5වෙනි පරිච්ඡේදය
‘අපි කීකරු වෙන්න ඕනෙ දෙවියන්ට’
නියෝජිතයන් නිර්භීතව ගත්ත ස්ථාවරයෙන් සැබෑ ක්‍රිස්තියානීන්ට ඉගෙනගත හැකි දේ
1-3. (අ) නියෝජිතයන්ව මන්ත්‍රණ සභාව ඉදිරියට කැඳෙව්වේ ඇයි? ඔවුන් ඉදිරියේ තිබුණ තේරීම මොකක්ද? (ආ) එදා ඔවුන් ක්‍රියා කරපු විදිහ ගැන අප දැනුවත් වෙන එක වැදගත් ඇයි?
යේසුස්ගේ නියෝජිතයන් දැන් සිටින්නේ යුදෙව් මන්ත්‍රණ සභාව ඉදිරියෙයි. එහේ ඉන්න විනිසුරුවන් කෝපයෙන් පුපුරනවා! උත්තම පූජකයා හා මන්ත්‍රණ සභාවේ ප්‍රධානියා වුණ යෝසෙප් කායෆස් සැරපරුෂ විදිහට ඔවුන්ට මෙහෙම කියනවා. “ආයෙත් ඒ නමින් උගන්නන්න එපා කියලා අපි පැහැදිලිවම ඔයාලට අණ කළා නේද? ඒත් දැන් ඔයාලා උගන්නපු දේවල් යෙරුසලම පුරාම පැතිරිලා. ඒ මිනිහාගේ මරණයට වග කියන්න ඕනෙ අපියි කියකිය ඔයාලා ඒ වැරැද්ද අපේ පිට පටවන්න හදනවා.” (ක්‍රියා 5:28) උත්තම පූජකයාගේ කේන්තිය මොන තරම්ද කියනවා නම් යේසුස්ගේ නමවත් සඳහන් කරන්න ඔහු කැමති නැහැ. ඔහු නියෝජිතයන්ට කියන දේ පැහැදිලියි. ‘දේශනා සේවය නතර කරන්න නැත්නම් බලාගෙනයි!’
2 දේශනා කිරීමේ පැවරුම නියෝජිතයන්ට ලැබුණේ දෙවියන් ස්වර්ගයෙත් පොළොවෙත් සියලුම බලය ලබා දුන් යේසුස්ගෙන්. (මතෙ. 28:18-20) එහෙමනම් ඒ වගේ බාරදූර කාර්යයක් නතර කරන්න කළ නියෝගයට නියෝජිතයන් කොහොම ප්‍රතිචාරය දක්වයිද? මිනිසුන්ට තිබෙන බිය නිසා ඔවුන් එය නතර කරයිද? නැත්නම් නිර්භීතව දිගටම දේශනා කරයිද? වෙන විදිහකට කියනවා නම් ඔවුන් දෙවියන්ට කීකරු වෙයිද නැත්නම් මිනිසුන්ට කීකරු වෙයිද? එක සැණින් පේතෘස් සියලුම නියෝජිතයන් වෙනුවෙන් කතා කරනවා. ඔහු කතා කරන්නේ ඉතා නිර්භීතවයි! ඔහු පවසන දේ ඉතාමත් පැහැදිලියි!
3 මන්ත්‍රණ සභාව කළ තර්ජන හමුවේ යේසුස්ගේ නියෝජිතයන් ක්‍රියා කළ ආකාරය ගැන දැනුවත් වීම සැබෑ ක්‍රිස්තියානීන් වන අපට ඉතා වැදගත්. මොකද ඔවුන්ට එදා භාර දුන් කාර්යය අද අපිත් ඉටු කරනවා. දෙවියන් භාර දුන් ඒ කාර්යය ඉටු කරන විට ඔවුන්ට වගේ අපටත් විරුද්ධවාදිකම්වලට මුහුණ දීමට සිදු වෙනවා. (මතෙ. 10:22) අප කරන සේවයට යම් තහංචි පනවන්න හෝ එය සම්පූර්ණයෙන්ම නතර කර දමන්න විරුද්ධවාදීන් උත්සාහ කළ හැකියි. ඒ වගේ තත්වයන් හමුවේ අප කටයුතු කරන්නේ කොහොමද? එදා යේසුස්ගේ නියෝජිතයන්ව මන්ත්‍රණ සභාවa ඉදිරියට කැඳවීමට හේතු වුණ සිද්ධීන් හා ඔවුන් ගත් ස්ථාවරය සලකා බැලීමෙන් අපට ඒ ගැන හුඟක් දේවල් ඉගෙනගත හැකියි.
“දෙවියන්ගේ දූතයා හිරගෙදර දොරවල් ඇරියා” (ක්‍රියා 5:12-21අ)
4, 5. කායෆස් හා සද්දුසිවරුන් ‘ලොකු ඊර්ෂ්‍යාවකින්’ වැඩ කළේ ඇයි?
4 දේශනා සේවය නතර කරන්න කියලා මන්ත්‍රණ සභාව පළවෙනි වතාවට නියෝග කරපු වෙලාවේ පේතෘස් හා යොහන් කියපු මේ දේ ඔබට මතක ඇති. “අපි අහපු දැකපු දේවල් ගැන කතා කරන එක නවත්තන්න නම් අපිට බැහැ.” (ක්‍රියා 4:20) එහෙම කියලා පේතෘස් හා යොහන් අනිත් නියෝජිතයන් සමඟ දිගටම දේවමාලිගාවේදී ඉගැන්වීමේ කටයුතු කරගෙන ගියා. ඔවුන් ලෙඩ රෝග සුව කරමින් භූතයන්ව දුරු කරමින් බොහෝ ලකුණු හා ආශ්චර්යයන් සිදු කළා. මොන තරම් ආශ්චර්යයන් සිදු වුණාද කියනවා නම් පේතෘස් රෝගාතුරව සිටි අයව පසු කරගෙන යද්දී ඔහුගේ හෙවණැල්ලෙන් පවා ඔවුන් සුව වුණා. පේතෘස් හා අනිත් නියෝජිතයන් මේ දේවල් කළේ යුදෙව්වන් බොහෝදෙනෙක් රැස් වන දේවමාලිගාවේ නැඟෙනහිර පැත්තේ පිහිටි ශාලාවේ ඒ කියන්නේ “සලමොන්ගේ ශාලාවේ” සිටයි. ඒ විදිහට සුව වුණ හුඟක් අය නියෝජිතයන් ප්‍රකාශ කළ පණිවිඩය පිළිගත්තා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට “ස්වාමීන් ගැන විශ්වාසයක් ඇති කරගත්ත පුරුෂයන්ගේ සහ ස්ත්රීන්ගේ ගාණ එන්න එන්නම වැඩි වුණා.”—ක්‍රියා 5:12-15.
5 ඒ දේවල් නිසා කායෆස් හා ඔහු අයිති වුණ සද්දුසිවරුන්ගේ නිකායේ සිටි අයට “ලොකු ඊර්ෂ්‍යාවක්” ඇති වෙලා නියෝජිතයන්ව සිරගෙට දැම්මා. (ක්‍රියා 5:17, 18) සද්දුසිවරුන් නියෝජිතයන් සමඟ ඒ තරම් කේන්තියෙන් කටයුතු කළේ ඇයි? ඒකට එක හේතුවක් වන්නේ යේසුස්ව නැවත නැඟිටුවා තිබෙන බව නියෝජිතයන් ප්‍රසිද්ධියේ පැවසීමයි. සද්දුසිවරුන් නැවත නැඟිටීම විශ්වාස කළේ නැහැ. අනිත් හේතුව ගැලවීම ලබාගන්න පුළුවන් යේසුස් ගැන විශ්වාස තැබුවොත් විතරයි කියලා නියෝජිතයන් උගන්වපු එක. ඒ ඉගැන්වීම නිසා යුදෙව්වන් තමන්ගේ නායකයා විදිහට යේසුස්ව පිළිගත්තොත් රෝම පාලනයෙන් තමන්ට යම් ප්‍රශ්න මතු වෙයි කියලා සද්දුසිවරුන් බය වුණා. (යොහ. 11:48) එහෙමනම් නියෝජිතයන් කරමින් හිටිය වැඩේ කොහොමහරි නවත්වලා දාන්න ඔවුන් උත්සාහ කරපු එක ගැන අප පුදුම වෙන්න ඕනෙද!
6. අද දින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට විරුද්ධව වැඩ කරන්න මිනිසුන්ව උසිගන්වන්නේ කවුද? අප ඒ ගැන පුදුම වෙන්නේ නැත්තේ ඇයි?
6 අදත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට විරුද්ධව කටයුතු කිරීමට මිනිසුන්ව උසිගන්වන්නේ ආගමික නායකයන්. බොහෝ අවස්ථාවලදී ඔවුන් ආණ්ඩු බලධාරීන්ට හා මාධ්‍යයට බලපෑම් කරලා අප කරන සේවය නතර කිරීමට උත්සාහ කරනවා. ඒ ගැන අප පුදුම වෙන්න ඕනෙද? නැහැ. මොකද අප ප්‍රකාශ කරන පණිවිඩය නිසා ආගමේ නාමයෙන් ඔවුන් කරන සියලුම වැරදි දේවල් එළිදරව් වෙනවා. ඒ වගේම ඔවුන් උගන්වන, බයිබලයට පටහැනි විශ්වාසයන්ගෙන් හා චාරිත්‍ර වාරිත්‍රවලින් නිදහස් වෙන්න අපේ පණිවිඩය පිළිගන්න අයට හැකියාව ලැබෙනවා. (යොහ. 8:32) ඒ නිසා ඔවුන් මහත් ඊර්ෂ්‍යාවකින් හා වෛරයකින් අපට විරුද්ධව වැඩ කරන එක පුදුමයක් නෙවෙයිද!
7, 8. දේවදූතයා කියපු දේ නියෝජිතයන්ට බලපෑවේ කොහොමද? අප අපෙන්ම අහගන්න ඕනෙ මොන ප්‍රශ්නෙද?
7 සතුරන් අතින් තමන්ට මැරුම් කන්න වෙයි කියලා සිරගෙයි ඉද්දී නියෝජිතයන්ට සිතෙන්න ඇති. (මතෙ. 24:9) නමුත් රාත්රියේදී නොසිතූ දෙයක් වුණා. “යෙහෝවා දෙවියන්ගේ දූතයා හිරගෙදර දොරවල් ඇරලා” ඔවුන්ව පිටතට ගෙනල්ලා ඔවුන්ට මේ විශේෂ මඟ පෙන්වීම ලබා දුන්නා.b (ක්‍රියා 5:19) ඒ තමයි “දේවමාලිගාවට ගිහින්” දෙවියන්ගේ පණිවිඩය “දිගටම කියන්න” කියන දේ. (ක්‍රියා 5:20) මේ වෙන කල් තමන් කරමින් සිටි කාර්යයට දෙවියන්ගේ අනුමැතිය තිබෙන බව දේවදූතයා කියපු ඒ දෙයින් ඔවුන්ට තේරුණා. ඒ වගේම ඉදිරියේදී මොන දේවලට මුහුණ දෙන්න වුණත් අත් නෑර දේශනා කරන්න ඔවුන් අරගෙන තිබුණ ස්ථාවරයේ දිගටම ඉන්න ඒ වදන් ඔවුන්ට ලොකු දිරිගැන්වීමක් වුණා. ඒ නිසා ඔවුන් ශක්තිමත් විශ්වාසයක් හා මහත් ධෛර්යයක් ඇතුව “උදේ වෙච්ච ගමන්ම දේවමාලිගාවට ගිහිල්ලා මිනිස්සුන්ට උගන්නන්න පටන්ගත්තා.”—ක්‍රියා 5:21.
8 ‘නියෝජිතයන් මුහුණ දුන්නා වගේ තත්වයකට මුහුණ දෙන්න මට සිද්ධ වුණොත් අත් නෑර දේශනා සේවයේ හවුල් වෙන්න අවශ්‍ය ධෛර්යය හා විශ්වාසය මට තියෙනවාද’ කියලා අප එක් එක් කෙනා අපෙන්ම අසාගැනීම ඉතා වැදගත්. ඇත්තෙන්ම “දෙවියන්ගේ රාජ්‍යය ගැන හරිම පැහැදිලි සාක්ෂියක්” දෙන වැදගත් කාර්යයට දේවදූතයන්ගේ මඟ පෙන්වීම හා උපකාරය තිබෙන බව දැන සිටීම අපට මහත් දිරිගැන්වීමක් නෙවෙයිද!—ක්‍රියා 28:23; එළි. 14:6, 7.
“අපි කීකරු වෙන්න ඕනෙ මිනිස්සුන්ට නෙමෙයි දෙවියන්ට” (ක්‍රියා 5:21ආ-33)
9-11. මන්ත්‍රණ සභාව දුන්න නියෝගයට නියෝජිතයන් ප්‍රතිචාරය දැක්වූවේ කොහොමද? ඔවුන් ගත් ස්ථාවරයෙන් සැබෑ ක්‍රිස්තියානීන්ට ඉගෙනගන්න පුළුවන් මොනවාද?
9 කායෆස් හා මන්ත්‍රණ සභාවේ අනිත් විනිසුරුවන් සිරගෙයි දාපු නියෝජිතයන් සම්බන්ධයෙන් තීරණයක් ගන්න සූදානම් වුණා. ඒ වෙද්දී සිරගෙයි වෙලා තියෙන්නේ මොකක්ද කියලා නොදැන සිටි ඔවුන්, නියෝජිතයන්ව මන්ත්‍රණ සභාව ඉදිරියට අරන් එන්න නිලධාරීන්ව පිටත් කරලා යැව්වා. එතැනට ගියාම නියෝජිතයන් සිරගෙයි නැති බව දැකලා ඔවුන් කොයි තරම් පුදුම වන්න ඇද්ද! මොකද සිරගෙයි දොරවල්වලට අගුලු දාලා තිබුණේ. “දොරවල් ළඟ මුරකරුවොත් හිටියා.” (ක්‍රියා 5:23) සිරගෙයි දාපු නියෝජිතයන් ආයෙත් යේසුස් ගැන දේවමාලිගාවේ සාක්ෂි දරමින් සිටින බව වැඩි වේලාවක් යන්න කලින් දේවමාලිගාවේ වැඩකටයුතු භාරව හිටපු ප්‍රධානියාට ආරංචි වුණා. ඒ වෙලාවේ නියෝජිතයන් කරමින් සිටියේ ඔවුන්ට කරන්න එපා කියලා අණ කරපු දෙයමයි. ඇත්තෙන්ම ඊට දවසකට කලින් ඔවුන්ව සිරගෙට දැම්මෙත් ඒ හේතුව නිසාමයි. ඉක්මනින්ම දේවමාලිගාවේ වැඩකටයුතු භාරව සිටි ප්‍රධානියා හා ඔහුගේ සේවකයන් දේවමාලිගාවට ගිහින් එහේ හිටපු නියෝජිතයන්ව මන්ත්‍රණ සභාව ඉදිරියට අරන් ආවා.
10 මේ පරිච්ඡේදයේ පළවෙනි ඡේදයේ විස්තර කරපු විදිහට ලොකු කේන්තියකින් හිටපු ආගමික නායකයන් දේශනා සේවය සම්පූර්ණයෙන්ම නතර කරලා දාන්න කියලා නියෝජිතයන්ට තදින් නියෝග කළා. ඒකට නියෝජිතයන් ප්‍රතිචාරය දැක්වූවේ කොහොමද? සියලුදෙනා වෙනුවෙන් කතා කළ පේතෘස් නිර්භීතව කිව්වේ “අපි කීකරු වෙන්න ඕනෙ මිනිස්සුන්ට නෙමෙයි දෙවියන්ට” කියලයි. (ක්‍රියා 5:29) ඔවුන් නිර්භීතව ගත්ත ඒ ස්ථාවරයෙන් සැබෑ ක්‍රිස්තියානීන් වන අපට ඉතා වැදගත් පාඩමක් ඉගෙනගත හැකියි. ඒ තමයි දෙවියන් අපට කරන්න කියලා තියෙන දෙයක් නොකරන්න කියලා හෝ දෙවියන් නොකරන්න කියලා අණ කරලා තියෙන දෙයක් කරන්න කියලා හෝ ආණ්ඩු බලධාරීන් අපට කියන අවස්ථාවලදී අප ඔවුන්ට කීකරු විය යුතු නැහැ. ආණ්ඩු බලධාරීන්ට කීකරු වන්න කියලා දෙවියන් දීලා තියෙන ආඥාවට කීකරු වෙන්න ඒ වගේ අවස්ථාවලදී අප බැඳී නැහැ. උදාහරණයකට “ඉහළින් ඉන්න බලධාරීන්” අප කරන දේශනා සේවය තහනම් කළොත් දෙවියන් අපට පවරලා තියෙන ඒ පැවරුම ඉටු නොකර ඉන්න අපට බැහැ. (රෝම 13:1) ඒ නිසා අනිත් අයගේ අවධානයට ලක් නොවන විදිවලින් ඥානවන්තව දෙවියන්ගේ රාජ්‍යය ගැන හරිම පැහැදිලි සාක්ෂියක් දෙන්න අප උත්සාහ කරනවා.
11 නියෝජිතයන් නිර්භීතව ගත්ත ඒ ස්ථාවරය නිසා එතැන සිටි විනිසුරුවන්ගේ කේන්තිය දෙගුණ තෙගුණ වුණ එක පුදුමයක්ද! ඔවුන් “නියෝජිතයන්ව කොහොමහරි මරලා දාන්න” අදහස් කළා. (ක්‍රියා 5:33) පේන විදිහට නිර්භීත, උද්යෝගයෙන් වැඩ කරපු නියෝජිතයන් සතුරන් අතින් මැරුම් කන්නයි යන්නේ. නමුත් නොසිතුව විදිහට ඔවුන්ට ඒ තත්වයෙන් බේරෙන්න මඟක් විවෘත වුණා.
“ඔයාලා මොනවා කළත් එයාලව නවත්තන්න ඔයාලට බැහැ” (ක්‍රියා 5:34-42)
12, 13. (අ) මන්ත්‍රණ සභාවේ හිටපු අයට ගමාලියෙල් දුන්න අවවාදය මොකක්ද? ඔවුන් ඒකට ප්‍රතිචාරය දැක්වූවේ කොහොමද? (ආ) අද දින දෙවියන් තමන්ගේ සේවකයන් වෙනුවෙන් මැදිහත් වෙලා වැඩ කරන්නේ කොහොමද? ‘ධර්මිෂ්ඨ ප්‍රමිති රකින නිසා දුක් විඳින්න’ අපට සිද්ධ වුණොත් අපට ස්ථිර වෙන්න පුළුවන් මොන කාරණා ගැනද?
12 “හැමෝම ගෞරවයෙන් සලකපු නීතිය උගන්නපු කෙනෙක්” වුණ ගමාලියෙල් මන්ත්‍රණ සභාව ඇමතුවා.c එතන හිටපු අය මේ නීතිවේදියාට කොච්චර ගෞරව කළාද කියනවා නම් සියලුදෙනාම නිහඬ වෙලා ඔහු කියන දේට සවන් දුන්නා. ඔහු නියෝජිතයන්ව “ටික වෙලාවකට එළියට අරන් යන්න කියලා කිව්වා.” (ක්‍රියා 5:34) පාලකයන්ට විරුද්ධව නායකයන් විදිහට ජනතාව අතරින් යම් අය නැඟී සිටියත් ඔවුන් මිය ගියාට පස්සේ ඔවුන්ට සහයෝගය දක්වපු අය විසිර ගිය බව අතීතයේ යම් සිදුවීම් මතක් කරමින් ඔහු පෙන්නුවා. එහෙම කරලා ඔහු මන්ත්‍රණ සභාවට අවධාරණය කළේ මේ මිනිසුන්ගේ නායකයා වුණ යේසුත් මිය ගිහින් වැඩි දවස් ගත වෙලා නැති නිසා කේන්ති ගන්නේ නැතුව ඔවුන් සමඟ ඉවසිලිවන්තව වැඩ කරන්න කියලයි. ඔහු ඒ කාරණය තවදුරටත් කාවද්දන්න මෙහෙම කිව්වා. “මං ඔයාලට කියන්නේ මේ මිනිස්සුන්ගේ වැඩවලට ඇඟිලි ගහන්න එපා කියලයි. එයාලට ඉන්න දෙන්න. එයාලාගේ සැලසුම් පිටිපස්සෙත් එයාලාගේ වැඩේ පිටිපස්සෙත් ඉන්නේ මිනිස්සු නම් ඒක කවදාවත් සාර්ථක වෙන්නේ නැහැ. ඒත් ඒක පිටිපස්සේ ඉන්නේ දෙවියන් නම් ඔයාලා මොනවා කළත් එයාලව නවත්තන්න ඔයාලට බැහැ. පරෙස්සම් වෙන්න. නැත්නම් දන්නෙම නැතුව ඔයාලා දෙවියන්ට විරුද්ධව සටන් කරන අය වෙයි.” (ක්‍රියා 5:38, 39) ඔහු දුන්න අවවාදය පිළිගත් එහේ සිටි විනිසුරුවන්, යේසුස්ගේ නියෝජිතයන්ව ආයෙත් එතනට කැඳවලා එයාලට කසයෙන් ගහලා “යේසුස්ගේ නමින් ආයෙත් කතා කරන්න එපා කියලා අණ කරලා එයාලව නිදහස් කළා.”—ක්‍රියා 5:40.
13 එදා වගේ අදත් දෙවියන්ගේ සේවකයන් වෙනුවෙන් මැදිහත් වෙලා වැඩ කරන්න ගමාලියෙල් වගේ උසස් තනතුරු දරන අයගේ ඒ කියන්නේ බලවත් පාලකයන්ගේ, විනිසුරුවන්ගේ හා නීති සම්පාදකයන්ගේ සිත් පොලඹවන්න දෙවියන්ට පුළුවන්. (හිතෝ. 21:1; නෙහෙ. 2:4-8) දෙවියන් එහෙම නොකළත් ඒ කියන්නේ ‘ධර්මිෂ්ඨ ප්‍රමිති රකින නිසා දුක් විඳින්න’ අපට සිදු වුණත් කාරණා දෙකක් ගැන අපට ස්ථිර විය හැකියි. (1 පේතෘ. 3:14) එකක් නම් අපට මුහුණ දෙන්න වෙලා තියෙන පීඩා විඳදරාගැනීමට අවශ්‍ය ශක්තිය දෙවියන් අපට ලබා දෙනවා කියන එක. (1 කොරි. 10:13) දෙවෙනි එක නම් විරුද්ධවාදීන් අපට “මොනවා කළත්” දෙවියන්ගේ වැඩේ ‘නවත්තන්න එයාලට බැහැ’ කියන එක.—යෙසා. 54:17.
14, 15. (අ) පහර කෑම්වලට ලක් වුණ නියෝජිතයන් ඒකට ප්‍රතිචාරය දැක්වූවේ කොහොමද? ඒ ඇයි? (ආ) අද ඉන්න දෙවියන්ගේ සේවකයන් පීඩාවලට සතුටින් මුහුණ දෙනවා කියලා පෙන්වන අද්දැකීමක් කියන්න.
14 නිදහස් කළාට පස්සේ නියෝජිතයන් “මන්ත්‍රණ සභාවෙන් එළියට ආවේ හරිම සතුටින්.” (ක්‍රියා 5:41) ඒකෙන් පැහැදිලි වන්නේ පහර කෑම්වලට ලක් වුණත් ඔවුන් අධෛර්යයට පත් නොවුනු බවයි. ඔවුන් කෑ පහරවලින් වේදනාවක් මිසක් සතුටක් ලැබුණේ නැහැ. එහෙමනම් ඔවුන් “සතුටින්” හිටියේ ඇයි? ඔවුන්ට ඒ පීඩාවලට මුහුණ දීමට සිදු වුණේ ඔවුන් දෙවියන්ට විශ්වාසවන්තව සිටින නිසාත් ඔවුන්ගේ ආදර්ශකයා වන යේසුස්ව ඔවුන් කිට්ටුවෙන් අනුගමනය කරමින් සිටින නිසාත් බව ඔවුන් දැනගෙන සිටියා. ඒ නිසා සතුටු වෙන්න ඔවුන්ට හොඳ හේතු තිබුණා!—මතෙ. 5:11, 12.
15 අප කරන සේවය නිසා විවිධ තර්ජනවලට, පීඩාවලට හෝ සිරගත කිරීම්වලට මුහුණ දෙන්න වෙද්දී ඒවා සතුටට හේතුවක් නොවුණත් අප ඒවාට මුහුණ දෙන්නේ සතුටින්. මොකද එදා හිටපු අපේ සහෝදරයන් වගේ අපත් පීඩා ප්‍රශ්න ගැටලු මැද පවා දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න පුළුවන් වුණ එක ගැන සතුටු වෙනවා. (1 පේතෘ. 4:12-14) ඒකාධිපති පාලනය නිසා අවුරුදු ගාණක් පුරා විවිධ කුරිරුකම්වලට මුහුණ දුන් සහෝදර හෙන්රික් ඩෝර්නික්ගේ අද්දැකීම බලන්න. 1944 අගෝස්තු මාසයේදී ඔහුවත් ඔහුගේ සහෝදරයාවත් ගාල් කඳවුරකට යවන්න බලධාරීන් තීරණය කළා. ඒ අවස්ථාවේදී සාක්ෂිකරුවන් ගැන බලධාරීන් කියපු මේ දේ සහෝදර හෙන්රික්ට හොඳට මතකයි. “මේ අය කොහොමටවත් ඔවුන්ගේ ස්ථාවරය අත්හරින්නේ නැහැ. මැරෙන්න වුණත් ඔවුන් ඒක භාරගන්නේ සතුටින්.” ඒකට හේතුව පැහැදිලි කරමින් සහෝදර හෙන්රික් කිව්වේ “පීඩා ඉස්සරහා මම දිගටම නිර්භීතව, නොසැලී හිටියේ දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න මට ලොකු කැමැත්තක් තිබුණු නිසයි. ඇත්ත, මම මැරෙන්න කැමති නැහැ. නමුත් දෙවියන් වෙනුවෙන් ඕනෙම දෙයක් දරාගන්න මම කැමති වුණා.”—යාකො. 1:2-4.
16. හරිම පැහැදිලි සාක්ෂියක් දෙන්න නියෝජිතයන්ට ලොකු අධිෂ්ඨානයක් තිබුණා කියලා පැහැදිලි වුණේ කොහොමද? ශුභාරංචිය දේශනා කරද්දී අප ඔවුන්ව ආදර්ශයට ගන්නේ කොහොමද?
16 නිදහස ලැබුණ නියෝජිතයන් ඉක්මනින්ම දේශනා සේවය ආයෙත් පටන්ගත්තා. ඔවුන් නිර්භීතව ‘හැමදාම දේවමාලිගාවටත් ගෙයින් ගෙටත් ගිහින් ක්‍රිස්තුස් යේසුස් ගැන ශුභාරංචිය දිගටම දේශනා කළා.’d (ක්‍රියා 5:42) හැමෝටම යේසුස් ගැන හරිම පැහැදිලි සාක්ෂියක් දෙන්න ඔවුන් තුළ දැඩි අධිෂ්ඨානයක් තිබුණ බව පැහැදිලියි. යේසුස් මඟ පෙන්වපු විදිහට ශුභාරංචිය අරන් ඔවුන් මිනිසුන්ගේ ගෙවල්වලටම ගියා. (මතෙව් 10:7, 11-14) ඔවුන් උගන්වපු දේවල් යෙරුසලම පුරාම පැතිර ගියේ ඒ විදිහටයි කියලා කිසිම සැකයක් නැතුව කියන්න පුළුවන්. අද ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ශුභාරංචිය දේශනා කරන්න යොදාගන්නෙත් එදා නියෝජිතයන් යොදාගත් ක්‍රමයමයි. අප අන් අය අතරේ ප්‍රසිද්ධව සිටින්නෙත් ගෙයින් ගෙට යන පිරිසක් විදිහටයි. දේශනා කරන්න අපට පවරා ඇති ප්‍රදේශයේ තියෙන සෑම ගෙදරකටම ශුභාරංචිය අරන් යන්න අප දරන වෑයමෙන් පැහැදිලි වන්නේ සෑම කෙනෙක්ටම ශුභාරංචියට සවන් දීමට අවස්ථාවක් දෙන්න අප තුළ ලොකු ආශාවක් තියෙනවා කියලයි. අප දරන ඒ වෑයමට යෙහෝවා ආශීර්වාද කරලා තියෙනවාද? ඔව්, අනිවාර්යයෙන්ම. මේ අවසාන කාලයේදී මිලියන ගාණක් දෙනා ශුභාරංචියට හොඳ ප්‍රතිචාරයක් දක්වලා තියෙන එකෙන් ඒක හොඳින්ම පැහැදිලි වෙනවා. ඇත්තෙන්ම ඔවුන්ගෙන් බොහෝදෙනෙක්ට ශුභාරංචිය ගැන මුලින්ම අහන්න ලැබිලා තියෙන්නේ සාක්ෂිකරුවෙක් ඔවුන්ගේ ගෙදරට ආපු අවස්ථාවකයි.
“අත්‍යවශ්‍ය වැඩේ” ඉටු කිරීමට සුදුසුකම් ඇති පුරුෂයන්ව තෝරාගනියි (ක්‍රියා 6:1-6)
17-19. සභාවේ මතු වුණ ප්රශ්නය මොකක්ද? ඒක විසඳන්න නියෝජිතයන් කළේ මොකක්ද?
17 අලුතින් පිහිටවපු ක්‍රිස්තියානි සභාව තුළ යම් ප්‍රශ්නයක් ඇති වුණා. ඒක විශාල ප්‍රශ්නයක් දක්වා දුර දිග යන්නත් ඉඩ තිබුණා. ඒ ප්‍රශ්නයට මුල් වුණ සිද්ධිය මොකක්ද? ඒ කාලයේ බව්තීස්ම වුණ අයගෙන් වැඩිදෙනෙක් පිට පළාත්වලින් යෙරුසලමට ආපු අයයි. දෙවියන්ගේ අරමුණ ගැන තව තවත් දැනුම ලබාගැනීම සඳහා ඔවුන් තම ගෙවල්වලට නොගොස් ටික කාලෙකට යෙරුසලමෙම නැවතිලා හිටියා. ඒ නිසා යෙරුසලමේ සිටි ක්‍රිස්තියානීන් ඔවුන්ට අවශ්‍ය ආහාර පාන හා අනිත් දේවල් ලබා දීම සඳහා කැමැත්තෙන්ම ඉදිරිපත් වී සම්මාදම් ලබා දුන්නා. (ක්‍රියා 2:44-46; 4:34-37) ලැබුණු ඒ සම්මාදම් භාවිත කරමින් ‘දවස ගාණේ කෑම බෙදලා දෙද්දී’ ග්‍රීක භාෂාව කතා කළ වැන්දඹුවන්ව “මඟහැරිලා තිබුණා.” (ක්‍රියා 6:1) නමුත් හෙබ්‍රෙව් භාෂාව කතා කළ වැන්දඹුවන්ට හොඳින් සැලකුවා. ඒ විදිහට එක පිරිසකට වැඩි සැලකිල්ලක් දක්වපු නිසා ඒ සැලකිල්ල ලැබුණේ නැති අය ඒ ගැන ප්‍රශ්නයක් ඇති කළා. ඇත්තටම සභාව තුළ යම් කොටසකට විශේෂ සැලකිල්ලක් දක්වපු එක විශාල අනතුරකට අත වැනීමක් නෙවෙයිද!
18 ඒ කාලේ පාලක මණ්ඩලය විදිහට කටයුතු කළ නියෝජිතයන් තේරුම්ගත්තේ ‘දෙවියන්ගේ පණිවිඩය උගන්නන එක නවත්තලා කෑම බෙදලා දෙන්න’ තමන්ගේ කාලය වැය කිරීම ඥානවන්ත දෙයක් නෙවෙයි කියලයි. (ක්‍රියා 6:2) නමුත් සභාවේ ඇති වුණ ප්රශ්නය නිසා ‘ප්‍රඥාවන්ත, දෙවියන්ගේ බලය තියෙනවා කියලා හොඳටම පේන්න තියෙන’ පුරුෂයන් හත්දෙනෙක්ව තෝරගන්න කියලා ඔවුන් ගෝලයන්ට කිව්වා. ඔවුන් එහෙම කිව්වේ ආහාර බෙදා දීමේ “අත්‍යවශ්‍ය වැඩේ” අධීක්ෂණය කිරීමට ඔවුන්ව පත් කිරීම සඳහායි. (ක්‍රියා 6:3) ඒ කාර්යය සඳහා සුදුසුකම් තියෙන පුරුෂයන්ව අවශ්‍ය වුණේ ඇයි? මේක නිකම්ම නිකම් ආහාර බෙදා දීමේ කාර්යයක් නොවීම ඒකට හේතුවයි. ඒකට මුදල් හරි විදිහට පරිහරණය කිරීම, දේවල් මිල දී ගැනීම හා ගනු දෙනු සම්බන්ධයෙන් නිවැරදි වාර්තා සැකසීම ඇතුළත් වුණා. දෙවියන්ගේ උපකාරය ඉල්ලලා යාච්ඤා කළ නියෝජිතයන් ගෝලයන් නිර්දේශ කළ පුරුෂයන් හත්දෙනාගේ සුදුසුකම් සලකා බැලුවාට පස්සේ ‘අත්‍යවශ්‍ය වැඩක්’ වුණ ආහාර බෙදා දීමේ කටයුත්ත අධීක්ෂණය කරන්න ඔවුන්ව පත් කළා.e බයිබල් වාර්තාවෙන් පැහැදිලි වන්නේ මේ කටයුත්ත සඳහා පත් කළ අයට තිබුණේ ග්‍රීක නම් බවයි. ඒ හේතුව නිසා තමන්ට සාධාරණ විසඳුමක් ලැබෙයි යන විශ්වාසය ග්‍රීක භාෂාව කතා කළ වැන්දඹුවන් තුළ ඇති වෙන්න ඇති.
19 මේ පුරුෂයන් හත්දෙනාට ආහාර බෙදා දීමේ වැඩේ අධීක්ෂණය කිරීමේ කාර්යය පැවරුණු නිසා ශුභාරංචිය දේශනා කිරීමේ වගකීමෙන් ඔවුන් නිදහස් වුණාද? කොහෙත්ම නැහැ. මේ පුරුෂයන් හත්දෙනා අතරේ සිටි ස්තේපන් කියන තැනැත්තාව මේ කාර්යයට පත් කළ පසුවත් ඔහු නිර්භීතව හා ප්‍රබල අයුරින් යේසුස් ගැන දේශනා කළ බවට සාක්ෂි තිබෙනවා. (ක්‍රියා 6:8-10) ඔවුන් අතරේ සිටි තවත් කෙනෙක් වුණ ෆිලිප්ව බයිබලයේ හඳුන්වලා තිබෙන්නේ “උද්යෝගයෙන් ශුභාරංචිය දේශනා කරපු” කෙනෙක් විදිහට. (ක්‍රියා 21:8) ඒ දේවලින් පැහැදිලි වන්නේ මේ පුරුෂයන් හත්දෙනාට සභාව තුළ යම් විශේෂ කාර්යයක් පවරා තිබුණත් ඔවුන් දිගටම ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යයේ මහත් උද්යෝගයෙන් හවුල් වුණ බවයි.
20. එදා නියෝජිතයන් ගත් ක්‍රියාමාර්ගය අද ඉන්න ක්‍රිස්තියානීන් අනුගමනය කරන්නේ කොහොමද?
20 යම් වගකීම් දරන්න සහෝදරයන්ව පත් කිරීම සඳහා එදා නියෝජිතයන් ගත් ක්‍රියාමාර්ගය අද දින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවනුත් අනුගමනය කරනවා. සභාවේ වගකීම් දරන්න නිර්දේශ කරන පුරුෂයන් තුළ දෙවියන්ගේ බලය ක්‍රියාත්මක වන බව පැහැදිලිව දකින්න තිබිය යුතුයි. දෙවියන් ලබා දෙන ප්‍රඥාවට අනුව ඔවුන් ක්‍රියා කරන බවත් පැහැදිලි විය යුතුයි. ශුද්ධ ලියවිල්ලේ සඳහන් සුදුසුකම් තිබෙන ඒ වගේ පුරුෂයන්ව වැඩිමහල්ලන් විදිහට හෝ සහායක සේවකයන් විදිහට සභාවේ සේවය කිරීමට පත් කරන්නේ පාලක මණ්ඩලයේ මඟ පෙන්වීම යටතෙයි.f (1 තිමෝ. 3:1-9, 12, 13) ඒ නිසා සභාවේ වගකීම් දරන අයව පත් කරන්නේ දෙවියන්ගේ බලයේ උපකාරයෙන් කියලා කියන්න පුළුවන්. ඒ විදිහට පත් කරන පුරුෂයන් සභාවේ ‘අත්‍යවශ්‍ය වැඩ’ බොහොමයක් වෙහෙස මහන්සි නොබලා ඉටු කරනවා. උදාහරණයකට දෙවියන්ට විශ්වාසවන්තව සේවය කරන මහලු කෙනෙක්ට යම් උපකාර අවශ්‍ය නම් ඒ සඳහා වැඩිමහල්ලන් යම් සැලැස්මක් සංවිධානය කරන්න පියවර ගන්නවා. (යාකො. 1:27) තවත් සමහර වැඩිමහල්ලන් නමස්කාර මධ්‍යස්ථාන ඉදි කිරීමේ කටයුතුවල නිරත වෙනවා. තවත් අය සමුළු හා එක්රැස්වීම් සංවිධානය කිරීමේ කටයුතුවල හා රෝහල් සබඳතා කමිටුවල වැඩ කරනවා. සහායක සේවකයන් සභාවේ ඉන්න අයව රැකබලා ගැනීමේ හෝ ඉගැන්වීමේ කටයුතුවලට කෙළින්ම සම්බන්ධ නැති විවිධ සේවාවන් ඉටු කරනවා. නමුත් ඒ හැම කෙනෙක්ම ඒ වගකීම් ඉටු කරන්න ඕනෙ දෙවියන් හැමෝටම දී තිබෙන ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යයට බාධාවක් නොවන විදිහටයි.—1 කොරි. 9:16.
“දෙවියන්ගේ පණිවිඩය හැමෝම අතරේ දිගටම පැතිරිලා ගියා” (ක්‍රියා 6:7)
21, 22. අලුතින් පිහිටවපු ක්‍රිස්තියානි සභාවට දෙවියන්ගේ උපකාරය තිබුණා කියලා පැහැදිලි වෙන්නේ කොහොමද?
21 අලුතින් පිහිටවපු ක්‍රිස්තියානි සභාවට පිටින් ආපු පීඩාවලට, විරුද්ධවාදිකම්වලට හා සභාව තුළම ඇති වුණ ප්‍රශ්නයට සාර්ථකව මුහුණ දීමට හැකි වුණේ දෙවියන්ගේ උපකාරය ඔවුන්ට ලැබුණු නිසයි. දෙවියන්ගේ අනුමැතිය ක්‍රිස්තියානි සභාවට තිබුණා කියලා ක්‍රියා පොතේ සඳහන් මේ වදන්වලිනුත් පැහැදිලියි. “දෙවියන්ගේ පණිවිඩය හැමෝම අතරේ දිගටම පැතිරිලා ගියා. යෙරුසලමේ හිටිය ගෝලයන්ගේ ගාණත් එන්න එන්නම වැඩි වුණා. පූජකයන් විශාල පිරිසකුත් යේසුස්ගේ අනුගාමිකයන් වුණා.” (ක්‍රියා 6:7) මේක ක්‍රිස්තියානි සභාවේ වර්ධනය ගැන ක්‍රියා පොතේ සඳහන් වාර්තා අතරින් එකක් විතරයි. (ක්‍රියා 9:31; 12:24; 16:5; 19:20; 28:31) අද දිනත් අප කරන සේවය ගැන විවිධ රටවලින් වාර්තා ලැබෙද්දී අප මොන තරම් දිරිගැන්වීමක් ලබනවාද!
22 මුල් සියවසේ සිටි ආගමික නායකයන් යේසුස්ගේ ගෝලයන්ට දිගටම පීඩා කළා. පේන විදිහට පීඩා රැසකට මුහුණ දෙන්න එයාලට සිද්ධ වෙනවා. ඒ වගේ අවස්ථාවක ස්තේපන් විරුද්ධවාදීන්ගේ ගොදුරක් වුණා. ඒ ගැන අපි ඊළඟ පරිච්ඡේදයේ බලමු.
a “යුදෙව් මන්ත්‍රණ සභාව” කියන කොටුව බලන්න.
b ක්‍රියා පොතේ දේවදූතයන් ගැන කෙළින්ම 20 වතාවක් විතර සඳහන් වෙනවා. මේ ඒවාවලින් පළවෙනි අවස්ථාවයි. ඊට කලින් අවස්ථාවකත් ඒ කියන්නේ ක්‍රියා 1:10 දේවදූතයන් ගැන කතා කරනවා. නමුත් දේවදූතයන් යන වචනය එතන භාවිත කරලා නැහැ. ඒ වෙනුවට එතන “සුදු ඇඳුම් ඇඳගෙන හිටිය මිනිස්සු” විදිහට ඔවුන්ව හඳුන්වලා තියෙනවා.
c “රබ්බිවරුන් අතරේ මහත් ගෞරවයක් දිනාගත්ත ගමාලියෙල්” කියන කොටුව බලන්න.
d “‘ගෙයින් ගෙට ගිහින්’ දේශනා කිරීම” කියන කොටුව බලන්න.
e මේ “අත්‍යවශ්‍ය වැඩේ” සුළුපටු කාර්යයක් නොවුණ නිසා ඒක අධීක්ෂණය කිරීමට පත් කළ පුරුෂයන් හත්දෙනාට වැඩිමහල්ලන්ට තිබිය යුතු සුදුසුකම් තිබෙන්න ඇති. කොහොමවුණත් ක්‍රිස්තියානි සභාවේ අයව රැකබලා ගන්න වැඩිමහල්ලන්ව පත් කරන්න පටන්ගත්තේ හරියටම කොයි කාලයේදීද කියා බයිබලයේ සඳහන් වන්නේ නැහැ.
f පළවෙනි සියවසේදී වැඩිමහල්ලන්ව පත් කෙරුවේ සුදුසුකම් ලත් සහෝදරයන්. (ක්‍රියා 14:23; 1 තිමෝ. 5:22; තීත. 1:5) අද පාලක මණ්ඩලය චාරිකා සේවකයන්ව පත් කරනවා වගේම ඒ චාරිකා සේවකයන් වැඩිහල්ලන්ව සහ සහායක සේවකයන්ව පත් කරනවා.