අමතර සටහන්
1 යෙහෝවා
යෙහෝවා කියන්නේ සැබෑ දෙවියන්ගේ නම. ඒ නමේ තේරුම “තමන් අරමුණු කරන දේ ඉටු කිරීමට ඉතා ක්‍රියාශීලීව කටයුතු කරන තැනැත්තා” කියන එකයි. විශ්වයේ බලවත්ම තැනැත්තාත් හැම දේකම නිර්මාතෘත් ඔහුයි. තමන් තීරණය කරන ඕනම දෙයක් කරන්න ඔහුට බලය තියෙනවා.
දෙවියන්ගේ නම හෙබ්‍රෙව් භාෂාවෙන් ලිව්වේ ගාත්රාක්ෂර හතරකින්. ඒක සිංහලෙන් “ය්හ්ව්හ්” විදිහට දක්වන්න පුළුවන්. බයිබලයේ මුල් හෙබ්‍රෙව් අත්පිටපත්වල දෙවියන්ගේ නම 7,000 වතාවක් විතර සඳහන් වුණා. යෙහෝවා කියන නම ලෝකේ පුරාම ඉන්න අය ඒ අයගේ භාෂාවට ගැළපෙන විදිහට උච්චාරණය කරනවා.
2 බයිබලය “දෙවිගේ මඟ පෙන්වීමෙන්” ලැබුණු පොතක්
බයිබලයේ කර්තෘ දෙවියන්. ඔහු ඒක ලිව්වේ මිනිසුන්ව යොදාගෙන. ආයතනයක ප්‍රධානියෙක් එයාගේ ලේකම්ට කියලා ලියුමක් ලියාගන්නවා වගේ දෙවියනුත් ලියන්න ඕන දේවල් බයිබල් ලේඛකයන්ට ඔහුගේ බලයෙන් දැනුම් දුන්නා. සමහර අවස්ථාවලදී දර්ශන, සිහින මාර්ගයෙන් දෙවියන් ඔහුට කියන්න අවශ්‍ය දේවල් දැනුම් දුන්නාම එයාලා ඒ අදහස් ලිව්වා.
3 ප්‍රතිපත්ති
බයිබල් ප්‍රතිපත්ති විදිහට හඳුන්වන්නේ කවදාවත් වෙනස් වෙන්නේ නැති සත්‍යයන්. යෙහෝවා දෙවියන් අරමුණු කරලා තියෙන දේට එකඟව ජීවත් වෙන්න ඒවා අපිට උදව් වෙනවා. “නරක ආශ්‍රය නිසා ඔබේ හොඳ පුරුදු නැති වී යයි” කියන්නේ ඒකට උදාහරණයක්. (1 කොරින්ති 15:33) අපි ආශ්‍රය කරන අය අනුව හොඳ හරි නරක හරි ප්‍රතිඵල ලැබෙනවා කියලා ඒකෙන් පෙන්වනවා. “කෙනෙක් නෙළාගන්නේ තමා වපුරන දෙයමයි” කියන ප්‍රතිපත්තියෙන් උගන්වන්නේ අපි කරන දේවල ප්‍රතිඵල අනිවාර්යයෙන්ම අද්දකින්න ලැබෙනවා කියලයි.—ගලාති 6:7.
4 අනාවැකි
දෙවියන්ගෙන් ලැබෙන පණිවිඩයක්. ඒකට අනාගතයේ වෙන්න තියෙන දෙයක්, දෙවියන්ගේ කැමැත්ත ගැන පැහැදිලි කිරීමක්, ජීවත් වෙන්න ඕන විදිහ ගැන දෙන මඟ පෙන්වීමක්, නීතියක්, තීන්දුවක් වගේ දේවලුත් ඇතුළත් වෙන්න පුළුවන්. බයිබලයේ තියෙන අනාවැකි ගොඩක් දැනටමත් ඉටු වෙලා ඉවරයි.
5 ගැලවුම්කරු ගැන අනාවැකි
ගැලවුම්කරු ගැන සඳහන් හැම අනාවැකියක්ම යේසුස්ගේ ජීවිතයෙන් ඉටු වුණා. “ගැලවුම්කරු ගැන අනාවැකි” කියන කොටුව බලන්න.
▸ 2 පරි. 17 ඡේ. පාදසටහන.
6 පොළොව නිර්මාණය කරද්දී දෙවියන් බලාපොරොත්තු වුණු දේ
යෙහෝවා දෙවියන් පොළොව නිර්මාණය කළේ ඔහු ආදරේ කරන මිනිසුන්ට ජීවත් වෙන්න පුළුවන් විදිහේ ලස්සන උයනක් හදන අරමුණින්. ඒ අරමුණ වෙනස් වෙලා නැහැ. ළඟදීම ඔහු නරක මිනිසුන්ව ඉවත් කරලා ඔහුගේ සෙනඟට සදාකාල ජීවිතය දෙනවා.
7 සාතන් නමැති යක්ෂයා
සාතන් කියන්නේ දෙවියන්ට විරුද්ධව කැරලිගහන්න පටන්ගත්ත දේවදූතයෙක්. සාතන් කියන නමේ තේරුම “විරුද්ධකාරයා” කියන එකයි. එයාට ඒ නම දැම්මේ යෙහෝවා දෙවියන්ට විරුද්ධව වැඩ කරපු නිසයි. “අපහාස කරන්නා” කියන තේරුම තියෙන යක්ෂයා කියන නමිනුත් එයාව හඳුන්වනවා. දෙවියන් ගැන බොරු කියන නිසාත් දෙවියන්ගේ සෙනඟව රවට්ටන නිසාත් තමයි ඒ නම එයාට දාලා තියෙන්නේ.
8 දේවදූතයන්
යෙහෝවා දෙවියන් ස්වර්ගයේ ජීවත් වෙන්න දේවදූතයන්ව නිර්මාණය කළේ පොළොව නිර්මාණය කරන්න ගොඩක් කාලෙකට කලින්. දේවදූතයන් මිලියන ගාණක් ඉන්නවා. (දානියෙල් 7:10) ඒ හැමෝටම එයාලටම කියලා නමකුත් පෞද්ගලිකත්වයකුත් තියෙනවා. එයාලා කවමදාවත් මිනිසුන්ගේ නමස්කාරය ලබාගන්න උත්සාහ කරන්නේ නැති නිහතමානී අය. දෙවියන්ගේ සිංහාසනය ළඟ සේවය කරන එක, පණිවිඩ ගෙනියන එක, දෙවියන්ගේ සේවකයන්ට මඟ පෙන්වීම් වගේම රැකවරණය දෙන එක, දෙවියන්ගේ විනිශ්චය ක්‍රියාත්මක කරන එක, ශුභාරංචිය දේශනා කරන එකට සහයෝගය දෙන එක වගේ විවිධ වගකීම් එයාලට භාර දීලා තියෙනවා. (ගීතාවලිය 34:7; එළිදරව් 14:6; 22:8, 9) අනාගතයේදී දේවදූතයන් යේසුස් එක්ක එකතු වෙලා හර්–මගෙදොන් යුද්ධයේදී සතුරන්ව විනාශ කරනවා.—එළිදරව් 16:14, 16; 19:14, 15.
9 පාපය
යෙහෝවා දෙවියන්ටත් ඔහු අරමුණු කරලා තියෙන දේවලටත් විරුද්ධව කරන, හිතන හැම දෙයක්ම තමයි පාපය විදිහට හඳුන්වන්නේ. ඒකෙන් දෙවියන් එක්ක අපිට තියෙන බැඳීම පලුදු වෙන නිසා ඒකට අහු වෙන්නේ නැතුව ඉන්න උදව් වෙන නීති, ප්‍රතිපත්ති දෙවියන් දීලා තියෙනවා. දෙවියන් හැම දේම නිර්මාණය කළේ කිසි අඩුවක් නැතුව ඒ කියන්නේ පරිපූර්ණව. ඒත් ආදම්, ඒව දෙවියන්ට අකීකරු වුණා. ඒක පාපයක්. ඒ පාපය අපිටත් උරුම වෙලා තියෙන නිසා තමයි අපි මහලු වෙලා මැරිලා යන්නේ.
10 හර්–මගෙදොන්
සාතන්ගේ දුෂ්ට සමාජයත් හැම නපුරක්මත් නැති කරන්න දෙවියන් ගෙනෙන යුද්ධය.
11 දේවරාජ්‍යය
දේවරාජ්‍යය විදිහට හඳුන්වන්නේ දෙවියන් ස්වර්ගයේ පිහිටුවපු ආණ්ඩුවයි. ඒකේ රජ යේසුස්. ඒ රාජ්‍යය මාර්ගයෙන් දෙවියන් අනාගතයේදී හැම නපුරක්ම නැති කරනවා. ඊටපස්සේ මුළු ලෝකෙම පාලනය කරන්නේ ඒ රාජ්‍යයෙන්.
12 යේසුස් ක්‍රිස්තුස්
අනිත් හැම දේටම කලින් දෙවියන් නිර්මාණය කළේ යේසුස්ව. මිනිසුන් වෙනුවෙන් ජීවිතය පූජා කරන්න දෙවියන් එව්වේ ඔහුව. සතුරන් යේසුස්ව මැරුවත් දෙවියන් ඔහුට ආයෙත් ජීවිතය දුන්නා. ඔහු දැන් ස්වර්ගයේ ඉඳන් දේවරාජ්‍යයේ රජ විදිහට කටයුතු කරනවා.
13 සති 70 ගැන කියපු අනාවැකිය
සති 70ක් ගැන කියන අනාවැකියක් බයිබලයේ තියෙනවා. ඒ අනාවැකිය අධ්‍යයනය කරපු අය ගැලවුම්කරු ක්‍රි.ව. 29දී එයි කියලා බලාපොරොත්තු වුණා.
කොහොමද එයාලා හරියටම ඒක දැනගත්තේ? ගැලවුම්කරු එන්නේ සති 69ක කාල පරිච්ඡේදයක් අවසානයේදී කියලා ඒ අනාවැකියේ පැහැදිලිවම කියනවා. ඒ සති 69 පටන්ගත්තේ නෙහෙමියා යෙරුසලම ආයෙත් ගොඩනඟන්න පටන්ගත්ත අවුරුද්දේදීයි. ඒ කියන්නේ ක්‍රි.පූ. 455දීයි. (දානියෙල් 9:25; නෙහෙමියා 2:1, 5-8) සතියක් කියද්දී අපේ මනසට එන්නේ දවස් 7ක්. ඒත් මේ අනාවැකියේ කතා කරන්නේ දවස් 7ක් තියෙන සාමාන්‍ය සති 69ක් ගැන නෙවෙයි. ඒක තේරුම්ගන්න අපි “එක් දවසකින් නියෝජනය වන්නේ එක් අවුරුද්දක්” කියලා බයිබලයේ තියෙන දේ මතක් කරගමු. එහෙම බලද්දී එක සතියක් කියන්නේ අවුරුදු හතක්. (ගණන් කතාව 14:34; එසකියෙල් 4:6) එහෙනම් සති 69 කියන්නේ අවුරුදු 483ක් (69 x 7). ක්‍රි.පූ. 455 ඉඳන් අවුරුදු 483ක් ගණන් හදලා බලද්දී අපි එන්නේ ක්‍රි.ව. 29ට. ඒ අවුරුද්දේ තමයි යේසුස් බව්තීස්ම වෙලා ගැලවුම්කරු විදිහට පැවරුම භාරගත්තේ.—ලූක් 3:1, 2, 21, 22.
ඒ අනාවැකියේම තවත් සතියක් (70වන සතිය), ඒ කියන්නේ තවත් අවරුදු හතක් ගැන කතා කරනවා. ඒ අවුරුදු හත (ක්‍රි.ව. 30-36) අතරමැද, ඒ කියන්නේ ක්‍රි.ව. 33දී සතුරන් ගැලවුම්කරුව මැරුවා. ක්‍රි.ව. 36 පටන්ගන්නවත් එක්කම දෙවියන්ගේ ආණ්ඩුව ගැන යුදෙව් ජාතිකයන්ට විතරක් නෙවෙයි අනිත් හැමෝටමත් දේශනා කරන්න පටන්ගත්තා.—දානියෙල් 9:24-27.
14 ත්‍රිත්වය
යෙහෝවා දෙවියන් හැම දේකම නිර්මාතෘ කියලත් හැම දෙයක්ම නිර්මාණය කරන්න කලින් දෙවියන් යේසුස්ව නිර්මාණය කළා කියලත් බයිබලයේ තියෙනවා. (කොලොස්සි 1:15, 16) යේසුස් සියලු බලැති දෙවියන් නෙවෙයි. තමන් දෙවියන්ට සමානයි කියලා යේසුස් කවදාවත් කිව්වේ නැහැ. ඔහු කිව්වේ “පියාණන් මට වඩා උතුම්” කියලයි. (යොහන් 14:28; 1 කොරින්ති 15:28) හැබැයි සමහර ආගම්වල ත්‍රිත්වය කියන ඉගැන්වීම ඒ කියන්නේ පියා, පුත්‍රයා, ශුද්ධාත්මයාණන් කියන්නේ පුද්ගලයන් තුන්දෙනෙක්, ඒ තුන්දෙනාම එක් කෙනෙක් කියලා උගන්වනවා. ඒත් “ත්‍රිත්වය” කියන වචනයවත් බයිබලයේ නැහැ. ඒක අසත්‍ය ඉගැන්වීමක්.
එතකොට ‘ශුද්ධාත්මයාණන්’ කියලා කියන්නේ කාටද? එකපාරටම එහෙම කියද්දී අපේ මනසට පුද්ගලයෙක් කියන අදහස එන නිසා ඒක ත්‍රිත්වයට අනුබල දෙනවා කියලා හිතෙන්න පුළුවන්. ඒත් ‘ශුද්ධාත්මයාණන්’ විදිහට පරිවර්තනය කරලා තියෙන මුල් හෙබ්‍රෙව් සහ ග්‍රීක වචනයෙන් කොහොමටවත් පුද්ගලයෙක් ගැන කතා කරන්නේ නැහැ. ඒකේ නියම අර්ථය දෙවියන්ගේ බලය කියන එකයි. දෙවියන් ඒ බලය යොදාගෙන තමයි ඔහුගේ අරමුණු ඉටු කරන්නේ. උදාහරණෙකට මුල් ක්‍රිස්තියානීන් තුළ ‘දෙවිගේ බලය ක්‍රියාත්මක වුණා’ කියලා සඳහන් වෙනවා. ඒ වගේම යෙහෝවා දෙවියන් කිව්වා “මම සියලු ජනයාට මාගේ බලය ලබා දෙන්නෙමි” කියලා. (ක්‍රියා 2:1-4, 17) ඒ වචනය යොදාගෙන තියෙන විදිහෙන් හොඳටම තේරෙනවා එතැන කතා කරන්නේ පුද්ගලයෙක් ගැන නෙවෙයි කියලා. ඒ නිසා ඒ වචනයේ නිවැරදි පරිවර්තනය වෙන්න ඕනෙ ‘දෙවියන්ගේ බලය’ මිසක් ‘ශුද්ධාත්මයාණන්’ නෙවෙයි.
15 කුරුසය
ක්‍රිස්තියානීන් දෙවියන්ට නමස්කාර කරද්දී කුරුසය භාවිත කරන්නේ නැත්තේ ඇයි?
දෙවියන් ගැන අසත්‍යය උගන්වන ආගම් කුරුසය පාවිච්චි කරන්න පටන්ගත්තේ අද ඊයේ නෙවෙයි. යේසුස් පොළොවට එන්න කලින් ඉඳලාම ගස් වැල් වගේ ස්වාභාවික දේවල්වලට වැඳුම්පිදුම් කරපු අය කුරුසය පාවිච්චි කළා. කුරුසය ඉස්සරහා පහත් ලිංගික ක්‍රියාවල යෙදෙන එකත් එයාලගේ වත්පිළිවෙත්වලට ඇතුළත් වුණා. යේසුස් මැරිලා අවුරුදු 300ක් ගියාට පස්සේ තමයි ක්‍රිස්තියානීන් කියලා කියාගන්න අය කුරුසය පාවිච්චි කරන්න පටන්ගත්තේ. ඒක මුලින්ම පල්ලියට හඳුන්වලා දුන්නේ රෝම පාලක කොන්ස්ටන්ටයින්. වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරපු අයව ක්‍රිස්තියානි ආගමට ඇදගන්න තමයි එයා එහෙම කළේ. “ක්‍රිස්තියානි නොවන සංස්කෘතීන්වල කුරුසය දැකගන්න පුළුවන්. ඒක ක්‍රිස්තියානි යුගයට කලින් ඉඳලාම පාවිච්චි කරපු සංකේතයක්” කියලා එක විශ්වකෝෂයක කියනවා.—New Catholic Encyclopedia.
යේසුස් මැරුණේ කුරුසයක නෙවෙයි. “කුරුසය” විදිහට පරිවර්තනය කරලා තියෙන ග්‍රීක වචනයට තියෙන්නේ “කෙළින් අතට තියෙන කණුවක්,” “ලී කොටයක්” නැත්නම් “ගහක්” කියන අර්ථයන්. ‘අලුත් ගිවිසුමේ කොතැනකවත් කුරුසය කියන අදහස දෙන වචනයක්වත් පාවිච්චි කරලා නැහැ’ කියලා එක බයිබලයක විස්තර කරලා තියෙනවා. (The Companion Bible) එහෙනම්, යේසුස් මැරුණේ වධකණුවක මිසක් කුරුසයක නෙවෙයි කියලා පැහැදිලියි.
නමස්කාර කරද්දී රූපවත් සංකේතවත් පාවිච්චි කරනවාට යෙහෝවා දෙවියන් පොඩ්ඩක්වත් කැමති නැහැ.—නික්මයාම 20:4, 5; 1 කොරින්ති 10:14.
16 යේසුස්ගේ මරණය සිහි කිරීම
යේසුස් ඔහුගේ මරණය සිහි කරන්න කියලා ඔහුගේ අනුගාමිකයන්ට කිව්වා. එයාලා ඒක හැම අවුරුද්දකම නීසාන් මාසේ 14වෙනිදා සිහි කරනවා. ඒ දවසේ තමයි ඊශ්‍රායෙල්වරු පාස්කුව පැවැත්තුවේ. සිහි කිරීම පවත්වන දවසේදී යේසුස්ගේ ශරීරය නියෝජනය කරන රොටිත් ඔහුගේ රුධිරය නියෝජනය කරන වයිනුත් අතිනත යවනවා. ඒ රොටි කන්නෙත් වයින් බොන්නෙත් යේසුස් එක්ක ස්වර්ගයේ පාලනය කරන්න දෙවියන් තෝරාගෙන ඉන්න අය විතරයි. පොළොවේ සදාකල් ජීවත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය ඒ සිහි කිරීමට සහභාගි වුණත් රොටි කන්නෙවත් වයින් බොන්නෙවත් නැහැ.
17 ආත්මය
ගොඩක් බයිබල් පරිවර්තනවල “රුවා” කියන හෙබ්‍රෙව් වචනයත් “නියුමා” කියන ග්‍රීක වචනයත් පරිවර්තනය කරලා තියෙන්නේ ‘ආත්ම,’ ‘ආත්මය,’ ‘ශුද්ධාත්මය’ විදිහට. ඒත් ඒක නිවැරදි පරිවර්තනයක් කියලා කියන්න බැහැ. මොකද ඒ වචන අමරණීය ආත්මයක් තියෙනවා කියන වැරදි අදහසට අනුබල දෙනවා. ඒත් “රුවා,” “නියුමා” කියන වචන සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ හුළඟ, හුස්ම, දෙවියන්, දේවදූතයන්, දෙවියන්ගේ බලය වගේ නොපෙනෙන දේවල් විස්තර කරන්න. මැරුණාට පස්සේ අමරණීය දෙයක් ඉතිරි වෙනවා කියන අදහස බයිබලයේ කොහෙවත් නැහැ.—ගීතාවලිය 104:29; මතෙව් 12:43; ලූක් 11:13.
18 ගෙහෙන්නාව
ගෙහෙන්නාව කියන්නේ යෙරුසලමෙන් පිටත තිබුණු නිම්නයකට කියන නමක්. නගරයේ කුණු පුච්චලා විනාශ කළේ එතැනයි. යේසුස්ගේ කාලෙදී මිනිසුන්ව හරි සතුන්ව හරි වධ දීමේ අරමුණින් පණ පිටින්ම මේ නිම්නයට දැම්මා කියලා කියන්න කිසිම සාක්ෂියක් නැහැ. එහෙනම් මැරුණු අයව හැමදාම පුච්ච පුච්ච වධ දෙන තැනක් ගෙහෙන්නාවෙන් සංකේතවත් වෙනවා කියලා කියන්න බැහැ. සමහරුන්ව ගෙහෙන්නාවට දානවා කියලා යේසුස් කියපු එකෙන් අදහස් කළේ එයාලට සදාකාල විනාශය අත් වෙනවා කියන එකයි.—මතෙව් 5:22; 10:28.
19 ස්වාමීන්ගේ යාච්ඤාව
යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරන්න ඕන විදිහ ගැන ගෝලයන්ට කියලා දෙන්න යේසුස් කියපු යාච්ඤාවක්. ඒකට ආදර්ශ යාච්ඤාව කියලත් කියනවා. ඒකට ඇතුළත් දේවල් කීපයක් බලන්න.
“ඔබේ නාමය සැමදා ශුද්ධව පවතීවා!”
යෙහෝවා දෙවියන් ගැන කියලා තියෙන බොරු නිසා ඔහුගේ නමට ඇති වෙලා තියෙන කැළැල නැති කරන්න කියලා අපි යාච්ඤා කරනවා. එහෙම වුණාම ස්වර්ගයෙත් පොළොවෙත් ඉන්න හැමෝටම ඔහුගේ නම ගෞරවයට පත් කරන්න පුළුවන් වෙනවා.
“ඔබගේ රාජ්‍යය පැමිණේවා!”
දෙවියන්ගේ ආණ්ඩුවෙන් සාතන්ගේ දුෂ්ට සමාජය විනාශ කරලා මුළු පොළොවම පාලනය කරන්න කියලත් පොළොව පාරාදීසයක් කරන්න කියලත් අපි යාච්ඤා කරනවා.
‘ඔබගේ කැමැත්ත පොළොවෙහිද සිදු වේවා!’
පොළොව නිර්මාණය කරද්දී දෙවියන්ට තිබුණු අරමුණ ඉටු කරන්න කියලා අපි ඔහුගෙන් ඉල්ලනවා. එතකොට දෙවියන් මිනිසුන්ව නිර්මාණය කරද්දී බලාපොරොත්තු වුණා වගේ දෙවියන්ට කීකරු පරිපූර්ණ මිනිසුන්ට හැමදාමත් පාරාදීස පොළොවේ ජීවත් වෙන්න ලැබෙනවා.
20 යේසුස්ගේ ජීවිත පූජාව
යෙහෝවා දෙවියන් මිනිසුන්ව පාපයෙනුත් මරණයෙනුත් බේරාගන්න දීපු තෑග්ග තමයි යේසුස්ගේ ජීවිත පූජාව. ආදම් කරපු වරද නිසා එයාගෙන් පැවතෙන හැමෝටම පරිපූර්ණ ජීවිතය නැති වුණා. දෙවියන් එක්ක තිබුණු බැඳීමත් නැති වුණා. ඒ දේවල් ආයෙත් ගන්න වන්දියක් ගෙවන්න ඕන වුණා. ඒ නිසා යෙහෝවා දෙවියන් යේසුස්ව පොළොවට එවලා ඔහුගේ ජීවිත පූජාවෙන් ඒ වන්දිය ගෙවන්න මඟ සැලසුවා. යේසුස්ගේ ජීවිත පූජාව නිසා හැමෝටම පරිපූර්ණ මිනිසුන් විදිහට සදාකල් ජීවත් වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා.
21 1914 විශේෂ අවුරුද්දක් කියලා කියන්නේ ඇයි?
දෙවියන් තමන්ගේ ආණ්ඩුව පිහිටුවන්නේ 1914දී කියලා දානියෙල් 4වෙනි පරිච්ඡේදයේ තියෙන අනාවැකියකින් තේරුම්ගන්න පුළුවන්.
අනාවැකිය: යෙහෝවා දෙවියන් අනාගතයේ වෙන්න යන දෙයක් ගැන නෙබුකද්නෙෂර් රජුට හීනයකින් පෙන්නුවා. ඒ හීනයෙන් විශාල ගහක් කපලා දාන විදිහ රජ දැක්කා. ඒ ගහ ආයෙත් වැඩෙන්නේ නැති වෙන්න ඒකෙ කඳ කොටස ‘කාලවල් හතක්’ යන තුරු යකඩ සහ තඹ පටිවලින් බැඳලා තිබ්බා. කාලවල් හත පහු වුණාම ගහ ආයෙත් වැඩෙන්න පටන්ගන්නවා.—දානියෙල් 4:1, 10-16.
ඒ අනාවැකියේ තේරුම මොකක්ද? ගහෙන් නියෝජනය වෙන්නේ දෙවියන්ගේ පාලනයයි. යෙරුසලමේ ඉඳන් ඊශ්‍රායෙල්වරුන්ව පාලනය කරන්න දෙවියන් රජවරුන්ව පත් කළා. එයාලගේ පාලනයෙන් නියෝජනය වුණේ දෙවියන්ගේ පාලනය. (1 ලේකම් 29:23) යෙරුසලමේ රජවරුන් කාලයක් තිස්සේ පාලනය කළත් එයාලා දෙවියන්ගේ විශ්වාසය කඩ කළා. අන්තිමට ක්‍රි.පූ. 607දී යෙරුසලම විනාශ කරන්න දෙවියන් සතුරන්ට ඉඩහැරියා. යෙරුසලමේ පාලනය අවසන් වෙනවත් එක්කම තමයි ‘කාලවල් හත’ පටන්ගත්තේ. (2 රාජාවලිය 25:1, 8-10; එසකියෙල් 21:25-27) යේසුස් ඒ ‘කාලවල් හත’ ගැන මෙහෙම දෙයක් කිව්වා. “යෙරුසලම වෙනත් ජාතීන් විසින් පාගා දමනු ලබයි. එම ජාතීන් සඳහා නියමිත වූ කාලය නිම වන තුරු ඒ දේ දිගටම සිදු වෙයි.” (ලූක් 21:24) යේසුස් ඒ කියපු දෙයින් පැහැදිලි වෙන්නේ ඔහු මේ පොළොවේ ඉද්දී ‘කාලවල් හත’ අවසන් වෙලා තිබුණේ නැහැ කියන එකයි. ඒ කාලය අවසන් වෙද්දී මේ පොළොව හැමදාටම පාලනය කරන්න අලුත් රජෙක්ව පත් කරනවා කියලා යෙහෝවා දෙවියන් පොරොන්දු වුණා. ඒ අලුත් රජ තමයි යේසුස්. යේසුස් පොළොව පාලනය කරන්න පටන්ගත්තාම දෙවියන්ට ආදරේ කරන හැමෝටම නිමක් නැති ආශීර්වාද ලැබෙනවා.—ලූක් 1:30-33.
‘කාලවල් හත’ අවසන් වෙන්නේ කවදාද? ‘කාලවල් හත’ කියන්නේ අවුරුදු 2,520ක්. හරියටම එහෙම කියන්නේ කොහොමද? බයිබලයේ එක තැනක පෙන්වනවා කාලවල් තුනහමාරක් කියන්නේ දවස් 1,260කට කියලා. (එළිදරව් 12:6, 14) එහෙනම් ඒකේ දෙගුණයක්, ඒ කියන්නේ ‘කාලවල් හතක්’ දවස් 2,520යි. ඒත් “එක් දවසකින් නියෝජනය වන්නේ එක් අවුරුද්දක්” කියලා බයිබලයේ තියෙන දේ මතක් කරගත්තොත් දවස් 2,520ක් කියන්නේ අවුරුදු 2,520ක් කියලා පැහැදිලියි.—ගණන් කතාව 14:34; එසකියෙල් 4:6.
ක්‍රි.පූ. 607 ඉඳන් අවුරුදු 2,520ක් ගණන් හදලා බලද්දී අපි එන්නේ 1914 කියන අවුරුද්දට. ඒ අවුරුද්දේ තමයි යෙහෝවා දෙවියන් ගැලවුම්කරු වුණ යේසුස්ව දේවරාජ්‍යයේ රජු විදිහට පත් කළේ. එදා ඉඳන් ස්වර්ගයේ රජකම ඔහුට භාර දුන්නා.
22 අග්‍රදේවදූතයා වන මිකායෙල්
“අග්‍රදේවදූතයා” කියන වචනයෙන් අදහස් වෙන්නේ දේවදූතයන් අතරින් ප්‍රධානියා කියන එකයි. අග්රදේවදූතයාගේ නම මිකායෙල් කියලයි බයිබලයේ සඳහන් වෙන්නේ.—දානියෙල් 12:1; යූද් 9.
මිකායෙල් තමයි දේවදූතයන්ගෙන් හැදුණු දෙවියන්ගේ හමුදාවේ නායකයා. එළිදරව් 12:7 කියන්නේ “මිකායෙල් සහ ඔහුගේ දූතයෝ මකරාට විරුද්ධව යුද්ධ කළෝය” කියලයි. දෙවියන්ගේ සේනාවේ නායකයා යේසුස් කියලා බයිබලයේ තියෙනවා. (එළිදරව් 19:14-16) එහෙනම් මිකායෙල් කියන්නේ යේසුස්ට කියන තවත් නමක් කියලා පැහැදිලියි.
23 අවසාන කාලය
දෙවියන්ගේ රාජ්‍යයෙන් සාතන් යටතේ තියෙන දුෂ්ට සමාජය විනාශ කරන්න කලින් පොළොව පුරාම දරුණු දේවල් සිද්ධ වෙන කාල පරිච්ඡේදය බයිබලයේ හඳුන්වන්නේ අවසාන කාලය කියලයි. ඒ කාල පරිච්ඡේදයම හඳුන්වන්න තමයි සමහර බයිබල් අනාවැකිවල “පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය,” ‘මනුෂ්‍ය පුත්‍රයා පැමිණ සිටින කාලය’ කියන යෙදුම් පාවිච්චි කරලා තියෙන්නේ. (මතෙව් 24:3, 27, 37) ‘අවසාන කාලය’ පටන්ගත්තේ 1914දී දේවරාජ්‍යය ස්වර්ගයේ පිහිටවපු අවස්ථාවේ ඉඳලයි. ඒ කාල පරිච්ඡේදය අවසන් වෙන්නේ දෙවියන්ගේ යුද්ධයේදී [හර්–මගෙදොන්] සාතන්ගේ දුෂ්ට සමාජය විනාශ වෙනවාත් එක්කමයි.—2 තිමෝති 3:1; 2 පේතෘස් 3:3.
24 නැවත නැඟිටුවීම
මැරුණු අයට දෙවියන් ආයෙත් ජීවිතය දෙන එක හඳුන්වන්නේ නැවත නැඟිටුවීම කියලයි. දෙවියන්ගේ බලය මාර්ගයෙන් එලියා, එලිෂා, යේසුස්, පේතෘස්, පාවුල් මැරුණු අයට ආයෙත් ජීවිතය දුන්නා. ඒ වගේ සිද්ධීන් නවයක් බයිබලයේ වාර්තා වෙනවා. මැරිලා ඉන්න ‘ධර්මිෂ්ඨ, අධර්මිෂ්ඨ’ දෙගොල්ලන්ටම මේ පොළොවේ ජීවත් වෙන්න ආයෙත් අවස්ථාව දෙනවා කියලා යෙහෝවා දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා. (ක්‍රියා 24:15) සමහර අයව ස්වර්ගයේ ජීවත් වෙන්න නැවත නැඟිටුවනවා කියලත් බයිබලයේ කියනවා. ස්වර්ගයේ ජීවත් වෙන්න නැවත නැඟිටුවන ඒ අයට යේසුස් එක්ක රජකම් කරන්න අවස්ථාව ලැබෙනවා.—යොහන් 5:28, 29; 11:25; ෆිලිප්පි 3:11; එළිදරව් 20:5, 6.
25 භූතවාදය
භූතවාදය කියන්නේ මිනිසුන් භූතයන් එක්ක කෙළින්ම හරි කට්ටඩියන් මාර්ගයෙන් හරි සම්බන්ධ වෙලා කරන දේවලටයි. ජීවත් වෙලා ඉන්න අයට හානි කරන්න නැත්නම් උදව් කරන්න මැරුණු අයට පුළුවන් කියන බොරු ඉගැන්වීම විශ්වාස කරන නිසයි මිනිසුන් ඒ වගේ දේවල් කරන්න පෙලඹෙන්නේ. ජ්‍යෝතිඃ ශාස්ත්‍රය, මැජික්, මන්තර ගුරුකම්, මායා බන්ධන ක්‍රියාවන්, අද්භූත දේවල් වගේ හැම දෙයක්ම භූතවාදයට සම්බන්ධයි. අද්භූත දේවල කිසිම වරදක් නැහැ කියලා පෙන්වන, පොත්, සඟරා, දැන්වීම් පුවරු, හඳහන්, චිත්‍රපටි, සංගීතය, ක්‍රීඩා, ආරක්ෂාවට පළඳින සුර වගේ දේවලුත් ඒවාට අයිතියි. මළ ගෙවල්වල නිදි මරන එක, දාන දෙන එක වගේ චාරිත්‍රත් ඒකට අයිතියි. භූතයන්ගේ බලයෙන් දේවල් කරන සමහර අය ඊට කලින් මත්ද්‍රව්‍ය ගන්න එකත් සාමාන්‍ය දෙයක්. මේ හැම දෙයක්ම යොදාගෙන භූතයන් මිනිසුන්ව දෙවියන්ගෙන් ඈත් කරන්න උත්සාහ කරනවා.—ගලාති 5:20; එළිදරව් 21:8.
26 පාලනය කරන්න යෙහෝවා දෙවියන්ට තියෙන අයිතිය
මුළු විශ්වයම නිර්මාණය කරපු යෙහෝවා දෙවියන් තමයි විශ්වයේ බලවත්ම තැනැත්තා. (එළිදරව් 15:3) හැම දේකම අයිතිකරු වන ඔහුට විතරයි ඒවා පාලනය කරන්න අයිතිය තියෙන්නේ. (ගීතාවලිය 24:1; යෙසායා 40:21-23; එළිදරව් 4:11) තමන් නිර්මාණය කරපු හැම දෙයක්ම පාලනය කරන්න ඔහු නීති පිහිටුවලා තියෙනවා. පාලනය කරන්න වෙනත් අයට බලය පවරන්නත් ඔහුට අයිතිය තියෙනවා. අපි දෙවියන්ට ආදරය කරද්දී, ඔහුට කීකරු වෙද්දී අපි පෙන්වන්නේ පාලනය කරන්න දෙවියන්ට තියෙන අයිතිය අපි පිළිගන්නවා කියලයි.—1 ලේකම් 29:11.
27 ගබ්සාව
ගබ්සාව කියන්නේ නූපන් දරුවෙක්ව හිතාමතාම මරා දාන එකටයි. අනතුරක් නිසා හරි මවගේ සිරුරේ ඇති වෙන ගැටලුවක් නිසා හරි දරුවා මිය යන එක ගබ්සා කිරීමක් නෙමෙයි. පිළිසිඳගත්ත මොහොතේ ඉඳන්ම දරුවා වෙනමම ජීවිතයක්. ඒ නිසා දරුවා මවගේ ශරීරයේ කොටසක් විතරයි කියලා කියන්න බැහැ.
28 රුධිරය ශරීරගත කිරීම
රුධිරය ශරීරගත කරනවා කියන්නේ කෙනෙක්ගේ සිරුරේ තියෙන රුධිරය හරි රුධිරයේ ප්‍රධාන කොටස් හරි තවත් කෙනෙකුගේ ශරීරයට ඇතුල් කරන එකයි. ඒකට ගබඩා කරලා තියෙන රුධිරය ශරීරගත කරන එකත් ඇතුළත්. ප්ලාස්මාව, රතු රුධිරාණු, සුදු රුධිරාණු, පට්ටිකා කියන්නේ රුධිරයේ ප්‍රධාන කොටස් හතරයි.
29 හික්මවීම්
බයිබලයේ ‘හික්මවීම්’ කියලා කියන්නේ දඬුවම් කරනවා කියන එකට පාවිච්චි කරන වෙන වචනයක් නෙවෙයි. ‘හික්මවීම්’ කියද්දී ඒකට අවවාද කරන එක, කියලා දෙන එක, නිවැරදි කරන එක වගේ අදහස් ඇතුළත් වෙනවා. යෙහෝවා දෙවියන් කෙනෙක්ව හික්මවද්දී කේන්ති අරන් කුරිරු විදිහට ඒක කරන්නේ නැහැ. (හිතෝපදේශ 4:1, 2) යෙහෝවා දෙවියන් දෙමාපියන්ට හොඳ ආදර්ශයක්. දෙවියන් දෙන හික්මවීම කෙනෙක්ගේ හිතට කොයි තරම් බලපාන්න පුළුවන්ද කියනවා නම් දිගටම දෙවියන්ගෙන් හික්මවීම් ලබන්න ඒ කෙනා ආස වෙන්න පුළුවන්. (හිතෝපදේශ 12:1) යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟට ආදරෙයි. ඔහු එයාලව පුහුණු කරනවා. වැරදි අදහස් හරිගස්වන්න ඕන කරන මඟ පෙන්වීම් ඔහු දෙන නිසා දෙවියන්ව සතුටු කරන විදිහට හිතන්නත් වැඩ කරන්නත් එයාලට පුළුවන් වෙනවා. දෙමාපියන් දරුවන්ව හික්මවද්දී කීකරු වෙන්න ඕන ඇයි කියලා දරුවන්ට තේරුම් කරලා දෙන එකත් අත්‍යවශ්‍යයි. යෙහෝවා දෙවියන්ට ආදරේ කරන්න, බයිබලයට ඇලුම් කරන්න, ඒකේ මඟ පෙන්වීම් තේරුම්ගන්න දරුවන්ට උදව් කරන එකත් හික්මවීමට ඇතුළත්.
30 භූතයන්
භූතයන් කියන්නේ අපිට පේන්නේ නැති, දුෂ්ට, අපිට වඩා බලවත් පිරිසකට. දේවදූතයන් පිරිසක් දෙවියන්ට අකීකරු වෙලා ඔහුගේ සතුරන් වුණාට පස්සේ එයාලව හැඳින්නුවේ භූතයන් විදිහට. (උත්පත්ති 6:2; යූද් 6) සාතන් දෙවියන්ට විරුද්ධව ඇති කරපු කැරැල්ලට එයාලත් එකතු වුණා.—ද්විතීය කතාව 32:17; ලූක් 8:30; ක්‍රියා 16:16; යාකොබ් 2:19.