-
බව්තීස්ම වෙන්නම ඕනෙද? – 1වෙනි කොටස: බව්තීස්මයෙන් අදහස් වෙන දේයොවුන් සිතේ ගැටලු
-
-
යොවුන් සිතේ ගැටලු
බව්තීස්ම වෙන්නම ඕනෙද? – 1වෙනි කොටස: බව්තීස්මයෙන් අදහස් වෙන දේ
හැම අවුරුද්දකම සත්‍යය තුළ හැදී වැඩුණු යෞවනයන් හුඟදෙනෙක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විදිහට බව්තීස්ම වෙනවා. ඔයාත් බව්තීස්ම වෙන එක ගැන හිතලා තියෙනවාද? එහෙනම් ඔයා මුලින්ම තේරුම්ගන්න ඕනෙ කැප වෙන එකෙන් සහ බව්තීස්ම වෙන එකෙන් අදහස් කරන්නේ මොකක්ද කියලා.
බව්තීස්ම වෙනවා කියන්නේ මොකක්ද?
බව්තීස්මය කියන්නේ කෙනෙක්ගේ ඔළුවට නිකම්ම වතුර ඉහින එකට නෙවෙයි. බයිබලේ කියන දේවල්වලින් පැහැදිලි වෙනවා බව්තීස්ම කරද්දී කෙනෙක්ව සම්පූර්ණයෙන්ම වතුරේ ගිල්වලා උඩට ගන්න ඕනෙ කියලා. ඒකෙන් විශේෂ දෙයක් සංකේතවත් වෙනවා.
වතුරේ ගිල්වන එකෙන් අදහස් කරන්නේ ඔයාගේ කැමැත්තට අනුව ගත කරපු ජීවිතය ඔයා අත්හැරලා තියෙනවා කියන එකයි.
වතුරෙන් උඩට ගන්න එකෙන් අදහස් කරන්නේ දෙවියන්ගේ කැමැත්ත කරන්න ඔයා අලුතින් ජීවිතයක් පටන්ගත්තා කියන එකයි.
හරි වැරැද්ද තීරණය කරන්න අයිතිය තියෙන්නේ යෙහෝවා දෙවියන්ට විතරයි කියන දේ ඔයා පිළිගන්නවා කියලා බව්තීස්ම වෙද්දී ඔයා හැමෝම ඉස්සරහා පෙන්නනවා. ඒ වගේම හැම කාරණයකදීම දෙවියන්ට කීකරු වෙන්න ඔයා පොරොන්දු වෙලා තියෙනවා කියන දේත් ඒකෙන් පෙන්නනවා.
හිතන්න දෙයක්: ඔයා හැම කාරණයකදීම යෙහෝවා දෙවියන්ට කීකරු වෙනවා කියන එක ප්‍රසිද්ධියේ පෙන්නන්න ඕනෙ ඇයි? 1 යොහන් 4:19 සහ එළිදරව් 4:11 බලන්න.
කැප වෙනවා කියන්නේ මොකක්ද?
බව්තීස්ම වෙන්න කලින් ඔයා ඔයාගේ ජීවිතය යෙහෝවා දෙවියන්ට කැප කරන්න ඕනේ. ඒ කොහොමද?
ඒක කරන්නේ පෞද්ගලිකව කරන යාච්ඤාවකින්. ඒ යාච්ඤාවේදී ඔයා පොරොන්දු වෙනවා අනිත් අය මොන දේ කළත් ඔයා මොන ප්‍රශ්නවලට මුහුණ දුන්නත් සදහටම ඔයා සේවය කරන්නේ යෙහෝවා දෙවියන්ට විතරයි කියලා.
ඔයා ඒ පොරොන්දුව වෙලා තියෙනවා කියලා ඔයා බව්තීස්ම වෙද්දී හැමෝම දැනගන්නවා. ඒ වගේම එතනින් එහාට ඔයා අයිති ඔයාට නෙමෙයි, යෙහෝවා දෙවියන්ට කියලා අනිත් අය දැනගන්නවා.—මතෙව් 16:24.
හිතන්න දෙයක්: ඔයාගේ ජීවිතේ යෙහෝවා දෙවියන්ට භාර දෙන එක තමයි හොඳම දේ කියලා කියන්නේ ඇයි? යෙසායා 48:17, 18 සහ හෙබ්‍රෙව් 11:6 බලන්න.
බව්තීස්ම වෙන එක වැදගත් ඇයි?
යේසුස් කිව්වා ඔහුගේ අනුගාමිකයන් අනිවාර්යයෙන්ම බව්තීස්ම වෙන්න ඕනෙ කියලා. (මතෙව් 28:19, 20) ඒ නිසා අපි අනිවාර්යයෙන්ම බව්තීස්ම වෙන්න ඕනේ. බයිබලේ කියනවා ඒක ගැලවීමටත් මඟ පාදනවා කියලා.—1 පේතෘස් 3:21.
හැබැයි ඔයා බව්තීස්ම වෙන්න ඕනෙ ඒ හේතු නිසාම නෙමෙයි. ඒ වෙනුවට යෙහෝවා දෙවියන් ගැන ඔයාගේ හිතේ තියෙන ආදරේ සහ ඔහු ඔයා වෙනුවෙන් කරලා තියෙන දේවල් ගැන තියෙන අගය නිසයි. ඔයාත් හිතන්න ඕනෙ හරියට මේ ගීතිකාකරු හිතුවා වගෙයි. එයා මෙහෙම කිව්වා. ‘යෙහෝවා දෙවි මා වෙනුවෙන් කළ සියලු යහපත් දේවලට මම කෙසේ ඔහුට ස්තුති කරන්නද? යෙහෝවා දෙවිගේ නාමය කියා මම යාච්ඤා කරන්නෙමි. මම යෙහෝවා දෙවිට දුන් පොරොන්දු ඉටු කරන්නෙමි.’—ගීතාවලිය 116:12-14.
හිතන්න දෙයක්: යෙහෝවා දෙවියන් දැනටමත් ඔයා වෙනුවෙන් කරලා තියෙන්නේ මොනවාද? ඒ වෙනුවෙන් ඔයාට කරන්න පුළුවන් මොනවාද? ද්විතීය කතාව 10:12, 13 සහ රෝම 12:1 බලන්න.
-
-
බව්තීස්ම වෙන්නම ඕනෙද? – 2වෙනි කොටස: බව්තීස්මයට සූදානම් වෙන්නයොවුන් සිතේ ගැටලු
-
-
යොවුන් සිතේ ගැටලු
බව්තීස්ම වෙන්නම ඕනෙද? – 2වෙනි කොටස: බව්තීස්මයට සූදානම් වෙන්න
ඔයාට යෙහෝවා දෙවියන් එක්ක හොඳ බැඳීමක් තියෙනවා නම්, බයිබලේ තියෙන ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙනවා නම් ඔයාත් බව්තීස්මය ගැන හිතනවා ඇති. බව්තීස්මයට ඔයා සූදානම් කියලා දැනගන්න පුළුවන් කොහොමද?a
මේ ලිපියෙන්
බයිබලේ තියෙන හැම දේම මං දැනගෙන ඉන්න ඕනෙද?
විභාගෙකට ලෑස්ති වෙනවා වගේ බව්තීස්ම වෙන්න බයිබලේ තියෙන හැම දෙයක්ම කටපාඩම් කරන්න ඕනෙ නැහැ. ඒ වෙනුවට බයිබලේ තියෙන තොරතුරු ගැන හොඳට හිතලා, ඒ දේවල් ඇත්ත කියලා ඔයා ඔයාටම තහවුරු කරගන්න ඕනේ. (රෝම 12:1) උදාහරණෙකට:
දෙවි කෙනෙක් ඉන්නවා කියලත් ඔහු අපේ නමස්කාරය ලබන්න වටිනවා කියලත් ඔයාට විශ්වාසද?
බයිබලයේ මෙහෙම කියනවා: “දෙවිට නමස්කාර කිරීම සඳහා ඔහු වෙතට ළඟා වන කෙනෙක් ඔහු ජීවමාන බවත් දෙවිගේ මඟ පෙන්වීම් මහත් උනන්දුවකින් පතන අයට ඔහු ආශීර්වාද කරන බවත් විශ්වාස කළ යුතුයි.”—හෙබ්‍රෙව් 11:6.
මේ ගැන හිතන්න: ‘දෙවි කෙනෙක් ඉන්නවා කියලා මං විශ්වාස කරන්නේ ඇයි?’ (හෙබ්‍රෙව් 3:4) ‘මං ඔහුට නමස්කාර කරන්න ඕනෙ ඇයි?’—එළිදරව් 4:11.
උදව්වක් ඕනෙද? “නිර්මාණය කළාද? පරිණාමය වුණාද? - 1වෙනි කොටස: දෙවියන්ව විශ්වාස කරන්න තියෙන හේතු මොනවාද?” කියන ලිපිය බලන්න.
බයිබලේ තියෙන්නේ දෙවියන්ගේ අදහස් කියලා ඔයාට හොඳටම විශ්වාසද?
බයිබලයේ මෙහෙම කියනවා: “මුළු ශුද්ධ ලියවිල්ලම ලියා තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීම තුළිනි. එය ඉගැන්වීමටත් අවවාද කිරීමටත් කාරණා නිවැරදි කිරීමටත් ධර්මිෂ්ඨකමින් හික්මවීම් ලබා දීමටත් ප්රයෝජනවත්ය.”—2 තිමෝති 3:16.
මේ ගැන හිතන්න: ‘බයිබලේ තියෙන්නේ මිනිසුන්ගේ අදහස් නෙවෙයි කියලා මං විශ්වාස කරන්නේ ඇයි?’—යෙසායා 46:10; 1 තෙසලෝනික 2:13.
උදව්වක් ඕනෙද? “මගේ ප්‍රශ්නවලට උත්තර බයිබලයේ තියෙනවාද? - 1වෙනි කොටස: බයිබලයේ තියෙන්නේ මොනවද කියලා හොයලා බලමු” කියන ලිපිය බලන්න.
යෙහෝවා දෙවියන් ඔහුගේ අරමුණ ඉටු කරන්න ක්‍රිස්තියානි සභාව පාවිච්චි කරනවා කියලා ඔයාට විශ්වාසද?
බයිබලයේ මෙහෙම කියනවා: “සභාව මගින්ද ක්‍රිස්තුස් යේසුස් මගින්ද සියලු ප්‍රශංසාවත් ගෞරවයත් [දෙවියන්ට] ලබා දීම කොතරම් යෝග්‍යද! ජීවත් වන සෑම පරම්පරාවක් පුරාම සදහටම එසේ සිදු වේවා!”—එෆීස 3:21.
මේ ගැන හිතන්න: ‘රැස්වීම්වලින් ඉගෙනගන්න තොරතුරු මං සලකන්නේ මිනිසුන්ගෙන් ලැබෙන දේවල් විදිහටද නැත්නම් යෙහෝවා දෙවියන්ගෙන් ලැබෙන දේවල් විදිහටද?’ (මතෙව් 24:45) ‘අම්මායි, තාත්තායි අවසර දීලා තියෙනවා නම් එයාලා රැස්වීම් යන්නේ නැති දවස්වලත් මං රැස්වීම් යනවාද?’—හෙබ්‍රෙව් 10:24, 25.
උදව්වක් ඕනෙද? “රැස්වීම්වලට යන්න ඕනෙ ඇයි?” කියන ලිපිය බලන්න.
මං මොනවාද කරන්න ඕනේ?
බව්තීස්ම වෙන්න කලින් ඔයා හැම දේම සීයට සීයක් හරියටම කරන කෙනෙක් වෙන්න ඕනෙ නැහැ. හැබැයි ‘නපුරට පිටු පාලා යහපත කරන්න’ ඔයාට ලොකු ඕනෙකමක් තියෙනවා කියලා ඔයා කරන කියන දේවල්වලින් පැහැදිලිවම පේන්න ඕනේ. (ගීතාවලිය 34:14) උදාහරණ කීපයක් බලන්න:
ඔයා ජීවත් වෙන්නේ යෙහෝවා දීලා තියෙන ප්‍රමිතිවලට එකඟවද?
බයිබලයේ මෙහෙම කියනවා: “නිදොස් හෘදය සාක්ෂියක් පවත්වාගැනීමට උත්සාහ කරන්න.”—1 පේතෘස් 3:16.
මේ ගැන හිතන්න: ‘“වටහාගැනීමේ හැකියාව” පාවිච්චි කරලා “හරි වැරැද්ද නිවැරදිව හඳුනාගන්න” මට පුළුවන් කියලා මං පෙන්නලා තියෙන්නේ කොහොමද?’ (හෙබ්‍රෙව් 5:14) ‘වැරදි දෙයක් කරන්න යාළුවන්ගෙන් එන පීඩනයට අහු වෙන්නේ නැතුව හිටපු අවස්ථා මගේ ජීවිතේ තියෙනවාද? මං යාළුවන් විදිහට තෝරගෙන ඉන්නේ හරි දේ කරන්න මට උදව් කරන අයවද?’—හිතෝපදේශ 13:20.
උදව්වක් ඕනෙද? “මගේ හෘදය සාක්ෂිය පුහුණු කරන්න පුළුවන් කොහොමද?” කියන ලිපිය බලන්න.
ඔයා කරන දේවල් ගැන යෙහෝවාට ගණන් දෙන්න ඕනෙ කියලා ඔයා තේරුම් අරන් ඉන්නවාද?
බයිබලයේ මෙහෙම කියනවා: “අප කරන කියන දේවල් ගැන අප සියලුදෙනාවම දෙවි විසින් විනිශ්චය කරනු ලැබේ.”—රෝම 14:12.
මේ ගැන හිතන්න: ‘මං අවංකද?’ (හෙබ්‍රෙව් 13:18) ‘මං අතින් වරදක් වුණාම මං ඒක පිළිගන්නවාද, ඒක හංගනවාද නැත්නම් වරද අනිත් අය පිට පටවනවාද?’—හිතෝපදේශ 28:13.
උදව්වක් ඕනෙද? “මගේ අතින් වැරැද්දක් වුණොත් මොකද කරන්නේ?” කියන ලිපිය බලන්න.
යෙහෝවා එක්ක තියෙන බැඳීම දිගටම ශක්තිමත් කරගන්න ඔයා උත්සාහ කරනවාද?
බයිබලයේ මෙහෙම කියනවා: “දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වෙයි.”—යාකොබ් 4:8.
මේ ගැන හිතන්න: ‘යෙහෝවාට ළං වෙන්න මං මොනවාද කරන්නේ?’ උදාහරණෙකට, ‘මං නිතරම බයිබලේ කියවනවාද?’ (ගීතාවලිය 1:1, 2) ‘නිතරම යාච්ඤා කරනවාද?’ (1 තෙසලෝනික 5:17) ‘මං යාළුවන් විදිහට තෝරගෙන ඉන්නේ යෙහෝවාට ආදරේ කරන අයවද?’—ගීතාවලිය 15:1, 4.
උදව්වක් ඕනෙද? “මගේ ප්‍රශ්නවලට උත්තර බයිබලයේ තියෙනවාද? - 2වෙනි කොටස: බයිබලය කියවන එකෙන් සතුටක් ලබමු” සහ “යාච්ඤා කරන්න ඕනෙ ඇයි?” කියන ලිපි බලන්න.
යෝජනාවක්: ‘යොවුන් සිතේ ගැටලු - ඊට විසඳුම්’ 2වන පොතේ 37වෙනි පරිච්ඡේදය කියවන්න. විශේෂයෙන්ම 308 සහ 309 පිටුවල තියෙන ඔබේ සටහන් කියන කොටස බලන්න. බව්තීස්මයට සූදානම් වෙන්න ඒ තොරතුරු ඔයාට උදව් වෙයි.
a දෙවියන්ට ඔයාගේ ජීවිතේ කැප කරලා බව්තීස්ම වෙන එකෙන් අදහස් වෙන දේ සහ ඒකේ වැදගත්කම තේරුම්ගන්න “බව්තීස්ම වෙන්නම ඕනෙද? - 1වෙනි කොටස” කියන ලිපිය බලන්න.
-
-
බව්තීස්ම වෙන්නම ඕනෙද? – 3වෙනි කොටස: බව්තීස්ම වෙන්න මට තියෙන බාධාව මොකක්ද?යොවුන් සිතේ ගැටලු
-
-
යොවුන් සිතේ ගැටලු
බව්තීස්ම වෙන්නම ඕනෙද? – 3වෙනි කොටස: බව්තීස්ම වෙන්න මට තියෙන බාධාව මොකක්ද?
ඔයාගේ ජීවිතේ යෙහෝවා දෙවියන්ට කැප කරලා බව්තීස්ම වෙන එක ගැන හිතද්දීම ඔයාට ලොකු බයක් දැනෙනවාද? එහෙනම් ඒ බයෙන් ගොඩ එන්න මේ ලිපිය ඔයාට උදව් වෙයි.
මේ ලිපියෙන්
බව්තීස්ම වුණාට පස්සේ මගේ අතින් බරපතළ වරදක් වෙයිද?
ඇයි එහෙම හිතෙන්නේ? බරපතළ වරදක් කරපු නිසා ඔයා දන්න කෙනෙක්ව සභාවෙන් අයින් කරලා ඇති. (1 කොරින්ති 5:11-13) සමහරවිට ඔයාටත් එහෙම වෙයිද කියලා ඔයාට බයක් දැනෙනවා ඇති.
“බව්තීස්ම වුණාට පස්සේ මගේ අතින් ලොකු වරදක් වෙයිද කියලා මට ගොඩක් බය හිතුණා. එහෙම වුණොත් ඒක මගේ අම්මාටයි, තාත්තාටයි කොහොම බලපායිද කියලා මට හිතුණා.”—රෙබෙකා.
බයිබලේ කියන දේ: ‘දුෂ්ටයා තම දුෂ්ටකම් මුළුමනින්ම අත්හරීවා! එසේ කර, යෙහෝවා දෙවි වෙතට නැවත හැරී එත්වා. එවිට අපේ දෙවි ඔහුට දයාව පෙන්වා මුළු හදින්ම ඔහුට සමාව දෙනු ඇත.’—යෙසායා 55:7.
මේ ගැන හිතන්න: බරපතළ වරදක් කරලා ඒ ගැන පසුතැවෙන්නේ නැති අයව සභාවෙන් අයින් කරනවා තමයි. හැබැයි නිහතමානීව තමන් අතින් වුණ වරද පිළි අරන් ඒක හදාගන්න උත්සාහ කරන අයට යෙහෝවා දෙවියන් දයාව පෙන්නනවා.—ගීතාවලිය 103:13, 14; 2 කොරින්ති 7:11.
මේකත් මතක තියාගන්න: පව්කාරකම උරුම වෙලා තිබුණත් දෙවියන්ගේ උදව්වෙන් වැරදි පෙලඹීම්වලට විරුද්ධ වෙන්න ඔයාට පුළුවන්. (1 කොරින්ති 10:13) අනික ඔයා කරන්නේ මොනවාද කියලා තීරණය කරන්නේ අනිත් අය නෙවෙයිනේ, ඔයාමනේ.
“බව්තීස්ම වුණාට පස්සේ මගේ අතින් ලොකු වරදක් වෙයිද කියලා මුලදී මං ගොඩක් බය වුණා. හැබැයි පස්සේ මට තේරුණා බව්තීස්ම වෙන එක කල් දාන එකෙනුත් මං කරන්නේ වරදක්නේ කියලා. ඉස්සරහාට මෙහෙම වෙයි, අරහෙම වෙයි කියලා හිතලා අද කරන්න ඕන දේවල් කල් දාන එක කිසි තේරුමක් නැති වැඩක්.”—කෙරන්.
මේක මතක තියාගන්න: බරපතළ වරදකට වැටෙන්නේ නැතුව ඉන්න ඔයාට පුළුවන්. සාක්ෂිකරුවන් හුඟදෙනෙක්ට ඒ දේ කරන්න පුළුවන් වෙලා තියෙනවා.—ෆිලිප්පි 2:12.
තව උදව් ඕනෙද? “වැරදි පෙලඹීම්වලට අහු වෙන්නේ නැතුව ඉන්නේ කොහොමද?” කියන ලිපිය බලන්න.
බව්තීස්ම වුණ කෙනෙක්ගෙන් යෙහෝවා බලාපොරොත්තු වෙන දේවල් මට කරගන්න බැරි වෙයිද?
ඇයි එහෙම හිතෙන්නේ? යෙහෝවා දෙවියන්ට සේවය කරන්න තියෙන ආසාව නිසා පවුලේ අයගෙන්, යාළුවන්ගෙන් ඈත් වෙලා දුර පළාතකට ගිය යෞවනයන්ව ඔයා දන්නවා ඇති. සමහරවිට අනිත් අය ඔයාගෙනුත් ඒ දේම බලාපොරොත්තු වෙයිද කියලා ඔයාට හිතෙනවා ඇති.
“බව්තීස්මයත් එක්ක හුඟක් විදිවලින් යෙහෝවාට සේවය කරන්න අවස්ථා ලැබෙනවා. හැබැයි සමහරු තාම ඒවා භාරගන්න සුදානම් නෑ. තවත් අය ආස වුණත් එයාලා ඉන්න තත්වය නිසා එයාලට ඒ දේවල් කරගන්න බෑ.”—මරී.
බයිබලේ කියන දේ: “සෑම කෙනෙක්ම තමා කරන දේවල් ගැන සෝදිසියෙන් සිටිය යුතුයි. එවිට තමා කළ දේ ගැන සතුටු වීමට ඔහුට පුළුවන. මෙහිදී අන් අය සමඟ සැසඳීම් කිරීම අවශ්‍ය වන්නේ නැත.”—ගලාති 6:4.
මේ ගැන හිතන්න: ඔයාව අනිත් අය එක්ක සසඳන්න එපා. ඒ වෙනුවට මාක් 12:30 කියන විදිහට “ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ම ප්‍රේම කරන්න.”
ඔයා යෙහෝවාට සේවය කරන්න ඕනෙ ඔයාගේ මුළු හදවතින්ම මිසක් තව කෙනෙක්ගේ හදවතකින් නෙවෙයි. ඔයා ඇත්තටම යෙහෝවාට ආදරෙයි නම් ඔයාගේ උපරිමය ඔහුට දෙන්න ඔයා පුළුවන් හැම දේම කරයි.
“බව්තීස්මය කියන්නේ බැරෑරුම් තීරණයක්. හැබැයි ඒක බරක් නෙවෙයි. යෙහෝවාට ආදරේ කරන අයව ඔයාගේ යාළුවන් කරගත්තොත් එයාලා ඔයාට උදව් කරයි. බව්තීස්ම වුණ කෙනෙක්ගෙන් යෙහෝවා බලාපොරොත්තු වෙන දේවල් ඔයා වැඩියෙන් කරන තරමටම ඔයාගේ සතුට තවත් වැඩි වෙයි. හැබැයි ඔයා බව්තීස්ම වුණේ නැත්නම් කවදාවත් ඒ සතුට අද්දකින්න ලැබෙන්නේ නෑ.”—ජූලියා.
මේක මතක තියාගන්න: යෙහෝවා ඔයාට පෙන්නලා තියෙන ආදරේ ගැන හිතේ තියෙන අගය තව වැඩි කරගන්න. එතකොට ඔයාගේ උපරිමය ඔහුට දෙන්න ඔයා පෙලඹෙයි.—1 යොහන් 4:19.
තව උදව් ඕනෙද? “මම වගකීමෙන් වැඩ කරන කෙනෙක්ද?” කියන ලිපිය බලන්න.
යෙහෝවාට සේවය කරන්න තරම් මං වටිනවාද?
ඇයි එහෙම හිතෙන්නේ? යෙහෝවා දෙවියන් තමයි මුළු විශ්වයේම පාලකයා. ඔහුත් එක්ක බලද්දී අපේ කිසි වටිනාකමක් නැහැ. ඉතින් ඔයාට හිතෙනවා ඇති ‘ඇත්තටම යෙහෝවා මං ගැනත් හිතනවා ඇද්ද’ කියලා.
“මගේ අම්මායි, තාත්තායි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්. ඉතින් මට කොයි වෙලෙත් හිතුණා මට යෙහෝවාගේ යාළුවෙක් වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒ දෙන්නා නිසා මිසක් යෙහෝවා මාව ඔහුට ළං කරගත්ත නිසා නෙවෙයි කියලා.”—නැටලි.
බයිබලේ කියන දේ: “කෙනෙක් මා ළඟට එන්නේ මාව එවූ මගේ පියාණන් ඔහු තුළ ඒ සඳහා ආශාවක් ඇති කළොත් පමණයි.”—යොහන් 6:44.
මේ ගැන හිතන්න: ඔයා බව්තීස්මය ගැන හිතන එකෙන්ම පැහැදිලි වෙනවා යෙහෝවාගේ යාළුවෙක් වෙන්න ඔහු ඔයාගේ හිතෙත් ආසාවක් ඇති කරලා තියෙනවා කියලා. ඉතින් ඇයි ඒක තව කල් දාන්නේ?
ඔයා මතක තියාගන්න ඕන තව දෙයක් තියෙනවා. තමන්ට ළං කරගන්නේ කාවද කියලා තීරණය කරන්නේ වෙන කවුරුත් නෙවෙයි, යෙහෝවාමයි. බයිබලෙත් කියලා තියෙනවා “දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වෙයි” කියලා.—යාකොබ් 4:8.
“යෙහෝවා ගැන දැනගෙන ඔහුගේ යාළුවෙක් වෙන්න පුළුවන් වෙලා තියෙන එකෙන්ම තේරෙනවා ඔහු ඔයාට ආදරෙයි කියලා. ඉතින් යෙහෝවාට සේවය කරන්න ඔයා වටින්නේ නැහැ කියලා ඔයාට හිතෙද්දීම යෙහෝවා කවදාවත් එහෙම හිතන්නේ නෑ කියලා මතක් කරගන්න.”—සෙලීනා.
මේක මතක තියාගන්න: බව්තීස්ම වෙන්න ඕන කරන සුදුසුකම් ඔයා අත්කරගෙන තියෙනවා නම් ඒකෙන් පැහැදිලි වෙනවා යෙහෝවා දෙවියන්ට සේවය කරන්න ඔයාට සුදුසුකම් තියෙනවා කියලා. ඒ වගේම යෙහෝවා ඔයාගේ නමස්කාරය ලබන්න වටිනවා කියලත් අමතක කරන්න එපා.—එළිදරව් 4:11.
තව උදව් ඕනෙද? “යාච්ඤා කරන්න ඕනෙ ඇයි?” කියන ලිපිය බලන්න.
-