නික්මයාම
24 දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “කන්දට නැඟ යෙහෝවා දෙවි වන මා වෙතට එන්න. ආරොන්වද නාදාබ්වද අබිහුවද+ ඊශ්රායෙල්හි වැඩිමහල්ලන් හැත්තෑදෙනෙකුවද+ ඔබ සමඟ රැගෙන එන්න. සියලුදෙනාම දුරින් සිට මට නමස්කාර කළ යුතුයි. 2 යෙහෝවා දෙවි වන මා වෙතට පැමිණිය හැක්කේ මෝසෙස්ට පමණයි. අනික් අය මා වෙතට නොපැමිණිය යුතුයි. ඔබ සමඟ කන්දට නැඟ ඒමට සෙනඟට ඉඩ නොදෙන්න.”+
3 පසුව මෝසෙස් සෙනඟ ළඟට පැමිණ, යෙහෝවා දෙවි පැවසූ සියලු දේද ඔහු දුන් සෑම නියෝගයන්ද ඔවුන්ට දැන්වීය.+ එය අසා සෙනඟ එක හඬින් මෙසේ කීවෝය. “යෙහෝවා දෙවි පැවසූ සියල්ල කිරීමට අප සතුටුයි.”+ 4 එහෙයින් මෝසෙස් යෙහෝවා දෙවි පැවසූ සෑම වචනයක්ම ලියා තැබුවේය.+ ඔහු පසුවදා හිමිදිරියේ නැඟිට කන්ද පාමුලට ගොස් එහි පූජාසනයක් ගොඩනැඟුවේය. ඊශ්රායෙල්හි ගෝත්ර දොළහ නියෝජනය කිරීමට එහි කණු දොළහක්ද ඉදි කළේය.+ 5 ඉන්පසු ඔහු ඊශ්රායෙල් සෙනඟ අතරින් තරුණයන් කිහිපදෙනෙකුව තෝරාගත්තේය. ඔවුහු දවන පූජාද හවුල් පූජා+ ලෙස ගවයන්ද යෙහෝවා දෙවිට ඔප්පු කළෝය. 6 මෝසෙස් පූජාවලට ඔප්පු කළ සතුන්ගේ ලෙයින් භාගයක් භාජනවලට වත් කළේය.+ ඉතුරු ලේ ටික ඔහු පූජාසනය මත ඉස්සේය.+ 7 පසුව ඔහු ගිවිසුම සඳහන් වී තිබෙන ලියවිල්ල+ අතට ගෙන එහි සඳහන් දේවල් සෙනඟ ඉදිරියේ ශබ්ද නඟා කියෙව්වේය.+ ඉන්පසු සෙනඟ, “යෙහෝවා දෙවි පැවසූ සෑම දෙයක්ම ඉටු කරන්න අපි එකඟයි. අපි ඔහුට කීකරු වෙනවා” කියා පොරොන්දු වූහ.+ 8 එහෙයින් මෝසෙස් සෙනඟ මත ලේ ඉසිමින්+ මෙසේ කීවේය. “ඔබ දැන් සවන් දුන් සෑම වචනයක්ම පැවැත්වීමට ඔබ පොරොන්දු වුණා. එම පොරොන්දුවට එකඟව යෙහෝවා දෙවි ඔබ සමඟ ඇති කරගත් ගිවිසුම මේ ලේ මාර්ගයෙන් ස්ථිර වෙයි.”+
9 පසුව ඊශ්රායෙල් සෙනඟ අතරේ සිටි වැඩිමහල්ලන් සැත්තෑදෙනෙකු සමඟ මෝසෙස්, ආරොන්, නාදාබ් හා අබිහු කන්දට නඟින්න පටන්ගත්තෝය. 10 ඔවුහු ඊශ්රායෙල්හි දෙවිව දර්ශනයකින් දුටුවෝය.+ දෙවිගේ පාද යට නීල මාණික්යවලින් සෑදූ වේදිකාවක් වැනි යමක් දක්නට තිබිණ. එය පැහැදිලි නිල් අහස්තලය මෙන් විය.+ 11 දෙවි ඊශ්රායෙල් ජනයාගේ ප්රධානීන්ට විරුද්ධව කිසිවක් කළේ නැත.+ ඔවුන් සැබෑ දෙවිව දුටුවේ+ කමින් බොමින් සිටියදීය.+
12 යෙහෝවා දෙවි නැවත මෝසෙස්ට මෙසේ කීවේය. “කන්ද මුදුනට නැඟ මා ළඟට එන්න. මගේ නීති හා ආඥා සෙනඟට උගන්වන පිණිස මම ඒවා ගල් පුවරු මත ලියා ඔබට දෙන්නෙමි.”+ 13 ඉන්පසු මෝසෙස් හා ඔහුගේ සේවකයා වන යොෂුවා, සැබෑ දෙවි සිටි කඳු මුදුනට නඟින්න පටන්ගත්තෝය.+ 14 මෝසෙස් පිටත්ව යෑමට පෙර වැඩිමහල්ලන්ට මෙසේ කීවේය. “ඔබ අපි එන තුරු මෙතැනට වී බලා සිටින්න.+ ආරොන් හා හූර්+ ඔබ සමඟ සිටීවි. යම් නඩුවක් විසඳාගැනීමට තිබේ නම් ඔවුන් දෙදෙනා ළඟට යන්න.”+ 15 මෝසෙස් කඳු මුදුනට යෑමට පිටත් වූ අවස්ථාවේදී වලාකුළෙන් කන්ද වැසී තිබිණ.+
16 යෙහෝවා දෙවිගේ තේජස+ සීනයි කන්ද+ මත දිස් වෙමින් තිබූ අතර දවස් හයක් පුරාම එය වලාකුළෙන් වැසී තිබිණ. හත්වෙනි දවසේදී දෙවි වලාකුළේ සිට+ මෝසෙස්ට කතා කළේය. 17 කඳු මුදුනේ බුරබුරා නඟින ගින්නක් මෙන්+ යෙහෝවා දෙවිගේ තේජස ඊශ්රායෙල් සෙනඟ දුටුවෝය. 18 ඒ අවස්ථාවේදී මෝසෙස් වලාකුළ තුළට ගියේය.+ ඔහු දහවල් හතළිහක්ද රාත්රි හතළිහක්ද කන්දෙහි සිටියේය.+