10වෙනි පරිච්ඡේදය
භූතයන්ට වඩා යේසුස් බලවත්
එක දේවදූතයෙක්ව සාතන් කියලත් යක්ෂයා කියලත් හඳුන්වන්න පටන්ගත්තේ ඇයි කියලා ඔයාට මතකද?— අනිත් අය තමන්ට නමස්කාර කරනවා දකින්න තිබුණු කෑදරකම නිසයි එයාට එහෙම වුණේ. තවත් දේවදූතයන් යක්ෂයාට එකතු වුණාද?— ඔව්, බයිබලයේ ඒ අයව හඳුන්වලා තියෙන්නේ ‘සාතන්ගේ දූතයන්’ නැත්නම් භූතයන් කියලයි.—එළිදරව් 12:9.
ඒ අය දෙවි කෙනෙක් ඉන්නවා කියලා විශ්වාස කරනවාද?— බයිබලයේ කියන්නේ භූතයන්ටත් ඒ විශ්වාසය තියෙනවා කියලයි. (යාකොබ් 2:19) හැබැයි දැන් නම් එයාලා ඉන්නේ හුඟක් බයෙන්. ඒ අය කරපු නරක වැඩවලට දෙවිගෙන් දඬුවම් ලැබෙනවාමයි කියලා ඒ අය දන්නවා. ඇත්තටම ඒ භූතයන් කළේ මොනවාද?—
බයිබලයේ තියෙනවා ස්වර්ගයේ හිටිය ඒ නරක දේවදූතයන් මිනිසුන් විදිහට පොළොවට ආවා කියලා. ලස්සන ගැහැනු අය එක්ක ලිංගික සම්බන්ධකම් පවත්වන්න ආස වුණු නිසයි ඒ අය පොළොවට ආවේ. (උත්පත්ති 6:1, 2; යූද් 6) ලිංගික සම්බන්ධකම් ගැන ඔයා දන්නේ මොනවාද?—
ලිංගික සම්බන්ධකමක් කියන්නේ ගැහැනු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි හරිම විශේෂ විදිහකින් එකට එකතු වෙන එකට. ඒකෙන් අම්මාගේ බඩේ දරුවෙක් හැදෙන්න පටන්ගන්නවා. දරුවා ඉපදුණාම අම්මායි තාත්තායි එකතු වෙලා දරුවාව ආදරෙන් හදා වඩා ගන්නවා. දෙවි ලිංගික සම්බන්ධකම් පවත්වන්න අවසර දුන්නේ විවාහ වෙලා ඉන්න ගැහැනු කෙනෙක්ටයි පිරිමි කෙනෙක්ටයි විතරයි. ඒ නිසා දේවදූතයන් ලිංගික සම්බන්ධකම් පවත්වපු එක සම්පූර්ණයෙන්ම වැරදියි.
දේවදූතයන් මිනිසුන් විදිහට ඇවිත් ගැහැනු එක්ක ලිංගික සම්බන්ධකම් පැවැත්තුවාම ඒ අයට ඉපදුණු දරුවන් යෝධයන් වගේ උස් මහත් වුණා. ඒ අය අනිත් අයට සැලකුවේ හරිම නපුරු විදිහට. ඒ නිසා ඒ යෝධයන්වත් දුෂ්ට මිනිසුන්වත් විනාශ කරන්න දෙවි ජලගැල්මක් ගෙනාවා. හැබැයි දෙවි නෝවාට නැවක් හදන්න කියලා, හරි දේ කරපු මිනිසුන්ව ගලවගත්තා. ඒ ජලගැල්මේදී වුණු දේ අපි මතක තියාගන්න ඕනෙ කියලා යේසුස් කිව්වා.—උත්පත්ති 6:3, 4, 13, 14; ලූක් 17:26, 27.
ඔයා දන්නවාද මිනිසුන් විදිහට ආපු දේවදූතයන්ට ජලගැල්මේදී වුණේ මොනවාද කියලා?— ඒ අය ආයෙත් ස්වර්ගයට ගියා. ඒත් එදායින් පස්සේ ඒ අයට කිව්වේ දේවදූතයන් කියලා නෙවෙයි භූතයන් කියලයි. ඒ අය නිසා පොළොවේ ඉපදුණු දරුවන්ට මොකද වුණේ?— දෙවිට අකීකරු වුණු අනිත් අය වගේ ඒ අයත් ජලගැල්මෙන් මැරුණා.
ජලගැල්මෙන් පස්සේ භූතයන්ට මිනිසුන් වගේ වෙන්න දෙවියන් ඉඩ දුන්නේ නැහැ. හැබැයි තාමත් ඒ භූතයන්ට ඕනෙ මිනිසුන්ගේ හිත්වල වැරදි දේවල් කරන්න ආසාවක් ඇති කරන්නයි. වෙනදාට වඩා වැඩියෙන් ඒ දේ කරන්නයි භූතයන් දැන් උත්සාහ කරන්නේ. මොකද ස්වර්ගයේ හිටපු ඒ භූතයන්ව දැන් පොළොවට පන්නලා තියෙනවා.
ඒ භූතයන්ව අපිට පේන්නේ නැත්තේ ඇයි කියලා ඔයා දන්නවාද?— ඒ අයට තියෙන්නේ අපිට වගේ ඇඟක් නෙවෙයි. හැබැයි ඒ අය ඇත්තටම ජීවත් වෙනවා. බයිබලයෙත් තියෙන්නේ සාතන් ‘මුළු පොළොවම නොමඟ යවද්දී’ භූතයනුත් ඒ දේට උදව් කරනවා කියලයි.—එළිදරව් 12:9, 12.
යක්ෂයාටයි භූතයන්ටයි පුළුවන්ද අපිවත් රවට්ටන්න?— අපි පරිස්සම් වුණේ නැත්නම් ඒ අයට පුළුවන් ලේසියෙන්ම ඒක කරන්න. හැබැයි බය වෙන්න ඕනෙ නැහැ. යේසුස් කිව්වා ‘මාව යටත් කරගන්න යක්ෂයාට කිසිම බලයක් නැහැ’ කියලා. අපි දෙවිත් එක්කම හිටියොත් දෙවිට පුළුවන් අපිව යක්ෂයාගෙනුයි භූතයන්ගෙනුයි ආරක්ෂා කරන්න.—යොහන් 14:30.
භූතයන්ට ඕනෙ අපේ හිත්වල මොන වගේ වැරදි ආසාවන් ඇති කරන්නද කියලා දැනගන්න එක හුඟක් වැදගත්. දැන් ඒ ගැන ටිකක් හිතන්නකෝ. භූතයන් පොළොවට ආපු කාලේ ඒ අය කළේ මොන වගේ වැරදි දේවල්ද?— ජලගැල්මට කලින් ඒ අය ගැහැනු එක්ක ලිංගික සම්බන්ධකම් පැවැත්තුවා. ඒත් දෙවි ඒකට අවසර දීලා තිබුණේ නැහැ. අදටත් භූතයන් කැමති ලිංගික සම්බන්ධකම් ගැන දෙවි දීපු නීති මිනිසුන් කඩනවා දකින්න. ලිංගික සම්බන්ධකම් පවත්වන්න දෙවියන් අවසර දීලා තියෙන්නේ කාට විතරද කියලා ඔයාට මතකද?— විවාහ වුණු දෙන්නෙක්ට විතරයි.
සමහර ගැහැනු ළමයිනුයි පිරිමි ළමයිනුයි ලිංගික සම්බන්ධකම් පවත්වනවා. හැබැයි ඒක වැරදියි. පිරිමි අයගේ ලිංගික අවයවය ගැන බයිබලයේ සඳහන් වෙලා තියෙනවා. (ලෙවී කතාව 15:1-3) ඒකට කියන්නේ ශිෂ්ණය කියලයි. ගැහැනු අයගේ ලිංගික අවයවයට කියන්නේ යෝනි මාර්ගය කියලයි. යෙහෝවා දෙවි ශරීරයේ මේ අවයව හැදුවේ විශේෂ අරමුණකට. ඒක විවාහ වුණු යුවළකට විතරක් සීමා වුණු දෙයක්. ඒත් භූතයන් කැමති මිනිසුන් දෙවිට අකීකරු වෙනවාටයි. ගැහැනු දරුවෙකුත් පිරිමි දරුවෙකුත් ඒ අයගේ ලිංගික අවයව වැරදි විදිහට පාවිච්චි කරනවා දකින්න භූතයන් හුඟක් ආසයි. භූතයන් ආස දේවල් කරන්න අපි නම් පොඩ්ඩක්වත් කැමති නැහැ නේද?—
යෙහෝවා දෙවි පොඩ්ඩක්වත් කැමති නැති හැබැයි භූතයන් හුඟක් කැමති තවත් දෙයක් තියෙනවා. ඔයා දන්නවාද ඒ මොකක්ද කියලා?— සැහැසියාව. (ගීතාවලිය 11:5) ඒ කියන්නේ මිනිසුන් ඕනකමින්ම අනිත් අයට හිංසා කරන එක. මතකනේ, භූතයන්ගේ දරුවන් විදිහට ඉපදුණු යෝධයන් වැඩ කළෙත් ඒ විදිහටමයි.
මිනිසුන්ව බය කරන්නත් භූතයන් හුඟක් ආසයි. භූතයන්ට ඕනෙ මැරුණු අය තාම ජීවත් වෙනවා කියලත් ඒ අය එක්ක කතා කරන්න අපිට පුළුවන් කියලත් පෙන්වන්නයි. ඒ නිසා භූතයන් මැරුණු අය වගේ පේන්න එනවා. මැරුණු අයගේ කටහඬවල්වලින් කතා කරනවා. අද හුඟක් අය හොල්මන් ගැන විශ්වාස කරන්නේ ඒ නිසයි.
සාතන් ගැනත් එයාගේ භූතයන් ගැනත් අපි හැම තිස්සෙම කල්පනාවෙන් ඉන්න ඕනේ. මොකද බයිබලයේ මෙහෙම අනතුරු අඟවලා තියෙනවා. ‘සාතන් ආලෝකය දෙන දූතයෙක් වගේ පෙනී ඉන්නවා. එයාගේ සේවකයනුත් කරන්නේ ඒ දේමයි.’ (2 කොරින්ති 11:14, 15) ඇත්තටම භූතයන් හරිම නරකයි. අපි බලමු භූතයන් අපිවත් ඒ අයගේ ගොඩට ගන්න කරන්නේ මොනවාද කියලා.
සැහැසියාව ගැන, වැරදි විදිහට ලිංගික අවයව පාවිච්චි කරන එක ගැන වගේම හොල්මන් ගැන මිනිසුන් වැඩියෙන්ම ඉගෙනගන්නේ කොහෙන්ද?— ටීවී එකේ යන සමහර වැඩසටහන් වගේම සමහර චිත්රපටි බලන එක, සමහර වීඩියෝ ක්රීඩාවන් කරන එක, ඉන්ටර්නෙට් එකෙන් වැරදි දේවල් බලන එක, නරක දේවල් ගැන තියෙන පොත් කියවන එක වගේ දේවලින් නේද? අපිත් ඒ දේවල් කරනවා නම් අපි ගන්නේ දෙවිගේ පැත්තද නැත්නම් යක්ෂයාගෙයි භූතයන්ගෙයි පැත්තද?—
අපි නරක දේවල් බලනවාටත් ඒවාට ඇහුම්කන් දෙනවාටත් කැමති කවුද?— සාතනුයි එයාගේ භූතයනුයි. ඒ නිසා අපි මොනවාද කරන්න ඕනෙ?— හොඳ දේවල් වගේම යෙහෝවා දෙවිට සේවය කරන්න උදව් වෙන දේවල් තමයි අපි බලන්න, කියවන්න, ඇහුම්කන් දෙන්න ඕනේ. ඒ වගේ දේවල් ඔයාට මතක් වෙනවාද?—
අපි කරන්නේ හරි දේ නම් අපි භූතයන්ට බය වෙන්න ඕනෙ නැහැ. මොකද යේසුස් භූතයන්ට වඩා බලවත්. ඒ අය යේසුස්ට බයයි. දවසක් භූතයන් යේසුස්ගෙන් ඇහුවා ‘ඔයා ආවේ අපිව විනාශ කරන්නද’ කියලා. (මාක් 1:24) යේසුස් සාතන්වයි එයාගේ භූතයන්වයි විනාශ කරන කාලය එන කල් අපි බලන් ඉන්නේ හුඟක් ආසාවෙන් නේද?— ඒ කාලය එන කල් අපි යේසුස්ටත් යෙහෝවා දෙවිටත් කීකරුව ඉමු. එතකොට යේසුස් අනිවාර්යයෙන්ම අපිව භූතයන්ගෙන් ආරක්ෂා කරනවා.
අපි කරන්න ඕනෙ මොනවාද කියලා දැනගන්න අපි දැන් මේ බයිබල් පද කියවලා බලමු. 1 පේතෘස් 5:8, 9; යාකොබ් 4:7, 8.