අන්තිමේදී, 1985 ජූනි 4වෙනිදා ඊවාත් මගෙන් සමුගත්තා. ඒ වෙද්දී ඊවාට වයස 70යි.
මගේ ජීවිතේ තවත් වෙනස්කමක්
1988දී ඝානාවේ ශාඛා කාර්යාලය ලොකු කළාට පස්සේ පවත්වපු කැප කිරීමේ උත්සවයට සහභාගි වෙන්න කියලා මට ආරාධනයක් ලැබුණා. ඒක මගේ ජීවිතේ අමතක නොවෙන අවස්ථාවක්. මම මුලින්ම ඝානාවට යද්දී, ඒ කියන්නේ මීට අවුරුදු 40කට කලින් එහේ හිටියේ සාක්ෂිකරුවන් සිය ගණනක් විතරයි. 1988 වෙද්දී 34,000කට වඩා වැඩි ගාණක් හිටියා. ඒත් දැන් ඒ ගණන 1,14,000 දක්වා වැඩි වෙලා.
ඊට අවුරුදු දෙකකට පස්සේ මම ඊවාගේ හොඳම යාළුවා වන බෙටී මිලර් එක්ක 1990 අගෝස්තු 6වෙනිදා විවාහ වුණා. එදා ඉඳන් අපි දෙන්නම යෙහෝවා දෙවියන්ට සේවය කරනවා. ඒක තමයි අපේ ජීවිතේ වැදගත්ම දේ. අපේ ආච්චිලා සීයලා, දෙමව්පියන් සහ ඊවා නැවත නැඟිටින දවස එනකම් අපි බලාගෙන ඉන්නේ ගොඩක් ආසාවෙන්.—ක්‍රියා 24:15.
අවුරුදු 70ක් පුරා යෙහෝවා දෙවියන්ට සේවය කරන්න ඔහු මට දීපු වටිනා අවස්ථාව ගැන හිතන කොට මගේ ඇස්වලට සතුටු කඳුළු එනවා. දෙවියන්ට පූර්ණකාලීනව සේවය කරන්න තීරණයක් ගන්න දෙවියන් මට උදව් කරපු එක ගැන මම හැමදාමත් ඔහුට ස්තුති කරනවා. මම දැන් මගේ ජීවිතේ 90 ගණන්වල හිටියත් ශ්‍රේෂ්ඨ දෙවියන් වන යෙහෝවා දෙන ශක්තියෙන් තවමත් ඔහුට සේවය කරනවා.