ඔක්තෝබර් 18, ඉරිදා
“ස්වර්ගයේ ඉන්න අපේ පියාණෙනි, ඔබේ නම හැමදාටම ශුද්ධව පවතීවා!”—මතෙ. 6:9.
යෙහෝවාට තියෙන ආදරේ අපිව පොලඹවනවා ඔහුගේ නම ගෞරවයට පත් කරන්න. සාතන් පට්ටපල් බොරු ගොතලා යෙහෝවාගේ නම කැත කරලා තියෙනවා. අපිට ඕනෙ ඔහුගේ නමට ඇති වුණ ඒ කැළල අයින් කරන්න උදව් කරන්න. (උත්. 3:1-5; යෝබ් 2:4; යොහ. 8:44) පණිවිඩේ අහන්න කැමති හැමෝටම යෙහෝවා කවුද, ඔහු මොන වගේ කෙනෙක්ද කියලා අපි කියන්නේ හරිම ආසාවෙන්. අපිට ඕනෙ ඔහු ආදරණීය කෙනෙක් කියලත් ඔහු පාලනය කරන්නේ ධර්මිෂ්ඨව, සාධාරණව කියලත් හැමෝටම කියන්න. ඒ වගේම ඔහුගේ රාජ්යයෙන් ඉස්සරහට මේ පොළොවේ හැම දුකක්ම, කරදරයක්ම නැති කරනවා කියලා අනිත් අයට කියන්න. (ගීතා. 37:10, 11, 29; 1 යොහ. 4:8) ඒ විදිහට අපි යෙහෝවා වෙනුවෙන් කතා කරද්දී අපි ඔහුගේ නම ගෞරවයට පත් කරනවා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියන නමට ගැළපෙන විදිහට වැඩ කරන්නත් අපිට පුළුවන් වෙනවා. ඒ ගැන අපිට සතුටුයි. w24.05 18 12¶
ඔක්තෝබර් 19, සඳුදා
“ඔයා කෑමක් ලෑස්ති කරද්දී දුප්පත්, කොර, අන්ධ, ආබාධයක් තියෙන අයට ආරාධනා කරන්න. එතකොට ඔයාට සතුටු වෙන්න පුළුවන්. මොකද ආපහු ඔයාට කිසිම දෙයක් දෙන්න එයාලට පුළුවන්කමක් නැහැ. ධර්මිෂ්ඨ අයව නැවත නැඟිට්ටවන කාලයේදී ඔයාට ඒ වෙනුවෙන් ආශීර්වාද ලැබෙයි.”—ලූක් 14:13, 14.
කිට්ටු යාළුවන් වෙනුවෙන් විතරක් නෙවෙයි, හැමෝම වෙනුවෙන් හොඳ දේවල් කරද්දී ඔයා පෙන්නනවා ඔයා “ආගන්තුක සත්කාරයට කැමති” කෙනෙක් කියලා. (1 පේතෘ. 4:9) ඒ වගේ කෙනෙක්ව එක පොතක විස්තර කරන්නේ මෙහෙමයි. “එයා අඳුරන්නේ නැති අය වෙනුවෙන් එයාගේ හිතේ දොරයි, ගෙදර දොරයි ඕනම වෙලාවක ඇරලයි තියෙන්නේ.” ඉතින් මෙහෙම හිතන්න. ‘සභාවට එන ආගන්තුකයන්ව ආදරෙන් පිළිගන්න කෙනෙක් විදිහටද අනිත් අය මාව දකින්නේ?’ (හෙබ්රෙ. 13:2, 16) ආගන්තුක සත්කාරයට කැමති කෙනෙක් එයාට තියෙන දේ ආගන්තුකයන් එක්ක බෙදාගන්නවා. ඒ අයට යමක්කමක් නැති අය, මහන්සි වෙලා වැඩ කරන චාරිකා සේවකයන්, සභාවට දේශන දෙන්න එන අය ඇතුළත්.—උත්. 18:2-8; හිතෝ. 3:27; ක්රියා 16:15; රෝම 12:13. w24.11 21 6¶
ඔක්තෝබර් 20, අඟහරුවාදා
“සූදානම් වෙලා හිටිය තරුණියන් එයා එක්ක විවාහ උත්සවය පවත්වන තැනට ගියා.”—මතෙ. 25:10.
අවිවාහක තරුණියන් ගැන යේසුස් කියපු උදාහරණේදී ඔහු කිව්වා තරුණියන් දහදෙනෙක් මනාලයාව හම්බ වෙන්න ගියා කියලා. (මතෙ. 25:1-4) ඒ හැමෝටම ඕන වුණේ මනාලයාත් එක්ක විවාහ උත්සවයට යන්න. එයාලාගෙන් පස්දෙනෙක් “නුවණ ඇති” අය. අනිත් පස්දෙනා “නුවණ නැති” අය. නුවණ ඇති පස්දෙනා හිටියේ සූදානමින්. මනාලයා කීයට ආවත්, රෑ දෙගොඩහරි ජාමේ ආවත් එයාව පිළිගන්න එයාලා හිටියේ ලෑස්ති පිට. අඳුරේදී පත්තු කරන්න පහනුත් එයාලා අරන් ආවා. මනාලයා එන්න රෑ වුණොත් කියලා හිතලා එයාලා පහන්වලට දාන්න අමතර තෙලුත් ගෙනාවා. එයාලා සූදානමින් හිටපු නිසා එයාලට දිගටම පහන් දල්වලා තියාගන්න පුළුවන් වුණා. (මතෙ. 25:6-10) මනාලයා ආවාම එයාලට පුළුවන් වුණා ඔහුත් එක්ක විවාහ උත්සවයට යන්න. ඒ විදිහට අභිෂේක ලත් අයත් යේසුස් එන කල් සූදානමින්, සෝදිසියෙන් ඉන්න ඕනේ. එහෙම අයව තමයි දෙවියන්ගේ රාජ්යයට ඇතුල් වෙන්න සුදුසුයි කියලා මනාලයා විනිශ්චය කරන්නේ.—එළි. 7:1-3. w24.09 21 6¶