හද පත්ලෙන්ම සමාව දෙමු
“නිතරම ඔවුන්ට මුළු හදවතින්ම සමාව දෙන්න.”—කොලො. 3:13.
1, 2. අනිත් අයට සමාව දෙන්න මම කැමතිද කියන ප්රශ්නය ගැන හිතන එක වැදගත් ඇයි?
අපි වැරදි කරනවට යෙහෝවා දෙවි පොඩ්ඩක්වත් කැමති නැහැ. ඒ නිසා අපි කරන වැරදි ඔහු සුළුවෙන් තකන්නෙත් නැහැ. ඒ වුණත් දෙවි සමාව දෙන්න කොයි තරම් කැමතිද කියලා බයිබලයේ සඳහන් වෙනවා. දෙවි දාවිත්ටත් මනස්සේටත් සමාව දුන්න බවත් එහෙම කළේ ඇයි කියලත් කලින් ලිපියෙන් සාකච්ඡා කළා ඔබට මතක ඇති. ඔවුන් දෙන්නම තමන් වරදක් කළා කියලා නිකම්ම පිළිගන්නවාට වඩා වැඩි දෙයක් කළා. දෙවිට විරුද්ධව කරපු වැරදි ගැන ඔවුන් හොඳටම දුක් වුණා. හංගන්නැතුව වරද ගැන හැම දෙයක්ම දෙවිට කිව්වා. වරද ආයෙත් නොකරන්න අධිෂ්ඨාන කරගත්තා. අවංකවම පසුතැවිලි වුණා. දෙවි ඔවුන්ට සමාව දුන්නේ අන්න ඒ නිසයි.
2 දැන් අපි ගැන කතා කරමු. දෙවි වගේ අනිත් අයට සමාව දෙන්න මාත් කැමතිද? මෙහෙම හිතන්න. ඔබ එදා හිටියා නම් මනස්සේගේ නපුරු වැඩක් හින්දා ඔබේ පවුලේ කෙනෙක් මැරුණා කියමුකෝ. ඔබ මොනවා කරයිද? මනස්සේට සමාව දෙන්න ඔබේ හිත දෙයිද? හිතන්න හොඳ ප්‍රශ්න නේද? අපි අද ජීවත් වෙන්නේ ප්‍රචණ්ඩකාරී නපුරු ලෝකෙක. අනුන්ව තඹේකට මායිම් නොකරන මිනිසුන්ට මම සමාව දෙන්න ඕනේ ඇයි? මට අසාධාරණයක් වුණොත් හිත පාලනය කරගෙන දෙවි වගේ හද පත්ලෙන්ම සමාව දෙන්න උදව් වෙන්නේ මොනවාද?
මම සමාව දෙන්න ඕනේ ඇයි?
3-5. (අ) සමාව දීම ගැන යේසුස් කියපු උපමාව මොකක්ද? (ආ) එයින් අපි ඉගෙනගන්න පාඩම මොකක්ද?
3 සභාවේ අයට වගේම අනිත් අයටත් සමාව දෙන්න අපි ලෑස්ති වෙලා ඉන්න ඕනේ. පවුලේ අය, යාළුවෝ සහ වෙන ඕනම කෙනෙක් එක්ක විතරක් නෙමෙයි යෙහෝවා දෙවි එක්ක වුණත් සාමෙන් ඉන්න පුළුවන් වෙන්නේ එහෙම කළොත් විතරයි. සමාව දෙන එක දෙවි අපෙන් බලාපොරොත්තු වෙනවා. අනිත් අය අපිට කී සැරයක් වැරදි කළත් අපි එයාලට සමාව දෙන්න ඕනේ කියලා බයිබලයේ කියනවා. සමාව දෙන්න ඕනේ ඇයි කියලා තේරුම්ගන්න යේසුස් ලස්සන උපමාවක් කිව්වා. ඒ තමයි රජෙකුට ලොකු මුදලක් ණය වෙලා හිටපු දාසයා ගැන උපමාව. ඒකෙන් ඉගෙනගන්න පුළුවන් පාඩම මොකක්ද කියලා අපි හොයලා බලමු.
4 කතන්දරේ හැටියට දාසයෙක් රජතුමාට ලොකු මුදලක් ණය වෙලා හිටියා. කොච්චර ලොකු ණයක්ද කියනවා නම් ඒ ණය ගෙවන්න මුළු ජීවිත කාලෙම මදි. ඒ ණය මුදල එදා කාලේ දාසයෙක් දවස් කෝටි හයක් වැඩ කළාම ලැබෙන පඩිය හා සමානයි. ඒත් රජ ඒ දාසයාට අනුකම්පා කරලා ණය අහෝසි කරලා දැම්මා. සමාව ලැබුණු දාසයා ඊළඟට මොකද කළේ? ඔහු ගියා තමන්ට ණය වෙලා හිටපු දාසයෙක්ව හමු වෙන්න. ඔහු ණය වෙලා හිටියේ දවස් 100ක පඩියකින් ගෙවන්න පුළුවන් මුදලක් විතරයි. ඒත් සමාව ලැබුණු දාසයා ඒ දාසයාට කිසිම දයාවක් පෙන්වන්නැතුව කොහොමහරි ණය ගෙවන්න කියලා බල කළා. ඒ දාසයාට එහෙම කරන්න බැරි වුණ නිසා ඔහුව හිරේ යැව්වා. මේ ගැන රජට ආරංචි වුණාම හොඳටම කේන්ති ගියා. සමාව දුන්න දාසයාව ඔහු ආයෙත් ගෙන්වගෙන ‘මම ඔබට අනුකම්පා කළා වගේම ඔබත් ඒ දාසයාට අනුකම්පා කරන්න තිබුණා නේද’ කියලා අහලා ‘ගෙවිය යුතු සම්පූර්ණ ණය තමාට ගෙවන තුරු ඔහුව සිරගෙට භාර දුන්නා.’—මතෙ. 18:21-34.
5 යේසුස් ඒ උපමාවෙන් ඉගැන්නුවේ ‘අපි එකිනෙකාට මුළු හදවතින්ම සමාව දුන්නේ නැත්නම් ස්වර්ගයේ සිටින පියාණන් අපිටත් සමාව දෙන්නේ නැහැ’ කියන පාඩමයි. (මතෙ. 18:35) උපන් දා ඉඳලා අද වෙනකං අපි දෙවිගේ හිත කොච්චර රිද්දලා ඇද්ද? කොච්චර නම් වැරදි කරලා ඇද්ද? ඒත් ඒවාට සමාව දීලා ඒවා සම්පූර්ණෙන්ම අමතක කරලා දාන්න දෙවි කැමතියි. හැබැයි ඉතින් අපේ පැත්තෙනුත් දෙයක් වෙන්න ඕන. ඒ ගැන යේසුස් කිව්වේ මෙහෙමයි. “ඔබ අනිත් අයගේ වැරදිවලට සමාව දෙනවා නම් ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් ඔබටත් සමාව දෙයි. නමුත් ඔබ ඔවුන්ගේ වැරදිවලට සමාව දෙන්නේ නැත්නම් ඔබේ පියාණන් ඔබේ වැරදිවලටත් සමාව දෙන්නේ නැහැ.” (මතෙ. 6:14, 15) කොයි තරම් වැදගත් පාඩමක්ද!
6. සමාව දෙන එක එතරම් ලේසි නැත්තේ ඇයි?
6 සමාව දෙන්න කියලා කියන්න හරි ලේසියි. ඒත් තමන්ට පෞද්ගලිකව අසාධාරණයක් වෙනකොට සමාව දෙන එක කියන තරම් ලේසි නැහැ. මොකද ඒ වෙලාවට, දැනෙන වේදනාව දෙගුණ තෙගුණ වෙනවා. කේන්තිත් යනවා. ‘එයා මට ද්‍රෝහි වුණා’ කියන හැඟීමත් ඇති වෙනවා. ‘වෙච්ච වරදට මට සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕනේ’ කියලත් හිතෙනවා. ‘මං වින්ද හිත් වේදනාවම එයත් විඳින්න ඕනේ’ කියලා හිතලා පළිගන්න පවා සමහරු පෙලඹෙනවා. ‘එයාට නම් මං කවදාවත් සමාව දෙන්නේ නැහැ’ කියලත් හිතෙන්න ඉඩ තියෙනවා. කවදාහරි ඔබටත් ඒ වගේ හැඟිලා තියෙනවාද? එහෙමනම් යෙහෝවා දෙවි වගේ හද පත්ලෙන්ම සමාව දෙන්න අපිට උදව් වෙන්නේ මොනවාද?
හිත පාලනය කරගන්න
7, 8. කෙනෙකුට සමාව දෙන්න පුළුවන් වෙන්නේ අපි මොනවා කළොත්ද?
7 කවුරුහරි අපිට වරදක් කළොත් එහෙම නැත්නම් අපිට අසාධාරණයක් වුණා කියලා හිතුණොත් ඇති වන කේන්තිය පාලනය කරගන්න එක ලේසි නැහැ. එක තරුණයෙකුට එහෙම වුණා. දන්නවද ඔහු කළ දේ? ඔහු මෙහෙම කියනවා. ‘මං එළියට බැස්සේ ආයේ කවදාවත් ගෙවල් පැත්තේ පස් පාගන්නෑ කියලා හිතාගෙන. හැබැයි එදා පුදුම නිස්කලංක දවසක්. පාර දෙපැත්තේ තිබුණු මල් දෙවැට හරිම ලස්සනයි. කුරුල්ලන්ගේ කිචි බිචියත් හැම තැනම. වැඩි වෙලාවක් ගියේ නෑ මගේ කේන්තිය කොහේ ගියාද කියලා හිතාගන්න බැරි වුණා. මං ආපහු හැරිලා ගෙදර ගියේ මෙච්චර කේන්ති ගත්තේ අපරාදෙනේ කියලා හිත හිත.’ මොකක්ද පාඩම? හැඟීම්වලට වහල් වෙලා ඉදිරියේදී පසුතැවෙන තීරණයක් ගන්නේ නැතුව සන්සුන් වෙන්න කාලය ගන්න කියන එකයි.—ගීතා. 4:4; හිතෝ. 14:29; යාකො. 1:19, 20.
8 කොච්චර කළත් හිත සන්සුන් වෙන්නේ නැහැ කියලා හිතමු. එහෙමනම් මෙන්න මේ ප්‍රශ්න ටික ඔබෙන්ම අහන්න. ‘මම මේ තරම් තරහෙන් ඉන්නේ ඇයි? අසාධාරණයක් වෙච්ච හින්දද? එයා කියපු කට කැඩිච්ච කතාව හින්දද? එයා හිතලම මාව රිද්දුවා කියලා මට හිතෙන නිසාද? වෙච්ච දේ ඒ තරම්ම බරපතළ දෙයක්ද?’ මේ තරම් කේන්තියක් යන්න හේතුව මොකක්ද කියලා තේරුම්ගත්තම ඒ හැඟීම් පාලනය කරගන්න උදව් වෙන බයිබල් ප්‍රතිපත්තිත් හොයාගන්න ඔබට පුළුවන් වෙයි. එතකොට කලබල නොවී දෙවි කැමති විදිහට ක්‍රියා කරන්න ඔබට පුළුවන් වෙනවා. (හිතෝපදේශ 15:28; 17:27 කියවන්න.) හැඟීම්වලට යට වෙන්නේ නැතුව ඇත්තටම වුණේ මොකක්ද කියලා තේරුම්ගත්තම සමාව දෙන එක ඒ තරම් අමාරු වෙන්නේ නැහැ. ඒක ඒ තරම්ම ලේසිත් නැහැ තමයි. ඒ වුණත් අපේ ‘සිතුවිලි හා චේතනා’ වටහාගන්න බයිබලය අපිට උදව් වෙනවා. එතකොට දෙවි සමාව දුන්නා වගේ සමාව දෙන්න අපිටත් පුළුවන්.—හෙබ්‍රෙ. 4:12.
හිත රිද්දගන්න එපා
9, 10. (අ) තමන්ට වරදක් වුණා කියලා හැඟුණොත් කෙනෙක් මොනවා කරන්න ඉඩ තියෙනවද? (ආ) කේන්ති නොගෙන සමාව දෙන්න පුරුදු වුණොත් ඔබට කොහොම හැඟෙයිද?
9 කෙනෙකුට කේන්ති යන්න නම් ඕන තරම් දේවල් සිද්ධ වෙනවා. උදාහරණයකට වාහනයක් ඔබේ ඇඟේ හැප්පෙන්න ඇවිත් ඔබ බේරුණේ අනූනමයෙන් කියලා හිතන්න. ඔබ මොකද කරන්නේ? සමහරු කේන්තිය පාලනය කරගන්න බැරුව රියදුරාට අල්ලං ගහනවා. නැත්නම් ඒ වාහනේට ගිනි තියනවා. සැබෑ ක්‍රිස්තියානීන් විදිහට අපි එහෙම කරන්නෑ. හැබැයි කේන්ති යන්න ඉඩ තියෙනවා.
10 කලබල වෙලා දෙයක් කියන්න හෝ කරන්න කලින් මෙහෙම හිතලා බලන්න. ‘මම පාරේ ගියේ වෙන කල්පනාවකින්ද? ඒ නිසා වරද මගේද? එහෙම නැත්නම් වාහනේ ඇඟට ආවේ මොකක් හරි කාර්මික දෝසයක් හින්දද?’ තව ටිකෙන් යට වෙන්න ඉඩ තිබුණ බව ඇත්තයි. ඒත් ඒ වගේ දෙයක් වුණේ ඇයි කියලා තේරුම්ගත්තම කේන්තිය පාලනය කරගන්න පුළුවන්. සමාව දෙන්නත් අමාරු වෙන්නෑ. බයිබලයේ කියලා තියෙන්නෙත් “අමනාප වීමට ඉක්මන් නොවන්න. මන්ද සිත තුළ අමනාපයක් ඇති කරගන්නේ මෝඩයන්ය” කියලයි. (දේශ. 7:9) හුඟක් වෙලාවට අපි හිතන්නේ ‘එයා ඒක කළේ මාව රිද්දන්න බලාගෙනමයි’ කියලා. එහෙම හිතලා අපි අපේම හිත රිද්දගන්නවා. ඒත් කරුණු කාරණා හොයලා බලද්දී වෙලා තියෙන්නේ අත් වැරැද්දක්. නැත්නම් වැරදි වැටහීමක්. ඒ නිසා තමන්ගේ පැත්තෙන් විතරක් නොහිතා අනිත් කෙනාගේ පැත්තෙන් හිතන්නත් උත්සාහ කරන්න. තරහා ගන්නවා වෙනුවට සමාව දෙන්න. එහෙම කළොත් විතරයි කේන්ති යන අවස්ථාවක වුණත් දෙවි ඉදිරියේ හරි දේ කරන්න පුළුවන් වෙන්නේ. එහෙම කළාම හිතට ලොකු සහනයක් දැනෙනවා නේද?—1 පේතෘස් 4:8 කියවන්න.
හිතේ සාමය නැති කරගන්න එපා
11. සේවේ යද්දී කෙනෙක් බැන්නොත් ඔබ මොකද කරන්නේ?
11 යේසුස් ගෝලයෝ 70දෙනාව සේවේ යවද්දී මෙහෙම කිව්වා. ‘යම් නිවසකට ඇතුල් වූ විට මේ නිවසට සමාදානය ලැබේවා කියා පවසන්න. සමාදානයට කැමති කෙනෙක් සිටී නම් ඔබ පැතූ සාමය ඔහුට ලැබෙයි. එහෙම නැත්නම් ඔබේ සමාදානය නැති කර නොගෙන එතැනින් පිටත් වෙන්න.’ (ලූක් 10:1, 5, 6) කෙනෙක් ශුභාරංචිය අහද්දී අපි හුඟක් සතුටු වෙනවා. හැබැයි හැමෝම ඇහුම්කන් දෙන්නෑ. සමහරු බණිනවා. එතකොට අපි මොකද කරන්නේ? නිවැසියා මොනවා කිව්වත් අපි සන්සුන්ව ඉන්න ඕනේ කියලා යේසුස් කිව්වා. අපි එකට එක කරන්න ගියොත් අපේ හිතේ සාමය නැති වෙනවා. එතකොට යේසුස් කියපු විදිහට ඒ ගෙදරින් පිට වෙන්න බැරි වෙනවා.
12. එෆීස 4:31, 32ට අනුව අපි කරන්න ඕනේ මොනවාද?
12 හැමෝම එක්ක සාමකාමීව ඉන්න අපි නිතරම වෑයම් කරන්න ඕනේ. සමාව දෙනවා කියන්නේ මොකක්ද? කෙනෙක් කරන වරද අනුමත කරනවා කියන එකවත් වරද නිසා ඇති වුණ හිත්තැවුල නොසලකාහරින්න පුළුවන් කියන එකවත් නෙමෙයි. සමාව දෙනවා කියන්නේ අපිට වෙච්ච දේ අපේ හිතෙන් ඉවත් කරගන්න එකයි. සමාව දුන්නට පස්සේ වෙච්ච වරද ගැන හිත හිත කාලයක් තිස්සේ දුක් වෙවී ඉන්න එක සුදුසු නැහැ. එහෙම කළොත් හිතේ කහට වැඩි වෙනවා. සතුට පෑල දොරෙන් පලා යනවා. ඒ නිසා හිත පාලනය කරගෙන සන්සුන් වෙන්න. සමාව දෙන්න. අනිත් අයගේ වැරදි නිසා ඔබේ සතුට නැති කරගන්න එපා.—එෆීස 4:31, 32 කියවන්න.
සමාව දී දෙවිව සතුටු කරන්න
13. (අ) “යකඩ මත ගිනි අඟුරු ගොඩගසනවා” කීමෙන් අදහස් කරන්නේ මොකක්ද? (ආ) කේන්තියෙන් ඉන්න කෙනෙකුට අපි මෘදු විදිහට කතා කරද්දී මොනවා වෙන්න ඉඩ තියෙනවාද?
13 අපිට විරුද්ධව වැරදි කරන කෙනෙකුට වුණත් උදව් කරන්න අපිට පුළුවන්. පාවුල් මෙහෙම දෙයක් කිව්වා. “ඔබේ සතුරා බඩගින්නෙන් සිටී නම් ඔහුට කන්න දෙන්න. ඔහු පිපාසයෙන් සිටිනවා නම් ඔහුට බොන්න යමක් දෙන්න. යකඩ මත ගිනි අඟුරු ගොඩගසනවා හා සමානව ඔහුගේ දැඩි සිත මොළොක් කිරීමට ඔබට හැක. නපුරු දේවලට ඔබව පරාජය කරන්න ඉඩ නොදෙන්න. දිගටම යහපතින් නපුරු දේවල් පරාජය කරන්න.” (රෝම 12:20, 21) ඒකෙන් අදහස් කරන්නේ සාක්ෂිකාරයෙක් නොවන කෙනෙක් එක්ක වුණත් සාමෙන් ඉන්න උත්සාහ කරන්න ඕනේ කියන එකයි. කේන්තියෙන් ඉන්න කෙනෙක් එක්ක අපි සන්සුන් හා මෘදු විදිහට කතා කරද්දී ඔහුත් ඉබේටම වගේ සන්සුන් වෙනවා. ඒ කෙනාව තේරුම් අරගෙන අනුකම්පාවෙන් කතා කරද්දී සමහරවිට බයිබලය ගැන ඉගෙනගන්නත් ඔහු කැමති වෙන්න ඉඩ තියෙනවා. ඔහුගේ ගල් හිත ඒ වෙලාවෙදී මෘදු වුණේ නැතත් අපේ සාමකාමී හැසිරීම දැකපු නිසා අපි අනිත් අයට වඩා ‘වෙනස්’ කියලා පසු කාලෙක හරි ඔහුට තේරෙයි.—1 පේතෘ. 2:12; 3:16.
14. කෙනෙක් ඔබට කොයි තරම් ලොකු වරදක් කළත් දිගටම අමනාපයෙන් ඉන්න හොඳ නැත්තේ ඇයි?
14 බරපතළ වරදක් කරලා පසුතැවිලි නොවෙන අයව සභා සාමාජිකත්වයෙන් ඉවත් කරනවා. ඒ වගේ අයත් එක්ක අපි ඇසුරු නොකළ යුතුයි. ඊටත් වඩා ඔහු කළ වරද ඔබට පෞද්ගලිකව බලපාලා තියෙනවා නම් ඔහුට සමාව දෙන එක ලේසි වෙන එකක් නැහැ. පසු කාලෙක පසුතැවිලි වුණ ඔහුව සභාවට පිළිගත්තත් සමහරවිට ඔහුට සමාවදෙන්න ඔබේ හිත ඉඩ දෙන එකක් නැහැ. ඒ වගේ අසීරු තත්වෙක ඔබ ඉන්නවා නම් යාච්ඤා කරන්න. ඔහුට සමාව දෙන්න ඔබට හැකියාව දෙන්න කියලා දෙවිගෙන් ඉල්ලන්න. ඒක හරි වැදගත්. මොකද ඔහු කරපු වරදට ඔහුත් හොඳටම දුක් වෙනවා ඇති. හැබැයි ඔහුට ඒක කියාගන්න බැරුව ඇති. ඒක දන්නේ යෙහෝවා දෙවි විතරයි. (ගීතා. 7:9; හිතෝ. 17:3) කෙනෙක් අපේ හිත රිද්දුවත් අපි කරන්න ඕන දේ ගැන පාවුල් මෙහෙම කිව්වා. “කාටවත් නපුරට නපුර නොකරන්න. සියලුදෙනාම යහපත්යයි සලකන දේවල්ම කරන්න. මිනිසුන් සමඟ සමාදානයෙන් සිටීමට ඔබට පෞද්ගලිකව කළ හැකි උපරිමය කරන්න. හිතවත් සහෝදරයෙනි, පළිගැනීමෙන් වළකින්න. ඒ වෙනුවට දෙවිට සෑම දෙයක්ම භාර දී ඔහුට තම උදහස ප්‍රකාශ කිරීමට ඉඩ දෙන්න. මන්ද ලියවිලිවල සඳහන් ආකාරයට, “යුක්තිය ඉටු කිරීමේ අයිතිය මා සතුය. දඬුවම් කරන්නේ මමය කියා යෙහෝවා දෙවි පවසන්නේය.” (රෝම 12:17-19) කෙනෙකුගේ හිත දකින්නේ දෙවි විතරයි. එහෙමනම් තව කෙනෙක් පව්කාරයෙක් කියලා විනිශ්චය කරන්න අපිට තියෙන අයිතිය මොකක්ද? (මතෙ. 7:1, 2) දෙවි අනිවාර්යයෙන්ම යුක්තිය ඉටු කරයි. ඒ ගැන පොඩ්ඩක්වත් භය වෙන්න එපා.
15. වරද කළ කෙනා එක්ක තියෙන කේන්තිය අඩු කරගැනීමට කරන්න පුළුවන් මොනවාද?
15 කෙනෙක් පසුතැවිලි වුණත් ඔහුට සමාව දෙන්න අපේ හිත ඉඩ නොදෙන අවස්ථාවලදී අපිට මේ කාරණය ගැනත් මතක් කරගන්න පුළුවන්. ඒ තමයි ඔහුත් අපි වගේම අසම්පූර්ණයි කියන එක. (රෝම 3:23) ඒ හේතුව නිසා දෙවි අපිට කොච්චර නම් අනුකම්පා කරනවාද? ඒ නිසා අපිට වරදක් කරලා තියෙන කෙනා වෙනුවෙන් යාච්ඤා කරමු. අනික යේසුස් වුණත් කිව්වේ ‘ඔබේ සතුරන්ටත් නොකඩවා ප්‍රේම කරන්න. ඔබට පීඩා කරන්නන් වෙනුවෙන් දිගටම යාච්ඤා කරන්න’ කියලනේ. (මතෙ. 5:44) එහෙම කළාම ඔහුත් එක්ක තියෙන කේන්තියත් අඩු වෙනවා.
16, 17. වරදකරුවෙක් පසුතැවිලි වෙලා කියලා වැඩිමහල්ලන් තීරණය කළොත් ඔබ දක්වන්න ඕනේ මොන වගේ ප්රතිචාරයක්ද? ඒ ඇයි?
16 බරපතළ වරදක් කළ කෙනෙක් පසුතැවිලි වෙනවද නැද්ද කියලා හොයලා බලන්න දෙවි පත් කරලා තියෙන්නේ වැඩිමහල්ලන්වයි. වරදකරුවාගේ හිතේ තියෙන හැම දෙයක්ම දෙවි වගේ වැඩිමහල්ලෝ දන්නැති බව ඇත්තයි. ඒ නිසා ඒ කෙනා ගැන තීරණයක් ගන්න කලින් ඔවුන් බයිබල් ප්‍රතිපත්ති හොඳට හොයලා බලනවා විතරක් නෙමෙයි දෙවිගේ බලය ඉල්ලලා යාච්ඤාත් කරනවා. එතකොට ඔවුන් ගන්න තීරණය දෙවිගේ කැමැත්තට එකඟ වන බව නිසැකයි.—මතෙ. 18:18.
17 ඒ වගේ අවස්ථාවකදී අපි මොකද කරන්නේ? දෙවි වැඩිමහල්ලන්ව පාවිච්චි කරලා වරදකරුවා සම්බන්ධයෙන් ගත්ත තීරණය අපි පිළිගන්නවාද? වරදකරුවා පසුතැවිලි වෙලා කියලා වැඩිමහල්ලන් තීරණය කළොත් ඔහුට හද පත්ලෙන්ම සමාව දීලා දිගටම ආදරය කරුණාව දක්වන්න අපි ලෑස්තිද? (2 කොරි. 2:5-8) වරදකරු නිසා අපිට හෝ අපේම කෙනෙකුට අසාධාරණයක් වෙලා තියෙනවා නම් ඒක ලේසි නැති වෙන්න පුළුවන්. ඒත් දෙවිව විශ්වාස කරනවා නම් හා ඔහු නිවැරදි විදිහට කාරණා හසුරුවනවා කියලා අපි පිළිගන්නවා නම් අපි සමාව දෙන්න කැමති වෙනවා.—හිතෝ. 3:5, 6.
18. හදවතින්ම සමාව දීමෙන් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද?
18 අපි සමාව දෙන්න කැමති නැත්නම් අනිත් අයත් එක්ක හැමදාම ඉන්න වෙන්නේ තරහෙන්. ඒක ඔලුවට ලොකු පීඩනයක් වගේම අපේ සෞඛ්‍යයටත් අහිතකරයි. අනික් අතට අපි හද පත්ලෙන්ම සමාව දෙනවා නම් අපේ හිතේ කහටක් රැඳෙන්නෙත් නැහැ. කා එක්කත් සතුටෙන් හා සාමෙන් ඉන්නත් පුළුවන් වෙනවා. අපි අනිත් අයට සමාව දෙනවා නම් ඒ හැම දේකටම වඩා යෙහෝවා දෙවිත් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්නත් පුළුවන්.—කොලොස්සි 3:12-14 කියවන්න.