උත්පත්ති
26 ආබ්‍රහම් ජීවත් වූ කාලයේදී දේශයේ මුල්ම වරට ඇති වූ සාගතයෙන්+ පසුව තවත් සාගතයක් ඇති විය. එබැවින් ඊසාක් ගෙරාර්හි සිටි ෆිලිස්තිවරුන්ගේ රජු වූ අබිමෙලෙක් වෙත ගියේය.+ 2 යෙහෝවා දෙවි ඊසාක්ට කතා කර මෙසේ කීවේය.+ “ඊජිප්තුවට නොයා මා ඔබට නියම කරන දේශයේ කූඩාරම් ගසාගෙන ජීවත් වෙන්න.+ 3 ඔබ මේ දේශයේ විදේශිකයෙක්+ ලෙස ජීවත් වෙන්න. එවිට මම දිගටම ඔබ සමඟ සිට ඔබට ආශීර්වාද කරන්නෙමි. මම මේ මුළු දේශයම ඔබටත් ඔබෙන් පැවත එන්නන්ටත්+ දෙන්නෙමි. මම ඔබේ පියා වන ආබ්‍රහම්ට දිවුරා පොරොන්දු+ වූ ලෙසම කරන්නෙමි. 4 මා ඔහුට දුන් පොරොන්දුව මෙයයි. ‘මම ඔබෙන් පැවතෙන්නන්ව අහසේ තාරකා මෙන් බොහෝ සෙයින් වැඩි කරන්නෙමි. මේ මුළු දේශයම ඔබෙන් පැවත එන්නන්ට දෙන්නෙමි.+ ඔබෙන් පැවත එන තැනැත්තා* මාර්ගයෙන් පොළොවේ සියලු ජාතීහු ආශීර්වාද ලබාගන්නෝය.’*+ 5 ආබ්‍රහම් මගේ හඬට සවන් දෙමින් මා බලාපොරොත්තු වූ ආකාරයටම මගේ ආඥාද පනත්ද නීතිද පැවැත්වූ නිසා,+ මම ඒ පොරොන්දුව ඉටු කරන්නෙමි.” 6 එමනිසා ඊසාක් දිගටම ගෙරාර්හි ජීවත් වුණේය.+
7 දේශයේ මිනිසුන් ඔහුගේ බිරිඳ ගැන ඇසූ විට, “ඇය මගේ සහෝදරිය”+ කියා ඔහු උත්තර දුන්නේය. “ඇය මගේ බිරිඳ” කියා පැවසීමට ඔහු භය විය. මන්ද ඔහුගේ බිරිඳ රූමත් ස්ත්‍රියක වූ බැවින්,+ “රෙබෙකා නිසා මේ දේශයේ පුරුෂයන් මාව මරා දමයි” කියා ඔහු සිතුවේය. 8 ඊසාක් කාලයක් එම දේශයේ ජීවත් විය. එක් දිනක් ෆිලිස්තිවරුන්ගේ රජු වූ අබිමෙලෙක් ජනේලයෙන් බැලූ විට ඊසාක් තම බිරිඳ වූ රෙබෙකාව සෙනෙහසින් වැලඳගන්නා ආකාරය දුටුවේය.+ 9 ඔහු විගස ඊසාක්ව කැඳවා මෙසේ ඇසුවේය. “රෙබෙකා ඔබේ බිරිඳ නොවේද? ‘ඇය මගේ සහෝදරිය’ කියා ඔබ පැවසුවේ මන්ද?” එවිට ඊසාක් ඔහුට මෙසේ පිළිතුරු දුන්නේය. “මම එහෙම කිව්වේ මට භය හිතුණ නිසයි. මගේ බිරිඳව ලබාගන්න සෙනඟ මාව මරා දමයි කියා මම හිතුවා.”+ 10 එවිට අබිමෙලෙක් ඔහුට මෙසේ කීවේය. “ඔබ අපට කුමක්ද මේ කළේ?+ ඔබ නිසා අපේ අතින් බරපතළ පාපයක් සිදු වෙන්න ඉඩ තිබුණා. මේ ගැන නොදැනුවත්ව කවුරු හරි ඔබේ බිරිඳ සමඟ සයනය කළා නම් කුමක්ද වෙන්නේ?”+ 11 ඉන්පසු අබිමෙලෙක් තම සෙනඟට මෙසේ අණ කළේය. “මේ මිනිසාටවත් ඔහුගේ භාර්යාවටවත් කවුරු හරි කෙනෙක් අත තැබුවොත් ඔහුව මරා දමන්න!”
12 ඉන්පසු ඊසාක් ඒ දේශයේ වගා කරන්න පටන්ගත්තේය.+ යෙහෝවා දෙවි ඔහුට දිගටම ආශීර්වාද කළ නිසා+ ඒ අවුරුද්දේ ඔහු වැපුරූ ප්‍රමාණය මෙන් සිය ගුණයක්+ අස්වැන්න නෙළාගත්තේය. 13 ඔහු ඉතා පොහොසත් වූ අතර දවසින් දවස ඔහුගේ ධනය වැඩි විය.+ ඔහු ශ්‍රේෂ්ඨයෙකු ලෙස ප්‍රසිද්ධ විය. 14 ඔහුට බැටළු රැළවල් සහ ගව රැළවල් විශාල සංඛ්‍යාවක්ද මහත් සේවක පිරිසක්ද සිටියෝය.+ එබැවින් ෆිලිස්තිවරු ඔහුට ඊර්ෂ්‍යා කරන්න පටන්ගත්තෝය.+
15 ඊසාක්ගේ පියා වන ආබ්‍රහම් ජීවත් වූ කාලයේදී ආබ්‍රහම්ගේ සේවකයන් විසින් ළිං කිහිපයක් හාරන ලදි.+ ෆිලිස්තිවරු ඒ සෑම ළිඳක්ම වැලිවලින් පුරවා වසා දැමුවෝය.+ 16 කලක් ගෙවුණු පසු, අබිමෙලෙක් ඊසාක්ව කැඳවා මෙසේ කීවේය. “ඔබ දැන් අපට වඩා ඉතා බලවත්.+ ඒ නිසා දැන් මේ ප්‍රදේශයෙන් යන්න.” 17 එබැවින් ඊසාක් එතැනින් පිටත්ව ගෙරාර් නිම්නයට+ ගොස් එහි කූඩාරම් ගසාගෙන ජීවත් විය. 18 ඊසාක් තම පියා වන ආබ්‍රහම් ජීවත් වූ කාලයේදී හාරන ලද ළිං නැවත හෑරුවේය. මන්ද ආබ්‍රහම් මිය ගිය පසු ෆිලිස්තිවරුන් විසින් ඒවා වසා දමන ලදි.+ ආබ්‍රහම් ඒ සෑම ළිඳකටම නම්+ තබා තිබූ අතර ඊසාක්ද එම ළිං හැඳින්වූයේ එම නම්වලිනි.
19 නිම්නයේ ළිං හාරමින් සිටියදී ඊසාක්ගේ සේවකයන්ට පිරිසිදු ජල උල්පතක් සම්බ විය. 20 එවිට ගෙරාර්හි එඬේරු, “මේ වතුර අපේ” යයි කියමින් ඊසාක්ගේ එඬේරුන් සමඟ දබර කළෝය.+ ඔවුන් එහිදී ඔහු සමඟ වාද කළ නිසා ඔහු එම ළිඳට ඒසෙක්* යන නම තැබීය. 21 ඉන්පසු ඔවුහු තවත් ළිඳක් හෑරුවෝය. ඒ ළිඳ නිසාත් ඔවුහු දබර කළෝය. එබැවින් ඔහු එයට සිත්නා* යන නම තැබීය. 22 පසුව ඔහු එතැනින් වෙන තැනකට ගොස්+ තවත් ළිඳක් හෑරුවේය. නමුත් ඒ ළිඳ ගැන ඔවුහු වාද නොකළෝය. ඒ නිසා ඔහු එයට රෙහොබොත්* යන නම තබමින් මෙසේ කීවේය. “යෙහෝවා දෙවි දැන් අපට බොහෝ ඉඩකඩද+ දරුදැරියන්ද+ දී අපට ආශීර්වාද කළා.”
23 පසුව ඔහු එතැනින් පිටත්ව බෙයර්-ෂෙබා+ වෙතට නැග්ගේය. 24 ඒ රාත්රියේදී යෙහෝවා දෙවි ඔහුට කතා කර මෙසේ කීවේය. “මා ඔබේ පියා වන ආබ්‍රහම්ගේ දෙවිය.+ භය නොවන්න.+ මන්ද මම ඔබ සමඟ සිටිමි. මගේ සේවකයා වන ආබ්‍රහම් නිසා මම ඔබට ආශීර්වාද කර ඔබෙන් පැවතෙන්නන්ව බොහෝ සෙයින් වැඩි කරන්නෙමි.”+ 25 ඉන්පසු ඊසාක් එතැන පූජාසනයක් ගොඩනඟා යෙහෝවා දෙවිට යාච්ඤා කළේය.*+ ඔහු එතැන තම කූඩාරම ගසාගත්+ අතර ඔහුගේ සේවකයෝ එතැන ළිඳක් හෑරුවෝය.
26 පසුව අබිමෙලෙක් ගෙරාර් සිට ඊසාක් සිටි තැනට පැමිණියේය. අබිමෙලෙක්ගේ විශ්වාසවන්ත මිත්‍රයා වූ අහුස්සත් සහ ඔහුගේ සේනාවේ ප්‍රධානියා වූ ෆීකොල්ද+ ඔහු සමඟ එතැනට ආවෝය. 27 එවිට ඊසාක් ඔවුන්ට මෙසේ කීවේය. “ඔබ මට වෛර කර මාව ඔබේ දේශයෙන් පන්නා දැමුවා. ඇයි දැන් මාව හමු වෙන්න ආවේ?”+ 28 එවිට ඔවුහු මෙසේ කීවෝය. “යෙහෝවා දෙවිගේ ආශීර්වාද ඔබට තිබෙන බව+ අපිට පැහැදිලිව පෙනෙනවා. ඒ නිසා ඔබට මෙහෙම කියන්න අපි තීරණය කළා. ‘අප සමඟ ගිවිසුමක් ඇති කරගන්න+ කියා ඔබෙන් කාරුණිකව ඉල්ලනවා. අපි ගිවිසුමක් ඇති කරගෙන එහි කොන්දේසිවලට එකඟව ක්‍රියා කරන්න එකිනෙකාට පොරොන්දු+ වෙමු. 29 අපි ඔබට සැලකුවේ යහපත් විදිහටයි. ඔබට කිසි හානියක් නොකර ඔබව සමාදානයෙන්+ පිටත් කර හැරියා. එබැවින් ඔබත් අපට කිසි හානියක් කරන්නේ නැති බවට පොරොන්දු වෙන්න. ඔබ යෙහෝවා දෙවිගෙන් ආශීර්වාද ලත්+ තැනැත්තෙක් බව අපිට පැහැදිලියි.’” 30 ඉන්පසු ඊසාක් ඔවුන්ට භෝජනයක් පිළියෙල කළේය. ඔවුහුද කා බී+ තෘප්තිමත් වූහ. 31 පසුවදා උදෑසන ඔවුහු පාන්දරින්ම නැඟිට එකිනෙකාට දිවුරුම් දුන්නෝය.+ ඉන්පසු ඊසාක් ඔවුන්ට යන්න හැරියේය. ඔවුහුද සමාදානයෙන් පිටත්ව ගියෝය.+
32 එදිනම ඊසාක්ගේ සේවකයෝ ඔහු වෙතට ඇවිත් තමන් හෑරූ ළිඳ+ ගැන මෙසේ පැවසුවෝය. “අපට වතුර හම්බ වුණා!” 33 ඔහු එම ළිඳට ෂීබා යන නම තැබීය. අද වන තුරු එම නුවර බෙයර්-ෂෙබා+ යන නමින් හඳුන්වනු ලබන්නේ ඒ නිසාය.
34 ඒසව්ගේ වයස අවුරුදු හතළිහක් විය. ඔහු හිත්තී ජාතික බෙයේරීගේ දුව වූ යූදිත්වද හිත්තී ජාතික+ ඒලොන්ගේ දුව වූ බසෙමත්වද විවාහ කරගත්තේය. 35 ඒ ස්ත්‍රීන් දෙදෙනා නිසා ඊසාක්ට සහ රෙබෙකාට ජීවිතය තිත්ත විය.+