සියවසකට පෙර 1917
“නව වසර උදා වුණේ යුද්ධයේ රුදුරු ගිනිදලු මැද.” ඒ විදිහට සඳහන් වුණේ 1917 ජනවාරි 1වෙනිදා ‘මුරටැඹ’ කලාපයේ. මුළු ලෝකයම යුධ පිටියක් කළ 1වෙනි ලෝක මහා යුද්ධය 1917 වෙද්දී යුරෝපයේ රටවල්වල දරුණු ළැව් ගින්නක් වගේ පැතිරෙමින් තිබුණා.
යුද්ධවලට හවුල් වෙන එක හරිද වැරදිද කියන එක ගැන පැහැදිලි අවබෝධයක් ඒ කාලේ හිටිය බයිබල් ශිෂ්‍යයන්ට තිබුණේ නැහැ. ඒත් කිසිම යුද්ධයකට හවුල් නොවී ඉන්න ඒ අයගෙන් හුඟදෙනෙක් තීරණය කළා. අවුරුදු 19ක් වයස එංගලන්තයේ ස්ටැන්ලි විල්ස් එහෙම කරපු කෙනෙක්. ඒ නිසා එයාට ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වුණා. එයාව අධිකරණය ඉදිරියටත් අරන් ගියා. එයා මෙහෙම ලිව්වා. “හමුදා ප්‍රධානියා මට කිව්වා හමුදාවට බැඳෙන්න තව එක අවස්ථාවක් දෙනවා කියලා. ඒක කළේ නැත්නම් මට හමුදා අධිකරණය ඉදිරියේ පෙනී ඉන්න වෙනවා කියලා කිව්වා. ඒත් මම දන්නවා දෙවි මට උදව් කරනවා කියලා. විඳදරාගෙන දෙවිට මගේ විශ්වාසවන්තකම පෙන්වන්න ලැබෙන මේ අවස්ථාව මම ගොඩක් අගය කරනවා.”
හමුදාවට බැඳෙන එක ප්‍රතික්ෂේප කරපු නිසා ස්ටැන්ලිට බර වැඩ එක්ක සිරදඬුවම් නියම වුණා. ඒත් ගත්ත තීරණය ගැන ස්ටැන්ලි කවදාවත් දුක් වුණේ නැහැ. මාස දෙකකට පස්සේ එයා මෙහෙම ලිව්වා. “දෙවිගේ බලයේ උදව්වෙන් ඕන දෙයක් දරාගන්න මට දැන් පුළුවන්.” හිරේ හිටපු කාලය ගැන එයා කිව්වේ මෙහෙමයි. “නිදහසේ දෙවිත් එක්ක කතා කරන්න, දේවල් ගැන හොඳට හිතලා බලන්න සහ අධ්‍යයනය කරන්න හිරේ ඉන්නකොට මට අවස්ථාව ලැබුණා.”
එක්සත් ජනපදයේ ජනාධිපති වුඩ්රෝ විල්සන් 1917 අප්‍රියෙල් 2වෙනිදා ජර්මනියට එරෙහිව යුධ ප්‍රකාශ කළා. ඊට දවස් හතරකට පස්සේ එක්සත් ජනපද හමුදාවත් යුධ අවි අතට අරන් යුධ පිටියට අවතීර්ණ වුණා. ඒත් එක්කම එහේ හිටපු ක්‍රිස්තියානීන්ට ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වුණා.
හමුදාවට හුඟක් සෙනඟ ඕන වුණ නිසා මැයි මාසෙදි නිශ්චිත වයස් කාණ්ඩයක හිටපු හැම පිරිමි කෙනෙක්ම යුද්ධයට බැඳෙන එක රජයෙන් අනිවාර්යය කළා. යුද්ධයට හවුල් නොවන එක නීති විරෝධී දෙයක් කියලා ජූනි මාසෙදි නීතියකුත් පැනෙව්වා. විරුද්ධවාදිකම් කරපු අය “දුෂ්ට අරමුණක් ඇතුව” ඒ නීතිය අතකොලුවක් කරගෙන සාමකාමීව ජීවත් වුණු බයිබල් ශිෂ්‍යයන්ට පීඩා කළා.—ගීතා. 94:20.
ලෝකෙ පුරාම යුද්ධ ඇති වෙද්දී බයිබල් ශිෂ්‍යයන් ඒ ගැන පුදුම වුණේවත් කලබල වුණේවත් නැහැ. මොකද බයිබලයේ සඳහන් අනාවැකිවලින් ඒ වගේ තත්වයක් ඇති වෙනවා කියලා කලින්ම ඒ අය අවබෝධ කරගෙනයි හිටියේ. ඒ වගේම ඒ අනාවැකි ගැන අනිත් අයවත් දැනුවත් කළා. හැබැයි දෙවිගේ සෙනඟ අතර බෙදීම් ඇති වෙන්න පටන්ගත්තාම බයිබල් ශිෂ්‍යයන් ගොඩක් පුදුම වුණා.
විශ්වාසය සෝදිසියට ලක් වුණා
1884දී “සයන්ස් වොච්ටවර් ට්‍රැක්ට් සොසයිටි” එක චාල්ස් ටේස් රසල් නෛතික සමාගමක් විදිහට ලියාපදිංචි කළා. 1916 ඔක්තෝබර් මාසයේ මිය යන කල්ම සහෝදර රසල් ඒකේ සභාපති හැටියට කටයුතු කළා. ඊටපස්සේ සමාගමේ සභාපති වුණේ ජෝසෆ් එෆ්. රදෆර්ඩ්. ඒත් අධ්‍යක්ෂක මණ්ඩලයේ කිහිපදෙනෙක් සහ සංවිධානයේ වගකීම් දරපු තවත් කිහිපදෙනෙක් සභාපති හැටියට එයා පත් වුණ එක ගැන සතුටු වුණේ නැහැ.
සහෝදර රදෆර්ඩ් සංවිධානයේ කටයුතු මෙහෙයවපු විදිහ ගැන මැසිවිලි නැඟුවා. එක අවස්ථාවක, ඒ කාලයේ පිල්ග්‍රිම් කෙනෙක් (සංචාරක සේවකයෙක්) විදිහට සේවය කරපු පෝල් ජොන්සන් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු වුණා.
සහෝදර රසල් මිය යන්න ටික කාලයකට කලින් පෝල් ජොන්සන්ව සංචාරක නියෝජිතයෙක් විදිහට එංගලන්තයට යවන්න තීරණය කළා. එහෙදී එයාට පැවරිලා තිබුණේ සේවයේ වැඩවලට හවුල් වීම, සභාවලට ගිහින් සහෝදරයන්ව දිරිගැන්වීම සහ විවිධ වාර්තා ඉදිරිපත් කිරීම වගේ වැඩකටයුතුයි. එයා 1916 නොවැම්බර් මාසයේ එංගලන්තයට ගිය වෙලාවේ එහේ සහෝදරයන් හරිම උසස් විදිහට එයාව පිළිගත්තා. ලැබුණු ප්‍රශංසාව සහ ගෞරවය නිසා සහෝදර රසල්ගෙන් පස්සේ සමාගමේ සභාපතිකම ලැබෙන්න ඕනෙ තමන්ටයි කියලා එයා හිතුවා.
ජොන්සන් එයාට සහයෝගය දුන්නේ නැති කිහිපදෙනෙක්වම තම හිතුමතේට එංගලන්තයේ බෙතෙල් එකෙන් අයින් කළා. ලන්ඩන්වල තිබුණු සංවිධානයේ බැංකු ගිණුම් පවා තමන් යටතට ගන්න උත්සාහ කළා. ඒ දේවල් දැනගත්ත සහෝදර රදෆර්ඩ් එයාව ආයෙත් එක්සත් ජනපදයට ගෙන්වාගත්තා.
ජොන්සන් බෘක්ලින්වලට ආවාට පස්සෙවත් වෙනස් වුණේ නැහැ. ලැබුණු උපදෙස් නිහතමානීව පිළි අරන් තමන්ගේ වැරදි හදාගන්නවා වෙනුවට ආපහු තමන්ව එංගලන්තයට යවන්න කියලා එයා සහෝදර රදෆර්ඩ්ගෙන් දිගින් දිගටම ඉල්ලුවා. ඒ දේට අවසර ලැබුණේ නැහැ. ඒ නිසා එයා අධ්‍යක්ෂක මණ්ඩලය තමන්ගේ පැත්තට හරවගන්න උත්සාහ කළා. ප්‍රතිඵලයක් විදිහට 4දෙනෙක්ව තමන්ගේ පැත්තට නම්මගන්න එයාට පුළුවන් වුණා.
එංගලන්තයේදී ජොන්සන් කරන්න හැදුවා වගේ එක්සත් ජනපදයේ බැංකු ගිණුම්වල මුදල් එයාලාට ඕන විදිහට පාවිච්චි කරන්න මේ 4දෙනා උත්සාහ කරයි කියලා සහෝදර රදෆර්ඩ් හිතුවා. ඒ නිසා එයා ඒ අයව අධ්‍යක්ෂක මණ්ඩලයෙන් අයින් කළා. එක්සත් ජනපදයේ නීතියට අනුව සමාගමක අධ්‍යක්ෂක මණ්ඩලය වාර්ෂිකව පත් කළේ සමාගමේ සාමාජිකයන්ගේ ඡන්දයෙන්. ඒත් 1917 ජනවාරි 6වෙනිදා පවත්වපු සමාගමේ වාර්ෂික රැස්වීමේදී ඡන්දය තිබ්බේ අධ්‍යක්ෂක මණ්ඩලයේ තනතුරු තුනක් සඳහා විතරයි. ඒ ඡන්දයෙන් සහෝදර රදෆර්ඩ් සභාපති විදිහටත් සහෝදර ඇන්ඩෘ පියර්සන් උප සභාපති විදිහටත් සහෝදර විලියම් වැන් ඇම්බර්ග් ලේකම් සහ භාණ්ඩාගාරික විදිහටත් පත් වුණා. අධ්‍යක්ෂක මණ්ඩලයේ අනිත් තනතුරු හතර සඳහා ඡන්දයක් තිබ්බේ නැහැ. ඒ වෙද්දී ඒ තනතුරුවල හිටියේ සහෝදර රදෆර්ඩ්ට විරුද්ධ වුණු 4දෙනායි. හුඟක් අය හිතුවේ ඒ 4දෙනාට කවදාවත් ඒ තනතුරු අහිමි වෙන එකක් නැහැ කියලයි. ඒත් සමාගමේ වාර්ෂික රැස්වීමේදී එයාලාව ඡන්දයෙන් තෝරගත්තේ නැති නිසා එයාලාගේ තනතුරු අහිමි වුණා. ඒ නිසා සභාපති විදිහට සහෝදර රදෆර්ඩ් 1917 ජූලි මාසයේ ඒ තනතුරුවලට විශ්වාසවන්ත සහෝදරයන් 4දෙනෙක්ව අලුතින් පත් කළා.
ඒ ගැන තරහෙන් හිටපු රදෆර්ඩ්ට විරුද්ධ වුණු 4දෙනා තමන්ට නැති වුණු තනතුරු ලබාගන්න අරමුණින් විරෝධතා ව්‍යාපාර සංවිධානය කළා. ඒ වගේම බයිබල් ශිෂ්‍යයන්ගෙන් සමහරදෙනෙක් විරුද්ධවාදීන් එක්ක එකතු වෙලා අලුත් සංවිධාන ආරම්භ කළා. ඒත් වැඩිදෙනෙක් සහෝදර රදෆර්ඩ්ට සහාය දැක්වුවා.
විරුද්ධවාදිකම් මැද්දෙත් ඉදිරියටම
විරුද්ධවාදිකම් ආවත් සහෝදර රදෆර්ඩ් සහ අනිත් විශ්වාසවන්ත සහෝදරයන් දේශනා කිරීමේ වැඩයට මූලික අවධානය දුන්නා. දේශනා සේවය වේගවත් කරන්න පිල්ග්රිම්වරුන්ගේ ඒ කියන්නේ සංචාරක සේවකයන්ගේ ගණන 69 ඉඳන් 93ක් දක්වා වැඩි කළා. ඒ වගේම එදා කෝල්පෝටර්වරුන් හැටියට හඳුන්වපු ස්ථාවර පුරෝගාමීන්ගේ ගණන 372 ඉඳන් 461ක් දක්වා වැඩි කළා. ඊට අමතරව අද කාලයේ සහායක පුරෝගාමීන් හා සමාන විශේෂ කෝල්පෝටර්වරුන්වත් පත් කළා. සමහර සභාවල මේ විශේෂ කෝල්පෝටර්වරුන් 100දෙනෙක්ට වැඩිය හිටියා.
1917 ජූලි 17වෙනිදා ‘අභිරහස හෙළි කිරීම’ කියලා අලුත් පොතක් නිකුත් කළා. මේ පොතට මොන තරම් ලොකු ඉල්ලුමක් තිබුණාද කියනවා නම් ඒ අවුරුද්ද අවසන් වෙද්දී මුද්‍රණය කරලා තිබුණු පිටපත් ඔක්කොම ඉවර වුණා. ඒ නිසා තව පොත් 8,50,000ක් අලුතින් මුද්‍රණය කරන්න මුද්‍රණ සමාගමට භාර දුන්නා.a
සහෝදර රසල් 1916 බෙතෙල් එකේ වැඩ තවත් හොඳින් සංවිධානය කරන්න පියවර අරගෙනයි තිබුණේ. ඒ වැඩකටයුතු 1917දී අවසන් වුණා. ඒ අවුරුද්දේ දෙසැම්බර් මාසයේ ‘මුරටැඹ’ සඟරාවේ මෙහෙම සඳහන් වෙලා තිබුණා. ‘දැන් බෙතෙල් එක කාර්යක්ෂම ආයතනයක් වගේ. හරිම පිළිවෙළකට වැඩකටයුතු කෙරෙනවා. ඒ වගේම මෙහේ වැඩ කරන අය තමන්ට ලැබිලා තියෙන පැවරුම සලකන්නේ දෙවිගෙන් ලැබුණු වටිනා ආශීර්වාදයක් විදිහටයි.’
1917 සැප්තැම්බර් මාසයේ ‘මුරටැඹ’ සඟරාවේ මෙහෙම සඳහන් වුණා. ‘ජනවාරි මාසේ ඉඳන් හැම මාසයකම බෙදාහැරපු ප්රකාශනවල ගණන කලින් අවුරුද්දේ ඒ එක් එක් මාසවල බෙදාහැරපු ප්රකාශනවල ගණනට වඩා වැඩියි. ඒකෙන් පැහැදිලි වෙනවා සංවිධානයේ කටයුතු මෙහෙයවන සහෝදරයන්ට දෙවිගේ ආශීර්වාදය නොඅඩුව ලැබෙනවා කියලා.’
දිගින් දිගටම විශ්වාසය සෝදිසියට ලක් වුණා
සංවිධානයේ සැලැස්මට විරුද්ධව වැඩ කරපු අය තවදුරටත් සංවිධානය තුළ හිටියේ නැහැ. ඒ කාලෙදීම වගේ සහෝදර රදෆර්ඩ්ටත් එයාත් එක්ක වැඩ කරපු අයටත් සහාය දක්වනවාද කියලා ‘මුරටැඹ’ සඟරාවේ මත විමසුමක් පළ කරලා තිබුණා. ඒ හරහා වැඩිදෙනෙක් සහෝදර රදෆර්ඩ් ඇතුළු පිරිසට තමන්ගේ සහාය ප්‍රකාශ කෙරුවා. වර්ෂ 1918 මුල් මාස කිහිපය පුරා දෙවිගේ සේවකයන් ලොකු වර්ධනයක් අද්දැක්කා. ඒත් එයාලා මෑත ඉතිහාසයේ මුහුණ දීපු අඳුරුම කාලපරිච්ඡේදය ආරම්භ වෙන්න වැඩි දවසක් ගියේ නැහැ.
a 1920 වෙන කල් අපේ පොත් පත් හැම එකක්ම මුද්‍රණය කළේ මුද්‍රණ සමාගම්වලින්.